Friday, March 23, 2012

| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






මගේ කල්පනාවේ තරම කොතෙක්දැයි කියා කියනවා නම්, එකදිගට නාද වූ දුරකතනයේ හඩ මට ඇසුණේ බොහෝ වේලාවකින් පසුවය. මුලින් මුලින් මට සංගීතමය නාදය එන්නේ කොහෙන්දැයි කියා සිතා ගැනීමට බැරිවිය. සිහිනයකින් මිදෙනවා සේ  දෑස ඇර බැලූ කල දිනූකා මිස්ගේ මේසය මත තිබූ දුරකථනය මම දැක්කෙමි. සමහර විට මේ දිනූකා මිස් වන්නට ඇත. මා කාමරය තුළ සිටිනවාදැයි ඇය සොයා බලනවා විය හැකිය. ඇයගේ වචනය මා අහනවාදැයි බලා ගැනීමට උවමනා වන්නට ඇත. මම අඩියට දෙකට දුරකථනය ළගට පැන රිසිවරය ගත්තෙමි.
 
"මොනාද බබා වෙලා තියෙන්නේ..? මං දැන් කොච්චර වෙලාවක ඉදලා ගන්නවද..? ඒ මදිවට මොබයිල් එකත් ඕෆ් කරලා..."

එහැ පැත්තෙන් ඇසුනේ ලාමකම ලාමක ගැණු කටහඩකි.. ෂුවර් එකටම මේ දිනූකා මිස්ගේ යාළුවෙකු වන්නට ඇත. සමහර විට ඇය නිතරම පාහේ කතා කරන රෝෂි නම් වූ යෙහෙළිය වන්නට ඇත.

"මට කියන්න ඔයා මොනවද කරන්නෙ කියලා දිනූ.. ඔතන ඉන්න අහිංසක සුදු කොල්ලගෙ ඇස් දෙක දිහා බලන් ඉන්නවද..? මතකද ඔයා අර දවසක් කිව්වේ, ඌ හරිම අහිංසක කොල්ලෙක් කියලා.."

මම හිරි වැටී ගියෙමි. දිනූකා මිස් එහෙනම් ඇයගේ යෙහෙළිය සමග මා ගැන විස්තර කතා කරන්නට ඇත. එහෙත් එසේ කතා කරන්නට තරම් දෙයක් මගේ රූපයේ නැත. ඇයගේ යෙහෙළියට මා ගැන දිනූකා මිස් මොනවා කියන්නට ඇත්ද..? මොනවා කීවත් ඒ සියල්ලම සුන්දර දේවල් වන්නට ඇත. ඇගේ හෙයෙළිය මේ තරම් හැගීම්බරව කතා කරන්නේ ඒ නිසාය.

"මොකද ඔයා, ඌව අදත් ඇඩෙව්වද..? ආ බබා.. එහෙම දවසටනේ ඔයා කා එක්කවත් කතා නොකර ඉන්නේ.. ඔයාට කාවවත් පේන්න බැරි.. මං හවස්වෙලා ඔයාට ගන්නම්.. එතකන් හිත ඩිංගක් කූල් කරගන්නකෝ.."

වචනයක්වත් කියන්නට පෙර එහා පැත්තෙන් දුරකථන ඇමතුම විසන්ධි විය. ගොලු කසාය බිව් එකෙකු සේ මම මොහොතක් තක්කු මුක්කු වී බලා සිටියෙමි. එසේ නම් මා ඇඩෙවූ දවස් වලට ඇයත් නොසෑහෙන තරම් දුක් විද ඇත. ඇයගේ මිතුරියගේ වදන් එයට සාක්ෂි දරයි. දෙවියනේ මා කොතෙක් නම් වැරදි ලෙස දිනූකා මිස් ගැන සිතා සිටියාද..? කොටින්ම ඇයගේ හදවත මහා කලු ගලකින් නිම වී ඇතයි මම සිතා සිටියෙමි. මුවින් නොකීවත් සිත පතුලෙන්ම ඇයට කොතෙක් නම් බැණ වැදුණාද..?

එහෙත් අවසානයෙදී මා හට ඉතිරි වූ එකම එක ගැටලුව දිනූකා මිස් මෙසේ හැසිරුණේ මන්ද කියාය. පුබුදු සහ පූර්ණිමා සැක කළ පරිදි, මගේ සිත වරින් වර මට ඇගෙව් පරිදි ඇය මට ආදරය කරනවාවත්ද..? එහෙත් ඇය වැනි සද දෙව්දුවකට මා වැනි හඩ්කෙු ගැන කෙසේ නම් ආදර සිතුවිලි පහළ වන්නේද..? අප අතර ඇති පරතරයම දුර පෙනෙන ක්ෂිතිය ඉමක් වැනිය. ඇයගේ සමාජ මට්ටම, මට කෙසේ වත් පෑහෙන්නේ නැත. එසේ සිතෙද්දී නම් මගේ සිතට දැනුණේ මහා දුකකි. හිමිකර ගැනීමට නොහැකි වුවත් මේ සොදුරු කාමරය තුළ අප දෙදෙනා හැමදාකම මුණ ගැසුනා නොවේද..?

රිසිවරය තමා නැවතත් මගේ මේසය කරා එන්නට මම හැරුණෙමි. සිතේ ඉපදී තිබූ සිතුවිලි කන්දරාව කොතරම්ද කියා කියනවා නම්, දිනූකා මිස්ගේ මේසයට පසෙකින් තිබූ සිටූල් එකක පැටලී මම බිම ඇදගෙන වැටුනි. මගේ පියවි සිහියට ආවේ තලපතෙකු සේ බිමට ඇද වැටී අතද රිදෙන්න ගත් පසුවය.

දිනූකා මිස් මේ වේලාවේ කාමරය තුළ නොසිටීම ගැන මම දෙවියන්ට පින් දුන්නෙමි. සිටියා නම් අසන්නට වෙන බැනුම් කන්දරාව නිමක් නැතිවනු ඇත. දනිපනි ගා නැගිට මම පෙරලී තිබූ ස්ටූලය කෙලින් කෙරුවෙමි. මා බිමට ඇද වැටෙද්දී මගේ අතේ තිබූ පෑනද කොහේ හෝ මුල්ලකට විසි වී ගොස් ඇති බව දැනුනේ නැවත මේසය කරා ආ විටය. මම නැවත ස්ටූලය තිබූ තැනට ගොස් බිමට නැඹුරු වී පෑන හෙව්වෙමි.

එහෙත් මා සිතා සිටි තරම් ඉක්මනට පෑන ලැබුනේ නැත. විනාඩි දහයක් පමණ හැමතැනම පෑන හොයා, පෑන ගැන අදහස සිතින් ඉවතකර ගන්නට හදන විටම මම අහම්බෙන් මෙන් පෑන දැක්කෙමි. පෑන තිබුණේ දිනූකා මිස්ගේ රාජකාරි මේසයට පිටුපසින් වූ බිත්තියේ ගසා තිබූ දැවැන්ත බතික් තිර රෙද්ද ළගය. මේ මළ ඉලව් පෑනටත් ඇත්තේ පුදුම තරම් අසමජ්ජාතී ගතිගුණය. විනාඩි දහයක් පහළවක් මාව මහන්සි නොකර ඌට මේ ළගක වැටෙන්නට තිබුණා නොවේද..? මේකත් හරියට අර අපිට උපන්නොත් අං ඇති වගේ කතාවකි.

හිතේ කේන්තියටම මා පෑන ගත්තේ බතික් තිර රෙද්දට හේත්තු වී බිමට නැවීගෙනය. මගේ ඉමහත් පුදුටමයට හේතුවන පරිද්දෙන් බතික් රෙද්ද මදක් බිත්තිය තුලට එබී ගියේය. මෙම තිර රෙද්ද ගැට ගසා ඇත්තේ ගඩොලින් බැද කපරාරු කර තිබූ බිත්තියක බැව් මම හොදින්ම දැන සිටියෙමි. එසේ නම් බතික් තිර රෙද්ද බිත්තිය තුලට එබී ගියේ කෙසේද..? මගේ සිතට පැන නැගුනේ සිතා ගැනීමටත් නොහැකි තාලේ සැකයකි.

අතේ පෑනත් තබාගෙනම මම බතික් තිර රෙද්ද මෙහා කොණට ආවෙමි. ඒ කොණ බිත්තිය සමග සම්බන්ධ වී තිබුණේ තද කල විට ගලවා ගතහැකි පුංචි අගුලකිනි. මම හෙමින් සීරුවේ එම අගුල තද කෙරුවෙමි. මේ කාමරයේදී නිරන්තරවම දැනුණු දිනූකා මිස්ගේ විලවුන් සුවදත්, මේ කාමරය ගැන මගේ සිතේ තිබූ සැකයත් මේ මොහොත වන විට ඉතා ඉහළ මට්ටමකට ගෙන ගොස් තිබිණි.

බතික් තිර රෙද්ද මදක් පැත්තකට කර බැලූ විට මා දැක්කේ බිත්තිය මැද සවිකර තිබූ දොරවල් වලට අල්ලන තාලයේ ලොකු බෝල අගුලකි. පපුවේ ගැස්ම දෙගුණ තෙගුණ වී වැඩි වෙද්දී මින් එහාට මා කුමක් කළ යුතුදැයි මට සිතා ගන්නට බැරිවිය. මේ කාමරය ගැන මුල සිටන්ම මට දැනී තිබූසැකය මහ හරවා ගැනීමට මීට වඩා හොද අවස්ථාවක් මට යළි උදා නොවෙනු ඇත. දිනූකා මිස් යළි එනවා කීවේද හවස් වරුවේය. ඇය අහම්බයකින් හෝ ආවොතින් මිසක මේ කාර්යය කිරීමට මට උවමනාවටත් වඩා කාලයක් තිබේ..

මම කාමරයේ වූ අනෙක් බිත්ති දෙස බැලුවෙමි. ඒවායෙහි ඇති බතික් තිර රෙදි මේ බිත්තියේ තිබෙනා එකට වඩා පුංචි විය. මේ බිත්තියේ තිර රෙද්ද විශාලය. අනික මෙවැනි බිත්තියක මේ ආකාරයෙන් බෝල අගුලක් තිබෙන්නේ නිකන් නම් වන්නට බැරිය. මෙතන මොකක් හෝ හොරයක් තිබෙනා බැව් මගේ සිත මොර ගා කියයි. එහෙත් ඒ හොරය කුමක්ද..? සමහර විටක අර අලිබබා සහ හොරු හතලිය කතාවේ වැනි ගල් දොරක් ඇරෙනවා සේ මේ මුලු බිත්තියම ඇරී මහා අනර්ඝ නිධානයක් මගේ දෑස ඉදිරිපිට තිබෙන්නට පුළුවන. උඩ ඉන්නා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා සියලු දෙනාම සිහිකර ගනිමින් මම බිත්තියෙ වූ බෝලයට අත තැබුවෙමි.

මගේ ඉමහත් විස්මයට හේතුවන පරිද්දෙන් බිත්තියේ  තිබූ විවරයක් අර බෝලය සමග ඇතුලට විවර වන්නට විය. ඒ සමගම දිනූකා මිස්ගේ විලවුන් සුවද ඇය මේ දැන් මගේ ළගින් හිදින්නා සේ දැනෙනා තරමට මට දැනුණි. එසේ නම් දිනූකා මිස් කාමරය තුළ නැති අවස්ථාවල වුවද මට ඒ සුවද දැනුණේ මේ විවරය තුළින් වන්නට ඇත. ඒ කියන්නේ මා කාමරය තුළ සිටිනා අවස්ථාවල මේ විවරය මදක් හෝ ඇරී තිබෙන්නට ඇති වගය. මෙම විවරය ඉබේ විවෘත විය නොහැකි නිසා ඒ දේ කරන්නට ඇත්තේ දිනූකා මිස්ම විය යුතුය. ඇය සිටින්නට ඇත්තේ මේ විවරයෙන් එහා යම්කිසි තැනකය.

කුමක් කරනවාදැයි කියා මද වේලාවක් මම දෙගිඩියාවෙන් ඇරී තිබුණු විවරය දෙස බලා සිටියෙමි. මා මේ කරනා වැඩය හරිද..? සමහර විටක මේ විවරය තුළ මා කිසිසේත්ම දැන නොගත යුතු දෙයක් තිබෙන්නට පුලුවන. අනික වැරදිලාවත් දිනූකා මිස් නැවත පැමිණියොත් සිදුවන දේ ගැන කීමට දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. ඇයත් මාත් අතර යාන්තමින් මල් ඵල ගැන්වී ආ යාලුකමද කුඩේ කුඩු වනු ඇත. ඇය අත දිග හැර මට කම්මුල් දෙකටම පාහරවල් ගසන්නට වුවද බැරි නැත. එහෙත් තත්පරයෙන් තත්පරය කාලය ගෙවී යද්දී මගේ සිත කිවේම විවරය ඇතුළට යන්නට කියාය. අනික මගේ සිතේ ඇති සැකයත් දුරු කර ගැනීමට මෙය ඉතා අනගි අවස්ථාවකි. සමහර විටක මගේ සිතේ ඇති සියලුම ප්‍රශ්න වලට මේ අහම්බෙන් දකින්නට ලැබුණු විවරයෙන් පිළිතුරු ලැබෙනු ඇත. එසේත් නැතිනම් සියලු දෙයම යලිත් තිබුණා සේ තිබෙනු ඇත.

දිනූකා මිස් ළගින් එන විලවුන් සුවද වඩාත් තදින් දැනෙද්දී විවරයෙන් එපා පැත්තේ ඇත්තේ කුමක්දැයි නොදැනම මම මදක් නැවී විවරය තුළට ඇතුලු විමි. ඇතුලු වූ විගසම විවරය වැසී ගියේත්, මා සිටි ස්ථානය හොද ආලෝකයකින් පිරී ගියෙත් එක විටය.

                                             *****************************

ආලෝකයට දෑස හුරුවූ විගසම මා වටපිට බැලුවේ මෙය මොනව වගේ තැනක්දැයි දැන ගැනීමටය. එය මදක් විශාල වූ හරි හතරැස් කාමරයකි. අධි සුඛොපභොගී කාමරයක තිබිය යුතු සියලුම ගෘහ භාණ්ඩ හා අනෙකුත් දේවල් එහේ අඩුවක් නැතුවම තිබිණි. මම මදක් ඉදිරියට ගොස් කාමරය මැදම වාගේ තිබූ සුවපහසු ඇදේ වාඩි වූයෙමි. ඇද විට්ටම් ළගින්ම තිබි කැබිනය මත කිරි ගරුඩෙන් වාගේ අමුතුම හැඩයකට නිම කරන ලද භාජනයක් තබා තිබිණි. වඩාත් ළං වී බලද්දී දිනූකා මිස් වෙතින් නිරතුරුවම දැනෙන විලවුන් සුවද හමා එන්නේ ඒ කිරිගරුඩ භාජනයෙන් බව මම දැනගතිමි.

සිතේ තිබූ සියලුම ගැටලු වලට පිලිතුරු එකින් එක මගේ මනසට විද්‍යාමාන විය. එසේ නම් මා කාමරය තුළ සිටිනා බොහෝ අවස්ථාවල, ඇයද සිටින්නට ඇත්තේ මේ කාමරය තුළට වී වන්නට ඇත. හිටි ගමන් ඔෆිස් කාමරයෙන් ආවේත්, නැවත අන්තරස්දාන වූයේත් මේ කාමරය තුළ සිට වන්නට ඇත. ඇයගේ විලවුන් සුවද වඩාත් තදින් පැතිර ගියේ, මේ කාමරය විවෘත තිබෙනා විට බැව් මම හොදින්ම තේරුම් ගතිමි. ඒ මේ කිරි ගරුඩ මංජුසාව එළියේ වූ වාතය හා මිශ්‍ර වූ විටය. බොහෝ විටක ඇය ඔෆිස් නාවා යැයි මා සිතා සිටි බොහෝ දවස් වල දිනූකා මිස් මටත් කලින් පැමිණ මේ කාමරය තුළට වී සිටින්නට ඇත. එහෙත් එසේ කිරීමට නම් ඇයට කුමක් හෝ විශාල අරමුණක් හෝ ඉලක්කයක් තිබිය යුතුය. මා හට තේරුම් ගැනීමට බැරි වූ එකම එක දෙය නම් එයයි.

පැය තුන හතරක් එක දිගට මේ කාමරය තුළට වී ඇයට කරන්නට ඇත්තේ මොනවාද..? මා එහා කාමරය තුළ සිටියත් ඇයට මා පෙනෙන්නේ නැත. අප දෙදෙනා අතර ඇත්තේ ගඩොලින් බැද තිබෙනා බිත්තියකි. එසේ නම් ඇය මට නොපෙනී මේ කාමරය තුළ සිට ඔෆිස් කාමරයට එන්නේ කෙසේද..? ඇයගේ රහස මා දැනගන්නවාට ඇය කිසිදු කැමැත්තක් නොදක්වන බැව් මම දනිමි. මා එහා කාමරය තුළ සිටින විට මෙලෝ සිහියක් නැතිව දිනූකා මිස් මේ විවරයත් ඇරගෙන එන්නේ නැති බැව් සහතිකය.  එසේ නම් ඇයට මේ කාමරයේ සිට ඔෆිස් කාමරය තුළ සිදුවන දේ බලා ගැනීමට හැකි යම්කිසි දෙයක් තිබිය යුතුය.

ඇදේ වාඩි වී ගෙනම මම ආපසු හැරී මා පැමිණි විවරය දෙස බැලුවෙමි. නෙත දුටු දර්ශනයෙන් මම ගල් සැගී සියෙමි. විවරය සම්බන්ධ වූ බෝලය මෙහායින් බිත්තියේ සාමාන්‍ය මට්ටමේ ජනේලයක ප්‍රමාණයක ඉඩකින් ඔෆිස් කාමරයේ සෑම අස්සක් මුල්ලක්ම දැක ගන්නට මට හැකිවිය. වඩාත් ළංවී බලද්දී එය බිත්තියට වාගේ සවිකර තිබූ අමුතුම ආකාරයේ දර්පණයක් බැව් මම තේරුම් ගත්තෙමි. දෙවියනේ දිනූකා මිස් කාමරය තුල නැතැයි සිතා මා කළ කී දෑ බොහෝමයක් ඇය මේ කාමරය තුළ හිද හරි අපූරුවට බලා හිදින්නට ඇත. මා එක්කෝ ඔෆිස් කාමරයයෙන් පිටව ගිය විට හෝ මේසයට ඔලුව ගසාගෙන කල්පනා කරන විට හෝ ඇය හෙමින් සීරුවේ මේ කාමරයේ සිට එහා කාමරයට යන්නට ඇත. මගේ පුංචි අතපසුවීමකදී හෝ මගේ අවධානය අඩු වූ අවස්ථාවලදී දිනූකා මිස් ඔෆිස් කාමරයේ සිට මේ කාමරයට පැන ගන්නට ඇත.

එහෙත් ඇය මෙවැනි දෙයක් කළේ ඇයි..? දිනූකා මිස් මා ගැන දැඩි අවධානයක් දැක්වූ බැව් ඉතා පැහැදිලිය. කිසිවෙකුටත් මගේ ළගට ළංවීමට ඇය ඉඩ දුන්නේද නැත. චිත්‍රපටියක රූප රාමු වෙන් ගෙවී ගිය අතීතයේ සිදූ වූ දියලුම දෑ මගේ මනසේ දිස්වන්නට විය. ඇය මෙවැනි දෙයක් කරන්නේ මා මුලින් සිතූ පරිද්දට යම්කිසි දෙයක් නිසා විය යුතුය. ඒ යම්කිසි දෙය කුමක්ද..?

මම කාමරය දිහා නැවතත් සුපරික්ෂාකාරීව බැලිමි. බිත්තිවල වූයේ විවිධ ආකාරයේ බතික් වලින් කැටයම් කල හැඩ වැඩ දමා තිබූ සාමාන්‍ය මට්ටමේ තිර රෙදිය. එහෙත් කාමරයේ එහා කොනට වන්නට වාගේ බිත්තියට හේත්තු කර තිබූ මගේ ප්‍රමාණයට වාගේ උසට හා අඩි තුනක් පමණ පළලින් තිබූ වයිට් බෝට් එකක් මම දැක්කෙමි. මම මදක් වේලා කල්පනා කෙරුවෙමි. මේ සොදුරු කාමරයට වයිඩ් බෝඩ් එකකින් ඇත පලය කුමක්ද..? සමහර විට මෙය නිකමට බිත්තියට හේත්තු කර තිබෙනවා වන්නට පුලුවන. එහෙත් වඩාත් ළං වී බලද්දී එය වයිට් බෝඩ් එකක් නොව බිත්තිය පැත්තට රූපය හරවා තිබූ, අති විශාල ඡායාරූපයක් බව මම තේරුම් ගත්තෙමි. මේ ඡායාරූපයේ සිටින්නේ කවුරුන් විය හැකිද..? සමහර විට දිනූකා මිස්ගේ හැඩකාර සොදුරු ඉරියව්වකින් යුක්ත වූ සමනළ රූපයක් විය හැක.

එසේත් නැත්නම් තවත් බතික් ඩිසයින් එකක් වනු ඇත. එහෙත් නැත්නම් ස්වභාවික සෞන්දර්යය මවා පෙන්වන අතිශය සොදුරු කදුකර පරිසරයක ඡායාරූපයක් විය හැක. 

එහෙත් ඡායාරූපය මගෙ පැත්තට හරවා බලද්දී මම විස්මයෙන් විස්මයට පත්විනි. සත්තකින්ම එය මගේ  හදවත නැවතුවාක් බදු විය. දෑසට පෙනෙනා දේ අදහාගත නොහැකිව මම තවත් මොහොතක් ඒ දෙස බලා සිටියෙමි. මේ මා දකින්නේ සිහිනයක්ද..? මම දෑස පිස දමා නැවතත් ඡායාරූපය දෙස බැලිමි. දෙවියනේ මෙය විශ්වාස කල හැකිද..? ඡායාරූපයේ සිටින්නේ මමය. පිරිසිදු සිනාවක් මුවේ රදවාගෙන අව් කන්ණාඩිය කොණ්ඩය මත රදවාගෙන ඉතාමත් ජැන්ඩි පහට සැරසීගෙන උන්නේ අහිංසක අසරණයකු වූ දුප්පත් කාංචනය. මෙය කොයි වෙලාවේදි කොතැනකදී කවුරුන් ගන්නට ඇත්ද..?

මා සිටියේ සිහි එළවාගන්නට බැරිවය. මෙවැනි ජැන්ඩි පහේ ඇදුම් කට්ටලයක් මට කිසි දිනෙක තිබුණේ නැත. ඡායාරූපයේ මට පිටුපසින් තිබූ අති නවීන සුඛෝපබෝගි වර්ගයේ ජීප් රථයක් මා මේ දැක්කාමය. අනිත් දෙය නම් මා සිටි පරිසරය මා කිසිදා ගොස් තිබූ තැනක් නම් නොවේ. හරියට එය පිටරටක දර්ශනයක් වගේය. තත්වය එසේ නම් මා මේ ඡායාරූපයේ පෙනී සිටියේ කවදාද..? මගේ සිතේ තිබුණේ උභතෝකෝටික ප්‍රශ්න පත්තරයකි.

මම ඡායාරූපය දෙස වඩාත් හොදින් බැලුවෙමි. විනාඩි දෙකක්, තුනක් හතරක් එක දිගටම මම බලාගෙන සිටියෙමි. මෙය මා දැනුවත්ව ගත් ඡායාරූපයක් නම් මගේ මතකයේ කොහේ හෝ මේ ඡායාරූපය ගැන තොරතුරක් ගබඩා වී තිබිය යුතුය. එහෙත් මගේ මනසට එවැනි කිසිම දෙයක් සිහිපත් වූයේ නැත. මම ජායාරුපය ළගටම ගෙන ඉතා හොදින් ඒ දෙස බැලුවෙමි. හෙණ ගෙඩි දෙක තුනක් ඇස් ඉදිරියේ පුපුරා ගියාක් මෙන් මම තිගැස්සී ගියෙමි. මගේ සිතට ආවේ එකම එක අදහසකි.

දෙවියනේ... මේ ඡායාරූපයේ සිටින්නේ මා නොවේ.. මා වැනි හැඩ හුරුකම් ඇති වෙනත් පුද්ගලයෙකි. මා හට බොහෝ සෙයින් සමාන මට වඩා මදක් වයසින් මුහුකුරා ගිය තරුණයකි. එහෙත් බැලූ බැල්මට හැමටම පෙනෙන්නේ මේ සිටින්නේ, කාංචන නැමැති දුප්පත් අසරණ පුද්ගලයා ලෙසය. වැඩේ තරම කියන්නේ ඡායාරූපය දුටු විගස මටත් ගමයි රටයි දෙකම පැටලැවුණු එකය. අඩුගානේ මට, මාවත් අදුනා ගන්නට බැරි වූ එකය.

මම නැවත ඡායාරූපය තිබූ ලෙසම තමා ආපසු හැරු‍ණෙමි. මේ ඡායාරූපයේ සිටින තැනැත්තා කවුරුන් විය හැකිද..? මිනිහා කවුරුන් වුවත් මට කමක් නැත. ඔහු දිනූකා මිස්ගේ කිසිවෙකුත් නොවනවා මට ඇතිය. ඔහු දිනූකා මිස්ව අදුනන්නේවත් නැත්නම් වඩා හොදය. එහෙත් තත්වය එසේ වන්නට ප්‍රාර්ථනා කලත් දිනූකා මිස්ගේ කාමරය තුළට මේ ඡායාරූපය පැමිණිමෙන් අදහස් වන්නේ මේ තැනැත්තා දිනූකා මිස් ඉතා හොදින් අදුනන බවය.. දිනූකා මිස් හා ඔහු අතර මට හිතා ගැනීමටවත් නොහැකි තරම් දුර දිග ගිය සම්බන්ධයක් ඇති බව නොවේද..? තත්වය එසේ නම් දැන් මා සොයා ගත යුතු එකම දෙය වන්නේ මේ පුද්ගලයා කොහේ සිටින්නෙද යන්නය. අනුතුරුව දුප්පත් කාංචනට සිදුවන දේ පිලිබදවත් දැනගන්නටය.

ක්‍රම ක්‍රමයෙන් මට සියලුම දේ පැහැදිලි වන්නට විය. දිනූකා මිස් මට මේ තරම් සැළකිල්ලක් දක්වන්නට ඇත්තේ, මට මේ තරම් ළං වෙන්නට ඇත්තේ, මාද මේ පුද්ගලයා හා සමානව හැඩහුරුකමින් යුක්ත වන නිසාය. බොහෝ විට ඔහුගේ ගති පැවතුම් මා කෙරෙන්ද විද්‍යාමාන වන නිසාය. මේ ඡායාරූපයේ සිටින තැනැත්තා පිළිබද මතකය මා දකින විට අලුත් වන නිසාය.

ගෙවී ගිය අවසන් දවස් කිහිපයේදී දිනූකා මිස්ගේ මුවින් පිටවූ වචන යළි යළිත් මම සිහිපත් කෙරුවෙමි. 'මං ඔයාට හිතලා කිසිම දෙයක් කරේ නෑ දෙයියනේ.. ඔහොම එක එක දේවල් කියලා මට මගෙ ජීවිතේ එපා කරවන්න එපා.. මං හුගාක් අමාරුවෙන් මෙතන හිත හදාගනෙ ඉන්නේ.. මං ජීවත් වුණේ මිහිපිට අපායක... මං ඒකෙන් ගැලවුණේ ඔයා කිව්වටත් වැඩිය දුක් විදලා..'

'ඔයා මට ඉන්න දෙන්නෑ දෙයියනේ.. මට තවත් ඔයා දිහා බලාගෙන මේවා ඉවසාගෙන ඉන්න ගියොත් පිස්සු හැදෙයි..'

හැඩුම්බර හඩින් දිනූකා මිස් වෙතින් පිට වූ එකී වචන පේළී දිගේ මම යළි යළිත් ඇවිදගෙන ගියෙමි. ඇය ඒ නොකියා කිව්වේ මා හා සමාන පුද්ගලයා මිය ගොස් ඇති වග නේද..? ඒ සිතුවිල්ලත් සමගම, සිතා ගැනීමටත් නොහැකි කුරිරු සතුටක් මගේ සිත වෙලා ගත්තේය. ඇත්තෙන්ම එය එසේ සිදු වී ඇත්නම් කොච්චර හොදද..? එවිට දිනූකා මිස්ටත් මටත් මේ මුළු ජීවිත කාලය මුළුල්ලේම සංතෝසයෙන් සිටීමට හැකිවනු ඇත. තමා ළගින්ම බොහෝ කාලයක් හිද ජීවිතයෙන් සමුගත් ආදරණිය පෙම්වතා මගේ දර්ශනයෙන් ඇය සිහිපත් කරගන්නවා ඇත. මට ඇත්තේ නිරන්තරව ඇගේ ලගින් හිද ඒ මුදු කෝමල හිත සැනසීමය. මෙතුවක් කිසි කාලෙක මගේ සිතට නොදැනුණු තරමේ අසීමිත සැනසිමක් දැනෙද්දී මම නැවතත් ඇද කරා ආවෙමි.

ඇදට පිටුපසින් තිබුණේ තරමක් විශාල බිත්ති කබඩයකි. එයට උඩින් දමා තිබූ බතික් තිර රෙද්ද යාන්තමට මාගේ පැත්තකට ගොස් තිබූ නිසා මම එය දැක්කෙමි. එසේ නොවී තිබුණා නම් මා එය දකින්නේ නැත. මේ බිත්ති කබඩය තුළ මොනවා තිබෙන්නට පුළුවන්ද..? සිත සිතා සිටීමට මා කාලයක් ගත්තේ නැත. රිදී ගාංචුවකින් හැඩ දමා තිබූ හැඩලයෙන් මම හෙමින් සීරුවේ ඇද්දෙමි. මා සිතා සිටි පරිද්දටම බිත්ති කබඩය අගුලු ලා තිබුණේ නැත. ඇරුණු කබඩය තුළින්, මා දැකි දේවල් මගෙ සිත මොහොතකට ගල්බීත කර දැමිය. දෙවියනේ මේවා සියල්ලම මෙතැනට පැමිණියේ කෙසේද..? මට දෑස් අදහාගැනීමටත් බැරිවිය.

මා පූර්ණිමාට ගත් උපන්දින තෑග්ගත්, මා පාවිච්චි කල තීන්ත අඩක් පමණ ඉවර වූ පෑන් කිහිපයකුත්, මා ළග තිබූ ඩේ කාඩ් කිහිපයකුත්, මා චිත්‍ර අදින පින්සල් දෙකකුත්, මා විසින් ඇදි බතික් සිතුවම් විශාල ප්‍රමාණයකුත්, තවත් අනේක වර්ගයේ කුඩා විසිතුරු බඩු රාශියකුත් එහි විය. ඒ සියල්ලටම වාගේ එහායින් තිබූ කුඩා පාර්සලය දැක මගේ දෙනෙත් තෙත් වී ගියේය. මේ පූර්ණිමා විසින් මට දීමට ගනු ලැබූ තෑග්ග විය හැකිය. එය නැති වූණා යැයි ඇය මා සමග කියුවා නොවේද.? එසේ නම් මේ සියලු දෑම සොරකම් කර තිබෙන්නේ දිනූකා මිස්ය. එහෙත් ඒ ඇයි..? මේ තරම් සුලු දේවල් හොරකම් කර ඇය ලබතා තෘප්තිය කුමක්ද..?

මා සිටියේ කිසිවක්ම අදහාගත නොහැකිවය. තවත් මා මේ කාමරය තුළ සිටියෝතින් කුමන ආකාරයේ දේවල් දකින්නට ලැබේවිදැයි කියන්නට බැරිය. හැකි ඉක්මනින් මා මෙතනින් පලා යා යුතුය. තවත් මෙතැන රැදී සිටීමෙන් වන්නේ මා පිස්සෙකු වන එකය. දැනට විනාඩි ගණනකට කලින් සිතට දැනුණු අසීමිත සැනසීම නැතිවී යද්දී කුමක් කළ යුතුදැයි නිනව්වක් නැතිව මම ඔහේ බලා සිටියෙමි.

සවස දිනූකා මිස් ආ පසු මා ඇයට මුහුණ දෙන්නේ කෙසේද..? ඇයගේ රහස් ගබඩාවෙන්, රහස් විශාල ප්‍රහාණයක් දැනටමත් මා දැනගෙන අහවරය. දැන ගැනීමට ඇත්තතෙවත් ඉතා සුලු ප්‍රමාණයක් වනු ඇත. මින් ඉදිරියට මා ඇය හා කෙසේ හැසිරෙන්නද..? මා බොහෝ දේ දන්නා බැව් ඇයට ඇගවිය යුතුද..?

"කාංචන..."

මම උඩ විසි වී ගොස් බිම වැටුණෙමි. තත්පර ගණනාවක් යනතුරු මට සිහි එළවා ගැනීමට හැකියාවක් තිබුණේ නැත. ඒ කටහඩ ආවේ කොහින්ද..? වික්ෂිප්ත වූ දෑසින්මම කාමරයට ඇතුලු වූ විවරය දෙස බැලුවෙමි. කිසිදු හැගීමක් නැති දෑසින් හා තද කර පියාගත් දෙතොලින් යුක්තව මදෙස බලා සිටියේ දිනූකා මිස්ය. දෙවියනේ ඇය මාව අදම මේ රැකියාවෙන් අස්කර දමනු ඇත. කාමරයේ හැඩ වැඩ බලා නොසිට මුලින්ම දැනගත්තේද ආරක්ෂා කරගෙන මා මෙතනින් පිටව නොගියේ ඇයි..? 



 

No comments:

Post a Comment