Friday, March 30, 2012

| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි |








මං උදේ පංතියට යද්දි අපේ කට්ටිය ගොඩක් ඇවිත්. හැබැයි කට්ටියගෙ මූණු වල තිබුණෙ මල පැනපු ලුක් එකක්. මං පුරුද්දට වගේ පොත් ටික මගේ ඩෙස් එක උඩට දාන්න හැදුවත් එතැන ඩෙස් එකක් තිබුනෙ නෑ.

"කෝ බං, මේකෙ තිබුණු ඩෙස් පුටු වලට මොකද උනේ..?"


"ඒක තමයි බං අපිත් මේ ආපු ගමන් බැලුවෙ. ෂුවර් එකට අලුත් එවුන් ගෙනියන්න ඇති.."

ෂෝටට තද වෙලා හිටපු හේතුව ඒකයි එහෙනං. අලුත් බැජ් එක ආවම අපේ ඩෙස් පුටු වලට ඔය ආනිසංසෙ වෙනවා කියල දන්න නිසාම අපි උන් එන්න කලින් පංතියෙ සේරම ඩෙස් බංකු, ගුරු මේස වල ලා නිල් පාට තීන්ත ගාලා පංතියෙ නමත් ගහලයි තිබුණෙ. එහෙම තියෙද්දිත් මුං ඒවා අරන් ගිහින් නංග කට්ටියව හම ගහන්න ඕන.

"වරෙන් යං අලුත් ක්ලාස් පැත්තේ. නිකං හරි උන් අරගෙන නං උන්ට කියලම ආපහු ගේන්න ඕන.."

මං එහෙම කියලා ඉස්සර වෙද්දිම අනිත් කට්ටියත් පස්සෙන් ආවා. එළියට ආවමයි තේරුනේ තේරුනේ ඩෙස් අපේ පංතියෙ විතරක් නෙමෙයි අඩු කියලා. හැම 13 වසර පන්තියකම තිබ්බ ඩෙස් පුටු අඩු වෙලා. සේරම කට්ටිය අලුත් එවුන්ගෙ මුලු ඥාතී පරම්පරාවම මතක් කර කර තම තමන්ගෙ ඩෙස් හොයනවා.

අපි දොළහ වසර කොමස් ක්ලාස් එකට යද්දි උන්ගෙ පංතියෙ ඩෙස් පුටු හරි ලස්සනට පේළියට හදලා. හැබැයි ඉස්සරහ පේළියෙ තිබුණු ඩෙස් හයම අපේ පන්තියෙ ඒවා. ඒක දැකලා මට තද උනා. ඒ ඩෙස් එකක් උඩ ඉදගෙන හිටපු කොල්ලෙක් ගාවට මං ගියා විතරයි ඌ ඩෙස් එකෙන් බිමට පැන්නා.

"මල්ලි කවුද මේ නිල් පාට තීන්ත ගාපු ඩෙස් මෙහෙට ගෙනාවේ..?"

"ගෙනාවෙ අපි.."

මූ නිකං කතා කලේ ප්‍රින්සිපල්ගෙ පුතා වගේ. මං වැදගත් විදියට මල්ලි කියලා කතා කරපුවාම මූ එනවා ඔළුවට අත හෝදන්න.

"හලෝ මේ.. තමුසෙ මේවා ගෙදර තිබිලා ගෙනාපුවා නෙමෙයිනේ. මේ අපේ ක්ලාස් එකේ ඩෙස්.."

මං උගේ කොලර් එකෙන් අල්ලලා කියද්දි විහගත් මැද්දට පැන්නා.

"මොකද ඩෝ ඔරවන්නේ..? මේවායේ 13 වසර කියලා ගහලා තියෙනවා. පේන්නෙ නැද්ද..?"

"අපිට අඩු ඩෙස් ගෙනත් පංතිය හදාගන්න කිව්වෙ අර නන්දනී මිස්.."

ඌත් ගේම අත අරින පාටක් නෑ. නන්දනී මිස් කිව්වා කියපුවාම අපි නකුට කකුල් දෙක අස්සෙ ගහගෙන යයි කියලා ඌ  හිතන්න ඇති.

"නන්දනී මිස් කිව්වද අපේ පන්තිවල තියෙන ඩෙස් උඹලට ගන්න කියලා. අයිසෙ මේ, නිකං බාසාව දාන්නැතුව හොද හිතින් මේවා ගෙනත් දානවා අපේ පන්තියට.."

මගේ සද්දෙට පංතියෙ කෙල්ලො ටික බයවෙලා. එක කෙල්ලෙක් බිම බලාගෙන මගේ ළගට ඇවිත් නතර උනා.

"අයියෙ මිස් එහෙම කිව්වෙ නෑ. ඒත් අපේ පංතියට ගොඩක් ඩෙස් අඩුයි.."

"නංගි මේ පංතියෙ ඇතිනේ පරණ ළමයි. උන් එක්ක ගිහින් මේන් හෝල් එකෙන් ඔයාලට ඕන ඩෙස්, පුටු අරන් එන්න. ඒ වගේම ඔයාලගෙ යාළුවන්ට කට පරිස්සම් කරගන්න කියන්න.."

මං අරූගෙ ෂර්ට් එක අතෑරලා දැම්මා. ඒ අස්සෙ විහග කෑගහනවා.

"යකෝ බලපංකො මුං අම්මගෙ අප්පගෙ බූදලේ වගේ මගේ ඩෙස් එකත් ගෙනත්.."

එතකොට අපිට හිනා ගියා. මොකද විහගගෙ ඩෙස් එක ඕන තැනක පැහැදිලිව අදුන ගන්න පුළුවන්. ඌ ඩෙස් එකේ ලස්සන සිංදුවක කොටසක් පදයක් වෙනස් කරලා ටිපෙක්ස් වලින් ලියලා තිබුණෙ මෙහෙමයි.

"ඔබද මාද විය....
මාද ඔබම විය....
ඔබ අන්සතු විය....
ඉන් මට කෙලවිය...."

මේ ගායකයො දන්නවනං මූට විරුද්ධව නඩු දානවා සිංදු හතරැස් කරනවට. විහග ඕක ලිව්වෙ ඌ ට්‍රයි කරපු කෙල්ලෙක් වෙන කොල්ලෙක් එක්ක මුකුළු කර කර ඉන්නවා දැකලා.

අපේ කට්ටිය ඩෙස් පුටු ඒ පංතියෙ හිටපු කොල්ලන්ටම කියලා අපේ පංතියට අරගෙන ගියා. උන් ඩෙස් ටිකත් උස්සගෙන පෙරහැර වගේ එන ගමන් හිතෙන් අපේ ගුණ වර්ණනා කලාද දන්නෑ.

අපිට උදේ පීරියඩ් දෙකම තිබුණෙ ගිනුම්කරණය. ඒ විෂය ඉගැන්නුවෙ ගලප්පත්ති කියලා මහ නිදිමත සර් කෙනෙක්. එයා නිදිමතේ වගේ උගන්නපු දේවල් අපිට විතරක් නෙමෙයි එයාටවත් තේරෙන්නෙ නැතුව ඇති. ඒත් අද සර් ඇවිත් ඉන්නවා දැක්කෙ නැති නිසා මං ඒ ගැන විහගගෙන් ඇහුවා.

"ඒයි ගලප්පත්ති ආවද බං..?"

ඒත්  මුගෙන් ප්‍රතිචාරයක් නෑ. ඒ වෙනුවට ඌ කලේ කට ඇරගෙන මගේ පිටිපස්සෙ කොරිඩෝ එක දිහා බලන් හිටපු එක. ඒ එක්කමයි ෂෝටයි, නිරෝධයයි ඩෙස් උඩින් බිමට බැස්සේ. මමත් පිටිපස්ස හැරුනෙ මුන්ගෙ සැබෑ වෙනස දැකගන්න. මළ කෙලියයි..! ගලප්පත්ති සර් පිටිපස්සේ. එයාට මං කියාපු දේ ඇහෙන්න ඇති. සර් කෙලින්ම ආවෙ මගේ ළගට.

"තමුසෙ මොකක්ද ඇහුවේ..?"

සර්ගෙ කන් ඇහීම ඉතා හොදයි වගේ. ඒත් ඉතිං මමත් ෂේප් වෙන්න ඕනනේ.         

"සර්.. මං.. මේ.. මෙයාගෙන් ඇහුවේ....."

මං විහග දිහාට අත දික්කරලා ගොත ගහන්න ගත්තා. විහග මං දිහා රවාගෙන ඉන්නවා. ඌ හිතන්න ඇති මං ඌව මාට්ටු කරයි කියලා.

"කියනවා ඉතිං තමුසෙ මොනවද මෙයාගෙන් ඇහුවේ..?"

"මං ඇහුවෙ සර් ගණන් පංති ආවද කියලා.."

අපේ සෙට් එකට වගේම සර්ටත් ඒකට හිනා ගියා. එයා හොදටම දන්නවා මං පටස් ගාලා වචනෙ වෙනස් කලා කියලා. ඒත් ශබ්දය එක වගේ නිසා සර්ට බනින්නත් විදියක් නෑ.

"හරි හරි ඉදගන්නවා. මට අද උදේ වරුව දොළහ වසර පන්තියත් බලන්න තියෙනවා. තමුසෙලට විබාගෙ ළගයිනේ. පොත් බලාගන්නවා.."

"තැන්ක් යු සර්.."

ෂෝටා කෑ ගහලා කියද්දි යන්න ගිය සර් ආපහු හැරිලා පංතියට ආවා. අපි දැක්කෙ නෑ වගේ අහක බලන් ඉද්දි සර් තනියම මොනවද කුටු කුටු ගාලා හරිලා යන්න ගියා.

"මචං යන්ද ආට් ක්ලාස් එක පැත්තේ..?"

නිරෝධ ඇවිත් අහද්දියි මට මතක් උනේ සචීව. එයා උදේ ඇවිත් මොන බාල්දියක් පෙරළ ගත්තද දන්නෑ. කොයි එකටත් ආර්ට් ක්ලාස් පැත්තෙ යනවනං ෂෝටවත් එක්කං යන එක හොදයි. එතකොට නෙත්මිලගෙ පංතිය පැත්තෙන් යන්න පුළුවන්.

"ෂෝටා මෙහෙ වරෙං.. ආට් ක්ලාස් එක පැත්තෙ රවුමක් දාලා එමු.."

"යමං යමං.. එතකොට අර මිහිරි හඩින් ගී ගයන නංගිලවත් බලාගන්න පුළුවන් නේ.."

මූත් ඇගේ සයිස් එකට නෙමෙයි කතාව. වෙලාවකට විහගට හපන්. අපි කට්ටිය දොලහ වසර ආර්ට් ක්ලාස් වලට යද්දි ෂෝටගෙ, නැන්දගෙ දුවයි, අපේ රාණි මුකර්ජියි ලොකු වළදක් හෝදනවා. අපි ළගට යනකල්ම උන් දැක්කෙ නෑ.

ෂෝටගෙ නංගි ඌව දැකපු ගමන් ඇවිත් කතා කලා. මමත් ඒකිව දවසක් දෙකක් විතර දැකලා තියෙනවා වගේ මතකයි. ඒත් කතා බහ කරලා නෑ. මම නෙත්මිට පේන්නම එයා එක්ක කතා කලා.

"නංගි ඔයා මොකක්ද මට චෝදනාවක් කලා කියලා ආරංචියි.."

"අනේ අයියෙ මමනං නෙමෙයි මේ අපේ නෙ........"

කියලා කෙල්ල යාළුවා දිහා බලද්දි එයා රවනවා මං දැක්කා. රෝස මලක් වගේ ලස්සන උනාට මෙයාට රවන්නත් පුළුවන්නේ. මොනව උනත් ෂෝටගෙ නංගි යාළුවව පාවා දුන්නෙ නෑ.

"අයියෙ සංජුලාව අපේ පංතියට මාරු කරලා දෙන්නකෝ.. එයා දැන් ඉන්නෙ කොමර්ස් ක්ලාස් එකේනේ.."

"සංජුලා කිව්වේ..?"

කියලා මං කල්පනා කරන්න ගත්තා. සංජුලා ගැන මුළු සීන් එකම හොදට මතක තිබුනට මං නංගිට පේන්න පොඩි පොතක් දැම්මේ.

"අර එදා බර්ත් ඩේ එක කියලා අයියා සිංදුවක් කියන්න ස්ටේජ් එකට ගෙන්නුවෙ."

"ආ.... හරි දැන් මතක් උනා.."

මේක මං හිතලා කරපු වැඩක් කියලා දන්නවනං මුං මාව හම ගහයි. හැබැයි ෂෝටා ඒ කතාව නංගිට කියලා නැතුව ඇති. ඌ පොඩි උනාට හොද එකා. කොහොමහරි ඒ වැඩේ කරලා දෙන්න පොරොන්දු වෙලා මං ෂෝටා එක්ක එළියට ආවා. අරකි නිකංවත් මගේ දිහා බලලා හිනා උනේ නෑ. ආඩම්බර කෙල්ල.  

ඊළගට අපි අචීලගෙ පංතිය පැත්තට යද්දි අනිත් දොලහ වසර පන්තියෙ සාරංගයි දිනූකයි හිටියා. මුන් දෙන්නා මොනවද මේක අස්සෙ කරන්නේ.. අපිත් ඒ පංතියට රිංගුවා. දිනූකනං ඩෙස් එකකට හේත්තු වෙලා බලං ඉන්නවා. සාරංගයා ඉනටත් අත්දෙක තියාගෙන කෙල්ලෙක් දිහා බලන් කෑගහනවා.

"ඔහොම බෑ, හයියෙන් කියනවා.."

"තිහයි, තිස් එකයි, තිස් දෙකයි.."

කෙල්ලත් බිත්තිය ළග මොනවද කර කර ගණන් කරනවා. මූ උදේම කෙල්ලට රැග් එක දීලද කොහෙද..? 

"මොනාද බං අර අරූ කෙල්ලෙක්ට කියලා ගණන් කරවන්නේ..?"

කරන දේ පැහැදිලි නැති නිසා මං දිනූකගෙන් ඇහුවා. ඒ අතරෙත් අර කෙල්ල ගණන් කර කර අඩිය අඩිය ඉස්සරහට යනවා.

"මූ කෙල්ලට කියලා බිත්ති හතරෙ දිග මනින්න කියලා.."

"දිග මනින්නේ මොකෙන්ද..?"

"ඇයි උඹට පේන්නැද්ද ඒකිගෙ අතේ තියෙන දේ. මූ ඒකිට පුංචි ඉරේසර් කෑල්ලක් දුන්නා ඒකෙන් ගණන් කර කර බිත්තිය මනින්න කියලා.."

"පව් බං මිස්ට කරදර එහෙම ආවොත් උඹලට සොරි තමයි.."

මං කිව්වෙ අපේ වයිස් ප්‍රින්සිපල් ගැන. එයාගෙ නම කරදන. හැබැයි සර් ළමයි හැමෝටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කරදරයක්. හොස්ස ළගින් මැස්සා යන්න බෑ. ඉතිං හැමෝම කරදන වෙනුවට කිව්වෙ කරදර කියලා.

"පනස් නමයයි, හැටයි...."

කෙල්ල දිගටම ගනිනවා. මට ඒකි ගැන දුක හිතුනා. හරි අහිංසක පාට කෙල්ලෙක්. මං සාරංගට ඇහැක් ගහලා ඒ ළමයට කතා කලා.

"නංගි මේ..."

ඒක ඇහුන ගමන් කෙල්ල ගණන් කකරන එක නතර කරලා මං දිහාට හැරුණා. එයාගෙ ඇස් දෙක කදුළු වලින් පිරිලා තියෙනවා දකිද්දි මට සාරංග එක්ක තරහත් ආවා.

"ඔය ඇති නංගි, ඔයා ඉදගන්න.."

ඒකි මගේ මූණයි සාරංගගෙ මූණයි දිහා මාරුවෙන් මාරුවට බලනවා. එතකොටම එළියෙ හිටපු විහග විසිල් පාරක් ගැහුවා. අපිට පංතියෙන් එළියට පනින්න උනේ නෑ ආර්ට් සෙක්ෂන් එක භාර් සර් පංතියට ආවා.

"ඔය ළමයි ඇයි මෙහේ..?"

එහෙම අහපු සර් ඊළගට හැරුනෙ අර කෙල්ල දිහාට. මේකිට ඉදගන්න කියලා සිංහල භාශාවෙන් කියලත් තාම හිටගෙන. දැන්නං අපි කට්ටිය ඉවරම තමයි.

"ඇයි දුව ඔයා හිටගෙන..? ඇයි මේ ඇස්වල කදුළු..?"

සර්ගෙ ප්‍රශ්න වලට කෙල්ලගෙන් උත්තර නෑ. ඊළගට සර් අපේ පැත්තට හැරුණා.

"මට ඇත්ත කියන්න හේෂාන්.. මෙතන මොකක්ද සිද්ධ උනේ..?"

හැම මගුලම අහන්නෙ මගෙන්. මෙතන සිද්ධ වුන දේ මමත් අහගත්තෙ දිනූකගෙන්. අන්තිමට වැඩේ ෂේප් කරන්න ගිය මාවයි අල්ලගත්තේ. ඒත් මං උත්තරයක් දනේන කලින් අර කෙල්ල කතා කලා. 

"සර් මගේ ඔළුව රිදෙනවා. මං මේ අයියලගෙන් පැනඩෝල් දෙකක් ගන්න තැනක් ඇහුවා.."

කෙල්ලගෙ උත්තරේට අපි කට්ටිය හොල්මන් උනා. එයා එහෙම නොකිව්වනං අද අපිට වෙන දේ අපිවත් දන්නෑ. මොනව උනත් කෙල්ල ග්‍රේට්.

"මෙයාට ෆස්ට්ඒඩ් බොක්ස් එකෙන් පැනඩෝල් දෙකක් ගෙනත් දෙන්න. ඔයාලා ගොඩක් හොද ළමයි. ඔය වගේ සැරෙන් සැරේ ඇවිත් මේ පංති ගැනත් හොයලා බලන්න.."

අපි කර කර හිටපු වැවේ ගැන නොදන්න සර් අපේ නම් වලට ලකුණුත් දාලා පන්තියෙන් ගියා.

"තෑන්ක්ස් නංගි, තැන්ක් යූ වෙරි මච්.."

මං අර නංගි දිහා බලලා එහෙම කියද්දි එයා හිනාවෙලා ගිහින් ඉදගත්තා. දැන් තත්පර ගානකට කලින් අඩන්න ගිය කෙල්ල ඒපාර හිනාවෙනවා. අනේ මන්දා මේ කෙල්ලො ජාතිය තේරුම් ගන්න ලෝකෙ මවපු මහ බබාටවත් බැරිව ඇති.

අපි නැටුම් ශාලාව පැත්තට යද්දි ඒකෙ එක පැත්තක කුමුදු මිස් නංගිලා කට්ටියකට උගන්නනවා දැක්ක නිසා අපි අනිත් පැත්තට ගියා. එතන අචිනි හෙවත් අපේ සචිනි, හංසි අක්කගෙන් නැටුම් පුරුදු වෙනවා. අපි ටිකක් ලංවෙලා සචිනි නටන දිහා බලන් හිටියා. ඒකි තාලෙට අඩි තිය තියා ගිනි සිළුවක් වගේ නටන හැටි දැක්කම ඇත්තටම ආස හිතුනා. අපි කට්ටිය කට්ටියට ඒක දකිද්දි හිතුනා සචී සෙනසුරාදා තරගෙන් කොහොම හරි දිනයි කියලා. සචීට සමහර අඩි කියලා දෙන්න හංසි ඉස්සරහට ඇවිත් නැටුවා. බලන් යද්දි ඒකිටත් මරු පහට නටන්න පුළුවන් නේ. අපේ අක්කටත් ඉන්නෙ මාර යාළුවො තමයි. ඒ දෙන්නා අපිව දැක්කෙ නැති නිසා අපි ෂේප් එකේ එතනින් මාරු උනා.

අපි පංතියට ඇවිත් කතා කර කර හිටියට ගුරුවරු කවුරුත් උගන්නන්න එන පාටක් තිබුණෙ නෑ. අපිත් ඒ ලැබුණු නිදහස උපරිමේට භුක්ති වින්දා. සාරංගලත් අපේ පංතියට ආවම කතා උනේ අපිට විභාගෙ සිකුරාදා නිසා හෙටයි අනිද්දයි ගෙදර ඉදලා පාඩම් කරන්න. ඉස්කෝලෙ ආවත් අපි කලේ පිස්සු නටපු එක විතරනේ.

"ඔන්න උඹලා මේ දවස් වල එන්නෙ නැත්තං මං වැඩේ සිකුරාදට දාගන්නම්.."

සාරංග එහෙම කිව්වට ඌ කියපු වැඩේ මොකක්ද කියලා අපි දැනගෙන හිටියෙ නෑ.

"සිකුරාදා පිස්සු කරන්න බෑ බං, එදාට විභාගෙනේ.."

"මේක එහෙම වැඩක් නෙමෙයි බං. මං අළුත් එවුන් කට්ටියට කිව්වා කේක් ගේන්න කියලා. උන් ෂුවර් එකට ගෙනෙකි. මං කියන්නං සිකුරාදා ගේන්න කියලා."

සාරංගයා නම් අළුත් එවුන්ව හොදට බයිට් කරනවා. ඒත් අපේ සෙක්ෂන් එකේ කට්ටියට රැග් කරන්න කවුරුවත් ගියේ නෑ. ඉස්කෝලෙ ඇරෙන්න කලින් මං සංජුලාව ආර්ට් ක්ලාස් එකට මාරු කරන වැඩේ නන්දනී මිස්ට කියලා කලා. නැත්තං අර කෙල්ලො දෙතුන් දෙනාම එකතු වෙලා අපේ අම්මට පීනසේ හදවනවා. ගෙදර යන්න කලින් අපි සචීව බලන්න නැටුම් ශාලාව පැත්තෙ යද්දි හංසි මාව දැකලා ලා හිනා පාරක් දාලා ගියා. අපි දවස් දෙකක් එන්නෑ කිව්වම සචීගෙ මූණ ඇඹුල් උනා. අපි ගෙදර ඉදන් පාඩම් කලාට කෙල්ල අක්කා වෙනුවෙන් ප්‍රැක්ටිස් කරන්න එපැයි.

"උඹ කිසි දේකට බය නැතුව ප්‍රැක්ටිස් කරපං. අපි උඹටත් එක්ක පාඩම් කරන්නම්. පුළුවන් උනොත් අචීව බලන්න අපි එන්නම්.."

විහග සචී ගාවට ගිහින් කියද්දිත් කෙල්ලගෙ මූණ හරි නෑ වගේ.

"කමක් නෑ, ඔයාලා එහෙනම් හොදට පාඩම් කරන්නකෝ.."

කෙල්ල ඒක නං කිව්වෙ දුකෙන් වගේ. අපිට කියන්න බැරි අවුලක් තියෙනවද දන්නෙත් නෑ. ඒත ඔය ගෑණු ළමයි ලේසියෙන් හිතේ තියෙන දේවල් කියන ජාතියෙ අය නෙමෙයි. ඉස්කෝලෙ ඇරිලා මං විහග එක්ක පාරට යද්දි නිරෝධ මගේ ළගට දුවගෙන ආවා. විහග ඒක වැඩිය ගණන් ගන්නෙ නැතුව උගේ බයික් එක අරන් එන්න කොමියුනිකේෂන් එක පැත්තට ගියා.

"රන්දු මං අනිද්දා රෑට උඹ එක්ක පාඩම් කරන්න එහෙ එන්නද..?"

නිරෝධගෙ මූණ හැටියට ඌ එන්නෙ පාඩම් කරන්න විතරක් වෙන්න බෑ.

"කිසි අවුලක් නෑ වරෙං.. මටත් තනියෙම පාඩම් කරන්න කම්මැලියි.."

"හැබැයි විහගට කියන්න එපා බං.. මට උඹත් එක්ක ටිකක් කතා කරන්නත් ඕන.."

කොහොමටත් කොල්ලා කියාගන්න බැරි දෙයක්  හිතේ තියන් දුක් විදිනවා කියලා මට හිතුනෙ අද ඊයෙ නෙමෙයි. මේ රන්දුත් ඉතිං යාළුවන්ට ඕන සපෝට් එකක් දෙන්න එවරෙඩි.

"ඕකේ මචං.. එනවා නම් පරක්කු වෙන්නැතුව වරෙං.."

එහෙම කියලා මං විහග එක්ක ගෙදර ආවා.

ගෙදර හිටපු දවස් දෙකට මං පහුගිය මාස දෙක තුනටම වඩා වැඩියෙන් පාඩම් කලා. අපේ අම්මලා මේ දවස්වල ටීවී එක උනත් දැම්මෙ ප්‍රවෘත්ති බලන්න විතරයි. අපේ අක්කත් සැරෙන් සැරේට බෙල්ල දාලා බැලුවෙ මං ඇත්තටම පාඩම් කරනවද නැත්නම් නිදිද කියලා බලන්න වගේ. බදාදා හවස් වෙද්දි මං නාලා කාමරේ එහෙම පිළිවෙලකට අස් කරලා තිබ්බෙ නිරෝධ පාඩම් කරන්න එනවා කියපු නිසා. ඌ අපේ ගෙදරට ආවෙ හවස පහට විතර.

"මං හිතුවා උඹ කලින් එයි කියලා.."

මං එහෙම කිව්වෙ ඇත්තටම නිරෝධ එනකල් මං ගොඩක් වෙලා මිදුලෙ බලන් හිටපු නිසා.

"මං අද ඉස්කෝලෙ ගියා. ඒකයි පරක්කු උනේ.."

"අපි කට්ටියම කතා වෙලානේ ගෙදර ඉන්න තීරණය කෙරුවෙ. එහෙම එකේ උඹ මොන මගුලකටද ඉස්කෝලෙ ගියේ..?"

මට මූ එක්ක මාර තරහක් ආවේ. වචනයක් කිව්වොත් ඒක ඒ විදියට තියෙන්න ඕන. අපිට එකක් කියලා මූ හොරෙන් ඉස්කෝලෙ ගිහින්. හැබැයි මගේ ප්‍රශ්නෙට උත්තරයක් නෑ. මේකා බිම බලාගෙන ඉන්නෙ වැරැද්දක් කලා වගේ. වගේ කිව්වට වගේ නෙමෙයි. මූ කලේ වැරැද්දක් තමා. ඒත් ඉතිං මිනිහෙක් ගෙට ගොඩ උන ගමහන් ඇගට කඩා පනින එක හොද නෑනේ. මං ඌත් එක්ක කාමරේට ආවා.

"උඹට කියන්න තියෙන එවා අපි පස්සෙ කතා කරමු. ආ ටවල් එක. දැන් ගිහිං වොෂ් එකක් දාගෙන වරෙන්.."

එහෙම කියලා මං උගේ ඇගට තුවාය දැම්මා.

"උඹට ඇදුමක් ඕනෙද..?"

"එපා බං මං ගෙනාවා.."

නිරෝධ බාත්රූම් එකට ගියාට පස්සෙ මං අම්මට ගිහින් තේ ලෑස්ති කරන්න කිව්වා. අද පාඩම් කරන එක කෙසේ වෙතත් රෑට ඇහැරිලා ඉන්න නම් වෙනවා. නිරෝධ ඇග හෝදගෙන ඇවට පස්සෙ අපි තේ බිලා ආයෙ කාමරේට රිංගුවා.

"උඹේ වැඩ මාර නීට් නේ රන්දු. උඹ පිස්සු නටන විදියට මං හිතුවෙ නෑ මේ තරම් පිළිවෙලට වැඩ කරනවා කියලා.."

නිරෝධ කාමරේ හැම අස්සක් මුල්ලක් දිහාම හොදට බලලා කිව්වෙ පුදුමෙන් වගේ. මගේ කාමරේ මේ තරම් පිළීවෙලට තියාගන්න අපේ අක්කත් මට හෙල්ප් කරනවා කියලා මූ දන්නෑ. ඒත් මට ඕන වෙලා තිබුණෙ ඒක ගැන කියන්න නෙමෙයි. මේකා අද තකහනියක් ඉස්කෝලෙ ගිය එක දැනගන්න.

"මට ඉස්සෙල්ලා කියපං උඹ ඇයි අද අපි කවුරුවත්ම නැතුව ඉස්කෝලෙ ගියේ කියලා.."

"කෝ බං උඹලගෙ අක්කත් ගෙදර ඉන්නවද..?"

මං අහපු දේට මූ කිව්වෙ, යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කතාවක්. අනික මූ ආවෙ අපේ අක්කව බලන්න වෙන්න බෑ. අපේ අක්කා කරපු උපාධියට අමතරව බී.ඒ එක කරන්නෑ කියලා මට ෂුවර්.

"ඇයි උඹ හිතුවෙ අක්කා පැනලා ගියාද කියලා..? එයා ඇති කාමරේ.. මේ උඹ කියන්න  හදන්නෙ අපේ අක්කා ගැන දෙයක් නෙමෙයි නේද..?"

"උඹට පිස්සුද..? මං එහෙම ඇහුවෙ අපි කතා කරන දේවල් එයාට ඇහෙයිද කියලා දැනගන්න.."

"ඒ ගැන බය වෙන්නෙපා. එයාගෙ කාමරේ තියෙන්නෙ උඩ තට්ටුවේ.."

"අපි දැන් පාඩම් කරමු බං.. කට්ටිය නිදා ගත්තම මං උඹට කියන්නම්.."

මේ කතාව එසේ මෙසේ හුටස්පරයක් වෙන්න බෑ. සමහර විට මුගේ පපුවට අනංගයගෙ හීය වැදිලද දන්නෙත් නෑ. මං කොයි තරම් ඇහුවත් මේ යකා මට විස්තරේ කියන්න ගත්තෙ රෑ කෑම කාලත් පැයකට විතර පස්සේ.

"මොනාද බං උඹ ගිය සදුදා ඉදලා ඕක කියන්නං කියලා හගේ ඔළුවත් එක්ක වචල් කරලා තියෙන්නේ. දැන්වත් කියපංකො ඔය අටමගලෙ.."

"මේක උඹට කචල් වෙන්න තරම් දෙයක් නෙමෙයි. මේක මගේ පෞද්ගලික දෙයක්.."

බලහල්ලකො මුගේ කතාව. මෙච්චර කාලෙකට අපි කට්ටිය අතර කිසිම පෞද්ගලික කතාවක් තිබිලා නෑ. අර බස්වල ගහලා තියෙන විදියට අප පෞද්ගලික හෙවත් පොදුයි වගේ තමයි අපේ වැඩ. මේකා කියන මගුලක් කියන්නෙත් නෑ තටමනවා. තව ටිකකින් ගෙදර මිනිස්සුන්ට විතරක් නෙමෙයි මටත් නින්ද යනවා.

"දැන් උඹ ඕක මට අද කියනවද...?"

"මචං මේකයි.. මං.. මං.. කෙල්ලෙක්ට ආදරේ කරනවා.."

දවස් ගානක් හිර කරගෙන හිටපු එක මූ කියලා දැම්මා. සුනිල් මස්සිනා මල් හතයි ආ.. කියලා කටට ආවත් මං නිකං හිටියෙ මුගේ කෙල්ල කවුද කියලා දැනගන්න කල්. තාම අපේ සෙට් එක දීග ගිය එවුන්ට ඉන්නෙ දිනූකයි, අචිනියි විතරයි. විහගයා එහෙම විසිපස්වෙනි වතාවටත් ප්‍රථම ප්‍රේමය වගේ තාම දකින දකින කෙල්ලට ට්‍රයි.

"කියපං ඉතින් ඉතුරු ටිකත්. කවුද ඔය වාසනාවන්ති අලුත් නැවේ කෑල්ලක්ද..?"

"නෑ බං වෙන කෙනෙක්. උඹ හොදටම දන්න කෙනෙක්. උඹත් එක්ක ගොඩක්ම කිට්ටු කෙනෙක්.."

මල කෙලියයි කිව්වලු. මූ කියන විදියට ඔය කෙනා අපේ අම්මා හරි අක්කා හරි වෙන්න ඕන. මොකද මං හොදටම දන්න කියන ස්ත්‍රී පරාණ දෙකකට ඉන්නෙ ඒ දෙන්නා විතරයි.

"එයා තමයි බං... උඹ මේක අපේ සෙට් එකේ කාටවත් කියන්නෑ නේද..?"

දැන් නම් මේ රන්දුගෙ යකා ටොප් ගියර් එකටම නගිනවා. කියන රෙද්දක් තේරෙන්න කියන්නෙත් නෑ.

"උඹ එපා කියනවනම් මං නොකියා ඉන්නම්. හැබැයි මට මුළු සීන් එකම කියපං.. මොන රෙද්දක්ද තටම තටම ඉන්නේ.."

"එයා සචිනි.."

නිරෝධ එක පාරම ඒක කියපුවාම මගේ ඔළුවට කරන්ට් එක වැදුනා වගේ උනා. ඒත් ඒකට හේතුව මටම තේරුණේ නෑ. හැබැයි නිරෝධ කිව්වා වගේ අපේ සෙට් එකේ කෙල්ලො හතර දෙනාගෙන්  මං වැඩිපුරම ආශ්‍රය කලේ සචිනිව. ඒ වගේම සචිනිත් අනිත් අයට වඩා මං එක්ක එකතුයි කියලා මං දන්නවා. නිරෝධ ඒ කතාව කියපුවම මගේ හිතට දුකක් ඉරිසියාවක් වගේ කියන්න නොතේරෙන මොකක්දෝ දෙයක් දැනුනා. සචී කියන්නෙ ගොඩක් ලස්සන වගේම ගොඩක් හුරතල් කෙල්ලෙක්. 

"මොකෝ බං උඹට උනේ..?"

"නෑ බං මට පුදුම හිතුනා.. දැන් ඔය කතාව සචී දන්නවද..? එයා උඹට කැමතිද..?"

"ඒක තමයි ප්‍රශ්නෙ. මං තාම මේක එයාට කියලා නෑ. මං අද ඉස්කෝලෙට ගියේ කවුරු නැතත් එයා ප්‍රැක්ටිස් වලට එනවා කියලා දන්න නිසා.."

"ඉතිං සචීව හම්බවුනාද..? උඹට අද ඕක කියන්න තිබුනනේ..?"

"පොඩි කාලෙ ඉදලා බං බොලං කියලා ආශ්‍රය කරලා එක පාරටම ඒ මූණ බලාගෙන ඔය වගේ කතාවක් කියන්නෙ කොහොමද..?"

ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. මට දැනගන්න ඕන කරන ප්‍රධානම දේ සචී නිරෝධට කැමතිද කියන එක.

"උඹේ හිතට ඔය වගේ දෙයක් දැනුනෙ කවද ඉදලද..? උඹ ඕක සචීට අගවලවත් නැද්ද..?"

"හිතිලා නං දැන් මාස ගානක් වෙනවා. ඒත් මං මොන විදියට දැනෙන්න ඇරියත් ඒකි තේරුනේ නැති ගානට ඉන්නවනේ.."

"දැන් උඹ කියපං ඕක කියන්න ඇයි මාවම තෝර ගත්තෙ කියලා. මගෙන් මොනවද කෙරෙන්න ඕන..?"

මං වරකට දෙක බැගින් කෑමට පෙර සහ පසු වශයෙන් මුගෙන් ප්‍රශ්න අහගෙන ගියා. හැබැයි වෙන වෙලාවක වගේ විහිළු කරන්න පුළුවන් විදියෙ මූඩ් එකක් මගේ ළග තිබුණෙ නෑ.

"සචී උඹත් එක්ක ගොඩක් ෆිට් නිසා උඹට බැරිද මට සචීගෙ කැමැත්ත අරන් දෙන්න..?"

නිරෝධ කියන විදියට අරං දෙන්න තිබුණා කෙල්ල කැමැත්ත අල්මාරියෙ දාලා අරන් තියලා තිබුණා නම්. ඒත් මේක ඊට වඩා සීරියස් ගේමක් නේ. අනික මූ මාස ගාණක් තිස්සෙ අපේ සචීට අපිටත් හොරෙන් ලයින් පාර දාලා කියලා ඇහුවාම පුදුමත් හිතුණා.

"උඹ මෙච්චර දවස් අගවලත් ඒකි නෝ ආන්ස්වර් නම් මං කෙලින්ම අහන්නම්. හැබැයි ඕවා සේරම ලබන සතියට කල් දාන්න වෙනවා. ඒකිට ඔළුව අප්සට් කර ගන්නෙ නැතුව විභාගෙටයි නැටුම් තරගෙටයි යන්න අපි ඉඩදෙන්න ඕන.."

"උඹ කියන්නෙ ඕක අහපුවාම සචිනිට අප්සට් යයි කියලද..?"

ඕක අහලා මං මේ තරම් අප්සට් ගියානං සචී කොයිතරම් අප්සට් වෙයිද කියලා මට හිතාගන්න බැරි උනා.

"නෑ නෑ කෙල්ලට මේ ටිකේ තියෙන ප්‍රෙෂර් එක වැඩියි නේ. ඉතිං අපි ලබන සතියෙ කියමු. උඹට සචීව දවස් දෙකක් බලන්නෙ නැතුව ඉන්න බැහැ නේද..?"

නිරෝධ අද ඉස්කෝලෙ ගියා කියපු කතාව මතක් වෙලා මං ඇහුවා. 

"දවස් දෙකක් නෙමෙයි බං එක දවසක් නොදැක ඉන්න බැහැ. ඊයෙ හවසත් දිනූක අචිනිව බලන්න යනවා කිව්වම මං ඌ එක්ක ගියා. අපිට හැම සෙනසුරාදා ඉරිදටත් සචීව ක්ලාස් එකේදි හම්බවෙනවනේ.."

ඕනම හයිරං කාරයෙක් ආදරේ ඉස්සරහ බොළද වෙනවා කියන එක නිරෝධගෙ කතාවෙන් තව දුරටත් ඔප්පු උනා. අපි දෙන්නා රෑ එකත් පහුවෙනකල්ම කලේ සචී ගැන කතා කරපු එක. මේ වෙද්දි කෙල්ල නිදි නැතුව දිගට හරහට හචිං යවනවා ඇති.

කතා කරලා ඉවරවෙලා, පාඩම් කරන්න හැදුවට දෙන්නටම පාඩම් කරන්න තරම් හිතක් තිබුණෙ නෑ. අපි හෙට ඉස්කෝලෙ යන්න ඕන නිසා නිදාගන්න ඇදට ආවා. ටිකක් වෙලා යද්දි නිරෝධට නින්ද ගියාට මගේ නින්ද නම් අහලකවත් තිබුණෙ නෑ. නිරෝධගෙ කතාවෙන් පස්සෙ මගේ මුළු හිතේම හොල්මන් කලේ සචිනි.

මේ අවුරුදු දහ අටටම මං කෙල්ලෙක් එක්ක යාළුවෙලා  හිටියෙ නෑ. මං ආශ්‍රය කරපු කෙල්ලො හතර දෙනාගෙන්  වැඩි පුරම ළං වෙලා හිටියෙ සචිනිට. ඒ ලෙවල් වලදි මහේෂයි සචිනියි විතරක් අපේ පංතියට ආපු එකෙන් ඒ බැදීම තවත් වැඩි උනා. පස්සෙ ඉස්කෝලෙදි පංති යද්දි උනත් මං පුළුවන් හැම වෙලාවෙම එයාලව පරිස්සම් කලා. හැබැයි යාළුකම, සහෝදරකම ඇරුනම වෙන දෙයක් මට දැනුනද කියලා මංවත් දන්නෙ නෑ. දිනූක අචිනි එක්ක යාළු උනාම මට මේ විදියෙ දෙයක් දැනුනෙ නැතිව සචිනි ගැන විතරක් ඊරිසියාවක් දැනෙන්නෙ ඇයි..? මගේ හිත මටත් හොරෙන් සචිනිට ආදරේ කලාද..? කියන ප්‍රශ්නෙත් මගේ හිතට ආවා. ඒ එක්කම මට මතක් උනේ නෙත්මිව. හැබැයි අද ඊයෙ අදුනගත්තු නෙත්මි මොන වගේ කෙල්ලෙක්ද කියලා මං තාම දන්නෑ. සමහර විට නෙත්මිට ගමේ කොල්ලෙක් ඉන්නත් පුළුවන්. අනික එයාගෙ රූපෙ ගැන ආසාවක් හිතුනට මට එයා ගැන ආදරයක් දැනිලා නැහැ. ඒ වගේද සචිනි, මං පුංචි කාලෙ ඉදලා දන්න හොද ගතිගුණ තියෙන ලස්සන කෙල්ලෙක්. ඉතිං ඒ වගේ කෙනෙක් මගේ හොදම යාළුවෙක්ට ලැබෙන එක ගැන සතුටු වෙන්න ඕන උනත් මටනං පුංචි සතුටක්වත් ඇති වුනේ නැහැ. හැබැයි දැන් මේ රන්දු පරක්කු වැඩියි. කල්පනා කර කර ඉදලා මට නින්ද ගියේ පාන්දර.

"රන්දු... නැගිටපං.."

මං ඇස් ඇරලා බලද්දි නිරෝධ නැගිටලා ලෑස්ති වෙලත් ඉවරයි..

"කීයද බං වෙලාව..?"

"තාම හයයි. මං ගෙදර ගිහින් ලෑස්තිවෙලා ඉස්කෝලෙ  යන්නත් ඕනෙනේ. උඹ තව ටික් වෙලා ඉදලා ලෑස්ති වෙයං.. මං ඇහැරෙව්වෙ යනවා කියන්න.."

මූ ඊයෙ හවස ආවෙ අයියගෙ චැලියෙ නිසා ඉක්මනට ගෙදර යන්න පුළුවන්. අනික සචී බලන්න ඔන් නිසා අද යන්නම එපැයි. මට නම් ඇස් දෙක ඇරගන්න බැරි තරම් නිදිමතක් තිබුණේ. මං නැගිටින්න කලිං අපේ අම්මා මූට තේ හදලත් දීලා. ඌ ගියාට පස්සෙ මං ආපහු ඇදට පැන්නා. දන්නෙම නැතුව මට ආපහු නින්ද ගිහින්.

"පොඩි පුතා ඔයා අදත් යන්නෙ නැද්ද..?"

අම්මා කාමරේට ඇවිත් කතා කරද්දි මං උඩ ගිහින් ඇහැරුනේ. ඔරලෝසුව බලද්දි හතයි වෙලාව. දැන් ලෑස්තිවෙලා යන්න කොහොමත් වෙලා මදි.

"මගේ ඇගට ෆිට් නෑ වගේ අම්මා. මං ගෙදර ඉන්නවා.."

මං එහෙම කිව්වට මගේ ෆිට් එක නොතිබුනේ ඇගේ නෙමෙයි හිතේ. ඉසකෝලෙට ගිහින් සචීගෙ මූණ බලන්න බැරි ගතියක් මට දැනුණා. ඒ අතරෙ අම්මා මගේ නළලට අත තියලා බලනවා උණද කියලා. මං එයා දිහාට හැරිලා ඇස් ඇරලා බැලුවා.

"ආ... ඔයාලා ගොඩක් රෑ වෙනකල් පාඩම් කලාද.. ඇසුත් රතු වෙලා.."

"මට නිදියන්න ඕන අම්මා, ඔයා යන්න එපා.."

එහෙම කියලා මං අම්මගෙ ඉන වටේට අත්දෙක දාලා එයාගෙ ඔඩොක්කුවට ඔළුව තියාගත්තා. රෑ එළිවෙනකල් හිතේ තිබුණ දුක කදුලක් වෙලා පිටවෙලා අම්මගෙ ඇදුමට උරාගත්තා. ඒත් අම්මා ඒක දැක්කෙ නැති එක හිතට ලොකු සහනයක්. නැත්තං ලෙඩක් හැදුනත් අඩන්නෙ නැති පොඩි පුතාගෙ ඇස් වලට කදුලු එන්න හේතුව ඇහුවොත් මට දෙන්න උත්තරයක් නැති වෙනවා. ඇත්තටම මං ළග ඒකට උත්තරයක් නෑ. දිග හුස්මක් පිට කරපු අම්මා ටික වෙලාවකට පස්සෙ මං ළගින් නැගිටලා ගියා. විනාඩි පහක් යන්න උනේ නෑ අපේ අක්කත් ඉස්කෝලෙ යන්න ලෑස්ති වුන සාරිය පිටින්ම කාමරේට දුවගෙන ආවා. අම්මා නිව්ස් එක පත්තරේ දාලා වගේ.

"ඇයි මල්ලි ඔයා අසනීපෙන්ද..?"

එයා ඇවිත් මගේ අත් දෙකෙන්ම අල්ලගනිද්දි මට අක්කා ගැන ලොකු ආදරයක් දැනුනා..

"මං අද නිවාඩු දාන්නම් මල්ලි. අපි දවල් වෙලා බෙහෙත් ගන්න යං.."

මගේ පුංචි වෙනසකට අපේ ගෙදර හැමෝම කලබල වෙලා තව ටිකකින් තාත්තත් එයි මොකද කියලා බලන්න. ඒ නිසා මට ලෙඩක් නෑ කියලා පෙන්නන්න මං ඇදෙන් නැගිට්ටා.

"මට අමාරුවක් නෑ අක්කේ.. ඊයෙ රෑ වෙනකල් පාඩම් කරපු නිසා නිදි මතයි.."

"ඔය ඇත්තමද කියන්නෙ මල්ලි..?"

"ඔව් හලෝ ඔයා වැඩට යන්න.. තව ටිකක් නිදා ගත්තම මේක හරියයි.."

ඒත් අක්කා මං ළගින් නැගිටලා ගියේ අකමැත්තෙන් වගේ. එයා ගියාට පස්සෙ මං මූණ හොදන්න ගියා. නැත්නම් අපේ අම්මා තව පැනඩෝල් පෙත්තක් හරි පොනවනවා. තාත්තයි, අක්කයි වැඩට ගියාට පස්සෙ මං කෑම කාලා පොතකුත් අරන් මිදුලෙ බංකුව ළගට ගියා පාඩම් කරන්න. අටහමාර විතර වෙද්දි අම්මා කතා කලා කෝල් එකක් කියලා. මං ෆෝන් එකට ගියේ මේ උදේ පාන්දර කතා කරන්නෙ කවුද කියලා හිතාගන්න බැරිව.

"හෙලෝ.."

"හෙලෝ රන්දු ගුඩ් මෝනිං.! මං සචිනි.."

මං මහහරින්න හිතං හිටපු කෙනා උදේම කතා කරද්දි මට ලොකු අමුත්තක් දැනුණා.

"ගුඩ් මෝනිං සචී.! ඔයා ඉස්කෝලෙ ගියේ නැද්ද..? කොහේ ඉදලද ඔයා කතා කරන්නේ..?"

"මං ඉස්කෝලෙ ආවා රන්දු. ඔයා ඇයි ආවෙ නැත්තේ..? මං ඔයාට කතා කරන්න ඕන නිසා බොරුවක් කියලා එළියෙ කොමියුනිකේෂන් එකට ආවා.."

ඉස්කෝලෙට බොරු කරලා එළියට ඇවිත් මේ රන්දුට කතා කරන්න තරම් සචීට තියෙන අවශ්‍යතාව මොකක්ද කියලා මට හිතාගන්න බැරි උනා.

"ඇයි සචී මොකක්ද කේස් එක..?"

"රන්දු හෙට විබාගෙට මං එන නිසා නැටුම් ප්‍රැක්ටිස් වලට එනන් බැරි වෙනවනේ. ඒත් කුමුදු මිස් හංසි අක්කට කිව්වා අනිද්දා නුවර යන්න ඕන නිසා හෙට දවසම ප්‍රැක්ටිස් කරන්න කියලා. මං ඔයා එනකල් හිටියෙ හංසි අක්කා එක්ක කතා කරලා මොනවා හරි කරන්න කියන්න.."

"හරි හරි සචී.. මං හංසිට කෝල් කරන්නම්.. ඔයා එළියෙ ඉන්න එපා. ඉක්මනට ඉස්කෝලෙට යන්න.."

එහෙම කියලා ෆෝන් එක තියපු මම එතන ලාච්චුවෙ තිබුණ ටෙලිෆෝන් නොම්මරේ ලියන පොත අරන් බැලුවෙ හංසිගෙ අංකෙ තියෙනවද කියලා. නැත්තං ඒක හොයාගන්න වෙන්නෙ හවස අක්කගෙ ෆෝන් එකෙන් තමයි. මගේ හරි සචිනිගෙ හරි වෙලාව හොද කමට අක්කා ඒක ලියලා තිබුණා. මං ඒ නම්බර් එකට කතා කලේ එයා දැන් අපේ ඉස්කෝලෙ ඉන්නවා කියලා දැනගෙන.

"හෙලෝ නිශා ඔයා අද ගෙදරද..?"

මලා..! මෙයා හිතලා තියෙන්නෙ අපේ අක්කා කියලා. ඒ කියන්නෙ අපේ ගෙදර නම්බර් එක ෆෝන් එකේ සේව් කරලා තියෙනවා කියන එකනේ.. 

"හලෝ හංසි අක්කේ.. මං..."

අම්මට ඇහෙයි කියලා මං කතා කලේ ගොඩක් හෙමින්. හංසිට මාව නම කියලා හදුන්වලා දුන්නෙ නැත්තෙ එයා මාව දන්න නිසා.

"ආ මල්ලි, ඔයා අද ඉස්කෝලෙ ආවෙ නැද්ද..?"

"නෑ අක්කෙ හෙට විබාගෙ නිසා මම ගෙදරට වෙලා පාඩම් කරනවා.. ඒක නෙමෙයි මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕන.."

"ඒ මොකක්ද මල්ලි...?"

"හෙට විභාගෙට සචිනිත් ලියනවාත ඒත් කුමුදු මිස් හෙට සමහර විට ප්‍රැක්ටිස් තියන්න කියයි. ඔයාට බැරිද බොරුවක් කියලා මිස්ට පොඩි ෂේප් එකක් දාගන්න.."

මට සචිනි දැන් කතා කලා කියලා අගවන්නෙවත් නැතුව මං හෙමීට කිව්වා.

"ඔව්, මිස් උදේම කිව්වා තමයි හෙට ප්‍රැක්ටිස් කරන්න කියලා. අනික අනිද්දා නුවර යන එකේ හෙටත් පුරුදු වෙන එක ගොඩක් වටිනවා.."

"ඒත් සචිනි විබාගෙට ආවෙ නැත්තෙ ඇයි කියලා බැලුවොත් අපේ වැඩ සේරම වතුරෙ යයි.."

"හරි මං එහෙනම් මිස්ට කියන්නම් හෙට මම මෙයාව අපේ කලායතනයට ගෙනැල්ලා ප්‍රැක්ටිස් කරවන්නම් කියලා. සචිනිට ඇවිත් විබාගෙ ලියන්න කියන්න.."

"තෑන්ක්ස් අක්කා.. ඔයා මේ කරන උදව් වලට ඕන උදව්වක් ඉල්ලන්න මං කරන්නම්.."

එහෙම කියලා මං ෆෝන් එක තිබ්බා. අපේ අක්කගෙ යාළුවා දැං මගෙත් හොද යාළුවෙක් වෙලා. සචිනි ඉල්ලපු උදව්වත් කරලා මං ආපහු ගියේ පාඩම් කරන්න. හෙට විභාගෙ හොදට ලියන්න ඕනෙ කියන එක මගේ හිතේ තදින්ම තිබුණා.  



No comments:

Post a Comment