Wednesday, March 21, 2012

| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






දහසකුත් එකක් කල්පනාවන් හිත පුරවාගෙන මම කාර්‍යාලීය කාමරය තුලට ආවෙමි. මගේ දෑස කෙලින්ම දිව ගියේ විශාල මේසයේ දාරයට හේත්තුවී දිගහරින ලද විශාල බතික් තිර රෙද්දක හැඩ බලන දිනූකා මිස්වය. ඇය සිටියේ මා හට පිටුපස හරවාගෙනය. කෑම කන්නට ගිය බැව් ඇයට කියන්නට ඕනෑය, නැතිද යන්න ගැන මම කිහිප වතාවක්ම කල්පනා කර අන්තිමේදී නොකියා හිදින්නට තීරණය කළෙමි. ඇය ඇසුවෝතින් කියන එක වඩා ගුනදායකය. මම කෙලින්ම පැමිණ මාගේ බාග කුෂන් පුටුවේ වාඩිවුණෙමි. දිනූකා මිස් මා හට පිටපස හරවාගෙන සිටියද මට ඇයගේ මුහුණේ පැතිකඩක් යාංතමට පෙනෙයි. බතික් තිර රෙද්ද අතේ තිබුණද ඇය හිදින්නේ යම්කිසි කල්පනාවකින් ඔලුව පුරවාගෙන බැව් මට සිතෙයි. ඇය මොනවා කල්පනා කරනවා ඇතිද..? සියලු යස ඉසුරෙන් පිරුණු ඇය වැනි රුවැත්තියකට කල්පනා කිරීමට තරම්වත් දෙයක් ඇති යැයි මම විශ්වාස නොකරමි.
 
අලුතින් පැමිණි බිල්පත් දෙකක් මගේ මේසය උඩ තිබූ බැවින් ඒවා පංචර් කිරීමට මම ලාච්චුව හැර පංචරය අතට ගත්තෙමි. එහෙත් බාගෙට ඇරුණු ලාච්චුව තුළ කුමක් හෝ අඩුවත් ඇති බැව් එක්වරම මගේ සිතට දැනුණි. අන්තිමේදී විදුලි කොටන්නාක් මෙන් එක්වරම සිතට අඩුවක් දැණිනි. පූර්ණිමාට ගත් උපන්දින තෑග්ග මේස ලාච්චුවේ පෙනෙන්නට නැත. මම ලාච්චුව මුලුමනින්ම එළියට ඇද හොදින් බැලුවද තෑග්ග තිබුණේ නැත. අනතුරුව මේසය උඩද, ලාච්චු සියල්ලේමද හොදින් පරික්ෂා කළද උපන්දින තෑග්ග ඒ කොතනකවත් තිබුණේ නැත. කෑම කන්නට යාමට පෙර මේස ලාච්චුවේ තීබූ පූර්ණිමාට ගත් තෑග්ග මේ විනාඩි දහයට පහළොවට කොහේ හෝ ඇවිද ගියාදැයි සිතන්නට බැරිය. මෙය නම් මොලේ කොලොප්පං කරන තරමේ අවුලකි. හැබෑටම තෑග්ගට වෙච්ච දෙයක් නැත.

"මිස්..."

කරන්නට දෙයක් නොමැති තැන මම දිනූකා මිස්ට කතා කෙරුවෙමි. සමහරවිට ඇය මේ ගැන කුමක් හෝ දැන සිටින්නට පුලුවන. හැඩකාර දෙනුවන් සැනෙකින් මවෙතට යොමුවිණි. ඒ සොදුරු මුහුණේ ඇති ආදරණිය බව, දයාබර බව, අහංකාරය වෙන වෙනම හදුනාගන්නට මට දැන් පුලුවන. මගෙත් සමග හිත හොදින් සිටියා නම් ඔහොම බලන්නෙපා යැයි මට කියන්නට තිබිණි. ඔය තරම් ආදරේ හිතෙන විදියට බලා සිටිමෙන් වන්නේ මට නිදි නොමැති රැයවල් හුගාක් හිමිවන එකය.

"මෙතන තිබ්බ පුංචි පාර්සලේ දැක්කද  මිස්..?"

මම පුළුවන් තරම්ම යටහත් පහත්ව ඇසුවෙමි. සමහර විටක කටහඩේ ඇති උස්පහත් බේදයටත් යමක් කරන්නට පුලුවන්බ ව මම දැන සිටියෙමි..

"මම දැකපු පාර්සලයක් නෑ.."

ඇය ඒ ටික කීවේ බෝම්බයක් දමා ගසන්නාක් මෙනි. ඇත්තටම කළ යුත්තේ මෙවැනි වෙලාවක තවත් ප්‍රශ්න නොඅසා පාඩුවත් විදගෙන පැත්තකට වී මුල්ලක් අල්ලාගෙන සිටීමය. එහෙත් මගේ සිත මටත් අකීකරු වී තිබිණි.

"ඒ පාර්සල් එක මිස් දැක්කා. මිස් අර මගෙනුත් ඇහුවෙ මොකක්ද ඔය පාර්සලේ කියලා. මං කිව්වෙ මගේ පොඩි බඩු වගයක් කියලා. අන්න ඒ පාර්සලය ගැනයි මං ඇහුවෙ මිස්.."

ඇය ටික වේලාවක් ඇසිපිය නොහෙලා කෙලින්ම මගේ මූණ දෙස බලා සිටියාය. මොනවදෝ කියන්නට මෙන් රත් පැහැති දෙතොල් වෙව්ලනු මම දැක්කෙමි. ඇය මේ ලෑස්ති වෙන්නේ මට ඇට්ටි හැලෙන්නට බනින්න විය යුතුය. කමක් නැත. ඇයගෙන් බැනුමක් නෑසු දිනට, මට හරියට තුන්වේලම කෑවේ නැතුවාක් මෙන් දැනෙන්නේ එය මගේ සිතට දැන් පුරුදු වී ඇති නිසාය.

"ඔයා හිතන්නේ මං ඒක ගත්තා කියලද...?"

ඒ හඩ ආවේ දිනූකා මිස්ගෙන්මද කියා සිතාගත නොහැකිව මම වික්ෂිප්ත වී ගියෙමි. ඒ හඩෙහි තිබුණේ ඉතා අහිංසක යුවතියකගේ හැගීම්බර වචන පෙලකි. ඒවා නම් දිනූකා මිස්ට අයිතිවිය නොහැක. අනෙක් කාරණය නම් මෙතුවක් කාලයක් තමුසෙ, තමුසෙ යැයි කියා මට ආමන්ත්‍රණය කල ඇය හිටි හැටියේම තමුසෙ, ඔයා ට පරිවර්ථනය වූ හැටිය. මගේ මතකයේ හැටියට ඇය මේ මට ඔයා කියා කියූ පළවැනි වතාවය.

"අනේ මං එහෙම කිව්වෙ නෑ මිස්.. කාමරෙන් යද්දි ඒක මෙතන තිබුණා. දැන් ඒක මෙතන නෑ. ඒකයි මං එහෙම ඇහුවේ.."

"ඒකත් ඇත්ත.. මේ කාමරේ හිටියෙ අපි දෙන්නා විතරනේ.. කමක් නෑ.. මං අලාබෙ ගාන ඔයාට ගෙවන්නම්. එහෙමත් නැත්නම් ඒ පාර්සලේ ඇතුලෙ තිබ්බ දේවල් මට කිව්වොත් මං කොහෙන් හරි ඒ බඩු ටික ගෙනැල්ලා දෙන්නම්.."

දිනූකා මිස් කීවේ මේ ලංකාවේ සිටින අහිංසකම යුවතිය ඇය වන පරිද්දටය. එහෙත් පාර්සලය තුළ තිබූ දේ ඇයට කියන්නට මගේ හිත නොනැමේ. ඒ මක්නිසාද කියා සිගාගැනීමටද මට බැරිය. සමහරවිට ඒ ඇය මා ගැන තවත් වැරදි දේ සිතාගැනීමට පුලුවන් නිසා බැව් සිත තර්ක කරයි. ඇත්තටම පූර්ණිමාට දෙන තෑග්ග පිළිබදව මා ඇයට නිකමට හෝ නොකිව්වේ මගේ හිතේ තිබූ කුමක් හෝ හොරයක් නිසාද..? එසේත් නැතිනම් මා නිසැකයෙන්ම දිනූකා මිස්ට බය නිසාද..? නැත්නම් ඇය මට බැන වදියි කියා සිතාද..? 

"ඕන නෑ මිස්.. ඒකෙ තිබුණෙ ඒතරම් වටින බඩු වගයක් නෙමෙයි. මිස් එහෙම මගෙන් අහපු එකට හුගක් ස්තුතියි. සමහරවිට මට ඒවා ආපහු හම්බවෙයි.."

එතැන් සිට හවස වැඩ නිමවෙන තුරුම අප අතර කතාබහක් සිදුවූයේ නැති තරම්ය. නියමිත වේලාවටත් කලින් දිනූකා මිස් කාර්‍යාලයෙන් පිටව ගියාය. ඇය මටත් කියා යාවි යැයි මා සිතාගෙන සිටියද එවැන්නක් සිදුවූයේ නැත. දවල්  මා හා කතාබහ කළ සුහද ආකාරය අනුව එසේ බලාපොරොත්තු තබාගැනීම වරදක් නොවන්නේය. එහෙත් ඇය යන්න ගියේ දැඩි කල්පනාවකින්  මූණ පුරවාගෙන මා දෙසවත් නොබලාය. ඇයට මේතරම් කල්පනා කරන්නට ඇත්තේ මොනවාද..? සමහරවිට ඇය ඇගේ පෙම්වතා ගැන කල්පනා කරනවා විය හැකිය. ඇයට ඉන්නවා ඇත්තේ මට සිතාගැනීමටවත් බැරි තරම් කඩවසම් හාදයෙක් විය යුතුය. ඇය මා සමග වැඩි කතාබහක් නැත්තේද, ඇගේ පෙම්වතා හා සසදා බැලීමේදී මා අන්ත හඩ්ඩෙකු බැව් පසක් වී විය යුතුය.

"කාංචන.."

කාර්‍යාලයෙන් පිටවී පඩිපේලිය බසින අතරතුරේදී පුබුදුගේ කටහඩ මට පිටුපසින් ඇසිණි. එසේ නම් ඉවර කරන්නට තිබූ බතික් ඕඩරය ඉක්මණින් පුබුදු අවසන් කර ඇත. ඔහුත් සමග මට පූර්ණිමාව බැලීමට යා හැකි වනු ඇත. මගේ සිතට දැනුණේ දැඩි ප්‍රීතියකි.

"වැඩ ඉවරද පුබුදු.."

"ඔව්.. හිතුවටත් වැඩිය කලින් ඉවරකරගත්තා. තව ස්ට්‍රොක් එකක් හෙටත් කරන්න තියෙනවා. මැණික්දිවෙල සර් ඒකට මුකුත් කිව්වෙ නෑ. මං ඒත් හිතුවා අරව මේවා කියයි කියලා.."

මට ඔය අරලු බූරලු වැඩක් නැත. මට ඕනෑ කරන්නේ පුලුවන් තරම් ඉක්මනට පූර්ණිමා බැලීමය.

"අපි එහෙනම් පූර්ණිමාලගෙ ගෙදර යමුද පුබුදු..?"

සිතේ වූ නොඉවසිල්ල මැඩගනිමින් මම සීරුවෙන් ඇසූවෙමි. නැත්නම් විහිලුවලින් මට ගැලවීමක් නැතිවනු ඇත.

"ඒකට තමයි මනුස්සයො මම මේ පණ කඩාගෙන දුවන් ආවේ. සිකියුරිටි එකේ ජයන්තට කියලා මං බයික් එක ඉල්ලගත්තා. එතකොට වැඩේ තවත් ලේසිනේ.."

පුබුදු තරම් හොද යාලුවෙක් මේ කල්පයේදී හෙව්වත් මට හොයගත නොහැකි වනු ඇත. තම ළගම හිතවතෙකුගේ සිතැගි තේරුම් ගැනීමට ඔහුට ඇත්තේ සිතා ගැනීමටවත් බැරි අපූර්ව හැකියාවකි.

"එතකොට ජයන්ත කොහොමද අද ගෙදර යන්නේ..?"

"අද විතරනේ කාංචන.. මිනිහා අද බස් එකේ යාවි.."

අනතුරුව මමත්, පුබුදුත් ජයන්තගේ හුටු හුටු යන්තරයෙන් නගරයට ආවෙමු. මා දන්නා පරිද්දට නගරයේ සිට පූර්ණිමාගේ නිවසට ඇත්තේ විනාඩි විස්සක, තිහක පමණ දුරකි.

"ඔය අයිනෙන් නතර කරන්න පුබුදු.."

විරාජ් ජුවෙලරි ළංවෙද්දීම මම කීවෙමි. ඇයි කියන ප්‍රශ්නාර්ථය මුහුණේ ලියාගෙන පුබුදු හුටු හුටු යන්තරය පාර අයිනට ගත්තේය. පූර්ණිමාට ගත් උපන්දින තෑග්ගට සිදුවූ දෙයක් නොමැති බව මම ඔහුට කීවෙමි. බලා සිටියදීම පුබුදුගෙ ඇස් විසල් විණි.

"මේකෙ නම් මොකක් හරි හොරයක් තියෙනවා කාංචන. ඔයාට හොදටම ෂුවර් නේද බර්ත්ඩේ ප්‍රසන්ට් එක මේසෙ ලාච්චුවෙ තිබ්බා කියලා..?"

"ඔව් පුබුදු.. කාමරේ ඇතුලෙ හිටියෙ මායි, මිසුයි විතරයි.."

"හරි.. අපි ඔය ගැන යන ගමන් කතා කරමු.. කාංචන හදන්නෙ ආයෙමත් ඒ  ප්‍රසන්ට් එකම ගන්නද..?"

"වෙන කරන්න දෙයක් නෑ නේ පුබුදු. අනිත්තෙක මං එහෙම නොකළොත් මගේ හිතට හරි නෑ. මේක මං හා හා පුරා කියලා ගැනු ළමයෙකුට දෙන්න යන තෑග්ගක් නේ.."

පුබුදුගේ දෙතොලේ හින් හිනාවක ඡායාවක් ඇදී මැකී ගියේය. මමම ජුවෙලරි එකට ගොස් කලින් ගත්තා සේම රිදියෙන්  හැඩ වැඩ දැමූ මාලයක්, දෙපා පළදනාවක් හා කරාබු ජෝඩුවක් මිලට ගත්තෙමි. සිත ඩිංගක් හෝ සැහැල්ලු වූයේ එය මිලට ගත් පසුවය.

"මේ වගේ දුප්පත් තෑග්ගක් හොරෙන් ගන්න තරම් දිනූකා මිස් පෙළඹේවි කියලා හිතන්නත් බෑ පුබුදු. අනික එයා ඒ වගේ දෙකේ පංතියෙ වැඩක් කරාවිද..? මේ මුලු ටවුන් එකට උනත් ගන්න තරමෙ සල්ලි තියෙද්දි.."

කලින් තෑග්ග ගන්නට ඇත්තේ දිනූකා මිස් බව හිතට වැටහෙද්දීම මම කීවෙමි. එහෙත් එවැනි දෙයක් කෙසේ නම් ඇදහිය හැකිද..? 

"මං ඔය ප්‍රශ්නෙ වෙනිං පැත්තකුයි දකින්නේ.. මොනව නැතත් මට එක දෙයක් ෂුවර්රෙකටම කියන්න පුලුවං කාංචන.. ඒ තමයි දිනූකා මිස් ඔයා ගැන හිතනවා කියන එක.."

"ම.. ම.. ම.. මං ගැන...?"

"ඔව්.. ඒකෙ ආයෙ දෙකක් නෑ.. දිනූකා මිස්ගෙ හිතේ ඔයාව අනිවාර්‍යයෙන්ම ඉන්නවා. ඒත්.. ඒත් මට තේරෙන් නැත්තේ මේ අතිරිත් පරත සිද්ධවෙන පුංචි පුංචි දේවල්.. ඒකයි මං මුලිනුත් කිව්වේ මේකෙ මොකක් හරි හොරයක් තියෙනවා කියලා.."

"දිනූකා මිස් මං ගැන හිතනවා කියනෙක මට නම් හිතාගනන්වත් බෑ පුබුදු. ඇත්තමයි... එහෙම දෙයක් හිතන්නවත් මං බයයි. එයයි, මමයි අතරෙ තියෙන පරතරේම කොයිතරම් ලොකු එකක්ද කියලා හිතෙනකොට මාව හිරිවැටෙනවා..."

"ආදරේ වත්කම් ගැන මනිද්දි ඕවා එකක්වත් වලංගු වෙන්නෙ නෑ. ඒත් අපි මීට වැඩිය ටිකක් දිනූකා මිස් ගැන හෝදිසියකින් හිටියොත් හොදයි කියල නම් මට හිතෙනවා. මොකද මේ හැමදෙයක්ම, හැම සිදුවීමක්ම අහම්බෙන් සිද්ධවෙනව වගේ පෙනුණට, මේ හැමදෙයක්ම වෙන්නෙ නියම ප්ලෑනක් අනුව. ඒක මට විශ්වාසයි. කෝකත් අපි පරිස්සමි වෙමු. ඔන්න කාංචන මෙතන තමයි තැන..."

කතන්දරය අවසානයේ පුබුදු කීවේ එවැන්නකි. මම වටපිට බැලුවෙමි. කම්බි පට දෙක තුනකින් වටවුනු සාමාන්‍ය පංතියේ නිවසක් ඇස් ඉදිරියේ ඇත. පුබුදු කියූ දේවල් සිත පත්ලේම තබා ගනිමින් මම හුටු හුටු යන්තරයෙන් බැස්සෙමි. ජයන්තගේ බයිසිකලට හුටු හුටු යන්තරය යැයි කියන්නේ එයින් නික්මෙන සද්දය හුටු හුටු වූ බැවිනි.

"අනේ.... මම බැලුවා ඒත් කවුද කියලා..."

අප දෙදෙනාව දුටු විගස පූර්ණිමාට කියැවිණි. ඒ පින්බර මුහුනේ පිපී තිබුනේ නෙලාගන්නට ආස හිතෙන තරමේ නැවුම් සිනාවකි.

"තරහා වෙන්න එපා පූර්ණි, ඊයෙ එන්න බැරිවුණාට.." 

කුඩා නිවසේ සාලය මැද්දට වාගෙ වෙන්නට තාබා තිබූ ප්ලාස්ටික් පුටුවක වාඩිවෙන ගමන් මම කීවෙමි. පූර්ණිමාගේ මුහුනේ අර සොදුරු සිනාව තාමත් රැදී තියේ..

"අනේ කමක් නෑ.. ඉතිං ඔයාලට ඊයෙ රෑ වෙනකන් වැඩ තිබුණද කාංචන..?"

ඇය කෙලින්ම ඇසුවේ  මගෙන්ය. ඒ දිගැටි දෑස මගෙන් පිලිතුරක් ලැබෙනතුරු බලා සිටියි.

"වැඩ නම් කලින්ම ඉවරවුණා. ඒත් බන්දුලගෙ වෑන් එකේ ත්‍රීවීල් එකක් හැප්පිලා. දිනූකා මිස් ඇවිත් කිව්වා පොලීසියට ගිහින් වෑන් එක බේරලා යවන්න කියලා.."

දිනූකා මිස්ගෙ නම කියවෙද්දී පූර්ණිමා තිගැස්සී ගියාය. ඇයගේ මුවේ පිපී තිබූ සොදුරු නිසා මල තත්පරයට දෙකට වියැකුණි.

"ඉ.. ඉතිං ඔයාලා පොලීසියට ගියාද..?"

දැන් ඒ කටහඩේ මුලින් තිබූ ප්‍රාණවත් බව නැත. හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට මලානික වූ ඒ සොදුරු දෙනෙත කියන්නේ ඇය මොකක්දෝ හිතේ කරදරයකින් ඉන්නා බවය.

"පොලීසියට නම් ගියා. ඒත් වැන් එක රිලීස් කරගන්න බැරිවුණා. පස්සෙ බලනකොට හොදටම රෑත් වෙලා. කරන්න දේකුත් නෑ. මායි, පුබුදුයි ආපහු එන්න ආවා.."

"ඒ එද්දි මට කියපුවා පූර්ණිට කියන්නෙ නැද්ද කාංචන..? අද රෑ නොගියොත් පූර්ණි මොනවා හිතාවිද..? ඒ කෙල්ල පව්.. එනකන් බලන් හිදියි..  මගේ හිතට මාර අප්සට්.. ඔය වගේ දාහක් දේවල් මේ මනුස්සයා මගෙත් එක්ක කියෙව්වා පූර්ණි.."

පුබුදුටත් ඇත්තේ කටක් නොව ඝන්ඨාරයකි. දැන් ඉතිං මා යළිත් පූර්ණිමාගේ මුහුණ දෙස බලන්නේ කෙසේද..? මේ අවස්ථාවෙ පොළව පලාගනෙ යාමට හැකි නම් මම ඒ දේ ද කරමි. මගේ සිත පිරී තිබුණේ එවැනි ලැජ්ජාවකිනි.

"මේ කියන්නෙ ඇත්තද කාංචන..?"

අර මලානික බව එසේම තියෙද්දී පූර්ණිමා යාන්තමට සිනාවුණාය. ඒ සොදුරු සිනහවේ ලස්සන ගැන කීමට මට වචන තිබුණේ නැත. එනිසාම මම කිසිවක්ම නොකියා ඇය වෙතට උපන්දින තෑග්ග දිගු කළෙමි.

"ම.. මං ඔාට බර්ත්ඩේ එකට එන්න කිව්වෙ තෑගි බලාගෙන නෙමෙයි කාංචන.. "

"මං ඒක දන්නවා පූර්ණි. මං මේක හිතේ සතුටින් දෙන දෙයක්. ඒක නිසා නොගෙන ඉන්නෙපා.."

පූර්ණිමාගේ මුහුණේ තිබුණේ උපන්දින තෑග්ග ප්‍රතික්ෂේප කරන ආකාරයේ හැගීමකි. ඒ හැගීමම මගේ  හිත අවුලෙන් අවුලකට ඇද දැමුවේය. මදක් වේලා මගේ දෙස බලා සිට, ඇය මදෙසට දෑත දිගු කළාය. හිතේ වූ අවුල පසෙක දමා මම ඇයට උපන්දින තෑග්ග දුන්නෙමි.

"හැපි බර්ත්ඩේ පූර්ණි. හැබැයි ඊයෙට හොදේ..."

පූර්ණිමාගේ සියුමැලි ඇගිලි තුඩු මිරිකන ගමන් මම කීවෙමි. ඇගේ මුහුණ සිහින් සිනාවකින් ආයෙත් හැඩ ගැන්විණි. ඇත්තටම ඇයට ලස්සන ඔන්න ඔහොම මූඩ් ගසා සිටින විටය.

"ඔයාලා දෙන්නා ටිකක් ඔහොම ඉන්න. මම බොන්න මුකුත් හදාගෙන එන්නම්.."

තෑග්ගද රැගෙන ඇය ගෙතුළට ගියාය. මට ඩිංගක් එහායින් තිබූ පුටුවක වාඩිවී සිටි පුබුදු ප්ලාස්ටික් පුටුවද රැගෙන මට ළංවිණි.

"පූර්ණිමා හිතේ කරදරේකින් වගේ නේද..?"

"මටත් ඒක තෙරුණා පුබුදු.. මගෙත් එක්ක කතා කරා වුණත්, එයාගෙ හිත තිබ්බෙ වෙනිං දිහාක. අනික බර්ත්ඩේ ප්‍රසන්ට් එකත් ගත්තෙ බයෙන් බයෙන් වගේ.."

ගෙවී ගිය පුංචි කාලයේදී සිතට දැනුණු දේ මම කියාගෙන ගියෙමි. පුබුදුත් ඔලුව දෙපැත්තට වනමින් මා කියූ දේ හරි බව ඇගෙව්වේය.

"අපිත්තෙක්ක ඔෆිස් එකේ ආශ්‍රය කරපු විදියට මට නම් හිතාගන්නවත් බෑ මේ කෙල්ලට මොකද වෙලා තියෙන්නෙ කියලා.. වෙනදට ප්‍රශ්න කීයක් නම් අහනවද..?"

"කොකටත් අපි ඔය ගැන එයා ආවහම අහමු.. සමහරවිට අපි ඊයෙ ආවෙ නැති එකට අප්සට් වෙලාද දන්නෑ.."

"එහෙම වෙන්න බෑ කාංචන. පූර්ණිමා ඒ වගේ හිතන කෙල්ලෙක් නෙමෙයි. හැම පැත්තක් ගැනම සාධාරණව හිතන කෙල්ලෙක්. සමහරවිට අපි නොදන්නව වුණාට ෆැමිලි ප්‍රොබ්ලම් එකක්ද දන්නෙ නෑ.."

පුබුදු කියූ දේට උත්තරයක් දෙන්න කලින් පූර්ණිමා නැවත අප කරා ආවාය. ඇගේ අතේ වූ බන්දේසියේ බටර් කේක් කෑලි හත අටක් හා ඇඹුල් කෙසෙල් ගෙඩි ඇවරියක් විය.

"පූර්ණි.. ඇයි අද ඔෆිස් ආවෙ නැත්තේ..?"

බටර් කේක් කෑල්ලක් හා අඹුල් කෙසෙල් ගෙඩියක් කඩා අතට ගන්නා ගමන් මම ඇසුවෙමි. මොකක්දෝ කල්පනාවකින් පිරී තිබුණු සුදු මුහුණ වහ වහා වෙනස් විනි. ඇය දෑස විසල් කර මගේ මුහුණට එබුනාය.

"ම... මට හිසරදේ වගේ තිබුණා කාංචන.."

එතුවක් මගේ මුහුණේ ඇලී තිබූ දෑස අහකට ගත් නිසාම ඇය කීවේ බොරුවක් බව මට සිතිණි.

"ඔය ඇත්තමද..?"

පූර්ණිමාගේ අතකින් අල්ලා මගේ දෙසට හරවා ගන්නා ගමන්ම මම ඇසුවෙමි.. ඒ දේ කරන්නට මගේ සිතේ වූ ධෛර්යය ගැන මටම පුදුම සිතිණි.

"අ.. අනේ කාංචන..."

ඇස් දෙකටම කදුලු පුරවාගෙන පූර්ණිමා මගේ අත ආපිටට තද කර අල්ලාගත්තාය. රෝස කුසුමක් මැලවී ගොස් ඇත්තාක් මෙන් සුදු මුහුණේ කියාගත නොහැකි මොකක්දෝ ලොකු වේදනාවක් ඇත.

"හොද දරුව වගේ මෙතනින් වාඩිවෙලා ප්‍රශ්නෙ මොකක්ද කියන්න. ඔයාට ඕන උදව්වක් කරන්න මායි, පුබුදුයි ඉන්නවා.."

පුබුදුගේ මුහුණෙන් පෙනෙන්නේ මා කරනා කියනා හැමදෙයක්ම අනුමත කරන බවය. ඇත්තටම එය මට ගෙනාවේ මහ විශාල ධෛර්යයකි.

"ම.. මට තේරෙන්නෑ මම මේක කොතනින් පටන් ගන්නද කියලා. මං ඔයත් එක්ක ආශ්‍රය කලේ හුගක් සංතෝසෙන් කාංචන. ඔයත්තෙක්ක කතාබහ කරන විනාඩි පහෙන් දහයෙන් පවා මගේ හිතට පුදුම තරම් සැනසීමක් ලැබිල තියෙනවා. ඒත් දෙයියනේ ඒ සැනසීම මගෙන් ඈත් කරන්න කෙනෙක් ඉන්නවා.."

"ඒ කවුද..?"

මටත් කලින් පුබුදුගේ කට ඉස්සර විණි.

"දිනූකා මිස්.."

පූර්ණිමාගේ මුවින් ඒ නම පිටවෙද්දී මගේ මුලු හිතම සීතල විණි... 

"දිනූකා මිස්...?"

මමත්, පුබුදුත් එකවරම ඇසුවෙමු. සිතට කොහෙන්දෝ සිට බයක් වැනි හැගීමක් ගලා එද්දී මම යටිතොල්පට විකා ගත්තෙමි.

"ඔව්..."

"අපිට ඔයා කියන දේ තේරෙන්නෑ පූර්ණි. ඔයයි, කාංචනයි ළංවෙනවට දිනූකා මිස් අකමැති වෙන්නෙ ඇයි..? අනික ඔයයි, දිනූකා මිසුයි හුගක් ළගින් ආශ්‍රය කලා කියලත් මං දන්නවනේ.."

කිසිම දෙයක් නොදන්නා පරිද්දට පුබුදු විමසන්නේ සිතේ මොනවා හෝ තබාගෙන විය යුතුය. දිනූකා මිස් මේ ප්‍රශ්නයට ගෑවි ඇති බැව් දැනගත් මොහොතේ සිටම මගේ සිත තලා පෙලා ගින්නකට ඇද දැමූ මුව පැටියකු සේ බයකින් කෑ ගසයි.. 

"මටත් හිතාගන්න බැරි ඒකයි පුබුදු. මං මේ කාංචන ඉ්සසරහ කියනවා නෙමෙයි. ඇත්තටම මං කාංචනට කැමතියි. කාංචන එන්න කලින් මායි, පුබුදුයි කම්පැනියෙ වැඩ කලානේ. ඔයා ඕන නම් පුබුදුගෙන අහල බලන්න, මං ඔයා ගැන ඇරෙන්න වෙන කිසිම බෝයි කෙනෙක්ව ළගින් ආශ්‍රය කරලා නෑ.."

"මං ඒක දන්නවා පූර්ණි. ඒත් ඇයි දැන් ඕවා කියන්නේ..? ඔයා හුගක් හොද ගෑණු ළමයෙක්.. මම ඒක කීප සැරයක්ම පුබුදු එක්ක කියලත් තියෙනවා.."

"ඒක තමයි.. ඔයා කවුද කියන්න අපි දන්නවා පූර්ණි. ඔයයි, කාංචනයි ළංවෙනවට හුගක්ම කැමති වුණේ මම. මොකද ඔයාලා දෙන්නගෙම සිතුම් පැතුම් හුගක් දුරට එක සමාන වුණ නිසා. ඒත් දිනූකා මිස් මැද්දට ආවා කියල ඔයාලා දෙන්නා ඈත් වෙන්න ඕනෙ නෑ නේ. අනිත්තෙක ඔයාලා දෙන්නව ඈත් කරන්න දිනූකා මිස්ට තියෙන උවමනාව මොකක්ද..? ඔයයි, කාංචනයි දෙන්නම මිස්ගෙ සේවකයො විතරයි. රාජකාරි දේවල්වලට ඇගිලි ගැහුවට එයාට බෑ ඔයාලගෙ පෞද්ගලික දේවල්වලට ඇගිලි ගහන්න.."

පුබුදුට කේන්ති ගොස් සිටිනවා මං දැක්කේ පළමු වතාවටය. මමත්, දිනූකා මිසුත් කාර්‍යාලීය කාමරය තුල සිටින විට සිදුවන සිද්ධීත්, පූර්ණිමාගේ සිද්ධියත් එකට ගැලපිය හැකිදැයි මම බැලුවෙමි. එහෙත් එසේ ගලපන්නට නම් පූර්ණිමාට වූ දේ දැනගන්නට ඕනෑය.

"අපි පොඩ්ඩක් කූල් එකේ මේ ගැන කතා කරමු පුබුදු. කලබල වෙලා අපිට මුකුත් කරන්න බෑ. අනික මේ ප්‍රශ්නෙට ඔයයි, මායි දෙන්නම මැදිවෙලා ඉවරනේ පූර්ණි. ඒක හින්දා දිනූකා මිසුයි, ඔයය් අතරෙ වෙච්ච කතාබහ  ගැන මමත් දැනගෙන හිටියොත් හොදයි කියලා මට හිතෙනවා. මොකද මම ඉන්නෙත් දිනූකා මිස් ළගනේ.."

හැම හැගීමක්ම පැත්තකට දමා මම ප්‍රශ්නයට එබෙන්නට උත්සාහ ගත්තෙමි. පූර්ණිමාගේ නිවසට පැමිණෙන විට සිතේ තිබූ සොදුරු හැගීම් දැන් එකින් එක ඈත්වී යන්නට පටන්ගෙන ඇත.

"අපි තුන්දෙනාම කොහොම හරි කැන්ටින් එකේදි කතාබහ කරනවනේ. දවසක් දිනූකා මිස් මගෙන් ඇහුවා ඔයාගෙ එෆෙයාර් එක තියෙන්නෙ පුබුදුත් එක්කද, නැත්නම් කාංචන එක්කද කියලා.."

"ඉතිං..?"

"මං කිව්වා කා එක්කවත් නෑ මිස්. අපි තුන්දෙනා හොද යාළුවො කියලා."

"ඇයි ඔයා ඒ ගැන අපිට කිව්වෙ නැත්තේ..?"

"කියන්න තරම් වැදගත්කමක් ඒ ප්‍රශ්නෙ තිබුණෙ නෑ පුබුදු. මං හිතුවා අපි එකට කතාබහ කර කර ඉන්න හින්දා මිස් නිකමට එහෙම අහන්නැති කියලා. ඒත් වැඩි දවසක් යන්න කලින්ම මට තේරුණා දිනූකා මිස් මගෙ පස්සෙ පන්නනවා කියලා."

එසේ නම් දිනූකා මිස්ගේ අවධානයට මා හැරුණු කල පූර්ණිමාද ලක්ව සිටියි. අලුත් කුතුහලයකින් සිත පිරීයද්දීම මම පූර්ණිමා දෙසම බලා සිටියෙමි.

"පුංචි පුංචි සිද්ධී දෙක තුනක් උනත් ලොකු සිද්ධිය උනේ පෙරේදා. එදා හවස මං වැඩ ඇරිලා ගෙදර එද්දි මගදි මට දිනූකා මිස් මුණගැහුනා. බර්ත් ඩේ එකට කාට ඉන්වයිට් කලත් කමක් නෑ. හැබැයි කාංචනට ඉන්වයිට් කරන්න බෑ මිස් මට කෙලින්ම තර්ජනය කලා. ගහෙන් ගෙඩි එන්න වගේ වෙච්ච දේ හින්දා මට කතාකරගන්නත් බැරි වුණා. ඒත් මං මිස් යන්න ඔන්න මෙන්න කියලා වගේ තියෙද්දි එහෙම කියන්නෙ ඇයි මිස් කියලා ඇහුවා."

එක දිගටම කතා කරගෙන ගොස් පූර්ණිමා මදක් නතර වූවාය. මමත්, පුබුදුත් සිතා සිටියාටත් වැඩි බොහෝ දේ සිදුවී ඇත. සිදුවන්නටද තිබෙනවා විය හැකිය. දෙවියනේ මේවාහි අවසානය කොතැනක ඇතිද..?

"මෙතන ඕඩර් දෙන්නෙත් මම, ප්‍රශ්න අහන්නෙත් මම. පූර්ණිමා කැමති ගෙදර ඉන්නද, නැත්නම් දිගටම රස්සාව කරන්නද..? මොකද කාංචන මේ ගෙදරට අඩිය තිව්වොත් මං ඔයාව රස්සාවෙන් අයින් කරනවා. ඒ තීරණය තියෙන්නෙ ඔයා අතේ. මේ තරම් හොද රස්සාවක් ලේසියෙන් හම්බෙන්නෙත් නෑ කියනෙක ඔයා දන්නවනේ. ඔය වගේ  හුගක් දේවල් මිස් මට කිව්වා. පස්සේ මං කිව්වා අනේ මිස් මම කාංචනට ඉන්වයිට් කලානේ කියලා.."

මට මදකට හුස්ම ගන්නට පවා අමතකව ගොස් තිබිණි. මා අද පූර්ණිමාගේ නිවසට පැමිණිම නිසා මේ අහිංසක කෙල්ලගේ රැකියාවත් නැතිවී යාවි යැයි ඒ තත්පරයේදිමට මට සිතිණි. එවිට ඇය තවත් අසරණ වනවා නොවේද..?

"කාංචනට ඉන්වයිට් කරල ඉවර නම් එයා මෙහෙ එන එක මං නවත්තන්නම්. හැබැයි අද ඉදලා ඔයා කාංචනත් එක්ක තියෙන සියලු සම්බන්ධකම් නවත්තන්න ඕන කියලා දිනූකා මිස් මගේ මූණටම කිව්වා. මට ඒ වෙලාවෙ ඉදලා මේ වෙනකනුත් හිතට කිසිම නිදහසක් නෑ කාංචන. මං මොනවද දෙයියනේ මේකට කරන්නේ..?"

පූර්ණිමා ඇසුවේ මගේ දෑතෙහිම එල්ලීගෙනය. එහෙත් ඇයට දිය යුතු වූ කිසිදු පිළිතුරක් මගේ ළග තිබුණේ නැත. පූර්ණිමා තරමට හෝ ඊටත් වැඩියෙන් මමද අසරණ වී සිටියෙමි.

"ඇයි දිනූකා මිස් මෙහෙම හැසිරෙන්නේ..?"

හුග වෙලාවක පටන් තිබූ දැඩි නිහැඩියාව බිද දැමුවේ පුබුදුය. මාත් සමග ඇති ඇසුර නතර කරන්නට කියා දිනූකා මිස් පූර්ණීමාට බල කරන්නේ ඇයි..? අනික එය සුලුපටු තර්ජනයක්ද නොවේ. මින් ඉදිරියට මාත් සමග කතාබහ කළහොත් රැකියාවෙනුත් අස් කරනා බව ඇය කියා ඇත. නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ කියා කියන්නේ මෙන්න මේවාටය.

"එකම එක හේතුවයි තියෙන්නේ.."

පුබුදුගේ ප්‍රශ්නයට පූර්ණිමාගේ මුව විවර විණි. මමත්, පුබුදුත් ඇය දෙසට හැරුණේ කියන්නට යන්නේ මොනවාදැයි දැන ගැනීමටය. 

"දිනූකා මිස් කාංචනට ආදරය කරනවා. ඒක තමයි එකම හේතුව. මිස් ඔහොම හැසිරෙන්නෙත් ඒකයි.."

පූර්ණිමා කියාගෙන යද්දී ඒ මුහුණේ තැන්පත් වූයේ මහා වේදනාවක සලකුණුය. කියාගත නොහැකි දැඩි දුකකින් සුදු මුහුණ විරූපී වී තිබිණි.

"ඒක වෙන්න බෑ පූර්ණි. ඒ දේ කොහොමටවත් වෙන්න බෑ. ඔයා දන්නවනම් දිනූකා මිස් මට සලකන විදිය, ඔයා ඔය කිව්ව දේවල් කියන්න හීනෙකින්වත්  හිතන්නෙ නෑ. අඩුම ගානෙ මිස් මාව ගණන් ගන්නෙවත් නෑ. ජොබ් එකට ඇවිල්ලා මං බැනුම් නාහපු එක දවසක්වත් නෑ. සමහර වෙලාවට මට බල්ලට වගේ බනිනවා. මොනව වුණත් අර කම්මලේ ඉන්න බලලා වගේ මාත් දැන් ඒවට පුරුදු වෙලා.."

"කාංචන කියන දේවල් ඇත්ත පූර්ණි. මොකද මීට කලින් දිනූකා මිසුයි, කාංචනයි අතරෙ වෙච්ච කතාබහ හැම එකක්ම කාංචන මගෙත් එක්ක කියලා තියෙනවා. ඒ දිහා බැලුවහම සමහර වෙලාවට මටත් හිතෙනවා මෙතන මොකක්දෝ හිතාගන්න බැරි දෙයක් වෙනවා කියලා. හොදම උදාහරණෙ තමයි අර බන්දුලගෙ වෑන් එක රිලීස් කරගත්තෙ නෑ කියල කාංචනට බැනපු බැනිල්ල. ඒක නම් තනිකරම ද්වේශ සහගතව කරපු දෙයක්. ආයෙ හොදන්න දෙයක් නෑ.."

"දැන් ඉතින් තවත් ඔය ගැන කතා කරලා වැඩක් නෑ පුබුදු. අපි දැන් මේකට මොකද කරන්නෙ කියලා කල්පනා කරමු. අනික මං දැන් මෙහේ ආවා කියලා දැනගත්තොත් දිනූකා මිස් ෂුවර් එකටම පූර්ණිට බකට් එක අදියි.."

ඉන් අනතුරුව නැවතත් අප තිදෙනා අතර කෙටි නිහැඩියාවක් පැතිර ගියේය. යම්කිසි අදහසක් හෝ කියන්නට කවුරුවත් උත්සාහ කළේ නැත. මගේ සිත නම් මොකක්දෝ වේදනාකාරී බවකින් බැද දමා තිබිණි.

"ඔයාලා කලින් කිව්වනේ පුංචි පුංචි සිද්ධිත් දෙක තුනක් වුණා කියලා. දිනූකා මිස් සම්බන්ධව. ඒ මොනවද පූර්ණි..?"

නිහැඩියාව බින්දේ පුබුදුය. පූර්ණිමාගේ මැලවී ගිය මුහුණේ ලා රත් පැහැයක් හදිසියේම විද්‍යාමාන විය.

"ම.. මට ඒක කාංචන ඉස්සරහ කියන්නත් මොකක්ද වගේ. ඒත් දැන් නම් ප්‍රශ්නෙ ඇදිල යන විදිය ඒ ගැන නොකියත් බෑ. කාංචනට දෙන්න කියලා හිතාගෙන මං පුංචි ප්‍රසන්ට් එකක් ගත්තා. ලන්ච් ටයිම් එකේදි දෙන්න කියල හිතාගෙන මං මගේ මේසෙ කොනකින් තමයි තියල තිබුණේ. ඒත් පැයකින් විතර බැලුවහම ඒක එතන නෑ.."

පූර්ණිමා කතා කරගෙන ගියේ බිම බලාගෙනය. නිසැකයෙන්ම ඇය හිදිනවා ඇත්තේ ලැජ්ජාවෙනි රතුවී විය යුතුය. ඒ හා සමගම මට මතක්වූයේ මා පූර්ණිමාට ගත් උපන්දින තෑග්ග අතුරුදන් වූ අයුරුය. සිද්ධී දෙකේම ඇත්තේ එකම විදියේ සමානකමකි. මම පුබුදු දෙස බැලුවෙමි. ඔහු සිටියේ යටි තොල්පට තදින් විකාගෙනය.

"ඔය සිද්ධිය වුණේ, දිනූකා මිස් ඔයාගෙන් ඇහුවනේ අපි දෙන්නගෙන් යාලු කා එක්කද කියලා. ඒ අහන්න කලින්ද, එහෙම නැත්නම් පස්සෙද..?"

මා ඇසිය යුතු ප්‍රශ්නයක් පූර්ණිමාගෙන් ඇසුවේ පුබුදුය. හැම දෙයක්ම සිදුවී ඇති කාල වකවානු ගැන මතකයේ තබාගැනීම වඩාත් ඇගට ගුණදායකය. බෙහෝවිට මේවා දම්වැලක පුරුක් මෙන් එකිනෙක බැදී පවතින්නට ඉඩ තිබිය හැක.

"හුගාක් පස්සේ.. ඒත් ඒ ප්‍රසන්ට් එක දිනූකා මිස් ගත්තා කියලා මට විශ්වාස කරන්නත් බෑ. මොකද ඒ වගේ පුංචි තෑග්ගකින් එයාට ඇති ප්‍රයෝජනේ මොකක්ද..?"

"සමහරවිට අපි හිතනවටත් වැඩිය ලොකු ප්‍රයෝජනයක් ඇති. මොනව වුණත් අපිට දැන් මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. අපිට ඒ දේ අනිවාර්‍යයෙන්ම කරන්න වෙනවා. එහෙම නැතුව මේකෙ අගක් මුලක් හොයන්න අපිට බෑ.."

පුබුදු කියන්නට යන්නේ කුමක්දැයි දැනගැනීමට මම ඩිංගක් ඔහුට ළංවුණෙමි. පූර්ණිමාද හිතේ වූ හැම හැගීමක්ම ඉවත දැමූ පරිද්දෙන් පුබුදු දෙසට දෑස එල්ල කලාය..

"ඔයාලා දෙන්නා ඔයාලා දෙන්නට කැමතියි කියලා මං දන්නවා. ඒත් ඒ කැමැත්තට අකමැති කෙනෙකුත් ඉන්නවා කියලා අපි අද කරපු කතාබහෙන් අපි තුන්දෙනාට හොදට තේරුම් ගියා. එහෙමනේ.. ඒක හින්ද ටික දවසක් යනකන් ඔයාලා දෙන්නා කතාබහ නොකර මගඇරලා ඉන්න. අඩුගානෙ හිනාවෙන්නවත් එපා. ඔයාල දෙන්නගෙම හිත්වලට හුගක් දුක දැනෙන්න පුළුවන්. ඒත් මෙ ප්‍රශ්නෙ විසදගන්න නම් ඒ දේ කරන්න වෙනවා. අනික මොන දේ නැතත් ඔයාගේ රස්සාවත් බේරගන්න ඕනනේ පූර්ණි, ඔයාටයි, කාංචනටයි කතාබහ කරන්න ඕනෙ නම් හෙමින් සීරුවෙ ඒකට දවසක් දාගමු.. මොකද කියන්නේ..?"

පුබුදු ඇසුවේ අප දෙදෙනාගෙන්මය. දුකින් මැලවී ගොස් ඇති පූර්ණීමාගේ මුහුණින් ඇයගේ වතෙහි තත්වය මනාව පිළිබිඹු වී තිබිණි.

දිග දෑස් පියන් යට කදුලු බිංදු රැදී තිබුණේ කඩා වැටෙන්නට ඔන්න මෙන්න වාගේය. ඉතා කෙටි කාලයකින් සිතේ උපන් මහමෙරක තරම් වූ ආදරණිය බැදීමකට යදම් දමා සිරකරන්නට හැකිදැයි මම මගේ සිතින්ම අසාගත්තෙමි. පූර්ණිමාද රැදී සිටින්නේ ඒ ගැටලුව ආසන්නයේ බව ඇයගේ මුහුණින් අපූරුවට පෙනී යයි.

"ඔය බලන්න.. ඔයාල දෙන්නම මූණු එල්ල ගත්තා... මං මේ හැමදෙයක්ම කිව්වෙ ඔයාලා දෙන්නගෙ හොදට. මොකද දිනූකා මිස් දෙයක් කිව්වොත් ඒ දේ අනිවා කරනවා කියලා අපි තුන්දෙනාම දන්නවනේ. ඒක හින්ද අපි ඉල්ලගෙන කන්න ඕන්නෑ. හෙමින් සීරුවෙ මේකට උත්තරයක් හොයාගමු. වැඩිය ඉක්මන් වෙලා හම්බ කරන් කාපු රස්සාව නැති කරගන්න ඕන නෑනේ. "

පුබුදු කියන්නේ සහතික ඇත්තය. දිනූකා මිස් ළග මෙතුවක් වැඩ කළ නිසාම මම ඇයගේ හැටි හොදාකාරවම දන්නෙමි. ඇය, ඇයට ඕනෑ දේ කෙසේ හෝ ලබාගනී. එවිට විරුද්ධ පක්ෂයට අයත් වන දුක් වේදනා, අලාභයන් ගැන ඇය තකන්නේ නැත.

"පුබුදු කියන දේ හරි පූර්ණි. එයා කියන විදියට වැඩ කරොත් අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන් වේවි."

"අ.. අනේ කාංචන.."

අහිංසක කෙල්ලගේ හිතේ වූ හැම බැදීමක්ම පුපුරා යන්නට ඇත. ඇස් ඉස්මත්තේ තිබූ ලොකු කදුලු ගුලි කිහිපයක්ම එක සීරුවට බිමට කඩාගෙන වැටුණි. මම හනික ඇයගේ අතින් අල්ලා ගත්තෙමි. එය බලාපොරොත්තුවෙන් සිටියාක් මෙන් පූර්ණිමාද මගේ ළගට තවත් ළංවූවාය.

"ඔ.. ඔයා හදන්නෙ මාව අ.. අමතක කරලා දාන්නද කාංචන..?"

අන්තිම හරිය කියද්දී ඇයගේ කටහඩ බිදී ගියාය. අලුතින් උපන් කදුලු පොකුරක්ම මගේ අත උඩට කඩාගෙන වැටුණි. කියාගත නොහැකි මොකක්දෝ ලොකු වේදනාවකින් මගේ හදවත දෙකට ඉරා දැම්මේය.

"එහෙම කවදාවත් වෙන්නෑ පූර්ණි..."

ජීවිතයේ පළමු වතාවට, මම යුවතියක ඉදිරියේ අනාගතය ගැන සපථ වූයෙමි. සත්තකින්ම එය දිව්රීමක් බදු විය. පූර්ණිමාගේ කදුලු පිරුණු මුහුනේ අලුතින් පැනනැගුනු කාන්තියෙන් ඇය මා විශ්වාස කළ බවක් දැනුණේය.

"එහෙනම් අපි ගිහිල්ලා එන්නම් පූර්ණි. ඔයා බයවෙන්නෙපා.. ඔයාගෙයි, කාංචනගෙයි ඕන දේකට මං ඉන්නවා.."

පුබුදු ඉස්සර වූයේය. මමත් ඔහුට පිටපසින් වැටුණද නැවතත් හැරී පූර්ණිමා දෙස බැලුවෙමි. ඇය සිටියේ සිත දුකින් කඩා ඉහිරුවන තරමේ ඉරියව්වකිනි.  සියලු පැතුම්, ප්‍රාර්ථනා නැතිවී ගොස් තනිකමේ මහා දුකින් ඒ සුදු මුහුණ මැළවී ගොස් තිබිණි.

"ම... මං හැ.. හැම දෙයක්ම ක.. කරේ.. ඔ.. ඔයා ගැන හිතලා කාංචන.. අ.. අනේ..."

පූර්ණිමා හනික දොර වසාගත්තේය. මහාමේරුව හිත උඩින් තැබුවාක් මෙන් විශාල බරකින් මගේ හදවත තලා පෙලන්නට විය. හිත පිළිසිදගත් සොදුරු බැදීම් මෙතරම් හදවත කකියවන්නේ ඇයි..? මම පුබුදු දෙස බැලුවෙමි. ඔහු සිටියේද මදෙස බලාගෙනය.. 

"පූර්ණිමා උඹ ගැන හුගක් හිතල.. නේද කාංචන...? මට නම් හරියට පව් කියලා හිතුණා බං.. කෙල්ල සමහරවිට හිතනවද දන්නෑ උඹ එයාව මගාරින්න හදනවද කියලා.. මමත් උඹට උල්පන්දම් දෙනවා කියලා.."

ඉන් අනතුරුව හුටු හුටු යන්නරයේ ශබ්දය නිසා පුබුදු කියනා සමහර දේ නෑසී යන්නට විය. ඇහුන්නෑ කියා නැවත ඒවා අසා ගැනීමටද මගේ හිත උනන්දුවක් දැක්වූයේ නැත. විඩාබර වූ කාංසියෙන් මුලු තුන් සිතම දවා පෙලද්දී අසරණ පූර්ණිමාගේ අහිංසක මුහුණ කිහිප වතාවක්ම මට මැවී පෙණිනි. දෛවය අහිංසකයින්ටම පමණක් නපුරුකම් කරන්නේ ඇයි..?

"මං උඹෙන් එක දෙයක් අහන්නද..?"

බොහෝ රෑවී, නිදාගන්නට ඔන්න මෙන්න කියා තිබියදී පුබුදු මගෙන් ඇසුවේය. කියන්නට දෙයක් නැති නිසාම මම ඔලුව වැනුවෙමි.

"උඹට කොයි වෙලාවක  හරි හිතිල තියෙනවද, දිනූකා මිස් උඹට ආදරේ කරනව කියලා..?"

ඉදල ඉදල පුබුදුත් අසන්නේ මාර ප්‍රශ්නය.. ඒත් ඒ ප්‍රශ්නයේ යටි අදහස තේරුම් ගැනීමට මම උත්සාහ කෙරුවෙමි. ගෙවී ගිය දින ගණනන් යළි සිහිපත් කර බැලුවද පුබුදු අසනා දෙයෙහි ඡායාවක්වත් මට දැකිය හැකි වූයේ නැත. එසේ නම් දිනූකා මිස් බොහෝ වේලාවට මදෙස ඇසිපිය නොහෙලා බලා සිටින්නේ ඇයි..? මා ඇය දෙස බලන විට අහක බලාගන්නේ ඇයි..?  ඒවා නම් උත්තර නැති ප්‍රශ්නය..

"නෑ පුබුදු කොයි වෙලාවකවත් නෑ.. ඒත් මට හිතිලා තියෙනවා.."

"මිස් ආදරේ කලා නම් හොදයි කියලා නේද..?"

"නෑ පුබුදු.. මට හිතිලා තියෙනවා, මේ ඉන්නවට වැඩිය මිස් මට කරුණාවන්ත උනා නම් හොදයි කියලා.."

"උඹ මිස්ට ආදරේ නැද්ද..?"

ප්‍රශ්න අසන්නට ගත්තහම පුබුදුත් ප්‍රශ්න කෝච්චියක්ය. හරි උත්තරයක් ලැබෙනතුරු ඔහු ප්‍රශ්න අසයි.. 

"ඉර පායන පැත්තට හැරී හැරී හිටියට සූරියකාන්ත මල්වලට කවදාවත් ඉර හම්බවෙන්නෙ නෑ පුබුදු.."

පුබුදුගේ මුහුණ මද සිනාවකින් ඔපවත් විණි..

"එතකොට පූර්ණිමා..?"

"පූර්ණිමාත් සූරියකාන්ත මලක් නේ..."

පුබුදුගේ සිනාවට එකතු වෙමින් මම කීවෙමි. පූර්ණිමා මා ගැන සහසක් බලාපොරොත්තු තබාගෙන සිටියි. ඇයගේ ලෝකයේ සිටින්නේ මා පමණක් විය යුතුය. එහෙත් ඒ පිළිබදව ඇය කිසිවක් හරියාකාරව කීවේ නැත. එසේ නම් දිනූකා මිස් මගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි මා දැනගත යුතුය. නැතිනම් මට වෙන්නේ ලිහාගත නොහැකි පඹගාලක පැටලී මියැදෙන්නටය.




                                                            

No comments:

Post a Comment