Thursday, April 12, 2012

| ඒ ම‍ගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක |






යක්කු දෙන්නෙක් විතර කන්න හිතාගෙන මං ගෙදර ආවා.. ඒ තරමට බඩගිනියි අප්පා.. ඇයි ඉතිං උදේට කෑවෙ උඩින් පල්ලෙන්නෙ.. අම්මප දවල්ට මොනවද දන්නෑ බේබි නැන්දා උයලා තියෙන්නේ.. මං හිමීට කුස්සියට එබුණා.. ම්හු.. මෙලෝ වගතුවක් නෑ.. බේබි නැන්දගෙ හෙවණැල්ලක්වත් නෑ..

"බේබි නැන්දේ.. අපි මොනවා හරි කමුද..?"


ම්හු.. ඒත් කිසිම සද්දයක් නෑ.. හත්තිලව්වේ බේබි නැන්දව කවුරු හරි උස්සගෙනවත් ගිහින්ද..? තව ටික වෙලාවක් ඇතුළෙ කැරකිලා මං බේබි නැන්දගෙ කාමරේට එබුණා.. සමස්ථයක් වශයෙන් ගත්තාම එයා කාලයෙන් වැඩිම කොටසක් ගත කරන්නෙ ඒක ඇතුළෙනේ.. මං හිතුවා හරි.. ඔය ඉන්නෙ ඇද උඩ පතබරියං වෙලා.. අඩේ.. අපි අද දවල්ට කන්නෙ නැද්ද..?

"බේබි නැන්දේ.."

මගේ කටහඩට බේබි නැන්දා කොයි තරම් බයවුණාද කියලා කියනවා නම් එයා තව පොඩ්ඩෙන් ඇදෙනුත් බිමට වැටෙනවා.. මාව දැකපු ගමන් එයා මළමිනියක් වගේ සුදුමැලි උනා..

"බ.. බන්ටි මහත්තයා කොයි වෙලාවෙද ආවේ..?"

"බේබි නැන්දා මොකද මේ බයවෙලා..?"

අමාරුවෙන් වගේ ඇදෙන් නැගිටින්න හදන බේබි නැන්දගෙ මුළු මූණම පිරිලා තිබ්බෙ, මහා අදුරු පාටකින්.. මාව දැකපු ගමන් සුදුමැලි වෙන්නයි, දැන් අදුරු පාට වෙන්නයි හේතුව මට හිතාගන්න බැරිවුණා..

"න්.. නෑ.. බන්ටි මහත්තයෝ.. ම.. මං ටිකක් හාන්සි වෙලා හිටියා.."

එතකොටයි මං දැක්කෙ බේබි නැන්දගෙ වම් අතේ තිබිච්ච ෆොටෝ එක.. එයා ඒක මගෙන් හංගන්න අසාර්ථක උත්සාහයක් ගන්න හැටි මං දැක්කා..

"ඔය අතේ තියෙන්නෙ මොකක්ද බේබි නැන්දේ.. ෆොටෝ එකක් නේද..?"

"ආ.. නෑ.. නෑ.. ඔව්.. ඔව්.. මේක ෆොටෝ එකක්.."

"කාගෙන බේබි නැන්දේ.. කෝ දෙන්න මටත් බලන්න.."

මං කාමරේ ඇතුළට අඩිය තිබ්බා.. අදුරු වෙච්ච මූණ කලින්ටත් වැඩිය සුදුමැලි කරගෙන බේබි නැන්දා ඒ ෆොටෝ එක පපුවට තද කරගත්තා.. ඒක අගල් හයේ හතරෙ විතර ඡායාරූපයක්.. 

"නෑ.. බන්ටි මහත්තයා.. මේක වැඩක් ඇති එකක් නෙමෙයි.. මං මේක නිකං බල බලයි හිටියේ.."

"හරි.. හරි.. කෝ ඉතිං මටත් දෙන්නකෝ බලන්න.. මං බැලුවා කියලා ඕක ගෙවෙන්නෙ නෑනේ.."

"කිව්වම අහන්නකො බන්ටි මහත්තයෝ.. මං ඕන්නෑ කියන්නෙ ඕන්නැති හන්දා.."

බේබි නැන්දා ඔච්චර අදිමදි කරන එක ගැන ඒ වෙනකොට මට සාධාරණ සැකයක් ඇවිල්ලා තිබුණා.. මගෙත් එක්ක ඕනම දෙයක් කියන මනුස්සයා.. කිසිම රහසක් හිතේ තියන් ඉන්නැති මනුස්සයා ඇයි දැන් මෙහෙම කරන්නේ.. මේකෙ මොකක් හරි රහසක් තියෙන්න ඕන.. 

"හරි.. කමක් නෑ.. ඔයාට පෙන්නන්න බැරි නම් තියා ගන්න.. ඔය ආඩම්බර ෆොටෝ එක මට බලන්න ඕනත් නෑ.. ඔයාට හොද හන්දනේ ඔයා තද කරන් ඉන්නේ.."

"අනේ ඔහොම හිතන්නෙපා බන්ටි මහත්තයෝ.."

"නෑ.. එහෙම හිතන්න වෙනවා.. ඔයා දැන් ඉස්සර වගේ නෙමෙයි.. හරියට වෙනස් වෙලා.."

"ම.. මං වෙනස් වෙලා..?"

"ඔව්.. මං ගැන කිසිම සැලකීමක් නෑ.. අඩු ගානෙ අද දවල්ට මට කන්න දෙයක්වත් නෑ.. ඔයා හොදටම දන්නවනේ මං බඩගිනි වෙලා ගෙදර එන්නෙ කියලා.. ඒත් ඔයාට ගානක්වත් නෑ.. මගේ අම්මගෙනුත් ලැබෙන්නෙ නැති ආදරේ පුංචි කාලෙ ඉදළම මට දුන්නෙ ඔයා.. අම්මා මට කියවන හැම වෙලාවෙම මාව ආරක්ෂා කලේ ඔයා.. අම්මට නපුරුකම් කරන්න දීලා, ඔයා මාව කවදාවත් දාලා ගියේ නෑ.. ඒ  හැමදේම මට මතකයි.. ඒත් අද වෙනකොට ඒ හැමදේම වෙනස් වෙලා.. ඔයා දැන් බලාගත්තු අතේ බලන් ඉන්නවා.."

"නෑ.. නෑ.. බන්ටි මහත්තයෝ.. මං කවදාවත් එහෙම හිතුවෙ නෑ.. ඔයත් මං ගැහ ඔහොම හිතන්නෙපා.. මට හුගක් දුක හිතෙනවා.."

"ඔයා හිතන්නෙ මට දුක නෑ කියලද..? මටත් හැමදේම හොදට දැනෙනවා බේබි නැන්දේ.."

"දෙයියන්ගෙ නාමෙට ඔය කතාව නවත්තන්න.. මං මහත්තයගෙ හිත රිද්දන්න කැමති නෑ.. ආ.. මෙන්න.. මහත්තයට ඕන මේ පිංතූරෙ බලන්න නේ.. ආ.. ඉතිං අරන් බලන්න.."

"මට එපා බේබි නැන්දේ.. ඔයා මුලින් දෙන්න බෑ කිව්වේ, මං දකින්න හොද නැති දෙයක් හින්දා වෙන්නැතිනේ.. ඒක හන්දා ඔය ෆොටෝ එක මට එපා.. ඔයාම තියාගන්න.."                  

හුගාක් වෙලාවට ඔය ෆොටෝ එකේ ඉන්නවා ඇත්තෙ පිරිමියෙක්.. සමහර විට බේබි නැන්දා යාලුවෙලා හිටපු කෙනා වෙන්න ඇති.. ඒ ගෙවිලා ගියපු කාලය මතක් වෙන්න ෆොටෝ එක ළගින් තියාගෙන ඇති.. මට හිතුණෙ එහෙමයි.. බේබි නැන්දට ඒක පෙන්නන්න ලැජ්ජා හිතෙන්න ඇති.. පව්.. මමත් මාර ගොන් වැඩනේ කරන්නේ.. අහිංසක මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරනවා..

"අ.. අනේ රත්තරං මහත්තයෝ.. මගෙත් එක්ක තරහා නොවී මේක බලන්නකෝ.. ඔහොම පිටුපාල යද්දි මට දරාගන්න බෑ.. මහත්තයා බේබි නැන්දට ඔහොම කරන්නෙපා.."

බේබි නැන්දගෙ දුක්බර කටහඩ පිටිපස්සෙන් ඇහදේදි සාලෙ පැත්තට යන්න හිටපු මං ආපහු හැරුණා.. ඒ වෙද්දි බේබි නැන්දා මගේ ළගට ඇවිල්ලා ඉවරයි..

"ආ.. මෙන්න.. මේකට අපි දෙන්නා රණ්ඩු වෙන්න ඕන නෑ.."

බේබි නැන්දා පිංතූරෙ මං දිහාට දික් කලා..

"මම නම් දන්නවා මේ කවුද කියලා..?"

පිංතූරෙ දිහා බලන්නෙ නැතුව මං බේබි නැන්දගෙ මූණට එබුණා.. ඒ මූණෙ අර මුලින් තිබ්බ සුදුමැලි ගතිය නම් එහෙම්මයි.. මොනවද අප්පේ අද බේබි නැන්දට මේ වෙලා තියෙන්නේ..?

"කවුද..?"

"මේ තමයි බේබි නැන්දගෙ ලස්සන අතීතය.."

එහෙම කියන ගමන් මං පිංතූරෙ දිහා බැලුවා.. ඒත් මං කියපු දේ ගැන, හිතපු දේ ගැන ඒ මොහොතෙම දහස් වාරයක් පසුතැවුනා.. පිංතූරෙ  හිටියෙ අවුරුදු විසි ගානක් විතර උනු ලස්සන ගෑණු ළමයෙක්.. ඒ මුළු පිංතූරෙ පුරාම මට දැනුනෙ නිකං හිතට හුරු පුරුදුයි වගේ ගතියක්..

"කවුද බේබි නැන්දෙ මේ..? හරිම ලස්සන ගෑනු ළමයෙක්.. බලන්නකෝ කොන්ඩෙ දිග.."

බේබි නැන්දගෙ ඇස් දෙකට ඒ වෙනකොට කදුළු ඇවිල්ලා තිබුණා.. ඒත් ඒ ඇයිද කියලා මට හිතාගන්න බැරිවුණා.. මගේ කටින් වැරදි මොනවත් කියවුණාද මන්දා..

"ආ.. බේබි නැන්දේ.. මෙයා කවුද.. ඇත්තමයි.. හරිම සිරියාවයි.. මට නිකං දැනෙනවා.. මෙයා කොහේදි හරි දැකලා පුරුදුයි වගේ කියලා.. ඉදා.. මොකද බේබි නැන්දෙ අඩන්නේ..?"

වියපත් මූණ දිගේ කදුළු පේලි කීපයක්ම ගලා ගෙන යන්න පටන් අරන් තිබුණා.. හිතාගන්නවත් බැරි තරමෙ දුක්බර බවක් ඒ අසරණ මූණ පුරාම රැදිලා තිබුණා..

"ම.. මගෙන් අහන්නෙපා රත්තරං මහත්තයෝ.. හ්..ග්..හ්.. මහත්තයා මං ගැන අහිතක් හිතන්නෙපා.. හ්ග්.. මං මහත්තයට හුගක් ආදරෙයිනේ.. "

"මං ඒක දන්නවා බේබි නැන්දේ.. හරි.. හරි.. මං මුකුත් අහන්නෑ.. එහෙම අහලා ඔයාට වද දෙන්නෙ නෑ.. දැන් ඉතිං හොද බේබි නැන්දා වගේ නාඩා ඉන්නකෝ.."

"මහත්තයා මගෙත් එක්ක තරහා නෑ නේද..?"

"පිස්සුද බේබි නැන්දේ.. මට ඔයත්තෙක්ක තරහා වෙන්නෙ පුළුවනිද..? අනික මං මේ ගෙදරින් වැඩියෙන්ම ආදරේ කරන්නෙ ඔයාටනේ.. මගේ  හැමදේටම ඉන්නෙ ඔයානේ.."

කදුළු අතරින්ම, පුංචි  හිනාවක් බේබි නැන්දගෙ කොනට හිනාවක් ඇදිලා ආවා. ඒ හිනාවෙ තිබ්බ අව්‍යාජකම හිත පතුළටම ගන්න මං බේබි නැන්දගෙ කාමරෙන් එළියට ආවා..

"බන්ටි මහත්තයට හුගක් බඩගිනියි නේද..?"

"ඒක නම් එහෙම තමා.. කමක් නෑ.. බේබි නැන්දා හිමීට උයන්නකෝ.. මං ඔය බිස්කට් මොනවා හරි කන්නම්.. කිරි එකක් බිව්වාම බඩට ලාවට ෂේප් එකක් දාගන්න පුළුවන් වෙයි.. ඒක නෙමේ බේබි නැන්දේ.. තව පොඩි වැඩක් තියෙනවා.."

"මොකක්ද මහත්තයෝ..?"

"අද හවසට මගේ යාලුවො තුන් හතර දෙනෙක් එනවා.. බේබි නැන්දා දන්නවනේ බින්දුව.. බින්දුත් එනවා එයාගෙ ගෑනු ළමයත් එක්ක.. එයාලට කන්න ඔය රෝල්ස් මොනවා හරි හදන්න හොදේ.."

"දෙයියනේ.. ලොකු නෝනගෙන් බැනුම් අහන්න වෙන වැඩක්නේ ඔය කරලා තියෙන්නේ.. යාලුවො ගෙදරට ගෙන්න ගන්නෙපා කියලා ලොකු නෝනා කියලා තියෙනවා නේද..?"

"බේබි නැන්දත් මහ පුදුම කතානේ කියන්නේ.. ඇයි බේබි නැන්දේ.. මට මගේ යාලුවෙක්වත් මේ ගෙදෙට්ට ගේන්න බැරිද..? මගේ යාලුවො මං ගැන මොනවද නොහිතන්නේ..?"

"මේක මගේ ගෙයක් උනා නම් බන්ටි මහත්තයට, මහත්තයගෙ යාලුවො ඔක්කොම උනත් එක්කං එන්න දෙනවා.. ඒත් ලොකු නෝනා එපා කියපු දෙයක් කරලා ආයෙත් රංඩු කර ගන්නද හදන්නේ..?"

"මේක නම් හරිම අසාධාරණයි බේබි නැන්දේ.. ඇත්තමයි අපේ අම්මට නම් කිසිම හිතක් පපුවක් නෑ.. ඇයි මටම විතරක් මෙහෙම කරන්නේ.. මට දැනෙන විදියට අම්මා මට වැඩිය අයියටයි, අක්කටයි ආදරෙයි බේබි නැන්දෙ.. ඒක මට හොදට තේරෙනවා.. මේ ගෙදර මගෙ පැත්තට හැමදාම ඉන්නෙ, හැමදාම හිටියෙ බේබි නැන්දයි, තාත්තයි විතරයි.."

මං කියවන් ගියපු දේට බේබි නැන්දා මුකුත්ම කිව්වෙ නෑ.. වෙනදා නම් නෑ මහත්තයා, අම්මා ගැන ඔහොම කතා කරන්නෙපා හොද නෑ කියලවත් කියනවා.. ඒ කියන්නෙ මං කියපුවා හරියි කියනෙකද..? අද ඇයි බේබි නැන්දා මං කියපුවා ගැන වචනයක්වත් නොකියන්නේ..?

"දැන් බන්ටි මහත්තයගෙ යාලුවො අද අනිවාර්යෙන්ම එනවද..?"

"ඔව් බේබි නැන්දෙ.. උං කණු පොලු තියන ජාතියෙ අය නෙමෙයි.. කිව්වොත් කිව්වා.. ටක්කෙටම එයි.."

"එහෙනම් මෙහෙම කරමු.. කට්ටිය ඔහේ ආවාවේ.. ලොකු නෝනා එන්න කලින් අපි එයාලව යවමු.."

"ගුඩ් අයිඩියා.. වෙරි ගුඩ් අයිඩියා.. බේබි නැන්ද නම් මාරයි.. ඔන්න ඔහොමනේ දෙයියනේ ඉන්න ඕන.."

"බන්ටි මහත්තයගෙ හිත රිද්දනවා කියන්නෙ මට හීනෙකින්වත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.. මතක තියාගන්න.. මහත්තයා වෙනුවෙන් මම පණ වුනත් දෙනවා.. කවුරු හරි මහත්තයගෙ හිත රිද්දනවා නම් ඒ කෙනා තමයි බේබි නැන්දගෙ ජන්මාන්තර වෛරක්කාරයා.."

වානේ පන්නරය ලැබුවා වගේ ඒ වචනවල තිබ්බෙ විශ්වාස කරන්නත් බැරි තරමෙ සවි ශක්තියක්.. නිකං හරියට කාට හරි තර්ජනය කලා වගේ දෙයක්.. ඒත් ඒ ගැන එතනින් එහාට අහන්න තරමෙ කැමැත්තක් මගේ හිතේ තිබුණෙ නෑ.. බේබි නැන්දගෙ මූණත් තිබ්බෙ ඒ හැගීමමයි කියලා මට තෙරුණා..

                                            ****************************

හවස තුන විතර වෙද්දි ඉස්සෙල්ලම ගෙදරට ආවෙ අමිලයි, චාමිකයි, සුරේනුයි..

"අමිල.. කෝ පොඩි එකා..?"

"රවීන්ට අද වෙන වැඩක් බන්ටි.. ඌ පස්සෙ ඇවිත් උඹව හම්බවෙන්නම් කිව්වා.."

"කෝ තාම කපල් එක ඇවිත් නෑ වගේ.."

"උං දෙන්නා ගාඩ්න් එකෙන් කීයට ගියාද දන්නෑ.."

"සමහර විට උං මේ වෙනකල්ම ගාඩ්න් එකේ ඉදලා කෙලින්ම මෙහේ එයි ලොකු පුතේ.. ප්‍රේම කරද්දි ඈත්වෙලා ඉන්න බෑ කියලා කවුද විධායක ශ්‍රේණියෙ නිලධාරියෙක් කියලත් තිබුණා.."

"විධායක ශ්‍රේණියෙ නිලධාරියා..? කවුද අපේ බන්ටිගෙ අයියාකාරයද..? අනේ ඌට තේරෙන ආදරේ.. අර ලස්සන කෙල්ලෙක් මේ තරම් ඇවිල්ලා ආන්සර් කරද්දි ඇක්ෂන් එකක් ගන්න තරමෙ කොන්දක් නෑ.. ඒකා කොහෙදෝ යන පින්නක් අල්ලගෙන මැරෙන්න හදනවා.."

කොහොමටත් මුං ටික එකතු උනාම අපේ අයියාකාරයාව බයිට් එකට ගන්නවා.. හැබැයි ඒ නැති තැන.. ඌට අර්සස් අමාරුව කියලා මුං හැමෝම කියන්නේ.. මං නෑ කියලා කිව්වම මුං කියනවා හොරෙන් හොරෙන් පස්ස කහ කහ බෙහෙත් ගන්න යනව ඇතිලු.. ඔව්.. ඔව්.. ඒවා නම් කියන්න බෑ.. බන්ටිගෙ හැම වැඩක්ම ඕපන් උනාට මෑන්ගෙ හැම වැඩක්ම හැංගිලානේ..

"ඒක නෙමේ බන්ටි.. ශිහාන්කාරයට මොකද කරන්නේ..?"

"උඹ කියන්නෙ චාමික, ඌ විහිලුවටවත් මං දැක්කෙ නෑනේ.."

"ඌ කොළඹ ගිහින්ලු ලොකු පුතේ.. මොකක්ද කෝස් එකක් කරන්න.. ළගකදි නම් එන පාටක් නෑ.."

"කමක් නෑ.. ඌ කවදම හරි ඒවිනේ.. එදාට කැත නැතුව දෙක තුනක් ඇනලා කතාව පටන් ගමු.."

වත්ත පල්ලෙහා බංකුව ළගට ඇවිදගෙන යන ගමන් මං කිව්වේ.. මේ බංකුව අවට ප්‍රදේශය කියලා කියන්නෙ හරියට බන්ටි ඉපදුන තැන වගේ.. ඒ තරමට බන්ටි මේ නිස්කලංක තැනට කැමතියි..

"ආ.. මේ එන්නෙ ජෝඩුව.."

අපි බංකුව ළගට යනවත්තෙක්කම වගේ නිරෝෂියි, බින්දුයි ගේට් එකෙන් මතුවුණා.. මේ වෙලාව වෙනකොට බේබි නැන්දගෙ ඇස් දෙක හතර වටේ කරකැවෙනව ඇති කියලා මං හිතාගත්තා.. සමහර විට බේබි නැන්දට හිතෙන්න පුළුවන්නේ මං, මගෙ ගෑනු ළමයව ගෙදරටම එක්කගෙන ඇවිද්ද දන්නෑ කියලා..

"බන්ටි.. කොහොමද මචං..?"

මෙච්චර වෙලා නිරෝෂිගෙ අතින් අල්ලං ඉදපු බින්දු ඒ අත අතෑරලා දාලා මගේ අත අල්ල ගත්තා.. වත්තට ඇතුල්වෙච්ච තැන ඉදන්ම මතුවෙච්ච හිනාව තාමත් මූණ පුරාම තියාගෙන නිරෝෂි අපි දිහා බලන් හිටියා..

"වරදක් නෑ.. උඹ අපිව සදහටම අමතක කරලා දාලනේ හිටියෙ.. ෂිහ්.. උඹ වගේ කැත යාලුවෙක්.."

මං බින්දුගෙ මූණට කියද්දි උගේ මූණ බෙරිවුණා..

"වාඩිවෙන්න නිරෝෂි ඔය හතර පස් පොලකින්ම.. මං කොහොමටත් ඔයාව හම්බ වෙන්නයි හිටියේ.."

බින්දු බයවෙලා වගෙ මං දිහා බැලුවා.. අම්මපා මූ වගේ හාල් දණ්ඩෙක්.. මේ තරම් බයවෙලා ජීවත්වෙන්නෙ කොහොමද..? මේකද මුගේ අති සාර්ථක පවුල් ජීවිතේ..

"ලොකු පුතේ.. ටිකක් සවධානව කතා කරපං.. මුං දෙන්නම බයවෙලා ඉන්නේ.."

"අ.. අපි.. බ.. බය නෑ .. නැද්ද නිරෝෂි..?"

"ඉතිං අපිට කියපල්ලා ඊගාවට උඹලා මොනවද කරන්නෙ කියලා.. මං මේ නිකමට අහන්නේ.. දැනගන්න.. නිකං හැමතැනම ඇවිදලා කාලෙ කාලා දානවද.. එහෙමත් නැත්නම් වැදගත් මොකක් හරි කරනවද..?"

"බ.. බන්ටි.."

මගේ නම කියලා ඉවරවෙලා නිරෝෂි කතාව නැවැත්තුවා.. ඒ ඇස්වල තියෙන යටහත් පහත්කම මම හොදටම දැක්කා.. ගෑනු ළමයෙක් උනාම තියෙන්න ඕන සංවරකම, අඩුවක් නැතුවම නිරෝෂි ළග තිබුණා.. පිටින් ඉදගෙන බලලා දාහක් දේ කිව්වත් ළගින් ආශ්‍රය කරද්දි කතාබහ කරද්දි, අර කිව්ව දේවල් කොයි තරම් දුරට වැරදිද කියලා මට තේරුණා..

"කියන්න නිරෝෂි.. මං අහගෙන ඉන්නේ..?"

"ඔ.. ඔයා අහන්න ඉන්න හැම ප්‍රශ්නෙකටම හරියන එක උත්තරයක් මං දෙන්නම්.. මං කවදාවත් බින්දුව අතෑරින්නෑ බන්ටි.. බින්දුගෙන් එහා මට ලෝකයක් නෑ.. මං හිතනවා ඔයාලා මාව විශ්වාස කරයි කියලා.."

මං හිතුවට වැඩිය නිරෝෂි සෑහෙන්න සංවේදියි කියලා මට තේරුණා.. මං අන්තිමට අහන්න හිටපු ප්‍රශ්නෙන්ම කතාව පටන් අරන් එයා උත්තරෙත් දුන්නනේ.. බලන් ගියාම කෙල්ලගෙ ටැලන්ට් එක මං හිතුවට වැඩිය හුගාක් හොදයි..

"දැන් නම් විශ්වාස කරන්න පුළුවන්.. ඒත් දවස් දෙක තුනකට කලින් නම් සොරි තමයි.. නැද්ද ලොකු පුතේ..?"

හිටපු ගමන් කතාව මැදට පැනලා කෑගහපු චාමිකගෙ කතාවෙන් හැමදේම අවුල් උනා.. බින්දුගෙයි, නිරෝෂිගෙයි මූඩ් දෙකම සම්පූර්ණයෙන්ම වෙනස් උනා.. මූටත් අම්මපා හිකනලා වගේ මැද්දෙන් පනින්නැතුව ඉන්න බෑනේ..

"ඒ කියන්නෙ පහුවුණු දවස් දෙක තුනක් වෙනකල්ම ඔයාලා මාව අවිශ්වාස කලා..?"

ඇස් දෙක ලොකු කරන් නිරෝෂි ලොකු පුතාගෙන් ඇහුවා..

"මො.. මොකක්ද චාමික ඒ කියපු කතාවෙ තේරුම..?"

නිරෝෂිගෙ ප්‍රශ්නෙට කාගෙන්වත් උත්තරයක් හම්බ උනේ නැති හින්දා බින්දුත් කට ඇරියා.. ඒත් තවත් ඩිංගක් වෙලා යනකන් සද්ද වහලා ඉන්න මං තීරණේ කලා..

"මට ඒත්.. බින්දු අද උදෙත් කිව්වා.. බන්ටිට කේන්ති ගිහිල්ලා ඉන්නේ.. නාවලපිටියට වෙලා මෙච්චර දවසක් හිටපු හන්දා.. ඒකට මොනව හරි කරලා බන්ටිගෙ  හිත හදන්න ඕන කියලා.. ඇත්තටම බින්දු මෙයාලව අමතක කරේ නෑ.. එතන තිබ්බ අවශ්‍යතාවයට අනුව එයාට එහේ ඉන්න වුණා.. ඒත් බින්දු එහේ හිටියත් වැඩක් නෑ බන්ටි සල්ලි එව්වෙ නැත්තං.. ඇත්තමයි බන්ටි.. ඔයාට තරහ යන එක සාධාරණයි.. ඒත් මේ දේ ඔයා ඉස්සරහ, ඔයාගෙ මූණටම මට කියන්න ඕන.. ඔයා හරිම ග්‍රේඩ් යාලුවෙක්.. මොකද මං අදහන දෙයක් තමයි කරදරයකදි ළග ඉන්න කෙනා තමයි හොදම යාලුවා කියලා.." 

බින්දුගෙ ප්‍රශ්නෙන් පස්සෙ නිරෝෂි කියවගෙන කියවගෙන ගියා.. ඒ වචනවල තිබ්බ ශක්තිමත් කම හින්දා මං දැනගත්තා නිරෝෂි ඒ ටික කිව්වෙ අවංකවම කියලා.. කොහොම උනත් ඇටකිච්චගෙ කතාව මෙතනට ගලප ගන්න හොදම වෙලාව මේක තමා කියලා මට හිතුණා.. මොකද චාමිකගෙ කතාවෙන්, මං කතා කරන්න යන දේට හොද ප්‍රෙව්ශයක් ලැබුණනේ.. හුගාක් වෙලාවට නෙත්මි, ශලනිව හම්බවෙලා කතාව දැනගන්න කලින් මට අද නිරෝෂිගෙන් ඒ හැමදේම දැනගන්න පුළුවන්..

"දැන් දවස් දෙක තුනකට කලින් වෙනකන් නෙමෙයි.. අද උදේ වෙනකනුත් අපි ඔයාව අවිශ්වාස කලා නිරෝෂි.."

අදහගන්න බැරි දෙයක් මගෙන් කියවුණා වගේ නිරෝෂි බයවෙලා වගේ මං දිහා බැලන් හිටියා.. බින්දුගෙත් කට බලන් ඉද්දිම ඇරුණා.. 

"ඇ.. ඇයි.. ඒ..?"

"මං ඒකට උත්තරේ දෙන්නම්.. ඊට කලින් ඔයා මට කියන්න නලින්ද කියලා කෙනෙක්ව දන්නවද කියලා.."

"නලින්ද..?"

නිරෝෂි කල්පනා කරන්න ගත්තා.. කතාවෙ විකාශන අයිතිය මටම බාර දීලා අමිලයි, සුරේනුයි, චාමිකයි සද්දෙ වහගෙන බලන් හිටියා..

"ම්හු.. මං දන්නෑ නෙ බන්ටි.."

"එහෙම නම් මට මුළු කතාවම කියන්න වෙනවා.. ආ.. මෙන්න අපේ බේබි නැන්දා එනවා ඔයාලට සංග්‍රහයකුත් අරගෙන.."

රෝල්සුයි, කිරියි මෙතෙන්ට එවන්න කියලා මං කලින්ම බේබි නැන්දට කියලයි තිබුණෙ.. දැන්මම ඒවා ගෙනාපු එකත් හොදයි.. එතකොට කාගෙන්වත් බාධාවක් නැතුව කතාව දිගටම කරගෙන යතෑකි.. කෑම ජාති ටික තියලා බේබි නැන්දා ටිකක් දුරට යනකල් මං ඉවසන් හිටියා.. නැත්නම් ඉතිං මේවා දැනගත්තොත් එයා හොදටම කලබල වෙනවා කියලා මං අත්දැකීමෙන් දන්නවා..

"බින්දු නාවලපිටි ගිහින් සති ගානක් හිටියනේ.. ඔය අතරෙ තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ.. හරියටම බින්දු නාවලපිටි ගියා විතරයි.. අපි කීප දෙනෙකුටම නෝට් උනා නිරෝෂි තව කොල්ලෙක් එක්ක හැම තැනම ඇවිදිනවා.."

"මේ.. මම..?"

"ඉන්න.. මම කතාව ඉවර කරනකල්.. කලබල වෙලා කොරොස් කටෙත් අත දාගන්න බෑනේ.. බින්දුත් කලබල නැතුව මේ කතාව අහගෙන ඉන්න ඕන.."

බින්දුගෙ මූණ කජු ලෙල්ලක් වගේ වෙලා තිබුණා.. ඔව් ඉතිං.. මොන කෙල්ලද කැමති තමන්ගෙ කෙල්ල වෙන එකෙක් එක්ක රවුම් ගැහුවා කියලා අහන්න..

"වැඩිය ඕන්නෑ.. මමත් මගේ ඇස් දෙකෙන්ම දැක්කා නිරෝෂි තව කොල්ලෙක් එක්ක වලාකුලු බැම්ම ළග ඉන්නවා.. තව අපේ රවීන් මල්ලි දැකලා තිබුණා.. නිරෝෂි ඒ කොල්ලත් එක්ක වෙම්බ්ලි හෝල් එකට පවා යනවා.. ඔය වගේ කතා හත අටක්ම ඒ දවස්වල ආවා.."

"දෙයියනේ.. බින්දු බලන්නකෝ මේ බන්ටි කියන දේවල්.. අනේ ප්ලීස් බන්ටි.. ඔයා මොනවද මේ කියන්නේ..? මං කවදාවත් වෙම්බ්ලි හෝල් එකට ගිහින් නෑ.."

"නිරෝෂි.. ඔයා කලබල නොවී බන්ටිට කතාව කියන්න ඉඩ දෙන්නකෝ.. බන්ටි මුලින්ම කිව්වනේ කතාව අහගෙන ඉන්න කියලා.."

මූණ අවුල් කරගෙන උනත් බින්දු කතාව මැද්දට පැන්නා.. ආයෙ දෙකක් නෑ.. උගේ  හදවතේ තියෙන දේවල් මුණෙන් ලස්සනට පේනවා.. කොහොමද මේ නිව්ස් එක මුලින්ම දැනගත්ත ගමන්ම බින්දුට කිව්වා නම්.. එහෙනම් ඉතිං මුගේ ලයිෆ් එකම සදා සොත්ති වෙනවා..

"අපිට ඊගාවට ලොකු ප්‍රශ්නයක් ආවා මේ දැනගත්තු ආරංචිය බින්දුට කියනවද නැද්ද කියලා.. පස්සෙ අපේ කට්ටිය එකතුවෙලා තීරණයක් ගත්තා බින්දුට කිව්වොත් බින්දු කලබල වෙන නිසා අපිම මේක ඉවරයක් කරලා දාමු කියලා" 

"ඉ.. ඉතිං ඔයාලා මගෙන් මුකුත් ඇහුවෙන නෑනේ බන්ටි..?"

"අපිට ඔයාගෙන් අහන්න අයිතියක් නෑනේ නිරෝෂි.. අනික බින්දුත් ළගපාතක හිටියෙ නෑනේ.. ඒක හන්දා අපි කතාව ඇහුවෙ නලින්දගෙන්.."

"නලින්ද කියලා කිව්වේ..?"

නිරෝෂිගෙ මූණෙ මතුවෙච්ච ඉරියව්වලින්ම මං තේරුම් ගත්තා එයා කවදාවත් නලින්ද කියලා කෙනෙක් දන්නෑ කියලා..

"නලින්ද කියලා කිව්වෙ අපි හිතුව විදියට ඔයා එක්ක යාලු කෙනා.. පහුවුණු දවසක පේරාදෙණිය ගාඩ්න් එකේදි ඔයත්තෙක්ක නලින්ද ඉන්නකොට, ඔයා පොඩ්ඩක් එහාට මෙහාට කරලා අපි නලින්දට අල්ලං තඩිබෑවා.. මිනිහා සතියක් විතර ඉස්පිරිතාලෙ ඉදියා.."

"දෙ.. දෙයියනේ.."

"මට නම් මේ මුකුත් තේරෙන්නෑ බන්ටි.. නිරෝෂි කීයටවත් ඔය වගේ ගමන් යන්නෑ.. මට නම් මේක මහා පටලැවිල්ලක්.. මගේ ඔලුවත්තෙක්ක රිදෙනවා.."

"අපි මේ හැම දෙයක්ම කලේ බින්දු වෙනුවෙන්.. බින්දුගෙ අහිංසක ආදරේ වෙනුවෙන්.. ඒත් දැන් අපිට තියෙන ප්‍රශ්නෙ, මේ නලින්ද කියන හාදයත් එක්ක හිටියෙ නිරෝෂි නෙමේ නම් ඒ ගැනු ළමයා කවුද කියනෙකයි.. මොකද එතන හිටපු ගෑණු ළමයගෙ රූපෙ නිරෝෂිගෙ වගේමයි.. ඒකෙ ආයෙ කිසි ඇදක් කුදක් නෑ.."

"දෙ.. දෙයියනේ.. එහෙනම් ශලනි ආපහු ඇවිල්ලද දන්නෑ.."

නිරෝෂිගෙ කටින් ඒ නම පිටවුන ගමන්ම මට නෙත්මි කිව්ව හැම දෙයක්ම ඇත්ත කියලා තේරුණා.. මොනවා නැතත් නිරෝෂී, ශලනිව දන්නවනේ.. දැන් ඉතිං කතාවෙ තුන් කාලක්ම විසදලා ඉවරයි.. අමිලයි, චාමිකයි මගේ දිහාට මාපටැගිලි උරුක්කලේ වැඩේ නැගලා යනවා කියලා කියන්න.. සුරේන් නම් මාපටැගිලි දෙකම ඉස්සුවා.. බින්දු මං දිහා බලන් හිටියෙ තාමත් හීනෙන් බයවෙලා වගේ.. ඌ වගේ ලාමක හිතක් තියෙන එකෙකුට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න සෑහෙන වෙලාවක් යනවා කියලා මං දැනන් හිටියා..

"කවුද නිරෝෂි.. ශලනි කියන්නේ..?"

අපි හැමෝම අහන්න ඕන ප්‍රශ්නෙ ඇහුවෙ බින්දු.. වටපිට බලන ගමන් හොද හුස්මක් අරන් පිට කරලා නිරෝෂි කතාව පටන් ගත්තා..

"ශලනියි, මමයි නිවුන්නු.. අපි දෙන්නා හුගක් දුරට එක වගෙයි.. ළගටම ඇවිල්ලා බැලුවොත් මිසක එයාවයි, මාවයි අදුනගන්න බෑ.. පුංචි දවස්වල අම්මයි, තාත්තටයිත් පවා මාවයි එයාවයි මාරු උනා.."

"ඔ.. ඔයා ඔය වගේ කතාවක් නිකංවත් ම.. මට කියලා නෑනේ.. මෙ.. මෙච්චර ලොකු දෙයක් ඔයාගෙ ජීවිතේ තියෙනවා කියලා, මං ඩිංගක්වත් දන්නෑනේ.. මේ.. මේ අපේ බන්ටිලා මෙච්චර දේවල් දැන ගද්දිත් මං මුකුත්ම දන්නෑනේ.. ඔයා.. ඔයා ඇයි නිරෝෂි, මට ඔය ශලනි ගැන කිව්වෙ නැත්තේ..? ඇයි ඔයා ඔය වගේ දෙයක් මගෙන් හැංගුවේ..?"

ඔන්න.. ඔන්න.. ඒ පාර බින්දු අදෝවැඩියාව පටන් ගත්තා.. උගේ මූණ දැන් මළගේකට අඩන්න අරගෙන යන්න හොදයි.. මේ සිද්ධිය මුලින්ම බින්දුට කිව්වා නම් මේකා පපුව පැලිලා මැරෙනවා දුක උහුල ගන්න බැරිව.. ඒ අතින් අපි ගත්තු තීරණේ කොයි තරම් නිවැරදිද කියලා මට හිතුණා..

"හංගන්න මට දෙයක් තිබ්බෙ නෑ බින්දු.."

"ඇයි නැත්තේ..? ඔයාගෙ ජීවිතේ ඔයාගෙ සහෝදරියක් ඉන්නවා කියලා මං අද වෙනකන් දන්නෑනෙ.. මගෙත් එක්ක කාපු බීපු දේවල් පවා කියවන ඔයාට ඔය දේ මගෙත් එක්ක කියන්න බැරිවුණාද..?"

"බින්දු මේ.. නිකං මැට්ටෙක් වගේ උඩ පනින්නෙපා බං.. උඹට නොකිය ඉන්න තරම් හේතු නිරෝෂිට ඇති.. එයාට කතා කරන්න දීපං.."

"බලන් ගියාම මේකා මහ කුණු ගොඩක්නේ.. අපරාදෙ අපට තිබ්බෙ මේ ප්‍රශ්නෙ නිරෝෂි හම්බවෙලා විසදගන්න.."

"ඔව්.. ඔව්.. උඹලා නිරෝෂි හම්බවෙලා විසදගනිල්ලා.. උඹලට ඔක්කොම කෙරුවෙ නිරෝෂිනේ.. මම උඹලගෙ කවුරුවත් නෙමේනේ.. මං මෙතනට ඕන නෑනෙ.. උඹලා මට මුකුත් කිව්වෙ නෑනේ.."

ඒ පාර අමිලයි, සුරේනුයි කියපු දේවල් වලට තද වෙලා බින්දු හිටපු තැනින් නැගිට්ටා.. බලන් ගියාම මූ මහ කක්කා පැකට් එකක්නේ.. බින්දුට රවන ගමන් මං නිරෝෂි දිහා බැලුවා.. එයාගෙ ඇස්වලට කදුළු උනලා තිබුනා.. දැන් නම් මෙතන පොතේ හැටියට අවමගුලක් වෙන්නයි යන්නේ.. ඒක හන්දා තියෙන වැඩ කටයුතු ඉතා ඉක්මනින් ඉවර කෙරුවොත් හොදයි කියලා මට හිතුණා..

"බින්දු.. උඩ පනින්නෙ නැතුව වාඩිවෙයං.. පිළිවෙලකට ආවා නම් පිළිවෙලකට ඉදපං.. සතෙක් වගේ හැසිරෙන්නෙ නැතුව.. උඹ කියනවා වගේ මුලින්ම මේ කතාව උඹට කිව්වා නම් මෙතන මරණ දෙක තුනක් වෙලා.. මොකද උඹ ප්‍රශ්නෙකදි හැසිරෙන්නෙ මොලේ තියෙන එකෙක් වගේ නෙමේනේ.. නිකං කුලප්පු වෙලා කෑගහනවා.. ඔයා කතාව කියන්න නිරෝෂි.. මේකා කියන ඒවා ගණන් ගන්න එපා.."

මට ටිකක් සැරට කිව්වා.. මගේ වචන බින්දුගෙ පපුව මැදටම යන්න ඇති.. ඌ ගල් ගිල්ලා වගේ නිරෝෂි දිහා බලන් හිටියා.. උගේ හිතේ තියෙන වේදනාව හරි අපූරුවට කැඩපතක් වගේ උගේ මූණෙන් පෙනුනා.. ඒත් ඉතිං මෙතන වේදනා විදින්න තරම් දෙයක් සිද්ධ උනේ නෑනේ.. ඇත්තටම මේ ආදරේ  කරන හැම එකාටම පිස්සු.. උං හිතන්නෙ උං ගැනම විතරයි.. පුදුම තරම් ආත්මාර්ථකාමියි..

"අපේ පවුලෙ හිටියෙ මායි, ශලනියි විතරයි.. ඒත් අපි පුංචි දවස්වලම අම්මයි, තාත්තයි වෙන්වුණා.. මට මතක තියෙන හැමදාම වගේ අම්මයි තාත්තයි රණ්ඩු වුණා.. මරාගත්තෙ නැති එක විතරයි.. අන්තිමට තාත්තා ශලනිව අරගෙන රට ගියා.. මායි, අම්මයි විතරයි ලංකාවෙ ඉතුරු උනේ.."

"ඔය සීන් එක මේ ළගදි වෙච්ච දෙයක්ද..?"

"නෑ බන්ටි.. එතකොට මට අවුරුදු හත අටක් විතර ඇති.."

එහෙනම් මේ කතාව සෑහෙන පරණ එකක්.. ඒත් දැන් ආයෙත් අතීතය, වර්තමානයට ඇවිල්ලා තියෙනවා.. ඒකයි මේ ප්‍රශ්න හැම එකක්ම ඇරඹිලා තියෙන්නේ..

"ශලනිවත් අරගෙන තාත්තා ලංකාවෙන් ගිහින් දැන් අවුරුදු පහළොවක් විතර ඇති.. ඒ ගියාට පස්සෙ එයාලා දෙන්නා කවදාවත් ලංකාවට ආවෙ නෑ.. එයාලා දෙන්නා මාවයි, අම්මවයි අමතක කරා වගේම මායි, අම්මයි එයාලා දෙන්නව අමතක කරා.. මං හිතුවා කවදාවත්ම ආයෙ ශලනි ලංකාවට එන එකක් නෑ කියලා.. කොටින්ම මගේ හිතේ තාත්තයි, එයයි ගැන පුංචි තරහකුත් ඇවිල්ලා තිබුණා.. ඇයි මාව බලන්නවත් ලංකාවට ආවෙ නැත්තෙ කියලා.. ඒත් දැන් දැන් මගේ හිත කියනවා මට එයාව දකින්න ඕන කියලා.. ඔයාලා ඔය කියන විදියට එයා මං වගේම ඇති.. මටත් වැඩිය ලස්සන ඇති.."

කතාවෙ අන්තිම හරියට යද්දි නිරෝෂි හැගීම්බර උනා..

"ලස්සනද, කැතද කියලා නම් අපි දන්නෑ.. ඒත් එයා නම් ඔයාගෙ කපාපු පලුවක් තමයි.."

"දැන් තියෙන ප්‍රශ්නෙ තමයි ඇයි ශලනි හදිසියෙන්ම ලංකාවට ආවෙ කියලා.."

"ආවෙ ඇයිද කින්ද මන්ද කියලා නිරෝෂිට හොයාගන්න පුළුවන් වේවිනේ.. අපි ඒවට අත දානන් හොද නෑ.. නේද ලොකු පුතේ..?"

එතැන ඉදලා ටිකක් වෙලා යනකන් අපි හැමෝම අතරෙ ලොකු නිහඩතාවයක් පැතිරිලා ගියා.. ඇත්තටම කවුරුවත් කතා කරන්න උත්සාහ කලේ නෑ.. තම තමන්ගෙ කල්පනා ලෝකවල සැතපිලා වැතිරිලා හිටියා..

"දැන් එතකොට ශලනි කියලා හිතාගෙන නලින්ද, නිරෝෂි පස්සෙන් ඒවිද දන්නෑ.."

"ඔව්.. ඔව්.. ඒවා කියන්න බෑ.."

අමිලගෙ කතාවෙන් බින්දුගෙ ඇස් උඩ ගියා.. පව්.. මේ අහිංසකයා නිකං බය වෙනවා.. අතෑරලා යන්නෑ කියලා නිරෝෂි මේ තරම් දිවුරුම් දීලා තියෙද්දිත් බින්දු අවුල් වෙන එකනේ වැඩේ..

"ශලනි එනවා නම් එන්න ඇත්තෙ තාත්තත් එක්ක.. ඒත් ප්‍රශ්නෙකට තියෙන්නෙ එයාලා දෙන්නා කොහේද ඉන්නෙ කියලා.. අනේ බන්ටි.. ඔයාට පුළුවන් නේද මට උදව් කරන්න.."

"මොකක්ද නිරෝෂි..?"

"මට ශලනියි, තාත්තයි ඉන්න තැන හොයාගන්න ඕන.. එයාලා හම්බවෙලා කතාකරන්නෝන.. අම්මට එයාල දෙන්නව මුණ ගස්සවන්න ඕන.. හිතන්න බන්ටි.. අපිට පවුලක් විදියට මොන තරම් සන්තෝසෙන් ඉන්න තිබ්බද කියලා..?"

"ඔයා කියනෙක හරි නිරෝෂි.. මොන තරම් ප්‍රශ්න තිබුණත් කසාද බැදපු දෙන්නෙක් වෙන්වෙන එක නෙමේ හරි දේ.. තමන්ගෙ දරුවා වෙනුවෙන් හරි වෙන් නොවී ඉන්නෙක.. වෙන් වෙනවා නම් ඉතිං ළමයි ලැබෙන්න කලින් වෙන්වෙන්න තිබුණා.. දැන් ඔය වෙච්ච වැඩෙන් සම්පූර්ණයෙන්ම තැලිලා පොඩිවෙලා ගියේ ඔයයි, ශලනියි.."

කතාව ගලාගෙන ගියේ මායි, නිරෝෂියි අතරෙ විතරයි.. අඩුම ගානෙ බින්දු හ්ම් කියන්නවත් ආවෙ නෑ.. නියම මූකලන් බස්සෙක්ගෙ ප්‍රතිරූපයක් හිතේ තියාගෙන ඌ පැත්තකට වෙලා බුම්මගෙන හිටියා..

"ඔයා කියන දේ සෑහෙන්න ඇත්තක් තියෙනවා බන්ටි.. මෙතන ඉදලා මං කරන්න ඕන දේ මොනවද කියලා ඔයා මට කියනවද..?"

"අලුතෙන් හිතන්න දෙයක් නෑ නිරෝෂි.. ඔයා අදම වැඩ පටන් ගන්න.."

"වැඩ..?"

"ඔව්.. අවුරුදු ගානකට කලින් ඈත්වෙලා ගියපු අය ආයෙත් එකතු කරන්න.. හැබැයි ඒ දේ බොහොම ඉක්මනට කරන්න වෙනවා.. මොකද කොයි තරම් කාලෙකටද දන්නෑනේ එයාලා ලංකාවට ඇවිත් ඉන්නේ.. සමහර විට අපි ප්‍රමාද උනොත් එයාලා ආපහු ගිහිල්ලා තියෙන්න පුළුවන්.. අනික ආදරේ බිදිල හින්දා ශලනි ඉන්නෙත් හිතේ අමාරුවෙන් වෙන්න පුළුවන්.. ඒ හිතේ අමාරුවම එයාට ආපහු යන්න තල්ලුවක් දේවි.."

"ඔයා කියන දේවල් ඔක්කොම මට තේරෙනවා බන්ටි.. අනේ ඒත් කොහොමද මං එයාලව හොයාගන්නේ.. ඔයාට බැරිද බන්ටි මට උදව් කරන්න..?"

නිරෝෂි කෙලින්ම කතා කලේ මට.. මං කෙලින්ම බැලුවෙ බින්දු දිහා.. උගේ මූණ පුරවලාම තිබ්බෙ පැහැදිලි ඊර්ෂ්‍යාවක ලකුණු.. ඇත්තටම මේ ආදරේ කරන ඈයො නම් මාර වාතයක්.. තමන් යාලුවෙලා ඉන්න එකා වෙන එකෙක්ට සහෝදරකමට හරි ලංවෙන එක පෙන්නන්න බෑ.. එහෙම ලංවෙන්න සාධාරණ හේතු තිබ්බත්, මුං මැරෙන්න හදනවා.. මේකත් හරියට ඒ වගේ තමයි.. හරියට නිකං මං, නිරෝෂිත් එක්ක පැනලා යයි කියලා වගේ..

"උදව් කිරීමෙ ප්‍රශ්නයක් බන්ටිට නම් බෑ.. ඒත් අපිට පේන විදියට බින්දුට නම් ප්‍රශ්නයක් තියෙනවා වගේ.."

මෙච්චර වෙලා පැත්තක ඉදන් හැමදේම අහගෙන ඉදපු සුරේන් කතාවට දායක උනා.. එහෙනම් මට තේරිච්ච, දැනිච්ච හැමදේම ඌත් තේරුම් අරන් වගේ..

"බන්ටි මේ වැඩේට බැහැපු එකට උඹට මොකක් හරි ප්‍රශ්නයක්ද බින්දු..?"

ලොකු පුතා කෙලින්ම බින්දුගෙන් ඇහුවා..

"න්.. නෑහ්.. මට කිසිම ප්‍රශ්නයක් නෑ.."

"ප්‍රශ්නයක් නැත්තෙ නෑ.. උඹේ හිතේ කුණක් තියෙනවා බින්දු.. ඒක නොතේරෙන්න මං බබෙක් නෙමේනේ.. මං මේ ප්‍රශ්නෙට ඉස්සෙල්ලම බැස්සෙ උඹ හින්දා.. මොනව නැතත් අන්න ඒ දේවත් තේරුම් ගනිං.."

"මං හින්දා බැස්සා නම් ඇයි මේවා මට කලින් නොකිව්වෙ බන්ටි..?"

බලන්න අප්පා මේ වහුකුණා අහන ප්‍රශ්නවල හැටි.. යාලුවෙක් නමෙයි නම්, බන්ටි දෙන්නෙ මූට හතරගාතෙ දාලා වැටෙන්න.. ෂිහ්.. මොන තරම් කැත හිතක්ද මූට තියෙන්නේ..

"කලින් කියන්න ඕන මං නාවලපිටියට ඇවිල්ලද..? ආ බින්දු.. නිකං මැටි කතා කියන්නෙපා.. උඹට ඒ වෙලාවෙ තිබ්බ ප්‍රශ්න වල හැටියට මේකත් උඹේ ඔලුව උඩට දාලා මට ගතියක් ගන්න කියලද උඹ කියන්නේ..? අනික මේ දේ මුලින්ම උඹට කිව්වා නම් උඹේ ඔය මෝඩ මොළෙන් ගන්න තීරණ එක්ක අද මෙතන නිරෝෂි නැතිවෙන්න තිබුණා.."

"හරියට හරි ලොකු පුතේ.. මූ නිකං අද ඉපදිලා වගේනෙ කතා කරන්නේ.. අනික පහුවෙලා මේවා දැනගත්තා කියලා මූට පාඩුවක් උනේ නෑනෙ.. මූට මොනවද නැතිවුණේ..?"

"තොගේ ඔය කතාව අන්තිම වැරදියි බින්දු.. අපේ බන්ටි කරපු දේවල් ඔය තරම් අඩු ලන්සුවට දාන්නෙපා.. අපිටත් තද වෙනවා.. මොකද උඹ දන්නැති උනාට අපි හොදටම දන්නවා උඹ වෙනුවෙන් බන්ටි කොයි තරම් කැපවීමක් කරාද කියලා.. උඹේ ආදරේ රැකගන්න අපි හැමෝටම වැඩිය කැක්කුමක් තිබ්බෙ බන්ටිට.."

"උඹ දන්නවද බින්දු.. උඹ වීරයා වගේ කතා කලාට අපේ බන්ටි මේ ගෙදරින් කාපු පරිප්පු තොගේ ගැන.. අර ශිහාන් කාරයා මාර ගින්නක් දීලා බන්ටිගෙ අම්මට.. අන්තිමට බන්ටිව ගෙදරින් එලෙව්වෙ නැති එක විතරයි.. ඇයි අපේ සුරේන්ගෙ ගෙදරටත් ඌ ඒ වගේ ඔත්තුවක් දීලා.."

"ඕවා දැන් කියලා වැඩක් නෑ අමිල.. තේරුම් ගන්න පුළුවන් මනුස්සයෙක් තේරුම් ගනියි.. මට නම් දැන් අන්තිමට හිතෙන්නෙ කාට උනත් හොද කරන්න නරකයි කියලා.."

මං කෙලින්ම බින්දු දිහා බලාගෙන කිව්වා.. ඇත්තනේ අප්පා.. හොද කරන්න ගිහින් මං මොකටද පරිප්පු කරන්නේ..

"සො.. රි.. බන්ටි.."

"උඹේ සොරිය තියාගනිං බින්දු.. මට ඕක එපා.. හොදට මතක තියාගනිං.. කෙනෙක්ගෙ හිත රිද්දලා ඉවර වෙලා ඔය හොරි කියලා වැඩක් නෑ.. කොටින්ම මට මෙතන පෙනුණ දේ මෙච්චරයි.. මම, උඹේ කොයි තරම් ළග යාලුවෙක් උනත් මේ වැඩේට මේ තරම් බැහැපු එක ගැන උඹේ හිතේ ලොකු කහටක් තියෙනවා.. හරියට නිකං නිරෝෂි ඉස්සරහ උඹ ඉද්දි මං පොර උනා කියලා.. නැද්ද අමිල.."

"හරියට හරි බන්ටි.. මේකා හිතුවද දන්නෑ, බන්ටි එන්නෙ නිරෝෂිව කසාද බදින්න වත්ද කියලා.."

"අ..නේ ඔයාලා මොනවද මේ කියවන්නේ..?"

නිරෝෂිගෙ මූණ ලැජ්ජාවෙන් රතුවෙලා ගියා.. බින්දු තාමත් මුල් ඉරියව්වෙන්ම විරෝපට්ටන් ගහගෙන හිටියා..

"කියන්නෙ ඉතිං හිතෙන දේ තමයි.. ඒත් ඉතිං අපි හොදටම දන්නවා අපේ බන්ටි අනුන්ගෙ කිරි ටොෆි කන්නෑ කියලා.."

"හැබැයි ඉතිං ආදරේ වැඩි වුණොත් නොකා ඉන්නෙකකුත් නෑ, නැද්ද ලොකු පුතේ.."

කතාවෙ අන්තිමට චාමික මහ අපත කතාවක් කිව්වා.. මමත් එතනින් එහාට මුකුත් කියන්න ගියේ නෑ.. මාව තේරුම් ගන්නෙක නොගන්නෙක බින්දුගෙ වැඩක්..

මේක මෙහෙමයි, අරක මෙහෙමයි කියලා ඇගිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න තරමෙ උනක් මට තිබ්බෙ නෑ.. ළගම යාලුවෙක් නම් බින්දු ඒක තේරුම් ගන්න ඕන.. මොකද අපි ආශ්‍රය කරන්න ගත්තෙ අද ඊයෙ නෙමේනේ.. මොනව උනත් බින්දු මොනවා හිතුවත් නිරෝෂි ඉල්ලපු උදව්ව කරන්න මං හිතාගත්තා.. වෙන්වෙලා තියෙන පවුලක් එකට එක්කහු කරන එක ලොකු පිනක්නේ.. 

                                            ****************************

"ආ.. බන්ටි මල්ලි.. දැන් ගෑනු ළමයව ගෙදරටම එක්කං එනවා වගේ.."

නිරෝෂිවයි, බින්දුලාවයි වැලි පාර ළගට ඇරලවලා එද්දි මට මොරීන් අක්කා හම්බ උනා.. මෙයාගෙ ගෙදර ඉස්සරහ ජනේලය බයිනො කියුලර් එකක්වත් හයි කරලා තියෙනවද මංදා.. මං මෙතනින් කොහොම ගියත් මේ මස් පර්වතේ අතටම අහුවෙනවා..

"නෑ මොරීන් අක්කේ.. ඒ මගේ යාලුවො වගයක්.."

"ඒ සීදේවිපාට ගෑනු ළමයා නම් මට දැකලා පුරුදුයි.. අපේ රසිකවත් හම්බවෙන්න ආපු කෙනෙක්ද..?"

ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න කියලා බන්ටිට කියලා දෙන්න කවුරුවත් ඕන නෑ.. දැන් මොරීන් අක්කට ඕන මේ ගෑනු ළමයට අපේ අයියගෙ කෑල්ලක් හරි ගෑවිලා තියෙද කියලා බලන්න..

"නෑ.. නෑ.. මේකට අපේ අයියා සම්බන්ධයක් නෑ.. ඒ ආපු ගෑනු ළමයා ගිය අවුරුද්දෙ මිස් ශ්‍රී ලංකා උන කෙනානේ.."

"න්.. නෑහ්.."

මොරීන් අක්කා ඉහළට ඇදලා ගත්තු හුස්ම ටික එහෙමම නතර කර ගත්තා.. මං හිතුවෙ හිරවුණා කියලා..

"නැත්තෙ මොකෝ.. එයා ලබන සතියෙ රටත් යනවා.."

"ඔයාලගෙ ගෙදරට වද්ද ගන්නෙ ඔය රූප සුන්දරියො විතරමද බන්ටි මල්ලි.. අර රසිකගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් මොකක්දෝ රූප සුන්දරී තරගෙක පළවෙනියා උනා නේද..? ෂිහ්.. මාත් ඉදිරිපත් වෙලා බලන්න ඕන.."

ඉදිරිපත් වෙන්න බැරි නම් ඕන කෙහෙල් මලක් කරගන්න.. මොරීන් අක්කට ඉඩ දීලා මං ගෙදර ආවා.. අඩුගානෙ මිනිස්සුන්ට අවබෝධයක් තියෙන්න ඕන රූපො මොන වගේද කියලවත්, නිකං නෝන්ඩි නොවී ඉන්න..       



             

No comments:

Post a Comment