Friday, March 30, 2012

| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි |






මං පහුවෙනිදා උනේ පාන්දර නමයට විතර නැගිට්ටේ කවුදෝ මන්දා අපතයෙක් කෝල් කරපු නිසා. මං නිදිමතේම ගිහින් ෆෝන් එක ගනිද්දි කතා කලේ සාරංග.

"මචං උඹලා දෙන්නා ඊයෙ ගියේ කොහොමද..?"


"ආ.. අපි කිසි ආබාධයක් නැතුව සැපට ත්‍රීවිල් එකක ගියා. ඒක කියන්න තමයි ගත්තේ.."

"ෂුවර් එකට උඹලා මොකක් හරි මගෝඩි ගේමක් දෙන්න ඇති.."

"අපි නගිද්දි ඇහුවා ගාන කීයද කියලා. මේ යකා රුපියල් දෙසිය පනහක් කිව්වනේ බං.."

මේ කියන්නෙ ත්‍රීවිල් කාරයා ගැන වෙන්න ඇති. මුන් දෙන්නා ඌට පොල්ලක් තියලා කියලා මට නිකමට හිතුනා.

"ඉතිං බං අපේ ගෙදරට එච්චර ගන්නෙ නෑ නේ වෙනදට. දිනුකත් අපේ ගෙදර නවතිනවා කියපු නිසා ඩබලම නැගලා ගියා."

"ඉතිං දෙසිය පනහ දුන්නද..?"

"මොන පිස්සුද..? අපි හිස් මෙගා බෝතල් දෙකක් දාපු බෑග් එකක් ත්‍රීවිල් එකේ තියලා අපේ ගේ පහුකරලා තියෙන ෂොප්  එකක් ළගින් බැස්සා සිගරට් දෙකක් අරන් එන්න කියලා. පොරත් හිතන්න ඇති අපේ බෑග් එකකුත් ඇතුලෙ තියෙන නිසා අපි එයි කියලා. අපි හිමීට ඉස්සරහ දොරෙන් ගිහින් පිටිපස්සෙ කා පාර්ක් එක පැත්තෙන් බැහැලා වැටක් අස්සනේ රිංගලා ගෙදර ගියා. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද බලපං. සල්ලිත් ඉතුරුයි නේ.."

මුං කලොත් කරන්නෙ ඔහොම නොහොබිනා වැඩක්ම තමයි.. පව්..! ඒ අහිංසක ත්‍රීවිල් කාරයා මුං එනකල් සැදී පැහැදී බලන් ඉන්න ඇති.

"පොර ආපහු යන්න ඇත්තෙ බොලාගෙ හත්මුතු පරම්පරාවම මතක් කර කර වෙන්න ඇති.."

කොහොම උනත් ඊයෙ දවස ගෙවිලා ගියේ අපේ හිත්වල විශේෂ මතක සටහන් තැන්පත් කරලා.

අද පන්ති දවසක් නේද කියලා මතක් උනේ දහය මාරට විතර කෑම කනකොට. ඊයේ දගලලා අතපයත් රිදෙනවා. ඉතිං මොන පන්තිද..? මං හවස් වරුව ගෙදරට වෙලා පාඩම් කලා..

                                        *******************************

සදුදා උදේ ඉස්කෝලෙ යද්දි සචිනිත් ඇවිල්ලා හිටියා. අද ඉදලා සුපුරුදු විදියට සචිනි අපේ පංතියෙ. උදේ ඉස්කෝලෙ පටන් ගනිද්දි ප්‍රින්සිපල් සර් ප්‍රධාන රැස්වීමක් කියලා හැමෝවම ග්‍රවුන්ඩ් එකට කැදෙව්වා. ගාථා කියලා ඉවර උනාම ප්‍රින්සිපල් කිව්වෙ අපි හැමෝම අහන්න සතුටු උන කාරණයක්. අචිනි නවෝදා අත්තනායක සමස්ත ලංකා නැටුම් තරගයෙන් පළවෙනි තැනට තේරිලා කියලා සර් කියද්දි මගේ ඇගේ ඇත්තටම හිරි ගඩු පිපුණා. ඔය ජයග්‍රහණය බලා ගන්න අපි කොයිතරම් බකප් එකක් දුන්නද කියලා සර් දන්නෙ නෑනේ..

අචිනි නවෝදාට ඒ ජයග්‍රහණය ගෙනත් දුන්නෙ සචිනි පබෝදා කියන එක ගොඩ දෙනෙක්ට රහසක්. සර් අචිනිගෙ නම කියලා අඩගහද්දි එයා සචිනිට ස්ටේජ් එකට යන්න කිව්වා. ඒත් සචිනි ඒ ජයග්‍රහණය නිහඩවම අචිනිට පවරලා පැත්තකට උනා. මේ වගේ කෙල්ලෙක් තමන්ගෙ නිවුන් සහෝදරියක් වෙලා ඉපදෙන්න අචිනි පින් කරලා තියෙනවා ගොඩක්.

රැස්වීම ඉවර උනාම අපි සචීට සුභ පතලා එයාවයි අචිනිවයි ඩබලම එක්කගෙන කුමුදු මිස් හම්බවෙන්න ගියා. එයත් මේ වැඩේට ගොඩක් මහන්සි උනා.

"ආ.. දැන් දසමහ යෝධයො ටිකට සතුටු ඇති.."

අපිව දැක්ක ගමන් මිස් ඉස්සරහට ආවෙ එහෙම කියාගෙන. එයා කෙලින්ම ඇවිත් අල්ලගත්තෙ සචිනිගෙ අත් දෙක.

"ඔයා ලස්සනට නටපු නිසා තමයි අපේ ඉස්කෝලෙට මේ වාසනාව පෑදුනේ.."

මළ කෙලියයි. මිසුත් දෙන්නව මාරු කරගෙනද කොහේද..?

"මිස් ඔය සචිනි. මෙයයි අචිනි.."

මං එහෙම කියද්දි මිස්ගෙ මූණට නෝන්ඩි හිනාවක් ආවා.

"අරයා අචිනි කියලා මං දන්නවා. මං කතා කලේ තරගෙට නටපු එක්කෙනාට.."

හුටා අපේ රහස එහෙනං එයත් දැනගෙන. මිස්ට ඕක කියන්න ඇත්තෙ හංසි වෙන්න ඇති. මම කිව්වෙ මේ කෙල්ලන්ට කට පරිස්සම් කරගන්න බෑ කියලා. දැන් බඩු හරිනේ. අපි ටික ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ බිම බලන් හිටියා.

"මොකද කට්ටිය බයවෙලා වගේ..? අනේ කොල්ලනේ උඹලා හිතුවෙ මුන් දෙන්නා එක වගේ උනාට පොඩි කාලෙ ඉදලා මං නැටුම් උගන්නපු කෙල්ලො දෙන්නා මට වෙන්කරලා අදුනගන්න බෑ කියලද..?"

දීපංකො ඉතිං උත්තර. අපි මිස්ව ඇන්දුවා කියලා හිතං හිටියට අන්තිමට ඇදගෙන තියෙන්නෙ අපිමයි. ඒ කියන්නෙ අපි නුවර යන්නත් කලින්ම වැඩේ ලෙඩේ වෙලා ඉවරයි. මිසුත් කට වහගෙන දන්නෑ වගේ හිටපු එක තමයි මතක් වෙද්දි කාලා ඉන්න බැරි.

"බයවෙන්නෙපා මං මේක දැනගත්තෙ ඔයාලා කවුරුවත් කියලා නෙමෙයි. ඒ වගේම තමයි මං මේක කාටවත් කියන්නෙ නෑ.."

මිස් එහෙම කියද්දි ඇගට දැනුනෙ ලියුකේමියාව හැදිලා හොද උනා වගේ සනීපයක්. නැත්තං අපි කට්ටියටම ප්‍රින්ස්ගෙන් සම්පත ලැබෙනවා. මිස්ගෙ කතාව ඉවර වෙද්දිම අපි ලිස්සන බෝට්ටුවෙ හිටපු ආදො ටික වගේ එතනින් කැපුනා.

අපි පන්තියට ගියත් ටෙස්ට් එක ඉවර උන නිසා ගුරුවරු ආවෙ නැහැ. අපි කට්ටියට පොඩි ජොලියක් දාන්න හිතං පුටුත් හරවගත්තා.

"මං කාඩ් පැක් එකක් ගෙනාවා මචං.. දාමුද පොඩි ඕබියක්..?"

විහග ඒ ප්‍රශ්නෙ අහද්දි ඌ කැට කොළ ටික වෙන් කරලත් ඉවරයි. මිස්ලා එන එකකුත් නැති නිසා මමයි, විහගයි, ෂෝටයි, නිරෝධයි ඉදගද්දි සාරංග පැක් එකේ  හිස් පෙට්ටියත් අතේ තියාගෙන සූදානම් ශරීරෙන් හිටියෙ මිස් කෙනෙක් ආවොත් දුවන්න බලාගෙන. අපි සෙල්ලම් කරන කොට සාරංග හොරෙන් මහේෂගෙ පර්ස් එකේ තිබිලා ගත්තු ටිෂූ පැකට් එකක් අර පෙට්ටිය ඇතුලට දාලා ඒක උඩ දදා හිටියා. මමයි විහගයි දිනාගෙන එද්දිම නන්දනී මිස් කොහෙද ඉදලා කඩා පාත් උනා.

"ඔතන පුටු හරවගෙන කට්ටිය මොකද කරන්නේ..?"

මිස් එහෙම ඇහුවට එයාගෙ සාරි පොට දකිද්දිම අපි කාඩ් ටික හංගගෙන ඉවරයි.

"උඹලා කාඩ් ගැහුවා නේද මෙතන..?"

අවුරුදු විසිගානක් ගුරු සේවයේ ඉදපු නිසාද මන්දා මිස්ට පුදුම ඉවක් තියෙන්නේ. එයා කාඩ් පැක් එක දෙන්න කිව්ව ගමන් සාරංග අතේ තිබ්බ පෙට්ටිය දුන්නා. ජෝකර්ලා දෙන්නට අමතරව මූ තව කුණු ගොඩවල් ඒකට ඔබපු නිසා පෙට්ටිය තිබුණෙ ටිකක් බරට. ලණුව කාපු මිස් ඒක ඇරලා බලන්නෙ නැතුව අරන් ගියේ අපිට බැන බැන.

"මචං මිස් බූමරංගෙ වගේ ගිය සැනින් ආපහු එයි. ඕං මං ගියා.."

එහෙම කියලා සාරංගයා දිනූකගෙ අතිනුත් ඇදගෙන ආර්ට් ක්ලාස් එක පැත්තට ගියා. දැන් පංතියෙ හිටියට කොහොමත් කාඩ් ගැහිල්ල බොරු. අපෙත් කාඩ් කුඩුවෙනවා. අපිත් දොලහ වසර පැත්තෙ රවුමක් දැම්මෙ ටික දවසකින් නෙත්මිව දැක්කෙත් නැති නිසා. මට දැන් නෙත්මිව ඇරෙන්න වෙන එල්ලෙන්න අත්තක් ඉතුරු වෙලත් නෑනේ.

එදා ගෙදර ආපු ගමන් මම හංසිට කෝල් කලේ අපේ සචී දින්නා කියලා නිව්ස් එක දෙන්න. ඒත් ප්‍රින්සිපල් සර් උදේම ඒක එයාට කියලා. මමත් වීරයා වගේ මේ තුන් කුළුදුලේ හොට් හොට් නිවුස් එක දෙන්න ගිහින් අන්තිමට කෝපි කඩේ අබිලින් වගේ නිකං කිච උනා..

                                               ****************************

සතියක් විතර ඇල් වතුරත් නිවලා බීපු ගානට ගෙවිලා ගියේ මෙලෝ රහක් නැතිව. බාල්දියක් පෙරලන්නෙ නැතුව දවසක් ගෙවුනත් නිකං පාචනේ වගේ. ඇගපත වෙව්ලනවා.

අනිත් එක විභාගෙට තිබුණෙ මාස ගානක් නිසා රිවිෂන් ක්ලාස් දාලා සතියෙ දවස් දෙකක්ම පංති බඩගාන්න උනා. මේ මලකඩ ජීවන රටාව වෙනස් කලේ අපේ ප්‍රින්ස්. එයාටත් හැම වැඩේටම අපි නැතුව බෑ.

සර් අපි කට්ටියට කතා කරලා කිව්වෙ තම වාස දෙකකින් කලා උළෙල තියෙන නිසා පුළුවන් වෙලාවට ඒකෙ වැඩත් බලන්න කියලා. විභාගෙ නිසා සම්පූර්ණ වගකීම අපිට පැටෙව්වෙ නැති උනාට අන්තිමට ඉතිං මුළු බර එන්නෙ අපේ කරපිට තමයි.

කලා උළෙල නිසා මට නෙත්මිව වෙනදට වඩා ළගින් ආශ්‍රය කරන්න පුළුවන් උනා. අපි හිටියෙ කොමර්ස් ක්ලාස් වල උනාට සංගීතය පැත්තෙ වැඩි බර දැරුවෙ අපියි. නෙත්මිට ලස්සනට සිංදු කියන්න පුළුවන් නිසා අපේ කණ්ඩායම් ගීත හැම එකකටම එයත් හිටියා. දවසක් මං ටැප් එක ළග ඉදලා යද්දි ෂෝටගෙ නංගි පවිත්‍රා ඇවිත් මාව නතර කලා.

"අයියේ ඔයා අපේ චූටි අයියගෙ යාළුවෙක් නිසයි මං මේ අහන්නේ.. හැබැයි මුකුත් හිතන්න එපා.."

"අහන්න නංගි ඕන දෙයක් අහන්න.. මං මුකුත් හිතන්නෑ.."

කෙල්ලත් නිකටට අත තියාගෙන බිම බලාගෙනම අර හැට හතරෙන් එකක් දාලා ආයෙත් කතාව පටන් ගත්තා.

"අයියගෙ හිතේ නෙත්මි ගැන මොනා හරි අදහසක් තියෙනවද..?"

මෙයා ඔළුව වටේ අත දාද්දි මට හිතුනා අන්තිමට එන්නෙ නහය ළගට කියලා. ඒත් නෙත්මිව මතක් කරපු ගමන් මාව ටිකක් අප්සට් ගියා.

"එහෙම මුකුත් නෑ නංගි.. ඇයි ඔයා එහෙම අහන්නේ..?"

"නෑ අයියෙ පහුගිය ටිකේම එයා එකක් හිටපු නිසා මං ඇහුවෙ. එහෙම අදහසක් නැත්නම් කමක් නෑ අයියේ.. මං යන්නම්.."

මට වචනයක්වත් කියන්න නොදී ඒකි කොණ්ඩ කරල් දෙකත් ගස්සලා දාලා දිව්වා. නෙත්මි මෙයා එක්ක මං ගැන මොනවා හරි කියලා ඇති. එයා ගැන අදහසක් තියෙනවා කියලා කිව්වනම් ස්ටෝරිය අහන්න තිබුණා. ඒත් මං නෙත්මිට කැමතියි කියලා මේ කොහේවත් යන ඇඹිටිල්ලන් ඇටේකට කියලා වැඩක් තියෙනවද..?

අපි ඉස්කෝලෙ ගිය දවස් තුනේ වැඩිපුරම හිටියෙ සංගීත කාමරේ. අපේ ඒ ලෙවල් පංති සේරම පාළුවට ගිය අම්බලන් වගේ වෙලා. අචිනියි, සචිනියි සුපුරුදු විදියට කලා උළෙලෙ ප්‍රැක්ටිස් කියලා කකුල් දෙකටම ජින්ස් දෙකකුත් ඇදලා උඩ පැන පැන හිටියා. ඒ නිසා මට නිරෝධගෙ අයිඩියා එක තාම සචීට කියාගන්න වෙලාවක් සෙට් උනේ නෑ. හැබැයි ඒ අතරෙ නෙත්මි දවසින් දවස මගේ හිතට ගොඩක් ලං උනා..

දවසක් මං සංගීත කාමරේ පැත්තෙන් යද්දි නෙත්මි තනියෙම පැදුරක් උඩ වාඩිවෙලා වයලීන් එක ප්ලේ කරනවා. ඒකෙ එක කොනක් නිකටට තද කරගෙන අනිත් අතින් තාලෙට බෝ එක හසුරවද්දි පිට උනේ මහා දුක හිතෙන මියුසික් එකක්. කෙල්ල දිගටම ප්ලේ කලේ මාව දැක්කෙ නැති නිසා. හැබැයි කෙල්ල හිටපු ඉරියව්ව නම් එළම කිරි. මෙතන මේ හේෂාන් රන්දුල වික්‍රමබාහු වෙනුවට ලියනාඩෝ ඩාවින්චිව එහෙම හිටියා නම් මේකිව චිත්‍රයට නගනවා. ආයෙ ඒක හොදන්න දෙයක් නෑ. කෙල්ලට තනියෙම ඉන්න ඇරලා මං හැරිලා අපේ පංතියට ආවා. එද්දි සචිනි පංතියේ. අදනං මගේ සිකුරා උච්ච වෙලාද කොහෙද..? මං හිමීට කොලයක් කඩාගෙන නිසදැසක් ලිව්වා. ඒ අතරෙ සචිනි හැරි  හැරී මගේ දිහා බලනවා දැක්කත් ඒකි මට ඩිස්ටර්බ් කලේ නෑ.

"නිවි නිවී දිලිසෙනා නෙතු තාරකා යුවල
මොනවදෝ හෙමි හෙමින් කියනවා......

ලා රෝස පැහැ ගැහුණු ඔබේ ඔය දෙකම්මුල්
දුටුව විට මගේ හිත සැලෙනවා......

ඇසෙන නෑසෙන හඩින් මුමුණනා වදන් වැල්
මා හදේ රැව් දිදී ඇසෙනවා......

පුංචි කුමරියේ කිමද හොරැහින් බලන්නේ
සත්තකයි ආදරේ හිතෙනවා......."

නෙත්මි ගැන ලියනවා කියලා හිතාගෙන පංතියට ආවත් අන්තිමට ලියලා ඉවරවෙනකල්ම මගේ හිතේ හිටියෙ සචිනි. එයා හොරෙන් බලනවා දැකපු නිසයි මං අන්තිම පේලියට ඒ වගේ දෙයක් ලිව්වේ. මං ලියලා කොලේ නමන්න හදද්දිම පිටිපස්සෙන් ආපු සචිනි ඒක අතට ගත්තා. උදුරලා ගන්න මුලදි හිතුනත් මං ඒකිට ඒක කියවන්න ඇරලා බලන් හිටියා.

"හරි ලස්සනයි රන්දු.. කාටද මේක ලිව්වේ..?"

මහා අමුතු බැල්මක් මගේ දිහාට දාලා සචිනි ඇහුවේ කණට ඇහෙන්නෙ නැති ගානට. මං ඕක කාට ලිව්වත් මෙයාට මොකද..? 

"මගේ ගර්ල් ෆෙන්ඩ්ට.."

එහෙම කිව්වට ඉතිං මගේ ඔය කියන ගර්ල් ෆෙන්ඩ් කවුද කියලා මං දන්නෙත් නෑ. හැබැයි සචීගෙ මූණ නං කිනං හුලං ගිය බැලුමක් වගේ උනා. මගේ අතට කොලේ දීපු කෙල්ල වෙන වචනයක්වත් කිව්නෙ නැතුව හැරිලා යන්න ගියා. මුං නටලා නටලමද දන්නෙත් නෑ අඩිය තියන්නෙත් තාලෙට. සචී කොරිඩෝ එකේ පේනනෙ නැති වෙනකල්ම මං බලාගෙන හිටියෙ ලොකු ආදරේකින්. ඒත් මේ සුන්දර වස්තුව මගේ යාළුවගෙ නේද කියලා හිතට දැනෙද්දි තමයි වාවන්නෙ නැත්තේ.

"මොකද බං අහස පොළව ගැටගහන්න වගේ කල්පනා කරන්නේ..? මොකක් හරි අවුලක්ද..?"

සචී ගියා විතරයි අනිත් පැත්තෙන් පංතියට ආවෙ නිරෝධ..

"අපරාදෙ බං උඹට තව ටිකක් කලින් එන්න තිබුණෙ. සචී පංතියෙ තනියෙම ඉදලා දැනුයි එළියට ගියේ.."

"නැහ්........... බලපං මං නැටුම් ශාලාවෙයි අරහෙයි මෙහෙයි හැමතැනම හෙව්වා ඒකිව මෙච්චර වෙලා.."

මූ තාම සචීට ට්‍රයි කරන එක අතෑරලා නෑ වගේ..

"රන්දු උඹට බැරිද මේ ලෙටර් එක සචීට අද ඉස්කෝලෙ ඇරෙන්න කලින් දෙන්න..?"

මූත් මාව ලෝක අමාරුවක දාන්න හදන්නේ. කෙල්ලගෙන් මට ගුට කන්න වෙයිද දන්නෑ..

"මොකද ඕක අදම දෙන්න හදිස්සි. මෙච්චර මාස ගානක් ඉවසුවා වගේ තව දවසක් හිටපං.."

"දැන් මට ඉවසලා ඇතිවෙලා බං තියෙන්නේ. මේකෙ දෙකෙන් එකක් ඉවර වෙන්න ඕනේ.."

මූට තියෙන තදියමට කෙල්ලො දාගන්න බෑ. උන් කැමති උනත් කියන එකක්යෑ. පස්මහ බැලුම් වලිනුත් පාට පහම මැච් උනොත් විතරයි හා කියන්නේ. නිරෝධ බලෙන්ම වගේ ලියුම මගේ කමීස සාක්කුවට දැම්මා. ඒකෙන් ආවෙ අමුතු සෙන්ට් සුවදක් වගේ එකක්. මූත් වෙලාවකට දෙකේ පංතියෙ වැඩ කරන්නේ..

අපි දෙන්නා ආර්ට් ක්ලාස් එක පැත්තට යද්දි නෙත්මිලගෙ පංතියෙ දොර ගාව ළමයි පිරිලා. උන්ගෙ මූණු වලන් එකයි හිනාව. සමහරවිට පංතියෙ මිස්ට බීන් වත් පෙන්නනවද දන්නෑ. අපිත් ටිකක් කිට්ටු වෙලා බැලුවා. උන් හිනාවෙන්නේ දොරේ අලවලා තිබ්බ කොලයක් දිහා බලාගෙන. ඒක අතින් ඇදපු මරණ දැන්වීමක්.

අනිච්චාවත සංකාරා කියලා කලුපාට මාකර් පෙන් එකකින් ලියලා ඊට යටින් පංතියෙ ළමයි මගේ අම්මා කියලා අදින චිත්‍ර ජාතියෙ ඇටකෝටු බබෙක් ඇදලා තිබුණා. හැබැයි ලොකු අකුරෙන් ලියලා තිබුණ එක දකිද්දි මට පොඩි පුරුදු ගතියක් දැණුනා. "දුෂානි සංජුලා මොරගොඩ" රා......යිට් ඒ මං අර උතුර දකුණ මාරුකරගෙන කොමර්ස් වලට දාපු බැරල් බාගේ. කෙටියෙන් කියනවා නම් නෙත්මිගෙ යාළුවා. මමත් ඉතිං සීන් කෝන් එ බලන්න මුලු කොලේම කියවන් ගියා.

දුෂානි සංජුලා මොරගොඩ මෙනවිය අද උදෑසන සප්ත ස්වරය ගායනය කරමින් සිටියදී "රී" ගිලී මරණයට පත්විය. ඇගේ අවසන් කටයුතු යථා කාලයේදී සෙන්ට්‍රල් භූමියේ පැවැත්වීමට නියමිතය.
මෙයට ශෝකයට පත් ස්වාමිපුරුෂයන් හා දරු දුසිම.

ෂා... ආතල් කීතල් නිව්ස් එකක්නේ. හැබැයි සප්ත ස්වරයේ අකුරු හතක්ම තියෙද්දි මේකි මොන ඉලව්වකට "රී" ම ගිල්ලද කියන එකයි ප්‍රශ්නේ. මොනව උනත් සිරා දැන්වීම. ඕක ප්‍රින්ස් හරි කරදර හරි දැක්කනම් ඉතිං දෙයියන්ගෙ පිහිටයි. අපි කොරිඩෝ එක දිගේ යද්දි සාරංග කැන්ටින් එක පැත්තෙ ඉදලා විසිල් පාරක් ගැහුවා.

"මචං උඹලා දොලහ වසර පැත්තෙ ගියාද..?"

"ඔව් බං, මේ ඒ පැත්තෙ ඉදලා එන ගමන්.."

"දැක්කද අර මරණ දැන්වීම..?"

ඒ කියන්නෙ ඒක මුං ටිකත් දැකලා වගේ..

"දැක්කා දැක්කා ෆුල් කොලිටි. හැබැයි දුෂානි ඒක දැක්කානං ලියපු එකාව මස් කරනවා.."

"ඒකි කොහෙද බං අපිව මස් කරන්නේ.. ඒවා හදේ.. කෙල්ල උදේ මියුසික් රූම් එකේ ඉද්දි කැස්සක් හැදිලා. අන්න පපුව අල්ලගෙන තාම කහිනවා.."

ඒ කියන්නේ පෝස්ටරේ ගහපු කලාබරයා අපේ සාරංගයා.. හැබැයි කෙල්ල පවු කියලා මට හිතුනා..

                                            *****************************

දවසක් අපි කට්ටිය නුගේගොඩ සෙට් වෙද්දි ෂෝටා ටිකක් පරක්කු වෙලා ආවේ. හැබැයි පොඩි එකා හිටියෙ සෑහෙන හිතේ අමාරුවකින් කියලා මට තේරුණා.

"ඇයි බං උඹේ ඩයල් එක අප්සට්..?"

"අප්සට් යන්නැද්ද බං මේ වගේ කාලකණ්නි හැත්තවල් එක්ක. අම්මපා මට ඕකව තනියෙම හම්බඋනා නම් දෙනපා පැණි හැලෙන්න.."

පොරට නහුතෙටම තද වෙලා.. කාටදෝ මන්දා ගුටි පූජාවක් තියන්නයි මුගේ ලෑස්තිය. පොඩි උනාට හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියන්නෙ නිකමටයෑ..

"ඉස්සෙල්ලා කියපං උඹ ඔය සද්ද පූජාව දාන්නෙ කාටද කියලා..?"

"ඒක හෙට කියන්නම්.. පුළුවන්නම් හෙට ක්ලාස් ඇරිලා පොඩි ගේමකට බහින්න බලාගෙන වරෙන්.."

"ක්ලාස් ඇරෙන්නෙම පහටනේ බං.."

මං කිව්වෙ මුගේ ගේම දෙන්නෙ කාටද කියලා හිතාගන්න බැරිව. කෙල්ලො හතර දෙනාව රෑ වෙනකල් තියාගන්න බෑනේ..

"ඒක තමා කිව්වෙ පරක්කු වෙන නිසා කියලා වරෙං කියලා.. අපේ ගෙදර පිරිතක් තියෙනවා ඒකට එනවා කියලා වරෙන්.. මේක නයිට් මිෂන් එකක්."

මේක නම් කාලා යන වැඩක්ද, ඔතං යන වැඩක්ද මන්දා.. හැබැයි ඉතිං ෂුවර් එකටම ඇදගෙන නාන වැඩක්..

"මේකයි සාරාංශය. හෙට උඹලට මගේ ගානෙ ඩිනර් එක. රෑට ගෙදර යන්න පුළුවන්.."

"ෂුවර්ද..?"

මං ඇහුවෙ ඇත්තටම ෂුවර් නැති නිසා. ගෙදර යන්න පුළුවන්ද, පොලීසියට යන්න පුළුවන්ද මන්දා. හැබැයි ඩිනර් එක කියලා ඇහුනා විතරයි විහග ඕකේ මචාං කියලත් ඉවරයි..

                                              ****************************

ෂොටගෙ අන්ඩර් වල්ඩ් ඩිනර් එකට රෙඩි වෙලා අපි පහුවෙනිදා හවස බෝ ගහ ළගට සෙට් උනා. අපේ නංගිලා ටික නං ගෙදර ගිහිං ඩිනර් එක ගන්න කියලා කැපුනෙ ඕවා කාලා දිරවයිද කියලා ෂුවර් නැති නිසා වෙන්න ඇති.

"දැන් කොහෙද ඔය ඩිනර් එක තියෙන්නේ බං.. හිල්ටන්, ගලදාරි, ටාජ් සමුද්‍ර..."

විහග තරු පහේ හොටෙල් පේලියක නම් කියන් ගියා. මේ ෂෝටා කෙහෙන්ද අපට ඕවගෙන් ඩිනර් දෙන්නේ. විහගත් මඤ්ඤං කතා තමා අහන්නේ..

"මං බැන්ද දවසක ඕවයින් එකක් දෙන්නම්.. අද තියෙන්නෙ සයිවර් පාටියක්.."

ඒ කියන්නෙ අපිට හිල්ටන් එකෙන් කන්න කාලාන්තරයක් බලන් ඉන්න වෙනවා.. මොකද මූ බදින්න කලින් ලොකු වෙන්න එපැයි. අද තියන පරිප්පු සුප අනුභව කරන්න හිතාගෙන අපි හයට විතර බස් එකේ නැග්ගා.

"කොහෙටද බං මේ යන්නේ..? හැබැයි මොන මගුල කරත්  පරක්කු වෙන්නෙ නැතුව ගෙදර යන්න ඕන. නැත්තං අපේ තාත්තත් වෑන් එක අරන් උඹලගෙ පිරිත් ගෙදර එයි අපිව බලන්න.."

මං කිව්වෙ අපේ තාත්තා රෑට එන්නද කියලා දෙපාරක්ම අහපු නිසා. මූ මොන තූත්තුකුඩියක අපිව ගෙනියනවද මන්දා..

"මරදානෙ සයිවර් හෝටලේකට යන්නේ.. උඹලට තියෙන්නෙ ඕන තරම් දේවල් කාලා මං පෙන්නන තැනට වෙලා ඉන්න විතරයි.."

ඒ කියන්නෙ අපිට තියෙන්නෙ බොහොම ප්‍රණිත රංගනයක්.. අපි ආරාධිත නළුවන් විදියට අයින් උනාම මේන් කැරැක්ටර් එක ගෙනියන්නෙ ෂෝටා. ඌ බස් එකේ මරදානට එනකල් සීන් එක විස්තර කලා.

මං පෙරේදා හවස පුංචිලගෙ වැඩකට මරදානෙ ගියා. එන ගමන් ඔය කියන කඩේට ගිහින් සිගරට් එකක් ඉල්ලුවම මූ මුළු කඩේටම ඇහෙන්න මට බැන්නනේ..

"නෑ.... පොර මොනවා කියලද බැන්නේ..?"

"පොඩි උන්ට සිගරට් විකුණලා ඌත් අමාරුවෙ වැටෙනවලු.. අවුරුදු දොළහක් දහතුනක් යද්දි අපිට අං එනවලු.."

ෂෝටා එක් කියද්දි සාරංග ඌගේ ඔළුව දෙපැත්ත අතගාලා බැලුවෙ ඇත්තටම අං එනවද කියලා බලන්න වගේ. හැබැයි කඩේ මුදලාලියා මූ අවුරුදු දොලහක දහතුනක එකෙක් විදියට දැක්ක එකට තමයි මුගේ මල මුහුදට පනින්න ඇත්තේ.

"ඉතිං... ඉතිං... ඊට පස්සේ..?"

"මං දෙන්නං හොද ගේමක් කියලා වැඩිය මූණ පෙන්නන්නෙ නැතුව එතනින් කැපුනා.."

"ඊට පස්සෙ ඊයෙ උදේ පන්ති යන එන ගමන් මං වේලාසන ඔය කඩේට ගිහින් ස්ට්‍රක්චර් එක බලන් ආවා. අවුලක් නෑ මට තනියෙම ගේම දෙන්න පුළුවං.."

මරදානෙන් බැස්සට පස්සෙ ෂෝටා අපිට ඇවිත් ඉන්න කියලා තැනක් පෙන්නුවා. ගේම ඉවරවෙලා ඌ කඩේ පිටිපස්සෙන් එන විදියත් වෙනම පැත්තකින් පෙන්නලා අපිවත් ඇදගෙන ගියා. ඔය කියපු කඩේ එකකට එකක් හේත්තු කරපු කඩෙ පේළියක තිබුණ ටිකක් ලොකු එකක්. ඕක පිටිපස්සෙන් එන්නෙ කොහොමද කියලා ඇහුවම ඌ ඒ ටිකත් අපිට රහසින් කියලා කඩේ ඇතුළට ගියා. ඇතුල් වෙද්දි මං නිකමට වගේ ඔය කියන මුදලාලි දිහා බලද්දි මට තේරුණා ඌ ෂෝටා කිව්වා වගේ මරුමෝස් ඩයල් එකක් කියලා. අපි යද්දි ඩේ සෑහෙන සෙනගක් හිටියා. අපි හය දෙනාම එක ටේබල් එකකට සෙට් වෙලා පරාටා, මස්හොදි, ගෝදම්බ රොටි සේරම ඕඩර් කලා..

වේටර්කාරයත් අපරාදෙ කියන්න බෑ හොද සර්විස් එකක් දුන්නෙ අන්තිමට පොඩි සමිතිං එකක් ටිප් එකක් වදින නිසා වෙන්නැති. අපිත් සාරංගගෙ නුවර අන්කලගෙ වත්ත ගැන කතා කර කර තදයො ටික වගේ ගිලගෙන ගිලගෙන ගියා. නිකං හම්බවෙනවනම් දෙමළ පත්තරේ උනාම මොකද කියලා අපිත් ඉස්මුරුත්තාව එනකල්ම ගිල්ලා.

"මචං අපිට පරක්කු වෙනවා උඹලා මේකත් බිල දාලා ගෙවපං.."

කියලා සාරංග වේටර්ට පේන්න ෂෝටගෙ අතට රුපියල් දාහක් දීලා දිනුකයි නිරෝධයි එක්ක එළියට ගියා. දැන් අපේ මිෂන් එක ස්ටෙප් බයි ස්ටෙප් ක්‍රියාත්මක වෙනවා. ඔය රුපියල් දාහ ෂෝටා බස් එකේදි සාරංග අතට දිපූ එකක් කියලා මේ මෝඩ වේටර් දන්නෙ කොහොමද..? ඊට පස්සෙ තිබුනෙ දෙවනි පියවර. අපි දොර දිහා බලන් හිටියෙ කවුරු  හරි හොද වැදගත් පෙනුමක් තියෙන ජෙන්ටා බුවෙක් එනකල්. විනාඩි පහක් විතර බලන් හිටියට ආපු එකෙක්වත් අපේ වැඩේට මැච් උනේ නෑ. හැබැයි උත්සාහවන්තයා ඇන ගනී කියනවා වගේ අන්තිමට ආවා අන්කල් කෙනෙක් සිරා ලුක් එකක් තියෙන.

"ආ.. අන්කල් කොහොමද ඉතිං.. එන්න මෙතනින් ඉදගන්න.."

ෂෝටගෙ කෑ හැගිල්ලට පොර අන්දුන් කුන්දුන් වෙලා බලාගෙන ඉදලා අන්තිමට ඇවිත් අපි ළගින් ඉදගත්තා.

"අපේ තාත්තා නිතරම කියනවා අන්කල්ව දැක්කෙ නෑ ගොඩ දවසකින් කියලා.."

මූ කියන සේරම කියන්නෙ වටපිට මිනිසුන්ටත් ඇහෙන්න. එතකොට උන් සෙරම හිතන්නෙ අපි අන්කල්ව දන්නවා කියලනේ. අන්කල් කාරයා ෂෝටා දිහා බලාගෙන මූදෙ වතුර තීන්ත උනත් පුරවන්න පෑන් බට කොච්චර ඕන වෙයිද ගානට කල්පනාව..

"සොරි පුතා මට ඔයාව මතක නෑ.."

"අන්කල් මිස්ට පෙරේරා නේද.."

ලංකාවෙ මිනිස්සු දහයක් ගත්තොත් ඒ අතරෙ මිස්ට පෙරේරලා දෙතුන් දෙනෙක් හරි ඉන්න නිසා ෂෝටා ඇහුවා..

"නෑ පුතා මගේ සර් නේම් එක සිල්වා.."

අපි කතාව අතරෙ ඉතරු වෙලා තිබුණු පරාට ටිකත් ගිලලා දැම්මේ ඒවට හුලං වැදිලා නාස්ති වෙන නිසා.

"එතකොට අංකල්ගෙ ගෙවල් කොහෙද..?"

හෙමීට හෙමීට ෂෝටගෙ සවුන්ඩ් එක බාල වෙනවා. අන්කලුත් බර කතාව. ෂෝටා අහනවා පන්සල කිට්ටවද, ඉස්කෝලෙ පහු කරන් යන්න ඕනද වගේ රටේ නැති දේවල්. අන්කල් හිතන්නෙ මූ හැම පැත්තක් ගැනම දන්නවා කියලා. මූ ඔය පොදු ස්ථාන ගැන කියලා අහන්නෙ ලංකාවෙ හැම ගමකම වගේ පන්සලක්, ඉස්කෝලයක් තියෙන නිසා මිසක් දැනගෙන නෙමෙයි.

"මචං උඹ ළග බිල ගෙවන්න සල්ලි ඇතිද..?"

"ඉදපං බලන්න.."

එහෙම කියලා මූ වේටර්ට කිව්වා අපේ බිල හදලා කියන්න කියලා.. 

"මහත්තයලට තම මොනව හරි ඕනෙද..? දැනට එකදාස් තුන්සිය හැටයි.."

බුදු කිරි අප්පොච්චියෝ.! මට කලන්තෙ වගේ ආවත් උඩ ෆෑන් එක තිබුණ නිසා බේරුනා. මූ බිල හදලා තියෙන්නෙ අන්කල් කාපුවත් එක්කද නැත්තං අපි එච්චර කෑවද කියලා මට හිතාගන්න බැරුව ගියා.

"මචං මේකත් දාලා බිල ගෙවපං.. අපේ තාත්තා ඕෆ් වෙන්න කලින් හන්දියට ගියේ නැත්තං බස් එකේ තමයි යන්න වෙන්නේ.."

වේටර්ගෙ කණ අස්සෙන් නයි පැටියෙක් අරින ගමන් මං ෂෝටට රුපියල් පන්සීයක් දීලා නැගිට්ටා. මූ මට පොඩ්ඩක් ඉන්න කියලා අන්තිමට ඕඩර් කරපු ප්ලේට් එකේ තිබුණ බිත්තර රොටි හත අටකුත් ඒෆෝ කොලේක ඔතලා දුන්නා. මේසෙට යටින් අත දාලා. මමයි විහගයි වේටර්ට වගේම මුදලාලිටත් පේන්න අර අන්කල්ටයි බායි කියලා ආවේ ෂෝටගෙ අන්තිම පියවර සාර්ථක වෙන්න ඒකත් වැදගත් නිසා. අපි දෙන්නත් දොරෙන් එළියට යද්දි මුදලාලි ඉස්සිලා අපේ මේසෙ දිහා බැලුවෙ තව කවුද ඉතුරු වෙලා ඉන්නෙ කියලා බලන්න වගේ. අපේ පොඩි එකා අන්කල් එක්ක කියව කියව තවත් මොනවද කනවා. අපි හිමීට පාරට බැහැලා සාරංගලා හිටපු තැනට එද්දි හතර වටේ හොදටම කළුවර වැටිලා. දැන් ඉතිං ෂෝටව කතරගම දෙයියන්ට බාර කරලා ඌ එනකල් බලන් ඉන්න එක තමයි අපිට තිබුණෙ.

"ඇයි බං උඹලා පරක්කු උනේ. අපි  හිතුවා සීන් එක දෙල් වෙලා කියලා.."

"තාමනම් දෙල් වෙලා නෑ.. දෙල් කරගත්තොත් ඉතිං අරූ තමයි.."

ෂෝටා එනවා කියපු පිටිපස්සෙ පාර පැත්ත බලාගනෙ අපි හිටියෙ ත්‍රී වීල් එකක් ළගට කිට්ටු වෙලා. ඇයි ඉතිං අරූ බාල්දියක් පෙරල ගත්තොත් පැන ගන්න බලන් ඉන්න එපැයි. ඒත් එක ත්‍රීවිල් එකක හයදෙනා හෙවත් අපි පහමාර එක්කරන් යන්න මූ කැමති වෙයිද මන්දා..

විනාඩි දහයක් පමණ යද්දි ෂෝටා අර පාර දිගේ පණ කඩාගෙන දුවගෙන එනවා හරියට ගොනෙක් අනින්න පස්සෙන් එළවනවා වගේ. කමින් කලර් නෝ ගුඩ් කියලා අපි පස්දෙනාම හිරවෙලා එතන තිබුණ ත්‍රීවිල් එකට නැග්ගෙ ෂෝටා නැග්ග ගමන් යන්න බලාගෙන.. 

"මල්ලි ලෝඩ් එක වැඩියිනේ.."

ත්‍රීවිල් කාරයා මගුලක් කතා කරනවා. මෙච්චර නහය ළගට වෙනකල් ගිලලා ගිලලා කොහොමද මේ බඩ උස්සගෙන දුවන්නෙ. දැන් ඉතිං මුගේ පිහිට තමයි..

"අයියේ බඩල් ගෙවන්නම් ඉක්මනට යං.."

ෂෝටා ළගට එද්දි ඌවත් අතින් ඇදලා ඇතුළට දාගෙන මං කිව්වා විතරයි මූත් කොහෙටද යන්න ඕනෙ කියලා අහන්නෙත් නැතුවම හයියෙන් එළවගෙන ගියා.

"හෝව් හෝව් අයියේ ඔතනින් දාන්න.."

එහෙම කියලා අපි සෙට් එක ඇස් වාට්ටුව ගාවින් බැස්සෙ නැත්තං කාපු බිලට හරියන්න ත්‍රීවිල් එකට ගෙවන්න වෙන නිසා.

මොනව උනත් ත්‍රීවිල් කාරයා හිත හොද එකා. ඌ රුපියල් සීයක් ඉල්ලද්දි අපි අතුරු ප්‍රශ්න නැතුව ඒ ගාන ගෙවලා ටවුන් හෝල් එක පැත්තට පයින් ආවා. ලයිට් එළියට අපි දැක්කා ෂෝටගෙ කකුල්වල දණිස්සට එනකල්ම මඩ. ඒ මදිවට ඔළුව පුරා මකුළු දැල්..

"මොකක්ද මං උඹේ ළගින් එන මඩ පුවක් ගද..?"

"පලයං ඩෝ යන්න. මං මේ තරම් සිරාවට ගේම ෆිනිෂ් කරාට පස්සෙ උඹලා එනවා ගදක් ගැන කතා කරන්න.."

"ඔය තරම් සිරාවට ෆිනිෂ් කරා නම් උඹ මොකද මෙලෝ සිහියක් නැතුව දුවං ආවේ..?"

මේකා පස්සවත් බලන්නැතුව හැටට හැටේ ආපු හැටි මතක් වෙද්දි හිනාත් යනවා.

"උඹලා දෙන්නත් ගියාට පස්සෙ මං බිල ගේන්න කිව්වා. අන්කලුත් ටේබල් එකේ හිටපු හින්දා මං බිල ගෙවන්න කලින් ඇහුවා ටොයිලට් එක කොහෙද තියෙන්නෙ කියලා.. "

මූ සිරාවට බිල ගෙවන්න හිටිය ගානට බ්‍රහ්ම ටෝකක් දුන්නේ.. ඒත් අපි උදැල්ල දාන්නෙ නැතුව ඌට අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දුන්නා.

"මං ඊයෙ උදෙත් ඔය ටොයිලට් එකට ගිහින් ජනේලෙ සයිස් එක බලාගෙන ආවේ. හැබැයි ඒ ජනේලෙ හරහට ඇතුලෙන් පොඩි ඉස්කුරුප්පු ඇණ දෙකක් දාලා ලී පටියක් අල්ලලා තිබුණේ.. මං ඇතුළට ගිහින් දොර වහපු ගමන් ඇණ දෙක ගලෝල ලී පටිය අරන් සින්ක් එක උඩින් තියලා ජනේලෙ ඇරලා එළියට පැන්නා. ජනේලෙන් නම් යාන්තම් මගේ ඇග රිංගවන්න පුළුවන් තිබුණට මං පැන්නෙ මඩ ගොඩකට බං.. එතන මුඩුක්කු ගෙවල් පේලියයි. උන් කෑගහන්න ගත්තු නිසා තමයි මං මෙලෝ සිහියක් නැතුව දුවන් ආවේ.."

ෂෝටා පත්තරේ විස්තරේ කියලා ඉවරවෙද්දි මගේ හිතට ආවෙ වෙනම ප්‍රශ්නයක්..

"උඹ කොහොමද ලී පටියෙ තිබුණ ඉස්කුරුප්පු ඇණ ගැලෙව්වේ..?"

"මේ ෂෝටා ගාව බඩු හෑව් මල්ලි.."

එහෙම කියලා ඌ සාක්කුවෙන් එළියට ගත්තු ස්කුරුප්පු නියනක් පෙන්නුවෙ තරුම්පු ආසියා පෙන්නනවා වගේ. මූව නං අදහන්න වටිනවා. මේ දවස් දෙකේම ඌ කල්පනා කරන්න ඇත්තෙ ඔය ගේම ගැන වෙන්න ඇති. අර හෝටල්කාරයගෙ දවසේ ලාභය අනුභව කරලා අපි යංතං අටහමාර විතර වෙද්දි ගෙදර ආවා.

"ආ... පිරිතට ගිය අය මොකද මේ වේලාසනම ඇවිත්..?"

අක්කට පරක්කු උනත් වැරදියි. වේලාසන ආවත් වැරදියි. එයාගෙ කම්මුලකුත් මිරිකලා මම සාලෙට යද්දි මෙන්න බොලේ හංසි අපේ සාලේ බැබළි බැබළි ටීවී බලනවා. කොණ්ඩෙත් කඩලා දාලා නෝමල් ගවුමක් ඇදලා හිටපු කෙල්ල අද රෑ අපේ ගෙදර තමයි කියලා මට දකිද්දිම හිතුනා.

"පොඩි පුතා පිරිත් ටිකත් අහලා එන්න තිබුණනේ.. තාත්තා ඒත් කිව්වා රෑ උනොත් ඔයාව එක්කං එන්න යනවා කියලා.."

අනේ වාසනාවන්..! මේ රන්දු යාන්නම් බේරුණා. අම්මා තාත්තව ෂෝටගෙ ගෙදර ඇරිය නම් මං ආපහු ගෙදර එනවා බොරු. එහෙනම් අම්මගෙ පොඩි පුතාට වෙන බෝඩිමක් හොයාගන්න වෙනවා. නැත්තං රෑ එළිවෙනකල් අපේ තාත්තගෙ මහ පිරිත අහන්න වෙනවා. පොඩි කාලෙ ඉදලා අදුරන නිසා මුංගෙ ගෙවල් අම්මලා දන්න එකත් වෙලාවකට මහ වදයක්..

මං ඇග සෝදලා සරමට බැහැලා ඉවරවෙලා බෑග් එක අරිද්දියි දැක්කෙ ෂෝටා ඔතලා දීපු බිත්තර රොටි ටික. අපේ අක්කත් ඕවා කන්න  මහ පෙරේති. මං ඒක කොලේ පිටින්ම අරන් ගිහින් සාලෙ හිටපු අක්කගෙ අතට දුන්නා.

"ආනේ මල්ලි..... තෑන්ක්ස..! ඔයාට මාව මතක් උනා එහෙනම්..."

අක්කා ටැංකිය බාල්දියකට දාලා දුන්නෙ ඔය ඒක එයාටම ගෙනාවා කියල හිතලයි. ඔහොම යං අක්කෙ.. ඔහොම යං..

"ඔව් අපි එද්දි තේ එකක් බොන්න කඩේකට ගියා. එතන උණු උණු රොටි දානවා. මං ඉතිං ඔයාව මතක් වෙලා ගෙනාවා.."

අම්මපා මං කොයිවෙලාවක හරි මේ දෙසාබාන බේගල් වලට හිටගෙන අපායෙ යනවා. අක්කා නිකමට වත් ඇහුවෙ නෑ ඇයි ඒක ඒෆෝ කොලේක ඔතලා තියෙන්නෙ කියලා. එයාව අන්දන්න ඕනෙ නෑ. රෙද්ද අතට දුන්නම එයාම කපලා මහලා තනියම ඇදගන්නවා.. හරි ෂෝක්..

හැබැයි හංසිගෙ ලුක් එක නම් මට ඇල්ලුවෙ නෑ. එයාට වඩේ නෝන්ඩිද මන්දා. අපි දෙන මරිසි ගේම් ගැන එයත් ලාවට දන්නවනේ..

"පොඩි පුතා ඔයාට බත් බෙදන්නද..?"

පිස්සු පීකුදු කතා තමයි අපේ අමම්ත් අහන්නේ.. මේ වෙද්දි මගේ ඇගේ  හැම නහරෙකම දිව්වෙ ලේ නෙමෙයි. පරාටයි, බිත්තර රොටියි. සල්ලි දීලා කද්දි නිකං රොටි ගිල්ලට පිනට හම්බඋන නිසා කෑවෙම බිත්තර රොටි. ඒ මදිවට අම්මා බත් බෙදන්න හදනවා. ඇයි දෙයියනේ මනුස්සයකුට කනවා කියලා ඔච්චර කන්න පුළුවන්ද..

"එපා අම්මා මම ෂෝටගෙ ගෙදරින් කාලා ආවේ.." 

මං හිමීට මාරු උනේ අම්මා කෑම ගැන තව මොනවහරි අහයි කියලා. ඇහුවොත් ඉතිං කියන්න තියෙන්නෙ අති විශිෂ්ටයි අම්මෙ කියල තමා. මං හංසි එක්ක වචන දෙක තුනක් කතා කරලා ඇදට පැන්නෙ මේ ඉස්මරුත්තාව තියාගෙන පාඩම් කරන්න බැරි නිසා. 



  

No comments:

Post a Comment