Thursday, March 29, 2012

| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි |






උදේම ලෑස්තිවෙලා එළියට බැස්සෙ පන්ති යනවද අරුන් එක්ක නැටුම් මිස් බලන්න යනවද කියලා ෂුවර් එකක් නැතුව.

"මල්ලි ඔහොම ටිකක් ඉන්න.."


ගේට්ටුව ළගට යද්දි අක්කා පස්සෙන් දුවගෙන ආවා.

"අදත් යාළුවා බලන්න යනවද..?"

"හවස් වෙලා තමයි යන්න ඉන්නේ, ඇයි..?"

"එහෙනම් මේක අතේ තියාගන්න. පරිස්සමින් යන්න.."

මගේ අතට සීයෙ කොල වගයක් දීපු අක්කා හැරිලා ගෙට ගියා. මං ගණන් කරලා බලද්දි එතන රුපියල් පන්සීයක් තිබුණා. මෙයා නං දෙයියෙක් නෙමෙයි දේවාලයක්. ඊයෙ පාරෙ සල්ලි එකතු කලා කියලා බැනලා දැන් එයාම ආධාර දෙනවා. අනේ මන්දා මෙහෙමත් කෙල්ලො. කොහොමත් මාසෙ විසි ගණන් වෙද්දි අපේ තාත්තයි අක්කයි දෙන්නම පොල් කඩන නිසා මට උනත් විදේශාධාර යහමින් ලැබෙනවා. මං සුපුරුදු විදියට හතහමාරට බස් එකේ නගිද්දි විහගයා හිටියා බස් එකේ.

"රන්දු මොකද කියන්නේ, අද පන්ති යනවද..?"

"අද එකවුන්ට්ස් බං. නොගිහිනුත් බෑ. ඒත් කම්මැලියි වගේ.."

"රයිටෝ.. එහෙනං අපිත් යං අරුන් දෙන්නා එක්ක කලායතනෙ පැත්තේ.."

මූත් ක්ලාස් කට් කරන්න දෙයියා. මං රෙඩි නං මූත් එවරෙඩි.

"උඹට ඕනෙ මහේෂාව හම්බවෙන්න නේද..?"

අපි ඉස්සර ඉදලා විහිලු කලාට මූ මහේෂාටවත් මහේෂා මූටවත් කැමති නෑ කියලා අපි හැමෝම දන්නවා. ඒත් ඒක දැන් ජොලියට උනත් රෙජිස්ටර් වෙලා. හැබැයි කෙල්ල කළු උනාට ගතිගුණ එලකිරි. ඕන දේකට ඔට්ටුයි.

"අනේ පලයං බං. ඒකිට හරියන්නෙ මේ විහග දසුන් රණසිංහ නෙමෙයි."

"එහෙනම් මොකාද..?"

"ප්‍රින්ස් කලූ.."

ඌ ඒ කිව්වෙ කලු කුමාරයා ගැන. හැබැයි ප්‍රින්ස් කලූ උනත් මහේෂාට වඩා සුදු ඇති.

"ඒකිව බදින එකාට දෙයියන්ගෙම පිහිටයි.."

"ඇයි උඹ එහෙම කියන්නේ..?"

"ඇයි බං නිකං හරි කරන්ට් ගිය වෙලාවක ඉන්න තැන හොය ගන්න බැරිවෙනවනේ.."

මූටත් හිතෙන දේවල්. අපි ඔය කොයි තරම් මහේෂාව චාටර් කලත් ඒකිගෙ මූණට මුකුත් කියන්නෑ. හැබැයි කිව්වත් ඒකි ඒ ගැන ලොකුවට හිතන්නෙත් නෑ කියලා අපි දන්නවා.

අපි දෙන්නම තුම්මුල්ල හන්දියට ගියේ ජනාලිලා එතනට එනවා කියපු නිසා. අපි යද්දිත් ඩබල ඇවිත් පාර අයිනෙ කිචි කිචි ගගා ඉන්නවා.

"ආ.. ඔය දෙන්නත් පංති යන්නැතුව මෙහෙ ආවද..?"

"උඹලා දෙන්නා නීති විරෝධී ගනුදෙනු ගැන කතා කරන්න තනියෙන් ගිහින් ගුටි කන්න වෙයි කියලා අපි දෙන්නත් ආවා.."

ජනාලිගෙ ප්‍රශ්නෙට විහග උත්තර දුන්නෙ පාරෙ ගිය තවත් කෙල්ලෙක්ට ඇහැක් ගහන ගමන්.

"දැන් උඹලා දෙන්නා මෙතනට වෙලා ඉන්නෙ කවුරු එනකන්ද..?"

"ඇයි සචී. එයානෙ අද ඉදලා නැටුම පුරුදු වෙන්න ඕනෙ. ඉතිං එයා නැතුව අපි ගිහින් වැඩක් තියෙනවද..?"

"සචීව දැක්කම ඒ අක්කා උනත් හිතයි ඒ අචිනි කියලා. සචීට ටිකක් හරි ඔය නැටුම නටන්න පුළුවන් නම් අපිට මේ කතන්දරේ එයාට නොකියම කරන්න පුළුවන්."

"ඒත් බං ගිය සතිය පුරාම අචිනි කරපු ඩාන්ස් එක සචී දන්නෑනේ.."

අපි කට්ටිය කතා කර කර ඉද්දි සචීත් ආවා. දැන්ම යන්න පිටත් උනොත් තව පැය ගානකට මුකුත්ම ආමාශගත කර ගන්න වෙන්නෑ. ඒ නිසා උදේ දාන වළදලාම යන එක ශරීර සෞඛ්‍යයට හොදයි.

"උඹලා කාලද ආවේ..? මං නම් බඩගනියි බං.."

මං කියන්න කටහදපු දේ මට කලින් විහග කිව්වා. ඌටත් මට හිතෙන දේවල්මයි හිතෙන්නේ.

"අපෝ මෙයාලනම් කා කියාගත්තු ගමන්මයි.."

"නංගි මේ.. අපි මේ ලෝකෙ ඉපදිලා ඉන්නෙ මොකටද..? කන්න.. කන්න.. තමුසෙලාට ඒකවත් තේරෙන්නෑ.."

අපි කට්ටිය ඇවිදගෙන ශාන්ති විහාර් පැත්තට ආවා. ඒකෙ බෝඩ් එක දකිද්දිම අපිට හිනා ගියා. ඔය හිනාවට හේතුව මම දන්නවා. එක දවසක් අපේ කොල්ලො සෙට් එක මෙතනින් කාලා පංති ගියා. අපි යද්දි ටිකක් පරක්කු උන නිසා සචී ඇහුවා "මෙයාලා කොහෙද ගියේ.." කියලා. අපි ශාන්ති විහාර් ගියා කිව්ව ගමන්ම මේකි ඇහුවා ඒක පන්සලක්ද කියලා. එදා මුළු පංතියම ඒකිට හිනා උන එක තාම මතක ඇති.

"සචී පන්සලෙන් තෝසයක් කාලා යමු නේද..?"

මං අහද්දි ඒකි හිනාවෙන්න ගත්තා. ඒ හිනාව දකිද්දි මට අචිනිව මතක් උනා. අචිනි මෙලහකට අඩු දෙකත් උඩ තියාගෙන ඇදට වෙලා ඇති.

අපි තෝස ඕඩර් කලාම වේටර් පත පිගන් පහක් ගෙනල්ලා කාඩ් පැක් එකේ කොල බෙදනවා වගේ මේසෙට බෙදාගෙන ගියා. ඊට පස්සෙ ගෝනි වගේ තෝස ට්‍රේ එකක් ගෙනැත් මැද්දෙන් තිබ්බා. ඒ තොසේ සයිස් එක දැකපු කෙල්ලො තුන්දෙනාට කන්න කලින් බඩ පිරුණද කොහෙද..? උන් බෙදාගන්නෙ නැතුව තෝසෙ දිහා බලන් ඇඹරෙනවා.

"යකෝ මේක මේසෙ උඩින් ගෙනත් තිබ්බෙ මේක දිහා බලන් ලව් කරන්න නෙමෙයි. දාගෙන කාපං. නැත්නම් දෙවනි වතාවටත් ඕඩර් කරන්න වෙයි.."

එහෙම කියපු විහගයා තෝස දෙකක්ම උගේ පිගානට දාගත්තා. මේ පිගන් කොයි තරම් ලොකු උනත් තෝසෙ ඊටත් වඩා ලොකුයි. කොටින්ම කිව්වොත් තෝසෙ මේසෙ පුරවලා. තෝසෙ හොද්ද සැර මදි කියලා මූ තව මාළු හොදිත් ඕඩර් කලා. මේකා කන්න ගියාම අච්චාරුව වගේ හැම ගූ ගොඩක්ම දාගන්නවා.

"මොනාද බං ඔය කන විදිය. අර හොදියි, මේ හොදියි සම්බාරුයි සේරම එකට අනාගෙන.."

ඌ දිගට හරහට බැට් කරන අතරෙ මං ඇහුවා.

"ඌරන්ට මොන සෞඛ්‍යද බං.. උබලට පුළුවන්නං කාපං නැත්නම් නිකං ඉදපං.."

එහෙම කියලා ඌ ඇගට පතට නොදැනි තුන්වෙනි තෝසෙත් බෙදාගත්තා. කෙල්ලො  ටික තාම පළවෙනි තෝසෙවත් කා ගන්න බැරිව අත ගානවා. මමත් හිමින් සැරේ දෙවෙනි තෝසෙත් බෙදාගත්තා. මාළු කෑල්ලක් දාගන්න බැලුවට ඒකෙ කෑලි පෙන්න තිබුණෙ නෑ.

"කෝ බං මේකෙ මාළු කෑලි හොයන්න අමුඩයක් ගහගෙන කිමිදෙන්න එපැයි.."

හිනාවෙන්න ගිය සචිනිට කෑම හිරවෙලා කැස්සක් ආවා. ජනාලි එයාගෙ පිට අතගාද්දි විහග කෑ ගැහුවා.

"ඔහොම පොඩි උන්ට ක්‍රීම් ගානවා වගේ අතගාලා  හරියන්නෑ බං. මෙහෙම කරපං.."

එහෙම කියලා විහග සචීගෙ පිටට ගැහුව පාරට ඒකිගෙ ඇස් වලින් කදුළු පිටඋනා.

"විහග උඹට පිස්සුද..? උඹ මෙයාවත් ඉස්පිරිතාලෙ නතර කරන්නද හදන්නේ..? එහෙම උනොත් උඹට තමයි නුවර ගිහින් නටන්න වෙන්නේ.."

මං ඒක කිව්වම ඌට කොච්චර තද උනාද කියනව නම් ඌ වඩේත් ඕඩර් කලා. මූ නං කිඹුලා කිරිමැටි ගිලිනවා වගේ කයි. අනිත්මට අපි පස්දෙනාම වළං හෝදලා තමයි ගෙදර යන්න වෙන්නේ.

"උඹ ඔය දිගට හරහට ගිලින්නෙ අතේ සල්ලි තියාගෙනද..?"

මං ඇහුවෙ විහගගෙ කණට කරලා. කෙල්ලො ටික පලවෙනි තෝසෙ විතරයි කෑවේ. උන්ටත් බය ඇති බිල ගැන.

"කාපං බං කාපං.. බිල ගෙවන්නෙ කාලා ඉවරවෙලානේ.."

"උඹ කියන්නෙ කාලා ඉවරවෙලා දුවමු කියලද..? උඹයි මමයි විතරයි හිටියා නම් ඒක කරන්න තිබ්බා.. ඒත් මුන් ටික.."

අපි දිව්වා වගේ නෙමෙයි කෙල්ලො තුන් දෙනා දුවන්න ගත්තොත් මේක වීදි නාට්ටියක් වගේ වෙයි. අනික මහේෂා දුවගෙන යද්දි පාරෙ ඉන්න මිනිස්සු බය වෙලා දුවන්න ගනියි. මට සීන් එක මැවිලා පේන්න ගත්තා.

කොහොම හරි අපි කාලා ප්ලේන්ටි පාරකුත් ගහලා ඉවරවෙලා බිලා ඉවරවෙද්දි බිල රුපියල් හත්සිය තිහයි. බිල දැකලා ජනාලි බය වෙලා. අපි කට්ටිය පර්ස් දිග අරිද්දි විහග ප්ලේට් එකට අලුත්ම අලුත් මොණරෙක් අතෑරියා. මං ඒක අරගෙන උඩට හරවලා බැලුවෙ ඒකෙ සිංහයා ඉන්නවද කියලා දැනගන්න. ඌ හොර සල්ලි අච්චු ගහනවද කියලා දන්නෑනේ.

"මල්ලි මේවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ වලංගු මුදල් නේද..?"

මූ අද පොර වෙලා. ඒක තමයි තව ටිකකින් ලෝකෙ විනාස වෙනවා වගේ අඹරගෙ ගියේ.

"උඹට කොහෙන්ද බං දාහෙ පටි. උඹ තාත්තගෙ පර්ස් එකටවත් බැස්සද..?"

මං එහෙම අහද්දි සචීළා විහගට සල්ලි දික් කරා ඌ තනියෙම බිල ගෙවපු නිසා.

"උඹලා කන්න ආවෙ අපිට ඕන නිසානේ. ඒ නිසා ඔය සල්ලි ඕනෙ නැහැ. ඕකෙන් ටිකට් ගනින්.."

අදනං විහගගෙ සැබෑ වෙනසක් වෙලා. අපි ඌට විහිළු කර කර ඇවිත් බස් එකට නැග්ගා.

"සචී ඔයා දන්නවද ඔය කලායතනය තියෙන තැන..?"

මං ඇහුවෙ අපි තදයො වගේ ආවට එකෙක්වත් පාර දන්නැති නිසා.

"දන්නෑ, ඇඩ්රස් එක තියෙනවා. අපේ අක්කි උනත් එහෙට කලින් ගිහින් තිබුණෙ නෑ. ඒ අක්කා නැටුම් උගන්වන්නේ ඉස්කෝලෙට ඇවිත්නේ.."

ඒ කියන්නෙ පස් දෙනාගෙන් කවුරුවත්ම පාර දන්නෑ. අපි එක එක්කෙනාගෙන් පාර අහගෙන අන්තමට ඔය කියපු කලායතනෙ හොයාගත්තා. 'සරස්වතී කලායතනය' කියලා බෝඩ් එකක් ගහලා තිබුණා. ඒ තැන හරිම නිස්කලංකයි. ඒ වගේම තමයි නැටුම් වලට අදින ජින්ස් එකයි බ්ලවුස් එකයි අර අගල් පහක් විතර දිග සායවලුයි ඇදගත්ත එක එක වයසෙ කෙල්ලො හැම තැනම.

"මේ දෑස මගේ පින්වන්තයි..
තේරුනේ දැන් තමයි..........."

මං විහග දිහාට හැරිලා කියද්දි ජනාලි මාව කෙනිත්තුවා. අනේ මන්දා මේ කෙල්ලො කොටිච්චියො වගේ නියපොතු වවාගෙන අපිව හූරං කන්න හදන හැටි.

"ඔව් බං පණ පිටින් දිව්‍යලෝකෙ ගියා වගේ. බලපං සීගිරි ලළනාවියො වගේ මුන්ගෙ ලස්සන.."

"අපෝ අපිත් ඇවිත් තියෙන්නෙ මාර ඇඹලයො දෙන්නෙක් එක්කනේ. ඔයාලා ඔහොම පැණි හල හල ඉන්න. අපි ඇතුලට ගිහින් අක්කා එක්ක කතා කරලා එන්නම්.."

එහෙම කියපු ජනාලි සචිනිවයි මහේෂවයි ඇදගෙන හෝල් එක පැත්තට ගියා.

"සීගිරි ළදුනේ ඇයි තනිවී, නිහඩව ඉන්නේ ඇයි ගොළුවී...."

විහග බංකුවක වාඩිවෙලා ඉදපු තව කෙල්ලෙක් දිහා බලාගෙන කියන්න පටන් ගත්තා. මූ තව ටිකකින් අර කෙල්ලගෙන් සෙරෙප්පු පාරක් කනවා. ඊට කලින් මං ඌවත් ඇදගෙන ජනාලිලා ගිය පැත්තට ගියා.

"බලපං බං ෆිගර් එක. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා.. පට්ට නේ ඕයි.."

ඌ පිටිපස්ස හැරීගෙනත් අර කේලල දිහා බලන් ඉන්නවා. අපි ඇතුලට යද්දි අපේ ඩයල් තුන ගුරු මේසයක් ගාව ඉදගෙන හිටපු අක්කට කාරණේ පැහැදිලි කරනවා අපි දැක්කා. මමත් විහග එක්ක එතැනට කිට්ටු උනා.

මල ජූලියයි කිව්වලු. මේ නැටුම් ටීච හෙවත් අක්කා ඊයෙ අපේ ගෙදර ආපු හංසි. මාව දැක්කා විතරයි එයා ඉදගෙන හිටපු මුටුවෙන් නැගිට්ටුනා..

"මල්ලි ඔයා මෙහේ.........."

එයා පුදුම වෙලා වගේ අහද්දි අපේ කට්ටිය ඇලඩින්ගෙ පුදුම පහන දැක්කා වගේ ඊටත් වඩා පුදුමෙන් බලන්න ගත්තා.

"එතකොට ඊයෙ ඔයා බලන්න ගිය යාළුවා අචිනි නංගිද..?"

මෙයා ගත් කටටම ඇහුවා. දැන් තියෙන ලොකුම කේස් එක තමයි මේ රහස අපේ අක්කිට නොකියන්න මෙයාව පොරොන්දු කරගන්න එක. අපි කට්ටියම එකතුවෙලා දිගට හරහට කරුණු පැහැදිලි කලා මේ සචිනිට උගන්වන එක ගැන.

"ඔයාලා කියනදේ මට තේරෙනවා. මෙයාටත් අචිනිට වගේම හොදට නටන්න පුළුවන් කියලා ඔයාලා කිව්වනේ. ඉතිං අචිනිට කියලා දුන්න එකේ මේ නංගිට කියලා දෙන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒත ඔයාලගෙ ප්‍රින්සිපල් සර් මට මේ වැඩේ බාර දුන්නෙ ලොකු විශ්වාසයක් තියලා. අනික මාව එව්වේ කලා අංශෙ අචිනිට නැටුමක් පුරුදු කරන්න මිසක් එයාගෙ නංගිට නැටුම් පුරුදු කරන්න නෙමෙයි.."

බලාගෙන ගියාම මෙයයි අපේ අක්කයි දෙන්නම එක නැට්ටෙ දෙහි. මාර ලෝ තියෙන්නේ..

"ඉතිං මිස් ඔයා මේ තරම් ළමයින්ට නැටුම් උගන්නන එකේ අපේ සචිනිට උගන්නන එක කොහොමද වැරැද්දක් වෙන්නේ.."

විහගයා මුකුත් නොදන්න ගානට බබා ටෝකක් දැම්මා. මේකට අපේ ප්‍රින්ස් සම්බන්ධ එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ.

"මං කියන දේ ඔයාලට තේරෙන්නෑ මල්ලි. මට මේ නංගිව කලායතනයට බදවගෙන නොමිලේ උනත් උගන්නන්න පුළුවන්.  මේ ප්‍රශ්නෙ වෙන එකක්නේ. මං හෙට ඉදලා ඉස්කෝලෙට ඇවිත් අචිනිට කියලා සචිනිට උගන්නන්න එපැයි. ඉතිං ඒක වංචාවක් නෙමෙයිද..?"

මේ පඩි කතා අහගෙන ඉදිද්දි මට තද උනේ හංසි එක්ක නෙමෙයි අචිනි එක්ක. මේකි එක්කො වැටෙන්න තිබුණේ ප්‍රැක්ටිස් පටන් ගන්න කලින්. එහෙම උනා නං අපිට මේ තරම් එක එකාගෙ කකුල් දෙක ළග පිණ්සෙන්ඩු වෙන්නැතුව මුල ඉදලම සචීව මෙයාට මුණගස්සන්න තිබුණා.  මේ කෙල්ලත් ෆයින්ල් තරගෙකට අගටම ඇවිත් පිණුමක් ගැහුවනේ. ඒකිගෙ අඩු දෙකම නැතුව එක අණ්ඩක් කඩාගත්තා නම් බට්ටැ පැන පැන හරි සචිනිට උගන්නන්න තිබ්බා. දැන් ඉතිං වෙච්ච දේට එන සෙයියා අන්තිම තුරුම්පුවත් ගහලා බලන්න වෙනවා.

"කමක් නෑ අක්කේ. අපි මේ තරම් ප්ලෑන් කරපු එකේ අපිට තිබුණා මෙයා සචිනි නෙමෙයි කියලා ඔයාටත් බොරු කරලා මේක කරන්න. මොකද ඔයාට කොහොමත් මේ දෙන්නව වෙන් කරලා අදුනගන්න බැහැනේ. ඒත් ඔයා නැටුම් උගන්නන ගුරුවරයා. ඉතිං ඔයාට වංචා කරලා මේක කරන්න අපි කවුරුවත්ම කැමති උනේ නෑ. ඒකයි අපි ඔයා හොයාගෙනම ඇවිත් ඇත්ත කියලා මේ ගැන කෙලින්ම කතා කලේ. අනික අචිනි ගියත් සචිනි ගියත් එයාලට අනිවාර්යෙන්ම ප්ලේස් එකක් ගන්න පුළුවං. ඉතිං මේකට සචිනිවත් සහභාගි නොවුනොත් අපේ ඉස්කෝලෙට ඒ අවස්ථාව නැතිවෙනවා. අපි මේ තරම් ඔයාට බල කරන්නෙ වංචාවක චේතනාවක් මුල් කරන් නෙමෙයි. මේ තරගෙ දින්නම අපේ ඉස්කෝලෙට ලැබෙන ගෞරවේ ඇරෙන්න අපිට වෙන කිසිම පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් නෑ.."

මම දිගටම කියවගෙන යද්දි කට්ටිය කොරවෙලා වගේ මගේ මූණ දිහා බලං හිටියා. මමත් ඇරියෙ නෑ. හංසිගෙ ඇස් දිහා බලාගෙනම මං ඉතුරු ටිකත් කිව්වා.

"ඔයා හිතනවා ඇති අපි මහ බොරුකාරයෝ, වංචාකාරයෝ කියලා. කමක් නැහැ අක්කේ අපි මේ ගමන ආවේ යාළුකම, සහෝදරකම වගේම අපේ ඉස්කෝලෙ ගැනත් හිතලා. ඒකෙන් ඔයාට කරදරයක් උනානං සොරි. හැබැයි ප්ලීස් මේ ගැන අපේ අක්කට කියන්න එපා. අපි යනවා.."

එහෙම කියපු මං අපේ කට්ටිය හෝල් එක ඇතුලෙ ඉද්දිම එළියට ආවා.

"මල්ලි ඔහොම ටිකක් ඉන්න.."

හංසි මගේ පස්සෙන් එළියට ඇවිත් මාව නතර කරගත්තා.

"අක්කා කිව්වටත් වඩා ඔයා ගොඩක් හොද ළමයෙක් මල්ලි. මං අක්කට මේ ගැන වචනයක්වත් කියන්නෑ. මාව විශ්වාස කරන්න. මං හෙට ඉදලා සචිනිට ප්‍රැක්ටිස් කරන්නම්."  

එයා අන්තිම ටික කියද්දි අපේ කට්ටියත් එතනට ඇවිත් අපිට වටකරගත්තා. මගේ හිතට දැනුන සතුට මං වැඩිය පෙන්නන්න ගියේ නෑ. හැබැයි අපේ කට්ටියගෙ මූණු ටික නම් ලොතරැයියෙ පළවෙනි දිනුම ඇදුනා වගේ. අපි කට්ටියම එයාට ස්තුති කරලා එන්න හදද්දි හංසිත් මගේ පස්සෙන්ම ගේට්ටුව ළගට ආවා.

"මං ඊයෙ ඔයාට කියලා එන්න බලද්දි අක්කා කිව්වා ඔයාට නින්ද ගිහින් කියලා.."

"ඔව්.. ඊයෙත් මේ වැඩ වලට ඇවිදලා මාර මහන්සියෙන් හිටියෙ අක්කේ.."

මම අර මළ පැනපු මූඩ් එක අතෑරලා එයාගෙ යාළුවගෙ මල්ලි විදියට හිනාවෙලා කිව්වා.

"මං හිතුවෙ ඔයා ඊයෙ ඔයාගෙ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා කියලා බොරුවක් කිව්වා කියලා. අද අහම්බෙන් හරි ඔයා ඒක ඇත්තක් කියලා ඔප්පු කලා.."

අනේ මන්දා හංසි තවත් කියෝනවා. මේ කෙල්ලට අද පන්ති කරන්න ඕනෙ නැද්ද මන්දා..

"අපි බොරු කියලත් නෑ. කියන්නෙත් නෑ.. අපි යනවා අක්කේ.. බායි.."

එයාට වේච් එකක් දාලා ඇවිත් මං කට්ටියට සෙට් උනා. විහග පැනපු ගමන් මගේ කරට අත දාගත්තා.

"උඹේ මාර ඇක්ටින් පාර බං.. කොහොම හරි බොක්කෙන්ම ටෝක දිලා වැඩේ බැලන්ස් කරා නේද..?"

"ඔව් ඉතිං රන්දු ආපු නිසා අපි ගොඩ ගියා. නැත්තං ඊයෙ ගහපු ප්ලෑන් සේරම ඉවරයි.."

අපේ ස්ත්‍රී පාර්ශවයෙනුත් මට නම්බුනාම එද්දි මම කතාව වෙන පැත්තකට හැරෙව්වා. මොකද ඔය වැඩි වර්ණනාවට මම කැමති නැහැ.

"හරි හරි බං. දැන් ඒක ඉවරයි. අරකිට බණ දෙසලා මගේ දිවත් ගිලෙන්න එනවා බං. යං මොනව හරි බීළා ඉමු.."

අක්කා උදේ දීපු රුපියල් පන්සීය මතක්වෙලා මං කිව්වා. අපි කඩේකට සෙට් වෙලා බීම බොන අතරෙ මං හංසිව අදුරන හැටි අහගන්න මුන්ට තදියක් වෙලා.

"ඒකි අපේ අක්කගෙ යාළුවෙක්. මං අදත් එක්ක එයාව දවස් දෙකයි දැකලා තියෙන්නේ.."

කාරණේ කෙටියෙන් පහදලා මං බීම එක බොන්න ගත්තා. ඒ අතරෙ විහගගෙ ඇස්දෙක හතර වටේ කැරකෙනවා. මං හැරිලා බලද්දි අපේ පිටිපස්සෙ මේසේ ලස්සන කෙල්ලො දෙන්නෙක්.

"ඕක ඉක්මනට බීලා යමං බං.."

මූට තදියං වෙලා තියෙන්නෙ අර කෙල්ලො දෙන්නා බිල ගෙවලා යන්න හදන නිසා අපිත් පාරට එද්දි එයාලා අපිට ඉස්සර වෙලා පැද්දි පැද්දි ගියා. සෙනග අඩු හිස් බස් එකක අපි නගිද්දි ඒ දෙන්නත් ඒකටම නැග්ගෙ අපිව තඹේකටවත් මායිම් කරන්නැතුව. කොහොමත් අපි දෙන්නා ගියේ කෙල්ලො තුන්දෙනෙක්ම ඉස්සර කරගෙන.

"මචං පොඩි ෆලෝ එකක් දාමුද..? එකෙක් හරි වට්ටගන්න බැරිවෙන එකක් නෑ.."

මේවා සචිනිලට ඇහුනොත් හිතයි මමත් මූ වගේ දකින දකින කෙල්ලො පස්සෙ යනවා කියලා. මූ අහිංසක මගෙත් චරිතෙ ඝාතනය කරන්න  හදන්නේ. ඒත් තාම සචීලට වැඩේ නෝන්ඩි උනේ නෑ.

"මේ ජනාලි උඹලට පුළුවන්නේ සචීවත් ඇරලගෙන යන්න. මගේ කම්පියුටරේට කෑලි වගයක් ගන්න තියෙනවා. මං රන්දු එක්ක මගින් බහිනවා.."

පුහ්..! මූට කෑලි ගන්න කම්පියුටරයක් තියෙන්න එපැයි. මේ අපතයා මාවත් ගාවලා බොරුවක් දෙසා බාලා පැණි හලන්න යන්නයි ලෑස්තිය. මොනව කලත් මූට කවද හරි දාගන්න වෙන්නෙ මේ සුදෝ සුදු මහේෂවම තමයි කියල මට හිතුණා. හැබැයි අද පංති ගියෙත් නැති එකේ අද ගෙදර ගිහින් පාඩම් කරන එක මේ යකා එක්ක අවලමේ යනවට වඩා වටිනවා. මට හිතන්න තරම් වෙලාවක් උනේ නෑ. අර කෙල්ලො දෙන්නා බහින්න හදද්දි මූ මාවත් ඇදගෙන පිටිපස්සෙ දොරෙන් බැස්සා. සැක හිතුන ජනාලි දෙපාරක්ම හැරි හැරි බලද්දි බස් එක ඇද්දුවා.

"මොන මගුලක්ද බං කරන්නේ.. උඹ වගේ එකෙක් එක්ක ආවට මට බූවල්ලෙන් තලන්න ඕනෙ. බලපං උඹඨ අපිත් එක්ක ආපු යාළුවො ටිකට වඩා කොහෙවත් යන කෑලි දෙකක් ලොකු උනා.."

මං කෑ ගහද්දි ඌ මගේ කට වැහුවෙ ඒක අරුන්ට ඇහෙයි කියලා හිතලා වෙන්න ඇති. අපි දෙන්නා බස් ස්ටෑන්ඩ් එකේ ඉද්දි අර කෙල්ලො එතන තිබුණ කේ.එෆ්.සී එකට රිංගුවා. අනේ මන්දා මුන්ටත් බඩවල් නෙමෙයි තියෙන්නේ. දැන් අර බස් එකට නගින්න කලින් එක කඩේකට රිංගලා ආවේ. දැන් තව එකක්.

"මේ....... මේවා උඹට ලේසියෙන් වට්ටගන්න පුළුවන් කෑලි නෙමෙයි. බලපං උන් කන්නෙ ඉංශ්‍රීසි අකුරු තුනේ බුරියානි. දැන් ඉතිං උන් කාලා ඉවරවෙනකන් අපි මෙතනට වෙලා කෙල ගිල ගිල හිටන් ඉන්නද කියන්නේ.. මෙන්න මෙහෙ වරෙන් ගෙදර යන්න.."

ඒ වෙලාවෙනං මං ඇත්තටම මල පැනලා හිටියෙ. ඇයි ඉතිං මේ යකා කවදාවත් කියන දෙයක් අහන්නෙ නැහැනේ.

"මොනාද බං තව විනාඩි දෙකක් ඉවසපං.."

"උඹ හිතුවෙ උන් විනාඩි දෙකෙන් කාලා එයි කියලද..?"

මොනව උනත් මේ ගෝතයව මග දාලා යන්න බෑනේ. ඒ නිසා මම ඉවසගෙන හිටියා. අපි දෙන්නත් කේ.එෆ්.සී එකේ දොරකඩට වෙලා හිටන් හිටියෙ බුරියානි කාලා දැන් එළියට ආපු දෙන්නෙක් වගේ. හැබැයි ඉතිං උගුරට ඇගිල්ල දාලා බැලුවනම් අපි වමනෙ දාන්නේ තෝසෙ කෑලි. ඒත් කවුද ඕවා දන්නේ. මං තද වෙලා ඔරලෝසුව දිහා බැලද්දිම අර ඩබල එළියට එනවා. උන් කන්න නෙමෙයි කෑම ගෙනියන්න ඇවිත් තියෙන්නේ. උන් එළියට එද්දි දොර ළග හිටපු අපිව දැකලා ටිකක් අප්සට් ගියා කියලා මට තේරුණා.

"මචං අර ත්‍රී ක්වාටර් ගහලා ඉන්න කෑල්ල ගතිනේ..?"

"මොන ගතිද බං, ඒකි මහ සෙක්සි පාටයි.."

මං ඇත්තම කිව්වා..

"ඒකම ඇතිනේ ගතියට. බලපං ඒකි හොද සකසුරුවමට හැදිච්ච පවුලක කෙල්ලෙක්. මීටර් බාගයකින් අඩුම ගානෙ ඇදුම් පහක්වත් මහනවා ඇති.."

අපි කතා කර කර ඉද්දි ආපු එකසිය පනස් හතරෙ බස් එකක කේලො දෙන්නා නැග්ගා. වවුලගෙ මගුල්ගෙදර ගිහින් එල්ලිලා ඉන්න වෙනව වගේ වෙන කරන්න දෙයක් නැති කමට මමත් විහග එක්ක බස් එකට නැග්ගා. බස් එකේ එක ළග සීට් තිබුනෙ නැති නිසා ත්‍රීක්වාටර් අයිටම් එක පිටිපස්සේ සීට් එකට කලින් සීට් එකේ ඉදගත්තා. මං අමාරුවෙන් පස්සෙ සීට් එකේ ඉදගත්තෙ චිත්‍රපටිය පැහැදිලිව බලාගන්න ඕනෙ නිසා. විහග එතනම හිටගෙන අර කෙල්ල ඉදගෙන හිටපු සීට් එකෙන් අල්ලගත්තා.

ටික දුරයක් යද්දි ආපු අනිත් කෙල්ල මෙයාට ටටා පාරක් දාලා බැස්සා. දැන් වැඩේ මාර ගති. කෙල්ල තනියෙන්, මං ඇහැක් ගහලා. විහගට සපෝට් එක දුන්නා. බම්බලපිටිය හන්දියට එද්දි විහගයා කෙල්ල ළග හිස් උන සීට් එකේ ඉදගත්තා. ඒ අස්සෙ ටිකට් ගන්න කියලා කොන්දා බෙරිහන් දෙනවා.

"බොරැල්ල එකක්.."

අර කෙල්ල සල්ලි දික් කලා. මමත් විහග එක්ක ආපු නැති ගානට හිටියා. මූ මටත් එක්ක ටිකට් ගත්තා.

"බොරැල්ල දෙකක්.."

දැන් පලකො බොරැල්ලේ. ඒ අතරෙ කෙල්ල විහගට රවනවා මං දැක්කා. මගේ ඉස්සරහ සීට් එක නිසා දර්ශන පථය ඉතා පැහැදිලියි. ටිකක් වෙලා යනකල් විහගත් සද්දයක් නෑ. අර කෙල්ලත් ඔරේ රන් කියලා බෙල්ල ඇමැට්ටි කරගෙන කවුළුවෙන් අනන්තය හොයනවා. මෙන්න බොලේ ටික වෙලාවක් යද්දි විහගයා නිදි. මේකනං සිරාවට මුගේ මරිසියක් වෙන්න ඕන. එතකොට බ්‍රේක් පාරක් ගහද්දිවත් බෙරුවට ඒ පැත්තට විසි වෙන්න පුළුවන්නේ. ඒත් තව හෝල්ට් දෙක තුනක් ගියත් මං හිතපු විදියෙ දෙයක් උනේ නෑ. හැබැයි එක පාරටම කෙල්ල වෂීම් අක්‍රම් පන්දු යවන වේගෙටත් වැඩිය වේගෙකින් විහග දෙසට හැරුණා. මමත් උන් දෙන්නා ළගට කණ හලාගෙන හිටියෙ. සීන් එක අහගන්න කියලා හිතලා..

"මේ හලෝ.."

මේකි හෙන සද්දෙට විහගට කතා කලා.. 

"තමුසෙ තනියෙම නිදාගන්නැතුව මේ අතත් නිදිකරගන්නවද..?"

ෂිට්..! මල නෝන්ඩියයි. මූ අත දාගෙන මොන අවලං වැඩක් කරන්න හැදුවද කියලා මං දැක්කෙ නෑ. ඒත් එක්කම මේකි පොත් ටිකත් අරගෙන නැගිටලා පස්සෙ අංශක එකසිය හැටක් විතර ගස්සලා ගිහින් ඉස්සරහ සීට් එකකින් ඉදගත්තා. විහග මූණ බෙරි කරගෙන පිටිපස්ස හැරිලා බලද්දි මං ඌත් එක්ක ආවෙ නෑ වගේ අහක බලාගත්තා. ඌට ඔහොම වෙලා මදි. ඒ අතරෙ මං දැක්කා කෙල්ල කොන්දට මොනවද කුටු කුටු ගාලා තව සල්ලි කීයක්ද දෙනවා. ඔහොම යංකෝ.. මම කොහොමත් මෙතන ප්‍රේක්ෂකයා විතරයිනේ. බස් එකත් පැය ගානක් කොට කොට ඇවිත් බොරැල්ලෙ නතර කලා. ම්හ්...... කෙල්ල බහින පාටක් නෑ. විහගටත් බහින තැන මතක නෑ වගේ ඔහේ ඉදගෙන ඉන්නවා. මේකි දිගටම කිරිබත්ගොඩටම යනවද දන්නෑ. මං විහගට තට්ටුවක් දැම්මා. ඒ අස්සෙ කොන්දා කෑගහනවා.

"බොරැල්ලට ටිකට් ගත්ත අය සේරම මෙතනින් බැහැගන්න.."

මං සීට් එකෙන් නැගිට්ටා. ඒත් මූ මෙච්චර චාටර් කාලත් තාම ලැජ්ජ නැතුව ඉදගෙන ඉන්න හැටි. කොන්දා අපි දෙන්නා දිහා හොදට බලනවා මං දැක්කා.

"බොරැල්ල මෙතනින් ඉවරයි. බහින අය ඉක්මනට බැහැගන්න."

චාටර් හැත්තෑවයි කිව්වලු. අර කෙල්ලත් පිටි පස්ස හැරිලා නක්කලේට හිනා උනා. කොන්දා අපේ බෙල්ලෙන් අල්ලලා එළියට දාන්න කලින් මං විහගව ඇදගෙන බැහැගත්තා. ඌ නිකං කසාය බීපු ගොළුවා වගේ මූණත් ඇඹුල් කරගෙන බිම බලාගනෙ ඉන්නවා.

"දැන් සනීපද උඹට..?"

"උඹත් මට පල් එක දානවනේ.."

"පල් එක නෙමෙයි ඩෝ.. උඹව එල්ලන්න ඕනෙ. උඹ අර කෙල්ලගෙ අස්සෙ අත දාගෙන මොන මගුලක්ද කරන්න ගියේ.."

මූ කෙල්ලගෙ කොහේ හරි අල්ලන්න හැදුවද දන්නෙ නෑනේ. ඇත්තටම මේක එහෙම දෙයක් කරන්න ගියානමං චාටර් උනා මදි කියලා මට හිතුනා.

"උඹ හිතන විදිහෙ ජරා වැඩක් මං කලේ නෑ බං. ජොලියට ට්‍රයි එකක් දැම්මට මං එහෙම කුපාඩියෙක් නෙමෙයි.."

"එහෙනම් අරකි මොකටද උඹට අත නිදිකරගන්න කිව්වේ. උඹ නිදි වගේ හිටියට උඹේ අත ඇහැරිලා තියෙන්න ඇත්තේ.."

"නෑ බං, මං හැදුවෙ ඒකිගෙ අතේ තිබුණු පොත් ටිකෙන් ඒකිගෙ නම බලාගන්න. මං පොතක් අල්ලද්දි කෙල්ලට ඒක දැනුනා."

"පුදුමයි ඒකි උඹට කම්මුල් ගාය හදවපු නැති එක. ඔන්න මං උඹට එකක් කියන්නම්, ආයෙනම් උඹේ ඔය ගුටිකන වැඩ වලට මං නෑ.."

ඒ චැප්ටර් එකත් එතනින් ක්ලෝස් උනා. මං සීන් එක වෙන කාටවත්ම කියලා මූව පල් කරන්න ගියේ නෑ. අපේ සෙට් එකේ ඉතුරු අට දෙනාට විතරයි කිව්වේ.

විහග එක්ක බොරැල්ල වටේ කැරකිලා මං ඌටත් බැන බැන යාන්තං හවස් වෙන්න කලිං ගෙදර ආවා. ඒ එද්දි අම්මයි තාත්තයි දෙන්නම මිදුලෙ පුටු දෙකක ඉදගෙන කතාව. මාව දැක්ක විතරයි ඒක නතර උනා. සමහර විට මාතෘකාව එයාලගෙ ආදරණිය පොඩි පුතා ගැන වෙන්නැති.

"පොඩි පුතා ඔයා කාලද ඉන්නේ..?"

මම කාමරේට එද්දි අම්මත් මගේ පස්සෙන් ඇවිත්. කොයි තරම් මග දිගට කකා බිබී ආවත් දැන්නම් මගේ බඩ සතියකින් කාලා නැති ගානට ගුරු ගරු ගානවා.

"නෑ අම්මා බඩගිනියි. මං ටක් ගාලා නාලා එන්නම්. බත් බෙදලා තියන්න."

මං පුරුදු විදියට ගෙදර ආපු ගමන් බාත් රූම් එකට රිංග ගත්තා. දවස තිස්සෙම කාපු චාටර් ගෝනිය හෝදලා දාන්න හිතාගෙන මං සිංදුවකුත් කිය කිය නෑවා. එළියට එනකොට බඩගින්න ඩබල්. අම්මා කෑම එක බෙදලා මේසෙ උඩින් වහලා තිබුනට එයා පේන්න හිටියෙ නෑ. මං බත් පිගානත් අරන් අම්මා ළගට ගියා.

"අනේ අම්මා ඔයාට බැරිද මට මේක කවන්න..?"

කාලෙකින් අම්මට කියලා කවාගනන් බැරි උන නිසා මං ඇහුවා. කොහොමටත් මං අනලා කනවට වඩා ඒ බත් එකම අම්මා කවද්දි රස වැඩියි. ඒ අපේ අම්මා මට තියෙන ආදරෙත් බත් එකට දාලා අනන නිසා වෙන්නැති. අම්මා බත් කටෙන් කට අනකා කවනකල් මං එයාගෙ කකුල් දෙක ළග ඉදගෙන හිටියා. ඉස්කෝලෙදි කොයිතරම් වීරයා උනත් තාම අපේ අම්මගෙයි තාත්තගෙයි පොඩි පුතා මමනේ.

අම්මට කියලා බත් කවා ගත්තට පස්සෙ ඇගට වගේම හිතටත් මාර ෆිට් එකක් ආවේ. මෙච්චර දවස් අද නෙමෙයි හෙට කියලා කද් දදා හිටපු පාඩම් කිරිල්ල මං හවස්වරුවෙම පටන් ගත්තා. එක දිගට පැය තුනක් විතර කාමරේට වෙලා පාඩම් කරද්දි අම්මයි අක්කයි සැරෙන් සැරේ මට බොන්න එක එක දේවල් හදන් ආවා. බලන් ගියාම පාඩම් කරන ජනතාවට පුදුම සැලකිල්ලක්නේ අපේ ගෙදර තියෙන්නේ. එයාලගෙ හිත රිද්දන්න හොද නැති නිසා මං ඒ හැම දෙයක්ම නම්බුවවත් ඉතුරු නොකර අන්තිම උගුරටම ඇදලා දැම්මා. පාඩම් කරලා ඉවර වෙද්දි මගේ මොලේට ගිය දේවල්වලට වඩා බඩට ගිය දේවල් වැඩියි.

හෙට ඉස්කෝලෙ යන්න කලින් සචීට කෝල් එකක් දීලා බැලුවොත් හොදයි කියලා හිතුන නිසා මං සාලෙට ගිහින් ෆෝන් එක ඔඩොක්කුවට අරගෙන ඉදගත්තා.

"හලෝ..."

"හලෝ ඇන්ටි සචී ඉන්නවද..? මම රන්දු.."

මං මගේ ෆේමස් නමෙන්ම මාව සචීලගෙ අම්මට හදුන්වලා දුන්නා.

"ආ පොඩ්ඩක් ඉන්න පුතා.."

එහෙම කියනා ඇන්ටි සචීට කතා කරනවා මට ඇහුනා. මේකි ෆෝන් එකට දුවගෙන ආවෙ හති දාගෙන.

"කොහෙද බං හිටියේ. මොකද ඔය හති දාන්නේ..?"

"මං අත හෝදන්න දිව්වා රන්දු. ඒකයි.."

"ඇයි උඹ මැටි බෝල හද හදද හිටියේ..?"

මං එහෙම ඇහුවට කෙල්ලන්ට ගෙදර කරන්න කොයිතරම් වැඩ ඇතිද..? අම්මලා අපිට වගේ හැම දේම අතට ගෙනැත් දෙන්නෙ නැතිව ඇතිනේ.

"මං අක්කිට වින්ටොජිනෝ ගෑවා. එයා වැටුන වෙලාවෙ කොන්ද ඇනිලා.."

එදා අචිනි දැකපු වෙලාවෙ මට ඔය ටික හිතුනා. කෙල්ල අඩු දෙකම කඩාගෙන හිටපු විදියට බිම පෙරලෙන්නම වැටෙන්න ඇති. ඒකනේ එදා මෝල්ගස් ගිලලා වගේ සීරුවෙන් ඉදගෙන හිටියෙ. අපි සෙට් එක පල් කරයි කියලා අපිට කියන්නැතුව ඇති.

"අචීට තාම ගොඩක් අමාරුද..?"

"කකුල් නමන්න බෑ කියලා කෙදරි ගගා ඉන්නවා රන්දු.. පව්.."

කොහොමත් මුන් දෙන්නට දෙන්නා පුදුම ආදරෙයි. ඒ නිසා සචීට දුක ඇති.

"එයාට මේ ටිකේ ඉස්කෝලෙට එන්න බැරි වෙයි නේද..?"

"ඔව් එයාට ඇවිදින්න ආමාරුයිනේ.. මං ඔයාට පණිවිඩයක් කියන්න හිටියෙ රන්දු.."

"ඒ මොකක්ද..?"

"අපිට විබාගෙ තියෙන්නෙ ලබන සිකුරාදනේ. අක්කිට සිකුරාදා වෙද්දි ඒ තරම් සනීප වෙන පාටක් නෑ. එයාව බදාදට ආපහු බෙහෙත් දාන්න ගෙනියන්නත් ඕන. ඒ නිසා මං වෙනුවට එයාට විබාගෙ ලියන්න කියන එක පව්නේ.."

"එතකොට විබාගෙ..? උඹට මිස්ලගෙන් විසුමක් නැතිවෙයි.."

"නෑ විබාගෙ ලියන්න මම එනවා. අක්කි අමාරු තියාගෙන එන එක විතරක් නෙමෙයි. එයා කොපි කරන්න ගිහින් ප්‍රශ්නයක් උනොත්.."

සචිනි ගොඩක් හොද සහෝදරියක් වගේම ගොඩක් උත්සාහවන්ත කෙල්ලෙක් කියලා මට හිතුනා. අනික එක වංචාවක් වහන්න තව වංචාවක් කරන එ ගැන කෙල්ලගෙ හිතටත් හරි නැතුව ඇති.

"එතකොට නැටුම් තරගේ..?"

"ඒක තියෙන්නෙ සෙනසුරාදනේ.. සිකුරාදා මට එන්න පුළුවන්. මං හෙට ඉස්කෝලෙ එනවා රන්දු. ඒත් ඒ සචිනි විදියට නෙමෙයි. අචිනි විදියට. ඔයාලා හැමෝම කිව් නිසයි අපි මේකට කැමති උනේ. ඒ නිසා අපිට උදව් කරන්න රන්දු.. ප්ලීස්.. අනිත් අයටත් කියන්න.."

"ඒ ගැන කිසිදේකට බය වෙන්න එපා.. මතක ඇතිව උඹෙයි අචිනිගෙයි කරාබු දෙක මාරු කරලා දාගන්න. මෙකද අපි  එකපාරටම හොයාගන්නෙ ඒකෙන්නේ. මං අපේ උන් ටිකට සීන් එක කියන්නං. හැබැයි උඹ පුරුද්දට අපේ පංතියට එන්න එපා උදේම.. හරිද..?"

"හරි හරි.. මං එහෙනම් තියන්නම්.. බුදු සරණයි..!"

"බුදු සරණයි..!"

අද දිනූක අචිනිව බලන්න ගිහින්ද කියලා අහන්න හිටියට මට ඒක මතක් උනේ ෆෝන් එක තිබ්බට පස්සෙ. හෙට ඉස්කෝලෙ ගියාට පස්සෙ ඔය ගැන විස්තර දැනගන්න පුළුවන්නේ..   



 

No comments:

Post a Comment