Tuesday, March 20, 2012

| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






බතික් තිර රෙදිවල බෙදාහැරීමේ මොකක්දෝ පටලැවිල්ලක් නිසා පුබුදු පැමිණියේ රෑ අටහමාරත් පසුවීය. මම ඔහු එනතුරු කෑමත් නොකා බලා සිටියෙමි. දිනූකා මිස් ගැන බොහෝ දේ පුබුදු හා කතා කරන්නට සිතා සිටි දවසේම ඔහු ප්‍රමාද වීම මගේ සිත ගෙන දුන්නේ නිමක් නැති කරදරයකි. පුබුදුට අදම ප්‍රමාද වන්නට යෙදුන හැටි.


"අද නම් එපාම වුණා කාංචන.."

දාඩියෙන් පෙගී ඇති කමීසය ගලවමින් පුබුදු කාමරය තුලට ඇතුල් වූයේය. ඔහු වොෂ් එකක් දමා නැවත පැමිණෙන්නට විනාඩි විස්සක්වත් ගතවනු ඇත. මට වෙන්නේ මේ පැය ගණනක් ඉවසා සිටියා සේ ඒ විනාඩි විස්සද ඉවසා සිටින්නටය. ඇත්තටම දිනූකා මිස් ගැන කතා කරන්නට යෑමත් ඇය වගේම කරදරකාරී වැඩකි.

"ඉතිං.."

ළගම තිබූ වේවැල් පුටුවට බරවෙන ගමන් පුබුදු මගේ මුහුණ දෙස බැලුවේය. රාජකාරිය උපරිම අන්දමින් ඉටු කිරීමේ තෘප්තියක් ඒ මුහුණේ වෙයි. මට නම් කිසිදාක එවැනි තෘප්තියක් ලබාගැනීමට දිනූකා මිස් ඉඩ නොදෙනු ඇත. ඇය මා හට කරනා කෙනහිලිකම් වල අවසානය කොතැනකදැයි මට හිතාගන්නටවත් බැරිය.

"මේ කතාව කොහෙන් පටන් ගන්නද කියලා මට තේරෙන්නෑ පුබුදු.."

"ඔය අර මට උදේ කියනවයි කිව්ව කතනදරේද..?"

තවමත් තැනින් තැන ඇයි වතුර බිංදු පිහිදාගන්නා ගමන් පුබුදු ඇසුවේය..

"ඔව්.."

"කතාව කෙල්ලෙක් ගැන.. මොකද කියන්නේ.. මං හරි නේද..?"

"හරි නම් තමයි.. ඒත්.."

"ඒත් මේත් මට වැඩක් නෑ.. කෙල්ල කවුද කියලා කියමුකෝ බලන්න.. පූර්ණිමා නෙමේ කියලත් කිව්වනේ.."

පුබුදු තවත් හරිබරි ගැසී වේවැල් පුටුවේ වාඩු වූයේය. ලා කහපාට නියෝන් විදිලු එළි අනේක රටා මවමින් පාර පුරාම පැතිරී ඇත. පුබුදුට කියන්නට බොහෝ දේ තිබෙනවා සේ හැගුනද දැන් නම් මගේ සිත කිසිවක් ලියා නැති, සුදු ඩිමයි කොළයක් වගේය. මුලු සිතම හිස්ය. ඇත්තටම මා පුබුදුට කියන්නේ මොනවාද..?

"කාංචන, කෙල්ලගෙන් තාම ඇහුවෙ නෑ නේද..?"

පුබුදු සිතාගෙන සිටින ආකාරය නම් හුගාක්ම වැරදිය. ඔහු සිතන්නේ කෙල්ලෙක් නිසා මා මගේ සිත අසහනයට පත්කරගෙන ඇති වගය.

"එහෙම එකක් නෙමේ පුබුදු. මේක වෙනම ප්‍රශ්නයක්.. මං මේ කතා කරන්න යන්නේ දිනූකා මිස් ගැන."

"දිනූකා මිස්..?"

පුබුදුට ඉබේටම වාගේ වේවැල් පුටුවෙන් නැගිටුණේය. ඒ තරමට ඔහු සසලව ගියේය. ඔහු දැන් සිතන්නේ මා දිනූකා මිස්ට ආදරය කරන්නට යන වගය. ඒ වචන ටික මටම සිහිපත් වෙද්දී වුවත් මම හිරිවැටී ගියෙමි. මා වැනි හඩ්ඩ පාංකඩ කොල්ලෙක්, සුරංගනාවක් ගැන එවැනි දේ සිහිනයකින්වත් සිතිය යුතු නැත.

"ම.. මට දිනූකා මිස් එක්ක වැඩ කරන්න බෑ පුබුදු. කාටවත් හිතාගන්න බැරි තරම් විදියට එයා මට කෙනෙහිලිකම් කරනවා.."

"කාංචන කියන දේ මට තේරෙන්නෑ.."

අනතුරුව මා දිනූක එන්ටර්ප්‍රයිසස් හී රැකියාවට ආ දා සිටම සිදුවූ කුදු මහත් සිදුවීමක්ම මම පුබුදු හා කියාගෙන කියාගනෙ ගියෙමි. පුබුදු ද ඉතා උවමනාවකින් මගේ කතාව අසාගෙන සිටියේය. දිනූකා මිස් හා මා අතර සිදුවූ පුංචි සිදුවීමක්ම පවා මගේ මතකයේ තිබීම මාද පුදුමයට පත් කරවන්නක් විය. මේවා මේ තරම් දැඩි ලෙස මගේ මතකයේ තිබුණේ කෙසේද..?

"ඒත් මට හිතාගන්න බැරි දෙයක් තියෙන්නේ, මාව ඔය තරම් පේන්න බැරිව ඉන්න දිනූකා මිස්, මැණික්දිවෙල මහත්තයට මං ගැන හොද කීවෙ ඇයි කියලා.. මිස්ට තිබුණෙ මාව කපලම දාන්න.."

"මෙතන මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා කියලා මටත් තේරෙනවා. ඒත් ඒක මොකක්ද කියලා මට හරියටම කියන්න බෑ කාංචන. අනිත් දේ තමයි ඔයා කිව්ව හැමදේ ගැනම කල්පනා කරලා බැලුවාම.."

එතැනින් එහාට පුබුදු කිසිවක් කීවේ නැත. ලොකු කල්පනාකාරී බවකින් මුහුණ පුරවාගත් ඔහු වේවැල් පුටුව තුළට වකුටු වූයේය. 

"කල්පනා කරලා බැලුවාම..?"

"දිනූකා මිස් ඔයා ගැන උනන්දු වෙනවා, කියලා මට හිතෙනවා.. සමහරවිට දිනූකා මිස්ගෙ හිතේ ඔයා ගැන තියෙනවද කියලා අපි දන්නෙ නෑනේ.."

පුබුදු කියූ දෙයින් මම උඩ විසිවී ගොස් බිම වැටිණි. දෙවියනේ... මේ කවර නම් කතාවක්ද..? මේ ආත්මයේ නොව තව ආත්ම හතක් යනතුරුවත් සිදුනොවන දෙයක් පුබුදු කියන්නේ ඇයි..?

"ස්.. හූ... උඹත් මහ පුදුම කතානේ කියන්නේ.. කවුරුහරි අහන් හිටිය නම් හෙම.. මාව රස්සාවෙනුත් අස්කරයි.."

මම අවංකවම කීවෙමි..

"නෑ කාංචන.. උඹ මෙතනින් ගියොත් මිසක, මිස්වත්, මැණික්දිවෙල මහත්තයවත් උඹව අයින් කරන්නෙ නෑ. ඒක මට ශුවර් එකටම කිව්ව හැකි.."

"ලොකු සර්ට නම් එහෙම වෙන්නැති. ඒත් මං හොදටම දන්නවා දිනූකා මිස් මට කැමති නෑ කියලා. මගේ මූණ දකිද්දිම දිනූඛා මිස්ගෙ මූණ රතු වෙනවා.."

අද අවස්ථා දෙකකදීම දිනූකා මිස් කාර්යාල කාමරයේ නැති වුවද ඇගේ පර්ෆියුම් සුවද දැඩිව හමා ආ හැටි මම පුබුදුත් සමග කියන්න ගියේ නැත. මගේ මනස්ගාත යැයි සිතා ඔහු මට සිනාසෙන්නට පුලුවන. එහෙත් ඒ අවස්ථා දෙකේදීම ඇය කාර්යාල කාමරයේ කොතැනක හෝ සිටියා කියා දිව්රා කියන්නට මට පුලුවන්කමක් තිබිණි.

"මූණ අමුතුවෙනව නම් ඒක තමයි හොදම වැඩේ. මොකක් හරි දෙයක් තියෙන හින්දනේ එහෙම වෙන්නේ.. අපි කෝකටත් තව ඩිංගක් ඉවසලා බලමු.. ඉස් ඉස්සෙල්ලම කලබල වෙන්න ගියොත් අපි බලෙන්ම අනාගන්නවා. ඒක හින්දා මිස්ට තව දුර යන්න දෙමු.." 

පුබුදු කියන්නේ එවැනි කතාවක්ය. එහෙත් මගේ සිතේ තෙරපෙන ආංගතුක නොසන්සුන්කම ගැන දන්නේ මමය. සිත රිදෙන තරම දන්නේ මමය.

"මං මේ තැනට ආදරේයි පුබුදු.. මං මගේ උපරිම ශක්තිය දාලා මේ ආයතනය දියුණු කරන්නයි වැඩ කරන්නේ. ඒත්.. ඒත්.. දිනූකා මිස් මට තාමත් සලකන්නේ ඉස්සර විදියටමයි.. පුබුදු..."

එවර නම් මා කී දෙයට පුබුදු කිසිවක් කීවේ නැත. ඔහු නිසොල්මනේ මා දෙස බලා හිදී. ඒ මුහුණේ ඇත්තේ පුදුම හිතෙන තරමේ සන්සුන් බවකි.

"මං කියන්නෑ.. මට ආදරෙන් කතා කරන්න කියලා.. ඒත් මනුස්සයෙකුට කතා කරන විදියක් තියෙනවනේ.. ඇයි මට විතරක් දිනූකා මිස් මේ වෙනස්කම් කරන්නේ..? මේකෙ ඉන්න අනිත් හැමෝටම මිස් හුගක් හොදින් කතා කරනවා. උඹ දන්නෑ.. මිස් මට තමුසෙ කියලත් කතා කෙරුවා. මං මිස්ට කිසිම වැරැද්දක් කරලා නෑ. ඉතිං මට විතරක් මෙහෙම කරන්න මං කරපු වැරැද්ද මොකක්ද පුබුදු. කොටින්ම දිනූකා මිස්ට මාව පේන්නවත් බෑ.."

හිත පත්ලෙන්ම වූ, මට මං ගැනම දුක හිතෙනා හැගීම මම එළියට දැමුවෙමි. දිනූකා මිස්ගෙන් කරුණාවන්ත වදනක් ඇසීමට මා බලා ඉන්නේ දැන් මාස ගණනක සිටය. එහෙත්, ඒ බලාපොරොත්තුව නම් කිසිමදාක ඉටු නොවනා එකක් වැනිය.

"මෙතන තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා මටත් හිතාගන්න බෑ කාංචන.. අනික උඹව රිද්දලා දිනූකා මිස් ලබාගන්න යන දේ මොකක්ද..? හැබැයි ඔය මොනවා වුණත් මං එක දෙයක් නම් දන්නවා.."

"ඒ මොකක්ද පුබුදු..?"

"දිනූකා මිස් හරිම හොදයි කියනෙක. ඒක ආයෙ හොදන්න දෙයක් නෑ.. ඒත් උඹට විතරක් මෙහෙම කතා කරන්නෙ ඇයි කියනෙක ප්‍රශ්නෙ ඉස්සරහා මාත් අතරමං වෙනවා. මොනවා වුණත් වැඩ ටික හරියට කරපං. මොක නැතත් රස්සාව වටිනවනේ.."

පුබුදු කියනා දේ මහ වීශාල ඇත්තක් තිබේ. මෙවැනි සිත් ඇදගන්නා සුලු රැකියාවක්, රුපියල් විසි තිස්දහසක පගාවක් දී හෝ ලබාගත නොහැක. අනෙත් කාරණය වන්නේ මාසයේ අන්තිමට අතට ලැබෙන මුදල්ය. එය සිත් ඇද බැද තබාගන්නා ආකාරයේ එකක් වන බවට පුබුදු දැනටමත් කීපවතාවක්ම මට කියා ඇත. ඒ කෙසේ වෙතත් දිනූකා මිස්ට මාවම පමණක් පෙනෙන්නට බැරි ඇයි..? ඇයට බයිට් එකක් වී සිටින්නේ ා පමණක්ද..? මින් පසුව නම් පත්තර පිටුවකින් හෝ මූණ වසාගෙන සිටිය යුතුය. එසේත් නැතිනම් අර ස්පයිඩර් මෑන් කාටූන් පටය සේ මුලු ඇගම වැසෙන ආකාරයේ ඇදුමක්වත් හැද සිටිය යුතුය.



    

No comments:

Post a Comment