Saturday, March 31, 2012

| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි |






කලා උළෙල පටන් ගන්න නැකත තිබුණෙ උදේ හයයි විසි හතට. අපේ තාත්තයි අක්කයි අද නිවාඩු දාලා. එයාලට ටිකක් පරක්කු වෙලා එන්න කියලා මමයි හංසියි උදේම ගියා. මේන් හෝල් එක ඉස්සරහ අතුරන්න සුදු වැලි ගේන්න කියලා අපි ඊයේ ඕඩර් කලා. උදේම ලොරිය ඇවිත් තිබුන නිසා අපි ඒ වැඩේ ඉවර  කරලා මුළු ඉස්කෝලෙ වටේටම පොල් කටු අගුරු දාලා සුවද දුම් ඇල්ලුවා. වෙස් නැටුම් කණ්ඩායම හැදුවෙ අපේම ඉස්කෝලෙ හිටපු වෙස් බැදපු ළමයින්ගෙන්.


අද අපේ ප්‍රින්සිපල් සර් ටයි කෝට් දාලා එයි කියලා අපි බලාගෙන හිටියට එයා ආවෙ ජාතික ඇදුම ඇදලා. අද ඉස්කෝලෙ හැමෝම සංවර වෙලා. ඒ වගේම තමයි හැම පැත්තෙන්ම ආවෙ අමුතුම ගැමි සුවදක්. මේ අපේ ආදරණිය පාසල නේද කියලා පුංචි ආඩම්බරයක් එක්ක ලොකු සතුටක් දැනුනා. 

වටේ ඉස්කෝල වල විදුහල්පතිවරු, විශ්ව විද්‍යාල දේශකවරු වගේ ගොඩක් දෙනෙක්ට ආරාධනා කරලා තිබුණ නිසා එයාලව බුලත් හුරුළු දීලා පිළීගන්න රෙද්දයි හැට්ටෙයි අන්දවපු එක වසරෙ පුංචි නංගිලා ටිකට බාර දුන්නා. පුංචි එවුන් රෙදි පටලවගෙන අමාරුවෙන් ඇවිද්දිදි තිබුණෙ අමුතුම ලස්සනක්. වැඩ සේරම ලෑස්ති කරලා ඉවර වෙලා නිවේදන කටයුතු කරන්න මං ක්‍රීම් පාට ජාතික ඇදුම ඇන්දා.

"උඹට ඇස්වහ වදියි කියලා මට ලෝභ හිතෙනවා රන්දු.. උඹ අද මාර පින් පාටයි.."

ඇස් දෙකත් රතු කරගත්ත විහග ඇවිත් මාව බදාගන්න ගමන් කිව්වා. මොකක්දෝ මන්දා සහෝදරත්වයේ සුවදකින් මගේ හිත පිරිලා ගියා. හංකි අක්කත් මෙරුන් පාට බතික් ඔසරියක් ඇදලා ඈත ඉදලා මං දිහා බලන්  හිටියා. අද දවස අපි හැමෝගෙම මහන්සියෙ ප්‍රථිපලය භුක්ති විදින දවස.

හරියටම නැකතට බෙර ගහලා පහන් පත්තු කරලා ආරාධිත අමුත්තො පිරිවරාගෙන අපේ මහා කලා මංගල්‍යය ආරම්භ කලා. මුළු ශාලාවම අදුරු කරලා ස්ටේජ් එ විතරක් ඩිම් ලයිට් දාලා අචිනිගෙ සරස්වතී නැටුම පටන් ගත්තා විතරයි හෝල් එක අත්පුඩි සද්දෙකින් වැහැලා ගියා. ඒ ලා අදුරු ඕලු මල මැද්දෙ වාඩිවෙලා සිතාරය අතින් අරන් හිටපු දෙවගන අචිනිද කියලා මට හිතාගන්නවත් බෑ. ආපු අමුත්තො විතරක් නෙමෙයි, ඒක ඉවර වෙනකල් අපිත් බලාගෙන හිටියෙ ගල් හැගිලා වගේ..

ඊට පස්සෙ හෝල් එක එළිය වෙද්දි මං මයික් එකත් අරගෙන ඉස්සරහට ගියා. මම ගැඹුරු කටහඩින් කට්ටිය පිළිගනිද්දි ඇස් හෙව්වෙ අපේ අම්මව. එයා ඉදගෙන හිටියෙ තාත්තටයි අක්කටයි මැදිවෙලා. කතාව අතරතුරේ අම්මා දෙතුන් සැරයක්ම සාරි පොට අරන් ඇස් පිහදානවා මං දැක්කා.

වෙනද  වගේ දගලන්න විහිළුවක් කරන්න කාටවත් අදහසක් නෑ වගෙ. කට්ටිය ස්ටේජ් එක පිටිපස්සෙ බරටම වැඩ. උත්සවේ යන අතරමගදි අපි අමුත්තන්ට සංග්‍රහය පිළිගැන්නුවා. කැවුම්, කිරිබත්, වැලිතලප වගේ කැවිලි පිගානක් එක්ක බොන්න දුන්නෙ බෙලිමල්. කැම්පස් වලින් ආපු දේශකවරු ඒ සංග්‍රහය ගොඩක් අගය කලේ අපේ කමට මුල් තැන දීළා තිබුණ නිසා.

"රන්දු වරෙන් පොඩි බඩුවක් පෙන්නන්න.."

ෂෝටා මගෙ අතින් ඇදන් ස්ටේජ් එක එහා පැත්තට එක්කං ගියා. එතන ළමයි ගොඩේ නෙත්මි ඊලග සිංදුවට අදින ඇදුම ඇදගෙන කවුද කළු පොරක් එක්ක කතාව. ඒක හැබැයි එසේ මෙසේ කතාවක් වෙන්න බෑ.

"අපේ නංගි කිව්ව මෑන් තමයි මූ.."

"ඒ කිව්වෙ කෙල්ලගෙ මස්සිනාකාරයා.."

"ම්..... උඹ අප්සට්ද..?"

"නෑ තාරක ඒකි මට මැච් වෙන්නෑ කියලා මං දන්නවා. කෙල්ල ලස්සන උනාට හිත ලස්සන නැත්තං වැඩක් නෑ.."

ෂෝටා පුදුමෙන් වගේ බලන් හිටියෙ මං කල්ප කාලකෙට පස්සෙ උගේ නම කියලා කතා කරපු නිසා වෙන්න ඇති.

අපි කීප සැරයක්ම ඇදුම් මාරු කර කර එක එක විශේෂාංග වලට හිටියා. ඇවිත් හිටපු හැම දෙනාගෙම ඇස් වැඩිපුරම පැහැර ගත්තෙ අචිනියි, සචිනියි දෙන්නා එකම විදියට ඇදලා මේ පාර සමස්ත ලංකා දිනපු නැටුම ඉදිරිපත් කරපු එක. ඩබල බෝනික්කො දෙන්නෙක් වගේ එහෙට මෙහෙම මාරුවෙවී නටද්දි කට්ටිය ෆුල් හොල්මන් වෙලා. මේ නැටුමට එදා නුවරදි ලංකාවෙ පළවෙනි තැන ලැබුණ එක පුදුමයක් නෙමෙයි.

ගිණිකෙලි සංදර්ශණ, නාට්‍ය ගීත, ගැමි නැටුම්, කවි, සිංදු වලින් පිරුණ කලා උලෙළ ඉවර උනේ හැමෝගෙම සිත් තෘප්තිමත් කරලා.

"විදුහල්පතිතුමා, අපි මේ තරම් ලස්සනට ගමේ කම දැනෙන උත්සවයක් විශ්ව විද්‍යාලෙදිවත් දැකලා තිබුනෙ නෑ.. හරිම විශිෂ්ඨයි.."

ඒ කිව්වෙ රජරට විශ්ව විද්‍යාලෙන් ආපු මහාචාර්යවරයෙක්.

"අපිට ඉතිං ඕන වැඩකට බය නැතුව අත ගහන්න පුළුවන් ප්‍රොෆෙසර්, මේ ඉන්නෙ ගජබා රෙජිමේන්තුව වගේ කොල්ලො ටිකක්.."

අපිව පෙන්නලා සර් කියද්දි ප්‍රොෆෙසර් මං ගාවට ආවා.

"මේ දරුවො ඉස්කෝලෙට සම්පතක්. මේ වගේ අය තමයි අපේ කැම්පස් වලට ඕනේ. මේ පාර විබාගෙ ලියලා එමු ඒ පැත්තේ.."

ප්‍රොෆෙසර් එහෙම කියද්දි මං ලග හිටපු තාත්තාගෙ ඇස් දිලිසුනා. අපි කලා උළෙල ඉවර වෙලා අස් කරන වැඩ වලට නතර වෙද්දි අම්මලා ගෙදර ගියේ අදවත් ඉක්මනට එන්න කියලා. හවස අපේ ඒ ලෙවල් ළමයි වටකරගෙන ප්‍රින්සිපල් සර් විශේෂ ස්තුතියක් කලා. මේ ඉවර උනේ අපේ අන්තිම කලා උළෙල නේද කියලා මතක් වෙද්දි හිත ඇතුලෙ පුංචි දුකක් වගේ දෙයක් තැම්පත් උනා.

"මං විශේෂයෙන්ම අගය කරනවා හේෂාන්වයි එයාගෙ යාලුවො ටිකයි. ඒ අය නොහිටින්න අපිට මේ වැඩේ මේ තරම් හොදට කරගන්න බැරි වෙනවා. දැන් මේ ටිකෙ මහන්සි උනා ඇති. ආපහු පාඩම් වැඩ පටන් ගන්න. ඔයාලා හැමෝටම කැම්පස් යන්න පුළුවන් වෙයි.."

සර් රූම් එක පැත්තට යන්න ගිහින් ආපහු අපි දිහාට හැරුනා.

"ඔය තිබහ තියෙන අය තැඹිලි ගෙඩි ටිකක් කඩා ගත්තට කමක් නෑ.."

හප්පොච්චියේ..! ඒක කිව්වෙ අපිට මිසක් වෙන කාටද..? ෂෝටා බෙල්ල කඩන් වැටිලා වගේ බිම බලාගෙන..

"අනේ බං උඹලා ඕනෙ නම් බීපං.. මං නම් ආයෙ සල්ලි දීලවත් තැඹිලි බොන්නෙ නෑ.."

එදත් අපි ගොඩක් හවස් වෙනකල් ඉස්කෝලෙ  හිටියේ. දාලා යන්න දුකට වගේ. විභාගෙට තව ටික කාලයයි. ඒ කියන්නෙ මේ හැමදේම දාලා යන්න කාලෙ ළංවෙලා. ආයෙත් ලබන සතියෙ ඉදලා රිවිෂන් ක්ලාස් යන්න වෙන නිසා වැඩිය ඉස්කෝලෙ එන්නත් බැරිවෙනවා. අපි කළුවර වැටෙනකල්ම වගේ අරලිය ගස් යටට වෙලා කථා කර කර හිටියා.

                                      ********************************

විභාගෙ ඇඩ්මිෂන් ඇවිත් කියලා ආපු ආරංචියට අපි ඉස්කෝලෙට ගියේ ගොඩ දවසකින්.. හප්පා.!! ඉස්කෝලෙ දැක්කම හිත නිවන් ගියා වගේ. එදා දවල් යන්න කලින් සචිනි මගෙ අතට කොලයක් ගෙනත් දුන්නා.

"රන්දු මේක නෝටිස් බෝඩ් එකේ දාන්නකෝ.."

ඒකෙ තිබුනෙ සචී ඉස්කෝලෙ ගැන ලියපු කවි පංතියක්..

සමුගන්න අවසරයි...

සිනාමල් විල්තෙරේ කුසුම් මුකුලිත         වෙලා
පාසැලේ මාවතත් අපි නැතුව  හිස්           වෙලා
සුදු පාට රැලි ගවුම ටයි පටිය තනි            වෙලා
විදු බිමේ සුවද අද කදුළක්ව                 වැගිරිලා

පුරා දහතුන් වසක් පාසලේ                  දැවටිලා
සිනා එන කෙළි කවට වදන් වැල්      තෙපලලා
පංති කාමරය තුළ සොයුරන්ව            ළංවෙලා
උන්නු කාලය නිමයි යා යුතුය        වෙන්වෙලා

තුරුළු කල පොත් මිටිය දස අතේ         විසිරිලා
ඩෙස් බංකු සියල්ලම ඉකි බිදී           තනිවෙලා
පුංචි දරුවන්ව සිටි හොරාව              නිමවෙලා
සමුගන්න අවසරයි නෙතේ කදුළක්          සලා

ඒක කියවලා ඉවර වෙද්දි හැමෝගෙම ඇස් රතුවෙලා. ඇත්තටම අපි මේ අවුරුදු දහතුන ඇතුලත මේ පංති කාමර ඇතුලෙ කොයි තරම් දේවල් කරාද..? ඒත් සචී ලියලා තියෙනවා වගේ දැන් සමුගන්න හෝරාව ළංවෙලා. අපි හැමෝම යන්න කලින් අරලියා ගස් හෙවනට ගිහින් අපේ  හිත් කෑහගලා අඩද්දි හිනාවෙලා සිංදු කිව්වා.

"පියමං කෙරුවෙමු මහවෙල් මැද්දෙන්..
පෙම්බස් දෙඩුවෙමු උයන් කොනක හිද..
ශිල්ප උගත්තෙමු..
නැණ ලැබ ගත්තෙමු..
දෙපා වාරු නැත ඔබ හැර යන්නට..
දෙපා.. වාරු නැත.. ඔබ හැර යන්නට.."

                                       ********************************

හවස මිදුලට වෙලා පාඩම් කර කර ඉද්දි හංසි ආවා. කලා උළෙලෙන් පස්සෙ එයා මගේ හිතට ගොඩක් ළංවෙලා. අපේ අක්කව දකිද්දි නොදැනෙන මොකක්දෝ දෙයක් හංසි දකිද්දි මට දැනෙනවා.

"කෝ මල්ලි නිශා ගෙදර ඉන්නවද..?"

"එයා මේ දැන් අම්මලා එක්ක පාටියකට ගියා. එද්දි රෑ වෙයි.."

"ඒ කියන්නෙ ඔයා විතරද දැන් ගෙදර ඉන්නේ..?"

"නෑ.."

ඒ පාර කෙල්ල ඇස් දෙකත් ලොකු කරගෙන බලන් ඉන්නවා..

"තව කවුද ඉන්නේ..?"

"ඇයි ඔයා.."

හංසි පැයකට විතර කලින් උඩට ගත්තු හුස්ම දැනුයි පහළ දැම්මේ. මෙයා බයවෙලා තියෙන තරමක්..

"ඒක හොදයි.."

එයා අන්තිමට කිව්වෙ මං හීනෙකින්වත් හිතපු නැති දෙයක්. අපි දෙන්නා විතරක් තනියෙම ඉන්න එක කොහොමද හොද වෙන්නේ. එයා අරගෙන ආප බෑග් එකත් උසස්ගෙන ගෙට ගියා.

මං හිටපු තැනම ගල් ගැහිලා වගේ බලන් හිටියෙ මේ මොනවද වෙන්න යන්නෙ කියලා හිතාගන්න බැරුව. පැය කාලකට විතර පස්සෙ හංසි මිදුලට ආවෙ ඇදුම් මාරු කරලා තේ දෙකකුත් හදාගෙන. දැන් මොන පාඩම්ද..? මං පොත වහලා පැත්තකින් තිබ්බා.

"ඔයා එක්ක කතා කරන්න ගොඩක් දවස් බලන් හිටියෙ මල්ලි.."

තේ එක මගේ අතට දීලා මගෙ ඉස්සරහ පුටුවෙන් ඉදගද්දි හංසි අතේ තව මොකක්ද දෙයක් තියෙනවා මං දැක්කා.

"කියන්න අක්කෙ, මං අහගෙන ඉන්නේ.."

"කොහොම කියන්නද මල්ලි, ඔයා මාව කොයි විදියට තේරුම් ගනීද දන්නෑ.."

එයා මගෙ දිහා බැලුවෙ එදා කැළණි පන්සලේදි මං එයාගෙ අත අල්ලපු වෙලාවෙ බලපු විදියටමයි. මට තේරුණ විදියට ඒ ඇස් ඇතුලෙ හැංගිලා තිබුණෙ ආදරේ..

"කළුවරත් වැටීගෙන එනවා හංසි අක්කේ, එළිය සීතලයි.. අපි ගෙට යං.."

අත් දෙක ගුලි කරලා පුටුවට තද කරන් එයා හිටපු විදියට මට දුක හිතුනා. හරියට සීතලේ හැදුනු හා පැටියෙක් වගේ.

"ටිකක් මෙහෙම ඉමු.."

කියලා හිටපු පුටුවෙන් නැගිටලා එයා මං ඉදන් හිටපු තැනින්ම ඇවිත් ඉදගත්තා. හංසි ළග ඉද්දි මගේ දග හිත මොනවදෝ කියනවා.

"ඔයා දන්නෑ මල්ලි, අපේ ගම නුවර. මං ඉස්කෝලෙ ගියේ මහමායා එකට. ඕ ලෙවල් වලට පාස් උන ගමන් මං හිතන් හිටියෙ කවදා හරි පේරාදෙණියෙ කැම්පස් යන්න.."

මං කතා නොකර ඉද්දි හංසි එක පාරට එයාගෙ විස්තර කියන්න ගත්තා. එයා ගැන කිසිම දෙයක් නොදැන හිටපු මං ඒ දේවල් අහන් හිටියෙ ඕනෑකමින්.

"ඉතිං.."

"ඒත් මට ඒ හීනෙ හැබෑ කරගන්න බැරිවුනා. මං හරියට විභාගෙ කලේ නෑ. මට හැමෝම විභාගෙ කරන්න කියලා බල කරද්දි මම බෑ කියලා බාහිර උපාධිය ගත්තා. මට නුවර එපා උනා මල්ලි. මගේ අප්පච්චි උඩරට  පාරම්පරික නැටුම් පරපුරක කෙනෙක්. එයා එහේ කලායතනයක් කළා. ඒත් මං  නුවර ඉන්න බෑ කියලා අඩද්දි අප්පච්චි මං වෙනුවෙන් ඒ කලායතනය වහලා දාලා අපිව කොළඹට අරන් ආවා.."

"ඇති අක්කෙ ඇති.."

"ඇයි මල්ලි.."

"ඔයාට මාව විශ්වාස නැද්ද..? ඇයි මට කතාව බාගෙට කියන්නේ..? ඔයා මට කියන්න ඕන ලොකුම දේ හංගලා නේද ඔය කියන්නෙ හංසි..?"

මං නම විතරක් කියලා අහපුවාම කෙල්ල ලොකු  හුස්මක් පිට කලා..

"ඔයාගෙ කතාව එකකට එකක් සම්බන්ධ නෑ. හොදට ඕ ලෙවල් පාස් කරපු ඔයා ඇයි ඒ ලෙවල් හරියට නොකලේ..? ඇයි නුවර එපා උනේ..?"

"ඒ හැමදේකටම උත්තරේ ආදරේ.. ආදරේ නුවර දාලා ආපු මං අප්පච්චි මෙහේ පටන්ගත්තු කලායතනය බාර ගත්තෙ මගේ හිත හදන්න. දවසක් ඔයාලගෙ අක්කා ඇවිත් එයාගෙ ඉස්කෝලෙ නැටුම් කණ්ඩායමක් හදන්න මට කතා කලා. එයාලගෙ ඉස්කෝලෙට ගිය දවසෙ ඉදලා අපි දෙන්නා ගොඩක් හොද යාළුවො උනා.."

හංසි කළුවර දිහා බලාගෙන කිසි ගතියක් නැතුව දිගටම කියවන් යනවා. අහපු ප්‍රශ්නෙටත් අකුරු තුනකින් උත්තර දීලා ලිස්සලා ගියාට ඒ ආදරේ ඇතුලෙ තියෙන කතාව මට කිව්වෙ නෑ.

"දවසක් ඔයාගෙ අක්කා මේ ඉන්නෙ මගේ හුරතලේ කියලා ඔයාගෙ ෆොටෝ එකක් පෙන්නපු දවසෙ මාව හිරිවැටිලා ගියා වගේ උනා මල්ලි.."

ඇයි යකඩෝ.! මගේ ෆොටෝ එක දැකලා මෙයා මොකටද හරි වැටෙන්නෙ..? 

"ඔයාගෙ හිතේ තියෙන ප්‍රශ්නෙ මට තේරෙනවා මල්ලි.. මුලින්ම මේ ෆොටෝ එක බලලා ඉන්න.."

අතේ තිබුණු කවරෙකින් ෆොටෝ එකක් එළියට අරන් හංසි මගේ අතට දුන්නත් එතන තිබුණු කළුවර නිසා ඒක පැහැදිළිව පෙනුනෙ නෑ. මං ඒකත් අරන් ගේ ඉස්සරහ දාලා තිබුණ ලයිට් එක ගාවට ගියා.

දෙයියනේ.. හංසි දීපු ෆොටෝ එකේ හිටියෙ මං.. මංම තමයි. සුදු යුනිෆෝම් එකක් ඇදලා කැප් එකත් දාලා ඔළුව පැත්තක් පාත් කරලා හිනාවෙවී හිටියෙ මං උනාට කවදාවත් මම ඒ වගේ ෆොටෝ එකක් අරන් නෑ. එදා නුවර ගිය දවසෙ උනත් අපි ඇදගෙන ගියේ පාට ඇදුම්. මගෙ අත ලාවට වෙව්ලද්දි මං තවත් ළං කරලා බැලුවා. හංසි කිව්වා වගේ මාවත් නිකං හිරි වැටුනා වගේ. මං කියලා හිතුවට ඒ මං නෙමෙයි.. එතකොට මගේ රූපෙම තියෙන මෙයා කවුද..?

"ඔය තමයි මගේ පවන්.."

මං හංසි ළගට යද්දි එයා අහන්නත් කලින් කිව්වා..

"කෝ දැන් එයා.."

"මේ ඉන්නේ.."

කියලා හංසි එක පාරටම අඩාගෙන ඇවිත් මට තුරුල් උනා. ඒකිව තල්ලු කරලා දාන්න හිතුනවත් කෙල්ල අඩන්නෙ මං වගේම තවත් කොල්ලෙක් ගැන තියෙන ආදරේ වෙනුවෙන් නේද කියලා හිතෙද්දි මට දුක හිතුනා. මං එයාවත් මගේ ඇගට හේත්තු කරගෙන ඇවිත් සාලෙන් ඉදගත්තා.

"මේ ටිකත් බලන්න.."

අතේ තියන් හිටපු කවරේ මගේ අතට දීලා හංසි මගේ මූණ දිහා බලන් ඉන්න අතරෙ මං ෆොටෝ එක එක බැලුවා. පවන් මගේම පාට මගේම උස තියෙන ලස්සන කොල්ලෙක්. එක ෆොටෝ එකක් තිබුණා පවන් යුනිෆෝම් එක ඇදලා, නුවර වැව් බැම්මට හේත්තු වෙලා හංසිව ළංකරගෙන ඉන්න එකක්. ඒකෙ හංසි හිටියෙ සුදු යුනිෆෝම් එකක් ඇදලා කොණ්ඩ කරල් දෙක ගොතලා හරියට පුංචි කෙල්ලෙක් වගෙ. මං හංසි දිහා බලද්දි එයාගෙ ඇස් දෙකෙන් කදුළු බෙරෙනවා..

"පවන්ට මං අදටත් ගොඩක් ආදරෙයි මල්ලි. එයා තමයි මගෙ ජීවිතේ.."

"එහෙනම් ඇයි එයාව දාලා කොළඹ ආවේ..?"

"මං එයාව දාලා ආවෙ නෑ.. එයයි මාව දාලා ගියේ.."

"ඇයි ඒ..?"

"මං හැමදේම කියන්නම් මල්ලි.. ඒත් දැන් නෙමෙයි හෙට."

හෙට කොහොමද කියන්නේ..? මං හෙට පන්ති යනවනේ.. අනික හෙට රෑට අම්මත් ගෙදර ඉදියි.. 

"ඇයි හෙට කියන්නේ.? අදම කියන්න මට හෙට පංති.."

"මට සමාවෙන්න මල්ලි, හෙට විතරක් පන්ති නොගිහින් මං එක්ක පොඩි ගමනක් යන්න එන්න.."

"ඒ කොහෙද..?"

"නුවර.."

මේකිගෙ ඔළුව හැප්පිලද මන්දා මට ක්ලාස් කට් කරලා නුවර යන්න අඩගහන්නේ..

"බෑ කියන්න එපා මල්ලි.. ඔයාටත් හෙට විශේෂ දවසක් වෙයි.. හැබැයි අක්කට කියන්න එපා.."

හැමදාම මං එයාට කියන දෙබස, අක්කට කියන්නෙපා කියන එක අද එයා මට කියනවා. එයා එක්ක නුවර යන එක කොහොමද විශේෂ වෙන්නේ. මමත් පවන් වගේ නිසා හංසි මට කැමතියි කියයිද දන්නෙත්නෑ.. මූද හත්ගව්වක් දුර තියා අමුඩ ගහන්න ඕනෙ නෑනේ. දැන් නිකං හරි අම්මලා ආවොත් බඩුම තමා. උදේට නුවර යන්න පොරොන්දු වෙලා මං අර ෆොටෝ ටිකත් අරන් කාමරේට ගියා.

එදා එයා මගේ ෆොටෝ ගොඩෙන් උස්සපු අපි දෙන්නා ඉන්න ෆොටෝ එකත් එතන තිබුණා. මං ආපහු අරන් බැලුවෙ පවන්ගෙ ෆොටෝ එක. ඌත් මං වගේමයි. පවන්ගෙයි මගෙයි ෆොටෝ එක තිව්වා නම් හරියට අචිනියි, සචිනියි වගේ. හංසිගෙ වයසත් එකක් බලද්දි නම් පවන් නම් මට වඩා අවුරුදු ගානක් වැඩිමල් ඇති. අම්මලා ගෙදර ආවට පස්සෙ පාඩම් කරන්න තරම් හිතක් තිබුණෙ නැති නිසා මං නිදාගත්තා.

                                      *******************************

උදේ පාන්දරම පංති ගෙනියන බෑග් එකත් කරේ දාගෙන මං හංසිටත් කලින් කොටුව ස්ටේෂන් එකට ගියේ ඔලුවෙ දාහක් ප්‍රශ්න තියාගෙන. මං එද්දිත් හංසි ගෙදර නිසා එයා යනකල් මං ටිකට් කවුන්ටරේ හරියෙ හිටියා.

හංසි මාව දැකපු පළවෙනි දවසෙ ඉදලා මට විශේෂත්වයක් පෙන්නුවෙ, මං දිහා නිතරම දුක හිතෙන විදියට බැලන් හිටියෙ ඇයි කියලා මට දැන් තේරෙනවා. එයා මගේ පෙනුමට කැමති උනාට එයාගෙ ආදරේ තවම අයිති පවන්ට. මට අද නුවර යන් කිව්වෙ සමහර විට පවන්ව පෙන්නන්නද දන්නෑ. මං වගේම පෙණුමක් තියෙන ඌව බලන්න මටත් පොඩි ආසාවක් තිබුණා.

ඔය හැමදෙයක්ම කල්පනා කරන අතරෙ මට මතක් උනේ සචිනිව. හංසිගෙ ආදරේ අයිති පවන්ට වගේම තමයි මගේ ආදරේ අයිති සචිනිට. දැන් ඒ මගේ හිත පිළිඅරගෙන ඉවරයි. නිරෝධයත් දන්නවා දැන් සචී එයාට කැමති නෑ කියලා. ඒත් සචීට ආදරෙයි කියලා කියන්න විදියක් නෑ. කෙල්ල වෙන කෙනෙක්ට කැමති කියලා මට කටින්ම කිව්වනේ. කමක් නෑ ඒ බොනික්කි වෙනුවෙන් මං හැමදාම බලන් ඉන්නවා.

"කොහෙද ගිහින් හිටියේ..?"

හංසි ළගට එනකල්ම මං දැක්කෙ නෑ. ඇත්තටම මගේ හිත ගොඩක් දුර ගිහින් තිබුණෙ.

"ගිහින් හිටියෙ ආදරේ හොයාගෙන.."

"මටත් ආදරේ හම්බ උනේ නුවර අහස යට. සමහර විට ඔයාටත් හම්බවෙයි."

ඒකි හෙන දග විදියට කිව්වේ. මේ අප්‍රබ්‍රංශ මටනං තේරුනේ නෑ. විභාගෙ කටේ තියාගෙන පන්ති කට් කරලා අක්කගෙ යාළුවෙක් එක්ක මං යන්නෙ හරි ගමනක්ද මන්දා. අපි නුවර එක්ස්ප්‍රස් එකේ ටිකට් දෙකක් අරන් ගිහින් කෝච්චියට නැග්ගා.

"ඉතිං කියන්න.."

හරි බරි ගැහිලා ඉදගෙන මං බලන් හිටියෙ මෙයා ඊයෙ නොකියපු ටික කියනකල්..

"අපෝ මොකද හදිස්සි.. මේක පැය කාලෙන් යන්නේ නෑ. මං හිමීට කියන්නම්.."

හෙමීට කිව්වම කෝච්චිය යන සද්දෙට ඇහෙයිද මන්දා..

"ගොඩක් හිමීට කියන්න එපා. මගේ කන් ඇහෙනවත් අඩුයි. ටිකක් හිමීට කියන්න.."

"පෙනුමෙන් විතරක් නෙමෙයි මල්ලි ඔයා කතාවෙනුත් පවන්ම තමයි. එයත් ඔයා වගේ දග කතාමයි කියන්නේ.."

ඒ ඇස්වල ආදරේ පිටාර ගලනවා. මේ තරම් ආදරේ කරන කෙල්ලෙක්ව දාලා ගිය පවන් නම් මහ මෝඩයෙක්. හංසි තාම අතීත මතකයන් එක්ක සැරිසරනවා.

"ඔයා අක්කා එක්ක රණ්ඩු කරනවා වගේ තමයි එයා ඉස්සර මං එක්ක රණ්ඩු කරන්නේ.. මහ පිස්සු කොල්ලෙක්.."

ඒ නම් පිස්සු කොල්ලෙක් කියලා කිව්වෙ ආදරේ වැඩි කමට.

"ඒ කිව්වෙ මමත් පිස්සු කොල්ලෙක් කියන එකද..?"

"ඔයාට පවන්ට වඩා පිස්සු.."

බලපල්ලකො ඒ කතාව.. පිස්සෙක්ව එක්කගෙන නුවර යන තමුසෙට මට වඩා පිස්සු කියන්න කටට ආවත් මං නිකන් හිටියා.

කෝච්චියෙ වැඩිය සෙනගත් හිටියෙ නැති නිසා අපිට නිදහසේ කතා කර කර යන්න පුළුවන්කම තිබුණා. ඊයෙ හෙන සෝක මූඩ් එකේ හිටපු හංසි අද නම් ඇවිත් තියෙන්නෙ මංචි ජින්ජර් බිස්කට් එකක් කාලා. අපේ එකවුන්ට්ස සර් බැංකු සැසදුම් වලට කියලා දුන්නා වගේ මේ වෙනසට හේතුව හරද, බැරද දන්නෑ..

"ඉතිං පවන්ගෙ ඉස්කෝලෙ මොකක්ද..?"

මං පටන් ගන්න කල් කෙල්ල මුකුත්ම කියන්නැති නිසා මං ඇහුවා. දිග  හුස්මක් පිට කරලා අතීතෙට ගිය හංසි කතා කලේ මෝහනය වෙලා වගේ.

"එයා නුවර ධර්මරාජේ. මට වඩා එක අවුරුද්දක් ඉහළ පංතියක පවන් හිටියෙ. අපි අවුරුදු හතරක් විතර ගොඩක් ළගින් ආශ්‍රය කලා."

හංසි කතා කරන සැරෙන් සැරේ මගේ මූණ දිහා අමුතු විදියට බලනවා.

"අක්කා ඔයාගෙ ෆොටෝ පෙන්නපු දවසෙ ඉදලා මට ඔයාව දකින්න තිබුණෙ පුදුම උනන්දුවක්. ඒත් ඔයාලගෙ ගෙදර ගිය තුන්වෙනි දවසෙ තමා මං ඔයාව දැක්කේ.."

ඔන්න ඉතිං ආයෙත් ට්‍රැක් එක පැන්නා. මෙයාව මුලින් හම්බ උන දවස මටත් මතකයි. එදා අක්කයි මායි කොක්කක් දාගත්ත වෙලාවෙ මෙයා කළුවරට වෙලා බයවෙලා වගේ බලන් හිටියා.

"පවන්ගෙ අම්මලා නිකං හරි ඔයාව දැක්කනං ඒ මිනිස්සුන්ට අදහගන්න බැරිවෙයි. ඔව් මල්ලි, ඔයා පවන්ම තමයි..."

"මට අද එයාව පෙන්නනවද..?"

ඔන්න ආයෙත් ටැප් එක අරින්න ලෑස්තිය. මෙයා අඩන්න ගත්තොත් මිනිස්සු මගේ දිහා බලන්න ගනියි.

"අනේ හංසි අක්කෙ ප්ලීස්.. අඩන්න නම් එපා.."

"මං කොහොමද මල්ලි එයාව පෙන්නන්නේ.."

ඔව්, ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. අවුරුදු ගානකට කලින් දාලා ගිය කොල්ලෙක්ව දැන් එක පාරටම කොහෙන් හොයන්නද..? ඔන්න එපාර හංසි බෑග් එක ඇදලා කොලයක් අතට ගත්තා.

"මේ ඉන්නෙ බලන්න.."

මේකට සිංහල තේරෙන්නෑ.. මං ෆොටෝ එක දැක්කනේ. මට ඕනෙ  හැබැහින් දකින්න.. ඒත් ඒ කොලේ දිගෑරලා මං බැලුවා. දෙවියනේ..!!!

ඒ දැක්කා විතරයි මං සීට් එකෙනුත් නැගිට්ටුනා. ඒ පවන්ගෙ මරණ දැන්වීම. ජීවිතේටම දැකලා නැති ඒ කොල්ලා වෙනුවෙන් මගේ ඇහෙන් කදුළක් එද්දි හංසි අතින් ඇදලා මාව ඉන්දෙව්වා. එයාගෙත් ඇස් රතුවෙලා.

"මේ මොන අපාරාධයක්ද හංසි අක්කේ. මොකද පවන්ට උනේ..?"

මට මුකුත්ම හිතාගන්න බැරි උනා. එයා මැරිලා තියෙන්නෙ මීට අවුරුදු හතරකට කලින්. ඒකද හංසි කිව්වෙ පවන් එයාව දාලා ගියා කියලා.

"කියන්න හංසි අක්කෙ කියන්න.. පවන් අයියට මොකද උනේ..?"

මං ඒ අත්දෙකෙන්ම අල්ලගත්තා. හංසි කතා කරන අතරෙ මරණ දැන්වීමෙ තිබුණ ෆොටෝ එක මගේ දිහා බලන් හිනාවනෙවා වගේ මට දැනුණා.

"මං කිව්වෙ එයා ඔයා වගේම දගයි කියලා. ඒ ලෙවල් ලියලා ප්‍රථිපල එනකල් ඉන්න අතරෙදි මෙයා ගෙදරට හොරෙන් යාළුවො එක්ක නාන්න ගිහින්. පවන් ඔයට බරවෙලා තිබුණ අත්තකට නැගලා වතුරට පනින්න කියලා හිතාගෙන. ඒත් අත්ත කැඩිලා අත්තෙ කෑල්ලක් එක්කම මෙයා වතුරට වැටිලා. යාළුවො පැය භාගයක් විතර හෙව්වත් පවන්ව හම්බවෙලා නෑ. ඊට පස්සෙ ගමේ මිනිස්සු ඇවිත් කිමිදිලා තමයි මිනිය ගොඩ අරන් තියෙන්නේ."

හංසි කියපු අන්තිම ටික මට හරියට ඇහුනෙ නෑ. එයාගෙ කටහඩ වෙව්ලනවා. තමන් ආදරේ කරපු කෙනා ගැන ඔය වගේ කතාවක් හිත හදාගෙන කියන්නෙ කොහොමද..?

"මගේ පවන් අල්ලගෙන හිටපු ගහේ අත්ත ඔයේ පතුලෙ ඇනිලා තිබුනලු. ඒත් එයාට ඒක අතෑරලා උඩට එන්න බැරිවෙලා මල්ලි. ඒකයි මඩේ එරිලා තිබුන මිනීයත් ගොඩ ගන්න පරක්කු වෙලා තිබුණෙ.."

හංසි හෝ ගාලා අඩනවා. මං එයාගෙ ඔළුව මගේ උරහිසට හේත්තු කරගත්තා. පව්..! පවන් දාලා ගියා කිව්වට මම හිතුවෙ නෑ මෙහෙම දෙයක්.

"මං මාස ගානක් නොකා නොබී ඇඩුවා මල්ලි. මගේ රත්තරං ඒ කදුළු දැක්කෙ නෑ වගේ ඇස් පියාගෙන එයාගෙ යාළුවන්ගෙ කර උඩින් ගියා. මාව මැරුනෙ නැති ටික විතරයි දෙයියනේ. මැරුනෙ නැති ටික විතරයි.."

"අඩන්නෙපා අක්කේ ඔයාගෙ දුක දැන් මට හොදටම තේරෙනවා.."

මට තිබුණ ලොකුම ප්‍රශ්නෙ මෙයා මාව එක්කන් නුවර යන්නෙ ඇයි කියන එක. මං මුලින්ම හිතුවෙ පවන්ව පෙන්නන්න කියලා. ඒත් දැන්..?

"පවන් කලේ සයන්ස්.. එයාට පේරාදෙණියෙ මෙඩිකල් ෆැකල්ටි යන්න ඕන කියලා නිතරම කිව්වා. අපේ පරම්පරාවම කලේ කලාව නිසා මමත් නැටුම් කලා. එයා එක්කම ඒ කැම්පස් එකට යන්න"

"ඉතිං.."

"ප්‍රථිපල එද්දි මගේ පවන් ඉහලින්ම වගේ පාස් වෙලා මල්ලි. එයා හැමදාම වගේ යන්න බලන් ඉදපු මෙඩිකල් ෆැකල්ටියට එයා තේරිලා.."

හංසි ඒ ටික කියද්දි මට දැනුනෙ ලොකු දුකක්.. පව්..! මේ කෙල්ල තාම ජීවත් වෙනවා පුදුමයි..

"මං නොකා නොබී අඩ අඩ ඉදලා අසනීප උනා. සෑහෙන්න කාලයක් පේරාදෙණිය ඉස්පිරිතාලතේ හිටියා. අන්තිමට මං විභාගෙ ලිව්වෙ ඇවිදින මළමිනියක් වගේ. මගේ පවන් නැතුව මට කැම්පස් යන්න කිසිම ඕන කමක් තිබුණෙ නෑ. නුවර ඉන්නකල් මං හදවතින් මැරි මැරි ඉපදුනා. අන්තිමට අපේ අප්පච්චිලා නුවර අතෑරලා කොළඹ ආවා."

එයා මුළු කතාවම කියලා ඉවර කරද්දි ඒ මූණ ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා. හංසි මෙච්චර දවස් හිටියෙ හිතේ මේ තරම් ලොකු දුකක් හිර කරගෙනද කියලා කවුද දන්නේ..

බලන් යද්දි ෂෝටා දවසක් කියපු කතාව හරි. හංසි ඒ ලොවල් කරලා තාම අවුරුදු හතරක් විතර ඇති කියන්නෙ එයා අපේ අක්කට වැඩිය බාලයි.

එතන ඉදලා නුවරට යනකල්ම අපි වැඩිය කතා නැතුව කල්පනා කරපු එක තමයි කලේ. නුවරින් බහිද්දි අතපය විතරක් නෙමෙයි හිතත් හරි වැටිලා වගේ. හිතට පාළුවක් දැනෙද්දි මට අපේ විහගලව මතක් උනා.

"දැන් අපි කොහෙද යන්නේ..?"

මං මෙලෝ දෙයක් නොදැන ඇහුවා. මෙයාගෙ ප්ලෑන් එක මම දන්නෑනේ..

"අපි මුළින්ම යං මාළිගාවට.."

මං වෙලාව බලද්දි තාම දහයවත් නෑ. හංසි නුවර පාරවල් දිගේ ඇවිදගෙන ගියේ හරිම හුරු පුරුදු විදියට. මමත් ගොනා තණකොල සේ එයා පස්සෙන් ඇවිදගෙන ගියා.

"මං මේ පාරවල් දිගේ පවන් එක්ක කොයි තරම් ඇවිදලා ඇත්ද..? අපි කී පාරක් මාළිගාවට ගිහින් තියෙනවද..? ඒත්.... දළදා හාමුදුරුවොත් අපි දිහා බැලුවෙ නෑ මල්ලි.."

හංසි කියන දේවල් වලට දෙන්න උත්තර මං ළග නෑ. එයා මාළිගාව කිට්ටුව තියෙන මල් කඩේකින් මට මල් ගන්න කියලා ෆෝන් එකත් අරන් අයිනට ගිහින් කාත් එක්කද කතා කලා. මං සුදු නෙළුම් මල් මිටියක් අරන් ගිහින් එයාගෙ අතට දුන්නා.

"කාටද කතා කලේ..?"

"අම්මට.."

අම්මට මොකටද හොරෙන් කතා කලේ. මෙයා මොනවා කරන්න යනවද මන්දා. අපි දළදා මාළිගාව ඇතුළට ගියාම හංසි මගේ ළගටම ඇවිත් හිමීට කතා කලා.

"අපිට උදව් නොකලට දළදා හාමුදුරුවන්ගෙ හුගක් පිහිට තියෙනවා මල්ලි. මං කිව්වේ, මට ආදරේ හම්බඋනේ මේ නුවරදි. ඔයත් ප්‍රාර්ථනා කරන්න. ඔයාටත් හම්බවෙයි.."

එයා සුදු නෙලුම් මලක නැට්ට කඩලා මගේ අතට දුන්නම හංසි කියපු දේ මතක් කරලා මං මල පූජා කලා. මට ඇත්තටම මතක් උනේ සචිනිව.

"දැන් ඇස් ඇරලා බලන්න පැටියෝ.. ඔයාගෙ ආදරේ ඔයා ළග.."

මං ෆුල් හොල්මං වෙලා පිටිපස්ස හැරිලා බැලුවා. මං මේ දකින්නෙ  හීනයක්ද නැත්තං දළදා හාමුදුරුවන්ගෙ හාස්කමක්ද කියන්න දන්නෑ. ඒත් සචිනි මගේ පිටිපස්සෙ ඉදන් කදුළු පුරවගෙන මං දිහා බලන් හිටියා. මේ අදහාගන්න බැරුව පුදුම වෙලා වගේ මං හංසි දිහා බලන් හිටියා.

"මට මගේ පවන්ගෙ වගේම ඔයාගෙ හිතත් කියවන්න පුළුවන් මල්ලි. ඔයා සචිනි නංගිට ආදරෙයි කියලා මං දන්නවා.."

සචී හිමීට මං දිහාට එද්දි හංසි අක්කා තවත් මලක් එයාට දුන්නා. අපි දෙන්නම ඒ මල අත් දෙකෙන්ම අල්ලලා පූජා කලා. අපි දෙන්නව වෙන් කරන්න එපා කියන පැතුම වගේම හංසි අක්කගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියලත් මං පැතුවා. අපි වැදලා පිටිපස්ස බලද්දි හංසි එතන නෑ. වටපිට වැඩිය සෙනග නැති නිසා මං හිමීට සචිනිගෙ නළල ඉම්බා. ඒක නරක වැඩක් කියලා මං හිතුවෙ නෑ. ඒක මගේ පළවෙනි ආදරේ..

සචී මගේ අත තද කරලා අල්ලගෙන එළියට එද්දි මගේ ඔළුව යකාගෙ කම්මල වගේ. මේක තනිකර පැටළුණ නූල් බෝලයක් වගේනේ. සචී කොහොමද මේ වෙලාවෙ මෙතනට ආවේ. හංසි කොහොමද මේ දේවල් ප්ලෑන් කලේ. මොනවා උනත් එයාට ආදරේ ලැබුණු මේ නුවරදිම එයා මගේ ආදරෙත් මට ලබලා දුන්නා. අපි මාළිගාවෙන් එළියට එද්දි හංසි අක්කා පඩිපෙළ ළග ඉදගෙන අචිනියි දිනුකයි එක්ක කතාව. මුන් දෙන්නා මෙහෙ මොනවා කරනවද..? මගෙ හතරැස් වෙච්ච මූණ දකිද්දි සචිනිට ලාවට හිනාවක් ගියා.

"හැමදේම කියන්නම්.. යංකො එළීයට.."

සචිනි මගේ අතත් අල්ලගෙනම අචිනිලා හිටපු තැනට ගියා.

"අම්මෝ ඇති යන්තං.. අද නං රෑට මෙයා සැනසිල්ලෙ නිදා ගනී. නැත්තං මටනේ කරදරේ.."

අචී, සචී දිහා බලලා කියද්දි කෙල්ල රතු උනා. ඒ කියන්නෙ සචී මෙච්චර දවසක් ආදරේ කලේ මටද..? ඇයි දෙයියනේ මට ඒක නොතේරුනේ..

හංසි අක්කා දවසක්  මගෙන් ඔයා ගැන ඇහුවා රන්දු. මං ඔයාට ආදරේ කරනවා කියලා අක්කට තේරිලා. ඔයාට කියන්න එපා කියලා මං එයාට ඇත්තම කිව්වා. මගෙ ආදෙර් මට අරන් දෙන්නම් කියලා එයා මට පොරොන්දු උනා..

බලාගෙන ගියාම හංසි අක්කත් කරලා තියෙන්නෙ මාර කුසල කර්මයක්. ආදරේ නිසා දෙපැත්තක ඉදලා විදවන අපි දෙන්නව එයා අපිටත් හොරෙන් එකතු කලා. එහෙම කරන්න ඇත්තෙ ලබන ආත්මෙ හරි එයාගෙ පවන්ව එයාට ලබලා දෙන්න කියලා වෙන්නැති.

"හංසි අක්කා මේක ප්ලෑන් කරලා මට කිව්වා අද ඔයාව එක්කන් නුවර එනවා මටත් එන්න කියලා. මේ තරම් දුර තනියෙම එන්න බැරි නිසා මං අක්කවත් එක්කගෙන ආවා. අපිත් ආවේ ඔයාලා ආපු ට්‍රේන් එකේමයි.."

"උඹලා විතරක් නෙමෙයි.. අපි ආවෙත් ඒකෙම තමා.."

හුටා මෙන්න විහගයත් ඇවිත්. උගේ පිටිපස්සෙ ෂෝටයි, නිරෝධයි, සාරංගයි තුන්දෙනත් ඉන්නවා. බලන් යද්දි මේකත් මාර රහසක් තමයි.

"උඹලා වගේ අඩ අඩ ආවෙ නෑ අපි. ට්‍රේන් එකේ පිටිපස්සට වෙලා අපි ෆුල් ආතල් එක ගත්තා..."

ෂෝටා දගල දගල කියද්දි මට ලැජ්ජාවට වචනත් හොයාගන්න බැරි උනා.

"ඈ යකෝ.. එහෙනං ඒකත් ජයසිරි මංගලම් කිව්වලු ආ....."

ඒ කතාවට සචිනි බිම බලාගෙන ඇඹරෙනවා.

"සොරි මචං.."

මොකද බොලේ මේ දිනුක සොරි කියන්නේ..? දන්න තරමින් ඌ මට වැරැද්දක් කරලා නෑ.. 

"ඊයෙ අචී නුවර යං කියපු වෙලාවෙ ඒක වැරදිලා මගේ කටින් සාරංගට  කියවුනා.."

ආ... ඔය පනින්නෙ බළලු මල්ලෙන් එළියට. මූත් වැරදිලා කියලා තියෙන්නෙ මරු මිනිහට. වචනෙ අහුලගත්තා විතරයි මුන් හතර දෙනත් මළගිය ප්‍රාණකාරයො වගේ අපේ පස්සෙන් ඇවිත්. කට්ටි එකම ට්‍රේන් එකේ ආවට තුනට බෙදිලා ඇවිත් තියෙන්නේ. මට පිස්සු හැදිලා වගේ වටපිට බලද්දි නිරෝධ මගේ ළගට ආවා.

"මං මේක හිතලා කරපු දෙයක් නමෛ් නිරෝධ.. මට සමායෙවන්.."

"මං හැමදේම දන්නවා බං.. සමාව ඉල්ලන්න උඹ වැරැද්දක් කරලා නෑ.."

ඌ මගෙයි සචීගෙයි අත්දෙක අල්ලලා සුභ පැතුවා. හැමදේම කරලා හංසි ගොළුවෙලා වගේ පැත්තක් අල්ලගෙන ඉන්නවා.

"අපරාදෙ අපේ කට්ටියම ඉන්නවා. ජනාලියි මහේෂයි විතරයි අඩු.."

සචිනිට එකපාරටම කියවුනා. 

"ඈ බං උඹ හිතුවෙ මං මගේ සුනඛ අසිපත දාලා ආවා කියලද..? ඔය එන්නෙ ඩබල බැබලි බැබලි.."

විහග අපිට ඔළුවෙන් පාර පෙන්නුවා. අච්චාරු බෑග් එකකුත් අතේ තියාගෙන ජනාලියි, මහේෂයි හිනාවෙවී එනවා. ඒ කියන්නෙ මුන් දෙන්නා ඇවිත් තියෙන්නෙ සචිනිලටත් හොරෙන්. වැඩේ නං එළකිරි. රිවිශන් සර් නුවරට ගෙන්න ගත්තා නම් අද මෙහෙදි ක්ලාස් එක කරන්න තිබුණා.

"රන්දු, ඔන්න මචං කිසිම අවුලක් ආබාධයක් නැතුව හැමදේම තිතට ඉෂ්ඨ සිද්ධ උනා. දැන් කියපං සිංදුවක්.."

මං එක අතක් සචිනිගෙ කරටයි අනිත් අත හංසිගෙ කරටයි දාගත්තා..

"ජීවිතේ සුන්දරද මෙතරම්..."



                                        *************************

දයාබර හංසි......

ඔයා කිව්වා වගේ මේ සෙන්කඩගල පුරවරය මගේ හිතටත් සැනසීම ගෙනාවා. මගේ ජීවිතේ තිබුණු සොදුරුම වස්තුව මට ලැබුණෙ මේ නිල් අහස යටදි. ඒක සිද්ධ උනේ මංවත් හිතපු නැති වෙලාවක..

ඒ හැම ආශ්චර්යයක්ම කලේ ඔයයි හංසි. පවන් අහිමි උන දුක මතක කරන්න ඔයා කොළඹ ආවත් පවන් වගේම රූපයක් තිබුණ මාව ඔයාට කොළඹදි මුණ ගැහුනා. දෙවෙනි පාරටත් ඔයාගෙ පවන්ව ඔයාට අහිමි කරගෙන එයාව සචිනිට බාර දුන්නා. 

මට කියන්න හංසි මේ හැමදේම කරලා ඔයා ඉන්නෙ සතුටින්ද..?

මම රන්දු..

                                      *************************

ආදරණිය රන්දු......

ඔය දගකාරකමට, ලස්සන ඇස් දෙකට, ගැඹුරු කටහඩට මං අවුරුද කීයක් හිතෙන් ආදරේ කළාද..? ඒත් ඇයි රන්දු ඒක නොතේරුණා වගේ හිටියේ..? මං කොයි තරම් නම් විදෙව්වද දෙයියනේ..

ඔයා නෙත්මිට ළං වෙද්දි මං බය උන තරමක්. මාව හරියට තේරුම් ගත්තෙ හංසි අක්කා විතරයි. එයා නොහිටින්න අපි තාමත් දෙතැනක. 

එදා නුවරදි මං සමස්ත ලංකා තරගෙ දින්නා, ඒත් අද... අද මං මුළු ජීවිතේම දින්නා රන්දු..

මං ඔයාගෙ සචිනි......

                                      *************************

රන්දු මල්ලි......

හිතෙන් මැරිලා හිටපු මං ආපහු ඉපදුනේ ඔයාගෙ ෆොටෝ එක දැකපු දවසෙ. මට හිතුනෙ මගේ නැතිවුන ආදරේ ආපහු ලැබුණා කියලා. ඒත්...... අපිට ළංවෙන්න බැරි සමාජ සම්මතයන් මහා පවුරක් වගේ හරහට හිටිනවා කියලා මම දැනගෙන හිටියා.

ඔයාට මතකද අපි කැළණි ගිය දවස..? එදා දවස මට තාමත් හීනයක් වගේ. ඔයා සචිනිට ආදරෙයි වගෙම, සචිනිත් ඔයාට ආදරෙයි කියලා ඔයාලගෙ ඇස් වලින් මට තේරුණා. ඒකයි මං ඔයාලව ළං කලේ..

ඒත් මල්ලි... ඔයාට මගෙ ඇස් දෙකෙන් කියපු කතාව තේරුනේ නැද්ද..? මං මගේ පවන්ට වඩා දහස් ගුණයකින් ඔයාට ආදරේ කලා. ඒ ආදරෙත් අරන් මං ඔයාගෙන් ඈත් වෙලා යන්නම යන්නම්..

මං හංසි......



                                                                                           

No comments:

Post a Comment