Thursday, March 22, 2012

| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






සවස මා කාමරයෙන් එනවිටත් පුබුදු පැමිණ සිටියේ නැත. දිවා කාලයෙන් පසුව කාර්යාලය තුළට වී සිටියාට, මා කිසිම දෙයක් කෙරුවේද නැත. පැය ගණනක් තිස්සේ මේසයට  ඔලුව ඔබාගෙන අහස පොලව ගැට ගසන්නට මෙන් මම කල්පනා කෙරුවෙමි. අවසානයේදී මා ඔලුව ඉස්සුවේ, වාඩිවී සිටි්නට පවා නොහැකි තරමට දරුණු හිසරදයකුත් හදාගනෙය. සමස මා කාමරයට ආවේ ඒ කාලකණ්නි හිසරදය ද සමගය.  එය මදක් හෝ සමනය වේ යැයි සිතා මම ඇදුම්වත් මාරු නොකර ඇදේ ඇල උනෙමි.


ඇයියාට හුග දවසකින් කතා නොකළ බැව්. මා හට සිහිවූයේ එවිටය. පසුගිය දින වලදී එක දිගට සිදු  වූ සිදුවීම් නිසා මා හට සැබැවින්ම මේ මුලු මහත් විශ්වයේ සිටිනා එකම නෑදෑයාව අමතකව ගොස් තිබිණි. එය මගේ සිතට ගෙනාවේ අති මහත් වූ පසුතැවිල්ලකි.

"හවස මොකද වුණේ..?"

කමීසයෝ බොත්තම් ගලවන ගමන්ම කාමරය තුළට ආ පුබුදු ඇසුවේය. මම හරි බරි ගැහී ඇදේ වැඩු වූයෙමි.

"දිනූකා මිස් ආවේ නෑ.. ඒත්..?"

"මිස්ගෙ පර්ෆියුම් සුවද නම් හෝ ගාලා තිබ්බා.. එහෙමනේ.." 

යාංතමට සිනාවනෙ ගමන් පුබුදු මදෙසට හැරුණේය. ආයෙ කියන්නට නම් දෙයක් නැත. මගේ කාමරයේ සිදුවන සියලුම දෑ ඇස් වසාගෙන වුවද ඔහුට කියන්නට පුලුවන. මම කිසිවක් නොපවසා පුබුදු සමග සිනහවිමි.

"කාංචනගෙ මූණ උදේ තිබ්බටත් වැඩිය අප්සට් ගිහින් නේ.. ඇයි සනීප නැද්ද..?" 

"මට ටිකක් හිසරදේ වගේ.."

"අර මේසෙ උඩ පෙනඩීන් පෙති දෙකක් තිබ්බා.. ඉන්න මං ඒක අරගෙන දෙන්නම්.."

පුබුදු දුන් පෙනඩීන් පෙති දෙක වතුර වීදුරුවක් සමග එක හුස්මට බීමෙන බීගෙන ගියෙමි. මගේ සිහිකල්පනාව කොතරම්ද කියනවා නම් මේසය කොනේම තිබූ පෙනඩීන් පෙති දෙක මා දුටුවේ පුබුදු දුන් පසුවය.

"පහුගිය ටිකේම කාංචන හිතේ කරදරෙන් හිටපු හන්දා මං මේ දේවල් කිව්වෙ නෑ.. ඒත් දැන් ඒවා නොකියා ඉන්න බැරි තැනට ඇවිල්ලා.."

"මොනවද පුබුදු..?"

පපුවේ ගැස්ම හීන් සීරුවේම වේගවත් වෙද්දී මම ඇසිමි. ඇත්තටම මෙය මාගේ ජීවිතයේ නපුරුම කාලයක් විය යුතුය. අසන්නට දකින්නට පවා ලැබෙන්නේ නිරන්තරවම සිත රිදවනා දේවල්මය. සිත් සැනසිමෙන් දිවි ගෙවූ එක පැය බාගයක් නැත. මා හට විහිලුවටවත් සිතාගත නොහැක.

"මට හිතෙන විදියට නම් පූර්ණිමා රස්සාවෙන් අයින් වෙලා..."

"දෙ.. දෙයියනේ..."

හිස මත අකුණු දෙක තුනක් පතිත වූවා සේ, මම ගින්දරෙන් දැවී ගියෙමි. සිතා ගන්නට තියා කතා කරන්නටවත් නොහැකිව මහා දුකකින් මම වල්මත් වී ගියෙමි.

"අපි දන්නැති උනාට කෙල්ලට සෑහෙන්න කරදර තිබිලා කාංචන.."

"ගෙදර කරදරද පුබුදු..?"

"එහෙම නම් බම්බ කරන් කාපු රස්සාව දාලා යන්නෙ නෑනේ. කෙල්ල තනිකරම ගිහිල්ලා තියෙන්නෙ දිනූකා මිස් හින්දා.."

"දිනූකා මිස් හින්දා..?"

අසනා අසනා වචනයක් වචනයක් පාසා සිත සහමුලින්ම කඩාගෙන වැටෙද්දී, මම අසීරුවෙන් කටහඩ අවදි කරගත්තෙමි.

"ඔව්.. මට කිව්වෙත් වෑන් එකේ ඩ්‍රයිවර් බන්දුල.. අපි දන්නැති උනාට දිනූකා මිස්, පූර්ණිමාට සෑහෙන්න වද දීලා තියෙනවා. කෙල්ලට කම්පියුටර් සෙක්ෂන් එකේ වැඩ කරන්න බැරි තැනටම ඇදලා දාලා. පෙරේදා හවස පූර්ණිමා මේ පල්ලෙහා පඩිපෙල බැහැල ගිහින් තියෙන්නෙ මහ හයියෙන් අඩ අඩා කාංචන.."

"දෙයියනේ.. මොන පවක්ද මේ අහිංසක කෙල්ලට පඩිසන් දීලා තියෙන්නේ..? මේ කෙල්ල දිනූකා මිස්ට මොන වැරැද්දක් කලාටද..?"

"වැරැද්ද කෙරුවෙ උඹයි කාංචන.."

පුබුදුගේ ඇස් කෙලින්ම එල්ල වී තිබුණේ මා වෙතටය. එහි තිබූ දීප්තිය දරා ගැනීමට නොහැකිව මම බිම බලා ගත්තෙමි. පුබුසු මේ කියන්නේ මොනවාද..? කුරා කූඹියෙකුටවත් වරදක් නොකළ මා වැරදිකරුවෙකු ලෙසින් පුබුදු හදුන්වන්නේ මොන සිතකින්ද..?

"ම.. මං මොනවද කෙරුවෙ පුබුදු..?"

ජීවිතයේ දුක්බරකමින්, අන්ත අසරණ අඩියටම වැටී සිටි මා වේදනාවෙන් පෙගී ගිය දෑසින් පුබුදුගේ දෑස දෙස බැලුවෙමි.

"උඹයි, පූර්ණිමයි කතාබහ කරන එක, හම්බවෙන එක නැවැත්තුවාට, දිනූකා මිස් ඒක බිංදුවක්වත් විශ්වාස කරලා නෑ. එයා හිතලම තියෙන්නෙ එයාට හොරෙන් උඹල කතාබහ කරනවා ඇති කියලා.."

"ඉතිං අපි හම්බවෙන්න තියා කතාබහ කරේවත් නෑනේ පුබුදු.. අනික මං ඒ වගේ දෙයක් කනව නම් උඹට නොකියා ඉන්නවද..? මට හැමදේකටම ඉන්නෙ උඹ විතරනේ.."

අන්තිම හරිය කියාගෙන යද්දි මගේ සෑදට කදුලු උනා ආවේය. මෙය නම් පුදුමාකාර තරමේ අවාසනාවන්තකමකි. කදුළක් නොවැටී, සිනාවෙන් ගතවූ එකදු දිනයක්වත් පසුගිය කාලයේ ගෙවී ගියේ නැත. සමහර විට මා ගිය ආත්මයේ කල මහ විශාල පවක්, මේ ආකාරයෙන් මට පඩිසන් දෙනවා විය හැකිය. සිත මේ තරමට දුක්බරව ඇත්තේ ඒ නිසාය.

"මං ඒක නොදන්නවා නමෙයි කාංචන.. ඒත් මේ පහුවුනු දවසක උඹ කැන්ටිමේදි පූර්ණිමත් එක්ක ලව් සීන් එකක් ඇක්ට් කරනවා දිනූකා මිස් දැකලා තියෙනවා.."

"උ.. උඹ මේ මොනවද කියන්නේ..? උඹට පිස්සු හැදීගෙනවත් එනවද..?"

පුබුදුගේ හතර බීරි කතාවට මම තක්කු මුක්කු වී ගියෙමි. මෙවැනි අවනඩු නම් පොල් ගසා හෝ කිව හැක්කේ දෙවියන්ටය.

"පූර්ණිමා මේසෙට ඔලුව ගහගෙන අඩ අඩා ඉදලා තියෙනවා.  උඹ එතෙන්ට ගිහින් කෙල්ලගෙ ඔලුවෙන් උස්සලා ආදරෙන් කතා කර කර ඉදලා තියෙනවා.."

සැනෙකින් තත්පරයට දෙකට මට සියල්ල පැහැදිලි වන්නට විය. මේ අර පුබුදු, පූර්ණිමාට කතා කල පසු ඇය පුබුදු හා කතා නොකර ගිය දවසේ සිදු වූ සිදුවීමය. මා පූර්ණිමා ළගට ගියේ පුබුදුට එසේ කළේ ඇයිදැයි අසන්නටය. ඇය කිසිවක්ම නොපවසා මා ප්‍රතික්ෂේප කළ හැටි මගේ මනසේ තිබිණි. එය එසේ වෙද්දීත්, මේ දේවල් මේ ආකාරයට ප්‍රචායර වූයේ කෙසේද..?

"හැමෝටම වැරදිලා පුබුදු.. ඔය කියන දවසෙ කැන්ටිමේ මට පූර්ණිමාව හම්බවුණා තමයි. ඒත් මං එයාගෙන් ඇහුවේ ඇයි පුබුදු කතා කලාම අහක බලන් හිටියෙ කියලා. අනික මං පූර්ණීමාගෙ ඔලුවෙන් උස්සලා ආදරේ  හිතෙන විදියට බලන් හටියෙත් නෑ. කැන්ටිම කියන්නෙ ආදරේ කරන්න පුලුවන් තැනක් නෙමේනේ පුබුදු."

"ඇත්තම තමයි.. ඔය කියන දවසෙ නේන්නම් පූර්ණිමා මට කම්පියුටර් සෙක්ෂන් එක ඉස්සරහදි ගණන් ඉස්සුවේ.. මං ඒක ඒ වෙලාවෙදිම උඹත් එක්ක කිව්වනේ.. ඒත් මං කීයටවත් හිතුවෙ නෑ, උඹ ඒක කෙල්ලගෙන් අහවි කියලා.. මට දැන් හැමදේම තේරෙනවා. මේක තනිකරම මිස්අන්ඩස්ටෑන්ඩ් කර ගැනිල්ලක්.."

"මිස් අන්ඩර්ස්ටෑන්ඩ් හරි මිස්අන්ඩර්ස්කටර් වුණත් දැන් වැඩක් නෑනේ පුබුදු.. අර අහිංසක කෙල්ල හම්බ කරන් කාපු රස්සාව දැන් නෑනේ.. අපි දැන් මේකට මොකද කරන්නේ..?"

ඒ වනවිට මගේ මනසේ ඇදී තිබුනේ ඇඩීමෙන් හෙම්බත් වී බයාදු ලෙස දෙස බලා සිටිනා පූර්ණිමාගේ අසරණ රූපයයි. බොහේ වේලාවක් යනතුරු මාගේ ප්‍රශ්නයට පුබුදුගෙන් පිළිතුරක් ලැබුණේ නැත. පූර්ණිමාට කරදරයක් වේ යැයි බියෙන් මේ මොහොත දක්වාම හුදෙකලා පුලන්නෙකු සේ මා දත කට පියාගෙන සිටි බැව් සැබෑය. එහෙත් තවදුරටත් ඒ නිහඩ වෘතය මා රකින්නේ කෙසේ..? මුලු හිතම හෝදා පාලුවී කාලනණ්නි වී ගියාක් බදු හැගීමක් හිතට දැනෙද්දී මගේ දෑසට කදුළු උනා ආවේය.

"උඹ හිතන්නෙ මොනවා කලොත් හොදයි කියලද..?"

ප්‍රශ්නයට බොහෝ වේලා ගොසින් උත්තරයක් ලෙසට ලැබුණේද ප්‍රශ්නයකි. කළ යුතු දේ කුමක්දැයි සිතා තිබුණේ මෙයට බොහෝ වේලාවකට කලිනි. එහෙත් එය ක්‍රියාත්මක කළ හැකිදැයි දන්නේ දෙවියන් පමණි.

"අපි පූර්ණිමාලහ යමු.."

"අදහස නම් හොදයි කාංචන.. ඒත් දිනූකා මිස් දැගනගත්තොත්.."

"ඉතිං දැනගත්තාවේ.. අපිට මොකද.. එයාට ඕන ඕන විදියට මං නටන්නෑ කියලා හිතාගත්තා.. මොන මළ කරුමයක්ද පුබුදු මේ මගේ පස්සෙන් එලවන්නේ.. බලන් ගියහම කිසිම නිවනක් නෑ නේ.. මට හැමදේම, හැමදේම එපා වෙලයි තියෙන්නේ.. අනික දැන් ඉතිං පූර්ණිමත් මේක ඇතුළෙ නෑනේ.. මං විනීතව, තැන්පත්ව හැසිරිලා කවුරු ආරක්ෂා කරන්නද..?"

මා සිතුවේ මගේ කතාවෙන් පුබුදු සතුටින් ඉපිල යයි කියාය. එහෙත් එය වූයේ නැත. කිසිමදාක මා පුබුදු වෙතින් දැක නොමැති බයාදු බැල්මකින් මුළු මූණම පුරවාගෙන, මේ ආයතනයේ සිටිනා එකම මිත්‍රයා බිම බලා ගත්තේය. සෑම දෙයකටම මට උපදෙස් දී මාව ආරක්ෂා කළ, මගේ ආදරණිය හිතවතා මෙලෙස හැසිරෙන්නේ ඇයිදැයි සිතා ගැනීමට නොහැකිව මම ලතවුණෙමි.

"කාංචන එහෙමද හිතන්නේ..?"

පුබුදුගේ කටහඩ පිරී ගොස් තිබුණේ මහා දුකකිනි. කවදාවත් නැති විලසට ඔහු මේ ලෙසින් බිමටම වැටී සිටින්නේ ඇයි..? 

"ඇයි පුබුදු මං වැරැද්දක් කිව්වද..?"

"කාංචන වැරැද්දක් නම් කිව්වෙ නෑ.. ඒත්.. ඒත්..."

කතාව නවතා පුබුදු මගේ අතකින් අල්ලා ගත්තේය. මෙතෙක් කලක් මා වෙතට දැඩි රැකවරණයක් දුන් ඒ මෘදු දෑස්වල ඇති අන්ත අසරණකම දකින්නට මට දෙවරක් ඔහු දෙස බලන්නට අවැසි නොවීය.

"කියන්න පුබුදු... ඕන දෙයක් කියන්න.. මං අහගෙනයි ඉන්නේ.."

"ඔයා කවුරු ආරක්ෂා කරන්නද කියලා මගෙන් ඇහුවා.. පූර්ණිමාව බේරගන්න ඔයාට බැරිවුණ එක ඇත්ත.. ඒත් ඒත් ඔය ඩිංගට ඔයාට මාවත් අමතක වුණාද කාංචන.."

හුදෙකලා පට්ට පාලු ඝනදුරු රැයක, හොල්මන් සීයක් මුණ ගැහුණාක් වැනි බියකින් මම සලිත වී ගියෙමි. දෙවියනේ... පුබුදු මේ නොකියා කියන්නේ මා ඔහුවත් ආරක්ෂා කළ යුතු බව නොවේද..? ඔහුගේ රැකියාවට මෙන්ම, ඔහුටත් මා නිසා දිනූකා මිස්ගෙන් තර්ජනයක් එල්ල වී ඇති බවද..? 

"දිනූකා මිස් උඹට මොනවා හරි කිව්වද..?"

හැම ප්‍රශ්නයකම උල්පත එතැනය. ප්‍රශ්න ගලා ආවේ එතැනිනි. තත්පරයක් දෙකක් මාදෙස බලා හිද පුබුදු ශෝකී මදහසක් මුවට නගා ගත්තේය. මා මගේ ලොවේ ශක්තිවන්තයෙකු ලෙස සිතා සිටි ආදරණිය හිතවතාගේ මේ බිද වැටීම මගේ ශක්තියද බිද දමන්නාක් වැනිය.

"අපි ඒ ගැන කතා නොකර ඉමු කාංචන.."

"කතා නොකර ඉදලා බෑ පුබුදු.. මට මේ හැමදේම දැන ගන්න ඕන. අඩුගානෙ මේ වෙන දේවල්වත්, මට තේරුම් ගන්න පුළුවන් එතකොටයි.."

දිවා ආහාර වේලාවේ පුබුදු කතා කල විලාසයත්, දැන් කතා කරන විලාසයත් අතර තිබූ පරස්පරතාවය ගැන දෙවරක් සිතන්නට මට අවැසි නොවීය. ගෙවී ගිය සවස් කාලයේ කුමක් හෝ දෙයක් සිදුවී ඇත. මෙතෙක් කලක් මාවත් රැකගෙන සිටි දහිරියවන්ත මිතුරාගේ ශක්තිය බිද වැටීමෙන් පෙනෙන්නේ සිදූවී ඇති දෙය නම් හොද දෙයක් නොවන බවය.

"මට හවස දිනූකා මිස් කතා කලා.."

මම උඩ විසිවී ගොස් බිම වැටුණෙමි. කවදාවත් නැතිව පුබුදුට, දිනූකා මිස් කතා කරේ හොදකට නම් වෙන්නට බැරිය. අනික දිනූකා මිස්ගේ හෙවනැල්ල ගෑවුණේද එය කෙලවරේ වන්නේ මහා දුකකි. ජීවිතය කඩා ඉහිරවන කලකිරීමකි. එය අත්දැකීමෙන් දන්නා මා හට පුබුදුගේ කතාවට බිය වීමට සෑහෙන සාධාරණ කරුණු රාශියක් තිබිණි.

"දිනූකා මිස් කතා කලා... කොහේ ඉදන්ද..?"

"කොහේ ඉදන්ද කියලා නම් මං දන්නෙ නෑ.. එත් මිස් මගෙන් කෙලින්ම ඇහුවා පූර්ණිමාට වෙච්ච දේ කරගන්න ආසාවක් තියෙනවද කියලා. "

මගේ මුලු ඇගම පණ නැතිවී ගියාක් බදු හැගීමක් මට දැනෙයි. දෙවියනේ.. මේ කවර නම් පාපයක්ද..? මගේ ළගින් සිටිනා අයට මෙලෙසින් දඩුවම් ලැබෙන්නේ ඔවුන් මට ළංවී සිටිනා නිසාද..? මට වෙන්නේ කවුරුවත් නැතුව හුදෙකලා වී සිටින්නද..? 

"මං ඇහුවා ඇයි මිස් එහෙම කියන්නෙ කියලා.. ඒත් දිනූකා මිස් වචනයක්වත් කිව්වෙ නෑ.. මං කීප සැරයක්ම ඒ ප්‍රශ්නෙ ආයෙත් ඇහුවම මිස් කිව්වා හැමදේටම කලින් රස්සාව ආරක්ෂා කරගන්න කියලා.."

"මිස් එච්චරද කිව්වේ...?"

"ඔව් කාංචන.. මට පේන විදියට මිස් ඩිංගක්වත් කැමති නෑ උඹ කාටවත් ලංවෙනවට.. මට දැනෙන එකම දේ ඒකයි.. පූර්ණිමාට මේ තරම් ලොකු වන්දියක් ගෙවන්න උනෙත් ඒකයි.. තව ඉස්සරහට මට වෙන්නෙත් ඒකම තමයි.."

 "නෑ.. නෑ.. පුබුදු.. මං කවදාවත් උඹට කිසිම දෙයක් වෙන්න දෙන්නෑ.. පූර්ණිමාව මට බේරගන්න බැරි උන එක ඇත්ත.. ඒත් මං උඹව බේරගන්නවා. උඹව බේරගන්නම බැරි තැනට මාව පත්වුනොත්, මං මේ හැමදේම අතෑරලා දාලා ඔලුව හැරුණු අතක යනවා. මට වෙන කරන්න දෙයක් නෑ.."

මා කී දේට පුබුදු කිසිවක්ම කීවේ නැත. ඔහුගේ මුලු මුහුණ පුරාම සිතක් අසන්තෝසයට පත්වීමේ අංග ලක්ෂන අඩුවක් නැතිව දකින්නට ලැබිණි. එසේම ඔහුගේ මූණ දෙස දෙවරක් බලන්නටද මට ඇවසි නොවීය. මම සෑම දෙයක්ම නිවැරදිව තේරුම් ගතිමි..   

"තව ඉස්සරහට මට උඹත්තෙක්ක වචනයක්වත් කතා කරන්න බැරිවෙයි.. කොටින්ම මටයි, උඹටයි මෙතන මේ රූම් එකෙත් ඉන්න බැරිවෙයි.."

"ඒ ඇයි පුබුදු..?"

"මට හිතෙන විදියට ඒක එහෙම වෙයි.. දිනූකා මිස් මොකාට එන්න හදනවද කියලා මට තේරෙන්නෑ.. ඒත් මට එක දෙයක් තේරෙනවා.. ඒ තමයි උඹව, අපි හැමෝගෙන්ම උදුරලා එයා ළගට ගන්න හදන එක. හැබැයි ඉතිං මොනවා උනත්, මං ඒ දේට කැමතියි. මොකද උඹ වගේ අහිංසක කොල්ලෙකුට හරියනවට මං මගේ හදවත ඇතුළෙන්ම කැමති හන්දා.. ඒත්..?"

"ඇයි පුබුදු...?"

"ඒත් ඒක එහෙම නොවුණොත්..? දිනූකා මිස් උඹව පාගලා දැම්මොත්..?"

පුබුදුගේ ප්‍රශ්න දෙක ඉදිරියේ මට දීගන්නට තරම් හොද උත්තරයක් තිබුණේ නැත. අනේ දෙවියනේ.. මේ තරම් ප්‍රශ්න ගොඩක් මැදට අපිව තල්ලු කර දැමුවේ ඇයි..? මා වැනිම අහිංසකයෙකු වූ පුබුදුටත් මගේ අවාසනාවන්තකම බෝ වූවාක් වැනිය. ජීවිතයේ සුන්දර සමනළ හීනයන් පෙනි පෙනීම මා හට නරකාදියේ ආවාට මතක් කරන්නේ මේ දෛවයමය..



                                     
          

No comments:

Post a Comment