Saturday, March 24, 2012

| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක |





ඉන් අනතුරුව කාලය ගතවී ගියේ ඉතා සෙමින්ය. එය එසේ වූවත්, සිදුවූ සියලු සිදුවීම් මගේ මනසේ සදානුස්වරණියව තැන්පත් වී ඇත. බොහේ දෙනෙකු කෙලින්ම ඇගිල්ල දික් කළේ මා වෙතය. ඒ ඔවුන් දෙසට ඇගිලි හතරක් දිගු වී ඇති බව නොදන්නා ලෙසටය. තවත් සමහරෙක් කීවේ මා කල්ප කාලයක් වෙහස මහන්සි වී දොවා ගත් කිරි පලසකට, ගොම බිංදුවක් දමා ගත් බවය. ඔවුන් එසේ කියන්නේ ඇයිදැයි මම නොදන්නෙමි. මට ඒවා ගැන සිතා සිත තවත් කරදරයකට පත් කරගැනීමට අවශ්‍යතාවක් නැත. මම මගේ ආයතනය දෙස උපේක්ෂා සහගතව බලා සිටියෙමි. මක් නිසාද යත් මා නිවැරදි බැව් මා හොදින්ම දැන සිටි බැවිණි.


කෙසේ වුවත් සියල්ල සිදුවූයේ මා කිසිසේත්ම නොසිතූ ලෙසටය. මෙවැනි අවසානයක් මගේ ජීවිත කතාවට ලැබේවියැයි මම සිහිනයකින් පවා නොසිතුවෙමි. ප්‍රසාද් අමරතුංගට පිහියකින් ඇන, මරා දැමීමට තැත් කිරීම පිලිබදව අවුරුදු හතරක බරපතල වැඩ ඇතිව සිර දඩුවමක් මට නියම විණි. සිදුවූ දේ පිළිබදව බොහෝ දෙනෙකු දැන සිටියද, අවසානයේ සිදුවූයේ ඔය දේය. මට ලැබුණු තීරණයට, ප්‍රසාද්ගේ ඇමති නෑයාගේ බලපුළුවන්කාරකම ඉතා ඉහලින් බලපෑ බැව් මට කීවේ ජයවර්ධන අංකල්ය. මා හට ඇප ලබා දීමට දිනූකා මිස් බොහෝ උත්සාහ ගත්තද එය ඵලක් නොවූ බැව් මම පසුව දැනගත්තෙමි.

මුලින් මුලින් මා බැලීමට ආයතනයේ බොහෝ දෙනෙකු බන්ධනාගාරයට පැමිණයද කලක් ගතවෙද්දී ඒ අගය බොහෝ සෙයින් පහල බැස්සේය. කෙසේ වුවත් දිගින් දිගටම මා බැලීමට පැමිණියේ අයියා පමණකි. කිහිප දිනක්ම පුබුදු, පූර්ණිමාත් සමග මා බලන්නට පැමිණියේය. ඔවුන් දෙදෙනා විවාහ වීමට යන බැව් මට කීවේ ආයතනයේ රියදුරු වශයෙන් සේවය කළ බන්දුලය. සෑම දෙයක්ම නොසිතූ පරිද්දට සිදුවී තිබිණි. පුබුදුට කෙසේ පූර්ණිමා හමුවූයේදැයි මා දැන සිටියේ නැත. හිරේ විලංගුවේ වැටුණු පසු ඔවුන් හාද වූයේ කෙසේදැයි මම නොදන්නේමි.

ජීවිත යාත්‍රාවේ, රුවල් ඉරී ගිය මා වැනි කාලකණ්නියෙකුට ඔවුන්ගේ අලුත් විස්තර කියා පලක් නැතැයි පුබුදුත්, පූර්ණීමාත් සිතන්නට ඇත. කෙසේ වුවත් පූර්ණිමා මට මුළු හදවතින්ම ආදරය කළා නොවේද..? මා වෙතින් පලා ගියේ ඇයම නොවේද..? ඇය ගැන සෙවූ තරම දන්නේ මා පමණකි. ඇය වෙනුවෙන් මා කැපවී සිටි තරම ඇය නොදන්නවා විය හැකිය. එසේ දැනගත්තත් ඇයට දැන් ඒවායින් පලක් නොවනු ඇත. ඇයගේ තනි නොතනියට සොදුරු ප්‍රේමවන්තයෙක් දැන් ඇය ළගම ඇත. මේ දුප්පත් හිගන්නා ගැන ඇය සිහිනයකින්වත් නොසිතනු ඇත.

අතීතයේ බොහෝ දේවල් සිත අද්දරට එබිකම් කරද්දී, මගේ සිතට දැනෙන්නේ දරා ගැනීමට බැරි තරම් මහා දුකකි. දුකෙන් පාළුවෙන් මට ගැලවීමක් තිබුණේ නැත.

"අයියට දිනූකා මිස්ව හම්බ වුණාද..?"

අවුරුදු ගණනාවක් පුරාවට මා අසනා එකම ප්‍රශ්නය එයය. ඇත්තටම මට වෙන අසන්නට තරම් ප්‍රශ්නයක් ද තිබුණේ නැත. මගේ දෛවයට වගකිය යුත්තන් කවුරු වුවද මා තනිකරම ජීවත් වූයේ, අතීතයේ සිදුවූ සොදුරු සිදුවීම් සමගය. ඒ මතින් ඇබින්දක් හෝ ඉවත්ව යාමට මම බිය විමි.

"දැන්වත් දිනූකා මිස් ගැන කියන එක නවත්තලා දාපං මල්ලි.. එයාලා අපි ගැන බිංදුවක්වත් හිතන්නෑ.. මැණික්දිවෙල සර්ට වුණත් මල්ලි ගැන මීට වැඩි දෙයක් කරන්න තිබුණා. මොකද දිනූකා මිස්ගෙ ජීවිතේ බේරගත්තේ උඹ.. ඒක මේ මුළු ලෝකෙම පිළී අරගෙන තියෙන එකේ එයාලාට පිළී නොගෙන ඉන්න බෑ.. මට නම් හිතෙන්නෙ දිනූකා මිස් උනත් මැගෑරියා කියලයි.."

අයියා මා දෙස බලා දුක්බරව පැවසීය. අතීතයේ සහසකුත් එකක් සොදුරු සැමරුම් හිත හතරවටින්ම එබිකම් පාද්දී, දිනූකා මිස් ගැන අහිතක් හිතන්නට පවා මා කැමති වූයේ නැත. මේ මුළු කල්ප කාලයම රංඩු වෙමින් දිවි ගෙවූ අප දෙදෙනාට, සතුටින් සැනසීමෙන් ඉන්නට ලැබුණේ කී දවසක්ද..? මේ අන්ත අසරණ කාලකණ්නියාට, මේ පිළිගත් සමාජයත්, උඩින් ඉන්නා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවනුත් ලබා දෙන්නේ මෙච්චරද..? ඇස් පුපුරා ඔහේ නිදහසේ කදුළු ගලා යද්දී මම පැය ගණන් එක දිගට, එකම ඉරියව්වෙන් බලා සිටින්නට පුරුදු විමි. බොහෝ වේලාවට අවට පරිසරයේ සිදුවන කිසිම දෙයක් මා හට දැනුණේ නැත. ක්‍රමක් ක්‍රමයෙන් බන්ධනාගාරයේ සමාජයෙන් පවා මම හුදෙකලා වන්නට විමි. මට වර්ථමානයක්වත්, අනාගතයක්වත් තිබුණේ නැත. මට තිබුණේ ආලවට්ටම් සපිරුණු සොදුරු අතීතයකි. මා නිතරන්තව සිටියේ එහි ජීවත්වී ගෙනය මට ඉන් එහා ලෝකයක් තිබුනේද නැත.

"දිනූකා මිස් ආවා නේද අයියේ..?"

බොහෝ වෙලාවට මා අසන්නේ එකම පැණයකි. එහෙත්, වචන එහෙට මෙහෙට මාරු කරමිනි. අයියාගේ ශෝකී දෑස මගේ හිසේ සිට දෙපාන්තය දක්වා කිහිප වරක්ම එහෙටත් මෙහෙටත් ඇදී ගියේය. නිරන්තරව කදුළු පිරි ඇතී මගේ දෙනෙත දෙස ඔහු බැලුවේ වාවාගත නොහැකි වූ ශෝකයකිනි.

"මීට වැඩිය හොද දෙයක් දිනූකා මිස්ට කරන්න තිබුණා මල්ලී. එයා උඹගෙ ජීවිතේ විනාශ කරලා දැම්මා.. අනේ අන්තිමට අහිංසක හිගන්නෙක් වගේ ජීවත්වුණු මගේ අසරනයගෙ ජීවිතේ, ඒකි වලපල්ලට ඇදලා දැම්මා.. මේ කරපු පවුකාර වැඩේට, ඒකිට හෙණ හතම ගහන්න ඕන.. අනේ දෙවියනේ.... උපදින හැම ආත්මයකම ඕකි වේදනා විදින්න ඕන..."

අයියා මා වැළදගෙන හඩා වැළපෙයි.. මගේ මුහුණ හා හිසකේ අතගාන ගමන්, දෙමව්පියන්, පුංචි දරුවන් තුරුල් කරගන්නා සේ ඔහු මාව තුරුල් කරගනියි. එහෙත් ඒ හැගීම්බර සිතිවිලි අතර මගේ සිත නතර නොවේ. මා ඉන්නේ, මා සැබැවින්ම ජීවත් වූ අතීතයේය. මගේ ලොවේ කාලය නැවතී ඇති බැව් මම දනිමි. අතීතයෙන් එහාට ගමනක් මට නැත.

"දිනූකා මිස්ට ඔහොම බනින්නෙපා අයියේ.. එයා කරන්න පුළුවන් හැමදේම කරා.. අනේ අයියේ.. මායි, දිනූකා මිසුයි හුගාක් සංතෝසෙන් හිටියා.. ඒත්.. ඒත්... ඇයි එයා මාව බලන්නවත් එන්නැත්තේ..? එයාට තිබ්බ කරදරෙන් මං එයාව බේරගත්තනේ.. අනේ අයියෙ දිනූකා මිස්ට එන්න කියන්නකෝ.. එයා ඔයාට කිව්වෙ නැද්ද මං තාමත් හිර ගෙදර කියලා.. එයා.. එයා ඔෆිස් එකට වෙලා අඩ අඩ ඇති. ඔෆිස් එකේ නැත්නම්, ඒක ඇතුළෙම තව පුංචි කාමරයක් තියෙනවා.. අන්න ඒකෙ නම් ෂුවර් එකටම ඇති.. මං.. මං කිව්වට ගිහින් බලන්නකෝ අයියේ.."

අයියා මදෙස බැලුවේ මහා පුදුමයෙනි. මා කියනා දේවල්, එකකට එකක් පරස්පර බවක් ඔහුට හැගී යනවාද..? නැත.. එවැන්නක් කෙසේ වත් සිදුවිය යුතු නැත. මා කියූ සෑම දෙයක්ම එකකට එකක් සම්බන්ධය.

"අ... අනේ රත්තරං මල්ලියේ... උඹ අහන ඒවට මං කොහොම උත්තර දෙන්නද දෙයියනේ..."

මේ ලෝකයේ ට ඉන්නා එකම හව්වරණය මං ඉදිරියේ ඉකිබිද හඩා වැලපෙයි. නිවුනු තැම්පත් වුනු දෑසින් මම අයියා දෙස බැලිමි. ශෝකී බවේ උපරිමය වැලදී තිබූ, මගේ මුහුණ දෙස මදක් බලා සිටි අයියා නැවත වරක් මා තද කොට වැළද ගත්තෙමි.. 

"ඇයි අයියෙ දිනූකා මිස් මාව බලන්න එන්නෙ නැත්තේ..? ම... මං එයාට පුංචි වැරැද්දක්වත් කරල නෑ අයියේ.. අනේ ඔයා ගිහින් ඉන්න තැනකින් දිනූකා මිස් එක්කගෙන එන්නකෝ.. මට එයාව දකින්න හරි ආසයි.. අපි දෙන්නා අන්තිමට හම්බවෙලත් කොයි තරම් කාලයක් ගතවුණාද..?"

අයියා මගේ අතකින් අල්ලා ඇද්දෙමි.. ඔහු මගේ අත, ඔහුගේ අනිත් අතින් තද කර අල්ලා ගත්තේය. හිත මහා වේදනාවකින් පුපුර පුපුරා මුළු ආත්මයටම වද දෙයි.. මේ දැනෙනා මහා වියෝගය හදවත හත් කඩකට පුපුරා දමයි. මා කල යුත්තේ කුමක්දැයි කියාවත් මට නිනව් නොවේ. මගේ ඉරියව්වේ ඇති සංවේදී බව නිසාමදෝ අයියාගේ දෙනෙතේ කදුළු නැවතත් අලුත් විය.

"උඹ දුක්වෙයි කියලා මං මේ තරම් දවසක් උඹට මේ විස්තරේ කිව්වෙ නෑ.. උඹට දැනටත් මේ ලැබිල තියෙන දේවල් හොදටම වැඩියි.."

"මොන විස්තරේද අයියේ..?"

අතීතයේ මොන කල්පනාවේ සිටියද අයියාගෙන් පිටවූ වචනවල ඇති වැදගත්කම් නිසාවෙන් මට එම ප්‍රශ්නය ඇසිණි. නැත්නම් කීයටවත් අසන්නේ නැත.

"දිනූකා මිස් රට ගිහින් මල්ලී... ආයෙ කවද එයිද කියලා කියන්නත් බෑලු. අර උඹේ පුබුදු කියන යාලුවා මට කිව්වේ.. අනික ලොකු මිනිස්සුන්ට උදව් කරල කළගුණ බලාගෙන ඉන්නෙක තරම් මෝඩකමක් තවත් නෑ.."

"දිනූකා මිස් රට ගිහින්..?"

කණට ඇසුණු ඒ වචනවල තේරුම අදහාගත නොහැකිව මම අයියා දෙසම බලා සිටියෙමි. දෙවියනේ.. මා මේ නරකාදියේ තනිකර දමා ඇය නිවි සැනසිල්ලේ වෙනත් කරකට ඉගිල ගියේ කෙසේද..? ඇය නිසා නොකළ වරදකට මා මේ හිරකූඩුවේ අවුරුදු ගණනාවක් තපිනා බැව් ඇයට අමතකව ගියේ කෙසේද..? යදම් දමාවත් සිරකර ගත් නොහැකි, සදාකාලික වේදනාවකින් මගේ ආත්මයේ හතර පස් පොලක්ම දැවී අලුවී ගියාය.

"ඔව් මල්ලි.. දිනූකා මිස් රට ගිහින්.. හැබැයි ඒ තනියෙම නෙමෙයි.. ප්‍රසාද් කියන අසමජ්ජාති බල්ලත් එක්ක.."

වෝට් තිස්තුන්දාහක  විදුලියක් මගේ ගතට වැදුනද මා මේ තරම් වෙව්ලා නොයනු ඇත. අපස්මාරය දෑසුනු රෝගියෙකු සේ මම අයියාගේ දෑතට වෙව්ලමින් හඩා වැටුනෙමි.

"නෑ අයියේ ඔයාට කවුරුහරි බොරුවක් කියලා.. දිනූකා මිස් මට කවදාවත් එහෙම කරන්නෑ.. මට එයාව විශ්වාසයි අයියේ.."

කවුරුන් දිනූකා මිස් ගැන අහිතක් හිතුවද මම ඇය ගැන එසේ සොනිතමි. ඇයට මා අමතක වී නැගි වග නම් දනිමි. ඇයට මා අමත කරන්නට බැරිය. තව අවුරුදු පනහකින් හෝ ඇය මා බලන්නට එනු ඇත. ඇයව ඇසුරු කළ කාලය තුලදී ඇයගේ ගතිගුණ හා හැගීම් ගැන මා තරම් දන්නා වෙන කෙනෙකු කොතනකවත් සිටින්නට බැරිය. හදවත පුරා ලේ කදුලු කැට දෑසින් වැගිරෙද්දී මා සිතන්නට ගත්තේ එලෙසිනි. එකිනෙකට ප්‍රති විරුද්ධ වූ උත්සාහයන් දෙකක් එකවර ගැනීමට යාමේදී හදවත ඉරී විනාශ වී යන වේදනාව ද මට දැනෙන්නට පටන්ගෙන තිබිණි.

"දිනූකා මිස් කවද හරි එනවා අයියේ.. එයා කවද හරි ලංකාවට ආපු ගමන් මාව බලන්න එයි.. අනේ එතකොට අපිට ආයෙත් ආට්වර්ක් ඇද ඇද රංඩු කරගන්න පුලුවන් වෙයි.. ආ.. අයියා දන්නවද සමහර වෙලාවට රංඩු කරලා ඉවරවෙලා දිනූකා මිස්ම අඩනවා.. ම.. මට ඒ වෙලාවට හුගක් දුක හිතෙනවා.. අනේ අයියේ.. ඔ.. ඔයා දිනූකා මිස්ට මං ගැන කියනවා නේද..? අ.. අපි දෙන්නම එකතුවෙලා ලස්සනට ආර්ට්වර්ක් එකක් කරලා මැණික්දිවෙල මහත්තයට පෙන්නන්නත් ඕන.."

"ම... ල්... ලී..."

මගේ හිතේ වූයේ අතීතයේ පෙල ගැසී තිබූ සදාදරණිය මතක ගොන්නක බිදුණු නටඹුන් රාශියකි. ඒවා එකක් පිට එකක් පටලැබී මා මහත් අපහසුතාවයකට පත් කළේය. මම අයියා දෙස බැලුවෙමි. ඔහුගේ දෑස විසල් වී මහා පුදුමාකාරයෙන් මුළු මූණ පුරාම රැදී තිබිණි.

මගේ සිත විකල්ව ඇති බවක්වත් ඔහු සිතනවාද..? මම උපරිම සන්සුන් බවක් නගා ගන්නට වෙහෙසුනෙමි.. එහෙත් මගේ උත්සාහය කිසිදිනෙක හරි නොයනා බැව් මම දැන නොසිටියෙමි. මම යළිත් පූර්ණ මිනිසෙකු වශයෙන් මේ කුරිරු සමාජයේ නැගී සිටින්නට ඉඩක් නොමැති බැව් මම දැන නොසිටියෙමි. ඇත්තටම මේ දුප්පත් කාංචන ඒ ගැන නොදන්නා තරමට හොදය. හදවත ඉරී නටඹුන් වී ගලනා මේ රක්ත ලේ දහරාව පුංචි අඩුවීමක් හෝ මගේ අසරණ ආත්මය බලාපොරොත්තු වන බැවිණි.

"අ.. අනේ.. අයියේ.. අ... අන්න.. දිනූකා මිස් එනවා.. දි.. දිනූකා මිස්... දිනූකා මිස්.. මං.. මං මෙහේ.. අනේ මිස්... මේ කට්ටිය මාව හිරකරලා.. අනේ මාව බේරගන්න දිනූකා මිස්..."

සුදුම සුදු හිම කුමරියක් ලෙසින් ඈතින් දුව එනා දිනුකා මිස් දැක මම මහ හඩින් කෑගැසුවෙමි. අයියාද සැනෙකින් හැරී බැලුවේය. ඒ සැනින් ඔහුගේ මුහුණ අදුරු වී ගියේය. ටිකකින් මම මහා හඩින් සිනාසෙන්නට විය.

"ම.. මල්ලී... අනේ මගෙ පුංචි කොල්ලා.. උං උඹට මේ මොනවද කරලා තියෙන්නේ..? අනේ දෙයියනේ... ඒකි උඹව නැති කරලම දාලා නේද...? අ.. අයියෝ.. මගෙ අසරණයා.. අම්මයි, තාත්තයි නැතිවෙච්ච දා ඉදලා මං උඹව රැක බලා ගත්තෙ කොයි තරම් අමාරුවෙන්ද..? අනේ දෙයියනේ.... මං උඹව මේ තැනට ගෙනාවේ උඹට මේ වගේ දෙයක් වෙනවා දකින්නද..?"

ඇස් දෙකෙන් කදුළු උතුරවමින් අයියා කෑගසා  හඩයි.. මම මහා හඩින් සිනා සිසි පෙරමග බැලුවෙමි. කලින් දෙනෙත් දුටු දිනූකා මිස් දැන් එතන නැත. එසේ නම් මා දැක්කේ මායාවක්ද..? සිතේ වූ අවසන් බලාපොරොත්තුවද, පැතුමද සුන්නද්දූලි වී ගියපසු සිනාසෙන ගමන් මම හඩන්නට පටන්ගතිමි.

"අ.. අනේ මල්ලි.. ඒකි උඹව විනාශ කලා..."

අයියා නොකියා කියන්නේ මා සදාකාලික පිස්සෙකු වන බැව්ද..? මා පිස්සෙකු වනතුරු මගේ සද දෙව්දුව බලා නොසිටිනු ඇත. ඇය පැමිණ මා බේරාගනු ඇත. මේ දුප්පත් කාංචනගේ අහිංසකකම ගැන ඇය පහන් සිතින් කතා කරනු ඇත. නෙත් අගින් කදුළු කඩා හැලෙද්දීම මගේ සිතට අමුතුම සතුටක් දැනෙයි.

නැවත නැවතත් දිනූකා මිස්ට ප්‍රසාද්ගෙන් කරදරයක් ඇති නොවනු ඇත. නැවතත් ඔහු කරදර කරන්නට ආවොත් මම ඔහුව ඇත්තටම මරා දමමි. දිනූකා මිස් වෙනුවෙන් මට කරන්නට බැරි දෙයක් නැත.

එසේම නිදහස් වන දිනයක් ගැන මම තවමත් නොදන්නෙමි. අයියා මොනවා කීවත් ඒ දිනයට දිනූකා මිස් කොහේ සිට හෝ පැමිණෙනු ඇත. පෙරදා ලෙසටම රංඩු වී මට බැණ වදිනු ඇත. නැතිනම් මට කොල ගුලියකින් දමා ගසා අහක බලාගෙන සිනාසෙනු ඇත. මා අමාරුවෙන් නිර්මාණය කල චිත්‍ර සටහන් මත තීන්ත හලා ඇයද හඩන්නට සැරසෙනු ඇත. මා සමග තවත් මාලුපාන් ගෙඩියක් දෙකට බෙදා කන්නට පැමිණෙනු ඇත.

අති ආදරණිය වූ අතීත මතකය හතර වටින්ම එබෙද්දී දිනූකා මිස්ගේ අතිශය සුවදවත් විලවුන් සුවද මා වටා නිරන්තරයෙන්ම සැරසරනු මට දැනේ. ඒ හැගීම්බර සුවදත් සමග මම බොහෝ දුර ගමනක් සදහා සූදානම් වන්නෙමි. ඉතින්.. මට සැනසෙන්නට මේ කරුණු කාරනා බොහෝ වැඩිය.. කල්ප කාලයක් ගෙවී ගොස් හෝ ඇය පැමිණ ඒ ප්‍රාර්ථනා සියල්ල සැබෑ කරනා තෙක් මම ඉවසා හිදිමි. ඇය කවදා හෝ මා බැලීමට එනු ඇත.

෴පසු සටහන෴

කාංචන නම් වූ අහිංසක තරුණයා බලාපොරොත්තුව සිටි පරිදි දිනූකා මිස් නැවත කවදාවත් පැමිණියේ නැත. බන්ධනාගාරයේ වසර දෙකක් තුනක් ගතකළ ඔහු ජීවිතයේ සොදුරු සමනල් සමය ගෙවා දැමුවේ මුල්ලේරියාව මානසික රෝහලේය. වරෙක පුබුදුත්, පූර්ණිමාත් ඔවුන්ගේ කුඩා දියණියද ගෙන කාංචන බලන්නට පැමිණ තිබිණි. ඒ පුංචි සිගිත්තියගේ දෝත බදාගෙන බොහෝ වේලාවක් කාංචන හඩා වැටුණු අයුරු දැකි වෛද්‍යවරුන්ගේ පවා දෙනෙත් වලට කදුළු උනා තිබිණි. සමහර විටක කාංචනගේ අසරණ ආත්මයට ජීවිතය අලුතින් කියා දෙන්නට කාටවත්ම බැරි වෙන්නට ඇත. එහෙත් ශෝකාන්තය එය නොවේ. අදත් නගරය පුරා ඇවිදිමින්, අව්වට කරවෙමින්, වැස්සට තෙමෙමින් දිනූකා මිස් එනතුරු ඔබු බලා සිටින එකය. ඔහු නිර්මාණය කල සිතුවම් මතට තීන්ත හැලීමට ඇය එනතුරා ඔහු බලා සිටින එකය.



6 comments:

  1. ඔක්කොම කියෙව්වා.. අන්තිමට ඉතුරුඋනේ හිස්‌ හැඟීමක්,මහේෂ්ගේ ,පූජා,කියෙව්වමත් දැනුනේ ඒවිදියටමයි...ඔයා ලස්සනට ලිව්වා,පට්ට...

    ReplyDelete
  2. anthima nm pattama patta awul ban

    ReplyDelete
  3. dinukanam maha jara wadak kale.attatama lassana kathawak.

    ReplyDelete
  4. HARIMA DUKAI ANE.... PAW KANCHANA... ETH ITHIN DINUKATH ASARANA WELADA DAN NANE...

    ReplyDelete
  5. Mehema duka hithena widihata awasan karanna epa.kathawa lassanai godakma

    ReplyDelete