Wednesday, April 11, 2012

| ඒ ම‍ගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක |






දහය වෙන්න පැය බාගයක් විතර තියෙද්දි මං මගේ ෆුල් ඔප්ෂන් චැලිය අරන් ගෙදරින් පැනගත්තා.. අම්මප දවල් කාලය කොයි තරම් සුන්දරද..? ගෙදර ඉන්නෙ බෙබි නැන්දා විතියි.. වගකිව යුතු සියලු පුද්ගලයෝ ගෙදරින් පිට ගිහින්.. ඉතිං බන්ටිට, බන්ටිගෙ නිදහස අප්‍රමාණව භුක්ති විදීමේ නිදහස හැම තැනම තියෙනවා.. ෂිහ්.. හැමදාම දවල් වෙලා තියෙනවා නම්..


ඒත් අද නම් නිදහස රැදිලා තිබ්බෙ අපේ ගෙදරට එන වැලි පාර, තාර පාරයට යා වෙන තැනට වෙනකන් විතරයි.. මැරිච්ච මිනිහෙක්ව මතක් වෙන්න හදපු ස්මාරකයක් වගේ එතන දිලිසි දිලිසි හිටගෙන හිටියෙ මොරීන් අක්කා.. 

"හෝව්.. හෝව්.. හෝව්.."

වතුරෙ ගිලෙන මිනිහෙක් අත් දෙක උඩට උස්සගෙන කෑගහන්නෙ.. අන්න ඒ වගේ ඇක්ෂන් එකක් දාගෙන මොරීන් අක්කා මගේ ඉස්සරහට ආවා..

"මොනවද මොරීන් අක්කෙ.. මේක ගොන් කරත්තයක් කියලා හිතුවද..? හෝව්.. හෝව්.. හෝව්.. ගාන්නේ.. ටිකක් වැදගත් විදියට හැසිරෙන්නකෝ.. ඔයා වැඩිහිටියෙක් නේද..? තව පොඩ්ඩෙන් මං බයික් එකෙනුත් වැටෙනවා.."

"අනේ.. සොරි බන්ටි මල්ලි.. ඔයාව දැක්කම මට වාවන්නෙ නැතුව ගියා.."

"අර මොකද අප්පෙ ඒ..?"

"ඔයාව දැක්කම මට මැවිලා පේන්නෙ රසිකව.. එතකොට මට ඒ සුන්දර සමනල් සමය ඇස් ඉස්සරහ චිත්‍රපටියක් වගේ මැවෙනවා.. මං ඒකයි රසික් නැතිවුණත් ඔයාව දකින්න කැමති.."

හුටා.. මේ ජම්බෝලෙ ඒ පාර එන්න හදන්නෙ මොකාටද..? කෝකටත් කියලා මං චැලිය ටිකක් රේස් කරා..

"පිස්සු නටන්නෙපා මොරීන් අක්කේ.. මාව දැක්කොත් කැදත් නෑ කියලා අපේ අයියා සෑහෙන පාරක් කියලා තියෙනවා.. ඔයා මේ බයිලා ගහනවා.."

"ඒක නමේ ඔයා මේ ලස්සනට ඇදගෙන කොහෙද යන්නේ..? යාලු කෙල්ල බලන්න නේද..? මාත් එන්නද සපෝර්ට් එකට..?"

"එපා මොරීන් අක්කේ.. තාම ඔයාටවත් අපේ අයියව සෙට්ල් කරගන්න බැරිවුන එකේ මට කොහොමද ඔයා සපෝර්ට් කරන්නේ..?"

"හා.. හා.. එහෙම කියන්නෙපා මල්ලි.. මං මගේ එක්ස්පීරියන්ස් එකෙනුයි ඔයාට උදව් කරන්න හදන්නේ.."

ඔව් ඉතිං.. ඒකෙ ඇති වැරැද්දකුත් නෑ.. ඇයි දෙවියනේ.. කොල්ලොම කී දෙනෙකුට නම් මොරීන් අක්කා ට්‍රයි කරන්න ඇත්ද..? කරුමෙ කියන්න ඒ හැම අපතයම මෙයාව එපා කිව්වනේ.. මෙයා කොච්චර කැමති උනත් වැඩක් නෑ.. උං මෙයාව එපා කියනවා.. 

"මාත් මේකෙ නගින්නද බන්ටි මල්ලි..?"

"ඔයාට පිස්සුද මොරීන් අක්කේ.. ඔයා නැග්ගොත් හෙම ටයර් දෙකේම හුලං යයි.. මට මගේ ගමනවත් යන්න වෙන්නෑ.."

"හරි කමක් නෑ.. මං හිතන්නෙ ඔයාට ලැජ්ජ ඇති මාව ඕකෙ තියාගනෙ යන්න.. ඒකනේ ඔය තරම් අදි මදි කරන්නේ.. හුලං බහිනවා කියලා බොරු කරන්නේ.."

"එහෙම කෙහෙල් මලක් නෑ මොරීන් අක්කේ.. මං මේ ඉතා හදිසි ගමනක් යන්නේ.. ඔයාව පස්සෙ දවසක එක්කං යන්නම්.."

යාන්තං වදෙන් පොරෙන් බොරු පොරොන්දු දෙක තුනක් දීළා මං ගැලවුණා.. අම්මපා මේ ප්‍රේම කරන ඈයො නම් මාර වාත කේස් තමයි.. උං දන්නෑ අවට සමාජෙට උං කොයි තරම් වදයක්ද දෙන්නෙ කියලා.. ඇයි එක පාරක් අපේ ධර්මරාජෙ ක්‍රිකට් ටීම් එකේ හිටපු මලින්දයා, කෙල්ලෙක් එක්ක පේරාදෙණියෙ කාඩ්න් එකේ තිබ්බ මල් ගහක කොල ඔක්කොමහ ටික කඩලා දැම්මනේ.. උංගෙ ආදරේ ඒ තරම් බලවත් උනා.. අන්තිමට සිකියුරිටි එකෙන් ඇවිත් බලද්දි මල් ගහේ අතු ටික විතරයි.. මුං දෙන්නා ආදරේට කියවන ගමන් කොල ටික ඔක්කොම කඩලා දාලා.. පස්සෙ ඌ පොලීසි නොගිහින් බේරුනේ අනූ නවයෙන්..

ගාඩ්න් එකට ඉස්සරහින් චැලිය නවත්තලා දාලා මං අඩියට දෙකට පාර පැන්නා.. ලොකු පුතයි, අමිලයි නම් පෙන්න ඉන්නවා.. ඒත් කෝ නෙත්මි..? 

"උඹ මොකද ලොකු පුතේ මේ කරන්න හදන්නේ..? ආයෙත් ඇටකිච්චට ගහන්නවත්ද..?"

මාව දැකපු ගමන් චාමික වක්කඩේ ඇරියා.. අමිල ටිකක් විතර කල්පනාකාරීව වටපිට බලන ගමන් මං දිහා බැලුවා..

"ප්‍රශ්නෙ මොකක්ද බන්ටි..?"

"නෑ අමිල.. මං අද හදන්නෙ නිරෝෂිගෙ පොරවගෙන ඉන්න බැටලු හම ගලවන්න.."

"මට නම් උඹ කියන කිසි දෙයක් තේරෙන්නෑ ලොකු පුතේ.. කරුණාකරලා මගේ මොලේ කොලොප්පං නොකර කියන දෙයක් තේරෙන සිංහලෙන් කියපං.. උඹ දන්නවනේ මට අංඩර දෙමළ බෑ කියලා.."

"නෙත්මිගෙ කතාව උඹලා දෙන්නම දන්නවනේ.. අද මං ඒකිටත් එන්න කිව්වා.."

"දැන් නම් චාමිකට වගේම මටත් තේරෙන්නෙ නෑ උඹ මොකද කරන්න හදන්නෙ කියලා.. කතාවෙ අපැහැදිලි තැන් ගොඩයි බන්ටි.."

"මොනවද අමිල උඹට තියෙන අපහැදිලි තැන්..?"

"කොටින්ම ඇයි නෙත්මි මෙතෙන්ට ගෙන්නුවෙ කියන එක.. අනිත් එක උඹ අම්බ ඔරොප්පුවකින්නෙ හිටියේ.. මේ පහුවෙච්ච සතියට උඹ කොහොමද වෙනස් වුණේ..?"

"ඒ කියන්නෙ උඹ පහුවුණු විස්තර දන්නැද්ද..?"

"නැත්තෙ නෑ දන්නවා.. ඒත් මට උඹේ වෙනස්වීම හිතාගන්න බෑ.. උඹ සාමාන්‍යයෙන් ලේසියෙන් සමාව දෙන ජාතියෙ එකෙක් නෙමේනේ.. එත් උඹ මේ කෙල්ලට සමාව දීලා තියෙනවා කිසිම ඇටෑක් එකක් කරන්නැතුවම.. එතනයි මට ප්‍රශ්නෙ තියෙන්නේ.."

"මේ වෙනස්වීම මටත් හිතාගන්න බෑ අමිල.. ඒත් ඒකි මාව ඩිංගක් හරි වෙනස් කරලා කියන දේ මට පිළිගන්න වෙනවා.. හරි.. ඒ කතා වැඩක් නෑ.. නෙත්මි මෙතෙන්ට ගෙන්නුවෙ ඇද කියලා මං උඹට කියන්නම්.."

මං එහෙම කියද්දි පාරෙන් එහා පැත්තෙ ඉදගෙන මේ පැත්තට පාර පනින්න බලන් ඉන්න නෙත්මිව මං දැක්කා.. එහෙනම් මේ කෙල්ලත් මං වගේම අකුරට, වෙලාවට වැඩ කරන කෙනෙක්..

"මට ඕන උනා නෙත්මි ඔය තරම් වර්ණනා කරන නිරෝෂිගෙ ඇත්ත තත්වෙ නෙත්මිට පෙන්නන්න.. මොකද එයා හිතුවෙ මං මුල ඉදන්ම නිරෝෂි ලබා ගැනීමේ උවමනාව පිට හැමදේම කරනවා කියලා.." 

"ඒ කියන්නෙ උඹට දැන් ඕන නෙත්මි ඉස්සරහ සුදු චරිතයක් වෙන්න.. මම කාටවත් ආදරේ කරන්නෑ.. මගේ හිතේ ඉන්නෙ ඔයා විතරයි කියලා පෙන්නන්න.. ආ බන්ටි.. උඹට දැන් ඕන ඒ දේ කරන්නද..?"

"මට තේරෙන්නෑ අමිල.. අපි ඔය කතාව දැන් නවත්තමු.. අන්න නෙත්මි පාර පැන්නා.."

කෙල්ලෙකුට තියෙන්න ඕන  හැම ලස්සනක්ම හරි අපූරුවට නෙත්මිගෙ ඇගේ පිහිටලා තිබ්බා.. හැම දෙයක්ම ගානට.. වැඩිත් නෑ.. අඩුත් නෑ..

"ඔන්න රන්දික මං වෙලාවට ආවා.. තත්පරයක්වත් පරක්කු නෑ.."

"වෙරි ගුඩ්.. එන්න අපි අර පැත්තට යමු.."

ලොකු පුතාට ඉස්සරහ ඉන්න කියලා.. මායි, නෙත්මියි, අමිලයි ගාඩ්න් එක ඇතුළට ඇවිදගෙන ආවා.. ඒ වෙනකොට මං අපේ ගේතයෙ දෙන්නට කියලා තිබුණෙ බෙල්ල මිරිකුවත් බන්ටි කියලා නම් කතා කරන්නෙපා කියලා..

"රන්දික මට පරක්කු වෙන්න නම් බෑ.. තව පුංචි ගමනකුත් යන්න තියෙනවා.. ඔයාට ෂුවර්ද නලින්දගෙ ගර්ල් අද මෙතෙන්ට එනවා කියලා.."

"ඔව්.. මගේ යාලුවෙක් එක්ක.."

මායි, නෙත්මියි එක්ක එකට ආවටටිකක් දුර යද්දි අමිල ටිකක් පහුබැස්සා.. අපිට නිදහස දෙන්න හිතාගෙන ඌ ඒක කරාද මංදා.. ඒත් ඉතිං දෙනෝ දාහක් ගැවසෙන මේ හරියෙ කොහෙන්ද අප්පා නිදහසක්.. නෙත්මි උනත් ඉන්නෙ බයකින් කියලා මට තේරුණා.. වීරයා වගේ ආවට අදුනන එකෙක් දැක්කොත් හෙම බුදු සරණයි කියලා එයාට හිතෙන්නැති..

"ඔ.. ඔයා බයවෙලා නේද ඉන්නේ..?"

"න්.. නෑ.. හ්.."

නෑ කියලා කිව්වෙ බොරුවක් උනත් ඒ සියුමැලි මූණෙ තිබ්බ අව්‍යාජ ගතිය මගේ හිත පත්ලෙම තැන්පත් උනා.. ඇත්තටම කෙල්ලෙක් ලාවට වගේ බයවෙලා ඉද්දි කොයිතරම් ලස්සනද කියලා බන්ටිට පේන්නෙ දැන් තමයි.. ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම නුවර ලස්සන කෙල්ලො දිහා බැලුවා උනත්, ඒ එක කෙල්ලෙක්වත් මගේ හිත ඇතුළෙ රැදුනෙ නෑ.. මං කැමති උනේ උංගෙ ලස්සනට විතරයි.. ඒත් මේ මං ගාවින්, හෙමින් සීරුවෙ ඇවිදගෙන  යන මේ පුංචි කෙල්ල ගැන, ඊට එහා ගියපු ලොකු කැමැත්තක් මගේ හිතේ ඇතිවෙලා තිබුණා.. ඒත් ඇත්තටම වචනවලින් විස්තර කරන්න බැරි දෙයක්.. මං හිටියේ ඒ විස්තර කරන්න බැරි දේ අතරෙ අතරමං වෙලා..

"ලොකු පුතේ.. උඹ කොහෙද බං..?"

ගාල කඩාගත්තු කේප්ප වස්සෙක් වගේ චාමික අපි ඉස්සරහට කෙලගෙන ආවා.. මූ එන හැටියට මොනවම හරි නස්පැත්තියක් වෙලා තමයි..

"කෑගහන්නෙපා චාමික.. මොකද වෙලා තියෙන්නේ..?"

"මුකුත් වෙලා නෑ.. බින්දුයි, නිරෝෂීයි ආවා.. දැන් තව ටිකකින් ඇතුළට එයි.. කෝ අමිලයා..?"

මේකව මැරුවත් හිත් වදින්නෙ නෑ.. ෂිහ්.. දුවගෙන ආපු හැටි මූද ගොඩ ගලනවා වගේ.. මං හිතුවෙ බාල්දියක්ම තමා කියලා.. 

"අමිල අර පැත්තට ගියා.. එන්න නෙත්මි අපි අර පැත්තට යමු.."

නෙත්මිගෙ අතින් ඇදගෙන මං ඊට ඩිංගක් එහා තිබ්බ නම දන්නැති ලොකු මල් ගහක් ළගට ගියා..

"ඔයා නම් හොද නෑ රන්දික.."

මගෙත් අත මුදවා ගන්න ගමන් උරහිසට පාරක් ගහලා නෙත්මි මගේ මූණට එබුනා..

"ඒ ඇයි..?"

"ඇයි කියන්නෙ.. ඔයා මාව ඇදගෙන දුවන් ආවෙ සතෙක් ඇදන් එනවා වගේනේ.. මේ බලන්න.. මගේ අතත් රතුවෙලා තියෙන හැටි.."

සියුමැලි මලක් වගේ තියෙනව අතක, මගේ දරදඩු ඇගිලි පාරවල් වැදිලා රතුවෙලා තියෙන හැටි මං දැක්කා..

"සොරි නෙත්මි.. මං ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි.. කෝ ඔයාගෙ අත දෙන්න.."

මං නෙත්මිගෙ අත ඉල්ලුවෙ ඇත්තටම අත අතගාන්න.. එයා මගේ දිහාට හෙමින් සීරුවෙ අත දික් කරත්, එයාගෙ මූණ හුගාක් ඉක්මනට වෙනස් වුණා.. මට දික් කරපු අතත් එයා ආපහු ඇදලා ගත්තා..

"දෙ.. දෙයියනේ.. මට නම් අදහාගන්නත් බෑ.."

ඒ හැම ක්‍රියාවකටමයි, හැම වචනෙකටමයි හේතුව මගෙයි, නෙත්මිගෙයි ඇස් ඉස්සරහ තිබුණා.. අපිටටිකක් විතර එහායින් මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම පෙම් යුවල වගේ ඇවිදගෙන ගියේ නිරෝෂියි, බින්දුයි.. දෙයියනේ.. ගෑනු කියන්නෙ මොන තරම් චපල සත්ව කොට්ටාශයක්ද..? දැන් ටික දවසකට කලින් එකෙක් එක්කං ගාඩ්න් එකට ඇවිත් ඌට ඉස්පිරිතාලෙටම යන්න වැඩ සිද්ධ කරා.. ඌ එක්කම අත්වැල් පටලගෙන ආපු මේ කෙල්ල අද කිසිම හිරිකිතයක් නැතුව අපේ බින්දුගෙ දකුණු අතේ එල්ලිලා හින්දි ෆිල්ම් රගපානවා..

"දැනුත් ඔයා ඒ ගර්ල් ගැන, මට ගැරෙන්ට් කරනවද..?"

තාමත් බයවෙලා වගේ බින්දුයි, නිරෝෂියි දිහා බලන් ඉන්න නෙත්මිගෙන් මං ඇහුවා.. ලෝකෙ තියෙන ලොකුම පුදුමෙ තමන්ගෙ ඇස් ඉස්සරහ තියෙනවා වගේ ලොකු පුදුමෙකින් එයා බලන් හිටියා..

"මො... මොකක්ද රන්දික ඔයා ඇහුවේ..?"

"මං කිව්ව දේවල් බොරු නෙමේ නේද..? දැන් ඔයාට තේරෙනවා මං නලින්දට ගැහුවෙ ඇයි කියලා.. ඔය එෆෙයාර් එකට දැන් අවුරුද්දකටත් වැඩියි.. එහෙම තියෙද්දි තමයි මෙයා නලින්ද එක්ක රවුම් ගැහුවේ.."

"දෙයියනේ.. මේක නම් කීයටවත් වෙන්න බෑ.. අනික මට විශ්වාස කරන්නත් බෑ.."

"ඇස් දෙකට මේ තරම් දෙයක් දැකලත් ඔයා කියන්නෙ විශ්වාස කරන්න බෑ කියලද..? අර විදියට ජෝඩුදාලා තුරුල් වෙලා යන එකත් ඔයාට විශ්වාස කරන්න බැරිද..?"

බලන් ගියාම නෙත්මි කියන්නෙ අරුමප පුදුම කතානේ.. ඇයි දෙයියනේ.. ඇස් ඉස්සරහින් බයිස්කෝප් ඇට් කර කර යන නිරෝෂියි, බින්දුයි දැකලා විශ්වාස කරන්න බෑ කියන්නෙ.. ඇස්වල හොටුද මන්දා..?

"ලොකු වැරදීමක් වෙලා රන්දික.."

නෙත්මි මගේ අත් දෙකෙන්ම අල්ල ගත්තා.. කලින් රෝස පාටට ජම්බු ගෙඩියක් වගේ තිබ්බ මූණ තත්පරෙන් තත්පරේ සුදුමැලි පාට වෙන හැටි මං දැක්කා..

"වැරදීමක් වෙලා..? කාටද..? ඔයාටද..? මටද..? ඔයා මේ කියවන්නෙ මොනවද නෙත්මි..? අර යන බින්දුවා මට අදුනගන්න බැරිද..? මං ඌව කොයි තරම් කාලයක් තිස්සෙ ඉදන්ද දන්නේ..?"

මං අහපු දේට, කියපු දේට කිසිම දෙයක් කියන්නැතුව නෙත්මි මගේ මූණ දිහා බලන් හිටියා.. ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව එයා බලන් ඉන්නකොට මේ හැම දෙයක්ම වෙනස් නොවී කාලය ඔහොම්ම නතර වෙනවා නම් කියලා මට හිතුණා.. කොයි තරම් කලබලකාරී අවස්ථාවක උනත් ඒ සුන්දර හැගීම් උඩ ජීවිතේ කිසිම වග විභාගයක් නැතුව දිය කරලා දාන්න පුළුවන් තරමෙ හැගීමක් මට තිබුණා..

"රන්දික.."

"ඇයි..?"

"මේ මං දිහා බලන්න.."

වෙලාවකට නෙත්මි කියන්නෙ මහ පුදුම දේවල්.. මෙච්චර වෙලා එයයි, මමයි දෙන්නම කරේ මුණින් මූණ බලන් ඉදපු එක.. දැන් කියනවා එයා දිහා බලන්නලු.. 

"මං ඔයා දිහා තමා බලන් ඉන්නේ.."

"ඒ උනාට ඔහොම බලන්නෙපා.. හරි අමුතුයි.."

"මටත් අමුතුයි තමා.. මොකද මං මීට කලින් කෙල්ලෙක් ළග ඉදගෙන ඔහොම බලන් ඉදලම නෑනෙ.."

නෙත්මිගෙ සුදුමැලි වෙච්ච මූණ, ලා රෝස පාටට ආයෙත් හැරුණා.. එයාට ලැජ්ජ හිතුණා කියලා මට තේරුණා.. මේ කතාව මෙහෙම ගියොත් කොහෙන් කෙලවර වේවිද මංදා.. ජීවිතේටවත් හිතුවෙ නැති දෙයක් තමයි එතනින් එහාට දිගෑරෙන්නේ..

"ඔයා දන්නවද රන්දික මං පුදුම උනේ ඇයි කියලා..?"

කරගෙන ගියපු කතාව සම්පූර්ණයෙන්ම නවත්තලා දාලා, කලින් කතාව නතර කරපු තැනින් නෙත්මි ආයෙත් කතාව පටන් ගත්තා..

"ඔව්.. මං දන්නවා.."

"හොදයි.. කියන්න බලන්න.."

ඒ වෙනකොට බින්දුයි, නිරෝෂියි අපි ගාවින්  හුගක් ඈතට ගිහින් තිබුණා.. නෙත්මිගෙ මූණෙ කලින් තිබ්බ කලබල ගතිය මේ වෙනකොට ඩිංගක්වත් තිබුණෙ නෑ.. එයා ඉන්නෙ හොදටම සන්සුන්වෙලා කියනෙක මට තෙරුණා.. ඒ කියන්නෙ නෙත්මි, මං කියන දේ පිලිගන්නෙ නෑ කියනෙකද..? මගේ ඔලුව පුරාම තිබ්බෙ ප්‍රශ්න පත්තරයක්.. 

"ඔයා මේ තරම් ගැරන්ට් කරපු නලින්දගෙ, ගර්ල්ගෙ ඩබල් ඇක්ටින් එක ඇස් දෙකෙන්ම දැක්කා නේද..?"

"නෑ.. ඒක නෙමෙයි.."

"එහෙනම්..?"

"ඒ එතන හිටියෙ නලින්දගෙ ගර්ල් නෙමෙයි හින්දා.."

"මොනවා..?"

නෙත්මි කියන්න හදන්නෙ මොනවද..? කිව්වෙ මොනවද කියලා මට හිතාගන්න බැරිවුණා.. ඒ වෙනකොට අමිලයි, චාමිකයි අපි ඉන්න තැනට ඇවිල්ලා තිබුණා..

"කෝමද ජෝඩුව.. ෆිල්ම් එකක් ඇට් කරන්න වගේ මෙතෙන්ට පාවුන  හැටි.. මිස්.. ඔයා ඇස් දෙකෙන්ම දැක්කා නේද..? දැන් වෙන මොනවාද කියන්නේ..? අපේ යාලුවගෙ කතාව ඇත්ත නේද..?"

නෝන්ඩි හිනාවක් දාලා අමිල, නෙත්මිගෙන් ඇහුවා.. ලොකු පුතා උනත් හිටියේ හෙණ අලි උනකින්.. මොකද උං දෙන්නම දන්නවා මේ සිරියාවන්ත දර්ශනේ දැක්කට පස්සෙ නෙත්මි, නිරෝෂිත් එක්ක ජන්මන්තර වෛරයක් පටන් ගන්න බව.. එතකොට උංගෙ බන්ටි නිදහස් වරිතයක්නේ..

"යාලුවගෙ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි අමිල.."

"වැරදියි.. ඒ කොහොමද එහෙම වෙන්නේ..? ඇයි දැන් මෙතනින් ජෝඩු දාලා ගියපු ජෝඩුව, ඔයා දැක්කෙ නැද්ද..? ඔයා කොයිද බලන් හිටියේ..?"

"මං බලන් හිටියෙත් ඔයාලා බලන් ඉදපු දිහා තමයි.. ඒත් ඔයාලගෙ යාලුවත්තෙක්ක ජෝඩු දාලා ගියේ, නලින්දගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමෙයි.."

"මොනවද ලොකු පුතේ මෙයා මේ කියවන්නේ..? අපේ ඇස්වල හොටු කියලද මෙයා මේ කියන්නෙ..?"

"ඔයා කියන දේ අපිට තේරෙන්නෑ නෙත්මි.. දැන් බින්දුත් එක්ක ඇවිදන් ගියේ නිරෝෂි නෙමෙයි නම් වෙන කවුද..?"

"ඔයා හරි රන්දික.. දැන් ඔය ගියේ නිරෝෂි වෙන්න ඇති.. ඒත් නලින්ද එක්ක යාලුවෙලා හිටියෙ නිරෝෂි නෙමෙයි.."

"මෙයාගෙ ඔලුව කොහේ හරි හැප්පිලා ලොකු පුතේ.. අපිට මුල්ලේරියාවෙ යන්න වේවිද..?"

ලොකු පුතා මගේ කණට කරලා කියද්දි, නෙත්මි තරහෙන් වගේ ඌ දිහා බැලුවා.. චාමික පටස් ගාලා බිම බලාගත්තා..

"මං කියන දේ තේරුම් ගන්න.. මට තේරෙන විදියට මෙතන ලොකු වැරදීමක් වෙලා.."

"වැරදීමක් වෙලා නම් මං අහන්නෙ මොකක්ද ඒ ලොකු වැරදීම කියලා..?"

"නලින්ද එක්ක යාලුවෙලා  හිටියෙ ශලනි.. මං එයාව දන්නවා.. එයාට නිරෝෂි කියලා නමක් නෑ.. අනික මං මේ දැකපු ගර්ල්ට වැඩිය ශලනිගෙ කොන්ඩෙ දිගයි.. එයා ඔය විදියට කොටට අදින්නෙ නෑ.."

"හත්තිලව්වේ.. මොකක්ද මේ ලොකු පුතේ මේ කතාව..?"

"මටත් හිතාගන්න බෑ.."

"එතකොට නෙත්මි කියන්නෙ, නිරෝෂි වගේ තවත් ගර්ල් කෙනෙක් ඉන්නවා කියලද..?"

"ඔව්.. මං මේ දැන් දැකපු ගර්ල් ශලනි නෙමේනේ.. මං මුලින් පුදුම උනේ ශලනිගෙයි, මේ දැන් දැකපු ගර්ල්ගෙයි සමානකම් දැකලා.. මුලින්ම මටත් මුකුත් හිතාගන්න බැරිවුණා.. ඒත් තවත් හොදින් බලද්දි මේ ශලනි නෙමෙයි කියලා මට තේරුණා.."

"ඒ කියන්නෙ මේ දෙන්නා ට්වින්ස්ලා වෙන්න ඕන.."

ඇග පත, බඩ, පපුව, දාගෙන යද්දි මගේ කටින් පිටවුණා.. කවුද හත්දෙයියනේ මෙහෙව් වින්නැහියක් දන්නේ.. නිරෝෂියි, මේ ශලනි කියන ගෑනු ලමයයි එක වගේ කියලා අපි කොහොමද හත්තිලව්වෙ දන්නේ..

"ඔව් රන්දික.. මේ දෙන්නා හුගාක් දුරට ට්වින්ස්ලා වෙන්න ඇති.. ඒත් මට කවදාවත් නලින්ද ඔය වගේ කතාවක් කියලා තිබ්බෙ නෑ.. අඩු ගානෙ ශලනිවත් නිකමටවත් ඇගෙව්වෙ නෑ.. එයාගෙ නිවුන්නෙක් ඉන්නව කියලා.." 

"පිස්සු හැදෙනවා ලොකු පුතේ.. දැන් නම් මගෙ ඇගේ මාලු නටනවා.. ඇයි අපේ බින්දුවා මේ කුණුහරුප අපට කලින් කිව්වෙ නැත්තේ..? මූ හින්දා තව ඩිංගෙන් මොන අවමගුලක් වෙන්න තිබ්බද..?"

"ඔව් තව නූලෙන් ඇටකිච්චා මැරුම් කනවා.. හයියෝ.. මේක මාර පටලැවිල්ලක් උනානේ.."

නෙත්මි කිව්ව දේ නම් හරි නම් සිද්ධ වෙලා තියෙන පටලැවිල්ලෙ බරපතලකම මට හොදටම තේරුණා.. බින්දුගෙ ආදරේ නැති කරා කියලා අපි මේ කොහේවත් ඉන්න ඇටකිච්චෙක් අල්ලං තඩිබෑවා.. අර අමිල කිව්වත් වගේ තව ඩිංගෙන් ඌ ගුටිකාලා මැරෙනවා.. ෂිහ්.. මොන තරම් අවුලක්ද මේ වෙලා තියෙන්නේ.. මං පණ දාගෙන වෙච්ච මහන්සියෙ ප්‍රතිඵලේ ගගට කකපු ඉණි වගේ තමයි.. විහිලුවටවත් ගන්න ඉන්නක් නෑ..

"දැන් ඉතිං මොකෝ කරන්නේ..?"

මං ආයෙත් නෙත්මි දිහාට හැරුණා.. අමිලයි, ලොකු පුතයි ඒ අතරෙ විවිධ දේ කියනවා.. උංට වගේ තමයි මටත් මේ වෙච්චි දේ අදහාගන්න බෑ..

"කරන්න කිසිම දෙයක් නෑ රන්දික.. අපි යමු.."

නෙත්මි ඉස්සර උනා.. ඒත් මට එයත් එක්ක යන්න තරම් හිතට නිදහසක් තිබුණෙ නෑ.. වෙච්ච වැඩේ හින්දා මං හිටියෙ අතරමං වෙලා වගේ..

"ඔයා යන්න නෙත්මි.. අපි තව ටිකක් ඉදලා එන්නම්.."

"ඔයා හුගක් අවුල් වෙලා රන්දික.. ඕක වැඩිය ගණන් ගන්නෙපා.. හැමදේම වෙන්නෙ හොදටනේ.. බලන්න ඔයා අද මට බින්දුලව පෙන්නන්න ආවෙ ඔය නිරෝෂිගෙ හැටි පෙන්නන්න නේ.. ඒත් ඒකෙන් අපි කවුරුවත් දන්නැති දෙයක් අපිට අහු උනානේ.. අඩු ගානෙ ඒ ගැනවත් හිතන්නකෝ.. මූණ එල්ලගෙන ඉන්නැතුව.. අපි පස්සෙ ශලනි එක්ක කතා කරලා විස්තරේ දැනගනිමු.. නිරෝෂියි, එයාගෙයි සම්බන්ධෙ මොකක්ද කියලා.."

"ඔව් ඉතිං.. එහෙමවත් කරමු.."

"ඇයි රන්දික ඔයා තවත් හිතේ අමාරුවෙන් ඉන්නේ..?"

"මේ කෙහෙල්මල් හින්දා මං අර කොහේවත් ඉන්න කොල්ලෙකුට හොදටම ගැහුවනේ නේතමි.. එක්කො අපිට හරියට හොයාලා බලන්න  තිබුණා.. එහෙම කරන්නෙ නැතුව අපි ඌට ඉස්පිරිතාලෙ යනකන් ගහපු එක වැරදියි.."

"මම නම් කියන්නෙ ඔයා ඒ කරපු වැඩේ හරි කියලා.."

හිටපු ගමන් නෙත්මි කිව්වෙ පුදුම කතාවක්.. වෙච්ච දේ අදහගන්නත් බැරුව මං මේ විකාරෙන් කියවනවා.. මෙයා වොලී බැස්ටියන්ගෙ බයිලා ගහනවා..

"මං කරපු වැඩේ හරි..?"

"ඔව්.. නැත්තං මංවත්, ශලනිවත් දන්නෑ නලින්ද කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියලා.. වැරදීමකින් හරි ඒ දේ ඒ විදියට සිද්ධ වුණ එක හොදයි.. හිතේ දුක කොයි තරම් පිරුණත් ශලනි, නලින්දගෙන් ගැලවුණානේ.. ඒ පිනම ඇති රන්දික ඔයාට ලස්සන ගර්ල් කෙනෙක් හම්බවෙන්න.."

නෙත්මි හදන්නෙ කතාවෙ ට්‍රැක් එක මාරු කරන්න කියලා මට තේරුණා.. මොනවා නැතත් මේ කෙල්ලට හුගාක් දේ තේරෙනවා.. අඩුගානෙ කෙනෙක්ව අවුල් වෙලා ඉන්නකොට ඒ අවුල ලිහල දාන්නෙ කොහොමද කියලා..

"ඇයි මට ගර්ල් කෙනෙක් හම්බවෙන්නේ..?"

"ඔයාට ගර්ල් නෙකෙන් නැති හන්දා රන්දික.."

"එහෙනම් ඉතිං මේ පිනෙන් කොටසක් ඔයාටත් අයිතිනේ.. ඔයත් මේ කතාවට සෑහෙන්න දායක උනානේ.. ඒක  හන්දා ඔයාටත් ලස්සන බොයි කෙනෙක් හම්බවෙයි.. මේ කරපු දේවල්වල ආනිසංසයෙන්.. නැද්ද චාමික.."

"මේ.. මේ.. උඹයි, නෙත්මියි මරු කියවගෙන අන්තිම හරියට මාව දාගන්නෙපා.. ඒකත් උඹලම බේරගනිල්ලා.. බලපං අමිල.. මෙච්චර වෙලා දෙන්නා තනියෙම කියවගෙන එනවා අපිව ගාගන්න.."

"හරි.. හරි.. උඹගෙ පන්ඩිතකම වහගනිං.. ඕකෙ සද්දෙට නෙත්මිගෙ කන් අඩි පැලෙයි.. හරියට නිකං අලියෙක් කෑගහනවා වගේ.."

"රන්දික.. මාව ගේට් එක ළගට ගිහින් දානවද..?"

ලොකු පුතා හොඩේ වන වනා කෑගහද්දි නෙත්මි මට ලංවෙලා ඇහුවා.. ඒ ඇස් දෙක ටීක් බෝල දෙකක් වගේ.. ඉර එළියට දිලිසෙනවා..

"යං.."

අමිලයි, ලොකු පුතයි එතනම ඉද්දි මං ඉස්සර උනා.. උන් දෙන්නටත් යනවා කියාගෙන මං එක්ක නේතමි පෙලට සෙට් උනා..

"දැන් ඉතිං ප්‍රශ්න ඔක්කොම ඉවරයි නේද රන්දික..?"

"ඉවරමත් නෑ.. ශලනියි, නිරෝෂියි ගැන විස්තර තව ටිකක් හොයාගන්න ඕන.."

"මං දන්නවා.. ඔයා විස්තර හොයන්නෙ ඇයි කියලා..?"

"ඒක ඉතිං ඕන කෙනෙකුට කියතැහැකිනේ නෙත්මි.. වෙන මුකුත් නෙමේ මේ පටලැවිල්ල පටන් ගත්තෙ කොහෙන්ද කියලා හොයාගන්න.."

"නෑ.. නෑ.. ඒක නෙමේ.."

"එහෙනම්..?"

"දැන් ශලනිව වේකන්ට් වෙලා තියෙන හන්දා.. ඔයාට දැන් එයාට ලංවෙන්න පුළුවන් හින්දා.."

නෙත්මිගෙ කතාවෙන් මං ගැස්සුනා. ඇත්තටම මට දැන් ඕන වෙලා තියෙන්නෙ ඒ දේද..? 

"නෑ.. මගේ හිතේ එහෙම දෙයක් නෑ.."

"නැත්තෙ නෑ මට තෙරෙනවා.."

"ඒක නිකං ඔයා රසික අයියව හිතේ තියන් ඉන්නවා වගෙ දෙයක් කියලද ඔයා කියන්නේ..?"

මං අහපු දෙයින් කෙල්ලගෙ මූණ රතු වුණා.. ඒ රතු වෙච්ච මූණෙන් එයා අමුතු විදියට මං දිහා රවලා බැලුවා.. 

"රසික අයියා ගැන ඔයා හිතන විදියෙ දෙයක් මගේ හිතේ නෑ රන්දික.. ඒක නිකං සාමාන්‍ය හැගීමක් විතරයි.."

"ඔය ගෑනු ළමයින්ගෙ හැගීම් ගැන මං දන්නෑ නෙත්මි.. එයාලගෙ හුගක් හැසිරීම් මට තේරෙන්නෙ නෑ.."

"අපොයි.. ඒක නම් මහම මහ පචයක්.. ඔයාට හොදට තේරෙනවා.."

"මට තේරෙනවා.. ඒ කවුරු ගැනද..?"

"කවුරු ගැනද කියලා කල්පනා කරලා බැලුවොත් තේරෙයි.. එහෙනම් මං යන්නද..?"

"හොදයි.."

"එ පාර මූණ බෙරි කරගත්තා.. අනේ මං දැන් යන්න ඕනනේ රන්දික.."

"හරි.. හරි යන්න.. මං ඔයාව අල්ලන් හිටියෙ නෑනේ.."

"ඔයා නම් හරි නරකයි.. මහ කටු අත්තක්.. කොයි තරම් හොදින් හිටියත් පැටලෙන්නමයි බලන්නේ.."

"පැටලුනා නම් කමක් නෑ.."

"ඇයි ඒ..?"

"පැටලෙන්නෙ ඔයත්තෙක්ක නේ.."

ඒ පාර නම් නෙත්මිගෙ මූණ මැදට ලොකු හිනාවක් ආවා.. ඒ හිනාවෙන්ව එයා මගේ පිටට හෙමීට පාරක් ගැහුවා..

"හරි.. දැන් මම යන්නද..?"

"හොදයි ගිහිල්ලා එන්න.."

"ගිහින් එන්න කිව්වේ, ආයෙ ගාඩ්න් එකටද..?"

"ඔව්.. එහෙම උනත් කමක් නෑ.. ඔයා එනවා නම් මාත් එන්නම්.."

"ඔයා නම් මහ පිස්සු කොල්ලෙක්.. ඇත්තටම ඔයාට කියන්න වෙන මුකුත්ම නැද්ද..?"

"තියෙනවා.."

"ඉතං කියන්නකො රන්දික.. මට දැනටමත් හුගාක් පරක්කු වෙලා.. ප්ලීස්.."

"ඔයා මට දීපු සහයෝගෙ මං අගය කරනවා නෙත්මි.. සමහර විට ඔයා හිටියෙ නැත්නම් මේ බින්දුලගෙ කතාව තව සීරියස් වෙන්න තිබුණා.. ඔයා වෙලාවට ආවේ.. ඒ වගේම ඔයා, මාව විශ්වාස කරපු එක ගැනත්, මට හුගක් ආඩම්බරයි.. ඒ ආඩම්බරකම හැමදාම මගේ හිතේ තියේවි.. ඒ වගේම.. ඒ වගේම ඔයා හොද ගෑනු ළමයෙක් එක්ක දවස් කීපයක ලස්සන මතකයක් හැමදාටම මගේ හිතේ රැදිලා තියේවි.. එහෙනම් ගුඩ් බායි කිව්වා.."

"අනේ.. ඔයා මොනවද මේ කියවන්නෙ රන්දික.. ඔයා හදන්නෙ මාව අඩවන්නද..? මේ බලන්න ඔයාගෙ කතාවට මගෙ ඇස්වලට කදුළුත් ආවා.. මං මොනවා හරි කියන්න කිව්වෙ ඔය වගේ දෙයක් අහන්න නෙමේනේ.."

ඇත්තටම නෙත්මිගෙ ඇස් වලට කදුළු ඇවිල්ලා තිබුණා.. බන්ටිගෙ වැඩ එහෙමයි.. සීරියස් වෙන්න ඕන තැනදි සීරියස් වෙලා සංවේදී වෙන්න ඕන තැනදි සංවේදි වෙනවා.. 

"ඒ උනාට මට කියන්න තියෙන්නෙ ඒ ටිකනේ.."

"ඔයා කතා කරන්නෙ අපි ආයෙ හම්බවෙන්නෑ වගේ.."

"ඒක ඉතිං අනාගතේට බාරදෙන්න නෙත්මි.."

"හරි.. කමක් නෑ.. මං ඔයාට තව දෙයක් කියන්නයි හිටියේ.."

"ඒ මොකක්ද..?"

"මං හෙට ඔයාගෙ අම්මව බලන්න යනවා.. අම්මට මං මොනවා හරි ගෙනියන්නද..?"

වෙන්වෙලා යන්න අන්තිම තත්පරේදි අපහු දෙයින් මං උඩ ගිහින් බිම වැටුණා.. දෙයියො සාලේ.. මං පේරාදෙණියෙ ගාඩ්න් එකෙ.. මේ මොනවද යකෝ මේ වෙන්නේ..? නෙත්මිට කියපු පච කන්දරාව දැන් ආයෙත් ගොඩ ගලන්නයි හදන්නේ.. විහිලුවට වගේ මං කියපුවයෙ ප්‍රතිඵලය නම් විහිලු නෙමෙයි..

"ඕනනෑ නෙත්මි.. එයා කවුරුවත් දෙන දේවල් ගන්නෑ.. ඇරැත් එයා බලාවි හිටපු ගමන් මොකද මේ කියලා.."

"ඒකත් ඇත්ත තමයි.. එහෙනම් මං යනවා රන්දික.. යාලුවොන්ව මතක් කරා කියන්න.."

පාර දිගේ ගස් පේලිය අයිනෙන් නේතමි ඈතින් ඈතට පේන්නැති වෙලා යනකන්ම  බලන් ඉදලා මං ආපහු හැරුණා.. එතකොට තමයි මං දැක්කෙ ගේට් එක ළග චාමිකයයි, අමිලයයි ඉන්නවා..

"ඇස් අහකට ගන්න හිතෙන්නෙම නෑ නේද බන්ටි..?"

පිටට තට්ටුවක් දාන ගමන් අමිලයා කිව්වා..

"ඒ කතාව නම් ඇත්ත අමිල.. එයා හරිම හොද කෙල්ලෙක්.. කෙල්ලෙකුට තියෙන්න ඕන හැම ගුණාංගයක්ම අඩුවක් නැතුව එයා ළග තියෙනවා.. ඕනවට වැඩිය වැඩිත් නෑ.. ඕනවට වැඩිය අඩුත් නෑ.."

"මේන් බලපං ලොකු පුතේ.. ජීවිතේට කෙල්ලෙක් ගැන විග්‍රහ නොකරපු අපේ බන්ටිට වෙලා තියෙන දේ.. මට නම් පේන්නෙ ඒකි උඹේ හිත අරන් ගිහින් වගේ බන්ටියා.."

"එහෙම දෙයක් නෑ චාමික.. එයාගෙ හිතේ ඉන්නෙ අපේ අයියව.. අයියයි, නෙත්මියි අතරෙ මං පුංචි තඹ කාසියක් විතරයි.."

"අයියාකාරයා ට්‍රයි කරන්නෙ වෙන කෙල්ලෙකුට කියලා උඹ කිව්වනේ බන්ටි.. එතකොට අයියා කාරයා මේ ගෑනු ළමයි දෙන්නවම යාලු කරගන්නද හදන්නේ..?"

"මං දන්නෑ අමිල.. අයියා, පිණිමුතු කියලා කෙල්ලෙකුට කැමතියි.. එයා අපේ අක්කගෙ යාලුවෙක්.. හැබැයි ඉතිං නෙත්මිගෙ හිතේ අපේ අයියා ඉන්න හින්දා මං කැමතියි එයාට අපේ අයියව හම්බවෙනවා නම්.. නෙත්මි කියන්නෙ පවුලකට සම්බන්ධ කරගන්න පුළුවන් හොද ගතිගුණ තියෙන ලස්සන කෙල්ලෙක්නේ.."

"හරි.. අපි ඔය කතාව ටිකක් පස්සට දාමු.. සිද්ධ වෙන දෙයක් හොද විදියට සිද්ධ වෙයිනේ.. දැන් මේ වැටිච්ච මරාලෙට මොකද කරන්නෙ බන්ටි..?"

අමිල කරගෙන ගියපු කතාව මග නවත්තපු එක හොදයි.. මොකද නෙත්මි ගැන කතා කරද්දි මම ලොකු අපහසුතාවයකට පත්වෙලයි හිටියේ.. මොකක්දෝ නිකං කියාගන්න බැරි අමුතු කාන්සියක් මට දැනෙන්න පටන් අරන් තිබුණා.. හදුනාගන්න බැරි වේදනාවක අංශු මාත්‍රයකුත් ඒ කාන්සියෙ වැටිලා තිබුණා..

"කරන්න තියෙන්නෙ එකම දෙයයි.."

"ඒ මොකක්ද ලොකු පුතේ..?"

"ඉස්සෙල්ලම මේ විස්තරේ නිරෝෂිගෙන් අහන්න ඕන.. බින්දු ඉස්සරහම, ඇටකිච්චට ගහපු කතාව අපට කියන්න වෙනවා.. මොකද අපි දන්නෑ අමිල, නිරෝෂිය අර ශලනියි අතරෙ තියෙන්නෙ මොන වගේ දෙයක්ද කියලා.."

"ඒ කියන්නෙ උං ට්වින්ස්ලා නෙමෙයි කියලද ලොකු පුතේ.."

"නෑ චාමික.. එයාලා ට්වින්ස්ලා වෙන්න ඇති.. ඒත් එයාලා දෙන්නා එකට නැත්තෙ ඇයි..? කොටින්ම එක වගේ හැඩහුරුකම් තියෙන ගෑනු ළමයි දෙන්නෙක් මේ නුවර එහෙට මෙහෙට දවසක් දෙකක් හරි ඇවිද්දා නම් අපිට මාට්ටු වෙනවනේ.. ඉතිං එහෙම දෙයක් උනේ නැති එකෙ.. මට නම් හිතෙන්නෙ එයාලා දෙන්නා අතරෙත් ගැටලු තියෙනවා කියලයි.."

"හරියටම හරි බන්ටි.. උඹ ඒක ලස්සනට විග්‍රහ කලා.. මොකද හැම වෙලාවෙම නිරෝෂියි, ශලනියි වෙන වෙනම තමයි අපේ කොල්ලො දැක්කේ.. එයාලා දෙන්නා එකට ඉන්නවා කවුරුත් දැකලා නෑ.. අඩුම ගානෙ දවසෙ පැය විසි හතරම මහ පාරෙ ඉන්න අපේ රවීන්වත් එහෙම දෙයක් දැකලා තිබුණෙ නෑ.."

"හුගාක් වෙලාවට අමිල.. අපේ කොල්ලො සෙට් එක එක වගේම, මමත් දැක්කෙ ශලනියි කියලා මට හිතෙන්නේ.. නිරෝෂි ඒ දවස්වල විහිලුවකට ගෙදරින් එළියට බහින්නෙ නැතුව ඇති.. හැබැයි ඉතිං ඒකෙන් උනේ අර අහිංසක ඇටකිච්චා නැව් ගානට ගුටි කාපු එක.."

"දැන් නම් බන්ටි.. මට නිරෝෂිගෙ මූණවත් බලන්න ලැජ්ජයි. අපි මොන තරම් පහත් විදියටද එයා ගැන හිතාන හිටියේ.."

"ඒක තමයි බං මාත් කියන්නේ.. හැබැයි ඉතිං අපි අහපු ආරංචි අනුව, අපි දැකපු දේ අනුව අපි ක්‍රියාත්මක වුණා.. ඒක අපේ වැරැද්දක් නෙමෙයි.. අපි ඒක බින්දුට පහදලා දෙමු.."

"එහෙනම් ඉතිං යමු.. මං දැක්කා උං පිට්ටනිය පැත්තට යනවා.."

ලොකු පුතාට ඕන දේ ඉක්මනට ඉවරයක් කරන්න.. මගේ හිතටත් ඒ දේ කරන්න ලොකු ඕන කමක් තිබ්බත් මං හිටියෙ ලොකු පීඩනයකින්.. මොකද බින්දු වෙනුවෙන් මේ අද දක්කා මං කරපු හැම දෙයක්ම වතුරෙ ගියා කියලා මං ඒ වෙනකොට දැනන් හිටියා..

"හැබැයි චාමික.. බින්දුයි, නිරෝෂියි අපේ ගෙදර හවස එනවා කිව්වනේ.." 

"ඔව්.. ඒකත් ඇත්ත තමා.. එහෙනම් අපි හවසට ආයෙ සෙට් වෙමු.. මං සුරේන්ටයි, රවීන්ටයි පණිවිඩේ දෙන්නම්.."

"ඒක හොදයි.. අපි දැන් මෙතෙන්ට ආවා කියලා බින්දුට කියන්න ඕන නෑ.. කතාව යන පැත්ත බලලා අපි ක්‍රියාත්මක වෙමු.. එහෙම හොදයි නේද ලොකු පුතේ..?"

"එහෙම හොදයිද බන්ටි..?"

"ඔව්.. එහෙම හොදයි.. හවස ටිකක් කලින් වරෙල්ලා.. ගෙදර වත්තෙ බංකු උඩ අපි සෙට් වෙමු.."

දැන් ආයෙ බින්දුයි, නිරෝෂියි ළගට ගිහිල්ලා වැඩක් නෑ.. උං දෙන්නා පිට්ටනියෙ මැද්දට වෙලා පට්ට අව්වෙ යස අගේට ප්‍රේම කරනවා ඇති.. මොනව උනත් අද නෙත්මිව මෙතෙන්ට එක්කං ආපු එක නම් දෙයියො බැලුවා වගේ දෙයක් තමයි.. නැත්තං තව ඉස්සරහට බින්දු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ගිහිල්ලා මං කන පරිප්පුව ගැන ලියන්න විශ්ව කෝෂෙකුත් ඕන වෙනවා.. අනික තමයි ඇටකිච්චට තව එෆෙයාර් එකක් තිබ්බ එක.. එහෙම නොවුනා නම් ඇටකිච්චා යාලුවෙලා හිටිය ශලනි එක්ක විතරයි නම්, ඒ ආදරේ කඩලා දාන්න සම්මාදන් උනා කියලා මට පුදුම පාප කර්මෙකුයි වෙන්නේ.. එහෙනම් ඉතිං මං ඇදගෙන නාන හැටි මටවත්  හිතාගන්න බෑ.. ඔක්කොම වෙන්නෙ හොදටයි කියලා කතාවකුත් තියෙනවනේ..  



                                   

No comments:

Post a Comment