Wednesday, March 28, 2012

| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි |






අද සෙනසුරාදා. ඒ කියන්නෙ අපි වල බහින දවස. අපිට උදේ නමයෙ ඉදලා හවස හතර වෙනකල් නුගේගොඩ ක්ලාස්. ඊයෙ හෝදන්න දාද්දි ඉතුරු උන එකම කලිසමයි ටී ෂර්ට් එකකුයි ඇදලා මං තාත්තා දීපු කැප් එකත් දාගත්තා. අම්මගෙන් පොඩි ගානකුත් කඩාගෙන මං පාරට ආවෙ විහග එයිද බලන්න. ඌ බයිසිකලේ ඉස්කෝලෙ ආවට පන්ති යන්න එන්නෙ බස් එකේ. එදාට අපි කට්ටියම සෙට් වෙන දවස නිසා වැඩි හරියක් පන්ති යන්නෙ නැහැනේ. ඉතිං වලක් බහින්න ඒ බයිසිකලේ පට්ට වදයක්. අනික මල් මල් වනයක් වගේ තියෙන නුගේගොඩ හන්දියට ඒකෙ එනවට වැඩිය හොදයි කලිසම නැතුව පයින් යනවා. මං කල්පනා කර කර බස් ඉද්දිම බස් එකත් ඇවිත් නතර කලා කකුල් දෙක ළගම.


"රන්දු නැගිටපං බං ඉක්මනට.."

විහගයා ජනේලිකින් බෙල්ල දාලා කෑ ගහද්දි මම ෆුට් බෝඩ් එකේ එල්ලුනා. හයිලෙවල් පාරට ඇවිත් බස් එකෙන් බහිද්දිම ජනාලියි මහේෂයි ඉස්සර වෙලා යනවා දැක්කා.

"අන්න උඹේ සුනඛ අසිපත.."

මං විහගට මහේෂාව පෙන්නන ගමන් කිව්වා.

"ඒකි මොකද ජනාලිට සෙට් වෙලා. අද කිඹුල්ලු නෑ වගේ."

විහග ඇහුවෙ සචිනියි, අචිනියි ගැන. උන් දෙන්නා නිවුන්නු. මෙලෝ යකෙක්ට අදුරන්න බෑ. ඒ තරමට එක වගේ. හැබැයි පොඩි කාලෙ ඉදලම එකට ඉදලා අපිට ලාවට වගේ නෝට්. ඒත් ඈතට දැක්ක ගමන් අපිත් ලණුව කනවා. ඒ ලේවල් වලට ආවට පස්සෙ සචිනි වාණිජ තෝර ගත්තා. අචිනි කලා තෝර ගත්තා. ඒ නිසා සචිනි වැටුනෙ අපේ පන්තියට. එයා මහේෂා එක්ක ක්ලාස් යද්දි අචිනි ගියේ ජනාලි එක්ක ආර්ට් වලට.

"ඒයි ජනා.. කෝ බං අද සචීලා නැද්ද..?"

විහග ජනාලිට ළංවෙලා ඇහුවා. ඒකිගෙ මූණත් ටිකක් අප්සට් පාටයි.

"ඊයෙ හවස ක්ලාස් ඇරිලා යද්දි අචිනි බස් එකෙන් වැටිලා.."

ජනාලි හෙන දුකින් කිව්වා. ෂුවර් එකටම එහෙනං සචිනිත් ඇති කරකවලා අතෑරියා ගානට. උන් දෙන්නගෙ පුදුම බැදීමක් තිබුණෙ.

"එතකොට උඹලා දෙන්නා අද ක්ලාස් යන්නැතුව එහෙ යනවද..?"

"අද උදේ සිංහල පංතියට යන්නම ඕනෙ. දොළහට පංති ඉවර උනාම යනවා.."

මං අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ ජනාලි. අචිනි තුවාල වෙලා කිව්වම නොගිහිනුත් බෑ. මේකිගෙ කකුල කැඩිලද දන්නෙත් නෑනේ. ඒත් ඔය ප්‍රශ්නෙ දැන් අහන්න ගියොත් මුන් දෙන්නා මගේ කම්මුල ස්පර්ශ කරන්නත් බැරි නෑ.

"හරි හරි.. මුලින්ම යමු නුගේගොඩට.."

එකසිය තිස් අට බස් එකකට අත දාන ගමන් මං කිව්වා. අපි කට්ටිය නුගේගොඩ හන්දියෙන් බහිද්දි ෂෝටා නිරෝධ එක්ක බෝ ගහ යට ඉදලා අපිට අත වැනුවා.

"ආ... නංගිලා...... කෝ අපේ ටූ සිස්ටර්ස්ලා..?"

ෂෝටා ජනාලියි මහේෂයි දිහා බලලා ඇහුවා.

"අචී ඊයෙ බස් එකෙන් වැටිලලු බං.."

"එහෙනං ඒකි හන්දියෙ බාර් එක පැත්තෙ ගිහින් ටිකක් වැඩි වෙන්න ඇති.."

මුගේ වාචාල කටටත් බ්‍රේක් නෑ. ඔහේ කියවනවා. ජනාලි ෂෝටා දිහා රවලා බලපු පාර ඌ ජෝක් එකට වගේ මගේ පිටි පස්සෙ හැංගුනා.

"අපි කට්ටිය එහෙනං දවල්ට උන්ගෙ ගෙදර යං, දොළහට පංති ඉවර උනාම මෙතනට සෙට් වෙමු."

අපි කිව්වට පස්සෙ ජනාලියි මහේෂයි දෙන්නා දෙපැත්තට බෙදිලා එයාලගෙ පංති වලට ගියා. අපිට උදේ තිබුණෙ ආර්ථික විද්‍යාව පංතිය. හවස ව්‍යාපාර අධ්‍යනය නිසා ඒක මග ඇරුණට ලොකු පාඩුවක් වෙන්නෑ.

"ෂෝටා උඹේ නංගි ක්ලාස් යන්නෙ කොහෙද දන්නෑ නේද..?"

"මේ අහන ප්‍රශ්නෙ කෙලින් අහපං බං. උඹට දැන් දැනගන්න ඕන රාණි යන පංතියනෙ නේද..?"

මූටත් හැමදේම ගොනාට වගේ තේරෙන හැටි බලපංකෝ.

"අපි වෙලාවක යන්ද උඹලගෙ නෑනගෙ ගෙවල් පැත්තේ.."

මං දෙවනි ප්‍රශ්නෙත් ඇහුවෙ  මුගෙන් උත්තරයක් නැති නිසා.

"උඹලා  හදන්නෙ මාව ගෙදරිනුත් එළවන්නද..? උඹට දැනගන්න ඕන විස්තර මං සදුදට අහලා කියන්නම්. එතකල් ඉවසපං පපුව කියලා ඉදපං.."

අපේ කතාවට විහගයා කොරවෙලා. ඌ දන්නෑ ෂෝටගෙ නැන්දගෙ දුවගෙ ජාතක කතාව. දැන් අටටත් කිට්ටුයි. ඕක කියන්න ගියොත් අද පංති යන්න වෙන්නෑ. අපි  හතර දෙනා පුරුදු විදියට තෝස පාරකුත් දාලා කොහුවල පැත්තට ඇවිදගෙන ආවා ක්ලාස් එකට යන්න.

පංතියට යද්දි වෙනදා ඉන්න හරියෙ ඉඩ නෑ. බුද්ධිමතුන් බිහිවන්නෙ පසුපස පේළීවලිනි කියලා අපි කට්ටිය පිටි පස්සටම ගිහින් ඉදගත්තා. හය දෙනෙක්ට ඉද ගන්න පුලුවන් ඩෙස්ක් එකේ කොහොම හරි දහයක් ඉන්දවන්න ටික්කො ටික හෙන ගේම. මුං ගිය ආත්මෙ සැමන් ටින් කරපු එවුන්ද කොහෙද. අපිත් ඇරියෙ නෑ. බූරු ඇදවල් ටික දිග ඇරලා ටිකක් සැප පහසුවට ඉදගත්තා.

"ඔය මල්ලිලා ටිකක් ළං වෙලා ඉදගෙන මේ පොඩි මල්ලිටත් ඉඩ ටිකක් දෙන්නකෝ.."

එහෙම කියපු ටික්කා ෂෝටව අපි හිටපු පැත්තට තල්ලු කරලා දැම්මෙ උගෙ බාප්පා වගේ. කොහොම හරි හතරට පහට ගුලිවෙලා ටියුට්ටිකත් බාගෙට දිගැරගෙන ටිකක් වෙලා ඉද්දි දාඩිය ගලන්න පටන් ගත්තා.

"මචං පිට දිගේ දුන්හිද කඩං වැටෙනවා බං.."

මං විහගගෙ කනට කරලා කිව්වේ ෂෝටට ඒක කියන්න බැරි නිසා. මොකද උගේ කණ තිබුණෙ ගොඩක් පහත.

"ඔව් බං මේ ෆෑන් කට්ට වැඩ කරන්නෙ නැද්ද මන්දා.."

ඌ එහෙම කියද්දි මමත් නිකමට වගේ උඩ බැලුවා. ෆෑන් එක කැරකෙනවා නිකං මට ඕනෑවට වගේ.

"බලපං අනික් ෆෑන් ඔරේ රන් කියලා කැරකෙනවා. මූ ඒකට කැද ගහලා වගේ.."

"දාමු සර්ට චීට් එකක්.."

විහග කොලයක් කඩලා අරන් මොනවද ලියලා මට දුන්නා. 'සර් පිටිපස්සෙ පේළියෙ ෆෑන් එක කැරකෙන වේගෙට පෙති ගණන් කරන්න පුළුවං.' ඌ ලියලා තිබුණෙ ඒක. මමත් කොලේ රෝල් කරලා ඉස්සරහට යැව්වා. 

විනාඩි දහයකට විතර පස්සෙ සර් චීට් එක කියෙව්වා.

"පිටි පස්ස පේළියෙ ඉන්න කවුද ෆෑන් එකේ පෙති ගණන් කරන්න හදන්නේ..?"

සර් ඒක අහද්දි මුළු ක්ලාස් එකම වගේ පිටිපස්ස හැරුණා.

"තමුසෙලා අමාරුවෙන් උඩ බලාගෙන ඕකෙ පෙති ගණන් කරන්න ඕනෙ නැහැ. ඕකෙ පෙති තුනයි තියෙන්නෙ. දැන් පාඩම අහගන්නවා.."

මුළු පංතියම හයියෙන් හිනා උනා. ෂිට්.... චාටර් ගෝනියයි. අපිත් අපිට නෙමෙයි වගේ අනිත් උන් දිහා බලලා හිනා වෙන්න ගත්තා. හැබැයි සර් එවලේම ටික්කන්ට කියලා අපි ළග තිබුණ ෆෑන් එක වැඩි කලා.

දවල් දොලහ වෙනකල්ම සාර්ව ආර්ථික ගැටලු කියලා දුන්නට පංතියෙන් එළියට එද්දි ඒ එක ගැටළුවක්වත් මටනං මතක තිබුණෙ නෑ. මගේ ඔළුවෙ තිබුණෙ වෙනමම ගැටළු ටිකක්. අපි සෙට් එක කොහුවල ඉදලා නුගේගොඩ බෝගහ ළගට ගිහින් අනිත් කට්ටිය එනකන් පොඩි කට්ටක් කෑවා. කට්ටක් කිව්වට පංති ඇරෙන වෙලාවට නුගේගොඩ ඉන්න එක කට්ටක්ම නෙමෙයි. හවස හතර පහ විතර වෙද්දි මේ හරියෙ මාර ත්‍රිල් එකක් තියෙන්නෙ. ගිය ආත්මෙ ඉදලා මේ සැපට පුරුදු එවුන් මැරිලා කාක්කො වෙලා ඉපදිලා අපේ ඔළු වලට ජරා කර කර තාම පාර දිහා බලං ඉන්නවා.

"නිරෝධ මොකද අද උඹේ ටකරම වැහිලා..?"

බල කල්පනාවක හිටපු නිරෝධගෙ පිටට තට්ටුවක් දාලා ෂෝටා අහද්දි ඌ උඩ ගියා.

"පස්සෙ කියන්නම් බං.."

ඌ ඒක කියපු විදියට ඌට දිරව ගන්න බැරි ප්‍රශ්නයක් තියෙන පාටයි.

"අපි ගොඩක් පරක්කුද..?"

ජනාලි එහෙම අහගෙන ආවෙ තනියෙම නෙමෙකි සාරංගයි දිනුකයි එක්ක. දිනුකගෙනම් මූණ දාහට අරන් නිකංවත් දෙන්න බැරි තරමට කළු වෙලා. ඒක එහෙම නොවුනනම් තමයි පුදුමෙ. මොකද මූ අචිනිගෙ සත්‍ය ප්‍රේම බ්‍රැංග රාජයනේ. ඒ සීන් එක පටන් ගත්තෙ ඒ ලෙවල් කරන්න පටන් ගත්තට පස්සේ.    

"ඕවා ඔහොම තමයි මස්සිනා.. අල වගේද ගෝවා.."

කියල දිනූකයව ෂේප් කරන්න විහග බණ කියවන්න ගත්තා. මහේෂත් ආවට පස්සෙ අපි අට දෙනාම සචීලගෙ ගෙදර යන්න රෙඩි උනා. ලෙඩෙක් බලන්න යද්දි අපතයො ටික වගේ අතපය වන වන යන්න හොද නැති නිසා අපි ගෙනියන්න දෙයක් කල්පනා කලා.

"දවල්ට කාලත් නෑ බං.. කන්න තියෙන සල්ලි වලින් තමයි මොනව හරි ගන්න තියෙන්නේ.."

ෂෝටා එහෙම කියලා ඌගෙ හිගන පර්ස් එක දිගෑරියා. ඒකෙ කවමදාකවත් රුපියල් සීයකට වඩා තියෙනවා මම දැකලා නෑ.

"රයිට් එහෙනං පින්වතුන් පොඩි ආධාරයක් කරන්න බලන්න.."

මම දාගෙන හිටපු තොප්පිය ගලවලා පොඩි කලෙක්ෂන් පාරක් දාන්න යද්දි විහගයා සිංදුවක් කියන්න පටන් ගත්තා.

"සද හිරු තරු පවතින තරු
ෆේල් වෙන්නෙ නෑ...
සෙන්ට්‍රල් බිමේ කොල්ලො අපි
ඒ හතරක් අපිට හිමි...
ෆේල් වෙන්නෙ නෑ...//"

ඌ ඒක කියන අතරෙ මං තොප්පිය අරන් එක එකා ළගට ගියා. දිනූකයා තදයා වගේ කෙලින්ම රුපියල් සීයෙ පටියක් දාලා ස්ටාට් එක දුන්නා. මහේෂා ජනාලි දෙන්නත් සීය ගානෙ දැම්මට අපේ අනිත් උන්ගෙන්නම් පනහකට වඩා ගන්න බැරි උනා. අපි දිහා හිනාවෙවී බල බල හිටපු ආච්චි කෙනෙක් ළගටත් මං නිකමට වගේ ගිහින් තොප්පිය දික් කලා. දත් නැති කට පුරෝලා හිනාඋන ඒ ආච්චි තංගල්ල බැංකුවෙන් විත්ඩ්‍රෝ කරලා පටස් ගාලා රුපියල් පනහක් දැම්මා.

"පිනට කැමති මේ අම්මට බුද්ධං සරණේ සරණයි.."

විහග ආච්චි ළග වටයක් කැරකිලා තවත් සිංදුවක් කියන්න පටන් ගත්තා.

"එහෙම කියපු ඔය කොලුවට ධම්මං සරණේ සරණයි.."

ෂෝටා විහග ළගට ගිහින් කියද්දි අර ආච්චි ෂෝටා දිහා බලලා හිනා උනා. සමහර විට ආච්චිට ෂෝටා දකිද්දි ශිෂ්‍යත්වෙ ලියන මුණුඹුරෙක් මතක් වෙන්න ඇති. කොහොම හරි සිංදුව කියලා ඉවර වෙද්දි මගේ පින්වන්ත කැප් එක ඇතුලෙ රුපියල් පන්සියයක් විතර එකතු වෙලා තිබුණා.

"මොනවද බං මේකෙන් අරගෙන යන්නේ..?"

සල්ලි ටික ගණන් කරලා මං විහගගෙන් ඇහුවා.

"කේක් බිස්කට් වගේ දෙයක් ගත්තොත් ඕක එන්න කලින් අපිම කාලා ඉවර කරයි. ජනා කෙල්ල කැමති මොනවටද බං..?"

ඌ කෙලින්ම ප්‍රශ්නෙ ජනාලිට යොමු කලා.

"කෙල්ලො කැමති මොනවද කියලා කෙල්ලන්ට වඩා හොදට දන්නෙ කොල්ලොනේ.."

ජනාලිගෙ කතාවෙත් ඇත්තක් තියෙනවා. එහෙනම් මේ ප්‍රශ්නෙ අහන්න හොදම කෙනා දිනුක. අචිනි කැමති ඒවා ඌ නොදැන ඉන්න විදියක් නෑනේ.

"දිනුක උඹවත් කියපංකෝ අචිනිට දෙන්න හොද දෙයක්.."

"අපි ඔය ගානට පොඩි ටෙඩි බෙයාර් කෙනෙක් අරං යන්.."

"ඔන්න බලපං සැබෑ ස්වාමිපුරුෂයන්ගේ ලක්ෂණ.."

විහග දිනුකගෙ කරට අත දාලා කියද්දි උගේ මූණෙ තිබ්බ මූඩ් එක මංචි ජින්ජර් බිස්කට් එකක් කෑවා වගේ වෙනස් උනා. කොහොමටත් කෙල්ලො ටෙඩි බෙයාර්ලට ආසයි කියලා මමත් දන්නවා. මොකද අපේ සහෝදරියගෙ කාමරෙත් හැම තැනම ටෙඩීලා. නිදියන්නෙත් තඩි වලහෙක්ව තුරුළු කරන්. ලස්සන ටෙඩියෙක් අරන් එන්න කියලා අපි මහේෂටයි ජනාලිටයි සල්ලි දීලා යැව්වා. ටික වෙලාවකින් උන් දෙන්නා ආවෙ ලස්සන රෝස පාටයි සුදු පාටයි ටෙඩියෙක් අරන්. උන්ගෙ සිලෙක්ෂන් වලට අපි කට්ටියම සැටිස්.

හන්දියෙ ඉදලා සචීලගෙ ගෙදරට බස් හෝල්ට් දෙකක් විතර දුරයි. අපි කට්ටිය පොඩි කෝප්පයක් හෝදන ගමන් ඒ දුර පයින්ම ගෑටුවා. එකහමාර විතර වෙද්දි අපි එහේ.

අපිව දැක්කා විතරයි ගේ ඉස්සරහ හිටපු සචී දුවලා ඇවිත් ජනාගෙයි මහේෂගෙයි අත්දෙකෙන් අල්ල ගත්තා. ඒකිගෙ ඇස් දෙක රතුවෙලා. ඒ කියන්නෙ දැන් ටිකකට කලින් සචී අඩලා තියෙනවා.

"කෝ බං අචිනි, එයාට ගොඩක් අමාරුද..?"

දිනුකට අහන්න තදියමේ හිටපු ප්‍රශ්නෙ ඇහුවෙ ජනාලි.. 

"යංකො ගෙට. එයා ඉන්නවා.."

අපි කට්ටියම සාලෙට යද්දි අචිනි සෙටියෙ වාඩිවෙලා කකුල් දෙක ස්ටූල් එකක් උඩ තියාගෙන හිටියා. එක කකුලක් විලුඹ හරියෙන් දිගටම බැන්ඩේජ් කරලා. අනිත් කකුල දනිස්ස ළග බැන්ඩේජ් කරලා. මේකි එක් අන්ඩක් නෙමෙයි අඩු දෙකම කඩාගෙන වගෙයි. මොනව උනත් අපිව දැක්ක ගමන් කෙල්ලගෙ ඇස් දෙකට කදුළු පිරුණා.

"ඔයාට ගොඩක් අමාරුද අචිනි..?"

එයා ළගින්ම ඉදගෙන අතකුත් අල්ලගන්න ගමන් ජනාලි ඇහුවා.

"නෑ.."

කියලා එයා ඔළුව වැනුවා. එහෙනං අඩන්නෙ මොන මගුලකටද දන්නෑ කියලා අහන්න හිතුනත් මං නිකං හිටියා.

"ආ... පුතාලා දැන්ද ආවේ..? ඒත් මෙයාලා කිව්වා අද සමහර විට යාළුවො ටික එයි කියලා.."

සචීලගෙ අම්මා ඇවිත් අපිව ආදරයෙන් පිළිගත්තා. ඉස්සරත් මුන්ගෙ උපන්දින වලට එහෙම ඇවිත් අපි කට්ටියම සචීලගෙ ගෙදර අය හොදට දන්නවා.

"ඔයාලා පංති ගිය ගමන්මනේ එන්න ඇත්තේ. මං කන්න මොනාහරි ලෑස්ති කරන්නම්.."

අපේ කට්ටියගෙ බඩවල් ගැන නොදැන වගේ ඇන්ටි කෑම ලෑස්ති කරන්න හදන්නේ. අට දෙනෙක්ට කන්න දෙන එකත් දානයක් දෙනව වගේ වැඩක් තමයි. ඒ අතරෙ ජනාලි අචිනිගෙන් කතන්දරේ අහන්න පටන්ගත්තා.

"ඊයෙ ඔයා බහිද්දිත් හොදටම වැස්සනේ ජනාලි. මමත් බස් එකෙන් බහිද්දි පාර පේන්නැති තරමට වැස්ස. මං බැස්සෙ ඇන්ටිලා දෙන්නෙක් බැස්සට පස්සෙ අන්තිමට. ඒත් මං බහිනවා දැක්කෙ නැතුව ඩ්‍රයිවර් බස් එක ඇද්දුවා. මං බහින්න ලෑස්තිවෙලා ෆුට් බෝඩ් එකේනේ හිටියේ. සෙරෙප්පුව ලිස්සලා මං එකපාරටම බිමට වැටුණා. අර ඇන්ටිලා දෙන්නා තමයි මාව ත්‍රීවිල් එකක දාගෙන ගෙදර එක්කං ආවේ.."

"ඉතිං ඔච්චර දෙයක් වෙලත් ඒ බස් කාරයා නැවැත්තුවෙ නැද්ද..?"

ෂෝටට තද වෙලා ඇහුවා.

"බස් එකේ මිනිස්සු දැකලා කෑ ගැහුවා. ඒත් ඩ්‍රයිවර් නැවැත්තුවෙ නෑ.."

"ඔය කාලකන්නි හැත්ත ඔහොම්මයි. උඹට බස් එක මතක නැද්ද..? අඩුගානෙ අංකෙවත් බලාගත්තෙ නැද්ද..?"

සාරංගත් අහන්නෙ මාර ප්‍රශ්න. ඔය වගේ මහ වැස්සට නතර නොකරන බස් එකක අංකෙ බලන්න වැටුන එකාට පුළුවන්ද..? අනික මතක තියාගන්න මේ පාරේ 138 බස් කීයක් කියලා තියෙනවද..?

අචිනි කකුල බිම තියන්න හදලා ආව් කියලා ආපහු උඩට ගත්තා. පෙන්නුවෙ නැතුවට ඒකිට ටිකක් අමාරු පාටයි.

"ඔහොම හිටපං බං අචී දගලන්නෙ නැතුව. අපි හිටියට කමක් නෑ. උඹ පහසු විදියට හිටපං.."

ඒක තවත් අප්සට් කරන්න ඕනෙ නැති නිසා මං කිව්වා. එතකොටම අපි ගත්තු ටෙඩිබෙයාව දිනුක ගෙනැල්ලා අචිනිගෙ අතට දුන්නා. දැන්නම් ඒකිගෙ මූණෙ බලබ් වැලක් එල්ලුවා වගේ පාට වැටිලා.

"අනේ හරි ෂෝක්.."

එහෙම කියපු අචිනි ටෙඩීට කිස් එකක් දුන්නෙ අපි ඉන්නකොට දිනුකට කිස් එකක් දෙන්න බැරි නිසා වෙන්න ඇති. මොනව උනත් කොල්ලා යෝජනා කරපු තෑග්ග සීයට සීයක් සාර්ථකයි කියලා මට හිතුනෙ අචිනි ඒක ආදරෙන් තුරුළු කර ගන්න විදිය දැක්කමයි.

"උඹලට කොස් කිරන්න ඕනෙ නම් අපි අහක බලාගන්නම්.."

දිනුකගෙ මූණ දිහා බලලා නිරෝධ අපහු විදියට අචිනිට ලැජ්ජ හිතිලා. ඒකිගෙ සුදු මූණ රතු වෙලා. ඒ අතරෙ සචී බීම ටේ එකක් අරගෙන ඇවිත් අපිට ඇල්ලුවා. ඊට පස්සෙ ඉතුරු උන බීම එක අචිනිගෙ අතට දීලා එයත් අචිනි ළගින්ම ඉදගත්තා. ඔහොම ළංවෙලා ඉද්දි තමයි මුන් දෙන්නගෙ ගතිය වැඩි. ඇතත්ටම ඩබල හරියට බෝනික්කො දෙන්නෙක් වගේ. හරිම ලස්සනයි.

ඒත් අර නිතර දෙවේලෙ දකින කුකුළගෙ කරමලේ සුදුයි වගේ උන්ගෙ ලස්සන අපිට ඒ තරම් ගානක් නෑ. අපිට නොදැනුනාට උන්ගෙ අගේ දිනුකට නං දැනිලා තියෙනවා.

"බලන්න රන්දු අපිට ලොකු ප්‍රශ්නයක්.."

"ඇයි බං මොකක්ද කේස් එක..?"

"අක්කි ලබන සතියෙ සමස්ත ලංකා නැටුම් තරගෙට නුවර යන්න හිටියෙ. එයා පහුගිය ටිකේම ඒකට ප්‍රැක්ටිස් කලා. අපරාදෙ දැන් ඒකටත් යන්න බැරි වෙනවා."

අචිනිටයි, සචිනිටයි පොඩි කාලෙ ඉදලම හොදට නටන්න පුළුවන්. උන් දෙන්නා එකාට එකා දෙවැනි නෑ. ඒත් සචී ඒ ලෙවල් කොමර්ස් තෝරගත්තට පස්සෙ නැටුම් තරග වලට ගියේ නෑ. ගිය අවුරුද්දෙ ඉදිරිපත් උනේ අචිනි විතරයි. එයා මීට මාස දෙකකට විතර කලින් දිස්ත්‍රික් තරග වලට ඉදිරිපත් වෙලා කොළඹ දිස්ත්‍රික්කේ පළවෙනි තැනට තේරුණා. එදත් අපි කට්ටියම මෙහෙ ඇවිත් සතුට සමරලා පොඩි බජව්වක් දාලා ගියේ.

"ඉතිං අපි කලිනුත් ඔය විදියෙ ගේම් දීලා තියෙනවනේ. අචී වෙනුවට සචී ගියා නම් වැඩේ ගොඩ.."

මං කිව්වෙ අපේ කට්ටියගෙම මූණු දිහා බලලා. අපි දහ දෙනාට රහස් රකින එක ප්‍රශ්නයක් නෙමෙයි.

"එහෙම බෑනේ රන්දු. අකික් පුරුදු උන නැටුම මං දන්නෑනේ. අනික අපිට ලබන සතියෙ විභාගෙතියෙනවනේ.."

සචී බයවෙලා කිව්වා.

"මේ සීන් එක තාම ඉස්කෝලෙන් දන්නෑනේ. අපි කියමු බස් එකෙන් වැටුනෙ සචී කියලා. ඉතුරු ටික ස්ටෙප් බයි ස්ටෙප් ප්ලෑන් කරමු.."

විහගත් ඕන දේකට ෆුල් සපෝට්. කොහොම හරි මේ තරගෙට සචීව යවන්න අපි හිතාගත්තා. වැඩේ ටිකක් අමාරුයි තමයි. ඒත් කොහොම හරි වැඩේ ගොඩ දාගන්න අපි කට්ටියම අතට අත දාලා ගිවිස ගත්තා. අමාරුම වැඩේ උනේ සචීලගෙ අම්මලව කැමති කරගන්න එක.

"මං නම් ඔය වැඩේට කැමති නැහැ පුතා. අනික ගුරුවරු රවට්ටලා ඔය වගේ දෙයක් කරන්න අනුබල දෙන්න අපිට කීයටවත් බෑ. අංකලගෙනුත් මට බැනුම් අහන්න වෙයි."

අපි ටොප් ගියර් එකට දාලා පාගන්න හදද්දි ඇන්ටි රිවස් එකටමයි කතාව.

"මේකනේ ඇන්ටි සචිනිටත් හොදට නටන්න පුළුවන් එකෙ එයාට නැටුම පුරුදු කරන එක විතරයි තියෙන්නේ. අනික මේ තරගෙ තියෙන්නෙ නුවර නේ. කවුරුවත් සචිනිව අදුරගන්න එකක් නෑ.. "           

"එතකොට ඇන්ටි ගුරුවරුන්ව රැවටීමක් වෙන්නෙ නෑ නේ.."

"ඒ වගේම සචිනි දින්නොත් එහෙම අපේ ඉස්කෝලෙට වගේම ඇන්ටිලටත් කොයි තරම් ආඩම්බරයක්ද..?"

අපේ එකෙක් නවත්තද්දි අනිකා කියවන්න ගන්නවා. ඇන්ටිට එක වචනයක් කියන්න ඉඩ දුන්නෑ. අන්තිමට ලාවට වගේ ඇන්ටිව අපේ පැත්තට නම්ම ගන්න අපිට පුළුවන් උනා.

"අනේ මන්දා ඔයාලා කරන දෙයක් අංකල්ගෙනුත් අහලා කරන්න. හැබැයි පරිස්සමින්.."

එහෙම කියලා ඇන්ටි ගිහින් කෑම මේසෙ ලෑස්ති කලා. අපි කට්ටිය කන ගමනුත් කතා කලේ අපේ ප්ලෑන ගැන.

"එතකොට නංගි නුවර යනවා නම් මං එයා වෙනුවට එක්සෑම් එකට ලියන්න ඕනෙද..?"

අචිනි බයවෙලා වගේ ඇහුවා. ඒකි බයවෙන එක සාධාරණයි. වෙච්චර දවසක් ආර්ට් ඉගෙනගෙන එක පාරටම කොමර්ස්  විභාගයක් ලියන්න උනොත් අන්තිමට කෙල්ලට ඇඩ්රසුත් නැතිවෙනවා.

"අනේ මං කොමර්ස් ගැන මුකුත් දන්නෙ නෑනේ.."

"උඹ බයවෙන්නෙපා බං. ඒකට තමයි අපි සෙට් එක ඉන්නේ. උඹට තියෙන්නෙ විභාගෙට එන එක විතරයි. ඉතුරු ටික අපි බලාගන්නම්.."

සචී කවදත් ඉගෙනගන්න දක්ෂයි. එයා වෙනුවට අචිනි විභාගෙට ඉන්නවානං හොදට ලකුණු ගන්න වෙනවා. ඒකට අචිනිට අනිවාර්‍යයෙන් කොපි කරන්න වෙනවා. නැතුව වෙන කිසිම විකල්පයක් නෑ. දැන් වැඩේට බැහැපු එකේ බොරු දාහක් කරලා  හරි මේක ගොඩ දාගන්න ඕන. 

"අපිට නැටුම් කරන කුමුදු මිස් නෙමෙයි මට මේක ප්‍රැක්ටිස් කලේ. එයා කලායතනයක අක්කා කෙනෙක්ව ගෙනාව මට නැටුමක් පුරුදු කරන්න. ප්‍රින්සිපල් සර්ගෙනුත් අහලා තමයි එයා ඇවිත් තියෙන්නේ."

ඒ කියන්නෙ මේ කතන්දරේ ඇතුලෙ තවත් චරිතයක් ඉන්නවා. ඇත්ත නොකිය මේක ආපහු මුල ඉදලා පුරුදු වෙන්න බෑ. අපේ සෙට් එකේ දහයයි සචීලගෙ අම්මයි තාත්තයි ඇරුනම දහතුන් වෙනියටත් බොරුව කියන්න වෙනවා. දහතුන් දෙනෙක් අතර රහසක් රකින එක මළාට කරන්න බැරි වැඩක්. අපි දහදෙනා අපිට ෂුවර් උනාට ඉතුරු අය කොහොම වෙයිද දන්නෙ කවුද.

ඔය නැටුම් පුරුදු කරන අක්කගෙ කටින් ඕක නටුම් මිස්ට යන්න බැරි නෑ. කොහොමත් ඔය ගෑනුන්ට කටවල් පරිස්සම් කරගෙන ඉන්න හරි අමාරුයි නේ. තමන් දන්න රහසක් අනිකට කියනකල් උණ ගැනිලා වගේ දගලන්නේ. අන්තිමට ඒ අක්කා ගාවට ගිහින් වැඩේ ෂේප් කරගන්න එක මහේෂායි, ජනාලියි බාරගත්තා. දැන් වැඩේ සීයට අසූවක් විතර ප්ලෑන් කරලා ඉවරයි. හෙට කලායතනයට යන වැඩේ දාගනෙ අපි කට්ටිය ගෙදර එන්න ලෑස්ති උනා. දිනූකයට ඒත් නිකං හිටියා මදි වගේ. තාම අචිනි ළගට වෙලා ඉදගෙන ඉන්නවා.

"උඹ එන්නැතුව අද බින්න බහින්නද කල්පනාව. යකෝ ඇන්ටි ඉලපත ගන්න කලින් වරෙන් යන්න. දැන් හොදටම හවස් වෙලා."

ෂෝටගෙ වැඩේ දිනූකව පල් කරන එක. අපි යන්න මිදුලට බහිද්දිත් අචිනි ඇස්වල කදුළු පුරෝගෙන. මේ කෙල්ලො හැම ඉලව්වකටම අඩන එකනේ කරන්නේ. අපි එහෙම හිතුවට දිනූකගෙ ඇස් වලත් කදුළු තියෙනවා දැක්කෙ පාරට ආවට පස්සේ. ඌට දුක ඇති ඒ තරම් අමාරුවෙන් ඉදපු කෙල්ලව දාලා එන්න සිද්ධවෙච්ච එකට. අපි පාරට එද්දි හවස හයටත් කිට්ටුයි. අපි මුලින්ම කලේ ජනාලිවයි මහේෂවයි ගෙවල් වලට යන්න බස් වලට දාපු එක. ඒක අපේ ඉස්සර ඉදල තිබ්බ පුරුද්දක්. අන්තිමට මම විහග එක්ක ඇවිත් අපේ ගේ ළගින් බහිද්දිත් කළුවර වැටිලා.

"අනේ.. අනේ.. හොදයි කොල්ලො ගෙදර එන වෙලාව.."

මිදුලෙ තිබුණ ගල් බංකුවක වාඩිවෙලා  හිටපු අපේ අක්කා මාව දැක්ක ගමන් පුපුරන්න ගත්තා. මෙයත් හරියට චීනපටස් එකක් වගේ තමයි. ළගින් ගියොත් ඇහැක් නෑ.

"තමුසෙ අද කොහෙද ගියේ..?"

කිසිම ගැලවීමක් නෑ වගේ. මම පොඩි ෂේප්මන්ට් එකක් දාගන්න එයා ළගට ගියා. එතකොටයි මං දැක්කෙ අපේ අක්කා ළග තව කෙල්ලෙක් ඉන්නවා.

"බලන්න හංසි, මෙයා මට හෝදන්න කියලා පත රෙදි ගොඩකුත් දාලා පංති යනවා කියලා උදේම ගියා. දැන් එනවා මෙතන රස්තියාදු ගහලා."

එහෙනම් මෙයයි අපේ අක්කගෙ බ්‍රැකට් එක හංසි. නම අහලා තිබුණට ඔයාව අදනේ දැක්කෙ බබෝ. ඒත් මෙයා ඉස්සරහ අක්කට සෙකන්ඩ් වෙලා බැහැනේ.

"පංති තමයි හලෝ ගියේ. බොරුනං ඔය ටියුට් එක අරගෙන බලනවා.."

එහෙම කියලා මම සාක්කුවෙ දාගෙන ඉදපු ඉකෝන් ටියුට් එක එයාගෙ ඔඩොක්කුවට විසි කලා.

"බලනවා ඉතිං ඉගෙන ගන්න එවුන් ටියුට් ගෙනියන ලස්සන. සුරුට්ටුවක් වගේ රෝල් කරලා සාක්කුවෙ දාගනෙ."

එයා ආපහු ටියුට් එක මගේ පැත්තට විසි කරලා දැම්මා. අක්කයි මමයි දිගට හරහට ගේම ඉල්ලනවා. හංසි බයවෙලා අපි දිහා බලන් ඉන්නවා.

"බලන්න අක්කෙ ඔයාගෙ යාළුවා හැමදාම ඔහොම්මයි. ගෙට ගොඩවෙද්දිම බොරුවට බෙරිහන් දෙනවා.."

මං හංසි දිහාට හැරිලා කිව්වේ යාළුවෙක් ළග ඉන්නවා කියලා මතක් කරලා දෙන්නයි.

"කවුද බොරුවට බෙරිහන් දෙන්නේ..? තමුසෙ පංති ගියානං කොහොමද දවල් පාරෙ සිංදු කිය කිය තොප්පි අරන් සල්ලි එකතු කලේ..?"

චිකේයියා..! කවුරුහරි ගෝතයෙක් සීන් එක අක්කගෙ කනේ තියලා තියෙනවා. නිකං නෙමෙයි එක දහය කරලා ගින්න දීලා තියෙන්නේ. ඌ හිතුවද දන්නෑ මං පාරෙ හිගාකෑවා කියලා. 

"හලෝ මේ තමුසෙගෙ ඔය රොයිටරයට කියනවා බොරු කියලා අඩු කඩාගන්නෙපා කියලා. මං පාරෙ හිගාකෑවෙ නෑ. අපේ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා. ඌව බලන්න යන්න ප්‍රසන්ට් එකට සල්ලි එකතු කලා. හැබැයි පාරෙ  හිටපු එවුන්ගෙන් නෙමෙයි. අපේම යාළුවන්ගෙන්. එච්චරයි හරිද..?"

තිබ්බ කේන්තියට දිගට හරහට කියවගෙන ගිය මං දෙන්නගෙ මූණවත් නොබල කාමරේට ගියා. ඇදුම් ටික ගලවලා තුවායක් ඇදගෙන බාත්රූම් එකට ගියේ අක්කට කේලම කියපු එකා ගැන හිත හිත. හැබැයි ඒ කේලමා හංසි වෙන්න බෑ. මොකද මෙයා මාව කලින් අදුනන්නෙ නෑ නේ. ඒ වගේම අද මෙයා මොකද අපේ ගේ අස්සෙ රිංගලා ඉන්නෙ කියන ප්‍රශ්නයත් මගේ ඔලුවට ආවා. මම ඇග හෝදලා කාමරේට එද්දි අම්මා තේ එකත් අතේ තියාගෙන කාමරේ.

"පොඩි පුතා පරක්කු උන නිසා අපි කලින් තේ බිව්වා. මේක බීලම ඔයා කන්න එන්න.."

මට හවසට ගෙදර ආපු ගමන් තේ එක ඕනෙමයි කියලා අපේ අම්මා දන්නවා. එයා මගේ අතට තේ එක දීලා කාමරෙන් ගියේ මගේ ඔළුවත් අතගාගෙනමයි. අම්මා යද්දි චීන පටස් එක ආපහු කාමරේට ආවා.

"මල්ලි ඔයා මගෙත් එක්ක තරහද..?"

එහෙම අහගෙන ආපු එයා කෙලින්ම මගේ ඇදෙන් ඉදගත්තා. මං ඇහුනෙ නෑ වගේ තේ එක බොන ගමන් බිත්තියෙ ගහලා තිබ්බ ටයිටැනික් නැවේ ලොකු පිංතුරෙ දිහා බලාගෙන හිටියා.

"ඔයා පරක්කු උන නිසයි මං බැන්නේ. ඔයාගෙ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා කියලා මං දන්නෑ.."

මම තාමත් පිංතූරෙ දිහා බලාගත්තු ගමන්මයි. හැබැයි දැන්නම් තේක ඉවරයි. අක්කා ඇදෙන් නැගිටලා ඇවිත් මගේ උරහිසට අත තිබ්බා.

"කවුද මල්ලි ඇක්සිඩන්ට් උන යාළුවා..? දවල්ට ඔයා එක්ක එන මල්ලිද..?"

අපේ අක්කා හදන්නෙ යස අගේට අතපය හතර තියාගෙන ඉන්න විහගයව හප්පන්න. ඌ දන්නව නම් මෙයාට නඩු දානවා. 

"ඌට මුකුත් වෙලා නෑ. අචිනි ඊයෙ බස් එකෙන් වැටිලා.."

"අචිනි කිව්වේ..?"

"අචිනි කිව්වේ ටුවින්ස්ලගෙන් එක්කෙනෙක්.."

"අනේ අර ලස්සන නංගිලා නේද..? අර අපේ ගෙදර ඇවිත් තියෙන්නේ.."

"ඔව් ඔව් උන් තමයි.. දැන් යනවා හලෝ වද නොදී.. තමුසෙගෙ යාලුවා බලාගෙන ඇති.."

"එයා තව ටිකකින් අම්මලා ආවාම යයි.."

"ආ ඇත්තද..? මං හිතුවා ගෙදරින් එළවලා කියලා.."

අක්කා කාමරෙන් ගියාට පස්සෙ මං තුවාය ගලවලා සරමට බැස්සා. හෙට උදේ පංති යන වෙලාවට විහග එයි. ඒත් හෙට පංති කට් කරලා ජනාලියි මහේෂයි කලායතනයට යනවා කිව්වනේ. කොයි එකටත් උන්ගෙ සපෝට් එකට අපිත් ගියානම් හොදයි. ඔය නැට්ටුක්කාරි මොන වගේ ඩයල් එකක්ද කියලා දන්නෙත් නෑනේ. මං ටීවි එක බලන්න හිතලා සාලෙට යද්දි අක්කලා බඩල පතරංග වගේ දිග නාට්ටියක් බලනවා.

"අනේ මල්ලි මං අම්මා එක්ක කෑම ටික ලෑස්ති කරනකල් ඔයා  හංසි එක්ක ටිකක් කතා කර කර ඉන්නකෝ.."

මාව දැක්ක විතරයි එහෙම කියල අපේ අක්කා  වාෂ්ප උනා. මං මොන කෙහෙල්මලකටද මෙච්චර ලොකු කෙල්ලන්ට තනි රකින්නේ. එයා මේ තරම් ආසාවෙන් බලන නාට්ටිය බල බල ඉන්නෙ නැතැයි. මමත් කට වහගෙන ටීවී එක බලන්න ගත්තා.

"මල්ලි ඔයා හිතන්නෙ අක්කට ඔයා ගැන කේලම් කිව්වෙ මං කියලද..?"

"නෑ එහෙම හිතන්න ඔයා මීට ඉස්සර මාව දැකලා තිබුණෙ නෑනේ.."

"මං ඔයාට ෆොටෝ වලින් දැකලා තියෙනවා. අක්කා නිතරම ඔයා ගැන කියනවා. එයා ඔයාගෙ ඇල්බම් එකක්ම මට පෙන්නුවා."

අපේ අක්කටත් ඕන්නැති මගුලක් නෑ. හැම අටමගලයක්ම යාළුවන්ට පෙන්නනවා. ඉතිං පාරෙ තොටේ ඉන්න එවුන්ගෙන් බාගයක්ම මාව දන්නවා ඇති.

"එයාගෙ වැඩේ ඉතිං මට බනින එකනේ. ඔයාට ෆොටෝ පෙන්නලා කියන්න ඇති මේ ඉන්නේ අපේ ගෙදර එකම වසවර්ථියා කියලා."

"ඔයා එහෙම හිතුවට අක්කා ඔයාට ගොඩක් ආදරෙයි. කටේම තියෙන්නෙ මගේ මල්ලි කියන එක.."

"අපෝ බොරුවට මිනිස්සුන්ට ඇහෙන්න එහෙම කිව්වට. දැක්කනේ ගෙදර ඉන්නකොට මාව කන්න හදනවා.."

"ඇත්තටම ඔයාගෙ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලාද..?"

"ඇයි ඔයත් හිතන්නෙ බොරු කියනව කියලද..? මේ කෙල්ලො ඔක්කොම එකයි.."

"අක්ක කිව්ව එක ඇත්ත. ඔයාට පොඩ්ඩ ඇත්තං තරහ යනවනේ.."

මං කිව්වෙ නැද්ද අපේ අක්කා මගේ වැරදි සේරම යාළුවන්ගෙ කනේ තියලා. අක්කා ඉක්මනට කන්න දීලා මේකිව යැව්වනං ඉවරයි. මොකද දන්නෑ අද මෙයාට මේ පැත්ත මතක් උනේ.

"ඔයා මීට කලින් මෙහෙ ඇවිත් නෑ නේද..?"

"මං දවස් දෙකක් ඇවිත් තියෙනවා. ඒත් ඒ එක දවසකවත් ඔයා හිටියෙ නෑ.."

"එතකොට අද මොකද මේ රෑ වෙලා..?"

"අපේ අම්මලා අද ගාල්ලෙ මළ ගෙදරක ගියා. එද්දි රෑ වෙයි කිව්ව නිසා මං මෙහෙ ආවා.."

අක්කා කෑම ලෑස්ති කරලා කතා කරපු නිසා අපේ කඩේ නැවතුනා. කාලා කාමරේට ගිහින් පාඩම් කරන්න හැදුවට අද හතර වටේ පයින් ඇවිදලා ඇගට අමාරුයි වගේ. ඉතිං බාලගිරි දෝෂය අද නොවේ හෙට කියලා මං පොත වහලා ඇදට පැන්නා.



1 comment: