Saturday, March 24, 2012

| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක |





සැකය යතාර්ථයක් බවට පත්වූයේ මා කිසිසේත්ම නොසිතූ මොහොතකය. ඒ වේලාවේ දිනූකා මිසුත්, මමත් කොල ගුලියක පලහිලව්වකට මහා හයියෙන් සිනාසිසි හිටියෙමු. ඇය කොල බෝලයකින් මට දමා ගසා කිසිවක් නොදන්නවා සේ අහක බලා සිටියාය. ගැසුවේ ඇය බැව් දන්නා නිසාම කොළ ගුලිය වැදුනත් නොවැදුනා සේ මම කරමින් සිටි කාර්යය දිගටම කළෙමි. හොරැහින් බලනා කළ ඇගේ පිපිරෙන්නට හදන සිනාව මට පෙනේ. එය ද නොදැක්කා සේ මම මේසයටම මූණ ඔබාගෙන ඇගේ හොරය අතටම අසුවන තුරු ඉවසා සිටියෙමි. නැවතත් ඇයගේ වම් අත ක්ෂනයකින් ඉහල යනවා මං යාන්තමට දුටිමි. මම දැනෙකින් බැරී බැලුවෙමි. වැඩේ අතේ මාට්ටුය. දිනූකා මිස් කොල බෝලය අතේ ගුලි කරගෙන සිනාසෙන්නට වූවාය. මම ද මහත් කැමැත්තකින් ඇයගේ සිනාව සමග එකතුවිමි.


කිසිවෙකු කාමරය තුලට ඇතුළු වනු දිනූකා මිසුත්, මාත් දැක්කේ එකවරය. කාමරයට පැමිණි පුද්ගලයා දුටු විගස මා ඉන්නෙ කොහිදැයි පවා මට අමතක විය. අවුලක්, ආබාධයක් නැත. මගේ ඉදිරිපිට සිටින්නේ මගේම කපාපු පලුවකි. කිසිම ඇදක්, කුදක් නැත. දිනූකා මිස් පුන පුනා කී දේවල්වල තේරුම ඔහුව දැකි ගමන්ම මට පසක් විය. මා දකිනා වාරයක් වාරයක් පාසාම දිනූකා මිස්ට ඇයගේ අතීථය සිහිපත් වන්නේ ඇයිදැයි කියා කීමට වෙනත් අවුටාටිකා අවශ්‍ය නැත. එයට හොදම නිදර්ශනය මගේ ඉදිරිපිට සිටියි.

"ප්‍ර... සා... ද්..."

දිනූකා මිස්ගේ හීන් කෙදිරියක් වැනි කටහඩ මට යාන්තමින් ඇසුණි. එය හරියට, කොහේදෝ ඈත ලෝකයකින් ගලා ආ සිහිනමය හඩක් පරිදිය. එහෙත් ප්‍රසාද් බලා සිටියේ මගේ මුහුණ දෙසය. ඒ වටකුරු දෙනෙත්වල තිබුණේ දැඩි විමසිලිමත් බවක්, මෙන්ම, දැඩි කල්පනාකාරී බවකි. එහෙත් මාගේ අහිංසකකම වෙනුවට ඔහු වෙතින් දිස් වූයේ මහා රපු පෙනුමකි.

"තමුසෙද ඊයෙ මගේ කෝල් එකට ආන්සර් කලේ..?"

ඔහු කෙලින්ම මගෙන් ඇසුවේය. මම දිනූකා මිස් දෙස බැලිමි. ඇයද සිටින්නේ බියෙන් වග ඒ ලාමක මුහුණ දුටු විට මට සිතිණි. ඒත් ඇය බිය වන්නේ කුමකටද..? වන්ඩි හතර පස් දෙනෙකුට නැවතත් මුදල් දී ප්‍රසාද්ගේ මුහුණ කට සමතලා කරන්නට ඇයට බැරිද..? සමහර විට ඇයගේ මනසේ මේ වේලාවේ ඔහුත් සමග ගත කළ සොදුරු මතකයන් සිහිපත් වනවා වන්නට ඇත. ඒ නිසාම ඉහත මා සිතූ දෙය ක්‍රියාවට නංවාගත නොහැකිව ඇය ලතවන්නට ඇත.

"මොකද මං අහපු දේ තමුසෙට ඇහුණෙ නැද්ද..?"

තවත් ඔහු මගේ ළගට ලංවෙද්දී, මම නැවතත් දිනූකා මිස් දෙස බැලුවෙමි. මා මේ අවස්ථාවේදී කුමක් කළ යුතුද..? ඇයගේ දෑස නම් මට පැවසුවේ ඇත්ත නම් කිසිවිටෙකත් නොකියන ලෙසයි.

"ඊයෙ මං වැඩට ආවෙ නෑ. ඒක හින්දා ඔයා කියන කිසිම දෙයක් මං දන්නෑ.."

"හ්ම්.. ඒකත් එහෙමද..? තමුසෙ දිහා බැලුවාම නම්, බලන් ඉන්න තරම් වටිනවා.. හැබැයි එ දෙයක් හින්දා මට මේ වෙලාවේ පුංචි සතුටක් එනවා.. ඒ තමයි තමුසෙත් මං වගේ වෙච්ච එක.. ඒ හින්ද වෙන්නැති මෙයා තමුසෙව මේ අස්සෙ තියාගෙන ඉන්නේ.."

ඔහු තවත් මොනවදෝ වේගයෙන් ගියවාගෙන ගියේය. අනතුරුව තමාට සමාන තවත් අයකු සිටීම ගැන ප්‍රසාද් වැඩි වේලාවක් පුදුමයට පත් නොවීය. ඔහු දිනූකා මිස් දෙසට හැරෙද්දී මම හිරිවැටී ගියෙමි.

"දි.. නූ..."

ඔහුගෙන ඒ නම පිටවූ ආදරණීය විලාසය නිසා මම තවත් වරක් දැවී ගියෙමි. දෙවියනේ... මේ වෙන්නට යන්නේ මොනවාද..?

"දිනූ.. දෙයියන්ගෙ නාමෙට මං දිහා බලන්න.."

ඔවුන් දෙදෙනා අතර පරතරය අඩියක් පමණ වන්නට ඇත. මේ මොහොතේම, මුලු ලොවම මාත් සමග විනාශ වී යනවා නම්..? හදවත පුලුස්සා දමන මේ වේදනාවන් සමග මා මිය යනවා නම්..? කොතරම් හොදදැයි මට සිතේ..

"ම.. මට ඔයත්තෙක්ක කතාවක් නෑ ප්‍රසාද්.. ප්ලීස්.. මෙතනින් යන්න.."

මා දිනූකා මිස් වෙතින් බලාපොරොත්තු වූයේ ප්‍රසාද්ගේ ඇගටම කඩාපනින තත්වයකි. එහෙත් මොන කරුමයක් නිසාදෝ එය වූයේ නැත. ඇය කතා කළේද හැඩුම්බර ස්වභාවයකිනි. දෙවියනේ ඇයට ප්‍රසාද්ව එපාවී නැද්ද..? මෙතුවක් පිරී තිබූ වෛරය හා තරහව ප්‍රසාද් දුටු සැනින් සේදී ගියාද..?

"දිනූ.. පිරිමියෙක්, ගෑනියෙක් ඉස්සරහ මෙච්චර බැගෑපත් වෙන්නෑ.. ඒත් මං ඔයා ඉස්සරහ ඕනෙවටත් වැඩිය බැගෑපත් වෙලා තියෙනවා.. ප්ලීස්.. මං කියන දේ අහන්න.. පහුවෙච්චි හැම දෙයක්ම අමතක කරලා අපි ආපහු එකතුවෙමු. අපිට ආයෙත් සංතෝසෙන් ඉන්න පුළුවන් වේවි."       

මම සිය දහස් වරක් දැවී ගියෙමි. ඔහු කරනා මේ යෝජනා දිනූකා මිස් පිළිගනීවිද යන්න මම නොදනිමි. එහෙත් මගේ සිත රිදුනේ එයට නොවේ. කිසිවක් නොදන්නා අමුම අමු තොත්ත බබෙකු සේ ඔහු කරනා යෝජනාවන්ටය. දිනූකා මිස්ගේ බිදී ගිය සිත සෑදීමට මා කොතරම් වෙහෙස මහන්දියක් වූවාද කියා දන්නේ මා පමණි. ඒ සියලු දෑ මා කලේ මේ මුළු තුන් ලොවටම හොර රහසේය. කොතනකවත් ඒ පිළිබදව සටහනක් නැත්තේ ඒ නිසාය. කරුණු සිද්ධ වේගෙන යන ආකාරයට දිනූකා මිස්ටත් ඒ ගැන අමතක වී ඇති හැඩය. ඇයව සතුටින් තැබීමට මා කළ කී දෑ අපමණය.

"ප්‍රසාද්..! ඔයා හැම දෙයක්ම විනාශ කරලා දාලා ගිහින් දැන් මගේ ඉස්සරහට ඇවිල්ලා මොනව කිව්වත් වැඩක් නෑ.. මං හුගාක් අමාරුවෙන් හිත හදාගත්තේ.. පහුවෙච්ච හැමදේම අමතක කරලා දාමු කියලා ඔයා දැන් මට කිව්වා.. ඔව්.. ඔයා කියන්නත් කලින්ම මං ඒ අතීතෙ අමතක කළා.. හැබැයි ඒ ඔයත්තෙක්කම.."

ප්‍රසාද්ගෙ මුහුණ සුදුමැලි වී විරූපීව ගියේය. මේ තරම්ම තදබල ප්‍රහාරයක් දිනූකා මිස් වෙතින් එල්ලවේ යැයි ඔහු කිසිවිටකත් සිතන්නට නැත. ගෙවී ගිය අතීථයේ දේවල් සිදුවූ ආකාරයටම ඇයව පහසුවෙන් නම්මා ගත හැකි යැයි ඔහු සිතන්නට ඇත.

"මාත් එක්කම අමතක කරා..? නෑ දිනූ.. ඔයාට කවදාවත් ඒ දේ කරන්න බෑ.. මට ඔයාගෙ ඇස් දෙක දිහා බැලුවාම තේරෙනවා ඔයාට ඒ කිසිදෙයක් අමතක වෙලා නෑ කියලා. වැඩිය ඕන්නෑ.. ඔයා මේ යකාව ඉස්සරහින් තියාගෙන ඉන්නෙ ඔයාගෙයි, මගෙයි අතීතෙ නිතරම මතක් කරන්නනේ.. ඔයාට ඒ අතීතය අමතක කරල දාන්න බැරි හන්දනේ.."

"ඔයාට හුගක් වැරදිලා ප්‍රසාද්.. වෙන ගෑනුත් එක්ක නාඩගම් නටනකොට, මගේ සල්ලි අරගෙන ක්ලබ් ගානෙ යනකොට, මාව බැල්ලියෙක් ගානට දාලා මිනිස්සු ඉස්සරහ සවුත්තු කරනකොට, මං පිස්සියෙක් වගේ ඔයාගෙ කකුල් දෙක අල්ලගෙන අඩනකොට, ඔයාට දිනූකා කියලා පණ තියෙන ගෑනියෙක් ඉන්නවද කියලත් අමතක වුණා. ඔයා මට කැත විදියට සලකපු විදිය, මාව ප්‍රතික්ෂේප කරපු විදිය, මම අතීතෙ අමතක කරත්, අමතක වෙන්නෑ. ඒක හින්දා දැන් කරුණාකරලා මෙතනින් යන්න.. මට වැඩ තියෙනවා.."

"ඇ.. ඇයි දිනූ ඔහොම කතා කරන්නෙ.. සිද්ධ වෙච්ච හැමදේකටම මං ඔයාගෙන් සමාව ගත්තනේ.. ඇයි මට මෙහෙම වද දෙන්නේ.. මං මේ ඇවිත් ඉන්නෙ අවුරුදු ගානකින් නේද..? නොදන්නා කාලෙදි නොතේරුම්කම් වලට සිද්ධ වුණු දේවල් මතක තියන් ඉදලා ඇයි මට රිද්දන්නේ.. මං ඔයාට එදා වගේම තාමත් ආදරෙයි දිනූ.. අනේ මට එහෙම කරන්නෙපා.."

හැඩුම්බර ස්වරයකින් ප්‍රසාද් කියවගෙන යයි.. වචනවල ඇත්තේ බැගෑපත් බවක් වුවත් ඒ අතරේ පිරී ඇති වංචාකාරී බව මට හොදින්ම පෙනේ.. ඔහු මේ කියවන්නේ කකට ඔහේ එන වචනය. ඒවා බිංදුවක්වත් පිරිසිදු නැත. ඒත් දිනූකා මිස්, ප්‍රසාද් මේ කියනා දේවල් කෙසේ පිළිගනීවිදැයි සිතෙන විට මට මහා බියක් දැනේ.. ඇයගේ ලාමක සිත නැවතත් ප්‍රසාද්ගේ වචන වලට රැවටී යයිද..? 

"මං දැන් එක පාරක් කිව්වනේ.. කරුණාකරලා මට තවත් මද දෙන්නෙ නැතුව මෙතනින් යන්න.. මං ඔයාව විතරක් නෙමෙයි.. ඔයාගෙ ආත්මෙත් එක්කම අමතක කරලයි තියෙන්නේ.."

බලා සිටිද්දීම ප්‍රසාද්ගේ මුව වේදනාවෙන් ඇදවී ගියේය. මොහු දැන් මෙතනින් යනවා නම් හොදය. මේ වැඩෙන් වෙන්නේ මුළු ආයතනයම දිනූකා මිස්ගේ පළහිලව්ව ගැන දැන ගන්නා එකය. මා කුමක් හෝ කළ යුතු බව සැබෑය. එහෙත් මා කුමක් නම් කරන්නද..? දිනූකා මිස් කෙරේ ඇති බැදීම, ලෙංගතුකම, ආදරය සිත පෙරල පෙරලා නැගී සිටිද්දී මම අපමණ දුකින් සිතුවෙමි.

"මං මේ අන්තිම පාරටයි කියන්නෙ දිනූ.. ප්ලීස්.. අපි ආයෙ එකතුවෙමු. ඔයා දන්නවනේ මට ඔයා නැතුව ඉන්න බෑ කියලා.. මට ඔයත්තෙක්ක ආයෙත් ජීවිතේ පටන් ගන්න ඕන.. මට ජීවිතේ වැරදුන එක ඇත්ත දිනූ.. ඒත් ඒක හැමදාම ඉස්සරහට අරගෙන මාව රිද්දන්න එපා.. මට හැදෙන්න එක අවස්ථාවක් දීලා බලන්න.. මං ඔයාට ඉස්සර වගේම තාමත් ආදරෙයි දෙයියනේ.. අවුරුදු ගානක් දකින්නෙ නැතුව ඉදල, ඇස් දෙක ළගටම ආදරේ කියාගෙන ආපු මට ඔයා මෙහෙමද සළකන්නේ..? අනේ ඉස්සර වගේ මං දිහා බලල එක පාරක් ආදරෙන් හිනාවෙන්න.. ඔයා මගේනේ දිනූ.. අපිව වෙන් කරන්න කාටවත්ම බෑ.."

එතැන් සිට ගෙවී ගියේ අල්පෙනෙත්තක් බිමට වැටුණද ඇසෙනා තරම් සුමට නිහැඩියාවකි. කුමක් කළ යුතුදැයි, කුමක් කිවයුතුදැයි තෝරා බේරා ගැනීමට බැරිවදෝ දිනූකා මිස් ඔහේ බලා සිටියාය. මැලවී, පරවී ඇති ඒ රූමත් මුහුණ දකිනා වාරයක් වාරයක් පාසාම මගේ සිත දැවී යයි. ඇය සිටිය යුත්තේ ලස්සනට සිනා සිසිය. පසුගිය දවස්වල අප දෙදෙනා අපමණ ප්‍රීතියකින් දවස් ගෙවා දැමුවෙමු. ඒ දවස් සිහිවී මම වේදනාවෙන් ඇඹරී ගියෙමු. දෙවියනේ... එවැනි සොදුරු දවස් ආයෙමත් මේ දුප්පත් කාංචනගේ ඇස් ඉස්සරහට පැමිණෙන්නේ නැද්ද..? මේ පැමිණ සිටින කාලකණ්නි සත්වයා ඒ හැම දවසක්ම අපගෙන් උදුරා යාවිද..?

"ඔයා සුරංගනා කතා කියලා මාව ආයෙත් රවට්ටන්න හදන්නෙපා ප්‍රසාද්.. මං ආයෙ රැවටෙන්නෑ.. ඔයා මොන දේ කිව්වත් දැන් වැඩක් නෑ.. ඉස්සෙල්ලා කිව්ව වගේම මං දැන් හිත හදාගෙනයි ඉන්නේ.. ඒක හින්ද කරුණාකරලා මට වද නොදී මෙතනින් යන්න. ඔයාට ආයෙ මගෙන් ලැබෙන දෙයක් නෑ.. මං මේ අන්තිම පාරටයි කියන්නේ.."

මගේ සිත උඩට සහසක් බලාපොරොත්තු පුරවා දමමින් දිනූකා මිස් කීවාය. දැන් නම් ඉතිං මට මොන හෙනයක් පාත් වුවත් කමක් නැත. දිනූඛා මිස් එක එල්ලයේම ප්‍රසාද්ව ප්‍රතික්ෂේප කර හමාරය. මම අපමණ සතුටකින් ප්‍රසාද්ගේ මුහුණ දෙස බැලිමි. මුහුණ දැන් කර වී ගිය කඩදාසියක් පරිදිය. ඔහු දැන් කළ යුත්තේ හංසයා සේ ඇතුලට ආවාට, පාත්තයකු සේ පිටවී යාම නොවේද...?

"මාත් මේ අන්තිම පාරටයි ඔයාට කියන්නේ.. අපි දෙන්නා ආයෙ එකතුවෙමු.."

"තවත් කතා කරන්න දෙයක් නෑ.. මෙතනින් පුළුවන් තරම් ඉක්මනට ගියොත් හොදයි.."

"නොගියොත්..?"

සාක්කු දෙකට දෑතම ඔබා ගන්නා අතරතුරේ ඔහු දිනූකා මිස්ට ලංව ඇසුවේය. දැන් කුමකින් කුමක්වේදැයි කිව නොහැකි බැවින් මම හීන් සීරුවේ හුන් තැනින් මදක් මෑත්විමි. මේ යකා දිනූකා මිස්ට ගහන්නවත් බැරි නැත. එවැනි පෙණුමක් ඒ මුඩු මුහුණේ වෙයි.

"නොගියොත් මං සිකියුරිටි එකට කියලා තමුසෙව බල්ලෙක් වගේ එලියට ඇදල දානව.. තේරුණානේ.. හොදට මතක තියාගන්නවා.. තමුසෙගෙයි, මගෙයි කිසිම ගණුදෙනුවක් නෑ.. මං මෙච්චර වෙලා හොදට කතා කරේ, මගේ මනුස්සකම හින්දා.. ඒත් හරිනම් තමුසෙ වගේ අමනුස්සයෙක්ව මේ පැත්ත පළාතකවත් වැද්ද ගන්න හොද නෑ.. තමුසෙට ලැජ්ජ නැද්ද මිනිහෝ.. ගෑනු සීයක් එක්ක විතර බුදියගෙන ඉදලා ඇවිත් මගේ ආදරේ හිගාකන්න.."

ඉවසා බැරිම තැන දිනූකා මිස් ආචාර වෙඩි මුරය පත්තු කලාය. ඒ කතාව නම් පට්ටය. එකසිය ගානට ෆිටේ ෆිට් කතාවකි. කතා කරනවා නම් කතා කළ යුත්තේ ඔන්න ඔය ලෙසටය. කොටින්ම අනිකාට කක්කුස්සි බැර හැදෙන ආකාරයටය.

ඇත්තටම මා සිටියේ පස්වනක් ප්‍රීතියෙන් පිනා යමිනි. වීරයකු සේ ලොකු කතා කියමින් කාමරයට පැමිණි ප්‍රසාද්ට දැන් සිදුවී ඇත්තේ නැට්ට කකුල් දෙක අස්සේ ඔබාගන්නටය. එසේ ඔබාගෙන අපේ හූ හඩ මැද්දේ මෙතැනින් පැන දුවන්නටය.

එහෙත් තත්පරයක් දෙකක් ගතවී යද්දී ප්‍රසාද්ගේ අත ඔබාගෙන තිබූ කලිසම් සාක්කුවෙන්, ඒ අත එළියට ආවේ දිග පිහියක් සමගින් බව දැක මගේ පපුව සීතල වී ගියේය. දෙවියනේ.. මේ කාලකන්නියා කරන්නට සැරසෙන්නේ කුමක්ද..? මේකා හදන්නේ දිනූකා මිස්ට පිහියෙන් ඇන මරා දමන්නටද..? කලින් සිත තුළ උතුරා යමින් තිබූ ප්‍රීතිය සැනෙකින් දියවී මහා අදුරු ආගාධයකට මා ඇද දැමීය. තිබූ සතුට මෙන් දෙතුන් ගුණයක බයකින් මම වෙව්ලා ගියෙමි.

"මාව එළියට දාන්න උඹට බෑ දිනූකා.. උඹ කිව්ව වගේම මං අද උඹ ළගට ආවේ, උඹේ ආදරේ හිගාකන්න තමයි.. හොදට මතක තියාගනිං.. උඹව මට අයිති වෙන්නැත්නම් වෙන කාටවත් උඹව අයිති කරගන්න මං ඉඩ දෙන්නෑ යකෝ..."

ප්‍රසාද් අඩියට දෙකට නැවත දිනූකා මිස්ට ලංවෙද්දී ඇය කාංචන කියා කෑගැසුවාය. තවත් නම් බලා සිටින්නට නොහැක. මේ බලා සිටියා හොදටම ඇතිය. මිස්ට පුංචි කරදරයක් වෙන්න මං ඉඩ තියන්නෑ.. කියා ඇයට පොරොන්දු වී තවම පැය විසිහතරක් වත් ගතවී නොමැත. මා මගෙ වචනය ඇයට ඉෂ්ඨ කළ යුතුය. වෙන දෙයක් උනාවේ, කියා මා ප්‍රසාද් මතට පැමිණියෙමි.

බලාපොරොත්තු නොවූ මේ හදිසි ප්‍රහාරයෙන් ප්‍රසාද් එකවරම හැරුනේ මගේ දෙසටය. ඔහු ඉතා හොදින් සටනට සූදානම් වී සිටින බවක් මට තේරුම් ගියේය. එහෙත් අසරණ මා කිසිදා සටන් කර තිබූ අයෙක් නොවෙමි. මට ඒ සම්බන්ධව කිසිදු අත්දැකීමක්වත් නැත. අඩුම තරමේ අතින් පයින් ගහගන්නා තැනකවත් මම කිසිදිනක සිට නොමැත.

එහෙත් දිනූකා මිස් වෙනුවෙන් මම මගේ ජීවිතය ගැනද නොතකා ප්‍රසාද්ව මැඩලීමට ඉදිරිපත් වී සිටියෙමි ඇත්තෙන්ම එය ඉතා තියුනු සටනක් විය. මගෙ අතේ කිසිදු ආයුධයක් තිබුණේ නැත. ප්‍රසාද්ගේ දෑස, මිනිසකු මැරීමේ මහ විශාල ආශාවන් උතුරා යන්නට පටන්ගෙන තිබිණි.

දිනූකා මිස්ගේ කෑගැසීමෙන් පුබුදු ඇතළු තවත් කීප දෙනෙකු කාමරයේ දොරකඩින් එබෙනු මම යාංතමින් දුටිමි. ඇත්තටම දිනූකා මිස් සිටියේ ගිරිය යටින් කෑගසමින්ය. පුබුදු අප වෙතට සැනෙකින් දුව අතර, මා උත්සාහ කළේ ප්‍රසාද් අතේ තිබූ පිහිය උදුරා ගැනීමටය. එහෙත් ඔහු වෑයම් කලේ එයින් මට ඇනීමටය. අවසානයේ වූයේ මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයකි.

වැරදීමකින් හෝ වෙනත් කුමනාකාරයේ දෛවයේ හේතුවකින් පිහිතලය ප්‍රසාද්ගේ ලග මත ගැඹුරටම කිදා බැස්සේය. සිදුවූ දේ ගැන කිසිවක් සිතා ගැනීමට නොහැකිව මම බියෙන් පිටුපසට පැන්නෙමි. කට ඇදවී මුහුණ විරූපි වී යන ප්‍රසාද්ගේ මුහුණ මගේ මතකයට ගෙන ආවේ අති භයංකර රූප පෙලකි. දිනූකා මිස් ඒ වනවිටත් කෑ ගසමින් සිටියාය. කාපට් එක මතට වෑස්සෙමින් තිබූ ප්‍රසාද්ගේ රතු පාට ලේ දහරාවන් මගේ සිත මහත් කම්පනයට පත් කරවන්නක් විය. සිතා මතා කළ දෙයක් නොවුවද මා මෙයට අනිවාර්යෙන්ම වැරදි කරුවකු වන බව සිතට දැනෙද්දී මගේ මුළු ඇගම අප්‍රාණික වනු මට දැනිණි. අවසානයේ මට මතක දිනූකා මිස්ගේ හැඩුම්බර මුහුණත්, පුබුදු ඇතුළු සේවකයින්ගේ ගාලගෝට්ටියත්, සිහිනයකින් ගෑ මුදු සුවදක් මෙන් දැනුණු දිනූකා මිස්ගේ විලවුන් සුවදත්ය. මම සිහිසුන්ව බිම ඇද වැටුණෙමි.



 

No comments:

Post a Comment