Friday, March 16, 2012

| නෙතු හැඩුවා ඔබට හොරා | යෞවන සමින්ද්‍ර රත්නායක |






ෆොක්ස් හීල් තරගාවලිය නිමවී දින දෙකක් නික්ම ගියද, අවිනාශ් බලාපොරොත්තු වූ පරිදි කිසිවක්ම සිදුවූයේ නැත. ඒ කියන්නෙ තමා සිතූ පරිදි  මෙය ඒතරම් ගත යුත්තක් නොමැති තර්ජනයක් බවද..? අඩුම තරමේ තරගය අවසාන වීමෙන් පසුව නික්ම ගිය ඩිල්ෂාන්වත්, අවිනාශ්ව හමුවීමට පැමිණ තිබුණේ නැත. වරක් හෝ දෙවරක් ඔහු ඩිල්ෂාන්ව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද ඩිල්ෂාන්ගේ දුරකථනය ක්‍රියාවිරහිත කර තිබිණි. දිලීකාව මුණ ගැසීමට අවිනාශ්ගෙන් සිතේ දැඩි කැමැත්තක් තිබුණද එයට අවස්ථාවක් උදාවූයේ නැත. කෙසේ වෙතත් දිලීකා දැකගැනීමට, ඩිල්ෂාන්ගේ නිවසට යා යුතු බැව් සිතට දැනෙද්දී ඔහුගේ සිතේ පැණ නැගුණේ, කිසියම් වූ නොරිස්සුමකි..


එහෙත් මේ නොරිස්සුම මැදින් වුවත් තමාට දැනෙනා මේ සොදුරු හැගීම, දිලීකාටත් දැනෙනවා යැයි තමාට සිතිය හැකිද..? ඇය තමා දුටු විට ලෙංගතුකමින් කතාබහ කරනවා විය හැකිය. තරගයට පෙරදින පැමිණ තමාට සුභ පතා ඉදිරියේ ඇතිවිය හැකි අනතුර පිළිබදව තමා දැනුවත් කළ බවත් සැබෑය. එහෙත් ඒ සියලු දෙයම ඇය කළේ, තමා ඇයව අර නරුමයින්ගෙන් බේරා ගැනීම නිසා එයට කෘතඤ්ඤතාවය පුද කිරීමට විය  හැකිය.

දිලීකාව දැක බලා ගැනීමට සිතේ ඇශාව ඇති මහත් වුවත් අවිනාශ්ගේ සිත කළඹා දැමුවේ එම සිතුවිලි කන්දරාවයි. අනෙක් දෙය නම් ඩිල්ෂාන් මෙතුවක් දවස්, තමා හමුවීමට නොපැමිණිමයි. දිලීකා සම්බන්ධයෙන් මෙන්ම, එතනත් කුමක් හෝ ගැටලුවක් පැන නැගී ඇති බැව් අවිනාශ්ගේ සිතට තරයේම දැනී තිබිණි. ඩිල්ෂාන්ට අනිවාර්‍යයෙන්ම කුමක් හෝ අවුලක් පැන නැගී ඇතුවාට කිසිම සැකයක් නැත. එසේ නොමැති නම් ඩිල්ෂාන් වැනි විශ්වාසවන්ත පුද්ගලයෙකු මෙලෙස එකවරම නිහඩ වන්නේ නැත. මොනවා වෙන්නට හෝ ඩ්ල්ෂාන්ව ප්‍රථමයෙන් හමුවුවහොත් නරකද යව සිතුවිල්ල සිත උඩටම විත් නතරව මග බලා සිටියේය.

එහෙත් අවිනාශ්, ඩිල්ෂාන්ව හමුවීමට පෙර ඔහු හමුවීමට සිකිසේත්ම බලාපොරොත්තුවක් තනා නොතිබූ කෙනෙකු අවිනාශ්ව හමුවීමට පැමිණ සිටියේය. නිවසේ ආලින්දයට වී වටපිට බලමින් සිටි අමුත්තිය දුටු අවිනාශ්ගේ දෑස විසල් වී ගියේය..

"රොමේෂි..?"

"ම්.. එහෙනම් චෑම්ප්ට මගේ නම අමතක නෑ."

"අපි හම්බවෙලා වැඩි දවසක් ගියේ නෑනේ."

"ඒ කියන්නෙ වැඩි දවසක් ගියා නම් මාව අමතක වෙනවා කියන එක..?"

"ම්.. එහෙම වෙන්නත් පුළුවන්.. ඒත් ඔයා මට ලොකු උදව්වක් කරපු හින්දා එහෙම අමතක වෙන්න විදියක් නෑ.. අනික මොන දේ උනත් මගේ හිතේ කෙළහි ගුණය කියන දේ තියෙනවා.."

"හම්මෝ.. මං හිතන් හිටියට වැඩිය ඔයාට කතා කරන්න පුළුවන් නේ.."

"අයි මං ගොළුවෙක් කියලද හිතන් හිටියේ...?"

"අනේ නෑ....."

රොමේෂි ආලින්දයේ සිටම නිවස තුළට එබී බැලුවාය. අවිනාශ්ගේ පරික්ෂාකාරි බැල්මට එය වහා අසුවිය. මේ වෙලාවෙ ඇයව නිවස තුලට ගැනීම හරිද යන පැනය ඉදිරියේ අවිනාශ් මදක් නතර වී බලා සිටියේය. රොමේෂි ඔහුගේ ෆොක්ස්හීල් ජයග්‍රහණයට පාර කපා තිබුණද, මේ අවස්ථාවේදී අවිනාශ්ගේ සිත ඔහුට අනතුරු ඇගවුවේය. අවිනාශ් තත්පරයකට රොමේෂිවත්, දිලීකාවත් තරාදියක දෙපැත්තට දමා සිතින් කිරා මැන බැලුවේය. එහිදි දිලීකාගේ පැත්ත බොහෝ සෙයින් බර වැඩිවූ අතර, රොමේෂි තුළ ඇත්තේ සෙල්ලක්කාරකමක් මුසු අනුරාගයට වඩාත් ලංවූ ඉරියව් බැව් ඔහුගේ තීක්ෂණ දෙනෙත වහ වහා අදුනා ගත්තේය.

"අවිනාශ්ට ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් ඉන්නවද..?"

අවිනාශ් යමක් කියන්නට ප්‍රථම ගෙට ඇතුළු වී සෝපාවෙහි අසුන්ගත් ෂිරෝමි ඇසුවාය.

"ඇයි...?"

"ඇයි කියලා අහන්නේ..? එහෙම අහපු එක වැරදිද..?"

"වැරැද්දක් නම් නෑ.."

"එහෙනම් ඉතින් උත්තරයක් දෙන්නකෝ.."

"ඒ ඇයි.."

"එහෙම තමයි.."

"ඔන්න.. ඔන්න.. ඔයාට ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් නෑ කියලා නම් බොරුවට කියන්න එපා. අඩුගානේ දහ දොළොස් දෙනෙක් හරි, සමහර විට ඊටත් වැඩියෙන් හරි ඇති.."

මේ සොදුරු රුවැත්තිය තමා මැන ඇති වැරදි මිම්ම ගැන අවිනාශ්ගේ සිත තුළින් පැණ නැගුණේ දැඩි නොරිස්සුමකි. එහෙත් උණු  හින්දා බොන්නටත් බැරි, කිරි හින්දා අහක දාන්නත් බැරි තත්වයක් තමාට ඉදිරියෙන් ඇති බැව් ඔහු වටහා ගත්තේය. කෙවෙුවත් කිරි වුණත් තමාට දිරවන්නේ නැත්නම් අහක දැමීම අවිනාශ්ගේ සිරිත බැව් බොහෝ දෙනෙකු දැන සිටියෙ නැත. ඔහුට ආවේණික වූ එඩිතර ගතිගුණ මෙන්ම අන් අය සතු නොමැති වූ හොද පුරුදු බොහෝ ගණනාවක් අවිනාශ් තුළ විය. ඔහුගේ උසස් සිතිවිලි වලට මූලික හැඩ තල නිර්මාණය වූයේ ඒ ඇසුරෙනි. එසේ නොමැති නම් මෙවැනි අවස්ථාවක, මෙවැනි රුවැත්තියක් සමග තනිවූ වෙනත් තරුණයෙකු සිටියා නම් මේ වනවිට සිදුවිය යුතු සියල්ලම සිදුවී අවසානය. ඉතිරිව ඇත්තේ විවාහ රෙජිස්ටාර් ළගට යෑම පමණකි. එහෙත් අවිනාශ් එවැනි අයකු නොවේ. ඔහු බලා සිටියේ රොමේෂි නිවෙසින් පිටවී යනතුරුය.

"ඇයි අවිනාශ්... සද්ද නැත්තේ..?"

"මං මේ ඔයා කතා කරනකල් බලන් හිටියේ..."

"ඉතිං මං අහපු ප්‍රශ්නෙට උත්තරේ හම්බවුනේ නෑ නේ.."

"මොකක්ද..?"

"බලන්න ඉතිං.. ඒකත් ඔය ඩිංගට අමතක උනාද..? හරිම ළමයෙක් තමයි..  මං ඇහුවෙ ඔයාට ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා.."

"ඔව්.."

දෙවරක් නොසිතාම අවිනාශ් කියා දැමුවේය. අවදානමක් පැමිණියහොත් එය පසුවට කල් තැබිය හැක. පසුව පැමිණෙන අවදානමට වඩාමේ උදාවී ඇති වර්තමානය භයානකය.

"මං හිතුවා.. මං හිතුවා.. අනේ අවිනාශ්.. මට දැනගන්න පුලුවන්ද කවුද ඒ වාසනාවන්තිය කියලා.."

"ඒක තාම රහසක්.. ඒ දේ ඔයාට කියන්න ඕන කියලා මං හිතන්නෑ.. ඔයාගෙ ප්‍රශ්නෙට හොද උත්තරයක් හම්බ උනානේ.."

"එහෙම හරි නෑ අවිනාශ්.. අපි දැන් හොද යාළුවොනේ.. මාත් ඔයාට හුගාක්ම කැමතියි.. සමහරවිට ඔයාගේ ගර්ල් ෆෙන්ඩ්ටත් වැඩිය මං ඔයාට කැමති ඇති. සමහර විට ඔයාගෙ ගර්ල් ෆෙන්ඩ්ටත් වැඩිය මං ඔයාට ආදරෙත් ඇති.."

රොමේෂිගෙන් පිටවූ වදන් වලින් අවිනාශ් මොහොතකට තිගැස්සී ගියේය. තමා සිතූ ආකාරය අතිශයින් නිවැරදිය. ඇය ක්‍රියා කර ඇත්තේ යම් අරමුණක් සිතේ තබාගෙනය. එය මේ මොහොතේ සැකයකින් තොරව කරළියට පැමිණ තිබෙයි. තමා මේ මොහොතේ වඩාත් ඉවසිලිවන්ත විය යුතු බව ඔහු තම සිතට තරයේ දැනුම් දුන්නේය.

"ඒක නම් මං දන්නෑ රොමේෂි. මට එහෙම දෙයක් දැනිලත් නෑ.. අනික මං ඔයාව දන්නෙත් ෆොක්ස් හීල් රේස් එක ඕපනින් දවසෙ ඉදලා.. බලන්න තවම දවස් කීයද..? ඔහොම දැකලා දවසකින් දෙකකින් හිතට එන අදහස් සම්පූර්ණයෙන්ම වරදින්න පුළුවන්.."

"එහෙම වෙන්නෑ අවිනාශ්.." 

"ඇයි...?"

"ඔයා මං දන්නෙ අවුරුදු ගාණක ඉදලා හන්දා.. සමහර විට ඔයාගෙ ජීවතේ ඔයා නොදන්න දේවල් පවා මං දන්නවා ඇති.."

"ඔයා මොනවා ගැනද මේ කියවන්නේ..?"

"මං ඒවා පස්සෙ දවසක කියන්නම්. ඔයා විශ්වාස කරන්න.. මං ඔයාව අවුරුදු පහකටත් වැඩි කාලෙක ඉදලා ඉතාම හොදට දන්නවා කියලා. ඒ වගේම ඔයාට ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් නෑ කියලා මට ඕන තැනක දිව්රලා කියන්නත් පුළුවන්. මොකද මේ ගෙවිල ගියපු අවුරුදු පහ ඇතුළෙදි ඔයා ගර්ල් කෙනෙක් එක්ක, හොටෙල් එහෙකටවත් යනවා මට අහුවුනේ නැති හින්දා.."

"ඒ කියන්නෙ ඔයා මාව ෆලෝව් කරා කියන එකද..?"

"ඔව්.. මං ඔයා ගැන හුගක් හෙව්වා.."

"ඇයි.. ඒ...?"

"කෙලින්ම, කොටින්ම කියනවා නම් ඔයාව දැකපු ඉස්සෙල්ලම දවසෙ ඉදලම, මං ඔයාට ආදරේ කරපු නිසා.."

අවිනාශ්ගේ සිතේ මෙතුවක් වේලා සන්සුන්කමින් නිස්කලංකයේ බැදී තිබූ බැමි එකින් එක බිදී යන්නට පටන් ගත්තේය. කතාව පටන් ගත් ආකාරයට මෙහි මෙවැනි අවසානයක් ඇති යැයි ඔහු කිසිවිටක නොසිතුවේය. රොමේෂි මේ කිසිදු බියක් සැකයක් නැතිව කියන්නේ, ගතවූ අවුරුදු පහ තුළ තමාගේ කුදු මහත් සෑම කටයුත්තක්ම පිටපස ඇය ආ බව නොවේද..? එසේම ඇය ඉතා එඩිතරව, ඉතා විශිෂ්ඨ ආකාරයෙන් කතාව මැදදීම සැහැල්ලුවෙන් එය ඉදිරිපත් කළාද කිවහොත් අවිනාශ් මොහොතකට ගල් ගැසුණේය..

"ඔයා මට ආදරේ කරාට වැඩක් නෑ රොමේෂි.."

"ඇයි...?"

"මං ආදරේ කරන කෙනෙක් ඉන්න හන්දා.. අපි හුගාක් ආදරෙන් ඉන්න හන්දා.."

රොමේෂිගේ මුහුන බලා සිටියදීම සුදුහැලි පැහැයට හැරිණි. එහෙත් ඇය දක්ෂ ලෙස තම හැගීම් සගවා ගත්තේය..

"මං ඒක පිළිගන්නෑ අවිනාශ්.."

"ඇයි...?"

"මට ඒ වගේ ආරංචියක් ඇවිල්ලා නැති හින්දා.. අනික තාමට ඔයාට කෙල්ලෙක් නෑ කියලා මං ස්ථීරෙටම විශ්වාස කරන හින්දා.."

"එහෙනම් ඉතිං මට කරන්න දෙයක් නෑ.. ඔයා ඕන දෙයක් හිතාගන්න.."

"මට එයාව මීට් කරන්න පුළුවන්ද..?"

"ඒ ඇයි..?"

"මට විශ්වාස කරන්න පුළුවන් එතකොටයි.."

"ඒ කියන්නෙ ඔයාට මාව විශ්වාස නෑ.."

"නෑ අවිනාශ්.. මං ඔයාව විශ්වාස කරන්නෙ ඔයාව මට ලැබුණාම.."

"රොමේෂි.. ඔයා මොනවද මේ කියන්නේ...?"

"මං කියන්නෙ මට හිතෙන දේ වගේම දැනෙන දේ.."

"එහෙම උනා කියලා ඔයාට පුළුවන් කමක් නෑ මට බලපෑම් කරන්න.. ඔයා මට ලේසියෙන් අමතක කරන්න බැරි උදව්වක් කරපු බව ඇත්ත.. ඒත් ඒක තුරුම්පුවකට අරගෙන මගේ ජීවිතේට බලපෑම් කරන එක මට සෑහෙන්න කේන්ති එන වැඩක්.."

රොමේෂි, අවිනාශ් දෙස එක එල්ලයේම බලා සිටියාය. ඇය සිටින්නේ තමාට වහ වැටී ඇති ආකාරයටය. මේ අවස්ථාවේදී ලොකු අම්මා, ලොකු තාත්තා හෝ නිවසට එනවා නම්..? දෙදෙනාම උදෑසන බණ්ඩාරවෙල ගොස් එන්නට ගිය ගමන තවමත් නැත..

"දැන් කවුරු හරි ගෙදරට එනව නම් හොදයි කියලා නේද ඔයා හිතන්නේ..?"

අවිනාශ්ගේ සිත මහා පුදුමයකට පත්විය. ඇය තමාගේ සිතුවිලි පවා ක්‍රියා කරන ආකාරය හදුනාගෙන ඇති හැඩය. මෙවර නම් තමාට ගණුදෙනු කරන්නට වී ඇත්තේ ඉතා අමාරුකාරියක සමග බවත් ඔහු වටහාගත්තේය. විවෘත අංශයේ තරගවලදී, ඉතාම අවදානම් සහගත ක්‍රියාවලට නිරන්තරවම ප්‍රිය කළ අවිනාශ්, මේ අවදානම සමග ගැටීම ඒ තරම් ප්‍රිය කළේ නැත. මෙය නම් අන්තර් ජාතික තත්වයේ අවදානමකි.

"කොහොමද මේ වෙලාවේ ඔයාගෙ ඔය කියන, ඔයා මනෝමෙන් හිතන් ඉන්න, හැබැහින් පැත්ත පළාතක නැති ගර්ල් ෆෙන්ඩ් මෙහෙට ආවොත්..? මං මේ වගේ ඔයාට ළංවෙලා ඉන්නවා දැක්කොත් එයාට මොනවා හිතෙයිද..?"

"එ.. එයා මං ගැන වරදවා හිතන්නෑ..."

එහෙත් සත්‍ය තත්වය එය නොවේ කියන්නට අවිනාශ් දැන සිටියේය. වැරදිලාවත් දිලීකා මෙතෙන්ට අහම්බයකින් හෝ පැමිනියේ නම් සිදුවන විනාශයේ තරම රිට්චර් පරිමාපකයේ අගය 08කටත් වැඩි වැඩිවූ සුනාමි දෙක තැනක් තරම් වනු ඇත. අවිනාශ්ගේ සිත වේවලා ගියේය. රොමේෂි මෙතනින් නොයන්නෙ ඇයි..? සමහර විට ඇය තම නිදන කාමරයට වුව යාමට පුළුවන. කෙසේ හෝ රොමේෂිව නිවසින් පිටකර ගත යුතුය. එහෙත් එයට පෙර ඇයට අවිනාශ්ගේ සිතිවිලි දැනුනා සේය.

"ඔයා වරදවා හිතන්නැති, ඉරිසියාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැති, කෙසේ ප්‍රහීන කරපු ඔයාගෙ ආදරණිය ගර්ල් ෆෙන්ඩ් උපාසිකාව මට අදුන්වලා දෙන්න හොදේ.. මං කරපු දේ උදව්වක් කියලා ඔයා හිතනවා නම්, මං ඔයාගෙන් ඔයා කිව්ව දේ බලාපොරොත්තු වෙනවා.. එහෙනම් චෑම්ප්.. ඔයා බය කර කර මං තවත් මෙතන ඉන්නෙ නෑ.. ඕනවටත් වැඩිය මං ගැන හිතන්න දේවල් මං ඔයාට කිව්වා. ඒ ගැන ඔයා කල්පනා කරන්න. මං ඔයාට කොයි තරම් මැච් වෙනවද කියලත් හිතන්න.."

"මං ආයෙත් ඔයාට කියන්නේ, ඒක වැඩක් වෙන්නෙ නෑ කියලා.. මං මැච් කරගත්තු කෙනෙක් ඉන්නවා.."

"ඒක මට නම් අදාල දෙයක් නෙමෙයි අවිනාශ්. මොකද පහුගිය අවුරුදු පහ ඇතුළෙදි එයා මේ රවුන්ඩ් එක ඇතුලේ හිටියෙ නෑ කියන එක මට විශ්වාසයි. මං යනවා අවිනාශ්.."

අවිනාශ්ගෙ සිතට සැනසීමක් අත්කර දෙමින් රොමේෂි නැගී සිටියාය. ඒ තම දකුණත අවිනාශ් වෙතට දිගු කරමින්ය. අවිනාශ් එය තම දකුණතින් මිරිකා ඇයට සමුදෙද්දී, මෙතුවක් වේලා සිදු නොවූ, එහෙත් සිදුවෙතැයි අවිනාශ් බලාපොරොත්තු වූ දෙයම සිදුවිය.

"අවිනාශ්..."

ආලින්දයත් සාලයත් අතර වූ දොර ළගින් ඇසුණු කටහඩින් අවිනාශ්ගේ අත රොමේෂි අතින් ගිලිහී ගියේය. එහෙත් රොමේෂි එය වහා අල්ලා ගත්තද, අවිනාශ් නැවතත් ඇයගේ අත ගසා දැමුවේය.

"ඩිල්ෂාන්.. හදිසියේම..?"

"ඔව්.. මං ඔයාව හම්බවෙන්නයි ආවේ.."

ඩිල්ෂාන් කීවේ, රොමේෂි දෙස ඉතා හොදින් බලමින්ය. මැය, තමාට හොදට දැක පුරුදු වුවත් එහෙත් ඇය කවුදැයි කියා ඔහුගේ මතකයට නැගුනේ නැත.

"එන්න ඩිල්ෂාන් ඇතුළට.."

"ඕන්නෑ.. අපි එළියෙ ඉම්මු.. ඇතුලෙ ගෙදර අයත් ඉන්නවනේ.."

"ගෙදර නම් කවුරුත් නෑ.."

"ම්.."

තමාගේ කට වැරදුන වග අවිනාශ්ට මොහොතකට හැගී ගියේය. ඩිල්ෂාන් දෑස් කුඩා කර නැවතත් රොමේෂි දිහා බැලුවේය. වෙනත් අයෙකු නම් සියවරක් වුව ඇය දෙස බැලුවාට කම් නැත. එහෙත් ඩිල්ෂාන් යනු දිලීකාගේ සොහොයුරාය. විසදාගන්නට බැරි ගැටලුවක් ඇත්තේ එතනය..

"රේස් එකෙන් පස්සේ, ඩිල්ෂාන් ගැන කිසි නිව්ස් එකක් ආවෙ නෑ.."

තවත් විනාඩි ගණනක් ගෙවී රොමේෂි නිවසින් පිටව ගියා පසු අවිනාශ් කටහඩ අවදි කළේය. රොමේෂිගෙන් පිටව යාම සිතට සැනසීමක් කලා ආවද ඊට වඩා දහස් ගුණයක බරක් පපුවට දැනෙමින් තිබිණි. ඩිල්ෂාන් මෙය කෙලෙස වටහා ගනු ඇතිද..? ඔය එය කෙසේ දිලීකාට පවසනු අතිද..? ඇය එය කෙසේ පිළිගනු ඇතිද..? ආදී පැනයන් සිතෙන්ම පැන නගින්නට වූ කළ අවිනාශ් දෙලොවක් අතර අතරමං විය. තමා අඹමල් රේනුවක වරදක් නොකල බැව් සැබෑය. එහෙත් මේ කිසිවකුත් එය සුළුකොට නොතකනු ඇත.

"පහුගිය ටිකේ මං පොඩි වැඩ වගයකට හිරවුණා. ඔයාට කියන්න දෙයක් මගේ ළග තියෙනවා. ඒත් ඒක ෆෝන් එකෙන් නොකියා ඔයාව හොයන් ආවෙ ඒක වැදගත්ම හින්දා. ඒත් ඒ ආපු එකේන ඔයාට ලොකු බාධාවක් උනා කියලා මට හිතෙනවා.."

"එහෙම ප්‍රශ්නයක් නෑ.."

"කෙල්ල මට දැකලා පුරුදුයි.. කවුද ඒ..?"

ප්‍රධාන මාතෘකාව පසෙකින් තමා ඩිල්ෂාන් අතුරු මාතෘකාව මුලට ගත්තේය.

"රේස් එකේදි මට සපෝර්ට් කරපු කෙල්ල.."

"එහෙනම් රේස් එකටත් වැඩිය කතන්දරේ දුර ගිහිල්ලා වගේ.. "

"නෑ ඩිල්ෂාන්.. එයා නිකං ඇවිත්.. අපි අතරෙ එහෙම දෙයක් නෑ.."

"එහෙනම් කොහොම දෙයක්ද තියෙන්නේ.. ගෙදර කවුරුවත් නැති වෙලාවේ.."

වෙන අයකු විසින් මෙය ඇසුවේ නම් හොද දෙකක් කියා මෙතනිනුත් එලවා හමාරය. එහෙත් මේ ඉදිරිපිට සිටින්නේ දිලිකාගේ සොහොයුරාය. කෙසේ වුවත් තමාට තිබුණේ රොමේෂි පැමිණි වෙලාවේම ඇයව පිටමං කිරීමටය. එහෙත් නොමැති නම් පාර අයිනට ගොන් ඇය හා කතා කිරීමටය. එවිට කිසිවෙකුත් මෙසේ වරදවා වටහා නොගන්නවා ඇත.  මින් මතු නම් තමා මෙවැනි දුර දිග නොබලා, නොසිතා කරන ගොන් වැඩ නම් නොකරනු ඇත. මේ වූ හරිය හොදටම ඇතිය.

"හරි... හරි.. ඔය තරම් අවුල් වෙන්න ඕන නෑ.. ඒවා ඔයාගේ පෞද්ගලික දේවල්.. මං නිකං කිව්වේ.. අපි දැන් කතාවට බහිමුකෝ.."

"ඔයා වැරදි විදියට හිතන්නෙ ඩිල්ෂාන්.."

"මට හිතෙන දේ මෙතෙන්ට අදාලා නෑ.. මං ඔයාට කියන්න ආවෙ මෙන්න මේ දේ.."

තවදුරටත් මේ ගැන කතා කිරීමෙන් පලක් නැත. ඩිල්ෂාන් ඔහු දුටු දෙයින් යම් කිසිවක් තීරණය කරන්නට ඇත. තමා නිකරුනේ මහන්සි වී පලක් නැත. එහෙත් තවත් විනාඩි ගණනකින් දිලීකාට මෙය ආරංචි වනු ඇත. රොමේෂි සමග කතාවට නොයන්න යැයි තමාගෙ අතේ එල්ලී කුඩා ළදැරියක සේ ඇය කියූ සැටි, ඔහුගේ දෑස් ඉදිරියේම මැවී පෙනුණේය.

"කියන්න මං අහන් ඉන්නේ..."

සැමදේම පසෙකින් තමා අවිනාශ්, ඩිල්ෂාන්ගේ දෙසට හැරුණේය. ගිය හකුරට හඩා පලක් නැත. තියෙන කොත්තු රොටිය හෝ රැකගත යුතුය. යන මතයේ අවිනාශ් මේ වනවිට රැදී සිටියේය.

"අපි හිතුවට වැඩිය වැඩේ ටිකක් සීරියස්.."

"ඒ කියන්නේ..?"

"ඔයාට ඇටෑක් කරපු එකා ගැන මං හොයාලා බැලුවා.. ඒත... මට හොයාගන්න පුළුවන් උනේ ටික දුරක් යනකල් විතරයි.."

"ඇයි.. ඒ...?"

"ආරක්ෂක අමාත්‍යාංශය මිනිහව ගාඩ් කරනවා.."

"මොනවා...?"

"ඔව් අවිනාශ්.. අපිට දැන්  හැප්පෙන්න වෙලා තියෙන්නේ ඒ වගේ ලොකු යුනිට් එකක් එක්ක.. ඒක හින්දා අපි හෙමින් සීරුවෙ අයින් වෙන එක ශරීර සෞඛ්‍යට හොදයි.. නැත්නම් ඔයා, මං, මගේ මල්ලිලා, තව මගේ ළග ඉන්න අය. මේ හැමෝම මේ වැඩෙන් විනාශ වෙලා යයි.."

ඩිල්ෂාන්ගෙ කතාවට අවිනාශ්ගෙ සිතට කිසිදු සතුටක් එක් කලේ නැත. ඔහු කියන්නා සේ මේ තර්ජනයට නිකම්ම නිකං ආයාලේ යාමට ඉඩ දිය යුතු නැත. එහෙත් එය කරන්නේ කෙසේද..?

"එතකොට කවුද මේ මිනිහා...?"

"මට හිතෙන විදියට...?"

"ඔව්..."

"මට හිතෙන විදියට ආරක්ෂක අමාත්‍යාංශයෙ ඉහලම කෙනෙක්ගෙ පුතෙක්.. ඒත් ඒ කාගෙද කියලා අපිට දැනගන්න උං ඉඩතියලා නෑ. කෝකටත් අපි හැමෝම හොදට පරිස්සමි වෙන්න වෙයි කියලා මගේ හිත අනතුරු අගවනවා.."

ඩිල්ෂාන් කියන දේ අවිනාශ්ගේ සිතට එක්කලේ සියුම් චකිතයකි. මෙවැන්නක් ඔහුට කිසි දිනෙක දැනී තිබුණේ නැත.

"ඔය තරම් ලොකු යුනිට් එකක් ඉදලත්, ඇයි උං ඔය විදිහට හැප්පෙන්න ආවේ..? උංට තිබුණනේ ෆේස් ටූ ෆේස් ඇටෑක් කරන්න.. නිකං ෆෝන් කෝල් නොදී පිරිමි වගේ මගෙත් එක්ක හැප්පෙන්න.."

"උංගෙ පිරිමිකම ගැන මෙතන ප්‍රශ්නයක් නෑ. ඒ ආපු රයිඩර් කවුරු උනත්, ඔයත්තෙක්ක අන්තිම තත්පරේ වෙනකල් ෆයිට් එකක් දුන්නනේ මං ඔය, ඔයාට කිව්වේ දැනට වෙලා තියෙන දේයි, සමහර විට ඉස්සරහට වෙන්න තියෙන දේයි.. මොකද ඔයාට කරදරයක් වෙනවා බලන් ඉන්න මට බෑ.."

"දැන් ඩිල්ෂාන් කියන්නෙ මට මොනවා කරන්න කියලද..?"

"මට මුකුත් තේරෙන්නෙ නෑ.. මගේ ඔලුවත්තෙක්ක අවුල් වෙලයි තියෙන්නේ.. මේක මහ අවුල් ජාලාවක්.."

මුළු පළාතක්ම හින නැමූ, නම කියූ සැනින් මිනිසුන්ගේ මුහුණ වෙනස් කළ, ඔවුන්ගේ හද ගැස්ම වැඩි කල කල්ලි නායිකයෙකුගේ දියාරු වදන් ඉදිරියේ අවිනාශ් ගල් ගැසී බලා සිටියේය. ඩිල්ෂාන් මේ කිව්වේ මොනවාද..?

"ඒ කියන්නෙ ඩිල්ෂාන්ට මෙතන කිසිම දෙයක් කරන්න බෑ කියලද..?"

"මට ඒකට හරි උත්තරයක් දෙන්න බෑ.. මං මෙච්චර කාලයක් හරි ඔයත්තෙක්ක රැදිලා හිටියෙ ඇයි කියලා කියන්න ඔයා හොදටම දන්නවනේ.." 

"ඔව්.. ඒ දිලීකා හින්දා.."

"හරියටම හරි.. ඒක එහෙම නොවුණ නම් මං අද මෙතන නෑ.."

"වෙන්න පුලුවන් ඩිල්ෂාන්.. එහෙම නොවුනා නම්.. හුගාක් වෙලාවට අද ඔයත් අර රයිඩර්ගෙ පැත්තෙ ඉදියි.. හරියට ඔයාගෙ මල්ලිලා වගේම.."

"මල්ලිලා...?"

ඩිල්ෂාන්ගෙ දෑස ඉදිරියට නෙරා එන හැටි අවිනාශ් බලා සිටියෙ සතුටිනි. තවදුරටත් මේවා සගවා තබා ගැනීමෙන් තමාට අත් වන සුගතියක් නැත.

"ඔයා මට උදව් කරන එක මං විශ්වාස කරනවා.. ඒක ඔයා හදවතින්ම කරන දෙයක්.. ඒත් මට ඔයාලගෙ මල්ලිලව විශ්වාස නෑ.. එයාලා මේ ගැන ඔයාට වැඩි දෙයක් දන්නවා කියලා මං විශ්වාස කරනවා.."

"අවිනාශ්.. ඔයා මාව තරහා කරගන්නයි හදන්නේ..? මගේ මල්ලිලා කවදාවත් ඒ වගේ පහත් වැඩ කරන්නෙ නෑ.. මොන යාලුකම තිබ්බත්, මොන තර්ජනේ ආවත් අපි ඒ බාරගත්තු වැඩේ හරියට කරනවා.."

"කමක් නෑ.. මම කිව්වෙ ඇත්ත.. මේ දේට ඔයාලගෙ මල්ලිලා ගෙන් එක්කෙනෙක්වත්..?"

අවිනාශ් කතාව නතර කර ඩිල්ෂාන් දෙස බැලුවේය..

"ඔව්.."

"එක්කෙනෙක්වත් සම්බන්ධ නැත්නම්, ඔයා ඔය නිතරම් කියන, මං ඔයාගේ නංගිට කරපු උදව්ව, අමතක කරලා දානවා ජීවිතේමට.. ඒ වගේ දෙයක් කවදාවත් උනේ නෑ වගේ.. ඒ වගේම ඔයාවත් දිලිකවත්.."

ඩිල්ෂාන් වහා හිස ගස්සා අවිනාශ් දෙස බැලුවේය. මේ තරම් විශ්වාසයකින් තමාගේ සොයුරන් ගැන අනපේක්ෂිත කතාවක් කියන මේ ජේත්තුකාරයා දෙස ඩිල්ෂාන් පුදුමයෙන් බලා සිටියේය.

"ඔයාට ඒ තරම් ෂුවර්..?"

"ෂුවර් නැත්නම් මං දිලීකාවත්, ඔයාවත් අමතක කරනවා කියලා කියන්නෙ නෑනේ..." 

"එහෙනම් මට ඒ ගැන හොයන්න වෙනවා.."

"තවත් දෙයක් තියෙනවා ඩිල්ෂාන්.."

"ඒ මොකක්ද..?"

"මං කියපු දේ ඇත්ත උනොත් ඔයා මොකද කරන්නේ..?"

"මං තාම එහෙම දෙයක් ගැන හිතුවෙ නෑ අවිනාශ්. මං තාමත් හිතන්නෙ එහෙම දෙයක් වෙන්න බෑ කියලා. මොකද රේස් එකට කලින් ඉදලම මං ඔයාව ගාඩ් කරන්න බාරදිලා තිබුනේ දෙවනි මල්ලිට. ඔයාට සීරීමක්වත් වෙන්නෙ දෙන්නෙ නැතුව එයා ඔයාව බලාගෙන තිබුණා. වෙන මුකුත් ඕන් නෑ.. ඔයාගෙ සුසුකි බයික් එකයි, කවසාකි බයික් එකයි දෙකම, කිසිම ප්‍රශ්නයක් නැතුව ගාඩ් කරලා තිබුණා. ඒත් රේස් එක ඇතුලෙදි වෙච්ච දේට අත දාන්න ඉඩක්, මටවත් මල්ලිලාටවත් තිබ්බෙ නෑ. ඒ අපි හිටියෙ ට්‍රැක් එකෙන් පිට හින්දා. ඒත් මං ඒ අතපසුවීමත්, වගකීමත් බාරගත්තා. ඒකයි රේස් එකෙන් පස්සෙත් මං ඔය ගැන හෙව්වේ.. හරි නම් රේස් එකෙන් පස්සේ මගේ ඩියුටිය ඉවරයිනේ.."

"ඔයාගෙ ඩියුටිය ඉවර නම් අපි තවත් මේ ගැන කතා කරලා වැඩක් නෑනේ.. ඒකෙන් වෙන්නෙ ඔයාගෙ කාලෙයි, මගේ කාලෙයි දෙකම විනාශ වෙන එක.."

"මං කියන දේ ඔයා වැරදියට බාරගන්නේ.."

"නෑ ඩිල්ෂාන්.. මේ තමයි හරි විදිය.."

"ඒ ඔයාට.. මට නම් මේ විදිය හරිම නෑ.."

තවත් වචනයක් නොදෙඩූ ඩිල්ෂාන් වහ වහාම අවිශාන්ගේ නිවසින් පිටව ගියේය. ඔහු තව ටික වේලාවක් හෝ රැදී සිට යනු ඇතැයි අවිනාශ් සිතා සිටියද එය මහා පුහු සිතුවිල්ලක් විය. කෙසේ වුවත් අවිනාශ්ට වඩා ඩිල්ෂාන්ගේ සිත කැලඹී තිබුණේය.

                                         ******************************

දිගින් දිගටම සිදුවෙමින් පැවතියාවූ නොසන්සුන් සහගත සිද්ධීන් නිසා අවිනාශ්ගේ සිතට සහනයක් ලැබී තිබුනේ නැත. අඩුම තරමේ උණුසුම් තරගයක ජයග්‍රහණයෙන් පසු සිතට ඇතිවන ඉමහත් ප්‍රීතිය මෙවර ඔහු වෙලා ගත්තේද නැත. බොහෝ වෙර වෑයමින් ලැබූ මේ ෆොක්ස්හීල් ජයග්‍රහණය කරදර රාශියක මුල බැව් ඔහුටද දැන් දැන් දැනෙමින් තිබුණේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ තරගකරු පිළිබදව ආරංචියක් ඉන් පසුව ලැබී තිබුණේද නැත. තරගයට පෙර අවිනාශ්ට හා ජෙහාන්ට තර්ජනය කළ කිසිවෙකුත් ඉන් පසුව කටක් ඇර තිබුණේද නැත. ගෙවී යමින් තිබුනේ ඉතා අසහනකාරී කාල සීමාවකි. ඒ අහසහනාරීකමට යටින් කුමක් හෝ මර උගුලක් හෙමින් සීරුවේ ක්‍රියාත්මක වෙමින් යන බව නම් අවිනාශ්ගේ සිත පතුලින්ම ඔහුට අනතුරු අගවා තිබිණි. මේ පිළිබදව කතාබහ කිරීමට තරම් සුදුසු පුද්ගලයෙක් අවිනාශ් ළග සිටියේද නැත. ලොකු අම්මාට හෝ ලොකු තාත්තාට මේ ගැන අංශු මාත්‍රයක දෙයක් හෝ නොකියා හිදීමට ඔහු ප්‍රවේසම් සහගත විය. ඔවුන්ගේ අහිංසක සිත් බියෙන් තැත් ගැන්වීමට හෝ කලබල කිරීමට අවිනාශ්ට කිසිවිටෙක අවැසි නොවීය.

                                           ******************************

තවත් දිනක් උදාවෙද්දිම අවිනාශ්ගේ ජංගම දුරකථනය හැඩවිණි. ඒ මොහොතේ නිවසින් පිටතට යාමට සූදානම් වූවා පමණි. තිරය මත සටහන් වූයේ නුහුරු නුපුරුදු අංකයකි. එහෙත් එතුලින් ඇසුණු කටහඩ ඔහුගේ සිත පස්වනක් ප්‍රීති ප්‍රමෝදයට පත් කලාය..

"දිලීකා..."

"මං ඔයාට ප්‍රසන්ට් එකක් ගෙනැල්ලා ඇති.."

"ප්‍රසන්ට් එකක්...?"

"ඔව්.. ඔයාලගෙ ගෙදර දොර ඉස්සරහා.."

"මේ... වෙලාවේ...?"

"ඔව්.. ඔයා දොර ඇරලා බලන්නකෝ..."

ඇමතුම විසන්ධි විණි. දිලීකාගේ අංකය, ජංගම දුරකථනයට ගබඩා කරගන්නා ගමන් අවිනාශ් අඩියට දෙකට ඉදිරිපස දොර වෙතට දිව ගියේය. දිලීඛා බොහෝ විට නොසිතූ දේ කිරීමට හපනෙකි.

දොර ඇරිය විගස ඔහුගේ නෙතට හසුවූයේ, ඉතා සොදුරු දම් පැහැති මල් පොකුරකි. බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේද, ඇල්ල නමුණුකුල මාර්ගයේද ඕනෑ තරම් මේ මල් පිපී තිබෙනු ඔහු දැක ඇතත් ඒවා මේ තරම් සොදුරු බැව් ඔහුගේ සිතට දැනී තිබුණේ නැත. අතු ඉති බොහෝ ගණනාවකින් යුක්ත වූ එම මල් පොකුර අවිනාශ් සෝතට ගෙන තම ලයට සිරකර ගත්තේය. මල් පොකුරත් රැගෙන නිවස තුළට යාමට සැරසෙත්ම, ඔහුගේ සිතේ මෙතුවක් පැන නොනැගි ගැටලුවක් වහ වහා පැණ නැගුණේය. එනම් මේ මල් පොකුර රැගෙන පැමිණියේ කවුරුන්ද යන්නයි.. මෙය කෙසේ මෙතනට පැමිණුනේද යන්නයි..

"අවිනාශ්...?"

ළගින්ම ඇසුණු කටහඩින් අවිනාශ්ගේ දෑතේ සිරවී තිබූ මල් පොකුර බිමට ඇද වැටිණි. ඉතා සොදුරු සිත්තමක් බදු වූ රුවැත්තිය අවිනාශ්ගේ දෑස මානයේ පෙනී සිටියාය.

"මල් ටික ලස්සනයිද..?"

අවිනාශ්ගේ සිතට කිසිදු වචනයක් ගලා ආවේ නැත. සිතට අපමණ සතුටක්, සැනසුමක් ගෙන එන සොදුරු සමනළිය දෙස ඔහු ඇසිපිය නොහෙලා බලා සිටියේය. ඇයව තුරුළට ගෙන, මේ සුදු මුහුණ රතු වනතුරු ඉඹගෙන ඉඹගෙන යන්නට ඔහු පෙරුම් පිරුවේයි. සමහර ඇම්ඩන් ගනයේ, කොල්ලන් කියන්නා සේ ලස්සන කෙල්ලෙක් ඇතිවනතුරු ඉඹ, ඉන්පසු පොලීසි ගානෙ ගියත් හිතට දුකක් නැත.

"ඔහොම ගෑණු ළමයි දිහා බලන්න එපා.. එයාලට එතකොට හරියට අප්සට් යනවා.."

"සොරි..."

"සමාවක් දෙන්න බෑ.."

"ඇයි...?"

"ඇයි කියන්නේ..? රේස් එකෙන් පස්සෙ මාව අමතකම කරලා දැම්මෙ ඇයි..?"

"කවදාවත් නෑ දිලී.. මං කියන දේ ඔයා විශ්වාස කරයිද මංදා. ඔයාව හම්බවෙන්න විදියක් නැතුවයි මං හිටියේ. ඔයාගෙ අයියලා උනත් ඔයාව කොයි තරම් ගාඩ් කරනවද..?"

"මං ඕවා පිළිගන්නෙ නෑ.. ඕවා ඔක්කොම බොරු කතා.."

"ඇයි දිලී එහෙම කියන්නේ..?"

"හිතේ තියෙනවා නම් කොහොම හරි හම්බවෙන්න පුළුවන් නේ.."

"ඒ කොහොමද..?"

"හරියට මේ වගේ.."

දිලීකාගේ වචන අවිනාශ්ගේ පපුව ඇතුළටම කඩා වැදුනි. ඇය කියූ දේ කොතරම් නිවැරදිදි..? තරුණියක වී ඇයට තමාව හමුවීමට කිසිදු බියක් සැකක් නොමැතිව මෙසේ පැමිණිමට හැකිනම්, තමා ඒ දේ කරන්නට මෙතෙක් කලක් බලා සිටියේ ඇයි..? කිසිදා නොදැනුණ තරමේ බයක් අවිනාශ්ගේ සිතට ඇතුලු විය. ඇය සිතන්නේ තමා බියගුල්ලෙකු බවද..? ඒ සිතුවිල්ලම අවිනාශ්ගේ සිත මහා මෙරක් සේ තලා පෙලා දැමීය..

"දිලී..."

"ම්..."

"ඔහොම දේවල් කියනකොට මගේ හිත හුගාක් රිදෙනවා.. ඇත්තටම ඔයාව හම්බවෙන්න විදියක් නෑ කියලා හිතන් හිටියා මිසක්, හම්බවෙන විදියක් ගැන මං කල්පනා කලේ නෑ. ඒ වැරැද්ද මං සම්පූර්ණයෙන් බාරගන්නවා.."

සුසිනිදු දෑතම තට අතට සිර කර ගන්නා ගමන් අවිනාශ් ඇයගේ මුහුණට එබුණේය. ඒ සොදුරු වත කමලේ පිරී ඉතිරී යන අවිහිංසක ආදරයේ සමනළ සේයා, අවිනාශ්ගේ මුළු හදවත පුරාම, කිති කවා දග දැමුවේය.

"අනේ.."

අවිනාශ් ඇයව තම තුරුලට ඇදගත්තේ දෙවරක් නොසිතාමය. තමත් නම් සිතට මේ දුක දරන්නට බැරිය. සිතේ ඇති සියලු දේ ඇයට කියා, තමන් විනාශ වි ගියත් කමක් නැත. ඒ ඔහුගේ සිතට එබුණු පළමු සිතිවිල්ලයි. මොන තුන් ලෝකය එරෙහිව ආවත් තමාගෙන් මේ සොදුරු රුවැත්තිය වෙන් කිරීමට නොහැකි වනු ඇත.

"ම... මට ඔයාව නැතුව බෑ අවිනාශ්..."

සෑහෙන තරම් පහත් ස්වරයකින් දිලීකාගේ කටහඩ ගලා ගියද එය අවිනාශ්ගේ ආත්මය තුළට උරා ගත්තේය. ඔහුගේ සිතේ වූ ප්‍රීතිය ඉවුරු තලා ගියේ තමන්ගේ සිතිවිල්ලත් එයම වූ නිසාය. එහෙත් තමාගෙන් පෙර ඇයගෙන් එය පිටවීම ගැන ඔහු පසුතැවිල්ලට පත් කළේය. ඒ සමගම තවත් දෙයක් ඔහුට පසක් විය, ඩිල්ෂාන්, රොමේෂි සම්බන්ධව කිසිදු දෙයක් තම නැගෙණියට කියා නැති බවය.

"ඔයාට වගේම මටත්.."

"ඒ කිව්වේ...?"

"මටත් ඔයා නැතුව බෑ දිලී.. නිතරම ඔයාව මතක් වෙනවා.. හිතට හරියට වද දෙනවා.."

අවිනාශ් එය කියූ හැගීමබර ආකාරයට දිලීකාගේ දෙඇසට කදුළු බිදු දෙකක් ගලා විත් තිබිණි. ඇයගේ මුහුණ පිරී තිබුණේ කියාගත නොහැකි වූ සිහිනමය සතුටකිනි. මෙය, මේ වදන් තමා කොයි තරම් කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ දෙයක්ද..? 

"අ... අනේ..."

සිතට දැනෙනා, පිරෙනා ආදරය අදහාගත නොහැකි, දිලීකා අවිනාශ්ට තවත් වරක් තුරුලු වූවාය.

"ඇ.. ඇයි දිලී.."

"මං ඔයාට ආදරේ කරන්න ගත්තේ, ඔයා මාව අර තිරිසන්නුන්ගෙන් බේරගත්තු දවසෙ ඉදලා. එදා ඉදලා අද වෙනකොට දවස් කීයක් නම් ගෙවිලා ගිහින්ද..? අනේ අපරාදේ අවිනාශ්. අපි දවස් කොයි තරම් කාලයක් නාස්ති කරලද..? අනේ ඇයි ඔයා මීට කලින් මගේම උනේ නැත්තේ.. මං කොයි තරම් නම් බලන් හිටියද..? ඔයාව නොදැක මං මාස කීයක් නම් ඉන්න ඇද්ද..? ඒවා මතක් වෙනකොට හරියට දුක හිතෙනවා.."

"ගිය දේවල් ගැන කතා කරලා වැඩක් නෑ දිලී. අපි ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන කතා කරලා අපි ඒවා අපේ පැත්තට හරව ගමු.."

"ඔයා මට ආදරෙයි නේද..?"

දිලීකාගේ වතෙහි වූයේ අමුතුම සුදුමැලි පැහැති පෙනුමකි. එය අවිනාශ්ගේ ආදරය දෙගුණ තෙගුණ කර දැමීමට සමත් විය.

"ඔව් දිලී.. මං මගේ ජීවිතේටත් වඩා ඔයාට ආදරෙයි..."

"හ්... හ්ග්.."

ඇසිල්ලකින් දිලීකාගේ දෑස නැවතත් කදුළින් බරවී කොපුල් තල දිගේ පහළට රූරා වැටෙන්නට විය.

"ඇ.. ඇයි දිලී..?"

"ඒ.. ඒ තමයි.. මං මගේ ජීවිතයෙ අහපු ලස්සනම වචන ටික..! ඒ වචන ටික, මං මගේ ජීවිතේටත් වැඩියෙන් ආදරේ කරන ඔයාගෙන් අහන්න ලැබිච්ච එක කොයි තරම් සතුටක්ද..? අ.. අනේ මේ සතුට හැමදාම තියෙයි නේද...?"

"ඔව් දිලී... මේ සතුට හැමදාම තියෙයි.. ඒ සතුට අපි හැමදාම ආරක්ෂා කරගමු.."

"අ.. අපිට හැම පැත්තෙන්ම ප්‍රශ්න එයි.. ම.. මට ම.. මතක් වෙනකොටත් බයයි.."

"බයවෙන්න එපා.. මම හැමදේටම දැන් ඉන්නවනේ.. ඔයාවත් මමවත් වෙනස් වෙන්නෙ නැත්නම් මොන ප්‍රශ්නෙ ආවත්, ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපි හැමදාම ආදරෙන් ඉදිමු.."

පුංචි ළදැරියක සේ තුරුළට වී උණුසුම සොයනා මේ රුවැත්තිය, දෝතින්ම අල්ලාගෙන අවිනාශ් සිප ගත්තේය. ඇයද සිටියේ එයම බලාපොරොත්තුවෙනි. මොහොතකින් අවිනාශ්ගේ දෙවුරේ එල්ලී, තම රෝස පැහැති දෙතොල අවිනාශ් වෙතට දිගු කරද්දී, අවිනාශ් පමා නොවී ඒ සොදුරු මුව මී, මහත් ලෝබකමකින් උරා බීවේය. එතැන් සිට ගලා ගියේ වඩාත් ආදරණිය වූත්, වඩාත් අනුරාගික වූත් විනාඩි ගනනකි. එහෙත් එය එසේ වූවා කියා, අවිනාශ්වත් දිලීකාවත් තම සීමාවෙන් ඉක්මවා නොයාමට තරම් ප්‍රවේසම් සහිත වූහ. ඔවුන් අතර තිබූ අවබෝධය ඉතා ඉහළ මූලික අඩිතාලමද එය විය.

"ඔයා කොහොමද ආවේ..?"

අතිශය තෘප්තිමත් වූ විනාඩි ගණනකින් පසුව අවිනාශ් නැවත වතාවක් දිලිකාගේ වත සිප ගනිමින් ඇසුවේය. දිලීකා සිටියේ තව තත්පරයක් හෝ වැඩියෙන් අවිනාශ් සමග රැදෙන අටියෙනි. අද මේ පැමිනි ගමන ගැන ඇය සිටියේ කියාගත නොහැකි තරම් සොදුරු චිත්තාවලියක මිහිර විදගනිමින්ය.

"ම්.. හරි නරකයි.."

"ඇයි...?"

"දැන් තමයි ඒක අහන්නේ..?"

"සොරි..."

"සමාවක් දෙන්නම බෑ.."

"එහෙනම්.."

"දෙනවා මෙන්න මෙයින් එකක්.."

ඇය නැවත අවිනාශ්ව තමා වෙතට ඇදගෙන ලෝක විනාශය අදයි.. කරනා දෙයක් අදම කරන්න.. කියන පරිද්දට ඉඹගෙන ඉඹගෙන යන්නට වූවාය. අවිනාශ් ඇයගේ දගකාරකම දෙස බලා සිටියේ සතුටිනි.

"ඉතිං කියන්නකෝ.."

"මොනවද...?"

"කොහොමද ආවේ..?"

"කැබ් සර්විස් එකක.. මං කිව්වා හරියටම පැයකින් විතර උඩ බෙන්ඩ් එක ළගට එන්න කියලා.."

"ෂහ්... කෙල්ල එහෙනම් සෑහෙන්න ප්ලෑන් කරලයි ඇවිල්ලා තියෙන්නේ.. හොදයි.. වැරදිලාවත් මං හිටියෙ නැත්නම්..?"

"මගේ හිතට දැනෙන දේවල් වරදින්නෙ නෑ අවිනාශ්.. හොද සිතිවිලි වලින් දෙයක් හිතුවොත් ඒ දේ හරියනවාමයි.. ඔයාව දැක්ක දවසෙ ඉදලම මං හිතුවෙ පැතුවෙ ඔයාගෙම වෙන්න.. ඉතිං ඒක හරි ගියානේ..."

ගිරවියක සේ නිදහසේ දොඩනා මේ සියුමැලිය ගැන අවිනාශ්ගේ සිතේ පිරී ඉතිරී තිබුණේ කියාගත නොහැකි ලෙන්ගතු ආදරයකි. ඇයව කෙදිනකවත් අහිමි කර නොගන්නා බවට ඔහු තමාටම දිව්රා ගත්තේය.

"අපි ආයෙ කවදද හම්බවෙන්නේ..?"

"ඒක නෙමේ දිලී ප්‍රශ්නේ..?"

"එහෙනම්...?"

"කොහොමද හම්බවෙන්නෙ කියන එකයි.."

ඒ ප්‍රශ්නෙ තිබූ ගැටලුකාරී බව පරයා නිවසේ සීනුව දාන වෙන හඩ ඇසුණි. අවිනාශ් හා දිලීකා මුහුණින් මුහුණ බලාගත්තේ එකවරමය. නැවතත් සීනුව නාද වන්නට පටන් ගත්තේය..

"කවුද දන්නෑ..."

තමාටම කියා ගනිමින් අවිනාශ්, දිලීකා වෙතින් මිදුනේය. යන්න එපා.. යැයි හගවන බැල්මක් දිලීකාගේ වතෙහි සටහන් වී තිබිණි.

"ඔයාගෙ ලොකු අම්මලද දන්නෙ නෑ.."

"ලොකු අම්මයි, තාත්තයි නම් මේ වෙලාවෙ කීයටවත් එන්න විදියක් නෑ.. බලමුකෝ.."

"දොර අරින්න එපා අවිනාශ්.."

එක්වරම ගොස් දොර හැරීමට තරම්, අවිනාශ් කිසිවිටෙකත් සිතා සිටියේ නැත. දොර මැදින් සවිකර ඇති ඩෝ විවර් එක තුලින් ඔහු නිවසින් එළියට නෙත් යොමු කළේය. දුටු දසුනින් ඔහු ත්‍රස්තව ගියේය. අවිනාශ් වහ වහා දිලීකා වෙතට පැමිණ ඇයගේ අතින් ඇදගෙන නිවසේ පිටුපසටම වාගේ වෙන්නට තිබූ නිදන කාමරයක් වෙතට පියමැන්නේය..

"ඇ.. ඇයි අවිනාශ්..?"

"මං මේ කියන දේ අහලා බයවෙන්න එපා.."

අවිනාශ් වචන පිටකළේ රහසිනි. දිලීකාගේ දෑස මහත් වූ බියකින් විසල්ව ගියාය.

"මොකක්ද වෙලා තියෙන්නේ..? කවුද ඇවිත් තියෙන්නේ..?"

"ඔයාගෙ අයියලා දෙන්නෙක් ඇවිත්.."

"මොනවා...."

"ඔව්.. තුන්වෙනියයි, හතරවැනියයි.."

දිලීකාගේ දෑසි බියපත් පෙනුම උඩින් මොහොතකින් ඇදී ගියේ මොකක්දෝ දැඩි බවකි. ඇයගේ සිතට හදිසියේම කිසියම්ම ජීවයක් එක්කාසූ වූවාක් වැනිය.

"එ.. එහෙනම් එයාලා මාව ෆලෝ කරලා.."

"මට පේන්නෙත් ඒ වගේ.. ඔයා මේ කාමරේට වෙලා ඉන්න. මං ඉතුරු හරිය බලාගන්නම්.."

"ඒක තේරුමක් වෙන්නෑ අවිනාශ්. මට මෙතනින් පිටවෙන්න තැනක් කියන්න.. මොකද නැත්නම් මං ආපු කැබ් එක එයාලට අහුවෙයි.."

සොදුරු වූ ආදරය ඇරඹුමේදි ඇදී ආ ප්‍රශ්න පත්තරය නිසා අවිනාශ්ගේ සිතේ වූයේ කැළඹීමකි. ඩිල්ෂාන් පැමිණියේ නම් මෙය කෙසේ හෝ නිරාකරණය කරගන්නට තිබිණි. එහෙත් මේ පැමිණ ඇති දෙදෙනා සමග කිසිදු ගණුදෙනුවක් බේරාගත නොහැකි බව, ඔහු නිවැරදිවම වටහාගෙන සිටියේය..

"කැබ් එකේ ප්‍රශ්නයක් නෑ දිලී. ඔයා මේ කාමරෙන් ඉන්න. අයියලා නෙමේ පොලීසිය ආවත් මං ඔයාව අහුවෙන්න දෙන්නෙ නෑ... මං ඔයාව ගාඩ් කරනවා.."

"ඒ වචන ටිකම මට ඇති අවිනාශ්.. ඒත් දැන් මම යන්න ඕන.. ඔයාව අමාරුවෙ දාන්න මං කැමති නෑ.."

"ඒ කිව්වේ..?"

"එයාලා තව හුග වෙලාවකට මෙතනින් යන්නෙ නෑ.. එච්චර වෙලා මං හිරවෙලා ඉන්න නරකයි..."

දිලීකාගේ කතාවේ ඇති නිවැරදි භාවය, අවිනාශ්ට වහා වැටහිණි. ඒ අතර නිවසේ සීනුව දිගින් දිගටම නාද වන්නට විය. කවුරුන් හෝ එකෙකු සීනුව උඩ ඔලුව ඔබාගෙන හිදිනා ආකාරයක් අවිනාශ්ගේ සිතේ මැවෙද්දී ඔහු දිලීකාත් සමග සිටි කාමරයේ පිටි පැත්තෙන් දොර හෙමින් සීරුවේ විවෘත කර ගනිමින් එළියට පැමිණියේය. නිවසින් මදක් පිටුපසට වන්නට පිහිටා තිබූ එම කාමරයෙන් පිටවීම වඩාත් ආරක්ෂාකාරී විය. හොදින් වටපිට බැලූ අවිනාශ්, දිලීකාවත් නිවසින් පිටතට ගත්තේය. එන ඕනෑම ආකාරයේ ගැටලුවකට මුහුණ දීමට ඒ වනවිට ඔහු අදිටන් කරගෙන සිටියේය.

"එන්න.."

අවිනාශ් වහ වහා ඇයගේ අතින් ඇදගෙන නිවසේ පිටුපස වූ තාප්පය වෙතට ලංවිණි. එතැන මල් වැල් රාශියකින් හා වෙනත් හැඩතල තිබූ, උද්‍යාන අලංකාරයට සිටුවා තිබූ ගස්වලින් ආවරණය වූ නිහඩ තැනක් විය.

"ඔයා මොකක්ද කරන්න හදන්නේ..?"

"කතා කරන්න වෙලාවක් නෑ දිලී.. මගේ පිටට කකුල තියලා මේ තාප්පෙන් පැනගන්න.. ඉතිරු හරිය පස්සෙ බලාගමු.."

දිලීකාගේ මුහුණ සුදුමැලි වී ගියාය. තාප්පෙන් එහා පැත්තට පැනීමට ඇය සිහිනයකින්වත් සිතුවේ නැත. වෙන කළ යුතු දෙයක් නොමැති බවද ඇයට පෙනේ. කෙසේ හෝ අවිනාශ්ගේ පිටට පය තබා තාප්පය මතට ඇය නැගුණේද සෑහෙන තරමේ අසීරුතාවයකිනි. එහෙත් එතැන සිට පාරට පැනීමද කළ නොහැක්කක් ලෙස ඇයට පෙනුණි. කෙසේ වුවත් ඒ අසීරු දෙයටද අවිනාශ් ක්ෂනයකින් ඉදිරිපත් වූයේය. දිලීකා තාප්පය මතට නැගගත් පසු අවිනාශ් තම ස්කයි ජම්ප් එක යතුරුපැදිය නොමැතිව ක්‍රියාත්මක කළේය. දිලීකාගේ මුහුණ මහා විශ්මයකින් පිරී යද්දී අවිනාශ් සිටියේ තාප්පයෙන් එහා පැත්තේය..

"ඉක්මනට බහින්න.."

අවිනාශ්ගෙ පිටට අඩිය තමා, අසීරුවෙන් බිමට බැසගත් දිලීකා ඔහුගේ අතින් ඇද තමා දෙසට ළංකර ගත්තේය.

"මාව ඉක්මනට හම්බවෙන්න..."

අවිනාශ්ගේ කම්මුලට තම දෙතොලින් උණුසුම් හාදුවක් පිදූ දිලීකා ඉක්මන් ගමනින් ප්‍රධාන මාර්ගය වෙත ඇවිද ගියාය. අවිනාශ් ඇය දෙසම බලා සිටියේ යම්කිසි මොහොතක ඇයට උදව්වක් අවශ්‍ය වේ යැයි සිතූ හෙයිනි. එහෙත් අතුරු මාර්ගයට මදක් එහායින් නතර කර තිබූ සුදුපාට කැබ් රිය ද, දිලීකා එයට නැගුණු ආකාරයද අනතුරුව එය පිටත්ව යන අයුරුද අවිනාශ් දුටුවේය. සියල්ලම ඉතා හොදින් නිමා කළ විට සිතට දැනෙන අපූරු සංතෘෂ්ටිය ඔහු මේ වෙලාවේ අඩුපාඩුවක් නොමැතිව විදිමින් සිටියේය. එය යතුරුපැදි ධාවන තරගයක් ජයග්‍රහණය කලාටත් වඩා ඉහළ සතුටකි..

"මොකක්ද ප්‍රශ්නේ..?"

අතුරු මාර්ගයේ සිට නිවසට ආ අවිනාශ්, ඒ වනවිටත් නිවසේ ගේට්ටුව ඉදිරියේ රැදී හුන් තරුණයන් දෙදෙනෙකු ගෙන් විමසීය. දිලීකාගේ සොයුරන් දෙදෙනා රැදී සිටියේ නිවසේ ප්‍රධාන දොර අසලය.  අවිනාශ්ගෙන් පිටවූ වදන් සමගම සියලු දෙනාම විමතියෙන් ඔහු දෙසට හැරුණි. පැමිණ සිටි සියලුදෙනාම දෙස වෙන වෙනම බැලූ අවිනාශ් තම මුවගට මද සිනාවක් නගා ගත්තේය.

"අවිනාශ්... ගෙදර නෙමෙයිද හිටියේ..?"

ප්‍රශ්නය පැන නැගුනේ ඩී.ජේ ගෘප් හී තුන්වෙනියාගෙනි. දිලිකාගේ සොදුරු වතට අංශු මාත්‍රයක හෝ සමානකමක් නොදැක්වූ ඒ මරුමුස් මුහුණ දෙස අවිනාශ් එක එල්ලයේම බැලුවේය.

"නෑ.. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද..?"

අවිනාශ් දෙවන වරටත් ඇසුවේය. ඩී.ජේ ගෘප් හී හතරවැනියා වඩාත් තීක්ෂනව ගෙවත්ත දිහා බලනා ගමන් අවිනාශ් දෙසත් බැලුවේය.

"ප්‍රශ්නයක් නම් තමයි.. ඒත් ඔයා ගෙදර හිටපු නැති හන්දා ප්‍රශ්නෙ ඉවරයි වගේ.."

"මට තේරුන් නෑ.."

සියල්ල වඩාත් හොදින් තේරුම් ගත්තද, කිසිවක් ගණන් නොගන්නා තාලයට අවිනාශ් කියා දැමුවේය. එය ඩී.ජේ ගෘප් සොයුරන් දෙදෙනාටත් වහා තේරුම් ගිය ආකාරයකි. ඔවුන් සෑම දෙයක්ම වඩා හොදින් මෙන්ම වඩාත්ම නරකින් තේරුම් ගන්නා ආකාරයේ පුද්ගලයෝ වෙතී.

"නොතේරෙන එක හුගාක්ම හොදයි.. ගෙදර කවුද ඉන්නෙ අවිනාශ්..?"

තමා ඩී.ජේ සොයුරන් නිවසට ගියදා ඔවුන් හා තමන් අතර තිබූ බැදීමත්, අද වනවිට එයට සිදුවි ඇති හානියත් අවිනාශ් අවබෝධ කරගෙන සිටියේය. කෙසේ වුවත් මේ දිග හැරෙන ප්‍රශ්න පත්තරය අවිනාශ්ට කොහෙත්ම දිරෙව්වේ නැත. ඒ සමගම පිටවූ ඔහුගේ වදන් වල යහපත් ප්‍රතිචාරද තිබුණේ නැත.

"ඔයාලා මේ අපු ගමන ඩිල්ෂාන් දන්නවද..?"

අවිනාශ්, හතරවැනියාගෙන් කෙලින්ම අසද්දී සොයුරන් දෙදෙනා මුහුණින් මුහුණ බලාගත්හ. ඔහු ඇසුවේ දවසේ වඩාත්ම වැදගත් ප්‍රශ්නය බැව් ඔවුන්ට හැගුණි. ඩිල්ෂාන්ගේ අනුදැනුම නොමැතිව කෙරෙනා වෙනත්, අත්තනෝමතික ක්‍රියාවන්ට වඩා මෙය වෙනස් ආකාරයේ එකක් බැව් ප්‍රථම වතාවට ඔවුන්ට වැටහෙමින් තිබිනි. ඩිල්ෂාන් තමන්ගේ වැඩිමහලු සහෝදරයා වූවද. ඩී.ජේ ගෘප් හී ප්‍රධානියා වුවද මේ තමන් ඉදිරියේ සිටිනා කිසිවක් ගණන් නොගන්නා ජේත්තුකාරයාට, ලෙංගතුකමක් දක්වන බැව් ඔවුන් අත්දැකීමෙන් දැන සිටියාය.

"ඒක මෙතෙන්ට අදාල නෑ අවිනාශ්.. ගෙදර කවුද ඉන්නේ..?"

පහසුවෙන් වුවත්, අවිනාශ්ගේ ප්‍රශ්නය මග හැරී තුන්වැනියා, අවිනාශ් වෙතට පළමු ප්‍රශ්නයම ඉදිරිපත් කළේය.

"ඇයි මං ඒක ඔයාලට කියන්නේ..?"

අවිනාශ් කිසිදු ආකාරයකින් බියට පත් කළ හැකි පුද්ගලයෙකු හෝ ශාරීරිකව තැලිය හැකි අයෙකු නොවන බවද ඔවුහු වටහාගෙන සිටියහ. මෙතෙන්ට පැමිණිමට පෙර ඔවුන් ඒ ගැන සාකච්ඡා කර තිබිණි. එය එසේ වුවත් එයට ඩිල්ෂාන්ගෙන් කිසිසේත්ම සමාවක් නොලැබෙන තරමට අවිනාශ් ඔහුගේ සිත දිනා ඇති බවත්, ඔවුහු දැන සිටියාය. එබැවින් සියල්ල කළයුතු වන්නේ ගින්දර සමග ක්‍රීඩාවක් කරන ආකාරයටය.

"ගෙදර ඇතුලෙන් කතාබහ කරන සද්දයක් ඇහුණා. අපි හිතුවා අවිනාශ් ගෙදර ඇති කියලා.."

"මං ගෙදර හිටියෙ නෑ කියලා ඔයාලට පේනවනේ.. ඉතිං... මේ ගේ ඇතුළෙ කවුරු හිටියත් ඔයාලා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.. අනික ඔයාලා අදුනන්නෙ මාවනේ.. ඉතිං මෙන්න මං ඉන්නවා.."

"ඒත් අපි හොදින්ම අදුනන කෙනෙක් ගේ ඇතුළෙ හිටියොත්.."

හොදින්ම යන වචනය හතරවැනියා බරකොට යෙදෙව්වේ දිලීකා සම්බන්ධයෙන් බැව් අවිනාශ් වටහා ගත්තේය. ඒ සමගම තුන්වැනියාගේ ජංගම දුරකථනය නාද වූ අතර එහි සටහන් වූ අංකය, හතරවැනියාගේ මූහුණට ලංකර ඔහු පෙන්විය..

"දැන් මොකද කියන්නේ..?"

ඇමතුම බොහෝ විට ඩිල්ෂාන්ගෙන් විය යුතු යැයි අවිනාශ්ට සිතුණි. පෙනෙනා පරිද්දට මේ පැමිණිම පිටුපස ඩිල්ෂාන් සිටින්නට කොහෙත්ම බැරිය. ඔහු මෙවැනි දෙකේ පංතියේ වැඩ කරනා අයෙකු නොවේ. අද ඩිල්ෂාන් පැමිණියානම් ඔහු කෙලින්ම අසන්නේ දිලීකා ඇතුලෙ ඉන්නවාද යන්නයි. ඒ අතින් මොවුන් දෙදෙනාම තාම පහළ අංශයේය.

"අ... අපි නිකං ආ.. ආවේ.."

අවිනාශ්, තුන්වැනියා දෙසට දෑස් දල්වා ගත්තේය. ඔහු අපහසුතාවයකට පත්ව ඇති බවක් පෙනේ..

"නෑ.. නෑ.. ගෙදර හිටියෙ නෑ.."

"ඇත්තමයි ලොකු අයියේ.. එයා ගෙදර නෑ.. ඕන්නම් ගෙදර ගිහිල්ලා බලන්න.. ඒකයි අපි හෙව්වේ.."

"න්... නෑහ් ගෙදර ඉන්නවා..."

"ෂිහ්.. මාර අප්සට් එකනේ.."

"හරි හරි.. ලොකු අයියේ අපි දැන්ම එනවා..."

"ඔව්.. ඔව්.. ඔව්..."

"එහෙම දෙයක් නෑ ලොකු අයියේ..."

"නෑ.. නෑ.. එයත් එක්ක ප්‍රශ්නයක් නෑ.."

ඩී.ජේ ගෘප් හී තුන්වැනියා දුරකථනය විසන්දි කළේ මුහුණ අක්කරයක් පමණ කළු කරගෙනය..

"කවුරු හරි ලොකු අයියට මැසේජ් එකක් දීලා අපි මෙතන කියලා.."

"එතකොට නංගි කොහෙද..?"

"එයා ගෙදර ඉන්නවලු.."

"මොකක්..?"

"ඒකනේ කාලා ඉන්න බැරි..."

හෙමින් සීරුවෙ කතාබහ කළද ඒ කතා සියල්ලම අවිනාශ්ට ඇසෙයි. ඔහුට සිනාවක් පහළ වූයේ ඉබේටමය. එසේ නම් දිලීකා නිවසට ගොස්, ඩිල්ෂාන්ටද ඇමතුමක් දී කෙසේ හෝ සිද්ධීය විස්තර කර ඇත. මොවුන් දෙදෙනා කපා දැමූ පණුවන් සේ දගලන්නේ ඒ නිසාය.

කෙල්ලත් කරන්නෙ මාර වැඩ තමයි.. ඒ අතින් නම් මටම කැපෙන කෙල්ලෙක්. කියලා වැඩක් නෑ.. අවිනාශ් තමාටම කොදුරා ගත්තේය.

තවත් වචනයක් නොපවසා තුන්වැනියාත්, හතරවැනියාත් අනෙත් පිරිසත් අවිනාශ් වෙතින් ඉවත් වූහ. ඔවුන්ගේ මුහුණුවල කිසිදු තෙතමනයක් තිබුණේ නැත. කොයි මොහොතේ හෝ ඔවුන් දිලීකාවත් තමාවත් ඩිල්ෂාන්ගේ අතටම අසුකරදී වීරයන් වීමට බලා සිටින බැව් සක්සුදක් සේ පැහැදිලිය. මේ නැවුම් දවසේ උපන් සොදුරු ආදරය, මොවුන්ගෙන් වඩාත් පරිස්සම් කර ගැනීමට සිදුවන බවද, අවිනාශ්ට කියා දීමට කිසිවෙකුත් අවශ්‍ය වූයේ නැත.  



 

1 comment: