Saturday, March 31, 2012

| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි |






මං උදේ නැගිටිද්දි වෙනදට වඩා ගෙදර සද්දෙ වැඩියි. ඒ අස්සෙ අපේ තාත්තගෙ වොයිස් එකත් ඇහෙනවා. එයා අද මොකද ගෙදර කියලා හිතලා කැලැන්ඩරේ බලද්දි අද දිනේ වටේට කහ මදයක් ඇදලා. එහෙනං අද පෝය.. අපේ වැඩ කරන ජනතාව ගෙදර නිසා වෙන්න ඇති ඔය සද්ද පූජාව. ඊයෙ ආපු හංසිත් තාම ගිහින් නැති පාටයි. මමත් ඈලි මෑලි ලෑලි කෑලි ඔක්කොම කඩලා සාලෙට ආවා.


"පොඩි පුතා ආ.. ඔයාගෙ තේ එක.."

අම්මා තේ එක මගේ අතට දීලා ආයෙත් කුස්සියට ගියා. මම තේ එකත් බොන ගමන් එළියට බැස්සෙ අක්කව හොයන්න. මෙන්න ඩබල මිදුලට වෙලා මල් කඩනවා. මල් කිව්වෙ ගස් වල පිපිලා තිබුණ මල්.

"ආ මල්ලි ඔයා නැගිට්ටද..? අනේ හලෝ අර අරලිය මල් ටික කඩලා දෙන්නකෝ.."

පව් අප්පා කෙල්ලො දෙන්නා උස නැති නිසා නහයෙන් අඩනවා. ගහ තිබුණෙ තාප්පෙ අයිනේ. තාප්පෙට නැග්ගා නම් සෑහෙන්න මල් කඩාගන්න පුළුවන්. ඒත් ඉතිං මේ සරම පිටින් තාප්පෙ උඩ නැගලා සරම කඩන් වැටුනොත් මොන දෙයියන්ට කියන්නද..? අක්කලා කඩපු මල් ටිකත් බිම දාලා දුවයි..

"මොනාද හලෝ කල්පනා කරන්නේ..? නැගලා කඩලා දෙනවනේ.."

"හරි හරි ඉන්නවා මං ෂෝටක් දාගෙන එන්නම්.. මේක ඇදන් නැගලා සරම කඩන් වැටුනොත් තමුසෙලට නූල් බදින්න වෙයි.."

එහෙම කියලා මං හැරෙද්දි දැක්කා හංසිට බකස් ගාලා හිනා යනවා. අක්කගෙ ඉල්ලීමක් අහක දාන්නත් බෑ. කොයි තරම් බර බරේ දැම්මත් හදිස්සියකදි විදේශාධාරයක්වත් ඉල්ලගන්න ඉන්නෙ මෙයා විතරනේ. මං ෂෝටකුයි ටී ෂර්ට් එකකුයි දාගෙන මිදුලට එද්දි අක්කා මල් බෑග් එක හංසි අතට දීලා ගෙට ගියා.

"මං ගිහින් පොල් තෙල්, හදුන්කූරු ලෑස්ති කරන්නම්. ඔයා මල් ටික එකතු කරන්න හංසි.."

ඒ කියන්නෙ මේ පෝය දවසෙ මෙයාලා පන්සල් යන්නයි ලෑස්තිය. සමහර විට මේ රන්දුට ගාඩ් එකට යන්න වෙයි. මං තාප්පෙට නැගලා අතු ටිකක් පාත් කරලා දුන්නා හංසිට මල් කඩාගන්න.

"එදා ෆොටෝ ටික සුද්ද කරාද මල්ලි..?"

ඇති යන්තං මෙයා ඊයෙ රෑ ඉදලා දැනුයි වචනයක් කතා කරනවා ඇහුනේ..

"ඔව්.. මං ළග තියෙනවා. ඔයා අපිත් එකක් නුවර ගියා කියලා අපේ අක්කට කිව්වද..?"

"මං මෙච්චර කාලෙකට ඔයාගෙ අක්කට මුකුත්ම හංගලා නෑ. ඒත් මේක අක්කට කියන්න එපා කියලා කියපු නිසා මං කිව්වෙ නෑ.."

ඒ කියන්නෙ මෙයා හොදම යාළුවන්ටත් කොලේ වහලා මට වෙච්ච පොරොන්දුව රැකලා. ඔහොම තමයි හොද ළමයි උනාම ඉන්න ඕන..

"ෆොටෝ පෙන්නන්න නම් පුළුවන්.. ඒත් අක්කා දකියිනේ.. ඔයා අද ගෙදර යනවද..?"

"අපේ අම්මලා ඊයෙ බාරයක් ඔප්පු කරන්න කියලා කතරගම ගියා. මං ක්ලාස් කරන්න ඕන නිසා ගියේ නෑ. හෙට රෑට තමයි අම්මලා එන්නේ.."

මං අහපු ප්‍රශ්නෙට මට ඊයෙ ඉදලා දැනගන්න ඕන කරපු විස්තර ටිකත් දාලා එයා උත්තර දුන්නා. ඒ කියන්නෙ අදයි හෙටයිත් හංසි අපේ ගෙදර..

"එහෙනම් යන්න කලින් පෙන්නන්නම්කෝ.."

එහෙම කියලා මං උඩ අතුවල තිබුණ මල් කඩලා හංසිගෙ අතට දුන්නා. එයා රෝස පාට හීනි ඇගිලි දික් කරලා මල් ටික අතට ගනිද්දි මං ටිකක් වෙලා එයාගෙ දිහා බලන් හිටියා එයාටත් හොරෙන්. හංසි අපේ අක්කා තරම් සුදු නැති උනාට මාර හැඩයි. නියම කලා කෘතියක්. අම්මපා මට අයියා කෙනෙක් හිටියා නම් මං මෙයාව කොහොම හරි මගේ නෑනා කරගන්නවා. මේ වගේ පින් පාට වස්තුවක් උදේ හවා දැක්කත් සැපයි.

"කොහොමද මල්ලි ඔයාගෙ ගර්ල් ෆෙන්ඩ්..?"

කල්පනාවෙ දැති අතරෙ  හිරවෙලා හිටපු මං  හංසිගෙ ප්‍රශ්නෙට ගැස්සුනා. තව පොඩ්ඩෙන් ගෙම්බා පොලේ ගැහුවා වගේ තාප්පෙන් බිම.

"මොන ගර්ල් ෆෙන්ඩ් ද..?"

"ඇයි එදා අර යාළුවො කිව්වෙ රාණි කියලා ගර්ල් කෙනෙක් ගැන.."

හුටා මෙයත් වලිගෙ පාගගෙන. හැබැයි ඔය රාණි කියන නම දැන් රෙජිස්ටර් වෙනවා.

"උන්ට පිස්සු. මට ඇති කෙල්ලෙක් නෑ.."

"ඔය බොරු හංසි.. මෙයාට නං කෙල්ලො හතර පස් දෙනෙක්වත් ඇති..."

අපේ අක්කා උදැල්ල දාගෙනම අපි දිහාට එද්දි මං තාප්පෙන් බිමට පැන්නා.

"අනේ මල්ලි ඔයත් යංකො අපිත් එක්ක.."

මං කිව්වෙ නැද්ද..? අද ඉතිං කෙල්ලො මුර කරන්න වෙනවා. නංගිලා දෙන්නෙක් නම් තව කමක් නෑ. ඒත් දෙන්නා සයිස් එකෙන් නම් මට වඩා පොඩියි.

"කවුරු කවුරුද යන්නේ..?"

"අම්මයි, මමයි, හංසියි, ඔයයි.."

මං තාම හා කිව්වෙ නෑ. අපේ අක්කා මාව ගණන් තියලත් ඉවරයි. කම්මැලිකමේ ගෙදරට වෙලා ඉන්නවට වඩා පිනක් දහමක් කර ගන්න එක එන ආත්මෙටත් හොදයිනේ. අන්තිම මොහොතෙ මමත් ගමනට සෙට් උනා.

ඇග සෝදලා ලා නිල් පාට ඩෙනිමයි, සුදු ටී ෂර්ට් එකයි දාගත්තු මං පුරුද්දට වගේ කැප් එකත් අතට ගත්තා. අන්තිමට ලෑස්තිවෙන්න ගත්ත මං තමයි මුලින්ම ඇදලා ඉවර උනේ. අම්මා සුදු ඔසරියක් ඇදගෙන ආවට මේ ගෑණු ළමයි තාම නෑ. උන් ඉතිං පන්සලට යන්නෙත් බියුටි කචල් ඔක්කොම දාගෙනනේ.

"පොඩි පුතා.... මං කිරිබත් හැදුවා.. අක්කලා එනකන් ඔයා බෙදන් කන්න.."

මේ වෙලාවෙ කිරිබත් පිගානක් අමාරුවෙන් හරි දාගත්ත නම් පන්සල් ගිහින් ඇවිත් දෙවනි ඉනිම බැට් කරන්න පුළුවන්. ලොකු ලුණුමිරිස් හැන්දකුත් එක්ක කිරිබත් බෙදාගෙන කකා ඉද්දි අපේ සුරූපිනියො දෙන්නා පඩිපෙල බැහැගෙන එනවා මං දැක්කා. හංසි චාම් වර්ක් එකක් තියෙන සුදු සල්වාර් කිටක් ගහලා. හංසිව දැක්ක ගමන් මට කකා හිටපු කිරිබත් කට හිර උනා. අනේ මන්දා යාෂ් චොප්රාහරි කරන් ජොහාර් හරි පන්සල් ඇවිත් හිටියනම් මේකිව ඉන්දියාවටම අරන් ගිහිල්ලයි නවතින්නේ.

"ඇයි අම්මෙ තාත්තා යන්නෙ නැද්ද..?"

අන්තිම කිරිබත් කටත් ගිලින ගමන් මං ඇහුවා..

"තාත්තට බැංකුවෙ වැඩක් තියෙනවා කිව්වා. එයා යන ගමන් අපිව පන්සලට ගෙනිහින් දායි."

මේ පෝය දවසෙ බැංකුවෙ තියෙන වැඩ මොනවද මන්දා. රාජකාරිය දේව කාරියටත් වඩා උතුම් කියන වදන ඉහලින්ම පිළිපදින කෙනෙක් තමයි අපේ තාත්තා.

මාසෙ ඉවර වෙන්න දවස් තුන හතරක වෙලේ ඉදලා මන්ත් එන්ඩ් එක කියලා දගලයි. නැත්තං ට්‍රයල් එක අවුට් කියලා රෑ වෙයි. එක්කො කෑෂ් බැලන්ස් නෑ කියයි. ඕවා ඉතිං කාට කියන්නද..? එයා කියනවා අපි අහනවා..

"කොයි පන්සලට ද යන්නේ..?"

වෑන් එකේ යතුරක් අරන් එළියට එන ගමන් තාත්තා ඇහුවා. කොයි පන්සලෙත් ඉන්නෙ එකම බුදු හාමුදුරුවො නිසා මට ඒ ප්‍රශ්නෙ වැදගත් උනේ නෑ.

"පීල්ලෑවෙ පන්සලට යමු නේද දුව..?"

අම්මා එයාගෙ කැමැත්ත අක්කගෙ පිටින් දාලා කියවන්නයි හදන්නේ..

"අනේ අම්මා හැමදාම එහේ යනවනේ. අද හංසිත් ඉන්න එකේ අපි කැළණි යමු.."

අක්කා දෝස්මුරේ දාද්දි තාත්තා ටිකක් කලබල උනා.

"ඔයාලා කැළණියට ගිහින් දාලා මං ආපහු කීයටද බැංකුවට යන්නේ..?"

"තාත්තා අපිව කොහුවලින් කැළණිය බස් එකට දාන්න. අපි යන්නම්.."

අපෝ..! බස් එකේ චාටර් කන්න වෙනවා කියලා දන්නවනම් මං ගෙදර ඉන්නවා. අම්මා කිව්වා වගේ පීල්ලෑවට ගියා නම් ඉවරයි. කොහෙද මෙයා ඉල්ලන් කනවනේ. කිරිබතුත් කාපු එකේ බස් එකට නැගලා කැළණියට යනකල් නිදාගන්න තමයි වෙන්නේ.

කොයි තරම් උදේ ආවත් අපි කැළණියට එද්දි දහයහමාරට විතර ඇති. පන්සල වටේ හිටපු සෙනගයි තිබුණ වාහන ගොඩයි දකිද්දි මට වදින එකත් එපා උනා.

"මල්ලි ඔය තොප්පිය ගලවන්න.."

පන්සලේ ගහලා තිබුණ බෝඩ් එකක් පෙන්නලා අක්කා කිව්වා. මමත් ඒක අතට ගන්න ගමන් ඇන්ටනාව දාලා වටේ බැලුවා.. පුහ්.! ලංකාවේ ගෑණු ළමයි සේරම අද පන්සල් ඇවිත් වගේ. සුදු නංගිලා සුදු පාට ඇදලා බිම බලාගෙන සන්සුන් විදියට යන  හැටි දැක්කම සිල් ගත්ත මිනිස්සුන්ගෙ සිල් බිදෙනවා ඇති. මට අපේ විහගයව මතක් උනා. ඌට කෝල් එකක් දුන්න නම් එකකන් එන්න තිබුණා. හැබැයි ඌ ආවනම් හවස් වෙනකල් මෙතනින් ගෙනියන්න බැරි වෙනවා. සෙනසුරාදා, ඉරිදා දවස් වල බීච් එකටයි, පාර්ක් වලටයි රිංගන කපල්ස් මේ වගේ දවස් වලට පන්සල් එනවා. උන්ව දකිද්දි මට සචිනිව මතක් උනා. කෙල්ල මේ වෙද්දි මොනවා කරනවද මන්දා. බෝධියයි, චෛත්‍යයි අමාරුවෙන් වැදලා බුදුගෙට යන්න බලද්දි කිලෝමීටරයක් විතර දිග පෝලිමක්. ඒකත් එක්කෙනා පිටිපස්සෙ එක්කෙනා යන පෝලිමක් නෙමෙයි. කෙලිනන්ම ජන ගගක්. අච්චර දුර ඉදලා ආපු එකේ කොහොමහරි ඇතුලට යන්නත් එපැයි. හැබැයි පෝලිමේ හිටගත්තම යන්න ඕනෙ නැහැ. ඔටෝ යැවෙනවා.

යකඩ වැටවල් ගහලා වෙන් කරලා තිබුණ පෝලිමේ ටිකක් යද්දි මාව ඉබේම අම්මලට වඩා පස්සට යැවුනා. අපේ අක්කටයි හංසිටයි එහා පැත්තෙ හිටියෙ රස්තියාදුකාර කොල්ලො සෙට් එකක්. බොඩි ෆිට් ටී ෂර්ට් එකක් ගහලා අමුතු කට් එකකට රැවුල කපලා හිටපු පොරක් කාන්දම වගේ හංසි ඉන්න පැත්තට හේත්තු වෙනවා මං දැක්කා. එයාලා ගියේ මට අඩි දෙක තුනක් ඉස්සරහින්. සෙනග හිරවෙන එකෙන් උපරිම ප්‍රයෝජනය ගත්තු අර කොල්ලො ටික හංසිගෙයි අපේ අක්කගෙයි මැද්දෙන් රිංගලා හංසිව වෙන් කරගත්තා. අම්මපා පන්සල නෙමෙයි නම් මං ඕකුන්ගෙ අත් දෙක තුනක් ගලවනවා. ඉක්මනට අක්කලා ළගට යන්න ඕන උනත් සෙනග වැඩි නිසා ඒක කරන්න අමාරුයි. එක කොල්ලෙක් හංසිගෙ ෂෝල් එක අල්ලනවා මං දැක්කෙ එතකොට. මුන් පන්සල් ඇවිත් තියෙන්නෙ වදින්න නෙමෙයි ආතල් ගන්න. සීන් එක දැකපු මට සිරාවටම තද උනා. මං පෙරළගෙන එතනට ගිහින් අරූගෙ පිටට තට්ටුවක් දැම්මා.

"ඇයි මොකද..?"

උනේ නහරයක් වැඩියි කියලා ඒ වචන දෙකෙන්ම මට තේරුණා..

"හලෝ මේ ඔය ඇදුම අතාරිනවද..?"

මේක පන්සල නිසා මං වැඩිය කුලප්පු නොවී ෂේප් එකේ කිව්වා.

"ඇයි මෙයා ඔයාගෙ කවුද..?"

"මෙයා මගේ ගර්ල්.."

මං ඒ වචන තුන වටපිට බලලා කිව්වෙ අපේ අක්කට ඇහුනොත් මං කපෝති නිසා. ඒක අහුණම අරූගෙ මූණ වෙනස් උනා. ඌ බලන්න ඇති මං පිටිපස්සෙ ඉදන් ඇවිත් කෙල්ලට අයිතිවාසිකම් කියන්නෙ කොහොමද කියලා. මං කියපු දේ ඇත්තද අහන්න වගේ ඌ හංසි දිහාත් බැලුවා. මේ වගේ කාඩයෙක් දිහා එයා බලනවටවත් මං කැමති උනේ නෑ. ඌට පේන්නම හංසිගෙ අත අල්ලගෙන මම එයාව අයිනට කරගත්තා. ඒ හීනි අත මේ දාඩිය දාන වෙලාවෙත් සීතල වෙලා. හංසි මගේ මූණ දිහා බැලුවෙ නැතුව මගේ අත එයාගෙ අත් දෙකෙන්ම අල්ලගත්තා. අම්මයි අක්කයි අපිට ඉස්සර වෙලා ගියේ. එයාලා පිටිපස්ස බැලුවත් එයාලට මෙතන යන සීන් එක පේන්නෑ සෙනග වැඩි නිසා. හංසියි මමයි අත්දෙක අල්ලගෙන යනවා අම්මා දැක්කනම් එයාට හාර්ට් ඇටෑක් හැදෙනවා. ගොඩක් වෙලා පෝලිමෙත් ඉදලා බුදු මැදුර ඇතුලටත් යනකල් අපි  හිටියෙ අත් අල්ලගෙන. මේ කරන වැඩේ වැරදිදත් මන්දා. ඒත් මං වැරැද්දක් කලේ නෑ කියලා මගේ යටි හිත දන්නවා. මං එයාට කිට්ටු උනේ නරක චේතනාවකින් නෙමෙයි. අර කොල්ලො ටිකෙන් බේරගන්න.   

බුදු මැදුරෙ ඇතුලෙ සැතපෙන පිළිමෙ ළගට ගිහින් අක්කා අතේ තිබුණ මල් ඉල්ල ගන්න තමයි හංසි මගේ අත අතෑරියේ. පෝළිම තව ටිකක් දික් උනානම් කියලා මට හිතුනෙ ඇයිද දන්නෑ. කොහොම හරි බුදු මැදුරෙන් අපි එළියට යද්දි හිටියෙ දාඩිය දාගෙන.

"අපෝ මේ අනිත් දවසෙනම් මේ චාටරේ කන්න මට නම් අඩගහන්න එපා.."

මං අක්කට කිව්වෙ අම්මටයි හංසිටයි ඇහෙන්න. ඇත්තටම ඒ වෙද්දි මට එපා වෙලා තිබුණෙ. තව පොඩ්ඩෙන් අරූ එක්ක බාල්දියකුත් පෙරල ගන්නවා. මං පන්සල් ඇවිත් පුරවගෙත්තෙ පව් ද පින් ද දන්නෑ. අපි ගෙදරට එනකල්ම හංසි හිටියෙ ගොළු වෙලා වගේ. හැබැයි එයා දෙතුන් සැරයක් බස් එකේදි මගේ දිහා අමුතු විදියට බැලුවා..

                                              ****************************

ගෙදර ඇවිත් හවස ඉස්කෝලෙ පොතක් පෙරලද්දියි මට නිරෝධ, සචිනිට දෙන්න කියලා දීපු ලියුම මතක් උනේ. ඒක තාම මං ළග. ඌ සචිනිගෙන් උත්තරයක් එනකල් බලන් ඇති. හැබැයි මං ඉස්සර ඉදන් සචිනිව දන්න නිසා මට හිතෙන්නෙ ඒකි නිරෝධට කැමති නෑ කියලයි. ඒත් කෙල්ලො හිතේ තද කරගෙන ඉන්න දේවල් කවුද දන්නේ. සචිනිත් කාට හරි හිතෙන් ආදරේ කරනවනේ. නිකමට සචිනිට කෝල් එකක් දෙන්න හිතාගෙන මං සාලෙට එද්දි හංසි තනියෙම ටීවී බලනවා.

"ඇයි තනියෙම..? කෝ අපේ අක්කා..?"

"අක්කා නාන්න ගියා. මං මල්ලිගෙන් අර ෆොටෝ ටික ඉල්ල ගන්න එන්නත් හදලා ආපහු නිකං හිටියා."

"ඉතිං ඇයි ආවෙ නැත්තේ..? උදේ වගේ මං අතින් අල්ලගනියි කියලා හිතුවද..?"

පන්සලේ සිද්ධිය මතක් වෙලා මං අහද්දි හංසිගෙ මූණ පටස් ගාලා රතු උනා. එයාට ලැජ්ජ හිතෙන්නැති. මං කාමරේට ගිහිනි ෆොටෝ දාලා තිබුණ කවරෙ ගෙනැත් හංසිගෙ අතට දීලා කෝල් එකක් ගන්න ඉදගත්තා.

"හෙලෝ.."

එපා පැත්තෙන් ආවෙ පිරිමි කටහඩක්. ෂුවර් එකට සචීලගෙ තාත්තා වෙන්න ඇති. ඒ ගෙදර ඉතිං පිරිමි පරාණෙකට ඉන්නෙ එච්චරයිනේ.

"හෙලෝ අන්කල් සචිනි ගෙදර ඉන්නවද..? මං රන්දු කතා කරන්නේ.."

මං හැමෝම දන්න ෂෝට් නේම් එකෙන් කියලා දැම්මා.

"රන්දු කියන්නේ අර........ බෑන්ක් එකේ වැඩ කරන මිස්ට වික්‍රමබාහුගෙ පුතා නේද..?"

පොරගෙත් මාර මීටරේ. නම කිව්වා විතරයි තාත්තා වැඩ කරන තැනත් මතකයි.

"ඔව් අන්කල්.."

"පුතා අපේ ළමයි දෙන්නා අම්මත් එක්ක පන්සල් ගිහින්. ඇයි මොකක් හරි විශේෂ පණිවිඩයක්ද..?"

මට සචීට කතා කරන්න විශේෂ පණිවිඩයක් ඕනෙයෑ.

"නෑ අන්කල් මං මේ නිකන් කතා කලේ. මං එහෙනම් තියන්නම්.. බායි.."

අන්කල් ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන පටන්ගන්න කලින් මං ෆෝන් එක තිබ්බා. හංසි තාම රස කර කර ෆොටෝ බලනවා. ටිකක් වෙලා ගියාට පස්සෙ එයා ෆොටෝ ටික අරන් නැගිටලා මං ළගට ආවා.

"මේ ඔයාගෙ කැමරාවේ ෆොටෝ විතරයි නේද..? අනිත් ඒවා ඔයා ළග නැද්ද..?"

"ඒ ෆොටෝ අරුන් මට පෙන්නලා ආයෙ ගෙනිච්චා. එතනත් ගති ෆොටෝ සෙට් එකක් තිබුණා.."

"මං ෆොටෝ දෙකක් ගත්තා මල්ලි.. කමක් නෑ නේද..?"

ගත්ත ෆොටෝ දෙක පෙන්නන්නෙවත් නැතුව ඉතුරු ටික මට දීලා මේ කෙල්ල උඩ තට්ටුවට දුවගෙන ගියා. හංසිගෙ තනි එකක් මෙතන තිබුණ නිසා එයා ඒක අරන් යන්න ඇති. එතකොට අනිත් එක..? ෆොටෝ ටික අරගෙන මං ආයෙත් එකින් එක බලන්න ගත්තෙ හංසි ගත්ත ෆොටෝ එක මොකක්ද කියලා බලන්න.. හංසිගෙයි මගෙයි ෆොටෝ තුනක් තිබුණට දැන් තියෙන්නෙ දෙකයි. එදා උදේ කෑම කන වෙලාවෙ අපි දෙන්නා කතා කරද්දි විහගයා අපේ ෆොටෝ දෙකක් ගහලා තිබුණා. ඒ දෙකෙන් එකකුත් එයා අරන්. මේකිනං මැන්ටල් කෙල්ලෙක්. නැත්නම් යාළුවගෙ මල්ලි එක්ක තනියෙම ඉන්න ‍ෆොටෝ එක හොරෙන් ගන්න විදියක් හේතුවක් නෑනේ..

"මොනවද මල්ලි ඔය අතේ තියෙන්නේ.. ෆොටෝ වගයක් නේද.. අනේ පෙන්නන්නකෝ.."

ආ....... පෝ...... අපේ අක්කත් නාලා ඇවිත්. මෙයාටත් ඕනෙ නැති මගුලක් නෑ.

"මේක මේ සාරංගගෙ ෆොටෝ වගයක්. ඔයා දන්න අය මෙතන නෑ.."

ෆොටෝ ටික අරන් කැපෙන ගමන් මං කිව්වා. මේ ටික දැක්කා නම් එයා දැන්මම හංසිව ගෙදරින් එළවනවා.

"කෝ අක්කා අපේ දිගංචියා නැද්ද..?"

සුපුරුදු කටහඩක් ඇහුනා සාලේ පැත්තෙන්. ඒත් මොකාද මට අලුත් නමක් දාපු පනික්කියා.. මං කාමරෙන් එළියට එද්දි ෂෝටා දොර ළග. ඌ කොට නිසා මට දිගංචියා කියලා කියන්න ඇත්තෙ පැහැදිලි ඊර්සියාවට.

"ආ කොටා... තෝ මොකද මේ පැත්තේ..?"

"මොකද මල්ලි ඔය යාළුවන්ට කතා කරන කැත.."

අපේ අක්කත් මහප්ප්‍රාණ කතා කියන්නේ. මූ මට දිගංචියා කිව්ව එක හොදයි. අපි මොනවහරි කිව්වොත් තමයි ගුරු උණ මතුවෙන්නේ. මං ෂෝටවත් ඇදගෙන මිදුලෙ තිබුණ ගල් බංකුව ළගට ආවා.

"මචං උඹට කියන්න සීන් ගොඩක් තියෙනවා.."

ෂෝටා ඉදගන්න කලින්ම ටෝකට බැස්සා.

"ඉතින් කියං වන් බයි වන්.."

"පළවෙනි එක තමයි උඹේ ගජයා... විහග, ඌට මොබයික් එලල් හම්බවෙලා.."

ඒක නම් අහන්න වටින නිව්ස් එකක්. ඒත් මේ ගොරකයට ෆෝන් එකක් අරන් දීපු මෝඩයා කවුද දන්නෑ. දැන් ඉබ්බා දියේ දැම්මා වගේ ඇති.

"කවුද බං ඌට ෆෝන් එකක් අරන් දීලා තියෙන්නේ..?"

"උන්ගෙ අයියට රට ඉදලා ආපු යාළුවෙක් අලුත් ෆෝන් එකක් දිලා.. ඌ පරණ එක මූට දිලා.."

"ඇත්තද..? මං හිතුවා බ්‍රෑන්ඩ් නිව් එකක් කියලා. බලන් යද්දි පරන කට්ටක් නොවෑ.."

"ඒකත් රුපියල් තිස්පන්දාහක් විතර වටිනවා බං.. මං දැකලා තියෙනවනේ.."

එහෙනම් ඌ දැන් පොර වගේ ඇති නේද.. පුදුමයි තාම කෝල් එකක් ආවෙ නෑනේ..

"ඌ උඹට කතා කලාද..?"

"ඌ සිම් එකක් අරන් මුලින්ම කතා කලේ උඹලගෙ ගෙදරටලු. කවුරුවත් ආන්සර් කලේ නෑලු.."

එහෙනං ෂුවර් එකට අපි උදේ පන්සල් ගිය වෙලාවෙ වෙන්න ඇති. හැබැයි ඉතිං ඌගේ ප්‍රථම කෝල් එක මිස් කෝල් එකක් උන එක ගැන තමයි දුක. පව් අප්පා..

"මං ඌගෙ නම්බර් එක ගෙනාවා. අපි පස්සෙ පොඩි ලණු කෑල්ලක් දෙමු බුවාට.."

එහෙම කියලා ෂෝටා මොබිටෙල් නම්බර් එකක් මගේ අතට දුන්නා.

"දැන් කියපං දෙවනි කාරණේ.."

මං එහෙම කිව්වට මුගෙන් සද්දයක් නෑ. ඌ බයවෙලා වගේ අපේ වැරැන්ඩා එක පැත්ත බලාගෙන කටත් ඇරගෙන ඉන්නවා.

"මචං රන්දු මේ..... අර..."

මූ මොනවා කියනවද මන්දා.. මමත් හැරිලා බැලුවා.. හංසි දොර ළග ඉදන් අපි දිහා බලනවා මං දැක්කෙ එතකොට.

"ඔව් බං ඒ හංසි තමයි. හැබැයි උඹ කෑ ගහලා වැඩේ ලෙඩේ කරන්නෙපා..."

මූට වචන අමතක වෙලා නිසා මංම කියලා දැම්මා..

"එයා මොකද බං උඹලගෙ ගෙදර කරන්නේ..? බලපංකෝ ගහලා ඉන්න කිට.. පොඩි එකෙක් වගේ.. පුහ්..! පිස්සු හැදිලා ආයෙම හැදෙනවා.."

කොහොමත් ෂෝටා, හංසිව දැකලා තියෙන්නෙ සාරි ඇදන් ඉන්නවනේ. මේකි පොඩි සායකුයි ටී එකකුයි දාලා බටු කෙල්ලෙක් වගේ ඉද්දි ෂෝටා කොර වෙන එක අහන්නත් දෙයක්ද..? හංසි, සචීට නැටුම් උගන්නපු එකයි, අපි කට්ටිය එකට නුවර ගිය සීන් එකයි අපේ අක්කා දන්නෑ කියලා මං වේලාසනම ඌට කිව්වා. නැත්තං ඌ යන්න කලින් ඕක අනලා හත් පොලේම ගාලයි යන්නේ..

"ඕක නිශා අක්කට හංගන්නත් දෙයක් නෙමෙයිනේ බං. උඹලගෙ හිතේ හොරයක් තියෙන නිසා තමයි කොලේ වහන්න ඇත්තෙ නේද..? හැබැයි මචෝ නරක නෑ.. උඹට මැච් වෙනවා.."

"උඹේ ඔළුව කොහේ හරි හැප්පිලද..? ඒකි මට වඩා අවුරුදු හයකටවත් වැඩිමල් ඇති.."

"පිස්සුද බං එච්චර වෙන්න බෑ.. වැඩිම උනොත් විසි එකක්, විසි දෙකක් වෙනවා ඇති.."

අම්මද බොල මුගේ කතාව..! කෙල්ලගෙ මූණ බලලා වයස කියන්න තරම් මූ දැන් පැහිලා. ඒ කතා පැත්තක තියලා මූ කියන්න ආපු අනිත් කාරණේ මං අහන්න ගත්තෙ හරි අමාරුවෙන්.

"මචං උඹ දන්නවද.... නිරෝධයා සචීට ලව්. අපිට වැඩේ අතටම මාට්ටුයි.."

ඒකත් එහෙනම් ලීක් වෙලා. හැබැයි සීන් එක මට කිව්වා කියලා වැඩිය ඇගෙව්වෙ නැතුව මං ශේප් උනා.

"ඊයේ පංති ඇරිලා යද්දි ඌගේ ටියුට් එකක් අපේ ඒවා එක්ක බස් එකේදි මාරුවෙලා. මමයි සාරංගයි බස් එකෙන් බැහැලා බලද්දි මූ ඒකෙ පිටිපස්ස පිටුව පුරාම සචිනි, නිරෝධ කියලා ලියලනේ.."

හප්පා...... සාරංග දැනගත්තා කියන්නෙ ඉතිං මුළු සෙට් එකම දැනගත්තා වගේ තමයි. ඌට මහ බෙලෙක් කටක් නේ තියෙන්නේ. නිරෝධත් කෙල්ලො කරන බොළද වැඩ කරන්නේ. ඌ සමහර විට නම් දෙක ලියලා ඒක වෙඩින් කාඩ් එකකට මැච් වෙනවද කියලා බලන්න ඇති. දැන් සීන් එක සචීට කියන්න මං ඕනෙ නෑ. මෙලහකට දන්නව ඇති.

අපි දෙන්නා කියවද්දි අම්මා තේයි, බිස්කටුයි අරන් ආවා. එයා ෂෝටා ආවාම මොනවා හරි ගිල්ලවලා තමයි අරින්නේ. අපේ අම්මා ෂෝටට හරි කැමතියි. ඒ ඌ පොඩි නිසා වෙන්න ඇති..

"උඹ අප්සට් වෙන්නෙ නැත්තං කියන්න තව දෙයක් තියෙනවා.."

ඒ මොකක්ද ඒ...? මොකක් උනත් මේ රන්දුව අප්සට් කරන්න හිතන තරම් ලේසි නෑ.. අහලම බලමු..

"උඹෙන් අපේ නංගි ළගදි මොනවා හරි ඇහුවද..?"

ඔය කියන්නෙ උගේ නැන්දගෙ දුව පවිත්‍රා එදා ටැප් එක ලගදි අහපු කතාන්දරේ වෙන්න ඇති.

"ඔව් බං ඒකි අහනවා මං නෙත්මිට කැමතිද කියලා.."

"ඉතිං උඹ ඇත්තටම කැමතිද..?"

"ඒකිට කවුද බං අකමැති..? ඒකි සිරා කෙල්ලෙක් නේ.. හැබැයි ඉතිං ඒකිව දා ගන්න තරම් හිතක් නම් මට තාම පහල වෙලා නෑ.."

"ඒ කියන්නෙ උඹේ හිතේ ඒකි ගැන ආදරයක් නෑ කියන එකද..?"

"ඒකි ගැන මගේ හිතේ කැමැත්තක් තිබුණට ඒක ආදරේ නෙමෙයි බං.. හැබැයි මං ඒකිට සිරාවටම කැමතියි.. ආශ්‍රය කරලා පස්සෙ කාලෙක ආදරේ ගැන සලකලා බලනවා.."

"එහෙනම් මං උඹට කෙලින්ම කියන්නම්. උඹ ඒකිට තව ළංවෙන්නෙ නැතුව අතේ දුරින් හිටපං.. ඒකි ගැන හෝප්ස් තියාගන්නෙ නැති තරමට හොදයි.."

මූ මෙහෙම කියන්නෙ හේතුවක් ඇතුව වෙන්න ඕන.. ඒත් නෙත්මිගෙ වැරැද්දක් නම් මට පේන්නෑ..

"ඇයි උඹ එහෙම කියන්නේ..? නංගි මොනා හරි කිව්වද..? ඒකි එහෙම චාටර් ඩයල් එකක් වෙන්න බෑ බං.." 

"කෙල්ල ඉස්කෝලෙන් අවුට් උන ගමන්ම කසාද බදිනවලු බං ඒකිගෙ මස්සිනාව. ඒ වැඩේ දැන් ස්ථිරයිලු.. අපේ නංගි ඒක උඹට කියන්න කියලා කිව්වා.."

ඒ කියන්නෙ ඒ කතාවෙනුත් රන්දුට බින්දුව.. හිතට ලාවට දුක්ක ආවත් එදා නිරෝධ සචී ගැන කියපු දවසෙ තරම් මං අප්සට් උනේ නෑ. අපි තාම වැඩිය ආශ්‍රය කරලවත් කතා කරලවත් නෑනේ. මාව දැක්ක ගමන් ඒකි භූමිතෙල් ගෑවුන ගැරඩියා වගේ බිදගෙන යනවනේ. ඉතිං කොහෙද කතා කරන්නෙ. මොනව උනත් මහබඹා මේ අහස යට රන්දුටත් කවරු හරි මවලා ඇති කියලා මං හිත හදාගත්තා.

ෂෝටා යන්න කලින් මේ සතියෙ විහගයි, නිරෝධයි එක්ක අපේ ගෙදර පාඩම් කරන්න එනවා කියලා අපේ අම්මටත් කියලයි ගියේ. ඌ ගියාට පස්සෙ මං නෙත්මි ගැන කල්පනා කරන්න ගත්තා. ඒත් ඒ ගැන හිතන එකෙන් ඉතුරු වෙන්නෙ හිතට දුකක් විතරයි.   



                                   

No comments:

Post a Comment