Friday, March 30, 2012

| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි |






මං විභාගෙ දවසෙ උදෙන්ම පංතියට යද්දි අපේ පංතිවල ඩෙස් ඈත් කරලා විභාගෙට ඕන විදියට හදලා තිබුණා. මං පුරුදු විදියටම හිනා වෙලා හිටියෙ නිරෝධ ගැනවත් සචී ගැනවත් කාටවත්ම නොකියන්න හිතාගෙන. මාව දැක්ක ගමන් සචී මගේ ළගට දුවගෙන ආවා.

"ඔයා ඊයෙ කරපු උදව්වට තෑන්ක්ස් රන්දු.."


ඔය කියන්න ඇත්තෙ මං හංසිට කතා කරලා ෂේප් කරපු එක වෙන්න ඇති.

"දැන් ඒ වැඩේ හරිනේ. උඹ විභාගෙට ලෑස්තිද..?"

"ඔව් පාඩම් නං කලා. මට බය තියෙන්නෙ විභාගෙ ගැන නෙමෙයි. තරගෙ ගැන.."

අපි කතා කර කර ඉන්න තැනට නිරෝධත් ආවා. මං කිසි වෙනසක් පෙන්නුවෙ නෑ.

"සචී මං පාඩම් කරලා ආවේ. ඔයාට විභාගෙදි මොනව හරි අහන්න ඕනෙ නම් මගෙන් අහන්න.."

වෙනදට සචීගෙන් කොපි කරන එකා අද සචීට කියලා දෙන්න හදනවා. මූත් මාර පොරක් තමයි. සෑහෙන්න දියුණු වෙලා. අපි කට්ටිය විභාගෙට ඉදගත්තෙ එක ළග. ඒත් මිස් පේපර් එක බෙදලා අපි ළගම වගේ පුටුවක් තියාගෙන ඉදගත්තා. ඉතිං අපි කවුරුවත් කොපි කරන්න ගියේ නැතුව තමන්ට පුළු පුළුවන් විදියට විභාගෙ ලිව්වා. මං නම් ලියපු පේපර් එක ගැන ගොඩක් සැටිස්. කොහොමටත් මේ ටිකේ ගෙදරට වෙලා ෂෝට් නෝට් ගහලා පාඩම් කරපු නිසා ගොඩක් කරුණු මතක තිබුණා. පළවෙනි විෂය ඉවර වෙලා නැගිටිද්දි කුමුදු මිස් සචිනිව හොයාගෙන අපේ පංතියට ආවා.

"සචිනි ඔයාට දැන් හොදයිද දරුවෝ..? පහුගිය ටිකේ අසනීපෙන් හිටියා කියලා අක්කා කිව්වා.."

සචිනි අසනීපෙන් ගෙදර ඉන්නවා කියලා කියන්න ඇත්තෙ සචිනිම තමා. අපිත් ඒ කතාව ඇහුනෙ නෑ වගේ හිටියා.

"ඔව් මිස් දැන්  ටිකක් හොදයි.."

"මං මේ ආවෙ අද අචිනි නැටුම් ප්‍රැක්ටිස් කරන්න කලායතනයට ගියාද කියලා දැනගන්න.."

"ඔව්, අක්කි උදේ මගෙත් එක්කම ඇවිල්ලයි බස් එකට නැග්ගේ.."

"හරි හරි.. එතකොට හෙට නුවර යන්නෙ කවුරු එක්කද..? ම්... එක්කො ඔයා විබාගෙ ඉවරවෙලා යන්න කලින් මාව හම්බවෙන්න.."

එහෙම කියලා මිස් යන්න ගියා. මේ වැඩේ කරන්න මුලදි අකමැති උන සචී දැන් අපිටත් වඩා හොදට සීන් එක රගපානවා. මිසුත් හොදට ලණුව කාලා ඉන්නේ. හෙට වෙද්දි මේ රගපෑම් සේරම ඉවරයි.

විභාගෙ ඉවරවෙලා අපි කට්ටියම කැන්ටින් එකට සෙට් වෙලා හෙට නුවර ගමන ගැන කතා කලා.

"සචී දැන් හෙට මොකද කරන්නේ..?"

"මෙහෙමයි රන්දු, ප්‍රින්සිපල් සර් කුමුදු මිස්ට කිව්වලු එයාටයි හංසි අක්කටයි මගෙත් එක්ක නුවර යන්න කියලා. අපේ අම්මත් මගෙත් එක්ක එනවා කිව්වා. ඔයාලත් එනවද..?"

සචීලා එක්ක නුවර යන්න හිතාගෙන හිටියට මට දැන් ඒ ගමන යන්න බෑ වගේ. අනික හංසිත් යන එකේ මේ කතා අපේ අක්කටත් යයි. හංසිව මට ඉස්කෝලෙදි හම්බ වෙනවා කියලා අක්කා දැන ගත්තත් අවුලක් නෑ. ඒත් සචීව දාලා කරන ඩබල් ඇක්ටින් ගේම එයා දැනගන්නවට මං කැමති නෑ.

"ජනා උඹයි මහේෂයි මොකද කරන්නේ..?"

"සචී නටනව බලන්නත් කට්ටිය ඕනනේ.. අපි දෙන්නා නං යනවා.. ඔයාලත් එන්න.."

ජනාලිලා නං වේලාසන ඒවා ප්ලෑන් කරලා වගෙයි. නිරෝධත් එක පයින් නෙමෙයි දෙපයින්ම කැමතියි කියලා මං දන්නවා. ඒත් මූ බලාගෙන ඉන්නෙ මුලින් අපි කාගෙන් හරි වචනෙ පිටවෙනකල්. අපි ගියාට අචිනි නිසා දිනුක නම් යයිද කියන්න බෑ.

"අපිත් යනව නම් අචිනි ඇරුනම නව දෙනෙක් ඉන්නවනේ. ඒත් යන අයගෙන් කුමුදු මිස් දන්නෙ නැහැ අචිනි වෙනුවට යන්නෙ සචී කියලා. ඉතිං අපි නම දෙනාටයි හංසි අක්කටයි සචීලගෙ අම්මටයි හැමෝටම කටවල් පරිස්සම් කරගන්න වෙනවා.."

මං එතන තිබුන අමාරුම කාරණේ කට්ටියට පහදලා දුන්නා. ඉස්කෝලෙ ගුරුවරයෙක් එතන නියෝජනනය කරන්න ඕනෙ නිසා කුමුදු මිස්ව හලන්නත් බෑ. අන්තිමට අපි හැමෝම හෙට යන්න එනවා කියලා පොරොන්දු උනා.

ගෙදර ගිහින් හෙට උදේ ගමන ගැන කියලා අම්මගෙනුයි, තාත්තගෙනුයි පර්මිෂන් ගන්න එක හැබැයි ටික්ක අමාරු වැඩක්..

"මේ විභාගෙ ළග තියාගෙන ඔයාලා ට්‍රිප් යන්නද හදන්නෙ පොඩි පුතා.."

තාත්තා සැරෙන් මගෙන් ඇහුවෙ අපි හොරෙන් කොහේ හරි යන්න හදනවා කියලද දන්නෙ නෑ. ඒත් මං අම්මට මේ ගමන කලින් කියලා තිබුණා.

"නෑ තාත්තා මේක ට්‍රිප් එකක් නෙමෙයි. අපේ යාළුවෙක් සමස්ත ලංකා නැටුම් වල ෆයිනල් තේරිලා. හෙට ඒ තරගෙ තියෙන්නෙ නුවර. අපේ මිස්ලත් යනවා. ඒකට ඉස්කෝලෙන් අපිට වාහනේකුත් ලෑස්ති කරලා.."

මං තාත්තට මුළු කතන්දරේම කෙටියෙන් කිව්වා. අපේ අක්කත් කුස්සියෙ ඉදලා ඇවිත් හොරෙන් සැටලයිට් එක දාගෙන ඉන්නවා මං දැක්කා. හංසි මොනවත් කියලද දන්නෙත් නෑ.

"ඒ වගේ ගමනක් නම් කමක් නෑ. ඔයා දන්නවනේ මං ඔයාලව ගොඩක් විශ්වාස කරලයි ඔය නිදහස දීලා තියෙන්නේ. ඒ විශ්වාසෙ කඩන්න එපා පුතා.."

අපේ තාත්තා අම්මා වගේ නිතරම මගෙත් එක්ක කතා නොකලට එයා කියන වචන දෙක තුන උනත් බොක්කටම වදින්න කියනවා. තාත්තා එහෙම කියලා ඉවර වෙලා කාමරේට ගියාට පස්සෙ මං කැමරාව අරගෙන ටෙස් කරලා බලලා බෑග් එකට දාගත්තා. අක්කත් කතාව අහගෙන හිටපු නිසා ඇවිත් මට රුපියල් දාහක් එක්කම අවවාද ටිකකුත් දීලා ගියා. රෑ මම පාඩම් කර කර ඉන්නකොට තාත්තා කාමරේට ඇවිත් අම්මටත් හොරෙන් රුපියල් දෙදාහක් මගේ අතේ ගුලි කලා. දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනවා කියන්නෙ ඕනට තමයි. මේ දුප්පත් රන්දුගෙ පර්ස් එකේ මොණරුම තුන්දෙනෙක්. තාත්තා ළග වගේ අම්මා ළග සල්ලි නැති උනත් හෙට උදේ යන්න කලින් එයට මට කීයක් හරි දෙනවා කියලා මං දන්නවා. ගෙදර බාලයා උනාම මොන තරම් සැපද කියලා මට හිතෙන්නෙ මේ වගේ වෙලාවල් වලට තමයි. උදේ හය වෙද්දි ඉස්කෝලෙට එන්න කියපු නිසා මං ටිකක් කලින් නිදාගත්තා.

                                               ****************************

උදේ පහමාර වෙද්දි විහග එළකිරි වගේ කිටක් මරලා අපේ ගෙදරට ආවෙ අපේ තාත්තා අපිව උදේම වෑන් එකෙන් ඉස්කෝලටෙ දාන්නං කියපු නිසා. මමත් ඩෙනිමක් ගහලා අත්දිග ටී ෂර්ට් එකකුත් ඇදලා සුපුරුදු කැප් එකත් දාගෙන තාත්තට හොරෙන් සන්ග්ලාස් දෙකත් බෑග් එකට දාගත්තා. අම්මටයි, තාත්තටයි වැදලා අක්කටත් බායි පාරක් දාලා අපි තාත්තා එක්ක ඉස්කෝලෙට ආවා. ඒ වෙද්දි අපේ කොල්ලො දෙන්නෙකුයි සචීලයි, කුමුදු මිසුයි ඇවිත් හිටියේ. තාත්තා අපි දෙන්නව බස්සලා එවලෙම ගියේ නෑ. ටිකක් වෙලා ගියාට පස්සෙයි මං දැක්කෙ මේ උදේ පාන්දර ප්‍රින්සිපල් සර් ටී ෂර්ට් එකක් දාලා කොල්ලා වගේ ඇවිත්. අපේ තාත්තත් යන්න කලින් සර් එක්කත් කතා කරලයි ගියේ. ඒකෙන් එයාගෙ හිතේ සැකයක් තිබුණනං ඒකත් යන්න ඇති.

කට්ටිය සේරම ආවට පස්සෙ අපි ප්‍රින්සිපල් සර්ටත් වැදලා යන්න පිටත් උනා.

"ඒයි උඹ අචීගෙ අයිඩෙන්ටිය ගෙනාවද..? " 

මං සචීගෙ කනට කරලා ඇහුවෙ ඒක අමතක උනොත් නුවර ගිහිනුත් වැඩක් වෙන්නෙ නැති නිසා. ඒවා සේරම හරි කියන්න වගේ ඒකි ඔලුව වැනුවා.

කොළඹ පහුවෙන්න හම්බඋනේ නෑ අපේ කට්ටිය ගෙනාපු ඩ්‍රම් එකට තල තල බජව්ව පටන් ගත්තා. මුං සිංදු කියන්න ගියාම බාගයක් කියන්නෙ කුණුහරුප. ඉතිං මෙතන වැඩිහිටියො ඉන්න නිසා ඒ හරියෙදි හඩවල් ඉබේම මියුසික් බවට පත්වෙනවා. සිංදු කියන අතරෙ සාරංග මහේෂා එක්ක කතා කරනවා දැකලා මං ඒක විහගට පෙන්නාව. හිතේ දුක මූ එකපාරටම පිට කලේ තව සිංදුවකින්..

"මලෙ කූඩුවට ඇවිත්...
කොට්ටාවෙ පෙම්වතෙක්...
මගෙ මහේෂා සමග හාදව
දුන්න ගින්දරක්...
මට දුන්න ගින්දරක්" 

ඌ ඒක කියන්න ඇත්තෙ සාරංග ඉන්නෙ කොට්ටාවෙ නිසා වෙන්නැති. හැබැයි ඒ සිංදුවට වෑන් එකේ  හිටපු හැමෝම හිනාඋනා. සිංදු පාර එක්කම සචීලගෙ අම්මා දීපු සැන්විච් බෑග් එකම වාෂ්ප උනේ කෑවද කියලා මතකයක්වත් ඉතුරු නොකර. අපිත් එක්ක එක දිගටම හංසි අක්කත් සිංදු කිව්වා. මෙයත් ඉතිං ටීච වගේ සාරියක් පටලවගෙන ආවට අපේ අක්කගෙ වයසෙම වෙන්න ඇති. ඒ කිව්වෙ විසි පහකට විසි හයකට වඩා වැඩි වෙන්න බෑ. හංසිත් කලාවේ උල්පත වගේ තමයි. නටන්න වගේම සිංදු කියන්නත් පුළුවන්..

මගදි වාහනේ නතර කරලා බනිසුයි බීමයි ගත්ත කුමුදු මිස් කිව්වෙ ප්‍රින්සිපල් සර් මග අමතර වියදමට රුපියල් පන්දාහක් දුන්නා කියලා..

"ඕක ඉතුරු උනොත් සර්ගෙ හිත නරක් වෙයිනේ මිස්.. අපි යන්න කලින් ඔය පන්දාහම ඉවර වෙන්න කමු.."

ඒක කිව්වෙ හැමදාම අඩුවෙන් කන අපේ විහග. උගේ කොහොමටත් කකුලෙ මහපොටගිල්ලෙ ඉදලම තියෙන්නෙ ආමාශෙ විතරයි. හංසි අක්කා මං එක්ක කතා කරනවා දැකලා කුමුදු මිස් ළගට ආවා.

"හේෂාන් කොහොමද හංසිව අදුනන්නේ..?"

"මිස් මේ අපේ අක්කගෙ හොදම යාළුවෙක්.."

"අපරාධෙ ඔයාට අක්කවත් එක්කගෙන එන්න තිබුණෙ. එහෙනම් හිංසිටත් පාළු නෑනේ.."

නයි කයිද ඔරෙක්ස් පෑන් කිව්වලු. මිසුත් කියන්නෙ මාර කතා තමයි.

"නෑ මිස් මට පාළු නෑ. මෙයාලා කට්ටියම ඉන්නවනේ.."

මොනා උනත් හංසි හොද කෙල්ල. තැනේ හැටියට ඇණේ ගහන්න එයා දන්නවා. අපි යන අතරෙ මමයි විහගයි මාරුවෙන් මාරුවට මගේ කැමරාවෙන් ෆොටෝ ගත්තා. අපේ කට්ටිය කැමරා තුන හතරක්ම ගෙනත් තිබුණ නිසා වැඩි අවුලක් නැතිව අපිට ඕන තරම් ෆොටෝ වෙන වෙනම ගන්න පුළුවන් උනා. හැබැයි මේ විහගයා මටත් හොරෙන් මගෙයි හංසිගෙයි ෆොටෝ දෙක තුනක්ම අරන්.

කාලා බීලා ඉවරවෙලා අපි නුවරට යද්දි නමයයි හතලිස් පහට විතර ඇති. තරගෙ තිබුණෙ ටවුමෙ වැව ළගම තිබුණ ගෑණු ළමයින්ගෙ ඉස්කෝලෙක. අචිනිගෙ නමට වෙලාව දීළා තිබුණෙ උදේ එකොළහට නිසා අපි කට්ටිය ඉස්කෝලෙට යන්න කලින් දළදා මාළිගාවට ගිහින් පඩුරු දාලා වැදලයි ගියේ. සචී අද කොහොම හරි දිනයි කියලා මගේ හිතේ ලොකු විහ්වාසයක් තිබුණා.

"බලපංකො බං නුවර කෙල්ලන්ගෙ ලස්සන.."

විහගගෙ පැණි හැළිය ආයෙත් ඇරිලා. අපි වෑන් එකට එද්දි ඩෙනිමක් ගහපු ලෝකසුනා විතර හීන්දෑරි කෙල්ලෙක් අයිස් ක්‍රීම් එකක් කකා එනවා. ඒකි ළං වෙද්දි ෂෝටා සැළලිහිණි සංදේශයේ තිබුණ කවි පදයක් හයියෙන් කිව්වා.

"සිසිවන උවන......
ඉග සුග ගත හැක මිටින.."

ඒකි කණ්ඩුල හැරුනා වගේ ෂෝටා දිහාට හැරෙද්දි මූ උසේන් බෝල්ට්ටත් වඩා හයියෙන් දුවගෙන ගිහින් වෑන් එකට නැගලා දොරත් වහගත්තා. නිකං හරි ඒ කෙල්ල මූට දෙක තුනක් ඇන්නා නම් ආප්ප හැන්දෙන් හූරලා තමයි මුගේ කෑලි එකතු කරන්න වෙන්නේ. ඒක බුදු ෂුවර්.. 

ඉස්කෝලෙට අපි යද්දි ලංකාව වටේම ඉස්කෝල වලින් ෆයිනල් තේරුණ කට්ටිය ඇවිත් තැන් තැන් වල හිටියා. අපිට ටිකක් වෑන් එකේ ඉන්න කියලා කුමුදු මිස් සචී එක්ක හොල් එකට ගියා. හැබැයි ආපහු එද්දි එයාලගෙ මූණු වෙනස්.

"ළමයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තරග තියෙන පැත්තට පිරිමි ළමයින්ට යන්න දෙන්නෙ නෑ. අනික හෝල් එක ඇතුලට යන්න දෙන්නෙත් නටන ළමයටයි චීටර්ටයි විතරයි.."

"අයියෝ මොනවද මිස්, ඒක හරි කැතයිනේ.. අපි මේ තරම් දුර ආවෙ අපේ ස... මේ අපේ අචිනි නටනවා බලන්නනේ.."

නටන එක කෙසේ වෙතත් මේ මෝඩ විහගයා තව පොඩ්ඩෙන් සචීගෙ නම කියලා බාල්දියක් පෙරලනාව.

"වෙන මොනවා කරන්නද එහෙනම්. මිස්ලා ඒ පැත්තට යන්න. අපි වෑන් එකේ රවුමක් දාලා එළියෙ ඉන්නම්."

මං එහෙම කිව්වාම නිරෝධගෙ මූණ පෙගුණ පාන් බාගයක් වගේ උනා. අපි හයදෙනා ඩ්‍රයිවර් එක්ක වෑන් එකේ ඉද්දි සචී, ජනාලියි, මහේෂයි. එක්ක යන්න ඉස්සර උනේ දුකෙන් අපි දිහා බලන් ඉදලයි. අපි වෙනසක් නැතුව හිනාවෙලා කෙල්ලට සුභ පැතුවා. අිපට ඇවිදින්න යන්න එපා කියලා මිස් හංසිවයි, සචීලගෙ අම්මයි එක්කගෙන ඇතුළට ගියා.

"මචං දැන් මොකද කරන්නේ..? ඉදලා ඉදලා නුවර ආවෙ මේ වැන් කට්ට අස්සෙ වේලෙන්න නෙමෙයිනේ.."

සාරංගට තද වෙලා. දිනුකත් වැඩි සද්ද බද්දයක් නැතුව බලාගෙන ඉන්නවා.

"රයිට්.... උඹලා තව ඇදුමක් අරන් ආවා නම් යන්න තැනක් තියෙනවා.."

සාරංග ආයෙත් අහද්දි අපි කට්ටියම රෙඩි කියලා අත් ඉස්සුවා.

"අපේ අංකල් කෙනෙක් ඉන්නවා කටුගස්තොට හරියේ. හැබැයි මචං මෙතන ඉදලා කිලෝ මීටර් පහක් විතර වගේ යන්න ඕන. මොකද කියන්නෙ එහෙ නාන්න මරු තැනක් තියෙනවා."

"එළනේ..! යං යං මෙච්චර කිලෝමීටර් එකසිය විස්සක් තිහක් විතර ආපු එකේ ඔය පහ මොකක්ද බං.."

ෂෝටා පැනලා උත්තර දුන්නෙ ඌ අපේ සෙට් එකේ පුංචි කොලුවා නිසා වෙන්න ඇති. තාම සෙල්ලමටමයි හිත.

"අන්කල් මේ ළගට ගිහින් එනන් යමුද..?"

මං ඩ්‍රයිවර් අන්කල්ගෙන් ෂේප් එකේ ඇහුවා. මෙයා බෑ කිව්වොත් ඉතිං අපිට ගගකින් උනත් ඇදගෙන නාන්න තමයි වෙන්නේ.

"යන්න නම් පුළුවන් පුතා, ඒත් ඔයාලගෙ ටීචර් මට බනීද දන්නෑ.."

අන්කල් බයයි වගේ කියලා මට තේරුණා..

"අපි එහෙම අන්කල්ට බනින්න දෙනවද..? අපිට මිස් තමයි කිව්වෙ එයාලා පරක්කු වෙන නිසා කොහේ හරි ගිහින් එන්න කියලා.."

මේ විහගයා අපේ අහිංසක ටීචර් අමු අමුවේ පාවලා දීලා අන්කල්ව කැමති කරගත්තා. අපි එහේ ගියේ මගින් ලොකු කේක් එකකුත් අරගෙන. ඊට අමතරව නාද්දි බොන්න කියලා ජින්ජර් බියර් බෝතල් ටිකකුයි, බයිට් කඩල පැකට් තුනකුයි අපේ ඩ්‍රයිවර් අන්කල් යාළුවෙක් කරගන්න බුලත් විට තුනකුයි අරගත්තා.

"බලපං අපි වෙනදට ජින්ජර් බියර් නැතුව බියර් බොන්නේ.. අද මේ ගෑණු එක්ක ඇවිල්ලා ඒකටවත් නිදහසක් නෑ.."

විහග එහෙම කිව්වට මූ බොන්න පුළුවං එකෙක් නෙමෙයි. මේකා බ්‍රැන්ඩි කියලා බොන්නෙ ෂැන්ඩි. හැබැයි සාරංගනම් පාටි වලට ගියාම ගෙදර උන්දැලට හොරෙන් එක එක ඒවා අතහදා බලලා එනවලු.

"ඒකනේ.. අද මතට තිත තමයි.. වෙනදට අපි තිතට මත නේ.. හෝව් හෝව් අන්කල් ඔතනින් දකුණට.."

සාරංග අන්කල්ට පාර පෙන්නගෙන ඔය කියන ගෙදර මිදුලටම අපිට එක්කගෙන ආවා. එහෙ වටපිටාවෙ තිබුණෙ පුදුම ලස්සනක් වගේම අමුතු ලා....... සීතල ගතියක්.

"බලපං අපේ සීයලට උනත් ඉස්සර මීට වඩා හිතන්න තිබුණා. නැත්තං අපිටත් මේ සාරංගට වගේ රටපුරා නෑයො ඉන්නවනේ.."

මං ඒක කියද්දිම උගේ අන්කල් ගෙයින් එළියට ආවා. පොර හරියට තේ වත්තක සුපිරින්ඩන්ට් කෙනෙක් වගේ සුදු ෂෝටකුයි සුදු ෂර්ට් එකකුයි ඇදලා හැටි එකකුයි සපත්තු දෙකකුයි දාලා හිටියේ.

"හෙලෝ සනා... කම්... කම්... නයිස් ටු මීට් යූ ආෆ්ටර් වෙරි ලෝන්ග් ටයිම්.."

මළ කෙලියයි අන්කල් කාරයට සුද්දගෙ අසූචි පෑගිලද කොහෙද. සාරංගත් ඉස්සරහට ගිහින් අන්කල්ව බදාගත්තා.

"බලපංකෝ බං මූ පැන්ෂන් ගිය පොලිස් කාරයෙක් වගේනේ..."

විහග මගේ කණට කරලා හිමීට කිව්වා.

"මචං උඹේ සාක්කුවෙ ඩික්ෂනරියක් තියෙනවද..?"

අනිත් පැත්තෙ ඉදන් නිරෝධ අහද්දි මට හිනාත් ගියා. මොනව නැතත් පොර ජොලි ඩයල් එකක් කියලා අපිට කතා කරපු පළවෙනි විනාඩි පහෙන්ම තේරුණා.

"විනී කම් හියර් මයි ඩාලිං.."

අන්කල් දොරෙන් ඇතුලට බෙල්ල දාලා කතා කලේ ගෙදර ඉන්න බල්ලටද දන්නෙත් නෑ. අපි සපත්තු දාගෙන සූදානම් ශරීරෙන් හිටියෙය විනී හපන්න ආවොත් දුවන්න කියලා බලාගෙන. ඒත් ගේ ඇතුලෙ ඉදලා අගර දගර පපා ආවෙ ලන්සි ටයිප් එකේ ඇන්ටි කෙනෙක්.

"විනී.. ඩූ යූ නෝ දිස් ජෙන්ට්ල්මන්..?"

අන්කල් කාරයා සාරංගව පෙන්නලා ඇහුවා. බොලේ.. විනී කියන්නෙ අන්කල්ගෙ වයිපරේ... 

"ඕ.... මයි ගෝඩ්..."

ආන්ටි එහෙම කියලා සාරංගට අත දික් කලා. බලන් යද්දි මූ අපිව එක්කන් ඇවිත් තියෙනනෙ මාර ප්ලේස් එකකටනේ.. මෙතන කැටයම් ගොඩයි. ඒ මදිවට සිං සිං ගාලා එහෙට මෙහෙට කඩ්ඩ වැනෙනවා. අපි ඔළු පාත් කරගෙන හිටියෙ කතා නොකරන තාක්කල් මෝඩයත් පණ්ඩිකයෙක් කියලා කවුද කියපු කතාවක් මතක තිබුණ නිසා. 

අන්කල් සාරංග එක්ක ආගිය තොරතුරු කතා කරන අතරෙ අපි ඒ ලස්සන වත්ත වටේ පොඩි රවුමක් දැම්මා. විනී ආන්ටි මොනවද කෑම ජාතියක් එක්ක තේ ලෑස්ති කරලා අපිට කතා කරද්දි මම ඒ පරිසරයට වශි වෙලයි හිටියේ.

"අන්කල් අපි කට්ටිය ආවෙ මේ පිටිපස්ස දොලෙන් නාන්න.."

"ඕකේ සනා.. යූ එන්ජෝයි විත් යුවර් ෆෙන්ඩ්ස්.."

මේ යකානං මාර පොරක්. සිංහලෙන් කියන දේට උත්තර දෙන්නෙත් කඩ්ඩෙන්. විනී ආන්ටි අපිට චේන්ජ් කරගන්න කියලා කාමරයක් පෙන්නුවා. අපි ෂෝටවල් ටිකකට බැහැලා කාමරෙන් එළියට එද්දි අන්කල් අලුත්ම තුවා තුනක් විතර අපිට දුන්නා.

"එපා අන්කල් අපි ළග තුවා තියෙනවා.."

"නෝ නෝ සනා ටේක් දිස්.."

ඒක කියද්දි විහග තුවා ටික ඉක්මනට අතට ගත්තෙ, නැත්තං අන්කල් ඉංශ්‍රීසියෙන් බනියි කියලා වෙන්න ඇති. බැන්නත් ඉතිං අවුලක් නෑ. අර බල්ලා කියන හැමදේටම නගුට වනනවා වගේ හිනාවෙලා අහන් ඉන්න තියෙන්නේ. මොකෝ තේරෙන එකක්යෑ. අපි ඩ්‍රයිවර් අන්කල්ට කියවන්න පත්තර ටිකකුත් දීලා අන්කල් එක්ක වත්ත පහලට ගියා.

වත්තෙ ඉස්සරහ තියෙනවට වඩා ලොකු ඉඩක් පිටිපස්සෙ තිබුණා. බෑවුම වගේ තිබුණ ඒ හරියෙ මල් වවලා ඒ පාත්ති අතරින් ගල් වැටි වගේ දාලා පාරවල් හදලා එළකිරි ලුක් එකක් තිබුනේ. අපේ කෙල්ලො ටික එහෙම මේ මල් වත්ත දැක්කා නම් උන්ගෙ අවසන් හුස්ම පොද මෙතනම යනවා. ඒ තරම් ගති. පහල පෙනුන දොල පාර දකිද්දි මට මතක් උනේ කාච්චි මලේ.. නාන්න ඕනෙ නෑ.. දැක්කත් සැපයි..

"ඕ......... වට් අ නයිස් ප්ලේස්..."

ෂෝටා ටිකක් උච්ච ස්වරයෙන් කිව්වෙ අන්කල්ට ඇහෙන්න වෙන්න ඇති. කොළඹින් ඇවිත් ගොඩේ බයියො ටික වගේ ඉදලා බෑනේ..

"යර්ස් සනා.. ඔයාලා කැමති නම් කට්ටියම ස්කූල් වැකේෂන් එකට මෙහේ ඇවිත් ඉදලා යන්න.."

ඔන්න අපේ එකා දන්න කඩු දෙක තුන කිව්වා විතරයි අන්කල් කාරයා සිංහලට බැස්සා. මොනව නැතත් පෙරගෙ යෝජනාව නම් ටොප්. අපි නාන්න පටන් ගත්තම අන්කල් ගෙදර ගියා. අපේ ගැන්සිය ගල් උඩින් පැන පැන පෙරලි පෙරලි වතුරෙ දගලන්න ගත්තෙ හරියට සහරා කාන්තාරෙ ඉදලා ආවා වගේ. වැඩියම දැගලුවෙ ෂෝටා. ඌ එක දිගට තිබුණ ගල් පේලියක් දිගේ යද්දි ජබොක් ගාලා ඇදගෙන වැටුනා. මං පොඩි කවියක් මතක් වෙලා කියද්දි ඉතුරු හතර දෙනත් මාත් එක්ක එකතුවෙලා කවිය කිව්වා.

"ඒ දන්ඩේ......... කොටා..
 යන විට ගාට......ගාටා.....
වැටුණේය..........වතුරටා..
හූ.......................ටා......"

කොටා කියපු නිසාද මන්දා ඌගේ මූණ දෙකවෙලා. අපි බීම බිබී කඩල කකා ෆුල් ෆන් එක ගත්තා.

"මචං ෂෝටා.. උඹ දන්නවද අර අලියගෙයි කූඹියගෙයි කතාව..?"

විහග අහද්දි අපි කට්ටිය ඌ දිහාට හැරුණා..

"අලියගෙයි කූඹියගෙයි කතා කොයිතරම් තියෙනවද උඹ අහන්නෙ කොයි එකද..?"

"අලියයි කූඹියයි නාන්න ගිය එක..?"

"ම්හ්... කියපංකො බලන්න.."

"මෙහෙමයි.. අලියයි කූඹියයි නාන්න ගියාලු. මුලින්ම අලියා නාලා ඉවරවෙනකල් කූඹියා ගොඩට වෙලා බලන් හිටියලු. දන්නවද ඒ ඇයි කියලා..?"

"අලියට පෑගිලා ඌ මැරෙයි කියලා වෙන්නැති.."

"නෑ උඹලා දන්නවද උත්තරේ..?"

"ඒකත් ඉතිං උඹම කියහං.."

"අලියා නාලා ඉවර උනාම උගේ ෂෝට ඉල්ලගන්න.."

"හරි හරි ඩෝ.. උඹ ඒ කතාවෙ කොනකටත් මාව ගාව ගන්නද හදන්නේ..?"

ෂෝටා අද දවසෙ බයිට් එක වෙලා. පිස්සු නට නට නාලා ගොඩ එද්දි අපේ අත්වල ඇගිලි රැලිවැටිලා. හැබැයි ඇගටනං දැනුනෙ පුදුම සනීපයක්..

"මචං සාරංගයෝ.. උඹලගෙ අන්කල් කාරයා අපිට ආමාශගත කරන්න මුකුත් දෙන එකක් නැද්ද..? යකෙක් කන්න බඩගිනියි.."

විහගත් හරියට ස්කුබී ඩූ වගේ. කන්න දෙනවනං ඊට වඩා දෙයක් නෑ..

"වෙලාව කීයද දන්නෑ බං.. අරුන් එළියට ඇවිත් අපිව හොයනවද දන්නෙත් නෑ.."

මං කිව්වෙ අපේ ස්ත්‍රී පාර්ශවය මතක් වෙලා.. අපි ගෙදරට යද්දි විනී ආන්ටි කෑම ලෑස්ති කරලා බලාන හිටියා.

"ඔයාලට බඩගිනි ඇතිනේ.. ඉක්මනට චේන්ජ් එකක් දාගෙන එන්න.. ලන්ච් එක රෙඩී.."

"බලපං බං ආන්ටිට පුදුම තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්නේ.. මේ වගේ උදවිය බුදුන් දැක නිවන් දකින්න ඕන.."

අපි ආන්ටිට පින් දිදි කෑම මේසෙට සෙට් උනා. ආන්ටි හදලා තිබුණෙ මැකරෝනි. ලොකු කුකුල් මස් තසිමක් එක්ක තිබුණ උණු උණු මැකරෝනි දකිද්දි විහග කෙල බාල්දියක් විතර ගිලලා ඉවරයි..

"මචං ඩ්‍රයිවර් අංකල්..?"

මං ඇහුවෙ මෙච්චර වෙලා කාටවත්ම උන්දෑව මතක තිබුණෙ නැති නිසා..

"ඔයාලා කන්න. මං එයාලට කෑම බෙදලා දුන්නා.."

"ආන්ටිලත් එන්න කන්න.. කෝ අන්කල්..?"

"එයා හදිස්සියෙ කෝල් එකක් ඇවිත් වත්තට ගියා. තව ටිකකින් එයි.. මං එයා ආවාම කන්නම්.."

එහෙම කියලා ආන්ටි අපිට කෑම බෙදුවා. අපරාදෙ කියන්න බෑ අපේ බඩවල් වල තරම දැනගෙනද කොහෙද ආන්ටි කොත ගහලා  මැකරෝනි දාගෙන ගියා. මේවා තම්බපු බට කෑලි වගේ උනාට ආන්ටිගෙ මස් හොද්දත් එක්ක අවුට් නොවී බැට් කරන්න පුළුවං.. ඒක කාලා ඉවර වෙද්දි අයිස් ක්‍රීම් මේසේ උඩ. ඒකටත් වග කියපු අපි ආන්ටිලාට නොසෑහෙන්න පිං දීලා එන්න සෙට් උනා.

"ආන්ටි අන්කල් එන්න පරක්කු වෙයි වගේ නේද..? අපි එහෙනම් ගිහින් එන්නම්.. අන්කල්ටත් කියන්න.."

"ඕකේ සනා, ආයෙත් දවසක යාළුවොත් එක්ක එන්න.. ටේක් කෙයා..!"

"අපිට සංග්‍රහ කලාට තෑන්ක්ස් ආන්ටි. එහෙනං අපි ගිහින් එන්නම්..  බායි.."

සාගත මළු ටිකත් පුරවගෙන ජොලියක් දාලා අපි ආයෙත් අර ඉස්කෝලෙට ආවත් අපේ කවුරුවත් පේන්න හිටියෙ නෑ. හැබැයි උදේ තිබුණට වඩා වාහනත් අඩුයි..

"අපි  ටික නැති නිසා මුං ගෙදර ගිහින්ද දන්නෙ නෑ.."

"සචීලගෙ අම්මයි, හංසි අක්කයි මොබයිල් ගෙනත් තිබුණා. වරෙං පහලට ගිහින් කෝල් එකක් දීලා බලමු.."

වෑන් එක ඉස්කෝලෙ තියෙද්දි අපි කට්ටිය පයින්ම පැත්තට ඇවිදගෙන ආවා. ඒ හරියෙම ප්‍රේමවන්තයින්ට සුර ලොවක් වගේ. මං පර්ස් එකේ දාගෙන හිටපු හංසිගෙ නොම්මරේට බොක්ස් එකකින් කෝල් කලා.

"ආ මල්ලිලා ඔයා කොහෙද ඉන්නේ..? මේ නංගි සෙකන්ඩ් රවුන්ඩ් එකට සිලෙක්ට් උන නිසයි ටිකක් පරක්කු උනේ. තව පැයකින් විතර මේක ඉවරයි."

හංසි කියපු පණිවිඩේ මං අනිත් කට්ටියට කිව්වා. හැමෝම කිව්වෙ අපි තව ටිකක් වැව රවුමෙ ඉමු කියලා. ඉතිං අපි වැව දිහා බල බල ඒ හරියෙ ඉන්න කෙල්ලන්ට විහිළු කර කර හිටියා.

"බලාගෙන බං නුවර කෙල්ලන්ට විහිළු කරලා ගහන්න ආවොත් දුවන්න පාරවල් දන්නෙත් නෑ.. ටිකක් පරිස්සමින්.."

"අපි කවද්ද බං කෙල්ලන්ගෙන් ගුටි කෑවේ. බැරිම අවස්ථාවක් ආවොත් වැවට පනිනවා.."

ෂෝටා එහෙම කිව්වට ඌට මතක නැතුව ඇති උදේ ඇතින්නක් විතර කෙල්ලෙක් ඌව සුප් කරන්න හදපු හැටි. අපි කතා කර කර ඉන්න පැත්තට චයිනා ලුක් එකක් තියෙන චප්ප මුක්කා ඩයල් තුනක් ආවා. මොකක්දෝ මන්දා චාං චූං බාසාවක් කතා කර කර ආපු උන් අපිව පහු කරද්දිම විහගයා උන්ට හලෝ කිව්වා. තුන්දෙනාගෙන් ඉස්සරහින්ම ආපු පොර හිනාවෙලා මොකක්දෝ මන්දා දෙයක් විහගට කිව්වා. හිනාවෙලා කියපු හැටියට ඒක නයිස් ටු මීට් යූ වගේ සුහද ටෝකක් වෙන්නැති කියලයි මට හිතුනේ. මෙන්න බොලේ ඌ ඒක කියද්දිම විහගත් ඒ වගේම බාසාවකින් ඔළුව පාත් කරලා මොනවදෝ කිව්වා. සුද්දො ටික හිනාවෙවී යද්දි අපි ලෝකෙ අටවෙනි පුදුමෙ දැක්කා වගේ විහග දිහා බලන් හිටියා.

"උඹ මොකක්ද බං අර චීනට කිව්වේ..?"

"ඌ සුභ පතද්දි මමත් ඌට සුභ පැතුවා.."

පිස්සු පපඩං කතාවක් තමයි මූත් කිව්වේ. මූ චීනට සුභ පැතුවලු.

"උඹ චීන භාෂාව දන්නවා කියලා අපි දන්නෙ නෑනේ.. අපි හිතුවෙ උඹ දන්නෙ සිංහල විතරයි කියලා.."

"සිංහල තමයි බං මම කිව්වේ. ඌ කියපු මෙලෝ දෙයක් මට තේරුනේ නෑ. මොනවා හරි කියන්න ඕන නිසා මමත් කිව්වා.."

මූත් මාර පොරක් තමයි..

"ඉතිං උඹ මොනවද ඔළුව පාත් කරලා කිව්වේ..?"

"මං කිව්වෙ සාට මොයිකල් අමතර කොටස් කියලා.."

"ඒ කිව්වෙ බං..."

"ඒ කිව්වෙ බං මෝට සයිකල් අමතක කොටස් කියලනේ.."

අපි කට්ටිය හිනා උනේ මූ කියපු හරුපෙ කටට කොහෙන් ආවද දන්නෑ කියල හිතලයි..

"අරුන් තුන්දෙනා දැන් චීන ඩික්ෂනරිය පෙරලයි ඒකෙ තේරුම හොයන්න.."

"උඹ තමයි බං දවසකටවත් මිනිහා. උන් ටික හිනාවෙවී යන්න ඇත්තේ ඒක තේරුනේ නැති නිසා තමයි.."

අපි හවස තුනට විතර ආපහු ඉස්කෝලෙ පැත්තට එද්දි මිස්ලා ඈත ඉදන් වෑන් එක පැත්තට එනවා දැක්කා. කට්ටියම කට කපලා හිනාවෙවී ආවේ. අපේ සචී දිනලද මන්දා..

"ආ.. ඔයාලා උදේ ඇදන් හිටියෙ මේවා නෙමෙයිනේ.. කොහෙද ගියේ..?"

අපේ සැබෑ වෙනස මුලින්ම තේරුණේ හංසිට. එයා මං දිහා බලලා එහෙම කියද්දි අනිත් කට්ටියත් අපේ කේෂාන්තයේ ඉදලා පාදාංතය වෙනකල්ම බැලුවා.

"මිස් මෙයාලා කොහෙන්ද නාලා.."

සචී ඉස්සිලා මගේ කැප් එක ගලවලා ගත්තා. අනිත් කට්ටියගෙ කොණ්ඩෙ වේලිලා තිබුණට කැප් එක දාගෙන හිටපු නිසා මගේ කොණ්ඩෙ තෙතයි. 

"අපි ගිය තැන් පස්සෙ කතා කරමු. දැන් කියනවා බලන්න උඹේ නැටුමට මොකද උනේ කියලා... උඹ දින්නා නේද..?"

"දින්නද කියලා තවම දන්නෑ. උදේ ෆස්ට් රවුන්ඩ් එකෙන් හයදෙනෙක්ව තෝරලා තව වටයක් තිබ්බා. මම ඒකෙන් දෙවෙනියට නැටුවෙ. ඉතුරු හතරදෙනා නටලා ඉවර උනාම තමයි ප්ලේස් එක කියන්නේ.."

සචී අපි කට්ටියටම ඇහෙන්න කිව්වා. සචීලගෙ අම්මනං හරි සංතෝසෙන් හිටියේ.

"අපිට හෝල් එකට යන්න දුන්නෙ නැති වුනාට අපි කට්ටිය ජනේලෙන් බලන් හිටියෙ මෙයාලා නටනවා. අපේ සචී තරම් ලස්සනට කිසිම කෙනෙක් නැටුවෙ නෑ.."

ජනා අචී කියලා  හයියෙන් කිව්වෙ කුමුදු මිස් හිටපු නිසා වෙන්න ඇති. ජනාලි එහෙම කියද්දි නිරෝධ මට පේන්න කොලර් එක උස්ස ගත්තා. මූ දැන්මම සචීගෙ හස්බණ්ඩා වගේ ඇක්ෂන් දාන්නේ..

"ළමයි අනිත් කට්ටිය ඉවර වෙද්දි පහත් පහුවෙයි. ප්ලේස් එක අහන්න හිටියොත් අපට රෑ වෙනවා. එයාලා සදුදට ඉස්කෝලෙට දැනුම් දෙනවලු.. අපි දැන් යං.."

මිස්ගෙ තීරණය අවසාන තීරණය වේ කියලා අපි කට්ටිය වෑන් එකට නැග්ගා. මං ෂේප් එකේ සචී ලගින් ඉදගත්තා. ඒකිව කතාවට අල්ලගන්න හිතාගෙන. සචී නැටුමට මේකප් කරපු නිසාද කොහෙද ඒකිගෙ සුදු කම්මුල් රෝස පාට වෙලා. මේ තරම් ළගට ඒ ලස්සන මූන දකිද්දි මට ලෝභ  හිතුනා.

එයාලා ඇතුලට ගියාට පස්සෙ අපි මොකද කලේ කියලා සචී අහපු නිසා මං විතර විචාරෙ දුන්නා. හංසි අහක බලං වගේ හිටියට කණ තිබුණෙ අපි දෙන්නා ළගද කොහෙද..? විහගලා සිංදු කියන්න පටන් ගත්තට ඒක උදේ වගේ නැගලා ගියේ නෑ. ඒ නිසා එක එකා තනියෙම සිංදු කියන්න ගත්තම අනිත් අය මියුසික් දුන්නා.

"ඒයි අපේ අසහාය ගායකයා කියපංකෝ සිංදුවක්.."

සාරංග කෑගැහුවෙ මට. මං සචිනිගෙ මූණ දිහාත් ටිකක් වෙලා බලන් ඉදලා සිංදුවක් කියන්න පටන් ගත්තා.

"ඔබට සිත ආදරේ කරයි..
දෙතොල ගොළු වී සිටි..
නැගුණු සෙනෙහේ කියනු බැරි වී..
මගේ සිත වේදනා විදී.."

නුවර පාර දිගේ හයියෙන් ගිය අපේ වෑන් එක ඇතුලෙ මගේ සිංදුව හොද පැහැදිලිව ඇහුනා. කට්ටිය ඩ්‍රම් එක ගහන්නත් අමතක වෙලා ඇස් වහගෙන සිංදුව රස විදිද්දි සචී හිටියෙ මගේ මූණ දිහා බලාගෙන. එයාට එහා පැත්තෙ හිටපු අම්මා නිදාගෙන ඉන්නවා මං දැක්කා. සිංදුව ඉවර වෙද්දි කට්ටිය විසිල් ගහලා ඉල්ලුවෙ තව සිංදුවක්. ඊළගට මං ගොඩක් ආස කරන නින්ද නැති රැයේ සිංදුව කියන්න ගත්තා.

"මචං උඹේ රාණි හිටියනං උඹට යුග ගීයක් කියන්න තිබුණා නේද..?"

මම සචී ළග ඉදගෙන හිටපු නිසා ඊරිසියා හිතිලද කොහෙද නිරෝධ එකපාරටම නෙත්මිව මතක් කලා..

"කවුද රන්දු රාණි කියන්නේ..?"

"රාණි කියන්නෙ මුගේ ගර්ල් ෆෙන්ඩ්.."

ජනාලි අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ සාරංගයා. ඒක ඇහෙද්දි හංසි මගේ පැත්තට හැරුනෙ පැයට හැටේ වේගෙන්. ඔය නිව්ස් එක අපේ අක්කට ගියොත් ඉතිං මට බඩුම තමයි. කිසිම ගැලවිමක් නෑ..

"ඒ කතාව ඇත්තද රන්දු..? ඔයාට ගර්ල් කෙනෙක් ඉන්නවද..? ඇයි අපිට කිව්වෙ නැත්තේ..?"

ඕන ප්‍රශ්නයක් වරකට එක බැගින් ඇහුවනං ඉවරයිනේ සචී ප්‍රශ්න වැලක්ම ඇහුවෙ එක හුස්මට.

"ඔව් බං, ඒක ඇත්ත. හැබැයි තාම කියන්න තරම් කාලයක් උන්නෑ.."

මං සචීට පොඩි නයි පැටියෙක් ඇරලා බැලුවා. කෙල්ල බිම බලාගෙන කල්පනා කරනවා. මේකි ලණුව කාලා කියලා නියමෙට තේරුණා.

"සචී මට ඇත්ත කියන්න.. ඔයා කාටවත්ම ආදරේ කරන්නෙ නැද්ද..?"

මෙයාට කොල්ලෙක් නැති විත්තිය නං අපි දන්නවා. ඒත් කවුද දන්නෙ සචී නිරෝධව ලව්ද කියලා. කට්ටිය එකා දෙන්නා වෙන වෙනම කතාව. ඉතිං අපේ සංවාදෙ වෙන කවුරුවත් නම් අහං ඉදිනෙ නෑ කියලා දැනුන නිසා මං සචීගෙන් ඇහුවා.

"මං... මං... මං ආදරේ කරනවා රන්දු. ඒත් ඒක මං එයාට කියලා නෑ.."

මං හිතුවා හරි. නිරෝධ සචීට ලව්. ඒත් තාම කියලා නෑ. ඒ වගේම සචිත් ලව් කරන්නෙ නිරෝධටම වෙන්න ඇති. එයත් ඒක හිතේ තියන් ඉන්වා. මේ රන්දුට ඉතං සොරි ඩොට් කොම් තමයි.

"ඔයා ආදරේ කරන්නෙ අපේ සෙට් එකේ කාටහරි නේද..?"

මං හිමීට එහෙම අහද්දි කෙල්ලගෙ ලස්සන ඇස්වල කදුළු පිරිලා. ආදරේ හිතේ තියන් දුක් විදින එක කොයි තරම් අමාරුද කියලා මට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ. ඒ දුක මටත් දැනිලා තියෙනවා. ඊයෙ පෙරේදා අලුතෙන් ආපු කෙල්ලෙක් දිහා හොරෙන් බැලුවට පුංචි කාලෙ ඉදලා මං ළග හිටපු සචිනිට මං ආදරේ කරලා කියලා මට දැනුනෙ නිරෝධ අපේ ගෙදර නතර උන දවසෙ රෑ.  ඒත් මට ඒ පොත පෙරලන්නෙ නැතුවම වහලා දාන්න වෙලා. මං දැන් මගේ හොදම යාළුවෙක් උන නිරෝධට උදව් කරන්න පොරොන්දු වෙලා ඉවරයි.

"සචී මට ඇත්ත කියන්න සචී.."

"ඒ ගැන අහන්නෙපා රන්දු. මං දන්නෙ මං එයාට ගොඩක් ආදරෙයි කියලා විතරයි.."

මෙච්චර වෙලා සචීගෙ ඇස්වල පිරිලා තිබුණු කදුළු බිංදු නිදහසේ ගලාගෙන යද්දි එයා ඉස්සරහ සීට් එකට ඔලුව තියාගත්තා. කෙල්ලො කොයි තරම් අඩනවා දැකලා තිබුණත් සචීගෙ කදුළු ඉස්සරහ මගේ හිත උණු උනා.

"ඔයා ආදරෙයි කියනකන් එයා බලන් ඉන්නවා සචී. ඒක ඉක්මනට කියන්න.."

සචීගෙ සිනිදු අතක් උඩින් අත තියලා මං කියද්දි එයා මගේ අත තද කරලා අල්ලගත්තා. දැන් මේ රන්දු ෆුල් හොල්මං. මේ රෝස මල නිරෝධගෙ අතට දෙන්නෙ කොහොමද කියනෙක මං කොළඹට එනකල් කල්පනා කලා. මග නතර කරලා ආප්ප කාලා තේ බීලා ආපු නිසා ඉස්කෝලෙට එද්දි හයහමාර විතර උනා. අපි මගදි කෝල් කරපු හින්දා ගෙවල් වලින් ඇවිත් තිබුණට සාරංගටයි දිනුකටයි යන්න විදියක් තිබුණෙ නෑ.

"සාරංග උඹලා දෙන්නව අපේ වෑන් එකේ ගිහින් දාන්නද..?"

මං ඇහුවෙ උන්ව මග දාලා යන එක හොද නැති නිසා.. 

"නෑ බං තාම එචච්ර කළුවර වෙලත් නෑ නේ.. අපි ත්‍රීවිල් එකක යන්නම්..."

එහෙම කියලා උන් දෙන්නා පාර පැත්තට ගියා. කුමුදු මිස්ව ගෙදරට දාන්න සචී බාරගත්තා. 

"හංසි අක්කේ ඔයා යන්නෙ කොහොමද..?"

මං ඇහුවෙ එයා ගැන අහන්න මට යුතුකමක් තියෙනවා කියලා හිතුන නිසා. මොකද හංසි දැන් මට මගේ අක්කා වගේ තමයි.

"අපේ මල්ලි බයික් එකේ ඇවිත් ඉන්නේ. මං එයා එක්ක යන්නම්. ඔයාලා පරිස්සමින් යන්න.."

ගේට්ටුව ළග පල්සර් බයික් එකක් නතර කරලා තිබුණෙ හංසිගෙ මල්ලි වෙන්න ඇති. හැමෝම යන්න සෙට් වෙද්දි මං අපේ වෑන් එකට නැග්ගෙ විහගත් එක්ක. ඌට අද රෑ අපේ ගෙදර ඉන්න කිව්වත් මහන්සියි කියලා ගෙදර යන්න ඕන කිව්වා. ඌවත් ගෙදර දාලා අපි ගෙදර එද්දි හතහමාරට විතර ඇති.

"පොඩි පුතා කොහොමද ගමන..?"

මං වෑන් එකෙන් බහිද්දිම අම්මා අවිත් මගේ අත අල්ල ගත්තා. එයා ගොඩක් වෙලා පාර බලන් ඉන්න ඇති කියලා  මට හිතුණා ඒ මූණ දකිද්දිම.

"ගමන නම් නියමයි අම්මා.. හැබැයි හරිම මහන්සියි.."

"ගමන නියමයි කියලා තේරෙනවා කටහඩට වෙලා තියෙන දේ බලද්දි.  හරියට වචන පිටවෙන්නෙත් නෑ.."

අක්කා සුපුරුදු ගෝරනාඩුව දාලා මාව පිළිගත්තා. මග දිගට සිංදු කිය කිය ඇවිත් අක්කා කිව්වා වගේ මගේ උගුර බැරැන්ඩි වෙලා තිබුණෙ. ඉක්මනට ඇග සෝදපු මම රෑට කන්නෙත් නැතුව ඇදට පැන්නා.



No comments:

Post a Comment