Tuesday, April 10, 2012

| ඒ ම‍ගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක |






තව සතියක් විතර කිසිදු අවුලකින් තොරව චැලිය පදින්න පුළුවන් හින්දා මං වෙනදට වැඩිය අඩි දෙක තුනක් උඩින්.. ඇයි අප්පා.. අක්කා කිසිම ලෝබකමකින් තොරව ෆුල් ටෑන්ක් ප්‍රැටෝල්  ගහලා දුන්නේ..

"බන්ටී.."


මං හිටියෙ වලාකුළු බැම්මට හේත්තු වෙලා.. චාමික හිටියෙ මට ටිකක් විතර එහායින්.. දග කරන මාලු දිහා බලාගෙන..

"උඹට කියන්න දෙයක් තියෙනවා.."

හැරිලා බලද්දි චාමිකගෙ මූණෙ මං දැක්කෙ හරිම අපූරු හිනාවක්.. නිකං නිකං පැනි පෙරෙන සයිස් එකේ එකක්..

"මොකක්ද බං..?"

"අපේ සරිගමයටත් ගෑනු ළමයෙක් සෙට් වෙලා ලොකු පුතේ.."

"මේකා නිකංවත් මට කිව්වෙ නෑනේ බං.."

"ඌට ලැජ්ජලු උඹට කියන්න.. බන්ටි තාත්තා කෙනෙක් වගේ හැම දෙයක් ගැනම කියලා දෙද්දි ඌට මහ මොකක්දෝ වගේලු කෙල්ලෙක් ගැන දොඩවන්න.."

"ඌට පිස්සුනේ චාමික.. මං ඕවට විරුද්ධ වෙනවද බං.. එහෙම නම් බින්දුගෙ ආදරේටත් මං බකට් අදින්න එපෑය.. බලන් ගියාම මේකා මං ගැන මහා අමුනුස්ස තාලෙටනේ හිතාගෙන ඉදලා තියෙන්නේ..?"

"නෑ.. නෑ.. එහෙම කතාවක් ඌ කිව්වෙ උඹ ගැන උගේ හිතේ තියෙන භක්තිය පෙන්නන්නනේ බන්ටි.. මොනව උනත් අපි හැම එකාටම වැඩිය උඹ හුගාක් ඉහලින් ඉන්නේ.."

"මේ දවස් වල නම් එහෙමයි.. මොකද අක්කා චැලියට පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහලා දීලා තියෙන හන්දා.."

"උඹත් ඒ පාර පිස්සු කියවනවා.. උඹ රුපියල් දාහ දාහක් යැව්වා කියලා බින්දු අපිට කිව්වා ලොකු පුතේ.. අපිට විහිලුවටවත් කරන්න බැරි දෙයක් උඹ කරලා පෙන්නුවා.. උඹ ළගත් සල්ලි නෑ කියලා අපි දන්නවා.. ඒත් උඹ ඒක කොහොම හරි කරලා බින්දුව ගොඩ දැම්මා.. බින්දුගෙ අහිංසක පුංචි අම්මගෙ හිත සන්තෝසෙන් තිබ්බා.. ඇත්තමයි උඹව අදහන්න වටිනවා.."

චාමික කියවන දේවල් වලට මං මුකුත් එකතු කරන්න ගියේ නෑ.. දෙයක් කරලා ඉවරවෙලා කියවන පුරුද්දක් මගේ ළග නෑ.. කතන්දරේ බින්දු කියනකල් කොල්ලො සෙට් එක කිසිම දෙයක් දැනන් හිටියෙ නැත්තෙ ඒකයි..

"ඕවා මේවයි දැන් මේ උඹට වැටිලා තියෙන ප්‍රශ්නයි, අරහෙන් ශිහාන් කාරයා උඹලගෙ ගෙදර දාපු ප්‍රශ්නෙයි ඔක්කොම තියෙද්දි සුභ ආරංචියක් උනත් කියන්න ටිකක් අමාරුයි.. උඹ කොයිතරම් හිනාවෙලා හිටියත් උඹටත් තියෙන්නෙ ලාමක හිතක්නේ ලොකු පුතේ.. දරා ගන්නවා කියලා කොයි තරමක් දරා ගන්නද..? බාර ගන්නවා කියලා කොයි තරම් දුක් ගොඩක් බාර ගන්නද..?"

"ඔය කිව්ව හැමදේම තිබුණත් මගෙන් උඹලට වෙනසක් නෑ චාමික.. එදා ධර්මරාජෙදි කිබ්බ බැදීම අදටත් එහෙමයි.. මට කෙල්ලෙක් හිටියෙ නෑ කියලා උඹලගෙ ආදර සම්බන්ධතා වලදී මං අවුල් වෙන්නෑ.. මුලු බොක්කෙන්ම විෂ් කරනවා ඇරෙන්න.. පුළුවන් නම් ඒ ටික සරිගමයට කියපං.."

"ඇත්තටම ඇයි බන්ටි උඹ කෙල්ලෙක් එක්ක යාළු නොවෙන්නේ..? තියෙන්න ඕන සුදුසුකම් ඔක්කොම තිබිලත් ඇයි උඹ පස්ස ගහන්නේ..?"

"කෙල්ලෙක් එක්ක යාලුවෙන්නම කියලා නීතියක් නෑ බං.. මගේ වෙලාව තව ඉස්සරහට එයි.. මම හිතන්නෙ එහෙමයි.. අනික ඔය හුගාක් පොරවල් වගේ සසරේ ඔතාගෙන පතාගෙන යන්න නම් කෙනෙක්ව මං ප්‍රාර්ථනා කරන්නෑ.. ඒවා මහ මැටි වැඩ කියලයි මට හිතෙන්නෙ.." 

"එතකොට ලොකු පුතේ උඹ ඒ ගැන බිංදුවක්වත් හිතන්නෙ නැද්ද..?"

"ඒ ගැන කිව්වේ..?"

"කෙල්ලෙක් ගැන..?"

"මෙහෙමයි.. ලස්සන කෙල්ලෙක් දැක්කම හිතේ මොකක්දෝ අමුතු හැගීමක් ඇතිවෙනවා තමයි.. ඒත් ඒ කෙල්ලව අයිති කරගන්න තරමෙ ලෝබකමක් මට තාම දැනිලා නෑ.. ඒත් ඔය හැම එකා වගේ මාත් කොයි වෙලාවෙ හරි කෙල්ලෙක් එක්ක යාලුවෙයි.. ඒක මේ වෙලාවෙද එහෙමත් නැත්නම් ලබන ආත්මෙද කියලා නම් මං දන්නෑ.."

"බර කතාවක් වගේ.."

පුරුදු කටහඩක් ඇහිලා මායි, චාමිකයි පාර පැත්තට හැරුණෙ තරගෙට වගේ.. අම්මපා මේකි පණ තියෙනකන් මැරෙන්නෙ නෑ.. ඊයෙ ඉස්පිරිතාලෙදි මට කොන්ත්‍රාත්තුවක් බාර දීපු කෙල්ල මං ඉස්සරහ දිලිසි දිලිසි හිටියා.. හැබැයි ඊයෙ වගේ අවුල් සහගත බවක් නම් ඒ ලස්සන මුණෙ තිබ්බෙ නෑ.. නිකං අමුතු රොමෑන්ටික් ගතියකුයි තිබුණෙ..

"නෑ.. මේක සැහැල්ලු කතාවක්.."

නෝන්ඩියට වගේ හිනාවෙලා මං කිව්වා.. ගැහුවෙ හින්ට් එකක් උනත් කෙල්ල ඒක සත පහකටවත් ගණන් ගත්තෙ නෑ.. මේකි මං යන යන තැන ෆලෝ කරනවද මන්දා.. නැත්නම් කොහොමද මෙහෙම මීට් වෙන්නේ..

"මං කිව්ව වැඩේ මොකද..?"

දෙකක් නෑ.. කෙල්ල කෙලින්ම කතාවට බැස්සා.. බලන් ගියාම මේකි අංශක අනූවටත් වැඩිය කෙලින්නේ..

"මොන වැඩේද..?"

කිසිම දෙයක් දන්නෑ වගේ මං ඇහුවා.. බලාගනෙ ඉද්දිම කෙල්ලගෙ මූණ ඇඹුල් වෙලා ගියා.. බන්ටි මල්ලි.. ඔහොම යං.. ඔහොම යං.. ං කෙල්ලෙක් එක්ක යාලුවෙන වෙලාව ගැන කියලා තාම ඒ තරම් වෙලාවකුත් නෑ.. වැඩේ කියන්නෙ ඒ කතාව කියවල තියෙන්නෙ මේ කෙල්ල අත ළග තියාගෙනනේ..

"නලින්දගෙ අද නැත්නම් හෙට ටිකට් කපයි.."

"ඇත්තද.. අහන්නත් සන්තෝෂයි.."

"මොන සංතෝසයක්ද..? ඔයාට පුළුවන් නේද එයාව තව සතියක් විතර ඉස්පිරිතාලෙ තියන්න..?"

බුදු සන්තෝ.. මේකි කෙල්ලෙක්ද..? එහෙමත් නැත්නම් බජාර් එකේ චන්ඩියෙක්ද..? කිසිම කැතක් නැතුව ඒ ටික කියපු ලස්සන විතරක්.. කියන ඒවට ඇගත්තෙක්ක හිරිවැටෙනවා.. 

"ඇයි මේ හිටපු ගමන් ආණ්ඩු පක්ෂෙ ඉදලා විපක්ෂෙට ගිහින් තියෙන්නේ.. කලින් ඔයා හිතන් හිටියෙ නලින්ද තමයි මේ ලෝකෙ ඉන්න සත්ගුණවත්ම පෙම්වතා විදියටනේ.. දැන් මොකද අවුල..? මිනිහා දීගෙ කඩාගෙනද..?"

"අවුලෙක් ඔයාට වැඩක් නෑ.. ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්ද.. බැරිද..?"

"මං බෑ කිව්වොත්..?"

"ප්‍රශ්නයක් නෑ.. මට වෙන විකල්ප තියෙනවා.."

"ඉතිං ඒවා තියෙනවා නම් ඇයි මාව හොයාගෙන ආවේ..?"

"හොදම විකල්පය ඔයා හින්දා.."

එතනින් එහාට කතාවක් නෑ වගේ කතාව නැවතුණා.. කෙල්ල මගේ මූණ දිහායි, චාමිකගෙ මූණ දිහායි සැරින් සැරේ බලද්දි චාමික මට ඇහැක් වහලා මොකක්දෝ කිව්වා.. ඒ කියන්නෙ වැඩේ බාර ගනින් කියලද.. ඒත් කොහොමද දෙයියනේ මේ කෙල්ල කිව්වා කියලා, අර හද්ද අහිංසකයෙකුට අල්ලගෙන තඩි බාන්නේ.. මට නම් හිතෙන්නෙ, ඊළග පාර ඌට ඉස්පිරිතාලෙකටවත් යන්න වෙන්නෑ.. මගදිම මැරෙයි..

"හරි.. මං වැඩේ බාරගත්තා කියමුකෝ.. මොකක්ද මට මේකෙන් ලැබෙන ප්‍රයෝජනේ..?"

හද පලුවක් මැදින් කලු කුම්බර වළාකුලක් ගියා වගේ කෙල්ලගෙ මූණ අදුරු වෙලා ගියා.. කොයි තරම් නපුරුකමට කතා කලත් කෙල්ල හරි සීදේවි පාටයි..

"ඔයාට කලින් තිබ්බ ප්‍රයෝජනේම තමයි.."

"ඒ කිව්වේ..?"

"නලින්දව ෆීල්ඩ් එකෙන් අයින් කරලම දැම්මහම එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව ඔයාට හම්බවෙනවනේ.."

"ඒ මොන හතරබීරි කතාවක්ද..? ඉස්පිරිතාලෙදිත් ඔය කතාවම ඔයා මට කිව්වා.. මං කලින් පාර නලින්දට ගැහුවෙ ඔය මොනවත්ම බලාගෙන නෙමෙයි.. අනික මට නලින්දගෙ ගර්ල් මොකටද..?"

"මොකටද කියලා අහන්නේ..? ඇයි එයා ලස්සන නැද්ද..? නිකං බියුටි ක්වින් කෙනෙක් වගේනේ.."

බියුටි ක්වින් නෙමෙයි.. බියුටි කිං කෙනෙක් උනත් වැඩක් නෑ හිත හරි නැත්නම්.. එක සැරේට දෙන්නෙකුට ආදරේ කරන කෙල්ලෙක් මොන තරම් ලස්සන උනත් වැඩක් තියෙනවද..? හිතට අනේක විධියෙ ප්‍රශ්න ආවත් මං ඒවා එකක්වත් එළියට දාන්න ගියේ නෑ..

"ලස්සන කන්නද අප්පා..?"

මං කිව්ව දේට කෙල්ල තවත් මොනව හරි කියන්න ගියත්, එක පාරටම එයා හොදටම කලබල උනා කියලා මට තේරුණා..

"දෙ.. දෙයියනේ.. රසික අයියා.. දැක්කද දන්නෙත් නෑ.."

රසික කියන නම ඇහුණා විතරයි මාත් උඩ ගිහින් බිම වැටුනා.. ඇයි ඉතිං අපේ අයියගෙ නමත් රසිකනේ.. ඒත් ඒකා කොහෙද මේ අවේලාවේ.. ඔය මනුස්සයා ඩියුටි වෙලාවෙ ටොයිලට් එකටවත් යන්නැති බුවෙක්නේ.. චූ බර වුණත් තද කරන් ඉන්නවලු.. මං කොහොමද දැනගත්තෙ කියලද ඇහුවේ..? අම්මපා.. මට හිතුනා එහෙම වෙන්නැති කියලා..

"බ.. බන්ටි උඹලගෙ අයියා.."

ආයෙ දෙකක් නෑ.. අපේ අයියා කාරයම තමා.. මං වටපිට බැලුවත් කෙල්ල පේනමානෙකවත් හිටියෙ නෑ.. ඇත්තට මේ කෙල්ල තත්පරේට කොහේ ගියාද..? අනික ඒකි කොහොමද අපේ අයියගෙ නම දැනගත්තේ..? සමහර විට අක්කවත් කියන්න ඇති.. ඔය විදියට ගිහින් මගේ නමත් කියයිද දන්නෑ.. හැබැයි ඉතිං ඒ කිව්වත් ප්‍රශ්නෙකුත් නෑ.. බන්ටි කියලනේ කියන්නේ..

"බන්ටි මොකද මෙතන කරන්නේ..?"

මං තාමත් වටපිට බල බල හිටියෙ මේ යස අගේට කතා කර කර හිටපු කෙල්ලට මොකද උනේ කියලා බලන්න.. ඒත් ඒකි ආගිය අතක් නෑ.. අම්මපා මේ පොලොස් කොට්ටෝරුවා කරොත් කරන්නෙ ඔය වගේ හාල්පාරු වැඩක්ම තමා.. බලන් ගියාම මේකගෙන් පුදුම බාධාවක්නේ තියේනනේ..

"ඔයත් ඔෆිස් යන්නැතුව මොකද මෙතන කරන්නේ..? අද නම් අපේ අම්මගෙ ලොකු පුතේ.. මං අම්මට විස්තරේ කියනවා.. ආදරණිය පුතන්ඩියගෙ ගතිගුණ ගැන දැනගන්න.."

"බන්ටි මේ.. පිස්සු කියවන්නැතුව අහපු දේට උත්තර දෙනවා.. ඇයි මනුස්සයො වැව රවුමට වෙලා රස්තියාදු ගහන්නේ..? මොනවද මේවයින් බලාපොරොත්තු වෙන්නේ..? අඩුගානෙ චාමික මල්ලි ඔයාලවත් මෙයාට කියන්නැද්ද..? හරියන්න හරි වරදින්න හරි ජොබ් එහෙකටවත් දාන්න කියලා.." 

ෂිහ්.. චාමිකත් ඉස්සරහ මේකා වැදි බණ කියන්න ගත්තනේ..  හතර විලිලැජ්ජාවෙ පණ යනවා.. මීට වැඩිය හොද නැද්ද මේකා මාව අමුවෙන්ම කෑවා නම්.. කෝකටත් මං චාමික දිහා බැලුවා.. 'වැඩිය කතා කරන්නෙපා' කියන සංඥාව ඌ මට දුන්නා.. ගෙදරදි කොහොම උනත් මාලිගාව ඉස්සරහදිවත් මං ඩීසන්ට් වෙන්න ඕන..

"අයියා මේ කොහේ යන ගමන්ද..?"

"අපේ ඔෆිස් එකේ කෙනෙක් රිටායර් වෙනවා.. එයාට ප්‍රසන්ට් එකක් ගන්නයි ආවේ.. මං මෙතන බන්ටි ඉන්නවා දැක්කා.. ඒකයි වාහනෙන් බැස්සේ.."

"අපිත් මේ යාලුවෙක් එනකන් ඉන්නේ.. අර වයි.එම්.බී.ඒ එකේ තියෙන කොරියන් පංති ගැන දැනගන්න.."

දිව තොලේ නොගෑවී හද්දා පචයක් චාමික ඇදලා ඇරියා.. මේකගෙ කටට මේ බේගල් කොහෙන් එනවද මන්දා..

"ආ.. ඔව්.. ඔව්.. ඒක හොදයි.. බන්ටි මම යනවා.. ඔයත් ඉක්මනට ගෙදර යන්න.."

ආව වගේම පැත්තක් හොදාපාලු කරගෙන අයියා ගියා..

"ඇති යාන්තං.. මං අහන්නෙ ලොකු පුතේ, ඔය විසබීජෙත් එක්ක උඹ ගෙදර ඉන්නෙ කොහොමද..? ආ.."

"ඒවා ඉතිං කියලා වැඩක් නෑ බං.. මම හැරුණත් ඌට වැරදියි.. ඒක නෙමෙයි චාමික.. මේකව දැකපු ගමන් කෙල්ල මාරු උනේ ඇයි බං..?"

"මගේ ඔලුවටත් ඔය ප්‍රශ්නෙම ආවා බන්ටි.. කොටින්ම උඹලගෙ අයියට පේන්න අපිත්තෙක්ක කතා කරන්න කෙල්ල බයවුණා.. මට නම් හිතුණෙ එහෙමයි.."

"ඒ උනාට රසික කියන්නෙ මගේ අයියා කියලා, කෙල්ල දන්නෙ නෑනේ.. ඒකි දන්නෙ මගේ අම්මා බේබි නැන්දා කියලා විතරයි.. අඩු ගානෙ මං ඒ ගෙදර ඉන්නවද කියලවත් ඒකි දන්නෑ.."

"අනේ මංදා.. ඕවා, මේවා අර මොරීන් අක්කගෙ කතන්දර ඔක්කොම එකට පත්තු වුණ දවසක උඹට යන්න පාර මදිවෙනවා.. හප්පට සිරි මෙන්න මෙයා ආයෙ එනවා.."

චාමිකගෙ ඇස් තිබ්බෙ මාළිගාව පැත්තෙ.. ඇත්ත නේන්නම්.. මෙන්න, අර කෙල්ල ආයෙත් අපි ඉන්න පැත්තට එනවා..

"මට නම් පේන්නෙ කෙල්ලට උඹව දාලා යන්න හිත දෙන්නෑ වගේ.. බලපංකො හිනාවේගෙන එන ලස්සන.. නිකං රෝයන් ඇට්කින්සන් වගේනේ.."

"යකෝ රෝයන් ඇට්කින්සන් කියන්නේ, මිස්ට බීන්ටනේ.. උඹට මිස්ට බීන් වගේද මේ කෙල්ල පේන්නේ..?"

"මගේ වැඩේ ගැන මොකද කියන්නේ..?"

අපි දෙන්නගෙ කතාව නතර වෙද්දි කෙල්ල අපි ළගට ආවා.. ඒ ආපු ගමනුත් ඒකි පටන්ගත්තෙ ඇටකිච්චගෙ අවමගුල කරන්නෙ කොහොමද කියලා ප්‍රශ්නෙකින්.. දෙවියනේ මේ මරාලෙන් මට ගැලවීමක් නැද්ද..?

"වැඩේ පැත්තකින් තියන්නකෝ.. මොකද අර බෝයි කෙනෙක්ව දැකලා පණ එපා කියලා දිව්වේ..?"

ඔක්කොටම කලින් අයියා කාරයත් එක්ක මෙයාගෙ තියෙන ගනුදෙනුව මොකක්ද කියලා දැනගන්න ඕන.. ඊට පස්සෙ බන්ටිට බැරියෑ දෙයියනේ කියලා වැඩේට බහින්න..

"නිකං.."

"ඒක මාර කතාවක්නේ.. එහෙනම් අපිවත් දැකලා ඔයා දුවන්න එපාද..?"

"ම.. මං එයාව ටිකක් අදුනනවා ඒකයි.."

කෙල්ලගෙ මූණට අමුතුම පැණි හිනාවක් ආවා.. ඒක හරිම සුන්දර ඉරියව්වක්.. ඒ කියන්නෙ.. ඒ කියන්නෙ මේකිට අපේ අයියාකාරයා ගැන හිතක් පහළ වෙලාවත්ද..?

"ඉතිං අදුනනවා නම් දිව්වේ.. නැවතිලා ආසාවෙන් කතා කරන්න එපැයි.."

"අයියෝ.. ඔයත්තෙක්ක කතා කරලා නම් බේරෙන්න බෑ.. බලන්න ඔයාගෙ යාලුවත් මට හිනාවෙනවා.." 

"ඌ ඉතිං කොහොමත්  හිනාවෙන එකනේ වැඩේ.. හැබැයි ඌ ඔයාට විතරක් නෙමෙයි ඔයාගෙ අනාගතේටත් හිනාවෙයි.."

"ඇ.. ඇයි ඒ..?"

බලන්න අප්පා.. කෙල්ලොන්ගෙ වෙනස්වීම් කියන්නේ.. අදහන්නත් බෑ.. මේ දැන් ටිකකට කලින් මාත් එක්ක මරාගත්තු කෙල්ලනේ.. අවුරුදු ගානක් ඉදන් අදුනනවා වගේ හිටගෙන කතා කරන්නේ..

"නෑ ඉතිං.. තමන්ගෙ හිතේ ඉන්න පිරිමි ළමයව දැක්කම පණ කඩාගෙන දුවන කෙල්ලො ගැන ඌ අහලා නෑ ඒකයි.."

කෙල්ලට ආයෙත් පැණි පාට හිනාවක් ගියා.. බන්ටි පුතේ.. කෙල්ලගෙ හිතෙ ඇත්තටම අයියකාරයා ගැන අදහසක් තියෙනවා වගේ..

"ඕන නම් ඉතිං.., කැමති නම් ඉතිං.., අපිටත් සපෝර්ට් එකක් දනේන පුළුවන්.. නැද්ද චාමික.."

"සපෝර්ට් එකක්..?"

"ඔව්.. අපේ අම්මා ඒ ගෙදරනේ ඉන්නේ.."

"දෙ.. දෙයියනේ.. ම.. මට ඒක හොදටම අමතක උනා.."

කෙල්ල එක අතකින් කට වහගත්තා.. දැන් නම් තමන් හොදටම පටලැවිලා කියලා කෙල්ලට ඔලුවක් තියෙනවා නම් තේරුම් ගනියි..

"අමතක වුණා කිව්වේ..?"

"ඉස්සෙල්ලම දවසෙ අපි දෙන්නා රංඩු වෙද්දි ඔයාගෙ අම්මා වැඩ කරන්නෙ මිස්ටර් විජේරත්නලගෙ ගෙදර කියලා ඔයා කිව්වනේ.. ඒ කියන්නෙ ඔයා නිතරම එහේ යනවද..?"

'පරිස්සමින් කතා කරපං' කියලා කියන්න වගේ චාමික ඇස් දෙක පුංචි කරා.. ඔව් බන්ටි.. දන්න ශිල්ප දාලා පරිස්සම් වෙයන්..නැත්තං ඉතිහාසෙවත් නැති විදියට උඹ අනාගන්නවා..

"මං එහේ ගියොත් මගේ අම්මට රස්සාව නැතිවෙයි.. මොකද අම්මා ඒ ගැන ඒ ගෙදර අයට කියලා නෑනේ.."

කෙල්ලගෙ මූණ මහා අදුරු වළාකුලකින් වැහිලා ගියා.. කලින් දවසක අපේ අක්කත් එක්ක, බේබි නැන්දා ගැන කියනවා කෙල්ලට මතක් වෙන්න ඇති.. මගෙන් පළිගන්න කියලා හිතාන ඒ වගේ දෙයක් කිව්වත් දැන් නම් කෙල්ලගෙ මූණෙ තිබ්බෙ මහා පසුතැවීමක්..

"ඔයා එතකොට ඒ ගෙදර අය කවුරුවත් අදුනන්නෙ නැද්ද..?"

කෙල්ල මේ කතන්දරේ අහන්නෙ දැන් ඩිංගකට කලින් මායි, අයියයි කතා කරනවා දැකලවත්ද කියලා මට හිතුණා.. ඒත් ඒකෙ විත්තියක් නම් ඒකිගෙ මූණෙ තිබ්බෙ නෑ.. සමහර විට අර පසුතැවීමෙන් ඒ හැගීම වැහිලා යන්නැති..

"අදුනනවා.."

"කවුද අදුනන්නේ..?";

කෙල්ලගෙ කටහඩේ තිබ්බෙ පුදුම තරම් නොඉවසිලිමත් කමක්.. හොස්පිට්ල් එකේදි ඇටකිච්චට ගහන්න එපා කියද්දිවත් මේ වගේ ඉක්මන්කමක් කෙල්ල ගාව තිබුණෙ නෑ..

"රසික අයියව.."

"තව කවුද..?"

"බන්ටිව.."

මං, මාවම අදුනනවා කියලා කියද්දි මට මාරම ගතියක් දැනුණා.. මේ කතන්දරේ වෙනස්ම පැත්තකට හැරෙන්නයි යන්නේ.. 

"බන්ටි කොහොම කෙනෙක්ද..?"

"ඔයා ඉතිං එහේ යනවා නම් බන්ටිව දැකලා ඇතිනේ.."

"නෑ.. මං එයාව කවදාවත් දැකලා නෑ.. මං එහේ ගියපු එකම දවසකවත් එයා ගෙදර ඉදලා නෑ.."

"ඒ කියන්නෙ ඔයා ආසාවෙන් ඉන්නෙ බන්ටිව බලන්න.."

"එහෙමමත් නෑ.. එයා රසික අයියට වැඩිය වෙනස් කියලා මට හිතුණා.."

"ඒක නම් හරි.. බන්ටි ගැන අපි අහලා තියෙන විදියට මහා වසවර්තියෙක්.. ළගින් ගියොත් පළාතක්ම නෑ.."

"ඒ.. ඒ කියන්නේ..?"

"කොටින්ම වලියට බර පොරක්.. මම නම් හිතන්නෙ ඔයා, බන්ටිව නොදකිනවා නම් හොදයි කියලා.."

"ඒ.. ඒ ඇයි..?"

"එයාගෙන් ලස්සන ගෑනු ළමයින්ට කරදරයි.."

මං කියපු දේට කෙල්ල 'හ්ග්' ගාලා කියවුණා.. පණ ගියාද මංදා.. කෙල්ල එතනින් එහාට වැඩිය කතා කලේ නෑ.. අම්මපා කතා කරන්න බැරි වෙන්නැති..

"මෙච්චර වෙලා අපි කතා කෙරුවා.. ඔයාගෙ යාලුවගෙ නම චාමික කියලා නම් මට කියනවා ඇහුණා.. ඒත් මං ඔයාගෙ නම තාම දන්නෑ.."

"මං රන්දික.."

උප්පැන්නෙ තියෙන සැබෑ නමම මං ප්‍රකාශයට පත් කලා.. චාමික දිහා බලද්දි උගේ ඇස් බෝල දෙක ජිල් බෝල දෙකක් වගේ ලොකු වෙලා තියෙනවා මං දැක්කා..

"එහෙනම් රන්දික මං යනවා.. සී.යූ.."

"චුට්ටක් ඉන්න.. ඔයා අපිට ප්‍රශ්න ගොඩක් ඉතිරි කරලනේ යන්නේ.."

යන්න ගියපු කෙල්ල ආයෙත් නතර වුණා.. ඒ මූණෙ දැන් තිබ්බෙ හිනා ඇබිත්තකුයි.. ප්‍රශ්න කෝච්චියකුයි..

"මොනවද මං ඉතිරි කරපු ප්‍රශ්න..?"

"ඔයාගෙ නම..?"

"මම නෙත්මි.. ප්‍රශ්න එච්චරද..?"

"නෑ.. තව තියෙනවා.. ඇයි ඔයා නලින්දට ඇටෑක් කරන්න කිව්වේ..?"

"ම්.. ඒක නම් ටිකක් දිග කතාවක්.. ඒ ගැන කියන්න නම් දැන් වෙලාවක් නෑ.. මං පස්සෙ දවසක කියන්නම්.."

"පස්සෙ දවසක කියන්නෙ ලබන ආත්මෙ විතරද.? මොකද දෙයක් බාර ගන්න නම් මට ඒකෙ ඇතුල් විස්තරේ හරියට දැනගන්න ඕන.."

"ම්.. එහෙනම් හෙට එකට විතර මෙතෙන්ටම එනවද..? මට හෙට ක්ලාස් තියෙන හින්දා ඔයාව හම්බවෙලාම යතෑකි.."

ඉතන ඉදලා ලෝකෙ අන්ධකාර උනා වගේ.. කෙල්ල නැලවි නැලවි යන්න ගියා.. ඈතින් ඈතට ගිහිල්ලා පුංචි තිතක් වෙලා පෙන්නැති වෙනකල්ම බලං ඉදලා මං චාමික දිහාට හැරුණා..

"ඔන්න ඕවට තමයි ලොකු පුතේ අල බහිද්දි වැල මැරෙනවා කියන්නේ.. දැන් උඹ එහෙනම් අයියකාරයට කටුව ගහන්නයි යන්නේ.."

"ඒක එතකොට බලමුකෝ.. දැනටමත් රසිකයා, අම්මට කෝල් එකක් දීලා ඇති.. මං මෙතන රස්තියාදු ගහනවා කියලා.. ඒක හන්දා ගෙදරට මාරුවෙන එක හොදයි.."

"කෙල්ලගෙ හැඩ පේන්නෙ පද්දලා යනකොටනේ ලොකු පුතේ.. ඒකිගෙ නමත් චාමි.. වැඩිය උනක් නෑ.. ඒත් ඇයි උඹ උඹේ නම ඒකිට කිව්වේ.. වෙන නමක් කිව්වා නම් හරිනේ.. දැන් වැරදිලාවත් උඹලගෙ ගෙදරදි ඒකිට ඔය නම කියවුණොත් සදා සොත්ති භවන්තුතේ තමයි.."

"නෑ බං.. මේ බන්ටි කියන නම හන්දා අපේ ගෙදර මිනිස්සුන්ට රන්දික කියලා කියන්නෙ කවුද කියලා ඇහුවත් ඒ තරම් ගානක් නැතිවෙයි.. ඇයි බං අපේ අම්මා අර එකවුන්ට් එකක නමට ලියලා තිබුණෙ බන්ටි කියලනේ.. උඹට ඒ සිද්ධිය මතක නැද්ද..?"

"මතකයි.. මතකයි.. පස්සෙ නම වෙනස් කරන්න මාර ෆයිට් එකකුත් දෙන්න උනානේ.. උඹත් බලන්නැතුව කොලේ අත්සන් කලා.."

"එහෙනම් අපි යමුද චාමික..?"

"ඇයි උඹ අරකිට, උඹේ චරිතෙ ගැන අවුල් විදියට කිව්වේ.. ඒක උඹට අවාසිනේ.."

"අරකි මේකි කියලා දැන් කතා කරන්නෙපා චාමික.. එයා අපිට නම කිව්වනේ.. අනික උඹේ ප්‍රශ්නෙට උත්තරේ, මං ඒක එහෙම කලේ හිතලමයි.. මොකද එතකොට නෙත්මි බයවෙනවා අපේ අක්කගෙන් බන්ටි ගැන විස්තර අහන්න.. හැබැයි මට තිබ්බ ලොකුම අවුල තමා චාමික, කෙල්ල අපේ අයියට කැමති එක.."

"ඇයි ඒකෙ මොකක්ද ලොකු පුතේ උඹට තියෙන ප්‍රශ්නේ.. උං කැමති නම් අපි ඒ මගුල කරලා දාමු.. මොකටද නිකං ගෙවල් වලට නාකි කරවන්නේ..?"

මෙන්න මේ වෙලාවට තමයි හිතෙන්නෙ මුගේ ඔලුව ගලවලා හරක් පැටියෙක්ගෙ ඔලුවක් හයි කරන්න.. එතකොට මූත් අර රොබින් හුඩ්ගෙ තාත්තා වගේ ඉදියිද දන්නෑ..

"නාකි කරන කතාවක් නෙමෙයි බං. මට තේරෙන විදියට, මං දන්න විදියට අපේ අයියගෙ හිතේ තියෙන්නෙ පිණිමුතු කියලා ගෑනු ළමයෙක් ගැන.. එහෙම උනොත් නෙත්මි අනාත වෙනවා චාමික.."

"මොන ගෑනු ළමයා ගැනද..?"

"පිණිමුතු කියලා බං.."

"යකෝ ඒක මහ අප්සට් නමක්නේ ලොකු පුතේ.."

"ඒවා මේවා මං දන්නෑ බං.. අපි දාපු නමක් නෙමෙයිනේ.."

"එහෙනම් ඉතිං රසික අයියා උන් දෙන්නගෙන් එක්කෙනෙක් තොරගනියි.. අපි පැත්තකට වෙලා බලන් ඉදිමු බං ලොකු පුතේ.."

මොනව උනත් චාමිකගෙ කතාව ඇත්ත කියලා මට අන්තිමට හිතුණා..



                            

No comments:

Post a Comment