Wednesday, April 11, 2012

| ඒ ම‍ගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක |






එදා කෑම මේසෙදි මෙච්චර දවසක් එහෙන් මෙහෙන් ඇදි ඇදි තිබ්බ කතාන්දරයක් එළියට ආවා.. මුලින්ම කතාව පටන් ගත්තෙ අම්මා.. හැබැයි ඒ දේ ගෙදර හැමෝම වගේ සාකච්ඡා කරලා තියෙනවා කියලා මට තෙරුණා පස්සේ..

"දැන් බන්ටි මොනවද කරන්න  හිතන් ඉන්නේ..?"


"මුකුත් නෑ අම්මේ.. දෙන දෙයක් කාලා ඔහේ ගෙදරට වෙලා ඉන්නවා.."

මගේ උත්තරෙන් අම්මගෙ මූණ සම්පූර්ණයෙන්ම සවුත්තු උනා..

"මොනවද බන්ටි ඔය කියවන්නේ.. දෙන දෙයක් කාලා කියන්නේ.. ඇයි මෙච්චර දවසක් අපි ඔයා කැමති ඒවා නෙමේද දුන්නේ.. බලන්නකො අනේ මෙයාගෙ කතාවල හැටි විතරක්.. හොදටම සවුත්තු විදියටයි කතා කරන්නේ.."

"හොදයි අම්මේ.. අම්මා කියන්නෙ මට මොනවා කරන්න කියලද..?"

"ඇත්තමයි බන්ටි.. මට ඔයත්තෙක්ක කතා කෙරුවොත් හරියට කේන්ති යනවා.. ඔයාට කතා කරන්න තේරෙන්නෑ.. අනිත් කෙනාගෙ හිත රිද්දලයි කතාව පටන් ගන්නෙම.."

"දැන් මම අම්මට මොනවද කිව්වේ..? අම්මා අහපු දේවල් වලටනේ උත්තර දුන්නේ.. බලන් ගියාම අම්මත් මහ පුදුම කතානේ කියන්නේ.."

අම්මගෙයි, මගෙයි කතාව ටිකෙන් ටික රත්වෙද්දි තමයි ගෙදර අනිත් අය කතාවට සම්බන්ධ උනෙ.. මොන කතාවකට ගියත් අම්මා කේන්ති අරන් ඉන්නෙ ඇයිද කියලා මට හිතාගන්න බැරිවුණා.. ඊගාවට අම්මා කලේ, තාත්තට ඇගිල්ල දික් කරපු එක..

"බලන්න බන්ටි කතා කරන විදිය.. මෙයත් එක්ක පවුලෙ දෙයක් කතා කරන්න පුළුවන්ද..? ඔයා තමයි මේ හැමදේටම වග කියන්න ඕන.. බන්ටි කියන කියන පදේට නැටුවා මිසක අපිට ඕන දේ මෙතන වෙන්නෑනේ.."

"දැන් ඔයාට ඕන දේ මොකක්ද..? අපි එදත් ලොකු පුතත් එක්ක මේ ගැන කතා කලානේ.. බන්ටිගෙන් අපිට තාම ගැටලුවක් නෑනෙ.. ඉස්කෝලෙන් අවුට් වෙලත් ගිහින් තියෙන්නෙ කොයි තරම් ඩිංග කාලයක්ද..?"

"ඔය හැමදේම හරි තාත්තේ.. ඒත් මෙයා මෙහෙම  කිසිම වැඩක් නැතුව එහෙට මෙහෙට පාවෙවී හිටියොත් මං හොදටම දන්නවා මේ නුවර ඉන්න අංක එකේ රස්තියාදුකාරයා අපේ බන්ටි වෙනවා කියලා.."

"ලොකු පුතා කියන දේ හරියටම හරි.. හැබැයි ලොකු පුතේ ඔයාට තේරෙන දේ තාත්තට නොතේරෙන එකයි වැරැද්ද.."

"අනිත්තෙක මෙයාට රටේ නැති යාලුවො.. බැලුවොත් කොයි වෙලාවෙවත් ගෙදර නෑ.. අර බයිසිකල් ලඩියත් අරගෙන හැම වෙලාවෙම රස්තියාදුවේ.."

"අයියෙ මේ.. කට තිබ්බ පලියට මගේ බයිසිකලේට මුකුත් කියන්නෙපා හරිද..? ඔයාගෙ ඕන තරම් පජාත ගමන් ඕකෙන් ගිහින් නැද්ද..? තමන්ගෙ දේවල් කරගන්නකොට මගේ බයිසිකලේ ෆුල් ඕප්ෂන්.. දැන් තමයි ලඩිය වෙලා තියෙන්නේ.. එනවකෝ.. හදිස්සියක් නෙමේ.. මරණෙකටවත් මං ඕක ආයෙ ඔයාට දෙන්නෑ.."

"බන්ටි.. කට වහගෙන ඉන්න.. අපියි මෙතන කතා කරන්නේ.. ඔයා මේ ගෙදර බාලම කෙනා.. අනිත් අය කියන හැමදේම ඔයා අහන්න ඕන.."

මේක මාර අවනඩුවක්නේ.. මුලින් කතාව පටන් ගත්තෙ කොහොමද..? දැන් ඉවර වෙන්නෙ කොහොමද..? බලන් ගියාම මෙයාලා වගේ කැත මිනිස්සු ටිකක් කොහේවත් නෑ.. මෙයාලට හැමදේම රුවිතෙටයි පේන්නේ.. 

"මං බාලම කෙනා කියලා ඔයාලා කියන වැරදි දෙයක් උනත් අහන්න ඕනද..? පුදුම කතානේ ඕගොල්ලො කියන්නේ.."

"බන්ටි.. මාව කේන්ති ගස්සන්න එපා.. අපි කියන විධියට ඔයා වැඩ කරන්නෝන.. ඔයාට ඕන ඕන විදියට නටන්න දෙන්න බෑ.."

මෙච්ච වෙලා මාව යටවෙලා පෑගෙද්දි තාත්තා වචනයක්වත් කතා කෙරුවෙ නෑ.. එයා කෙරුවෙ අම්මගෙ මූණ දිහා බලන් ඉදපු එක.. හරි නම් තාත්තටවත් තේරෙන්න ඕන මෙතන කතාව ගියපු විදිය.. අම්මට කේන්ති යන්න තරමෙ දෙයක් මං කිව්වෙ නෑනේ.. වෙනදට මං ඔයිට වැඩිය දේවලුත් කියන්නේ.. කොහොම හරි මට හිතිච්ච විදියට අම්මගෙ කතාව නැගලා ගියේ අයියා දීපු තල්ලුවෙන්නේ.. එයා පැත්තක ඉදන් ගානට මාව කපලා දැම්මා.. මං හිතන්නෙ උන්දට අද රෑට හොදට නින්ද යයි.. අම්මප මෙහෙමත් කැත සහෝදරයෝ.. අපි මේ උදව් කරනවා කියලා හිතන් ඉන්නෙ මෙයාලටනේ.. උදව් නෙමේ මෙයාලට කරන්නෝන..

"දැන් මෙතන මේ තරම් කෑගහන්න තරම් ඇතිවෙච්ච ප්‍රශ්නෙ මොකක්ද..? අපි කලින් දවසෙ කතා කරගත්තු කිසිම දෙයක් මෙතන කතා වුණේ නෑනේ.."

හුගාක් වෙලා ගියාට පස්සෙ තාත්තා කතාව පටන් ගත්තා.. හැබැයි එතකොට පෙරහැර ගිහින් ඉවරයි.. හරි නම් තාත්තටනේ මේ කතාව පටන් ගත්ත තිබ්බේ.. එයා හැමදේම අම්මට බාර දීලා පැත්තකට උන හන්දනේ මේ තරම් කෑගහන්න සිද්ද උනේ.. ගෙදර තමන්ගෙ පාට් එක මොකක්ද කියලා තාත්තට ඩිංගෙන් ඩිංග අමතක වෙනවවත්ද කියලා මට හිතුණා.. 

"කතා වෙන්නෙ කොහොමද..? දැක්කනේ ඔයාගෙ පුත්ත්‍රරයා කතා කරපු විදිය.. කිසිම වැදගත්කමක් නැති රස්තියාදුකාරයෙක් විදියටනේ හැසිරුනේ.. මෙයා මේ විදියට ගියොත් කොහෙන් නතර වෙයිද කියලා කියන්න කව්ද දන්නේ..? මෙයා මේ තරම් උඩ පනින්නෙ ඔයයි, බේබියි හින්දා.."

කතාව ආයෙත් පුරුදු තැනට එද්දි මං පුටුවෙන් නැගිට්ටා.. දැන් මේකට අර කොහේවත් ඉන්න අහිංසක බේබි නැන්දවත් පටලවගෙන.. තව ටික වෙලාවක් යනකොට කිලෝ මීටර් බාගයක් විතර එහායින් ඉන්න මොරීන් අක්කවත් අල්ල ගනියිද දන්නෑ..

"අර බැංකුවලට දාහක් ගන්න එකේ අපි බන්ටිව එතෙන්ට දාගන්න බලමු.. නේද අම්මි.. එතකොට අපේ බන්ටිගෙ ඔය දග වැඩ නවතියිනේ.."

කතාවට මොනව හරි එකතු කරන්න ඔන් හින්දා ඒ වගේ දෙයක් කිව්ව උනත් ඒකෙ හරි හමන් වැටහීමක් අක්කට තිබුණෙ නෑ.. පාඩුවෙ කෑවයින් නොකෑවයින් මෙතනින් නැගිටින එක හොදයි.. නැත්නම් වෙන්නෙ මරාගන්න.. ඇයි අප්පා මගේ අඩුපාඩු විතරද මේ ගෙදර මිනිස්සුන්ට පේන්නේ.. ඇයි මගේ එක හොදක්වත් නැද්ද..? බන්ටි කරන්නෙම නරක වැඩද..? පුටුවත් පස්සට කරලා දාලා මං නැගිට්ටා..

"ඔයා කොහේ යන්නද ඔය නැගිට්ටේ..?"

"කාමරේට.."

"ඔව් ඉතිං.. ගැලවීම තියෙන එකම තැන එතනනේ.. ඕන වෙලාවක කතාව මගෑරලා කාමරේට පැනලා දුවන්නනේ හදන්නේ.."

"මං පැනලා දිව්වේ නෑ.."

"පැනලා දිව්වෙ නැත්නම් වාඩිවෙන්න.."

"නෑ.. මෙහෙම හොදයි.."

"ඔව් ඉතිං.. කූඩැල්ලා මෙට්ටෙ උඩ තියන්න බෑනෙ.. ඌ බහින්නෙම මඩට.."

"විනීතා.. ඔයා මොනවද ඔය දරුවට කියවන්නේ.. අපි කතා කරන්න හිතන් ඉදපු දේවල් ද ඒවා..?"

මෙච්චර වෙලා කතාවට අඩුවෙන් දායක වෙච්ච තාත්තා කතාව මැද්දට පැන්නා.. හැබැයි ඉතිං මට නම් හිතුණෙ ඒත් පරක්කු වැඩියි කියලා..

"ඔව් ඉතිං.. බන්ටිට මොනවා හරි කිව්වාම ඔයාට හරි අමාරුයිනේ.."

"ඇයි ඔයාට අමාරු නැද්ද..?"

"ඇයි මං ඒක අමාරුවක් කරගන්නේ..?"

ඒ පාර මේ දෙන්නා දෙමහල්ලො මං හින්දා මරාගන්නවා.. හොද වෙලාවට බේබි නැන්දවත් පේන්න නැත්තේ.. නැත්නම් එයාවත් මේකට බලෙන්ම පටල ගන්නවා.. මං දන්නවනේ අම්මගෙ හැටි.. බේබි නැන්දා පලාතෙවත් නැති එක හොදයි..

"ඒක නම් මං දන්නෑ.. බැහැයි ඉතිං දරුවෙකුට දෙයක් කියනකොට ඒක අහන්න පුළුවන් විදියට කියන්න.."

"ඇයි මං දැන් කිව්වෙ අහං ඉන්න බැරි කතාද..? මට බන්ටිට මුකුත් කියන්නත් බැරිද..? ඔයයි, බේබියි විතරද බන්ටිගෙ බාරකාරයෝ..?"

"විනීතා.. ඇයි ඔයා මේ නිකරුනේ කේන්ති අරගන්නේ.. මං එහෙම කතාවක්ද ඔයාට කිව්වේ.. ඇයි ඔයා නිතරම බේබි මෙතෙන්ට ගාව ගන්නේ.. ඒ මනුස්සයා කොහේවත් ඉන්නේ.. නැති ප්‍රශ්න ඇති කරන්නෙපා.. මං ඔයාගෙන් ඉල්ලන්නෙ එච්චරයි.."

"නැති ප්‍රශ්න ඇති කරන්න.."

තාත්තගෙන් එහෙම අහද්දි අම්මගෙ මූණට ආවෙ මහා කැතම කැත හිනාවක්.. ඒ හිනාව මැද්දෙන් කියන ලොකු කේන්තිය මං දැක්කා.. ඒත් අම්මට ඔය තරම් කෙන්ති යන්න තරමෙ දෙයක් මෙතන සිද්ධ වුණේ නෑනෙ..

"ඇති.. විනීතා ඇති.. ඔය කතාව දැන් නවත්තමු.. අපි මේ කතාව පටන් ගත්තෙ හරි වෙලාවෙ නෙමෙයි.."

"ඔව්.. ඒක මටත් පේනවා.."

මං දිහා ඔරවලා බලන ගමන් අම්මා කෑම මේසෙන් නැගිටලා ගියා.. මොන අවනඩුවක්ද දෙයියනේ මේක.. අම්මගෙ පිටිපස්සෙන් තාත්තත් නැගිටලා ය්දදි මං අයියයි, අක්කයි දිහා බැලුවා.. 

"බලනවා බන්ටි.. ඔයා හින්දා අම්මයි, තාත්තයි රණ්ඩු වෙනවා.. මොකක්ද හලෝ තමුසෙගෙ ඔය ජීවිතේ.. හරියට මනුස්සයෙක් වගේ ඉන්නවකෝ.."

අම්මා ගියා විතරයි දැන් අයියා ටකේ හොල්ලන්න ගත්තා.. මං කතා කෙරුවොත් මේ කතාව ඉවර වෙන්නෙ සහෝදරකමුත් නැතිවෙලා කියලා මට තේරුණ හන්දා මං පාඩුවෙ හිටියා..

"දැන් කියනවා බලන්න දවස තිස්සෙ ගහන රස්තියාදු ගැහිල්ලෙ තියෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා.. අඩුගානෙ මනුස්ස ජීවිතයක් ලැබුවා නම් ඒකෙන් රටටවත් වැඩක් කරනවා.. පිං බතා වගේ එහෙට මෙහෙට පාවෙන්නේ.."

හිතේ රිදෙන සියුම්ම තැනට දැනුවත්ව හරි නොදැනුවත්ම හරි අයියා පහර දීලා තිබුණා.. වැදිච්ච පාර සැරකමට මං පුටු ඇන්ද තද කරලා අල්ල ගත්තා.. ඒත් මට කේන්තියක් ආවේ නෑ.. කේන්තියක් ආවා නම් මං මේ පුටුවයි අයියගෙ ඔලුවට අතාරින්නේ..

"මොනවද ලොකු ඔයා මේ කියවන්නේ..? ඇයි බන්ටිට ඔය තරම් කැක කතා කියන්නේ..? එයාගෙ ප්‍රශ්නෙ අම්මයි, තාත්තයි බලාගනියි.. අපි ඒවට මැදිහත්වෙන්න ඕන්නෑ.."

එතන ඉදලා අපි අතරෙ කතාවක් බහක් සිද්ධ වුණේ නෑ.. පිංබතා කියන ගෞරව නාමයත් අරගෙන මං හෙමින් සීරුවෙ පඩිපෙල නැග්ගා.. ඒ නගිනකොට තමයි මං දැක්කෙ බේබි නැන්දා පහල කාමරේ ඔලුවස්සකට හේත්තු වෙලා බලන් ඉන්නවා.. ඒ මූණෙ ඇදිලා තිබ්බ දුක, කලකිරීම, සංතාපය කියන හැගීම් එකින් එක තේරුම් ගන්න මට පුළුවන් උනා..

"බන්ටි මහත්තයෝ.."

බේබි නැන්දගෙ කටහඩ බිදිලා කියලා මට තේරුණා.. එයා මෙතන වෙච්ච මුළු කතාවම අහගෙන ඉන්නැති..

"මගේ රත්තරං මහත්තයො දුක් වෙන්නෙපා.. ඔය හැමදේම හිතින් අතෑරලා ගිහින් නිදාගන්න.."

කාමරේ ළග ඉදලා පඩිපෙළ පහළට ආපු බේබි නැන්දා මගේ ළගට ආවා..

"හිතින් අතාරින්න පුළුවන් දේවලුත් තියෙනවා.. බැරි දේවලුත් තියෙනවා.."

"අනේ ඕවා කල්පනා කරන්නෙපා බන්ටි මහත්තයෝ.."

බේබි නැන්දා පඩිපෙල පහල ඉන්දේදදි මං තවත් පඩි දෙක තුනක් උඩට නැග්ගා.. ඒ නැගලා බහිද්දිත් බේබි නැන්දා පඩිපෙලේ ඇන්ද අල්ලගෙන නතර වෙලා හිටියා..

"ම.. මං පිං බතෙක්ද බේබි නැන්දේ..?"

ගැහුවත් අඩන්නෙ නැති මගේ ඇස් දෙකට පුංචි කදුළු බින්දු දෙකක් එද්දි මං ඇහුවා.. එතකොටයි මං දැක්කෙ බේබි නැන්දට පිටිපස්සෙන් අම්මයි, තාත්තයි කෑම කාමරේට ඇතුල්වෙන දොර ගාව අයියයි, අක්කයි ඉන්න බව.. 

"දෙ.. දෙයියනේ මගේ රත්තරං මහත්තයා මොනවද මේ අහන්නේ..?"

"මුකුත් නෑ බේබි නැන්දේ.. මුකුත් නෑ.. මට අද හරි සන්තෝස දවසක්.. ම.. මං අදයි දැනගත්තෙ මේ ගෙදර අයට මාව බරක් කියලා.. ඒක මට මෙච්චර දවසක් දැනුණෙ නෑ.. ඒ මගෙ හිත අනිත් අයගෙ හිත් වගේ කුණුවෙලා නැති හින්දා.. මේ ගෙදර අයගෙ හිත්වල තිබ්බ කහට මට නොතේරුණේ මං මහා බොළද විදියට මේ ලෝකෙ දැකපු හින්දා වෙන්නැති.. රස්සාවක් කියන දේ මට හොයාගන්න පුළුවන්.. ඒත ඒ දේට මං උනන්දු නොවුණෙ මේ පවුලට මාව බරක් කියලා මං තේරුම් නොගත්ත හින්දා.. ඒත් දැන් මං දන්නවා මෙයාලට මාව බරක් කියලා.."

"දෙ.. දෙයියන්ගෙ නාමෙට ඔය කතාව නවත්තන්න  මහත්තයෝ.."

"නවත්තන්න දෙයක් නෑ බේබි නැන්දේ.. මේ පවුල ඇතුළෙ මං හුගාක් සංතෝසෙන් ජීවත් වුණා.. ඒ සංතෝසෙ නැති කරන්න මට උවමනා නෑ.. මේ හැමෝම කියන්නෙ මට රස්සාවක් හොයාගන්න කියලා නම් මං ඒ දේ කරන්නම්.."

කාමරේට යන්න ඉතිරි පඩියත් නගින ගමන් මං කිව්වා..

"ඔයාට කිසිම බලකිරීමක් නෑ බන්ටි.. ඔයාට කන්න අදින්න දෙන්න තාම මට පුළුවන්.. රස්සාවක් ගැන අපි හිමීට හිතමු.. හදිසියක් නෑ.."

කාමරේට ඇතුල්වෙලා දොර වහගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි තාත්තගෙ කටහඩ ඇහුණා.. ඒත් ඒ කියපු වචන දිගේ මං බිදුවක්වත් හිතන්න ගියේ නෑ.. කොහොම හරි ජීවිතේට මූණ දෙනවා කියලා විතරයි මං හිතාගත්තේ.. බිමට වැටිලා පෑගිලා චුරු වෙලා ඉද්දි මට එල්ලෙන්න පිදුරු ගහක්වත් නොදැම්ම තාත්තගෙ කතාව මට අප්පිරියම උනා.. දැන් මොන දේ කිව්වත් වැඩක් නෑ  තාත්තේ.. බන්ටිගෙ හිත රිදිලා ඉවරයි..

                                            ****************************

පහුවෙනිදා එකොළහ දොළහ වෙනකන්ම මං කාමරෙන් එළියට බැස්සෙ නෑ.. ගෙදර කට්ටිය සැරින් සැරේට ඇවිල්ලා කර්ට්න් එක එහා පැත්තෙ ඉදගෙන මගේ දිහා හොරෙන් බලල යන හැටි මං දැක්කා.. අර ඊයෙ වීරයා වගේ දිගට හරහට කතා කෙරුවෙ.. දැන් එයාලගෙ කතා පෙට්ටියයි, ඒ වීරකමුයි කොහෙද දන්නෑ..

"බන්ටි මහත්තයෝ.. මොනවා හරි කමුකෝ.."

"මට එපා බේබි නැන්දේ.. මට කන්න තරම් ප්‍රියක් නෑ.. අනික ඕවා කාලා මට බඩ යයිද දන්නෑ.."

"දෙයියනේ.. මගේ රත්තරං මහත්තයෝ.. මොනවද මේ කියවන්නේ.. හොද මහත්තයා වගේ ඕවා අමතක කරලා දාන්න.."

"අමතක කරලා දාන්න.. ඔව් බේබි නැන්දෙ.. අපි ඕක අමතක කරලා දාමු.. හැබැයි ඒ වචනෙට විතරයි.. ඔයාවත් මට කියන්න ඇයි මේ මිනිස්සු මට වද දෙන්නෙ කියලා.. මං මොනවද මෙයාලට කරේ..?"

"මහත්තයා මුකුත් කරේ නෑ.. අනේ දෙයියනේ.. මේවා බලන් ඉන්න මමයි පවුකාර.. හ්ග්.. හ්ග්.."

තත්පරයක් ගියේ නෑ බේබි නැන්දා අඩාගෙන කාමරෙන් යන්න ගියා.. බේබි නැන්දගෙ පිටිපස්සෙන් දුවලා යන තරමෙ බොළද සිතුවිල්ලක් හිතට ඇවිල්ලා ආයෙත් ඒක පේන්නැති වෙලාම ගියා.. කිසිම දෙයක් හිතාගන්න බැරි කාලකණ්නියෙක්ගෙ ගති ලක්ෂන පහල කරගෙන මං ඇදටම වෙලා හිටියා..

"ඔ.. ඔයා හරිම කැතයි ලොකූ ඊයෙ බන්ටිට කතා කරපු විදිය.. මොනවද ඒ කියපු කැත වචන.. බන්ටිට කොයි තරම් දුක හිතෙන්න ඇද්ද..?"

තවත් පැයක් විතර ගෙවිලා යද්දි කාමරේට එළියෙන් සුපුරුදු කුටු කුටුව මට ඇහුණා.. අපේ අම්මගෙයි, තාත්තගෙයි ලොකු ළමයයයි, දෙවනි ළමයයි එකතු වෙලා බර කතාවක්.. මාත් ඉතිං නිකං තියෙන කනනේ කියලා ඒ පැත්තට හරව ගත්තා..

"අනේ නිකං ඉන්න.. බන්ටිට කොහෙද දුක හිතෙන්නේ.. මිනිහා ඕක මේ කනින් අහලා අනිත් කනින් එළියට දාවි.. අනික මිනිහා කිසිම දෙයක් ගණන් ගන්න තාලෙ කෙනෙක් නෙමේනේ.."

එහෙනම් අයියා මං ගැන හිතන් ඉන්නෙ එහෙමයි.. ඔව් ඉතිං ඒකෙ ඇති වැරැද්දකුත් නෑ.. ඇයි කොයි වෙලාවෙත් මගේ දුක මං පෝස්ටර් ගහලා පෙන්නන්න ගියේ නෑනේ.. බලන් ගියාම ඒකත් මහ පුදුම විදියට අවාසියිනේ අප්පා..  තමන්ට දැනෙන හැමදේටම හොට්ට පෙරාගෙන අඩලා කෑගහලා තිබ්බ නම් ඒක තමයි ගණන් ගැනීම.. බන්ටිට පේන විදියට ඒක තමයි ලෝක සදාචාරය..

"මම නම් එක් පිළිගන්නෙ නෑ ලොකූ.. බන්ටි ඔය ඔහොම හිටියට එයාගෙ හිත හරිම සංවේදියි.. ඩිංග ඇත්නම් රිද්ද ගන්නවා.. අන්තිමට අපි හැමෝටම පේන්නෙ එයාගෙ හිනාව විතරයි.. ඒත් ඒ හිනාවට යටින් විසිරිලා තියෙන මහා දුක අපි කාටවත් පේන්නෑ.."

"අපි ඔය කතාව නවත්තලා දාමු නංගි.. අපිට ඔයිට වඩා වැදගත් කතන්දරයක් තියෙනවා කතා කරන්න.."

"ඒ මොකක්ද ලොකූ..?"

දෙන්නගෙ කටහඩවල් හුගාක්ම හෙමින් තමයි පාවිච්චි කෙරුණෙ.. බන්ටිටත් වචන ඇහුණෙ අතරින් පතර වගේ.. අර දෙයක් පිළිබදව විමසිල්ලෙන් ඉන්න හන්දා ඒ අඩු වචන වලට ගැළපෙන වචන දාලා මං කතාව හදාගත්තා..

"අපි ටිකක් පහලට යමුද..?"

"නෑ.. නෑ.. මෙතන තමා හොදම තැන.. ඉතිං කියන්න ලොකූ..?"

"මං ඉන්නෙ පිණිමුතුව හම්බවෙන්න.."

"පිණිමුතුව..?"

"ඔව්.. ඇයි ඔයා බයවෙලා වගේ..?"

"න්..නෑ.. ඇ.. ඇයි ඔයා මේ හදිස්සියෙ පිණිමුතු බලන්න යන්නේ..? එයා මෙහේ ආවම ඕන නම් හම්බවෙන්න පුළුවන් නේ.."

"එයා මෙහේ එන දවසට මං ගෙදර නෑනේ.. මෙහෙම බලන් හිටියොත් මට එයාව හම්බවෙන්න වෙන්නෙත් නෑ.. මට තවත් බලන් ඉන්නත් බෑ.."

අයියගෙ කතාවෙන් මගේ හැම කලකිරීමක්ම, දුකක්ම පැත්තකට තල්ලු වෙලා ගිහින් මොකක්දෝ අමුතු ගතියක් මුළු ඇග පුරාම පැතිරිලා ගියා.. එහෙනම් මෙ කැලෑ සතා ගේමට බහින්නයි යන්නේ.. හැබැයි මෑන්ට ඔලුව තියෙනවා.. ඒක හන්දා බහින්න කලින් මුට්ටිය දාලා බලයි.. මුට්ටිය බිදෙන්න පොලු පාරක් වැදුනොත් මිනිහා සද්ද නැතුව ඉදියි.. එහෙම උනේ නැත්නම් කිසිදු අවුලකින් තොරව ෂපාන් එකේ මිනිහා ආදරේ කරන ඔය දවසට කීයක් හරි හම්බ කරගෙන පාඩුවෙ ඉන්න උත්සාහ කරයි.. 

"බලන් ඉන්න බෑ කිව්වේ..?"

අපේ අක්කටත් කිසිම දෙයක් තේරෙන්නෑ.. මේ හාල් දන්ඩා ඔය වටේ කැරකෙන්නෙ සම්පූර්ණයෙන්ම ආදරෙන් මත්වලො කියාල ඇයි තේරුම් නොගන්නේ.. බන්ටිට නම් ඕවා ඒ ටූ ඉසෙඩ් යනකල්ම තේරෙනවා..

"බලන් ඉන්න බෑ කියලා කිව්වෙ බලන් ඉන්න බැරි නිසා.. ඔයාට බැරිද නංගි මට එයාව හම්බවෙන්න අවස්ථාවක් හරිගස්සලා දෙන්න.. මතකනේ යා කලින් දවසක මට පොරොන්දු උනා ඕන උදව්වක් ඒ සම්බන්ධව කරනවා කියලා.."

"හරි.. හරි.. ලොකූ.. මට ඒවා අමතක නෑ.. මං මේ කල්පනා කරේ එලියෙ එයාව හම්බවෙනවට වැඩිය හොදයි මේ ගේ ඇතුළෙ හම්බවෙන එක.. අනික ඔය අපේ බන්ටි ගැන ආරංචි මෙහෙට එනවා වගේ ඊගාවට ඔයා ගැනත් ආරංචි එන්න ගනියි.."

"අපොයි නංගි.. ඒක නම් වෙන්න දෙන්න බෑ.. අම්මා මං ගැන කොහොමද හිතන් ඉන්නේ.. ඒකට එහා ගිහින් මුකුත් කරන්න මට බෑ.. කොටින්ම මගේ කාඩ් එක කුඩු කරගන්න මං කැමති නෑ.. ඔය බන්ටි වගේ ඕන දෙයක් උනාවෙ කියලා හිතන් වැඩ කරන්න මට බෑ.. මං දෙයක් කරනවා නම් ඒකෙ යම්කිසි පිළිවෙලක් තියෙන්න ඕන.." 

මේං බලපල්ලා හොද ළමයි.. ආදරේ කරන්න කලින්ම පස් මහ බැලුම් බලන හැටි.. ඇත්තමයි.. මට නම් අයියා ගැන තියෙන පැහැදීම ඩිංගෙන් ඩිංගම අඩුවෙන්න ගත්තා..

"මං ඔයාට උදව් කරන්නම් ලොකූ.. හැබැයි ඔයා මට පොරොන්දුවක් වෙන්නෝන.."

"ඒ මොකක්ද නංගි..?"

"පිණිමුතු කියන්නෙ හුගක් හොද ගෑණු ළමයෙක්.. එයා කවමදාකවත් පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධකම් පවත්වල නෑ.. පුදුම තරම් අහිංසක ළමයෙක්.. මට තියෙන එකම බය එයාවයි, ඔයාවයි ගැළපේවිද කියලා.."

"ඇයි ඔයා එහෙම කියන්නේ..?"

"අපේ බන්ටි වගේම පිණිමුතු කියන්නෙත් හුගාක් සංවේදී කෙල්ලෙක්.. කොච්චර වීරයා වගේ කතා කරත් ඩිංග ඇත්නම් අඩනවා.. ඒ වගේම යාළුවන්ට ඕනම උදව්වක් කරනවා.. එයා නිතරම නිදහස ප්‍රිය කරන කෙනෙක්.. එයාට ඔය අපේ බන්ටිට වගේසැහැල්ලුවෙන් ඉන්නයි ඕන.. එයාගෙ ඒ සැහැල්ලුවයට බාධා කරනවට පිණිමුතු ඩිංගක්වත් කැමති වෙන එකක් නෑ.."

අක්කා කියාගෙන කියාගෙන ගියපු විදිට පිණිමුතු ළග තිබේබෙ හුගාක්ම මං ආස කරපු ගතිගුණ.. ඇත්තටම මොන දේ නැතිවුණත් ජීවිතයට නිදහස කියන දේ තියෙන්න ඕන.. එහෙම නැති උනොත් ඒ ජීවිතේ මහා පල් ගුහාවක් වෙනවා.. අපට වෙන්නෙ පල් ගද ගගහ මැරි මැරී ජීවත් වෙන්න.. ෂිහ්.. අම්මපා.. ඊට වැඩිය හොදයි විරේකයක් කරගෙන එතන ඉන්න එක..

"හරි නංගි හරි.. මොකක්ද මං වෙන්න ඕන පොරොන්දුව කියලා කියන්නකෝ.. ඔයා දාන ඕන කොන්දේසියක් මං පිළිගන්නම්.. මට කොහොම හරි පිණිමුතුව මුණගස්සලා දෙන්න.."

පිණිමුතුව හම්බවෙන්න අයියට තියෙන තදියම ගැන ආයෙ කියන්න දෙයක් කියන්න තිබුණෙ නෑ.. මගේ කන් දෙකට ඇහිච්ච ඒ වචන  ටිකෙන්ම ඒක හොදට ඔප්පු උනා.. 

"ඔයා කවදාවත් පිණිමුතුට දුකක් දෙන්නෙ නෑ කියලා.."

"අයියෝ.. ඕකද පොරොන්දුව.. සිම්පල්නේ.. මං හිතුවෙ ඔයා කියපු විදියට මහා බරපතල එකක් කියලා.."

"ඇයි මේක බරපතල නැද්ද ලොකූ.. දුකක් දෙන්නෑ කියනෙක ඔය තරම් සැහැල්ලුවට හිතන්නෙපා.. ඒක ඉෂ්ඨ කරන්න හරිම අමාරු දෙයක්.. විශේෂයෙන්ම පිණිමුතු වගේ සංවේදී ගෑනු ළමයෙක් හරි ඉක්මනට දේවල් වලට දුක් වෙනවා.. තරහා යනවා.. ඔයා ඒ හැමදේම මැනේජ් කරන්නෝන.." 

ඇත්තටම මට මගේ අක්කා ගැන ලොකු ආඩම්බරයක් දැනුණා.. එයා උදව්වක් උනත් කරන්න හදන්නෙ ආවට ගියාට නෙමෙයි.. හුගාක් දුරට හිතලා මතලා.. තමන්ගෙ යාලුවා ගැන අක්කා කොයි තරම් ලොකු වැටහීමකින්ද ඉන්නෙ කියලා තේරුම් ගන්න, අක්කා කියපු වචන ටිකම ඇති.. ඒත් මට තිබ්බ ප්‍රශ්නෙ අයියා මේ කතන්දරේ සීරියස් ගනීද නැද්ද කියනෙකයි.. මොකද ඔය මනුස්සයා මේ දැන් කියන වචනෙ තව විනාඩි දහයකින් වෙනස් කරන ජාතියෙ අමුතු සත්වයෙක්.. මේ කතාවටත් ඒක එහෙම බලපෑවොත් පිණිමුතුට වගේම අපේ අක්කටත් සම්මා සම්බුදු සරණයි..

"ඔයා කිව්වනේ පිණිමුතු ගාව තියෙන්නෙ බන්ටි ගාව තියෙන ගතිගුණ කියලා.."

"ඔව්.."

"ඉතිං.. බන්ටිව හැන්ඩ්ල් කරන මට පිණිමුතුව හැන්ඩ්ල් කරන්න බෑ කියලා හිතනවද..? ඒක මං බන්ටිව කන්ට්‍රෝල් කරනවට වැඩිය ලේසියෙන් කරන්නම්.."

අනේ අම්මපා.. මූද.. අපේ පවුලෙ ලොකුම දරුවා.. ඉලෙක්ට්‍රික් උපකරණයක් පාවිච්චි කරන තාලෙට මේ වෙල් කක්කුට්ටා පිණිමුතුව පාවිච්චි කරන්න හදන්නේ..

"ඔයා හිතන්නෙ ලොකූ.. බන්ටි ඔයාට කන්ට්‍රෝල් කියලද..?"

"ඔව්.. ඇයි ඒක ඔයාට අවිශ්වාසද.?"

"ඔව්.. මං ඒ කතාව විශ්වාස කරන්නෑ.. මට හිතෙන විදියට බන්ටි ඔයාට කන්ට්‍රෝල් නෑ.. එයා, ඔයාව ප්‍රතික්ෂේප කරනවා.."

"මාව..? බන්ටි කොහොමද මාව ප්‍රතික්ෂේප කරන්නේ..? මිනිහා ඉන්නෝන මං කියන දේවල් අහගෙනනේ.."

"අනේ ලොකූ.. ඔන්න ඔය ඔයා හිතන විදිය ඩිංගක් වෙනස් කරගන්න.. මම නම් හිතන්නෑ ඔය විදියට ඔයාට බන්ටිව නෙමෙයි පිණිමුතුටවත් ළංවෙන්න පුලුවන් කියලා.."

"ලංවෙන්න පුළුවන්ද බැරිද කියලා මං පෙන්නන්නම්.. ඔයා මට පිණිමුතුව මීට් වෙන්න උදව් දෙන්න.."

"හරි.. මං ඔයාට පොරොන්දු වේච්ච විදියට එයාව මුණ ගස්සන්නම්.. හැබැයි ලොකූ මං ආයෙත් ඔයාගෙන් ඉල්ලන්නෙ මගේ කෙල්ලට දුක්ක දෙන්නෙපා කියලා.."

"ඔයාට මාව ෂුවර් නැද්ද..?"

උඹ නම් පුතේ සත පහකටවත් විශ්වාස කරන්න පුළුවන් තරමෙ එකෙක් නෙමෙයි.. එතනින් එහාට එයාලා දෙන්නා කතා කරපුවා මට වැඩිය ඇහුණෙ නෑ.. සමහර විට එයාලා කටහඩ තව ටිකක් අඩු කරන්න ඇති.. මට ඉතිං ඒකෙ ඇති ප්‍රශ්නයක් නෑ.. උවමනා දේ මං යස අගේට අහගත්තනේ.. 

"බන්ටි මහත්තයෝ.."

ඩිංගක් වෙලා නිදහසේ හිටියා විතරයි.. ඕන් ආයෙත් බේබි නැන්දා කතා කරා.. ඉතිං බලපල්ලකෝ.. හැම වෙලාවෙම මගේ සයිවරීභාවයට හානි වෙන හැටි.. 

"ඇයි බේබි නැන්දේ.. ඔයත් මට වද දෙන්නේ.. අඩු ගානෙ කාමරේ ඇතුලට වෙලාවත් මට ඉන්න බැරිද..?"

"අනේ මං මහත්තයට කරදරයක් කරන්න හිතුවෙ නෑ.. ආන් අරහෙ කෝල් එකක් ඇවිල්ලා.. මහත්තයා යන්න අකමැති නම් මං ගෙදර නෑ කියලා කියන්නම්.. මං ඒත් කියලයි ආවෙ දැන් ඩිංගකට කලින් නම් හිටියා එළියට ගිහිල්ලද දන්නෑ කියලා.."

මගේ වචන වලින් බේබි නැන්දගෙ මූණ මැලවිලාම ගියා..

"කවුද බේබි නැන්දේ..?"

"අර බින්දු කියන ළමයනේ.."

"බින්දුගෙන්..?"

"ඔව්.. එ ළමයගෙන් තමයි.."

බින්දු ඇයි මේ වෙලාවෙ කතා කරන්නේ..? අර කලින් කිව්වත් වගේ නිරෝෂිත් එක්ක නුවර ඇවිල්ලද..? නැත්නම් තාම නාවලපිටියෙද..? මං රිසිවරේ අතට ගත්තා..

"බන්ටි.. මං ආවා.."

බින්දුගෙ කටහඩේ සංතෝසෙ කියන දේ උපරිමේටම තියෙනවා කියනෙක මට දැනුණා.. ඒ කටහඩ අස්සෙන් මට චාමිකගෙ කටහඩත් ඇහුණා.. එහෙනම් බින්දු ලොකු පුතාලහ වෙන්න ඕන ඉන්නේ..

"උඹ ආපු එක ගැන නම් හුගාක් සංතෝසයි.. උඹ කවදද මාව බලන්න එන්නේ..?"

"ම්.. හෙට හවස එන්නම් බන්ටි.."

"ඇයි හෙට හවස වෙනකන් ඉන්නේ.. සරිගමයත් එක්ක හෙට උදේ අපේ ගෙදර වරෙන්.. මේ දවස්වල මට වැඩිය ගෙදරින් එළියට බහින්න බෑ.. මංඩලේ කචල් වෙලා.."

ඒත් මං කියපු දේට එහා පැත්තෙන් කිසිම හා හූවක් ආව නෑ.. යකෝ ඒ පාර මූට මොනවා වෙලාද..? 

"බින්දු.. මං කිව්ව දේ උඹට ඇහුණද..?"

සමහර මිනිස්සුන්ට වාසියට දේවල් ඇහෙන්නෙ නෑනේ.. ඒත් අපේ බින්දුට එහෙම එකක් නෙමේනේ.. 

"ඇහුණා බන්ටි.. ඒත් මට උදේ එන්න වෙන්නෑ.."

"හෙට උදේ එන්න වෙන්නෑ.. ඇයි ඒ..? උඹ කොහේ හරි යනවද..?"

"ඔව් බන්ටි.. මං හෙට උදේ නිරෝෂිත් එක්ක ගාඩ්න් යන්න හිතන් ඉන්නේ.. ඒක ඉවරවෙලා මං ලොකු පුතා හරි සරිගමයා හරි අඩගහගෙන උඹලහ එන්නම්.."

"ඇයි බන්ටි.. උඹ නාවලපිටි ඉදන් ආවෙ නිරෝෂිත් එක්ක නේද..?"

"ඔව් බන්ටි.. ඇයි උඹ එහෙම ඇහුවේ..?"

"නෑ.. නෑ.. නිකං.."

යාලුකම කියලා කියන්නෙ මේකටද බන්ටි.. මං මගෙන්ම අහගත්තා.. ආදරේ කරාට කමක් නෑ.. ඒත් ඒක බෙල්ලෙ එල්ලගෙන කරන්න ඕන නෑ.. එතකොට කරදර වැඩියි.. කොටින්ම මෙච්චර දවසක් නිරෝෂිත් එක්ක ගත කරලා ඉවර වෙලා නුවර ආවහම උනත් බින්දුට ඕන උනේ නෑ මාව  හම්බවෙන්න.. බලන් ගියාම මිනිස්සුන්ගෙ හිත් මොන තරම් ආත්මාර්ථකාමියිද..? මොන තරම් හොද යාලුවෙක් උනත් තමන්ගෙ වැඩේ හරියට කෙරුනට පස්සෙ ඒ යාලුකමට කලින් දීපු වටිනාකමවත් දෙන්න උත්සාහ ගන්නෑ.. ඒකයි සහතික ඇත්ත.. හුගාක් අයට ඒකට චැලේන්ජ් කරන්න පුලුවන් ඇති.. ඒත් ඇත්ත කතාව ඒකයි.. අපිට ඒ ධර්මතාවයෙන් පිට පනින්න බෑ.. 

"උඹ දැන් හෙට කීයටද ගාඩ්න් එකට යන්නේ..?"

"මං නිරෝෂිට එන්න කිව්වෙ දහයට විතර.. එයා හරියට ඒ වෙලාවට එයි.. උඹ දන්නවනේ එයා කවදාවත් කණු තියන ජාතියෙ කෙනෙක් නෙමෙයි කියලා.."

ඔව්.. ඔව්.. මේ බන්ටි හිටියෙ නැත්නම් නිරෝෂි උඹගෙ ජීවිතේටම පරාල සයිස් කණුවක් තියලා සද්ද නැතුව මාරුවෙයි.. උඹට වෙන්නෙ සදාකාලික කාලකණ්නියෙක් වෙන්න.. දැනටමත් නිරෝෂි මොනවා කරන්න හිතන් ඉන්නවද දන්නෑ.. 

"හරි.. උඹ එහෙනම් කරන්න තියෙන හැමදේම ඉවර වෙලා මං බලන්න වරෙන්.. මං එනකල් බලන් ඉන්නම්.."

"බ..න්..ටී.."

මං කිව්ව දේවල් සැර වැඩිද මන්දා.. ඒත් ඉතිං කරන්න දෙයක් නෑ.. මේ බන්ටි කියලා කියන්නෙ හිතෙ එකයි, බඩේ එකයි තියාගනෙ කතාකරන එකෙක් නෙමෙයි කියනෙක හැමෝම දන්නවා..

"බන්ටි උඹ මගෙත් එක්ක තරහෙන්ද කතා කරන්නේ..?"

"නෑ.. නෑ.. උඹත්තෙක්ක මගේ ඇති තරහක් නෑ.. මට උඹට කියන්න දේවල් ඩිංගක් තියෙනවා.. උඹ නිරෝෂි හම්බවෙලා ආවට පස්සෙ මං කියන්න ඕන ටික කියන්නම්.."

"එහෙනම් මං උදේ උඹව හම්බවෙලා, හවස නිරෝෂිව මීට් වෙන්නම්.."

"එපා ඕන්නෑ.. උඹ ඔය විදියට ප්ලෑන් කරගත්තෙ නිරෝෂිත් එක්ක කතා කරගෙන නේ.. ඒවා ඒ විදියටම කරන් පලයං.. අපි පස්සෙ හම්බවෙමු.."

"ඇයි බන්ටි උඹ ඔහොම කතා කරන්නේ.. නිරෝෂියි, මායි හිතන් හිටියෙ හවස ඇවිත් උඹව මීට් වෙන්න.. නිරෝෂිට ඕන කිව්වා උඹත් එක්ක කතා කරන්න.."

"නිරෝෂිට..?"

බින්දුගෙ කතාව මට ඒ තරම් දිරෙව්වෙ නෑ.. හිටපු ගමන් ගාල කඩාගත්තු එළ වැස්සි වගේ නිරෝෂි ඇයි මාව මුණගැහෙන්න එන්නේ..? කොටින්ම මටයි, නිරෝෂිටයි කතාවක් නෑනේ.. ඒකිගෙ කතාව තිබ්බෙ ඇටකිච්චයි, බින්දුයි එක්කනේ.. 

"ඔව්.. මං හිතන විදියට පුංචි අම්මා, උඹ ගැන  හුගක් හොද නිරෝෂි එක්ක කියලා.. මගෙනුත් එයා හරියට විස්තර ඇහුවා උඹේ ජීවිතේ ගැන.."

ඇත්තම කියනවා නම් බින්දුගෙ ඒ කතාවට මගේ හිතේ ඒ තරම් කැමැත්තක් තිබුණෙ නෑ.. කොටින්ම බින්දුත් එක්ක නිරෝෂි යාලුවෙලා ටික කාලයක් උනත් ඒකිට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ අපි ගැන දැනගන්න.. අපේ කොල්ලො සෙට් එකම ඒකි ගැන හිතන් හිටියෙ මාර අලි උනකින් ඉන්න කෙල්ලෙක් විදියට.. නිරෝෂිගෙ හැසිරීම් රටාවෙත් තිබුණෙ ඉහල මධ්‍යම පන්තියෙ කෙල්ලෙක්ගෙ දිරවන්නෙ නැති දර්ශන තමයි.. ඇත්තටම අපේ කොල්ලො සෙට් එකටත් ඒකිව දිරෙව්වෙ නෑ.. ඒකියි, අපියි සම්බන්ධ වෙච්චි එකම පිදුරු ගහ උනේ බින්දු..

"හරි කමක් නෑ.. හවස උඹ නිරෝෂිව එක්ක වරෙන්.. මං ගෙදර ඉන්නවා.."

"උඹලගෙ ගෙදරන් ප්‍රශ්නයක් වෙන එක්ක නැද්ද..?"

"හරි.. මං ඒවා බලාගන්නම්.. උඹලා වරෙන්කෝ.."

මං රිසිවරේ තිබ්බා.. ඒ තිබ්බ උනත් මගේ හිතේ සෑහෙන්න නොසන්සුන් කමක් පිරිලා තිබ්බා.. ඇටකිච්චගෙ ප්‍රශ්නෙ අදම කතා කරලා ඉවරයක් කලොත් නරකද කියලා මං තුන් හතර පාරක්ම කල්පනා කලා.. සාක්ෂිත් එක්කම කතාකරොත් නිරෝෂිට ඇඩ්‍රස් නැති වෙනවා.. ඒත් එතකොට බින්දුට මොකද වෙන්නේ..? බින්දු මවාගෙන ඉන්න හීන ලෝකෙට මොකද වෙන්නේ..? ඇටකිච්චගෙ කතාව බින්දුට නොකියන එකෙන් ලොකුම අවාසිය වෙන්නෙත් බින්දුට.. ඒත් ඒක කියන්නෙ කොහොමද..? කිව්වා උනත් නිරෝෂි හැමදේටම නෑ.. නෑ.. කියයි.. සමහර විට ඒකෙන් මේකෙන් මෙච්චර කාලයක් යස අගේට තිබ්බ බින්දුගෙයි, අපෙයි ෆ්‍රෙන්ඩ්ෂිප් එකත් නැතිවෙලා යයිද මංදා.. අනික මේ ප්‍රශ්නෙ මං සාකච්ඡා කරන්නෙ කාත් එක්කද..? මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒකයි..

පැයක්, පැය එකහමාරක් විතර එක දිගටම කල්පනා කරලා මං ආයෙත් ෆෝන් එක ළගට ආවා.. දැන් ඉතිං කරන්න තියෙන එකම දේ මෙච්චරයි.. මේ කතාවට මීට එහා විකල්පයක් නෑ.. එහෙම විකල්ප තිබුණ නම් මීට කලින්  මට කල්පනා වෙනවා.. 

"චාමික.. මං බන්ටි කතා කරන්නේ.."

"පිස්සු හැදෙනවා ලොකු පුතේ.. අද ජාත්‍යයන්තර දුරකතන දවසද මංදා.. උඹට කියන්නෙ ඇමතුම්ම දහයක් දොළහක් උදේ ඉඉදන්ම ආවනේ.."

"රෝන් නම්බර් වෙන්නැති.."

ලොකු පුතාට අපි ඇරෙන්න වෙන කවුද අප්පේ කතා කරන්න ඉන්නේ.. ඒකයි මම එහෙම කිව්වේ..

"ඔය බලපං ඉතිං.. උදේ පාන්දරම උඹ මගේ මුළු මූඩ් එකම කෑවා.. හරි කමක් නෑ.. මොකක්ද හදිස්සිය ලොකු පුතේ..?"

කන්න ඉතිං මුගේ මූඩ් එකක් තියෙන්න එපැයි.. හැමදාම තිබ්බෙ එකම කුණු මූඩ් එකනේ..

"බින්දු, නිරෝෂිත් එක්ක අපේ ගෙදර එනවා කිව්වා.."

"මං දන්නවා ලොකු පුතේ.. ඌ දැන් විනාඩි පහකට විතර කලින් මට කතා කලා.. මං ඒත් කිව්වා උඹ බන්ටිලහ ගියොත් බන්ටිට ගෙදරින් අවුලක් වේද දන්නෑ කියලා.. ඒ පාර ඌ කිව්වා බන්ටිට අවුලක් නෑ කියලා.. උඹට අවුලක් නැද්ද බන්ටි..?"

"නැත්තෙ නෑ.. තියෙනවා.."

"එහෙනම් ඌටයි, නිරෝෂිටයි එන්න එපා කියමු.."

"ඒකෙ අවුලක් නෑ චාමික.. ගෙදරින් ප්‍රශ්නයක් ආවොත් මං බලාගන්නම්.. ඒත් මට තියෙන ප්‍රශ්නෙ නිරෝෂිගෙ මේ ඩබල් ඇක්ටින් එක බින්දුට කියන්නෙ කොහොමද කියලා.. අන්තිමට චාමික, මොනවා හරි ප්‍රශ්නයක් වෙලා බින්දු අනාථ උනොත් මේවා ඔක්කොම දැනගෙන ඉදලා ඌට කිව්වෙ නැති එකේ වගකීම අපි හැමෝටම ගන්න වෙනවා.."

"උඹ ඔහොම කිව්වාම මාව හීතල වෙලා යනවා ලොකු පුතේ.. ඇයි උඹ මාව ඔය තරම් බය කරන්නේ..?"

"පිස්සු කියවන්නැතුව ඉදපං චාමික.. මේ ප්‍රශ්නෙ බරපතලකම උඹට තේරෙන්නෙ නැද්ද..?"

"තේරෙනවා බන්ටි තේරෙනවා.. ඒත් අපි ඇටකි්චචට ගහලා මේ ප්‍රශ්නෙ ඉවර කලා නේද..? දැන් ඌට ආයෙ විහිලුවටවත් නිරෝෂිට ලංවෙන්න බෑනෙ.. අර ඌට සප් එක දීපු කෙල්ලත් දැන් ඌත් එක්ක ඔරොප්පුනේ.. කොටින්ම කියනවා නම් ඇටකිච්චා දැන් අලුත් කොල්ලෙක් එක්කත් යාලුයිනේ.. ඉතිං ඌ මේ කතන්දරෙන් කැපිලා ඉවරයි.."

"ඒත් තාම මේ කතාවෙ නිරෝෂි ඉන්නවා.."

"උඹ කියන්නෙ නිරෝෂිවත් අයින් කරලාදාන්න කියලද..? එතකොට අපේ බින්දුගෙ ආදරේට මොකද වෙන්නෙ ලොකු පුතේ..?"

"දැන් ඔය තත්වෙන්ම කතාව යන්න දුන්නොත් බින්දුගෙ ආදරේට මොකද වෙන්නෙ කියලා උඹ මට කියනවද..?"

"ඒක නම් ප්‍රශ්නයක් තමයි.. නිරෝෂි කියන්නෙ කවුද කියලා දැනගන්නැතුව අපේ බින්දුවා ජීවිත කාලමෙ රැවටිලා ඉදියි.."

"මාත් මේ තරම කට කැඩෙනකල් කියන්නෙ ඒක තමයි.. අපිට බලන් ඉන්න බෑ චාමික.. බලන් ඉන්න වෙලාවකුත් නෑ.. මොනවම හරි කරන්න වෙනවා.."

"මොනවම හරි කිව්වට අපි මොනවද කරන්නෙ ලොකු පුතේ.. මම නම් නහය ගාවටම එරිලයි ඉන්නේ.. මට කිසිම අදහසක් නෑ.."

"උඹේ අදහසක් එපා.. බින්දු අද දහයට නිරෝෂිත් එක්ක ගාඩ්න් යනවා.. ඒක උඹ දන්නවද..?"

"ඔව්.. ඌ මගෙත් එක්ක කිව්වා.."

"හරි.. උඹ එහෙනම් උදේ දහය වෙද්දි අමිලය එක්ක ගාඩ්න් එක ළගට වරෙන්.. මං එතන ඉන්නම්.."

"උඹ මොනවද කරන්න හදන්නේ..?"

"කරන්න ඕන මොනවද කියලා මං තීරණේ කරලා ඉවරයි.. වරදින්නෙ නැතුව වෙලාවට එතන ඉදපං.."

මං ෆෝන් එක තිබ්බා.. එහෙනම් ඒකත් හරි.. දැන් තියෙන්නෙ ඊළග කොටස පටන් ගන්න.. මං රිසිවරේ ආයෙත් අතට ගත්තා.. ඕන කරන නම්බරේ ඩයල් කරාම හුග වෙලාවක් යනකල් කවුරුවත් ෆෝන් එක ඉස්සුවෙ නෑ.. ඒ කියන්නෙ මෙයා ගෙදර නැද්ද..? බන්ටි පුතේ.. එහෙම උනොත් නම වැඩේ අල වෙනවා.. කතන්දරේ සියලු සාර්ථකත්වය රැදිලා තියෙන්නෙ මෙයාගෙ කතාව මත.. දෙපාරක් තුන් පාරක් ඩයල් කරත් එහා පැත්තෙ රින්ග්ස් ගියා විතරයි.. ඒ කියන්නෙ මට හම්බවෙලා තියෙන්නෙ ඇත්ත නම්බර් එකක් නෙමෙයිද..? මට දීලා තියෙන්නෙ මාව අන්දන්නවත් නොම්මරයක්ද..? එහෙම උනොත් ලොකු පුතයි, අමිලයි ඇවිල්ලත් වැඩක් නැති වෙනවා.. කෝකටත් මං ලාස්ට් වන් කියලා තව පාරක් ඩයල් කරා.. ඔන්න දෙයියනේ කියලා ඒ පාර නම් හරි වගේ.. එපා පැත්තෙන් රිසිවර් එක උස්සන සද්දෙ මට ඇහුණා..

"හෙලෝ.."

"මට නෙත්මිට කතා කරන්න පුළුවන්ද..?"

"නෙත්මි තමයි මේ කතා කරන්නේ.. කවුද මේ..?"

"මං රන්දික කියලා කෙනෙක්.. අදුනනවද දන්නෑ.."

"ආ..නේ සොරි රන්දික.. මට ඔයාගෙ කටහඩ අදුනගන්න බැරිවුණා.."

වෙන්න ඇති.. මොකෝ මීට කලින් මායි නෙත්මියි කතා කරලා නෑනේ.. ඔන්න අදින් පස්සෙ නම් අවුලක් නෑ..

"නෙත්මි.. මං පොඩි වැඩකට කතා කලේ.."

"හදිසි වැඩක් නම් මං අහන් ඉන්නම්.. නැත්තම් මං පස්සෙ ඔයාට ගන්නම්.. මොකද මං තාම බාත් ටවල් එක පිටින් ඉන්නේ.. කෝල් එකේ සද්දෙට බාත්රූම් එකේ ඉදලයි ආවේ.."

කෙල්ල මට ගත්තොත් මාර වැඩේ තමයි වේනනේ.. අපේ ගෙදර නම්බර් එක කෙල්ලට කට පාඩම් ඇති.. කෙල්ලට මං නම්බර් එක දුන්නු ගමන් කෙල්ල ඒක අදුන ගන්නවා.. ආයෙ ඒකෙ දෙක්ක නෑ.. ඒක හන්දා නාලා නෙමේ ඇදුම් නැතුව හිටියත් කමක් නෑ.. මං කතාව කියනවා..

"මේක හදිසි වැඩක් තමා නෙත්මි.."

"හරි ඔයා කියන්න.. මං අහගෙන ඉන්නම්.."

"ඔයා නලින්ද වෙනුවෙන් අර ගර්ල් ඉස්සරහා ගැරන්ට් කරාට හොදටම පසුතැවුනා නේද..?"

"ඔව්.. මං ඒ කතාව ඔයාට කිව්වනේ රන්දික.."

"ඔව්.. ඔයා මට කිව්වා.. හැබැයි නෙත්මි දැන් නම් ඔයාට එහෙම පසුතැවීමක් වෙන්න ඕන නෑ.."

"ඒ කිව්වේ..?"

"ඔයා කිව්වනේ ඒ ගර්ල් හරිම අහිංකසයි, පුදුම තරම් පව්.. අරකයි, මේකයි කියලා.. ඒ සේරම බොරු නෙත්මි.. ඒ ගර්ල්ට, නලින්ද ඇරුණහම තව බෝයි කෙනෙක් ඉන්නවා.."

"මොනවා..?"

"ඔව් නෙත්මි.. ඔයාට මතකද මම මුලින්ම ඔයා එක්ක රණ්ඩු වුණේ.. ඒ ගර්ල් එක්ක යාලුවෙලා හිටිය මගේ යාලුවා වෙනුවෙන්.. ඒ යාලුවගෙ ආදරේ වෙනුවෙන්.."

"දෙ.. දෙයියනේ.. ඔයා මොනවද මේ කියන්නේ.. මං මෙච්චර දවසක් හිතන් හිටියෙ ඔයා නලින්දගෙ ගර්ල් එක්ක යාලුවෙන්නයි මේ හැමදේම කරන්නෙ කියලා.. මං ඒත් පස්සෙ හුගක් සංතෝස උනා නලින්ද ජරා මිනිහෙක් කියලා තේරුම් ගත්තාම.. එතකොට ඔයාගෙ අදහස ඉෂ්ඨ වෙනවනේ කියලා.."

"ඔයා හුගක් පටලගෙන නෙත්මි.. මගේ එහෙම අදහසක් තිබුණෙ නෑ.. මට  ඕන උනේ මගේ යාලුවගෙ ආදරේ රැක ගන්න.. මං නලින්දව ට්‍රැක් එකෙන් අයින් කලෙත් ඒකයි.."

"දැන් මොනවද රන්දික ඔයා මට කියන්න හදන්නේ..?"

"මං කියපු දේ ඔයාට ඔප්පු කරලා පෙන්නන්න.."

"ඒ කිව්වේ..?"

නලින්දගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්, මගේ යාලුවත් එක්ක යාලුයි කියලා.. ඒ එෆෙයාර් එක තාමත් තියෙනවා කියලා.. 

"ඔයා මොනවද මේ කියන්නෙ රන්දික..?"

"මං කියන්නෙ ඇත්ත.. ඔයාට ඕනෙ නම් මං ඒ කතාව ඔප්පු කරලා පෙන්නන්නම්.."

"ඔප්පු කරලා.. ඒ කියන්නෙ ඔයා ගාව එයාලගෙ ෆොටෝස්වත් තියෙනවද..?"

"නෑ නෙත්මි.. මං මේ ඔප්පු කරන්න හදන්නෙ ඔයාගෙ ඇස් දෙකට.. මොකද කියන්නෙ තව පැයකින් ගාඩ්න් එකට එන්න පුළුවන්ද..?"

"ගාඩ්න් එකට කිව්වෙ පේරාදෙණියටද..?"

"ඔව්.. ඇයි නිකං ඔයාට බයයි, බයයි වගේ හිතුණද..?"

"අපෝ මං ඔයාට නම් බය නෑ.."

"මට බය නැති උනාට කමක් නෑ.. මොකද කියන්නෙ නෙත්මි ඔයා එනවද..?"

එතන ඉදලා තත්පර දහයක දොළහක කාලයක් සද්ද නැතිව ගෙවිලා ගියා.. මෙච්චර කාලයක් ගන්නෙ නෙත්මි එන්න බෑ කියලවත් කියන්නද..? එහෙම උනොත් බන්ටිට වෙන්නෙ ගගක හරි මූදක හරි පනින්න..

"ම්.. හරි මං එන්නම්.."

හිතට සැනසීමක් එක් කරපු ඒ වචන ටික නෙත්මි ගෙන් පිට උනාට පස්සෙ මං බොහොම සැහැල්ලුවෙන් ෆෝන් එක තිබ්බා..  



      
                                                                                       

No comments:

Post a Comment