Monday, April 9, 2012

| ඒ ම‍ගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක |






ඒත් ඉතිං එහෙන් මෙහෙන් සද්දෙ දාගෙන, හොරෙක් හොරකම් කරන්න ඒවිද..? පිස්සුද මංදා.. පන්සලේ ඝාංඨාරෙ ගහනවා වගේ සද්දෙ දාගෙන කරන්න හදන මේ වැඩේ මොකක් උනත් ඒක කරන්නෙ උපන් ගෙයි ආධුනිකයෙක් වෙන්න ඕන.. මොනව උනත් බැට් එකත් අතේ තියාගෙන බැල්කනිය මුල්ලට වෙලා මට බලන් ඉන්න උනේ බොහොම ඩිංග වෙලාවයි..


කලුපාට අදුරු පොදියක් ඉනිමග මුලට ඇවිත් උඩට නගින්න හදනවා මං දැක්කා.. බුදු කිරි අප්පොච්චියේ.. මේ මොකාද යකෝ මේ..? මගේ පරණ තරහා කාරයෙක්වත්ද..? ඒත් ඉතිං මං මෑතකදි මතක හිටින වලියක් දාගත්තෙ නෑනේ.. ඇලුමිනියම් ඉනිමග ජර බර ගාද්දි මෙලෝ සිහියක් නැතුව උඩට නැගගෙන එන අපූරු සත්වයා අදුනගන්න මං උපරිමයෙන්ම උත්සාහ කලා..

එන එකාට බැල්කනිය ළගටම එන්න දීලා මිනිහා එක්කම ඉනිගම පල්ලෙහාට තල්ලු දාලා දාලා බන්ටිට මාර ගතියක් ගන්න තිබ්බා.. ඒත් මේ මහ ගිරි දඹ තරණය කරන්න හදන එකා මොකාද අප්පේ.. අනිත මේ තරම් උනන්දුවකින්..

"ර..සි..ක.."

ආපු එකා බැල්කනිය ළගටම ඇවිත් අයියගෙ නම කියල කතා කරනව ඇහෙද්දි මං උඩ ගිහින් බිම වැටුණා.. තව පොඩ්ඩෙන් මගේ අතේ තිබ්බ බැට් එකත් බිමට වැටෙනවා.. යකෝ මේ මොරීන් අක්කගෙ කටහඩනේ.. මේ ගෑනිට පිස්සුද හැටිද මං දන්නෑ.. මොන කෙංගෙඩියක් කරන්න ආවද මංදා මේ පට්ට රාත්‍රී යාමයේ..

"මොරීන් අක්කේ..?"

බැට් එක අතේ තියාගෙනම මං බැල්කනි එකෙන් පහළට එබුණා..

"බ.. බන්ටි ඔයා මොකද මෙතන කරන්නේ..?"

අම්මප.. පිස්සු මටද නැත්තං මේ ගෑනිටද..? ඇයි හත්තිලව්වෙ මගේ කාමරේ, මගේ බැල්කනියෙ ඉන්න මගෙන් අහනවා, මෙතන මොකද කරන්නෙ කියලා.. හරි නම් මමනේ ඒ ප්‍රශ්නෙ අහන්න ඕන.. 

"මම කරන දේ පේන්නෙ නැද්ද මොරීන් අක්කේ.. මං මේ හිටියෙ මේ බැට් කෑල්ලෙන් ඉනිමග දිගේ එන එකාව සාදරයෙන් පිළිගන්න.."

"දෙයියනේ.."

දෙයියන්ට කියාගෙනම මොරින් අක්කා බඩගාගෙන, කොමාන්ඩෝ කෝස් එකක් කරගෙනම, බැල්කනි එකට පැන්නා.. කරුමෙට හරි මොකෙක් හරි අපතයෙක් බලන් ඉන්නවා නම්, මේ සිද්ධියත් එක්ක කොටස් සීයක විතර මෙගා ටෙලි නාට්‍යයක් හදන්න පුළුවන් කියලා හිතයි.. එක්ටැම් ගේක හිර කරලා ඉන්න පෙම්වතා බලන්න, පෙම්වතිය ඇලුමිනියම් ඉනිමග දිගේ එන වීර ක්‍රියාන්විතය, ත්‍රාසජනක ගමන ගැන ඒ බලන් ඉන්න එකාට මැවිලා පෙනෙයි..

"ඔයාට පිස්සුද මොරින් අක්කේ.. ඔයා මොනවද මේ කරන විකාර වැඩ..?"

"අ.. අනේ තරහා වෙන්නෙපා.. බන්ටි.. මට.. මට පුංචි මිස්ටේක් එකක් වෙලා.."

"මොන පුංචිද..? මේක අලි පත මිස්ටේක් එකක්.. ඔයා අර අල්ලපු ගෙදර දයානන්ද අංකල්ලහට කියලා හිතාගෙනද මෙහෙට බඩගෑවේ..?"

මෙච්චර වෙලා ඔලුවෙ දාගෙන ඉදපු, ටීෂර්ට් කැප් කෑල්ල ගලවලා දාලා මූණත් යකා වගේ කරගෙන මොරීන් අක්කා මං දිහා බැලුවා.. මේ මොකෝ යකෝ මේ..? මං මෙයාට ඩෝං යන්න මුකුත් කිව්වයෑ..

"කැත කතා කියන්නෙපා බන්ටි.. ඔය වගේ කතාවකට මට ඔයාව මරාගෙන මැරෙන්න උනත් පුළුවන්.. අන්න ඒක මතක තියාගන්න.."

අම්මපා.. ඒ පාර මොරීන් අක්කා එල්.ටී.ටී.ඊ කාරයෙක්ගෙ ගති ලක්ෂන පහල කරගෙන.. කෝකටත් කියලා මං ටිකක් පස්සට උනා..

"මතක තියාගන්න ඕන ඔයයි මොරීන් අක්කේ.. කිසිම විලි ලැජ්ජාවක් නැතුව ඉනිමගකුත් තියලා ඉලන්දාරියෙකුගෙ කාමරේට රිංගන්න ආපු එක.."

"කවුද දැන් ඉලන්දාරියා..?"

"මම.."

"ඔයා මොන ඉලන්දාරියෙක්ද බන්ටි.. ඔයාගෙ අයියා රසිකනේ නියම ඉලන්දාරියා.."

"අම්මපා.."

"ඔව්.. අම්මපා තමයි.."

මොන කුණුහරුපයක්ද යකෝ මේ..? හොදට තියෙන මගේ ඔලුවටත් අමුතු විශබීජනේ මේ ගෑනි දාන්නේ.. 

"මොරීන් අක්කෙ මේ.. පිස්සු කියන්නෙ නැතුව... මේ වැඩේ තේරුම මොකක්ද කියලා මට කියන්න.. ගෙදර කවුරු හරි මෙතෙන්ට ආවොත් මට ඇපත් නෑ.. ඔයා දන්නවනේ අපේ ගෙදර කට්ටියගෙ හැටි.. වැරදිලාවත් අම්මා ආවොත් ඔයාටයි, මටයි දුවන්න පාරවලුත් හදන්න වෙනවා.."

"ඒක නම් ඇත්ත තමයි.. මගේ මේ ආදර ගමනෙන් ඔයත් අමාරුවෙ වැටෙනවා.."

"ආදර ගමන..?"

"ඔව්.. මං ආවෙ රසිකව බලන්න.. එයා නිදි නම් ජනේලෙන් හරි එයා දිහා බලලා ඇස් දෙක පිනව ගන්න.. ඒත් දෛවය මට පුදුරු විදියටම හරස් වුණා.. රසික වෙනුවට මට මුණ ගැහුණෙ ඔයයි බන්ටි.. ම.. මට ඒක කොහොමටවත් දරා ගන්න බෑ.. ඇයි බන්ටි මටම මෙහෙම වෙන්නේ..?"

"ඒ කියන්නෙ ඔයා මේ පට්ට රෑ ආවෙ අපේ අයියව බලන්නද..? අම්මප මොරීන් අක්කේ ඔයිට වැඩිය හොද නැද්ද උදේ පාන්දර අපේ එකා වැඩට යන හැටි අර ඉස්සරහ බෝක්කු පඩිය උඩට වෙලා බලන් හිටියා නම්.."

"එහෙම දවස් කීයක් නම් බලන් හිටියද බන්ටි.. ඒත් ඔයාගෙ අයියා මං දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ.."

සමහර විට අපේ එකා ඇහැක් වහලා බලන්න ඇති.. මෙයාගෙ ප්‍රේම විකාරෙට ඕවා පේනවද අප්පා..

"නොලැබෙන දේවල්වලට තැවිලා, පෙවිලා වැඩක් නෑ මොරීන් අක්කේ.. මතක නැද්ද ඔයා අර එදා මට කිව්වේ, අපේ අයියට කෙල්ලෙක් ඉන්නවා කියලා.. ඉතිං ඌට කෙල්ලෙක් ඉන්නවා නම් ඇයි ඔයා තවත් උගේ පස්සෙන් යන්නේ..?"

මං බොහොම සාවධානව ඇහුවා.. හිතේ කේන්තිය සෙන්ටිග්‍රේඩ් සීයට තිබුණත් කෑගහන්න බෑනේ අප්පා.. කොයි තරම් රහසිගතව පවත්වන මාධ්‍ය සාකච්ඡාවක්ද මේ..?

"මගේ නොලැබීම.. බන්ටි මල්ලි.. මගේ නොලැබීම.. මං දැන් පොතකුත් ලියාගෙන යනවා.. 'ඔබ නොලැබීමයි මගේ දෛවේ' කියලා.. ඒකෙ පිදුම මං ලියලා තියෙන්නෙ ඔයාගෙ සුදු රසික අයියට.. මං හිතනවා එයා ඒක බලල අඩයි කියලා.."

අඩයි නෙමෙයි ඒකා හිනා වෙයි.. උගේ සංවේදීකම ගැන මමනේ දන්නේ.. ඕවා මේවා මොනව උනත් මට තාමත් හිතාගන්න බැරි මේ මස් වර්වතේ කොහොම ඉනිමග දිගේ උඩට ආවද කියලා.. බලන් ගියාම ඒකත් වීර ක්‍රියාවක් තමයි..

"ඔව්.. අයියා අඩයි.. ඒක හින්දා මොරීන් අක්කෙ ගෙදර කවුරු හරි මෙතෙන්ට එන්න කලින් දෙයියනේ කියලා ආපහු ආපු විදියටම පහළට යනවද..? නැත්තං මටයි අඩන්න වෙන්නේ.. දැනටත් ඔයා මෙතන ගත කරපු කාලය හුගාක් වැඩියි.."

"මට ආපහු යන්න බෑ බන්ටි.."

"මොකක්..?"

මම උඩ ගිහින් බිම වැටුණා.. මොන අවනඩුවක්ද යකෝ මේ..? ආපහු යන්න බෑ කියන්නේ.. මේ හොල්මන මගෙත් එක්ක පවුල් කන්න ඇවිල්ලද මන්දා..

"ඔව් බන්ටි.. මට යන්න බෑ.."

"මොරීන් අක්කේ.. මේ.. මාව මල යකෙක් කරන්නැතුව දෙයියනේ කියලා මෙතනින් යනවද..? මොන කුණුහරුපයක්ද ඔයා මේ කරන්නේ..? ඔයා කැමති මාව මේ ගෙදරින් එළියට දානවා බලන්නද..? වැඩිය ඕන්නෑ.. තව විනාඩි පහකින් නැත්නම් දහයකින් මෙතෙන්ට කවුරු හරි එයි.. එතකොට ඉතිං සනීපයි.."

"අනේ එහෙම හිතන්නෙපා බන්ටි.. මට යන්න බෑ කිව්වෙ පල්ලෙහාට බහින්න බැරි හින්දා.. උඩට නැග්ගා වගේ නෙමෙයි.. මට බහිනන බයයි.."

"මොනවා.."

"ඔව් බන්ටි.. ඔයාට බැරිද මාව ගේ ඇතුළෙන් එක්කන් ගිහින්, ඉස්සරහ දොරෙන් එළියට දාන්න.. අනෙ ඔයා හොද බන්ටිනේ.. මං ආයෙ කවදාවත් මේ වගේ වැඩක් කරන්නෙ නෑ.."

"ගේ ඇතුලෙන් එක්ක යන්න..? ඔයාට මොනව හරි පෑගිලද මොරීන් අක්කේ..? ඔයා හදන්නෙ මගේ ආත්මෙත් නැති කරලා දාන්නද..?"

හප්පොච්චියේ.. මේක නම් කොටි වලිගෙ අල්ල ගත්තා වගේ තමයි.. ඇයි දෙයියනේ.. බන්ටිටම මෙහෙම වෙන්නේ..? බන්ටිගෙ වෙලාව මේ තරම් නරක ඇයි..? මං කොහොමද දෙයියනේ මේ මස් පර්වතේ ගේ ඇතුලෙන් එක්ක යන්නේ..?

"ඉතිං බන්ටි මං කොහොමද මෙතනින් බහින්නේ..? මං බයයි අනේ.. හදිසියෙවත් වැටුණොත් එහෙම මං මැරෙයි.."

එහෙමවත් වෙනවා නම් හොදයි අප්පා.. නැත්නම් මොන නස්පැත්තියක්ද මේ..? හැබැයි ඉතිං මොරීන් අක්කා මැරුණොත් භූතයෙක් වෙලා හරි මේ වගේ බාල්දි පෙරලයි..

"ඔයාට ඕක හිතන්න තිබ්බෙ බැල්කනියට නගින්න කලින්.. දැන් එනවා මෙතන අනේ පනේ ගාන්න.."

"ආදරේ කරනකොට ඔය මුකුත් මතක් වෙන්නෑ බන්ටි.. ඔයත් කවද හරි දවසක ආදරේ කරනකොට මං කියපුවා තේරෙයි.. ආදරේ වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න පුළුවන් කියලා ඔයාට හිතෙයි.."

"ඔය මල ඉලව් ආදරේ මට නම් විහිලුවකටවත් එපා.. මොන කරුමයක්ද අප්පා.. පටන් ගත්තු දවසෙ ඉදන්ම හොට්ට පෙරාගෙන අඩන්නනේ තියෙන්නේ.. ඕකට ඉතිං තව එකෙක් ඕනෙ නෑනේ.. තනියෙම බැරියෑ පෙරලි පෙරලි හරි අඩන්න.."

"බ..න්.. ටී.."

ඒ කටහඩ ආවෙ කොහෙන්ද කියලා මට හිතාගන්න බැරිවුණා.. දෙයි හාමුදුරුවනේ.. ඒ අයියගෙ කටහඩ නේද..? අඩේ මිනිහා මගේ කාමරේ දොරට නේද තඩිබාන්නේ.. වැරදිලාවත් ඔය මනුස්සයා කාමරේ ඇතුලට ආවොත් හෙම මට වෙන්නෙ බැල්කනියෙන් පහළට පනින්න තමයි.. වෙන කරන්න මුකුත් ඇත්තෙම නෑ..

"ඔන්න ඔයාගෙ සුවද දැනිලද කොහෙද අපේ එකා බෙරිහන් දෙනවා.. එහෙනම් ඉතිං මොරීන් අක්කේ.. ඔයා ඕන ජවුසමක් නටාගන්න.. අයියා තව ටිකකින් කාමරේට එයි.. මං ඉනිමග දිගේ පහලට බැහැලා ඒකත් කරේ තියාගෙන ඔයාලගෙ ගෙදර යන්නම්.."

"අ.. අනේ බන්ටි මල්ලි.. විහිලු නැතුව මොනව හරි කරන්නකෝ.. මං මේ වෙලාවෙ බැල්කනියෙ ඉන්නවා රසිකට අහුවුණොත්, එයා මං ගැන වැරදියට හිතයි.. ආයෙ මට එයාගෙ මූණවත් බලන්න වෙන්නෑ.."

මේන් බලාපල්ලකො හොද ළමයි.. අම්මප මොරීන් අක්කා ගෑනියෙන් නෙමේ නම්, මං බැට් එකෙන් ගහලයි ඔලුව පලන්නෙ.. ඒ තරමට මේ කියන ඒවට මට දැන් කේන්තියි..

"ඇයි දැන් ඔයා මේ ගිරිදුර්ග තරණය කරල, දත කට මැදගෙන ආවෙ අපේ අයියා කාරයගෙ පාංඩු මූණ බලන්නනේ.. දැන් ඉතිං ඒකා අර දොර ඇරගෙන කාමරේට ආවහම ඔයාට කරදරයක් නැතුව බලාගතෑකි.. මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතනින් බැහැලා දුවන්නම්.."

"අ.. අනේ බන්ටි ප්ලීස්.. අ.. අර බලන්නකෝ.. රසික දොරට හයියනේ ගහන හැටි.. අනේ මාව මෙතනින් පහළට බස්සවන්න.."

උඹ බස්සන්න නම් පුතේ දොඹකරයක්වත් ගේන්න ඕන.. අරහෙන් අයියා දොර කඩන්න හදනවා.. තව විනාඩියක් යන්න කලින් ගෙදර හැමෝම දොර ගාව ඉදියි.. වැඩේ කියන්නෙ අයියට තාම ගෙදර ලොකු යතුරු කැරැල්ල මතක් වෙලා නෑ.. මතක් උනා නම් ඒකෙ තියෙන මගේ කාමරේ යතුරෙන් දොර ඇරගෙන ඇතුළට එනවනේ..

"හරි.. හරි.. මං ඉනිමග අල්ල ගන්නම්.. දෙයියන්ගෙ නාමෙට මොරීන් අක්කේ මෙතනින් පහළට පතබරියම් උනත් කමක් නෑ.. ඉක්මනට බහින්න.. බැහැලා ඉනිමගත් උස්සගෙන දුවන්න.."

මොරීන් අක්කා බැල්කනිය දිගේ බඩගාද්දි මං ඉනිමග හයියෙන් අල්ල ගත්තා.. අනේ මේ ප්‍රතාපවත් සාඩම්බර දර්ශනේ විඩීයෝ කරන්නවත් තිබුණා නම්.. ආත්ම හතක් යනකන් හරි බල බල හිනාවෙන්න තිබුණා.. හිනා තමයි තව ඩිංගකින් අයියා නාලාගිරි ඇතා වගේ ඩෝප් වෙලා කාමරේට කඩන් පනියි.. මට වෙන්නෙ කැත නැතුව හොට්ට පෙරාගෙන අඩන්න..

"බ.. බන්ටි මේ දොර අරිනවා.. මොනවද කරන්නෙ කාමරේ ඇතුළට වෙලා..?"

"අ.. අනේ බන්ටි ඉනිමග හයියෙන් අල්ල ගන්න.. මගේ හෙයාර්ස්ටයිල් එකත් අවුල් උනා.."

අරහෙන් අයියා කෑගහනවා.. මෙයා මෙහෙන් පිස්සු කියවනවා.. මගේ කන් දෙකට දැන් කියන දේවලුත් ඇහෙන්නෙ නෑ වගේ..

"හෙයාස්ටයිල් එක බල්ලට ගියාවේ.. ඉක්මනට බැහැපං මොරීන් අක්කේ.. ඔන්න මං ගියා.."

තව තත්පරයක් තිබුණෙ නෑ.. මටවත් හිතාගන්න බැරි වේගයකින් මං කාමරේ ඇතුළට පැනලා බැල්කනියෙ දොරත් වහලා ඇදට නැග ගත්තා.. ඒ එක්කම කාමරේ දොර ඇරුණා.. මං හිටියෙ ඔලුවෙ ඉදන් පොරවගෙන..

"මම නම් කියන්නෙ අම්මෙ.. බන්ටි කාමරේ නෑ.."

කාමරේ ඇතුළට ආපු ගමන් අයියා කිව්වා..

"එතකොට අර ඇද උඩ කහ පාට බෙඩ්ෂිට් එක පොරවගෙන ඉන්නෙ කවුද..?"

"අම්මා හිතන්නෙ ඒ බන්ටි කියලද..? මොන පිස්සුද..? ඔතන ඇත්තෙ තනිකරම කොට්ට ගොඩක්.. කොට්ට පේලියක් මිනිහා වගේ තියලා කොහේ හරි රස්තියාදු ගමනක් ගිහින්.."

"ඉතිං ලොකූ.. බන්ටි කොහෙන්ද යන්නේ..? අරපැත්තෙ තියෙන්නෙ බැල්කනි එකනේ.."

"බැල්කනි එක තමයි.. ඔන්න අම්මෙ මේ ගෙදර හුරතල් පුතණ්ඩියගෙ වැඩ.. අනිවාර්යෙන්ම මොන ක්‍රමේකින් හරි බැල්කනියෙන් පහළට බහින්න ඇති.. අම්මයි, තාත්තයි හිතන් ඉන්නවා බාලම දරුවා කාලා බීලා යස අගේට නිදි කියලා.."

බාලම දරුවා නිදි එක පැත්තකින් තියමුකෝ.. අනේ ඇතත්ට ඔය ලොකුම දරුවට බැරිද මේ කහපාට බූල් බෙඩ් ෂිට් එක ඩිංගක් එහාට කරලා සැකේ දුරු කර ගන්න.. ෂිහ්.. නිකාං සවුත්තු වෙන්නයි වෙන්නේ..

"අපිට දැන් තියෙන්නෙ බන්ටි එනකන් මේ කාමරේ ඇතුළට වෙලා ඉන්නයි.. එයාගෙ හොර ගමන් එතකොට අතටම අල්ලගතෑකි.."

මෙච්චර වෙලා කට පියාගෙන ඉදපු අක්කත් කට ඇරියා.. මේ ගොල්ලො දැන් පිස්සුව තද වෙච්ච, අමු පිස්සො වගේ.. ඔහේ කියෙව්වට කමක් නෑ.. මගේ හිතේ තිබ්බ ප්‍රශ්නෙ මොරීන් අක්කට බැල්කනියෙන් බැහැගන්න පුළුවන් උනාද කියලයි.. ඒ බැහැලා ඉවරවෙලා ඉනිමගත් කරේ තියාගෙන ගෙදරට දුවන්න පුළුවන් උනාද කියලයි..

"ලොකූ.. ඔයා බැල්කනියෙන් පහළ බලන්න.."

අම්මා එහෙම කියන ගමන් මගේ බෙඩ්ෂිට් එකේ පැත්තකින් ඇද්දා..

"දෙ.. දෙයියනේ.. මේ ඉන්නෙ බන්ටි.."

අම්මගෙ සද්දෙට බැල්කනිය ළගටම ගියපු අයියා ආපහු හැරුණා.. ඒ හැරිලා මගේ ඇද ළගටම ආවා.. ඒ එක්කම දඩාං ගාලා මොකක්දෝ කෙහෙල්මලක් බිමට පතබරියන් වෙන සද්දෙයි, යකඩ කෑලි දෙක තුනක් එකට හැප්පෙන සද්දෙයි, පල්ලෙහායින් ඇහුණා.. ආයෙ අහන්න දෙයක් නෑ.. දැන් ඉතිං ලෙඩා මලත් බඩ සුද්දයි.. ඔය ඇහුණ සද්ද ටික නොකියා කියන්නෙ මොරීන් අක්කා පෙරේතයා පොළොවෙ ගැහුවා වගේ බිම වැටිලා කියලා මිසක වෙන මුකුත් නම් නෙමෙයි..

"මොකක්ද අම්මෙ ඒ සද්දේ..?"

මාව සදහටම අමතක කරලා, ගෙදර කට්ටිය ආයෙත් බැල්කනි එක ළගට දිව්වා.. එහෙනම් අයියා ඉස්සෙල්ලා බැල්කනියෙන් පහළ බලන්න යද්දිත් මොරීන් අක්කා ඉදලා තියෙන්නෙ ඉනිමගේ වෙන්න ඕන.. කලබල උන පාර ගෑනි බිමටම පතබරියං වුණා.. ඒකෙ ආයෙ සේදිය යුතු කිසිවක් නෑ.. සබන් පොඩ්ඩක් ගාන්න විතරයි ඕන.. මොරීන් අක්කා ඉනිමග දාලා හරි දුවල තිබ්බොත් හොදයි.. නැත්තං මේ අහිංසක බන්ටිටත් ඇඩ්‍රස් නැතිවෙනවා..

"කවුරුත් නෑනේ ලොකූ.."

"ඒකනේ අම්මේ.. දැන් අපි හැමෝටම ලොකු සද්දයක් ඇහුණනේ.."

"පල්ලෙහාට ගිහින් බලමු.."

හැමෝම රහස් පරික්ෂකයො වෙන්න යන වෙලාවෙ ඔන්න දැන් තමයි බන්ටිගෙ ක්‍රියාන්විතය ඇරඹෙන්නේ.. අඩුගානෙ එතකොට මෙයාල මිදුලට යනකොට මොරීන් අක්කට තාර පාරටවත් පැනගන්න පුලුවන් වෙයි..

"ඔයාලා මොකද මේ මගේ කාමරේ ඇතුලෙ කරන්නේ..?"

මේ දැන් ඇහැරුනා වගේ ඇස් දෙකත් පොඩි කරන ගමන්, දවස් දෙක තුනක් නිදි මරපු මිනිහෙක්ගෙ මූණක් මං මවා ගත්තා.. මං අනිවාර්යෙන්ම දන්නවා මේ මූණට මෙයාලටත් නිදිමත හැදෙනවා කියලා..

"අපි මෙච්චර වෙලා කතා කරපුවා ඔයාට ඇහුන්නැද්ද බන්ටි..?" 

"මට ඇහෙන්න..? අනේ මේ.. අයියේ.. ඔයාලගෙ කතා කරපුවා කතා කරන්න අර අච්චර මහ විසාල සාල දණ්ඩක් තියෙද්දි මාව මරන් කන්න මේක ඇතුළට ආවෙ ඇයි..? ෂිහ්.. ඇත්තටම බලන් ගියාම ඕගොල්ලො මහ කැතයි.. නිදාගන්නකොටයි, කනකොටයි සතෙකුටවත් හිංසා කරන්නෙපා කියලයි ඔය හැම පොතකම තියෙන්නේ.. ඒකටත් එක්ක ඔයාලා.."

අම්මයි, අයියයි, අක්කයි තුන්දෙනාම කටවල් ඇරගෙන අහන් හිටියා මිසක වචනයක්වත් කිව්වෙ නෑ.. ඇත්ත කතාව කියන්නෙ එයාලට කියන්න තරම් දේකුත් නෑ..

"අ.. අර බලන්න බැල්කනියෙ දොරත් හායි ගාලා ඇරලා දාලා.. අනේ ඇත්තටම ඔයාලට මොනවද වෙලා තියෙන්නේ..? ඔයාලා නිදාගන්න ගියාම මං ඒ කාමරවල දොරවල් අරින්න එනවද..? ෂිහ්.. අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලා නම් අන්තිම සවුත්තුයි.."

"හරි.. හරි.. අපි යන්නම්.. දැන් කට වහගෙන නිදාගන්න.. ඩිස්ටර්බ් උනා නම් සොරි.."

"වෙරි සොරි බන්ටි.. ඔයාගෙ සද්දයක් නැති හින්දයි අපි බැලුවේ.."

"හිනා යන කතා කියන්නෙපා අක්කේ.. සද්ද දාගෙන කවුද නිදාගන්නේ.. ඔයා හිතන්නෙ මං ට්‍රම්පට් එකක් කියලද..? ඔයාලට ඕන වුණේ මගේ නින්ද කඩන්න.. ඒක ආයෙ දෙකක් නෑ.. ඒත් දෙයිහාමුදුරුවනේ ඔයාලට නින්ද යන්නෑ, කියලා මං මොනවා කරන්නද..?"

අම්මා දිහා හොරාට බලන ගමන් මං කිව්වා, අම්මා තාම මට වචනයක්වත් කිව්වෙ නෑ.. ඒත් ඒ මූණෙ පුංචි හිනාවක් රැදිලා තිබුණා.. ඒ හිනාව පිටින්ම ගුඩ් නයිට් බන්ටි කියලා අම්මා කාමරෙන් ගියා.. මගේ දිහාට ඔරොප්පු මූඩ් එකක් දාගෙන ගස්සලා පද්දලා, අක්කත්, අම්මගෙ පස්සෙන්ම පිටවුණා.. ඒත් කොහොල්ලෑ බබා බදාගත්තු නරියා වගේ අයියා විතරක් කාමරේ නතර වුණා.. 

"මේ නම්බර් එක දන්නවද..?"

මෙච්චර වෙලා පිටිපස්සට කරගෙන ඉදපු මොබයිල් ෆෝන් එකේ ස්ක්‍රින් එක අයියා මගේ ඇස් ඉස්සරහින් තිබ්බා.. මේ ගල් උගුඩ්ඩා ඒ පාර එන්න හදන්නෙ මොකාටද..? අම්මප මේකා විධායක ශ්‍රේණියෙ නිලධාරියෙක් උනාට මට නම් කම්කරුවෙක් ගානයි.. ඇයි දෙයියනේ ඒ වගේ වැඩනේ කරන්නේ.. මොරීන් අක්කා පෙරලන්න ගියපු බාල්දියෙන් මං ඔල් මොරොන්දම් වෙලා ඉන්නවා.. මේකා මේ ටෙලිෆෝන් නම්බරයක් ගැන අහනවා..

"මොකද කතා නැත්තේ..? මේ නම්බරේ අදුනනවා නේද..?"

අයියා නෙමේ නම් මං පැනපු ගමන් දෙන්නෙ කනේ බෝල කූං කූං ගාන්න.. ඇයි අප්පා ජීවිතේටවත් දැකලා නැති නම්බරයක් පෙන්නලා අහනවා මේක අදුනනවා නේද කියලා.. මූට නම් අම්මපල්ලා හොදටම පිස්සු..

"ඔව්.."

"හරිනේ.. එහෙනම් මං හිතපු දේ හරියටම හරි.. මේ වැඩේට තමුසෙත් සම්බන්ධයි.. දැන් ඉතිං කියනවා කාගෙද මේ නම්බර් එක කියලා.."

මේකට දැන් නම් අනිවාර්යෙන්ම පිස්සු.. එහෙමත් නැත්නම් නිදිමත තදවෙලා.. මේ මරු විකලෙනුයි කියවන්නේ..

"ඕක ඩයලොග් කොම්පැණියෙ නම්බරයක්.."

"බන්ටි මේ.. මගේ යකා අවුස්සන්නෙ නැතුව කියනවා කාගෙද මේ නම්බර් එක.. තමුසෙ මාව විහිලුවකට ගත්තද..?"

ඔන්න.. ඔන්න.. ඉතිං අයියාකාරයා ට්‍රැක් එක පැන්නා.. දැන් නම් බන්ටිටත් තදවේගෙන එනවා.. ඇත්තමයි.. මූට ඔය අලිබෙට්ටක් වගේ මොකක් හරි ලොකු දෙයක් පෑගිලා..

"ඔයා විහිලුවකට ගන්න ඔයා ජෝකර් කෙනෙක්ද..? මේ අයියෙ මං එකක් කියන්නම්.. මට ඔය ෆෝන් කතන්දර තේරෙන්නෑ.. මට ඇති ෆෝන් එකකුත් නෑ.. මං දන්න නොම්මරේකුත් නෑ.. ඔයා දවසකට මොකාක් හරි කුණු ගොඩක් ඇදගෙන ඇවිත් මාව මරන් කන්න හදනවා.. අනික ඉතිං.. මොනවම හරි දේක මුල, මැද, අග කියලා කෑලි තුනක් තියෙනවනේ.. ඔයා අන්තිම හරිය විතරක් ගිරිය පුප්පගෙන කෑගහලා කියලා, මගෙන් ප්‍රශ්න අහනවා.. ඇත්තටම මට දැන් ඔයාව එපාවෙලයි තියෙන්නේ.."

"බ.. බන්ටි.."

"මීට පස්සෙ ඔයා ඔයාගෙ දේවල් විසදගන්න.. මොන කරදරයක්ද මේ.. මට නිදාගන්නවත් නෑ.. කොහෙන් හරි කොනකින් මාව පටලවගෙන බොරුවට කෑගහනවා.. හොදයි ඔයාම හිතන්න.. ඔයා කැමතිද මේ වගේ කාගෙවත් බයිට් එකක් වෙන්න.."

"සොරි බන්ටි.. මං ටිකක් අවුල් වෙලයි හිටියේ.."

"ඔයා අවුල් උනා කියලා මං පළිද අයියේ.. ඔයාටත් මගේ වගෙ කාලයක් තිබුණා නේද..? ඔයා යාලුවො ආශ්‍රය කෙරුවෙ නැද්ද..? ඔයා රස්තියාදු ගැහුවෙ නැද්ද..? වලාකුළු බැම්ම ළග ඉදන් කඩල ඇට හැපුවෙ නැද්ද..? පැය දෙක තුනේ චාටර් වෙලා මාලුන්ට පොරි ඇට දැම්මෙ නැද්ද..? ඇයි ඉතිං ඔයා මට විතරක් මේ ලෙඩ දාන්නේ..?"

"නෑ බන්ටි.. ඔයා හිතන හැටි වැරදියි.."

"වැරදි නෑ.. මං හිතන හැටි හරි.. කලින් දවසක ඔයා මට තර්ජනේ කලා.. මුළු දවසෙම කාමරේට වෙලා ඉන්න කියලා.. ඔයා හිතන් ඉන්නෙ මං සතෙක් කියලද..? මට කියලා හැගීම් දැනීම් නැද්ද..?"

"සොරි බන්ටි.."

"ඔයාගෙ සොරිය මට එපා අයියේ.. දැන් සොරි වැඩිවෙලා මට තියාගන්නත් තැනක් නෑ.. හරි.. මනුස්සයෙක් වගේ මට කියන්න මොකක්ද ප්‍රශ්නෙ කියලා.. දන්න දෙයක් නම් මං කියන්නම්.."

කියන්න තියෙන ටික අයියගෙ මූණටම කියලා මං ආයෙත් ප්‍රශ්නෙට බැස්සා.. නැතුව බෑනේ අප්පා.. මේ මිනිස්සු එන්නෙම ඔලුවට අත හෝදන්න.. ඔන්න දැන් නම් මනුස්සයා කූල් වෙලා..

"ඔය මං පෙන්නපු නම්බර් එකෙන් මට සෑහෙන්න කෝල් එනවා.. කවුද කියලා නම් මං දන්නෑ.. කවුරු හරි ආදරේ දිය කරලා බීපු ගෑනියෙක්.. පිස්සන් කොටුවෙ කෙල්ලෙක්ද දන්නෙත් නෑ.. මහ විකාර කියවන්නේ.. අද හවස් වරුවෙ විතරක් කෝල් දහ අටක් ආවා.."

සුපුරුදු විදියටම අම්මපා කියලා ඇහෙන්න ගියත් මං යාන්තම් කට වහගත්තා. ඔය වචනනෙ ඇහුණ නම් මිනිහා අනිවාර්යෙන්ම කතාව නවත්තනවා..

"දැන් පැයකට විතර කලින් ඔය ගෑනිගෙන් මට කෝල් එකක් ආවා.. අද ඔයාව බලන්න එනවා කියලා.. ඇත්තමයි.. මට බය හිතුණා බන්ටි.. මොන කරදරයක්ද දන්නෑනෙ.. මං ඇහුවා අපේ ගෙදර තියෙන තැන දන්නවද කියලා.. ඒ ගෑනි ඔව් කිව්වනේ බන්ටි.. ගෙදර ඇඩ්‍රස් එක පවා ඒ ගෑනි දන්නවා.. ඒ ගෑනි ඇරෙන්න වෙන කාටවත් මාව බදින්න දෙන්නෙත් න කියලා කිව්වා.." 

දැන් නම් බන්ටිට මේ වැඩේ සක්සුදක් සේ පැහැදිලියි.. මේ කතාවෙ වෙන කිසිම පාටක් නෑ.. තියෙන එකම පාට, සුදු පාට විතරයි.. මේ වැඩේ ලීඩ් කරන්නෙ සදාදරණිය ටයිටැනික් පෙම්වතිය මොරීන් අක්කා.. ඒ ගැන බන්ටිට කියලා දෙන්න කවුරුවත් ඕන්නෑ..

"ඉතිං ඔය කතා කරන ගෑනිට කිව්වා නම් ඉවරනේ කරදර නොකර ඉන්න කියලා.. එහෙම නැත්නම් ෆෝන් නම්බර් එක දැක්ක ගමන් කට් කරලා දාන්න.."

"මං එහෙම කරා.. ඒ පාර බ්‍රාන්ච් එකේ ලෑන්ඩ් ලයින් එකටත් කතා කරන්න ගත්තා.. මට දැන් මේක මහා කරදරයක් බන්ටි.. ඉස්සර වගේ නෙමෙයි.. මට දැන් හරියට කේන්ති යනවත් එක්ක.."

ඒක නම් පට්ටපල් බොරුවක්.. බන්ටිට අල්ලන්නෙම නැත්තෙ ඔය බොරුව තමයි.. මූට කේන්ති ගියේ ඉපදුණු දවසෙමලු.. අම්මා කිරි දෙන්න ඩිංගක් පරක්කු උනාට පස්සෙලු.. දැන් එනවා මෙතන පුංචි කාලේ ඒවා, ලොකු කාලේ ඒවට පූට්ටු කරන්න..

"ඔයාගෙ ඔය ටෙලිෆෝන් කරදරරේට මං සම්බන්ධයක් නෑ.. ඔයාම ඕක විසදගන්න බලන්න.. අනිත් දේ තමයි හැම නිතරම මාවම සැක කරන්නෙ නැතුව, තව වෙන කෙනෙක්වත් සැක කරලා බලන්න.. සමහර වෙලාවට විභාග ප්‍රශ්න පත්තරේට කණා ගහලා හරි ගියා වගේ, ඒකත් හරියන්න පුළුවන්.."

"එච්චරද ඔයාට කියන්න තියෙන්නේ..?"

"නෑ.. තව ටිකක් තියෙනවා.."

"ඉතිං කියන්න.. මං අහගෙන ඉන්නේ.."

කැලෑ සතෙක් වෙච්ච අමුනුස්සයා දැන් මනුස්සයෙක් වෙලා.. අම්මප කතා කරන විලාසය අහන්නත් සංතෝස ජනකයි.. ප්‍රමාද වෙලා හරි මේකා යථාර්තය තේරුම් ගත්තනේ..

"ඔයා කතා කරන ගෑනිට කියන්න මට ඔයාව දකින්න ආසයි කියලා.."

"පස්සේ..?"

"ගෑනි කවුද කියලා දැන ගත්තට පස්සෙ, හොදවයින් කනේ පාරවල් දෙක තුනක් අතෑරලා දාන්න.. එතකොට කතන්දරේ ඉවරයි.."

අයියා කාරයා මූණත් හපුටු කරගෙන කාමරෙන් පිටවුණා.. ඕක මූණ හපුටු කරගන්න තරමෙ දෙයක්ද අප්පා.. බිල් ලාඩ්න් වගේ කයිය ගැහුවට මට පේන්නෙ මේකා පරාණ බයයි..



                              
                                              

No comments:

Post a Comment