Friday, March 23, 2012

| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






"කාංචන සර්ට ලොකු මහත්තයා එන්න කිව්වා..."

කාර්යාලයේ පඩිපෙල නගිනවාත් සමගම මගේ ඉදිරියට ආ බන්දුල කීවේය. කලින් දවසක ඔහුගේ වෑන් රථය අනතුරට පත්වී තිබියදීත් මාත්, පුබුදුත් ඔහුට කළ උදව්ව නිසා එතැන් සිට මා කෙරෙහි වඩාත් ලෙංගතුකමක් බන්දුල දක්වන්නට විය.


"හදිසියක්ද බන්දුල..?"

"හිටපු මූඩ් එක නම් ඒ තරම් හොද නෑ.. කෝකටත් ටිකක් පරිස්සමින් කතාබහ කරන්න.."

"ඇ.. ඇයි බන්දුල..?"

පපුවේ තිගැස්ම හෙමින් සීරුවේ වැඩිවෙද්දී මම බන්දුලගේ අතකින් අල්ලා ගත්තෙමි. මේ වෙන්නට යන්නේ කුමක්ද..? 

"උදේම මොකක්දෝ එහෙකට ජයන්තට කෑගහලයි ඉන්නේ.. ඊයෙ නුවරඑළි යවපු බතික් ඕඩර් එකක් කම්පැනි එකෙන් බාරගත්තෙ පරක්කු වෙලාලු.."    

"පරක්කු වෙලා කියන්නේ..?"

"නෑ ඉතිං.. කන්ඩෙම් කරලා වගේ කතා කරලයි අරගෙන තියෙන්නේ.. මං හිතන විදියට තවත් කවුරු හරි මේ ෆිල්ඩ් එකට බැහැල තියෙන පාටයි. බැහැල තියෙන කෙනා කවුරු වුණත් අපිට මිනිහත් එක්ක හැප්පෙන්න වෙනවා.."

"ඒ කියන්නෙ අලුත් ඩිසයිනර් කෙනෙක්..?"

"මට හිතෙන විදියට නම් ඔව්.. කාංචන මහත්තයා මෙහේ ඩිසයිනින් කරන හිදනයි මං අරහෙම කිව්වේ.."

කියූ දේවල්වලට බන්දුලට ස්තුති කරමින් මම කාර්යාලීය කාමරය තුළට ආවෙමි. ඇතුළු වන විටම මට දැනුණේ දිනූකා මිස්ගේ ඇගේ ගල්වන විලවුන් සුවදයි.. හරියට මේ දැන් තත්පරයකට දෙකකට කලින් ඇය කාමරය තුළ සිටියාක් වැනිය. මම හෙමින් සීරුවේ කාමය අවට දෑස් යැවුවෙමි. කෙමෙන් අඩුවීගෙන යන විලවුන් සුවදත්, ඇල්පෙනෙත්තක් බිමට වැටුනත් ඇසෙන නිහැඩියාවත් හැරුනු විට මා දැකි අලුත් දෙයක් නම් නැත. මෙය නම් ඇත්තටම මහා පුදුමාකාර දෙයකි. මා මේ කාමරයට එන්නට පෙර කාමරය තුළ සිටි දිනූකා මිස්, මා කාමරයට ඇතුළු වන විටම කාමරයෙන් අතුරුදන් වන්නට ඇත. තවමත් යාන්තමින් දැනෙනා, මේ සිත මන්මත් කරනා විලවුන් සුවද නොකියා කියන්නේ එයය.

අලුතින් රැගෙන ආ පින්සල් දෙක මේසය මත තබා මම ආපසු හැරුණෙමි. මැණික්දිවෙල මහතාව මේ දැන්ම හමුවීමට යා යුතුය. මනස්ගාත ගැන සිතා ලතැවී ලැතැවී හිදින මොහොතේ ඔහු මාව රස්සාවෙන් අස් කර දමන්නට වුවත් බැරි නැත. තවත් වරක් හැරී කාමරය සිසාරා බැල්මක් හෙලූ මම කාමරයෙන් පිටවුනෙමි. ඒ පිටවන මොහොතේද කවුරුන් හෝ කාමරය තුළ ඇතැයි මගේ සිත මොරගා කියයි. එසේ හිදිනා පුද්ගලයා දිනූකා මිස් හැරුනු කළ වෙන කිසිවෙකුත් නොවන බම මම දනිමි. එහෙත් දෑසට නොපෙනී මගේ සිතට පමණක් දැනෙනා ලෙසය ඇය හිදින්නෙ කෙසේද..?

"කාංචන තවත් පරක්කු උනා නම් මම රූම් එකට එන්නයි හිටියේ.."

මා දුටු විගසම තමා ඉදිරිපිට පුටුවෙන් වාඩිවෙන්නැයි අතින් සන් කරමින් මැණික්දිවෙල මහතා කීවේය.

"සමාවෙන්න සර්..."

මම ඉතා යටහත් පහත්ව කීවෙමි. කිසිදු නිශ්චිත අරමුණක් නොමැතිව දිවි ගෙවූ මා වැනි අසරණයෙකුට ජීවිතයේ ඉහළට නගින්නට අවැසි දිරිය ලබා දුන් උතුම් පුද්ගලයා මොහුය. මොනවා කීවත් අහගෙන, දරාගෙන හිදිනවා යැයි මම සිතා ගත්තෙමි.

"නෑ.. නෑ.. නෑ.. ඒකෙ ප්‍රශ්නයක් නෑ.. කාංචන දන්නවද මං කාංචනට එන්න කිව්වෙ ඇයි කියලා..?"

"න.. නෑ.. සර්.."

බන්දුල කියූ ආකාරයේ රළු බවක් නම් මම මැණික්දිවෙල මහතාගෙන් නොදැක්කෙමි. ඔහු කතා කළේ අතිශය ලෙංගතු ආකාරයටය. මගේ සිතේ මුලින් තිබූ බිය කෙමෙන් කෙමෙන් සිදී යනු මට දැනිණි.

"මේ වෙනකොට අපේ බතික් තිර රෙදි වල මාකට් එක ටිකක් බැහැලා. මං ඒ ගැන විශේෂයෙන් හොයලා බැලුවා. බැහැයි ඉතිං බලන් ගියාම අපිට කරන්න වැඩි දේකුත් නෑ. ඩිංගක් ඔලුව පාවිච්චි කරලා ආයෙත් ඕඩර් ටික අල්ලගන්නයි තියෙන්නේ.."

"මං මොනවද කරන්න ඕනෙ සර්.. මේ ආයතනයෙ දියුණුව වෙනුවෙන් මං ඕන දෙයක් කරන්නම් සර්.."

මැණික්දිවෙල මහතාගේ මුවේ මද සිනාවක් ඇදී මැකී නොපෙනී ගියේය. ඔහුගේ තියුණු දෑස මගේ මුළු මුහුණම පිරික්සන්නට විය.

"කාංචනගේ වචනය ගැන මට හුගක් සන්තෝසයි. මගේ දුව, ඔයාව නිතර නිතර ගැරන්ට් කරන්නේ, එහෙනම් මෙන්න මේ වගේ හොද කොලිටීස් ඔයා ලග තියෙන හින්දා වෙන්නැති. කාංචන දන්නවද මගේ දුව, මේ ආයතනයේ වැඩ කරන සේවකයන්ගෙන් කැමතිම කෙනා කවුද කියලා..?"

"න්... නෑ.. සර්.."

"වැඩිය ආඩම්බර වෙන්නෙපා.. ඒ පුද්ගලයා ඔයයි කාංචන.. ඔයාව මේ ආයතනයේ තවත් ඉහළට ගන්න ඕන කියලා දුව ඊයෙත් මගෙත් එක්ක කතා බහ කළා. අපි තව ඉස්සරහට ඒවා ගැන බලමුකෝ.."

මේ නම් කවර පුදුමයක්ද..? ඇසෙන ඇසෙනා වදනින් මා විස්මයට පත්වෙයි. දිනූකා මිස් ගෙදර ගොසිනුත් මා ගැන කතාබහ කරනවා කියා මා කෙසේ නම් සිතන්නද..? කාර්යාලීය කාමරයේ ඇය මා හා ගත කරන්නේ රංඩු සරුවල් වලින් පිරී ගිය, සිත අනන්තයටම කලකිරවන තාලේ  හැසිරීමකිනි. කොටින්ම මා සිතා සිටියේ ඇයට මා පෙන්නන්නට බැරි බවකි. එහෙත් දැන් මේ සිදුවී ඇත්තේ කුමක්ද..?

දිනූකා මිස් මොන වගේ තරුණියක්දැයි මට හීනෙකින්වත් සිතා ගැනීඹට පුළුවන් වන්නේ නැත. සිංහල අකුරු වලින් සෑදිය හැකි සියලුම පහත් වචන වලින් මට දමා ගසන ඇය,  ඉන් අනතුරුව මාගේ අභිවෘර්දිය තකා තම පියා සමග කතාබහ කරනවා යැයි විශ්වාස කරන්නේ කෙසේද..? මෙය නම් අනෙකුත් ප්‍රශ්න සේම සිත අවුල් කරන තාලේ අමතුම එකකි. උත්තරයක් පෙනෙනාතෙක් මානයේ නැති මහා අප්‍රභංශයකි.

"මං කියන්න ගියේ මේකයි කාංචන.. අපි අපේ බතික් ඩිසයින් වල මෝස්තර ආයෙත් අලුත් කරන්න ඕන.. පරණ ඒවයෙ කැටලොග්ස් ටික එහෙම්ම තියෙන්න ඇරලා අපි අදම අලුත් ඒවා ටිකක් පටන් ගමු.."

"හොදයි සර්.. මං අදම වැඩේ පටන් ගන්නම්.."

"ඔව්.. මට වැඩේ ඉක්මනට කරලා ඕන.. ඒ වගේම තවත් දෙයක් තියෙනවා.."

මා පුටුවෙන් නැගී සිටින විට මැණික්දිවෙල මහතා මවෙතට හැරුණි.

"දිනූකා මිස් ලේසියෙන් කෙනෙක් ගැන ගැරන්ට් කරන්නෑ.. මට කාංචන ගැන හරි ආඩම්බරයි.. මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කළොත් කාංචනට තවත් ඉහළට යන්න පුළුවන් වේවි."

"තැන්ක් යූ සර්..."

මැණික්දිවෙල මහතාගේ කාමරයෙන් මා එළියට පැමිණියේ සිහිනයක් දකිනවා වැනි හැගීමකිනි. සමහර විට මගේ නරක කාලය දැන් අවසන් වී යනවා විය යුතුය. මේ ආයතනයට පැමිණි දා පටන්, දින හත අටක් හැරුණු කළ අනෙක් දියලුම දවස්  මා සිටියේ සිත රිදවගෙනය. කොටින්ම දිනූකා මිසගෙන් කුමන හෝ බැනුමක් අසාගෙනය.

ඒත් ඊයෙන් පසුව ඒ  හැමදේම වෙනස් වන්නට ඇත. දිනූකා මිස් ඊයේ මා සමග ගත කළ අවසන් විනාඩි කිහිපයේදී හැසිරුණු ආකාරය, මගේ සිතේ යම්කිසි සොදුරු හැගීමක් ඇති කරවයි. ඒ වාගේ සොදුරු රුවැත්තියකට හරියන්නේ ඒ වාගේ අහිංසක හැසිරීමක්ය. එසේත් නැතිව අම්මා මෝ නැතිව බැණගෙන බැණගෙන යන තාලේ පහත් හැසිරීමක් නම් නොවේ. කලන්තය සෑදී මාගේ දෑත මතට ඇද වැටුණු පසු ඒ මුහුණේ තිබූ අවිහිංසක පෙනුම මා මෙතෙක් දුටු කිසිදු තරුණියක වෙතින් දැක නැත. සමහර විටෙක ඒ පෙනුම දිනූකා මිස්ගේ සැබෑ මුහුණුවර වෙන්නට ඇත..

ඇය, මා ඉදිරියේ මේ දමා සිටින්නේ අලි පත වෙස්මුහුණක් වන්නට ඇත. දිනූකා මිස් කාර්යාලය තුළදී මගේ මුහුණට මොනවා කීවත්, මා නැති තැන මාව වර්ණනා කර ඇත, මට ඉහළ තනතුරක් ලබාදිය යුතු යැයි යෝජනා කර ඇත. දුකින්ම පිරී ගිය මගේ අන්ධකාර ජීවිතයට එම යෝජනාව පවා මහා සැනසුමක් නොවන්නේද..? මට සැනසීමට මේ කාරණා වැඩිත්තෙක්ක යැයි සිතන්නට බැරිද..?

කල්පනා ලෝකයේ අනන්තයටම කිමිද ගොසින් මා කාර්යාලය තුළට ආවේ සිත්පිත් නැති රූකඩයක් මෙනි. අද ඔෆිස් එන්නෑ, ආයෙත් කවදාවත් එන්නෑ කියා දිනූකා මිස් ඊයේ කියා ගියාට ඇය දැන් පැමිණ සිටිනු ඇත. මෙතෙක් කල් මවෙතින් දැන හෝ නොදැන සිදුවූ වැරදි වලට ඇය වෙතින් සමාව ඉල්ලිය යුතුය. ඇය, මගේ සතුරෙකු ලෙසින් මා සිතා සිටියද මා ගැන ඇය සිතා ඇත්තේ ඊට වඩා හර්දයාංගම ආකාරයෙන් යැයි මට සිතෙයි. මා ඇයට කොතෙක් නම් දේවල් කීවාද..?

කාමරය තුළට ඇතුළු වන විමට මගේ දෑස දුව ගියේ දනූකා මිස්ගෙ ලොකු පුටුව වෙතයටය. මෙතෙක් වේලා මහා විශාලෙට පිම්බී තිබූ හුළං ගිය යෝධ බැලුනයක් පරිද්දට මගේ සිත හැකිලී ගියේය. එතැන මා බලාපොරොත්තු වූ සොදුරු රූපය නැත. එසේ නම් ඇය කියූ ආකාරයටම නෑවිත් සිටින්නට උත්සාහ කරනවාද..? එය එසේ වුවහොත් මේ ආයතනය මා හට පට්ට පාලු තැනක් වනු ඇත.

බැණ වදින්නට හෝ ඇය මගේ ඉදිරියේ සිටිනවා නම් කොතරම් හොදද..? බොහෝ වේලාවට අපි දෙදෙනා එකිනෙකා දෙස හොරැහින් බැලීමට පුරුදු වී සිටියෙමු. එසේ බලන්නට ගොස් අතටම අසුවූ අවස්ථාද එමටය. එවිට මගේ මුහුණටම මොනවද බලන්නේ කියාල අසන්නට ඇය පුරුදුව සිටියාය. හරි නම් මාත් ඇසිය යුත්තේ ඒ පැනයම නොවේද..?

දිනූකා මිස්ගේ විළවුන් සුවද පමණක් යාංතමට කාමර තුළ පැතිර ඇත. එහෙත් මම ඒ ගැන සිතන්නට නොගියෙමි. සුවද දැනුණාට ඇය කාමරය තුළ සිටින්නට විදියක් නැත. හිදිනවා නම් මට පෙනෙන්නට ඕනෑය. එසේ මට නොපෙනී හිදිනවා නම් ඇය නොපෙනී හිදිමින් අවට සැරිසැරිය හැකි පිටසක්වල ජීවියෙක් වත් විය යුතුය.

සිතට තත්පරෙන් තත්පරේ එබුණු පාලුවක් වැනි හැගීමද, මොකක්දෝ ලොකු අඩුවක් ඇති බැව් දැනෙනා හැගීමද මගේ සිත කාන්සයෙන් බර කරවයි. ඒ කාන්සිය පිටින්ම මැණික්දිවෙල මහතා කියූ වැඩය කරන්නට පටන් ගතිමි. හැමදේම පැත්තකින් තබා රාජකාරිය අකුරට කළ යුතුය. එය පැහැර හැරියොතින් මට යන එන මං පවා නැතිවනු ඇත. බැණුම් අසාගෙන හෝ මා හට දිනූකා මිස් ළගින් ඉන්නට හැකිවී ඇත්තේ මේ රස්සාව නිසාය.

මම කොතෙක් වේලා මේසයට බරවී බතික් මෝස්තර ඇන්දාදැයි නොදනිමි. දිනූකා මිස් ඇග ගල්වන විළවුන් සුවද ටිකෙන් ටික වැඩිවෙමින් කාමරය පුරාම පැතිරි යන්නට විය.  හිතේ වූ සැකය නිසාම මම හෙමින් සීරුවෙ ඔලුව උස්සා කාමරයේ දොර දෙස බැලුවෙමි. එතැන කිසිදු වෙනසක් නැත. අනතුරුව මා බැලුවේ දිනූකා මිස්ගේ රාජකාරී මේසය දෙසය. දුටු දෙයින් මම තක්කු මුක්කු වී ගියෙමි.

ලොකු කුෂන් පුටුව මතට වී මදෙස කන්නට මෙන් බලා සිටියේ දිනූකා මිස්ය. දෙවියනේ.. ඇය කුමන වේලාවක කාමරය තුළට ආවාද..? අඩුම ගණනේ දොර ඇරී වැහෙනවාවත් මට ඇහුනේ නැත. මෙය නම් කෙසේවත් සිදු වන්නට බැරි දෙයකි. ඇය මේ දොරින් කාමරයට ආවා නම් අනිවා මගේ දෑසට හසුවනු ඇත. මා මොන කල්පනාවක සිටියත් මගේ දෑස තිබුණේ දැඩි විමසිලිමත් බවකින් බැව් මට විශ්වාසය. එය එසේ වූ කල අහසින් පාත්වූවාක් සේ දිනූකා මිස් කාමරයට ආවේ කෙසේද..? මෙයට පෙර අවස්ථාවලදී සේම දැනුත් මගේ සිතට ආ එකම ගැටලුව එයයි.

මම මේසය දෙස බැලුවෙමි. මැණික්දිවෙල මහතා හමුවීමට යාමට පෙර, මම පාවිච්චි කරනා හොද වර්ගයේ පින්සල් දෙක මේ මේසය මත තබා ගියෙමි. එහෙත් දැන් ඒ පින්සල් දෙක මේසය මත නැත. දිනූකා මිස් දෙස හොරැහින් බලනා ගමන් මම කල්පනා කෙරුවෙමි. මගේ මතකයේ හැටියට මා මේ කාමරය තුළට, මැණික්දිවෙල මහතා හමුවී නැවත පැමිණෙන විටත් පින්සල් දෙක මේසය මත තිබුණේ නැත. ඒ කියන්නේ මා කාමරයට පැමිණෙන්නට පෙර කවුරුන් හෝ පින්සල් දෙක ගත් බවය. සමහර විටක ඒ දිනූකා මිස්ම වන්නට ඇත. එහෙත් ඇය මේ කාමරයට ආවේ මා දැන් පැමිණියාඉන් පසුවය. එසේ නම් පින්සල් දෙක ගත්තේ වෙන කවුරුන් හෝ වන්නට පුලුවන.

"මිස් ආවෙ දැන්ද..?"

සිතේ වූ සියලුම දෑ පසෙක තබා මම දිනූකා මිස්ට කතා කෙරුවෙමි. ඊයේ දහවලින් පසුව ඇය මා වචනයක්වත් කතා කරන්නට හැකියාවක් ලැබුණේ නැත. ඇය මේ කාමරය තුළ කතා නැතිව හෝ රැදී සිටිනවා න් ඒත් මගේ සිත කැමතිය. ඇය නැති තැන මට දැනෙන්නේ මහා පාලු ගතියකි. කිසිදු වැඩක් හෝ නිසියාකාරව කර ගත නොහැකි බවකි.

ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් නොලැබුණු නිසාවෙන් කුමක් හෝ අවුල් වී ඇති බවක් මගේ සිතට දැනුණි. මම වඩාත් පරික්ෂාකාරීව ඇය දෙස බැලුවෙමි. බටර් පැහැ ගත් සොදුරු මුහුණේ මහා කෝප කලු සෙවනැලි ඇදී තිබෙනු දැක මම වෙව්ලා ගියෙමි. දෙවියනේ.. ඇයට මේ සිදුවන්නේ කුමක්ද..? ඊයේ මා සමග කතාබහ කළ අවසන් වචන ටිකෙන් ඇයගේ සිත කොතරම් අහිංසක දැයි දිනූකා මිස් නොකියා කීවාය.

"මං ආපු වෙලාව තමුන්ට මොකටද..?"

ඒ වචන වෙඩි උන්ඩ මෙනි. වැදුනු ගමන් මුලු හිතම පුපුරා යයි. ඇයට මා නැවතත් තමුන් වෙලාය.

"මං මෙතන ආර්ට් වර්ක් කරන පින්සල් දෙක තිබ්බා. ඒක දැන් නෑ මිස්... මං ඒකයි එහෙම ඇහුවේ.."

බරාස් ගා පුටුව පසෙකට ඇද දමමින් ඇය නැගිට්ටාය. මා දවා අලු කළ හැකි තරමේ කේන්තියක් ඒ රූමත් මුහුණේ වතුවී තිබිණි.

"මේක මහ මල කරදරයක්නේ හලෝ.. තමුන් හිතන්නෙ තමුන් ඔය අත ගාන මල ජරා පින්සල් මං ගත්තා කියලද..? ආ.. කියනවා බලන්න.. අනික තමුන් දැනගන්න ඕන තමුන් මෙතන කවුද කියන එක.. එනකොට නම් ආවේ, නාබර පෙරාගෙන.. දැන් ටික ටික ඉස්සරහට යනකොට මුල එහෙම් පිටින්ම අමතකයි.. ඔහොම තමයි ඉතිං කූඩැල්ලා මෙට්ටෙ උඩ තියන්න බෑ නේ.."

දෙවියනේ.. මේ ඇය කියවන්නේ මොනවාද..? මා නාබර පෙරාගත් හඩු කොල්ලෙකු බව නේද..? මොවා කලත් මගේ පහත් ගතිගුන ඉස්මතු වන බව නේද..? සිත පතුලටම දැනුණු දුකට මගේ දෑස කදුලින් බොදවී ගියේය. මෙසේ කුණු වෙන්නට මා හට බැණ වදින්නට මම ඇයට කිසිදු වරදක් නොකලෙමි.

"ඕනම දේකට ඉතිං ඕචරනේ.. හොට්ට පෙරාගෙන අඩන්න.. මට නම් ඇත්තටම මේ දකින දේවල් තිත්ත වෙලයි තියෙන්නේ.. වචනයක් කියන්න බෑ, ගෑනියෙක් වගේ අඩන්න ගන්නවා.. තමුන් හිතන්නෙ තමුන් ඇඩවහම මං තමුන්ව අහිංසකයෙක් කියලා පිළිගනියි කියලද..? ආ.. කියනවා බලන්න.. හ්.. ග්.."

ඇට්ටි හැලෙන්නට කිසිදු අවුලක් නැතිව මා හට බැණ වැදුනු ඇය, නැවතත් පුටුවේම වාඩිවූවාය. ඇයට එසේ වාඩිවීමට සිතුනු එකත් හොදය. එසේ නොවුනා නම්, මේ ඇයට තිබෙනා කේන්තියට මගේ බේලලවත් මිරිකා දමනු ඇත.. 

"ම.. මං මිස්ට වැරැද්දක් කෙරුවෙ නෑ මිස්.."

ඉකි ගැසෙන්නට එන සිත පසෙක තබා මම හැඩුම්බරව කීවෙමි. නිල් මහනෙල් දෙනෙත නැවතත් මා වෙතට යොමුවිණි.

"ම... මං හිතන් හිටියෙ විශ්වාසෙට ගන්න පුළුවන් මනුස්සයෙක් කියලා.. බැලුවහම තඹේකට විශ්වාස කරන්න බැරි මනුස්සයෙක් නේ මං ගාව ඉදලා තියෙන්නේ.. හොට්ට පෙරාගෙන, බබා වගේ අඩ අඩ මෙතන ඉදන් කියවනකොට මාත් මෝඩයා වගේ විශ්වාස කරා.. මේ තමයි ලෝකෙ ඉන්න අහිංසකම මිනිහා කියලා.. බැලුවහම මහ කට්ට කයිරාටික අමනුස්සයෙක් නේ.. හැබෑට තමුන්ට කොහොමද ඔය වගේ බඩල් ඇක්ටින් කරන්න පුරුදු වුණේ...? ඕක පරම්පරාවෙන් ආපු එකක්ද..? එහෙමත් නැත්නම් අමාරුවෙන් ප්‍රගුණ කරල හදාගත්තු දෙයක්ද..?"

"ම.. මට මිස් කියන දේවල් තේරෙන්නෑ.."

"තේරෙන්නෑ... තේරෙන්නෑ.. කොයි වෙලාවෙත් කටේ තියෙන්නෙ ඔය බණේම තමයි.. එනවා මෙතෙන්ට.."

ඇයගේ අනින් මම උඩ ගොස් බිම වැටුණෙමි. ඇය ළගට මට එන්න කියන්නේ ඇයි..? ඇය අත දිග හැර මා හට හොද වර්ගයේ කම්මුල් පාරක්වත් දෙන්නද..? 

"ඇ... ඇයි මිස්..?"

"තමුන් බබානේ.. ඒක හින්දා එනවා තමුන්ව  හරහට වඩාගෙන කිරි ටිකක් දෙන්න.."

ක්ෂනිකව ඇතිවූ මහ විශාල ලැජ්ජාවකින් මම හිරිවැටී ගියෙමි.. දෙවියනේ.. ඇයගේ කටට මේ වචන කෙසේ නම් එනවාද..? මේ තරම් ලස්සන රුවකින්, මේ තරම් විෂ උතුරන්නේ ඇයි..?

"ම.. මට ඔහොම කතා කරන්න එපා මිස්.. ම.. මං මිස්ට වැරැද්දක් කෙරුවෙ නෑ.. මං මිස් ගැන අහිතක් හිතුවෙත් නෑ.."

"බම්බුව තමයි.. තමන් ඔය කතා කරන්නේ කටෙන්ද.. එහෙමත් නැතිනම් වෙන කොහේ හරි තැනකින්ද..?"

දිනූකා මිස්ට මේ තරම් කේන්ති ගොස් තිබෙනු මම කිසි දිනෙක දැක නැත. පින්සල් දෙක දැක්කාදැයි ඇසූ පලියට මේ තරම් කේන්ති යන්නේ නැත. මෙය නම් වෙන මොකක් හරි අවමගුලකි. කරුමෙ කියන්නේ, ඒ අවමගුල ගොස් තිබෙන්නේ මගේ කරපිටින් වීමය.

"දෙයියන්ගෙ නාමෙට මට තේරෙන විදියට කියන්න මිස්.. මගේ ඔලුවත් එක්ක අවුල් වෙලයි තියෙන්නෙ.. ඇත්තමයි මං මිස්ට දැනුවත්ව නම් වැරැද්දක් කරලා නෑ.. ඔය තරම් කැත විදියට මට කතා කරන්න එපා.."

අවසාන හරිය කියාගෙන යද්දී මට හැඩිණි. ඇස්වලින් උල්පතකින් ජලය මතුවෙන්නා සේ කදුළු ගලා ගෙන එයි. මගේ කදුළු දැකී ගමන්ම ඇය තම මුහුණ පසෙකට හරවා ගත්තේය. දැන මට දිනූකා මිස් පෙනෙන්නේ බොද වූ සිතුවමක් විලසටය.. 

"කැත...? කැත කවුද කියලා මගෙන් අහන්නෙපා.. මෙතන මගේ ළග මුළු දවසෙම ඉදලා, මට ජීවිතයක් නැති කරලා දාලා, හවස් වුණායින් පස්සෙ එක එකීගෙ ගෙවල් ගානෙ රිංගන්න යනවා.. ඇත්තටම තමුන් මොන තරම් කැත මිනිහෙක්ද..?"

බළලා මල්ලෙන් එළියට පැන්නේ අන්තිම තත්පරයේදීය. එසේ නම් මේ සියලුම කතාන්දරවලට මුල මා ඊයේ හවස පූර්ණිමා බැලීමට ගිය ගමනය. මගේ සිත එකවරම ඇතිවූයේ කිව නොහැකි තරම් සහනදායී හැගීමකි. ඇත්තටම මා සිතුවේ මගෙන් ඇයට වෙන කුමන ආකාරයේ හෝ වැරැද්දක් සිදුවී ඇති බවය. එසේ නම් දිනූකා මිස් මා හට මේ තරම් කුණුවෙන්නට බැන්නේ තනිකරම ඉරිසියාව පදනම් වූ දෙයක් නිසා බැව් මට හැටහේ. ඇය ඉරිසියා කරන්නේ, මා ඇගෙන් ඈත් වේ යැයි බයෙන්ද..? ඒ සිතුවිල්ල පවා මගේ සිතට ගෙනාවේ සතුටකි. ගියාගත නොහැකි වූ මිහිරකි..

"ඒ පාර විරෝපට්ටන් ගහගෙන කල්පනාව.. මොකද මං කියපුව බොරුද..?"

මා පූර්ණිමා බැලීමට ගිය වගක් ඇය දැනගත්තේ කෙසේද..? සමහර විටක ඇය මගේ පිටුපස චරපුරුෂයන් යොදවන්නට ඇත. මා කරන්නේ කුමක්දැයි ඔවුන් නිරන්තරවම ඇයට දැනුම් දෙනවා ඇත. මට මෙ ්තරම් කුණු කතා අසන්නට වී ඇත්තේ ඒ නිසාය.

"මං මිස්ගෙ ජීවිතේ නැති කලේ නෑ නේ මිස්..."

කතාව ඇදීගෙන යන විදියට මට තවත් බැනුම් අසන්නට වෙන නිසාම ඇය කියූ දෙයක් මම අල්ලා ගත්තෙමි. සොදුරු දෑස තත්පරේට දෙකට මා වෙතට යොමුවෙනු පෙනුණි. කලින් තිබූ තරහව, දරදඩුකම ඒ සොදුරු මුහුණේ නැත. ඇත්තේ නිමා කළ නොහැකි වූ පසුතැවිල්ලක් බැව් මා හට ඕනෑ තැනක දිව්රා කිය හැකිය. එහෙත් එසේ මා දිව්රා කියන්නේ කාටද..?

"ඒක තමුන්ට කවද හරි දැනගන්න ලැබෙයි.. මට තවත් දුරට තමුන් එක්ක මේකෙ වැඩ කරන්න බෑ.. මං මෙහෙන් යනවා.. තමුන්ට තියෙන්නේ සංතෝසෙන්, ඔය හිතේ පිරිලා ඉන්න ගෑනුත් එක්ක ඉන්නෙකයි.."

"ම... මට එහෙම කවුරුත් නෑ මිස්.."

"කවුරුත් නෑ.. ඇයි තමුන් මාව රවට්ටන්න හදන්නේ..? මගේ ළග තමුන් මාස කීයක් නම් වැඩ කලාද..? ඊයෙ දවල් මං මෙතනින් ගියාට පස්සෙ මට මොකද උනේ කියලා බිංදුවක්වත් හොයල බැලුවද..? තමනුයි, මායි අතරෙ ඇතිවෙච්ච කතාබහෙන් පස්සෙ නේද මං මෙතනින් නැගිටලා ගියේ. අඩු ගානෙ මගේ මානසික මට්ටම මොන විදියට තියෙන්න ඇත්ද කියලවත්  හොයල බැලුවද..? ඕන දේකට හොටු පෙරාගෙන ඇඩුවහම තමුන් හිතන්නෙ හැමදේම හරි කියලද..? තමුන් හිතන්නෙ මේ ලෝකෙ වැඩියෙන්ම සංවේදී තමුන් කියලද..? එතකොට අනිත් මිනිස්සු ඔක්කොම අසංවේදී මිනිස්සුද.? ඔය තරම් සංවේදී කියලා කියාගන්න තමුන්, ඊයෙ දවාලෙන් පස්සෙ මට උනේ මොකද කියල සත පහකටවත් ගණන් ගන්නැතුව හිතේ පිරිල ඉන්න පිවිතුරු රූපෙ හොයාගෙන ගියා. එතකොට මං තමුන් ගැන හිතාගෙන ඉදපු දේවල් මොන තරම් බොරුවක්ද..?"

සිදුවී ඇති අතපසුවීම කොතරම් විශාල එක්කදැයි මා හට දැනෙන්නට පටන් ගත්තේ දිනූකා මිස්ගේ කතාවෙන් පසුවය. මා ඊයේ දහවලින් පසුව ක්‍රියා කර ඇත්තේ කොතරම් මෝඩ ආකාරයටද..? දිනූකා මිස්ට ලංවීමට තිබූ හොදම සුභදායී අවස්ථාවක් මම නැතිකර ගත්තෙමි. නැති කරගත්තා පමණක් නොව ඇය මා කෙරෙහි තැබූ ලෙංගතුකමද මම විනාශ කර ගත්තෙමි. මේ සියල්ලටම මුල මගේ තකතීරුකමය.

මා, පූර්ණිමාලහ ගියේ මොන හේතුවක් අරඹයාදැයි මේ අවස්ථාවේ ඇයට පැහැදිලි කරදී පලක් නැත. ඇය සිටින්නේ මා කියනා දේ පිළි නොගන්නා තත්වයේය.

"ෂිහ්... මං තමුන් ගැන හිතන් ඉදපු දේවල් මොන තරම් විහිලුවක්ද කියලා තේරෙනකොට මට මං ගැනම ලැජ්ජයි. ඇත්තටම තමුන් මහ කැත මනුස්සයෙක්. හිතෙයි, බඩෙයි එකක් තියාගෙන ඊට කිසිම සම්බන්ධයක් නැති කෙහෙල් මල ගැන කතා කරන අන්තිම පහත් ජාතියෙ මිනිහෙක්.. ෂිහ්... මට තියෙන එකම දුක මේ ලෝකෙ ඉන්න ලොකුම මෝඩි වගේ මං තමුන්ව විශ්වාස කරානේ.. අඩු ගානේ මුණෙ තියෙන අහිංසක කම හිතෙත් ඩිංගක් හරි ඇති කියලා මං හිතුවා. ඒත් මට මහ හුගක් වැරදිලා."

ඇය මේ කියවාගෙන යන්නේ මොනවාද..? මට කිසිම දෙයක් තේරුම් ගැනීමට බැරිය. ඇය මාව විශ්වාස කරනා බැව් හෝ කළ බවක් මා ඔය ඇසුවාමය. අනික දිනූකා මිස් මං ගැන හිතන් ඉදපු දේවල් කියා තවත් නොතේරෙන මොනවදෝ කීවාය.. එහෙත් ඒ හිතේ තියන් ඉදපු දේවල් මොනවාද..? දහ අතේ මෙන්ම විසි අතේද කල්පනා කළද, මා හට උත්තරයක් නම් ලැබුනේ නැත. එනිසාම දිනූකා මිස්ටම කතා කරන්න ඉඩ දී මං ඔහේ ගල් බිල්ලෙකු සේ බලා සිටියෙමි.

"ම.. මගේ තහනමක් නෑ.. යන්න ඕන තැනක ගිහින් එනවා.. ආයෙම මං තමුන් ගැන හොයන්නෑ.. මොකෝ කරුවල කාමරයක් ඇතුලට දාලා වහල රැක ගන්න පුලුවන් මනුස්සයෙක්ද..? එහෙම දාලා තිබ්බත් ඒකෙනුත් පැනලා යයි.."

"මිස් මට කියන්නෙ මොනවා කරන්න කියලද..?"

තවදුරටත් මේ සෑම දේම ඉවසාගත නොහැකිව මම ඇයගෙන් ඇසුවෙමි. ඇයි හත්දෙයියනේ.. මේවා නම් මහ හතරබීරි කතාය. හිත ඇතුලේ සහ බඩ ඇතුලේ එකක් තියාගෙන වෙන වෙන දේවල් කතා කරන්නේ මො නොව ඇයයි. අනික දිනූකා මිස්ගේ හිත තුල පුරවාගෙන ඇති ලට්ට ලොට්ට සියල්ලම මා හා කීවා නම් මේ මළ කරදර, සිත් තැවුල්, අවුල් වියැවුල් කිසිවක්ම නැත..

මගේ ප්‍රශ්නයෙන් දිනූකා මිස්ගේ දෑස තවත් සිහින් විය. රත්පැහැ ගත් දෙතොල හෙමින් සීරුවේ එකට තදවිය. ඇය මට නැවතත් බනින්නට සැරසෙනවා වත්ද..? මට කිසිම දෙයක් සිතා ගැනීමට නොහැකි විණි.

"කරන්න කිව්වා කියලා තමුන් කිසිම දෙයක් හරියට කරන මනුස්සයෙක්ද..? මූණෙ තියෙන අහිංසකකම පෙරිල උතුරල ගියාට කරන්නෙම අනිත් මිනිස්සුන්ගෙ හිත රිද්දන එකනේ.."

"මං කාගෙවත් හිත රිද්දුවෙ නෑ මිස්.. මං බැලුවෙ හැමෝමත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න.."

"හ්ම්.. ඒක හොද සහයෝගෙ.. එහෙනම් ඒක වෙන්නැති මගෙත් එක්ක සහයෝගෙන් වැඩ කරන ගමන්, පූර්ණිමාව බලන්න යන්නේ.. බලන් ගියහම රට වටේම ඉන්න ගෑනුත් එක්ක සහයෝගෙන් වැඩ කරන්න වගේ හිතන් ඉන්නේ.."

"මිස්..."

"වචනයක්වත් කතා කරන්නෙපා.. තමුන්  මගේ විශ්වාසෙ හොදටම කැඩුවා.. මං අනේක වාරයක් එපා කියල කියාපු දේ, මං ඩිංගක්වත් කැමති නැති දේ, තමුන් බොහොම ආසාවෙන් සැදී පැහැදී ඉදගෙන කාරා.. මට ආයෙ තමුන් එක්ක කතාවක් නෑ. තමුන් පූර්ණීමාත් එක්ක සහයෝගෙන් වැඩ කරගන්න එකයි තියෙන්නේ.."

"මි.. මිස් හිතන තාලෙ දෙයක් මෙතන සිද්ධ වෙලා නෑ.. මේක වරදවා වහටා ගැනීමක්.."

"ඔව්.. වරදවා වටහා ගැනීමක් තමයි.. හොර පූසා වගේ පූර්ණිමාගේ ගේ අස්සට රිංගලා ගෙදර කවුරුත් නැති වුණහම ආවා කොමියුනිකේෂන් එකට.. බලන්න එපැයි එහෙට මෙහෙට ඇඹරි ඇඹරි විනාඩි විස්සක් විතර කතා කරපු ලස්සන.. එනවා මෙතන වටහා ගැනීමක් ගැන කතා කරන්න.. ඇත්තටම තමුන් ලැජ්ජ වෙන්න ඕන තමන් එක්ක එකට වැඩ කරන කෙනෙක් ඉස්සරහ මේ වගේ විසාල බොරුවක් කරල ඒක අහුවුණාම. බලන් ගියාම තමුන්ට කිසි ලැජ්ජාවක් නෑනේ.. ඔය ඉන්නෙ යස අගේට බැබලි බැබලි.."

සුදු පැහැති හෑන්ඩ් බෑගයද අතින් ගෙන දිනූකා මිස් නැගිට සිටියාය. ඇය මේ හදන්නේ ආපසු යන්නද..? අනික මා දුරකථනයෙන් අයියා සමග කතාබහ කළ තැන පිටත්සර කිසිවෙකුත් සිටියේ නැත. එය එසේ වූ කළ කතා කරන පුද්ගලයා ගැන කිව් තොරතුරු වැරදි වුවත්, මා හරියටම විනාඩි විස්සක ඇමතුමක් ගත් බව දිනූකා මිස් කීවේ කෙසේද..? සමහර විට ඇය මගේ පසුපසින් පැමිණියා වන්නට පුළුවන.. එසේ නම් මා ඇය නොදැක්කේ ඇයි..?

"ම.. මං කතා කළේ අයියා එක්ක මිස්..."

"අයියා එක්ක.. ඔව් ඉතිං දැන් කියන්න බැරියෑ, අයියා එක්ක හරි අම්මා එක්ක හරි කියලා.. මොකෝ මං කනේ තියාගෙන අහං හිටියෙ නෑ නේ.."

මේවා නම් ගිය ආත්මයේ සිට පතාගෙන එන දුක් කරදර විය යුතුය. අද ඉවරවේ, හෙට ඉවරවේ කියාගෙන සිතා හිත සනසාගෙන සිටියත් කිසිමදාක මේ කරදර නිමා නොවන බව මට පැහැදිලිය. සිදුවූයේ කුමක්දැයි දිනූකා මිස්ට තේරුම් කර දීමට මට ක්‍රමයක් නැත. තවදුරටත් මේවා කල්පනා කළහොත් සිදුවන්නේ මා අමුම අමු පිස්සෙකු වන එකය.

"අම්මා එක්කවත්, තාත්තා එක්කවත් කතා කරා කියලා මට කියන්න විදියක් නෑ දිනූකා මිස්.. එයාලා දෙන්නම නැතිවුණේ මං පුංචි දවස්වල. එතැන ඉදලා මාව බලා කියාගත්තේ, ඔය මං කතා කරපු මගේ අයියා විතරයි.. එයා කුලී වැඩ කර කර මට ඉගැන්නුවෙ. එයාගෙ හැම සතුටක්ම, සංතෝසයක්ම පැත්තකට දාලා එයා කරේ මාව බලාගත්තු එක. රටේ මිනිස්සුන්ගෙන් කුණු ජරා බැනුම් අහ අහ, කුලී වැඩ කරලා දවසෙ වේල් තුනට එක වේලක් විතරක් කාලා මාව බලගත්ත, මගේ අයියටයි මං කතා කරේ මිස්.. එහෙම නැතුව කෙල්ලෙකුට නෙමෙයි.."

දෑස පැලී කදුලු දිය උල්පත් මතුවෙද්දී මම කියාගෙන කියාගෙන ගියෙමි. අකුණු තුන හතරක් හිස මත පිපුරුවා සේ දෑස් ලොකු කරන් මා සෙද විස්මයෙන් තෝන්තු වී බලා සිටින දිනූකා මිස්ව මා දැක්කේ බොද වූ දෙනෙත් අතරිනි. බේරි ගලා යන කදුලු දිය දහර මා දැක්කේ ඉන් අනතුරුවය. මට කුණු වෙන්නට බැණ වැදී ඇය දැන් අඩන්නේ ඇයි..? මෙතුවක් වේලා කියන්නට තියෙන හැම දෙයක්ම කියා තමන්ගේ සිත සැහැල්ලු කර ගත්තේ ඇයය. එසේ නම් මේ ගලන කදුලු සතුටු කදුලු විය හැකියි. දුපප්ත් කාංචනට ඇට්ටි හැලෙන්නට, නැතහොත් දණ බිම ඇනෙන්නටම වැඩේ දුන්නා කියා හදවතින්ම නැගෙන සතුටු කදුලුය.

"මි.. මිස් ඔය කියවපු හුගක් දේවල් වලට මං වැරදි කාරයෙක් නෙමෙයි. මං මිස්ව රිද්දන්න හිතාගෙන කිසිම දෙයක් හිතල කරලා නෑ. මගේ අතින් මිස්ගෙ හිත රිදුන නම් මට එක පාරට සිය දහස් පාරක් සමාවෙන්න. මං බැලුවෙ හැමදාම මිස් එකක් සංතෝසෙන් වැඩ කරන්න.. ඒත් මගේ කරුමක්කාර, කාලකණ්නි දෛවය ඒකට ඉඩ දෙන්නෙම නෑ වගේ.. මං මොන තරම් හොද දෙයක් කරන්න හැදුවත්, මිස්ට ඒක පේන්නෙම වැරදි විදියට.. ම.. මං ඉතින් මොනව කරන්නද මිස්.. මේක මගේ කරුමෙනේ.."     

"ම.. මට මෙතන තවත් හිටියොත් ඇත්තටම පිස්සු හැදෙයි.. දෙයියන්ගෙ නාමෙට ඔය කියවන එක නවත්තන්නකෝ.. මනුස්සයෙකුට ඔය කියන ඒවා දරාගෙන ඉන්න පුලුවන්ද..?"

එතකොට ඇය කියවාගෙන කියවාගෙන යද්දි මට පිස්සු නොසෑදුනේ ඇයි..? මා කියන ඒවා දරාගෙන හිදින්නට ඇය වැනි මනුස්ස දුවකට බැරි බව ඇත්තය. නමුත් ඇය කියනා දේවල් දරාගෙන හිදින්නට මට පුලුවන් වී ඇත්තේ මා අමනුස්ස පරාණයකැයි ඇය සිතනා නිසා වන්නට ඇත. කොහොමටවත් ඇයට මාව පෙනෙන්නේ අමනුස්සයකු ලෙසටය. සිතේ ඉවුරු කොනේ නැවතී ඇති දුක් කන්දරාව, මගේ සිත තවත් බර කරවයි.. දෙවියනේ.. මේ හැම කුණු කන්දලක්ම පැත්තකට දමා අපිට එකට වැඩ කරන්න බැරි ඇයි..? දිනූකා මිස්ටත් මටත් සංතෝසෙන් හිදින්නට බැරි ඇයි..? මේ කාමරයේ මාස ගණන් පුරාම සිටියේ අප දෙදෙනා පමණක් නොවේද..?

"ම.. මට සමාවෙන්න මිස්..."

ආපසු යනවාදැයි, එසේ නැත්නම් තව පැය කිහිපයක් හෝ මෙතන රැදී සිටිනවාදැයි සිතාගත නොහැකිව දිනූකා මිස් කාමරයේ මැද නතර වූවාය. ඒ සොදුරු මුහුණතේ තිබිණේ අසීමිත වූ ආරණිය බවකි. ජීවිතයේ එකම එක වරක් හෝ ඒ දිග ඇහිපියන් යට සැනසෙන්නට ඉඩ ලැබේ නම් කියනා අනුරාගී සිතුවිල්ල මගේ සිතේ ඇදී සැනෙකින් මැගී ගියේය.. දෙවියනේ.... මා මේ සිතන්නේ මොනවාද..?

"කාංචන ඉන්න.. මං ගෙදර යනවා.. මට තවත් මෙතන වැඩ කරන්න බෑ..."

වෙනස් ම වූ හඩකින් දිනූකා මිස් කීවාය. ඒ කටහඩේ වූ අතිශය හැගීම්බර ගෑනු කටහඩට මම වශී වී ගියෙමි. මේ තරම් අපූරුවට කතා කරන්නට පුලුවන්කම තියෙද්දී, ඇය අර තරම් රලු විදියට කතා කරන්නේ ඇයි..? මම සිහිනයකින් ඇවිදින්නාක් සේ ඇය වෙතට ගියෙමි.. 

"මිස්ට ගෙදර ඉන්න බැරි මං හින්දා නම්, මං ගෙදර යන්නම් මිස්.. මේවා මිස්ට අයිති දේවල්.. මිස්ට ඕන දෙයක් කරන්න බලය තියෙනවා.. මං වගේ කාලකණ්නියෙක් හිනද මේක දාලා  යන්නෙපා.. මිස් මෙතන හැමදාම ඉන්න.. මං ගෙදර යන්නම්.."

ඇය ඉදිරියේ මම බැගෑපත් වුණෙමි. මේ රංඩුව අදවත් කෙසේ හෝ විසදා ගත යුතුය. අඩුම ගණනේ මා කළ යුතු දෙය පිළිබදවවත් ඇය මට කුමක් හෝ කියනවා නම්..? පස්මහ බැලුම් හෙලා මා කරනා සෑම දෙයක්ම අවසන් වූයේ ඇයගෙන් මෙලෝ සිහියක් නැතිව බැනුම් ඇසීමෙනි.. 

"ගෙදර යන්න ඕන්නෑ.. දිගටම වැඩ කරන්න.. මං ආයෙ ඔයාට කරදරයක් වෙන්නෑ.."

කාමරයේ  දොර ළගටම ගොස් ආපසු හරී ඇය කීවාය. හුන් තැනින් අඩි කිහිපයක් විත් මම ඇය කරා ළංවුණෙමි. වැටුණු උණුසුම් කදුළුවල කැලැල් ඉතිරි වී තිබුණු නිල් මානෙල් දෙනෙත එක එල්ලයේම යොමු වී තිබුණේ මා වෙතටය.

"අ... අනේ  යන්නෙපා මිස්... ප්ලීස්......."

දිනූකා මිස් වෙත මම තවත් ළංවුණෙමි. ඇයට මා මේ තරම් ගතින් ළංවූයේ ප්‍රථම වතාවටය. ඇයගේ ලය මඩල වේගයෙන් උස් පහත් වනු මට පෙනේ. මේ සියල්ල සොදුරුය. හැඩකාරය. දිනූකා මිස්ගේ උණුසුම් හුස්ම පොදවල්  මගේ මුහුණේ ගෑවී නොගෑවී යයි. අනේ මෙහෙම්ම මේ මුලු ලෝකයම අදුරු වී යනවා නම්..?

"ම.. මං ආයෙත් මිස්ගෙ හිත රිද්දන්නෙ නෑ.. මං ආයෙ මිස් එක්ක රණ්ඩු කරන්නෙ නෑ.. අ.. අනේ මිස් අපි හොදින් ඉමු.. මිස්.. .. අ... අපි.. අපි යාලු වෙමු මිස්.."

මගෙන් ඒ වචනය පිටවූයේ කෙසේදැයි මමම වික්ෂිප්ත වී ගියෙමි. සමහර විටෙක මෙ ්තිබෙන සොදුරු විනාඩි ගණන කඩා බිද විනාශ කර, ඇය මට අම්මා මෝ නැතුව බනින්නට පුළුවන. කාමරයේ දොරට අත තබාගනෙ සිටි දිනූකා මිස්ගේ මුහුණේ, අද දවසේ ප්‍රථම වරට හීන් සිනා රැල්ලක් ඇදී මැකී නොපෙනී ගියාය. ඉතා පරික්ෂාවෙන් බලා සිටි නිසා මම එය දැක්කෙමි.

"ඔ... ඔව් අපි යාලුවෙමි..."

ඒ කතාව කීවේ දිනූකා මිස්මද කියා මට සිතා ගන්නට බැරිවිය. සිතට හදිසියේ ගලා ආ අති විශාල සංතෝසයෙන් බර නිසාම මගේ පපුව හිර වෙන්නටද විය. දෙවියනේ... අදහා ගන්නටත් බැරිදේ සිදුවනවා කියන්නේ මෙන්න මේවාට විය හැකිය. කලින් ඇදී මැකී නොපෙනී ගිය, සොදුරු සිනා රැල්ල, යළිත් කිසිදාක මැකී නොයන සේ දිනූකා මිස්ගේ මුහුණේ රැදී තිබෙනු අනතුරුව මම දැක්කෙමි.

"මං ගෙදර ගිහින් එන්නම් කාංචන.. ඔයා වැඩ ටික කරන්න.. හවස් වෙන්න කලින් මං එනවා.. කොහේවත් යන්නෙපා.."

කාමරයේ දොර හැරගෙන දිනූකා මිස් පිටව ගියාය. කුමක්දෝ සිතට නොවැටහෙනා ලෙංගතු හැගීමකින් මම ඒ මොහොතේ උතුරා යමින් සිටියෙමි. සියලුම වස්දොස් හා මගේ අපල කාලය අදින් පසු අවනාස වනු ඇත. ඇත්තටම එය එසේ වේවා යැයි නැවත්ත මේසය කරා පැමිණෙන ගමන් මම සිය දහස් වාරේ පැතුවෙමි. අඩුම ගණනේ ඇය හා රංඩු නොවී මෙතන වැඩ කරන්නට හැකි නම් එයද පට්ට ජයග්‍රහණයකි.

ඉතිං අද දින සිට මම ජයග්‍රහණයට ඇප කැපවී ක්‍රියා කරන්නෙමි.. හවස් වෙන්න කලින් මං එනවා කොහේවත් යන්නෙපා යාමට ප්‍රථම ඇය එසේ කියා ගියේ ඇයි..? ඒ තනි තනි වචන වල තිබූ විවිධ තේරුම් දිගේ මම බොහෝ වේලාවක් කල්පනා කෙරුවෙමි.  එහෙත් කිසිවක් වටහා ගැනීමට මට නොහැකි විය. සමහර විට අපි යාලුවෙමු යැයි කී වචන දෙකට ඌන පූර්ණයක් වශයෙන් එකී වචන ටික එක එක්කලාස වෙන්නට පුලුවන.  කෙසේ වුවද මෙතුවක් දවස් සිදුවූ දේවල් වලට වඩා මේ මොහොතේ සිදුවූ දේ නම් ඉතා සොදුරුය. මා ඇයගෙන් මෙවැනි වචන කිහිපයක් බලාපොරොත්තුව සිටියේ කොපමණ කාලයක සිටද..? දිනූකා මිස්ගෙන් මා අනුකම්පාව පමණක් බලාපොරොත්තුවෙන් කොතරම් දවසක් නම් බලා සිටියාද..?

මින්පසු කිසිම කලෙක මේ දුප්පත් කාංචන දිනූකා මිස්ගේ සිත නොරිදවනු ඇත. ඇය මා පිලිබදව සිතා සිටි තරම වරින් වරේ ඇගේ මුවින් බොහෝ කෙටියෙන් පිටවූ වචන අතරින් මම තෝරා බේරා ගත්තෙමි. මා, ඇය පිළිබදව නිදි නොමැතිව සිතමින් රැයවල් පහන් කළා සේම, ඇයගේ ලෝකයේද නිදි නොමැති රාත්‍රීන් ගණනාවක්ම ගෙවී යන්නට ඇත. ඒ පිළිබදව අපට හෙමින් සීරුවේ කතාබහ කරන්නනට හැකිවනු ඇත.

නිරපරාදේ ඔහේ කියවා ගනිමින් බුම්මාගෙන තරහ වී දෙපසට වී, සිට කාලය ගැන නැවත කතා කිරීමත්, පුදුම තරම් සුන්දර දෙයක් වනු ඇත. ඇත්තටම අප දෙදෙනාම කොතෙක් නම් මේ කාමරය තුළදීම හඩන්නට ඇතිද..? ඒ සියල්ලම දැන් අයිති වන්නේ සොදුරු අතීතයටය. පැය දෙකක් තුනක්ම මං කළේ ඒ අතීතය මැද්දෑවේ කිමිදෙමින්, තැලී පොඩි වී ඇති සිත සුවපත් කරගැනීමය.  



                                                         

No comments:

Post a Comment