Saturday, March 31, 2012

| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි |






දවස් ගානක්ම එක දිගට වැස්ස නිසා අපි ක්ලාස් ගියෙත් නෑ. ඉස්කෝලෙ ගියෙන් නෑ. මෙහෙම කුම්බකරණයො වගේ ගේ අස්සෙ රිංගගෙන හිටියොත් නං ඉතිං විභාගෙට සොරිම තමයි. මං සචීට කෝල් එකක් දීලා බලද්දි ඒකි නං ඉස්කෝලෙ නොගියට පංති ගිහින්. මං ගියේ නැති ටිකෝ නෝට්ස් ෆොටෝ කොපි කරලා තියන්නම් කියලා කෙල්ල මට හවස එහෙ එන්න කිව්වා. කොයිතරම් වැස්ස තිබුණත් මං සුපුරුදු ඩෙනිමට බැහැලා අම්මගෙනුත් ගාණක් කඩාගෙන එළියට බැස්සා.


 "පොඩි පුතා මොකද ළමයො ඔය තෙමි තෙමි යන්නේ. මේ කුඩේ අරන් යන්න.."

අපේ අම්මා රිලේ එකේ බැට්න් එක අරන් ආවා වගේ කුඩෙත් දික් කරගෙන  මගේ පස්සෙන් ආවා.

"අයියෝ අම්මේ දැන් පායලනේ.. ඕක උස්සන් යන්න මට බෑ.."

අම්මා කොයි තරම් බල කරත් මම කුඩේ ගත්තෙ නෑ. කෙල්ලො වගේ කුඩ උස්සන් යන්න ලැජ්ජ නැද්ද..? අනික ඉතිං අමාරුවෙන් අරන් ගියත් ආපහු එද්දි මට ඕක අමතක වෙනවා. ඉස්සර දවස් කීයක් අක්කගෙ කුඩ අමතක වෙලා මං බැනුම් අහලා තියෙනවාද..

සචීලගෙ පාර ළගින් හැබැලා පයින් යද්දි නම් තරමක් වැස්සත් මං කැප් එක දාගෙන තෙමීගෙනම ගියා. මං එනවා කියලා කියපු නිසාද වැස්ස දිහා බලන් ඉන්න තියෙන ආසාව නිසාද මන්දා කෙල්ලො බඩලම ඉන්නවා පාර දිහා බලාගෙන. මගෙත් ඔළුවට වතුර වැටිලා නිසාද දන්නෑ ඔහොම දකිද්දිත් දෙන්නගෙන් අචී කවුද සචී කවුද කියලා අදුනගන්න බැරි උනා.

"අනේ රන්දු ඇයි මේ තෙමීගෙන..?"

ආ.... ඒ නම් සචිනි. ඒකි තමයි හැම වෙලාවෙම බටකොළ ආච්චි වගේ මට අවවාද දෙන්නේ. ඒත් මං උත්තරයක් දෙන්න කලින් කෙල්ල හැරිලා ගෙට දිව්වා. බාගෙට තෙමිලා නිසා ඒකිට මං ළග අමුතු ගදක්වත් ආවද මන්දා. හැබැයි ඉතිං කොල්ලා ගෙදරින් එද්දි ගහපු ෆර්ෆියුම් සුවද නම් තාම තියෙනවා.

"එන්න රන්දු ඇතුලෙන් වාඩිවෙන්න.."

අචී මාව ගෙට එක්කං ගියාට ඉදගන්න මොකක්ද මොකක්ද වගේ. ඇයි දෙයියනේ පශ්චාත් භාගය බෙරි වෙලානේ..

"ආ... මුලින්ම පිහිදගෙන ඉන්නකෝ.. ඔයා හොදටම තෙමිලා.."

කාමරේ ඉදාල එළියට ආපු සචී ලස්සන ලා කොළ පාට තුවායක් මගේ අතට දුන්නා. ඒක පුංචි බබාලගෙ ඕඩිකොලොන් සුවදයි..

"හප්පා මේකෙ ගද.. කාගෙද මේ තුවාය..?"

මං කිව්වෙ බොරුවට කියලා දෙන්නම දන්නවා. අචිනි හිනාවෙලා සචිනි දිහා බැලුවා.

"ඕක මගේ, ගද උනාට කමක් නෑ පිහදලා දෙන්නකෝ.."

"කෝ උඹලගෙ අම්මා..?"

ඔළුව පිහදාන ගමන් මං ඇහුවෙ වෙනදට මේ වෙද්දි ඇන්ටි ඇවිත් ප්‍රශ්න  හැටක් විතර අහලා ඉවර නිසා.

"අම්මා හන්දියට ගියා. එන ගමන් ඔයාගෙ ෆොටෝ කොපි ටිකත් අරන් එයි.."

එලද බ්‍රා කිව්වලු. ඒ කියන්නෙ මේ වැස්ස වෙලාවෙ මේ ගේ ඇතුලෙ ඉන්නෙ ඉටි රූප වගේ කෙල්ලො දෙන්නත් එක්ක මේ රන්දු විතරයි. කොයිතරම් ලස්සන උනත් මේ ඉන්නෙ මගේ අතිජාත බ්‍රැකට් දෙකක්නේ. ඉතිං මොන ස්විට් ඩ්‍රීම්ස් ද..? තුවාය සචී අතට දීලා මං ප්ලාස්ටික් පුටුවකින් ඉදගත්තා. නැත්තං මං ගියාට පස්සෙ පුටුවත් වේලන්න වෙයි.

"ඕක තෙත නිසා ඔයාට ඇදගන්න දෙන්න වෙන ඇදුමක් අපි ළග නෑනේ.."

මේකිත් කියන්නෙ මාර කතා. මට අදිනවනම් අදින්න වෙන්නෙ මුංග තාත්තගෙ පප්පා කෝට් කිටක් තමයි. නැතුව මේ ගෙදර කොයින්ද පිරිමි ඇදුම්..

"එක්කො ඔයා ටවල් එකක් ඇදගෙන ඕක ගලවලා දෙන්න.. අපි අයන් කරලා දෙන්නම්.."

ආයිශ් අම්මා..! මං තුවායක් ඇදගෙන වාඩිවෙලා ඉද්දි සචීලගෙ අම්මා ආවනම් එයාට කලන්තෙ හැදෙනවා. එහෙනම් මුන් දෙන්නව වෛද්‍ය පරීක්ෂනයකට භාජනය කරලා තමයි නවතින්නේ..

"ඕකේ මං ගලවලා දෙන්නම්.. හැබැයි තෙමුන හැම ඇදුමක්ම අයන් කරලා දෙන්න ඕනේ.. නැතුව බෑ.."

ඇත්තනේ, මං ඇදගෙන ආවෙ ඩෙනිමයි ටී ෂර්ට් එකයි විතරක්යෑ. කෙල්ලො දෙන්නා ඒකට රෙඩිනං ඇදුම් ගලවලා දෙන්න මේ රන්දුත් රෙඩී. ඒත් මුං මාව නිර්වස්ත්‍ර කරන්න කලින් දෙයියනේ කියලා ඇන්ටි ගෙදර ආවා.

"ඇන්ටි මේ වැස්සෙ තකහනියක්ම ගියේ මගේ ෆොටෝ කොපි ටික ගේන්නද..?"

"නෑ පුතා අපේ පොඩ්ඩි දවල් ඔය ටික හන්දියට ගිහින් දීලා ආවා. මං මේ කඩේ බඩු වගයක් ගන්න ගිය ගමන් අරන් ආවේ."

නෝට්ස් විතරක් නෙමෙයි ක්ලාස් එකේ ටියුට් ටිකත් මේ කෙල්ල ෆොටෝ කොපි කරලා. දැන් ඔය ටිකට සල්ලි දුන්නත් මේකි ගන්නෙ නෑ. කමක් නෑ ගනුදෙනු යථා කාලයේ බේරගන්න බැරියෑ.

"අචී උඹේ එස්.පී.බීආර් ආවේ නැද්ද..?"

මං අචිනියි සචිනියි දෙන්නා දිහාම බලලා ඇහුවෙ දිනුක ගැන..

"ෂ්... හෙමින් හෙමින්. අපේ අම්මට වැඩේ ලීක් වෙලා තියෙන්නේ.."

සචී එහෙම කියලා මං ළගටම පුටුවක් ඇදගෙන ඇවිල් වාඩිවෙලා හිමීට කතා කරන්න ගත්තා.

"අපේ අක්කගෙ එෆෙයාර් එක ගැන අම්මලා මේ වෙනකල් දැනන් හිටියෙ නෑනේ. දිනුකත් නිතර ආවා ගියාට එයාලා හිතුවෙ යාළුකමට කියලා. ඒත් අක්කි ඇක්සිඩන්ට් උනාට පස්සෙ මෙයා දවස් දෙක තුනක්ම තනියෙම ආපු නිසා අම්මට සැක හිතිලා ඇහුවා.."

"ඉතිං අචී ඇත්ත කිව්වද..?"

"ඔව්.. ඒත් අපි හිතපු විදියට අම්මා බැන්නෙ නෑ. එයා තාත්තටත් කියලා. තාත්තත් කිව්වෙ පොඩි කාලෙ ඉදලා දන්න ළමයිනේ. එයාලගෙ කැමැත්තට අපි බාධා කරන්නෑ කියලා. හැබැයි හොදට විභාගෙ කරන්න කිව්වා."

"ෂා.. උඹලගෙ තාත්තා නියමයිනේ.. එහෙනම් උඹටත් බාල්දියක් පෙරලන එකක් නෑ. දැන්ම වැඩේට බැහැපන්.."

හිතක් පපුවක් නැති ගානට මං කියලා දැම්මා. ඒකි මගේ මූණ බලන් හිටියෙ මහ දුකකින් වගේ..

"තාත්තා ඒත් මගෙන් ඇහුවා මට කවුරුත් නැද්ද කියලා.. කවදහරි අක්කිගෙයි මගෙයි වෙඩින් දෙකම එකට ගන්න ඕනෙලු.."

ටුවින්ස්ලා දෙන්නෙක් එකම විදියට ඇදලා එකම දවසෙ බදිද්ද කොල්ලො දෙන්නට මනාලියො මාරු වෙයිද මන්දා. අපි කතා කර කර ඉද්දි ඇන්ටි උණු කෝපි එකක් දුන්නා. වෙලාවෙ  හැටියට ඒකත් මරේ මරු..

"සචී මට උඹෙන් පොඩි උදව්වක් ඕනේ.."

"ඒ මොකක්ද රන්දු..?"

"ලබන සතියෙ අපේ අක්කගෙ උපන්දිනේ.. ඒකි ඉතිං චීටර්නේ.. මං සාරියක් අරන් දෙන්න හැදුවේ.. ඒත් බං මං ඕවා තොරන්න දන්නෑනේ.."

"හරි හරි මං හෙට පන්ති යන ගමන් එන්නම්. අපි නුගේගොඩින් ගමු ලස්සන සාරියක්. ඔයා අක්කට ඉස්කෝලෙට අදින්නද වෙඩින් එකකට වගේ අදින්නද අරන් දෙන්න හදන්නේ..?"

"මන් දන්නෑ බං ඕවා. මොනවගේ එකක් ද හොද..?"

"අපි පොඩි වර්ක් එකක් තියෙන චාම් සාරියක් ගමු. මං තෝරලා දෙන්නම්.."

"හෙටත් ඉස්කෝලෙ යන්නෑනේ.. ඒත් අරුන් ටික පන්ති යන්න තුන විතර වෙද්දි නුගේගොඩට එනවා කිව්වා. අපි දෙන්නා දෙකට විතර යං. පැයක් ඇති වෙයිනෙ තෝරන්න.."

කෙල්ලො එක්ක ෂොපින් යන වැඩේ අතෑරලා දාලා තිබුණ මං සචී එක්ක හෙට නුගේගොඩ යන්න පොරොන්දු වෙලා ගෙදර ආවා.

රෑ වෙලා වොෂ් එකක් දාගෙන සචීගෙන් ගෙනාපු නෝට්ස් ටික අරන් පාඩම් කලේ මේ ටිකේම කිසි දෙයක් කරපු නැති නිසා. සචී තරු දාලා හයිලයිට් කරලා බෝල අකුරෙන් ලියලා තිබුණ නෝට්ස් දකිද්දිනම් පාඩම් කරන්න ආස හිතෙනවා. ඒකිගෙ වැඩ මාර පිළිවෙලයි. මං පන්ති යන්න බැරි වෙච්ච දවස් වල නෝට්ස් පාඩම් කරලා ඉවර වෙද්දි ඒවා පංති ගිය දවස් වල ඒවට වඩා මතක හිටියා.

                                  **********************************

පහුවෙනිදා උදේ නමය වෙද්දි සාරංගයි ෂෝටයි අපේ ගෙදරට කඩා පාත් උනා.

"ආ...... මචා... පාඩම් කරනවා වගේ...?"

"මෙච්චර වෙලා නම් පාඩම් කරා.. දැන් උඹලා දෙන්න එක්ක මොන පාඩම්ද..?"

මං පොත වහලා දාලා උන් දෙන්නා එක්කම මිදුලට ආවා. ෂෝටා මටත් කලින්ම දුවලා ගිහින් එළියෙ පුටුවක වාඩිවෙලා කකුල් දෙකත් උඩට ගත්තා.

"රන්දු උඹ විහගට කෝල් කලාද..?"

"දවස් දෙකක් විතර කතා කලා. ඊයෙත් කතා කරලා කිව්වා අද හවස පංති එනවා කියලා. ඇයි මොකක් හරි අවුලක්ද..?"

"නෑ, බං ඌට ෆෝන් එක හම්බඋනාට පස්සෙ පැණි පෙරිල්ල ඩබල් වෙලා. මූ පෙරේදත් කෙල්ලො සෙට් එකකට උගේ ෆෝන් නම්බර් එක දීලා. අපි කෙල්ලෙක් දම්මලා දෙමුද කෝල් එකක්..?"

සාරංග සීන් එක පැහැදිලි කලා. ඒත් ඔය මොන වැඩේ කලත් විහගයව මට්ටු කරන්න බෑ.. 

"කාට කියලද කෝල් කරන්නේ..? අපේ කෙල්ලො හතර දෙනා කතා කලොත් ඌ අදුන ගනීනේ.."

"ඌට කතා කරන කෙල්ලො තොගේ බලපුවාම ඌට කටහඩවල් වෙන් කරලා අදුනගන්න බෑ බං.. අපි ජනාලිව දාලා වොයිස් එක වෙනස් කරලා ඌව පොඩි ට්‍රයල් එකක් යවලා බලමු.."

මුන් දෙන්නා මේ තකහනියක්ම ඇවිත් තියෙන්නෙ අපේම එකෙක්ට අංචියක් අදින්න. නැතුව වෙන හදිස්සි පණිවිඩේකට නෙමෙයි. හෙට හවස අපේ කොල්ලො පස් දෙනාම අපේ ගෙදර පාඩම් කරන්න එනවා කියලා මුන් දෙන්නා යන්න ගියා.

දවල් ඉක්මනට කාලා මං එකයි කාලට විතර එළියට බැස්සෙ සචී දෙකට නුගේගොඩට එනවා කියපු නිසා. මං ගිහින් පැය කාලකට විතර පස්සෙ එයා කහ පාට පිනපෝ ගවුමකුත් ඇදගෙන බබා වගේ පැද්දි පැද්දි ආවා. ඒ කිට් එකට කෙල්ල මාර ලස්සනයි. හරියට කහ කිරිල්ලි වගේ..

"මොකද රන්දු අමුතු විදියට බලන්නේ..?"

"බැලුවෙ අද උඹේ ලස්සන.."

මං ඇත්තම කිව්වා. කෙල්ල ලැජ්ජ  හිතිලද කොහෙද කතාව වෙන පැත්තකට හැරෙව්වා.

"අපි දැන් කොතෙනටද යන්නේ..?"

"ඇයි බං කෙතෙන්ටද යන්නෙ කියලා දන්නවා නම් මං උඹට එන්න කියනවයෑ. බැහැයි කඩ හැටකට විතර රිංගන්න මට බෑ.. එක තැනකින් ගමු.." 

"හරි එහෙනම් අපි නෝ ලිමිට් යං.."

"උඹටයි මටයි නෝ ලිමිට් යන්න පුළුවන්ද සචී..?"

මං එහෙම ඇහුවෙ වෙන තේරුමක් ඇතිව. අපි නෝ ලිමිට් යන්න හැදුවට අපේ ගමනට ලිමිට් දාන්න කී දෙනෙක් එයිද කියලා කවුද දන්නේ.. මං සචී දිහා බලද්දි ඒකි හෙන දුක හිතෙන විදියට මගේ දිහා බලන් ඉන්නවා.. 

"ලිමිට් එකක් එනකල් අපි යං රන්දු.."

ඒක අහලා මාව කරකවලා අතෑරියා වගේ උනා. ඒ කතාවෙන් සචී මට ඇගෙව්වේ එයා ලිමිට් එකක් එනකල් මං එක්ක ඕන තරම් දුර යන්න ලෑස්තියි කියන එකද..? 

"මොනවද මේ කල්පනා කරන්නේ..? එන්න යං.."

සචී මගේ අතින් ඇදගෙන පාර පැන්නත් මට කතා කරන්න දෙයක් ඔලුවට ආවෙම නෑ. මේ කෙල්ලොත් වෙලාවකට මාර හතර බීරි කතා තමයි කියන්නේ. සචී ඉස්සර වෙලා ගිය නිසා මං එයා දිහා බලාගනෙම පිටි පස්සෙන් ගියා. කෙල්ලට මේ ඇදුම් කඩ මාර හුරුයි වගේ. ගේ ඇතුලෙ ඇවිදිනවටත් වඩා මතකෙන් මේක ඇතුලෙ ඇවිදින්නේ. ඒකි සාරි හතරක් පහක්ම දිගෑරලා බලලා අන්තිමට එකක් තොරගත්තා. ක්‍රීම් පාටට හුරු සාරිය ඇත්තටම අපේ අක්කට ලස්සනට තියෙයි කියලා මට හිතුනා.

"මේක හොදයිද රන්දු..? ඔයා මේකට කැමතිද..?"

"සාරිය නම් හොදයි.. ඒත් මේක ගොඩක් ගණන් ඇතිනේ.."

මොනව කරන්නත් මං ගෙනාවෙ රුපියල් දෙදාහයි. මේක ඊට වඩා වටිනවා ඇති. මං නිකමට හරවලා ගාණ බැලුවා. දෙදහස් පන්සිය පනහයි. මේකිත් මාව මාර අමාරුවක තමයි දාන්න යන්නේ..

"මං ළග තියෙන්නෙ දෙදාහයි බං.."

මං සචීගෙ කණට කරලා ඇත්තම කිව්වත් ඒකි ඒක ඇහුනෙ නෑ වගේ හිනා උනා.

"මිස් මේක ගන්නවද..? මිස් සුදු නිසා මේ කලර් එක හොදට යනවා.."

සේල්ස්මන් සචී දිහා බලලා ඇහුවෙ මේ සාරිය ඒකිට කියලා හිතාන වෙන්න ඇති.

"ඔව් ඕක දෙන්න.."

"මිස් ලයිනින්.."

අනේ අම්මපා මේ යකා අපිව විකුණන්නමයි හදන්නේ. වෙන ගන්න මගුලක් අපේ අක්කා ගන්නෙ නැතෑ. මං එහෙම හිතුවට සචී ඒක අරගත්තා. දැන් ඉතිං බිල ගෙවන්න එදා වගේ හැට් කලෙක්ෂන් එකක්වත් දාන්න වෙනවා. බිල් කරන්න ගියාම ගාණ දෙදහස් හයසිය පණහක්. මගේ දෙදාහත් අරන් සචී ඉතුරු ගාන දාලා ගෙවද්දි මට පොළව පලන් යන්න හිතුනා. ඇයි දෙයියනේ බැංකු මැනේජර්ගෙ පුතා බඩු අරන් සල්ලි මදි උනාම කෙල්ලෙක් ලොස් නැතුව ඒක ගෙවන එක වාවන්න පුළුවන්ද..? ඒත් ඉතිං වට් ටු ඩූ නපුරු කලට කියලා හිතලා මං සචී එක්ක එළියට ආවා.

"ඉතරු ගාණ මං හෙට ගෙවන්නම් සචී.. ඔයා කරපු උදව්වට ගොඩක් තෑන්ක්ස්.."

"ඒ සල්ලි මට එපා රන්දු.. ඔයාගෙ අක්කගෙ ප්‍රසන්ට් එකට මමත් දායක උනා කියලා හිතා ගන්නකෝ.."

මේ කෙල්ල කරන වැඩ වලින් මම දවසින් දවස එයාට ණය කාරයෙක් වෙනවා.

"රන්දු තාම වෙලාව දෙකයි දහයයි. අපේ කට්ටිය එද්දි තුන විතර වෙනවනේ. අපි මොකද කරන්නේ..?"

සචිත් අහන්නෙ මාර කතා. කරන්න නම් කොයි තරම් දේවල් තියෙනවද..? ඒත් මේ රන්දුවා ක්ලීන් සූට් එම්ටි පොකට් කියලා ඇයි මේ කෙල්ලට තේරෙන්නෙ නැත්තේ.

"අපි ටිකක් කතා කරන්න පුළුවන් තැනකට යං.."

අපිට කතා කරන්න ඕන නම් මේ නුගේගොඩ ඉදලම ඒක කරන්න බැරිද කියලා මං කල්පනා කරලා බැලුවා. ඒත් මේ පට්ට දවාලෙ මේ තරම් ජනාකීර්ණ ටවුන් එකක දාඩිය පෙර පෙර කෙල්ලෙක් එක්ක කතා කර කර ඉන්න පුළුවන්ද.? මට පටාස් ගාලා මතක් උනේ අඩු මුදලට වැඩි වටිනාකමක් තියෙන එකම තැන.. පබ්ලික් ලයිබ්රිය.

මං සචීවත් ඉස්සර කරගෙන බස් එකට නැග්ගා. මේ ක්‍රොන්ක්‍රීට් වනාන්තරේ කොයි තරම් සෙනග හිටියත් ලයිබ්රි එකට ගියාම එතන තිබුණෙ හරිම නිස්කලංක බවක්..

"අපිට ආපහු නුගේගොඩට යන්න වෙලා ඇතිවෙයිද රන්දු..?"

ගේට්ටුවෙන් ඇතුළට යන්නත් කලින් මේකි ඔරලෝසුව දිහා බලලා බර බරේ දානවා. දැන් කොහේ හරි යං කියලා කිව්වෙත් එයාමයි. ආවට පස්සෙ යන්න තදියම. අපි දෙන්නා කැන්ටිමට ගිහින් බීම බෝතල් දෙකකුත් අරන් අයිනකින් ඉදගත්තා. ම්හ්.... විනාඩි පහක් විතර ගියත් කෙල්ල කතා කරන පාටක් නෑ. බීම බටේ ඇගිලි දෙකෙන් අල්ලගෙන බෝතල් අඩිය පහුරු ගානවා.

"සචී.... මොනවද ඔයාට කියන්න තියෙන්නේ..?"

"නිරෝධ ගැන.."

ඒකි එකපාරටම කිව්වා විතරයි මගේ ඇගේ කරන්ට් එකක් ගියා වගේ දැනුනා. කොහොමත් සචී ඔය ගැන කොයි වෙලාවක හරි කතා කරනවා කියලා මං දැනන් හිටියා.

"ඇයි සචී ඌ ඔයාගෙන් මොනා හරි ඇහුවද..?"

"එයා මගෙන් මුකුත් කෙලින්ම ඇහුවෙ නෑ. ඒත් මං ඒ ගැන දැනගෙන හිටියා.."

ඔව් ඉතින් ගෑනුන්ට ඉව තියෙනවා කියලා කියන්නෙ නිකමටයෑ.. ගොනා හැරෙනකොට දන්නවා ඇති කෙසෙල් පැලේට කෙලින්න කියලා..

"දැන් ඉතිං මොකක්ද තියෙන ප්‍රශ්නේ..?"

"ප්‍රශ්නෙ මේකයි රන්දු. නිරෝධ මෙච්චර දවස් ඕක යාළුවන්ට කියලා තිබුණෙ නෑ. ඒත් එයා ළගදි ඕක අපේ කට්ටියට කියලා තියෙනවා. මට දැන් සාරංගලගෙන් බේරුමක් නෑ.."

"ඌ ඕක කාටවත් කිව්වෙ නෑ සචී.. සාරංගලා දැනගෙන තියෙන්නෙ වෙන විදියකට. හැබැයි මට ඕක කලින් කියලා තිබුණා. ඒත් මේ ළගකදි.."

"ඒ කියන්නෙ ඔයා කලින් දැනන් හිටියා.. නිරෝධ මොනවද කිව්වෙ රන්දු..?"

"ඔයාගෙ කැමැත්ත අරන් දෙන්න කියලා කිව්වා.. ඔයාට දෙන්න ලියුමකුත් දුන්නා. ඒක තාම මගේ ළග.."

ඒ පාර කෙල්ල ආපහු කල්පනා සාගරේ.. මම බටෙන් බීම උගුරක් බිව්වා විතරයි මගේ රත්වෙලා තිබුණ පපුව සීතල වෙලා ගියා වගේ දැනුනා.

"සචී ඔයා කෙනෙක්ට ආදරේ කරනවා කියලා එදා නුවර ගිහින් එද්දි මට කිව්වනේ.. ඒ නිරෝධ නෙමේද..?"

ඔය ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න කල් මේ පිස්සු කොල්ලගෙ පපුව කොයිතරම් පිච්චුනාද කියලා සචී දන්නෙ නෑ. ඒත් ඒකට උත්තරයක් නොදී අහක බලන් හිටපු ඒ මූණ මම මගේ පැත්තට හරව ගත්තා.

ඒ ලස්සන ඇස් පිහාටු යට වැටෙන්න බලාගෙන හිටපු කදුළු බෝල දෙකක් කම්මුල් තෙමාගෙන ගලාගෙන එද්දි මගේ හිතට දැනුනෙ ලොකු දුකක්.

"කියන්න සචී... හැමදේම කියන්න.. ඔයා අඩනවා බලන් ඉන්න මට බෑ.."

"මගේ හිතේ නිරෝධ ගැන ආදරයක් නෑ රන්දු.. ඒත් පොඩිකාලෙ ඉදලා යාළුවෙක් නිසා මට ඒක එයාට කෙලින්ම කියන්න බෑ. මගේ.. මගේ  හිත තියෙන්නෙ වෙන කෙනෙක් ගැන රන්දු.."

එහෙම කියලා කෙල්ල මේසෙට ඔළුව තියාගෙන ඉකිහගන්න ගත්තා. මං එයාගෙ ඔළුව හිමීට අතගෑවෙ සචීව නලවන්න කියන්න ඕනෙ මොනවද කියලා හිතාගන්න බැරි උන නිසා. ඒ අතරෙ මං කල්පනා කලේ සචිනිගෙ ආදරේ දිනාගන්න පුළුවන් උන වාසනාවන්තයා කවුද කියලා. නිරෝධ ට්‍රැක් එකෙන් අයින් උනාට ඊට වඩා ලොකු චැලේන්ජර් කෙනෙක් මට ඉස්සරහින් ඉන්නවා.. ඒත්......

ගොඩක් වෙලාවකට පස්සෙ ඔළුව උස්සද්දි කෙල්ලගෙ ඇස් රතුපාට වෙලා කම්මුල් රෝස පාට වෙලා  තිබුණෙ. මේ විදියට ඉද්දි ඒකිගෙ කවදාවත් නොදැකපු අහිංසක ලස්සනක් මට පෙනුනා.

"ඔයා නිරෝධට කෙලින්ම කියන්න මං කැමති නෑ, ආයතේ කවදාවත් මට කරදර කරන්න එපා කියලා.."

"එතකොට ඔයා ආදරේ කරන්නෙ කාටද..?"

"ඒ ගැන මගෙන් අහන්න එපා රන්දු.. ප්ලීස්... මං මහ පව්කාරියක්.."

කවදාවත් කෙනෙක්ගෙ හිත රිදෙන්න වචනයක් නොකියපු සචී පව්කාරියෙක් උනේ කොහොමද කියලා මට හිතාගන්න බැරි උනා.

"මං ආදරේ කරන කෙනාට ඒක ඉක්මනට කියන්න. ඒක කියනකල් එයා බලන් ඉනනවා කියලා එදා ඔයා කිව්වෙ කවුරු ගැනද..?"

මං කියපු වචනයක් ගානෙ කෙල්ලට මතකයි..

"මං කිව්වෙ ඒ නිරෝධ කියලා හිතලා.."

"ඒක තමයි මං කිව්වෙ මං හරි පව්කාරියක් කියලා.."

ඒ කතාව මට තේරුණේ නෑ. ඒත් ඒ ගැන හාර හාර අහන එකෙන් වෙන්නෙ මේ අහිංසක හිත රිදෙන එක විතරයි.

"ඉතිං රන්දු... මට ඔයා ගැන කියන්නෙ නැද්ද..? ඔයාගෙ ගර්ල් ගැන..?"

මෙච්චර වෙලා කරපු කතාව පැත්තකට හරවලා මේකි හිනාවෙලා මගෙන් ඇහුවා. කෙල්ලො වෙලාවකට අහස වගේ. මේ දැන් වැහැලා ආයෙ තත්පරෙන් පායනවා.

"මට කොහෙද ගර්ල් කෙනෙක්..? කවුද ඔයාට කිව්වේ..?"

"කිව්වෙ ගොඩක් විශ්වාසවන්ත කෙනෙක්.."

"මොනවද එයා කිව්වේ..?"

"ඔයා පෝය දවසෙ ලස්සන කෙල්ලෙක්ගෙ අතින් අල්ලගෙ කැළණි ගිහින් ඉන්නවා දැකලා තියෙනවා.."

හුටා... ගම කාලා.. කවුරු හරි වහු කුණෙක් සචීට ගින්න දීළා. ඒත් ඒ තරම් සෙනග ගොඩක් මැද්දෙ මං හංසිගෙ අත අල්ලපු එක අපේ අම්මයි අක්කවයිත් නොදැකපු එකේ ඒක වෙන සැටලයිට් එකකට කොහෙන් අහුඋනාද මන්දා..

"ඇයි කල්පනා කරන්නේ..? කතාව ඇත්තනේ..?"

"සීයට පනහක් ඇත්ත, සීයට පනහක් බොරු.."

මං එහෙම කියද්දි සචීගෙ ඇස් ජිල් බෝල දෙකක් වගේ ලොකු උනා.

"මොකක්ද ඇත්ත..? මොකක්ද බොරු..?"

"එදා විනාඩියකට විතර කෙල්ලෙක්ගෙ අතින් අල්ලගන්න උණා. ඒත් ඒ මගේ ගර්ල් ෆෙන්ඩ් නෙමෙයි.."

ඊට පස්සෙ මං එදා මුළු සිද්ධියම සචීට කිව්වා. කොහොමත් හංසි අපේ ගෙදර යන එනවා කියලා එයා දන්නවනේ..

"එතකොට ඔයාගෙ ගර්ල් රාණිද..? ඒ නංගි හරි ලස්සනයි.. හැබැයි එයාට බදින්න කෙනෙක් ඉන්නවලු.."

කෙල්ලො තමයි කෙල්ලො. මුන් නොදන්න දේකුත් නෑ. දන්න දේකුත් නෑ. කතාව අතරෙ මං නිකමට වගේ ඔරලෝසුව දිහා බැලුවා. මළා.. හතරයි කාලයි. මේ තරම් වෙලා කතා කලා කියලා දැනුනෙවත් නෑ. මෙලහකටත් අරුන් ටික අපි දෙන්නව හොයන්න සී අයි ඩී එකෙන් දාලා ඇති.

"මං ඔයාව හම්බවෙන්න ආවා කියලා අක්කි දන්නවා. එයා ඒක කාටවත් කිව්වද දන්නෑ.."

කියලා තිබුනොත් නම් ඉතිං සොරිම තමා. ගෙදර ගිහින් ඉවරයි. කොයි එකටත් මං සචීව ගෙදරට දාලා පංති ඇරෙන වෙලාවට නුගේගොඩ බෝ ගහ ළගට ගියා. මට වැඩිපුරම ඕනෙ උනේ වැඩේ ලීක් වෙලාද බලන්න..

මාව දැක්කා විතරයි කට්ටිය මගේ තොප්පියෙ ඉදලා සෙරෙප්පු දෙකට යනකල්ම දෙතුන් පාරක් බලලා ප්‍රශ්න වැලක් ඇහුවා. ඒත් අචිනි කිසිදෙයක් ඇහුවෙ නැතිව අමුතු බැල්මක් දැම්මා විතරයි. ඒ ලුක් එකෙන් මට තේරුණේ මේකි වැඩේ පත්තු කරලා නෑ කියන එක.

"කෝ බං විහගයා..? ඌ ආවේ නැද්ද අද..?"

මං හතර වටේ බලලා ඇහුවෙ මගේ අතීසාර මිත්‍රයගෙ මූණු පොඩ්ඩ නැති නිසා.

"උඹ හොද වෙලාවට දැන්වත් ආවේ. බලපං අද උඹේ යාළුවට වෙන දේ ඌවත් දන්නෑ.."

"මේකයි සීන් එක.. අපි උගේ ෆෝන් එකට දුන්නා හොද ලණුවක්. කතා කලේ ජනාලි. කොහොම හරි හවස හයට ඒ කෙල්ලව බලන්න අපේ ගොනා එනවා කිව්වා නාවල පාරෙ බස් ස්ටෑන්ඩ් එකට."

"කවුද බං පළවෙනි පාරට කෙල්ලව බලන්න හැන්දෑවෙ හයට යන්නේ.. ඌට පිස්සුද..?"

"මුළු විස්තරේම හෙට කියන්නම්. ජනා කිව්වා ඒකි රොටරි එකේ ක්ලාස් යන්නේ. හයට බස් ස්ටෑන්ඩ් එකට එනවා කියලා."

අපිට මාට්ටු වෙයි කියලා වෙන්නැති මුලද බෑ බෑ කියලා මූ අන්තිමට හා කිව්වා.

"දැන් කව්ද ඌ හම්බවෙන්න එතනට යන කෙල්ල..?"

මට අහන්න ප්‍රශ්න ගොඩක් තිබුණත් විහගයා ගැන පව් කියලත් හිතෙනවා. ඌ කවදාවත් මට්ටු වෙන්නෑ. ඇඹලයා වගේ දකින දකින කෙල්ල පස්සෙ යනවනේ.. 

"අපි බඩු ඇරේනජ් කරලා තියෙන්නේ. සිද්ධිය පියවි ඇහෙන් බලාගන්න ඕන නං උඹත් වරෙන් අපි එක්ක.."

අචිනිලා යන්න ගියාට පස්සෙ අපි පස්දෙනා හැංගි හැංගි ඒ පැත්තට ගිහින් බස් එකකට කවර් උනා. විහග පන්ති එන්නෙත් නැතිව ගෙදරට වෙලා ඌට තිබුණ හොදම ඇදුම අයන් කර කර ඉන්න ඇති.

හයට පහක් වෙද්දි මූ ඇවිත් බස් ස්ටෑන්ඩ් එකේ තිබුණ කඩයක් ළග හිටගත්තා පොර වගේ. මැක්සා කිටක් ගහලා  හිටපු මගේ යාළුවා දකිද්දි මට හිනා ගියා වගේම ඌ ගැන දුකත් හිතුනා.

ඊට ටිකකට පස්සෙ තාර පීප්පයක් විතර පුංචි, ලා කළු පාට නංගියෙක් ඇඹරි ඇඹරි ගිහින් ඒ කිට්ටුවෙන්ම හිටගත්තා. සාරංග හිනාවෙලා ඒ කෙල්ලව පෙන්නලා ඇහැක් ගැහුවෙ වැඩේට දාපු කෙල්ල එයා කියලා පෙන්නන්න. මූ කොහෙන් හොයා ගත්තද මන්දා මේ ඩෝසරේ. ටිකකින් මේ කෙල්ල බෑග් එක ඇරලා රෝස පාට සර්වියට් එකක් වගේ දෙයක් අතට ගත්තා විතරයි විහගයා බය උනා. ඒක වෙන්න ඇති  හදුනාගැනීමේ සංඥාව. ක්ලාස් කට් කරගෙන හොදම සූට් එක ඇදගෙන බලන්න ආව කෑල්ල මේකද කියලා හිතෙද්දි ඌට එලොව පොල් පේන්න ඇති.

පොර එතතින් මාරුවෙන්න හදද්දි කෙල්ල උගේ අතින් අල්ලගෙන මොනවද ඇහුවා. දැන් උගේ අත දඩු අඩුවට අහුවුනා වගේ ඇති. මූත් මේග අතාරින පාටක් නෑ වගේ. මූ කෙල්ලව තල්ලු කරලා දාලා දඩි බඩි ගාලා පාර පැන්නෙ අපි ඉන්න පැත්තට.  අපි පස්දෙනාම එක සැරේ  හූ කියාගෙන පාරට පැනලා ඌව වට කර ගනිද්දි විහගයාගෙ මූණ වතරට දාපු පාන් භාගයක් වගේ බෙරි උනා. බස් ස්ටෑන්ඩ් එකේ හිටපු සමහරුන්ට සීන් එක තේරිලා වගේ උන් අපි දිහා බල බල හිනාවෙනවා. ඒ අතරෙ අර කෙල්ල සාරංගට ටටා පාරක් දාලා යන්න ගියා. ඒක දැකපු විහගයා දැනගත්තා මේක සාරංගගෙ ගේමක් කියලා.

"මොනවද ඩෝ බලු වැඩ කරන්නේ..?"

ආ..... අපේ මනමාල මහත්තයට තදවෙලා වගේ.. 

"කොහොමද උඹේ පියුමි නංගි ලස්සනද..?"

සාරංග නලෝලා අහද්දි මුගේ රතු කට්ට පැනලා වාර්තාගත දුරකට. ඒ සමහර විට ලැජ්ජාවත් කලවං උන නිසා වෙන්න ඇති.

"කොහෙන්ද උඹලා ඒකිව හොයාගත්තේ..?"

"ඇයි නංගි කෙට්ටු වැඩිද..?"

"ඒකි හොදයි හෙණ ගගහා වහින රෑක ඇස් දෙක පියාගෙන තුරුල් කරන් ඉන්න.."

එහෙම කියලා අපිව තල්ලු කරගෙන මූ ගිහින් බස් එකක එල්ලුනා. මං ගෙදර ගිහින් ෆෝන් කරද්දි උගේ මොබයිල් එක ඕෆ්. ගෙදරට ගත්තත් මූ ෆෝන් එකට ආවෙ නෑ. අද කාපු චාටරේට බඩ පිරිලා කොල්ලා වේල පහ නිදි ඇති.

                                             *****************************

සෙනසුරාදා හවස් වෙද්දි අපේ කට්ටිය කිව්වා වගේම අපේ ගෙදරට කඩා පාත් උනා පාඩම් කරන්න කියලා. ෂෝටවල් දාලා ටී ෂර්ට් ගහලා බයිසිකල් වල ආවට මුන් පාඩම් කරන්න පොත් ගෙනාපු පාටක් පෙනුනෙ නෑ. පැපරාසි ටික වගේ මුන් ටික ආවා විතරයි අපේ ගෙදර මෙච්චර වෙලා තිබුණ සාමකාමී වාර්ථාවරණය වාශ්ප උනා.

"රෑ වෙලා පාඩම් කරමු බං.. වරෙන් එළියට.."

මං සෙට් එකම අරගෙන එළියට ආවේ අපේ තාත්තට අහුවුනොත් මුන් පස්දෙනා විතරක් නෙමෙයි මගෙත් වීසා කැන්සල් වෙනවා කියලා දන්න නිසා. අපි කට්ටිය වටකරගෙන සාරංග විහගගෙ මූණ දිහා බලාගනෙම අර සීන් එක ගැන කියන්න පටන් ගත්තා.

"හරි හරි නවත්ත ගනින් ඔය බම්බුව.. දැන් ඒක ඉවරයිනේ.."

විහග සාකච්ඡා වටය පටන් ගනිද්දිම විරෝධතාවය ප්‍රකාශ කලා. ඊට පස්සෙ සාරංග කිව්වෙ අර ඩෝසර් කෙල්ල ගැන.

"ඒකි අපේ පැත්තෙ ඉන්න පොඩි වයර් ෂෝට් එකක් තියෙන ඩයල් එකක්. චොක්ලට් එකක් දෙනවා කිව්වොත් ඕන පරිප්පු වැඩක් කරගන්න පුළුවන්.."

"පේනවා පේනවා.. ඒකි චොක්ලට් කාලම වෙන්නැති ඔය සද්දන්ත ශරීරෙ හදාගන්න ඇත්තේ."

මං එහෙම කියද්දි විහගයා මටත් රවන්න ගත්තා. මූ  ඇහෙන්නෙ නෑ වගේ හිටියට කණ හලාගනෙ ඉන්නේ.. 

"ඉතිං මං දවල් ගිහින් ලොකු චොක්ලට් එකක් දීලා ඒකිට සීන් එක කිව්වා විතරයි ඒකි එක පයින්ම කැමති උනා.."

සාරංග ඒක කියද්දි සිද්ධිය මතක් වෙලා අපිට ආයෙම හිනා ගියා.

කට්ටිය රෑ ඇගපත හොදගෙන කාලා බීලා මගේ කාමරේට රිංගුවෙ පාඩම් කරන්න පටන් ගමු කියලා. සාරංගයි දිනුකයි ආර්ට් කරන නිසා අපි හයදෙනාටම පොදු වෙච්ච ආර්ථික විද්‍යාව පේපර් ටික කරන්න ගත්තා.

"ඒයි උඹලා දන්නවද වැඩක්..?"

එක පේපර් එකයි කරලා ඉවර කලේ විහගයා කියවන්න ගත්තා..

"ඉක්මනට කියපං උඹේ ඔය වැඩේ.."

"උඹලා දන්නවද අපේ අයියා ඒ ලෙවල් වලට පාඩම් කරපු හැටි..? නෑනේ, විභාගෙට මාස හතරකට විතර කලින් පොර එයාගෙ ඒ ලෙවල් පොත් ටියුට් සේරම ඇද වැහෙන්න ඇතිරුවා.."

"ඒ මොකටද බං..?"

"ඒවා සේරම එක එක පාඩම් කරලා අයින් කරන කල් ඇදේ නිදාගන්න ඉඩ නෑනේ.. එහෙම පාඩම් කරලා ඉක්මනට ඇද හිස් කරගන්නවා කියලා ඒ දවස් වල අපිටත් කිව්වා.."

ඒකත් මාර හතර බීරි කතාවක් තමයි. මූ කියන විදියට නිදියගන්න එක්කො සේරම ටික පාඩම් කරලා ඉවර කරන්න ඕනෙ නැත්නම් ඇහැරිලා ඉන්න ඕනේ..

"ඉතිං උඹලගෙ අයියා නිදාත්තෙ නැද්ද.?"

"නිදාගත්තා බං නිදාගත්තා.."

"ෂා.. මාරයිනේ.. ඒ කියන්නෙ අයියාකාරයා විභාගෙ ඉවර වෙන්න කලින් අර පොත් සේරම පාඩම් කරලා ඉවර කලාද..?"

අපි ඇහුවෙ කොරවෙලා වගේ. ඒත් මුගේ අයියා ඒ තරම් උගත් පොරක් කියලා ආරංචියක් නෑ..

"පිස්සුද බං, ඒකා විභාගේ ඉවර වෙනකල්ම ඇද ළග පැදුරක් දාගෙන බිම නිදාගත්තෙ. විභාගෙට පස්සෙ අර පොත් ටික ආපහු එකතු කරලා ඇද යටට දැම්මා.."

අපි කට්ටියටම මහ හයියෙන් හිනා යද්දි අම්මා කාමරේට ආවා..

"කට්ටිය පාඩම් කරන සද්දෙ පාරටත් ඇහෙනවා ඇති. මං අක්කටත් ටීවී එක දාන්න එපා කිව්වා ඔයාලා පාඩම් කරන නිසා. මේ ගොල්ලො කතන්දර කියනවා.."

අම්මා එහෙම කියද්දි කතන්දරේ පටන් ගත්තු විහග පණ දාගෙන ගාණක් හදනවා. බොරුවට බැනලා වගේ කාමරෙන් ගිය අපේ අම්මා ආපහු ආවෙ කෝපි  හදාගෙන. අපි කට්ටිය උත්තර සාකච්ඡා කර කර රෑ එක විතර වෙනකල් පේපර් කලා.

"හ් ආ................."

ෂෝටා යාර තුනක් විතර දිග ඈනුමක් ඇරපු පාර මට හිතුනෙම උගේ කට ඉරෙයි කියලා..

"ටිකක් නිදාගනෙ එලාම් එක තියලා නැගිටිමු බං.."

ෂෝටා කියද්දි හැමෝම ඒකට කැමති උනේ නිදිමත වැඩි නිසා වෙන්න ඇති. මං එහා කාමරේ අයිනක දාලා තිබුණ අමතර මෙට්‍රස් එක ගෙනත් මගේ ඇද ළගින් දැම්මා.

"වැඩිය කොට්ට නම් නෑ බං.. හතරයි තියෙන්නේ.."

"මොන කොට්ටද මල්ලී, අපිට කළු ගලක උනත් ඔළුව තියන් නිදාගන්න පුළුවන්.."

සාරංගයි, දිනූකයි, නිරෝධයි එක්ක ඒ මෙට්‍රස් එකට පැනලා දිගා උණා. ෂෝටා ඇදේ බිත්තිය පැත්තෙ අයිනට ගියා. මං එලාම් එක උදේ හතරට තියලා ඒක ඇද ළගම තිබුණ පොත් කබඩ් එක උඩින් තිබ්බා.

"ඔය ලයිට් එක ඕෆ් කරලා වරෙන් බං.."

උන්ගෙ සද්දෙට ලයිට් එක ඕෆ් කරලා ඇදේ හිටපු ෂෝටයි විහගයි මැද්දට පැන්නා. විනාඩි දහයක් විතර යද්දි ලී මෝලවල් දෙක තුනක් ලාවට ස්ටාට් උනා. මටත් නින්ද ගියා දන්නෙම නැතුව.

තද නින්දෙ හිටපු මාව ඇහැරුනේ ලස්සන මියුසික් එකක් ඇහිලා. ටිකක් වෙලා අහගෙන ඉද්දියි මට මතක් උනේ ඒ එලාම් එකේ සද්දෙ කියලා. ඒ සද්දෙට අපේ එකා දෙන්නා නිදිමතේ කෙදිරි ගගා ප්‍රතිචාර දක්වන්න ගත්තා. ඇදේ අයිනේ හිටපු විහග අත දික් කලා නම් ඌට එලාම් එක ඕෆ් කරන්න පුළුවන්.. ඒත් ඌ තාම නිදි..

"විහග...... විහග... නැගිටපං බං.. ඔය එලාම් එක ඕෆ් කරපංකෝ.."

මං උගේ උරහිස හොල්ලලා කිව්වා..

"කෝ බං කොහෙද ඒක තියෙන්නේ..?"

විහගයා හිටියෙ මං ඉන්න පැත්තට හැරිලා. ඌ ඒක ඕෆ් කරන්න එහා පැත්තට හැරෙන්න ඕන.

"අනිත් පැත්තෙ බං තියෙන්නේ.. ඕක ඕෆ් කරපංකෝ මළ වදේ.."

"රා............යිට්"

කියලා මූ හැරෙද්දිම අම්මෝ කියලා මර ලතෝනියක් ඇහුනා. තාමත් එළාම් එක වැඩ. මං ඇද අතගාලා බලද්දි විහග හිටපු හරිය හිස්.. අඩියට දෙකට නැගිටපු මං ලයිට් එක දැම්මා. දැක්ක සීන් එකට මට හිනාවෙලාම නිදිමත ගියා.  

විහගයා සාරංගගෙයි දිනුකගෙයි ඇග උඩ හතරගාතෙ දාලා වැටිලා. උන් තුන්දෙනා එකාට එකා තල්ලු කරන් නැගිටින්න හදනවා. මං එලාම් එක ඕෆ් කරලා ෂෝටට කතා කලා. ඌත් පුදුම වෙලා වගේ විහග දිහා බලාගෙන.

"මොකක්ද බං මේ මෙතන වෙන්නේ..? මොකද මුන් තුන්දෙනා උදේ පාන්දර මරාගන්නේ..?"

"මරාගන්නවා නෙමෙයි බං.. මූ එලාම් එක ඕෆ් කරන්න කියලා අනිත් පැත්ත හැරුනා විතරයි ඇදෙන් බිම.."

මං විස්තරේ පැහැදිලි කලා. ෂෝටයි නිරෝධයයි හිනාවෙවී බලන් ඉද්දි අරුන් තුන්දෙනාම නැගිට්ටෙ  අපිට බැන බැන.

"අනේ යකෝ උඹලට ජොලි ඈ...?"

සාරංග විහගව තල්ලු කරලා දාලා ඇදේ ඉදගත්තා.

"බලපං මූ උදේම මහසෝනා වගේ ඇගට පැනලා දවසම මස්ත බාල්දු කලානේ.."

"ඉට්ස් ඕකේ නව්. දැන් මොකද කියන්නෙ පාඩම් කරනවද..?"

මං ඇහුවෙ කට්ටියගෙ අදහස් දැනගන්න.

"පාඩම් කරමු.. ඒත් නිදිමතයි බං.."

එහෙම කියලා ෂෝටා ආයෙත් ඇදේ පෙරලුනා..

"එහෙනම් කට්ටියම නිදිමත යන්න වොෂ් එකක් දාගනෙ එමු..?"

එකෙක් ඉවරවෙලා අනිකා හොදන්න හිටියොත් අපිට හෙට දවල් වෙනකල්ම හොද හොද ඉන්න වෙයි. අපි කට්ටියම ඇදුම් ගලවලා ලයිට් එක ඕෆ් කරලා එක සැරේම බාත් රූම් එකට රිංගුවා. හතර වටේ තියෙන පයිප්ප ෂවර් සේරම ඇරලා වතුරෙ නටද්දි නිදිමත කොහෙන් ගියාද දන්නෑ.

"මචං උඹලගෙ අක්කා ඇවිත් ලයිට් එක දායිද මන්දා..?"

ෂෝටා සබන් ගාන ගමන් වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ.. 

"අවුලක් නෑ බං.. එයා මේකට එන්නෙ නෑ.. උඩත් එකක් තියෙවා.."

අපි නිගන්ඨයො සෙට් එක වගේ නාලා කරලා එකා එකා කාමරේට රිංග ගත්තා.

"සීතලයි බං.. තාම හතරහමාරයි, තේ එකක් තිබ්බා නම් මරු.."

මං කුස්සියට ගිහින් වතුර රත් වෙන්න තියලා ආවා. කට්ටිය පොත් ඇරගෙන වැඩ. අපි උදේ අට විතර වෙනකල් ටියුට් බෙදාගනෙ ෂෝට් නෝට් ගැහුවා.

"අද එකවුන්ට්ස් බං ක්ලාස් යන්නෙ නැද්ද..?"

"මේ දවස් වල අවසාන ගිණුම් කරන්නෙ.. කොහොම හරි ඒ නිසා යං.."

දඩිබිඩි ගාලා උදේට කාලා අපි කට්ටිය පන්ති යන්න ලෑස්ති උනා. කට්ටිය මෙහේ ආවෙ ෂෝටවල් දාගෙන නිසා පන්ති යන්න ඇන්දෙ මගේ ඇදුම්. මගේ ත්‍රී ක්වාටර් එකනම් ෂෝටට නියම උසට තිබුණ නිසා බෙල්ට් එකක් දාලා ඌ ඒක ඇන්දා. මට ඌව පෙනුනෙ හරියට ගලිවර්ලා ටිකක් මැද්දෙ හිටපු ලිලිපුට්ටෙක් වගේ. අද නිවාඩු දවසක් නිසා තාත්තා අපිව නුගේගොඩට ගිහින් බැස්සුවා. ඒකෙන් අවුලක් නැතුව වෙලාවට අපි ක්ලාස් එකේ.   



 

No comments:

Post a Comment