Wednesday, April 11, 2012

| ඒ ම‍ගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක |






පිණිමුතුව අදුනනවද කියලා නෙත්මිගෙන් අහන්න  හිතන් හිටියත් මේ ඇතිවෙලා තියෙන වර්තමාන තත්වය ඒකට කිසිම ඉඩක් දෙන්නෑ කියලා මට තේරුණා.. ඒත් මගෙත් එක්ක නෙත්මි කතා කරද්දි එයාගෙ හිතෙ අයියා ගැන ලොකු උනන්දුවක් තියෙන බව මං දැක්කා.. නෙත්මිගෙ උනත් කියන්න තරම් අවුල් සහගත බවක් පේන්න නෑ.. ඒත් පිණිමුතු කොහොම කෙනෙක්ද කියලා මං දැකලවත් තිබුණෙ නෑ.. එතකොට එයා ගැන තීරණයක් මට ගන්න බෑ.. හැබැයි පිණිමුතු හුගාක් ලස්සනයි කියල අක්කා කීප සැරයක්ම කියනවා මට ඇහිලා තිබුණා.. එකපාරක් එයා ඔය මොකක්දෝ එකක බියුටි කුවින් කෙනෙකුත් උනාලු..


"බන්ටි මල්ලි.. ඇයි මේ ලෝකෙම එපාවෙලා වගේ..?"

ගෙට හැරෙන වැලි පාර ළගම මොරීන් අක්කා.. මෙයා මේ කවුරු එනකල්ද මංදා කෙකර ගගා දගලන්නේ..? 

"එපාවෙන්න ලෝකයක් තියෙන්න ඕනනේ මොරීන් අක්කේ.. ඇයි ඔයා අද බෙහෙත් ගන්න ගියේ නැද්ද..?"

"නෑ.."

"ඇයි ඒ..? වෙද මහත්තයා නැද්ද..?"

"වෙද මහත්තයා නම් ඇති මල්ලි.. මං ගියේ නෑ.. මේ ප්‍රේමය වෙනුවෙන්, වේදනාව දරාගන්න මං තීරණේ කලා.."

"ඇත්තටම ඔයාට පිස්සු.. ඔයා හිතනවද අපේ අයියා ඔයාට කැමති වෙයි කියලා..?"

"මට දැන් එයා කැමති උනත් නැතත් එකයි.. ප්‍රේමය වෙනුවෙන් මං බැල්කනි එකෙනුත් බිමට ඇදන් වැටුණා.. ඒත් රසිකට කිසිම ගානක් නෑ.. බලන්න බන්ටි මල්ලි.. එයාට තියෙන්නෙ කොයි තරම් කැත හදවතක්ද..? ඒ අතින් ඔයා කොයි තරම් හොදද..?"

"මගේ හොද මට තිබුණාවේ.. ඔන්න ඔය හිතේ තියෙන මනස්ගාත අතෑරලා දාලා වෙන අතක් බලාගන්න මොරීන් අක්කේ.. මූදෙ ඉන්නෙ එක හාල්මැස්සද..? නෑ.. අලිපත තල්මස්සුත් ඉන්නවා.."

"මං තල්මස්, මස් කන්නෑ මල්ලි.."

අම්මප මේවට තමයි කියන්නෙ නයි කයිද රෝස් පාන් කියලා.. තවත් මෙයා එක්ක කතා කෙරුවොත් මගේ මොලෙත් කොලොප්පන් වෙනවා..

"හැබැයි මං එයාගෙ රූප සුන්දරීට නම් හොද දෙකක් කියනවා අහුවෙච්ච වෙලාවක.."

"මොන සුන්දරීටද..?"

"ඔයා ඒකවත් දන්නැද්ද..? ඇයි අර ෂැම්පු ප්‍රෝගෑම් එකේ බියුටි ක්වින් උනේ.. ඔයාගෙ රසික අයියා එයාගෙ ලස්සනට රැවටිලා.. මට දුකයි ඒ ගැන.."

අනේ අනිච්චේ.. ප්‍රේමතී ජයාතී සෝකෝ විමලෝ සුමනෝ කියලා කිව්වෙ කට කහනවට නෙමේනේ.. ඒත් ඉතිං ප්‍රේමයක් උනේ නැති උනත් මයේ හිතේ පොඩි දුකක් තිබුණා.. ඒ තමයි අපේ අයියා ගැන අදහස මොරීන් අක්කගෙ හිතට මුලින්ම දැම්මෙ මමයි කියනෙක..

"දැන් මොරීන් අක්කා මෙතෙන්ට වෙලා මොකද කරන්නේ..?"

"මට කරන්න කිසිම දෙයක් නෑ මල්ලි.. හිතුනොත් මං මේ හැම දෙයක්ම දාලා යන්න යනවා.."

"දාලා යනවා.. ඔයා කොහේ යන්නද මොරීන් අක්කේ..?"

"මං දන්නෑ බන්ටි මල්ලි.. රසික කියන්නෙ මට කවදාවත් ලැබෙන වස්තුවක් නෙමෙයි.. මං ඒක දන්නවා.. ඒත් මගේ හිත ඒක පිළිගන්නෑ.. ආදරේ හැටි එහෙම තමයි.. ඔයත් කවදහරි ආදරේ කරපු දවසක, ගෑනු ළමයෙක්ව ළං කරගත්තු දවසක ආදරේ වේදනාව ඔයාට දැනෙයි.. එතකොට ඔයා කාටවත් කියන එකක් නෑ, හිත හදාගන්න.. මූදෙ ඉන්නෙ එක හාල්මැස්සද කියලා.."

මොරීන් අක්කගෙ ඇස් වලට කදුළු ඇවිල්ලා තිබුණා.. ජීවිතේ ඉස්සෙල්ලම වතාවට මට මං ගැන මහා කාලකණ්නි හැගීමක් දැනුණා.. ඒ අහිංසක ගෑනියෙක්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරා කියනෙක, මගේ පපුව කඩාගෙන ඇතුළට වැදුණා.. විහිලුවකට උනත් මං කරලා තියෙන්නෙ කොයි තරම් පහත් වැඩක්ද..?

"සොරි මොරීන් අක්කේ.."

"නෑ මල්ලි.. පිටින් බලන් ඉන්න හැමෝටම පේන්නෙ එකම විදියට.. ඒ මගේ බාහිර ප්‍රතිරූපෙ විතරයි.. ඒත් මගේ හිත කොයි තරම් ලස්සනද කියලා කවුරුත් දන්නෑ.. ඒ වගේම තමයි ඔය බාහිරින් පේන ලස්සනට ඉන්න අයගෙ හිත ඇතුළෙ කොයි තරම් කැතද කියලා කවුරුවත් දන්නෑ. මොනව උනත් මේ හැමදේම තව ටික කාලයයි.."

"ඒ.. ඒ කිව්වෙ මොරීන් අක්කේ..?"

"අපි ජීවත් වෙන පුංචි කාලෙටනෙ මල්ලි මේ හැමදේම.. ඒ පුංචි කාලෙදිත් දවසකට පැය හයක් හතක් අපි කරන්නෙ නිදාගන්න එකනේ.. එතනින් ඉතුරු ටිකනේ ඔය සතුටයි දුකයි හැමදේම රැදෙන්නේ.. මං ඒකයි එහෙම කිව්වේ.."

මං කවදාවත් හිතලා තිබුණෙ නැති ලස්සන පැත්තක් ගැන මොරීන් අක්කා කතා කරන්න ගත්තා.. ඇත්තමයි මට පුදුමත් හිතුණා.. එයා මේ තරම් සීරියස් වෙලා කතා කරනකොට..

"කොහොම උනත් මගේ ජීවිතේට ආයෙම සන්තෝසයක් උදාවෙන එකක් නෑ බන්ටි.. අර මුලින් මං හිතේ දුකට කිව්ව තමයි, රසිකගෙ රූප සුන්දරීට දෙකක් කියනවා කියලා.. ඒත් මං කවදාවත් එහෙම දෙයක් කරන්නෑ.. මං එහෙම දෙයක් කරන්න පුළුවන් කෙනෙකුත් නෙමෙයි.."

"ඔයා ඔහොම කතා කරනකොට මටත් අප්සට්.. මොනවද මොරීන් අක්කේ.. අර ඉස්සර ඉදපු විදියට ඉන්නකෝ.."

"ආදරේ වේදනාව දැනිලා නැති කෙනෙකුට.. මේ වේදනාව දැනෙන්නෙ නෑ බන්ටි.. අද මගේ මේ වේදනාව ඔයාට තේරෙන්නෙ ඔයාටත් මේ වගේ දෙයක් උනොත්.. එහෙම නැත්නම් ඔයාට ආදරේ කරන හැමෝම ඔයාව දාලා ගියොත්.."

මොරීන් අක්කගෙ වචන විෂ පොවපු ඊතල වගේ මගේ පපුව ඇතුළටම වැදුණා.. 'ඔයාට ආදරේ කරන හැමෝම ඔයාව දාලා ගියොත්..' කියන වචන ටිකේ හිතන්න ඕන දේවල් මහ හුගාක් තිබුණා.. ඇත්තටම මට ඒ වගේ දෙයක් වෙයිද..? එහෙම දෙයක් වෙන්න පුළුවන්ද..? අම්මා, තාත්තා, අයියා, අක්කා, බේබි නැන්දා.. මේ තමයි මං ආදරේ කරන අය.. ඒ ටික කියන්න කියලා හිතාන මං ඔලුව ඉස්සුවත් මොරීන් අක්කා ඒ වෙනකොට මං ගාවින් ඈතට ගිහින් තිබුණා..

                                            ****************************

මහා හිස් හැගීමක් එක්ක ගෙට ගොඩවෙද්දි ගේ ඇතුළෙ කිසිම සද්දයක් තිබුණෙ නෑ.. පොතේ හැටියට නම් මේ වෙලාවෙ ගෙදර ඉන්න ඕන බේබි නැන්දා විතරයි..

"බේබි නැන්දේ.. මොනවා හරි බොමුද..?"

දෙපාරක් තුන්පාරක් කතා කරත් කිසිම සද්දයක් ආවෙ නෑ.. මං කුස්සියටත් එබිලා බැලුවා.. ඒත් නෑ.. අම්මප කවුරු හරි ඇවිත් බේබි නැන්දව උස්සන් ගිහින් වත්ද..?

"බේබි නැන්දේ.. ඔයා කොහේද..? මේ ගෙදර ඉන්න බාලම කොල්ලා ගෙදර ආවා.. ඌව පිළිගන්නෙ නැද්ද.."

ම්හු.. කිසිම සද්දයක් නෑ.. මුළු ගේ ඇතුළෙම බලලා වගතුවක් නැති හින්දා මං කුස්සිය පැත්තෙන් එළියට බැස්සා.. බේබි නැන්දා ගෙදර ඉන්නවා නම් තව ඉන්න ඕන එක තැනක විතරයි.. ඒ තැන නැත්නම් එයා ගෙදර නෑ.. ලොකු වතුර ටැංගිය ළග පුංචි බංකු කෑල්ලක් හයි කරලා තිබුණා.. බේබි නැන්දා ඉන්නවා නම් ඉන්න  ඕන එතන තමයි.. මොකද එයා හුගක් වෙලාවට හිටියෙ ඒ බංකු ලෑල්ල උඩ..

මං හිතුව වගේම ඒ බංකුව උඩ බේබි නැන්දා වාඩිවෙලා හිටියා.. හැබැයි එයා හිටියෙ මහා විශාල කල්පනා සාගරේක අතරමං වෙලා..

"ඔන්න බේබි නැන්දෙ.. මං ආවා.."

මගේ සද්දෙට බේබි නැන්දා උඩ ගිහින් බිම වැටුණා.. එයාට තවත් විහිලුවක් කරන්න හදනකොට තමයි මං දැක්කෙ ඒ වියපත් ඇස්වල තිබ්බ කදුළු කන්දරාව..

"මේ.. මේ මොකද බේබි නැන්දේ..?"

එකපාරටම මාව දැකපු ගමන් බේබි නැන්දා කළබල වුණා.. එයා හැදුවෙ ඇස් වලින් ගලන්න ගියපු කදුලු ටික මට පේන්නෙ නැතිවෙන්න පිහිදා ගන්න.. ඒත් ඒ හැමදෙයක්ම යස අපූරුවට බන්ටි දැකලා තිබුණා..

"ඇ.. ඇයි බේබි නැන්දෙ ඔයා අඩන්නේ..?"

"න්.. නෑ.. මේ.. නිකං.."

"නිකං අඩන්නෙ පිස්සොනේ.. මට කියන්න මොකද උනේ කියලා.. අපේ අම්මවත් ඔයාට බැන්නද..?"

"නෑ.. නෑ.. නෑ.. බන්ටි මහත්තයෝ.. එහෙම දෙයක් නෙමෙයි.."

"එහෙනම් කොහොම දෙයක්ද..?"

"කොහොම දේකුත් නෙමෙයි.. බන්ටි මහත්තයා මේ ගැන වැඩිය හිතන්න ඕන නෑ.. මේක මගේ ප්‍රශ්නයක්.."

"ඔයාගෙ ප්‍රශ්නයක් නම් ඒක මගෙත් ප්‍රශ්නයක් බේබි නැන්දේ.. ඔයාට ඒ විත්තිය අමතක උනාද..? මීට කලින් ඔයාට ප්‍රශ්න එද්දි මං ඔයා ළග හිටියෙ නැද්ද..? ඇයි දැන් මේ පස්ස ගහන්නේ.. ඕනම තැනකදි ඕනම වෙලාවකදි මං ඔයා වෙනුවෙන් කතා කරනවනේ.."

"මං ඒක දන්නවා රත්තරං මහත්තයෝ.. මං මහත්තයව හෑල්ලු කරන්න හිතාගෙන කිව්ව දෙයක් නෙමෙයි.."

"හරි.. හරි.. දැන් ඒවා වැඩක් නෑ.. මොකද උනේ කියන්නකෝ.."

"විශේෂ දෙයක් නෑ බන්ටි මහත්තයෝ.."

"එහෙනම් ඇයි ඇඩුවේ..? අපි කාගෙන් හරි වැරැද්දක් උනාද..?"

"නෑ මහත්තයො නෑ.. මං නිකන් කල්පනා කර කර ඉන්නකොට මට කදුළු ආවා.."

"බේබි නැන්දා හිතන්නෙ මං ඔය කතාව පිළිගනියි කියලද..? හරි කමක් නෑ.. මං අම්මා ආවහම අහන්නම්කෝ.. බේබි නැන්දගෙ හිත රිදෙන්න මොනවද කිව්වෙ කියලා.. අම්මනේ සාමාන්‍යයෙන් බේබි නැන්දගෙ හිත රිද්දන්නේ.."

"දෙයියනේ.. බන්ටි මහත්තයා මොනවද මේ කියන්නේ..? ලොකු නෝනට ඕවා ඇහුනොත් මටත් එක්ක සෝලි තියයි.."

මොනවම හරි හංගන්න හදන අපූරු උත්සාහයක් බේබි නැන්දගෙ මූණෙන් දැක්කා.. ඒත් මගෙන් හංගන්න හදන දේ මොකක්ද..? අනික බේබි නැන්දට අඩන්න තරම් දෙයක් සිද්ධ උනාද..? උනා නම් ඒ කොයි වෙලාවෙද..? මං වෙලාව දිගට, හරහට, පහළට බෙදලා බැලුවෙ කොයි අවස්ථාවෙදිද යම්කිසි සිද්ධියක් වෙන්න ඉඩක් ලැබුණෙ කියලා.. ඒත් මගේ හිතට මෙලෝ අදහසක් ආවෙ නෑ..

"ලොකු නෝනට ඇහෙන්න.. ලොකු නෝනා ගෙදර ඉන්න එපාය.. ඇත්තටම මට කියන්න මොකද උනේ කියලා බේබි නැන්දේ..?"

"මුකුත් නෑ දෙයියනේ.. මුකුත් නෑ.. බේබි මහත්තයට මං කියන ඒවා විශ්වාස නැද්ද..?"

"නෑ.. ඔයා මට මොනවම හරි හංගනවා.. හරි.. කමක් නෑ.. ඔයාට ඕන වෙලාවක ඕන දෙයක් මට කීමේ නිදහස බේබි නැන්දට තියෙනවා.. මං ආයෙ ඒ ගැන අහන්නෑ.. හැබැයි ඉතිං පරක්කු වෙලා කියල ඇක්ෂන් එකක් ගනිද්දිත්, පරක්කු වෙලා මොන හරි සයිඩ් ඉෆෙක්ට් එකක් උනාට බන්ටි වග කියන්නෙ නම් නෑ.. ඒක බේබි නැන්දගෙ වගකීම.."

බේබි නැන්දා තව මොනවා හරි කියයි කියලා හිතුවත් ඒක එහෙම උනේ නෑ.. ඒක හන්දා බේබි නැන්දා බංකුව උඩ ඉද්දිම මං ගේ ඇතුළට ඇවිත් පඩිපෙල නැග්ගා.. ඇත්තටම මගේ බේබි නැන්දා ඇයි ඇඩුවේ..? ඒ ප්‍රශ්නය එදා මුළු දවස පුරාම මගේ හිතේ තිබුණා.. වෙනදට අහපු ගමන් ඕනම දෙයක් මට කියන මනුස්සයා අද මේ විදියට වෙනස් වෙලා හිටියෙ ඇයි..? මට හිතාගන්න බැරිවුණ එකම දේ ඒකයි..

                                            ****************************

අපේ ගෙදරට මේ ටෙලිෆෝන් දන්ඩක් අරගෙන තියෙන මල වදේ ගැන කියලා නිම කරන්න බෑ.. කොයි වෙලාවෙත් මාර ලතෝනි දෙනවා.. මේ පහුවෙච්චි පැය බාගෙට කෝල්ම ආවා විස්සක් විතර.. හුගාක් වෙලාවට ඒ විස්සෙන් දහයක් විතර මොරීන් අක්කගෙන් වෙන්නැති.. අයියා ගෙදර ඇවිල්ලද කියලා බලන්න එයා කෝල් කරනවා ඇති.. එයාගෙ හිත සනසගන්න කරන වැඩෙන් මෙහේ මල ඇනයක් වෙලා.. ඇත්තටම මහා කරදරයක්.. අම්මප ග්‍රැහැම් බෙල් උනත් හිතන්නෙ නැතුව ඇති මේක මේ තරම් මල වදයක් වෙයි කියලා.. එහෙම උනා නම් මිනිහා ඕක හොයාගන්නෙ නෑ.. වෙන මොකක් හරි හොයා ගන්නවා ඇරෙන්න..

"බන්ටි.. බින්දුගෙන් කෝල් එකක්.."

විසි එක්වෙනි පාරටත් ෆෝන් එක වදිද්දි මං කන්දෙකේ ඇගිලි ගහගත්තා.. ඒත් පස්සෙ බැලුවාම කෝල් එක ඇවිත් තියෙන්නෙ මට.. හුග දවසකට පස්සෙ බින්දුවට මාව මතක් වෙලා..

"ඉතිං කියපං.. මොනවද අලුත් ආරංචි..?"

"හුගාක් තියෙනවා බන්ටි. නිරෝෂි අදත් මේහේ ආවා.. මම නම් දැන් පුදුම සතුටකින් ඉන්නේ.."

බින්දුගෙ කටහඩේ සතුට කියන දේ උපරිමේටම තිබුණා.. ඒත් ඒ වචන මට සතුටක් ගෙනාවෙ නෑ.. බින්දුට ආදරේ කරන ගමන් නිරෝෂි, ඇටකිච්චටත් ආදරේ කරානේ.. ඇටකිච්චා, නිරෝෂි හින්දා ගුටි කාලා වැලේ වැල් නැතුව හොස්පිට්ල් එකේ ඉද්දි ඒකි බින්දුත් එක්ක මධුසමය ගතකරන්න නාවලපිටි ගිහින්.. ඉතිං ඇත්තටම මං කොහොමස සංතෝස වෙන්නේ..

"උඹ කවද්ද එන්නේ..?"

"මං අනිද්දා එනවා බන්ටි.. පුංචි අම්මට දැන් හොදටම හොදයි.. මගෙත් එක්ක මෙහේ ඉදන් නුවර යන්න නිරෝෂිත් අනිද්දා උදෙන්ම නාවලපිටි එනවා කිව්වා.."

"ආ.. ඇත්තද..? උඹ එහෙනම් පරිස්සමට වරෙන්.. අපි ඇවිල්ලා කතා කරමු.. පුංචි අම්මව මතක් කරා කියපං.."

මං ෆෝන් එක තියන්නයි හැදුවේ.. ඒත් එහා පැත්තෙන් යාන්තමට වගේ බන්ටි කියලා කියන හඩ මට ඇහුණා..

"ඇයි බින්දු..?"

"උඹ හුගක් වෙනස් වෙලා බන්ටි.. මං නුවර ඉදන් නාවලපිටි ආවට පස්සෙ උඹේ සෑහෙන ලොකු වෙනසක් මට පේනවා.. ඇයි බන්ටි ඒ..?"

බින්දුගෙ කටහඩට මොනවදෝ වෙලා තිබුණා.. අර කලින් තිබ්බ සංතෝසෙ උගේ  කටහඩේ බින්දුවක්වත් නෑ.. හැබැයි දැන් මගේ හිතට සංතෝසයක් ආවෙ ඌට මගේ වෙනස ගැන තේරුණ හන්දා..

"ඒ උඹට දැනෙන හැටි.."

"නෑ.. නෑ.. කොල්ලො හැම එකාටම වැඩිය මට උඹේ හැගීම් තේරෙනවා.. උඹ මොකක් හරි අවුලකද ඉන්නේ..?"

"උඹට ඒක දැන්ද තේරුණේ..?"

"බ.. බන්ටි.."

"උඹ ඉස්සෙල්ලා නුවර වරෙන්.. ඊට පස්සෙ අපි කතා කරමු.. ෆෝන් එකෙන්ම හැමදේම කියන්න බෑනේ.."

"මට තේරෙනවා බන්ටි.. මට තේරෙනවා.. උඹට ඔහේ අවුලක් නම්, මං මෙච්චර දවසකුත් මෙහේ හිටපු එක වැරදියි.. ම.. මං හෙට උදේම නුවර එන්නම්.."

"නෑ.. නෑ.. උඹ නිරෝෂිත් එක්කම වරෙන්.. ඒකි අනිද්දා උදේට නාවලපිටි එනවනේ.. ඒවා කතා කරගත්තු විදියට කරගනිල්ලා.. මං තියනවා.."

ෆෝන් එක තියලා ඉවරවෙලා මං කාමරේට ආවා.. බින්දුත් එක්ක කතා කරපු විදිය ඒ තරම් හොද නැති උනත් ඒක මගෙ හිතට ඒ තරම් දැනුණෙ නෑ.. මොන දේට උනත් මෙච්චර දවසක් බින්දු නාවලපිටියටම වෙලා ඉදපු එක ගැන මගේ හිතෙ ඒ තරම් පැහැදීමක් තිබුණෙ නෑ.. පුංචි අම්මටත් හොද වෙලා තියෙද්දි ඌට යුතුකමක් තිබුණා දවසකට හරි නුවර ඇවිත් අපිව බලලා යන්න.. ගෙදර ගියොත් ආයෙත් නාවලපිටි යන්න දෙන්නැත්නම් සුරේන්ලගෙ ගෙදර හරි නවතින්න තිබුණනේ.. බලන් ගියාම බින්දුත් අර පැනි හැලියට වැටිච්ච ඇඹලයා වගේ තමයි.. නිරෝෂි ළග ඉන්නවා නම් ඌට උගේ මොකක් හරි අවයවේක කෑල්ලක් ගලවන් ගියත් ප්‍රශ්නයක් නෑ.. ආදරේ කරා කියලා ආදරේට ඔය තරම් වහල්වෙන්න ඕන්නෑ කියලයි බන්ටිට නම් හිතෙන්නේ..

                                            ****************************

"ලොකු පුතේ.. ඇයි උඹ අරූට බැන්නේ..?"

පහුවෙනිදා ජෝයි බෝට් යාඩ් එක ළගට ඇවිදගෙන එන අතරෙ චාමික මගෙන් ඇහුවා.. මේ වෙනකොට නෙත්මි ඇවිල්ලද දන්නෙත් නෑ.. එයා එනවා කියපු වෙලාවටත් තව විනාඩි පහළොවක් විතර තියෙනවා..

"කාටද..?"

"කාටද කියන්නේ..? බින්දුට.."

"මං ඌට බැන්නේ නෑ.. ඇයි ඌ මොනවද උඹට කිව්වේ..?"

"උඹ හරියට කතා කලේ නෑ කිව්වා.. ඌව වරදකාරයෙක් විදියට ඇගෙව්වලු.. අඩුගානෙ නිරෝෂි ගැනවත් වචනයක් ඇහුවෙ නෑලු.."

"මං මොකටද බං නිරෝෂි ගැන අහන්නේ..? නිරෝෂි මගේ කවුද..? අනික අපි ඌ වෙනුවෙන් මෙහේ වදවෙනවා.. අඩුගානෙ ඌ එක දවසක් අපිව බලලා යන්න නුවර ආවද..? කොටින්ම දැන් උගේ හිතේ අමාරුවත් හොද වෙලානේ.. දැන්නෙ පෙම් කෙලින්න පටන් අරන් තියෙන්නේ.."

"ලොකු පුතේ.. උඹ තරහෙන් නේද කතා කරන්නේ.. උගේ ලව් එක ගැන අපිට වඩා ඌනේ දන්නේ.. අපිට මුකුත් කියන්න බෑනේ.."

"වෙන්න ඇති චාමික.. ඌට මෙහේ ඉන්න බැරිවුණේ පුංචි අම්මගෙ අසනීපෙ හින්දා නම්.. දැන් ඒක හොද උනාම වත් මෙහේ එන්න ඕනනේ.. ඌ තවත් නාවලපිටියට වෙලා ඉන්නෙ පුංචි අම්මව බලන්න නෙමේනේ.."

"උඹේ කේන්තිය මට තෙරෙනවා.. මං උඹට එක දෙයක් කියන්නම්.. ලොකු පුතේ.. හැම එකාම අවස්ථාවාදියො.. තමන්ගෙ වැඩේ කෙරෙනකන් විතරයි කවුරුත්.. හයිය ඇති වෙලාවෙ කවුරු කවුරුත් අපිව අල්ලගෙන හිටියත් අපිට බැරි වුණ ගමන් හැමෝම අපිව දාලා යනවා.."

"ඕවා ගැන කතා කරලා වැඩක් නෑ චාමික.."

"නැත්තෙ නෑ ලොකු පුතේ.. හැමදේම සිද්ධ වෙන්නෙ ඒ ධර්මෙට අනුව තමයි.. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා.. අපි ඒ පැත්තෙන් බින්දුට සමාව දෙන්න ඕන.."

"මොන පැත්තෙන්ද..?"

"නිරෝෂි, ඇටකිච්චා එක්ක යාලුවෙලා කියලා අපි විතරනේ දන්නේ.. ඒක බින්දුවා දන්නෑ.. ඉතිං ඌ නිරෝෂි ගැන ආදරෙන් බොක්ක පුරවගෙන කතා කරනකොට අපිට කේන්ති ගියත්, ඌ ගැන කේන්ති ගන්න නරකයි.. නිරෝෂිගෙ ඇත්ත තත්වෙ ගැන බින්දු එක දශමයක්වත් දන්නෑ.. අපි ඒ පැත්තෙන් ඌට සමාව දෙන්නෝන.. උගේ ආදරේ බේරගන්න ඉස්සරහින්ම ඉදගෙන කට්ට කෑවෙ උඹ කියලා කියන්න අපි හැමෝම දන්නවා.. ඒකෙ කට්ට තාම කනවා කියනෙකටත් උදාහරණයක් තමයි මේ දැන් යන ගමනත්.. ඒත් අපි මේවා කාට කියන්නද ලොකු පුතේ.."

චාමිකගෙ කතාවෙ සීයට දෙසීයක් විතර ඇත්ත තිබුණා.. හිත පිළිගන්න අකමැති වුණත් කතාවෙ ඇත්ත තත්වෙ මේකයි..

"කියන්න කවුරුත් නැති එක ඇත්ත.. ඒවා කොහොම උනත් නෙත්මි තාම ඇවිල්ලා නෑනෙ.."

"උඹේ ඇස්වල හොටුද ලොකු පුතේ.. අර බලපංකො පාරෙන් එහා පැත්තෙ දිලිසි දිලිසි ඉන්නෙ කවුද කියලා.."

ඇත්තටම චාමික පෙන්නනකම්ම මං නෙත්මිව දැක්කෙ නෑ.. අද එයා සාමාන්‍යයෙන් අදින පැටර්න් එක වෙනස් කරලා.. ටිකක් කොට ස්කර්ට් එකකුයි, ටිකක් දිග බ්ලවුස් එකකුයි ඇදලා.. හරියට නිකං විද්‍යා බාලන් වගේ.. ඕවා එහෙම චාමිකයට කිව්වොත් ඌ පස්සෙනුත් හිනාවෙයි..

"විනාඩි දෙකක් පරක්කුයි.."

අපි එනවා දැකලා පාර පැනපු නෙත්මි කිව්වා..

"සොරි.. මායි, චාමිකයි කතාවක් දාගෙන ආවේ.."

"කෝ ඔයාගෙ චැලිය..?"

"ඒකෙ ප්‍රෙට්‍රල් ඉතුරු කරගන්න ගෙදර දාලා ආවා.."

එහෙනම් කෙල්ලට මගේ හුටු හුටු යන්තරෙත් මතකයි.. වැඩේ කියන්නේ.. ඒක අපේ ගෙදර තියෙද්දි දැක්තොත් තමයි.. මීට පස්සෙ මොරීන් අක්කා බිමට ඇදන් වැටුණ උදුපියලිය පාත්තිය පැත්තෙන්වත් දාන්න ඕන.. 

"රන්දික.."

මං මෙච්චර වෙලා කෙල්ල දිහා බලලා භාවනා කරලද කොහෙද..? චාමික වලාකුලු බැම්මට හේත්තු වෙලා ඈතින් පේන මාළිගාව දිහා බලන් ඉන්නවා..

"මොනවද ඔය තරම් කල්පනා කරන්නේ..? ආයෙත් මං එක්ක රංඩුවක් අල්ලන්නද..?"

"අපොයි නෑ.. අපි දැන් වෙන්න යාලුවොනේ.. තව ටික දවසකින් යාලුවො වෙයි.."

"ඔයාට එහෙම හිතෙනවද..?"

"ඔව්.. හුගක් වෙලාවට එහෙම වෙයි.. ඒක නෙමේ.. ඔයාට ක්ලාස් කීයටද..?"

"තව වෙලා තියෙනවා.."

"එහෙනම් ඉතිං මං අහපු දේට උත්තරයක් දෙන්න දැන් වෙලා තියෙනවනේ.."

එතැන ඉදලා විනාඩියක් විතර යනකන් කෙල්ල නිශ්ශබ්ද උනා.. මෙච්චර වෙලා කසාද බැදපු ගෑනි වගේ මගෙත් එක්ක කතා කරලා එකපාරටම එයා සයිලන්ස් උනේ ඇයිද කියලා මට හිතාගන්න බැරිවුණා..

"ඔයා ඇහුවේ, ඇයි මං නලින්දට ගහන්න කියලා, ඔයාට කිව්වෙ කියලා නේද..? ඒක ඔයාට ලොකු ප්‍රශ්නයක් උනා නේද..?"

"ප්‍රශ්න දෙකටම උත්තරේ ඔව් කියන එක.."

"නලින්දයි, මමයි හුගාක් ළගින් ආශ්‍රය කලේ.."

"ඔයාලා ලවර්ස්ලද..?"

"ඔයාට පිස්සුද රන්දික.. නලින්ද මගේ කසින් කෙනෙක්.. මං එයාගෙ ආදරේට සපෝර්ට් කරපු එක විතරයි කරේ.. නලින්දට ගෙදරින් හුගාක් ප්‍රශ්න තිබුණා.. එයාට මමයි, ඩැඩියි ගෙදරින් එළියටවත් බහින්න දුන්නෑ.. ඒකට හේතුවත් මං දැනගත්තෙ හුගාක් පහුවෙලා.. එයා හුගාක් ගර්ල්ස්ලව ආශ්‍රය කරන කෙනෙක්.. එයාට ආදරේ කරන්න හුගාක් ගර්ල්ස්ලා හිටියා.."

"එතකොට ඔයා එයින් එක ආදරේකට විතරක් සපෝර්ට් කලේ ඇයි..? නලින්ද ඔයාගෙ යාලුවා නම් ඔයාට තිබ්බනේ නලින්දගෙ හැම ලව් එකකටම සපෝර්ට් කරන්න.."

කෙල්ලගෙ මූණ ඇදවෙලා ගියේ මම බිම බලාගෙන ඉද්දිම.. කරන්න දෙයක් නෑ බබා.. මට මේ කතන්දරේ හරියටම දැනගන්න ඕන.. ඊට පස්සෙ මට පුළුවන් නිරෝෂිගෙ ඇත්ත විස්තරේ පත්තරේට හරි දාගන්න..

"ඔයා මං ගැන හිතන් ඉන්න හැටි හුගාක් වැරදියි රන්දික.. සමහර විට ඒ අපි දේනනා දැක්ක පලවෙනි දවසෙ ඉදලම රංඩු කරපු හින්දා වෙන්නැති.. ඒත් ඒ රංඩුවෙලා ගෙදර ගියාට පස්සෙ මට දැනුණෙ ලොකු පසුතැවිල්ලක්.. හරියට මගේ ළගම කෙනෙක් එක්ක රංඩු උනා වගේ.."

"ඔයා එහෙම කතාවක් ඊට පස්සෙ කිව්වෙ නෑනේ.."

"කියන්නෙ කොහොමද දෙයියනේ.. ඔයා මගෙත් එක්ක එන්නෙම රංඩුවටනේ.."

"මම නෙමෙයි රංඩු වුණේ.. එදා මං නලින්දට ගහලා ඒකටත් ඔයානේ රංඩුවට ආවේ.."

"හරි.. හරි.. අපි ඒ කතාව නවත්තමු.. ඔහොම ගියොත් අපිට ආයෙත් රංඩු වෙන්නයි වෙන්නේ.."

යාංතමට හිනාවෙවී නෙත්මි කිව්වා.. අම්මප කෙල්ලො කියන ජාතිය නම් මේ ලෝකෙ විනාස උනත් තේරුම් ගන්න බෑ.. කරගෙන ගියපු කතාවෙ ට්‍රැක් එකෙන් එළියට එයාම පැනලා දැන් මට අඩ ගහනවා ආයෙත් ට්‍රැක් එකට එන්න..

"ඇයි ඔයා නලින්දගෙ මේ එෆෙයාර් එකට සප් එක දුන්නේ.. ඒ ගර්ල් ඔයාගෙ යාලුවෙක්ද..?"

"නෑ.. එයා මගෙ යාලුවෙක් නෙමෙයි.."

අම්මපා මේක නම් හතර බීරි කතාවක්නේ.. කෙල්ල මෙයාගෙ යාලුවෙකුත් නෙමෙයිලු.. කොල්ලා මෙයාගෙ කසින් කෙනෙක්ලු..

"මං ඉස්සෙල්ලත් කිව්වෙ රන්දික.. මං නලින්දව ආශ්‍රය කරාට එයා ගැන කිසිම දෙයක් දැනන් හිටියෙ නෑ.. එයා මගෙන් උදව් ඉල්ලලත් නෑ.. එයා ඉල්ලපු එකම උදව්ව ඒ ගර්ල්ව හම්බවෙන්න යන්න විතරයි.. ඇත්තටම ඒ ගර්ල් තමා මං දැකපු අහිංසකම කෙල්ල.. ඒක නම් පුදුම අහිංසකකමක්.. ඔන්න ඔයා වගේ කෙනෙක් රන්දික නපුරු විදියට බැලුවොත් හෙම කෙල්ල මැරෙයි.. එයා ඒ තරම් සංවේදියි.. හරියට ඇහෙන්නවත් වචනයක් කතා කරන්නෙ නෑ.. බිම බලාගෙන කතා කරන්නෙ.. ලැජ්ජාව කියන දේ උපරිමේටම තියෙනවා.. ඇත්තමයි.. මං කොල්ලෙක් උනා නම් නලින්දට එයාව දෙන්නෑ.. මං මගේ කරගන්නවා.."

නෙත්මි මේ කියවන්නෙ නිරෝෂි ගැන.. දෙයිහාමුදුරුවනේ.. නිරෝෂිගෙ ඇක්ටින් පාර කොයි තරම් සිරාවිදියට ඇටකිච්චයි, මෙයාටයි දීලා තියෙනවද කියනව නම් බන්ටිගෙ ඇග කිලි පොලා යනවා..

"ඉතිං ඒ ගර්ල් ගැන මොනවදෝ කියවගෙන ඔයා ආවම මට හරියට තරහා ගියා.. මං හොදටම දන්නවනේ එයා ඒ වගේ පහත් වැඩ කරන්නෑ කියලා.."

"හරි ඒක පැත්තකින් තියමුකෝ.. දැන් කතාව කියන්න.."

නිරෝෂිගෙ පහත් වැඩේ ගැන දැන් නම් මෙතන කියලා වැඩක් නෑ.. කොහොම කිව්වත් ඒක නෙත්මි පිලිගන්නෑ.. ඒක හන්දා බඩුත්තෙක්කම හොරු අතට අල්ලලා දෙනවා කියලා මං හිතාගත්තා.. කතාවට වැඩිය ක්‍රියාව කොහොමටත් හොදයිනේ.. බින්දුයි, නිරෝෂියි ආදරේ කරන වෙලාවක, මට තියෙන්නෙ නෙත්මිව එක්කගෙන ඇවිල්ලා දර්ශනේ පෙන්නන්න විතරනේ.. මෙයා එතකොට දැන ගනියි තමන්ගෙ අහිංසක යාලුවගෙ වැඩ කිඩ ගැන..

"ඔයා නලින්දට ගහලා කියලා දැනගත්තම මට හරියට තරහා ගියා.. ඇත්තමයි මට ඔයාව මරන්න තරම් හිතුණා.. හොස්පිට්ල් එකේදි නලින්ද මගේ අත බදාගෙන අඩද්දි මට පොලීසියට ගිහින් කම්ප්ලේන් එකක් පවා කරන්න හිතුණා.. මට හිතුණෙම ඔයා නලින්දගෙ ලව් එක බ්රේක් කරන්න හදනවා කියලා.. නලින්දට තව ගර්ල්ස්ලා ඉන්නවා කියලා කියද්දිත් මං ගණන් නොගත්තෙත් ඒකයි.."

"ඉතිං ඔයා ඇත්ත දැනගත්තෙ කොහොමද..?"

"ඔයා කියපු කතාව ඒ වෙලාවෙ බොරු කියලා හිතුවත් පස්සෙ කල්පනා කරද්දි ඒකෙ මොනවම හරි ඇත්තක් ඇති කියලා මට හිතුණා.. ඒ ගැන හොයලා බලද්දි තමයි මට නලින්දගෙ හුගාක් දේවල් අහුවුනේ.. එයා මේ වෙද්දි ගර්ල්ස්ලා එක්කයි, ගෑනු එක්කයි දිගටම සම්බන්ධකම් පවත්වලා තිබුණා.. අර අහිංසක කෙල්ල හැපීගෙන ආදරේ කරද්දි මේ ජරා මනුස්සයා වෙන ගෑනු ළගට ගිහිල්ලා තිබුණා.."

"ඊට පස්සේ..?"

මේක හරියට චිත්‍රපටියක කතාවක් වගේනේ.. අනික ඇටකිච්චා කරලා තියෙන දේවල් ගැන ඇහුවාම මට නිකං අදහගන්නත් බැරිවුණා.. යකෝ.. මේකා මනුස්සයෙක්ද..? බලන් ගියාම කොහේදෝ යන අවජාතක දණ්ඩෙක්නේ.. හැබැයි ඉතිං නිරෝෂිටත් පඩිසන් දෙන එක අඩුවක් නැතුවම හම්බවෙලා තියෙනවා.. තමන්ට පැලෙනකන් ආදරේ කරන බින්දු වගේ අහිංසකයෙක් ඉද්දි.. ඇටකිච්චගෙ රූපෙට රැවටිලා ආදරේ කරන්න ගියාට ඒකිටත් හොද වැඩේ.. හොදම වැඩේ..

"මං හරියට පසුතැවුණා රන්දික.. ආදරේ ගැන මට අත්දැකීම් නෑ.. ඒත් මිනිස්සු ආදරේ කරල කියන්නෙ එකපාරට හතර පස් දෙනෙකුට ආදරේ කරන එකටද..? නැත්නම් හැමෝටම හොරෙන් මල්වත්තෙ පාලු තැනකට යන එකද..? මට නම් තේරෙන්නෑ.."

"ඔයා පසුතැවුනෙ මොනවටද..?"

නෙත්මි හිටපු ගමන් ට්‍රැක් එකෙන් පනින හන්දා ආයෙත් ට්‍රැක් එකට දාගන්න දැඩි අවධානයෙන් ඉන්නෝන.. මොකද ඒ වෙලාවෙ බන්ටිත් ට්‍රැක් එකෙන් පැන්නොත් මේ කෙරීගෙන යන ද්වී පාර්ශවික සාම සාකච්ඡාවලට ඇපත් නැතිවෙනවා..

"නලින්දට උදව් කරපු එකට.. එයා මොනව කරගත්තත් මට කමක් නෑ.. ඒත් අර අහිංසක කෙල්ල හරි පව්.. ඒ ආදරේට ඒ තරම් කාලෙකුත් නෑ.. කෙල්ල මේ අසමජ්ජාතියට රැවටිලා.. මට දැන් ඒ ළමයගෙ මූණවත් බලන්න බෑ.. ඇයි ඉතිං මං නලින්ද ගැන පුදුම ගැරන්ටියක්නේ දුන්නේ.. මගේ ඇස් ඉස්සරහම නලින්ද ඒ හැම එකක්ම කඩලා බිදලා දැම්මයින් පස්සෙ මං කොහොමද ඒ ළමයා එක්ක කතා කරන්නෙවත්.."

නෙත්මිගෙ කටහඩේ පළමු වතාවට වේදනාවකුත් එකතුවෙලා තියෙනවා මං දැක්කා.. ඒත් එයා ඒ වේදනාව විදින්නෙ නිරෝෂි පව් කියලා නම් ඒ වේදනාවට ආයුෂ ඒ තරම් නෑ කියලත් මං දැනන් හිටියා.. ඒක සුව කරන එක බන්ටිට බොහොම සුලු වැඩක්..

"අර තරම් ගැටි කාලා ඉද්දිත් හොස්පිට්ල් එකෙ ඇද උඩටත් වෙලා ඉදගෙන නලින්ද කෙරුවෙ ගෑනු ළමයි එක්ක සංතෝස වෙන එක.. මං මගෙ ඇස් දෙකින්ම දැක්ක.. අර ඔයාට මාව හම්බවුණේ, අන්න එදත් උදෙයි, දවාලෙයි දෙකේම මං නලින්දගෙ චරිතෙ හුගාක් වැරදි තැන් දැක්කා.. ඇත්තමයි මට මහා පුදුම තරහක් ඇවිල්ලා තිබුණා.. ඒකයි ඔයාව දැක්ක ගමන් මට කියවුනේ නලින්දට තව පාරක් ගහන්න කියලා.."

හැමදේම අකුරක් නෑරම පැහැදිලි කරලා ඉවරවෙලා නෙත්මි ලොකු  හුස්මක් පල්ලෙහාට දැම්මා.. සමහර විට එයාගෙ හිත සැහැල්ලුවෙන්න ඇකි.. ඒත් කලින් දවසක අපි කොල්ලො ටික කතා කරපුව කොයි තරම් ඇත්තද කියලා මට හිතුණා.. මේ සිද්ධිය වෙන්නෙ ඇත්තෙ මෙහෙමයි කියලා අමිල බලන් හිටියා වගේ කිව්වනේ..

"දැන් එතකොට නලින්දගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් මේ ගැන දන්නවද..?"

"මං හිතන විදියට දන්නවා.. මුලින් මුලින් එයා හොස්පිට්ල් එකට ආවත් ඊට පස්සෙ ඇවිත් තිබුණෙ නෑ.. එයාටත් හැමදේම ආරංචි වෙලා ඇති.. නලින්ද ගුටි කාලා තියෙන්නෙ ගෑනු හුටපටේකට කියලයි හැමතැනම ප්‍රසිද්ධ උනේ.."

"ඒ කියන්නෙ දැන් මට කොන්ත්‍රාත්තුව බාරගන්නයි වෙන්නේ..?"

කතාව ඉවරයි වගේ තේරුණ හින්දා මං ඒ සුදු මූණ මැදට එබුණා.. හරිම විරාගික ලස්සනක් ඒ මූණෙ තිබුණා.. කලින් මෙයා මගෙත් එක්ක රංඩුවෙන හැටියට මේ වගේ සිරියාවන්තකමට දකින්න ලැබේවි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ..

"ඒක තමයි දැන් මටත් තියෙන ප්‍රශ්නේ..?"

"ඒ කියන්නෙ ඔයා අදහස වෙනස් කරගත්තද..?"

"මංදා.. ඔයා රසික අයියා දන්නවා කිව්වම, මට ඒ වගේ දෙයක් ගැන ඔයාට කියන්න බෑ.. අපි ඒක අතෑරලා දාමු රන්දික.. මං ඒ වගෙ යෝජනාවක් කරේ නෑ කියලා ඔයා අමතක කරලා දාන්න.. නලින්දට එයා කරපු පව් වලට කොයි වෙලාවෙ හරි ආයෙ පඩිසන් දේවි.."

"රසික අයියගෙයි, මේ කතන්දරෙයි අතරෙ තියෙන සම්බන්දෙ මොකක්ද..?"

බලන් ගියාම අපේ උණහපුලු පැටියත් නොගෑවෙන තැනක් නෑ.. ඒකයි මං අරහෙම ඇහුවේ..

කෙල්ලගෙ මූණ මැදට ආයෙත් හිනා ඇබිත්තක් ආවා..

"සම්බන්ධයක් නෑ.. ඒත් එයා දැනගත්තොත් හොද නෑ නේද..?"

"ඇයි හොද නැති වෙන්නේ..?"

"අයියෝ රන්දික.. ඔයත්තෙක්ක නම් කතා කරලා බේරෙන්න බෑ.. කොහෙන් හරි ප්‍රශ්නයක් අහනවා.."

"ඒ කියන්නෙ ඔයා රන්දිකට ආදරේ කරනවා.. එහෙම නේද..?"

නෙත්මිගෙ මූණ ලොකු ලැජ්ජාවකින් රතුවෙලා ගියා.. කෙල්ල පිට කරගන්න බැරි ආදරේ හිතේ තියාගෙන ඇඹරෙන හැටි මං හොදටම දැක්කා..

"ඒක අනාගතේට බාර ප්‍රශ්නයක් රන්දික.. දැන්මම ඒකට උත්තරයක් ඔව් හරි නෑ කියලා හරි දෙන්න බෑ.."

"ඔයා කියන දේ හරි නෙත්මි.. හැබැයි මටයි, චාමිකටයි ඊයෙ තේරුණා ඔයා රසික අයියට ආදරේ කරනවා කියලා.. ඒ ආදරෙත් හිතේ තියාගෙන රසික අයියා ගැනත් හොයලා බලන්න.. එතකොට හැම දෙයක්ම හුගක් හොද වේවි.."

"ඒ.. ඒ කියන්නෙ රසික අයියා කාත් එක්ක හරි යාලුයිද..?"

"මං දන්න තරමින් නම් නෑ.. කෝකටත් හැමදෙයක් ගැනම හරියට දැනගෙන බලාපොරොත්තු තියාගන්නෙක හොදයි.. මොකද එතකොට දුක කියන දේ අඩුවෙන් ලැබෙන නිසා.."

"තෑන්ක්ස් රන්දික.. ඔයා හොද උත්තරයක් මට දුන්නෙ.. එහෙනම් මං යන්නද..? මගේ ක්ලාස් එක පටන් ගන්න වෙලාවත් දැන් ඇවිල්ලා.."

"හදිස්සියෙවත් ඕනකමක් උනොත් මං ඔයාව කන්ටැක්ට් කරගන්නෙ කොහොමද..?"

"ඔයාගෙ ටෙලිෆෝන් නම්බර් එකක් නැද්ද රන්දික..?"

"මට නම් නෑ..  මං කියන්නද වැඩක්.. ඔයාගෙ නම්බර් එක මට දෙන්න.. අවශ්‍ය උනු වෙලාවක මං ඔයාට කෝල් කරන්නම්.."

ආයෙ දෙපාරක් හිතුවෙ නෑ.. මං කෙලින්ම කියලා දැම්මා.. කොහොමටත් නිරෝෂිගෙ කල්කිරියාව පෙන්නන්න මෙයා ගෙන්න ගන්නම ඕනෙනේ... මං කිව්ව වගේම නෙත්මින් හැරෙන තැපෑලෙන් මට නම්බර් එක දුන්නා.. ඔය තියෙන්නේ.. දැන් ඉතිං මොනවා කරන්න බැරිද..

"එහෙනම් ලොකු පුතේ.. උඹ අන්තිමට කෙල්ලගෙ නම්බර් එකත් ඉල්ල ගත්තා.. ඇත්තටම මං දැන් කියන්න ඕන අපේ ගැන්සියෙ කොල්ලන්ට උඹව ආදර්ශෙට ගන්න කියලා.. උඹ ඒ තරම් තාත්තවිකව ඒ දර්ශනේ රගපෑවා.."

නෙත්මි ගියා විතරයි චාමික වක්කඩේ ඇරියා.. ඔව් ඉතිං මෙච්චර වෙලා මේකා කට වහගෙන ඉන්න ඇත්තෙ පුදුම තරමෙ අමාරුවකින් වෙන්නැති..

"මොන දර්ශනේද..?"

"මොන දර්ශනේද ඇහුවා.. ඇයි උඹ රසික අයියට කටුව ගහන්නනේ යන්නේ.. හැබැයි ඉතිං සහෝදරයට කපලා හරි කමක් නෑ.. මේ ලමිස්සිව යාලු කරගන්න පුළුවන් නම්.. ඒ තරම් සිරියාවයි බං.. මට කැමති උනා නම් මං අදම ගෙදරට එක්කන් යනවා බන්ටි.."

"උඹට පිස්සුද..? උඹ මොනවද ඔය කියවන්නේ.. මං කවදාවත් ඒ වගේ දෙකයි පනහෙ වැඩ කරන්නෑ.. අපේ අයියගෙ ප්‍රේම කතා තිබුණාවේ.. හැබැයි චාමික මට මේ කෙල්ල ගැන දුකයි.."

"උඹ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නැත්නම් ඇයි උඹ මේ කෙල්ල ගැන දුක් වෙන්නේ..? උඹට පාඩුවෙ ඉන්න පුළුවන් නේ.."

"පාඩුවෙ නම් ඉන්න පුළුවන්.. ඒත් මං උඹට ඊයෙත් කිව්වෙ අපේ අයියගෙ හිතේ ඉන්නෙ පිණිමුතු කියලා අපේ අක්කගෙ යාලුවෙක් කියලා.. ඒ කෙල්ල මේ බියුටි ක්වින් තරගෙකටත් ගිහින් ෆස්ට් ප්ලේස් ගහපු කෙල්ලෙක්.. එහෙම බැලුවොත් මේ අහිංසක කෙල්ලට කැමතිත් නෑ චාමික.."

"දැන් උඹ මොකද කරන්න යන්නේ..?"

"ඉස්සෙල්ලම නිරෝෂිගෙ චර්යාව නෙත්මිට පෙන්නලා ඉන්න ඕන.. මං නම්බරේ ඉල්ල ගත්තෙ ඒකයි.."

"ඊට පස්සේ..?"

"කතන්දර ගොඩක් තියෙනවා චාමික.. මට හිතුණොත් මං අයියට ලං කරවන්නෙ මේ කෙල්ලව.. මං මේකි මගේ නෑනා වෙනවා නම් කැමතියි.. බලපංකො තකට තකනේ.. මට ඕන වෙලාවක වලියක් අල්ලන්න පුළුවන්.."

"දාපං ලොකු පුතේ පහට පහක්.. උඹ මාර ග්‍රේඩ් පොරක්.. අපි උඹව අදහන එක වැරදි නෑ කියලා උඹ නිතරම ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නනවා.. එහෙනම් අපි මේ කෙල්ලට ඒකිගෙ ආදරේ ජයගන්න සපෝර්ට් කරමු.. ඒ මහගු පුණ්‍ය කර්මයෙන් උඹටයි, මටයි ගෑනු ළමයි දෙන්නෙක් හරි හතර දෙනෙක් හරි ලංවේවිනේ.."

හොද වැඩකට යෝජනාවක් ස්තීර කරන ගමන් චාමික අපත කතාවක් කිව්වා.. බලමුකෝ.. මට නම් ගෑනු ළමයි නොලැබුනත් කමක් නෑ.. නෙත්මිගෙයි, අපේ අයියගෙයි කතන්දරේ කොයි තරම් දුරට ගෙනියන්න පුළුවන්ද කියලා උත්සාහයක් ගමුකෝ..  



                                              

No comments:

Post a Comment