Wednesday, March 7, 2012

| සොදුරු නවෝදය | යෞවන සමින්ද්‍ර රත්නායක |



         
සෙනසුරාදා, ඉරිදා දවස් දෙක මහා අපත තාලෙට ගෙවිලා ගියා. ෆුට්බෝල් ෆැක්ටිස් කරන්න ග්‍රවුන්ඩ් එකට ගියත් ඉන්කිවත්, සමින්දිවත් මං දැක්කෙ නෑ. ඉන්කි කෙසේ වෙතත් සමින්දි නම් එන්නැත්තෙ ලැජ්ජාවට වෙන්න ඇති කියලා මං හිතාගත්තා..


බදාදා රාහුලෙත් එක්ක පළවෙනි මැච් එක තියෙන හන්දා මමයි, ටීම් එකේ අනිත් කොල්ලො ටිකයි සෑහෙන්න මහන්සි වෙලා ප්‍රැක්ටිස් කලා. මේ වාරෙ පළවෙනි මැච් එක අනාගත්තොත් ඉදලා වැඩක් නෑ.

"අරකා කිසිම ඕන කමකින් ප්ලේ කරලා තිබ්බෙ නෑ බෙකම්.."

නිවාඩු පාඩු වෙලාවෙ හති අරිනකොට බලයා මට ලංවෙලා කිව්වා. ඌ හිටියෙ මූණ හොදටම හතරැස් කරගෙන..

"කවුද පෙත්තාවඩුද..?"

"හ්ම්.."

මට එච්චරයි අහන්න උනේ, කුණාටුවක් එනවා වගේ පිඹගෙන පෙත්තාවඩු අපි ළගට ආවා..  

"උඹ මොනවද බෙකම්ට කිව්වේ..?"

ඌ ඒක චමිල්ගෙන් ඇහුවෙ ගහගන්න වගේ..

"මමයි, බෙකමුයි කතා කරන ඒවා උඹට කියන්න ඕන කියලා මං දැනගෙන හිටියෙ නෑ නේ.."

මහා නෝන්ඩි තාලෙට හිනාවක් දාලා බලයා කිව්වා..

"උඹයි බෙකමුයි ඕන මගුලක් කතා කරගත්තට මට කමක් නෑ.. හැබැයි කේලම් කියන්නෙ නැතුව.." 

"මොනවද ඩෝ... උඹ කිව්වේ..?"

"ඇයි කියපුවා ඇහුණෙ නැද්ද..?"

බලයයි, පෙත්තාවඩුයි තව ටිකකින් මෙතන මරා ගන්නවා. ඒක අපේ ටීම් එකට වගේම ග්‍රවුන්ඩ් එකටත් හොද නෑ. මං කතාව මැද්දට පැන්නා.. 

"චමිලුයි, මමයි කතා කරන එප උඹට ප්‍රශ්නයක්ද..?"

 පෙත්තාවඩුගෙන් මම මූණටම ඇහුවා..

"න්... නැහ්.."
  
"එහෙනම් පාඩුවෙ පැත්තකට වෙලා ඉදපං, නටන්න එන්නැතුව. අනුන්ගෙ කටවල් දිහා බලන් නැතුව හරියට ප්‍රැක්ටිස් කරපං.. බදාදා මැච් එක.."      

 "මං දන්නවා.."

පෙත්තාවඩු ඒ ටික කිව්වෙ අලි ඔලුවෙන්. උගේ කන රත්වෙන්න දෙකක් දෙන්න හිතුණත්, මේ වැඩ වලදි ඉවසීම අනිවාර්‍යය අගයක් වෙන්න ඕන කියලා මං හිතාගත්තා. නැතිනම් සෝමතිලක සර් උනත් හිතයිමට ටීම් ඒකේ කොල්ලොත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න බෑ කියලා..
  
"නියමයි බෙකම්.. ඔන්න ඔහොම තමා ගදයොන්ට කතා කරන්න ඕන.." 

ප්‍රැක්ටිස් කරන්නෙත් නැතුවම පැවිලියන් එක පැත්තට ඇවිදගෙන යන පෙත්තාවඩු දිහා බලාගෙන බලයා කිව්වා..

"ඌ නිතරම කොක්ටමයි එන්න හදන්නේ.. මොකක් නමුත් අවුලක ඌ ඉන්නේ.." 
  
"අවුල තමයි කැප්ටන් කම බං. ඌ බලන් ඉන්නෙ, සුදු රෙද්දක ඔතලා ලස්සනට උගේ අත් දෙක උඩින් සෝමතිලක සර් ඒක තියයි කියලා.."

"මං නැතත් ඌට කැප්ටන්කම දෙන්න සෝමතිලක සර්ගෙ මොලේ කොලොප්පන් වෙලා නෑ.. වරෙන් අන්තිම රවුන්ඩ් එක ගහමු.."

ප්‍රැක්ටිස් ඉවරවෙලා සෝමතිලක සර්ව හම්බවුණා. සර් නම් බුදු ෆිට් එකේ හිටියෙ අපිට රාහුලෙන් මැච් එක ගොඩදාගන්න පුළුවන් වෙයි කියලා.. මටත් ඒ විශ්වාසය තිබ්බා.. ඒත් පෙත්තාවඩු වගේ වහුකුනෙක් එක්ක ෆුට්බෝල් වගේ සාමූහික ක්‍රීඩා කරලා ජයගන්න ඕන ක්‍රීඩාවක් කරගන්නෙ කොහොමද කියන ප්‍රශ්නය මට තිබ්බා. ඒත් මං ඒ කිසිම දෙයක් සෝමතිලක සර් එකක් කියන්න ගියේ නෑ..

                                     *********************************

කොලෙජ් ලේන් එකට මෙහායින් තිබ්බ වැලි පාරට මං බයිසිකලේ හැරෙව්වෙ ටිකක් කලින් ඉස්කෝලෙට යන්න. මොකද අද මිසිස් ඇක්දුවලි ඉංශ්‍රීසි ඩික්ටේෂන් ගන්නවා කියලා කලින් දවසක පැහැදිලිවම කියලා තිබුණා. අද ෂුවර් එකටම අපේ පංතියෙ යම යුද්ධයක් වෙනවා. කොල්ලො කෙල්ලො ටික මෙලහකටත් පොත් පෙරලගෙන කට පාඩම් කරනවා ඇති..

"ඒ කියන්නෙ උඹට බෑ..."

කොලෙජ් ලේන් එකේ ඉස්කෝලෙ ළගම තියෙන වංගුවෙන් මතුවෙනකොටම මට ඇහුණෙ චතුරංගයගෙ කටහඩ.. උගේ ළගම හිටිය ලස්සන පුංචි නංගි කෙනෙක්.. ඒ කෙල්ල හෝ ගාලා අඩනවා..

"ම.... ම.. මං කැමති නෑ අයියේ.."

"ඇයි උඹ කැමති නැත්තේ.. බලපං.. මං ලස්සන නැද්ද..? මේ ඉස්කෝලෙ මං කොච්චර ජනප්‍රියයිද..? ඕන එකෙක් මාව දන්නවා. උඹේ අර කෝටුකිතයියට වැඩිය මං කොයි තරම් හොදද..?"

මොකක්ද යකෝ මේ හැන්සාඩ් වාර්ථාව..? චතුරංගයා ඌ ගැනම අඹ වර්ණනාවක් ගහගන්නේ.. කවුද මේ ඌ ළග දෙකට නැමිලා ඉන්න බටු ඇටේ..? 

"ම.. මට එපා එ.. එයා හොදයි.."

"හොදයි..? මං උඹට දෙන්නෙ කණ පැලෙන්න. බැල්ලි. මං උඹට මේ අන්තිම හොදින් කියන්නේ.. මං උඹලට මේ ඉස්කෝලෙ ඉන්න දෙන්නෙ නෑ.. මට අදම උඹෙන් උත්තරයක් ඕන.. මේ දැන්.."
         
චතුරංග අර පුංචි කෙල්ලට ගහන්න පැන්නා. ඒකි පණ බයේ පැත්තකට උණා. ඒ වෙද්දි මගේ ඔලුවට මේ විකාශනය වෙන සංස්කෘතික වාර්ථාමය චිත්‍රපටයේ කතා සාරාංශය මතක් වෙලයි තිබුණේ. මේක මේ හෙණ පැරණි කතාන්දරයක්. ආයෙත් අලුත් සී.ඩී වල ගහලා.. අපි රැවටෙයි ඕවට... 

"මං.. මං ප්‍රින්සිපල් සර්ට කියනවා.."

"කියලා තිබ්බොත් මං අද දවල් වෙද්දි මිලාන්ව මහ ඉස්පිරිතාලෙට යනවනවා.. තේරුණාද..?" 

කෙල්ලගෙ ඇස්වලින් හෝ ගාලා කදුළු කඩන්  පැන්නා. පව් අප්පා.. දුක කියන්නෙ පෙට්ටියෙන් එකයි.. තවත් බලා සිටීමේ ප්‍රීතියක් නැති හන්දා මං මේ ධාරානිපාත වර්ෂාව මැද්දට පනින්න තීරණය කලා..

"චතුරංග.."

මං කෙලින්ම ගියේ චතුරංගයි, අර කෙල්ලයි මැදට.. මාව දකපු ගමන් උගේ ඇස් දෙක මැලේසියන් රඹුටන් ලොද දෙකක් වගේ ලොකු උනා. මං කෙල්ල දිහාත් හොදට බැලුවා. එහෙනම් මේ ප්‍රියාවිය තමයි අර දහය වසරෙ මිලාන්ගෙ හිත ගත්තු පිංවන්තිය..
  
"බෙකම්.."
  
"උඹ මොකක්ද මේ කරන්නේ..?"

"ඇ.. ඇයි...?"

"ඇයි කියලා අහන්නේ..? මං උඹට එදත් කිව්වා.. මේ වැඩේ කරන්න එපා කියලා.."

"බෙකම් උඹ මේකට අත දානන් එපා.."

"අත නොදා බෑ.. නිලංකා කියන්නෙ මගේ නංගි කෙනෙක්.. ඒක මං උඹට මේ ආයෙත් මතක් කරන්නයි හදන්නේ.. නිලංකා ඔයා ක්ලාස් එකට යන්න.."

පුංචි කෙල්ලට මං කෙලින්ම කිව්වා. මං කියපු දේ අදහාගන්න බැරිව වගේ, ඒකි මං දිහා බැලුවා. සමහර විට ඉෂ්ඨ දේවතාවක් වගේ ඉස්කෝලෙ ඉන්න ජනප්‍රියම කොල්ලා ඇවිත්, තමන්ව ආරක්ෂා කරපු එක ඒකිට වාවගන්න බැරි වෙන්න ඇති.. පපුව පැලෙන්න ඇති..

"කිව්වම අහලා ක්ලාස් එකට යන්න.."

තාමත් ගල්වෙලා බලන් ඉන්න නිලංකා දිහා බලලා මං සැර කලා. කෙල්ල පොත් මිටියත් තුරුළු කරන් පණ එපා කියලා ඉස්කෝලෙ පැත්තට දිව්වා.

"මේකට උඹට සෑහෙන්න වන්දි ගෙවන්න වෙයි බෙකම්.."  

චතුරංගගෙ ඇස් දෙක දිලිසුනා. ඌ පුළුවන් නම් ඒ ඇස්වලින් මාව පුච්චාවි..

"කටින් විතරක් නෙමේ ක්‍රියාවෙනුත් ඒක පෙන්නපන්.."

"ඔව්.. මං ඒක කරනවා.."

"පුලුවන් දෙයක් තියෙනවා නම් කරපං.. හැබැයි දෙකයි පනහෙ වැඩ නම් කරන්න එපා.. එහෙම උනොත් උඹට බාස්කට් බෝල් කෝඩ් එක ඇතුළෙදිම මං ගේම දෙනවා.. මතක තියාගනිං.. උඹ වගේ නෙමෙයි.. මේ බෙකම් කිව්වොත් කිව්වා.. වැඩිය දැගලුවොත්, දහය වසරෙ කොල්ලන්ට කියලයි උඹට නෙලන්නේ.."

චතුරංග මුකුත් කිව්වෙ නෑ.. ඌ ගල් උනා කියලා මට තේරුණා. මූත් අර පෙත්තාවඩු වගේ තමයි. කට විතරයි. පරාණ බයයි ෆේස්ටු ෆේස් එන්න..

"උඹ මට බාස්කට් බෝල් කෝඩ් එකේදි මොනවා හරි කලොත්, මං උඹට ග්‍රවුන්ඩ් බහින්න දෙන්නෙ නෑ.."     
    
"මං උඹට මුකුත් කරන්නෙ නෑ.. උඹ ඉස්සර උනොත් තමා මං ඉස්සර වෙන්නේ.."

"බලමු..! උඹට රාහුලත් එක්ක මැච් එක බදාදානේ.."

"උඹ මොනවා කරන්නද..?"

"කරන දේ එදාට බලපං.."

චතුරංග කිව්වෙ අමුතු විදියට. මේ වහුකුණා මට මොනවා කරන්නද..? ඕන නම් ග්‍රවුන්ඩ් එක අයිනට ඇවිල්ලා නරියෙක් වගේ හූ කියයි. එච්චරයි.. වෙන මුකුත් ඌට කරන්න බෑ.. චතුරංගයා එතන ඉද්දිම මං ඉස්කෝලෙට ඇතුල් වුණා. බාස්කට් බොල් කෝඩ් එකේ කොල්ලො ප්‍රැක්ටිස් කරනවා. උංගෙන් හුග දෙනෙක් මං දන්නවා..

පංතියට ඇතුල්වෙද්දිම මං දැක්කෙ නෙහාරයි, මහේලයි බර කතාවක් දාගෙන ඉන්න  හැටි. නෙහාරා දවස් දෙකක්ම ඉස්කෝලෙ ආවෙත් නැති හින්දා මං පොත් ටික තියලා උන් දෙන්නා ළගට ගියා..

"නෙහාරා.. මොකද උනේ..?"

මහේලගෙ මූණත් ඒ තරම් සුවබර තත්වයක නෑ. නෙහාරා උනත් 
අඩන්න බැරි කමට හිටියේ.. 

"අ.. අනේ නවෝද්.. අමල් මාත් එක්ක හොදටම තරහ වෙලා.."

"ඉතිං..?"
  
"ඉතිං කියන්නෙ බං.. නෙහාරා හොදටම අප්සට් වෙලයි ඉන්නේ.. උඹට පෙන්නෙ නැද්ද..?" 

ඔන්න... ඔන්න ගාල කඩාගත්තු ගොන් වස්සා වගේ මහේල පැන්නා.. මූට මොකක්ද හත්තිලව්වේ නෙහාරා ගැන මේ තරම් පපුව උනුවෙන රෝගෙ..

"මට පේන්නෙ නෙහාරට වැඩිය උඹට අප්සට් වෙලා වගේ.. මොකක්ද නෙහාරා උනේ..?" 

"අමල් හිතන් ඉන්නෙ මං මහේල එක්ක යාළුයි කියලා.. එදා මගේ ඉස්සරහා මහේල එයාට ගැහුවනේ.. එයා අහන්නෙ ඇයි මං මහේලට හැහුවෙ නැත්තෙ කියලා.." 

"ඒක මාර කතාවක්නේ.. ඇයි ඔයා මහේලට ගහන්නේ..?"

මේවා මොන හතරබීරි කතාද අප්පා.. උපන්තේකට මම නම් අහලා නෑ.. මේ අද ඇහුවට..

"මම එයාට ආදරේ නම්, ඒක කරන්න තිබුණලු.."

"ඉතිං අමල්ට තිබ්බනේ එදා මහේලට ගහන්න.."

"මාත් කිව්වා.. ඒත් එයා එහෙම කරා නම්, ඔයාලා දෙන්නයි මායි එකතුවෙලා එයාට ගහයිලු.."

හත්තිලව්වේ.. ඒකා තණකොළ ද මංදා කන්නේ. මොන කුණුහරුප කතාවක්ද ඒ...? 

"මෙහෙම කිව්වට තරහා වෙන්න එපා නෙහාරා.. ඌ වගේ බත්බරියෙක් ඔයාට මොනම විදියකින්වත් මැච් වෙන්නෙ නෑ. ඔයාට සසර වසනා තුරාවටම දුක් විදින්නයි වෙන්නේ.." 

"මට අමල්ව අමතක කරන්න බෑ නවෝද්..."

"ඇයි එකා ඔයාට වශී ගුරුකමක්වත් කලාද..? නිකං පිස්සු නටන්නැතුව ඉන්න නෙහාරා... ගැළපෙන්නෙ නෑ කියලා දැන දැනම ජරා ගොඩක් බදාගන්න එපා.. මේ වෙලාවෙ ඔයාට ලොකු දුකක් දැනෙයි.. අමල්ගෙන් අයින් වෙන එක ගැන.. ඒත් ඒක අනාගතයෙදි ඔයාට ලොකු සහනයක් වෙයි.. කොයි තරම් ආදරේ උනත් අපි ඉස්සරහා අමල් ඔයාට කතා කරපු හැටි මතක නේ ආ..?" 

"ඔ.. ඔව්.."

"එහෙනම් එච්චරයි..."

තවත් නෙහාරා එක්ක කතා කරන්න දෙයක් මට තිබ්බෙ නෑ.. මේ වගේ දැනුම් තේරුම් තියෙන වයසකදි ජීවිතේ ගැන පුංචි තීරණයක් ගන්න බැරිනම් එයාගෙ ඔය හැදිමිටේ දිගට තියෙන ගෑණු මොලෙන් කිසි වගතුවක් නෑනේ. කොයි තරම් හිත අමල් දිහාට ඇදෙනවා උනත්, තමන් තේරුම් ගන්න ඕනෙනේ.. මේ යකා එක්ක ජීවත් වෙන්න පුළුවන්ද කියන එක..

"බෙකම්.. මූ මොකද එදා ප්‍රයිඩ් රයිස් දන්සැලට ආවෙ නැත්තේ..? උඹ මූට සුහද සිතින් විවෘත ආරාධනයක් කලා නේද..?" 

මායි, මහේලයි ඩෙක්ස් පේලිය ළගට යද්දි පැතුම් ඇහුවා. මත් දැනුයි මතක් වුණේ.. මහේල එදා සමින්දිගෙ දන්සැල මග ඇරියා කියලා..

"ආරාධනා කලා නම් තමයි.. මුගේ කැතකමට මූ ආවෙ නෑ පැතුම්.. අච්චර ගල් කාෂ්ඨක ඇම්ඩත් ආපු එකේ.. මූ ආවා නම් හෙන වදිනවද..?" 

"බෙකම්.. මං එදා නොගිහින් බැරි ගමනක් ගියා බං.."

"ඒ කියන්නෙ නොඑන ගමනක්ද..? නිකං පලයං බං යන්න.. බෙකම් එන්න කිව්ව නම් මොන අවයවේ ගැලවුනත් අපි නම් යනවා.. උඹ මහා පාප මිත්‍රෙයක් බං.. කොහොමද උඹලව විශ්වාස කරලා වැඩක් කරන්නේ..? "  

පැතුම්ගෙ ගල්, මුල් වාගේ ප්‍රහාරක වචන ඉස්සරහා මහේලට කර කියාගන්න දෙයක් නැතිවුණා..

"ම.. මං.. මං නෙහාරව බලන්න ගියා.."

"මොකක්..?"

ඒ ප්‍රශ්නෙ මායි පැතුමයි ඇහුවෙ තරගෙට වගේ.. මූ මොනවද බං මේ දොඩවන්නේ..? මං මගෙන්ම අහගත්තා.. 

"ඔව් බෙකම්.. එදා සිද්ධියෙන් පස්සෙ දවස් දෙකක් එයා 
ඉස්කෝලෙ ආවෙ නෑ.. මගේ හිතට මහා වදයක් වගේ ඒක දැනුනා. ඒකයි මං ගියේ.."

"යකෝ.. පිස්සු නටනවා කියලා ඔහොමත් හාල්පාරු වැඩ කරනවද..? ෂිහ්.. ඇත්තට උඹ වගේ එකෙක් නම් ලොවෙත් නෑ.."

"ඒකිගෙ දුක සැප බලන්න කොල්ලෙක් ඉන්නවා කියලා තෝ එදා දැනගත්තේ.. දැන් උඹ ගියේ ඒකිගෙ මොන අල මාලුව බලන්නද..? අනික ඒකි හැම තිස්සෙම මට අමල් ඕනා.. මට අමල් ඕනා කියලා මතුර මතුර ඉන්න එකේ.. අම්මපා උඹට විලි ලැජ්ජාවක් කියලා නාමයක් ගෑවිලාවත් තියෙනවද..?"

මායි, පැතුමයි දන්න කියන හැම වචනෙකින්ම මහේලට බැන්නා. ඇහැට කනට පේන්න හිටියට ඌ කරොත් කරන්නෙ, මලාට හරියන්නැති වැඩම තමයි.. එතනින් එහාට කතාව සමාප්ත වුණේ ඉස්කෝලෙ පටන් ගත්තු හින්දා. ඒත රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ව්‍යාවහරික විද්‍යාව, ශුද්ධ ගණිතය අතරේ කාලය ගෙවිල යද්දි, මායි, පැතුමයි මහේලයට ඇතිවෙනකල් බැනලා හිත සැහැල්ලු කරගත්තා. එදා දවසෙ අන්තිම පීරියඩ් එක වැටිලා තිබ්බෙ ඉංශ්‍රීසි. මුළු පංතියෙම කොල්ලො කෙල්ලො දැනගෙන හිටියා අද ජයමාන්න මිස් ඩික්ටේෂන් ගන්නවා කියලා. ඕවා කාත් එක්කවත් කියන්න පුළුවන්ද අප්පා. හතර විලි ලැජ්ජාවෙනේ පණ යන්නේ.. පොඩි ඈයොන්ගෙන් වගේ ඩික්ටේෂන් ගන්නවා කියලා..

කෙල්ලො නම් පාඩම් කරලා ඇති.. ඒත් කොල්ලො නම් මේ ලෝකෙ සංසාරයක් බලලා නෑ කියන එක නම් මට ඕන තැනක දිව්රලා කියන්න පුළුවන්..

"බෙකම්.."

"පීරියඩ් එක කට් කරමුද..? මිසිස් ඇක්චුවලිට ඕන අළ අඩයක් කරගන්න කියලා.."

කල්හාර ඇවිත් මට රටක් වටින යෝජනාවක් කරා. ඇයි මේ වගේ ප්‍රියමනාප අදහසක් මීට කලින් මගේ හිතට ආවෙ නැත්තේ..? ඇයි මං ඉස්කෝලෙ තාප්පෙ මිටිම තැන හොයලා බලන්නෙ නැත්තේ..?

"පැතුම්.. මගේ පොත් ටික ගනිං.."

මං පැතුමට මගේ දායාදය බාර දුන්නා. ඌ ඒක කෙල්ලොන්ගෙ පොත් අස්සෙ තියාවි.. වැඩේ ගොඩින්ම අහවරයි. පන්තියෙන් එළියට යන්න ඉස්සෙල්ලම පෙරමුණ ගත්තෙ මම.. ඒත් ඊට කලින් අපේ පංතියෙ, පංති නායිකාව මගේ ගමන හරස් කලා..
      
"නවෝද්.. මේ වැඩේ කරන්න එපා.."

නිරෝමි ඉනටත් අත්දෙක ගහගෙන. අරනෝලිස් සුභසිංහ වගේ. සමාවෙන්න.. ආර්නෝල්ඩ් ස්වසෙනගර් වගේ බලන් ඉන්නවා.. මගේ පිටිපස්සෙන් පැතුම්, කල්හාර, මහේල, ජනිත, පෙළින් පෙළ ගැහිලා කට උඩ බලන් ඉන්නවා. මේක ජාතික අවශ්‍යතාවයක් හින්ද මං කටහඩ අවදිකරන්න උත්සාහ ගත්තෙ නෑ.. මොකටද නිකං..

"නිරෝමි මං මගේ උන්ඩුක පුච්චය අල්ලලා දිව්රනවා.. කරුණාකරලා අපේ බෙකම්ගෙ යුගයේ පිය සටහන් මකන්න ලෑස්තිවෙන්න එපා.. ජාතික වීරයෙක් වගේ ඌ පංතියෙන් යන්න හදන්නේ.. ඔයා ඒකට පිවිතුරු සිතින් යන්න ඉඩ දෙන්න.." 

"පැතුම්.. ඔයා ඕන නම් යන්න.. නවෝද් එක්කන් යන්න එපා." 

නිරෝමි, පැතුමට කඩාගෙන පැන්නා. මුළු සංසාරෙම ඇස් ඉස්සරහට කඩාගෙන පාත් වුණා වගේ පැතුමගෙ ඇස් බෝල දෙක ලොකු උනා..

"නිරෝමි.. ඔයා කටින්ද.. එහෙම නැත්නම් උන්ඩුක පුච්චෙන්ද කතාක රන්නේ..? බෙකම් යන්නෙ මගේ කකුල් දෙකෙන්ද..? හරි කෙලියක්නේ යකෝ මේක..."

"නවෝද්.. ඔයා ගියොත් මං ජයමාන්න මිස්ට කියනවා.."

"මං දන්නවා ඔයා කියන්නෑ කියලා.."

"ස්ලීස් නවෝද්. තව එක පීරියඩ් එකයි. ඒකෙවත් ඉදලා යන්න.. ඔයා කොයි වෙලාවකවත් පංතියෙ නෑ.."  

"බෙකම් මං දන්නවා උඹ අයිශ්චර්යා රායි ආවා කිව්වත් ආපහු හැරෙන්නෙ නැති විත්තිය.. යමං පුතා.." 

කල්හාර ඉස්සරහට ආවා.. මහේල, නෙහාරා දිහා බල බලා තව ඩිංගක් පස්සට ගියා..

"අයිශ්චර්යා නෙමෙයි.. අන්න මිසිස් ඇක්චුවලි කට ළගටම ඇවිල්ලා.. දැන් යමං පංතිය ඇතුලට..."

සුළි සුළගක් හමාගෙන එනවා වගේ ජයමාන්න මිස් අපේ පංතියට කඩාපාත් වුණා. මට වාඩිවෙන්නවත් වෙලාවක් නෑ.. නිරෝමිගෙ මූණ නම් හිනාවකින් පිරිලා තිබුණා. පිස්සු කෙල්ල.. හිතාගෙන ඇති මහ ලොකු වීර කමක් කලා කියලා..

"ඇක්චුවලි.. ඇයි මේ ළමයා හිටගෙන..?"

ජයමාන්න මිස් කෙලින්ම මගෙන් ඇහුවා.. ඒත් ඒකට උත්තරයක් දුන්නෙ කල්හාර.. මං හෙමිට වාඩිවුණා..

"ඒ ළමයෙක් නෙමෙයි මිස්.."

"ඇක්චුවලි.. එහෙනම් කවුද..?"

අද ජයමාන්න මිස්ගෙ ඉංශ්‍රීසි කච කචේ නම් ටිකාක් විතර අඩුවෙලා. සිංහල බඩ යනවද කොහෙද.. 

"එයා තරුණයෙක්.. ලාවට දැලි රැවුල ආපු තරුණයෙක්.. හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් ලයිව් පිරිමියෙක්."

"ෂටප්.. වට් ආ යූ ටෝකින් එබවුට්.."

මොන පිස්සුද ඔය බඩ යන්න ගත්තෙ පලාතම ගද ගස්සගෙන.. දැන් ඉතිං මෙතන ඉන්න හිටින්න නැති වෙනවා..

"පැතුමා.. මිසිස් ඇක්චුවලි මොනවද කියන්නේ..?"

"කටවහගනින්.. ඔය පැත්තට ලෑන්ඩ් කරනවා.."

"ඇක්චුවලි.. අපි දැන් බලමු.. කලින් දවසෙ මං දීපු ඩික්ටේෂන් වල ස්ටෑඩඩ් එක කොහොමද කියලා.."

"පැතුමා.."

"ම්.."

"ෆුට් බයිසිකල් වල වගේ, ඩික්ටේෂන් වලත් ස්ටෑන්ඩ් එකක් තියෙනවද බං..?"  

කල්හාර හෙමින් සීරුවෙ අහපු එකට මට බකස් ගාලා හිනාවක් ගියා.. ජයමාන්න මිස් කණ්නාඩි දෙක උස්සගෙන මගේ ළගට ආවා..

"හේයි... යූ.. යූ.. වයි ආ යූ ලාෆින්.."

"මිස්.."

"ඉයර්ස්.. යූ කැන් ස්පීක්.."

පැතුමා නැගිට්ටා.. මේක නම් මාර වැඩක්. ප්‍රශ්නෙ ඇහුවෙ මගෙන්.. මේක මොකට නැගිට්ටද මංදා..

"අයි තිනක් හී ඩ්‍රින්ක් ද මෝෆීන්.."

උගේ කතාවට මුලු පංතියටම හිනා ගියා. ජයමාන්න මිස්ටත් පුංචි හිනාවක් ගියා. කොහොමටත් ජයමාන්න මිස් ඌට කැමතියි නේ.. ඈ.. ඒක දන්නෑ කිව්වා. ඇයි හත්තිලව්වේ.. ගිය සතියෙනේ මිස් ඌට ලයික් කිව්වේ.. දැන් පේන විදියට නම්, ඌත් මිස්ට ලයික් වගේ..

"හව් මෙනි ස්ටුඩෙන්ට් කේම් ටු ක්ලාස් ටුඩේ..?"

ඒ පාර මින් හැරුනෙ නිරෝමි දිහාට.. මිසිස් ඇක්චුවලි මොකටද 
මංදා අද පංතියට ආපු ගාන.. සමහර විට හොරෙන් ගියා නම් බඩුම තමයි.. නිරෝමිත් ගාන කිව්වා.. ඒ පාර මිසිස් ඇක්චුවලි වන්, ටූ, ත්‍රී කියලා ගණින්න ගත්තා..

"ගියා නම් සොරිම තමයි බෙකම්.."

"සිරාවටම.. කරටියෙන් අහුවෙන්නේ.."

"බෙකම්, මොනවා හරි කරපං.. මං මෙලෝ මගුලක් පාඩම් කලේ නෑ..." 
            
"පැතුම්.. මිසිස් ඇක්චුවලි උඹත් එක්ක ෂේප් නේ.. මොකක් හරි බයිලයක් ගහපන්.."

කොල්ලොන් ගෙන් විවිධ අදහස් යෝජනා ගලාගෙන එනවා. ඒත් ඔලුවට නම් මෙලෝ අයිඩියාවක් එන්නෑ..

"රායිට්... නොට් ප්‍රොබ්ලම්.. ඇක්චුවලි.. හැමෝම ඉන්නවා.. නව් වී කැන් ස්ටාට් ද ඩික්ටේෂන්.."

හැමෝම සුභ මොහොතින් බලාපොරොත්තු උන මංගල නැකත උදාවුණා. දැන් ඉතිං චක්කරේ දිපංකෝ. මුලින්ම ජයමාන්න මිස් හැරුනෙ ගෑනු ලමයි දිහාට. නෙලුනියි, චංචලයි යාන්තමට වැඩේ ගොඩදාගත්තා.. නිරෝමි නම් ස්පෙෂලි.. මාර ඇඩ්වාන්ස් විදියට ගේම් එක දුන්නා.. එයා ස්පෙල් කරපු හැටියට ඇත්තටම මටත් ආස හිතුනා. ආස හිතුණට වැඩක් නෑ කියන්න මං දැනන් හිටියා. මොකද ඔය මල ඉලව් භාෂාව කොහොමටවත් පාඩම් වෙන්නෑ..

"බෙකම්.."

"ම්..."

"අපිට කඩ්ඩ දිය කරලා පෙව්වොත් නම් හරියයි නේද බං.."

"ඒත් වැඩක් නෑ.. ගලනාලය පුපුරලා අපිට බඩ යයි.."

"හේයි... හේයි.. මොකක්ද ඔය දෙන්නගෙ කතාව..? ස්ටෑන්ඩ් අප්.. ඇක්චුවලි.. වට්ස් යුවර් නේම්..?"

ඔය ඇදුනෙ හූරන ලොතරැයිය නියමෙට.. කතා කලොත් සොරිම තමයි. මං මුලින්ම නිහඩ වෙන්න තීරණය කලා. ඒත් මගෙත් එක්ක කච කචේ දාපු පැතුමා නිහඩ වුණේ නෑ. ඌ වඩාත් සංවේදි වුණා. ඒ කියන්නෙ මං වෙනුවෙන් උත්තර දෙන්න පැනලා බාරගත්තා. කොහොමටත් උගේ සිරිත ඒකනේ..

"හීස් නේම් ඊස් බෙකම්.."

"වට්..? ආ යූ නොන්සන්ස්.. වෙයාර් ඊස් ද බෙකම් හියර්.. හී ඊස් ඉන් ඉන්ග්ලන්ඩ්.."

හයියෝ.. මෙහෙමත් විනාසයක්.. පැතුමට නම් ගල් ගහලයි මරන්න ඕන. මං නැගිට්ටා.. 

"මං පංතියෙ පාඩම කරද්දි ඔයාලා දෙන්නා හිටියෙ වෙනමම ලෝකෙක.. මං ඇහුවෙ ඒ කොහේද කියලා.."

ඒ පාර ජයමාන්න මිස් මුලුමනින්ම ආර්ය සංස්කෘතික වෙලා. සිරියාවෙ බෑ.. බුරුමය වගේ හැඩයි..

"මිස්.."

ඩික්ටේෂන් වලට යන වෙලාව ටිකක් හරි අඩුවේවිනේ කියලා හිතාගෙන මං හෙන අහිංසක මූණක් මවාගත්තා. මං උප්පතියෙන්ම දන්නවා මේ අඩන මූණට ඕන දාමරිකයෙකු ඇඩෙන සයිස් කියලා..

"ඉයර්ස්.. නව් යූ කැන් ටෙල් මී.."

"පැතුම් මගෙන් අහනවා...."

"ඔව් පැතුම් ඔයාගෙන් මොනවද අහන්නේ බෙකම්..?"

මිස් එපාර මට බෙකම් කියලා කතා කලා..

"ඉහල ආකාසයේ පාකර යැවිය හැකි ගල් වර්ගය කුමක්ද කියලා.."

"වට්..?"

"ඔව් මිස්.. තව ප්‍රශ්නයක් ඇහුවා.. ගුවන් විදුලි, රූපවාහිනී නාලිකාවල බර මනින උපකරනයේ නම මොකක්ද කියලා.."  

"වට්..? මොනවද ඔයා මේ කියන්නේ..?"

"මගෙන් අහපු දේවල් තමයි මිස්.."

"ඔය ප්‍රශ්න වලට එන උත්තර ඔයා දන්නවද..?"

"ඔව් මිස්..?"

"ඕවයි, මගේ ඉංශ්‍රීසි පාඩමෙයි අතරෙ තියෙන සම්බන්ධෙ මොකක්ද බෙකම්..?"

"ඒ ගැන මාත් කල්පනා කර කර ඉන්නකොට තමයි මිස් මට 
කතා කලේ.."

"ඒකත් එහෙමද..? එහෙනම් ඔය ප්‍රශ්න දෙකකට උත්තර කියලම පාඩම් පටන් ගනිමු.. මට පේන විදියට නම් අද ඩික්ටේෂන් ගන්න වෙන්නෙ නෑ වගේ.."

ජයමාන්න මිස්ගෙ ඒ සිරියාවන්ත කතාවෙන් මගේ හැම රෝම කූපයක්ම පුංචි ආඩම්බරයකින් දගලන්න ගත්තා. අපිට ඕන කෙරුවෙත් 
ඒකනේ..

"ප්‍රශ්න දෙකටම උත්තරේ මිස් කිව්වොත් තමා වැඩිය හොද.. මිස්ට ඔය වගේ ඒවා සෑහෙන්න සිම්පල් නේ.. අපිට ඒ ගැන අවබෝධයක් තියෙනවා.."    

මගේ කතාවෙන් පස්සෙ මොනාද කියන්නෙ කියලා ජයමාන්න මිස් ටිකක් කල්පනා කලා. සමහර විට එයා ඒකෙන් ලොකු විශ්වාසයක් ගොඩ නගා ගනියි. අපි එයා ගැන මහා ඉහලින් හිතයි කියලා..

"අයි කාන්ට් බෙකම්.. අයි කාන්ට්.. ඔයාම කියන්න බලන්න.. ඔය අප්‍රබංශ ප්‍රශ්න වලට උත්තර.."

"අහසේ පා කරන්න පුළුවන් ගල් වර්ගය තමා සරුංගලේ.."

"ඈ.."

ජයමාන්න මිස්ගෙ ඇස් දෙක උඩ ගියා.. එයා ඒ වගේ සරළ උත්තරයක් හීනෙකින්වත් බලාපොරොත්තු උනේ නෑ කියලා මං දන්නවා..

"අර රූපවාහිනී නාලිකාව වල බර මනින උපකරණය තමා ප්‍රොගෑම්.."  

"වට්..?"

කොල්ලො කෙල්ලො යස අගේට හිනාවෙන්න ගනිද්දි. ඉස්කෝලෙ කාලපරිච්ඡෙද අටම අවසානයි කියලා දැනුම් දෙන බෙල් සද්දෙ යස අපූරුවට ඇහුණා. බෙල් එක උස්සල පොලේ ගහන දැල්ලා  අඩුපාඩුවක් නැතුවම, අදත් වෙලාවට බෙල් එකට පතබාලා තිබුණා. කොහොමින් කොහොම හරි ඩික්ටේෂන් දෙන එකෙන් අදට යාංතමට ගැලවුණා. මිස්ටත් ඒක තේරුණත් එයා හිටියෙ ඒක නොතේරුණා වගේ. ඉස්කෝලෙ ඇරෙද්දිම කොල්ලො ටික මට ඇට්ටි හැලෙන්න ස්තුති කලා. ඩික්ටේෂන් කරදරයෙන් හිතාගන්න බැරි විදියට හැමෝවම බේරගත්තා කියලා..   

  
     

No comments:

Post a Comment