Thursday, April 12, 2012

| ඒ ම‍ගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක |






නෙත්මි ආව එකෙන් හිතන තරම් අවුලක් වුණේ නැතත්, මං කාමරෙන් එළියටවත් බැස්සෙ නෑ.. ඒත් කොයිම වෙලාවක හරි මට ඇත්තට මූණ දෙන්න වෙනවා කියනෙක මං දැනන් හිටියා.. ඒ වෙලාවෙදි නෙත්මි මං ගැන මොනවා හිතයිද කියන ප්‍රශ්නෙත් මගේ ඔලුවෙ තිබුණා..


තව ටිකක් හවස් වෙලා නෙත්මිට කෝල් එකක් දෙන්න ඔන් කියන අදහස මගේ ඔලුවට ආවෙ වත්ත පල්ලෙහා බංකුව ළගට යන අතරෙ.. එයත්තෙක්ක එකතුවෙලා ශලනිව හොයාගන්නවා කියලා මං හිතාගත්තා.. ඊට පස්සෙ හෙමින් සීරුවෙ මං කවුද කියනෙක නෝමල් එකේ එයාට කියලා දානවා.. එතකොට කතාව අහවරනේ..

"අර නැට්ටිච්චි අදත් ආවා නේද..?"

මගේ සුන්දර කල්පනා ලෝකෙ විනාස කරලා දැම්මෙ මොකාද කියලා බැලුවාමයි මං දැක්කෙ මොරීන් අක්කව.. එයා අපේ ලොකු ගේට්ටු පලුවක් අල්ලගෙන, කක්ක බර හැදිච්ච පුංචි එකා වගේ මං දිහා බලන් හිටියා.. එයාගෙ මුණෙ තිබ්බ පෙනුම, ෆොටෝ එකකට ගන්න පුළුවන් උනා නම් මං ඒක අරගෙන ප්‍රසිද්ධ වැසිකිලියක යන තැන ගහලා තියනවා..

"මොන නැට්ටක්ද මොරීන් අක්කේ..?"

"ඇයි අර රූප සුන්දරී.. දැන් රසික නැත් වෙලාවටත් මෙහේ එනව වගේ.. මට නම් හිතෙන්නෙ, රසිකව අල්ලගෙන ඉවර හන්දා ඉතිරි සනුහරේ දැලේ දාගන්නයි ඔය හදන්නේ.. අ..නේ.. ඇත්තට මට මේවා පේනකොට ඇස් දෙක උගුල්ලගන්න හිතෙනවා.."

"අම්මපා.."

"බන්ටි මල්ලි මේ.. මාව විහිලුවකට අරන්.. හොදට ඉන්න මොරීන්ව යකෙක් කරගන්න හදන්නෙපා හරිද..? මතක තියාගන්න මමත් හිතක් පපුවක් තියෙන ගෑනියෙක්.."

ඒක නම් ඉතිං පොට්ටයෙකුට ඇරෙන්න ඕන හාල් දන්ඩෙකුට පේනවනේ.. ඇයි හත්දෙයියනේ.. කොහෙන් කැපුවත් කිලෝ එකයිනේ.. කටු කියලා නාමයක් නෑ.. දෙයියම්පා මස්ම විතරයි.. තනිකරම බ්‍රොයිලර් කුකුල් නාම්බෙක් වගේ..

"ඔයා දැනගන්න.. මට ඔයාගෙ අයියා නැති උනාට තව  ඕන තරම් හැන්ඩ්සම් කොල්ලො ඉන්නවා.. ඇත්තමයි මං ඔයාගෙ අයියට පේන්න කොල්ලො තුන් දෙනෙක් එක්කම යාලුවෙනවා.. මට හිතෙනවා එතකොට රසිකට ඇඩෙයි කියලා.."

හීනෙන්ද හත්තිලව්වේ.. අපේ එකා වගේ ගල් කාෂ්ඨක එකෙක් විහිලුවකටවත් අඩයිද..? මෙයා මේ විකාරෙන් කියවනවා..

"අයියට ඇඩෙන එක කෙසේ වෙතත් ඔයාට නම් ඇදනටම ඇඩිලා වගේ මොරීන් අක්කේ.. ආ.. ඇයි මේ.. අද ඇදෙන් බැස්සෙ විට්ටම පැත්තෙන්ද..? වලිගෙ පාගගෙන වගේ මගෙත් එක්ක රණ්ඩු කරන්න හදන්නේ..?"

"රණ්ඩු කරන්න හදන්නේ..? මේ හැමදේකම මුල ඔයා හින්දනේ.. ඔයා තමයි මේ හැමදේටම වගකියන්න ඕන.."

"මම.. මේ.. මම..?"

"ඔව් ඔයා තමයි.. මලක් වගේ සියුමැලි විදියට තිබ්බ මගේ හිතට, ඔයාගෙ අයියා ගැන අදහස් බලෙන් ඔබ්බවලා මාව ගල් ගෙඩියක් කරේ ඔයා නෙමෙයිද..? අඩු ගානෙ ඔයාට යුතුකමක් තිබුණා ඔය පිණිමුතු කියන රූප සුන්දරීව ගෙදරට වද්ද නොගෙන ඉන්න.. අවුරුදු විස්සක් ආශ්‍රය කරපු මොරීන් මේ ළග ඉද්දි, ඔයාට නෑනා කරගන්න හිතුණෙ කොහේවත් ඉන්න උඩැක්කියක්ද..?"

මොරීන් අක්කා පිස්සුවෙන් කියවනවා.. මං මේ කනෙන් අහලා අර කනෙන් ඒ හැමදේම පිට කරලා දැම්මා.. ඒත් එහෙම පිට කරන්න බැරි දෙයකුත් එයාගෙ කටින් පිට වෙලා තිබුණා.. මං වැඩියෙන්ම අවුල් වුණේ ඒකයි..

"මොකක්ද ඔයා කියපු අර සුන්දරීගෙ නම..?"

"ඇයි ඔයාට කටපාඩම් කරන්නද..?"

අද නම් මොරීන් අක්කා ඇවිල්ලා තියෙන්නෙ මගෙත් එක්ක වලියටමයි කියලා මට හිතුණා.. ඒත් ඉතිං මෙච්චර තරහක්..? මට හිතාගන්න බැරිවුණා.. අනික මොරීන් අක්කා රෑකට හොරෙන් ඉනිං උස්සගෙන මේ වත්තට පැන්නොත් මිසක, මෙහෙම ඕපන් ඩිරෙක්ට් එන එක මට අදහගන්නත් බෑ..

"කට පාඩම් කරන්න හරි කියන්නකෝ.."

"සුන්දරීගෙ නම තමයි පිණිමුතු.. මට ඕවා හොයා ගන්නෙක වැඩක් නෙමේ.. මං ඔයිට වඩා දේවලුත් හොයාගෙන තියෙනවා.."

"ඔයා කියන්නෙ මේ අද උදේ අපේ ගෙදර ආපු ළමයගෙ නම පිණිමුතු කියලද..?"

"ඇයි ඔයා හදන්නෙ ඒකත් නෑ කියන්නද..? බන්ටි මල්ලි මේ.. මාව විහිලුවකට ගන්නෙපා.. ප්‍රේමය වෙනුවෙන් මට මරාගෙන මැරෙන්න උනත් පුළුවන්.. තේරුණාද..?"

යකෝ.. මෙයාගෙ කතාව.. එල්.ටී.ටී.ඊ කාරයෙක් වගේනේ.. අනිත් එකාව මරාගෙන මැරෙන්නම තමා උවමනාව..

"ඔයාට මැරෙන්න බැරි නම් ඕන එකක් කරගන්න.. හැබැයි ඊට කලින් ඔය පටලැවිල්ල දිගෑරගන්න.. මොකද ඒ ගෑනු ළමයගෙ නම නෙත්මි මිසක පිණීමුතු නෙමෙයි.. පිණිමුතු කියන්නෙ වෙන කෙනෙක්.."

"බොරු කියන්නෙපා බන්ටි මල්ලි.. ඕවා සහගහනවා.. ඔය කෙල්ලගෙ නම පිණිමුතු.. මං දන්නවා, ඔයාගෙ අක්කා සමුදිනිත් ඔය සුන්දරීට කැමතියි කියලා.."

"මොරීන් අක්කෙ මේ..? මටත් දැන් තද වෙනවා හරිද..? මොන අවමගුලක්ද මේ..? පිණීමුතු කියලා කියන්නෙ සුදුහුම්පල පැත්තෙ ඉන්න ළමයෙක්.. අනික නෙත්මි කියන්නෙ ඔයා ඔය හිතනවට වැඩිය හොද ළමයෙක්.. එයාගෙ  හිතේ අපේ අයියා ගැන කිසිම අදහසක් නෑ.. මං ඒක හොදටම දන්නවා.."

බලන් ඉදල බැරිම තැන මං ටිකක් සැරෙන් කතා කලා.. නැත්තං බෑනේ අප්පා.. මොරීන් අක්කා මගේ ඔලුව උඩටම නගිනවා. අනික නෙත්මියි, පිණිමුතුයි පටලවගෙන..

"ඇ.. ඇයි බ.. බන්ටි මල්ලි ඔයා ඔය තරම් කැත විදියට මට කතා කරන්නේ..? මොකක්ද මං ඔයාට කරපු වැරැද්ද..?"

"කිසිම වැරැද්දක් කලේ නෑ මොරින් අක්කේ.. ඔයාට, මං දවස් කීයක් නම් කිව්වද අයියා ගැන තියෙන අදහස අත් ඇරගන්න කියලා.. ඒවා කවදාවත් සිද්ධ වෙන දේවල් නෙමෙයි.."

"ප.. පපුව හෑරිලා යන කතා කියන්නෙපා මල්ලි.. ඔයාට මං ගැන දුකක් නැද්ද..? මං මගේ කුළුදුල් ප්‍රේමය පුදු කලේ රසික වෙනුවෙන්.. ඔයා ඒක හොදටම දන්නවනේ.."

"ඔයා එක්ක කතා කරලා වැඩක් නෑ මොරීන් අක්කේ.. මගේ ඔලුවත් රිදෙනවා.. ඔය ප්‍රේම ගැන කතා කරලා.."

"කමක් නෑ.. මං යන්නම් බන්ටි.. ඔයාටත් කවද හරි මේ වේදනාව දැනෙයි.. අන්න එදාට ඔයාට, මොරීන් අක්කව මතක් වෙයි.. මං කොයි තරම් දුක් වින්දද කියලා හිතෙයි.."

නපුරු මන්තරකාරියක්, කුමාරයට සාප කරා වගෙ, මොරීන් අක්කා මටත් සාප කරලා යන්න ගියා.. දැන් ඉතිං මුලු හවස් වරුවම මූසල වෙනවා කියනෙක ආයෙ හෝදන්න දෙයක් නැති හන්දා බංකුවෙන් නැගිටලා මං ගෙට ආවා..

                                            ****************************

නිරෝෂි මගෙන් ඉල්ලපු උදව්ව ඉෂ්ඨ කරන්න නම් පුළුවන් තරම් ඉක්මනට නෙත්මිව හම්බවෙන්න ඕන කියලා මං දැනන් හිටියා.. මොකද තව ඩිංගක් හරි පරක්කු වෙනවා කියන්නෙ, ඒ ප්‍රශ්නෙ ආයෙ හදන්න බැරි තරම් ඈතට ඇදිලා යනවා කියනෙකයි කියලා මට හිතුණා..

"හෙලෝ.."

නෙත්මිගෙ නම්බර් එක ඩයල් කරලා තත්පරයක්වත් ගියේ නෑ.. එහා පැත්තෙන් රිසිවර් එක ඉස්සුවා..

"මට නෙත්මිට කතා කරන්න පුළුවන්ද..?"

"ආ..නේ.. රන්දික නේද..? බලන්න.. ඔයාට ෆෝන් කරන්නවත් නම්බර් එකක් නෑනේ.. මං අද ඔයාගෙ අම්මව බලන්න ගියා.."

මගේ කටහඩ ඇහුණු ගමන්ම නෙත්මි මාව අදුන ගත්තා.. කෙල්ලට එහෙනම් මාව සෑහෙන දුරට මතකයි වගේ.. එත් 'අම්මව බලන්න ගියා' කියලා එයා කිව්වම මගේ හිත ටික්ක අවුල් උනා.. බොරුවට කිව්ව දේ දැන් නම් දුර දිග යනවා වැඩියි කියලා මට හිතුණා.. ඒත් මට කරන්න දෙයක් තිබ්බෙ නෑ..

"ඇත්තද..? තෑන්ක්ස් නෙත්මි.."

"තෑන්ක්ස් කරලා මදි.. මට මොනාව හරි අරන් ඕන.."

කෙල්ල හදන්නෙ මගෙත් එක්ක හුරතල් වෙන්න කියලා මට තෙරුණා.. ඒ වචනවලින් මගේ හිතට දැනුණු අමුතුම මිහිරියාව අතරෙ මගේ හිත අතරමං වුණා.. කෙල්ලගෙ පුංචි වචනෙකට මේ තරම් දෙයක් කරන්න පුළුවන්ද..? මට හිතාගන්න බැරිවුණා.. ඒක හරියට සුරංගනා හීනයක් වගේ.. 

"මොනවා හරි කිව්වේ..?"

"ම්.. මොනව හරි දෙයක්.."

"හරි.. මං අරන් දෙන්නම්කෝ.. ඔයා දන්නවද මං ඔයාට කතා කලේ ඇයි කියලා..?"

"ඔව්.."

පිස්සු හැදෙනවා.. නෙත්මි කොහොමද දන්නෙ මං එයාට කතා කලේ ඇයි කියලා.. ෂුවර් එකට එයා හදන්නෙ විහිලුවක් කරන්න.. 

"හා.. කියන්න බලන්න.."

"හරියට කිව්වොත් මට මොනවද දෙන්නේ..?"

ඉල්ලන ඕන දෙයක් දෙන්න බැරියෑ අප්පා.. ඒත් කොහොමද ඒක කටක් ඇරලා කියන්නේ.. අනික ටෙලිෆෝන් එකෙන් දේවල් දෙන්න පුළුවන්ද..?

"අර මං කලින් දෙනවා කිව්ව වගේ තව එකක් දනේනම්.. එතකොට හරිනේ.."

"ම්.. එහෙනම් ඔයා මට කතා කලේ ඇයිද කියලා කියන්නද..?"

"හා.."

"ශලනිව හම්බවෙන්න නේද..?"

මට නිකං කතා කරගන්නත් වචන නැතිවුණා වගේ.. දෙයියනේ.. නෙත්මිට කොහොමද මගේ හිත කියවන්න පුළුවන් උනේ..

"ඔ.. ඔයා කොහොමද දැනගත්තේ..?"

"මට ඉව තියෙනවා රන්දික.. ඔයා හිතන ඕන දෙයක් මට යාංතමට දැනෙනවා.. මං හිතන්නෙ තව ඉස්සරහට ඒක වැඩිවෙයි.."

"තව ඉස්සරහට කිව්වේ..?"

"ඒක එතකොට බලමුකෝ.. ඉතිං මට කියන්නකෝ, ඇයි ශලනිව හම්බවෙන්න යන්නෙ කියලා.."

"නිරෝෂියි, එයාවයි එකට මුණගස්සවන්න.. නිරෝෂි මගෙන් ඉල්ලුවා එයාට ශලනිව මීට් කරවන්න කියලා.."

"වෙන දේකට නෙමෙයිනේ රන්දික..?"

"වෙන දේකට කියලා කිව්වේ..?"

ඇත්තටම මේ කෙල්ල කියන දේවල්, හරිම අමුතුයි.. ඒත් ඒ අමුත්ත ඇතුළෙ අමුතු මිහිරියාවක් තියෙනවා කියලා මගේ හිතට තේරුණා..

"ශලනිව යාලු කරගන්න.."

නෙත්මි ෆෝන් එක තිබ්බා.. මම මේ හැම දෙයක්ම කරන්නේ, ශලනිව යාලු කරගන්න කියලා නෙත්මි හිතන්නෙ ඇයි..? එයා ඇයි මට ඒ වගේ දේවල් කියන්නේ..? ඇත්තටම මට ඕන ශලනිව යාලු කරගන්නද..? ඔය වගේ ප්‍රශ්න හැට හුටාමාරක් විතර හතර වටේ කැරකෙද්දි මගෙ ඔලුවත්තෙක්ක කැරකෙන්න ගත්තා.. ඇත්තටම ශලනිව යාලු කරගන්න උනක් මට නෑ.. අනික මං එයාව හරියකට දන්නෙවත් නෑ..

"අයියෝ.. කොහෙද බන්ටි ඔයා ගිහින් හිටියේ..?"

ෆෝන් එක තියාල විනාඩියක්වත් ගියේ නෑ.. මෙන්න අක්කා පිටිපස්සෙන් මතුවුණා..

"කොහේවත් නෑ.. මෙහෙම තමයි හිටියේ.."

"අනේ.. මගේ යාලුවෙකුට ඔයාව අදුන්වලා දෙන්න හැම තැනකම හෙව්වා.. කෝ ඉතිං ඔයා හිටියෙ නෑනෙ.."

"ආ..පෝ.. ගෑනු යාලුවෙක් නේද..?"

"ඔ..ව්.."

"කොල්ලෙක් නම් කමක් නෑ.. ඔය කෙල්ලො කියන්නෙ හරිම වාත කේස්.. අන්තිමට මගේ කරේ එල්ලෙන්න හදයි.."

"ඔයා හරිම නරකයි බන්ටි.. එයා ඒ වගේ කෙනෙක් නෙමෙයි.. හරිම ඩීසන්ට් ළමයෙක්.. අනික මං හිතන්නෑ එයා ඔයාගෙ කාරේ එල්ලෙයි කියලා.."

"ඒ ඇයි අක්කේ..?"

"එයාගෙ හිතේ කෙනෙක් ඉන්නවා බන්ටි.."

ඒකත් එහෙමද..? අම්මපා කවුද දන්නෑ ඒ හිතේ ඉන්නේ.. අහන්න ආසයි අපිටත් කියන්න.. ඒත් මං කිව්වෙ වෙනිං එකක්.. තවත් නෙත්මි ගැන කතා කරන්න ගියොත් බන්ටිව අහුවෙනවා..

"කෙනෙක් බැරිනම් දෙන්නෙක් හිටපුවාවේ.. ඒක නෙමෙයි අක්කේ.. මොකද අම්මා මේ දවස්වල වැඩි කතාබහක් නැත්තේ.. මං එක්ක කෙසේ වෙතත් තාත්තා එක්කවත් කතා කරන්නෑනේ.. මොකක්  නමුත් කුණු වලියක්ද..?"

"මටත් තේරෙන්නෑ බන්ටි.. හැබැයි මේ ගෙදර හරි ප්‍රශ්නයක් තියෙනවා.. ඒ ප්‍රශ්නෙ මොකක්ද කියලයි මට තේරෙන්නැත්තේ.."

"අක්කා  හිතන්නෙ අම්මගෙයි, තාත්තගෙයි ප්‍රශ්නයක් කියලද.? නැත්නම් අම්මගෙ ඔෆිස් එකේ කේස් එකක් කියලද..?"

"මංදා බන්ටි.."

අක්කා එතනින් එහාට මුකුත් කිව්වෙ නෑ.. සමහර විට ඇත්තටම එයා ඒ ගැන දන්නෙ නැතුවත් ඇති.. දන්නැතුව මෙලෝ දෙයක් කියන්න බෑනේ.. හැබැයි ඉතිං බන්ටිට නම් හිතුණෙ මොකක් නමුත් ප්‍රශ්නයක් අත ළග කියලා.. අයියා උනත් ගෙදරට ආවෙ වෙනදට වැඩිය රෑ වෙලා.. අර වෙනදා ගෙදර තිබ්බ සාමකාමී වාතාවරණයයි, කට්ටිය අතරෙ තිබ්බ බැදීමයි ටිකෙන් ටික අඩුවෙලා කියලා, මට කියලා දෙන්න කවුරුත් ඕන උනේ නෑ..

                                            ****************************

පහුවෙනිදා උදේ විධායක ශ්‍රේණියෙ කට්ටිය ගෙදරින් පිට වෙනකල් ඉදලා මං චැලිය ස්ටාර්ට් කර ගත්තා..

"මහත්තයා.. හදිසි ගමනක්ද..?"

කාට හොරෙන් ගෙදරින් පැන්නත් මට බේබි නැන්දගෙ ඇස් වහන්න බැරි උනා.. අම්මපා අපේ බේබි නැන්දත්, මොරීන් අක්කා වගේම තමයි.. ඇස් දෙකේ බයිනෝ කියුලර් දෙක්කද කොහෙද එල්ලන් ඉන්නේ.. අඩු ගානේ ක්ෂුද්‍ර ජීවියෙකුටවත් ඒ ප්‍රෙද්ශය හරහා යන්න බෑ.. ඉතිං කොහොමද බන්ටි යන්නේ..?

"ටිකක් හදිසි ගමනක් බේබි නැන්දේ.."

"මට කියලා යන්න බැරි ගමනක්ද..?"

"ම්.. එහෙමත් නෑ.. අපේ බින්දුගෙ ගර්ල් මගෙන් උදව්වක් ඉල්ලුවා.. ඒ වැඩේට තමයි මේ ය්නනේ.."

"හවස් වෙන්න කලින් එනවනේ බන්ටි මහත්තයා.."

"ඇ.. ඇයි බේබි නැන්දේ.. ඔයාට මාළිගාවටවත් යන්න ඕනද..? ප්‍රශ්නයක් නෑ.. මං එක්ක යන්නම්.."

"නෑ.. නෑ.. එහෙම දෙයක් නෙමෙයි.. ලොකු නෝනා මේ දවස්වල ඉන්නෙ කේන්තියෙන්.. මට බයයි ඒ කේන්තිය බන්ටි මහත්තයගෙ පිටින් යවයි කියලා.."

"මගේ පිටින්.. මං මොන වැරැද්දක් කරාටද..?"

"ඕකනේ මහත්තයට මුකුත් කියන්න බැරි.. නිකං කලබල වෙනවනේ.. මං මේ අනතුරු ඇගවීමක් කරේ.. මතකනේ කලින් පාරක මල්වත්තෙ හුටපටේ.."

මගේ හිතට එහෙනම් එහෙන් මෙහෙන් දැනිච්ච දේවල් හරි.. මොකක් නමුත් කුණු ගොඩක් ඇදෙන්නයි යන්නේ.. ඔන්න පුතේ.. දැන් නම් බන්ටිට පරිස්සම් වෙන්න වෙනවා.. නැත්නම් ඇඩ්‍රසුත් නැති වෙන එක බුදු ෂුවර්..

"කමක් නෑ බේබි නැන්දේ.. එක විදියට මං මූණ දෙනවා.. අනික මං වැරැද්දක් කරනවා කියලා මං හිතන්නෑ.. ඔය මගේ වයසෙ අනිත් කොල්ලොන්ගෙන් වගේ මගෙන් මේ ගෙදරට වරදක් නෑනේ.. මං අරක්කු, සිගරැට් බොන්නෑ.. ගංජා, කුඩු බොන්නෑ.. ජරා ගෑනු පස්සෙ යන්නෑ.. අම්මගෙයි, තාත්තගෙයි සල්ලි නාස්ති කරලා කැසිනෝ ගහලා නෑ.. ක්ලබ් යන්නෑ.. මං මගේ පාඩුවෙනේ මේ ගෙදර ඇතුළෙ ඉන්නේ.. ඉතිං මට තේරෙන්නෑ මේ ගෙදර මිනිස්සුන්ට මගෙන් තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා.."

මං කියවන් ගියපු දේට බේබි නැන්දා වචනයක්වත් කිව්වෙ නෑ.. එයාගෙ මුළු මූණම පිරිලා තිබ්බෙ, අර කලින් දවසක මං දැකපු මහා දුකකින්..

"මං මහත්තයගෙන් ඉල්ලන්නෙ එක දෙයයි.."

"ඒ මොකක්ද බේබි නැන්දේ..?"

"ලොකු නෝනා මොනවා කියාගෙන ආවත්, එකටෙක කියන්න යන්නෙපා.. මහත්තයා කිසිම දෙයක් නොකියා පාඩුවෙ ඉන්න.. එතකොට ලොකු ප්‍රශ්නයක් වෙන්නෑ.."

"බේබි නැන්දා මොනවා ගැනද ඔය කියන්නේ..? ඔය කියන විදියෙ ලොකු ප්‍රශ්නෙ මොකක්ද..?"

"ප්‍රශ්න මුකුත් නෑ මහත්තයෝ.. මං කිව්වෙ ඒ වගේ දෙයක් උනොත් කියලා.. මහත්තයා පැටලෙන්න යන්නෙපා.."

"අම්මට උනත් කෑගහන්න පුළුවන් මං වැරැදි දෙයක් කලොත් නේ..බේබි නැන්ද ාකියනවා වගේ මං ලෙඩක් දාන්නැතුව ඉන්නම්.. එතකොට හරිනේ.."

"මගේ හොද බන්ටි මහ්තතයා.. එහෙනම් බුදු සරණනින් ඔය යන ගමන ගිහිල්ලා ඉක්මනට ගෙදර එන්න.."

කලින් චැලිය ස්ටාර්ට් කරගත්තත්, මේ වෙද්දි ඇන්ජිම නැවතිලා තිබුණා.. ඒ හින්දා මං ආයෙත් ස්ටාර්ට් කරගත්තා.. වැව රවුම වටේ ටිකක් දුර එද්දිත් මගේ ඔලුව පුරාම කර කැවුනෙ බේබි නැන්දා කියපු දේවල්.. ටිකක් දුර කල්පනා කරගෙන යනකොට මට තේරුණා බේබි නැන්දා මගෙන් මොනවා හරි හංගනවා කියලා.. ඒත් ඒ හංගන්නෙ මොනවද, ඇයි මගෙන් මොනවා හරි හංගන්නෙ කියලා පැහැදිලි අදහසක් මට තිබ්බෙ නෑ.. එක්කො මොකාක් හරි ලොකු දෙයක් අම්මයි, බේබි නැන්දයි අතරෙ තියෙනවා.. දැන් ඒක ටිකක් එළියට ඇවිල්ල වත්දෝ කියලත් මට නිකමට වගේ හිතුණා..

"ර.. න්.. දි.. ක.."

කල්පනාවෙන් කල්පනාවෙන්, මං ජෝයි බෝට් යාඩ් එකත් පහු කරන් ටික දුරක් ගිහින් තිබුණා.. ලොකු ලේන්සුවක් අතේ තියාගෙන එහෙට මෙහෙට වනන නෙත්මිව මං දැක්කෙ ටිකක් වෙලා ගියාට පස්සේ.. යූ ටර්න් එකක් දාලා මං චැලිය අරගෙන ගිහින් නෙත්මි ගාවින්ම නැවැත්තුවා..

"ශලනි හම්බවෙන්නෙ යන්නෙ මගෙත් එක්ක නෙමෙයිද..?"

ඒ මුළු මූණෙම පිරිලා තිබුණෙ හරිම ලස්සන හිනාවක්.. මුළු ලෝකෙම අතට ගත්තු කෙනෙක්ගෙ ආඩම්බරේ වගේ දෙයක් හරි අපූරුවට ඒ හිනාවට එක්කහු වෙලා තිබුණා.. හැබැයි ඒ ඇස් දෙක නම් මට කිව්වෙ වෙනින්ම කතාවක්.. ඔක්කොම කතන්දර පැත්තකින් තියලා ඒ ඇස් දෙකේ කතාව හොයන්නත් මට ඒ වෙලාවෙ හිතුණා..

"ඇයි එහෙම ඇහුවේ..?"

"නෑ ඉතිං.. මං මෙතන ඉන්නවා දැක දැකත් අහක බලාගෙන ගියේ.. වෙන කෙනෙක් එක්ක යන්න වෙන්නැතිනේ.."

"මං එහෙම කවුරුත් එක්ක යන්නෑ.. මං යන්නෙ ඔයත්තෙක්ක තේරුණාද..?"

නෙත්මිගෙ ඔලුවට හිමින් සීරුවෙ ටොක්කක් අනින ගමන් මං කිව්වා.. දිගට දිග කොන්ඩ ගස් ටිකක් ඉස්සරහට ඇවිල්ලා, ඒ මූණට ගෙනාවෙ පුදුම තරම් සුන්දරකමක්.. මොකක්දෝ හිතාගන්න බැරි ලොකු පිං පාටක් නෙත්මිගෙ මූණෙ මතුවෙලා තිබුණා..

"මොනවද බලන්නේ..?"

"මු.. මුකුත් නෑ.."

"නැත්තං කමක් නෑ.. හැබැයි ශලනි දිහා ඔහොම බලලා අහුවුනොත්..?"

චැලියෙ පිටිපස්සෙන් නගින ගමන් නෙත්මි මගේ උරහිසට බරවුණා..

"ඔව්.. අහුවුණොත්..?"

"ආයෙ දෙක්ක නෑ.. මං ඔයාව මරණවා.."

"ඇයි ඒ..?"

"නිකං.."

ඒක මහ පුදුම කතාවක්නේ.. නිකං මිනිස්සු මරන්නෙ මොන රටේද අප්පා.. එතකොට බන්ටිටත් වෙන්නේ, ඇඩ්‍රස් නැතුව මිහිදන් වෙන්නද..? මං යාන්තමට හැරිලා නෙත්මි දිහා බැලුවා.. ඒ මූණෙ තිබ්බෙ පිපෙන්න ඔන්න මෙන්න කිට්ටු කරලා තිබ්බ හිනා ඇබි්තතක්..

"ඇයි බයවුණාද..?"

"හ්ම්.. මාව මරනවා කිව්වනේ.."

මං කිව්ව දේට එයාට එක පාරටම එයාට හිනාවක් ගියා.. ඒ හිනාවෙන්ම නෙත්මි මගේ උරහිස් දෙක තද කරගත්තා..

"නෙත්මි.."

"ම්.."

"ඔයයි, මමයි මෙහෙම යනවා කවුරු හරි දැක්කොත්..?"

"කවුරු හරි කිව්වේ..?"

"ඔයාගෙ ගෙදරින්..?"

"ගෙදරින් ප්‍රශ්නයක් නෑ රන්දික.. එයාලා මගේ ගැන දන්නවා.. ඔයාට මතකද අපි දෙන්නා අර මුලින්ම ටොරින්ටන් පාක් එකේදි රණ්ඩු වුණ වෙලාවේ, මට ඩිංගක් එහායින් හිටපු මල්ලිලා ටික.."

චිත්‍රපටියක දර්ශන පෙලක් වගේ මගේ හිතට ඒ හැම සිදුවීමක්ම එකින් එක ගලා ආවා.. ඒ සිදුවීමයි, අද මේ සිද්ධවෙන දේවලුයි කොයි තරම් වෙනස්ද..? එදා මායි, නෙත්මියි කා කොටා ගත්තෙ පරණ තරහාකාරයො දෙන්නෙක් වගේ.. 

"අන්න එයාලා අදටත් අපේ ගෙදර එනවා.. අම්මලා ඉතිං දන්නවා මට, වැඩිය ඉන්නෙත් පිරිමි යාලුවො කියලා.."

"ඒක නම් ඉතිං ඇත්ත තමයි.. අර නලින්දව කරේනේ තියන් හිටියේ.."

"මොකක්ද කිව්වේ..?"

"මොකක්ද තමයි.. බලන්න එපැයි ඒ දවස්වල මෙයාගෙ තිබ්බ ගණන්.. අපේ නලින්දට මොනවා හරි කරලා තිබුණොත් බලාගන්නම්.. අරකයි, මේකයි.."

"ඉතිං ඔයත් එහෙමනේ.."

"මම.. මම කොහොමද එහෙම වෙන්නේ..?"

ගැටඹෙ පන්සලට මෙහායින් චැලිය නවත්තලා මං නෙත්මිගෙන් ඇහුවා.. 

"ඇයි ඔයත් හිටියෙ නිරෝෂිව කරේ තියාගෙන නේ.."

මේක නම් නියම කටු අත්තක් තමයි.. ගෑවුණොත් ඇති.. තුවාල වෙලා ලේ ගලනකල්ම පැටලෙනවා..

"නිරෝෂි කරේ තියාගෙන හිටියෙ බින්දුනේ.."

"එහෙනම් ඔයා තියාගෙන ඉන්න ඇත්තෙ ඔලුව උඩ.."

"කාවද..?"

"නිරෝෂිව.."

"ඇයි මම නිරෝෂිව ඔලුව උඩ තියන් ඉන්නේ..?"

"ඒක ඉතිං බලන් ඉන්න ඕන කෙනෙකුට පේනවා.."

"මොනවද බලන් ඉන්න ඕන කෙනෙකුට පේන්නේ..?"

"ඔයා නිරෝෂිව ඔලුව උඩ තියන් ඉන්න හැටි.."

මට බකස් ගාලා හිනාවක් ගියා.. මේ කෙල්ල එක්ක නම් කතා කරලා බේරෙන්න බෑ.. තවත් මේ ගැන කතා කරන්න ගියොත් මට පිස්සු හැදිලයි නතර වෙන්නේ.. ශලනිව හම්බවෙන්න යන්න ලොකු ඕනකමක් තිබුණත් මට මේ කතාව මග නවත්තලා දාන්න හිතුණෙ නෑ.. හිත, හිතනවටත් වැඩිය ගතියක් මේ කතාව ඇතුළෙ තියෙනවා..

"එහෙනම් ඉතිං බලන් ඉන්න අයට තව දේවලුත් පේන්න ඕනනේ.."

"ඒ මොනවද..?"

"ඔයා නලින්දව බෙල්ලෙ එල්ලන් ඉන්න හැටි.."

"නරකයා.. ඔයා මොනවද ඔය කියවන්නේ.. මං කවදද නලින්දව බෙල්ලෙ එල්ලන් හිටියේ..? ඔයානේ දැනුත් මේ නිරෝෂිට උදව්ක රන්න යන්නේ..? අනික බින්දු ඉද්දි ඇයි මේ ප්‍රශ්නෙ කියන්න, නිරෝෂි ඔයාවම තෝර ගත්තේ..? එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් බින්දු නම්, එයාට උදව් කරන්න ඕන බින්දුනේ.. මේ පැත්තක ඉන්න රන්දිකව ඇයි ගාවගත්තේ..?"

කෙල්ල අහපු දේට දෙන්න තරම් හොද උත්තරයක් මං ගාව තිබුණෙ නෑ.. එයා අහපු දේත් ඇත්ත.. බින්දුත් ළග ඉද්දි ඇයි නිරෝෂි මටම මේක කිව්වේ..? ඒ වෙලාවෙ නොහිතුණු හුගාක් දේවල් මේ වෙලාවෙ මට හිතෙන්න ග්තතා.. 

"ආ.. මට කියන්න රන්දික.. ඇයි ඔයා මේ වැඩේ බාරගත්තේ..? ඔයා කැමති නිරෝෂිටද..? ශලනිටද..?"

මුලින් මොනවා කිව්වත් දැන් අහපු ප්‍රශ්නෙ නම් මේ කේලල ඇහුවෙ ඇත්තටම කියලා මට තේරුණා.. ඒ ඇස් දෙක මට නොකියා කිව්වෙ කෙලින් උත්තරයක් මට දීපං කියලා..

"වැඩේ බාරගත්තෙ නම් බින්දු හින්දා.."

"මට ඒක කීයටවත් පිළිගන්න බෑ රන්දික.. හරි.. කමක් නෑ.. මගේ ඊළග ප්‍රශ්නෙට උත්තරේ..?"

"මොකක්ද..?"

"ඔයා හුගක් කැමති නිරෝෂිටද..? ශලනිටද..?"

"මං ඇත්තම කියන්නද..?"

"කියන්න.. මං අහගෙන ඉන්නේ.."

"ඔයා මුකුත්ම හිතන්නෙ නෑ නේද..?"

"කිසිම දෙයක් හිතන්නෑ.."

"මං.. මං හුගාක්.. හුගාක් කැමති.."

"ඔව්.."

"ඔයාට.."

කෙල්ලගෙ මුණ ජම්බු ගෙඩියක් වගේ රෝස පාට වෙන හැටි මං දැක්කා.. කොහෙන්දෝ ඉදලා ආව ලොකු ලැජ්ජාවකින් ඒ සුදු මූණ වැහිලා ගියා.. බලන් ගියාම කෙල්ලට ලැජ්ජාවත් ඇති පදමට තියෙනවා..

"අ.. අපි යමු රන්දික.."

"දැන් ඉතිං සනීපද..?"

"මොනාටද..?"

"ඇයි ඉතිං මගෙන් අහගත්තනේ.. කැමති කාටද කියලා.."

නෙත්මි කිසිම දෙයක් නොකියා සීට් එකේ ආයෙ හරිබරි ගැහුණා.. මටත් වෙන කියන්න දෙයක් තිබ්බෙ නෑ.. චැලිය ස්ටාර්ට් කරනවා මිසක..

"ඔතනින් පල්ලෙහාට දාන්න.."

පන්සල ළග ඉදන් ටිකක් දුර එනකන් නෙත්මියි, මගෙයි අතරෙ කතාබහක් වුණේ නෑ.. මොකක්දෝ පුංචි දෙයක් අපි දේනනා අතර මැද්දට ඇවිත් කියලා මට හිතුණා..

"මේ පල්ලමෙන්ද..?"

"අයියෝ නෑ.. පල්ලමට එහායින්.."

මගේ පිටට හීන් සීරුවෙ ගහන ගමන් නෙත්මි කිව්වා.. කිසිම විලවුන් වර්ගයක් ගාලා නැති නෙත්මි ගාවින්, කෙල්ලෙක් ළගින් එන ගැහැනුකමේ සොදුරු සුවද මට හරි අපූරුවට දැනුණා.. ශලනිගෙ ගෙදර මේ තරම් ළග තිබිච්ච එක ගැන මට මහා ලොකු දුකක් දැනුණා..

"ඔන්න ඔතන.."

නෙත්මි පෙන්නුව ගෙදර ලොකු යකඩ ගේට්ටුවකින් සම්පූර්ණයෙන්ම වැහිලා තිබුණා.. ඒ හරියෙ මුළු පළාතම වගේ වැහිලා තිබ්බෙ මූසල පාලුවකින්..

"කවුරුත් නෑ වගේ.."

"ඒක තමයි.. හරියට නිකං දවස් ගාණකින් කවුරුවත් ඉදලා නෑ වගේ.. ශලනි මට බොරුවක්වත් කිව්වද..?"

"ඒ කියන්නෙ ඔයා මීට කලින් මෙතෙන්ට ඇවිත් නැද්ද..?"

"ඇවිල්ලා තියෙනවා රන්දික.. ඒත් මම ගේ ඇතුළට ගිහිල්ලා නෑ.."

"ඔයා ආවෙ කාත්තෙක්කද..? නලින්ද එක්කද..?"

"නෑ.. ශලනි එක්ක.."

"මට පේන විදියට නම් ශලනි, තාත්තා එක්ක ආපහු රට ගිහින් වගේ.."

"ඒ කියන්නේ..?"

මේ කෙල්ල කතන්දරේ අග දන්නවා උනාට මුලයි, මැදයි දන්නෑ කියලා මට මතක් වුණේ ඒ වෙලාවෙ.. පුළුවන් තරම් ෂෝට් ඇන්ඩ් ස්වීට් කරලා ශලනිගෙයි, නිරෝෂිගෙයි පවුල් පසුබිම මං නෙත්මිට කිව්වා.. බලාගෙන ඉද්දිම කෙල්ලගෙ පුංචි ඇස් දෙක උඩ ගියා..

"අනේ රන්දික.. ඔය ඩිවෝස් කේස් මුකුත්ම ශලනි මට කියලා නෑනේ.. ඇයි රන්දික එයා මට එහෙම කලේ.. අඩු ගානෙ නලින්දට තිබ්බා ඔය ගැන කියන්න.. මං මේ කිසි දෙයක් දන්නැතුවනේ එයාලට උදව් කරන්න ගියේ.. ඇත්තමයි.. මට දැන් මං ගැනම තරහයි.."

"තමන්ට අවාසි වෙන දේවල් කවුරුවත් එළියට දාන්නෙ නෑ නෙත්මි.. යාලුවො වුණත් එහෙමයි.. ඔයා ඒ ගැන හිතලා හිත නරක් කරගන්නෙපා.. හ්ම්.. අපි දැන් යමු.."

"චුට්ටක් ඉන්න රන්දික.."

"ඇයි..?"

"ඔයා, ඔය කිව්ව කතාවට අනුව ඔයත් එහෙමද..? ඔයාට අවාසි වෙන දෙයක් ඔයා කාටවත් කියන්නෙ නැද්ද..?"

"ඒ කිව්වේ..?"

කෙල්ල එන්න හදන්නෙ මොකාටද කියලා මට හිතාගන්න බැරිවුණා.. කතාවෙන් නම් තේරෙන්නෙ මොකක් හරි මරාලයක් වගේ කියලයි..

"අපි හිතමු ඔයා කලින් ගෑනු ළමයෙක් එක්ක යාලුවෙලා හිටියා කියලා.. එහෙමත් නැත්නම් දැන් සම්බන්ධයක් තියෙනවා කියලා.."

"ඔය දෙකම වැරදියි.. එහෙම මුකුත් නෑ.."

"මම කිව්වෙ හිතමු කියලනේ.."

"හරි ඉතිං.."

"ඔයා එතකොට ඒ ගැන මට කියන්නැද්ද..?"

"මොනවා ගැනද..?"

"පරන සම්බන්ධකම් ගැන..?"

"මං ඇයි ඔයාට කියන්නේ..?"

"දැන් ඔයා ළගින් මං ඉන්න හන්දා.."

"එහෙනම් ඉතිං ඔයත් මට කියන්න ඕනනේ.."

"මොනවද..?"

"ඔයාගෙ තිබ්බ දේවල් ගැන.."

"හරිම නරකයි ඔයා නම්.. කොහොම හරි මාවම මඩවනවා අන්තිමට.. ඇත්තමයි රන්දික.. ඔයාට වගේම මගෙත් ඔය කිසිම විදියක සම්බන්ධයක් තිබිලා නෑ.."

"ඒ උණාට එකක් තිබුණා නේද..?"

නෙත්මිගෙ මූන හොදටම අමුතු වේදදි මං ඒ මුණ මැදට එබුණා.. ඇත්තටම අපි ආවෙ මොකටද..? අපි කතා කරන්න ඕන මොනවද කියන දේ අපි දෙන්නටම අමතක වෙලා තිබුණෙ.. මතක් වුණත් ඊට වැඩිය මේ කතා කරන කතාබහෙන් ලබන මිහිරියාව මැද්දෙ, හැමදේම අමතක වුණා වගේ රගපෑවා..

"මට මුකුත්ම තිබුණෙ නෑ රන්දික.. බොරු කිව්වොත් නම් මං ඔයාට ගහනවා.."

"නැත්තෙ නෑ.. තිබුණා.."

"හරි.. තිබුණා නම් කියන්න.."

"ඇයි රසික..?"

"නරකයා.. තාමත් ඒක හිතේ තියාගෙනද ඉන්නේ..? ඇත්තමයි රන්දික.. මගේ හිතේ රසික අයියා ගැන කිසිම දෙයක් නෑ.."

"නැත්තෙ නෑ.. අපි දැක්කනේ එදා බෝට් යාඩ් එක ළගදි බයවුණ බයවිල්ල.."

"කිව්වහම අහන්නකො රන්දික.."

"ආ.. මට තවත් එකක් ආරංචියි.."

"ඔයා නම් මහ ඕප දූප මල්ලක්.. ඔයා හදන්නෙ මාව කේන්ති ගස්සන්න නේද..? හරි කමක් නෑ.. මට කේන්ති ගියත් කමක් නෑ.. මොකක්ද ඔය ආරංචිය..?"

"රසික ගැන හිතේ නැති වුණාට, රසිකගෙ මල්ලි ගැන හිත වැටිලා කියලා අපිට ආරංචියි.."

"කවුරු.. රසිකගෙ මල්ලි..?"

"ඔව්.. ඔව්.. අර බන්ටි කියලා කියන්නේ.. මිනිහ නම් රසිකටත් වැඩිය හැඩකාරයානේ.."

නෙත්මිගෙ මූණ බලන් ඉද්දිම රතු පාටට හැරුණා.. කෙල්ලට එකසිය ගානට තදවුණා කියලා මට තේරුණා.. ඇත්තමයි.. කේන්ති ගියාම ඒ මුණෙ තිබ්බෙ හිතාගන්න බැරි තරමෙ ගතියක්.. මෙයාට නිතරම කේන්ති අරගෙන ඉන්න බැරිද දන්නෑ..

"ඉරිසියාකාරයා.. ඔය වගේ කතා මට කිව්වට මං බන්ටිව තාම ඇස් දෙකට දැකලවත් නෑ.."

ඒක නම් පට්ට පල් බොරුවක්නේ දෙයියනේ.. බන්ටි කියන හාදයා මේ ඇස් ඉස්සරහ දිලිසි දිලිසි ඉන්නේ.. දෙයි හාමුදුරුවනේ.. මිනිස්සුන්ට මේ තර්ම බොරු පිඹින්න පුළුවන්ද..? 

"හා.. ඇයි ඔයා බොරු කියන්නේ..? ඔයා සමුදිනීට කිව්වෙ නැද්ද.. ඔයාට බන්ටිව බලන්න ආසයි කියලා.. බන්ටි ගෙදර හිටියෙ නැති එක වෙනම දෙයක්.. වැරදිලාවත් ගෙදර හිටියා නම් ඔයා හොදට බලනවනේ.." 

"දෙ.. දෙයියනේ.. කවුද ඔයාට ඔය කේලම් ටික කිව්වේ.. අම්මා නේද..? ආ.. රන්දික.. ප්ලීස් මට කියන්න.."

"කවුරු කිව්වත් මොකද කතාව ඇත්ත නම්..? ඔයත් පැණියා වගේ බන්ටිව බලන්න ඕන කියලා කිව්වනේ.."

"මොකක්ද කිව්වේ..? මං පැණියෙක් වගේ කිව්වා..?"

"ඔව්.. ඔයා පැණියෙක් තමයි.. පැණි ගුහාවක්.. නැත්නම් ඉතිං.. කවදාවත් දැකලා නැති බන්ටියෙක් හොයාගෙන යාවිද..?"

"ප්ලීස් රන්දික.. අපි ඔය කතාව නවත්තමු.. මගේ ඔලුවත්තෙක්ක රිදෙනවා.."

ඒක නම් ඇත්ත තමා.. ඔය වගේ ඕන නැති කතා කියන එක දිගට අහනකොට  මගෙත් ඔලුව රිදෙනවා.. 

"සොරි.. මං ආයෙ ඒ වගෙ කතා කියන්නෑ.. ඔයා කැමති නම් බන්ටිව බලන්න.. මං ඒකට මුකුත් කියන්නෑ.. අනික මං කොහොමද ඔයාව නවත්තන්නේ.. මට ඕන උනත්.. ඔයා කරන්නෙ ඔයාට හොදයි කියලා හිතෙන දේනේ.. අපි යමු.."

"ඔයා අප්සට් උනා නේද රන්දික..?"

"ඒකට කමක් නෑ.. අපි යමු.. දැන් මෙතන හිටිය වෙලාවත් හුගක් වැඩියි.."

"වෙලාව ගියාට කමක් නෑ.. ඔයා කැමති නැත්නම් ඒ දේ කරන්න මට ඕනෙ නෑ.. මොකද කවදාවත් දැකපු නැති බන්ටි කෙනෙකුට වඩා මට මගේ යාලුකම වටිනවා රන්දික.. මං ඒ දේ නැතිකරගන්න කැමති නෑ.. අපි මෙතෙන්ට ආවෙත් හිනාවෙවි.. දැන් යන්න ඒනෙත් එහෙමමයි.."

අර ටීක් බෝල දෙක වගේ දිලිසෙන ඇස් දෙකෙන් මගේ මුණට එබිලා නෙත්මි කිව්වා.. 'යාලුකම' අපේ සම්බන්ධෙට එයා දීපු සරලම නම ඒකයි.. හිතේ තිබ්බ හැමදේටම එයා කිව්වෙ යාලුකම කියලා නම් එතනින් එහාට තවත් කතා කරන්න දයෙක් නෑ.. මං චැලිය ස්ටාර්ට් කරගත්තා.. අමුතුම විදියට කටත් උල් කරගෙන නෙත්මි මගේ ළගට ආවා.. 

"ඔයා යන්නද හදන්නෙ රන්දික..?"

"ඔව්.. නගින්න.. මං ඔයාව බෝට් යාඩ් එක ළගින් දාන්නම්.."

"ඇයි මේ.. ඔයාට කේන්ති ගිහිල්ලා වගේ.. මං ඔයාට මුකුත් වැරදි දෙයක් කිව්වද රන්දික.."

"නෑ නෙත්මි.. එහෙම දෙයක් නෑ.. අපි ආපු වැඩෙත් සවුත්තු උනානේ.."

ඇත්තටම මගේ හිතට මහ මොකක්දෝ දෙයක් වෙලා තිබුණා..නෙත්මි ළග ඉන්න, මගේ හිත කොයි තරම් ආසා කෙරුවත්, මමම එයාගෙන් ඈත්වෙන්න පටන් අරන් තිබුණා.. ඒ ඇයිද කියලා මටවත් හිතාගන්න බැරිවුණා.. හුගාක් වෙලාවට ඒ හැගීම ඉරිසියාවෙ නිවුන් සහෝදරයෙක් කියලා මට අන්තිමට හිතුණා..

"වැඩේ සවුත්තු උනාට අපි දෙන්නා හුගාක් වෙලා කතා කර කර හිටියනේ.. අඩු ගානෙ ඒකටවත් ඔයාට සංතෝස නැද්ද..?"

මගේ හිතට දැනුණු ලොකුම සංතෝසෙ ඒකයි කෙල්ලේ කියලා මං කොහොමද කටක් ඇරලා කියන්නේ.. අනික මං විහිලුවට වගේ කියපු බොරුව, දැන් හදාගන්න බැරි තරමට දුර ගිහි්ලලා.. බන්ටියි, රන්දිකයි කියලා කියන්නෙ එකම පුද්ගලයෙකුට කියලා දැන ගත්තම නෙත්මි මං ගැන මොනවා හිතයිද..?

"මං ඔයාට ඇත්තම කියන්නද..?"

"හ්ම්.. කියන්න.. මං අහගෙන ඉන්නේ.."

"ඔයත්තෙක්ක කාලෙ ගතකරන එක හිතට ලොකු සතුටක් තමයි.. ඒත් ඔයා ඔය, නලින්ද, රසික, බන්ටි වගෙ අය ගැන ඉන්ටෙරස්ට් වෙනකොට මට තරහයි.. ඇත්තටම ඒකෙ තරහ ගන්න තරම් අයිතියක් මට නෑ.. ඒ හැමදේම ඔයාගෙ නිදහසනේ නෙත්මි.. මං මේ පිස්සා වගේ කියවනවා.. ඒකයි අවුල.."

"ඔයා නම් ඇත්තටම පිස්සෙක් තමයි.. ඒ මදිවට මහාම මහ ඉස්පිරිතාලයක්.. ඔයා, ඔය කියපු නම් තුනෙක් එකක් එක්කවත් මගේ කිසිම සම්බන්ධයක් නෑ.. ඒක ඔයත් හොදටම දන්නවනේ රන්දික.. අනික හරි නම් මමයි අප්සට් වෙන්න ඕන.. ඔයා නෙමෙයි.."

"ඒ ඇයි..?"

"ඇයි අහන්නේ..? ඔය මේ දැනුත් කරන්නෙ වෙන ගර්ල් කෙනෙක්ව හොයන එක නේද..? මාවත් මැද්දට දාගෙන.. ඔයාට ඩිංගක්වත් හිතෙන්නැද්ද මගෙ හිත රිදෙනවා කියලා..? ඔයාගෙ හිත විතරද රිදෙන්නේ..?"

"සොරි.. මට ඒක තේරෙනවා.. මං නිරෝෂිට කියලා කරන්නෙ උදව්වක් විතරයි.. ඊට පස්සෙ මං මේ හැමෝගෙන්ම අයින් වෙනවා.. එතකොට ඔයාගෙ හිත රිදෙන එකක් නෑනේ.."

"වෙරි ගුඩ්.. මගේ හොද පිරිමි ළමයා.."

නෙත්මි මගේ උරහිස් දෙක කොයි තරම් තද කලාද කියලා කියනවා නම්, තව නූලෙන් එයයි, මමයි දෙන්නම චැලියෙන් මහ පාරට පතබරියන් වෙනවා.. බලන් ගියාම නේතමිටත් තියෙන්නෙ එසේ මෙසේ විසයක් නෙමෙයි.. 

"රන්දික.. අ..ර.."

සුවසෙවන හොස්පිට්ල් එක හරියට යනකොට නෙත්මි එකපාරටම පාරෙ දකුණු පැත්ත දිහාට ඇගිල්ල දික් කලා.. මගේ ඇස් දෙක දැකපු දේ මට විශ්වාස කරගන්නත් බැරිවුණා.. නෙත්මි පෙන්නුවෙ නැත්නම් මං දකින්නෙත් නෑ..

"රසික අයියා නේද..? තව ගර්ල් කෙනෙක් එක්ක.."

සුවසෙවන ප්‍රයිවෙට් හොස්පිට්ල් එකේ ඉදලා අපි හිටපු තාර පාර පැත්තට, කෙල්ලෙකුගෙ අතිකිනුත් අල්ලගෙන වීරයා වගේ ආවෙ අයියාකාරයා.. චැලිය නවත්තන ගමන් මං කෙලින්ම නෙත්මි දිහා බැලුවා.. මට ඕන උනේ එයාගෙ මූණෙ මොන වගේ හැගීමක් මතුවෙනවද බලන්න..

"කෙල්ලට බෙහෙත් අරන් දෙන්න ඇවිල්ලද කොහෙද.. හැබැයි ඉතිං දෙන්නගෙන් කාටවත් ලෙඩ පාටක් නෑ.."

"ඔයාට හිතෙන්නෙ රන්දික, ඒ රසික අයියගෙ ගර්ල් කියලද..? වෙන කෙනෙක් වෙන්න බැරිද..?"

"ඔව් ඉතිං.. එහෙමත් වෙන්න පුළුවන්.. ඒත් ඉතිං ඔෆිස් එකේ ඩියුටි ටයිම් එකේ මෙහෙම එනවා කියන්නෙ මෙතන මොකක් හරි ලොකු අවුලක් තියෙනවා කියනෙකනේ.."

ඒ එක්කම ආපු වීල් එකකට අත දාපු අයියා, අර ගෑනු ළමයත් එක්කම ඒකට නැග්ගා.. බලන් ගියාම මේකා තමයි දවසකටවත් මිනිහා.. ගෙදරදි ඇට් කරන්නෙ සම්පූර්ණ බෝධිසත්ව චරිතෙ.. එලියෙදි අනංගයගෙ රෝල් එක..

"එයාලා ගියා.. අපිත් යමු රන්දික.."

මං හිතුවටත් වැඩිය නේතමි ඒ ගැන කල්පනා කරනවා කියලා මට දැනුණා.. ඇත්තටම පොතේ හැටියට නම් එයාට කල්පනා කරන්න දෙයක් තිබෙන්න බෑ.. මොනවා උනත් දෙයියො බැලුවා වගේ තමයි, නෙත්මි එයාලව දැක්කේ.. එහෙම නොවී එකෙ අනිත් පැත්ත උනා නම් අපිටත් බුදු සරණයි කියලා කියන්න තිබ්බා..

"සමහර විට ඒ රසිකගෙ ගර්ල් නොවෙන්නත් පුළුවන්.."

කතාවක් බහක් නැතුවම නෙත්මිට කල්පනා කරන්න ඉඩ දීළා බෝට් යාඩ් එක ළගට ආවාම මං කිව්වා..

"ඔ.. ඔයා කොහොමද කියන්නේ..?"

"වෙන මුකුත් ඕන නෑ.. ඔයයි, මායි ගැනම ගන්නකෝ.. කවුරු හරි කෙනෙක් අද දවසෙ අපි දෙන්නව දැක්කොත් නම් හිතන්නෙ මොනවද..? ඒක හින්දා ඉතිං ඕකෙ පැති දෙකක් තියෙනවා.."

"මටත් එහෙම හිතෙනවා රන්දික.."

"හිතුණට නම් කමක් නෑ.. ඒත් ඇයි ඔයා අප්සට් උනේ.. දැන් ඩිංගකට කලින් ඔයා කිව්වනේ, ඔයාගෙ හිතෙ රසික ගැනවත්, බන්ටි ගැනවත් මෙලෝ දෙයක් නෑ කියලා.."

"මංදා රන්දික.."

බලන් ගියාම ගෑනු ළමයි කියන්නෙ මහ පුදුම සත්ව කොට්ඨාශයක්.. කොයි වෙලාවෙ තමන් වෙනස් වෙනවද කියලා එයාලම දන්නෑ.. ඒකත් හරියට නිකං වැස්ස වගේ තමයි.. සමහර වෙලාවට හොදට තල්ලු කරලා, හොද සීතල හුළගකුත් එළියට දාලා සියලු අංග ලක්ෂන පෙන්නුවට මෙලෝ විදියකට වහින්නෑ.. අපි බලන් ඉන්නවා දැන් වහී.. දැන් වහී කියලා.. 

"නෙත්මි දැන් මොකද කරන්නේ..?"

"තව පුංචි පුංචි වැඩ දෙක තුනක් තියෙනවා.. ඒවත් රගෙන හෙමින් සීරුවෙ ගෙදර යනවා.. ඔයා මොකද කරන්නෙ රන්දික..?"

"මටත් කරන්න දෙයක් නෑ.. ඒත් වැඩිවෙලා මෙහෙම රවුම් ගහන්නත් බෑ.. මොකද මේ දවස්වල මගේ වෙලාව අන්තිම නරකයි.. කොහේ කොහේ ගිහින් අන්තිමට පැටලෙයිද දන්නෑ.. ඔයත් එහෙනම් පරිස්සමට යන්න.."

"රන්දික.."

චැලිය ඉස්සරහට ගනිද්දිම මට ආයෙත් නෙත්මිගෙ කටහඩ ඇහුණා.. ඒ පාර මොකක්ද දන්නෑ කතන්දරේ..

"මට ඔයත්තෙක්ක ටිකක් කතා කරන්න ඕන.."

දෙයියන්ට ඔප්පු වේචචාවි.. මං නෙත්මි ගැන දන්න හින්දා හොදයි.. නැත්තං වෙන එකෙක් නම් හිතනවා එයාගෙ ඔලුව කොහේ හරි හයියෙන් වැදිල කියලා.. ඇයි අප්පා.. පැය ගානක් මගෙත් එක්ක ඉදලා, කතා බහ කරලා, දැන් ආයෙත් කියනවා ටිකක් කතා කරන්න ඕනලු.. මේවා කාට කියන්නද දෙවියනේ..? 

"දැන්ද..?"

"නෑ.. නෑ.. වෙන දවසක.. ඒ එක්කම ඔයා මට දවසක් ඇර දවසක්වත් ෆෝන් කරන්න ඕන.."

"ඇ.. ඇයි ඒ..?"

"නැත්නම් ඔයාට මාව අමතක වේවිනේ.."

ඔයාව අමතක කරන එක නම් මට සෑහෙන්න අමාරු වෙයි කෙල්ලේ.. පුංචි කාලෙදි උනත් මට හුගාක්ම ලංවෙච්චි එකම කෙල්ල ඔයා විතරයි.. කිසිම කෙල්ලෙකුට විවෘත නොවිච්ච මේ හිත ඇතුළට, බාධාවක් නැතුවම ඇතුල් වෙච්චි එකම කෙල්ලත් ඔයා විතරයි..

"ඔයා ඔය කිව්ව දේට, මට කියන්න ලස්සන වචන ටිකක් තියෙනවා.."

"ඒ මොනවද රන්දික..?"

"ඔය ඇස් අමතක වෙන්න නම්.. මගේ ඇස් පිය වෙන්න වෙයි.."

හිනාවත්, කුතුහලයත් එකට මිශ්‍ර වුණු බැල්මකින් එයා මගේ දිහා බලන් ඉද්දි, චැලිය මං ඉස්සරහට ගත්තා.. කෙනෙක්ගෙන් වෙන්වෙලා එද්දි කවදාවත් දැනුණෙ නැති කාංසියක් වගේ හදවත තෙරෙපෙන හැගීමක් මගේ හිතට ඒ වෙනකොට වද දෙන්න පටන් අරන් තිබුණා.. ඒකමයි මං ටිකක් දුර ගිහින් වැව රවුම අයිනට කරලා ආයෙම චැලිය නැවැත්තුවේ..

"පරිස්සමින් රන්දික..."

පුරුදු විදියටම ලේන්සුව උඩට කරලා ඈත ඉදන් නෙත්මි අත වනනවා මං දැක්කා.. ආයෙත් හරවගෙන එයා ළගට යන ලෝබ සිතුවිල්ලක් හිත උඩ තෙරපි තෙරපි ආවත් මං චැලිය එහෙම්ම ඉස්සරහට ගත්තා..




                                                              

No comments:

Post a Comment