Tuesday, March 27, 2012

| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි |






නින්ද යන්නෙ නැතිකමට උදේම නැගිටලා ඉස්කෝලෙට ආවට මං ආවා වේලාසන වැඩියි කියලා හිතුනෙ පාළුවට ගිය පිට්ටනිය දකිද්දියි. අපේ සෙට් එකේ එකෙක් එනකල් පොත් ටිකත් ඩෙක්ස් එක උඩට දාලා මං කොරිඩෝවට ආවා. ඔන්න එතකොට විහගයා එනවා හතරවටේට ඇන්ටනාව දාගෙන.


"මොකද මල්ලී උඹ සී.අයි.ඩී ගේමකට බැහැල වගේ උදේ පාන්දරම.."

"මචං උඹ එද්දි තව කවුරුවත් ඇවිත් හිටියද..?"

මූ පංතියට ගොඩ උනේ ප්‍රශ්නාර්තෙකුත් දාගෙන.

"ඇයි බං තව කවුරුහරි හිටියනං මං පෙට්‍රල් පුච්චගෙන පාර දිහා බලන් ඉදියිද.."

මමත් තදයා වගේ තවත් ප්‍රශ්නෙකින්ම උත්තර දුන්නා.

"හරි හරි බං, ඕකට ඉතිං වලිගෙ පාගගන්න ඕනෙ නැහැනේ. උඹගැන වෙන්න ඇති කියන්න ඇත්තේ. වරෙන් යං."

මූ මගේ අතින් ඇදගෙන ඔෆිස් රූම් එක පැත්තට යන්න හැදුවේ. මමත් අත ගසලා දාලා බඩගින්නෙ හිටපු නරියා කුකුළෙක් දිහා බලනවා වගේ විහගයා දිහා බැලුවා.

"මොකද උඹ කන්න වගේ මගේ දිහා බලන්නේ..? වරෙන් යන්න.."

බලපල්ලකො මුගේ කතාව. හරියට යන තැනක් නොකියා මේ පාන්ද මාව තාත්තා වගේ ඇදගෙන යනවා. ඒ මදිවට තව සද්දෙකුත් දාගෙන.

"උඹ සේරටම කලින් කියපං මාව කොහෙද මේ මරන්න ගෙනියන හරකා වගේ ඇදගෙන යන්නෙ කියලා.."

"මචං මං එද්දි ප්‍රින්ස් දැකලා කිව්වා යාළුවත් අඩගහගෙන එයාගෙ රූම් එකට එන්න කියලා.."

ඌ ප්‍රින්ස් කියලා හැදින්වුයෙ අපේ ප්‍රින්සිපල්ව. අපි විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් එයාව හැදින්වුයෙ අකුරු දෙකකින්. අපි ප්‍රින්ස් කිව්වෙ කට්ටිය ගැවසෙන තැන් වලදි විතරයි. දැන් මෙතන ඉන්නෙ අපි දෙන්නා විතරක් උනාට විහගට හිතෙන්න ඇති මේ බුදුන් වදින උදේ පාන්දර අකුරු දෙකකින් අමතන්න හොද නෑ කියලා. නැතුව උගේ තියෙන හැදිච්ච කමට නෙමෙයි.

"අපිට එන්න කිව්වෙ උඹ පෙරලපු බාල්දියක් ගැන කතා කරන්නද, මං පෙරලපු එකක් ගැන කතා කරන්නද දන්නෙ නෑ.. අපරාදේ අද යටට ෂෝටවල් දෙකතුනක් ඇදගෙන එන්න තිබුණා.."

මං කිව්වෙ පස්ස අතගාන ගමන්.

"මට හිතෙන්නෙ එහෙම අවුලක් වෙන එකක් නෑ. අද සර්ගෙ මූඩ් එක හොදයි වගේ.."

මට එහෙම කිව්වට මොකද දැනටමත් මුගේ මූණත් තහඩුව ටිකක් ඇදවෙලා. 

"මචං උඹ ඉස්සර වෙලා පලයං.."

මූ දොර ළගදි මාව ඉස්සරහට දාන ගමන් කිව්වා. ඌ තදයා වගේ මාවත් ඇදගෙන ආවට එද්දි තිබ්බ ගට දැන් බැහැලා. මං විහගගේ අතත් අල්ලගෙන ප්‍රින්සිපල්ගෙ කාමරේ දොර තල්ලු කරා.

"ගුඩ් මෝනිං සර්.."

අපිත් අර කරාටේ ක්‍රීඩකයො තරගෙ ආරම්භ කරද්දි වගේ දෙකට නැමිලා කිව්වා.

"ආ.. ගුඩ් මෝනිං, පුතාලා ඉදගන්න.."

පිස්සු පපඩම් කිව්වලු. වෙනදට සත්තු වත්තෙන් බාගෙකම නම් කියන සර් අද පුතාලා කියලා කතා කලා. විහගයා උගේ සාක්කුවෙ තිබුණ හඩු ලේන්සුවත් අරගෙන ඇස් දෙකම පිහදාලා සර් දිහා බැලුවෙ මේ එයාමද කියලා දැනගන්න. මොනව උනත් සර්ට අපෙන් කරගන්න ලොකු වැඩක් තියෙන පාටයි.

"මං ඔයාලාට එන්න කිව්වෙ වැදගක් කාරණයක් ගැන කතා කරන්න. හෙට ඒ ලෙවල් වලට අලුතෙන් ළමයි ගන්නවා. ඒකටත් ඔයාලගෙ උදව් ඕනේ. අනිත් ප්‍රධානම දේ තමයි හේෂාන්, අනිද්දා උදේම උසස් පෙළ ළමයි හැමෝටම මීටින් එකක් ලෑස්ති කරන්න ඕනෙ.." 

ඔය පැන්නෙ බළලා මල්ලෙන් එළියට. ඒක සර් මගේ මූණ දිහා බලාගෙන කිව්වෙ මං ශිෂ්‍ය සමිතියෙ සභාපති නිසා වෙන්න ඇති. එහෙනං අලුත් නැව එන්නයි හදන්නේ. මොනව උනත් ඒ නිව්ස් එක කණට මී පැණි වත්කලා වගේ. විහගත් පැණි බේරෙන හිනාවක් දාලා මගේ දිහා බැලුවෙ ගිය පාර නැවටට දීපු රැග් එක මතක් වෙලා විතරක්ම වෙන්න බෑ. මං දන්නවනේ සතා මොකාද කියලා.

"හැබැයි හේෂාන්, ඒ ළමයින්ට රැග් කරන්න දෙන්න එපා. ගිය පාරත් මට ඒ වගේ ආරංචි ආවා. මේක කැම්පස් එකක් නෙමෙයි."

පුදපු ගමන් කාපි යකා වගේ සර් ඒක මූණටම කිව්ව කැත. බබා හම්බවෙන්න කලින් නැති කරගන්නයි මෙයා හදන්නේ. අනික ඉතිං රැග් කරන්න එපා කියලා අපි කාට කියන්නද..? ඒක කරන්නෙත් ඉතිං අපිමනේ..

ඉස්කෝලෙ ශිෂ්‍ය නායකයො උන අපි මොනතරම් බාල්දි පෙරලුවත් වගකීමෙන් වැඩ කරනවා කියලා ප්‍රින්සිපල් දන්නවා. ඒ නිසා කවදාවත් අපේ බැජ් කට්ට ගැලවුනේ නෑ. ප්‍රින්සිපල්ගෙ දේශනාවට සවන් දීලා අපි එද්දි අපේ සෙට් එකේ ඉතුරු ටිකත් ඇවිත්. පංතියට ගිය ගමන් විහගයා කලේ ගුරු මේසේ උඩ තිබුණු මල් වාස් එක අනිත් පැත්ත පෙරළලා අරන් සභාව අමතපු එක.

"අසව්... අසව්... අසව්..."

මූ යටි ගිරියෙන් බෙරිහන් දුන්නට කවුරුවත් අහන පාටක් නං පෙනුනෙ නෑ.

"මෙන්න අපේ හැන්ඩි මල්ලිලාට නාග සලං නිව්ස් එකක්.."

ඒක කියද්දි නං එකා දෙන්නා විහග දිහාට හැරුණා.

"හෙට උදෑසන උසස් පෙළ අලුත් නැව සෙන්ට්‍රල් වරායෙ නැංගුරම් ලන බව නිසි බලධාරියා විසින් පවසන ලදී."

ඌට කතාවෙ ඉතුරු ටික කියා ගන්න හම්බ උනේ නෑ. අපේ ගැන්සිය කෑගහලා නටන්න පටන් ගත්තා. අපේ පරණ නංගිලාට ඉතිං සොරිම තමා.

"මචං විහගයො, උඹේ සුනඛ අසිපතට මොකද වෙන්නෙ එතකොට..?"

ෂෝටා ඒ ඇහුවෙ මහේෂා ගැන. ඒකි කට්ට කලුයි. සුදකට කියලා තියෙන්නෙ හිනාවෙද්දි පේන දත් පේළිදෙක විතරයි. ඉතිං අපේ කොල්ලො ටික දාපු නම තමයි ඒ. ඒක තුන් තේරවිල්ලක් විදිහට දාලා තියෙන්නෙ මහේෂාව එක පාරටම චාටර් කරන එක හොද නැති නිසා. මොනව උනත් සුනඛ අසිපත කියන්නෙ බලු කඩුව කියලා දන්නෝ දනිති.

කොහොම හරි එදා ඉස්කෝලෙ ඇරිලා අපි ගියේ හෙට දහසක් බලාපොරොත්තු තියාගෙන අනේ අනිච්චං කියලා මේ සෙන්ට්‍රල් භූමියට ගොඩ වදින පුංචි ඈයො ටික පිළිගන්න ලොකු බැනර් එකකුත් මේන් ගේට් එක ළග දාලා ඉවර වෙලයි. වෙනදට දාහක් ලෙඩ හැදෙන අපේ ඒ ලෙවල් තදයො ටික හෙටනං ගංවතුර ගැලුවත් ඉස්කෝලෙ එන විත්තිය මට ෂුවර්.

මමත් සුපුරුදු විදිහටම විහගයා එක්ක පාරට බැස්සෙ හෙට දවස ගැන කතා කර කර. හැමදාම උදේට බස් එකේ ඉස්කෝලෙ එන මං හවස ගෙදර ගියේ විහගගෙ බයිසිකල් කට්ටෙ. ඌ හැමදාම ඒකෙ ඇවිත් ඉස්කෝලෙ ළග තියෙන කමියුනිකේෂන් එකේ පිටිපස්සෙ ලෑලි මඩුවෙ ඒක දාලා තමයි ඉස්කෝලෙට එන්නේ. ඒක නියම බ්‍රෑන්ඩ් නිව් බඩුවක් නිසා මේ වෙනකල් කවුරුවත්ම උස්සලා නෑ.

                                   *********************************

ඔන්න ඉතිං උදේ පාන්දරම නැගිටපු මම වෙනදට වඩා හොදට ඇදුමක් මැදලා ලෑස්ති උනේ ටිකක් කලින් යන්නයි. අවුරුද්දෙ දවස් 365න් හොදම දවස අද  කියලා හිතලා මම නමෝ විත්තියෙන් දකුණු කකුල පෙරට තියලා එළියට බහිද්දි විහගයා දොරකඩ.

වෙනදට කෙලින්ම ඉස්කෝලෙට යන මූ අද මේ පැත්තට පා වෙලා ආවෙ ඇයි කියල අහන්න හිටියත් මට උගේ සැබෑ වෙනස දැකලා ඒ ප්‍රශ්නෙත් අමතක වෙලා ගියා. පොර ජෙල් ගාලා කොණ්ඩෙ උඩට පීරලා, ඇදුම හොදට මැදලා විතරක් නෙමේ කිරි ටොයිස් වගේ සපත්තු දෙකකුත් දාලා. මූ නං ෂුවර් එකට පෝය දවසෙ කළුතර බෝධිය පැත්තෙවත් ගිහින් තියෙන පාටයි.

"මොකෝ බං බය වෙලා වගේ..? මං හරියට රිතික් රෝෂන් වගේ නේද..?"

මූ කමීස කොලර් එකත් උස්සලා මගෙන් ඇහුවා.

"පුහ්... රිතික් දන්නවනං කිචි කවාගෙන මැරෙනවා. ඒක නෙමේ අද මොකෝ මේ පැත්තේ..?"

"නෑ බං මට හිතුනා අද උඹ බස් එකේ ගිහින් ඇදුම් තලාගෙන, දාඩියපෙරාගෙන එන එක හරි නෑ කියලා. ඉතිං මං මගේ රථයෙන් උඹව කැන්දන් යන්න ආවා."

අම්මද බොල කිව්වලු. මූත් හරියට බුදුවෙන්න වේටින් ලිස්ට් එකේ ඉන්න ගානට කතාව. ඒ තරම් සත්ව කරුණාව.

"අඩෝ මේ, බස් එකේ ගියොත් වෙන්නෙ ඇදුම් තැලෙන එකයි දාඩිය දාන එකයි විතරයි. ඒ වගේද උදේ පාන්දර මේකෙ නැගලා ගියොත් ඔය කියපු දෙකට අමතරව මජං ගාගෙන, තල්ලු කරගෙන, පිටගැස්ම හදාගනෙ....."

"ඇති ඇති මං යනවා, උඹ වරෙං බස් එකේ. හැබැයි මල්ලි හවසටත් මං නෑ හරි.."

විහගයට තද උනා වගේ පෙන්නුවට ඌට තද වෙන්නෙ නෑ කියලා මං අත්දැකීමෙන් දන්නවා. මොකද මූ අවුරුදු ගානක්ම මගේ බඩ බැදගෙන ඉන්න අතීසාර මිත්‍රයනේ. ඉතිං මං මිනිහව තවත් බයිට් එකට ගන්නෙ නැතුව බයිසිකලේ පොල්ලෙ ඉදගත්තා.

ඉස්කෝලෙ ගාවින් බහිද්දි පශ්චාත් භාගය තිබුණෙ දත් ගලවන්න ඉන්ජෙක්ෂන් ගහපු ගානට. කොටින්ම කියනවානං නෑ වගේ.

අද නං සෙන්ට්‍රල් එක හරියට පේරාදේණිය මල් වත්ත වගේ. අළුත් කොල්ලො කෙල්ලො විතරක් නමෛයි උන්ගෙ අම්මලා තාත්තලා පාට පාටින් දිලිසි දිලිසි තැන් තැන්වල. විහගගෙ කටත් පන්සලේ පිං කැටේ වැගේ නොන්ස් ටොප් ඇරිලා.

"මචං ඔය ලේන්සුව අරගෙන නිකට හරිය පිහිද ගනිං.."

"ඇයි රන්දු මොනවද..?"

මූ කලබල උන පාරට අත් දෙකෙන්ම කට වටේ පිහදනවා.

"නෑ මචං පැණි බේරෙනවා."

මං ඒක කිව්වෙ ටිකක් විතර ඈත් වෙලා.

"රන්දු උඹට මං......."

ඒක කියාගෙන මූ මගේ පස්සෙන් එළවගෙන ආවා.

ගුරුවරු සේරම හේෂාන් කියලා කථා කලාට යාළුවො හැමෝම මට කිව්වෙ රන්දු කියලා. ඒකට හේතුව තමයි මගේ නම හේෂාන් රන්දුල උන එක. කොහොමහරි මූ මගේ නමත් කියාගෙන පස්සෙන් එන නිසා මං ග්‍රවුන්ඩ් එක පැත්තට දුවන්න හැදුවා. හැබැයි අහල බලාගෙන ගිය මං නතර උනේ කාගෙන ඇගේ දඩාස් ගාලා හැප්පිලා. මං බයෙන් වගේ හැරිලා බැලුවෙ මාව හැප්පුනේ කලු මහත් ඇන්ටි කෙනෙක්ගෙ ඇගේද දන්නෙ නැති නිසා.

හත්වලාමයි.......... මලක් වගේ සුදු කෙල්ලෙක්. හරියට නිකං රාණි මුකර්ජී වගේ. විහගයත් ඉදලා ඉදලා කලේ කියලවත් කර ගන්න බැරි වැඩක්. ඒත් ඉතිං මමත් විහග වගේ ඇඹලය වෙලා බැහැනේ.

"අයි ඇම් වෙරි සොරි නංගි.."

මම ඩීසන්ට් පිටම කිව්වා. ඒකි මගේ මූණ දිහා බලලා මල් මල් හිනාවක් දැම්මා. වචන දාහකට වඩා ඒක වටිනවා.

මොනව උනත් විහගයගෙ මූණේ ඉරිසියාව දෝරෙ ගලනවා. මං ආයෙත් අර සුදු කෙල්ල දිහා බලලා විහගයවත් ඇදගෙන පංතියට ආවා. අද පංතියෙ කොල්ලෙ සේරම කලින් ඇවිත්. ඒ මදිවට එක එකා ළගින් එක එක සුවදවල් එනවා. අපේ කට්ටිය අද ගෙදර අක්කලා අයියලගෙ සුවද කුප්පි ටිකට ගේම දීලා තියෙන පාටයි.

අලුත් ළමයි බාරගන්න වැඩ වලට වෙන් කරලා තිබුණේ මේන් හෝල් එකේ. ඊයේ ප්‍රින්සිපල් සර් කිව්ව නිසා මමයි විහගයයි ෂෝටායි, නිරෝධයයි කට්ටියම ඒ පැත්තට ගියා. ළමයි සීයට අනූවක් විතර බයෙන් වගේ හිටියත් ටික දෙනෙක් හිටියෙ තදයො වගේ. බලමුකො මල්ලිලා පස්සෙ හැප්පෙමු කියලා හිතලා අපි ඇතුළටම ගියා. ඒ වෙද්දිත් ප්‍රින්සිපල් සර් ඇවිත් හිටියෙ. මෑන් මොනව උනත් වෙලාවට වැඩ. අපිත් ඒ හරියට ගිහින් වැඩ වලට හොට දැම්මා. නන්දනී මිස් දිග මේසෙක වාඩිවෙලා පොතක ලිය ලිය අප්ලිකේෂන් භාර ගන්නවා. විහගත් එතනම ඉදගෙන වැඩ පටං ගත්තා.

මමයි ෂෝටයි සෙට් උනේ ඒ ඇප්ලිකේෂන් ටික සෙක්ෂන් වලට බෙදන්න. අපි ඒවා සෙක්ෂන් වලට වෙන් කරපු ෆයිල් ඇතුලෙන් දාද්දි සමහර ළමයි ඇවිත් එබිලා බැලුවෙ තමන්ගෙ නම හරි සෙක්ෂන් එකට යනවද කියලා දැනගන්න.

මං එක ඇප්ලිකේෂන් එකක් අරන් බලද්දි ඒකෙ තෝරාගන්නා අංශය කියන තැන හිස්තැනක් තිබුණා. මේක පුරවපු එකාට මෙලෝ සිහියක් නෑ කියලා මං නම කියලා කෑ ගහන්න හදද්දිම කවුද කතා කලා.

"අයියෙ මේක කලා අංශයට දාන්න.."

මයිගෝඩ්.! ඒ අර සුදු නංගි.

"හරි නංගි, මං දාන්නම් ඔයා යන්න.."

මං ඉක්මනට එයාව යවාගත්තෙ ඒ ඇප්ලිකේෂන් එකේ විස්තර ටිකක් බලාගන්න.

නම : දුෂාන් සංජුලා මොරගොඩ
උපන්දිනය : මැයි 21

හැබැයි සුදූ, ඒ නම නං ඔයාට ගැලපෙන්නෙ නෑ කියලා මට නිකං  හිතුනා. ඒත් ඉතිං ගතිම වැඩේ කියන්නෙ අද මැයි විස්ස උන එක. ඒ කියන්නෙ හෙට ඔයාගෙ උපන්දිනේ නේ. අදට වඩා හෙට හොදයි කියනවනේ. අපි බලමුකෝ. ඒත් කවුද අප්පා අපි කොමර්ස් කරද්දි මේ රාණි මුකර්ජිව කලා අංශෙට දාලා හිත හදාගන්නෙ කොහොමද..? මං අර ප්‍රින්ටින් මිස්ටේක් එකක් උනා වගේ හෙමීට ඒක වාණිජ අංශය කියන ෆයිල් එකට දාලා වටපිට බැලුවා. අවුලක් නෑ කෙල්ල මාව විශ්වාස කරලා එතනින් ගිහින්. මගේ සීන් කෝන් එක දැක්කෙ ෂෝටා විතරයි.

"මාර පාර නේද බං..? "

ඌ ඒ ඇහුවෙ කෙල්ල ගැන.

"ඔව් බං, තාර පාර වගේ.. කිසි ඇදක් නෑ."

"දැන් එතකොට ඒකි හෙට ඉදලා කොමර්ස් ක්ලාස් එකේ.."

"ඇයිත් අහලා. පස්සෙ ඒකි මිස්ලාට කියලා ඕක හදාගනී. ඒත් ටික දවසක්වත් අපේ එකේ ඉදියිනේ.."

"ටික දවසක් ඉදලා ඒකි දිගටම කොමර්ස් කරන්න ඕනෙ කිව්වොත් මරේ මරු."

මූත් ඉදගෙන දවල් හීන දකිනවා. කොහොම හරි ඒ හීනෙ හැබෑ වෙනවානම් මාර ගති. කොහොමටත් සියළු සයන්ස් කාරයෝ නැසෙන සුළුය. නොපමාව කොමර්ස් කරන්න කියලා කතාවකුත් තියෙනවනේ.

අපි උදේ පීරියඩ් දෙකම වගේ හිටියෙ හෝල් එක ඇතුලෙ. එළියට ඇවිත් බලද්දි ගොඩක් අම්මලා තාත්තලා ගිහින්. ඒත් ඉතිං සමහර අය හරියට මොන්ටිසෝරියට ළමයි දාලා යන්න දුකෙන් ඉන්නවා වගේ තාම ගේට්ටුව ළග. යකෝ මෙහෙම පුරුදු කරගත්තොත් එහෙම මුං බැදලා යන දවසටත් අම්මලා තාත්තලා පස්සෙන් යයි.

දවල් වෙනකල්ම චාටර් කාපු අපි මොනවහරි ටිකක් ආමාශගත කරගන්න පංතියට ආවා. ඒ වෙද්දි අපේ කට්ටිය අළුත් නැවේ දිග පළල හොයාගෙන ඉවරයි.

"මචං ලස්සනම කෙල්ලො ටික ආර්ට් එකේ බං.."

නිරෝධගෙ ශෝක ජනක කටහඩ මුලින්ම ඇහුනා.

"ඒත් බං රාණි නං අපේ සෙක්ෂන් එකේ.."

ෂෝටා පැනලා දුන්නා.

"ඊයා බං මහ ගොඩේ නමක්නේ.. ෂුවර් එකටම ඒකි අනුරාධපුර, පොළොන්නරු පැත්තෙ ඩයල් එකක් වෙන්නැති."

අඩේ.! මූ හිතං ඉන්නෙ රාණි කියන්නෙ ඒකිගෙ ඇත්ත නම කියලා. ෂෝටා දෙකට නැමිලා හිනා උනා.

"ඒයි නිරෝධයෝ, රාණි කිව්වේ ඒකිගෙ නම නෙමෙයි බොල. රාණි කිව්වෙ රාණි මුකර්ජී කියන එක. ඒකි සිරාවටම ලස්සනයි."

"මචං අපේ සෙක්ෂන් එකටත් ඇවිල්ලා ඉන්නවා නිකං කාජල් වගේ දැක්කම ඇගපත මෙව්වා වෙලා යන කෙල්ලෙක්."

ඒක කිව්වෙ ආර්ට් එකේ ඉදං ආපු සාරංගයා. මෙහෙම යද්දි තව එකෙක් කියයිද දන්නෑ ප්‍රියංකා චොප්රත් ඇවිත් හිටිය කියලා. බලං යද්දි නිලියො සේරම ටික සෙන්ට්‍රල් එකේ. පිස්සු පීකුදු වෙනවා. අදනං කට්ටියට බඩගිනි නැති පාටයි.

                                       ******************************

ඊයෙ වගේම අපි සෙට් එක උදේම ඉස්කෝලෙට ආවෙ අද ඒ ලෙවල් මීටින් එක ලෑස්ති කරන එකටත් වඩා ඊයෙ ආපු කැකුලියො ටික උදේම බලාගන්න.

"රන්දු මට අර කෙල්ල ගැන දුකයි බං. පව් ඒකි උඹට හිතෙන් බැන බැන කොමර්ස් ක්ලාස් එකේ ඇති.."

ෂෝටා උදේම ඒ මතක් කලේ අපේ රාණි හෙවත් සුදු නංගිව. එතකොටයි මට මතක් උනේ අද මැයි 21 කියලා. 

"මචං අද එයාගෙ උපන්දිනේ. දෙමුද පොඩි ගේමක්..?"

අපිත් ඉතිං ඔඔය වගේ පොඩි පොඩි චාන්ස් මිස් කරගන්නෙ නෑනේ.

"උඹ කොහොම ඒක දන්නේ..?"

"ඇයි බං ඒක ඇප්ලිකේෂන් එකේ තිබුණනේ.."

"හරි හරි, උඹ තත්පරෙන් ෆෝල්ඩර් එකම කොපි පේස්ට් කරගත්තා වගේ. යමං යමං අපි උන්ගෙ පංති පැත්තෙන්ම මේන් හෝල් එකට යමු."

අපි දොළහ වසරෙ කොමර්ස් ක්ලාස් තුනම බලාගෙන ගියාට ඒ එකකවත් එයා හිටියෙ නෑ. ඇවිත් හිටපු ළමයිත් අවතාර දැකලා වගේ පුටුවල ඇලිලා බලාගෙන ඉන්නවා. අපිව දැක්ක සමහර අය ගුඩ් මෝනිං අයියෙ කියලා පටුවෙන් නැගිටලම කිව්වෙ ඊයෙ දැකලා පුරුදු නිසා වෙන්න ඇති. අනික ඉතිං ෂෝටයි මමයි හතරරියන් සහ දෙරියන් වගේ නිසා කොහොමත් මතක හිටිනවනේ.

"කෝ බං නෑනේ.."

ෂෝටා හතර වටේම කරකව කරකව හිටපු ඇස් දෙක මගේ දිහාට හරවලා කිව්වා.

"තව වෙලා තියෙනවනේ. ඒකි එයි බං.. යමු.. මෙලහකටත් අරුන් ටික මේන් හෝල් එකේ ඇති.."

අපි යද්දි කට්ටිය හයහත් දෙනෙක්ම ඇවිත් වැඩ. විහගයා නිරෝධ එක්ක පේළියට පුටු හදනවා. මහේෂයි ජනාලියි දෙන්න අතුගානවා. අපිත් ගිහින් මයික් සෙට් කරලා ස්ටේජ් එක ලෑස්ති කරන්න ගත්තා. පොඩි වෙනසකටත් එක්ක බැලුම්බෝල ටිකක් එහෙම පුම්බලා ක්‍රේප් පටි දාලා එල්ලලා තිබ්බෙ පොඩි ළමයි පිළිගන්න ඊට වඩා හොද විදියක් නැති නිසා. ඒ අතරෙ සාරංගයා දුවගෙන ඇවිත් නිරෝධට ඇහැක් ගැහුවා. මූත් එක පාරටම අතේ තිබුණ වයර් ටික බිම අතෑරලා දිව්වෙ අපි මූණට මූණ බලාගෙන ඉද්දි. මුන් දෙන්නගෙ මොකක් හරි සතරකන් මන්ත්‍රණයක් තියෙනවා කියලා තේරුන මං විහග එක්ක හෙමීට පස්සෙන් යන්න ගත්තා. මුන් කොහෙද අපේ කනෙන් රිංගන්න කියලා හිතලා දොර ළගට යන්න උනේ නෑ ප්‍රින්ස් ඇතුලට එනවා.

"ෂා නියමයි. කට්ටිය උදේම ඇවිත් වැඩේ ලස්සනට කරලා. එහෙනම් මේ මල් ටිකත් ඔයාලම ඇරෙන්ජ් කරන්නකෝ."

ප්‍රින්සිපල් පොඩි පංති වල නංගිලා දෙන්නෙක් ගෙනාපු මල් බෑග් ටිකක් අපිට දීලා මාරු උනා.

"බලපං ඉතිං.! අපි මේ ෂර්ලොක් හෝම්ස් වගේ පොඩි ගේමකට සෙට් වෙන්න හදද්දිම පරාල ඇනයක් සෙට් උනානේ.

විහගට තද වෙලා.

අන්තිමට ඉතිං සාරංගලා පස්සෙන් යන එක පැත්තකින් තියලා අපි ෆාම්ස් අතුයි ඇන්තූරියම් මල් ටිකයි ඇරේන්ජ් කරන වැඩේ බාර ගත්තා. බෙල් කරන්න විනාඩි පහක් තියෙද්දි අපේ වැඩ ඉවරයි. හෝල් එක ඇත්තටම ලස්සනයි කියලා හිතුනෙ දොර ළගට ඇවිත් බලද්දියි. වැඩේ ඉවර වෙද්දිම සාරංගයි නිරෝධයි කුටු කුටු ගගා එනවා දැක්කා. ඒත් එක්කම අපේ මිස්ලා අළුත් ළමයි කට්ටිය පේළියට එක්කගෙන ඇවිත් හෝල් එකේ ඉන්දෙව්වා. අපේ දහතුන වසරෙ කට්ටිය ඉදගත්තෙ පිටිපස්සෙන්. ඒ ලෙවල් ගුරුවරුත් ආවට පස්සෙ අපි රැස්වීම පටන් ගත්තා. ප්‍රින්සිපල් සර්ගෙ කතාව යන අතරෙ මම හෙව්වෙ බර්ත්ඩේ ගර්ල්ව. එයා හරි තැන්පත් විදියට සර්ගෙ කතාව අහගෙන ඉන්නවා. විශේෂාංග වටයෙදි හැමදාම පුරුදු විදියට මයික්‍රෆෝනය ආවෙ මගේ අතට."

"ඉතිං ආදරණිය සහෝදරවරුනි. අපේ විදුහල්පති ගුරු පියාණන්ගෙ හරවත් දේශනයෙන් ඔබ අපේ පාසල ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ඇති. අපි අද මේ රැස්වීම විශේෂයෙන්ම සූදානම් කලේ අපේම නංගිලා මල්ලිලා විදියට මේ විදුබිමට පා නැගූ ඔබ පිළිගන්නයි. ඉතිං අපි ඔබ වෙනුවෙන් කල මේ ඇගයිමට ඔබගේ දායකත්වය අප වෙත ලබා දෙන්න කියලා සහෝදරත්වයේ දෑත දිගුකර මං ඉල්ලා හිටිනවා. ඒ වෙනුවෙන් මියුරු ගීයකින් අප පිනවන ලෙස මං ආරාධනා කරනවා අද උපන් දිනය සමරන නවක සිසුවියක් වන දුෂානි සංජුලා නංගිට."

අපේ කට්ටිය කෑ ගහලා විසිල් පාරවල් දෙකතුනකුත් ගහලා සපෝට් එක දුන්නා. ප්‍රින්සිපල් සර්රුත් හිනාවෙවී බලන් ඉන්නවා.

හැබැයි සිංදුව කියන්න නැගිටලා ස්ටේජ් එකට ආවෙ අර සුදු නංගි නෙමෙයි. එයා ළග ඉදගෙන හිටපු මහත කෙල්ල. උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව මං ෂෝටා දිහා බැලුවා. ඌත් හරියට හොල්මනකට බයවෙලා වගේ. එතකොට ඇත්ත දුෂානි සංජුලා මෙයාද..? අර නංගි මගේ අතට දුන්නෙ එයාගෙ ඇප්ලිකේෂන් එක නෙමෙයිද..? මං එයා කියලා හිතල කොමර්ස් ක්ලාස් එකට දාගත්තෙ මෙයාවද..? මගේ ප්‍රශ්න තොගයක් මගේ ඔළුවෙ කැරකෙන්න ගත්තා. ෂෝටත් හරියට බහුවර්ණ ප්‍රශ්න පත්තරේ වගේ ප්‍රශ්න හතලියක් විතර මූණෙ තියන් අර මහත කෙල්ල දිහා බලන් ඉන්නවා. ස්ටේජ් එකට ඇවිත් මගේ අතින් මයික් එක ගත්තු එයාගෙ අත වෙව්ලනවා කියලා මට දැනුනා.

"නංගි ඔයාද සංජුලා..?"

මං සැකය නැති කරගන්න ඇහුවා. "ඔව්" කියලා හෙමීට කොදුරලා එයා සිංදුව කියන්න ගත්තා.

"තරුද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ.................."

සංජුලාගෙ ගීතවත් හඩ ශාලාව පුරාම රැව්දෙද්දි හිනාඋන අපේ කොල්ලො ටික මියට පිම්බා වගේ නිශ්ශබ්ද උනා. ඇත්තටම කෙල්ලගෙ පෙනුමට හිනාඋන එක ගැන මටම ලැජ්ජාවක් ඇතිවුනා. එයා ඒ තරමටම දක්ෂ කෙල්ලෙක්. ඒ අතරෙ සාරංග ඇවිත් මගේ අතට කොලයක් දුන්නා.

"මචං මේ අපේ සෙක්ශන් එකේ කාජල්. ඒකිවත් ගෙන්නපං.."

මං හෙමීට කොලේ ඇරලා බැලුවා. 'නෙත්මි අහිංසා ඉද්දමල්ගොඩ' මොනව උනත් සිරා නමක්. සංජුලාගෙ සිංදුව ඉවර උනාම මං ඒ නම කතා කලා. එතකොට නැගිට්ටෙ කාජල් නෙමෙයි. අපේ රාණි මුකර්ජි. දැන්නම් මගෙයි ෂෝටගෙයි මොලේ කොලොප්පං වෙන එක හොදටම ෂුවර්. බලාගෙන යද්දි සාරංග කියපු කාජලුයි අපේ රාණියි දෙන්නම එක්කෙනෙක්. පත්තරේ විස්තරේ පස්සෙ දිග අරින්න හිතාගෙන අපි සිංදුව අහන්න සෙට් උනා.

"අම්මාවරුනේ..... අම්මාවරුනේ......
 සම්මා සම්බුදු අම්මාවරුනේ............."

ඒ හඩ සංජුලාගෙ කටහඩටත් වඩා මාර ගති. එයා හරියන්නෙ කොමර්ස් වලට වඩා ආර්ට් වලට තමයි.

කොහොම හරි රැස්වීම ඉවර කරන්න උනේ මටත් සිංදුවක් කියන්න උනාට පස්සේ. ප්‍රින්සිපල් සර් මගේ නම කියලා කතා කලේ වෙනදටත් සමිතිවල වගේ සිංදුවක් අනිවාර්ය නිසා වෙන්න ඇති. මං කිව්වෙ අමරදේව මහත්තයගෙ සද තරු නිහඩයි කියන සිංදුව. පිටි පස්සෙම පේළීවල හිටපු අපේ කට්ටිය සිංදුවට තාලය සපයද්දි හැමෝම ඒකට එකතුවුණා.

"මචං උඹේ සිංදුව නම් මාර සිරා..."

විහගයා පංතියට යන ගමන් මගේ කරට අත දාලා කිව්වා. ඒත් ඒ වෙලාවෙම මගේ හිතේ තිබුණෙ සංජුලාගෙයි අර නංගිගෙයි නම් වල අවුල ගැන. මොනව උනත් උන් දෙන්නටම ලස්සනට සිංදු නම් කියන්න පුළුවන්. ඒක ඉතිං කිරි ගහට පොල්ලෙන් ගැහුවා වගේ බුදු ෂුවර්. මං ෂෝටා දිහා බැලුවා. මූත් හරියට අර අන්දරේ වගේ නිකටට අත තියාන කල්පනාව.

"මොකක්ද බං අර උන චාටර් සීන් එක..?"

මං උගේ ළගට ගිහින් හිමීට ඇහුවා.

"ඒයි රන්දු උඹලා කියපු අර රාණි මුකර්ජීද පළවෙනි සිංදුව කිව්වේ..? උඹ උපන් දිනයක් ගැනත් කිව්වේ. ඒකි නං නියම බැරල් බාගේ. ඒ වගේද අපේ අයිටම් එක, මාර කොලිටි. බෙස්ට් ෆිගර්.."

සාරංගයා හෙන සද්දෙකුත් දාගෙන පංතියට කඩාපාත් උනා. ෂෝටගෙ මූණ ඇඹුල් වෙලා. වෙච්ච සීන් එක මූට කියනවට වඩා හොදයි ඉරිදා පත්තරේට දාන එක. චාටර් අපිටම නිසා කතාව අනිත් පැත්ත ගහන එක ඇගට ගුණයි.

"නෑ බං ඊයෙ ආපු ඒ කෙල්ල අද ඇවිත් ඉන්නවා දැක්කෙ නෑ. සමහර විට ඊයෙම හැරිලා ගියාද කියලා කවුද දන්නේ.."

"අඩේ මල්ලි බොරු එපා නිකං.. නෙත්මි වගේ ලස්සන කෙල්ලෙක් වෙන එක පන්තියකටවත් ආවෙ නෑ. පුළුවන් නම් පෙන්නපං.."

සාරංග චැලේන්ජ් කරද්දිම අපේ පංතියට මිස් ආවා.

"ආ... මේ මොකද ආර්ට් එකේ ළමයි මේ පැත්තේ..?"

"සහෝදර ප්‍රේමයනේ මිස් දන්නෙ නැද්ද..?"

කියාගෙනම සාරංග මාරු උනා. හොද වෙලාවට මිස් ආවෙ. නැත්තං ඉතිං ඌ අපිව තවත් බයිට් කරනවා. කොහොම උනත් මේ කෙල්ලො දෙන්නම හම්බවෙලා මේ ගැටේ ලිහාගන්න ඕන.

"ළමයි උදේ පීරියඩ් දෙක තුනම මග ඇරුනා නේද..? කමක් නැහැ, ඔයාලා තමයි දැන් මේ ඉස්කෝලෙ ඉන්න ලොකුම ළමයි ටික. ඔයාලගෙ ඔලුවෙ ලොකු වගකීමක් තියෙනවා ඉස්කෝලෙ ගැන වගේම විභාගෙ ගැන."

මිස් කියද්දි විහග ඔළුව අතගානවා මං දැක්කා. ඌ හොයන්න ඇති ඔය කියන වගකීම කොයි හරියෙද තියෙන්නෙ කියලා.

"උසස් පෙළ පංතියෙ අවුරුද්දක්ම ගෙවිලා ඉවරයි. දැන් මේ ඉතුරු අවුරුද්දත් හොදට සැලසුම් කරලා පාඩම් කරන්න පටන්ගන්න. මං හිතන්නෙ මේ පංතියෙ කවුරුවත්ම නෑ විභාගෙ ෆේල් වෙන මට්ටමේ. ඒ නිසා ඔයාලා හැමෝම අධිෂ්ඨානෙ වෙන්න ඕනෙ සරසවි පිවිසුම. තේරුණා නේද..? දැන්ම ඉදලා කාල සටහනකට අනුව වැඩ කරන්න පටන් ගන්න. එතකොට විබාගෙ කිට්ටු වෙලා දුම් දාගෙන පාඩම් කරන්න ඕනෙ නැහැ."

අපේ..! මිස් පංතියට ආපු ගමන් දිගට හරහට දේශනේ. හැබැයි ඉතිං මිස් කියපු දේවල් සීයට සීයක් ඇත්ත. මීට වඩා උනන්දු වෙලා පාඩම් කරන්න ඕනෙ කියලා මටත් හිතුනා. අපි සෙට් එක හැමදාම හිතනවා කට්ටිය එකතුවෙලා පාඩම් කරන්න. ඒත් ඒක බාලගිරි දෝෂය වගේ තමයි.

ආර්ට් සෙක්ෂන් එකේ ඉන්න සාරංග, දිනූක, අචිනි, ජනාලි එහෙම එක වසරෙ ඉදලා අපේ පංතියෙ හිටපු කට්ටිය. කොයිතරම් මරාගත්තත් අපි අතරෙ වලි හරියට සෝඩා බෝතලේ ඇරියා වගේ තමයි. එකෙක්ට ප්‍රශ්නයක් උන වෙලාවට බොක්ක දෙන්න උනත් අනිත් කට්ටිය ඉන්නවා. අපේ පංතියෙ ඉන්න විහග, ෂෝටා, නිරෝධ සචිනි, මහේෂා සහ මම තමයි අපි දහදෙනාගෙ ඉතුරු ගැන්සිය. සෙක්ෂන් එක වෙනස් උනාට අපි තාම බුදු ෆිට්.

                                           ******************************

ගෙදර ඇවිත් නාපු ගමන්ම මට යකෙක් කන්න බඩගින්නක් ආවා. මං කොහොමත් වැඩ ගොඩක් කරන්න ඔලුවෙ තියාගෙන අද ආවෙ. ඒ නිසා ඉක්මනට කාලා පිගානෙ බත් කටක් විතර ඉතුරු කරලා ඒක ගිහින් කුස්සියෙන් තිබ්බා. ඒ වෙන මොකටවත් නෙමෙයි. පිගාන හෝදන්න තියෙන කම්මැලිකමට. නැතුව පිදුරුතලාගල වගේ බත් එකක් ගිලපු මට ඔය බත් කට මහ කජ්ජක්ද..?

උදේම මිස්ගෙ දේශනාව අහපු මට ඇත්තටම හිතුනා හොදට පාඩම් කරලා කැම්පස් යන්න ඇත්නම් කියලා. ඒකට ඉතිං මුලින්ම මේ යකා නටල තියෙන පොත් මිටි පිළිවෙලකට අස් කරලා මිස් කිව්වා වගේ පාඩම් කරන්න ටයිම් ටේබල් එකක් හදාගන්න ඕනේ. ඒති ඉතිං ඔය සේරටම කලින් ගිලපු බත් එක දිරවගන්න එපැයි. මම ෆෑන් එකත් දාලා ටිකක් ඇදේ ඇලවුනා.

"ඒයි නැගිටපං බං. මොකද මේ මහ දවල් කුම්භකරණයා වගේ නිදි.."

ඇස් ඇරලා බලද්දි ෂෝටා ඇදට පැනලත් ඉවරයි. අම්මපා මේ අපතයා නිදහසේ නිදියන්නවත් දෙන්නැති හැටි.

"මොකද බං ඉස්කෝලෙදිත් වද දීලා ගෙදර ඇවිල්ලවත් ඉන්න දෙන්නැද්ද..? උඹලගෙ ගෙවල් තෙමෙනවද..?"

මං තවත් කොට්ටයක් අරන් මූණ වහන ගමන් කිව්වා.

"ඒ රන්දු නැගිටපං. මං උඹේ රාණි මුකර්ජිගෙ ෆිල්ම් එකේ විස්තර හොයාගත්තා."

ඒක ඇහුවාම නම් මගේ නිදිමත ගියා. එතකොට අම්මා පැෂන් වීදුරු දෙකක් අරන් කාමරේට ආවා. ඒ කියන්නෙ මූ අම්මා ගාවටත් ගිහින් පොත අත්සන් කරලා ඇවිත් තියෙන්නේ.

"ඔන්න පුතාට රස්නෙයි කියපු නිසා මම කූල් එකක් හදාගනෙ ආවා."

අපේ අම්මා මට වගේම මගේ යාළුවො ටිකටත් හරි ආදරෙයි.

"ඒකනේ ඇන්ටි මූ ඉතිං ආපු වෙලේ ඉදලා කරන්නේ බනින එක. ඒත් ඇන්ටි අපිට සලකනවා කියලා අපි දන්නවා."

අප්පා.! මූ එනගමන් කඩේකට රිංගලා හෙන බටර් තලියක් ගෙනත් හෝ ගාලා උලනවා. අම්මා උගේ ඔලුවත් අතගාගෙනමයි ගියේ. පොර මගේ දිහා බලලා කොලර් එක උස්ස ගත්තා.

"මේකයි බං සීන් එක. අර සුදු කෙල්ල නෙත්මියි බැරල් බාගෙ හෙවත් සංජුලයි දෙන්නම හොදම යාළුවෝ. උන් කලින් ගිහින් තියෙන්නෙ රත්නපුරේ ඉස්කෝලෙකට. උන් දෙන්නම ඒ ඉස්කෝලෙන් සමත්සත ලංකා ගායනා තරග වලටත් ගිහින් තියෙනවා. කොහොම හරි නෙත්මි එයාගෙ ෆෝම් එක භාරදීලා තියෙන්නෙ කලා අංශය කියලා දාලා. ඒත් ඒකිගෙ යාළුවට ඒක දාන්න අමතක වෙලා. ඒකි උඹ ළගට ඇවිත් කලා අංශෙට දාන්න කියලා තියෙන්නෙ එයාගෙ ෆෝම් එක නෙමෙයි යාළුවගෙ ෆෝම් එක. උඹත් ඉතිං ගුලිය කාලා ලස්සන කෙල්ලව කලා අංශෙට දාලා බැරල් බාගෙ අපේ එකට ගත්තා."

මළකෙලියයි එහෙනං ඒක තමයි මේ වැඩේ චකබ්ලාස් වෙලා තියෙන්නෙ. ඒත් මූ කොහොමද මේ විස්තරේ මේ තරම් හොදට හොයාගෙන තියෙන්නේ..

"දැන් සීන් එක හරිනේ මල්ලී.. දැන් උඹ අහන්න යන්නෙ මං මේක දැනගත්තෙ කොහොමද කියලනේ..?"

මූට නම් දිවැස් තියෙනවා. ඇග පොඩි උනාට මොලේ පොඩි නෑ.

"එහෙනං ඉතිං අගේ නොකර කියපං.."

"උඹ දන්නවනේ අපේ චූටි නැන්දගෙ දුව පවිත්‍රා. මේකිත් ඒ ලෙවල් වලට අපේ ඉස්කෝලෙට රිංගලා. එයත් ආර්ට් ක්ලාස් එකේ. මං දැන් එන ගමන් එහෙ ගියා. ඒකි මගෙන් අහනවා අපි කොහොමද නෙත්මිට සිංදු කියන්න පුළුවන් කියලා දැනගෙන එයාව ස්ටේජ් එකට ගෙන්නුවෙ කියලා."

"ඒ කියන්නෙ උඹලගෙ නංගි ඉන්නෙ නෙත්මිගෙ පංතියෙද..?"

"ඔව් බං.. කෙල්ල අඩනවලු එයාගෙ පොඩිකාලෙ ඉදලා හිටපු යාළුවව කොමර්ස් ක්ලාස් එකට දාලා කියලා. ඒ විතරක් නෙමෙයි. ඒකි කිව්වලු අර අමරදේවගෙ සිංදුව කියු අයියා තමයි ඒ වැරැද්ද කරලා තියෙන්නෙ කියලා."

මිල්ක් ෆාදර්ට ඩෝග්ස්ලා බාකිං කිව්වලු. බලපං මේ කෙල්ල මාව පාවලා දීලා තියෙන කැත විතරක්. මට වැරදිලා යාලුවව දාලා එහෙම අඩනවා නම් කොමර්ස් ක්ලාස් වලට දැම්මනං කොහොම වෙයිද..?

"උඹලගෙ නංගිත් ඒ පංතියට වැටුණු එක එළකිරි මචං. දැන් ඉතිං අපිට ඒකිගෙ නිව්ස් ගන්න පුළුවං සිං සිං ගාලා."

"අනේ පලයන් බං යන්න. උඹ නම් කියයි. මෙච්චර කාලයක් මගේ තිබ්බ ස්වෛරීභාවය දැන් ඉතිං කම්බස්. අපේ හැම මගෝඩි වැඩක්ම මේකි ගෙදර ගිහින් චූටි නැන්දා එක්ක කියයි."

කතාව නං ඇත්ත තමයි. ඒත් මට ඒකෙන් ආබාධයක් නැහැනේ. අනික මූට කුඩු වෙන්න තරම් කාඩ් එකක් තියෙන එකක්යෑ.

"ඒක නෙමෙයි බං අපි මෙහෙම හැමදාම පිස්සු නටලා හරියන්නෑ. අපි සෙට්එක එකතුවෙලා පාඩම් කරමු. අපිට සචිනිලව ගන්න බැරි උනත් අනිත් කට්ටිය හරි එයිනේ.. උඹ මොකද කියන්නේ..?"

මං පොඩි සීරියස් කතාවක් දැම්මා ෂෝටගෙ අදහස් දැනගන්න. පාඩම් කිරිල්ල කෙසේ වෙතත් අපේ කට්ටිය සෙට් කරගන්න එක නම් ඒ තරම් අමාරු වෙන්නෑ.

"ඕක ඉතිං  හැමදාම ගහන බයිලාවනේ.. අපි සෙට් උනාට කවද්ද පාඩම් කලේ..?"

"ඒක නිසා තමයි ගොනෝ කිව්වෙ දැන්වත් පාඩම් කරමු කියලා.."

"හරි හරි උඹලා මොකටද ගොන්නු එක්ක පාඩම් කරන්නේ.. ඕන මගුලක් කරගනින්.. මං එන්නෑ..."

"උඹ නැතුව කොහොමද බං මගුල කරන්නේ, එතකොට ලකවුද මගේ පේජ් බොයිට ඉන්නේ..?"

ෂෝටගෙ රතු කට්ට පන්නන්න හිතාගෙන මං කිව්වා. ඌ හරිම අකමැතියි ඌ පොඩියි කොටයි කියලා කියනවට. ඒත් ෂෝටා කියන නමටනං ඌ දැන් පුරුදු වෙලා.

"අනේ පලයං පොළොස් කොට්ටෝරුවා යන්න. බලපං මං කවදා හරි බාල්කෙ එල්ලිලා හරි උස යනවා."

පොඩි එකාගෙ හිත රිද්දන්න හොද නැති නිසා මං කට වහගෙන හිටියා. කොයි තරම් තද උනත් මූ ගියේ අපේ අම්මා හවස දීපු වැලිතලප වලටයි, තේ එකටයිත් වැඩේ දීලා.

                                         *****************************

ෂෝටා ගියාට පස්සෙ මං කාමරේ අස්කරන්න පටන්ගත්තා. පොත් මේසේ ඇදලා දාලා තිබුණ නිසා පොත් ටික පිළිවෙලකට අස් කරලා පොත් බෑග්, සපත්තු එහෙම රැක් එකේ තට්ටු වල වෙන වෙනම තිබ්බා. මගේ කාමරේ අනිත් කාමර වලට වඩා ටික්ක ලොකු නිසා ඕන දෙයක් හිතේ හැටියට එහෙමෙහෙ කරන්න ඉඩ තියෙනවා. වෙනසකටත් එක්ක ඇදත් පැත්ත මාරු කලා. අමාරුම වැඩේ තමයි ඇදුම් රැක් එක අස් කරන එක. සති ගානක් ඇදපු ඩෙනිම්, ටී ෂර්ට්, ජොක්ස්ලා තාම රැක් එකේ. හෙට නිවාඩු නිසා මේ ටික අපේ අක්කණ්ඩිට කියලා හොදලා දාගන්න ඕනේ. කිලුටු ඇදුම් සේරම ටික ගිහින් රෙදි බේසමට දාලා ආවට පස්සෙයි මෙච්චර දවසක් කාමරේ තිබුණ මගේ ජීවන ගද අඩුවෙලා ගියේ. ඇදට අළුත් බෙඩ් ෂිට් එකක් දාලා, කාමරේ අතුගාලා ඉවර වෙද්දි ලොකු කුණු ගොඩක් එකතුවෙලා තිබුණා.

"ආ.... හලෝ මොකක්ද මේ සැබෑ වෙනස..?"

අක්කා කාමරේට ආවෙ මම සේරම අස් කරලා ඉවර උනාට පස්සේ.

"මේකනේ සහෝදරී, අද ඉදලා ඔයාගෙ මල්ලි ගේමට බැස්සා. ඒකට ඉතිං පොඩි සපෝට් එකක් ඕනේ."

"මුලින්ම කියනවා මොකක්ද ඔය බැහැපු ගේම කියලා.."

"අපි මේ පාර ඒ ලෙවල් ලියන කොල්ලොනේ හලෝ.. ඒ නිසා අපි කට්ටිය කැම්පස් ගේමට බැහැලා ඉන්නේ.."

"ෂා......... අහන්නත් සතුටුයි. දැන් මොකක්ද ඕන සපෝට් එක කියන්න. මගේ මල්ලි කැම්පස් යනවා නම් මම ඕනම සපෝට් එකක් දෙන්නම්."

අක්කා ඒක කිව්වෙ බොක්කෙන්ම කියලා මං දන්නවා. මට ඉස්සර ටොකු ඇන ඇන පාඩම් කියලා දුන්නෙත් එයා. අනික අද එයා පාසල් ගුරුවරියක්. හැබැයි තාම පොඩි එකෙක් වගේ. කොටින්ම පිස්සු කෝච්චියක්.

"දැනට ඕනෙ එක උදව්වයි. හෙට නිවාඩු නිසා මගේ අර රෙදි ටික හෝදලා දාන්න පුළුවන්ද..?"

මං රෙදි ටික කියලා කිව්වෙ අක්කා ඒ දන්නැති නිසා. දැක්කනම් අහයි ඒ රෙදි කන්දට ටික කිව්වෙ ඇයි කියලා. මොනව උනත් දැන් ඒ වැඩෙත් ෂේප්. එයාෆ්‍රෙෂ්නර් බෝතලේ ගෙනත් අක්කා කාමරේ වටේටම ස්ප්‍රේ කලා.

"ඔන්න ලස්සන වෙලා විතරක් මදි. හඩු ගද යන්නත් එක්ක මේක කාමරෙන්ම තියාගන්න."

එහෙම කියලා අලුත්ම බෝතලේ මගේ අතට දීලා ගියා. මේක අක්කා ගිය සතියෙ ගෙනාපු එකද කොහෙද. එයා පව් කියලා මට හිතුනා.

ටයිම් ටේබල් හදලා පාඩම් කරන්න කිව්වට අපි කවදාවත් ඒ විදියට වෙලාවට පාඩම් කරන්නෙ නැති නිසා මං ඒ අදහස අතෑරලා දැම්මා. බොරුවට කොලේකට විතරක් සීමා උන කාල සටහන් නැතුවට පුළුවන් හැම වෙලාවකම පාඩම් කරන්න ඕනෙ. දැන් තියෙන්නෙ ගේම පටන් ගන්න එක විතරයි.

"පොඩි පුතා..... ඔයා වැඩක්ද..?"

තාත්තා එහෙම අහගෙන කාමරේට ආවා..

"ෂා... නියමයිනේ.. ඔයාටත් පිළීවෙලකට වැඩක් කරන්න හිතිලා වගේ.."

තාත්තා කාමරේ වටේම බලලා පොඩි නෝන්ඩියක් දැම්මා. මං කොච්චර පිළීවෙලවට වැඩ කලත් එයා කවදාවත්ම ඒකෙ පිළීවෙලක් දැක්කෙ නෑ. හැමදාම කිව්වෙ ඇදක්ම තමයි. හැබැයි අම්මා නං කිව්වෙ තාත්තා එහෙම කරන්නෙ තරහට නෙමෙයි මාව හදන්න කියලා. අපේ තාත්තා නං ඇත්තටම මං වගේ නෙමෙයි. මාර නීට්..

"මේක අද මට බැංකුවෙන් හම්බ උනා. ඒත් මේක ඔයාගෙ ජාතික ඇදුමෙ අනිවාර්ය අගයක් නිසා ඔයාට තමයි හොද.. ආ...."

එහෙම කියලා මගේ අතට දුන්නෙ එළකිරි වගේ ගති කැප් එකක්. ඒක දිලා තාත්තා යන්න හදලත් දොර ගාවට ගිහින් ආපහු හැරිලා බැලුවා.

"පොඩි පුතා පිස්සු නැටුවට කමක් නෑ. කොල්ලො උනාම දග නැත්තං ඒ ලෙඩක්. ඒති විබාගෙ අනාගන්න එපා. ඔයාට මොනවා හරි ඕනෙනං මට බැරිනං අම්මට හරි කියන්න. ඔයා කවදහරි මටත් වඩා ඉහළ තැනකට යනවා බලන්නයි මට ඕනේ."

තාත්තා අන්තිම ටික කිව්වෙ හරිම හැගීම්බර හඩින්. එයා බැංකුවක මැනේජර් කෙනෙක්. ඒ නිසා අපිට පොඩි කාලේ ඉදලා කිසිම දේක අඩුවක් කලේ නෑ. මං තාත්තට වඩා ඉහල තැනකට යන්න විභාගෙ හොදට පාස් වෙන්නම ඕනෙ. බැරි වුනොත් නම් එඩ්මන් හිලරි වගේ එවරස්ට් නගින්නවත් යන්න වෙනවා. මොකද අපේ තාත්තා සිරීපාදෙට වඩා ඉහළ තැනකට ගිහින් නෑ.  



                   

1 comment:

  1. නෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ
    මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගේ බාලේ .. Lassanayi kathawa.. iskole giya kale mathak wuna..

    ReplyDelete