Friday, April 13, 2012

| ඒ ම‍ගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක |






එළිවෙන්න තිබ්බෙ, ඕන නම් තව පැය තුන  හතරක් විතරයි.. අතට අහුවෙච්ච ඇදුම් තුන හතරක් ට්‍රැවලින් බෑග් එකට දාගෙන මං කාමරේ දොර ඇරියා.. බන්ටි තවදුරටත් මේ වහල යට ඉන්නෑ කියන තීරණේ මං ඒ වෙනකොට අරගෙන තිබුණෙ.. අම්මෙක්ගෙ ආදරේ, උණුසුම නැතුව මේ ගෙදර බැරි මරගාතෙ ඉන්නවා කියන්නෙ. මැරි මැරී ඉපදෙනවා වගේ කියන එකයි..


කාමරේ ඇතුළෙ පැය තුන හතරක් මං නිදා ගන්නැතුව ගත කෙරුවෙ ගෙදර හැමෝම නිදාගන්නකල්.. එතකොට මේ අභිනිෂ්ක්‍රමණය ලේසියි.. අපිව දාලා යන්නෙපා කියලා කෑගහලා අඩන්න, වැළපෙන්න කවුරුවත් නෑ.. 'අහිමිවීම' කියන ලොකු වස්තුව අත් දෙක උඩ තියාගෙන මට මේ ගෙදරින් පිටවෙලා යතෑකි.. මගේ අඩි සද්දෙ මටවත් ඇහෙන්නෙ නැතිවෙන්න මං පඩිපෙළ බැස්සා..

ගෙදරින් එළියට බහින්න ඕන ලේසිම තැන මං ඒ වෙනකොට හිතාගෙනයි  හිටියේ.. ඒ කෑම කාමරේට මෙහායින් තිබ්බ කොරිඩෝව දිගේ ගියහම හම්බවෙන දොර.. සාලෙ දාලා තිබ්බ ලා නිල් පාට ඩිම් ලයිට් එකේ එළිය මුළු ගේ පුරාම පැතිරිලා තිබුණෙ  හරියට මට පාර පෙන්නන්න වගේ..

ඒත් හිමින් සීරුවෙ දොර ළගට කිට්ටු වෙද්දි, ඩිම් ලයිට් එළියෙන් මං දැක්කෙ ඒ තරම් හොද දෙයක් නෙමෙයි.. කෑම කාමරේ දොර ගාව හරහට පුටුවක් තියාගෙන, ඒක උඩ හරි බරි හැගිලා නිදාගෙන ඉන්න අයියව මං දැක්කා.. එහෙනම් මං හිතුවට වැඩිය මේ මනුස්සයා සෑහෙන්න දුර කල්පනා කරලා තියෙනවා වගේ..

මං ආපහු හැරුණෙ, ඊගාවට එළියට යන්න ලේසිම දොර හොයාගෙන.. ඒ කුස්සියෙ, බේබි නැන්දගෙ කාමරේ ගාව දොර.. අඩියට දෙකට එතනට ආවත්, දැකපු දෙයින් මට තරු විසි උනා.. මොන අවමගුලක්ද මේ..? කුස්සියෙ දොර ගාවම දිග කුෂන් බංකුව හරහට දාගෙන ඒකෙ උඩ නිදි කිරා වැටුණෙ වෙන කවුරුවත් නෙමෙයි.. බේබි නැන්දා..

දැන් ඉතිං එළියට පනින තැන් දෙකක් ඉවරයි.. තම දෙකයි ඉතිරිවෙලා තියෙන්නේ.. මං ආයෙත් හරිලා අම්මගෙ කාමරේ ගාවින් ගිහි්ලලා, ඉස්සරහ කාමරේ දිහාට ඇවිදගෙන ගියා.. ඒ වෙනකොට ඉස්සරහ ලොකු දොර ළග දිග හාන්සි පුටුවක් තියාගනෙ, දොර සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන හාන්සි වෙලා ඉන්න තාත්තව මං දැක්කා..

දැන් ඉතිං තවත් බලලා වැඩක් නෑ.. අතින් දොර ගාව ෂුවර් එකටම අක්කා ඇති.. ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ.. මෙයාලා මේක හිතාමතාම නියමෙට ප්ලෑන් කරලා කරපු දෙයක්.. කෝක වෙතත් මං ඉස්සරහ කාමරේටත් එබිලා මගේ සැකේ දුරු කර ගත්තා.. ආයෙ මොනවද, දොරට හේත්තු කරපු ඩිවාන් එකට වෙලා අක්කා සනීපෙට නිදි..

එහෙනම් කට්ටියම එකතුවෙලා බන්ටිව නොකවුට් කරලා දැම්මා.. එහෙමද ඔයාලා හිතන්නේ.. මොන පිස්සුද..? මේ බන්ටි මොන අවමගුල ආවත් පස්සට යන්නෑ.. ඉස්සරහට යන්න බැරි නම් හරහට හරි යනවා මිසක.. මං ට්‍රැවලින් බෑග් එකත් අරගෙන ආයෙත් මගේ කාමරේට ආවා.. දැන් ඉතිං හැම පහසු වැඩක්ම පැත්තනට දාලා බන්ටිට ජංගල් කෝස් එකකුයි කරන්න වෙන්නේ..

බෙඩ්ෂිට් දෙක තුනක් එකට ගැටහගලා, ඒ මැද්දෙ ලොකු ගැට දාලා, එක කොනක් මං බැල්කනියෙ සිල්වර් බාර් ඒකේ ගැට ගැහුවා.. බෙඩ් ෂිට්වල ඉතුරු කොන බැල්කනියෙන් පහළට දාලා, මං කොට තාප්පෙට නැග්ගා.. මොරීන් අක්කා අර තරම් අමාරුවෙන් මේ බැල්කනියට ආවා නම්, බන්ටිට මේකෙන් පල්ලෙහාට බහින එක කජ්ජක්ද අප්පා..?

කිසිදු අවුලකින් තොරව මං පල්ලෙහා ගාඩ්න් එකට බැහැගත්තා.. දැන් ඉතිං ගෙදර මිනිස්සු කතන්දරේ දැනගන්නෙ හෙට උදේ උනාම.. ඒකත් මේ බෙඩ්ෂිට් ටික දැක්කම.. මෙච්චර කාලෙකට මට හෙවන දීපු, මාව බලාගත්තු, මට ආදරේ කරපු මිනිස්සු ඉන්න ගේ දිහා නිකමට වගේ හැරිලා බලද්දි මට මහා වේදනාවක් දැනුණා.. ඒ වේදනාවත් එක්ක දැනුණු හිත පුච්චලා දාන කාංසියක් මගෙ ආත්මයම මිරිකලා දැම්මා..

අවුරුදු කීයක් නම් මේ ගේ ඇතුළෙ අපි සංතෝසයෙන් හිටියද..? මේ ගේ ඇතුළෙන් වැඩිපුරම ඇහෙන්න ඇත්තෙ මගේ කටහඩ.. මගේ හිනාව.. අද ඉදන් ඒ හැමදේම ඉවරයි.. මගේ හිනාවක් ආයෙ කවදාවත් මේ ගේ ඇතුළෙන් ඇහෙන එකක් නෑ.. අඩුගානෙ මේ රහස එළි නොවී තිබුණා නම්..? කොයි තරම් හොදද කියලා මට හුගක් වෙලාවට හිතුණා.. මං මේ කිසිම දෙයක් නොදැන හිටියා නම් ඇත්තටම මේ කිසිම දුකක් නෑ.. එහෙනම් අදටත් මං හුගාක් සංතෝසෙන් ජීවත් වෙන කොල්ලෙක්.. 

"බන්ටි මල්ලි.."

හෙමින් සීරුවෙ ගේට්ටුව දිහාට ඇවිදගෙන එද්දි මගේ ඉස්සරහටම ආපු කෙනා දැක්කම, මට කරගන්න දෙයක් නැතිවුණා.. මොන අවනඩුවක්ද දෙයියනේ මේක..? ඇයි මටම මෙහෙම වෙන්නේ..? මට ඔයාගෙන් කවදාවත් ගැලවීමක් නැද්ද..? 

"ඔයා මොනවද මොරීන් අක්කෙ මෙතන කරන්නේ..? අනික අපේ වත්ත ඇතුළෙ..?"

අම්මපා.. බන්ටිගෙ හිත ෆිට් හින්දා හොදයි.. වෙන කොල්ලෙකුට හෙම මේ සිද්ධිය උනා නම් ඌට නූල් හත අටක්වත් දාන්න වෙනාව.. ඇයි කියලද ඇහුවේ..? ඇයි හත් දෙයියනේ.. අවමගුලකට වගේ සුදු පාටින් සැරසිලා, මේ පට්ට රෑ ගේට්ටුව ළග ඉන්නකොට ඕන හිත හයිය පපුවක් වෙව්ලලා ෆිලමන්ට් එක පිච්චෙනවනේ..

"මම නම් කරන්නෙ වෙනදා කරන වැඩේම උනත්, අද ටිකක් විශේෂයි.."

"ඒ කියන්නේ..?"

"ඔයාගෙ සුදු රසික අයියව බලන්න මං ආවේ..?"

එතකොට විශේෂයි කියලා කිව්වේ, අපේ එකාගෙ කාමරේට රිංගන එකද දන්නෑ.. දෙයි හාමුදුරුවන් පල්ල.. මේ යෝදිට නම් පිස්සු දෙයියනේ.. අනික මොන වින්නැහියක්ද මේ..? මං කොහොමද දැන් මෙතනින් පැන ගන්නේ..? මීට වඩා හොදයි මං අර ගෙදර මුර කරන, මුරකාරයොන්ටම අහුවුණා නම්.. අනික මේ තරම් සිරා කොමාන්ඩෝ කෝස් එකක් කරලත්, හැමෝගෙම ඇස් වහල පැන්නත්, මං මේ යෝදිගෙ අතටම අහුවුණානේ දෙයියනේ.. 

"ඔයාට නම් නියපොත්තෙ ඉදලම පිස්සු මොරීන් අක්කේ.. අයියා මේ වෙලාවෙ කීයටවත් එළියට එන්නෑ.. ඔයා දැන් ගිහින් නිදාගන්න.. ඕනම නම් ආයෙත් මේ වගේම වෙන දවසක ට්‍රයි එකක් දාන්න.."

"හරි.. බන්ටි මල්ලි.. අවවාදෙට තෑන්ක්ස්.. එහෙනම් ඉතිං අවවාදෙ වගේම ආදරේශෙත් හරියට කරන්න.."

"ඒ.. ඒ.. මොකක්ද..?"

"මොකක්ද කියලා අහන්නේ..? ඔයත් දැන් ගෙදර ගිහින් නිදාගන්න.. ඔයා මේ වෙලාවෙ කොහේවත් යන්නෑනේ.."

මං දිහා හොදට බලන ගමන් මොරීන් අක්කා කිව්වා.. දැන් ඉතිං බන්ටිට මේ යෝදිගෙන් ගැලවීමක් නෑ කියනෙක බුදු ෂුවර්..

"මට කොහේවත් යන්න තියෙනවද නැද්ද කියලා, ඔයා දන්නෙ කොහොමද..? මොරීන් අක්කේ මේ.. පිස්සු නැතුව ගෙදර ගිහින් නිදාගන්න.. මටත් පරක්කු වෙනවා.."

මං, මොරීන් අක්කව පැත්තකට කරලා ගේට්ටුව ළගට ළංවුණා..

"බන්ටි මල්ලි මේ.. හොදට ඉන්න මොරීන් අක්කව යකෙක් කරන්නෙපා හරිද..? ඇත්තමයි.. මං මුළු නුවරටම ඇහෙන්න කෑගහනවා ඔයා ගෙදරින් පැනලා යනවා කියලා.. ඔයා දන්නවනේ මගේ කටේ සද්ද.."

"මොනවා..! මං ගෙදරට හොරෙන් යනවා.. ඔයා මොනවද මේ කියන්නේ..? ඔයාට පිස්සු හැදීගෙන එනවද..?"

"මට ඇති පිස්සුවක් නෑ.. මං කියන්නෙ හරි දේ.. ඔයා තාම දන්නෑ මේ මොරීන් අක්කා, ඔයාට කොයි තරම් ලෙංගතුද කියලා.. ඔයා ඒක දැන ගන්නකොට සමහර විට මං මේ පැත්ත පළාතකවත් නැතිවෙයි.. ඊයෙ රෑ ගෙදර වෙච්ච හැම කතාබහක්ම මං අහගෙනයි හිටියේ.."

ඔය වැඩේ සිද්ධ වෙලා තියෙන්නෙ මහ කෙලියෙන්ම.. එහෙනම්.. ඒකයි මේ මොරීන් අක්කා මග රැකගෙන ඉදලා තියෙන්නේ..

"ඔයා ගැන අයන්නෙ ඉදලම දන්න හින්දා මට හිතිච්ච එකම දේ තමයි ඔයා මේ ගෙදරින් හෙට එළිවෙන්න කලින් යනවා කියනෙක.. මං මේ ගේට්ටුවෙන් ඇතුල් උනේ වෙන වැඩකට උනත්, මං මෙච්චර වෙලා රැදිලා හිටියෙ ඔයා හින්දා බන්ටි මල්ලි.."

ජීවිත කතාවෙ අන්ත අසරණ පරිච්චේදයක් මැද හිටපු මට, මොරීන් අක්කගෙ කතාවෙන් ඇස් දෙකට කදුළු උනාගෙන ආවා.. ඇත්තටම අපි කාටත් වැඩිය හොද හදවතකුයි මොරීන් අක්කට තියෙන්නේ.. එළියෙන් දකිනවට වඩා කොයි තරම් ලස්සන හදවතක්ද එයාට තියෙන්නේ..?

"ඔයාම මාව හැමදාවත් විහිලුවක් කියලා මං දන්නවා.. ඒත් මට ඔයාව අමතක කරලා දාන්න බැරි හේතු ගොඩක් තියෙනවා.. සමහර විට මම රසිකව අමතක කරලා දැම්මත් මට ඔයාව අමතක කරලා දාන්න බැරිවෙයි.. ඊයෙ වෙච්ච කතා බහේදි ඔයා කොයි තරම් අසරණ වුණාද කියලා මං දැක්කා.. ඔයා වෙනුවෙන් කරන්න හුගාක් දේ මට නැති උනත්, කරන්න පුළුවන් එකම දේ මම කරා.."

"ඒ කිව්වේ..?" 

"ඔයා මේ ගෙදරින් යන එක නවත්තන එක.."

"ඇයි ඔයා එහෙම කරන්නේ..?"

"හේතු ගොඩක් හින්දා.. මොන කතාව කිව්වත්, මේ ගෙදර හැමෝම ඔයාට පණ වගේ ආදරෙයි බන්ටි මල්ලි.. අතීතයෙ වෙච්ච හුගාක් දේවල් අතීතයේම තියෙනවා නම් හුගාක් හොදයි.. මොකද මිහිදන් වෙච්ච දේවල්, අලුත් ඒවා විදියට ගොඩනගන්න ගියහම හොදට තියෙන මේ ලෝකෙ විනාස වෙනවා.. ඒක හින්දා ඔයා ඊයෙ රෑ සිද්ධ වුණු හැම දෙයක්ම අමතක කරලා දාලා පුරුදු විදියට ජීවිතේට මුණ දෙන්න.. ඔයාට ඒක කරන්න පුළුවන්.. ඔයාගෙ හිත හයියයි.. ප්‍රශ්න වලින් පැනලා ගිහින් තේරුමක් නෑ.. ඒ හැම ප්‍රශ්නෙටම මූණ දෙන්න.. අපේ ජීවිත ශක්තිමත් වෙන්නෙ එතකොට.. අපි ප්‍රශ්න වලින් පැනලා ගියොත්, ආයෙ ටික දවසකින් ඒ ප්‍රශ්නෙම, ඊටත් වැඩිය අමාරු වෙලා අපි ඉස්සරහට එනවා.."

"හොදයි.. මොරීන් අක්කා කියන්නෙ මට මොනවා කරන්න කියලද..?"

"මං ඉස්සෙල්ලත් කිව්වා වගේ මහා ශක්තියකින් ජීවිතේට මූණ දෙන්න.. ඔයාට කිසිම දෙයක් නැතිවෙලා නෑ.. හැමදේම තිබ්බට වැඩිය හොදට තියෙයි.. හුගාක් වෙලාවට මට නැති හුගාක් දේ ඔයාට තියෙනවා.. ඔයාට සැනසෙන්න තියෙන කාරණා හුගාක් වැඩියි.. වෙච්ච  හැමදේම අමතක කරලා දාලා, වෙනදා වගේම හොද හිනාවක් බැල්කනියෙන් පල්ලෙහාට දාන්න.. මං හිතනවා ඔයා මගෙ කීම අහයි කියලා.."

"එහෙම ඇහුවෙ නැත්නම්..?"

"නැතිවෙන්න බෑ.. වෙනදා වගේ නෙමෙයි.. මං අද පාන්දර වෙනකන් පිණි බෑවෙ ඔයා හින්දා.. අඩු ගානෙ මොරීන් අක්කා ගැන පුංචි කැක්කුමක් හරි ඔය පපුව ඇතුළෙ තියෙනවා නම් ඒ ගැනත් ඩිංගක් හරි හිතන්න.. ඒ වගේම.. මං ලොකු තිරණයක් අරගෙනයි මේ ඉන්නේ.. කාට කිව්වෙ නැතත් මං ඒ තීරණේ ඔයාට කියනවා.. එහෙනම් බන්ටි මල්ලි.. අදට අපි වෙන්වෙමු.. ඒ වගේම අනාගතයෙදි මීට වැඩිය වෙනස් තැනකදි අපි ආයෙ හම්බවෙමු.."

තවත් වචනයක්වත් කියන්නැතුව මොරීන් අක්කා ගේට්ටුව ඇරගෙන වත්තෙන් පිට උනා.. බෑග් එකත් අතේ තියාගෙන මං කල්පනා කෙරුවෙ ඊගාවට මොකද කරන්නෙ කියලා.. ඇත්තටම ගෙදරින් යන සිතුවිල්ල ඒ වෙනකොට බොහොම පල්ලෙහා මට්ටමකයි තිබුණෙ.. මං හිතුවෙවත් නැති විදියට මොරීන් අක්කා ඒ හැමදේම වෙනස් කරලා තිබුණා.. එයා ඒ කියපු දේවල් අනුව මට හිතුණෙ ඇයි මං ගෙදරින් යන්නෙ කියලා.. මගේ කවුද මේ වත්තෙන්, මේ නුවර ටවුන් එකෙන් එහා ඉන්නේ..? මෙතනින් ගිහිල්ලා මං මොනවද කරන්නේ..?

තවත් තත්පරයක්වත් මං හිතුවෙ නෑ.. ආපහු මං ගේ දිහාට හැරුණා.. ඇදක් කුදක් නෑ.. මං කෙලින්ම ඉස්සරහ දොර ගාවට ගිහින් බිත්තියෙ තියෙන බෙල් එක කීප සැරයක්ම එබුවා.. මේ බෙල් එක දිගටම ඔබාගෙන ඉදලා මං මේ ගෙදර බෙල් කීයක් නම් පුච්චලා ඇත්ද..? ඇත්තටම මේ ගෙදර ඇතුළෙදි මං කරපු කියපුව ලියන්න පොත් සීයක් විතර ඕනවෙයි.. කලබල සද්ද තුන හතරක් ගේ ඇතුළෙන් ඇහිලා, ඊගාවට ඇහුණෙ ඉස්සරහ දොර ගාව තිබ්බ හාන්සි පුටුව ටයිල් උඩ අදින සද්දේ.. ඔන්න ඊගාවට තමයි ගෙදර මහ දොර එකපාරමට ඇරුනෙ.. ඇරිච්ච දොරෙන්, අම්මා ඇරෙන්න අනිත් හතර දෙනාමගෙම මූණු එළියට එබුණා.. ඒකත් මරු අප්පා.. මේ පාන්දර ජාමෙ, ඉස්සරහ දොරෙන් තරගෙට වගේ මං දිහා බලන් ඉන්නෙක.. 

"කෝ.. අයින් වෙන්න ඉතිං.. මනුස්සයෙක් මහන්සි වෙලා ගෙදරට ආවහම ඔහොම දොර හරස් කරගෙන ඉන්නවද..? අම්මපා ඔයාලා මැනර්ස් කියලා මෙලෝ ජාතියක් දන්නෑනේ.."

හැමෝගෙම ඇස් බෝල එළියට පනින තරම් ලොකු වෙලා තිබුණා.. අම්මපා.. ඉතිං ඇත්තනේ.. කාටවත් හිතාගන්න තියා මවා ගන්නවත් බැරිවෙන්නැති බන්ටි කොහොමද මේ තරම් මුරකාවල් දාලා තියෙද්දි ගෙදරින් ගියේ කියලා..

"බ..න්..ටී.."

"ඔ.. ඔයා කොහොමද එළියට ගියේ..?"

"බන්ටි මහත්තයා.. ඔයා මගේ දොරෙන් නෙමෙයි නේද එළියට ආවේ..?"

"ජනේලෙකින් වත් පැනලා ගියාද දන්නෑ.."

කට්ටියම නානා ප්‍රකාර දේවල් කිය කියා ප්‍රශ්න අහද්දි, එයාලට ඕන දෙයක් හිතාගන්න ඉඩ දීලා මං කාමරේට ආවා.. හැමෝම මං යන එක නවත්තන්න හැදුවත් අම්මා විතරක් ඒකට දායක උනේ නැත්තෙ, එයා මට කැමති නැති හින්දා වෙන්නැති කියලා ආයෙත් පාරක් මගෙ හිතට ආවා.. ඒත් ඒ සිතුවිල්ලයි, මං අම්මා ගැන හිතපු දේවලුයි කොයි තරම් වැරදිද කියලා මට තේරුණේ කාමරේ ඇතුළ දකිද්දි.. මං බැල්කනියෙන් පහළට බැස්ස බෙඩ්ෂිට් ටිකත් අතේ තියාගෙන, අම්මා මගේ ඇද උඩින් වාඩිවෙලා හිටියා.. ඒ ඇස් දෙක තිබ්බෙ මගේ මූණෙමයි.. මටත් වෙන දිහාවක් බලන්න උවමනාවක් තිබුණෙ නෑ.. මමත් කෙලින්ම අම්මා දිහා බැලුවා..

"ඇයි බන්ටි මාව දාලා යන්න ගියේ..?"

ඒ වචනවල තිබ්බ දුක්බර කමටම මගේ ඇස් වලට ආයෙත් කදුළු උනාගනෙ ආවා.. ඒ කදුලුත් එක්කම මට මහා සංතෝසෙකින් හිතන්න පුළුවන් හුගාක් දේවල් අම්මගෙ වචන ටික ඇතුළෙ තිබුණා.. ඒ කියන්නෙ අම්මා මාව අතෑරලා දාලා නෑ.. එයාගෙ හිතේ මං තාමත් ඉන්නවා..

"මං කොහේවත් ගියේ නෑ අම්මා.. මේ යස අගේට බන්ටි ගෙදර ඉන්නේ..?"

හැමදේම අමතක කරලා දාලා, මං අම්මගෙ ළගින් ඇදේ වාඩිවුණා.. මොරීන් අක්කා කිව්වා දේවල් මොන තරම් ඇත්තද..? මේ දැන් සිද්ධවෙන දේවල් දිහා බැලුවාම මට මොරීන් අක්කා ගැන ලොකු ආඩම්බරයක් දැනුණා.. එයා එළියට වෙලා එළීවෙනකල්ම පිණි බෑවෙ මං හින්දනේ.. 

"එතකොට මේ මොනවද බන්ටි..? මං මේවා අර බැල්කනියෙ බාර් එකේ තිබිලයි ලිහාගත්තේ.. ඔයා මේ ගෙදරින් පිටවෙලා යන්න නේද ගියේ..?"

මට කියන්න දෙයක් තිබුණෙ නෑ.. අම්මගෙ ඇස් දෙක පුරාම කදුළු පිරිලා.. මං කියන පුංචි වචනෙකින් හරි ඒ කදුලක් බිමට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියලා මට හිතුණා.. ඒක හින්දම මං හුගාක් දුරට කට පරිස්සම් කරගත්තා..

"මගෙන් ඔයාගෙ හිත හොදටම රිදුණා.. ඒත් මං ඒ හැම දෙයක්ම කරේ මගේ හිතේ වේදනාව පිට කරන්න.. ඒත් ඔයාගෙ හිතත් රිදිලා, ඔයා මේ ගෙදරින් යන්න ගිහිල්ලත් මගේ හිතේ වේදනාව අඩුවක් වුණේ නෑ බන්ටි.. ඔයා විශ්වාස කරන්න.. මං ඔයාට මොන දේ කිව්වත්, මේ හැම කෙනාටම  වැඩිය මං ඔයාට ආදරෙයි.. කොයි වෙලාවක හරි මීට පස්සෙ මගෙත් එක්ක තරහා වෙලා ඔයා මේ ගෙදරින් යනවා නම් මගේ බෙල්ල මිරිකලා දාලා ඉවරයක් කරලා යන්න.. මට තවත් මේ දුක විදින්න බෑ.."

"අම්මා.. ඔයා මොනවද මේ කියන්නේ..? මං ඔයාව දාලා ගියේ නෑනේ.."

"නැත්තෙ නෑ බන්ටි.. ඔයා මාව දාලා ගියා.. ම.. මට මුළු රෑ පුරාම නින්ද ගියේ නෑ.. ඔයාගෙ මූණමයි මට මැවිලා පෙනුණෙ.. මං කෙරුවෙ මොන තරම් පහත් වැඩක්ද කියලා හිතෙනකොට මගේ ඔලුව පුපුරන්න වගේ ආවා.. ඇත්තටම මං යශෝධරාව හැබැහින් දැකලා නෑ.. දැකලා තියෙන්නෙ ඔය බේබි නැන්දා ගාව තියෙන පින්තූරෙකින් විතරයි.. ඒ පින්තූරෙ ඉන්න යශෝධරා, මට ඊයෙ රෑ කී පාරක් නම් පෙනුණද කියලා දන්නෙ මමම විතරයි.."

එහෙනම් අර එක දවසක්, අම්මා ඔය කියන පින්තූරෙ අතේ තියාගනෙ තමයි බේබි නැන්දා අඩ අඩා හිටියේ.. මං අතට අරගෙනත් බැලුවේ. මට ඒ පිංතූරෙ හුරු පුරුදුයි කියලා වගේ දැනුණෙ ඒ මගේ අම්මා හින්දා වෙන්නැති..

"ඇදට වෙලා ඉන්න බැරිම තැන තමයි මං ඔයාව හොයාගෙන කාමරේට ආවේ.. එතකොටයි මං දැනගත්තෙ ඔයා කාමරේ නෑ.. ඔයා මේ ගෙදරින් යන්න ගිහිල්ලා කියලා.. ඔයා දන්නවද බන්ටි.. මට ඒ වෙලාවෙ දැනුණ තරම් වේදනාවක්, යශෝධරා ඔයාගෙ තාත්තා එක්ක සම්බන්ධ වුණු වෙලාවෙවත් මට දැනුණෙ නෑ.. ඔයා ආපහු ආපු එක කොයි තරම් දෙයක්ද බන්ටි.. මට කියන්න.. මට කියන්න.. ඔයා ආයෙ මාව දාලා යන්නෑ කියලා.."

අම්මා, මාව තද කරලා තුරුළු කරගත්තා.. ඒ ඇස්වලින් ගලාගෙන ගියපු කදුළු වලින් මගේ පිට තෙතබරිත කරලා දැම්මා..

"අඩන්නැතුව ඉන්න අම්මේ.. අම්මා ආයෙ මට මොනවා කිව්වත්, මං අම්මව දාලා කොහේවත් යන්නෑ.. මං විශ්වාස කරනවා.. අම්මට ඕනම දෙයක් කියන්න සාධාරණ අයිතියක් තියෙනවා කියලා.. ඒ වගේම ඒ අයිතියට මං ගරු කරනවා අම්මේ.."

තවත් ටික වෙලාවක් මාව තුරුළු කරගෙන ඉදපු අම්මා ඇදෙන් නැගිට්ටා.. කදුළු වලින් පිරිලා ගියපු ඒ මූණ දැක්කම මට ආවෙ, මං ගැනම මහ තරහක්..

"ඉස්සර වගේම ඔයාගෙ හිනා සද්දෙ මේ මුළු ගේ පුරාම ආයෙත් ඇහෙයි කියලා මං හිතනවා බන්ටි.. ඔයා, මට නැති වුණොත්, මගේ ලෝකෙට ඉරවල් දහයක් පෑව්වත් එළියක් ලැබෙන්නෑ බන්ටි.. ඔයා හැමදාම මගෙ ළග ඉන්නෝන.. ඔයා හිතනවට වඩා වැඩිය මං ඔයාට කොයි තරම් ආදරෙයිද කියලා ඔයාට තේරෙයි.. අන්න ඒ දවස හුගාක් ඉක්මනට උදාවෙයි කියලා මං හිතනවා.."

ටිකක් වෙලා ගියාට පස්සෙ මං ඔලුව ඉස්සුවා.. ඒත් ඒ වෙනකොට අම්මා කාමරෙන් ගිහිල්ලා තිබුණා.. තමන්ගෙ නොවන දරුවෙකුට, තමන්ගෙ දරුවො ළග ඉද්දිම මේ තරම් ආදරේ කරන්න අම්මා හිත හදාගෙන තියෙන්නෙ කොහොමච කියලා මට හිතාගන්න බැරිවුණා.. ඒ කොහොම උනත්.. මං දැකපු ශ්‍රේෂ්ඨතම කාන්තාව අම්මා කියනෙක විවාදයකින් තොරව පිළිගන්න මගේ හිතට නිකම්ම සිද්ධ උනා.. ඇත්තටම මං ඒක හුගාක් සංතෝසෙන් පිළිගත්තු දෙයක්..

                                            ****************************

දවස් කීපයක් මෙලෝ හැල හොල්මනක් නැතුව ගෙවිලා ගියා.. මං ගෙදරින් විහිලුවකට වත් එළියට බැස්සෙ නෑ.. අම්මත් දවස් දෙක තුනක්ම නිවාඩු දාලා ගෙදරට වෙලා මාත් එක්කම හිටියා.. පහුගිය දවසක සිද්ධවුණු ඒ අවාසනාවන්ත කතාබහ ගැන ඊට පස්සෙ අපේ ගෙදර කවුරුවත්ම මතක් කලේ නෑ.. හැමෝම හැසිරුණේ එහෙම කතාබහක් ජීවිතේට සිද්ධ වුණේ නැති විදියට.. අම්මපා මිනිස්සුන්ට මේ විදියට අතීතය අමතක කරන්න පුළුවන්ද..? අනික ඉතිං ඒක මතක් කරලා උයා පිහාගෙන කන්නද..? 

කොහොම උනත් මාව මේ ලෝකෙට බිහි කරපු අම්මා ගැන මතකය මහා වේදනාවක් වගේ මගේ හිත ඇතුළෙ නිතරම රැදිලා තිබුණා.. ඒත් මං ඒක කාටවත් අගවන්න ගියේ නෑ.. එහෙම උනා නම් ආයෙත් මෙතන මළ ගෙයක් වෙනවා.. මමත්  හැසිරුනේ හැම දෙයක්ම අමතක වෙලා ගියපු විදියට.. ඒත් මට කිසි දෙයක් අමතක උනේ නෑ කියලා කියන්න මම දැනගෙන හිටියා..

"බන්ටි මහත්තයෝ.."

හැන්දෑවෙන්න ඔන්න මෙන්න කියලා වගේ තියෙද්දි මට බේබි නැන්දගෙ කටහඩ පල්ලෙහායින් ඇහුණා.. ඒ පාර මොකක්ද..?

"ඇයි බේබි නැන්දේ..?"

මගේ ආච්චි අම්මා උනත්, කවදාවත් මට කටක් ඇරලා බේබි නැන්දට එහෙම කියන්න බැරිවෙයි.. කොටින්ම මගේ ආච්චි අම්මා වෙන්න කලින්නේ මට එයා බේබි නැන්දා උනේ..

"මෙන්න ගෑනු ළමයෙක් කතා කරනවා.."

"කවුද බේබි නැන්දේ..?"

"නිරෝෂි කියලා ගෑනු ළමයෙක්.."

හුටා.. දැන්නේ මට මතක් උනේ නිරෝෂිගෙ කොන්ත්‍රාත් එක.. දැන් මම එයාට මොනවද කියන්නෙ අප්පේ.. පහුගිය දවස්වල තිබ්බ අලකලංචිවල හැටියට ඕක අමතක උනා කියන්නෙ ඒ තරම් ලොකු දේකුත් නෙමෙයි..

"හෙලෝ නිරෝෂි.."

"මගෙ වැඩේ කොහොමද බන්ටි..?"

දෙකක් නෑ.. ආරලු බුරලු නැතිව කෙල්ල කෙලින්ම කතාවට බැස්සා.. අම්මපා ඔහොම ඉන්නවා නම් මොනවද අප්පේ කරන්න බැරි.. බලන් ගියාම නිරෝෂිත් අංශක අනූවට වැඩිය කෙලින්නේ..

"වැඩේ නම් අල වුණා.."

"ඒ කිව්වේ..?"

"ශලනි ඉදපු ගෙදර ළගටම ගියා.. ඒත් එයා හිටියෙ නෑ.. මට හිතෙන්නෙ එයා තාත්තත් එක්ක කොහේ හරි ගිහිල්ලා කියලයි.. ගෙදරත් මහ පාලු බංගලාවක් වගේ තිබ්බේ.."

"අ.. අනේ එහෙම උනොත් හරි වැඩක්නේ වෙන්නෙ.. මට එයාව කොහොම හරි මීට්වෙන්න ඕන බන්ටි.. අපි දැන් මොකද කරන්නේ..?"

"ඒක තමයි මාත් මේ කල්පනා කරේ.. කොහොම උනත් මං තව තුන් හතර පාරක් ට්‍රයි කරන්නම්කෝ.."

"මං කියන්නද බන්ටි.. ශලනිගෙ ගෙදර යන්න මමත් ඔයා එක්ක එන්නම්.. අපි පොඩ්ඩක් ඒ අවට ගෙවල් වලින් අහමු එයාලට මොකද උනේ කියලා.."

ඒ පාර මොකක්ද අප්පෙ මේ වෙන්න යන්නේ.. නිරෝෂිත් එක්ක, ශලනිව හොයන්න යන එක නම් ඒ තරම් හොද දෙයක් වෙන්න බෑ.. 'උත්තරයක් දෙන්න කලින් තව පාරක්  හිතපං බන්ටි' කියලා මගේ හිත මට කිව්වා..

"අහන්න තියා බලන්නවත් ඒ හරියක ගෙයක් නෑ.."

"ඒ කිව්වේ..?"

"ඒ හරියෙ තියෙන තරමක් තියෙන්නෙ අපිටත් වැඩිය උස තාප්පයි, අලිපත ගේට්ටුයි විතරයි.. වැරදිලා හරි ශලනි ගැන අහනවා නම් අපට අහන්න වෙන්නෙ ළගම තියෙන තාප්පෙකින් තමයි.."

ෆෝන් එක එහා පැත්තෙන් 'හිචිස්' ගාල හිනාවක් පැන්නා.. අවුලක් නැතුවම නිරෝෂි සද්දෙට හිනාවෙන සද්දෙ ඊගාවට මට ඇහුණා..

"ඔයා කියන කතා නම් හරිම ෂෝක් බන්ටි.."

ෂෝක් එක, ෂෝ කේස් එකක් වෙයි මේ කතා බින්දුවා අහගෙන හිටියා නම් හෙම.. ඌ හිතයි මායි, නිරෝෂියි එදා හමුවීමෙන් පස්සෙ, අයථා සම්බන්ධයක් ඇති කරගෙන කියලා..  පිස්සුද මංදා.. බන්ටිට ඕවා නම් විහිලුවටවත් ඕන නෑ.. ආදරේ කියනෙක ළගින් ගියත් මහා බරක්ලුනේ..

"දැන් බින්දු මොකද කියන්නේ..?"

හුග දවසකින් බින්දුත් කතා කලේ නැති හන්දම මං නිරෝෂිගෙන් ඇහුවා.. ඒත් මං ප්‍රශ්නෙ අහපු තරම් ඉක්මනට උත්තරේ නම් ලැබුනෙ නෑ.. උත්තරේ ආවෙ, තැපැල් දුම්රිය පරක්කු වෙලා බදුල්ලට එනවා වගේ..

"මොනවා කියන්නද බන්ටි.. එයා මගෙත් එක්ක  හිත හොදින් නෙමේ ඉන්නේ.."

කිරි අප්පට ගොන්නු ඇනපි.. ඒ මොන වින්නැහියක්ද අප්පේ..! මේ ආදරේ ආරක්ෂා කරන්න ගිහින් නේද අපි අර ඇටකිච්චටත් සිහියක් පතක් නැතිවෙනකන් තඩි බෑවේ.. ඌ ඊට පස්සෙ කැත නැතුව ගම රට අතෑරලා ගියේ..

"හිත හොදින් නෙමේ කියන්නේ..?"

"ශලනිගෙ ප්‍රශ්නෙට එයා අවුල්වෙලා ඉන්නේ.. මං ශලනි ගැන මුලින්ම කිව්වෙ නෑ කියලා.. ඔයාම හිතන්න බන්ටි.. මේ හැමදේම හුගාක් කාලෙකට කලින් වෙච්ච දේවල්.. අම්මයි, මමයි මේ කිසි දෙයක් මතක් කරන්නෙ නෑ.. ඒත් මේ හැමදේම හිතපු නැති වෙලාවක උඩට ආවම මම පළිද..? හරි නම් බින්දු දැන් කරන්න ඕන මට උදව් කරන එක නේද, පැත්තකට වෙලා ඉන්නැතුව..? එයාගෙ ප්‍රශ්නෙදි මං එයාට උදව් කරේ පරණ දේවල් ගැන අහලද..? එයාගෙ පුංචි අම්මා ගැන මට කලින් කියලා තිබ්බෙ නෑ කියලා, මං බින්දුත් එකක් රණ්ඩු කරේ නෑනේ බන්ටි.. ඇයි දැන් එයා මගෙත්තෙක්ක තරහෙන් ඉන්නේ.."

නිරෝෂි හුගාක් දේවල් කියවගෙන ගියා.. මගේ හිත ඇතුළෙ මහා ප්‍රශ්නයක් තිබ්බ වුණත්, ඒ හැමදේම තියාගෙන නිරෝෂිගෙ කතන්දරේට අතදාන්න තිබුණා..

"මං බින්දුට කතා කරන්නම්.."

"එපා බන්ටි.. ඔයාට වගේම එයාටත් තව කෙනෙක් ගැන අනුකම්පාවෙන් හිතන්න පුළුවන් වෙන්න ඕන.. ඒත්.. බින්දු හිතන්නෙ එයා ගැන විතරයි.. එයාට එහෙම්ම ඉන්න දෙමු.. ඔයා, මට ශලනිව හොයන්න උදව් කරන්න.. ප්ලීස්.."

නිරෝෂිගෙ ප්ලීස් එකේ දිගේ මහවැලි ගගටත් වැඩිය දිග වුණා.. මං හිතුවෙ ඒක දැන්, මේ දැන් මුහුදට වැටෙයි කියලා..

"මට තව දවස් දෙකක් දෙන්න.. මං ඔයාට කොහොම හරි ශලනිව මීට් කරලා දෙන්නම්.."

"තෑන්ක්ස් බන්ටි.. තෑන්ක්ස්.. ඔයා කොයි තරම් හොද කෙනෙක්ද..?"

"මං කොච්චර හොද කෙනෙක් උනත් මෙහෙම දේකුත් ඔයාට කියන්න වෙනවා.."

"ඒ මොකක්ද..?"

"බින්දුත් එක්ක තියෙන අවුල ඉක්මනට ලිහාගන්න.. ආදරේ වැඩි උනාම තමයි ඔය පුංචි පුංචි ප්‍රශ්න, මහා ලොකු ප්‍රශ්න පත්තර වෙන්නේ.. ඔයාලා දෙන්නා හෙමින් සීරුවෙ කතා කරලා ප්‍රශ්නෙ බේරගන්න.. අනික ඉරිසියාව කියන දේ ඕන කොල්ලෙකුට තියෙනවා නිරෝෂි.. ඒක බින්දුට විතරක් තියෙන දෙයක් නෙමෙයි.."

"කාට ඉරිසියාව තිබුණත් ඔයාට එහෙම එකක් නෑනේ.. ඒකනේ මං ඔයා හොදයි කිව්වේ.."

"ඒ සමහර විට මට ගර්ල් කෙනෙක් නැති හින්දා වෙන්නැති.. මටත් ගර්ල් කෙනෙක් හිටියා නම්, මේ ලෝකෙ ඉන්න ලොකුම ඉරිසියාකාරයා මම වෙන්නත් පුළුවන්.."

"මං එහෙම හිතන්නෑ.."

නිරෝෂි ෆෝන් එක තිබ්බා, ෆෝන් එක අතේ තියාගෙනම මං කල්පනා කරේ ඊගාවට, මොකද කරන්නෙ කියලා.. නිරෝෂිට පොරොන්දු උනා වගේ නෙමෙයි.. මං දැන් කොහෙන්ද ශලනිව හොයන්නේ..? මේකට උදව්වක් ගන්න කෙනෙකුත් නෑ.. මට තනියම මේක කරන්නත් බෑ.. එහෙම පුළුවන් කමක් තිබ්බත් මගේ හිත ඒ දේට කැමති වුණේ නෑ.. මොකද කියනවා නම් බින්දු එතකොට තවත් අවුල් වෙනවා කියනෙක මං තේරුම් අරන් හිටපු නිසා.. 

සුපුරුදු විදියටම ආයෙත් ශලනිව හොයන්න යන්න වෙන්නෙ, නෙත්මි එක්ක තමයි.. ඒත් එයා මං ගැන මොනවා හිතයිද..? ඇයි මං මේ තරම් කැක්කුමකින් නිරෝෂිට උදව් කරන්නෙ කියලා බැලුවොත්..? එදා උනත් එයා දාහක් දේවල් මට කියෙව්වනේ.. වැඩිය ඕන්නෑ.. මාව මරනවා කියලත් කිව්වනෙ.. හුගක් වෙලාවට මෙහෙම ගියොත් නම්, මට තනියෙම තමයි වැඩේට බහින්න වේනනේ..

මෙච්චර වෙලා අතේ තිබ්බ රිසිවර් එක ෆෝන් එක උඩින් තිබ්බා විතරයි ආයෙත් රින්ග් වෙන්න ගත්තා.. අම්මපා අද ජාත්‍යන්තර දුරකතන දවසද දන්නෑ.. ඒත් වෙන්න බෑ.. මට මතකයි මීට කලිනුත් එහෙම දවසක් පහුවුණා.. 

"ලොකු පුතේ.."

හෙලෝ කියලා ඉවර වෙන්නත් කලින්ම චාමිකගෙ කටහඩ එහා පැත්තෙන් ඇහුණා.. මූට මොකද මේ සැන්දෑ වරුවක මාව අමතන්න හිතුණේ.. ෂුවර් එකට මොක්ක් හරි පැණි හැලියක්.. නැත්නම් මූට මාව මතක්වෙන්නෑ..

"ඇයි උඹලගෙ ගෙවල් පැත්ත ගංවතුරට යට වෙලාද..?"

"කතා කරපු ගමන් මොලේ කුරුවල් කරන්නෙපා ලොකු පුතේ.. කතන්දර දෙක තුනක්ම තියෙනවා උඹට කියන්න.."

චාමික කියලා කියන්නෙ, ආරංචි, ඕපදූප, කටකතා, නොදන්නා දේ පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙක්.. උගේ ළගින් තියා, උගේ ළගට හැතැප්ම ගානකින්වත් කිට්ටු කරන්න පුළුවන් බුවෙක් මේ නුවර පලාතෙම නෑ..

"කියපං මං අහගෙන ඉන්නේ.."

"මටයි, සරිගමයටයි දැන් ඩිංගකට කලින් උඹේ සූකිරි බෝලෙ හම්බවුණා.."

"මගේ සූකිරි බෝලෙ..?"

"ඔව් බන්ටි.. දුකේ බෑ.. ඒකි උඹට පලු යන්න බැන්නා.. කිසිම ආචාරශීලීත්වයක් නෑ.."

"කවුද බං..? කියන මගුලක් තේරෙන්න කියපංකෝ.."

ඇත්තමයි.. මූත් එක්ක කතා කරනකොට තරහ යන්නැති ඈයොන්ටත් තරහා යනවා.. ඇයි ඉතිං හරස්පද ප්‍රහෙලිකානේ, කියලා විසදගන්න යන්නේ.. මොරීන් අක්කා ගැනවත්ද දන්නෑ මූ කියන්නේ..

"උඹේ සූකිරි බෝලෙ ගැන උඹට අමතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ බං.."

"මං දන්න සූකිරි බෝලයක් නෑ චාමික.. මගෙන් කුණුහබ්බ අහගන්නැතුව කතාව කියපං.."

"සරිගමයයි, මමයි වැව ගාවින් එද්දි නෙත්මි හම්බවුණා.."

ලොකු පුතාගෙන් නෙත්මි කියන නම පිටවුණා විතරයි මගේ හිතේ විදුලියක් කෙටුවා වගේ හැගීමක් ඇදිලා ගියා..

"ඉතිං..?"

"ඉතිං තමයි.. ඒකි මටයි, සරිගමයටයි වැව රවුමෙ තියාගෙනම දෙහි කැපුවා බං.."

"දැන් උඹ කිව්වෙ නෙත්මි මට බැන්නා කියලා.."

"ඔව්.. වැඩියක්ම උඹට.. ඊට ටිකක් අඩුවෙන් අපිට.."

"හරි.. හරි.. දැන් මොකටද බැන්නෙ කියලා කියපං..?"

ඇත්තමයි.. මූත්තෙක්ක කතා කරන්න ගියාම ඔලුව රිදෙනවා.. කණ වටේ අත දාලනේ මූ හොට්ට හූරන්න  හදන්නෙ.. 

"බැන්නෙ නම් දවස් ගාණකින් ඒකිට කතා කලේ නෑ කියලා.. උඹ මහ ගුණමකුවෙක් කිව්වා.."

"මොකා.. ගුණමකුවා.. ඒ කවුද බං..?"

"මාත් දන්නෑ බන්ටි.. නොදන්නාකමට මාත් ඔව් ඔව් කිව්වා.."

ෂිහ්.. අම්මපා... බලන්න, මං මුන්ටනේ යාලුවො කියන්නේ..

"හරි.. නෙත්මි උඹට බැන්නෙ ඇයි..?"

"උඹේ නම්බර් එක දුන්නෑ කියලා.."

"උඹ මොනවද කිව්වේ..?"

"මම කිව්වා උඹට ෆෝන් එකක් නෑ.. කතා කරන්නෙ පහේ කාසි දාලා කියලා.. ඊට පස්සෙ උඹ ඉන්න තැන අහලා එක ගිනි විජ්ජුම්බරයයි.. අපි කිව්වා උඹ නෑදෑ ගෙදරක ඉන්නෙ කියලා.. මට පේන්නෙ නම් ලොකු පුතේ කෙල්ලගෙන් නම් බේරුමක් වෙන්නැති පාටයි.. කියවන්න ගියාම කට කතුර වගේ.. මායි, සරිගමයයි දන්න ශිල්ප ඔක්කොම දාලයි ජාමෙ බේරගත්තේ.. ආයෙත් අපි ඒකිට මීට් උනොත් පටි හතම රෝල් වෙනවා.."

ඒකත් එහෙමද..? මගෙත් තියෙන ගොන්කමනේ.. නැත්තං ඉතිං විහිලුවට හරි නෙත්මිට ෆෝන් කරන්න තිබ්බා පහේ කාසියක් දාලා.. කට් උනායින් පස්සෙ කතාව ඉවරනේ..

"හරි.. දැන් අන්තිමට උනේ මොකක්ද..?"

"මුකුත් උනේ නෑ.. අපි ඒකිගෙන් කුණු වෙන්න බැනුම් ඇහුවා.. උඹට කියන්න ලොකු පුතේ.. ඒකි උඹට නම් කැත නැතුව බැන්නා.."

මේකා ආයෙත් රිවයින් වෙන්න හදනවා.. ඒක හන්දම මං ෆෝන් එක තිබ්බා.. සමහර විට තව ටිකකින් සරිගමයා කතා කරයි.. ඌටත් කියන්න තියෙන්නෙ මේ ටිකමනේ.. ඒක හින්දා පුළුවන් තරම් ඉක්මනට ෆෝන් එක ළගින් මං ඈත් වුණේ හරියට පිස්සු බල්ලෙක් ළගින් ඈත්වෙනවා වගේ..

"මොකද බන්ටි මහත්තයො කලබලෙන්.."

"කවුද පිස්සෙක් ෆෝන් එකෙන් කුණුහරුප කියනවා බේබි නැන්දේ.."

"මො.. මොනවා.. දැ.. දැන් ගෑනු දැරිවියෙක් එක්ක නේද කතා කලේ..? මට නම් හිතාගන්නවත් බෑ.."

"මටත් විශ්වාස කරන්න බෑ බේබි නැන්දේ.. මේක මහා සවුත්තු ෆෝන් එකක්.. එන්නෙම මහා සවුත්තු කෝල්.. ෂිහ්.. ග්‍රැහැම්බෙල් වත් මේ ළගපාතක හිටියා නම්.." 

"කවුද බන්ටි මහත්තයො ඒ ගරහම්බෝල් කියන්නේ..?"

"ආ.. එයාද..? එයා තමයි ටෙලිෆෝන් එක හොයාගත්තේ.."

"කොහේ තිබිලද හොයාගත්තේ..? කවුරු හරි හංගලාද..?"

අම්මපා.. බේබි නැන්දට පිස්සුද මංදා.. ඔලුව හතරැස් වෙන එව්වනේ අහන්නේ.. කවුරු හරි හංගලාද කියලා අහනවා..

"ඔව්.. ඔව්.. ඇද යට තිබිලා, පස්සෙ ඔන්න බිත්ති කබඩ් එක උඩින් තිබ්බා"

"එහෙනම් කමක් නෑ.."

මහ ලොකු සැනසීමක් ලැබුවා වගේ බේබි නැන්දා ආයෙත් කුස්සිය පැත්තට ගියා.. පස්සෙ වෙලාවක බේබි නැන්දගෙ පිටිපස්සෙන් ගිහින්, එයා ළග තියෙන අම්මගෙ ෆොටෝ එක ඉල්ලගෙන මට සන්තක කරගන්න ඕන.. තාමත් හරියට ඒ ගැන කතා කරන්න ඉස්පාසුවක් නැති උනානේ.. හිතේ ගැඹුරුම තැනේ ඉදලා මොකක්දෝ හිතාගන්න බැරි රිදීමක්, ඒ ගැන හිතන හැම වෙලාවෙම මගේ හිතට දැනුණා..

"අද මොකෝ මේ මාව පිළිගන්න වගේ ඉස්සරහට වෙලා.. කෝ කෝ.. මූණ හොදලද ඉන්නේ..?"

ඉස්සරහ දොරෙන් කලබලෙන් වගෙ ගෙට ඇතුල් වුණේ අයියා.. මිනිහා ඩියුටි ඕෆ් වෙලා තියෙන්නෙ දැන් වගෙයි.. පහුගිය දවස්වලදි වෙච්ච සිද්ධි වලදි අයියා තනිකරම ගත්තෙ මගේ පැත්ත.. මං වෙනුවෙන් එයා හුගාක් තැන්වලදි ඉස්සරහට ඇවිත් කතා කලා.. ඒක හින්දමද කොහෙන මිනිහා ගැන මගේ හිතේ ඩිංග ඩිංග තිබ්බ කහට කෑලි මැකිලා ගිහින් තිබුණා.. ඒත් ඉතිං.. බලන්න අප්පා.. මේකා ටෙ ගොඩවුණු ගමන්ම අහපු දේ.. දැන් රෑ වෙන්නත් ළගයි.. අහනවා මං මූණ  හොදලද ඉන්නෙ කියලා.. ඔය වගේ අපත කතාවලට නම් ඩිංගක්වත් සමාව දෙන්න බෑ ලොකු පුතේ..

"මූණ හොදන්න හිතෙන්නෑ අප්පා.. ඔයා පෙරළන බාල්දි වලට.. මටත් දැන් ගෙදෙට්ට මූණ දෙන්න බෑ.."

හෙණ අප්සට් මූඩ් එකක් මවාගෙන මං කියවන් ගියා.. එල.. එල.. මල් හතයි.. මගේ කතාවෙන් මිනිහා හොදටම අප්සට් උනා.. කොහොම හරි මිනිහව ආදර ට්‍රැක් එකට දාගන්න ඕන..

"මං පෙරලන බාල්දි..? මොනවා ගැනද බන්ටි ඔය කියන්නේ..?"

"ඔයා ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක සුව සෙවන හොස්පිට්ල් එකට ගියපු එක ගැන..?"

'චටාස්' කියලා නළලට අතින් ගහගෙන අයියා මගේ අතින් ඇදගෙන එයාගෙ කාමරේට දුවගෙන ආවා.. යකෝ.. මූට තියෙන අස්ප කුලප්පුවක්.. තව පොඩ්ඩෙන් මගේ අති සංවේදී තැනක් දොර බෝලෙ හැප්පෙනවා..

"කෑගහන්නෙපා යෝදයෝ.. ඔයාගෙ කට ඝන්ඨාරෙ වගෙයි.. දෙයක් කියනකොට සැර බාල කරලා හිමින් කියනවකෝ.. ෂිහ්.. ඇත්තටම ඔයා එහෙම එකක් දැක්කද..?"

"දැක්ක හින්දා තමයි අහන්නේ.. මං, මගේ මේ නේත්‍රා දෙකෙන්ම දැක්කා.. ආයෙ හොරයක් බොරුවක් නෑ.."

"දෙයිහාමුදුරුවනේ.. ඔයත්තෙක්ක, ඔයාගෙ අර අපත යාලුවො ටිකත් ඉන්න ඇති.. දැන් ඉතිං උන් මගේ සායම අරියි.. ෂහ්.. හරිම අපරාදයක්නේ උනේ.."

"කවුරුවත් දැක්කෙ නෑ.. මං විතරයි දැක්කේ.. මං කාටවත් කිව්වෙත් නෑ.. හැබෑට කවුද එයා..? මගේ අනාගත නෑනද..?"

"තාම එහෙම නෑ බන්ටි.. එයා මගේ ඔෆිස් එකෙ වැඩ කරන්නේ.. එදා එයාට හොදටම අසනීප වෙලා.. මං බෙහෙත් අරන් දෙන්න ගියා.."

"තාම එහෙම නෑ කියන්නෙ.. ඔයයි, එයයි තාම යාලු නැද්ද..?"

"මන්දා බන්ටි.. මට ඒ ගැන කියන්න තේරෙන්නෑ.."

අම්මපා.. මේකා මොකෙක්ද මන්දා.. අයියා නෙමෙයි නම්, මං මූට හිටෝලා මැටි ගහන්නේ.. ඇයි හත්දෙයියනේ.. අතින් කයිට් කරගෙන, බෙහෙතුත් අරන් දීලා, ඒ ගෑනු දරුවා ගැන මූට කියන්න තේරුමක් නෑල්ලූ..

"තේරෙන්නෑ කියන්නේ..?"

"මං දන්නෑ බන්ටි.. එයාගෙන් ඇහුවට එයා හරි උත්තරයක් දෙන්නෑ.."

"හරි උත්තරයක් දෙන්නෑ කියන්නේ..?"

"කල්පනා කරලා බලන්න ඕනලු.. අම්මලගෙන් අහල බලන්න ඕනලු.. ඉස්සරහට ප්‍රශ්න ඒවිද දන්නෑලු.. ඔන්න ඔය වගේ දාහක් දේවල්.."

"අයියෙ මේ.. මට දැනෙන තේරෙන විදියට මං දෙයක් කියන්නද..? ඔයා ඒක පිළිගන්නවා නම් පිළිගන්න.. නැත්නම් ඔයා ඕන තීරණයක් ගන්න.."

"හරි.. බන්ටිට මොනවද කියන්න තියෙන්නේ..?"

"එයා ඔය ගහන්නෙ බයිලනේ අයියේ.. අරයගෙන් අහන්න ඕන, මෙයාගෙන් අහන්න ඕන කියලා.. එතකොට ඔයත්තෙක්ක බෙහෙත් ගන්න ගියේ, එයාගෙ බාප්පොච්චිගෙන් අහලද..? මල විකාර.. අපි නම් ඕවට කියන්නෙ පඩ ෂෝ කියලා.. එයා, ඔයාට කැමති නම්, අනිවා කෙලින් වචනයක් දෙනවා.. එහෙම නෙමෙයි කියන්නෙ, එයාගෙ හිත චංචලයි කියන එක.. මට තේරෙන විදියට ඔයාට ඕක හරියන්නෑ අයියේ.."

අයියගෙ මූණ මහා කලු වලාවකින් වැහිලා ගියා වගෙ, අදුරු වෙලා ගියා.. කරන්න දෙයක් නෑ අප්පා.. ඇත්ත තත්වෙ මේ මැටි මෝලට පහදලා දෙන්න එපැයි.. නැත්නම් මූ තව ටික දවසකින් ඇදගෙන නානකොට අපිටමනේ 'හෙම්බා' හැදෙන්නේ..

"ඇ.. ඇයි බන්ටි එහෙම කියන්නේ..? මං එයාට හුගක් කැමතියිනේ.."

ආදරේ කරන්න ගියාම මහ මිනිස්සුත් පොඩි ඈයො වෙනවා කියන්නෙ ඕකනේ.. හැසිරෙන විදිය නම් අන්තිම සවුත්තුයි.. බලන් ඉන්න අපිටයි ලැජ්ජා හිතෙන්නේ..

"ඔයා, එයාට කැමති වුණාට වැඩක් නෑ අයියේ.. එයා ඔයාට කැමති නැත්නම්.. ආදරේ කරනකොට ඔයාට ආදරේ කරන අයට ආදරේ කරන්න පුරුදු වෙන්න.."

"හපෝ.. එහෙම උනොත් නම් හොදට හිටියි.."

"ඇයි..?"

"ඇයි තමයි.. ඔයත් මාර කතානේ කියන්නේ.. මට ආදරේ කරපු අයට මං ආදරේ කරන්න ගියා නම්, වහ ටිකක් කාලා මැරෙන්නයි වෙන්නේ.."

මොකක්ද යකෝ ඒ කුඩුකේඩු කතාව.. මෙයාගෙ පස්සෙන් ගෑනු ළමයි ඒ තරමට ඇවිල්ලද..? අනික ඉතිං.. මටත් මේ හම්බවුණේ කියලවත් කරගන්න බැරි චාන් එකක්.. සුව සෙවනෙ කතාවෙන් මෙච්චර ලොකු හෑල්ලක් දිහෑරෙයි කියලා කවුද අප්පා හිතුවේ.. 'ඒ මගේ යාලුවෙක්' කියලා කතාව සමාප්ත කරලා, නිමි කරලා, භූමදාන කරා නම් බන්ටි මොනවද දෙයියනේ කරන්නේ.. මගෙ අයියා වෙච්ච මේ කේප්ප වස්සා හරියට, මං හැමදේම අහනකම් හිටිය වගේ මේ ඔක්කෙම දේවල්  මගෙත් එක්ක කියන්නේ..

"දැන් කවුද ඔයාට ආදරේ කලේ..?"

"ඒවා කියන්න දැන් වෙලාව නෙමෙයි බන්ටි.. මේ අම්මයි, තාත්තයි ගෙදර එන වෙලාව.."

"පිස්සුද අයියේ.. අපි දොර වහගෙන කතා කරමු.. මේක සෑහෙන්න නාන්න ඕන ප්‍රශ්නයක්නේ.."

කාමරේ දොර වහලා දාලා මං ඇද උඩින් වාඩි උනා.. 

"නාන්න ඕන කියලා කිව්වේ..?"

"හැම තැනම කුණුනේ.. ඒකයි.. ටිකක් සබන් ගාන්නත් වෙයි.."

"මට ඕවා තේරෙන්නෑ බන්ටි.. මං මේ කියන දේවල් ඔයා කා එක්කවත් කියන්නෑ නේද..?"

"කලින් නම් එහෙමයි.. ඔයාගෙ දෙයක් දැන ගත්තා නම් ගුඩ් ෂෙඩ් එකේ පෝස්ටරයක් උනත් ගහන්න තිබුණා.. ඒත් දැන් එහෙම නෑ.. එහෙම අවිශ්වාසයකුත් තියාගන්නෙපා.."

"ඇයි ඔයා එකපාරටම එහෙම වෙනස් වුණේ..?"

"හේතු තියෙනවා අයියේ.. මං, ඔයා ගැන හිතන් හිටියෙ හරිම අමුතු විදියට.. ඒත් එදා සිද්ධියෙන් ඔයා මගේ පැත්තට කතා කලාම, මට මහා පුදුම හැගීමක් දැනුණා ඔයා ගැන.. ඔයාගෙ කතාව මට විශ්වාස කරන්නත් බැරිවුණා.."

ෂර්ට් එක ගලවලා දාලා බැනියම පිටින්ම අයියා මගේ ඉස්සරහ පුටුවෙ වාඩි උනා..

"ඒක ඉබේම වෙච්ච දෙයක් බන්ටි.. ඇත්තටම මමවත් හිතුවෙ නෑ මගේ හිතේ ඔයා ගැන ඒ තරම් කැක්කුමක් තියෙයි කියලා.. ඒත් අම්මා ඉස්සරහ ඔයා අසරණ උනාම.. මට, ඔයා ගැන ආවෙ පුදුම දුකක්.. ඇත්තමයි බන්ටි.. ඔයා, අම්මගෙත් නොවී, තාත්තගෙත් නොවී මේ ගෙදර හැදුනත් ඒ වෙලාවෙ මං ඔයාගෙ පැත්තට කතා කරනවා.. ඒක මගේ හදවත ඇතුළෙ තියෙන දෙයක්.. ඒක කවදාවත් වෙනස් වෙන්නෑ.. මං ඔයාට අසාධාරණයක් වෙන්න දේනනෙත් නෑ.. ඔයා මගේ මල්ලිනේ.."

අයියා කියවන් යන දේවල් වලින් මගේ හිතට දැනුණෙ පුදුමාකාර සැහැල්ලුවක්.. ඇත්තටම මිනිස්සු මොන වගේද කියලා තේරුම් ගන්න, ඒ ගොල්ලන්ගෙ හදවතට එබිලා බලන්න ඕන.. එතකොට හුගාක් ප්‍රශ්න ඉබේම නිරාකරණය වෙනවා..

"මං ඔයා ගැන හිතන් හිටියට වැඩිය ඔයා හුගාක් හොදයි අයියේ.. මං ගැන ඔහොම හිතනවට තැන්ක්යූ.. දැන් ඉතිං ම කියමුකො බලන්න.. ඔයාට ආදරේ කරන කට්ටිය ගැන.."

කතාව ආයෙත් මං පුරුදු ට්‍රැක් එකට ගත්තා.. නැතුව බෑනේ අප්පා.. අඩු ගානෙ මේ මනුස්සයට කැමති කෙල්ල කවුද කියලවත් දැනගතෑකිනේ..

"ඔයත් දන්න කෙනෙක් බන්ටි.."

"මං දන්න කෙනෙක්..?"

"ඔව්.. ඔයාගෙ ගජ යාලුවෙක්.. ඒත් ම එයාට කැමති නෑ.. එයා මට කොයි තරම් කැමති උනත්.."

"කවුද..?"

ගෑනු පරා‍ණෙ කවුද කියලා කියන්න, අයියා කතාව කියන්න පටන් ගන්නත් කලින්ම මං දන්නවා.. ඒත් ඉතිං මෙයාගෙ කටින්ම අහගන්නෙක ඇගට සනීපයිනේ..

"ඔයා කාටවත්ම කියන්නෑ නේද..?"

අම්මපා මෙන්න මේ වෙලාවට තමයි, මේකා කොයි තරම් හොද උනත්, මට කුඩුකේඩු වැඩ කරන්න හිතෙන්නේ.. මෙච්චර ගැරන්ට් කරලා තියෙද්දිත්, මූ මගේ චරිත සහතිකේමනේ ඉල්ලන්නේ.. කොහෙන් අරගෙන දෙන්නද මන්දා..

"ඔයාට පිස්සුද..? අනික මං කාට කියන්නද..?"

"වෙන කවුරුත් නෙමෙයි බන්ටි.. පල්ලෙහා ගෙදර මොරීන්.."

"මොනවා.. අපේ මේ මොරීන් අක්කා.. ඔයාට ට්‍රයි..?"

කතන්දරේ මේ දැන් ඇහුවා වගේ, පුදුම වෙලා මං ඇහුවා..

"ඔව් බන්ටි.. ඔව්.. ඔයාට මතකද දැනට මාස ගානකට කලින් මං ඔයාට බැන්නා, කෙල්ලො මට සෙට් කරන්න හදනවා කියලා.. අර ඔයත් මගෙත් එක්ක හරි හරියට රණ්ඩු උනේ.. ඔයා මට හොදටම බැන්නේ.."

"ඉතිං..?"

"බලන් ගියාම ඒ හැමදේම කරලා තියෙන්නෙ මොරීන්.. ඔයාගෙ ඒකට ඇති සම්බන්ධයක් නෑ කියලා මං පස්සෙ තේරුම් ගත්තා.. කොහොම උනත් මට මොරීන්ගෙන් ටිකක් කරදරයි.. වෙලාවක මං ඉන්නෙ එයාට හොදවයින් දෙකක් කියන්න.. ගෑනියෙක් උනා නම් ඒ විදියට ඉන්න එපාද නේද..?"

මේ ප්‍රශ්න වලට නම් බන්ටිට දෙන්න තරම් හොද උත්තරයක් තිබුණෙ නෑ.. මොරීන් අක්කා, හතර කොනේම කැත නැතුව ජරාව ගාගෙන කියලා මං තේරුම් ගත්තා.. ඒ කොහොම උනත් කළ යුතු හොදම දේ එයා කරලා තිබ්බා.. ඒ තමයි, එයා අයියට ට්‍රයි කරන එක අයියට අගවලා තියෙන එක.. ඒකම මදිද දෙයියනේ.. නොබැද ඉන්නකොට අහල ගියත්  මැදෑ කියන්නෙ නිකන්ද..? 


"හරි.. ඔය ඔක්කොම පැත්තකින් තියමුකො අයියේ.. ඔයාට තේරෙන විදියට මොරීන් අක්කගෙ තියෙන අඩුපාඩු මොනවද..? එයා, ඔයාට වැඩිය වයසින් වැඩිද..?"

"වයසින් වැඩිද..? ඇයි ඔයා එහෙම ඇහුවේ..? මොරීන් මගේ වයසේ.. අපි දෙන්නා කලින් වයි.එම්.බී.ඒ එකේ ක්ලාසුත් ගියා.."

හුටා.. ඒකත් එහෙමද..? බලන් ගියාම මොරීන් අක්කට ඒ තරම් වයසක් නෑනේ.. මමනේ එයාට පුත්තලම් බූරුවො පහ හයක් විතර වයසයි කියලා හිතුවේ.. 

"එහෙනම් මොකක්ද ප්‍රශ්නේ..?"

"මංදා.. මට තේරෙන්නෑ.. එයා නිකං හරියට තොරම්බල් කරත්තයක් වගේ.. ඒ මදිවට හුගාක් මහතයි.."

ප්‍රශ්නෙ තියේනනෙ ඔය දෙක නම්, අපේ මොරීන් අක්කා දිනුම්නේ අප්පා.. මං හිතන් හිටියෙ මේකට අපේ මොරීන් අක්කව වහ කදුරු වගෙ ඇති කියලනේ.. බලන් ගියාම එච්චරම අවුලක් නෑනේ.. හැබැයි ඉතිං මුගේ මූණ බලාගන්න, මොරීන් අක්කා පෙරලපු බාල්දි ගැන මේකා දැනගෙන හිටියා නම්, ඒ පැත්තට හැරිලා නිදාගන්නෙවත් නෑ.. ඒක මට ඉන්ෂුරන්ස් එකටත් වැඩිය ෂුවර්.. 



 

No comments:

Post a Comment