Thursday, March 22, 2012

| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






අනෙක් අතට පූර්ණිමාට සිදු වී ඇත්තේ කුමක්දැයිමට තේරුම් ගන්නට බැරිය. ඇය මට කිසිදු අවස්ථාවක් නොදීම කතාබහ නතර කර දැමුවාය. සමහරම විටක ඇයට දිනූකා මිස් කුමක් හෝ කියන්නට ඇත. මා සමග කතා කරන්නට එපා කියන්නටද ඇත. ඒත් එසේ කිරීමෙන් දිනූකා මිස්ට අත්වන ලාබ ප්‍රයෝජනය කුමක්දැයි මට නම් නොතේරේ. මේ හැම දෙයකටම දිනූකා මිස් සම්බන්ධ නම් ඇය මේ නටන්නට හදන නාගඩම කුමක්දැයි කියා මට සිතාගන්නටවත් බැරිය. කල්පනා කර වැඩිවීම නිසාදෝ මගේ ඔලුවත් රිදෙන්නට පටන් ගත්තේය. එම නිසා මේසය මත හිස ගසාගෙන මම දෑස් පියා ගත්තෙමි. දෑස් පියා ගත්තේද සිත ඉදිරියේ මතු වන්නේ දිනූකා මිස්ගේ සොදුරු දෑසය. ඒ සුදු මුහුණේ ඇති ලස්සනය. කවි සිතුවිලි දහසක් සිතට නැගෙන හැඩකාර අග පසගය. මා කොතෙක් වේලා මේසයට ඔලුව තබාගෙන සිටියාදැයි කියන්නට මා දන්නේ නැත. සමහර විට මා සිටින්නට ඇත්තේ අඩ නින්දක වෙන්නට පුළුවන.


කාමරය පුරාම පිරී ඉතිරී තිබුණේ මහා විශාල වූ පාළුවකි. එහෙත් මදින් මද දිනූකා මිස් වෙතින් හමන පර්ෆියුම් සුවද කාමරය පුරා වැඩිවෙද්දී මම හෙමින් සීරුවේ ඇස් හැරියෙමි. කාමර පුරා වැඩි වෙනසක් නැත. එහෙත් මා ඊගාවට දුටු දෙයින් මට පුදුම නොවී සිටින්නට බැරි විය. ලොකු කුෂන් පුටුව මත වාඩි වී එක එල්ලයේම දිනූකා මිස් මා දෙස බලා සිටියාය. මම හනික කෙලින් වී පුටුවේ නියම පරිද්දට වාඩි වූයෙමි. දෙවියනේ.. ඇය මොන වේලාවක මෙතෙන්ට පැමිණේන්නට ඇත්ද..? අඩුම තරමේ කාමරයේ දොර විවර වෙන හඩවත් මට ඇසුනේ නැත.

"තමුන්ට පඩි ගෙවන්නෙ ඔෆිස් එකට ඇවිල්ලා නිදා ගන්නවටද..? ආ.."

මට කියන්නට දෙයක් තිබුණේ නැත. දැන්නම් නප්පියටම බැනුම් අසන්නට වෙන බව ආයේ දෙකක් නැත. මම පුළුවන් තරම් අහිංසක මූණක් හදාගෙන දිනූකා මිස් දෙස අසරණව බැලුවෙමි.

"ම.. මගේ ඔලුව රිදෙනවා මිස්..."

නිහඩව සිටීමෙන් සිදුවන්නේ අසනා බැනුම් තවත් වැඩිවන එකය. මම කටට ආ දෙය කියා බිම බලා ගත්තෙමි.

"ඔලුව තියා මොකක් රිදුනත් කමක් නෑ.. මෙතන වැඩ කරන්න බැරි නම් ගෙදර යනවා.. හොදට මතක තියාගන්නවා.. තමුන්ට මේ කම්පැනියෙ රූම් එකක් දීලා තියෙන්නේ වැඩ ඉවර වුණාම නවතින්න.. එහෙම නැතුව එක එක තැන්වල රවුම් ගහලා ඔලුවෙ අමාරු හදාගන්න නෙමෙයි තේරුණාද..?"

හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනට ඇය කඩාගෙන පැන්නාය. දිනූකා මිස් මේ කියවන්නේ මොනවා ගැනද..? මා පූර්ණිමාගේ නිවසට ගිය එක ගැනද..? 

"ම.. මං කොහේවත් ගියේ නෑ මිස්.."

මම පුළුවන් තරම් යටහත්ව කීවෙමි.

"ගියේ නෑ.. ගියේ නෑ.. තව බොරු කියන්නත් එනවා මෙතන. ඇත්තමයි.. ඇත්තමයි.. මට හිතෙන්නෙම තමුන්ව අයින් කරලම දාන්න. ඇත්තටම මගේ ඔලුවත් රිදෙනවා තමුන් හින්දා.."

ඇය තවත් මොනවදෝ දිග හෑල්ලක් කියාගෙන කියාගෙන ගියාය. එහෙත් ඒවායින් මට ඇසුණේ අතරින් පතර වූ වචන කිහිපයක් පමණි. බූරුවෙක්, මැට්ටෙක්, හිතක් පපුවක් නැති ගොන් ගහක්.. ඔය වගේ වචන කීප සැරයක්ම කියැවුණි. ඇත්තටම ඇය මෙසේ මා හට කඩා පනින්නේ මන්දැයි මට සිතාගන්නට බැරිය. එක්කෝ දිනූකා මිස්ට මොළේ අමාරුවකි. එහෙමත් නැත්නම් මේ සියලු කුණු බැනුම් අසා ගෙන මෙතන ඉන්නා මට මොළේ අමාරුවක්ය.

"මි... මිස්ට මා... මාව කරදරයක් නම්... මාව වෙන තැනකට දාන්න මි.. ම.. මං වැරැද්දක් කරන්නෙ නැතුව මේ විදියට මට බනින්නෙ ඇයි මිස්.. මං මිස්ට මොන වරදක් කරාටද..?"

"වෙන තැනකට නෙමේ.. තමුන්ව ගෙදරම යවන්න තියෙනවා නම් මං කැමතියි. ඒත් කොයි වෙලාවෙත් තාත්තා ඉන්නෙ තමුන්ගෙ පැත්තේ. ඒකයි මුකුත් කරන්න බැරි..."

දැන් ඇයගේ වාග් මාලාවේ මට ආමන්ත්‍රණය සදහා තමුන් යන වචනය රෙජිස්ටර් වී ඇතුවාක් වැනිය. ඒ නිසා මමත් එයම භාවිතා කරන්නට පටන් ගත්තෙමි.

"දැන් මිස් කියන්නේ තමුන්ට මොනව කරන්න කියලද කිව්වොත් මට ලොකු උදව්වක් මිස්.. මිස් කියන විදියට වැඩ කරන්න තමුන් පොරොන්දු වෙන්නම්.."

මම, මට යන වචන වලට තමුන් යොදවා මම කීවෙමි. දිනූකා මිස්ගේ දිගු දෑස මදක් විසල් විණි.

"තමුන් මාව විහිලුවකට ගත්තද..?"

පුටුව පසෙකට තල්ලු කර දමා නැගිටීමෙන් දිනූකා මිස් කෑගැසුවාය. ඇය මේ කරන්න හදන්නේ කුමක්ද..? කිසිවක් හිතා ගන්නට බැරිව මම ඇය දෙසම බලා සිටියමි.

"න්...  නෑ... මිස්..."

"නැත්තෙ නෑ.. තමුන් මාව විහිලුවකට අරගෙනයි තියෙන්නේ..."

"නෑ මිස්.."

"නැත්නම් එනවා මෙතෙන්ට..."

එය කෙලින්ම විධානයකි. කිසිම ඇදක් කුදක් නැත. කුමකින් කුමක් සිදුවේදෝ යන සැකයෙන් යුතුව මම ඇය කරා ගියෙමි.

"ඇයි මං එපා කියන දේවල් කරන්නේ..?"

මෙතුවක් වේලා කතා කළ ස්වරයට වඩා හාත්පසින්ම වෙනස් වූ හඩකින් ඇය ඇසුවාය. ඒ කටහඩේ තිබූ ලගන්නා සුලු බවට, ආදරණිය බවට, ශෝකී බවට මම වශී වී ගියෙමි.

"මං.. මං ඔලුව උස්සගෙන හිටියෙ නැත්තෙ ඇත්තටම ඔලුව රිදුනු හින්දා මිස්.. මිස් එපා කිව්ව දේවල් මං කරලා නෑ.."

"මං මේ කතා කරන්නේ ඔලුව රිදිල්ලක් ගැන නෙමෙයි. ඇයි පූර්ණිමාලහ ගියේ...?"

ඒ වනච අකුණු සැරයකටත් වඩා ප්‍රබලය. මෙතුවක් තිබූ සොදුරු බව දැන් ඒ කටහඩේත් මුහුණේවත් නැත. කියාගත යුත්තේ කුමක්දැයි නොදැන මං ඔහේ බලා සිටියෙමි..

"මං අහපු දේ තමුන්ට තේරුණාද..?"

"ඔ.. ඔව් මිස්..."

"එහෙනම් උත්තර දෙන්න බැරි කමක් නෑ නේ.."

"පූර්ණිමා බර්ත් ඩේ එක කිව්වට පස්සෙ නොගිහින් ඉන්න බෑනේ මිස්.. එයා මගෙත් එක්ක වැඩ කරන ළමයෙක් හිනිදා මං ගියා.. එහෙම ගියපු එක වැරදිද කියලා මං දන්නෑ මිස්.. මිස් කියනව නම් මං ආයෙත් නොගිහින් ඉන්නම්.."

මේ ප්‍රශ්නයේ අගක් මුලක් නොදන්නා නිසාම මං යාප්පුවෙන් කතා කොට වැඩේ ඉක්මනට බේරා ගැනීමට උත්සාහ ගත්තෙමි.

"ආයෙත් නොගිහින් ඉන්න තව අවුරුද්දක්වත් ඉන්න ඕන.. හොදට මතක තියාගන්නවා.. මං මේක ලේසියෙන් අතාරින්නෑ.. තමුන්ව කැමතිද පූර්ණිමාව මේ කම්පැණි එකෙන් අයින් කරනවට..?"

"න්... නෑ... මිස්..."

"එහෙනම් ඔයිට වඩා පරිස්සම් වෙනවා. නැත්නම් තමුන් කරන වැරදි වලට වන්දි ගෙවන්න වෙන්නෙ වෙන කාටවත්.. අන්න ඒකවත් තේරුම් ගන්නවා.. හරිද..? දැන් යන්න පුළුවන්.."

කිසිදු තෙතමනයක් නොමැති හඩකින් ඇය කියාගෙන කියාගෙන ගියාය. මට කියන්න කිසිවක් නොතිබූ නිසාම මම බිම බලාගෙනම මේසය කරා ආවෙමි. අනේ දෙවියනේ මේ කඩාගෙන පාත්වෙන්නට යන්නේ කවරනම් නස්පැත්තකියක්ද..? මෙතන සේවයට ඇවිත් එකදු දිනයක්වත් මට සතුටින් රාජකාරි කටයුතු කරන්නට ඉඩක් ලැබුණේ නැත. හැමදාම ඇසුණේ කටුක බැනුම්ය. ඉවසන්නට බැරි තරම් වූ කෙනිහිලිකම්ය. බලාගෙන සිටියත් වැරදිය. වාඩිවී සිටියත් වැරදිය. වැඩ කලත් වැරදිය. ඔලුව ගසාගෙන සිටියත් වැරදිය.  කල්පනා කලත් වැරදිය. දැන් බලාගෙන ගියාම හරි දෙය කුමක්දැයි මට අසන්නට වෙන්නේ දෙවියන්ගෙන්මය. මන්දයත් මේ සියලු චෝදනා කරනා දිනූකා මිස්වත් හරි දෙය කුමක්දැයි මට කියා දෙන්නේද නැති නිසාය.

"මට නම් රස්සාව තිත්ත වෙලා පුබුදු."

රාත්‍රියේ කෑම ගන්නා අතරතුරේදී මම පුබුදුට කීවෙමි. ඔහු වහා හිස උස්සා මදෙස බැලුවෙමි.

"ඇයි අද මොකක්ද වුණේ..?"

"දිනූකා මිස් මට හොදටම බැන්නා පූර්ණිමාලහ ගියාට.. පූර්ණීමාවත් අයින් කරනවා කිව්වා කම්පැණි එකෙන්.."

දිවා ආහාරයෙන් පසුව සිදු වූ දෑ අකුරක්වත් අඩුපාඩුවක් නැතුව මම පුබුදුට කීවෙමි. ඔහුගේ මුහුණ බලාගෙන ඉදිද්දීම වෙනස් වී ගියේය.

"යකාගෙ කතාවක්නේ බං ඒක.. දිනූකා මිස් කොහොමද ඔයාට තර්ජනය කරන්නේ පූර්ණිමාලගෙ ගෙදර යන්න එපා කියලා.. අනික එයා දන්නෙ කොහොමද අපි එහේ ගියා කියලා.."

පුබුදු එසේ අසනා තුරුම මට ඒ වගක් සිහිපත් වූයේ නැත. ඇත්තටම එය නම් සිතා බැලිය යුතු කාරණයකි.

"මටත් හිතාගන්න බෑ පුබුදු.. අනික මං මොන දේ කෙරුවත් මිස්ට පේන්නෙ වැරදියටමනේ.. කොටින්ම අද හවස් වරුවෙ එන්නෑ කියලා ගිහිල්ලත් ආයෙත් ආවා.. ඔයාට කිව්වට විශ්වාස කරන එකක් නෑ පුබුදු.. මිස් කාමරේ ඇතුළට එන්නෙ කිසිම සද්දයක් නැතිව.. හරියටම එක පාරට අහසින් බහිනවා වගේ.. යන්නෙත් එහෙමයි.. අනිත්තෙක  මිස් කාමරේ නැති හුගාක් වෙලාවට මට හිතෙන දෙයක් තමයි කාමරේ කොහේ හරි තැනක ඉදලා මිස් මගේ දිහා බලන් ඉන්නවා කියලා.. ඒත් ඒ දේටම් ස්ථීර පදනමක් නෑ.."

"ඔයා කියන දේවල් බලන් ගියාම දිනූකා මිස්ට එකපාරටම අතුරුදන් වෙන්නයි, ආයෙත් එක පාරටම පෙනී ඉන්නයි බලයක් තියෙනවද කියලත් සැකයක් තියෙන්න පුළුවන්. ඒත් මට නම් හිතෙන්නෙ මෙතන ඊට වැඩිය මොකක් හරි ලොකු හුටපටයක් තියෙනවා කියලා.. මොනවා උනත් පරිස්සම් වෙන්න.. පරිස්සම් වෙලා රස්සාවත් පරිස්සම් කරගන්න.."

අවසානයට පුබුදු කීවේ එවැන්නකි. ඒ වදන් දිගේ සිත කිහිප විටක්ම එහෙ මෙහේ දුවද්දී මගේ දෑස නිදිබරින් පිරිණි.

                                    *********************************

හදිසියේම වාගේ පිටරටකින් බතික් ඇනවුම් කීපයක් ලැබීම නිසා හිතා ගන්නටවත් බැරි තරමට මම කාර්යයබහුල විමි. ඒ තත්වය ඇත්තෙන්ම මට පමණක් උදා වූවක් නොවන්නාක් බැව් සිතට දැනුණේ ආයතනයේ බොහෝ දෙනෙකු පස්ස කඩා දැමූ කඩියන්ට වඩා වේගයෙන් දුව පැන ඇවිද වැඩ කරනු දුටු විටය. අඩුම තරමේ මට පුබුදුත් සමග වුවද කතා කිරීමට ඉඩක් ලැබුනේද රාත්‍රී කාලයේදී නවාතැනට ගිය විටදීය. කොතරම් රාජකාරි කටයුතු බහුල වුවත් අවස්ථාවක් ලද විදගස දිනූකා මිස් සුපුරුදු පරිදි දිනූකා මිස් මගේ ඇගට කඩා පැන්නාය. වෙනදා පුරුද්දටම මම ඒ හැම දෙයක්ම ඉවසා දරා සිටියෙමි. වැඩ කටයුතු අධික වීමත් සමගම පූර්ණිමා මගෙන් තව තවත් දුරස් වන්නට වූවාය. ඇයට අවශ්‍යව ඇත්තේ මා මග හැරීමට පමණක් බැව් මම පසුව අවබෝධ කරගත්තෙමි. සියලු කටයුතු යම්කිසි න්‍යායකට අනුව ඔහේ සිදු වී යද්දී දිනූකා මිස්ගේ හිත අභ්‍යන්තරයට එබී බැලීමට දිනක් මට පුංචි ඉඩකඩල් ලැබිණි. එයද වූයේ දිනූකා මිස්ගේ වරදකිනි.

ඉතා විශාල තිර රෙද්දක මැද හරියෙන් මම දැවැන්ත හස්ති රාජයෙකු ඇද අවසන් කර සිටියෙමි. දෙපැත්තකින් ඇද දළ දෙක හස්තියාට ගෙන ආවේ අමුතුව ආඩම්බරයකි. පසු තලයට වර්ණ යෙදීමට පෙර ටොයිලට් එකට ගොස් ඒමට මම සිතාගත්තෙමි. මුත්‍රා බරක් දැනෙන්නට පටන් ගෙන දැන් පැය බාගයකටත් වඩා වැඩිය. තීන්ත හා ලැකර් මේසය මතම තිබෙන්නට හැර මම දිනූකා මිස් දෙස බැලුවෙමි.

කාමරයෙන් පිටවී යන්නේ නම් ඇයට කියා යා යුතුය. එහෙත් ඇය බර වැඩකි. බර වැඩක් වුවත් කෙසේ හෝ කිව යුතුය. නැතිනම් මෙතන මහා කලබැගෑනියක් වනු ඇත. වැඩ අධිකව තිබූ කලින් දවසකදී ඇයට නොකියා ටොයිලට් ගොස් පැමිණ මම කප්පරයක් බැනුම් ඇසුවෙමි. ඒ නිසා තවත් එවැනි බැනුම් තවත් නිකමට හො ඇසිය යුතු නැත. හොදම දේ ඇයට කියා ටොයිලට් එකට යෑමය. මා කිහිප වතාවක්ම දිනූකා මිස් දෙස හැරි හැරී බැලුවද ඇය ඔලුව උස්සන පාටක් නම් නැත. කතා කර බාධා කලොත් ඇට්ටි හැලෙන්නට බැණ වදී යැයි සිතෙන තරමට ඇය බර වැඩකය. එහෙත් කතා නොකර සිටීමටත් බැරිය. තවත් මෙහෙම ඉවසා සිටියෝතින් මුත්‍රා බොක්ක පුපුරාවත් යනු ඇත. මේ කාළකන්නි මුත්‍රා බර මේ වෙලාවටම ආවේ ඇයි..? මම හිතට ධෛර්යය ගෙන ඇයට කතා කෙරුවෙමි.

"මි... මිස්...?"

තත්පරයක් දෙකක් ගෙවී ගොස් ඇයගේ හිස ඉහලට එසැවිණි. සුපුරුදු නොපහන්කාරී බැල්ම ඒ නිල් මහනෙල් මල් වැනි ඇස්වල සටහන් වී තිබිණි. මෙය නම් සසර පුරා පතාගෙන එන වෛරයක් විය යුතුය. නැතිනම් ඇය මේ තරමට මාව පිළිකුල් කරන්නේ ඇයි..? අහන්නට ගිය ප්‍රශ්නය ආයෙත් අහන්නට නම් ටවුමේ යකඩ බඩු කඩෙන් ගට කිලෝ දෙක තුනක්වත් ගිල දැමිය යුතුය.

"මොකක්ද ප්‍රශ්නේ..?"

ඒ කටහඩේ ඇත්තේ අකුණු සැරටත් වඩා වැඩි වේගයකි.. 

"ම.. මං ටොයිලට් එකට යන්න කියලා.."

"ඉතිං මට මොකක්ද කියන්නේ..? ටොයිල්ට් යනවා නම් යනවා එතෙන්ට.."

මා සිතූ පරිද්දටම ඇය කඩාගෙන පැන්නාය. කලින් දවසේ ඇයට නොකියා ගොස් හොදටම බැනුම් ඇසුවෙමි. දැන් කියා අහවර වූ විටත් බැනුම්ය. මේ අවනඩුව කියන්නට ඕනෑ දෙවියන්ටමය. වෙන කාටවත් කියා පලක් නැත. කියා ගියත් වැරදිය. නොකියා ගියත් වැරදිය. යන තැන කිව්වොත් හොදටම වැරදිය. ඇත්තටම මා නම් සිටින්නේ ගිරේකට අසු වූ පුවක් ගෙඩියකටත් වඩා අන්ත අසරණවය. කොයි වෙලාවේ දෙකට කැපී බිමට වැටේවිදැයි කියන්නට බැරිය.

"තවත් මොනව බලන් ඉන්නවද මංදා.. ටොයිලට් එක තියෙන්නෙ මෙතනද..?"

ගිරිය පුප්පාගෙන දිනූකා මිස් කෑ ගැසුවාය. තත්පරේට දෙකට මම කාමරයෙන් එළියට පැන ගත්තෙමි. බුදු අම්මේ.. ඔයින් ගියා මැදැයි මට සිතිණි. අහලක කිසිවෙකු නොසිටියේ නම් මගේ පෙර වාසනාවකටය. පුබුදු උනත් සිටින්නේ බොහෝ ඈතකය. මේ සිද්ධ වෙන දේවල් ඔහුටවත් කියන්නට බැරිය. අඩුගානේ දිනූකා මිස්ගේ කාමරයට එළියෙන් මේසයක් හා පුටුවක් දමාගෙන සිටියෝතින් හොදයි යැයි මට සිතෙන්නට ගත්තේ මීට දවස් ගණනාවකට කලින් සිටය. මොනව වුනත් මා දැන් අදිමින් සිටි සිතුවම මැණික්දිවෙල මහතාට මුලින්ම පෙන්විය යුතු යැයි මම සිතා ගත්තේ ටොයිලට් එකට යන අතරතුරේදීමය.

සියලුම වර්ණ ගන්වා අවසන් කල වහාම ඔහුට එය පෙන්විය යුතුය. මැණික්දිවෙල මහතා මාව අගය කරනු ඇත. දිනූකා මිස්ට නම් විහිළුවට වත් නොපෙන්විය යුතුය. පෙන්නුවෝතින් ඇය නිසැකවම මුහුණ ඇඹුල් කරගනු ඇත. සිත මෙන්ම ගත ද නිදහස් කරගෙන මම නැවත කාමරයට ආවෙමි. දිනූකා මිස් තවත් මා හට බනින්නට සූදානමෙන් සිටිනවාදැයි මා දන්නේ නැත. ඇයගේ බැනුම් ඒ තරමටම මා හට දැන් හුරු පුරුදු වී අවසානය. හොරැහින් දිනූකා මිස් දෙස බලමින් මම කාමරයට ඇතුලු විමි. ඇය සිටියේ මේසය මතට අත්දෙක තබා ඒ මත හිස තබාගෙනය. සමහර විට මගේ මුහුණ දකින්නට ඇති අකමැත්ත නිසා වන්නට ඇත. මේසය ළගට ගොස් සිතුවම දෙස නිකමට මෙන් බලද්දී මගේ ඉහමොළ රත්විණි. එතන ඇති සිතුවමක් නැත. හස්තියෙකුද නැත. කළු පාට තීන්ත පාරවල් බොහෝ ගණනක් චිත්‍රය මත එයා මෙහා ගොස් තිබිණි. පපුව හෝස් ගා පත්තු වෙද්දී මගේ සිතට ආවේ කියාගත නොහැකි මහා දුකකි. තත්පරයට දෙකට මහා කදුළු වැලක් ඇස් දෙකම වසා ගත්තේය.

මෙය නම් කවරෙකු හෝ හිතාමතාම කළ නින්දිත වැඩක් බව සහතිකය. තවත් නම් ඩිංගක්වත් බලා සිටින්නට බැරිය. මේ තරම් දවසක් නපුංසකයෙක් ලෙසට සියල්ල ඉවසා වදාරා සිටි කාලය හොදටම ඇතිය. මා ටොයිලට් එකට ගොස් ආපසු පැමිණෙන්නට ගත වූ සුලු කාලය අතරතුර මේ නොසන්ඩාල වැඩේ කර යන්නට ආයතනයේ කිසිවෙකුටත් හැකියාවක් නැත. මෙය නම් දීනූකා මිස්ගේම වැඩක් බව සිතට තත්පරෙන් තත්පරේ වැටහෙද්දී අලුතින් උපන් කදුලු බිංදු වලින් මගේ කම්මුල් ආයෙත් තෙමී ගියේය..

"මි... මිස්.. දි.. දිනූකා මි... මිස්..." 

ගැහි ගැහී තිබූ හදවතත් සමග මම දිනූකා මිස්ගේ මේසය ඉදිරියට ආවෙමි. හිතේ දෙගොඩ තලා යන දුක නිසාම හරියට වචන කියැවෙන්නේද නැත. ඇස් දෙකෙන් කදුළු හෝ ගා බේරෙයි. එහෙත් මා සිතූ තරම් ඉක්මනට ඇය හිස උස්සා බැලුවේ නැත.

"අ... අනේ.. දිනූකා මි... මිස්..."

සිදූ වී ඇති දෙය කියන්නට මගේ සිත නොඉවසිලිලමත් වී තිබිණි. එහෙත් ඇය විහිළුවකටවත් මදෙස බැලුවේ නැත.

"දිනූකා මිස්......"

සිතේ හිර කරගෙන සිටි ධෛර්යයද බිංදුවෙන් බිංදුව දිය වී යද්දී මම එවර මහා හයියෙන් කෑ ගැමුවෙමි. ටිකකින් ඇය හිස උස්සා මදෙස බැලුවේ. මේ මොන කරදරයක්දැයි කියන්නට වාගේය. එහෙත් කදුළු වලින් පිරී ඇති මගේ මුහුණ දුටු විගස ඇය තැති ගත්තාය. මසින් පිරී ඇති රත් පැහැති මුහුණ තත්පරේට දෙකට සුදුමැලි වී තිබිණි.

"අනේ බලන්න මිස්.. මැණික්දිවෙල සර් බාර දීපු ආට්වර්ක් එකට කවුද තීන්ත හලලා.. ම.. මං හුගක් මහන්සි වෙලයි ඇන්දෙ මිස්.. මං.. මං ටොයිලට් එකට ගිහිල්ලා එන අතරෙදි තමයි කවුරුහරි මේක කරන්න ඇත්තේ. මාත්තෙක්ක තරහ කාගෙ හරි වැඩක් මිස්.. ම.. මට තේරෙන්නෑ.. ම.. මං මොනවද කරන්න ඕන කියලා.. අනේ මිස් ආට්වර්ක් එකේ හැටි බලන්නකෝ...."

මම හෝගා කියවාගෙන ගියෙමි. උනන කදුලු බිංදු පිහදා ගනිමින් මම නැවතත් කතාව පටන් ගන්නට හැදුවෙමි. එහෙත් ඇය ඊට බාධා කළාය.

"කරපු කෙනා අහුවුණාද..? කරපු කෙනා දැක්කද..?"

දිනූකා මිස් කෙලින්ම මගෙන් ඇසුවාය. එහෙත් වෙනදා තරම් තද පරුෂ බවකින් නොවේය. ඇයගේ කටහඩ දියාරු වී තිබිණි. ඇයගේ සුන්දර දෑස් අග කදුලු පිරී ඇතැයි මට නිකමට සිතුණි. එහෙත් ඒ මායාවක් වන්නට ඇත. මගේ ඇස් වලද කදුලු පිරී ඇති නිසා මට ඇයගේ මුහුණ පෙනෙන්නේද බොද වී වාගේය. අනෙක ඇයට හඩන්නට මෙතන කිසිදු උවමනාවක් නැත හිත දෙකඩ වී ඇත්තේ මගේමය. වේදනාව ඇත්තේ මටමය. ඉතා ආශාවෙන් හා කැපවීමකින් ඇදි සිතුවම පෙනි පෙනීම විනාශ වී ගොස්ය.

"මං අහපු දේ ඇහුණද...?"

"මො.. මොකක්ද මිස්..?"

"මං ඇහුවෙ කරපු කෙනා අහුවුණාද කියලා.."

"න්... න්.... නෑ මිස්.."

"ඉතිං නැත්නම් මට මොකක්ද කියන්නේ..? හොදට මතක තියාගන්න.. මීට පස්සේ  මේ වගේ කම්ප්ලේන් කරන්න එපා.. තේරුණාද..? මීට පස්සෙවත් වැඩක් ඉවර කරලා යන තැනක යන්න.. එහෙම උනා නම් ඔය දේ වෙන්නෙ නෑ නේ.."

දිනූකා මිස්ගේ දෑස කෙලින්ම මගේ දෑසේ රැදී තිබුණි. දුක දෙබෑ කරගෙන මගේ හිතට ගලාගෙන ආවේ කිසි දිනක නොආ තරමේ දැඩි කේන්තියකි. රැකියාව නැති වුණත් කමක් නැත. මගේ කට කා දැමුවත් කියන්නට ඇති දේ කියා දැමිය යුතුය. දිනූකා මිස්ගෙ මුහුණින් දෑස ගෙන මම ඇයගේ දෑත දිහා හොදින් බැලුවෙමි. ඇයගේ සුලැගිල්ලේ කළු පැහැති තීන්ත වැනි දෙයක් තිබෙනු මට යාන්තමට පෙනෙයි. මා ඇගේ ඇගිලි දෙස බලනු දැක ඇය සිය දෑත මේසයෙන් පහළට කර ගත්තාය. එසේ නම් මා මුලින් සිතූ දෙය හරිය. මේ සියල්ලම කර ඇත්තේ දිනූකා මිස්ය. එසේ නැත්නම් ඇයගේ ඇගිල්ලක තීන්ත ගෑවෙන්නට විදියක් නැත. මා ඇයට කිසිව වරදක් නොකොට ඇය මාව මේ තරම් රිදවන්නේ ඇයිදැයි කියා මට සිතාගන්නට බැරිය.

"හැම දෙයක්ම ඉවරවෙනකන් මට චූ බර තදකරන් ඉන්න බෑ මිස්.. එහෙම වුණොත් මගේ මුත්‍රා බොක්ක පුපුරලා යයි.. මොනව උනත් කොල්ලෙක් වුණත් මට මේ වගේ අමන වැඩ දරාගෙන ඉන්න බෑ.. මං හුගක් මහන්සි වෙලා කරපු මේ වගේ වැඩක් විනාශ කරලා දානවා නම් එක කරු කෙනා හිතක් පපුවක් නැති අමු දුෂ්ඨයෙක් වෙන්න ඕන.."

තමන් ළග සේවය කළ දුප්පත් කාංචනට මේ තරම් හයියක් ලැබුණේ කොහිනැදැයි දිනූකා මිස්ට සිතා ගන්නට බැරි වෙන්නට ඇත. දිනූකා මිස්ගේ සොදුරු දෑස මා බලාගෙන හිද්දීම විසල් විණි.

"මං දැන් කලින් කිව්ව ඒ හිතක් පපුවක් නැති කෙනාට සංතෝස වෙන්න මං අද මෙහෙන් අයින් වෙලා යනවා.. මාව දකින්න නැති වුණහම මාව පේන්න නැති වුණහම එයාගෙ ජීවිතේ ලස්සන වේවිනේ.. අපි ඒ වගේ අයගෙ සංතෝසෙට වල කපන්න හොද නෑ මිස්.. මං වගේ අහිංසකයෙකුට, දුප්පතෙකුට, අසරණයෙකුට මෙහෙම රිද්දන එක මහ වීරකමක් කියලා එයා හිතන් ඉන්නවා ඇත්තේ. ඒත් මගේ මේ අසරණ ඇස් දෙකෙන් ගලන කදුලක් දකුලක් ගානෙ ඒ කෙනාටත් මේ දුකම හම්බවෙනවා. මං කාටවත් වැරැද්දක් කරලා නෑ. ඒ වගේම මේ ලෝකෙ තනිවෙලා ඉන්න මිනිහෙක්.. කමක් නෑ.. මට කරදර කරන අයගෙ සංතෝසෙට ඉඩදීලා මං මෙහෙන් යන්නම්..."

අලුත් කදුලු වලින් ඇහිපිය සරසද්දී මම කියාගෙන ගියෙමි.. 

"තමුන් ඔය හින්ට් ගහන්නෙ මටද..?"

කළින් තිබූ තද පරුෂ බව දැන් ඒ සොදුරු කටහඩේ අහලකවත් නැත. එහෙත් ඇය තවමත් මා හට කාංචන කියා අමතන්නට කැමති නැති සේය. මේ තරම් දැඩිව මගේ සිත රිදී තිබෙද්දී දිනූකා මිස් කතා කරන ආකාරය ැන මගේ සිතේ ඇති වූයේ දැඩි කලකිරීමකි. ඒ කළකිරීම මතින්ම මම ඇය වෙතට ළං වුණෙමි. ජීවිතයේ ප්‍රථම වතාවට ඇයගේ අහංකාර ඇහිපියන් යට කදුළු තැවරී තිබෙනු මා දැක්කේ ඒ වෙලාවේදීය. ඇය හඩන්නට හදන්නේ ඇයි..? ගලින් නෙලූ හදවතක් හිමි ඇය වැනි නපුරියක් හඩන්නටවත් දන්නවාදැයි සැක සහිතය. මොනව උනත් මා වැනි අහිංසකයකුගෙන් මේ තරම් පළි ගන්නට මා ඇයට කළ වරදක් නැත්තේය. එය එසේ වුවත් මෙන්න මේ තත්පරයේදීම දිනූකා එන්ටර්ප්‍රයිසස් වෙතින් ඉවත් වී යන්නට මම තීරණය කළේය. මැණික්දිවෙල මහතාට හා පුබුදුට මා යන බව කීවොතින් ඔවුන් කීයටවත් මට යන්න නොදෙනු ඇත. ඒ නිසා කෑම පැය අල්ලා හිමින් සීරුවේම යා යුතුය. පසුව අසීනීපයි කියා විදුලි පුවතක් එවන්නට පුලුවන.

"ම.. මං අහපු දේ තමුන්ට ඇහුණද..?"

නැවතත් දිනූකා මිස්ගේ කටහඩ ඇසෙද්දී මම හෙමින් සීරුවේ මගේ මේසය අසළට ආවෙමි. දැන් එළඹි ඇත්තේ ඇයගේ ප්‍රශ්න වලට උත්ත වදින වේලාව නොවේ. තීන්ත හලා විනාශ කර දමා තිබූ සිතුවම සීරුවෙන් අකුළා දමා මම මේසය පිරිසිදු කෙරුවෙමි. දිනූකා මිස් සිටින්නේ හොරැහින් මදෙස බලාගෙන වග මම දනිමි. පපුවේ පුංචි තෙතමනයක් හෝ නොමැති අය වැනි තරුණියන්ට ඉතා සොදුරු රුවක් ලබා දීමෙන් දෙවියන් වුවත් කරන්නේ මහ විශාල වැරැද්දකි.

මේසය මුලින් තිබූ පරිදිම පිළිවෙලට සකසා පුටුවද මේසය අසළටම ළං කර මම නැගී සිටියෙමි. මෙතනින් මා නෙග යා යුතු කිසිවක් නැත. මුලින්ම මා මේ ආයතනයට ආවේද හිස් අතිනි. දැන් යන්නේද හිස් අතිනි. සිත තුළ අලුතින් පැලපදියම් වූ ධෛර්යය පීරාගෙන දුක් කදුලු වාන් දමන්නට වූයේ එබැව් සිහිපත් වීමෙන්ය. එහෙත් මම සිත දැඩි කරගත්තෙමි. තව දුරටත් මෙහිම රැදී සිට දිනූකා මිස්ගේ කෙලි සෙල්ම් බඩුවක් වනවාට වඩා මෙතනින් පිටත්ව යාම වටී. ජයවර්ධන අංකල්ට නිවී සැනසිල්ලේ සියල්ල කිව හැක. ඔහු මට වුමින් නොබැන සියල්ලම අසා සිටිනා බව මම දනිමි. කාමරයෙන් ඉවත්ව යාමට හිත හදා ගැනීමෙන් අනතුරුව මම දිනූකා මිස් ඉදිරියට ආවෙමි. ඇය සැනෙකින් තම මුහුණ මවෙතින් හරවා ගත්තාය.

"ම... මං යනවා මිස්..."

එහෙත් ඇය මදෙස බැලුවේවත් නැත. මගේ සිත තුළට ගලා ආවේ මේ තරම් කාලයකට සිතට නොදැනුණු තරමේ කාලකණ්ණි හැගීමකි. ආයේ කවදාවත්ම මේ තැනට නොඑනා නිසා සිතේ ඇති සියල්ලම කියා ගියා නම් වඩා හොදය. එසේ නොමැතිව මේ සියල්ලම හිතේ හිර කරගෙන ගිය විට දුක් විදින්නට වෙන්නේ මටමය.

"මං මෙතන වැඩ කරනවට මිස් අකමැතියි කියලා මට හොදටම තේරෙනවා. මිසුත් ඒ ගැන කීප සැරයක්ම කියලා තියෙනවා. ඒත්  ඒ මොකක් හින්දද කියලා කියන්න මං දන්නෙ නෑ.. මිස් එක්ක එකතු වෙලා කොයිතරම් හොදින් වැඩ කරන්න හැදුවත් ඒ දේ කරන්න මට බැරි වුණා. මේ දවස්වල රස්සාවක් හොයා ගන්නවා කියන එක හුගක් අමාරු වැඩක්.. ඒත් මං යනවා මිස්.. ජීවිතයේ පල්ලෙහාම අඩියෙ එල්ලිලා ඉන්න මං වගේ අසරණ කොල්ලෙකුට තවත් නැතිවෙන්න දෙයක් නෑ.. ම.. මගේ.. මගේ හිගන ජීවිතෙන් මිස් මාව තවත් අඩියක් පල්ලෙහාට එලවලා දැම්මා. ඒ ඒත් මං තරහා වෙන්නෑ මිස්....."

දිනූකා මිස්ගේ ඇස්වල තිබූ අහංකාරය මුලුමනින්ම සේදීගොස් තිබිණි. නිල් මහනෙල් මල් වලටත් වැඩිය සොදුරු ඇස් වල පිරී තිබුණේ මහා බැගෑපත් බැල්මකි. අනේ ඔයා යන්නෙපා කාංචන වැනි දෙයක් ඒ හැඩකාර මුහුණේ ඉරියව් වලින් මට කියා පෑවේය. එහෙත් මට නැතිවිය නොහැක. ඇය කරනා තරමක් මා හට කළේ කෙනෙහිලිකම්ය. දවසක් ඇබින්දක සතුටින් වැඩ කළත් මා මාසයක්ම වැඩ කළේ හිත රිදවා ගෙනය. අනික මා යනවා කියා මගේ දෙපා මුල වැද වැටී ඇය බැගෑපත් විය යුතු යැයි මම නොඅදහමි. එහෙත් ඇය වචනයක් හෝ නොකියන්නේ ඇයි...? 

"මං යන එකටවත් මිස්ට කියන්න දෙයක් නැද්ද...? අඩුගානෙ ඉන්න තැනකවත් හොදින් ඉන්න කියලවත් කියන්න බැරිද..? මාව ඒ තරම්ම එපා වෙච්ච කෙනෙක්ද මිස්...? කොටින්ම හැමෝම ලස්සනයි කියපු මගේ ආට්වර්ක් එක දිහා මිස් ඇහැක් ඇරලවත් බැලුවෙ නෑ.. කමක් නෑ.. මං දැනුවත්ව මිස්ට වැරැද්දක් කරලා නෑ.. මං.. මං... යන්නම් මිස්.. මිස් හැමදාකම සංතෝසෙන් ඉන්න..."

තවත් කියන්නට තරම් දෙයක් තිබුණාදැයි මම නොදනිමි. ඇත් දළ පැහැය ගත් ඒ සොදුරු මුහුණ මගේ දෙසට හැරී තිබිණි. ඒ මුහුණේ දිස්වූ හැගීම් එකින් එක වෙන්කර තෝරා ගන්නට මම උත්සාහ දැරුවෙමි. එහෙත් ඇය වචනයක්වත් කතා කළේ නැත. ඉතින් තවත් මෙතැන රැදී සිටීමෙන් පලක් නැත. අඩුම තරමේ මා සිතුවේ ඇය යන්නට එපා කියාවත් කියනු ඇත කියාය. එහෙත් එය එසේ වූයේ නැත. මුල සිටම මා ඇය ගැන සිතූ ආකාරය අන්තිම දශමයටද වැරදිය. ඇයට ඇතේතේ ගලින් නෙලූ හදවතක් බව ඇය සාධක සහිතව ඔප්පු කර ඇත. අන්තිම වතාවටත් දිනූකා මිස් දෙස බලා මම කාමරයෙන් එළියට ආවෙමි. ඒ සමගම හීන් ඉකිබිදුමක් කාමරය තුළින් මට ඇසුණි. ක්‍රම ක්‍රමයෙන් එය වැඩි වෙද්දී ඉදිරියට ගිය දෙපා මම නැවත හරවා ගත්තෙමි. දිනූකා මිස් අඩන්නේ ඇයි..? කාමරයෙන් එළියේ සිටි මගේ සිතේ තිබූ ප්‍රශ්නය එයයි..

මා හට නොසෑහෙන තරම් කෙනෙහිලිකම් කොට ඇයට හඩන්නට තරම් කාරණාවක් තිබෙන්නට බැරිය. හරි නම් පොලොවේ හැපි හැපී හඩන්නට ඕනෑ මමය. දවසේ විසි හතර පැයේම බැනුම් ඇසුවේ මමය. හිත රිදවා ගත්තේ මමය. ඉතා හොදින් නිම කළ සෑම වැඩක්ම අවසානයේ කිසිදු ප්‍රශංසාවක් නොලැබුයේ මමය. අන්තිමේදි අනාගතය ගැන කිසිදු විශ්වාසයක් නොමැතිව සෑම දෙයින්ම කළකිරී පාරට බහින්නේ මමය. ඇය මා හට කළ දේවල් හිතක් පපුවක් ඇති වෙතත් මිනිසකු නම් ඉවසා හිදින්නේ ද යන්න පවා සැක සහිතය. ක්‍රමයෙන් වැඩි වූ දිනූකා මිස්ගේ හැඩීම නැවතත් ක්‍රමයෙන් අඩු වෙද්දී දිනූකා එන්ටර්ප්‍රයිසස් වෙතින් මම එලියට ආවෙමි. තවත් දුරට ඇය හඩන හැටි හෝ සිනාසෙන හැටි බලන්නට නොයා යුතුය. තවත් මෙතැන ප්‍රමාද වීමෙන් පුබුදුව මුණ ගැසෙන්නට වුවද බැරි නැත. මම හැකි ඉක්මනින් මහ පාරට ආවෙමි. අඩුම තරමේ මා මෙතුවක් දවස් නැවතී සිටි කාමරය තුළට පවා නොගියෙමි. අයියාව හමු වීමට යා යුතු වුවත් අද සවස හෝ හෙට දිනයේ ඒ සදහා යොදා ගැනීමට මම සිතා ගත්තෙමි. ඒ ගමන්ම ජයවර්ධන අංකල්වද හමු වීමට පුලුවන. සමහරවිට දිනූකා මිස්ට නොපෙනෙන තරම් ඈත තැනක රැකියාවක් සොයා ගැනීමට මට පුළුවන් වනු ඇත.




                               

No comments:

Post a Comment