Saturday, March 24, 2012

| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






ඉන් අනතුරුව ගෙවී ගිය කාල වකවානුව මගේ ජීවිතයේ සුන්දරතම කාල සමයයි. දිනූකා මිසුත්, මමත් දිනෙන් දින හදවතින් ලංවූවා මිසක කිසිවිටකත් ඈත් නොවූයෙමු. සමහර වේලාවන් හීදි ඇයත්, මාත් මේ තරම් ලංව හිදීම ගැන මහා පුදුමයක් දැනේ. මා නිස්කලංකයේ ආට් වර්ක් කරද්දී ඇය ඇසි පිය නොහෙලා මා දෙස බලා සිටියි. අහම්බයකින් හෝ සිතා මතා හෝ ඇය දෙස බැලුවෝතින් ඒ රත් දෙතොල් මත ඉතා පියකරු සිනාවක් ඇදී යයි. දෙවියනේ.. ජීවිතය කියන්නේ මෙයම නොවේද..? හදවත ඇතුලාන්තයෙන්ම ලේ නහර පුපුරා මතුපිටට ගලා එන මේ ආත්මීය හැගීමට කියනා වෙනත් නමක් මම නොදනිමි. මෙවන් සැනසීමක් ජීවිතය පුරා ලැබෙනවා නම් කිසිවක්ම නොපතා මම දිනූකා මිස් ළගින් හිදිමි.


දවස් එකින් එක ගෙවී යද්දී දිනූකා මිස්ට කියා නිවාඩුවක් ලබාගෙන මම අයියාව හා ජයවර්ධන අංකල්ව බැලීමට ගියෙමි. කලින් සිටියාට වඩා පෘෂ්ටිමත්ව, සිනාමුසු මුහුණින් සිටි මා දැක ඔවුන් දෙදෙනා බෙහෙවින්ම සතුටට පත්වූවාය. අයියගේ මුළු මුහුණ පුරාම රැදී තිබුණේ නිරන්තරවම මගේ දියුණුව අපේක්ෂා කරන ආකාරයේ හැගීමකි. මා ගෙන ගිය තෑගි ද මුදල් ද අයියාටත්, ජයවර්ධන අංකල්ටත් ලබාදී තෘප්තිමත් සිතින් යුතුව මම ආපසු ආවෙමි.

"කාංචන දැන් හුගක් වෙනස් වෙලා.."

අයියා බැලීමට ගොස් ආපසු කාමරයට එද්දී, පුබුදු වැඩ අහවර වී පැමිණ සිටියේය.

"මම..?"

"ඔව්... අර කලින් හැමදේකටම හඩන වැළපෙන මනුස්සයා, දැන් ඒ හැමදේම අතෑරල දාලා  හිනාවෙලා ඉන්නවා.. ඉතිං ඒක වෙනස්කමක් නෙමේද..?"

එසේ නම් පුබුදු මාව හොදින් අධ්‍යනය කර ඇත. ඔහු කියන්නේ ඇත්තය. මා මේ සිටින්නේ, මගේ ජීවිතයේ උපරිම සතුටින් ගත කරනා කාලය මැදය. ඒ සතුට මට ලබා දුන් සද කුමරිය දිනූකා මැණික්දිවෙලය.

"දැන් දිනූකා මිස් ඉස්සර වගේ සැර නෑ පුබුදු. මං ඔහේ නිස්කලංකෙ වැඩ කරගෙන යනවා.."

දිනූකා මිසුත්, මාත් අතර සිදුවූ සිදුවීම ගැන පුබුදු හා කියන්නට නොගියෙමි. එසේ කීවා නම් නිසැකවම පුබුදු, දිනූකා මිස් ගැන වරදවා සිතනු ඇත. ඇය ගැන කිසිවෙකුත් අහිතක් සිතනවාට මම කැමති නැත. පුබුදු කොතරම් හොද යාලුවෙකු වුවත්, මේ කාරණයේදී ඔහු දිනූකා මිස්ව අවිශ්වාස කරනු ඇතැයි මම සිතුවෙමි. ඇත්තටම එය එසේ වුවහොත් මට වාවාගත නොහැකි වනු ඇත. මා හිස් මුදුනේ තබා පිළිගන්නා දේව රූපයකට කවුරුන් හෝ ගල් මුල් වලින් පහර දෙනු මට බලා සිටිය නොහැක. එය එසේ වන්නේ මගේ කටින් සිදුවූ දෑ පිළිබද වදනයක් හෝ එළියට ගියෝතින්ය. එම නිසාම මම කට පරිස්සම් කරගතිමි.

"අහන්නත් සංතෝසයි.. ඒක නෙමෙයි.. මං කාංචනට වැඩක් කියන්නයි හිටියේ.. පසුගිය දවස්වල විවේකයක් තිබුණෙ නැති හන්ද මේ කතාව මග ඇරුණා.."

"මොකක්ද පුබුදු..?"

"මට පූර්ණිමාව හම්බවුණා.."

මහා ලොකු සතුටක් දෑසේ තවරාගෙන පුබුදු කීවේය. කවදාවත් නැති තරම් මොකක්දෝ නොතේරෙන හැගීම් ගොන්නක් ඒ දෑස මත ලියැවී තිබිණි.

"කවදද..?"

"දැන් ටික දවසක් වෙනවා.. කෙල්ල දැන් වෙනින් රස්සාවක් කරනවා ඇඩ්වටයිසින් ෆර්ම් එකක. කෙල්ලට ටිකක් විතර සරු පාටයි. අතේ, කරේ, පයේ හැම තැනම රත්තරන් බඩු පොරවගෙනයි හිටියේ. මට මුලින්ම අදුනගන්නත් බැරි වුණා. කෙල්ලම තමයි මුලින්ම මගෙත් එක්ක කතා කරේ.. පිටට ගහලා කතා කරාම මං උඩ ගිහින් බිම වැටුනා. ඇයි කාංචන..  අපි පණ දාගෙන හෙව්වා මතකද ඒ දවස්වල පූර්ණීමාව.."

"ඉ.. ති... ං..."

"ඇ.. ඇයි කාංචන උඹට සංතෝස නැද්ද මාස ගානකින් හරි පූර්ණිමා ගැන ආරංචියක් ලැබුණට..?"

මගේ මුහුණේ වූ සියලුම හැගීම් නිරීක්ෂනය කරමින් පුබුදු ඇසුවේය.

"වෙනද නම් ඔය ආරංචිය ඇහුවාම මට ලොකු සතුටක් දැනෙන්න තිබුණා. ඒත් දැන් මට එහෙම දැනෙන් නෑ. පුබුදු ඔය කිව්ව දේ නිකං හරියට, අසුභ දවසක ආපු සුභ පැතුමක් වගේ.."

"ඒ කියන්නෙ උඹ දැන් පූර්ණිමාව සදහටම හිතින් අයින් කරලද..? එහෙමත් නැත්නම් අයින් කරන්න හිතාගෙන ඉන්නවද..?"

"ඔය දෙකින් එකක්වත් නෙමෙයි පුබුදු. මං පූර්ණීමා ගැන කොයි තරම් හෙව්වද කියලා කියන්න මං විතරයි දන්නේ.. එයා ගැන හිත හිතා මොන තරම් දුක් වුණාද කියලා දන්නෙ මම විතරයි. පහුගිය කාලෙ ආපු ප්‍රශ්නත් එක්ක අපි හැමෝම තම තමන්ගෙ රස්සාවල් බේරගත්තු එකනේ. එතනින් එහාට දෙයක් ගැන හිතන්න අපිට බැරි වුණා."

දැන් අමුතුම ධෛර්යයකින් කතා කරන්නට ගියත්, ගෙවී ගිය දවස් සිහිපත් වී දෝ පුබුදු නිහඩ විය. ඒ නිහඩ බව වාසියක් කරගෙන මම කාමරයෙන් එළියට ආවෙමි. ඔහු ද මගේ පිටුපසින් ආවේය.

"උඹේ හිතේ තාමත් පූර්ණිමාව ඉන්නවද..?"

"ඇයි පුබුදු උඹ එහෙම අහන්නේ..?"

"නෑ.. පූර්ණිමාගෙ කතාවෙන් මට තේරුණේ උඹ ගැන හැම දෙයක්ම එයා අමතක කරලා වගේ කියලයි.."

හදවතට දරුණු පහරක් වැදුණු කලෙක මෙන් මම තිගැස්සී ගියෙමි. දිනූකා මිස් පසෙකින් සිටියදීම දලුලා වැඩුනු මගේත්, පූර්ණිමාගේත් ලැබැදි සම්බන්ධතාවයේ සොදුරු දවස් එකින් එක මගේ මනසේ ඇදෙන්නට විය. ඒ දවස්වල ඇය කොතරම් අහිංසක තරුණියක්ව සිටියාද..? මා දිනූකා මිස්ට ද වඩා අගය කළේ පූර්ණිමාගේ අහිංසකකමයි. එහෙත් ඒ අහිංසක යුවතිය, අප දෙදෙනාගේම විශ්වාසවන්තයා සමග කතාබහ කර ඇත්තේ මා වැනි එකෙකු මේ ලෝ තලයේ නොමැති ගානටය.

"මට කරන්න පුලුවන් හැමදෙයක්ම මම කරා පුබුදු. වදාපු අම්මවත් අමතක කරලා දාලා, වෙන කෙනෙක්ගෙ නමක් උප්පැන්නෙට දාගන්න අද කාලේ, ඔය වෙච්ච දේ ගැන මට ලොකු දුකක් නෑ. ඒත් පූර්ණිමාට යුතුකමක් තිබුණා එකම එක දවසක් හරි මාව හම්බවෙලා මේ ගැන කතා කරන්න. එයයි මුල ඉදලම අපිව මගෑරියේ.."

"පූර්ණිමා හිතලා තියෙන්නේ, තාමත් හිතන් ඉන්නේ, උඹයි දිනූකා මිසුයි යාලුයි කියලා.. කලුගල්වල ඔලුව ගහන්න බැරි හින්දා එයා වෙන අතක් බලාගත්තා කියලයි මගෙත් එක්ක කිව්වේ.."

"ඉතිං උඹ කිව්වෙ නැද්ද දිනූකා මිසුයි, මගෙයි අතරෙ එහෙම කිසිම සම්බන්ධයක් නෑ කියලා. අනික ඒ දවස්වලත් මං දිනූකා මිස්ගෙන් කොයි තරම් කරදර ගොඩක් වින්දද කියලා.."

"මං කිව්වා කාංචන... ඒත් කෙල්ල පිළිගත්තෙ නෑ කියලා මට හිතුණා.. හිනාවකින් මං කියපු හැම දෙයක්ම කපලා දැම්මා.."

පූර්ණිමා ගැන මගේ හිත පතුලේම නිදන්ගතවී තිබූ මොකක්දෝ ලොකු බැදීම හෙමින් සීරුවේ දියවී යනවා සේ මට දැනුණි. මා හමුවී කතා බහ නොකර, මගේ පැත්තෙන් එකදු වචනයක්වත් නොසිතා, පසුගිය කාල සීමාව ගැන බිංදුවක්වත් සිතේ නොමැතිව කතා කරනා අය වැනි තරුණියක් ළගින් ඇසුරු කලා යැයි, දැනෙනා හැගීමම මට මහා වදයක් විය.

"කමක් නෑ පුබුදු.. කවදම හරි පූර්ණිමා ඇත්ත දේ තේරුම් ගනීවි. ඒත් එයා හරි දේ තේරුම් ගන්නකොට පෙරහැරේ කොයි තරම් ප්‍රමාණයක් ගිහිල්ල ඉවරවෙලා තියෙයිද කියලා මං දන්නෑ.. මොන දේ වුණත්, මොන අඩුපාඩුව මගෙන් සිද්ද වුණත්, පූර්ණීමාට යුතුකමක් වශයෙන් හරි  මට ටෙලිෆෝන් කොල් එකක් දෙන්න තිබුණා. ඒත් මාව හම්බවෙන්න මට කතා කරන්න බිංදුවක්වත් උත්සාහ ගන්නෙ නැතුව, පූර්ණිමා හැමදේම තීරණය කරලා.. හරිම අපූරුයි පුබුදු.. වැඩේ කියන්නේ මේ හැමදේම මටම වෙන එකයි.."

"ඔන්න ඕවා ගැන ඒ තරම් හිතන්නෙපා කාංචන.. අපි ඕවා අල්ලලා දාමු."

"තුවාලෙ වේදනාව දන්නෙ තුවාලෙ අයිතිකාරයා විතරයි පුබුදු.. වටේ ඉන්න අයට පේනනේ තුවාලෙ තරම විතරයි.. ඒක හින්දා ඒ අය කියනවා ඕක ගැන ඒ තරම්ම හිතන්නෙපා කියලා.. අපි ඕවා අමතක කරමු කියලා.. ඒත් තමන්ටත් ඒ වගේ දෙයක් උනොත් ඔය කියන කතන්දර ඔක්කොම පුහු දේවල් වෙනවනේ පුබුදු.. ඇයි ඉතිං ඉවසගෙන ඉන්න වෙන්නෙ තමන්ටමනේ.."

පුබුදු පුදුමයෙන් මදෙස බලා සිටියේය. වෙනදා හැම දෙයකටම හොට්ට පෙරාගෙන අඩා වැළපෙන කාංචනගේ මේ හදිසි ග්‍රහ මාරුව කුමක්දැයි ඔහු උඩ බිම බලනවා විය හැකිය. වෙනදා කිසිවෙකුගේ සිතක් නොතැලෙන්නට කතා කරනා තම දුප්පත් අසරණ යාලුවාගේ, සිතේ දැන් ඉදිවී තිබෙනා ශක්තිය ගැන පුබුදු කල්පනා කරනවා වන්නට පුලුවන..

"කාංචන.. මටත් එක්කද ඔය හැමදේම කිව්වේ...?"

මම කිසිවක්ම නොකීවෙමි. පුබුදුට ඕනෑ දෙයක් සිතා ගැනීමට ඉඩදී මම නැවත කාමරයට ආවෙමි.

එදින මුළු රාත්‍රිය පුරාම මට කිසිදු නින්දක් ලැබුණේ නැත. රාත්‍රියම ගෙවී ගියේ මා නිදිවර්ජිතව තබාය. පූර්ණීමාත, මාත්, දිනූකා මිසුත් අතර වූ විවිධාකාර මතකයන් මගේ සිතේ උතුරා දෙගොඩ තලා යමින් තිබිණි. කොතරම් නෑ නෑ කීවත්, අහිමි වීමකදී දැනෙනා දුක ගැන සිතන්නට, වචන ලක්ෂ ගානක් තිබුණත් මදිය. ඒ මතකයන් හිත තුළින් පෙරි පෙරී ඇදෙද්දී ගරාගෙන වැටෙනා ජීවිතයේ දහසකුත් එකක් බලාපොරොත්තු ගැන කාටවත්ම කියන්නට නොසිතෙන්නේත් ඒ නිසාය. බොහෝ දෙනෙකු සුවෙන් සනීපෙන් නිදි දෙව්දුව වැළද ගනිද්දී, මේ අසරණයාට නින්ද අහිමිව ඇත්තේ තවකෙකු ගැන හර්දයාංගමව සිතන්නට වීම නිසාය.

                                              ****************************

නින්දක් නොලැබුණු ඇස් දෙකත්, දහසකුත් සිතිවිලි පිරී තිබූ සිතත් කර පින්නාගෙන, මම උදෑසනම කාර්යාලය වෙත ගියෙමි. ඊයේ උදයෙන් පසුම මම දිනූකා මිස්ව නොදැක්කෙමි. අයියා හා ජයවර්ධන අංකල්ව බලන්නට යනවා කියන විට ඒ සොදුරු දෑසේ මොකක්දෝ අමුත්තක් මම දැක්කෙමි. සමහර විට ඒ නුහුරු දුකක යම් කිසි හැගීමක් වෙන්නටද පුළුවන. ඒ ගැන හරියටම කියන්නට තරම් ඉඩක් දිනූකා මිස්ගේ දෑසින් මට බලාගන්නට හැකියාවක් ලැබුණේ නැත. ඇය වහ වහා තම හැගීම් මගෙන් සගවා ගත්තාය. දිනූකා මිස් හැමදාම කළේ එයමය.

මොනව වුවත් සවස් වරුවේ හෝ දිනූකා මිස්ට දුරකථන ඇමතුමක් දුන්නා නම් හොද බැව් මට දැන් සිතේ. එහෙත් එසේ ඇමතුමක් දී මා කියන්නේ මොනවාද..? කතා කරනා අදහස කීප විටක්ම ආවත් මා ඇමතුමක් නොදුන්නේද කියන්නට දෙයක් නොමැතිකම නිසාය. ඔය කුමන දේ වුවත්, මම එක දෙයක් නම් හොදාකාරවම දනිමි. ඒ ඇය වෙතින් මා පැයකට හෝ ඈත්ව යනවාට දිනූකා මිස්ගේ සිත කිසිදු කැමැත්තක් දක්වන්නේ නැති බවය. යා යුතුම නිසා ඊයේ මට යන්නට ඉඩ දුන්නද ඇය මුහුණින් තම හැගීම් සගවාගෙන සිටියද ඒ දෙය මම නම් හොදාකාරවම දනිමි.

කාර්යාලය තුලට ඇතුල් වෙද්දීම මට මහා අමුත්තක් දැනුණි. එය හරියට, අපට කිසියම් ආකාරයේ විපතක් හෝ අභාග්‍යයක් සිදුවන්නට පෙර සිතට යාන්තමින් දැනෙනා ශෝකී නොසන්සුන්තාවයයි. මගේ දෑස එක එල්ලයේම යොමු වූයේ දිනූකා මිස්ගේ අසුන වෙතය. එහෙත් ඇය එතැන සිටියේ නැත. ඒ කියන්නේ ඇය අද වැඩට ආවේ නැති වගද..? ඇය එනවා නම් මේ වේලාවට නොවරදවාම පැමිණෙයි. කාර්යාලය ළගම මා නැවතී සිටියද බොහෝ අවස්ථාවන්හීදී, මා පැමිණෙන විට දිනූකා මිස් කාර්යාලයට පැමිණ සිටියි. එහෙත් අද ඇයට කුමක් සිදූවූයේද..? මා උදෑසනම සිට දත කට මැදගෙන පුංචි එකෙකුට, ගමනක් බිමනක් යන්නට ඇති ආසාව සේ බලාගෙන සිටියෙමි. ඇය අද වැඩට එන්නේ නැතුවාක්ද..? 

වෙනදා මෙන් දිනූකා මිස් දැන් ඇතුළත රහස් කාමරයට වැඩිපුර නොයන නිසා ඒ තුළට එබී බැලීමට මම කල්පනා නොකළෙමි. දිනූකා මිස් කීයටවත් ඔය කාමරය තුළ සිටින්නට බැරිය. ඉන්නවා නම් මා හට මේ ලෙසින් වද වීමට ඉඩ ලබාදෙන්නේ නැත. කෙසේ වුවත් කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී මම නොසන්සුන් වන්නට විමි. ඇය පරක්කු වෙනවා නම් අඩුම ගණනේ මට දුරකථන ඇමුතුමක්වත් දිය යුතුය. එහෙත් ඇය එසේ කරන්නේද නැත. ඇයට දුරකථන ඇමතුමක් දෙනවා නම්, මා දිය යුත්තේ ඇයගේ නිවසටය. මා කිසිදාක දිනූකා මිස්ගේ නිවසට දුරකථන ඇමතුමක් ගෙන නොමැත. ඇත්තටම ඒ සදහා අවශ්‍යතාවයක් ඇති වූයේද නැත. දුරකථනය වටේ කිහිප වතාවක්ම මෙලෝ සිහියක් නැතිව එහාටත් මෙහාටත් ගමන් කරද්දී හදිසියේම දුරකථනය නාද වන්නට විය. මගේ සිතට දැණුනේ කියාගත නොහැකි ආකාරයේ සතුටකි. ඇයට මගේ සිතැගි තේරුම් යන්නට ඇත. එකිනෙකා ළගින් ඇසුරු කරනා විට, ඔවුන්ගේ සිතිවිලි තරංග ආකාරයෙන් එකිනෙකා වෙතට ගමන් කරනවා කියන්නේ මෙන්න මේවාට විය යුතුය. මම මහත් වූ භක්තියෙන් දුරකථනය අතට ගත්තෙමි.

එහෙත් අනෙක් අන්තයේ සිටියේ දිනූකා මිස් නොවේ.. මට ඇදුනේ මහා අමනුස්ස කටහඩකි. ඇත්ත වශයෙන්ම මම වෙව්ලා ගියෙමි.

"දිනූකා ඉන්නවද..?" 

එය ඇසුනු රළු ආකාරයට මම හොදටම නොසන්සුන් විමි. හරියට නිකං ප්‍රේත ලෝකයක සිට කතා කරනවා වැනිය. වචනවල කිසිම ගරු සරුවක් නැත.

"කරුණාකරලා මට කියනවද කවුද කතා කරන්නෙ කියලා.. දිනූකා මිස් නම් තාම ඇවිල්ලා නෑ.."

"මං කවුද කියලා අහන්න, තමුසෙ කවුද ඕයි.. ඔක්කොටම කලින් මට කියනවා තමුසෙ ඔතන මොනවද කරන්නෙ කියලා..?"

මම උඩ විසිවී ගොස් බිම වැටිණි. දෙවියනේ.. මේ කුමන කුන්ඩවාලියක්ද..? මා කතාකළ වචන වල තිබූ අඩුපාඩුව කුමක්දැයි සිතා ගත නොහැකිව මම අන්දමන්ද විමි. කාගේ හෝ හෙණ ගෙඩියක් මේ කඩා පාත්වන්නට යන්නේ මගේ ඔලුව උඩටය.

"ස.. සමාවෙන්න.. ම.. මං දිනූකා මිස් ළග වැඩ කරන කෙනෙක්.."

"තමුසෙගෙ සමාව ගහගන්නවා කකුල් දෙක අස්සේ.. දැන් මට කියනවා ඔතන තමුසෙයි, දිනූකායි විතරද ඉන්නේ..? වෙන කවුරුත් ඔතන නැද්ද..?"

මේ කවුරු විය හැකිද..? කතා කරනා ආකාරයට මේ පුද්ගලයාට මේ ආයතනය ගැන හරි හමන් වැටහීමක් නැත. ඒත් එහෙම කියා උත්තර නොදීද බැරිය. කෙසේ වුවත් මීට වඩා පණ ඇතුව කතා කරන්නට මම සිතා ගත්තෙමි. අප නම්බු දිය යුත්තේ අපට නම්බු දී කතා කරන අයටය. එසේත් නැතුව අපට ගරහනා අයට නම් නොවේ. මේ මිනිහාට කතා කළ යුත්තේ කැති පිහි භාෂාවෙනි.

"මෙතන කවුද ඉන්නෙ කියනෙක මිස්ටර්ට ප්‍රශ්නයක්ද..? එහෙම නම් ඉතිං මිස්ටර්ට මෙතෙන්ට එන්න වෙනවා ඒක බලාගන්න.. අනිත් දේ තමයි ඔක්කොටම කලින් මනුස්සයෙකුට කතා කරන්න ඉගෙනගෙන ඉන්නවා.."

"මොකක්ද යකෝ උඹ කිව්වේ..?"

"ඇයි මිස්ටර් ඇහුණෙ නැද්ද..? මං හිතන්නෙ මිස්ටර්ගෙ මොලේ අඩු වගේම, කන් දෙකෙත් අවුලක් තියෙනවා වගේ.."

මේ වගේ අමනයින්ට කතා කළ යුත්තේ මෙන්න මේ වගේය. අහිංසකව, තැන්පත්ව, ධාර්මිකව කතා කරන්නට යාමෙන් මුං අපේ ඔලුවටම අත සෝදන්න බලනවාය.

"උ.. උඹ කවුද යකෝ..?"

"මං කවුද කියලා බලාගන්න මිස්ටර් මෙතෙන්ට එන්න වෙනවා.. හැබැයි ඊට කලින් යන්න ඩොක්ටර් කෙනෙක් ළගට. ඔය මූලග්ගාය නැති කරගන්න.. තේරුණාද..?"

මම දුරකථනය හනිකට විසන්ධි කර දැමුවෙමි. දැන් මිනිහාට කතා කරන්නට වෙන්නේ බීප් බීප් නාදය සමග පමනකි. ඉන් අනතුරුව කීප වතාවක්ම දුරකථනය දාන වුවද මම ඇහැක් ඇරවත් බලන්නට නොගියෙමි. පසුව දුරකථනයට එපා වී ද කොහේදෝ කිසිදු ශබ්දයක් කාමරය තුළින් ඇසුනේ නැත.

                                             *****************************

දිවා ආහාරය ලංවන විටත් දිනූකා මිස් කාර්යාලයට ආවේ නැත. උදේ පාන්දරම මා පැනගෙන ආවේ, ඇයගේ පින්වත් වත කමල බලන්නටය. එහෙත් දැන් මධ්‍යහ්නය ලංවී ඇත. ඇය විහිලුවට වත් මේ අසලක නොමැත. ඇත්තටම ඇයට සිදුවූයේ කුමක්දැයි කියා, තත්පරයෙන් තත්පරය සිතාගත නොහැකිව මගේ සිත කඩාගෙන වැටෙයි.

අනෙක් කරුණ නම් මේ දුරකථනයෙන් කතා කළ තැනැත්තා කවුරුන්දැයි මගේ නොදන්නාකමයි. වීරයා සේ දුෂ්ඨයාගේ චරිතය රගපාන කුමාරයෙක් මම සිහිපත් කර ගතිමි. දිනූකා මිස් ආ කළ, මා කළ හපන්කම ගැන මම පුරසාරම් දෙඩීමට පුළුවන. ඒ අමනුස්සයාට මා කතා කළ ආකාරය ගැන පවසනා විට ඇයගේ රෝස කම්මුල් රත් පැහැ ගැන්වෙනු ඇත. හෙමීට පුංචි අත් පොඩියක් ගසා මහත් වූ සතුටකින් කෑගසනු ඇත. එහෙත් මේ සියල්ලම සිදුවන්නේ ඇය ආවොතින් පමණකි. දැන් නම් කාර්යාලයට ඒමට ඇය හොදටම කල් ගත්තා වැඩිය.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී මගේ සිත තව තවත් නොසන්සුන් වන්නට විය. දිනූකා මිස් වැඩට එන්නේ නැත්නම් ඒ ගැන පවසා දුරකථන ඇමතුමක් හෝ දෙන්නට බැරි ඇයි..? කොහේ හරි ගිය විට ඇයට සියලුම දේ කියන්නට ඕනෑ මා විතරද..? සමහර විට දිනූකා මිස් අසනීප වූවාද කියා කියන්නට මම නොදනිමි. මෙසේ අවුල් සහගත ඒවා සිතමින් සිත නාස්ති කර ගැනීම පාපයකි. දිනූකා මිස් ගැන එසේ සිතිය යුතු නැත. ඇය මේ මනුස්ස ලොවට පෑයූ සද දෙව්දුවකි. හිමි කරගන්නට වරම් නොමැති වුවත් දුරින් හිද, එදෙස බලා හිදීම පවා සැනසීමකි.

කාර්යාලයට ඇතුලු වන දොර දෙසින් මහා ශබ්දයක් ඇසුණු අතර, මම වහා හැරී බැලුවෙමි. මගේ ඉමහත් සතුටට හේතුවන පරිද්දෙන් කාමරයට ආවේ දිනූකා මිස්ය..

"මිස් අද හුගක් පරක්කුයි.. මං උදේ ඉදන්ම බලන්  හිටියා. ගෙදර ගිහිනුත්, අයියව බලලා මං ඉක්මනට ආවා මිස්.. පරක්කු උන්නෑ.."

පංතිභාර ගුරුතුමියට නානාප්‍රකාර දේ කියවන පුංචි එකෙක් සේ මම ඇය ඉදිරියට විත් කියවාගෙන ගියෙමි. වෙනදාට පිපෙන සොදුරු සිනාව ඒ සිනිදු වත කමලේ පිපුනේ නැත. කුමක් හෝ අවුලක් සිදුවී ඇති බැව් මට ඉවෙන් මෙන් දැනුණි. ඇය සිටියේ පරවුණු කුසුමක් පරිද්දෙනි. ඇස් දෙකද තඩිස්සි වී ඇත. මුහුණේ හිනා පොදක් නැත. දෙවියනේ.. ඊයේ, ලෝකයේ තිබෙනා හැම සතුටක්ම තමන් ළග තියෙනවා සේ සතුටින් සිටි ඇයට මේ සිදුව ඇත්තේ කුමක්ද..? මගේ කුමක් හෝ ක්‍රියාවක් නිසා දිනූකා මිස් හිත රිදවාගෙනද..?

"ඇ... ඇයි.. මිස්..."

ඇය පුටුවේ වාඩි වූවා නොවේ.. පුටුව මතට ඇදගෙන වැටුණාය. සුදු මුහුණ මහා දුකකින් වැසී ගොස් ඇති බැව් පෙනෙද්දී මට දැනුණේ ද ඉවසිය නොහැකි වූ දුකකි.

"ම... මගෙන් මුකුත් වැරැද්දක් උනාද මිස්.. අනේ කතා කරන්නකෝ.. මිස් මාව බය කරනවනේ..."

මදක් වේලා යනතුරු ඇය කිසිවක්ම නොකීවාය. එහෙත් බයවෙන්නට උවමනාවටත් වැඩි කාරණා ඇගේ කතාවේ තිබෙනු දැක මම වෙව්ලා ගියෙමි. දෙවියනේ අපට උරුම දුක පමණද..? එකදු දිනක් හෝ සතුටින් ගෙවා දැමීමට මේ දෛවය අපට ඉඩ දෙන්නේ නැතිද..?

"ඔයාගෙන් මුකුත් වැරැද්දක් උනේ නෑ කාංචන.."

"එහෙනම්...?"

"ප්‍රසාද් ලංකාවට ඇවිත්.."

මගේ සිත ගිනි වැදිනි.. දෙවියනේ.. මේ කුමන ආකාරයේ පාපයක්ද..? අපේ ජීවිතවල සතුටක් කියා දෙයක් ඇත්තේම නැද්ද..? අපිට ලැබෙන්නේ අසුභ ආරංචිම පමණක්ද..? 

"හ.. හරි වැඩේනේ ඉතිං අපි මොකද කරන්නේ.."

මා එය ඇයගෙන් ඇසුවා නොවේ, මට ඇසුණි. දිනූකා මිස් මැලවුණ දෙනෙත මා දෙසට පා කළාය. කිසිම ජීවි බලාපොරොත්තුවක් එහි තිබුණේ නැත.

"මට තේරෙන්නෑ කාංචන.. මං මොනවද කරන්න ඕනෙ කියලා.."

ඇයගේ මේ අසරණ විලාසය මගේ සිත ආත්මානුකම්පාවෙන් බර කරවයි. ඇයට වචනයකින් හෝ උදව්වක් කිරීමට ඉන්නා අයවලුන් පිලිබදව මා දන්නේ නැත. ඇයගේ සමීපතමයන් ලෙස මා දන්නේ රෝෂි ගැන පමණි. එහෙත් ඇය ද කෙල්ලෙකි. ඇයටද කළ හැකි දෙයක් තිබෙනවාද කියා සැක සහිතය.

"ඉ.. ඉතිං අ.. අපි බයවෙන්න ඕන නෑනේ මිස්.. ප්‍රසාද් ලංකාවට ආවා කියලා අපිට ප්‍රශ්නයක් නෑනේ.. කලින් සිද්ධ වෙච්ච හැමදේම අතීතයට එක්කහු වෙලා ඉවරනේ.. අනික ප්‍රසාද් කියන පුද්ගලයාව මිස්, මිස්ගෙ ජීවිතෙන් එලියට ඇදලා දාලත් ඉවරනේ. මිස්ට දීපු දුක් කන්දරාවට මිස්ගෙ හිතේ දැන් තියෙන්න ඕන තරහක්නේ.. ඉතිං... ඇ.. ඇයි මිස් මෙහෙම මැලවෙලා ඉන්නේ..?"

ප්‍රශ්නය වඩාත් හොදින් තේරුම් ගැනීමට මම විවෘතව කතා කෙරුවෙමි. එහෙත් මා සිතූ තරම් හොද උත්තරයක් දිනූකා මිස් වෙතින් ලැබුණේ නැත.

"ප්‍රසාද්ව මගේ ජීවිතයෙන් අයින්කරපු එක ඇත්ත කාංචන.. ඒත් එයා තමයි මගේ ෆස්ට් ලව් එක. ඒක අමතක කරන්න මට බෑ.. මං කොයි තරම් දුක් වින්දත්, මං ඒක අමතක කරන්නෙත් නෑ.."

දිනූකා මිසුත්, මමත් හොද මිතුරන් වී හර්දයාංගමව ඇසුරු කිරීමට පටන් ගත් පුසුව, ප්‍රථම වරය ඇය කෙරෙහි තරහවක් ඇතිවිණි. එය තරහවකට වඩා නොරිස්සුම් සහගත හැගීමකි. ගැහැනු චපල යැයි පුරාණයේ සිට පැවත එන කතාවේ ඇති සත්‍යතාවය ගැන මට මදක් සිහිපත් විය. නැත.. ගැහැණු පමනක් නොවේ.. චපල පිරිමින්ද ඕනෑ තරම් ඇත. එහෙත් අති පිරිසිදු සිතින්, දිනූකා මිස් ගැන සිතා සිටි මගේ සිත ඉදිරියේම ඇය මේ කියන්නේ මොනවාද..? ප්‍රසාද් මේ දැන් ආවත්, ඔහු සමග ඇය යන බවද..? ප්‍රසාද් මොන දේ කළත් තමා ප්‍රසාද්ට සමාව දෙන බවද..?

"දැන් මිස් මොකක්ද කරන්න  හදන්නේ..?"

"කරන්න ඕන කිසිම දෙයක් මට තේරෙන්නෑ.. ප්‍රසාද් ඊයෙ මට කතා කලා.."

"මොනවා..?"

හොල්මන් දහයක් එක පෙලට සිටිනවා දැක්කාටත් වැඩිය බියකින් මම ඇලලී ගියෙමි. දෙවියනේ.. මේ සිදුවන්නේ මොනවාද...?

"එයාට මාව හම්බවෙන්න ඕනලු.. මං බෑ කිව්වා කාචංන.. ඔයා හින්ද විදපු දුක් කන්දරාව හොදටම ඇති කියලා මං කිව්වා.. එයා ඒවා පිළිගන්නෙ නෑ.. වෙච්ච දේවල් වලට සමාවෙලා එයාව මුණ ගැහෙන්නලු.."

සිතේ ඉදිවී තිබූ සොදුරු ටජ් මහලේ කුලුණු හෙමින් සීරුවේ දෙදරා යන හැටි මට දැනෙයි.. සිත විශාල වේදනාවකින් ඇලලී යන්නේ ඇයි කියා මට වැටහෙන්නේ නැත. ඇය මට කිසිදාක අයිති කරගන්නට බැරිබව සැබෑය. එහෙත් දුරින් හිද හෝ ඇය දෙස බලා සිටීමට මට ආත්ම ගණනකට සැනසීම් ලබාදෙන දෙයකි. ඇය මේ කියන්නට යන්නේ එයත් මට අහිමිවන බවද..?

"මිස් මොනවද කිව්වේ...?"

"මං මොනවද කියන්නෙ කාංචන.. මං බෑ කිව්වා.. ඒ පාර ප්‍රසාද් කියනවා මං එයා ළගට ආවෙ නැත්නම්, එයා මං ඉන්න තැනට එනවලු.. මාව හම්බවෙන්න.."

මසිත ගිනි වැදී යයි.. හදවත පුපුර පුපුරා නැගෙන දුක් විලාපය දෑස් මතින් පිටව යන්නට මගක් සොයයි..

"හ.. හම්බවෙලා..?"

"එ.. එයා කියනවා මාව බදින්න ඕනලු.. බැදලා මාත් එක්කම රට යනවලු.."

මට කෙලින් සිටගෙන ඉන්නට පවා පණක් නොමැත. මා පත්වූයේ දැඩි අසහනකාරී තත්වයකටය. කුමක් කිව යුතුදැයි මට සිතා ගන්නට බැරිය. ප්‍රසාද් මේ සියල්ලම කියවා ඉවර වෙනතුරු දිනූකා මිස් ඔහේ අසාගෙන සිටියාද..? මේවාට විරුද්ධව ඇයට වචනයක්වත් කියන්නට හිත් නොදුන්නේද..? මම දිනූකා මිස් දෙස අපමණ ශෝකයකින් බලා සිටියෙමි. මගේ දෑසට කදුළු පිරීගෙන එන සැටි මට දැනේ..

"ඇ.. ඇයි කාංචන මේ..? මට මේවා කියන්න පුළුවන් ඔයා එක්ක විතරයි දෙයියනේ... ඔයාට මං නිතරම කියලා තියෙනවනේ ප්‍රසාද් මට හරියට වද දුන්නා කියලා.. තව ඉස්සරහටත් ඒක එහෙම්මම වෙයි. ම.. මට තේරෙන්නෑ, මොනව කරන්නද කියලා.. ම.. මට ලොකු බයක් දැනෙනවා, හුගාක් නපුරු දේවල් තවත් ඉස්සරහට වෙයි කියලා" 

දිනූකා මිස් මේසය මත හිස ගසාගෙන සුසුම් ලෑවාය. ඒ මුදු සිතේ ඇති දුක් කන්දරාවම දෝතට ගෙන ඇයව සැනසීමට මට හැකිය. දිනූකා මිස් වෙනුවෙන් කල නොහැකි දෙයක් මට නැත.

"අ.. අපි මේක මැණික්දිවෙල සර්ට කියමුද  මිස්..."

දිනූකා මිස් සැනෙකින් හිස උස්සා මදෙස බැලුවාය. ඒ දෑසේ තිබුණේ දැඩි බලාපොරොත්තු සහගත බවකි. එහෙත් ටිකෙන් ටික ඒ බලාපොරොත්තු දියවී යන සැටි මම අපමණ කම්පාවෙන් බලා උන්නෙමි.

"කලින් පාර තාත්ති මේ ප්‍රශ්නෙට පටලැවිලා තව පොඩ්ඩෙන් කරදර ගොඩක් වෙනවා.. ප්‍රසාද්ට ගහපු එකට, පොලීසිය හරියට තාත්ති පස්සෙ පැන්නුවා.. එහෙට මෙහෙට සල්ලි විදි කරලා තමයි තාත්ති බේරුනේ. මොකද ප්‍රසාද්ගෙ ළගම නෑදෑයෙක් ඉන්නවා ඇමති කෙනෙක් වෙන. ඉතිං ප්‍රසාද් මොන දේ කළත් අර ඇමතිගෙ ගාඩ් එක එයාට තියෙනවා.. ඒක හින්දා මේ පාර මට තනියෙම තමයි මේ ප්‍රශ්නෙ විදසගන්න වෙන්නේ.. අනිත් දේ තමයි මගේ ආදරේට මේ මොකද උනේ කියලා, මම හරියටම දැනගන්න ඕන.. එපා වෙනකොට දාලා යන්නයි.. ආයෙ ඕන වෙනකොට ලංවෙන්නයි හදන මිනිහෙක්ව මට ඕනෙ නෑ.. ඔයාට තේරෙනවද කාංචන.. මං මේ අවංකවමයි කියන්නේ.. මං මේ ගැන ලොකු තීරණයක් ගන්නවා.."

ඇයගේ ලොකු තීරණය කුමක්දැයි මම අසන්නට නොගියෙමි.. එහෙත් අද උදෑසන ආ දුරකථන ඇමතුම ගැන මම ඉන්පසුව ඇයට කීවෙමි. එහිදී සිදුවූ කතාබහත්, අකුරක් නෑරම මම වැමෑරුවෙමි. බලා ඉද්දීම මිස්ගේ දෑස් නළලට ගියාය. දියෙන් මේ දැන් ගොඩ දැමූ මාළුවෙකු මෙන් ඇය දැන් හැගෙයි.

"ඇ... ඇයි.. මි.. මිස්..?"

"ඇයි කාංචන එහෙම කතා කලේ..?"

"ඉතිං මිස්, ඒ මනුස්සයා කතා කරපු තාලෙට මං වෙන කොහොමද කතා කරන්නේ..? ජීවිතේට ඉස්කෝලෙ ගියපු නැති මනුස්සයෙක් වගේ කතා කලේ.. අනික මිස්ට වත් කිසිම ගරු නම්බුවක් දීලා කතා කලේ නෑ.. මට වැඩියෙන්ම තරහා ගියේ ඒකට.."

"සමහරවිට.."

එසේ කියා දිනූකා මිස් ඉතිරි වචන ටික ගිල ගත්තාය. මගේ නොසන්සුන් සිතේ පැන නැගී ආවේ දැඩි කුකුසකි. ඇය ඉතිරි ටික නොකියන්නේ ඇයි..?

"සමහර විට මොකක්ද මිස්..?"

"ඒ කතා කෙරුවෙ ප්‍රසාද් වෙන්න පුළුවන්.."

අධික මීදුම් සහිත මාර්ගයක, මීදුම ඉවත්වී පාර පැහැදිලි වනවා සේ මට සියල්ල පැහැදිලි වන්නට විය. දිනූකා මිස් කියනා ලෙසටම, උදෑසනම ආ ඇමතුම ප්‍රසාද්ගෙන් විය යුතුය. දැන් දැන් මගේ සිතේ වූ නොසන්සුන්කමට අමතරව ආවේ බියකට සමාන වූ හැගීම් ගොන්නකි. එසේ නම් මා වීරයකු සේ පඩි ටෝක් දමා ඇත්තේ දිනූකා මිස්ගේ ප්‍රථම ආදරය සමගය..

"මට සමාවෙන්න මිස්.. මං මේ වෙච්ච කිසි දෙයක් දන්නෙ නැතුවයි කතා කරේ..."

"නෑ කාංචන.. ඒක ඔයාගෙ වැරැද්දක් නෙමෙයි.. ඔයා එහෙම කතා කරපු එක හොදයි. එතකොට ප්‍රසාද් දැනගනියි, මගේ ගාඩ් එකට මගේ ළග කවුරු හරි ඉන්නවා කියලා.. ඒක මට ලොකු ශක්තියක්.."

"ම.. මට පුළුවන් උදව්වක් මං කරන්නම් මිස්.. මට මේ ලෝකෙ මගේ කියලා ඉන්නේ මිසුයි, අයියයි විතරයි.. මට නැතිවෙන්න දෙයක් නෑ මිස්.. කිව්වා වගේම මං මිස්ගෙ ගාඩ් එකට ඉන්නවා. මිස්ට පුංචි කරදරයක්වත් වෙන්න මං ඉඩ තියන්නෑ.. ඒක පොරොන්දුවක්.."

"තෑන්ක්ස් කාංචන.. ඔයා ඔහොම කියන එකත් මට මහ ලොකු හයියක්.. ඔයා මේ කරන උදව් මං කවදාවත් අමතක කරන්නෑ.."

දිනූකා මිස් තවත් මොනවදෝ, මහ හුගක් කියවාගෙන ගියාය. ඇත්තෙන්ම ඒ කිසිවක් මසිතේ රැදුණේ නැත. මගේ සිතේ තිබුණේ ඇය වෙනුවෙන් ඉපදී තිබූ මොකක්දෝ කියාගත නොහැකි ආදරණිය හැගීම්, බැදීම් රාශියකි. එහෙත් ඒවායින් එක අංශු මාත්‍රයක් හෝ ඇයට කිව නොහැකි බැව් මම හොදාකාරවම දැන සිටියෙමි. එවිට දිනූකා මිස්ට, ප්‍රසාද්ට වඩා මාව එපාවනු ඇත. හොදම දෙය නම් මේ ඉවසුවා සේ තව කල්ප කාලයක් හෝ ඉවසා හිදීමය. එහෙත් මා ඉවසුවාට ප්‍රසාද් ඉවසා සිටීවිදැයි මගේ සිතේ වූයේ දැඩි සැකයකි.



No comments:

Post a Comment