Thursday, March 22, 2012

| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






උදේටද ආහාරයක් නොගත් බැවින් මට තදින්ම බඩගිනි දැනී තිබිණි. අනික මා දිනූකා එන්ටර්ප්‍රයිසස් වෙතින් පිට වූයේ දිවා ආහාරයට ඔන්න මෙන්න වාගේ තිබියදීය. කිලෝමීටර් එකහමාරක් පමණ ඇවිදන් එද්දී පාර අයිනේ තිබූ පුංචි කඩයක් මම දුටුවෙමි. එයින් මාලුපාන් ගෙඩියක් මිදලී ගෙන කඩට ඉදිරිපසට වූ පුංචි බංකුවේ වාඩි වූයෙමි.


පඩි දවස් ළග නිසාම මේ වන විට මා සතුව එතරම් මුදලක් තිබුණේද නැත. මෙතැන් සිට ජීවිතය නැවත අලුතෙන්ම මටන් ගත යුතුව ඇත. ප්‍රධානම ගැටලුව වූයේ අද දවසේ ඉතුරු කාලය ගෙවා ගැනීමයි. මගේ කල්පනා ලොව ටික වේලාවකින් බිද වැටුණේ කුමක් හෝ වාහනයක් මා සිටි පුංචි කඩය ඉදිරිපිටම මහා හඩින් තිරංග තද කළ නිසාය.

බැලූ එක බැල්මෙන්ම මම වාහනය හදුනා ගතිමි. එය දිනූකා මිස්ගේ සුදු පැටැති B.M.W මොටර් රථයයි. සිදුවන්නට යන්නේ කුමක්දැයි සිතාගන්නට බැරිව එදෙස බලාගෙන සිටියෙමි. සැනෙකින් රථයේ ඉදිරිපස දොර විවර විණි. කාරය වටේම කලු පාටින් ටින්ටඩ් කර ඇති නිසා ඇතුළේ සිටින්නේ කවුදැයි දැන්මම කියන්නට බැරිය. මද වේලාවක් ගොස් ඇරුණු දොරින් දිනූකා මිස් එළියට ආවේය. කළ යුතු දේ ගැන නිනව්වක් නැතිව මාලු පාන් කෑල්ලද අතේ හිර කරගෙන මම නැගී සිටියෙමි.  ඇය කෙලින්ම ආවේ මා කරාය. නිසැකවම ඇය ආවේ මෙතැනදීත් මට බැණ වදින්නට විය යුතුය. මගේ වෙලාව හොදකමටදෝ මෙතැන සිටින්නේ කඩයේ වූ වයසක මිනිසා පමණි. මගේ මුහුණ ඉදිරියට ආ ඇය මදක් වේලා මදෙස බලා සිටියාය. ඒ සොදුරු දෑස කදුලින් පිරී යනු මා දුටුවේ එකවරමය. මගේ කටේ තාමත් පාලුපාන් කෑලිය. කෑම කටේ තිබෙද්දි කතා කිරීම හොද නැති වුවත් දැන්නම් කතා නොකර බැරිය.

"ම.. මං මුකුත් ගෙනාවෙ නම් නෑ මිස්.. මට දීපු හැමදේම මං ඔෆිස් එකේ තියලයි ආවේ.."

තටම තමටා මම කියා ගත්තෙමි. කඩා වැටෙන්නට ඔන්න මෙන්න තරමේ කදුළින් දෑස පිරී තිබියදී ඇය සිනාසෙන්නට උත්සාහ දැරුවාය. ඒ උත්සාහයේ තිබූ අසරණකම දකිද්දී ඇය කෙරෙහි වූ සියලුම අපහැදීම් මවෙතින් ඉවත්ව යන්නට විය. ඇත්තටම අහිංසකව සිටිනවා නම් ඇය කොතරම් ලස්සනද..? ඇයට ගැලපෙන්නේ මෙන්න මේ ලෙස සිටිනවා නම්ය.

"එන්න....  යමු මාත්එක්ක.."

ඇය මවෙතට අත දිගු කළාය. ඒ සුන්දර රෝස පැහැති ඇගිලි තුඩු දෙස මා බලා සිටියේ කිසිවක් අදහා ගත නොහැකිවය. සත්තකින්ම මා මේ දකින්නේ හීනයක් විය යුතුය. හීනයකින් මිසක හැබැහින් මිස් මේ තරම් ආදරයෙන් කතා කොට නැත.

"තා... තාමත් මගෙත් එක්ක තරහින්ද ඉන්නේ...?"

මගේ මූණටම එබී ඇය ඇසුවාය. මෙය නම් සිහිනයක් නොවන බැව් දැන් සක්සුදක් සේ පැහැදිලිය..

"න්... නෑ... මිස්..."

"එහෙනම්... එන්න යමු..."

යන්නේ කොහාටදැයි අසන්නට විදියක් නැත. සුරංගනාවන් දේවදූතයන් තමා ළගටම පැමිණ යමු කීවාට පසුව කවුරුත් කේන්දර බල බලා සිටින්නේ නැත. මම කාරය ළගට ගොස් නැවතුනෙමි.

"මි... මිස් ඔෆිස් එකට යන්න.. මම හිමිට ඇවිදගෙන එන්නම්.."

කාරය තුල දිනූකා මිස් සමග වාඩි වී යා යුත්තේ කොතැනදැයි තීරණය කරගත නොහැකිව මම කීවෙමි. ඇය මදක් ඇලවී මගේ පැත්තේ ඉදිරිපස දොර ඇතුලතින් විවෘත කලාය.

"ඇයි මගෙත් එක්ක යන්න ලැජ්ජද..? ආ... පිස්සා වෙන්නැතුව මෙතනින් වාඩිවෙන්න.."

සුරතල් බවක් මුසුව තිබුනද ඒ කටහඩේ තිබුණේ අනකි. මම දෙවරක් නොසිතාම කාරයේ ඉදිරිපස අසුනට බර වූයෙමි. මොකක්දෝ ලොකු සතුටකින් ඒ සොදුරු මුහුණ හැඩවැඩ වී ඇති බැව් මා දැක්කේ එවිටය.

"මං කොයි වගේ කෙනෙක්ද කියලා යංතන්වත් හිතලා බලන්නෙ නැතුව ඇයි හැමදේම දමලා ගහලා යන්න හදන්නේ..? එතකොට ඔක්කොම හරිද...? ආ..."

කාරය පණ ගන්වා ඉදිරියට ඇදෙද්දීම ඇය මගෙන් ඇසුවාය. මා හැමදේම දමා ගසා ගියේ ඇයගේ වැඩ නිසා බව ඇය ඩිංගක් හෝ නොසිතන්නේ මන්දැයි මම සිතුවෙමි. ඇය හැසිරෙන්නේ සියල්ල අමතක වූ සැටියටය.

"කෝ මට මාලුපාන්..?"

කාරය පදවන ගමන් ඇය හදිසියේම ඇසුවාය. මට දැනුණේ වස ලැජ්ජාවකි. අතේ තිබෙන්නේද මාලුපාන් බාගයකි. එය ඇයට කොහොමත්ම දිය නොහැක.

"මාලුපාන් ඉවරයි මිස්..."

"බොරු කියන්නෙපා.. ඔය අතේ තියෙන්නේ.."

සිටියරින් විලය දකුණතින් හසුරවන අතරේ ඇය මවතින් මගේ මාලුපාන් කෑල්ල උදුරා ගත්තීය. වෙන්නට යන්නේ කුමක්දැයි කියා මට පැහැදිලි හැගීමක් තිබුණේ නැත. බාහිරින් නොසෑහෙන සංසුන්කමක් මවා ගෙන උන්නද හදවත ඇතුළතින් මා සිටියේ හොදටම කැලඹිගෙනය. කෙලින්ම දිනූකා මිස්ගේ මුහුණ දෙස බලන්නට අපහසු වුවත් විනාඩි දෙක තුනකදී මම ඒ අපහසුව ජය ගතිමි. බෝල මුහුණේ වූයේ හිතා ගන්නටවත් බැරි තරමේ අහිංසක සිනාවකි. ඒ සිනාව මැදින්ම ඇය මාලුපාන් කෑල්ල කෑමට පටන් ගත්තාය.

"මි.. මිස්.. ඕක මං කාපු එක..."

"ඉතිං...?"

නිල් මහනෙල් මලකටත් වැඩිය සොදුරු වූ දෑස මදෙසට හැරී තිබිණි. කිසිත් නොකියාම මම වින්ඩ්ස්ක්‍රීනය දෙස බැලුවෙමි. මෙය නම් දෙන දෙයියෝ බුරුතු පිටින් තෑගි දීමක්ය. දිනූකා මිස් මට ළං නොවීම ගැන මා කොතෙක් නම් සිත් තැවුලකින් සිටියාද කියා දන්නේ මා පමණකි. ඇය නිකරුණේ බැණ වැදීම් ගැන මා කොතෙක් නම් විස්සෝපයෙන් සිටියාද කියා දන්නේ මා පමණකි. එසේ වූ කළ මේ සිදුවන දේ ඇදහිය හැකිද..?

"කාංචන..."

කාර්යාලය පේන දුරින් මෝටර් රථය නවත්වා දිනූකා මිස් මවෙතට හැරුණාය. මම මවමිස් සිටි සිහින ලොවෙන් තත්පර දෙක තුනකදී බිමට ඇදගෙන වැටුණෙමි. ඇය මා හට මේ පවසන්නට යනවා ඇත්තේ සියල්ලම මෙතකින් අවසාන වන බවද..? 

"කාගෙ අතිනුත් අත් වැරදීම් වෙනවා.. සමහර විට මගේ අතිනුත් එහෙම දේවල් වෙන්න ඇති. ඔයා ඒවා හිතේ තියන් ඉන්නෙපා..  එහෙම උනොත් අපිට එකට වැඩ කරන්න බෑනේ.."

"ම.. මං එහෙම හිතන්නෑ මිස්.."

"අනික් දේ තමයි පුංචි පුංචි සිදුවීම් උනා කියලා රස්සාව දාලා යන්න ලෑස්ති වෙන්නෙපා.. ඒක දෙකේ පංතියෙ ළමයි කරන වැඩක් නේ.. හැමදේම දරාගෙන ඉන්න බලන්න..  ඔයාට මගෙත්තෙක්ක එකට වැඩ කරන්න බැරි නම් මම ඔයාව වෙන තැනකට දාන්නම්.."

ඇය අන්තිමේදී කී දෙයින් මම තිගැස්සී ගියෙමි. මේ වෙන්නට යන්නෙ මොනවාද..? මා දැන් සුලු මොහොතකට කලින් සිතුවේ මාගේ නරක කාලය අවසන් වී ඇති බවය. එහෙත් ලේසියෙන් අවසන් වන්නේ නැති හැඩය..

"එපා මිස්... මං මිස් ගාව වැඩ කරන්නම්.."

"හොදයි.. එහෙනම් කාංචන බහින්න.. මං මෙහෙම්ම ගෙදර යනවා.."

කලින් මා සිතා සිටි පරිදි මා බලාපොරොත්තු වූ පරිදි සැහැල්ලු කතාබහ දිනූකා මිස් තුළ මේ වනවිට තිබුණේ නැත. ඇය නැවතත් අර මුලින් සිටි අකාරුණික තැනැත්තිය බවට පත් වන්නට යනවාදෝ වත්දැයි මට සැක සිතුණි. මාලුපාන් කෑල්ල කන වේලෙහි ඇයගේ තිබූ හෘදයාංගම බව දැන් අහලකවත් තිබුණේ නැත. ඇය අන්තිමට කතා කළේ කාර්යාලයේ දෙවැනියා තමා බව මා හට නැවතත් වටහා දෙන්නට වාගයෙ.

කිසිම හඩක් නොනගා මගේ ළගින් ඇදී ගිය B.M.W රථය දෙස මම ඔහේ බලා සිටියෙමි. විනාඩි ගණනකට කලින් ඇස්වල කදුලු පුරවාගනෙ විත් මා ළගින් සිටි දිනූකා මිසුත් මේ දැන් මගේ ළගින් සිට ඈත්ව ගිය දිනූකා මිසුත් එකම අයෙකුදැයි සිතාගැනීමට බැරිව මම අසරණ වූයෙමි.

ඇය කෙලෙසක නම් මෙසේ ද්විත්ව ආකාරයක චරිත නිරූපණය කරනවාදැයි මට සිතා ගන්නට බැරිය. මොනවා වූවත් මා මුලින් සිතා සිටි පරිද්දට ඇය කෙරෙන් ඈත් වී ගියා නම් නැවත දිනූකා එන්ටර්ප්‍රයිසස් වෙත යන්නට උවමනාවක් ඇත්තේ නැත. එහෙත් දැන් සියලු දෙයම නැවත මුල සිටම සිදු වූ ආකාරයෙන් සිදු වෙමින් පවතී..

                                ********************************

"කාංචන කොහෙද බං ගියේ...? මං හැමතැනම හෙව්වා..."

කාර්යාලයට ඇතුලු වන විමට පුබුදු දුවවිත් මගේ අතකින් අල්ලා ගත්තේය. මිත්‍රත්වයේ අපමණ සුවදේ ඉමක් කොනක් නොපෙනෙන ඒ සැබෑ මුහුණේ තිබූ දයාබරිත බවින්, මම මොහොතකට ගල් ගැසී ගියෙමි.

"පොඩි කරදරයක් උනා පුබුදු.."

"කරදරයක්..? උඹ මාවත් බය කරනවා කාංචන..."

"ඔව් පුබුදු.. මං දැන් ඩිංගකට කලින් මේ රස්සාවයි, මේ හැමදේමයි දාලා යන්න ගියා.."

"උ... උඹට පිස්සුද..? උඹට පිස්සුද..? මේ තරම් හොද රස්සාවක් දාලා යන්න තරම්.. ම.. මට තේරෙන්නෑ.. මේ අද උදේ හොදට හිටපු එකාට දැන් මොකද වෙලා තියෙන්නෙ කියලා.. ඇත්තටම මට කියපං මොකද උනේ කියලා.."

"හවස රූම් එකට ගියාම මං හැමදේම කියන්නම් පුබුදු. මේ වෙලාවෙ මං ඉන්නෙ සෑහෙන්න අවුල් වෙලා.."

"කාංචන... මං උඹට එක දෙයක් කියන්නද..? ප්‍රශ්නයක් ආව නම් ඒක ඒ වෙලාවෙම කතා කරලා විසදගනිං.. එහෙම නැතුව ප්‍රශ්නෙ වැඩි වෙන්න ඉඩ දීලා බලන් හිටියොත් අපි අන්තිමට අනාත වෙනවා.."

පුබුදු කියන්නේ ඇත්තය. එහෙත් මා මොනවා කරන්නද..? කෑලි වලට කපා, උයා පිහා රස බැලුවත් දිනූකා මිස් මොන වර්ගයේ කෙනෙක් දැයි මේ කපේක මට තේරුම් ගන්නට බැරිවනු ඇත.

"උඹ දැන් දවල්ට කාලද..?"

කලින් කතා කළ ස්වරය හාත්පසින්ම වෙනස් වූ ලෙංගතු හඩකින් පුබුදු ඇසුවේය. මම ඔලුව දෙපැත්තට වනා නැතැයි කීවෙමි. බලා සිටිද්දීම පුබුදුගේ මුව ඇදවිණි.

"ඔය බලපං ඉතිං... උඹ ඊගාවට ගෑස්ටික් හදාගෙනයි නවතින්නේ.. මට නම් ඇත්තටම තේරෙන්නෑ උඹට මොනවද වෙලා තියෙන්නෙ කියලා.. හ්ම්.. අපි යමු කැන්ටිමට.. මාත් තාම දවල්ට කෑවෙ නෑ.."

හිතේ තිබෙනා ගින්න නිසා ඇතත්ටම වේ වනවිට මට බඩගින්නක් තිබුණේද නැත. එහෙත් ඒ බවක් කියන්නට ගියොත් දිනූකා මිස්ගෙන් ඇසූ බැනුම් කන්දරාවට වඩා බැනුම් කන්දරාවක් පුබුදුගෙන් අසන්නට සිදුවනු ඇත. හොදම දේ නම් කැන්ටිමට ගොස් කෑම එක අත ගගා හො ඉදීමය.

"කෝ ඉතිං.. ඔය කනවද..? අත ගගා ඉන්නවනේ..."

කෑම බෙදාගෙන විත් ටික වෙලාවකට පසු පුබුදු මගේ මුහුණටම එබුණේය. ඇත්තෙන්ම ඒ ලෙංගතු ඇස්වල තිබූ මිත්‍රත්වයට මට බොරු කල නොහැක. සිදුවූ සියල්ලම අකුරක් නෑරම පුබුදුත් සමග කියන්නට මම තීරණය කළෙමි. මේ හැමදේම හිතේ තබාගනෙ පිච්චි පිච්චි හිදිනවාට වඩා කා සමග හෝ බෙදා ගැනීම හිතට සහනයකි.

"මං රස්සාවෙන් අයින් වෙනවා කියලා තීරණය කළේ හේතු ගොඩක් හින්දා පුබුදු. මොන දේ නැති වුණත් මනුස්සයෙකුට තමන්ගෙ හිතේ සතුට තියෙන්න ඕනි. අඩුගානෙ මට මෙතන ඒකවත් නෑ. ඇත්තටම මට දිනූකා මිස් එක්ක වැඩ කරන්න අමාරුයි. මට.. මට තේරෙන්නෑ මිස් මේතරම්  මගෙන් පලි ගන්නෙ ඇයි කියලා.. මිස් හරියට මට වද දෙනවා පුබුදු.."

"කාංචන කියන්නෙ මොනවද කියලා මට හිතාගන්න පුලුවන්. ඒ මං මේ ප්‍රශ්නෙ මුල ඉදලම දන්න හින්දා. ඔක්කෝටම කලින් මට කියන්න අද මොනවද උනේ කියලා.."

දවස ඇරඹුමේ සිට මේ මොහොත දක්වාම සිදුවූ දේ මම පුබුදු ඉදිරියේ පෙළ ගැසිමි. මද වේලාවක් යද්දී ඔහු කෑම ගැනීමද නවත්වා කටද බාගෙට ඇරගෙන විස්මයෙන් මදෙස බලා සිටියේය.

"දි.. දිනූක මිස් උ.. උඹේ මාලුපාන් කෑල්ල අරගෙන කෑවා..?"

කතා කරන්න පුලුවන් වූ පළමු තත්පරයේදීම පුබුදු මගෙන් ඇසුවේය. වැඩේ කියන්නේ, උදෑසන වූ සිද්ධින් වලින් හැමදේකටම වඩා පුබුදුට වැදගත් වී ඇත්තේ මාලුපාන් කෑල්ලේ කතාවය. මා ටොයිලට් එකට ගොස් ආපසු එද්දී මගේ චිත්‍රය උඩ තීන්ත හැලීම පිළිබදවවත්, මා මගේ දුක හෝ ගා කියා කාමරෙන් එළියට ඒමවත්, මා ආ පසු දිනූකා මිස් ඇඩීම පිළිබදවවත් පුබුදුට වැදගත් වූයේ නැත. නවකතා පොතක් පිරෙන්නට ලිවීමට දේ ඇතත්, පුබුදුගේ සිත ගියේ මාළුපාන් කෑල්ලටය.

"ඔව්.. ඇයි උඹ හිතනවද මං මේ බොරුවක් හදලා කියනවා කියලා..?"

"නෑ කාංචන උඹ කියන්නෙ ඇත්ත කියලා මට තේරෙනවා.. මීට කලින් වෙච්ච සිද්ධීත් එක්ක බැලුවාම මේ වගේ දෙයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. ඒත් මට හිතාගන්න බැරි දිනූකා මිස් ඇයි මේ වගේ හැසිරෙන්නෙ කියලා. එයා මේ හැසිරෙන විදිය එයාගෙ තත්වෙට කොහොමටවත් ගැළපෙන්නෑ.. අනිත් දේ තමයි.."

පුබුදු කතාව මග නතර කළේය. දැන් දැන් ඒ මූණ මැදට පැමිණ ඇත්තේ යම්කිසි නොපහන්කාරී බැල්මකි.

"අනිත් දේ මොකක්ද පුබුදු..?"

"මං මුලින් හිතුවෙ දිනූකා මිස් මේ හැමදේම කරන්නෙ උඹ ගැන ආදරයක් පහල වෙලා කියලා.. ඒත් දැන් දැන් මට හිතෙනවා ඒක එහෙම දෙයක් නෙමෙයි කියලා.."

පුබුදුගේ කතාවට මගේ පපුවේ තුන් හතර පොලක්ම ඇවලී ගියේය. ඔහු මේ කියන්නේ මොනවාද..? සියලු දුක් කරදර මැදත්, ඔහු මගේ පුංචි පපුවට මේ තරම් වේදනාවක් දෙන්නේ ඇයි..? සිත සැනෙකින් ගිනිබත් කරනා මේ වගේ කතාවක් පුබුදු කීවේ ඇයි..? මේ ආයතනයේ මට සිටින එකම විශ්වාසවන්ත මිතුරා ඔහු නොවේද..?

"පුබුදු කියන්නේ, දිනූකා මිස් මට ආදරේ කරන්නෑ කියලද..?"

සිත තුළ ගුලි ගැසුණු අපමණ දුක් කන්දරාව එක පොදියට හිත ඇතුළේම හිරකොට මම පුබුදුගෙන් ඇසුවෙමි.

"ඔව් කාංචන.. මං මේ හැමදේම කියන්නේ උඹට තියෙන ආදරේට. මෙතන අපි කාටවත් තේරුම් ගන්න බැරි මොකක්දෝ දෙයක් වෙනවා. උඹට කරන්න තියෙන හොදම දේ, මේ හැම දේම දරාගෙන රස්සාවත් බේරගෙන ඉන්න එකයි. මොකද උඹ ඔය කියන විදියට දිනූකා මිසුයි, උඹයි අතරෙ සිද්ධ වෙන දේවල් වැරදිලාවත් මැණික්දිවෙල සර්ගෙ කනට වැටුනොත් උඹ මෙතනින් අස්වෙලා යන්න කලින්, සර් උඹට අස්වීමේ සහතිකේ දෙයි.."

මගේ සිත මොකක්දෝ නොදන්නා අලුත් බියකින් හිරිවැටී ගියේය. පුබුදු කියනා පරිද්දට එය එසේ වූවොත්..? කළ යුතු කිසිම දෙයක් සිතාගත නොහැකිව මම ළතැවුණෙමි.. දෙවියනේ.. මේ ප්‍රශ්නවල අවසානය කොතැනද..? මා වැනි අන්ත අසරණ හිගන කොල්ලෙකුට මෙවැනි දුක් කරදර ලබා දෙන්නේ ඇයි..? මා කුමන වරදක් කළාටද..?

"උඹ මාව බය කරනවා පුබුදු.."

"නෑ කාංචන.. මේ හැමදේම කියන්නෙ උඹේ හොදට.. උඹ විනාස වෙලා යනවා මට බලන් ඉන්න බෑ.."

"පුබුදු කියන්නෙ මට මොනවා කරන්න කියලද..?"

"අපි මැණික්දිවෙල සර්ට කියලා කම්පියුටර් සෙක්ෂන් එක පැත්තට ට්‍රාන්සර් එකක් ගමු. එතකොට ඔය ප්‍රශ්නෙ හුගක් අඩුවෙලා යාවි. කාංචනව වැඩිය දකින්නෙ නැති වෙනකොට දිනූකා මිස්ටත් උඹට කරදර කරන්න අමතක වෙලා යයි.."

පුබුදුගේ කතාවට මගේ හිතට මොකක්දෝ වී ගියේය. ඇත්තටම කරනවා නම් කළ යුත්තේ එයය. රස්සාවත් බේරගෙන, මගේ ආත්මයත් බේරාගෙන ජීවත්වන්නට නම් සිදුවිය යුත්තේ එයය. එහෙත් කළ යුතු වූ නිවැරදි දෙයට, මගේ සිත මේ තරම් පැකිලෙන්නේ ඇයි...?

"මට මුකුත් තේරෙන්නෑ පුබුදු.."

"තේරෙන්නෙ නැත්තෙ නෑ කාංචන.. උඹට හොදට තේරෙනවා.. ඇත්තටම මට උඹ ගැන හරි දුකයි.. උඹ ඔය අල්ලන්න යන්නෙ උඹට හිතාගන්නවත් බැරි අත්තක්. උඹ අමාරුවෙන් දහ දුක් විදලා ඒ අත්ත අල්ල ගත්තත්, ඒකෙ තියෙන රස්නෙට උඹ විනාශ වෙලා යයි.."

මගේ සිත තුළ ඇති දේ අන්තිම දශමයට තේරුම් ගෙන පුබුදු කීවේය. තවත් මට කියන්න දෙයක් නැත. මේ තරම් දේ සිදුවී තිබියදීත් මා හට දිනූකා මිස් වෙතින් ඈත්වන්නට බැරි මා ඇයට මුලු හදවතින්ම ආදරය කරනා නිසාද..? නැත... එසේ වන්නට බැරිය.. ඇය වැන සද දෙව්දුවකට මා වැන කාලකන්නි  හිගන්නෙකු කෙසේ නම් ආදරය කරන්නද..? බලා සිටිනා කෙනෙකුට, එය වසරේ මහා විහිලුව වනු ඇත..

"උඹ හිතන්නෙ මං දිනූකා මිස්ට ආදරේ කරනවා කියලද..?"

"උඹම ඒක මගෙන් අහපු එක හොදයි කාංචන.. නැත්නම් මට ඒ කතාව පටන් ගන්න අමාරු වෙන්න තිබුණා. මට තේරෙන විදියට නම්, මේ වෙන්න යන දේවල් වල හැටියට හැටියට නම් ඒක එහෙමම තමයි.. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ එතන නෙමෙයි කාංචන.."

"එහෙනම්..?"

"උඹට මේ දෙයින් කිසිම දෙයක් ලැබෙන්නැති එකයි..."

පුබුදු ඒ වචන ටික කියූ දඩබ්බර විලාසයට මගේ පපුවේ සෑම අංශු මාත්‍රයක්ම යළිත් අලුතින් ඇවිලී ගියේය.

"ඇ.. ඇයි උඹ එහෙම කියන්නේ..?"

"හේතු ගොඩක් තියෙන හින්දා කාංචන.. මං උඹට මගේ මල්ලි කෙනෙකුට වගේම ආදරෙයි.. උඹ විහින් ජීවිතේ කාලකණ්නි කරගන්නවා බලන් ඉන්න මට බෑ.. උඹට ඩිංගක් හිතපං.. දිනූකා මිස් ගැන හිතන එක පවා හීනයක් නේද..? මිස්ට කොයි තරම් සල්ලි තියෙනවද කියලා මිස්වත් දන්නෑලු කාංචන.. ඇත්ත ඒකයි.. සල්ලි උඩ පීනන මිස් වගේ කෙනෙකුට උම වගේ අහිංසකයෙක් ගැන සමනළ පිහාට්ටක් තරම්වත් හිතන්න දෙයක් නෑ.."

"වැරදිලා හිතුවොත්..?"

"හිතුවොත් නේද..? ඒ හිතන්නෙත් එයාගෙ වාසියට.. වෙන මොනවටවත් නෙමෙයි.. අඩුගානෙ ඒකවත් තේරුම් ගනිං.."

කෑම ඩිංගක් ඉතිරිව තිබියදී අත සෝදා ගැනීමට පුබුදු පටුවෙන් නැගිට්ටේය. මම මගේ කෑම එක දිහා බැලුවෙමි. ඇත්තටම බලන්නට පවා දුකය. කෑම පිගාන බෙදාගෙන ආ පරිද්දටම මේසය මත තිබේ. ඇත්තටම මා මේ නොකා නොබී විදවන්නේ කවුරුන් වෙනුවෙන්ද..? මෙයින් මා හට ලැබෙන්නේ මොනවාද..? තේරුමක් ඇති දෙයක් වෙනුවෙන් නම් විදවීමට නොවේ, ඊටත් එහා දෙයක් වුවද කරන්නට මම කැපවෙමි. එහෙත් මා මේ ගෙවන්නේ කවර නම් කාලකණ්නි ජීවිතයක්ද..? 

                                          *****************************

පුබුදු ගියාඉන් පසුව කෑම පිගාන එලෙසම තිබෙන්නට ඉඩ හැර මම නැවතත් දිනූකා මිස්ගේත්, මගේත් කාර්යාල කාමරය තුලට ඇතුලු වූයෙමි. කාමරය පුරා පැතිරී තිබුණේ අති විශාල වූ පාලුවකි. එහෙත් මේ බියකරු පාලුව පරද්දන්නට මෙන්, දිනූකා මිස්ගේ විලවුන් සුවද වඩ වඩාත් දැඩිව කාමරය තුලින් හමා එනන්ට විය. හරියට ඇය මගේ අසලම සිටිනවා වැනිය. මම නොසන්සුන් වූ සිතින් හාත්පසම බැලුවෙමි.

දිනූකා මිස් මා හට කීවේ ඇය ගෙදර යන බව නොවේද..? එහෙත් ඇය කාමරය තුළ  හිදිද්දී දැනෙන විලවුන් සුවදම, ඇය කාමරය තුළ නැතිවිටත් දැනෙන්නේ කෙසේද..? මෙය නම් මහා පුදුමයකි. සමහර විටෙක ඇයගේ විලවුන් බෝතලය වැරදීමකින් හෝ මේ කාමරයේ කොහේ හෝ තබා ගියාදැයි කියන්නට බැරිය. එහෙත් මේ තරම් සුවදක් එන්නේ කොහි සිටදැයි කියා සිතාගත නොහැකිව මම නැවතත් පුලු කාමරයම දැඩිව පරික්ෂා කළෙමි.

එහෙත් මා දැකී දෙයක් නැත. මා සෙයා ගත් දෙයක් නැත. කෙසේ වුවත් මම එක දෙයක් දන්නෙමි. ඒ මේ කාමරය තුළ මොකක් හෝ රහසක් ඇති බවය. සමහර අවස්ථාවන්හිදී දිනූකා මිස් කාමරය තුළ නොමැති අවස්ථාවල ඇයගේ දෑතේ වලලු එකිනෙක ගැටෙනා හඩ පවා සිහිනයෙන් මෙන් මට ඇසෙයි. එහෙත් ඇය දෑස පෙනෙනා කිසිම මානයකවත් නැ. තවත් විටෙක මට නොසෑහෙන්න බැන අහවර වී කාමරයෙන් පිටව ගිය පසු, මේසයට ඔලුව ඔබාගෙන සිටින මා හට සැනෙකින් ඔලුව උස්සා බැලූ කල මගේ දෑසට හදුවන්නේ කාමරය තුළ ඇති දවස් වර දැක පුරුදු අජීවී වස්තූන්ය. එහෙත් ඒ අජීවී වස්තූන් අතරින් මට ඇගේ සුවද දිගින් දිගටම දැනේ. හරියට මා පමණක් ජීවී වස්තුවක් වන කාමරය තුල ඇය මට නොපෙනී මගේ ළගින් හිදිනවා වැනිය.





                                                    

No comments:

Post a Comment