Thursday, March 22, 2012

| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






පසුදා මා අවදි වූයේ රාත්‍රියේ තිබූ හිසරදය දෙගුණ, තෙගුණ වී දැනෙද්දීය. මුළු ඔලුවම මහ වේදනාවකින් පෙලෙන්නට වූයේ මහ මෙර ඔලුව උඩින් තැබුවාක් මෙනි. මා අවදි වන විටදී පුබුදු කාමරයේ සිටියේ නැත. අද උදෑසනම, දිනූකා එන්ටර්ප්‍රයිසස් අනෙක් ශාඛාවේ ගණන් හිලව් වගයක් නිවැරදි කර ගැනීමට පුබුදු යන බවක්, කී හැටි මට මතක් වූයේ ඒ වෙලාවේදීය. අද වැඩට නොයා උදව වරුවේ හෝ කාමරය තුළට වී සිටිවා නම් හොදය. මාස ගණනකින් මා එකදු නිවාඩුවක් හෝ ලබා ගත්තේ නැත. නිවාඩුවක් ගන්නට හිතේ කැමැත්ත තිබුණත් දිනූකා මිස්ගෙන් ඒ ගැන අහන්නට බැරිකම නිසාවෙන් මම සෑමදේම දරාගෙන උන්නෙමි. සේවයට ආදා සිට, මා අයියා හා ජයවර්ධන අංකල්ව බැලීමට ගොස් ඇත්තේ ද එකවරකි. ඔවුන් මා ගැන මොනවා සිතනවාදැයි සිතන විට හිසේ කැක්කුම තව වැඩිවෙයි.


වැඩට නොයා ඉන්නට සිතුනද, ඊයේ දහවලෙන් පසුව දිනූකා මිස් නොදැකි බව මට මතක්විය. ඇයව එක් වරක් හෝ දුටුවෝතින් මේ හිසරදය සමහර විට අඩුවනු ඇත. එසේ නැතිනම් තිබ්බාටත් වැඩිය තවත් වැඩිවනු ඇත. කෙසේ වුවද අතට අසුවුණු කමීසයක් හා කලිසමක් ඇදගෙන මම කාර්යාලයට ඇතුලු විමි. මගේ දෑස කෙලින්ම යොමු වූයේ යුරෝපීය ඇදුම් කට්ටලයකින් මනා ලෙස සැරසී හුන් දිනූකා මිස් වෙතටය. උදෑසනම නැවුම් පින්නේ පිපුණු රෝස කුසුමක් මෙන් ඇය විකසිතව සිටියාය. පෙනෙනා හැටියට නම් අද දවස සුභ දවසක් වාගයෙ. මගේ හිතේ වූ බර ගතියද කෙමෙක් කෙමෙන් අඩු වී යනු මට දැනෙයි.

"ගුඩ් මෝර්නින් මිස්.."

මම කට පුරා මෙන්ම, හිත පුරාද අහිතකින් තොරව කීවෙමි. දිගු සොදුරු දෑස සැනෙකින් මා වෙතට එල්ල විණි. එහෙත් මා බලාපොරොත්තු වූ සුහද බව එහි තිබුණේ නැත.

"තව ටික වෙලාවක් ගියා නම් ගුඩ් ආෆ්ටර්නූන් කියන්නත් තිබ්බා තමුන්ට ඕන ඕන වෙලාවට එන්න මේක අම්බලමක් කියලා හිතුවද..?"

මම උඩ විසිවී ගොස් බිම වැටිණි. දෙවියනේ.. මා මොහොතකට කලින් සිතුවේ, මගේ අපල කාලය අවසන්ව ඇති බවය. එහෙත් එය මේ කපේ අවසන් නොවනා බැව් මේ ඇසෙන වදන් සාක්ෂි දෙයි.

"ම.. මට ටිකක් සනීප මදි මිස්.. මං වැඩට ආවෙත් අමාරුවෙන්.. නොයා ඉන්න බැරි හින්දා.."

මගේ අසරණ වචන වලට ඇයගේ ඇත් දළ පැහැගත් මුහුණේ දැඩි අමණාපයක් සටහන් විය. ඇයට මේතරම් නොරොක් වන්නට මා කළ එකම වැරැද්ද පමාවී සේවයට වාර්ථා කිරීම දැයි මම දහ අතේ සිතුවෙමි.

"නොයා ඉන්න බැරි නම් ඒකටත් හේතුවක් ඇති නේ.. ඔය කියන තරම් අමාරුකම් තියාගෙන මෙතෙන්ට පරක්කු වෙලා දුවගෙන එන්නේ, ඇයි මෙතන කවුහරි ඉන්නවද දවසක් හරි නොදැක ඉන්න බැරි.."

"එ.. එහෙම දෙයක් නෑ මිස්.."

"නැත්නම් කොහොම දෙයක්ද තියෙන්නේ..?"

"කිසිම දෙයක් නෑ.. මං අමාරුවෙන් උනත් ආවෙ මේ ආයතනයට ආදරේ හින්දා.. මට ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න උදව් දෙන හින්දා.."

"බොරු කියන්නෙපා.. බොරු කියන්නෙපා.. මට ඔය බොරු කියන මිනිස්සු පේන්න බෑ.. හිතේ එකක් තියාගෙන, බඩේ තව එකක් තියාගෙන, කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් එකක්.. ෂිහ්.. මට.. මට තමුන් ගැන ලැජ්ජයි.."

හිදගෙන හුන් තැනින් නැගිට ඇය කෙලින්ම මවෙතට ආවාය. වෙන්නට යන්නේ කුමක්දැයි නොදැන මම සිටගෙන සිටි ඉරියව්වෙන්ම තක්කු මුක්කු වී බලා සිටියෙමි. ඇය මට පහර දෙන්නට මෙන් මේ කඩා බිදගෙන එන්නේ ඇයි..? මම ඇයට කිසිදු වරදක් නොකළෙමි. ඇයට මා ගැන ලැජ්ජා සිතීමට තරම් දෙයක් මම කර නොමැත්තෙමි. සැමදා මා ඇයට විශ්වාසවන්තව, පක්ෂපාතීව සිටියා නොවේද..? 

"ම.. මං මිස්ට ලැජ්ජා වෙන්න තරම් දෙයක් කරලා නෑ.. මිස්.. මං මේ ආයතනයට ආදරෙයි කියලා කිව්වෙත් ඇත්තටමයි.."

මගේ මුහුණ ඉදිරියට විත් නැවතුණු, ඒ සොදුරු රූපයට මම අහිතකින් තොරව කීවෙමි..

"මට ලැජ්ජා කරේ නෑ කියලද කියන්නේ..?"

මා වෙතට දබරැගිල්ල දිගු කරමින් ඇය කඩා පැන්නාය. ඊයේ දහවලින් පසුව කුමක් හෝ දෙයක් සිදුවී ඇතැයි දැන් දැන් මට සිතෙයි. ඇය හදන්නේම මා සමග රන්ඩුවකට පැටලීමටය. ඒ නිසාම ඒ ඉඩ අවම කිරීමට මා හැකි තරම් උත්සාහ ගත්තෙමි. මා කාර්යාලයට ප්‍රමාද වී පැමිණීමේත්, මේ දැන් සිදුවීගෙන යන කතා බහෙත් කිසිදු සම්බන්ධයක් නැති බැව් මට වැටහෙයි.

"තමුන්ගෙ මාලුපාන් ගෙඩියෙන් කෑල්ලක් උදුරගෙන කෑවා කියලා, තමුන් පුබුදුත් එක්ක කිව්නෙ නැද්ද..? එහෙම කියලා හක හක ගාලා කැත විදියට මට හිනා වුණේ නැද්ද..? මනුස්සකමට පවු කියලා පුංචි බුරුලක් දුන්නහම හිතන්නෙ ඇද උඩටත් නගින්න පුලුවන් කියලා.. ඉස්සෙල්ලම තමුන්ගෙ තත්වෙ දැනගන්නවා.."

මම තුන් මුනින් දාඩිය දාගෙන, විළි වැදී ගියෙමි. දෙවියනේ.. මේ තරම් අසික්කිත කතාවක් දිනූකා මිස්ගේ මුවින් කෙසේ නම් පිටවුණාද..? ඇයට මේ තරම් කේන්ති ගොස් ඇත්තේ මාලුපාන් කෑල්ලේ කතාන්දරය මා පුබුදුත් සමග කියූ නිසා බැව් පැහැදිලිය. එහෙත් මා පුබුදු සමග කළ කතාබහ ඇය දන්නේ කොහොමද..? අනික ඊයේ දහවලින් පසුව කාර්යාලයට ඇය ආවේද නැත. එක්කො මේ කතාව කියනවා නම් කිය යුත්තෙ පුබුදුය. එහෙත් ලෙංගතු මිත්‍රෙයකු වූ පුබුදු වෙතින් එවැනි පාවාදීමක් කිසි කලෙක සිදුවන්නට බැරිය. එසේ නම් මේ හැමදේම දිනූකා මිස් දැනගත්තේ කොහොමද..? මගේ හිසේ කැක්කුම තව තවත් වැඩිවනු මට දැනෙයි. මේ විදියට පීඪා විදින්නට සිදුවුවහොත් තව ටිකකින් මගේ ඔලුව හත්කඩකටවත් පුපුරා යනු ඇත.

"ඇයි.. මොකද කතා කරගන්න බැරිද..? ඕන උනේ එක එකා ඉස්සරහ මාව පාච්චල් කරලා දාන්නනේ.. දැන්වත් සනීපද..? දැන්වත් නිද්ද යාවිද..?"

ඇය තවත් මොනවදෝ කියවමින් මට පස් පඩංගුවේ බැන වදියි. ඇතත්ටම ඇය මේ කියනා කිසිවක් දැන් දැන් මගේ හිතට වදින්නේ නැත. කලු වලාකුලකින් වැසී ඇති සොදුරු සදවතිගේ නොරිස්සුම් සහගත දෙනෙත් දෙස මම එක එල්ලයේම බලාගෙන සිටියෙමි. රටේ නැති අනේක ජාති කියමින් ඇය මා හට මෙලෙසින් බැණ වදින්නේ ඇයි..? 

"ඒ පාර ගල් බමුණා වගේ ගොලු වෙලා ඉන්නවා.. කතා කරනවා.. කතා කරනවා.. ඇයි ඒ වගේ පහත් වැඩක් කලේ.. තමුන්ට කියලා පෞද්ගලිකත්වයක් නැද්ද..? කවද හරි දවසක තමුන් බැදලා හනිමූන් ගියාම, ඒ වෙන දේවලුත් යාලුවොත් එක්ක කියවලා ඒ කෙල්ලගෙ ආත්ම ගරුත්වෙ බල්ලට දානවද..? කතා කරනවා..."

"ම... මගේ අතින් එහෙම දෙයක් උනේ නෑ මිස්.. ප්ලීස්.. ම.. මට ඔය විදියට කතා කරන්නෙපා.. මං.. මං.. මිස්ට වැරැද්දක් කලේ නෑ.. මේ සිද්ධ වෙන දේවල් දරාගන්න බැරි හින්දයි මං පුබුදුත් එක්ක මේ හැමදේම කිව්වේ.. මගෙන් මෙහෙම පළිගන්න මං මිස්ට කරපු වැරැද්ද මොකක්ද...? දෙයියනේ.. මං.. මං මිස්ට මොනවද කරලා තියනේනේ..? අනික මං වගේ අසරණයෙකුට, මිස් වගේ ලොකු කෙනෙකුට මොනවද කරන්න පුළුවන්.. අ.. අනේ මට එහෙම කරන්නෙපා මිස්.."

දෑසට ඉවසිල්ලක් නොමැතිව කදුලු ගලා එද්දී, මම වෙව්ලමින් කියාගෙන ගියාගෙන ගියෙමි. ඇත්දල පැහැ වතෙහි තිබූ නොරිස්සුමට තවත් අලුතින් කෝපයක්ද එක්කහු වනු මට පෙනිණි. ඇය හදන්නේ  මා හට තවත් බැණ වදින්නටය.

"ඔව් ඉතිං.. ඕනම දේකට ඇස් දෙකට කදුළු පුරවගත්තහම හැමදේම හරිනේ.. ඇත්තටම තමුන් හිතාගෙන ඉන්නෙ හොටු පෙරාගෙන ඇඩුවාම මේ වෙලා තියෙන දේවල් ආයෙත් තිබ්බ විදියට හැදේවි කියලද..?"

ඒක නම් අසන්නට ඕනැ ඇගෙන්මය. හැමදේම නැති භංගස්තාන වෙන විදියට වැඩ කර, සියල්ලටම වැරදිකරු ලෙසය ඇයට පෙනෙන්නේ මාවමය. තවත් නම් මේ නින්දා, අවලාද ඇසිමේ ශක්තියක් මට නැත. ඇය මගේ මාලුපාන් කෑල්ල කෑවා කියා පුබුදු සමග කී එකට මේ තරම් සවුත්තු ලෙස හැසිරීමට ද ඇයට උවමනා නැත. මා කලින් කීවා සේ ඇය කුමක් හෝ තරහක් මගේ පිටින් දියකර හරින්නට උත්සාහ දරන බවක් මට පෙනේ..

"අර පූර්ණිමත් මෙතනින් අස්වෙලා යන්න ඇත්තෙ තමුන්ගෙ තියෙන නෝන්ජල්කම ඉවසගන්න බැරිව වෙන්නැති. ඇයි ඉතිං ඕනම දේකට හොටු පෙරාගනෙ අඩනවනේ.."

ඇය, මාව දමන්නට ඕනා පහත් තැනටම දැමුවද මගේ හිතට තරහක් ආවේ නැත. ඒත් පූර්ණිමාගේ නික්මයාම පිලිබදව ඇය කීවේ අමුම අමු මුසාවදයකි. කදුළු පෙරාගෙන වුවත් එතැනදී මට කට පියාගෙන හිදිය නොහැකිය. කලින් දවසේ දහවල් මහ මගදී ඇය කරන්නට ඇත්තේ සම්මානයක් සදහා වුවත් නිර්දේශ කළ හැකි තාලේ විශිෂ්ඨ රගපෑමකි. එහෙත් ඒ රගපෑමට මා වැනි අන්ත අසරණ හිගන්නෙකු දිනූකා මිස් තොරා ගත්තේ ඇයි..? මේ ආයතනයේ මට වඩා උගත්, සිත් ඇද බැද තබාගන්නා පිරිමින් කී දෙනෙක් නම් සිටිනවාද..? උන් එකෙක්වත් දුප්පත් කාංචන සේ ඇයට බයිට් එකක් වූයේ නැත්තේ ඇයි...? 

"පූර්ණිමා අස්වෙලා ගියේ මිස් හින්දා.."

කදුලු එක දිගට ගලාගෙන ගොස් බොදවුණු දෙනෙතින් මම ඇය දෙස බැලුවෙමි. අපැහැදිලිව වුවත් ඒ කෝමල මුහුණේ සිදුවූ ක්ෂනික වෙනස්කම ගැන මම දුටුවෙමි. සැබැවින්ම දිනූකා මිස් තිගැස්සී ගියාය. මා කියූ දේ අදහා ගැනීමට බැරිව ඇය මොහොතක් මදෙස බලා සිටියාය. අන්ත අසරණ හිගන්නෙකු සේ ඇයගේ දෙපා ලෙවකමින් සිටි දුප්පත් කාංචනගෙන් මෙවැනි ප්‍රති ප්‍රහාරයක් ඇය කීයටවත් බලාපොරොත්තු නොවන්නට ඇත.

"පූ.. පූර්ණිමා අස්වෙලා ගියේ මං හින්දා..?"

"ඔව්.. දිනූකා මිස් මගෙන් පලි අරගෙන ඉවරවෙලා, අන්තිමට ඒ අහිංසක කෙල්ලගෙනුත් පළිගත්තා. හැබැයි ඉතිං මේ අද වෙනතුරුත් මමයි, පූර්ණීමයි මිස්ට කරල තියෙන වැරැද්ද මොකක්ද කියල අපි දන්නෑ.."

"මොනවා.. මං තමුසෙගෙන් පළිගත්තා... මං.. මං මොකටද තමුසෙගෙන් පළිගන්නේ..? අනික මේ කොහේවත් ඉන්න පූර්ණිමෙක් මෙතනින් අස්වෙලා ගියාට ඒකට මං සම්බන්ධ වෙන්නෙ කොහොමද..?"

මේවා නම් බලන්න ඕනෑ පත්තිනි ගම්බාර දෙවියන්මය. නඩුත්  හාමුදුරුවන්ගේය.. බඩුත් හාමුදුරුවන්ගේ වූ කල අසරණ කාංචනලාට වෙන දේ උඩ ඉන්නා තිස් තුන් කෝටියක් දේවතා වහන්සේලාවත් දන්නේ නැත. කොටින්ම මට වෙන දේ මමවත් දන්නේ නැත.

"මිස් සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා මං කියන්නම්. එතකොටවත් මිස්ට තේරේවිනේ, මිස් කොයි තරම් ලොකු හපන්කමක්ද කරලා තියෙන්නෙ කියලා.."

"තමුසෙ කාටද ඔය කතා කරන්නේ..?"

"ම.. මං මෙච්චර දවසක් ඉවසුවා මිස්.. දැන් නම් හොදටම ඇති.. මෙතන ඉදලවත් ඔය කැත විදියට කතා කරන එක නවත්තන්න.. මං මිස්ට කතා කරන්නෙ ගරු නම්බු දීලා. ඒක මගෙ හැදියාව.. ඒත් මිස්ගෙ හැදියාව කොහොම උනත් අඩුගානෙ මගේ නම කියලවත් කතා කරන්න.. මොකද සතෙකුට උනත් සලකන විදියක් තියෙනවනේ.."

මම කියාගෙන කියාගෙන ගියෙමි. මෙතුවක් දවස් අන්තිම අහිංසකයෙකු සේ හිද මා ලැබූ දෙයක් නැත. මගේ ඒ අගය කළයුතු අහිංසකකම දිනූකා මිස් දැක්කේ නෝංජල්කමක් ලෙසය. එසේත් නැතිනම් ඩිංග ඇත්නම් ඇස් රතු කරගන්නා හොට්ට බේරෙන හිගන පාංකඩ කොල්ලෙක් හැටියටය. එහෙත් මටද ආත්මයක් ඇති බැව් මේ අහංකාර ස්ත්‍රී රත්නයට පෙන්වා දිය යුතුව ඇත. මේ මා අඩියෙන් අඩිය ඉදිරියට පියවර තබමින් යන්නේ ඒ මහගු කර්තව්‍යය සදහාය.

"ම.. මගේ හැදියාව ගැන කතා කරන්නේ, මං නරක ගෑණියෙක්ද මිනිහෝ... මොනවද මේ කියවන බහුබූත.."

ගිරිය යටින් මහා සද්දෙට කෑගසමින් ඇය මගේ මූණ මැදට එබුණාය. ගස් ඉදිරී වැටෙන දැවැන්ත කුණාටුවක් මේ දුප්පත් කාංචනගේ පපුව උඩින් මහාගෙන ගියද දැන් එය ගැටලුවක් නොවේ. ප්‍රහාරයට හොදම දේ පසුබැසීම නොව පෙරලා පහර බැව් මම දැන් දන්නෙමි. ඒ දැනගත්තේද දිනූකා මිස් හා දිගින් දිගටම රන්ඩු වීමෙනි. ඇය මා මේ ආයතනයෙන් අස් කරනවා නම් මේ දැන් සිදුවන කතාබහ ඉහටත් උඩින්ය. ඒ දේට වුවත් දත කට මැද සූදානමින් සිටියෙමි. එහෙත් මෙහි එයට වඩා වෙනස් කතාන්දරයක් ඇති බවක් මට වැටහේ. ඒත් එය කුමක්දැයි මට හරිහැටි නිච්චියක් නැත.

"මිස් නරක ගෑනියෙක්ද හොද ගෑනියෙක්ද කියලා මගෙන් අහලා හරියන්නෑ.. ඒවා මිස් මිස්ගෙන්ම අහගන්න.. මිස්ගෙ පපුව ඇතුළෙන් ඒකට හොද උත්තරයක් හම්බවෙයි.. අනිත් දේ තමයි පූර්ණිමා අස්වුණේ මිස් හින්දා කියන එක සියයට සියයක් ඇත්ත කතාවක්නේ මිස්.. පූර්ණිමාට මෙතන රස්සාව කරන එක තිත්ත වෙන විදියට වැඩ සිද්ධ කරා. හරියට මට දැන් කරගෙන යනව වගේ..."

මෙතුවක් වේලා මට කෝපයේ හා වෛරයේ ගිණි පුළිගු එවූ නිල් දෙනෙත් හෙමින් සීරුවේ බිමට නැඹුරු විය. ඇපල් ගෙඩියක් මෙන් රත් පැහැ ගැන්වී තිබූ ඒ පිරුණු කම්මුල් දෙක හිතා ගන්නටවත් බැරි තරම් අන්දමට සුදුමැලි පැහැ ගැන්වී ගියේය. දෙවියනි ඇයට මේ වෙන්න යන්නේ කුමක්ද..? 

"මා... මාව අල්ල ගන්න.. මට කලන්තෙ වගේ..."

වියලී ගිය දෙතොලින් අවසන් වරට පිටවූ වදන් පෙල එසේ විය. අල්ලාගෙන සිටි පුටු ඇන්දද පෙරලාගෙන දිනූකා මිස් බිමට ඇද වැටෙද්දී මම ඇසිල්ලකින් ඇය දෙසට පැන්නෙමි. තව තත්පරයක් හෝ ප්‍රමාද වූවා නම් දිනූකා මිස් හතර ගාතේ දමා බිමය. එහෙත් සැමදා ඇයගෙන් කුණුවෙන්න බැනුම් ඇසූ දුප්පත් කාංචනගේ දෑත මතට ඇදගෙන වැටෙද්දී, මා හට මුහුණ දීගත නොහැකිව දෝ ඇය දෑස පියාගත්තාය.

                              **********************************

මගේත්, දිනූකා මිස්ගේත් මේස දෙක අතර තිබූ ඇන්දක් නැති කුෂන් සෙටියේ ඇයව බොහෝ පරිස්සමින් හාන්සි කරවූයෙමි. මුදු මොලොක් ගෑනු ආත්මයක් මෙතුවක් එකට බද්ධ වී සිට අතැර ගියාක් බදු හැගීමකින් ඒ වේලාවෙදි මම දැවී ගියෙමි. තව බොහෝ වේලාවක් ඇයට කලන්තය සැදී තිබුණා නම් කොයි තරම් හොදද..? එසේ නම් ඇය තවමත් මගේ තුරුල්ලේය. එහෙත් නපුරු දෛවය, විනාඩි දෙකකට වඩා මේ අසරණ කොල්ලාට, ඒ ලොව්තුරු පහස විදගන්නට ඉඩ දෙන්නේ නැත. මේසයකොනේ තිබූ සීතල වතුරු බෝතලය ගෙන මම දිනූකා මිස්ගේ මුහුණට ඉස්සෙමි. සුදුමැලි වී තිබූ කම්මුල බලා සිටිද්දී රත් පැහැ ගැන්වෙනු මට පෙනිණි. පුංචි ළදැරියක සේ ඇය සෙමෙන් සෙමෙන් දෑස විවර කර මදෙස බැලුවෙමි..

"ඒ.. ඒ.. තරම් නපුරු දෙවල් ඇයි මට කිව්වේ....?"

පුංචි කාලයේ කියවා ඇති සුරංගනා කතාවක සිටින ලස්සන සුරංගනාවක් මට සිහිවෙයි. හිමිකර ගැනීමට හෝ දැක ගැනීමටවත් වරම් නොමැති ඒ කතාව මා රසවින්දා නොවේද..? ඒ සුරංගනාව ගැන හිතේ සිහින මංදිරයක් ඉදි වූවා නොවේද..? එසේ නම් මේ දැන් උදා වී ඇති වාසනාවන්ත මිනිත්තු කිහිපය ගැන මා කුමක් නම් කියන්නද..?

"නපුරු දේවල් මම නෙමෙයි මිස් කිව්වේ.."

"එහෙනම්...?"

"මිස්ම තමයි.."

"මම ඔයාට නපුරුකම් කලේ නෑ කාංචන.."

දනූකා මිස් වෙතින් පිටවූ ඒ වචන පේළිය දිගේ මම සිය දහස් වරක් ඇවිද ගියෙමි. දෙවියනේ.. දැන් ඩිංගකට කලින් තමුසෙ කියා පහත් වචනවලින් බැණ වැද ඇය මේ කතා කරන වචන ගැන මට මහත් පුදුමය. කලින් දින කළා සේම ඇය මේ කරන්නේ රගපෑමක්ද..? මුදල් නොගෙන කරනා නිසා එය නිකම්ම නිකම් රගපෑමක්ද නොවේ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගරු රගපෑමකි..

"මිස් මට නපුරු කම් කලේ නෑ කියලා මිස්ටම හිතෙනව නම් ඒ ගැන තවත් දුරට කතා කරලා වැඩක් නෑ මිස්.. මේ හැම දෙයින්ම හුගක් විදෙව්වෙ මමයි.  ඒත් ඒ විදවීම මට උරුම කරපු මිස්ම කියනව නම්, මේ කිසිම දෙයක් මිස්ට දැනුණේ නෑ කියලා මං මහ අවාසනාවන්තයෙක්. එතකොට මං මේ විදපු දුක් කිසිම දෙයක් මිස් දන්නෙවත් නෑ කියලද මිස් කියන්නේ..? මිස්ගෙ හැම වචනෙකටම, හැම ඉරියව්වකටම අනන්ත වාරයක් හිත රිද්දගත්තු මේ කාලකණ්නි ආතමෙ ගැන මිස් අබමල් රේණුවකවත් තැකීමක් කරේ නෑ කියලද මිස් මේ කියන්නේ..? අ.. අනේ දිනූකා මිස්.. ගෙදරක ඇති කරන සතෙකුට වැඩිය පහත් තැනකද මම මෙතන ඉන්නේ..?"

මැලවී ගොස් තිබූ නිල් මහනෙල් මලක සොදුරු අසිරියට උරුමකම් කියූ හැඩකාර දෙනෙත පලා කදුලු කැට මතුවෙමින් තිබිණි. එහෙත් මේ දුප්පත් කාංචනට ඒ කදුලු පිහ දැමීමට වරම් තිබුණේද නැත. හුන් තැනම මුල් ඇද ගත්තා සේ මම ගල් ගැසී බලා සිටියෙමි. දිනූකා මිස් සෙමින් සෙමින් නැගී සිටියාය. ජීවිත කාලයක් මුලුල්ලේ කාගෙන්වත්, ආදරණිය වචනයක් හෝ ආදරණිය බැල්මක් නොලැබුණු හුදෙකලා මානවයකෙු සේ මම, මගේ දෑස් ඉදිරිපිට සිටි සොදුරු සුරංගනාව දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමි. ඇය එකදු බැල්මක්වත් අහකට නොයවා මා දෙස බලා සිටියාය. අනේ මෙහෙමම ලෝකය නවතිනවා නම්...? මේ මුළු මහත් විශ්වයම විනාශ වී යනවා නම්.. හදවතට දැනෙන මේ සුපහන් වූ හැගීම තියාගෙනම මටද විනාශ වී යා හැක.

"ම.. මං ඔයාට හිතල කිසිම දෙයක් කලේ නෑ දෙයියනේ... ඔ.. ඔහොම එක එක දේවල් කියලා මට මගේ ජීවිතේ එපා කරවන්නෙපා.. මං.. මං හුගක් අමාරුවෙන් මෙතන හිත  හදාගනෙ ඉන්නේ.. මං.. මං ජීවත් වුණේ මිහිපිට අපායක.. මං ඒකෙන් ගැලවුණේ, ඔයා ඔය කිව්වටත් වැඩිය දුක් විදල.. ඔයාට මේවා කියලා තේරුමක් නෑ කාංචන.."

ඇය මේ කියන්නේ මොනවාද..? මටත් වඩා ඇය දුක්විද ඇති බවක් මේ දැන් ඩිංගකට කලින් කීවාය. ඇය කියූ ඒ දුක් මොනවාද..? හුගක් අමාරුවෙන්  හිත හදාගෙන ජීවත්වෙන බවකුත් දිනූකා මිස් කීවා නොවේද..? හුගාක් අමාරුවෙන් දුක් විද හදාගන්නට තරම් ඇගේ හිත කැඩුවේ කවුද..?

"මං මිස්ට ජීවිතේ එපා කරන්න හැදුවෙ නෑ.. මං කාටවත් එහෙම කරන්නෑ මිස්.. මෙතන වෙන දේවල්වලට ජීවිතෙයි, රස්සාවයි දෙකම එපාවෙලා තියෙන්නේ.. දෙයියන්ගෙ නාමෙට ඔහොම හිතන්නත් එපා මිස්.. මං හැමවෙලාවෙම බැලුවෙ මිස්ට කරදරයක් නොවී ඉන්න.."

නිල් මානෙල් මල් දෙනෙත එක එල්ලයේම මදෙසට යොමු වී තිබිණි. වචන ලක්ෂ ගානකින් කියනවාට වැඩිය හුගාක් දේ ඒ සොදුරු දෑසේ ලියැවී තිබිණි. එහෙත් ඒ බොහෝ දේ මගේ අසරණ සිතට මහමෙර තරමටත් වඩා බර වැඩි බැව් මම දැන සිටියෙමි.

"ම... ම.. මට තවත් ඔයා දිහා බලාගෙන, මේවා ඉවසගෙනඉ න්න ගියොත් ඇතත්මයි මට පිස්සු හැදෙයි... ම.. මං.. යන..වා..."

සැනෙකින් තම රාජකාරී මේසය වෙතට ගොස් එහි අයිනක තිබූ සුදු පැහැති හෑන්ඩ් බෑගයද ගෙන දීනූකා මිස් කාමරයේ දොර දෙසට ගියාය. තමන් මේ බියවී දුවන්නේ කුමකටදැයි හරි හැටි බලා ගැනීමට දෝ, ඇය නැවතත් හැරී මදෙස බැලුවාය. දුක, වේදනාව, සංතාපය එකකට එකක් අපූරුවට මිතුරු වී ඒ රූමත් මුහුණේ එකට ගොනු වී තිබෙනු මම පැහැදිලිව දැක්කෙමි.

"ඔ.. ඔයා මට ඉන්න දෙන්නෑ කාංචන... මං... මං ආයතේ ඔෆිස් එන්නෑ.."

ඒ වදන් පිටවූයේ කාමරයේ දොරත් වැසී ගියාට පසුවය. නුහුරු නුපුරුදු වූ ආගන්තුක බයකින් මම හදිසියේම විළිවැදී ගියෙමි. දෙවියනේ.. දිනූකා මිස් කියා ගිය මේ වචන වල තේරුම මා කෙලෙසින් තොරා බේරා ගන්නද..? මං දිහා බලාගෙන, මේවා ඉවසාගනෙ සිටියොත් පිස්සු හැදෙන බව පවා ඇය කීවාය. හරි නම් මේ සියල්ල ඉවස දරා සිටින මා හට ඇයටත් ප්‍රථම පිස්සු නොසෑදුනොත් පුදුමය. අනික ඇය අද කියා ගිය වචන මට අදහාගන්නත් බැරිය. ඇය කියන්නේ මා ඇයට ඉන්නට නොදෙන බවය. හරිනම් සිදු වූයේ එහි අනෙක් පැත්ත නොවේද..? මෙතන මා හට ඉන්නට නුදුන්නේ ඇය නොවේද..?

වැසී ගිය දොර දෙස බලාගෙනම මම බොහෝ වේලාවක් කල්පනා කළෙමි. සිදුවූ කිසිම දෙයක සැබෑ තේරුම මේ වනවිටද මට වහටා ගන්නට බැරිවිය. ඇත්තටම අද සිදුවූයේ කුමක්ද..? කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව උදේ පාන්දරම මා සමග රංඩු කරන්නට ආවේ ඇයය. මුලින් මුලින් අසාගෙන සිටින්නට අපුල වචන වලින් පවා, මට දමා ගසා, අවසානයේ සිතාගන්නටත් බැරි ලෙස ඇය සම්පූර්ණයෙන්ම වෙනස් වූවාය. කොටින්ම දිනූකා මිස් මා ඉදිරියේ බැගෑපත් වූවාය. ඇය මට ආයාචනා කළාය. ඒ බැව් මට තේරෙන්නේ දැන්ය.

සමහර විටක මගේ කාලකණ්නි දෛවය මට මේ දී ඇත්තේ මෙලොව කිසිවෙකුටත් නොදෙන තාලයේ අන්තිම අමාරු ප්‍රෙහේලිකාවකි. එසේ වුවත් කරුණා කාරනා මේ සිද්ධ වේගෙන යන විලසට ප්‍රෙහේලිකාවේ හිස් කොටු, මා හට පුරවා ගැනීමට අපහසු නොවනු ඇත. වැඩෙ කියන්නේ මේ ඉවසුවා සේ තව ඩිංගක් ඉවස එකය..




                    

No comments:

Post a Comment