Saturday, March 24, 2012

| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






"කවුද මගේ කාමරේට එන්න කිව්වේ..?"

ඒ කටහඩේ කිසිදු තෙතමනයක් තිබුණේ නැත. මෙතැන් සිට ඇයගෙන් මා හට කිසිදු බුරුලක් නොලැබෙනු ඇත. උදේ වරුවේ දිනූකා මිස් වෙතින් දකින්නට ලැබුනු මිත්‍රශීලී බව මෙයින් පසුව දිය වී යනු ඇත. දෙවියනේ මා ඒ ගැන නොසිතුවේ ඇයි..? තමා තුළ ඇති ප්‍රබල රහස් ගොන්නක් එළිදරව් වූ විට ඒ පුද්ගලයා මානසිකව කඩා වැටීම හෝ වියරු වැටීම අනිවාර්යෙන්ම සිදුවන දෙයකි. ඇය මේ අවස්ථාවේ සිටිනේනේ ඉන් කුමන පැත්තේද සිතා ගැනීමට මට පුළුවන් කමක් තිබුණේ නැත.


"මොකද කතා කරන්න බැරි..? කටේ පිට්ටුද..? ආ..."

ඇය දෙස නොබලා සිටින්නට මම උත්සාහ කෙරුවෙමි. ළගට විත් හෝ හොදවැයින් කම්මුල් පාරක් දෙකක් තුනක් දී මා මේ පීඩනයෙන් ගලවා දමනවා නම් හොදය. එසේ නොමැතිව උසාවියක ප්‍රශ්න අසනවා සේ ප්‍රශ්න අසා මාව අසරණ කරන්නට හදන්නේ ඇයි..? එයින් සිදුවන්නේ මා තවත් ගොලුවන එකය. ඒ බව ඇය නොදන්නීද..?

"කාංචන.. මේ මම අන්තිම පාරට අහන්නේ..? කවුද මගේ කාමරේට එන්න කිව්වේ..? ඒ ඇවිත් මගේ දේවල් ඇදලා දාන්න කිව්වේ.."

දිනූකා මිස් හෙමින් සීරුවේ මට ලංවෙයි. කුමකින් කුමක් වෙයි දැයි යන බියෙන් මම ගල් ගැසී සිටියෙමි. මා වීරයා සේ මේ කාමරය තුළට ආවා වගේ නොව කර ඇති වැරැද්දේ බරපතලකම මට වැටහෙන්නේ දැන්ය. මා මේ කර ඇත්තේ කෙනෙකුගේ පෞද්ගලිකත්වය අමු අමුවේම හූරාගෙන කෑමය. සමහර විට දිනූකා මිස් මේ රහම තම ජීවිත කාලය පුරාම රැක ගන්නට සිතාගෙන සිටි එකක් වන්නට ඇත. එහෙත් එකී රහස මා වැනි දුපප්ත අසරණයෙකු අතට පත්වීම ඇයට කෙසේවත් ඉහිලුම් නොදෙන කාරණයක් වන්නට ඇත.

"ම.. මට සමාවෙන්න මිස්.. දෙයියන්ගෙ නාමෙට මට සමාවෙන්න.. මං හිතලා, ප්ලෑන් කරලා මේ කාමරේට ආවා නෙමෙයි. මේක අහම්බෙන් වෙච්ච දෙයක්.. මං මේක දැක්ක දේවල් කටවත් කියන්නෑ කියලා මං ඕන තැනක දිව්රන්නම්. අනේ මිස් මගේ රස්සාව නම් නැති කරන්න එපා.. මං මේකට ඕන දඩුවමක් විදින්නම්."

"රස්සාව නැති කරන්න..?"

දිනූකා මිස්ගේ දෑස මහත් පුදුමයකින් විසල් විණි. ඒ රූමත් මුහුණ මැදට ආවේ සිතා ගැනීමට නුපුළුවන් සංවේග ජනක හැගීමකි.

"මං... මං.. ඇයි ඔයාගෙ රස්සාව නැති කරන්නේ..? ඇයි ඔයා මං ගැන ඔහොම හිතන්නේ..? මං කවදාවත් කරන්නැති දෙයක් ගැන ඇයි ඔයා ඔහොම කතා කරන්නේ..?"

දිනූකා මිස් හා මා අතර පරතරය වැඩිම උනොත් අඩියක් පමණ වන්නට ඇත. මා සිටින්නේ ඇදේ වාඩිවී ගෙනය. ඇය සිටියේ සිටගෙනය.

"ම.. මං කෙරුවෙ විසාල වැරැද්දක් මිස්.. ඒක හින්දා මං ගැන තීරණයක් ගන්න මිස්ට අයිතියක් තියෙනවා.."

"ඔයා ගැන තීරණයක් ගන්න මට අයිතියක් තියෙනවා නම්, ඒ ගැන මං තරම් ලෝකෙ වෙන කවුරුත් සතුටු වෙන එකක් නෑ කාංචන.."

දිනූකා මිස්ගේ වතෙහි දකින්නට ලැබුණේ දැඩි වෙහෙසකාරී බවකි. මෙතනින් පිටව ඔෆිස් කාමරයට යනවාද, එසේත් නැතිනම් තවත් ඩිංග වෙලාවක් හෝ මෙතනට වී සිටිනවාද කියලා මගේ හිත මහා ගැටලුවකට මැදි වී තිබිණි. එහෙත් බොහෝ දේ අහම්භයකින් දැන ගැන්මට ලැබුණු අවස්ථාවකදී, ඒවාට හේතුත්, ඒ සමග දැනගන්නට ලැබෙනවා නම් මොන තරම් හොදද..? මම දිනූකා මිස්ගෙ මුහුණ දෙස කෙලින්ම බැලුවෙමි. ඇයගේ දෙනෙතද තිබුණේ එක එල්ලයේම මා වෙත රදවාගෙනය.

"ඇයි මිස් එහෙම කියන්නේ..? මිස් ඔහොම හිතනකොට මට හුගාක් දුකයි. මගේ ගැන තීරණයක් ගන්න මිස්ට අයිතියක් නැත්නම් වෙන කාටද තියෙන්නේ..? මං ඉන්නෙ වැඩ කරන්නෙ මිස්ගෙ යටතෙ.. මිස්ට පුළුවන් ඕනම තීරණයක් ගන්න. අනික පහුගිය දවස් වල මිස් වැඩ කෙරුවෙ එහෙම හිතාගෙන නෙමේද..? අර ඔෆිස් කාමරයෙ තියෙන හැම බාන්ඩයක් වගේම, මාවත් අජීවි දෙයක් විදියට හිතලනේ මිස් වැඩ කෙරුවේ.. හුගක් වෙලාවට මං මිස්ට බිංදුවක්වත් වැරැද්දක් කරලා තිබ්බෙ නෑ. ඒත් මං මිස්ගෙන් පලු යනකන් බැනුම් ඇහුවෙ මේ ලෝකෙ ඉන්න ලොකුම වැරදිකාරයා වගේ. ඔෆිස් කාමරයෙන් එළියට යන හැම වෙලාවකදිම මං මිස්ගෙන් අවසර ගත්තා. ඒ අතරෙත් මායි, මිසුයි අතරෙ කොයි තරමි හිත රිද්ද ගැනීම් වුණාද..? වැඩිය ඕන්නෑ.., මං ඔෆිස් වෙලාවෙන් පස්සෙ යන එන ගමන් බිමන් වලටත් මිස් එබිලා බැලුවා. මට තර්ජනය කරා. මං ඒ හැම දෙයක්ම ඉවසන් හිටියා. මිස් දන්නෑ නේද ඒ ඇයි කියලා.. ඇත්තමයි මිස්.. මං ඉස්සෙල්ලා කිව්වත් වගේ මං හිතාන  හිටියෙ මගේ හැම දෙයක්ම පාලනය කරන්න මිස්ට අයිතියක් තියෙනවා කියලා. මුලදි මුලදි මං ඒ දේට අකමැත්තෙන් හිටියත්. මේ වෙනකොට මිස් කැමති විදියට මං හැඩ ගැහිලා ඉවරයි. මාත් මනුෂ්‍ය ශරීරයක් දිනූකා මිස්... රොබෝ කෙනෙක් නෙමෙයි.. මිස් ඔහොම කතා කරනකොට මට හරියට දුක හිතෙනවා.."

"අ.. අනේ ඔහොම කතා කරන්නෙපා.. ප්ලීස්... මට තවත් මේවා දරාගෙන ඉන්න බෑ..."

මෙතුවක් වේලා මදෙසට එල්ල වී තිබූ නිල්මහනෙල් දෙනෙත් බිමට හැරවිණි. ඇය සිත ඇතුළෙන් මහා විසාල ප්‍රමාණයේ සටනක් කරනා බැව් පැහැදිලිවම දකින්නට ලැබිණි. එහෙත් ඇය සටන් කරන්නේ කා සමගද..? කුමක් සදහාද යන්න ගැන මම දැන නොසිටියෙමි..

"කතා නොකර ඉන්න තියෙනවා නම් හුගක් හොදයි මිස්.. ඒත් මේ සිද්ධ වෙන දේවල් මනුස්ස ශරීරයක් තියෙන කෙනෙක්ට දරාගන්න අමාරුයි. ඒත් ඉතින් මිස් අර කලින් කිව්වා වගේ මං අමුනුස්සයෙක් හන්දා මේවා ඒ තරම් ගාණක් නෑ කියලා මිස්ට හිතෙනවා ඇති."

"කාංචන...? මොනවද මේ කියවන්නේ..?"

"කියවන්න නම් හුගක් දේවල් තියෙනවා මිස්.. ඒත් හැම දයෙක්ම මං දරාගෙන හිටියෙ ඇයි කියන්න මංවත් දන්නෑ.. මං මේ ඔෆිස් එකට ආපු මුල්ම දවසෙ ඉදලා සිද්ධ වෙච්ච දේවල් ගැන පොත් දහයක් උනත් ලියන්න පුලුවන්. අනික අද දවසෙ, උනත් මගේ අතින් සිද්ධ වුණේ මහ විසාල වැරැද්දක් උනත්, මං දැකපු දේවල් මට උහුල ගන්න බෑ.." 

එතැන් සිට ගෙවී ගියේ නිහැඩියාවේ මහා සම්මත කාල වේලාවයි. මමත් දිනූකා මිසුත් ගොලු කසාය බිව් ගොලුවන් සේ ඔබේ බලාගත් අත බලා සිටයෙමු. මෙච්චර දේවල් මා ඇයට කියද්දීත් දිනූකා මිස් නම්, මා හට කිසිවක්ම කියනා පාටක් නැත. ඇත්තටම තවත් දුරට මෙතැන රැදී සිටීමෙන් මට අත්වන සුගතියක් නැත. වෙනවා නම් වෙන්නේ ඔලුවට දැනෙන මේ පීඩනයෙන් මා පිස්සෙකු වන එකය. පිස්සෙකු වී මුලු ජීවිතයෙන්ම විදවනවාටවඩා පුලුවන් තරම් ඉක්මනට මෙතැනින් ඉවත්ව යන එක ඇගට ගුණය.

"ම... මං එහෙනම් යන්නද මිස්...?"

ඒ ප්‍රශ්නය අසන්නට මා වින්ද අමාරුව ගැන හිතද්දී, එය නෑසුවා නම් හොද යැයි මට සිතිණි. මක් නිසාද යත් මගේ අමාරුව කෙසේ වෙතත් ඉන් දිනූකා මිස් තුළ ඇති වූ කැළඹීම  මට මහා පසුතැවිල්ලක් වූ නිසාය. ඇයව යාන්තමින් හෝ අපහසුතාවයකට පත් කරන්නට මගේ සිත අකමැතිය. එහෙත් වෙනදා මෙන් අදද මට නික්ම යාට සිදුව ඇත්තේ මේ කිසිම දෙයක් නොදැනය. එසේත් නැතිනම් කිසිම දෙයකට හේතුව නොදැනය.

"ඇයි කාංචන යන්නේ..?"

මා මෙතුවක් කිසිදාක නෑසූ අහිංසක ගැහැණු කමක් ඒ වචන වලට උරාගෙන තිබිණි. ඇය මෙන්න මේ ආකාරයෙන් කතා  කරනවා නම් කොයි තරම් හොදද..? එයින් මේ දුප්පත් අසරණයාගේ සිත මොන තරම් සැනසෙනවාදැයි සමහර විටක ඇය නොදන්නවා විය හැකිය.

"මිස් කියන්නෙ මට මොනව කරන්න කියලද..?"

"කාංචන ඔය කතා කරන්නෙ මගෙත් එක්ක තරහෙන් නේද..?"

"අනේ නෑ මිස්.. මං එහෙම ඇහුවේ ඇත්තටම කරන්න ඕන දේ දන්නැති හින්දා. එහෙම නැතුව මිස් ගැන අහිතක් හිතලා නෙමෙයි. අනික මං මිස් එක්ක කවදාවත් තරහා වෙන්නෙ නෑ.. අ.. අපි යාලු වුනෙත් අදනේ.."

සියමැලි කොපුල් තල මගේ කතාවෙන් රත් පැහැ ගැන්විණි. නියම ගැහැණියකගේ අවිහිංසක ගති ලක්ෂන ඇය වෙතින් මතුවන මේ වේලාවේ මම ඉතා ආසාවනේ ඒ දෙස බලා සිටියෙමි..

"ම.. මං මෙතනින් වාඩි වෙන්නද..?"

මා වාඩි වී සිටි ඇද පෙන්වා දිනූකා මිස් ඇසුවාය. ඇයත් අහන්නේ මාර ප්‍රශ්නය. පොල් පරාල පයින් යනවා කියන්නෙ මෙන්න මේවාට විය යුතුය. කාමරයත් ඇගේමය. මා ඇතුලු සියලු ජීව අජීව වස්තූන් වලත් අයිතිය ඇගේය. එහෙම තිබියදී ඇදෙන් වාඩි වෙන්නදැයි ඇය මගෙන් අසයි.

"මිස්ගෙ තැනක වාඩිවෙන්න මිස්ට කාගෙන්වත් අවසර ගන්න ඔන්නෑ.. මිස්... අනික ඉතිං..."

"ඔව් කියන්න කියන්න... මග නතර කරන්න එපා..."

"අනික ඉතින් මට ඩිංගක් එහායින් මිස් වාඩිවෙන එක මගේ හිතට මොන තරම් සතුටක්ද..?"

මා කියූ දේට මිස් කිසිවක්ම කිව්වේ නැත. කිසියම් වූ නොපැහැදිලි ආකාරයේ මද සිනාවක් ඒ රත් දෙතොල් මත සටහන් වී තිබිණි. මගෙන් ඇසුවා වගේම, ඇය ඇද මතින් වාඩි වූවාය. මේ සිදුවන්නට යන්නේ මොනවාද..? කාර්යාලයේ සේවක සේවිකාවන් බොහෝ දෙනෙකුත්, මැණික්දිවෙල මහතාත් බරට බරේ වැඩෙහි යෙදෙන අතර මාත්, දිනූකා මිසුත් තනිවම මේ කාමරය තුලය.

කිසියම් අපූර්ව ආකාරයෙ රහසක් මගේ සිතට දැනෙමින් තිබූ අතර මේ කාමරයෙන් යා යුතු යැයි මගේ සිතට දැනී තිබූ හැගීම මේ වන විට නැතිවීම ගොස් තිබිණි. ලෝකයේ කුමක් සිදුවුවත්, කවුරුන් අප ගැන සොයා බැලුවත් මා දිනූකා මිස් ළගට වී සිටිය යුතුය. සමහර විට මෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ ජීවිතයට එකම එක වරක් විය යුතුය. සුරංගනාවියක් බදු මෙවැනි කුමාරිකාවන් ළගින් මෙසේ සිත සැනසිල්ලෙන් වාඩි වී හිදීමට ලැබෙන අන්තිම අවස්ථාවද මෙය විය හැක.

"කාංචන.. මගෙත් එක්ක තරහද...?"

ඇය එවැනි ප්‍රශ්නයක් මේ මොහොතේ අසාවියැයි මම කිසි විටෙක නොසිතුවෙමි. සමහර විට ඇය කතාව පටන් ගැනිමට කුමන ආකාරයේ හෝ මගක් හොයනවා විය යුතුය. මම ඇයට දිරියක් වීමට සිතාගත්තෙමි. ඇයගේ මේ හැසිරීමට හේතුව මට පහදා දෙනවා නම්, ඇය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට මම පසුබට නොවමි.

"මට මිස් එකක් තරහා වෙන්න බෑ..."

"ඇයි ඒ...?"

"ඒක හරියට මූණත් එක්ක තරහා වෙලා, නහය කපා ගන්නව වගේ වැඩක්.. රිදෙන්නෙත් මටමයි.."

"මටත් වෙලා තියෙන්නෙ ඕකමයි.."

අනතුරුව තවත් විනාඩි ගණනක හරි අපූරු නිහැඩියාවත් ගෙවී ගියේය. කුමක්දෝ ලොකු කතාවක් කියන්නට දිනූකා මිස් අර අදිනා බව පැහැදිලිය. ඇය සිත ඇතුළෙන් මහත් සටනක් කරනා බැව් මට හොදින්ම දැනේ. ඇයගේ සිතේ ඇති මේ බර මගේ සිත උඩින් තබන්නට කියා කියන්නටද මට සිතෙයි. එහෙත් මා එසේ කියන්නේ කෙසේද..? ඇය මගේ ස්වාමි දුවය. සුරංගනාවක බදු වූ ස්වාමි දුවය.

"කාංචන අර ෆොටෝ එක දැක්කද..?"

හිටි හැටියේම ඇය මා මුලින් දැකි ඡායාරූපය දෙසට අත දිගු කළාය. එහි ඉන්නේ මා වැනි පුද්ගලයෙකි. මගේත්, ඔහුගේත් තිබු සමානකම මතක්වෙද්දී මම හදවත ඇතුළෙන් හිරි වැටී ගියෙමි.

"ඔව් මිස්.. මේ කාමරේට ඇතුල් වුණ ගමන්ම මං දැක්කෙ ඒක.. හරි පුදුමයි.. හරියට නිකං මගේම නිවුන් සහෝදරයකේ වගේයි.. පුංචි පුංචි වෙනස්කම් ටිකක් ඇරුණාම අපි දෙන්නා ළගින් තිබ්බොත් කාටවත් අදුනගන්න බැරිවෙයි.."

සිතේ අහිතකින් තොරව මම කීවෙමි. ඇත්ත කතාවද එයමය. ඔහුත් මාත් එක තැනක තිබ්බොතින් මගේ අම්මාට වුවද පැහැදිලි ගැටලුවක් පැන නගිනු ඇත.

"මට මේ දේවල් හැම එකක්ම ඔයාට කියන්න තිබුණේ, මං ඔයාව දැකපු මුල්ම දවසේ. මං දන්නවා, මං හොදට දන්නවා කාංචන මං ගැන හිතන් ඉන්නේ, මං කිසිම හිතක් පපුවක් නැති ගෑනියෙක් කියලා.. මනුස්සයෙක්ගෙ දුකක්, වේදනාවක් නොතේරෙන කෙනෙක් කියලා. ඒත් දෙයියනේ මං වින්ද වේදනාව ගැන දන්නෙ මගේ හිත විතරයි. ඔයාව දැකපු පළවැනි දවසෙ මං හොදටම ගැස්සුනා. මට දැනුණෙ මගේ ඇග පණ නැතුව ගියා කියලා.. ඔයත්  හරියට 'ප්‍රසාද්' වගේමයි කාංචන. ඇරපු අතක් නෑ.. ඒ ගමන, ඒ කතාබහ, ඒ හැඩරුව, ඒ  හිනාව හැම එකක්ම පුදුම තරම් සමානයි.. මට.. මට හිතාගන්න බැරිවුණා මං මේ දකින්නෙ හීනයක්ද කියලා.."

මම හූමිටියක්වත් නොතබා ඇය කියන්නක් අසාගෙන සිටියෙමි. ප්‍රසාද් ඇයගේ කවරෙකු වියහැකිදැයි සිතා ගැන්මට මම වෑයම් කලෙමි.

"ඔයාට මං ප්‍රසාද් ගැන කියන්නම්.. ප්‍රසාද් මට ලංවුණේ මංවත් හිතපු නැති විදියට. එයා හම්බෙනකං මං ආදරේ ගැන අහල තිබුණට, දැකල තිබුණට, කියලා තිබුණට මං කාටවත්ම ආදරේ කරලා තිබුණෙ නෑ. බොයිස්ල මහ හුගක් මගේ පස්සෙන් ආවත් මං මගේ ආදරේ පරිස්සම් කරලා තියාගත්තා. ඒ මේ ලෝකෙ ඉන්න අහිංසකම කොල්ලා හම්බවෙනකන්, මගෙ ආදරේ දෙන්න.. මං එහෙමයි හිතන් හිටියෙ.. ආදරේ කියන්නෙ පුදුම තරම් පිවිතුරු දෙයක් කියලා මං විශ්වාස කලා.."

ඇය වැනි සද දෙව්දුවකගේ මුවින් ආදරේ ගැන මේ තරම් සංවේදී හැගීම් ගිලිහෙනා මොහොතේ සුරංගනා කතාවක් අසා සිටිනා පුංචි එකෙකු සේ මම ඇය දෙසම බලා සිටියෙමි.

"ප්‍රසාද්ව දැකපු මුල්ම දවසෙ ඉදලා මං එයාට ආස කෙරුවා. ආදරේ කෙරුවා. මං පන්න පන්නා එයා ගැන හොයන්න ගත්තා.. මං පුදුම විදියට එයාගෙ පස්සෙන් යන්න ගත්තා. ඒ හැමදේම සිද්ධ වුණේ, මං ප්‍රසාද්ට මගේ ජීවිතේටත් වැඩිය ආදරේ කරපු නිසා. අන්තිමේදි ප්‍රසාද් දැනගත්තා, එයා නැතුව මට ඉන්න බෑ කියලා.. එයා නැතුව මට ජීවිතයක් නෑ කියලා.. ඔයා දන්නවද කාංචන.. මං ප්‍රසාද්ට සල්ලි කොයි තරම් දීලා තියෙනවද කියලා.. ලක්ෂ ගානක්.. මං හිතන විදියට කෝටියකට කිට්ටු වෙන්න ඇති.."

"කෝටියක්..?"

මට හුස්ම ගන්න පවා අමතක විය... දෙවියනේ.. එසේ නම් ආදරයකදී මිල මුදල් ගැන නොසිතනවා කියන්නේ ඇත්තය. එහෙත් ඒ අරමුණින් දිනූකා මිස් බලාපොරොත්තු වූ ආදරය, සැනසීම ඇයට ලැබුණාද..? එය මට තවත් ටිකකින් ඇයගෙන්ම අසා දැනගැනීමට හැක.

"ඔව්.. ඒ වගේ ගානක් මිස ඊට අඩු නෑ.."

"ඉතිං ඇයි මිස් එයාට සල්ලි දුන්නේ..?"

"ආදරේ වැඩි හිංදා කාංචන.. මගේ මුළු ලෝකෙම පිරිලා තිබුණෙ එයාගෙන්. එයා කියන හැම වචනයකම, හැම අකුරකම මං දේවත්වයෙන් විශ්වාස කලා. ඒත්.. ඒත් අන්තිමේදි...."

ඇය කතාව නවතා මදෙස බැලුවාය. ඒ සොදුරු දෑසේ මහ වේදනාවක මං සලකුණු අඩුවක් නැතිව තිබිණි. ඇය මේ පිටකර, දියකර හරින්නට හදන්නේ එකී වේදනාවෙන් අංශු මාත්‍රයක් හෝ විය යුතුය.

"කියන්න මිස්... මං අහගෙනයි ඉන්නේ.. අද රෑ වෙනකන් උනත් මං මිස් කියන දේ අහන් ඉන්නවා.."

"මේක ඒ තරම් දිග කතාවක් නෙමේ කාංචන.. කතාව පුංචියි.. ඒත් වේදනාව මහ මෙරක් වගේ.."

"පුංචි උනත් ලොකු උනත් කමක් නෑ.. මිස් කතාව කියන්න.. අපි ඊට පස්සෙ තීරණේ කරමු මොකද කරන්නෙ කියලා...?"

මගේ කතාවෙන් ඇය දිරි වඩා ගත්තා විය යුතුය. නැවතත් ඇදෙහි හරි බරි ගැසී ඇය කතාව පටන් ගත්තාය.

"අන්තිමේදි ප්‍රසාද් මාව රවට්ටලා තිබුණා. මං හීනෙකින්වත් හිතුවෙ නෑ එයා ඒ වගේ පහත් වැඩක් මට කරයි කියලා.. එයා තවත් ගෑනියෙක් එක්ක එකට ඉන්නවා මට අතටම අහුවුණා.."

ඇයගේ කටහඩ වඩාත් දුක්බර විය. තමා හදවතින්ම ප්‍රේම කළ තැනැත්තා වෙනත් ගැහැණියකගේ තුරුලේ නැලවෙනු දැකීම තරම් ගැහැනියකට වෙනත් දුකක් තිබේද..? එය ඉවසාගෙන සිටිය හැකිද..?

"එහෙම වෙලත් මං ප්‍රසාද්ට සමාව දුන්නා.. ආයෙ ඒ වගේ දේවල් කරන්නෙපා කියලා.. ඇතත්ටම ප්‍රසාද් ඊටත් වැඩිය පහත් වැඩ කලත් මගේ හිතේ තිබ්බ ආදරේ හින්දා ඉවසන් හිටියා. මගේ හිත විශ්වාස කෙරුවෙම ප්‍රසාද් නැතිවුණොත් මං මැරෙයි කියලා.. අන්න ඒ සිතුවිල්ලට මං හුගක් බය වුණා."

"ආදරේ කොයි තරම් තිබ්බත් මිස්ට තිබ්බෙ එදාම එයාගෙන් අයින් වෙන්න. දෙකට නැමිච්ච කඩදාසියක් ආයෙ දිග ඇරලා නැමුවත් නැමෙන්නෙ ආයෙ නැමිච්ච තැනින්මයි.. මිස්... ඒක අලුත් තැනකින් නැමෙන්නෑ.."

"ඔයා මොනවා කිව්වත් ආදරේට ඔය ඔක්කොම යටයි කාචංන.. ඔයා දවසකට හරි ගෑනියෙකුට ආදරේ කරලා තියෙනවා නම්  ඔයාට තේරෙයි.."

දිනූකා මිස් කෙලින්ම මදෙස බැලුවාය. ඒ දෑසේ සැගවී තිබූ දහසකුත් එකක් දේවල් අතර ආදරය පිලිබද හුරු පුරුදු දේවලුත් ඇති බැව් දිව්රා කියන්නට මට පුලුවන. එහෙත් ආදරයට සදාතනික කෝඩුකාරයකු වූ මා එසේ කියන්නේ කාටද..? දිනූකා මිස්ටද..? එසේ වුවහොත් ඇය මට සිනාසෙනු ඇත. ඇයගේ කතාන්දරය අස්සේ මා බයිලා ගසනවා කියන්නට පුලුවන.

"ප්‍රසාද් මොනවා කෙරුවත් මං එයාව දාල යන්නෑ කියන දේ එයාට තේරිලා තිබුණා. මං එයා ගැන හිතලා අනන්ත වාරයක් දුක් විදිද්දි එයා තවත් ගෑනු එක්ක දිගින් දිගටම සතුටු වුණා. මට ඒවා ආරංචි වුණාම මං ඒ කකුල් ළග වැද වැටිලා ඇඩුවා. ඇයි මට මෙහෙම කරන්නෙ කියලා.. මං ඔයාට කොයි තරම් ආදරේද කියලා... ඒත් ප්‍රසාද් සත පහකටවත් මගේ වචන ගනන් ගත්තෙ නෑ.."

"එයා මහ පහත් මනුස්සයෙක් නේ මිස්..."

"ඔව්.. ඔයා හරි කාංචන.. එයා පහත් මනුස්සයෙක් තමයි.. ඒත් එයාට එහෙම කරන්න පුංචි හේතුවක් තිබුණා.."

"ඒ මොකක්ද..?"

"ප්‍රසාද්ට මං මොන දේ දුන්නත්, කෙල්ලෙකුට තියෙන්න ඕන පිරිසිදුකම මං එයාට දුන්නෑ.. මැරි කරන්න කලින් එයත් එක්ක එකට ඉන්න ඕන කමක් මට තිබුන්නෑ. එයා ඒ ගැන හුගත් තරහින් හිටියේ. එයා නිතරම කිව්වෙ අපි එන්ජෝයි කරන්න ඕනෑ. සෙක්ස් පැත්ත නැත්තන් ගෑනියෙක්ගෙන් වැඩක් නෑ කියලා. එයා මට කීප සැරයක්ම බල කලා හොටෙල් වලට යන්න. ඒත් මං ගියේ නෑ. ආදරේට පිස්සියක් වගේ වහල් වුනාට, මං ආශාවල් වලට වහල් වෙන කෙල්ලෙක් නෙමෙයි කියලා එයා හොදටම තේරුම් ගත්තා.."

මට දිනූකා මිස් ගැන දැනුණේ ආඩම්බරකමක් සමග මුසු වූ භක්තිමත් හැගීමකි. ඇය වැනි සොදුරු ජේත්තුකාර තරුණියක් යුවතියකගේ පිරිසිදුකම ගැන අභිමානයෙන් කතා කිරීමත්, ඇයම එහි උදාහරණයක් බවට පත්වීමත් කොතරම් අගනේද..? 

"ජීවිතේ ගැන උපරිම බලාපොරොත්තු මගේ හිතට දීලා, ආදරේ අයනු ආයන්න මගෙන් අරගෙන, අන්තිම තත්පරේදි කිසිම හිතක් පපුවක් නැතිව ප්‍රසාද් ඒ හැමදේම බිදලා දැම්මා.... එයා මාව දාලා ඉන්ග්ලන්ඩ් යද්දි මං පිස්සියක් වගේ ඒ කකුල්වල එල්ලිලා ඇඩුවා. මාව දාලා යන්නෙපා කියලා සිය දහස් පාරක් මං බැගෑපත් වුණා. ඒත්, මහ පිස්සු වාතයක් කියලා මිනිස්සු ඉස්සරහ මට කැත විදියට හිනාවලො, මට පුළුවන් හැම විදියටම අපහාස කරලා ප්‍රසාද් යන්න ගියා. ඒ සිද්ධ වෙච්ච දේවල් ගැන අදටත් මගේ හිතේ තියෙන්නෙ තරහක්.."

"මැණික්දිවෙල සර් මේ ගැන දන්නවද..?"

"තාත්තිට හැමදේම ආරංචි වෙලා තිබුණා. තාත්ති හැමදේම හොයගෙනත් තිබුණා. අන්තිමේදි තාත්තිගෙ මිනිස්සු දවසක් ප්‍රසාද්ට හොදටම ගහලා තිබුණා. තාත්ති හැදුවෙ මට දීපු ගින්දරට ප්‍රසාද්ව මේ ලෝකෙන් අයින් කරලා දාන්න. ඒත් ඒ දේ කරනවට මගේ හිත ඩිංගක්වත් කැමති වුණේ නෑ. මොන ජරා වැඩේ කරා උනත් මං ඉස්ඉස්සෙල්ලාම ආදරේ කෙරුවෙ ප්‍රසාද්ට. මිනිහා කොයි තරම් කැත මිනිහෙක් වුණත් මං අන්තිමට ප්‍රසාද්ට සමාව දුන්නා.."

"ඊට පස්සේ..?"

"සම්බන්ධෙ නැත්තටම නැතිවුණා කියලා හරියටම දැන ගත්තට පස්සෙ තාත්ති මගෙන් ඇහුවෙ නෑ මුකුත්ම. ඒත් ප්‍රසාද් කියන්නෙ කවුද කියලා තාත්ති හරියටම හොයාගෙන තිබුණා. ප්‍රසාද් කියන්නෙ මර්ජුවානා කියන ඩ්‍රග්ස් වර්ගයට පුරුදු වෙච්ච කෙනෙක්. මගෙන් ගත්තු හැම සතයක්ම එයා වියදම් කරලා තිබුණේ ගෑනුන්ටයි, ඩ්‍රග්ස්වලටයි. කොහොම හරි තාත්තිගෙ මිනිස්සුන්ගෙන් හොදටම ගුටි කාලා මාස දෙකකට විතර පස්සෙයි ප්‍රසාද් ඉන්ලන්ඩ් ගියේ.."

"එතකොට මිස්, ප්‍රසාද් ළග ඇඩුවයි කිව්වේ..?"

"ඔව්.. එයා ඉන්ග්ලන්ඩ් යන්න දවස් දෙක තුනකට කලින්.. මමම ගියා ප්‍රසාද්ව හම්බවෙන්න. ඒත් මිනිහා මාව දැක්ක හැටියෙම පන්න ගත්තා. වටපිටේ මිනිස්සු මහ හුගක් හිටියත්, මං ප්‍රසාද් ඉස්සරහ ඉන්ගලන්ඩ් යන්න එපා කියලා බැගෑපත් වුණා. ඒත් ඒ වෙනකොට එයා ඩ්‍රග්ස් හොදටම අරගෙනයි තිබුණේ. මට තව කතා කරන්න දෙයක් තිබුණෙත් නෑ.. පුංචි එකෙක් වගේ අඩ අඩා මං ආපහු එන්න ආවා.."

"ඊට පස්සෙ මිස්ට ප්‍රසාද්ව හම්බවුනේ නැද්ද..?"

"නෑ.. ඒ තමයි අපේ අන්තිම හමුවීම. එදායින් පස්සෙ මං එයාව දැක්කෙ නෑ කවදාවත්ම.."

දැන් දැන් දිනූකා මිස්ගේ රූමත් මුහුණේ ඇත්තේ වචනයෙන් විස්තර කල නොහැකි ආකාරයේ දැඩි බවකි. ඉතා සන්සුන් කෝමල ගැහැණු ඉරියව්වක සිට ඒ තරම් දැඩි බවකට එනන්ට නම් මහා විශාල වෛරයක් ඒ  හිතේ උපදින්නට ඕනෑය. ඇගේ ඇස්වල තිබූ අසාමාන්‍ය දීප්තියෙන් මම ඒ දෙය තේරුම් ගත්තෙමි. ඇය මේ ඉන්නේ ප්‍රසාද් සමග වෛරයනි.

"ඊට පස්සෙ මිස්..?"

"කිසිම දෙයක් වුණේ නෑ.. මගේ ජීවිතේ හොදම කාලේ නාස්ති කරලා දාපු ඒ කාලකණ්නියට මං අදත් වෛර කරනවා  කාංචන.. ඔයිට වැඩිය නම්බුකාර විදියට මිනිහට මගෙන් අයින් වෙන්න තිබුණා. ඒත් ප්‍රසාද් හැම තැනම කිය කිය ගිහින් තිබුණා, මිනිහා මට බූට් එක තිබ්බා කියලා. ඒත් මගේ හිත ඒක පිළිගන්න කැමති වුණේ නෑ. ප්‍රසාද් ඉන්ගලන්ඩ් ගියපු දවසෙ ඉදලා ගෙවුන හැම මොහොතකම එයා ගැන මගේ හිතේ තිබ්බ ආදරේ මරාගෙන, ලොකු වෛරයක් ඉපදෙන්න ගත්තා. දවසින් දවස ඒ වෛරය වැඩි වුණා මිසක අඩුවක් නම් වුණේ නෑ.."

ප්‍රසාද්ගේ ඡායාරූපය දුටු මොහොතේම ඔහු මියගොස් ඇත් නම් කොයිතරම් හොදයිද කියා මට සිතී තිබිණි. එහෙත් එය එසේ සිදුවී නැත. ඔහු දැන් ජීවතුන් අතර සිටියි. එසේම මා සිතුවාටත් වැඩිය අති විශාල ගනුදෙනාවක් ඔහුත්, දිනූකා මිසුත් අතර සිදුවී තිබෙනවා. තව දුරටත් කුමන ආකාරයේ දේවල් සිදුවන්නට තිබෙනවාදැයි මම නොදනිමි. දැවැන්ත වේදිකාවක නිහඩව, නිසංසලව රග දැක්වෙන මෙම නාට්‍යයේ මා හට ඇත්තේ කුමනාකාරයේ චරිතයක්දැයි මම නොදනී.

"ප්‍රාසාදුයි, මිසුයි අන්තිමට හම්බ වුණාට පස්සෙ මිනිහා ගැන මිස්ට මුකුත් ආරංචි වුණේ නැද්ද..?"

"ඒ කිව්වේ..?"

"මිනිහා ඉන්ගලන්ඩ් ගියාට පස්සෙ දැන් මොනවද කරන්නේ, මිනිහා තාමත් ඉස්සර වගේද..? ආයෙත් ලංකාවට ඒවිද.. ඔන්න ඔය වගේ දේවල්.."

"කිසිම දෙයක් නෑ කාංචන.. මට කිසිම දෙයක් ආරංචි උනේ නෑ. ඒ සමහර විට මං මිනිහා ගැන මුකුත්ම හොයන්න ගියේ නැති හින්දා වෙන්නැති. අනික ඉතිං මගේ ආත්මෙම අන්තිම බිංදුවට පාගලා දාපු මිනිහෙක් ගැන මං තවත් මොනවා හොයන්නද..? මොනව උනත් මං දැන් ප්‍රාර්ථනා කරන්නේ එකම එක දයෙයි. ඒ තමයි ප්‍රසාද් කියන අමුනුස්සයගෙ රූපෙ මගේ ඇස් ඉස්සරහට ආයෙ කවදාවත්ම එන්න එපා කියලා.."

ඇයගේ කතාවෙන් මගේ සිතට නව පණක් ලැබිණි. ඇය ප්‍රසාද් ගැන ඔහොම සිතනා එකත් මගේ සිතට පුදුමාකාර තරම් සනීපදායක දෙයකි. ඒත් දිනූකා මිස්ට කිය යුතු බොහෝ දේවල් මගේ හිතේ තියේ. ඒ සියල්ලම අදම කියා දාගත්තා නම් හොදය. තවත් පසුවට ඒ දේවල් තබා, මට නැවත කිසිදාක මෙවැනි අවස්ථාවක් නොලැබෙන්නට පුළුවන.

"කෙහොම උනත් මට නම් හිතෙන එක දෙයක් තියෙනවා දිනූකා මිස්.."

"ඒ මොකක්ද..?"

"ප්‍රසාද් එක්ක මිස්ගෙ තිබ්බ රහයි, වෛරයයි දෙකම මිස් පිරමහගත්තෙ අහිංසක මගෙන්.. මෙච්චර ලොකු දෙයක් සිද්ධ වෙලා කියලා හාන්කවිසියක්වත් දැනගෙන හිටපු නැති දුප්පත් කොල්ලගෙන්.."

මම කියාගෙන ගියෙමි. දිනූකා මිස්ගේ මුවේ ඇදී ගියේ අන්ත අසරණ සිනාවකි. ඒ අසරණකමේ තිබූ අව්‍යාජකමට මගේ සිත ගිනිගත්තේය. නිල් මහනෙල් දෙනෙත පුරා කදුළු පිරෙන්නට ඇසිල්ලක්වත් නොවිය. කියූ වචන ටික යලි යලින් ඇද ගැනීමට බැරිකම හින්දාම මම ඇයගේ දෙනෙතට එබීගෙන බලා සිටියෙමි.  දෙවියනේ..  මේ දුක්බර කදුලු කැට පිසදමන්නට පුංචි දුප්පත් කාංචනට ඉඩක් ලැබෙනවා නම්..? ඇයව සනසන්නට මොනවා හෝ කියන්නට මට ඉඩක් ලැබෙනවා නම්..?

"ඔ.. ඔයා අහිංසකයෙක් කියලා මගේ හිත තේරුම් ගත්තෙ ඔයා මෙහාට ආපු පළවෙනි දවසෙම. ඔයාව දැකපු ගමන් මගේ හිත පිච්චිලා ගියා. දෙවියනේ.. ආයෙමත් ප්‍රසාද් ඇවිල්ලද කියලා මං හොදටම බය වුණා. මට දැනුණෙ මාව නිකං වෙව්ලනවා වගේ කියලා.. ඒත් ඔයා දිහා හොදට බලද්දි මට තේරුණා මේ ප්‍රසාද් නෙමෙයි කියලා. කොහොම හරි විනාඩි ගානක් යද්දී ආයෙත් හොද තත්වෙට එන්න මට පුලුවන් වුණා."

ඇය වේගයෙන් දිගු හුස්මක් ඇතුළට ඇද ගත්තාය. මේ වේලාවේ ඇයට මා බාධා කළ යුතු නැත. මා දැන් ප්‍රශ්නය අසා අවසන්ය. එසේත් නැත්නම් මේ කතාවට ඇය පොළඹවා අවසන්ය. දැන් ඇත්තේ ආයෙමත් මගේ අසා සිටීමේ වාරයයි.

"ඒත් දෙයියනේ තාත්ති ඔයාව මගේ ඔෆිස් එක ඇතුලට දැම්මාම, මගේ හිත කොයි තරම් අවුල් වුණාද කියලා කියන්න කවුරුත් මගේ ළග හිටියෙ නෑ. ඔයාව දකින තත්පරයක් ගානෙ මට මතක් වුණේ ප්‍රසාද්ව. ඔයාම හිතන්න මුළු දවස පුරාම ඔයාගෙ ඉස්සරහ ඉදගෙන මං කොයි තරම් විදවන්න ඇත්ද කියලා. ගෙවන  හැම විනාඩියක්ම, පැයක්ම, දවසක්ම මං ගතකෙරුවෙ පුදුම තරම් වේදනාවකින්. ඒක උහුලගන්න බැරි වුණාම තමයි ඔයාට හොරෙන් මං මේ කාමරේට ඇවිත් ඇඩුවේ. මගේ මූණෙ තියෙන වෙනස්කම් එයා දකීවි කියලා මං බය වුණා. ඒවා දැකලා ඔයා හිනාවේවි කියලා මට හිතුණා."

"ඔය හැමදේම මං පිළිගන්නම් මිස්..  ඒත් ඇයි මේ තරම් නපුරු විදියට මං ඉස්සරහ හැසිරුණේ. ඇයි මට මේ තරම් රිද්දුවේ..?"

"මගේ හිතට හිතිලා තිබුණේ, කාවැදිලා තිබුණේ, දැන් ප්‍රසාද් මං යටතෙ වැඩ කරන්න ඇවිත් කියලා.. මගේ පාලනය යටතේ ඉන්න මනුස්සයෙකුට ඕනම දෙයක් මට කරන්න පුළුවන් කියන අදහස මගේ හිතට ඇවිත් තිබුණා. අනික මේක නිකම්ම දෙයක් නෙමෙයි.. මාව විනාශ කරලා දාලා, මගේ ආත්මෙට නින්දා කරලා දාපු තිරිසනෙකුට කරන දෙයක්.. මේක පළිගැනීමක්.. එහෙමයි මට හිතුණේ.."

දැන් දැන් ඇසෙනා දේවල් අනුව සිදුවී ඇති සියල්ලම පිරිසිදු වතුර වලක් සේ මට පැහැදිලිය. දිනූකා මිස් මගේ ඉදිරියේ යක්ෂ මුහුණක් දමා ගත්තේ ඇයදැයි මම දැන් දනිමි. ඇය එසේ හැසිරුණේ මගේ වැරදක් නිසා නොව, ඇගේ ආත්මයේ අදෝනාවෙන් බේරෙන්නටය. 

"ප්‍රසාද් එක්ක මගේ හිතේ තිබ්බ තරහා, වෛරය මං තනිකරම යැව්වෙ ඔයාගෙ පිටින්. ඔයාට මතකද මං ඔයාගෙ ෆයිල් ගොඩ අවුල් කරලා දාපු දවස.. මං හීනෙකින්වත් හිතුවෙ නෑ, ඔයා අඩයි කියලා.. ආයි, මං අර ඔයාගෙ ආර්ට්වර්ක් එක විනාශ කරපු දවස.. ඔයා මට හුගක් දේවල් අඩ අඩ කියවලා මෙහෙන් අස්වෙලා යනවා කියලා ගියේ... මගේ පපුව දාලා පිච්චිලා ගියා.. මං මොනවද මේ කරන්නෙ කියලා මට හිතුණා. ඔයා අඩද්දි මං ගැනම මහා පිළිකුලක් දැනුනා. ඒ මං මේ කරන දේවල් හරිද කියලා.. අනික මං හුගක් අමාරුවෙන් තියාගෙන ඉදපු දරාගැනීමේ ශක්තිය ඔයා බිදලා දැම්මා. ඒ වෙනකනුත් මං හිතන් හිටියෙ, මගේ හිතේ මැවිල තිබ්බේ ප්‍රසාද් කියන්නෙ ඔයා කියලා. මං මේ පළිගන්නෙ ප්‍රසාද්ගෙන් කියලා.. ම.. මට ඒ දෙයින් ගැලවීමක් තිබ්බෙ නෑ කාංචන.."

මදක් හති ඇරීමට හෝ දිනූකා මිස් කතාව නතර කළාය. මම මගේ ඇල්මේ කිසිදු වෙනසක් සිදු නොකළෙමි. සිත පත්ලෙන්ම නැග ආ කිසියම් වූ හැගීමකින් මම ඇය දෙස බලා සිටියෙමි.

"මේ ගෙවිල ගියපු කාලෙදි මං රෑ කීයක් නම් නිදි නැතුව ඉන්න ඇතිද..? මං පුදුම තරම් මානසික වේදනාවක් වින්දේ.. මට ඒකෙන් ගැලවීමක් තිබුණෙම නෑ.. මගේ ජීවිතේ දවසින් දවස විනාස වෙනවා කියලා මට තේරෙද්දි මං වියරු වැටුණා. ඒ හැම දෙයින්ම සිද්ධ වුණේ මං ඔයාට මහ වේදනාවක් වුණු එකයි. ඔයාට හුස්ම ගන්නවත් බැරි වෙන තරමට මං ඔයාව හිර කරපු එකයි. කිසිම කෙනෙකුට නොදාන තරම් නීති ගොඩක් මං ඔයාට දැම්මා.. ඔයා යන යන තැන මං ඔයාගෙ පස්සෙන් ගියේ, ඔයා මොනවද කරන්නෙ කියලා බලන්න.. ඒගැන වැඩිය කතා කරන්න මං කැමති නෑ කාංචන.. අපි එතනින් එහාට මොනවත් කතා නොකර ඉමු.."

මහා බාධකයක් ගග හරහා ඉදිවූ බවක් මට දැනුණි. ඇය කතාව ස්තීරවම නවතා දැමුවාය. පූර්ණිමා සම්බන්ධ සිද්ධියේදි ඇය ක්‍රියා කළ ආකාරය කෙතරම් වැරදි සහගත දැයි ඇයටම වැටහෙන්නට ඇත. එහිදී මෙලෝ මනුස්සයෙක් නොකරන තාලයේ දේවල් තමා කල බැව් ඇයට මතක් වන්නට ඇත..

"ඔ.. ඔයාව දැක්කට පස්සෙ මගේ හිතේ තුවාලයෙන් ආයෙම ලේ ගලන්න ගත්තා කාංචන.. මං දැනගත්තා මගේ තුවාලෙ ආයෙ කවදාවත් හොද කරන්න බෑ කියලා, මට මේ දෙයින් කවදාවත් ගැලවීමක් නෑ කියලා.. ඔ.. ඔයාට දැන් තේරෙනව නේද..? දැන් තේරෙනවා නේද මං ඉන්න තත්වේ..? ඔය අහිංසක හිත රිද්දුවට ඔයාට මට සමාව දෙනවා නේද..? ඔයා මගෙත් එක්ක තරහා නෑ නේද..?"

මගේ අත් දෙකෙන්ම අල්ලාගනෙ ඇය ඇසුවාය. ඒ සුසිනිදු දෑත මගේ අත්වල පැටලෙද්දී නුහුරු කිතියකින් මම ඇඹරී ගියෙමි. උණුසුම්ව තිබූ පපුව මටත් නොදන්වාම සීතල වී ගියේය.. දෙවියනේ.. මේ මා දකින්නේ සිහිනයක්ද..? ඔව්.. බොහෝ විට මෙය සිහිනයක් විය යුතුය. සැබෑ ජීවිතයේදී මෙවැනි දේවල් සිදුවන්නේ නැත. සිදුවුවොත් හින්දි චිත්‍රපට වලය. මෙවැනි අති විශාල ආයතනයක හිමිකාරිය වූ ඇය මගේ අතින් අල්ලාගනෙ මේ කාමරය තුළ පැය ගණනාවක් කතා බහ කළා යැයි කාට හෝ මා කීවොතින් ඔවුන් එය සිනහවකින් හැබැර කරනු ඇත. මට පිස්සුයැයි කියනු ඇත. කිසිවෙකුත් මගේ කීම පිළි නොගන්නා බව මම හොදාකරවම දනී. සිතේ වූ නොසන්සුන් බව නිසාම මගේ මුවට සිනාවක් නැගිනි.

"ඔ.. ඔයා මට හිනාවෙනවා නේද..?"

"අනේ නෑ මිස්..! මගෙත් එක්ක තරහෙන් හිටපු කාලෙ මතක් වෙනකොට මට මේ වෙන දේවල් අදහා ගන්නත් බෑ වගේ.."

"අදහන්න බැරි දේවල් වෙනවා කාංචන.. මේ පහුවුණු දවස්වල සිද්ධ වුණු දේවල් වලින් මගේ හිතේ ප්‍රසාද් ගැන තිබ්බ වෛරයෙන් ඔයාව එළියට ඇදලා දැම්මා. මං දැන් දන්නවා ප්‍රසාද් කියන්නෙ ඔයා නෙමෙයි කියලා. රූපයන් එක වගේ වුණාට, ඔයා අදහස් අතින් ප්‍රසාද්ට වැඩිය හුගාක් වෙනස් අහිංසක කොල්ලෙක් කියලා.. මේ ඇත්තමයි කාංචන.. මං ඔයාට දිව්රලා පොරොන්දු වෙනවා.. මීට පස්සෙ මගෙන් ඔයාට කිසිම දුකක් වෙන්නෑ.. මං ඔයාව බිංදුවක්වත් රිද්දන් නෑ.. දැන් ඉතිං හොද ළමයා වගේ අපි ඔෆිස් එකට යමු.. ගිහින් අපි දෙන්නම එකතුවෙලා ලස්සන ආර්ට් වර්ක් එකක් කරමු. ඊට පස්සෙ ඒක තාත්තිට පෙන්නලා, ඔයයි, මායි ලකුණු දාගමු.. හරිනේ..."

මෙතුවක් වේලා එකට බැදී තිබූ ඇගිලි මේ දැන් අතැරී ගියේය. මගේ සිතට කිව නොහැකි වූ තරම් ශෝකී හැගීමක් මුසුවූ කාන්සියක් දැනුණි. තවත් බොහෝ වේලාවක් මගේ ළගට වී මගේ අතින් අල්ලාගෙන දිනූකා මිස් සිටියා නම් කොතරම් හොදද..? ඇයත් මාත් දෙදෙනෙකු නොව එක් අයෙකු බවට දැනෙනා මේ හැගීම කුමක්ද..? පපුව පලාගනෙ දුප්පත්ව, අසරණව මේ උඩට ගලා එන වේදනාව කුමක්ද..? මා අසාගත්තේ මගෙන්මය..

කෙසේ වුවත් මෙතුවක්ම කල් මගේ සිතට නිරන්තරේ වද දුන් ගැටලුව මේ ආකාරයෙන් නිමාවීම ගැන මා සිටියේ දැඩි සතුටකිනි. කුමක් හෝ ඛේදවාචකයක් සිදු නොවී මෙය මෙලෙසින් අවසන් වීම කොතරම් අපූරුද..? මගේ සිතේ වූ සතුටට සමාන ආකාරයේ සතුටක් දිනූකා මිස් වෙතින්ද මම දුටිමි. එදින මුළු දවස පුරාම ඇයත්, මමත් සිදුවූ සිදුවීම් ගැන නැවත නැවතත් කතා කර කර සිටියා මිසක වෙන කිසිදු වැඩක් නොකෙරුවෙමු..




          

                                                                  


No comments:

Post a Comment