Monday, April 9, 2012

| ඒ ම‍ගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක |






උදේ ඇහැරෙනකොට මගේ හිතේ තිබ්බෙ මොරීන් අක්කට මොනව උනාද දන්නෑ කියලා.. ගේ ඇතුළෙ කිසිම හා හූවක් තිබුණෙත් නෑ.. වැඩේ පත්තු වෙලා වත්ද..? ගෙදර මිනිස්සු ටික මං නැගිටිනකන්ද දන්නෑ බලන් ඉන්නේ.. කෝකටත් කියලා සූදානම් ශරීරෙන් මං පඩිපෙළ බැස්සා..

"ආ..නේ.. බන්ටි ඔයා නැගිට්ටද..?"


කවදාවත් කතා කරලා නැති තරමෙ සිරියාවකින් මූණ පුරවගෙන අක්කා මගේ ඉස්සරහට ආවා.. මේ මොකද අප්පෙ මේ..? මං මේ තාම නිදිමතේ හීනයක්ද දන්නෑ දකින්නේ..

"නෑ.. මං මේ නැගිට්ට ගමන්.."

"ආනේ.. මං හිතුවෙ ඔයා නැගිටලා කියලා.."

"අපොයි.. ඔයා එහෙම හිතුවද..? නෑ අක්කේ.. මං මේ නැගිට්ටලා ටිකක් වෙලා.."

මේ කතාව අහන් ඉන්න එකෙක්ගෙ මොලේ කුණුවීම වලක්වන්න වයිමාටවත් බෑ.. වයිමා කියන්නෙ කවුද කියලා අහපුවාහම පයිතගරස් නම් දවසක් කිව්වෙ ආකිමිඩියස්ගෙ ලොකු පුතා කියලා..

"ඔයා දවල්ට මොකද කරන්නෙ බන්ටි..? ගෙදර ඉන්නවද..? එහෙමත් නැත්නම් කොහේවත් යනවද..?"

අක්කා බෝ පැලේ වගේ සාන්ත දාන්තව කතා කරද්දි මං මිදුලට බැස්සා.. එතනින් වම් පැත්තට මල් පෝච්චි අතරින් ගියාම කෙලින්ම වැටෙන්නෙ මගේ කාමරේ බැල්කනිය යටට.. එතන පොළවෙ අර ටයිටැනික් ප්‍රේමවන්තියගෙ ඉනිමගේ ඇලුමිනියම් පොලු දෙකේ පාරවල් යස අගේට සටහන් වෙලා තිබුණා.. එතනම ඩිංගක් එහායින් තිබ්බ, උදුපියලිය වවලා තිබ්බ රවුම් පාත්තිය පැත්තකින් පොළවට එබිලා වගේ තිබුණා.. අපොයි.. අර මස් පර්වතේ බිමට ඇදන් වැටිලා ඔහොම බේරුනා මදැයි.. මං හිතුවෙ භූමිකම්පාවක් උනා වගේ මුළු පරිසරේම විනාශ වෙලා ඇති කියලා..  

"අනේ බන්ටි.. කියන්නකෝ.."

"මොනවද අක්කේ..?"

අක්කා නැගිට්ට වෙලාවෙ ඉදල මගේ පස්සෙන් එන ඒම නම් මට දිරෙව්වෙ නෑ.. ෂුවර් එකටම මොකක් හරි කුණු ගොඩක් තමයි.. ඒකෙ ආයෙ සබන් ගාලා හෝදන්න දෙයක් නෑ..

"ඔයා අද මොකද කරන්නේ..?"

"ඒකට නම් ඉතිං ඩයරිය අරන් බලන්න ඕන.."

"අනේ බන්ටි.."

"හරි.. හරි.. මට මොන වැඩේ තිබුණත් ප්‍රශ්නයක් නෑ.. ඔයාට මගෙන් කෙරෙන්න ඕන මොනවද කියලා කියන්න.. ඔය බහුබූත නැතුව.."

"අද දවල්ට මගෙත් එක්ක පොඩි ගමනක් යන්න එනවද බන්ටි..?"

"පොඩි ගමනක්..?"

මං දන්නැද්ද මෙයාගෙ පොඩි ගමන්.. ගිහින් නවතින්නෙ ලෝකාන්තෙටත් එහායින්.. අම්මපා මං මේ පලපුරුද්දෙනුයි කියන්නේ..

"ඔව්.. නුවර හොස්පිට්ල් එකට ගිහින් එන්න.."

මගේ කණ ගාවට ලංවෙලා ඇහෙන නෑහෙන ගානට අක්කා කිව්වා.. නුවර හොස්පිට්ල් එක ගැන කියනකොටම මට වැඩේ තේරුණා.. ෂවුර් එකටම මෙයා මේ යන්නෙ ඇටකිච්චව බලන්න.. වැඩේ කියන්නෙ ඇටකිච්චටයි, නිරෝෂිටයි සපෝර්ට් කරන මෙයාගෙ යාලුවත් ඇටකිච්චා බලන්න එනවා කිව්වෙ අදනේ.. බන්ටි ඔතෙන්ට යනවා කියන්නෙ, ගොඩ, මඩ දෙකම සරුසාරය, ඵලබරය කියල ලස්සනට අනාගන්නයි..

"ඇයි හොස්පිට්ල් එකට යන්නේ..?"

"මගේ යාලුවෙක්ගේ, යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා.. එයාව බලන්න.."

"ඇක්සිඩන්ට් වෙලා..?"

අක්කගෙ කතාව නිට්ටාවටම හරි තමයි.. ඇටකිච්චට වෙච්ච දේ ඇක්සිඩන්ට් එකක් තමයි.. ඇයි ඉතිං ඌවත් තාම දන්නැතුව ඇතිනේ ඌට මොකද උනේ කියලා..

"ඔව් බන්ටි.. මං ඔයාට යන ගමන් විස්තරේ කියන්නම්.."

"යන ගමන් කියන්නම් කියන්නේ, මං තාම ඔයත්තෙක්ක යනවා කිව්වෙ නෑනේ.."

"අනේ බන්ටි.. ඔය තරම් ගණන් උස්සන්නෙපා.."

"ගණන් ඉස්සිල්ලක් නෙමෙයි.. ඇයි ඔයාගෙ මහ ලොකු අයියත් එක්ක යන්න පුළුවන්නේ.. එයානේ මේ පවුලෙ අසහාය වීර චරිතෙ.. මතකනේ ඊයෙ රෑ වෙල් කක්කුට්ටා වගේ මගේ කාමරේට කඩන් පැන්න හැටි.."

"අනේ බන්ටි.. එයත් එක්ක ගිහින් හරියන්නෑ.. මේ කතාව කියන්න ගියොත් මගෙන් දාහක් ප්‍රශ්න අහයි.."

"මට නම් දවල්ට පොඩි වැඩක් නම් තියෙනවා.. මොකද කර..න්..නේ.."

මං නැතුව අක්කට එළියට බහින එකත් ප්‍රශ්නයක් කියලා තේරුණත් මට කරන්න කිසිම දෙයක් තිබුණෙ නෑ.. හොස්පිට්ල් එක ඇතුළට ගියොත් නිරෝෂිට මාව අහුවෙනවා.. ඒ වගේම ඇටිකිච්චත් මාව අදුන ගන්නවා.. ඒ ඔක්කෝටම වැඩිය මගෙත් එක්ක චැලේන්ජ් කරපු කෙල්ල මං කවුද කියලා අදුන ගන්නවා.. ඔය හැමදේම ඔහොම නම් කරන්න තියෙන හොදම දේ බන්ටි හොස්පිට්ල් එකට නොයා ඉන්නෙක..

"අනේ ප්ලීස් බන්ටි.. මං ඔයාගෙ චැලියට ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහලා දෙන්නම්.. අනික අපි වැඩිවෙලා ඉන්නෙත් නෑ.. ගියා ආවනේ.."

පිස්සු හැදෙනවා.. ඒ යෝජනාව නම් කීයටවත් අහක දාන්න පුළුවන් එකක් නෙමෙයි.. බුදු සන්තෝ.. ෆුල් ටෑන්ක් කිව්වම මට ගමන් කීයක් නම් යන්න පුළුවන්ද..? ඇටකිච්චයි, උගේ ලව් එකට සපෝර්ට් කරන අක්කගෙ යාලුවටයි දෙන්නටම අහු උනත් කමක් නෑ.. මං කැත නැතුව වැඩේට බහිනවා..

"හරි.. මං එන්නම්.."

අක්කගෙ මූණ ලස්සන හිනාවකින් වැහිලා ගියා.. මගේ වචන වලින් මං නොහිතපු විදියට එයා සන්තෝස වුණා..

"හැබැයි මං එන්නෙ කොන්දේසි සහිතව.."

"ඕන කොන්දේසියක් දාන්න බන්ටි.. ඔයා ගමන එනවා නම් මට ඒ ඇති.."

"මං ඔයාව හොස්පිට්ල් එකට දාලා යනවා.. ආයෙ මං එන්නෙ හරියටම පැය බාගෙකින්.. එතකොට ඔයා හොස්පිට්ල් එකෙන් එළියට ඇවිල්ලා තියෙන්න ඕන.."

"අයියෝ සිම්පල් කොන්දේසියක්නේ.."

"නෑ.. තව තියෙනවා.. ආපහු යනකොට ඔයාගෙ කිසිම යාළුවෙක් මං ළගට එක්කගෙන එන්න බෑ.. ඒ වගේම ඔයා ආවෙ තනියෙමයි කියලා කියන්නත් ඕන හරිද..?"

"ඇ.. ඇයි බන්ටි ඒ..?"

"ඔය ඉතිං.. ආයෙත් ප්‍රශ්න අහනවා.. ඕවා තමා කොන්දේසි.. ඔය විදියට කැමති නම් මාත් වැඩේට ලෑස්තියි.."

"හරි බන්ටි.. මං මුකුත් අහන්නෑ.. අපි දවල්ට යමු.. අනේ ඔන්න වරද්දන්නෙපා හොදේ.."

අක්කා මගේ ඔලුවත් අත ගාගෙනම ගේ ඇතුළට ගියා.. එහෙනම් අද දවල්ට බන්ටිට තවත් ජංගල් කොමාන්ඩෝ වැඩ සටහනක් දෙන්න වෙනවා.. කොහොමටත් අවදානම් සහගත වැඩවලට බන්ටි හරි කැමතියිනේ.. බලමුකෝ හොස්පිට්ල් එකට ගිහිල්ලා මොකද වෙන්නෙ කියලා.. අක්කට දාපු කොන්දේසිත් එක්ක මං කීයටවත් කරටිය මුලින් නම් අහුවෙන්නෑ කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා..

                                            ****************************

ගෙදර කට්ටිය ඩිංගක් එහෙට මෙහෙට වෙනකන් ඉදලා මං ෆෝන් එක ළගට ආවා.. මේ කෝල් එක ගන්න ඕන, හරි නම් මටත් හොරෙන්.. මේක ඒ තරම් සීක්‍රට් කේස් එකක් අප්පා.. නම්බර් එක ඩයල් කරලා එහා පැත්තෙන් රින්ග්ස් යද්දි, වටපිට බල බලා රිසිවරේ කනේ තියන් ඉන්නකොටත් මාර ගතියක් තියෙනවා.. ඇත්තට ඉතිං ආදරේ කරන අය ගෙවල් වලට හොරෙන් කෝල් කරන කොට, මීටත් වඩා ගතියක් ඇති.. ඕනම දේක අගේ වැඩි හොරෙන් කරනකොටලුනේ.. බන්ටිට නම් ඕවා තාම තේරෙන්නෑ..

"හෙ.. ලෝ.."

රින්ග්ස් පණ යනකල් ගිහිල්ලා මටත් වැඩේ එපා වෙලා ෆෝන් එක තියන්න හදනකොටයි එහා පැත්තෙන් උත්තර දුන්නේ.. 

"මොරීන් අක්කේ.. මං බන්ටි මල්ලි.."

"ආ.. නේ.. ඔයාට කරදරයක් නෑ නේද බන්ටි මල්ලි..?"

"නෑ.. නෑ.. කිසි අවුලක් නෑ.. ඔයාට කොහොමද..?"

"හරි ප්‍රශ්නෙනේ බන්ටි මට උනේ.. හයියෙන් හයියෙන් පහළට බහිද්දි මගේ ආදරේ ඉනිමගට දරාගන්න බැරිවුණා.."

"ඉතිං..?"

"මාව වැටුණනේ මල්ලි.."

බන්ටි හිතන ඒවා කවදාවත් වරදින්නෙ නෑ කියන්නෙ ඔන්න ඕවට තමා.. හැබැයි ඉතිං ඇහුණ සද්දෙ හැටියට නම් මොරීන් අක්කා බැල්කනියෙ ඉදල බිමට වැටුණ වගේ හැගීමක් තමයි ඒ වෙලාවෙ බන්ටිට ආවේ..

"අම්මපා.."

"ඔව් බන්ටි.. තුනටියත් එක්ක ඇවිලිලා.. මට තව දවස් කීපයක් යනකන් ගෙදරින් එළියට බහින්න බැරිවෙයි.."

ඒක නම් ලොකු දෙයක් දෙයියනේ.. ඔයා සදා කාලයටම ගේ ඇතුළට වෙලා ඉන්නවා නම් අපි කාටත් සනීපයි මොරීන් අක්කේ..

"ආ.. ඇත්තද.. ඔයා එහෙනම් පත්තුවක්වත් බැදගන්න.. තැන්නං බෙරකොටේ වගේ තුනටිය ඉදිමෙයි.."

"තෑන්ක්ස් බන්ටි මල්ලි.. මම කොහොමත් තව ටිකකින් ගුරුදෙනිය වෙද මහත්තයා හම්බවෙන්න යනවා.. ඔයා මට ඊයෙ කරපු උදව්ව ජීවිතේට අමතක වෙන්නෑ.. මං ඒක සදාකාලයෙන් සදාකාලයට මතක තියාගෙන ඉන්නවා.. ඔයාගෙ රසික අයියා මට නොලැබුණත් මං ඔයාව අමතක කරන්නෑ.. ඔයා මගේ හදවතේ සදහටම ජීවත් වෙයි.."

මොකක්ද බං ඒ අසමජ්ජාතී කතාව.. මොරීන් අක්කා මොනවද මේ කියවන්නේ..? ඊයෙ ඉනිමගෙන් වැටිච්ච පාර මට පේන්නෙ මෙයාගෙ තුනටිය නෙමෙයි ඔලුවයි බිම වැදිලා තියෙන්නෙ..

"හරි.. හරි.. ඕන දෙයක්.. මං ෆෝන් එක තියනවා.."

අක්කා රබර් ඇහැ දාගෙන මේ පැත්තට එනව වගේ දැකපු හින්දා මං කෝල් එක කට් කරලා දැම්මා..

"කවුද බන්ටි..?"

"දන්නෑ අක්කේ.."

"දන්නැත්නම් ඔයා කතා කෙරුවෙ හොදට අදුනන කෙනෙක් එක්ක වගේ.."

"මංදා අක්කේ.. එහා පැත්තෙන් කතා කරපු එකා කතා කෙරුවෙ හොදට මාව දන්නවා වගේ.. මාත් ඉතිං ඒකට දන්නව වගේ කතා කෙරුවා.. හරි එහෙනම් ඔයා ලෑස්තිද..? මම නම් දැනටමත් රෙඩි වෙලා ඉන්නේ.."

අප්සට් කතාවක් කියන ගමන් මං කතාවෙ පීල්ල මාරු කෙරුවා.. මගේ ප්‍රශ්නෙන් අක්කට අහගෙන ආපු දේත් අමතක වුනා..

"අනේ ඩිංගක් ඉන්න බන්ටි.. මං විනාඩියෙන් එනවා.."

අක්කා ආයෙත් කාමරේට දුවද්දි, මං කුස්සිය පැත්තට ආවා.. බේබි නැන්දා බරටම වැඩ..

"දවල්ට ෆයිඩ් රයිස් පාරක්වත් දාමුද බේබි නැන්දේ..?"

"අද මොකෝ හිටපු ගමන් මහත්තයට ෆයිඩ් රයිස් කන්න හිතුණේ..?"

"වැදගත් ගමණක් ගිහින් එන්න යනවා.. ඇවිල්ලා බේබි නැන්දට විස්තරේ කියන්නම්.."

"එහෙනම් සුභ ගමන් බන්ටි මහත්තයෝ.."

බේබි නැන්දා හදන ෆයිඩ් රයිස් එක කන්නවත් බන්ටිට ලැබේවිද දන්නෑ.. ඒ තරම් අසීරු අභාග්‍ය සම්පන්න ගමනකුයි මේ යන්නේ.. අම්මපා මොනවයින් මොනවා වෙයිද මංදා.. ඒව කොහොම උනත් ඇටකිච්චව බලා ගැනීමේ තදබල උවමනාවක් මටත් තිබ්බා.. ඇත්ත වශයෙන්ම ඌට අම්බානෙකට ගැහුවට පස්සෙ, මගේ හිතට ලොකු දුකක් දැනුණා.. ලේ පෙරාගෙන බිම වැටිලා මගේ කකුල් දෙක බදාගෙන 'අනේ අයියෙ ගහන්නෙපා' කියලා කියපු හැටි හුගාක් වෙලාවට මට මැවිලා පෙනුණා..

"පාර බලාගෙන යන්න බන්ටි.. තව පොඩ්ඩෙන් අර රතු පාට බස්සෙක අපිව යට කරගෙන යනවා.."

චැලිය පිටිපස්සෙ ඉදගෙන අක්කා කෑගහනවා.. ඔන්න ඒකනේ අප්පා කරන්න බැරි.. පිටිපස්සෙ ඉන්න එකා පාඩුවෙ වාඩිවෙලා ඉන්නැතුව, රයිඩ් කරන්න උපදෙස් දෙනවා නේ.. ඊට වැඩිය මරු නගින වැඩක් බන්ටිට තවත් නෑ..

"අක්කෙ මේ.. ඔයාට මේකෙ යන්න අමාරු නම් වීල් එකක් ගන්න.. නැග්ග වෙලාවෙ ඉදලා ඔයාගෙ කච කචේනේ ඉවසන්න බැරි.."

"හරි.. හරි.. මං මුකුත් කියන්නෑ ඔයාට.. පරිස්සමින් පදින්නකෝ.. මං තව ජීවත්වෙන්න ආසයි.."

ජීවත්වෙන්න නම් අපිත් ආසයි.. ඒක් කච කචේ නැතුව.. හැබැයි ඉතිං එතන ඉදාලා හොස්පිට්ල් එක ළගට යනකල්ම අක්කා වචනයක්වත් කතා කෙරුවෙ නෑ..

"ඔන්න වෙච්ච පොරොන්දුව මතකනේ.."

අක්කට දාපු කොන්දේසි ටික මං ආයෙත් මතක් කරා.. මෙයාටත් අර නාට්ටි වල වගේ, පොතේ ගුරෙක් වෙලා, හැමදේම මතක් කරලා දෙන්න ඕන..

"හරි.. හරි.. මට ඒවා මතකයි.."

"දැන් ඔය හොස්පිට්ල් එකේ ඉන්නෙ කවුද..?"

"ම.. මං කිව්වෙ මගේ යාලුවෙක්ගෙ යාලුවෙක් කියලා.."

"ඒ කිව්ව විදිය නම් මට දිරවන්නෙ නෑ අක්කේ.. මේ.. වහෙන් ඔරෝ නැතුව මට ඇත්ත කියනවා.. මං කාටවත් කියන්නෑ.. අම්මපා බේබි නැන්දටවත් කියන්නෑ.. ඔයා මේ බලන්න ආවෙ ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් නේද..? ඇක්සිඩන්ට් එකක් කියලා කිව්වට ඌට හැදිලා තියෙන්නෙ ඩෙංගු උණ නේද..?"

මං කිව්ව දේවල් අදහගන්න බැරිව වගේ අක්කා බලන් හිටියා.. ගණන් ගන්න එපා අක්කේ.. ඕවා ඔක්කොම මේ බන්ටිගෙ නිර්මාණාත්මක හැකියාවන්.. මං ළගදිම ඔය වගේ සිද්ධි වලින් කතාවක් ලියලා මෙගා ටෙලි නාට්‍යයක් කරන්නයි ඉන්නේ.. නිකං එකක් නෙමේ මෙගා එකක්..

"ඔයාට පිස්සු බන්ටි.. ඔයාගෙ ඔය හිතේ තියෙන මනස්ගාත ඔලුවෙන් අයින් කරන්න.. මට ඇති බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ.."

"හරි.. හරි.. මට ඇත්ත නොකිව්වට කමක් නෑ.. මං ඉතිං බාල්දිකාරයනේ.. ඇත්තටම මේ බලන්න ආපු සත්වයා කවුද..? ඌට මොකද වෙලා තියෙන්නේ..? ඔයාට තේරෙනවා ඇතිනේ, මං මේ කාලීන ප්‍රශ්නෙකුයි අහන්නේ..?"

"අපේ පිණිමුතුගෙ යාළුවෙක්.. ඒ ළමයට තව පිරිමි ළමයි වගයක් ගහලා.. ප්‍රශ්නෙ නම් මං දන්නෑ.."

අක්කගෙ කතාවෙන් මං උඩ ගිහින් බිම වැටුණා.. ඇත්තමයි.. තව නූලෙන් චැලියත් එක්ක මං බිමට පත බරියන් වෙනවා.. පිණිමුතු කියලා කිව්වෙ අපේ අයියා ට්‍රයි කරන ගෑනු ළමයනේ.. අර දවසක් ටයිටැනික් පෙම්වතිය මොරීන් අක්කගෙ අතටත් අහුවෙලා තිබුණෙ..

"මොකද බන්ටි ඔයා පුදුම වෙලා..?"

පුදුම වෙන්නැතුව තියෙයිද අප්පේ.. මේ අහන දේවල් වල හැටියට.. එතකොට පිණිමුතුත් ඇටකිච්චගෙ යාලුවෙක්.. බලන් ගියාම යකෝ, මේක ඌටම ගියපු රටනේ.. අරහෙ එක පැත්තකින් නිරෝෂි.. අනිත් පැත්තෙන් අර තවත් කවුද අලුත් කෙල්ලෙක්.. වැඩිය ඕන්නෑ.. උගේ ආදරේට සපෝර්ට් කරන්නෙත් කෙල්ලෙක්නේ.. මගෙත් එක්ක ඇට්ටි හැලෙන්න වලියක් දාගෙන, චැලේන්ජ් කරගෙන, ඇටකිච්චට සපෝර්ට් කරන ලස්සන කෙල්ලව මට මැවිලා පෙනුණා.. ඇටකිච්චා හින්දා ඒකි කැත නැතුව අපේ බේබි නැන්දටත් කචල් එක අදින්න හැදුවනේ.. බලන් ගියාම මං දැනුවත්ව මුගේ ළගින් කෙල්ලො හතර දෙනෙක් ඉන්නවා.. මං ගණන් හදලා බැලුවා.. නිරෝෂියි, ඌ අලුතින් යාලු උන කෙල්ලයි.. මගෙත් එක්ක වලි දාගත්තු කෙල්ලයි.. පිණිමුතුයි.. බුදු හප්පේ.. බලන් ගියාම මූ මහ දැවැන්ත පෙම් රාජයෙක්නේ.. මේකා මොකක්ද දන්නෑ ගාන සෙන්ට් එක..

"ආ.. බන්ටි.. ඔයාට මොකද උනේ..?"

"කිසිම දෙයක් උනේ නෑ අක්කේ.. මට හතර දෙනාම සූරයෝ ෆිල්ම් එක මතක් උනා.."

"මට නම් ඔයා කියන කිසිම දෙයක් තේරෙන්නෑ.. ඔයා හොස්පිට්ල් එක ඇතුළට එන්නැද්ද..?"

"බෑ අක්කේ.. මට ඔය ඉස්පිරිතාලෙ ගද උහුලගන්න හරි අමාරුයි.. අනික අද බේබි නැන්දා ෆයිඩ් රයිසුත් හදනවා.. ඒක හින්දා ඔයා හැරෙන තැපෑලෙන් එන්න.. හැබැයි අක්කෙ පරක්කු උනොත් නම් සොරිම තමයි.. බන්ටි මිසින්.. තේරුණානේ.. ඔන්න බලන්න යන්නෙ ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්වත් නම් කමක් නෑ.. ටිකක් ඉවසන්න තිබුණා.. මේ කොහෙද යන අපතයෙක්නේ.."

"ලෙඩ්ඩු බලන වෙලාවත් පහුවෙලා.. තවත් ඔයත්තෙක්ක කතා කර කර හිටියොත් එයාව බලන්නෙම නැතුව ආපහු යන්න වෙයි.. අපරාදෙ එහෙම උනොත් ඔයාට පෙට්‍රල් ගහන්න දීපු සල්ලි.."

අක්කා හොස්පිට්ල් එක ඇතුළට දුවගෙන ගියා.. එයා පේන්නැති වෙනකල් බලන් ඉදලා චැලිය පැත්තකින් නවත්තලා මාත් හොස්පිට්ල් එකට ඇතුල් උනා.. කරන කෙහෙල්මලක් මේ වෙලාවෙ ඉතා ආරක්ෂා සහිතව කරන්න ඕන කියලා මං දැනන් හිටියා.. මොකද මගෙත් එක්ක වලිය දාගත්තු, මට චැලේන්ජ් කරපු කටකාර කෙල්ලත්, ඇටකිච්චා බලන්න හොස්පිට්ල් එකට එනවා කිව්වනේ.. වැඩේ කියන්නෙ මායි, අක්කයි, ඒ කේලලයි තුන්දෙනාම මූණට මූණ ගැහුනොත් තමයි.. කොහොමටත් ඇටකිච්චව බලා ගැනීමේ දුරුණු දොළ දුකක් මටත් ඇවිල්ලා තිබුණා.. කොල්ලො ටික නම් කිව්වෙ විහිලුවටවත් හොස්පිට්ල් එක පැත්ත පළාතක යන්නෙපා කියලා.. ඇටකිච්චා කෙලින්ම මාව රෝහල් පොලීසියට අල්ලලා දේවි කියලා..

අක්කා පේන තෙක් මානෙක නෑ.. මං කොහොමද ඇටකිච්චා ඉන්න වෝඩ් එක හොයාගන්නේ.. අපරාදෙ මට ඒක අක්කගෙන් අහගන්න තිබුණා.. එහෙනම නැත්නම් ඕන දෙයක් වෙන්න කියලා අක්කත් එක්ක ගියා නම් මේ මුකුත් ප්‍රශ්නයක් නෑනේ..

"තමුසෙ මොකද මෙතන කරන්නේ..?"

ඒ වචන සෙට් එක ආවෙ කොහෙන්ද කියලා මට ඩිංගකට හිතාගන්න බැරිවුණා.. ඒත් වචනවල තිබ්බ තරමෙ සැරක් කටහඩේ නම් තිබ්බෙ නෑ.. මගෙත් එක්ක නිතරම වලි දාගන්න ඇටකිච්චගෙ ආදරේට සපෝර්ට් කරන කෙල්ල මං ඉස්සරහ දිලිසි දිලිසි හිටියා.. කෙටර් එක එහෙනම් අපිටත් කලින් ඇටකිච්චව බලන්න ගිහින් වගේ.. හොද වෙලාවට තාම අක්කා මේකිට හම්බවෙලා නෑ..

"ඇයි මෙතන ඉන්නත් තමුසෙගෙන් අවසර ගන්න ඕනද..? බලන් ගියාම මුළු නුවරම තමුසෙගෙ වගේනේ කතාව.."

මාත් හැරෙන තැපෑලෙන් කටහඩ අවදි කරා.. ප්‍රහාරයට හොදම දේ ප්‍රහාරයයි කියලා අපේ පයිතගරස් දවසක් කිව්වෙ නිකං නෙමේනේ..

"ටවුන් එකට මගේ ඇති අයිතිවාසිකමක් නෑ.. මං ඒක නිකං ඇහුවේ.. දවසක් දෙකක් හරි රංඩුවට හරි තමුසෙත් මාත් එක්ක කතා කරලා තියෙන හින්දා.."

දෙයියෝ සාලේ.. මං නුවර ඉස්පිරිතාලෙ.. මෙන්න බලාපල්ලකො ගෑනු ළමයි වෙනස් වෙන ඉක්මන.. ඒක ඇහුවෙ නිකංලු.. මං කෙල්ල දිහා හොදට බැලුවා.. මෙච්චර වෙලා මගේ දිහා බලන් ඉදලා මාව කන්නෙ මිරිසට උයලද, කිරට උයලද, තෙලෙන් බැදලද කියලා හිතාගන්න බැරිව වගේ කෙල්ල බිම බලාගත්තා.. කෙල්ලගෙ මූඩ් එකත් අද සවුත්තුයි.. ඇටකිච්චට ආයෙත් කවුරු හරි ගහලද මංදා.. හැබැයි ඉතිං ඒකටත් මමයි අහුවෙන්නේ..

"උත්තරයක් ලැබෙන්න නම් ප්‍රශ්නයක් අහන විදියකුත් තියෙනවනේ.. කැත විදියට තමුසෙ, තමුසෙ කියලා කතා කරහම ලැබෙන උත්තරෙත් ඒ විදියම තමයි.."

කෙල්ලගෙ සෑහෙන වෙනසක් මං දැක්කා.. ඒකයි මං බක පණ්ඩිත උත්තරයක් දුන්නේ.. කතාව ඇත්තනේ අප්පා.. මේ තරම් සියුමැලි ලස්සන කෙල්ලෙක් තමුසෙ, තමුසෙ කියලා කතා කරද්දි මල පනිනවනේ..

"හරි.. වැරැද්ද මං බාර ගන්නවා.. ඒ වගේම මට දෙයක් කියන්නත් තියෙනවා.."

කෙල්ලගෙ සැබෑ වෙනසට හේතු වූ කරුණු කාරණා දැන් ඉදිරිපත් වෙන්නයි යන්නේ.. බන්ටිට හිතුණෙ එහෙමයි.. ඒත් කෙල්ලට තිබ්බ ප්‍රශ්නෙ මට ආමන්ත්‍රණය කරන්නෙ කොහොමද කියලා.. කලින් තමුසෙ කියලා දැන් එකපාරටම ඔයා කියලා කියන්න බෑනේ.. මොනව උනත් මං හිටියෙ වටපිට බල බලා.. අක්කා ඈතින් එනකොට මට අවුලක් නැතුව මාරු වෙතෑකිනේ..

"කියන දෙයක් ඉක්මනට කියන්න.. මං මේ ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන ගමන්.."

මගේ මූණ දිහා බලලා කෙල්ල ආයෙමත් බිම බලා ගත්තා.. මොන අවමංගල්‍යාධාර සමිතියක්ද මේ..? මෙයාගෙ මේ වෙනස්වීම නම් හිතාගන්න පුළුවන් දෙයක් නෙමෙයි.. මට මොකක් හරි ගැටයක් ගහන්නද දන්නෑ හදන්නේ.. සැබෑ වෙනසට හේතු වුණු කරුණු කාරණා කෙසේ වෙතත් කෙල්ල මොනවා හරි කියන්න තටමනවා කියලා මට තේරුණා.. ඒත් ඉතිං.. මගේ ඉස්සරහ මේ තරම් ඇඹරෙන්න තරමෙ දෙයක් මෙයාට තියෙනවද..?

"ඔයාට පුළුවන්ද නලීන්ට තව පාරක් ගහන්න..?"

මට දැනුණෙ දෙකේ දෙකේ පොලු කෑල්ලකින් ඔලුව මැදට පතබෑවා වගේ සනීපදායක හැගීමක්.. මොකක්ද බං ඒ කුඩුකේඩු කතාව.. කෙල්ල මේ කතා කරන්නෙ හොද සිහියෙන් නම් වෙන්න බෑ.. ඒ තරමට අවුල් සහගතයි මේ ප්‍රකාශ කරපු වචන ටික..

"මොකක්ද කිව්වේ..?"

කෙල්ල කියපු දේ හිතාගන්න බැරිවුණ හින්දම මං ඇහුවා.. සමහර විට අපි උනත් ඔය කියන්නේ 'හා පුළුවන් නම් තව පාරක් ගහලා බලන්නකෝ' කියලා.. ඒ ඉතිං චැලේජ්න් එකටනේ.. ඒත් මෙයාගෙ කටහඩේ එහෙම ගතියක් තිබුණෙ නෑ.. නිකං මලගිය ප්‍රාණ කාරයෙක්ගෙ ගති ලක්ෂන තමයි තිබුණෙ..

"ඇයි මං කියපු දේ ඇහුණෙ නැද්ද..?"

"ඇහුණෙ නැති හින්දනේ ආයෙත් ඇහුවේ.."

"මං කිව්වෙ නලින්දට ගහන්න කියලා.."

"කවුද නලින්ද කියන්නේ..?"

"කවුද නලින්ද කියන්නෙ දන්නැද්ද..?"

"නැති හන්දනේ අහන්නේ..?"

"එතකොට ඔයාලා පහුගිය දවසක ගැහුවෙ කාටද..?"

ඔන්න දැන් තමයි කෙල්ලෙ කටට කටට ඔයාලා කියන වචනෙ ආවේ.. මෙච්චර වෙලා කතා කරපුවයෙ කතෘ කෙනෙක් පැත්ත පලාතක හිටියෙ නෑ.. බලන් ගියාම දුකත් හිතෙනවා අප්පා.. මෙන්න හිටපු ගමන් කතෘ ඇවිත්..

"අ.. අපි ඒ ගැහුවෙ පෙරේතයෙකුට.."

"අන්න ඒ ගෑනු පෙරේතයා තමා නලින්ද.."

"මිනිහා ගෑනු පෙරේතයා කියලා කොහොමද දන්නේ..?"

"ඒවා වැඩක් නෑ.. ඔයානේ නලින්දට ඒ නම දැම්මේ.."

"ඇයි ඉතිං මං නලින්දට ගහන්නේ.. ඔයාට පුළුවන්නෙ ඒ වැඩේ කරන්න.."

"කාට කියලද..?"

"ඔයාගෙ ගැන්සිය ඉන්නවනේ.. මට අර ඩෙවෝන් එකේදි පාට් එක එක දාපු බලවත් කොල්ලො සෙට් එක.. මට වැඩිය හොදට උං වැඩේ කරයි.."

"උං එක්ක මගේ කතාවක් නෑ.. වැඩේට හොදම කෙනා ඔයා.. පුළුවන් නම් ඒ වැඩේ කරන්න.."

"මං දැන් එක පාරක් වැඩේ කරා.. හැබැයි මට ලැබුනු දෙයක් නෑ.. දැන් දෙවනි පාර.. නලින්දට ගැහුවා කියලා මට ලැබෙන දේකුත් නෑ.."

"නෑ.. මේ පාර ඔයාට ඒ දේ ලැබෙනවා.."

"මොන දේද..?"

"නලින්දගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්.."

කෙල්ල කියපු හතර බීරි කතාව මට තේරුණේ නැති උනත් ඈතින් එන අක්කව මං දැක්කා.. තවත් මෙතන රැදී හිටියොත් වෙන්නෙ මගේ මරු සිටින දිශාව මටවත් හොයාගන්න බැරිවෙන එක..

"මට ඕවා තේරෙන්නෑ.. මෙලහකට ඩොක්ටර් ගිහිල්ලත් ඇති.. මං යනවා.."

ලගම තිබ්බ රෝහල් ගොඩනැගිල්ලෙ පිට බිත්තිය අයිනෙන් මං ඉස්සරහට දුවලා ගියා.. පිටිපස්ස හැරෙන්නෙ නැතුව යාංතමට ඇස කොනෙන් බලද්දි කෙල්ල ගේට් එක දිහාට ඇවිදගෙන යන හැටි මං දැක්කා.. අක්කට මේ කෙල්ලව මුණ නොගැහෙන්න නම් අක්ක ඩිංගක් විතර පරක්කු කරා නම් හරි කියන දේ මගෙ හිතට ආවා..

"මොනවද අක්කෙ මෙච්චර වෙලා කෙරුවේ.. මං කොයි තරම් වෙලා බලන් හිටියද..?"

"අනේ සොරි බන්ටි.. මට ලෙඩාව හොයාගන්න බැරිව ගියානේ.."

"මොනවා.. ඇයි ඔයා මිනිහා ඇඩ්මිට් කරපු වාට්ටුව දන්නෙ නැද්ද..?"

"දන්නවා.. අනේ ඒත් ඒ වෝඩ් එකේ එයා හිටියෙ නෑ.."

"සමහර විට ටිකට් කපාගෙන ගියාද දන්නෙත් නෑ.."

"ඔව්.. ඒකත් කියන්න බෑ.. අනේ බලන්නකො බන්ටි.. මගේ යාලුවත් අද එනවා කිව්වා.. එයා ඇවිල්ලත් නෑ වගේ.. මං දැන් කාගෙන්ද මේ ගැන අහන්නේ..?"

අක්කගෙ යාලුවා ඇවිල්ලා මගෙත් එක්ක කතා කරල මට කොන්තරාත්තුවක් දීලා ගියා කියලා දන්නවා නම් අක්කා උඩ යයි.. අක්කා විතරක් නෙමෙයි මමත් දැන් උඩ ගිහිල්ලයි ඉන්නේ.. කෙල්ලට මාව පෙනුණෙ හරියට නයාට අදුකොළ වගේ.. එහෙව් එකේ මෙහෙම වෙනස් වීමක් මට අදහා ගන්නත් බෑ.. කල්පනා කරන්න ගියාම ඔලුවත්තෙක්ක හිරි වැටෙනවා..

"ආ.. බන්ටි.. අපි දැන් මොකද කරන්නේ..?"

"කරන්න දෙයක් නෑ අක්කේ.. ගෙදර යනවා මිසක.. ආන් අතන බයිසිකලේ තියෙනවා.. නැගල යන එක විතරයි තියෙන්නේ.."

"අනේ බන්ටි.. එතකොට අපි ආපු ගමනෙනුත් වැඩක් නෑනේ.. මෙච්චර මහන්සිවෙලා ඔයත් අද්දගෙන ඇවිත් මට නිකං යන්න කියලද ඔයා කියන්නේ..?"

"එහෙනම් ඉතිං වෙන දවසක එන්නයි තියෙන්නේ.."

"ඒක හරියන වැඩක් නෙමේ බන්ටි.. මං කියන්නද වැඩේ.. මගේ තව යාලුවෙක් ළග ඉන්නවා.. අපි එහේ ගිහින් එමුද..?"

"පිස්සුද අක්කේ.. දැනටමත් මගේ ටයිම් පාස්.. මං මේ ගෙදර යන්නෙ කොයි වෙලාවෙද කියලයි බලන් ඉන්නේ.. බේබි නැන්දා හදපු ෆයිඩ් රයිස් එක කන්න.."

"අනේ බන්ටි.. ඔයාට ෆයිඩ් රයිස් ඕන තරම් මං කඩෙන් අරන් දෙන්නම්.. අපි ගිහින් එමුද..? වැඩි දුරක් නෑ.. වැඩිම උනොත් විනාඩි පහළොවක් යයි.."

"ඕකනේ අක්කා ඔයාලත් එක්ක කරන්න බැරි.. ගමන පටන් ගන්නෙ හොස්පිට්ල් එකෙන්.. ඒත් ඉවර වෙන්නෙ බන්ධනාගාරෙන්.."

"ප්ලීස් බන්ටි.."

"හා.. හරි.. හරි.. වද නොදී නගිනවා ඉතිං.. දැන් කොහේටද යන්න ඕන..?"

අර කෙල්ල ළග පාතක ඉන්නවද කියලා හොද හැටි බලන ගමන් මං චැලිය ස්ටාර්ට් කරගත්තා.. මේ දක්වා මගේ වෙලාව හොදයි.. අක්කත් එක්ක මං ඉන්නවා ඒ කෙල්ලට අහු උනේ නෑනේ..

"සුදුහුම්පල පාරට දාන්න.."

හුටා.. මේ අර දවසක් මොරසූරණ වැස්සක් වෙලාවෙ මායි, අක්කයි ගියපු පාර නේද..? මේ ඉන්නෙ අක්කගෙ යාලුවා කවුද.. අපේ අයියගෙ ට්‍රයි එක පිණිමුතුවක්ද..? 

"මේ පාරෙ කවුද අක්කෙ ඉන්නේ..?"

"ඔයාට මතක නැද්ද බන්ටි.. එක දවසක් මායි, ඔයයි වීල් එකක ආවේ.. බ්ලව්ස් එකක් දීලා යන්න.. එන්න ඒ යාලුවලහ.."

"ඒ කියන්නෙ පිණිමුතුලහ..?"

"අන්න හරි.. ඔයාට හොදට මතකයි.."

මතක හිටින්නෙ නැතුව තියේවියෑ.. පිණිමුතු කියන නම අද දවසෙම කීපාරක් නම් කියවුණාද..? අනික ඇටකිච්චගෙත් යාලුවෙක්නේ.. අපරාදෙ මට අර කෙල්ලගෙන් අහන්න තිබුණා පිණිමුතුව අදුනනවද කියලා.. එහෙම නම් මේ කතන්දරේ විස්තර ගොඩක් අක්කට වැඩිය මට දැනගන්න තිබුණා..

"ඔන්න ඔතන ඉස්සරහ.."

ඇත්තටම මටත් ඕනවෙලා තිබුණෙ කවුද මේ පිණිමුතු කියලා බලාගන්න.. ඇයි ඉතිං අයියාකාරයා එදා කියනවා මට ඇහුණෙ 'එයාගෙ පුදුම ලස්සනක්නෙ තියෙන්නෙ නංගි' කියලා.. එතකොට අක්කා කිව්වෙ අපේ යාලුවො එහෙම තමයි කියලා.. බලමුකෝ.. අනාගත නෑනා පොඩ්ඩ කොහොමද කියලා..

"ආන්ටි.. කෝ පිණිමුතු..?"

කලින් දවසෙ අපි දැකපු මහත ඇන්ටි ගේට් එක ළග හිටියා.. අක්කා කතාව පටන් ගත්තෙ චැලියෙන් බහින්නත් කලින්.. එකෙන්ම මං දැන ගත්තා එයා අවුල් වෙලා ඉන්න තරම..

"අනේ සමුදි දුව.. ඔයා එන්නෙම අපේ දරුවා නැති වෙලාවෙමනේ.."

"ඇයි ආන්ටි.. පිණිමුතු කොහේ ගිහින්ද..?"

"එයාගෙ යාළුවෙක් හොස්පිට්ල් ඇඩ්මිට් කරලා.. එයාව බලන්නයි ගියේ.."

"අනේ ආන්ටි.. මමත් මේ හොස්පිට්ල් ඉදලා එන ගමන්.. මට පිණිමුතුව හම්ව වුණේ නෑනේ.."

"හැබැයි සමුදි දුව.. අපේ දරුවා ටිකක් කලින් ගියේ.. සමහර වෙලාවට ඔයා යනකොට එයා හොස්පිට්ල් එකෙන් පිටවෙන්න ඇති.."

අපේ අක්කගෙ වෙලාව නම් අන්තිම නරකයි.. කොටින්ම කියනවා නම් මගෙත් නරකයි.. දැන් ඉතිං අනාගත නෑනා පොඩ්ඩ කොහෙන්ද බලාගන්නේ..

"එහෙනම් අපි යමු බන්ටි.. ඔයාටත් පරක්කු වෙනවනේ.."

බොරුවටත් එක්ක කලින් හදිස්සි කරාට පස්සෙ තව ටිකක් ඉදලා පිණිමුතුව බලලම යමු කියන්නයෑ.. අක්කගෙ මූණෙ නම් තිබුණෙ මහා සවුත්තු පෙනුමක්.. ඇයි අප්පා කරන්න ගියපු හැම වැඩේම බංකොලොත් උනාට පස්සෙ පියවි සිහියෙන් ඉන්නෙ කොහොමද දෙයියනේ..

එතන ඉදලා ගෙදරට එනකල්ම අක්කා වැඩිය කතාවක් බහක් කරේ නෑ.. මටත් එලෝ කෝටියකටත් වැඩිය දේවල් කල්පනා කරන්න තිබුණා.. කොටින්ම අර රංඩු කෙල්ල මගෙත් එක්ක ෂේප් එකට කතා කෙරුවෙ ඇයිද කියලා මට තාමත් හිතාගන්න බැරිවෙලයි තිබුණෙ.. කොටින්ම ඒකි මට කිව්වනේ ඇටකිච්චට ගහන්න කියලත්.. එහෙම ගැහුවාම ඇටකිච්චගෙ කෙල්ල මට හම්බවෙනවලුනේ.. ඒ කියන්නෙ නිරෝෂිව.. එතකොට අපේ බින්දුට මොකද වෙන්නේ.. ඌ මේ ටෙලි නාට්‍ය දර්ශනයෙන් කැපෙනවද..? පිස්සුද..? ඌ කැපිලා කොහොමද..? එතකොට නිරෝෂිට මොකද වෙන්නේ..?

ඇටකිච්චගෙ අලුත් කතන්දරේ හින්දා නිරෝෂිට බූට් එක තියලා නම් බන්ටි ෂුවර් ඇන්ඩ් ෂොට්.. ඒකෙ ආයෙ කතා දෙකක් නෑ.. නිරෝෂිත් හෙමින් සීරුවෙ මුකුත් දන්නෑ වගේ ආයෙත් බින්දුටම හේත්තු වෙයි.. එතකොට අර රංඩු කෙක්ක කියපු හතර බීරි කතාව මොකක්ද..? 

"බ.. බන්ටි මහත්තයෝ..?"

"ආ.. බේබි නැන්දේ..?"

"කොයි ලෝකෙද දෙයි හාමුදුරුවනේ, මහත්තයා ඉන්නේ.. මං කී පාරක් නම් කතා කරාද..?"

මට වටපිට බැලුවා.. හුටා.. මෙන්න බොලේ මං කල්පනාව පිටින්ම ගෙදරටත් ඇවිත්.. කෝ බොලේ අපේ අක්කා.. මං එයාව මග දාලවත් ආවද..? එහෙම නැත්නම් මග වැටිලද..?

"අපේ අක්කා කෝ බේබි නැන්දේ..?"

"සමුදි නෝනා ගෙට ගිහින් දැන් හුගක් වෙලානේ.."

අම්මපා.. ඒකත් එහෙමද..? මං එහෙනම් අති දැවැන්ත කල්පනා සාගරයක හිරවෙලයි ඉදලා තියෙන්නේ..

"කෝ බේබි නැන්දේ ෆයිඩ් රයිස්..?"

"තව චුට්ටකින් දෙනවා බන්ටි මහත්තයෝ.."

"ඔන්න අලි පත චිකන් කෑලි බත් එකේ තියෙන්න ඕන හරිද..? සෝස් ටිකක් හෙම වැඩිපුර දාන්නෝන අනිත් අයට කන්න බැරි වෙන්න.."

"හරි.. හරි.. මං දන්නවනේ බේබි මහත්තයා ආස විදිය.."

ඉස්පිරිතාලෙ ගියා කියලා වැරැද්දක් උනේ නෑනෙ.. අර කෙල්ලගෙ හැසිරීම තමයි තේරුම් ගන්න බැරි.. අපරාදෙ මට තිබුණෙ අක්කත් එක්කම ආයෙ පාරක් ඇටකිච්චව හොයන්න යන්න.. එහෙම කරා නම් සමහර විට අර කෙල්ලගෙ වෙනස්වීමට හේතුවක් හොයාගන්න තිබුණා.. 



                                                               

No comments:

Post a Comment