Sunday, March 18, 2012

| නෙතු හැඩුවා ඔබට හොරා | යෞවන සමින්ද්‍ර රත්නායක |






නිවසට එන අතරේදි අවිනාශ් දැඩි සෝදිසියකින් ආවද, සැක කටයුතු කිසිවක් ඔහුට දක්නට ලැබුණේ නැත. තමා පිටුපසින් පන්නන පුද්ගලයා කවරෙකු වුවත්, ඔහු ඉතා සූක්ෂම ආකාරයට කටයුතු කරන බව පැහැදිලිය. එහෙත් මොන මොහොතක හෝ ඔහුට තමා ඉදිරියට පැමිණෙන්නට සිදුවන බැව් අවිනාශ් දැන සිටියේය. එහෙත් අවිනාශ්ට වැරදුන තැන එතන විය. ශානක, අවිනාශ් ඉදිරියට නොපැමිණියේ, ඔහු වටා වූ පියාගේ ආරක්ෂිත වළල්ල නිසාවෙනි. සැගවී පහර දීම ඉතා බියගුලු ක්‍රීඩාවක් බව ඔහු ඇදහුවේය. එහෙත් තමාට වඩා පරිනත, අත්දැකීම් බහුල චර පුරුෂයන්, ඔහුගේ ගමන වලක්වා තිබිණි. ශානකට කටයුතු කරන්නට වී තිබුණේ ඔවුන්ගේ අණසක යටතේය. ඔහු එයට නම් කිසි ලෙසක කැමැත්තක් දැක්වූයේ නැත. තම වේලාව එනතුරු ඉවසා හිදින්නට ඔහු අවසානයේදී හිත හදාගෙන තිබිණි.


නිවසට පැමිණි වහාම, නිදහසේ ඩිල්ෂාන්ට ඇමතුමක් දෙන්නට අවිනාශ් සිතාගත්තේය. එහෙත් අවිනාශ්ට නිවසට ගොඩවන්නට ඉඩක් ලැබුණේ නැත. ඔහුගේ ජංගම දුරකථනය හඩ තලන්නට විය. ඇමතුම ලබා දී තිබුණේ ඩිල්ෂාන්ය.

"අවිනාශ්.."

"ඔව්.. මං මේ ඔයාට කෝල් එකක් ගන්න හැදුවා විතරයි.."

"ඔයාට කියන්න දෙයක් තියෙනවා.."

ඩිල්ෂාන්ගේ කටහඩේ වූ මද වෙව්ලීම අවිනාශ් වහා හදුනාගත්තේය. ඔහුගේ සිතට දැනුනේ මහා නොසන්සුන්කමකි. ඒ හැගීම මැදින්, අවිනාශ්ට දිලීකාගේ දිගු දෑස මැවී පෙනෙන්නට විය.

"දි... දිලීට කරදරයක් නෑ නේද..?"

ඔහු වහාම ඇසුවේය..

"නෑ.. නංගිට නෙමෙයි.."

"එහෙනම් කාටද..?"

"බාල මල්ලිලා දෙන්නට.."

"දෙයියනේ.. මොකක්ද වෙලා තියෙන්නේ ඩිල්ෂාන්..?"

"ට්‍රක් එකක් මෙයාලා දෙන්නා කාරෙකෙන් යද්දි පැත්තකින් ඇවිල්ලා වද්දලා.."

"ගොඩක් ඩැමේජ් ද..?"

"පොඩි මල්ලිට ටිකක් අමාරුයි.. අයි.සී.යූ දාලා ඉන්නේ.."

ටිකක් අමාරු නම් අයි.සී.යූ එකට දාන්නෙ ඇයි..? කියා අවිනාශ් ඇසුවේ නැත. තත්වය බරපතල බැව් අවිනාශ් වටහා ගත්තේය. ඔහුට යතුරු පැදිය, කකුල බිම තබා ඉහලින් හරවා ගැනීමට ගියේ තත්පරයකි. ෆොක්ස් හීල් ධාවන පථයේ යතුරු පැදිය  හසුරනවාට වඩා වේගයෙන් අවිනාශ් රෝහල බලා ගියේය.
                                          
                                           ***************************

රොමේෂි පසුවූයේ කියාගත නොහැකි තරමේ ලැතැවිල්ලකිනි. තරුණයන් කිහිප දෙනෙකු ළගින් ඇසුරු කර තිබුණද, දුටු පළමු දිනයේ සිටම ඇය අවිනාශ් කෙරේ කිසිදු කොන්දේසියකින් තොරව බැදුණාය. එතැන් සිට ඇයගේ මුළු ලෝකයම වූයේ අවිනාශ්ය. ඇය සිතූ පැතූ සෑම දෙයක්ම මුදුන් මල්කඩ වූයේ ඔහුය. යතුරු පැදි ධාවනයට ඇය සමත්කම් දැක්වූවද එය මෝටර් ක්‍රෝස් තරගාවලි සදහා වැඩි දියුණු කරගත්තේ අවිනාශ් නිසාමය. පුවත්පත්වල පලවූ සහ දුරතියා ගන්නා ලද අවිනාශ්ගේ ඡායාරූප සිය ගණනක් ඇය සතුව තිබිණි.

ඔහු ගැන පළවූ ලිපි, ඔහු සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවල හඩ පටි පවා ඇය ළග සුරක්ෂිතව තිබිණි. ඇත්ත වශයෙන්ම ඇය සිටියේ අවිනාශ් කෙරේ උන්මත්තක භාවයෙනි. එය වැඩි දියුණු වූයේ නොසිතූ නොපැතූ මොහොතක තම සිත් ගත් දගකාරයාට උදව් කිරීමට ලැබීමෙනි. එය උදව්වකට වඩා ජීවිතයත් මරණයත් අතර ගණුදෙනුවක් විය. අවිනාශ්ට අනතුරක් වන බැව් ඉවෙන් මෙන් දැන ගත් පසු ඇය දෙවරක් නොසිතාම තම යතුරු පැදිය නොහදුනන සතුරා වෙතට යොමු කළේ එබැවිනි. එදින වාසනාව වූයේ ඇයගේ පැත්තේය. එහෙත් ඇය නොදැන සිටි දෙය නම්, නැවත කිසි දිනෙක මේ වාසනාව ඇය කරා නැවත නොආ බවයි.

අවිනාශගේ සිතේ තවත් යුවතියක් ලැගුම් ගෙන ඇති බැව් ඔහුම පවසා සිටියදී ඇය සිය දහස් වතාවක් හදවතින් මැරි මරී ඉපදුණාය. එහෙත් ඒ සියල්ල වෙනුවට ඇය අවිනාශ්ට පෙන්වූයේ, ඉතා සොදුරු හසරැල්ලකි. කමක් නැත.. ඔහුට යුවතියන් දහසක් සිටියත් සිතේ ළැතැවිල්ලක් ගත යුතුව නැත. කළ යුත්තේ හෙමින් සීරුවේ ඔහුගේ සොදුරු හදවත දිනා ගැනීමය.

අවුරුදු ගණනාවක් පුරා අවිනාශ් පසුපස පැමිණි මේ ගමනේ යම් කිසි සන්ධිස්ථානයකට දැන් දැන් පැමිණ ඇතැයි රොමේෂි දැන සිටියාය. අවිනාශ්ට දුරින් හිද ඔහුව බලාගත්, ඔහුට පෙම් කල තමාට දැන් ඔහු ළගට විත් ඔහුත් සමග කාලය ගත කරන්නට දෛවය ඉඩ සලසා දී ඇත. එසේ ඉඩ සලසා දුන්නත්, තවමත් අවිනාශ්ව තමා ළගට ගැනීමට රොමේෂිට හැකිවූයේ නැත. ඇයගේ සිතේ වූ ළැතැවිල්ලට මූලික හේතු කාරණාව වූයේ එයයි.

                                        *****************************

හදිරි අනතුරු අංශයට අවිනාශ් යනවිටත්, බොහෝ දෙනෙකු එතන එක්රොක් වී සිටියහ. ඒ සියලු දෙනාම ඩී.ජේ ගෘප් සොයුරන් ළගින් ඇසුරු කළ අය වූහ. අවිනාශ් දුටු මහාව, හුන් තැනින් නැගිට ඩිල්ෂාන් ඉදිරියට ආවේය. 

"මල්ලිට කොහොමද..?"

අවිනාශ් ඇසූ දෙයට ඩිල්ෂාන් කිසිවක් කීවේ නැත. ඔහු අවිනාශ්ගේ අතකින් ඇදගෙන රෝහල් පරිශ්‍රයෙන් පිටතට ඇවිදගෙන ආවේය.

"ටිකක් අමාරුයි.."

"කොහොමද මේක වුණේ..?"

"එදා අපි කතා කරපු දේවල් ඔයාට මතකද අවිනාශ්.. මං කිව්වෙ ඔයාට කරපු ඇටෑක් එක දැන් අපේ දිහාටත් ඇවිල්ලා කියලා.. ඔයා ඒක ඒ තරම් විශ්වාස නොකලට මේ සිද්ධිය අපිට කරපු ඇටෑක් එකක්. එහෙමයි අපිට බාරගන්න වෙන්නේ.."

"මට මේ මුකුත් හිතාගන්න බෑ ඩිල්ෂාන්.."

"හිතන්න දෙයක් නෑ.. මේක බොහොම ඕනකමින් කරවපු ඇක්සිඩන්ට් එකක්.. මල්ලිලා දෙන්නා මරලා දාන්නයි හදලා තියෙන්නේ.. ඒත් දෙයියො බැලුවා වගේ ඒ දෙන්නා තාමත් ජීවතුන් අතර.."

"ඔයාලටත් කවුරු හරි ඇටෑක් කරනවා කියනෙක ගැන හිතෙනකොටත් මගෙ ඔලුව අවුල් වෙනවා. දැන් එතකොට හැප්පිච්ච අනිත් වාහනේ ඇතිනේ. අපිට පුළුවන්නෙ එතකොට මේගෙ ගෑවිච්ච එවුන්ව අල්ලගන්න.."

"නෑ අවිනාශ්.. අපි හිතනවට වැඩිය උං දක්ෂයි.."

"මට තේරුණේ නෑ.."

"හැප්පිච්ච අනිත් වාහනේ මුලින්ම ඉදලා තියෙන්නෙ කවුද දන්නෙ නෑ.. නමුත් පොලීසිය එනකොට ඒක ඇතුලෙ ඉදලා තියෙන්නෙ දිනපතා හොදට බාගයක් තුන් කාලක් බොන මනුස්සයෙක්.. ඒ යකාට ඩ්‍රයිවින් කියලා නාමයක් බෑ.. ඉතින් එතනම තේරෙනවා නේද කතන්දරේ යන්නෙ කොහොටද කියලා.. හප්පලා ඉවර කරලා දාලා උං ටික පැදුරටත් නොකියා මාරු වෙලා.."

තත්වය ටිකෙන් ටික බරපතල වීගෙන එන බැව් ප්‍රථම වරට අවිනාශ්ට දැනෙන්නට පටන් ගත්තේය. ඩිල්ෂාන් කියන පරිස්සට මේ සියල්ලම වන්නේ තමා නිසා බවය. ඩී.ජේ ගෘප් එකට මේ දක්වාම කිසිදු පුද්ගලයෙක් අතක් උස්සා  තිබුනේ නැත. එහෙත් ඔවුන් තමාට රැකවරණය දෙන්නට පටන් ගත් විගසම සියල්ල කණපිට ගැසී ඇත.

"දිලී මේ ගැන දන්නව ඩිල්ෂාන්..?"

"මං ටිකක් එහෙන් මෙහෙන් කිව්වා.. පිටින් ආරංචි වෙනවට වැඩිය ඩිංගක් කියලා තියන එක හොදයි නේ.."

ඩී.ජේ ගෘප් හී තුන්වැනියා ඒ වනවිට රෝහල් වාට්ටුවට මාරු කර එවා තිබිණි. කතාබහ කිරීමට අපහසු තත්වයේ පසු වූවත් ඔහු ඩිල්ෂාන් හා අවිනාශ් සමග සිදු වූ සියල්ල සවිස්තරව පැවසීය. අසල වූ රෙස්ටුරන්ට් එකකට ගොස් නැවතත් කාරයට ගොඩවූවා පමණි. සිදුවූ කිසිවක් ගැන අවබෝධයක් ඇති කර ගැනීමට පෙර, හෙණ හඩක් පරිද්දෙන් ට්‍රක් රථයක්, ඔවුන්ගේ කාරය හප්පා ඇත. ට්‍රක් රථයේ ඉදිරිපස සවිකර තිබූ දැවැන්ත යකඩ බාර් එක නිසා කාරය දෙකට තුනට ඇඹරී විසිවී ගොස් ඇත..

"ජීවිතේ බේරුණේ අනූනවයෙන් අවිනාශ්.. ට්‍රක් එකේ ආව කවුරු උනත් ඌ හැදුවෙ අපිව ඉවරයක් කරන්න... අපේ පොඩ්ඩට කොහොමද ලොකු අයියේ..?"

"පොඩ්ඩගෙ කකුල් දෙකට තමා වැඩියෙන්ම ඩැමේජ්.. දෙයියන්ගේ පිහිටෙන් කකුල් දෙක කපන්නැතුව බේරගන්න පුළුවන් උනොත් හොදයි."

ඩිල්ෂාන්ගෙ කතාවෙන් අවිනාශ් මොහොතකට අන්දමන්දව ගියේය. ඩී.ජේ ගෘප්  හි හතරවැනියාගේ, ඉවසිල්ලක් නැති ආකාරයෙන් නිතරම සිටිනා, පාංඩු පැහැති මුහුණ අවිනාශ්ගේ මතකයට ආවේය. මේ අනතුරින් කකුල් දෙක අහිමි වුවහොත් ඔහු කෙසේ ජීවිතය රැගෙන යාවිද..? 

"එහෙම මුකුත් කරදරයක් වෙන්නෑ ඩිල්ෂාන්.."

කීමට කිසි දෙයක් නොමැති වුවද අවිනාශ් කීවේය. කිය යුතුවූ කිසිවක් සිතට නැගෙන්නේද නැත. පැයක් පමණ රෝහලේ ගත කළ අවිනාශ් නැවත ඒමට සැරසුණේය. මේ ගමන්ම දිලීකාවද හමුවිය යුතුය..

"අවිනාශ්..."

ඩිල්ෂාන්ගේ අත අවිනාශ්ගේ උරහිස මතින් බරට තදවිය. ඒ මුහුණේ වූයේ අතිශයින් දැවෙනා කෝපාග්නියකි. ඔහු වචන සොයා ගැනීමේ පටලැවිල්ලක සිරවී සිටියේය.

"මේක කෙරුවෙ මොකා උනත්, මං ඌට යහතින් ඉන්න දෙන්නෙ නෑ.. මං ඌව මරණවා.. ඒකෙ දෙකක් නෑ.."

"ඩිල්ෂාන්..."

"ඔව්.. ඔයා පැත්තකට වෙලා ජීවිතේ පරිස්සම් කරගෙන ඉන්න ඕන.. ඔයා මේවට ගෑවෙන්න එපා.."

"මං කොහොමද ඩිල්ෂාන් එහෙම ඉන්නේ..?"

"ඔයාට ඉන්න වෙනවා.."

"මං එදා පොරොන්දු උනා, ඕනම ප්‍රශ්නෙකදි ඔයාලත් එක්ක ඉන්නවා කියලා.. මට මේ වෙලාවෙ ඔයාලව අතාරින්න බෑ..."

ඩිල්ෂාන්ගේ මුහුණේ දැවෙමින් පැවති කෝපය පසෙකට තල්ලු වී මද සිනාවක් එහි පතිත විය.

"මං කියන දේ අහන්න.. අපිත් කැමතියි ඔයා අපිත් එක්ක ඉන්නවා නම්.. ඒත් අපි හැමෝටම මොනවා හරි උනොත් අපේ නංගි පැටියට මොකද වෙන්නේ. එයාව ජීවිත කාලය පුරාම බලාගන්න ඔයා ඉන්න ඕන අවිනාශ්.."

දිලීකාගේ සොදුරු සදමඩල, නෙතු ඉදිරියේ දිලිසුම් දෙද්දී අවිනාශ් නිහඩ විය. තවදුරටත් කතා කර පලක් නැත. ඔහු පවසන්නේ නිවැරදිම දෙයයි. දිලීකා රැක බලා ගැනීමට නම් තමා හයතින් සිටිය යුතුය.

"තවත් දෙයක් තියෙනවා.."

එවර ඩිල්ෂාන්ගේ මුහුණ කිසිදු හැගීමක් නැති රූකඩ ආකාරයේ ඡායා පිටපතක් විය. ඔහු තමා පරික්ෂා කරනවා වත්ද..? යන්න ප්‍රථම වතාවට අවිනාශ්ගේ සිතේ සැකයක් පහළ විය. එහෙත් එය සැනෙකින් මැකී ගියේය.

"මේක ඇත්තටම මං අහන්න හිටියෙ මීට කලින්.. ඒත් ඒකට වෙලාවක් ආවෙ නෑ.. දැන් උනත් මේක හරි වෙලාවක් නෙමෙයි.. ඒත් කරන්න දෙයක් නෑ.."

"මොකක් ගැනද ඩිල්ෂාන් කියන්නේ..?"

"මට දැනගන්න ඕන.."

එහෙත් ඔහුට එතනින් එහාට යමක් කීමට හැකි වූයේ නැත. අවිනාශ් නොහදුනන ඩිල්ෂාන් හදුනන පුද්ගලයෙක් ඔවුන් දෙදෙනා අතර පෙනී සිටියේය.

"ඩිල්ෂාන් අයියේ.. මල්ලිගෙ ඔපරේෂන් එකට සයින් කරන්න ඕන.. යමු.."

කතාව මෙතකින් මතු සම්බන්ධ කළ යුතු බවට හැගීමක් අවිනාශ්ගේ සිතට දී, ඩිල්ෂාන් අර පැමිණි පුද්ගලයා හා රෝහල් පරිශ්‍රය තුළට පිටත්විය. අවිනාශ්ට සිදුවූයේ සිතේ නොසන්සුන්කම සමග නැවත හැරී එන්නටය. ඩිල්ෂාන්ට දැන ගැනීමට අවශ්‍ය වූයේ කුමක්දැයි සිතමින් ආපසු එන ගමන පුරාම අවිනාශ් තම සිතට වද දී ගත්තේය.

                                   *********************************

"කාලනණ්නි... ඔහොමද යකෝ වැඩක් නීට් එකට කරන්නේ..? තොපිට කිව්වෙ කිසිම සාක්ෂියක් නැතිවෙන්න වැඩේ ඉවර කරලා දාන්න කියලනේ.. ෂිහ්.. ෂිහ්.. මොනවද යකෝ තොපි මේ කරේ..?"

හිසෙහි එකදු කෙස් ගසක් නැති කාළවර්ණ රූපකායක්, තමන් ඉදිරියේ වූ මිනිසුන් කිහිප දෙනෙකුට බෙරිහන් දුන්නේය. කෙසේ කෑමොර දුන්නද ඔහුගේ සිතේ වූ කේන්තිය නම් අඩුවූයේ නැත. මේ  අමන රැල තමන් බාර දුන් වැඩය, එහෙම් පිටින්ම අනුභව කර ඇත. දැන් නම් මූ කෑවත් මදිය.

"හොදට මතක තියාගනිව්.. මේකෙ කොහෙන් හරි පුංචි කොනක් හරි පොලීසියට හෙම අහුවුනොත් මං උඹල හැම එකාම ආන් අර බාක්ලෙ එල්ලනවා... කකුල් දෙකෙන්.."

"මුකුත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ සර්..."

පිරිසේ නායකයා යැයි සිතිය හැකි තරුණයෙක් තම කටහඩ පරිසරය පුරා විහිදවිය. කාලවර්ණ රූපකාය තම තියුණු දෑස මේ පුංචි මිනිසා වෙතට යොමු කළේය. මේ මිනිසා තම අනාගතයට ඉතා විශිෂ්ඨ ගනයේ ආයෝජනයක් බවට පත්වීමට ඉඩ තිබුණත්, කාලවර්ණ රූපකාය එය තඹයකට මායිම් කළේ නැත. අනාගතය කෙසේ වෙතත් ඔහුට ඇවැසි වූයෙ වර්ථමානය සදහා ක්‍රියාකාරකම්ය. වර්ථමානයේ ෆේල් වී අනාගතයේ පාස් වන්නෙ කෙසේදැයි ඔහු සිතුවේ අවදානමෙනි..

"ප්‍රශ්නයක් වෙන්නෙ නැත්තේ කොහොමද මිනිහෝ... හැපිච්ච වාහනේ තාම එතන.."

"වාහෙන් එතන උනාට, අපි ටවුමෙ ඉන්න බේබද්දෙක් ඒක ඇතුළට දැම්මා.."

"මොකක්...?"

"ඔව් සර්.. පොලීසිය ගානට කතන්දරේ හදලා ගනියි.. අපේ මයිලක්වත් ගෑවෙන්නෙ නෑ.."

"ගෑවෙන්නෙ නැත්තෙ කොහොමද මිනිහෝ... පොලීසිය දෙකක් තුනක් අනිනකොට ඌ ඉපදිච්ච තැනුත් වමාරයි.."

"එහෙම වෙන්නෑ සර්.."

"වෙන්නැත්තෙ නෑ මිනිහෝ.. වෙන ඩිවිෂන් එකකින් බැස්සොත් තමුසෙලාගේ ඔය කලර්ස් ඉවරයි.."

"මං හිතන් නෑ සර්..."

"ඇයි...?"

"ඌ උපන්ගෙයි ගොලුවෙක් සර්..."

තත්පර ගානක් ගෙවී යද්දී කාලවර්ණ රූපකායේ මුහුණට මද සිනාවක් එක්විය. පුංචි මිනිසා සමග පැමිණි පිරිසේ අයටද සැනසීමක් ලැබුනේ එවිටය..

"හරි.. දැන් ගියදේ ගියාවේ.. හැබැයි මෙතනින් එහාට නම් පුංචි වැරදීමක්වත් වෙන්න බෑ.. තේරුණාද..?"

"ඔව් සර්.."

"මට ඕන ඩී.ජේ ගෘප් එක නැත්තටම නැති කරලා දාන්න.. නහරයක් දෙකක් වැඩිපුර පිහිටලා තිබුණේ ඔය බාල එවුන් දෙන්නට.. දැන් ඉතින් ඒකත් හරිනේ.. පුළුවන් නම් ඉක්මනට ලොකු එකාවයි, දෙවනි එකාවයි ඉවර කරලා එනවා.."

"එතකොට... එතකොට සර්..."

"ඔව්.. එතකොට මොකක්ද...?"

"අවිනාශ්ට මොකද කරන්නේ..?"

"ආ... ඌද..?"

කාළවර්ණ රූපකායේ දිලිසුම් දුන්නේ බිහිසුනු මදහසකිනි. එය දැකි ඔහු වටා හුන් බොහෝ දෙනෙකුගේ ගත සිත කිළිපොලා ගියහ.

"ඌවත් දන්නෙ නැති අදුරු ලෝකෙකට යන්න ඌට වෙලාව.. හහ්... හහ්.. හහ්... හා...."

ඔහුගේ සිනාවට අනෙක් අයගේද සිනාවන් එකතු වූ විට එය මහා අමන සිනා සාගරයක් විය.

"ඒ කියන්නෙ අපි ඌව මරන්නෙ නෑ.. එහෙමද සර්..."

සිනාසී තරවීම කෙසේ වුවත්, සොදුරු ජේත්තුකාරයාගේ ඉරණම තීන්දු කර සිනහවීම වෙනමම දෙයක්ය.. එහෙත් තමන් සිනාසුනේ කුමකටදැයි නොදන්නා මිනිසුන්ද ඒ අමනරැල අතරේ සිටියහ.

"මරන්නෑ... ඔව් යකුනේ.. අපි ඌව මරන්නෑ..."

"එහෙනම්..?"

"මුළු ජීවිත කාලයම විදව විදවා ඉන්න අපි ඌව නොමර මරනවා.. එතකොට ඌ මැරි මැරි ජීවත් වෙයි.. හහ්..  හහ්..  හා...."

සෑම දුෂ්ඨ බලවේගයක්ම ඒකරාශි වී අවිනාශ්ට පහර දීමට තීරණය කලා වැනිය. එහෙත් මේ බලවේග නොදැන සිටි එකම දෙයක් නම්, සෑම අවාසනාවකටම මුහුණ දීමට අවිනාශ් සතුව ඇති ආත්ම ශක්තිය ගැනය. සියලු දෑම අහිමි වී යද්දීත් ඔහු ළග අවසානයට ඉතිරි වූයේද ආත්ම ශක්තිය පමණි..

                                          ****************************

"ඩී.ජේ සොයුරන්ට පහර දුන්නේ කවුද..?"

රෝහලේ සිට ඩිල්ෂාන්ගේ නිවස බලා එන අතරතුරේදී අවිනාශ්ගේ සිත පෙලූ ගැටලුව විය. කොන්ද පණ නැති අමනයෙකු තමාට සැගවී සිට තර්ජනය කල බැව් සැබෑය. ෆොක්ස් හීල් තරගයෙන් පරදින්න යැයි අන කල බවත් සැබෑය. තමා කලේ  ඒ තර්ජන නොසලකා හැරීමය. එයට ඩී.ජේ සොයුරන්ද පලි නැත. ඔවුන් කළේ තරගය පුරා තමාට ආරක්ෂාව සැලසූ එක පමණි. එසේ තිබයදීත් මේ නොදන්නා සතුරා තමාට පහර දුන්නේය. ඔහුව කෙසේ හෝ හදුනා ගැනීම මේ අනතුරෙන් බේරීමට ඇති එකම අවස්ථාවයි. අවිනාශ්ගේ සිතට හදිසියේම සිහිපත් වූයේ තමා ජෙහාන් සමග සිටියදී දුටු සැක කටයුතු කලු සන්ග්ලාස් කරුවාය. තමා ජෙහාන්ට ඔහුව පෙන්වද්දී සුළගවත් නොතියා ඔහු වාෂ්ප වී තිබිණි.

"හ්ග්... හ්ග්... අ... අනේ.. අ..වි..නා..ශ්.."

දිලීකා හඩාගෙනම පැමිණ අවිනාශ්ගේ දෑතේ එල්ලීණි. ඇගේ සොදුරු දෙනෙත හැඩීම නිසාවෙන්ම රත් පැහැයට හැරි තිබිණි.

"ඇ.. ඇයි දිලී...?"

"අනේ.. ඔයා ආපු එක කොයි තරම් හොදද..? දෙයියනේ කොහොමද චූටි අයියටයි, පුංචි අයියටයි.. එයාලා මොනවද මේ කරගෙන තියෙන්නේ.. එයාලට හුගාක් ඩැමේජ් ද..? අනේ මට කියන්න අවිනාශ්.."

"කිසි ප්‍රශ්නයක් නෑ දිලි.. කිසිම ප්‍රශ්නයක් නෑ.. එයාලට ඉක්මනට සනීප වෙයි.. චූටි අයියට පුංචි ඔපරේෂන් එකක් කරන්න තියෙනවා.. එච්චරයි.."

"ඔපරේෂන් එකක්..?"

"ඔව් දිලී.. මේක ඒ තරම් බරපතල එකක් නෙමෙයි.. තව සතියකින් විතර අයියලා දෙන්නම ගෙදර එයි.."

අවිනාශ් තත්වය සාමාන්‍යකරණය කළේය. තමන්ගේ ආදරය දිනූ මේ හැඩකාරියගේ දෑසේ කදුළු පිරෙනු දකින්නට ඔහු ආශා නොකළේය. ඔහු බලාපොරොත්තු වූ පරිදිම දිලීකාගේ සොදුරු වතෙහි මද සැනසීමක ලකුනු පැහැදිලිව පෙනෙන්නට විය..

"උ... උං ඔයාටත් කරදරයක් කරයිද..? අනේ මට බ.. බයයි අවිනාශ්.."


"ඔයා බයවෙන්නෙපා දිලී.. මට මුකුත් කරන්න උංට කවදාවත් බෑ.. අපි ඉස්සෙල්ලම ඔයාගෙ අයියලව පරිස්සම් කරගන්න බලමු.. එයාලා නැතුව මේ කිසි දෙයක් කරන්න බෑ.."

දිලීකාගේ රත් දෙතොලේ පිපුණේ අසිරිමත් වූ සොදුරු මදහසකි. අවිනාශ් කෙරෙහි උපන් අප්‍රමාණ වූ ආදරයකින් ඇයගේ පුංචි හදවත දෙදරුම් කන්නට විය. තමාගේ තෝරා ගැනීම කොයි තරම් නිවැරදිද ඇය සිතුවේ සිතට අපමණ සැනසීමක් ගලා එද්දීය..

"ඉන්න මං ඔයාට බොන්න මොනවා හරි ගේන්නම්.."

"එපා දිලී.. අපි ටිකක් කතා කරමු.."

"කතා කරමු.. කූල් ඩ්‍රින්ක් එකක් අරගෙන.."

"ඉන්න මාත් එන්නම්.."

අවිනාශ් සැදුවේ දිලීකා සමග නිවෙස තුළට යාමටය. එහෙත් ඊට පෙර ඔහුගේ ජංගම දුරකථනය හඩ තැලුවේය. දිලීකාට යන්න යැයි අතින් සන් කරමින් ඔහු දුරකථනය ළං කරගත්තේය.

"අවිනාශ්.."

එපා පැත්තෙන් ඇසුණු කටහඩින් ඔහු අන්දමන්ද විය. ඇමතුම ලැබී තිබුනේ රොමේෂි ගෙන්ය..

"මං මේ වෙලාවේ ලොකු වැඩක්.. ඔයාට පස්සෙ ගන්න පුලුවන්ද..?"

අවිනාශ් ඇසුවේ නිවස දෙස බලමිනි. ඔහුගේ සිතට යම් වරදකාර හැගීමක් දැනෙමින් තිබිණි.

"බෑ.. බෑ.. බෑ.. මට ඔයත්තෙක්ක කතා කරන්න  ඕන..."

"මේ වෙලාවේ බෑ..."

"ඇයි අවිනාශ්.. ඔයා මට මේ තරම් රිද්දන්නේ..? මං මේ දවස් කීයකින්ද ඔයාට කතා කෙරුවෙත්..?"

"කියන දේ තේරුම් ගන්න රොමේෂි, මං වැඩක ඉන්නේ.."

සෙමෙන් නමුදු තරවටුවක ස්වරූපයෙන් අවිනාශ් කියා දැමුවේය. පුදුමය කියන්නේ දිලීකා හමුවීමට ආ මොහොතේම රොමේෂි කතා කළ එකය. කෙසේ වුවත් දිලීකා මෙතන නැති එකට අවිනාශ් දෙවියන්ට පින් දුන්නේය. ඇය සිටියා නම් තමා දැඩි අසීරුතාවයකට පත්වෙනු ඇත.

"ඔයාට හෙට පුළුවන්ද..?"

මදක් නිහඩව සිටි රොමේෂි එක්වරම ඇසුවාය.. 

"මොකක්ද..?"

"පුළුවන්ද කියලා කියන්නකෝ.."

"මට තේරෙන්නෑ ඔයා අහන දේ.."

මද කෝපයක් සිතට ගලා එමින් තිබියදී අවිනාශ් තමාව පාලනය කර ගනිමින් කතා කළේය..

"අපේ පොරොන්දුව ඔයාට ඔය තරම් ඉක්මනට අමතක උනාද අවිනාශ්. මං මේ දවස් ගානම ගෙව්වෙ ඒ ගැන මතක් කර කර.. අනේ.. මට එහෙම කරන්නෙපා දෙයියනේ.."

"රොමේෂී මොනවද මේ කියවන්නේ..? ඔයා කියන දේ කෙලින්ම කියන්න ඔයාට බැරිද..? ඔයාගෙ මේ කතාවෙන් මගේ ඔලුවත්තෙක්ක අවුල් වෙනවා.."

"ඔයාගෙ ඔලුව අවුල් කරන්න මං හිතුවෙ නෑ.. ඔයාගෙ අකමැත්තකින්, මගෙත් එක්ක ලන්ච් එකක් ගන්න කියලා බලකරන්න මට බෑ.. කමක් නෑ.. මේ හැමදේම මං දරා ගන්නම්.. ඔයා කරේ මට රිද්දපු එක විතරනේ.."

"ලන්ච් එකක්..?"

"ඔව්... ඔයාට මතක නැද්ද. මගෙත් එක්ක ලන්ච් එකක් ගන්නවා කියලා ප්‍රොමිස් උනා..."

ළමා ක්‍රීඩාංගනය අසලදී රොමේෂි හා සිදුවූ කතාබහ සැනෙකින් අවිනාශ් ගේ සිතට ගලා ආවේය.

"ඉතිං...?"

"ඉතිං කියන්නේ... මං ඇහුවෙ ඒක මතකද කියලා..."

"මතකයි..."

"එහෙනම් හෙට ලන්ච් එක ගන්න මගේ ගෙදරට එන්න පුළුවන්ද..?"

"ම්.."

මෙය සමබර ආහාර වේලක් සදහා අවිබල ආරාධනාවක් බව සැබෑය. එහෙත් කීප සැරයක් හෝ සිහිකල්පනාවෙන් කල්පනා කර පිළිතුරක් දිය යුතුය. අවිනාශ්ගේ සිත උඩටම ආවේ බෑ කියන පිළිතුරය. ඔහු එය පිට කරන්නට හදන විටම නිවස ඉදිරපසින් දිලීකා මතුවෙනු දුටුවේය. දැන් තමා බෑ කිව්වොත් රොමේෂි දිගින් දිගටම කතාව ඇදගෙන යනු ඇත. එනිසාම ඔහු අකමැත්තෙන් වුවත් දෛවෝපගත ගමනකට මං පෙත් නොදැනීම විවර කර ගත්තාය..

"කියන්නකෝ අවිනාශ්.."

"හා..."

"ඒ කියන්නෙ ඔයා හෙට ලන්ච් එකක් ගන්න මගේ ගෙදරට එනවා.."

"ඔව්.."

"මට ප්‍රොමිස් කරන්න.."

"ප්‍රොමිස්.."

අවිනාශ් දුරකථනය ක්‍රියාවිරහිත කර දැමුවේය. සිනාමුසු මුහුණින් ජීවය පිරී ගිය ගතින් යුතුව දිලීකා ඔහු කරා ආවාය..

"කවුද අවිනාශ්..?"

"යාලුවෙක් දිලී.."

ඇය ඉන් එහාට ඒ ගැන විමසුවේ නැත. කිසිදු දෙයක් හාර හාර අවුස්සන පුරුද්දක් දිලීකා ළග නොමැති වීම ගැන, අවිනාශ් නැවත වරක් දෙවියන්ට පින් දුන්නේය..

"අවිනාශ්..."

"ම්..."

සොදුරු නිල් දෑසේ වූයේ හිත කළඹාලන සුලු දගකාර ආරාධනාවකි. එහෙත් අවිනාශ් සිටියේ අනේක වාරයක් සිතෙන් ලතැවි ලතැවීය. රොමේෂිගේ ඇමතුමත්, තමා ඇය හා එකගතාවයකට පැමිණිමත් ඔහුගේ තුන් සිතම කළඹා දමන්නට සමත්ව තිබිණි. රොමේෂිට හා කියන්නට පෙර තමාට තව ටිකක් කල්පනා කරන්නට ඉඩ තිබිණි යැයි ඔහුට අවසානයට සිතුණි.

"අපි ගේ ඇතුළට යමුද..?"

දිලීකාගේ වතෙහි වූ ආකාස්මික හැගීම්බර බව අවිනාශ්ගේ සිත නිවාදමන්නට නොදැනීම මං පෙත් විවර කර ගත්තේයත ගේ ඇතුළට පැමිණි පසු අවිනාශ්ට දැනෙන්නට වූයේ සියල්ලෙන්ම සංතෘප්ත වූ සිතකට දැනෙනා අන්දමේ නිරාමිස බවකි. මේ රූබරිය ඉදිරියේ තම සිත මෙපමණ නිවී සැනසීමකට පත්වන්නේ කෙසේදැයි ඔහු සිතුවේ විස්මයෙනි. 

"ඔයා හුගක් කල්පනා කරනවා.."

"මුකුත් නෑ කෙල්ලේ..."

දිලීකාගේ බද වටා දෑත යවමින් අවිනාශ් ඇයව තම ඉන පෙදෙසට තද කර ගත්තේය. රත් පැහැ ගැන්වුණු වතින් යුතුව ඇයද අවිනාශ්ට තුරුලු වූවාය. ඇයගේ පහසින් රොමේෂි පිලිබද වූ අන්තිමි සිතුවිලි රොඩ්ඩද ඔහු වෙතින් ඝන අන්ධකාරයට පලා ගියේය..

"දිලී..."

"ම්.."

"ටිකක් ලංවෙන්න බබා.."

"මීට වඩා කොහොමද රත්තරනේ ලංවෙන්නේ...?"

සිහින් හඩින් සිනාවෙමින් ඇය එය ඇසූ ලගන්නා සුළු බව අවිනාශ්ට අතෘප්තකර ආශාවන්ගෙන් ගහන වූ පාරාදීසයකට කැදවාගෙන යන්නට විය. සත්තකින්ම එය ඔවුන්ගේ ලෝකය සදාකාලිකවම එකලු කළ සොදුරු විනාඩි ගණනක් විය. කිසිදා නොදුටු සුරංගනා පෙම් රජ දහනක් අවිනාශ්ගේ දෑස ඉදිරියේ ජීවමාන වන්නට විය.

"ඔයා මගේ ළග ඉන්නකොට තමයි මගේ හිතට පුදුම නිදහසක් දැනෙන්නෙ.."

"ඇයි දිලී..?"

"එතකොට මට හිතන්න දෙයක් නෑ නේ.."

"ඒ කියන්නේ..?"

"ඔයා මගේ ළග නැත්නම්, මට ඔයා ගැන කොයි තරම් දේවල් හිතන්න තියෙනවද..? ඔයා කෑවද.. නිදාගත්තද..? මොනවා කරනවා ඇතිද..? කාත් එක්ක හරි රංඩු වෙනවද..? ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් කරනවද..? තව ගෑණු ලමයි දිහා බලනවද..? ඔන්න ඔය වගේ වැඩ මහ හුගක්.."

"දැක්කද... දැක්කද.. ඒ කතාවට කොහොම හරි ගෑනු ළමයෙක් ගාව ගත්තා.."

අවිනාශ් ඇයට හෙමින් සීරුවේ පාරක් ගැසුවේය.. 

දිලීකා, ඒ අත ආපිටට තමා වෙතට ඇද ගනිමින් තම ළයට තද කර ගත්තාය. අවිනාශ් කළේ, අත ඉවතට ඇද ගනිමින් තම මුහුන ඇයගේ පිරිපුන් ල්‍ය මඩලේ සගවා ගැනීමය..

"අවි... නා... ශ්..."

"ම්..."

"තව ටිකකින් ලොකු අයියා එයි.."

දිලීකාගේ වදනින් අවිනාශ් සිහින ලොවින් බිමට ඇද වැටුණේය. දිලීකාගේ උණුසුමින් තම තුන් සිතම වැසී යන විට දැනෙනා සැහැල්ලුව තව මොහොතකින් නැතිවී යනු ඇත. ඇයගෙන් මිදී  යන්නට බැරි අදිසි ලෝබකමකින් සිත බෙරි වෙද්දී ඔහු තොල්පට සපා ගත්තේය. කමක් නැත. මේ සැමදේටම තමා ඉදිරියේ තව සුබ දවස් බොහෝ ප්‍රමාණයක් ඇත. ඒ ගැන දැන්ම කලබල නොවිය යුතුය.

"මං යන්නද දිලී.."

විනාඩියක් දෙකක් ලෙසට ඉතා ඉක්මනින් ගෙවී ගිය පැය බාගයකින් පමණ පසුව අවිනාශ් ඇසුවේය.

"පරිස්සමින් රත්තරං.. ඔයා මගේ ළග ඉන්නවා නම්, මගේ ඇස් ඉස්සරහා ඉන්නවා නම් මට බයක් නෑ. ඒත්.. ඒත්.. ඔයා මට නොපෙනී ඉන්නකොට මට මහා ලොකු බයක් දැනෙනවා.."

"මට මුකුත් වෙන්නෑ දිලී..."

"මාත් එහෙමයි දෙයියනේ හිතන්නේ.. ඔයාට මොනවා හරි උනොත් නම් මට ජීවත් වෙලා වැඩක් නැහැ. හග්.. හග්.. මට කියන්න.. මට කියන්න... ඔයා හොදටම පරිස්සම් වෙනවා නේද..?"

"ඔව්.. කෙල්ලෙ ඔව්..."

"මං වෙනුවෙන් පරිස්සම් වෙනවා නේද..?"

"ඔව් දිලී..."

අවිනාශ් නැඹුරු වි ඇයගේ රත් දෙතොල් ලිහිල්ව පිස ගත්තේය. අතිශය වේදනාත්මක වෙන්වීමකට පෙර, දෛවය විසින් ඔවුන් දෙදෙනා අවසන් වරට සෙනෙහසින් මුණ ගැස්වූ අවසන් අවස්ථාව විය..

                                      *******************************

රොමේෂි පසුවූයේ ලෝකයේ ඇති වටිනාම වස්තුව තම දෝතට ලැබුණාම් මෙනි හැගීමකි. අවිනාශ්ව මෙතරම් ඉක්මනට තම නිවසට කැදවාගෙන ඒමට හැකිවේයැයි ඇය සිහිනෙකින්වත් සිතුවේ නැත. එහෙත් නොපැතූ මොහොතක ආ අදිසි වාසනාවක් සේ තම ජීවිතයේ වඩාත්ම වැදගත් පුද්ගලයා සමග අඩුම තරමේ පැයක කාලයක්වත් ගෙවා දැමීමට ඇයට දැන් හැකිය..

"ස්...ලා...ං..."

රොමේෂිගේ සිතුවිලි සයුර බිදී ගියේ, යමක් කුමක ගෝ හැගී බිදී යන හඩිනි. ඇය වහාම නිදන කාමරයේ ජනේලයෙන් එපිට බැලුවාය. පරිසරය පුරුදු පරිද්දටම නිහඩව, නිසලව තිබිණි. රොමේෂිගේ සිතට බිය මුසු, සැක කටයුතු හැගීමක් ගලා ආවද, සිත කළඹන කිසිදු දෙයක් ඇය දුටුවේ නැත. එහෙත් කිසිවෙකු හෝ පිටතට සිට තමා දෙස බලා හිදිනවා වැනි හැගීමක් ඇයට දැනුණාය. තම සිතේ උපන් සොන්සුන්කම නිසා, අනවශ්‍ය දේවල් දතම සිතට බරක් වී යැයි ඇය සිතුවේ සංකාවෙනි.. ජනේල රෙද්ද ඇය පහතට හෙලුවේ බරට සුසුමක්ද හෙලමිනි.

ඒ මොහොතේම ඇයගේ නිදන කාමරයට පිටතින් සැගවී සිටි පුද්ගලයෙක් හෙමින් සීරුවේ නිවසේ තාප්පයෙන් තාර පාරට පැන, මාර්ගය අයිනේ නවතා තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථය වෙතට ඇවිද ගියේය. රථය තුළ සිටියේ අවිනාශ්ගේ ලෙය අමෘතයක් ලෙස ඉල්ලමින් සිටි ශානකය..

"වැඩේ හරිද...? කෙල්ල ඉන්නවද..?"

"ඔව් සර්..."

"තත්වය කොහොමද..?"

"ගුඩ් නිව්ස් සර්..."

"ඉතිං කියපං.. මං මේ බලන්  හිටියා හොදටම ඇති.. මට තවත් බලන් ඉන්න බෑ.."

"දවස..?"

"ඔව් කියපං.."

"හෙට.."

"හෙට කිව්වේ..?"

ශානකගේ මුහුණට ලේ පීරී ආවේය. මෙතුවක් කාලයක් එහි ලේ කදුලක් තිබුනේ නැත.

"හෙට දවල්ට ඌ මෙහේ එනවා.. මේකිත් එක්ක මධුසමය ගත කරන්න.."

"ඔය තියෙන්නේ... ඔය තියෙන්නේ.. හහ්.. හහ්.. හා... වෙරි ගුඩ් පුතා.. වෙරි ගුඩ්.. ඒ කියන්නෙ හෙටින් පස්සෙ ඌට ඉර පායන්නෙ නෑ.. ඌට හම්බවෙන්නෙ අදුරු සීතල පුංචි කාමරයක් විතරයි.. හහ්.. හහ්.. හා.."

ශානකගේ වියුරු සිනා හඩ ඩිෆෙන්ඩ්ර් රථයෙන් මිදී අවට පරිසරය පුරා සැනෙකින් ගලා ගියේය.

                                        ******************************

නිවසට ගිය වහාව අවිනාශ් කලේ ඇගපත සෝදාගෙන ඇදට පැනීමය, කුමක්දෝ නොදන්නා විඩාබර බවක් ඔහුගේ සිත ගත පෙලා තිබිණි. දිලීකා ළග සිටියදී ඇනුන සතුට සැනසුම මේ මොහොතේ අංශු මාත්‍රයක් හෝ ඉතිරිව තිබුණේ නැත.

ඩිල්ෂාන්ට ඇමතුමක් දී සොයුරන්ගේ තත්වය ගැන ඇසීමට ඔහු ජංගම දුරකථනය අතට ගත්තේය. ඒ සමගම එය නාද වන්නට පටන් ගත්තේය. පුදුමයකට මෙන් ඇමතුම ලැබී තිබුනේද ඩිල්ෂාන්ගෙන්ය..

"අවිනාශ් කොහෙද ඉන්නේ...?"

"ගෙදර.."

"නංගිත් ඔතන ඉන්නවද..?"

"නෑ.. නෑ.. මං අපේ ගෙදර ඉන්නේ.."

ඩිල්ෂාන්ගේ මුවින් ගැඹුරු හුස්මක් පිටවී යනු අවිනාශ්ට ඇසුනි. ඔහු කිසියම් මානසික පටලැවිල්ලක වෙලී සිටිනා හැඩකි. ඒ පිලිබදව විමසීමට සිතුවත්, ඩිල්ෂාන්ගෙන්ම කතා කරනා තුරු නිහඩ වීමට අවිනාශ් සිතා ගත්තේය.

"මං මේ දේ හොස්පිටල් එකේදි ඔයාට කියන්න ගියා.. ඒත් මට මග ඇරුණා.."

"මොකක්ද..?"

අවිනාශ්ට අවැසිව තිබුණේද එම කරුණ ගැන දැන ගැනීමටය. ඔහුගේ සිතේ දැවටී තිබූ නොසන්සුන්කමද එයට එක හේතුවක් විය. තමා ඔහුගෙන් අසන්නට පෙර ඩිල්ෂාන්ම ඇමතුමක් දී එය තමාට දැනුම් දීම ගැන අවිනාශ්ගේ සිතට එක් කළේ සිහින් සතුටකි.

"රොමේෂි එක්ක ඔයාගෙ තියෙන සම්බන්ධෙ මොකක්ද..?"

වහෙන් ඔරෝ කතාවක් නැත. ඩිල්ෂාන් ඇසුවේ කෙලින්මය. තත්පර ගණනාවක් යනතුරු අවිනාශ්ගේ මුවට වචන ගලා ආවේ නැත.

"ඇ.. ඇයි ඩිල්ෂාන් එහෙම අහන්නේ..?"

"මගෙන් ප්‍රශ්න අහන්න එපා.. මං අහපු දේට උත්තර දෙන්න.. එහෙම බැරි නම් බෑ කියන්න.. මං ෆෝන් එක තියන්නම්..."

"බැරිකමක් නෑ.. ඒත් ඔයා එහෙම අහන්නෙ ඇයි කියලා අහන්න මට අයිතියක් තියෙනවා.."

"මොකක්ද අයිතිය..?"

"ඔයා මගේ ලොකු මස්සිනා හින්දා.."

"ඒකත් එහෙමයි නේ නේද..? අහන්න හේතු තියෙනවා අවිනාශ්.."

"හේතු..?"

"ඔව්.. මං කීප දවසක්ම දැක්කා.. ඔයා ඒ කෙල්ලව හුගාක් ලගින් ආශ්‍රය කරනවා. මගේ නංගි එක්ක යාලු හින්දා, වෙන කෙල්ලො ආශ්‍රය කරන්න එපා කියලා, ඔයාට සීමා දාන්න මට බෑ.. මං ඒකට කැමති නෑ. ඒත් මට ඒ කෙල්ලව දිරවන්නෙ නෑ.."

තමාත්, රොමේෂිත් කතාබහ කල අවස්ථා කිහිපයේදීම ඩිල්ෂාන් ආගන්තුක සැකයකින් බලා සිටි අයුරු මෙහිදී අවිනාශ්ට සිහිපත් විය.

"රොමේෂිත් එක්ක මගේ ලොකු සම්බන්ධයක් නෑ ඩිල්ෂාන්.. එයා මගේ සාමාන්‍ය යාලුවෙක් විතරයි.."

"ඔය ඇත්තමද..?"

"ඔව්.. ඇයි...?"

"සමහර වෙලාවට මට මගේ නංගි ගැන මහ විසාල බයක් දැනෙනවා.. ඒ බයම මට ඔයා ගැනත් දැනෙනවා.. ජීවිතේ පටන් ගන්න කලින්ම ඔයාලට විදවන්න වෙයි කියලා මගේ හිත මට කියනවා.. ඒ සමහර විට ඔයාලා දෙන්නා හැම අතින්ම අංග සම්පූර්ණ දෙන්නෙක් කියලා මගේ හිත හිතන හින්දා වෙන්නැති.."

"ඒ කියන්නේ..?"

"ඔයාලට කිසිම පැත්තකින් අඩුවක් නෑ.. හැම අතින්ම ඉස්සරම්.. ඔයාලා දෙන්නා හිතපු දේවල් බොහොම ඉක්මනට ඉෂ්ට වුණා. ඔයාගෙ පැත්තෙන් උනත්, අපේ පැත්තෙන් උනත් ඔයාලා දෙන්නට ආශිර්වාද කලා. ඔයාලගෙ ආදරේට කිසිම බාධාවක් නෑ.. ඔයාලගෙ ආදර කතාවට කිසිම දුෂ්ඨයෙක් නෑ.. ඒක වෙන්න බෑ අවිනාශ්.."

"බෑ කියන්නේ..?"                            
                             
අවිනාශ්ට මේ කතාවේ හතර කොනක් තේරුණේ නැත. ඔහු සාවධානව අසා සිටියේ එබැවිනි.

"ඔයා වගේ ප්‍රසිද්ධ හැන්ඩ්සම් කොල්ලෙකුයි, මගේ නංගි වගේ සුරංගනාවියකුයි එකතු වෙනවට හැමෝම අශිර්වාද කරයි කියලා ඔයා හිතනවද..?"

"මං දන්නෑ ඩිල්ෂාන්.."

"මේ ආදරේට හරස් කපන කවුරු හරි මේ කොහේ හරි ඇති.. මට එහෙම හිතෙනවා.. ඒ ඇයිද කියලා කියන්න මං දන්නෙනෑ. අර ඉව කියලා දෙයක් තියෙන්නෙ.. මොනවා හරි වෙන්න යනකොට හිතට දැනෙන්නෙ අන්න ඒ වගේ එකක්.."

"මට ඩිල්ෂාන් කියන දේ තේරුණේ නෑ.."

අවිනාශ් ඇත්තම කියුවේය. ඩිල්ෂාන් මේ කතා කරන දෙය ගැන කිසිදු පැහැදිලිතාවයක් තමාට නැත. ඔහු තමා ගැන මෙන්ම දිලීකා ගැනත් බියක් ඇතිකරගෙන සිටියි. එය මහා විහිලුවක් නොවන්නේද..? තමන්ගේ ආදරයට හරස් කපන දුෂ්ඨයින් සිටින්නේ කොහිද..? 

"මීට එහා දෙයක් කරන්න මට තේරෙන්නෙ නෑ.. ඒත ඔයා රොමේෂිගෙන් ඈත් උනොත් හොදයි.."

"ඇයි...?"

"හේතුවක් කියන්න මං දන්නෙ නෑ.. අර මගේ හිතට දැනෙන බය උඩිනුයි මං මේ දේ කියන්නේ.. ඒ කෙල්ලගෙන් ඔයාට කිසිම හොදක් වෙන්නේ නෑ.."

"රොමේෂි මට ලොකු උදව්වක් කරා ඩිල්ෂාන්.."

"ඒක ඇත්ත.. ඒත් ඒ උදව්වට වඩා ඔයාගෙ ජීවිතෙයි මගේ නංගිගෙ ආදරෙයි වටිනවා නේද..?"

"ඔයා ඔහොම කතා කරන්නේ, මොනවා හරි ඩීටේල්ස් දැනගෙනද..?"

"නෑ..මං තාම ඉන්නෙ හොස්පිටල් එකේ.. මල්ලිලාට දැන් හොදයි.. එයාලව මෙහෙම හොස්පිටල් එකට දාලා ඔයාව තනි කරන්නයි කවුරු උනත් හදන්නේ.. මං මේ මගේ ඉවට දැනෙන දේවලුයි කියන්නේ.. ඒ ඉව හැමෝටම නෑ අවිනාශ්."  

"මං දැන් හොස්පිටල් එකට එන්නද..?"

"එපා.. මේ දවස් ටික මග ඇරෙන කල් ඔයා කොහේවත් යන්න එපා.. ගෙදරට වෙලා ඉන්න.."

"මං ඒක කොහොමද කරන්නේ..?"

"ඔයාට කරන්නම වෙනවා.. නංගිත් එක්ක කතා කරන්න උවමනා උණාම, මං එයාව ඔයාගෙ ගෙදරට එක්කගෙන එන්නම්. ඔයා පරිස්සම් වෙන්න.. මොකද ඔයාව අපිට හරියට වටිනවා.. මං තියන්නම්.."

ඩිල්ෂාන් හදිසියේම නිහඩ වුණි. ඔහු පැවසූ කරුණු දිගේ සිතන්නට බොහෝ දේවල් අවිනාශ්ට තිබිණි. රොමේෂිගෙන් ඈත්වෙන්න යැයි, ඔහු තමාට කීවේ ඇයි..? එය කිසිදු අයුරකින් තමාට බල කිරීමකින් තොරව කියූ දෙයක් ලෙසට අවිනාශ්ට දැනී තිබිණි. ඩිල්ෂාන් එය කීවේ හර්දයාංගමවය. එය ඉවතට දැමිය නොහැක්කේ එම නිසාය. ඔහුට ඩිල්ෂාන් ගැන මහත් බැතිබර හැගීමක් දැනිණි. ඔහු සිටින තාක්කල් තමාටත් දිලීකාටත් අතුරු ආන්තරාවක් නොවේ යැයි අවිනාශ් විශ්වාස කළේය.

                                     *******************************

සිහින් පොද වැස්සක් හැලෙන්නට ගත්තේ උදෑසන සිටිය. කිසිදු ජීවි බවක් පරිසරය පුරා තිබුණේද නැත. රොමේෂිගේ නිවසට යාම ගැන, මේ වනවිට අවිනාශ් සිටියේ දෙගිඩියාවෙනි. ඇයට ඇමතුමක් දී තමා නොඑන බව කියන්නටද වරෙක ඔහුට සිතුණි. එහෙත් ඒ සමගම ෆොක්ස් හීල් තරගයේ ත්‍රාසජනක රූප පෙලක් ඔහුගේ මතකය පුරා විහිද ගියේය.

කමක් නැත. මේ අවසාන අවස්ථාවයි. අදින් පසු ඩිල්ෂාන් කියූ පරිදිම, තමා රොමේෂි සමග සියලු ගනුදෙනු හමාර කරනවා ඇත. එහෙත් රටක් රාජ්ජ්‍යයක් වැනි දිලීකා දෝත මතම සිටියදී තමාට රොමේෂි සමග ඇති ගණුදෙනුව කුමක්දැයි අවිනාශ් සිතුවේ දොම්නසිනි. මුළු තුන් සිතින්ම දිලීකාට ආදරය කරනා බැව් පැහැදිලිය. එහෙත් මේ රොමේෂිගෙන් හිත ඉල්ලන දේ කුමක්දැයි තොරා බේරා ගැනීමට නොහැකිව අවිනාශ් අන්දමන්දව සිටියේය.

රොමේෂි හමුවීමට යාමට ප්‍රථම මේ ගැන දිලීඛාට කිව යුතුයැයි උදෑසනම සිටම අවිනාශ්ගේ සිත පෙලූ ගැටලුව විය. තමා මේ කරන්න යන්නේ වැරදි දෙයක්දැයි අවස්ථා ගණනකදීම ඔහුගේ සිතට වද දුන්නේය. එහෙත් රොමේෂි ගැන තමා දිලීකාට කියන්නේ මොනවාද..? ඇය සමග ආහාර වේලක් ගැනීමට ඇයගේ නිවසට යාම ගැන දිලීකාට තොරා බේරා දෙන්නේ කෙසේද..?

අවසානයේදී අවිනාශ් තීරණය කලේ කිසිවක් දිලීකාට නොපවසන්නටය. ඔහු එම තීරනය ගත්තේද බොහෝ අපහසුවෙනි. එහෙත් එම තීරණය තම ජීවිතය මුළුමනින්ම විනාශ කර දැමීමට තරම් සැහැසි වනු ඇතැයි ඔහු අංශු මාත්‍රයකින් හෝ සැක නොසිතුවේය.

"මං හිතුවා ඔයා එන එකක් නෑ කියලා.."

අවිනාශ් එනතුරු දෑස රිදෙනතුරු පෙරමග බලා සිටි රොමේෂි කීවාය. රැගෙන ආ විශාල රෝස මල් පොකුර ඇය අතට දී ඉතා සිනිදුව අවිනාශ් ඇයගේ කම්මුල සිපගත්තේය. එය බලාපොරොත්තුවෙන්ම සිටියාක් වැනි හැගීමක් රොමේෂිද ඇගිලි තුඩුවලින් ඉස්සි අවිනාශ්ගේ කම්මුලට දිගු හාදුවක් දුන්නාය.

"ඔයා අද හරිම ලස්සනයි අවිනාශ්.."

ගිලගන්නට මෙන් අවිනාශ් දෙස බලා සිටි රොමේෂි කෙදිරුවාය. ඒ වනවිටත් ඔවුන් දෙදෙනා විසිත්ත කාමරයද පසු කරගෙන සාලයට පැමිණ සිටියාය.

"තෑන්ක්ස්.."

අවිනාශ් ඇය දෙස බැලුවේ හොද ඕනෑකමකිනි. රොමේෂි සිටියේ ඔහු වෙනදා දකිනවාටත් වඩා වැඩි සුන්දරකමකිනි. ඒ සුන්දරකමින් සිත බැදී යන්නට පෙරම අවිනාශ් දිලීකා පිලිබද මතකය සිත තුලට ඇද ගත්තේය. මෙතනින් ඉතා ඉක්මනට ඉවත් වී යා යුතු බව ඔහුගේ සිත ඔහුට මේ වනවිටත් දැඩි සේ අනතුරු අගවා තිබිණි.

"ඉතිං...?"

දීර්ඝ කතාවක් පටන් ගැනීමට පෙම් රොමේෂි අවිනාශ්ගෙ අතකින් අල්ලා ගත්තේය. අවිනාශ් අසීරුවට තම අත මුදාගනිමින් අසුනින් නැගී සිටියේය. රොමේෂිගෙ මූණේ පැන නැගුනේ කුතුහලය මුසු නොසන්සුන්කමකි. තමා මේතරම් ඔහුට ලංවෙද්දීත්, ඔහු පලා යන්නේ ඇයි..? සමහර විට ඔහුට පෙම් බැදි, ඔහු පෙම් කරනා යුවතියන් කිහිප දෙනෙකු සිටින්නට පුළුවන. එහෙත් තමාට එය ගැටලුවක් නෙමේ. මේ මුළු ලෝකයෙන්ම තමාට වටිනා වස්තුව මේ මොහොතේ සිටින්නේ තමා ළගය.

"මට ඉක්මනට යන්නත් ඕන.."

"චුට්ටක් ඉන්නකෝ බබා.. ඔයා ආවා විතරනේ.. ඉන්න මං ඔයාට පොඩි බඩුවක් පෙන්නන්න.. මේක බලලා ඔයා පුදුම නොවුනොත් තමා පුදුමේ.."

"ඒ කියන්නෙ ඔයා මාව පුදුම කරනවා.."

"අනිවාර්‍යයෙන්ම.."

මද අදුරු පැහැති කවරයකින් සැරසූ ඇල්බම් කිහිපයකින් හා සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල තද කොළ පැහැති ෆයිල් එකක් ඇය ඔහු වෙතට දිගු කළේය.

"මොනවද මේ.. ඔයාගෙ ෆොටෝස් ද..?"

"බලන්නකෝ.."

"මේවයින් කොහොමද මං පුදුම වෙන්නේ.."

"ඕවා බලපුවාම ඔයාට තේරෙයි.. මගේ හිතේ ඔයා කොයි වගේ තැනකද ඉන්නෙ කියලවත්.. අඩුගානෙ එතකොට ඔයා විශ්වාස කරයි, මං කොයිතරම් කාලයක ඉදලා ඔයාව දන්නවද කියලවත්."

"ඒ කියන්නේ..? මට මේ මුකුත් තේරෙන්නෙ නෑ.."

"ඔයාගෙ හිතේ මං ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒ හැමදේටම උත්තර ඔතන ඇති. මං ඔයාව කොයි තරම් කාලයක් දන්නව කියලත් ඔයාට ඕකෙන් ඔයාට හිතාගන්න පුලුවන් වෙයි.. ඔතන තියෙන සමහර ෆොටෝස්, නිව්ස් පේපර් ආටිකල්ස් ඔයා ළගවත් ඇති කියලා මං හිතන්නෑ.."

"හරි.. මං මේක බලන්නම්කෝ.. ඔයා කොහෙද මේ යන්න හදන්නේ..?"

"ඔයාට ලන්ච් එක රෙඩි කරන්න නේ.. නැත්නම් ෆොටෝ තමයි අපි දෙන්නට කන්න වෙන්නේ.."

"අද ගෙදර කවුරුවත්ම නැද්ද රොමේෂි..?"

"ම්.. කවුරුවත්ම නෑ.. අපි දෙන්නා විතරයි.. අද මුළු දවසම අපිට නිදහසේ ඉන්න පුළුවන්.. අපිට බාධා කරන්න කවුරුවත්ම නෑ.."

දෑත් දෙපසට විහිදා ඉතා සැහැල්ලු ස්වරයකින් කියූ ඇය ඉදිරියේම වූ කාමරය තුළට ඇතුලු වූවාය. ඇය පැවසූ දේ ගැන අවිනාශ් එතරම් තැකීමක් කළේ නැත. ඇය කියූ පරිද්දට පුළු දවසම ඇය හා ගත කරන්නට ඔහුගේ සිතේ අංශු මාත්‍රයක හෝ අදහසක් තිබුනේ නැත. හැකි තරම් ඉක්මනින් මෙතනින් පිටවී යාම ඔහුගේ එකම අරමුණ විය. නිවසේ කිසිවෙකුත් නැති වේලාවක තමා මෙහි පැමිණීම ගැන අවිනාශ්ට තිබුණේ ඔහු ගැනම උපන් කෝපයකි. එහෙත් ගිය නුවණ ඇතුන් ලවාවත් ඇදගත නොහැකි බැව් ඔහු දැන සිටියේය.

එහෙත් ඔහු ඉන් එහාට ඒ ගැන සිතන්නට ගියේ නැත. ඔහුට වැරදුන තැනත් එයම විය. තවත් ටික දුරක් හෝ ඒ සිතුවිල්ලේම සිතුවා නම් ඔහුට සත්‍යය පසක් කරගන්නට අවට පරිසරය ගැන අවධානයෙන් සිටින්නටද පුළුවන් කමක් තිබිණි. ඒත් ඔහු ඒ කිසිවක් කළේ නැත. තම අතෙහි තිබූ ඡායාරූප ඇල්බමයට ඔහු නෙත් යොමු කළේය.

පිටුවෙන් පිටුව පෙරළා ගෙන යන විට ඔහුගේ දෑස විස්මයෙන් ඇලලී ගියේය. මෝටර් ක්‍රෝස් තරග වලට ඔහු සහභාගී වූ මුල්ම අවස්ථාවල පෙරහුරු තරග වල ඡායාරූප පවා එතැන පිළිවෙලකට සකසා තිබිණි. ඒ මෙයට අවුරුදු පහකට හෝ හයකට කලිනි. ෆයිල් කවරයේ පුරවා තිබූ ලිපි ශිර්ෂද එසේම විය. ඒවාද අවුරුදු ගණනාවක් පැරණි පුවත්පත් විශේෂාංග ලිපිය. අවිනාශ් මොහොතකට සසැලී ගියේය. ඒ කියන්නේ ඇය තමා ගැන උනන්දුවක් දක්වා ඇත්තේ මෙයට අවුරුදු ගණනාවකට පෙර සිටමය. එය තමාගේ මිල මුදල්වලට ජනප්‍රියත්වයට ඇලුම් කරන ඉගිබිගියක් නොවන බැව් ඔහු වටහා ගත්තේය. ඇය තමා ගැන සිතන්නට පටන් ගෙන ඇත්තේ තමා ජනප්‍රිය මෝටර් ක්‍රෝස් ධාවකයෙකුගේ මූලික අවධිය පසු කරද්දීය.

මුල්ම වතාවට ඇය කෙරෙහි අනුකම්පාවක් බදු හැගීමක් ඔහුගේ සිතෙහි ඇදී යන්නේ ඒ සිතුවිලි කදම්බය හරහාය. ඇල්බම් කිහිපය හා පුවත් පත් වාර්තා පිරවූ ෆයිල් ගොනුව දෙසට දිගින් දිගටම අවධානය යොමු කරද්දී කාලය ගතවී යනු ඔහුට දැනුණේ නැත.

"රොමේෂි..?"

ඇල්බම් කිහිපය ස්ටූලය මත තබා ඔහු නැගී සිටයේ ඇයගේ නම පවසමිනි. දිවා ආහාරය සූදානම් කිරීමට ඇය ගියා ගියාමය. ඇයගේ සලකුණක්වත් නැත. සමහරවිට ඇය පණ දාගෙන උයනවා විය හැකිය. ඔහුගේ සිතට පාලුවක් කාන්සියක් වැනි හැගිමක් දැනෙන්ට විය. මෙතනින් ඉක්මනින් පිටත්ව යා යුතු වුවද කාලය කෙමෙන් ගතවී යන හැඩක් ඔහුට දැනෙයි. මෙය නම් සාමාන්‍ය තත්වයකි. අවසානයදී ඇතලත කාමරයකින් කුමක්දෝ වැටෙන ශබ්දයක් ඔහුට යාන්තමට වගේ ඇසුණේය. එය ලීයක් වැනි යමක් උඩක සිට වැටෙනා ශබ්දයකි. එය කුමක් විය හැකිදැයි අවිනාශ් ඔහුගෙන් විමසමින් සිටියේය.

"රොමේෂි..."

එවර ඔහු මදක් හඩ නගා ඇයව ඇමතුවේය. පිළිතුරක් වශයෙන් කිසිදු ප්‍රතිචාරයක් ගලා ආවේ නැත. ඇය නම් මේ කරන්නේ විහිලුවක් විය යුතුය. මෙපමණ ඇයට අමතා තිබියදීත්, ඇය නිහඩව සිටින්නේ තමා සමග හැංගිමුත්තන් ක්‍රීඩාවවත් කරන්නටද..? තමා ඇයව සොයනා විට ඇය කොහේ හෝ සැගවී සිට අමුතු ගතියක් ගන්නවා වන්නටද පුළුවන. සමහර විට කාමර ගානේ ඇයව සොයා යනවිට රොමේෂි මහා හඩින් සිනහ වී තමාගේ ඇගට පැන බදාගන්නට වුවත් බැරි නැත.

එමනිසා ඔහු ඇය සොයා යන තීරණය වෙනස් කළේය. අවිනාශ් නැවතත් කුෂන් සැටිය මතට ඇද වැටුණේය. කාලය තවත් නොඉවසිල්ලෙන් විනාඩි විස්සකින් පමණ ගෙවී ගියේය. එහෙත් රොමේෂි පිළිබද කිසිදු සලකුණක් අවිනාශ් හට දැනුණේ නැත. තමා අතට මේ ඇල්බම් සියල්ල දී ඇය අන්තරස්දාන වූවා වැනිය.

"රොමේෂී........."

තවත් විනාඩි කිහිපයක් ගෙවී ගියේ නැත. අවිනාශ් නැවතත් ඇයම ඇමතුවේය. ඒ පෙරටත් වඩා උසස් හඩකිනි. තමාගේ කටහඩ නිවසේ බිත්ති පුරා දෝංකාර දෙන හඩ ඔහුට ඇසුණි. ඔහුගේ සිතට නොසන්සුන්කමක් මුසු වූ විඩාබර හැගීමක් දැනෙද්දී ප්‍රථම වතාවට අවිනාශ්ට සැකයේ සේයාවක් පහල විය. රොමේෂි නිවස තුළ සිටින්නට බැරිය. සිටිනවා නම් ඇය තමා මෙපමණ අඩගසද්දීත් නෑවිත් හිදින්නේ නැත. ඇය එවැනි ආකාරයේ අහංකාර යුවතියක් නොවේ.. 

"ඔයා මොනවද කරන්නේ.. මට හොදටම බඩගිනියි.."

ඇය අවසන් අවස්ථාවේදී තම නෙත් මායිමෙන් සැගවී යද්දී ඇය ඇතුළු වූ කාමරය දෙසට පියවර ඔසවන ගමන්  අවිනාශ් කෑගැසුවේය. එය හරියට බීරි අලීන්ට වීණා වාදනය කරන්නාක් වැනිය.

එහෙත් බීරි අලින්ට වීණා වාදනයටත් වඩා හෙණයක් පතිත කරවූ හඩක් ඊලග මොහොතේදී නද දෙන්නට විය. එය නිවසේ සීනුව නාදවන හඩයි. අවිනාශ් තිගැස්සී වටපිට බැලුවේය. දෙවියනේ.. මේ කවුරුන් විය හැකිද..? රොමේෂිද පෙනෙනා මානයක නැත. තමා කුමක් කළ යුතුදැයි ඔහු මොහොතකට නිවී සැනසිල්ලේ සිතනන්ට ගත්තාය.

හදිසියේම ඔහුගේ සිතට පහල වූ සිතිවිල්ල නිසා සිතට අපමණ සුවයක් දැනෙන්නට විය. මේ නම් ෂිරෝමිම විය යුතුය. ඇය තමාව විහිළුවකට ගෙන ඇත. ඇය නිවසේ වටෙන් විත් ඉදිරිපස සීනුව ඔබාගෙන හිදින අයුරු ඔහුට මැවී පෙනිණී. මුලින්ම සිතට දැනුණු සුවය මැදින් ඔහුගේ සිතට දැන්  දැනෙන්නට ගත්තේ සියුම් කෝපයකි.

මේ කෝපය පිටින්ම ඇයගේ දිවා ආහාරයද නොතකා මහගැර යාමට ඔහු හදිසි තීරණයක් ගත්තේය. නිදහසට කරුණු කාරනා ඇයට දීමට ඔහු ළග ඕනෑවටත් වඩා තොරතුරු ඇත. කාමරයට යන ගමන නවත්වා ඔහු ඉදිරිපස දොර වෙතට ඇවිද ආවේද. නිවසේ සීනුව දිගින් දිගටම නද දෙයි.

දොර ඇරිය විගස අවිනාශ් බලාපොරොත්තු වූයේ රොමේෂිගේ දගකාර හිනාව දකින්නටය. එහෙත් ඉදිරිපස මිදුලේ සිටි කිහිපදෙනා දුටු ඔහු තිසැස්සී ගියේය. කොතැනක හෝ කුමක් හෝ වැරදී ඇති බැව් ඒ තිගැස්ම අතරින් ඔහුට දැනුණි.

"ඔහ්.. හෝ... හොදට දැකලා පුරුදු මූණක් නේ....."

අවිනාශ් ඉදිරියේ සිටියේ පොලිස් නිලධාරීන් සය දෙනෙකි. ඉන් ඉදිරියෙන්ම සිටියේ මූලස්ථානය බාර පොලිස් පරික්ෂකවරයාය. මොවුන් පැමිණ තිබෙන්නේ ඇයි..? එය අවිනාශ්ගේ සිත පෙලූ ප්‍රධාන ගැටලුවයි. වෙනදා ඔවුන්ගේ මුහුණුවල දකින ප්‍රියමනාප බව අද විහිලුවට හෝ දකින්නට නොමැත. ඔවුන් තමා දෙස බලන්නේද අපරාධකරුවෙක් දෙස බලනා පහත් ආකාරයේ හැසිරීම්  සහිතවය. එදා ෆොක්ස් හීල් තරගයේදි තමා ජයග්‍රහණය කළ පසු මේ ඉදිරියේ සිටිනා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද තමාට සුභ පැතූ අයුරු ඔහුට සිහිපත් විය..

"ඇ... ඇයි.. මේ..?"

වචන ගළපා ගැනීමට හැකි වූ පළමු අවස්ථාවේදීම අවිනාශ් පෙරට අඩියක් තැබුවේය. එහෙත් පොලිස් ප්‍රධානියාට එය වලංගු වූයේ නැත. ඔහු අවිනාශ්ව පසෙකට තල්ලු කර දමමින් නිවසට ඇතුලු විය.

"කවුද ගේ ඇතුලෙ ඉන්නේ..?"

පොලිස් ප්‍රධානියා ඇසුවේ පිටුපසවත් හැරී නොබලාය. මේ වෙන්නට යන්නේ කුමක්දැයි තෝරා බේරා ගැනීමට අවිනාශ්ට තවමත් හැකි වූයේ නැත.

"ගේ ඇතුලෙ ඉන්නේ ගෙදර අයිතිකාරයොනේ ඉන්ස්පෙක්ටර්..?"

"ඒකත් එහෙමද.. අපි එහෙනම් අයිතිකාරයට කතා කරලා බලමුද..?"

ඒ හඩෙහි කිසිදු තෙතමනයක් තිබුණේ නැත. නපුරක් සිදුවෙන්නට යන විට එය ඉවෙන් මෙන් දැනෙන මිනිසුන් අතර, අවිනාශ් සිටියේ ඉදිරියෙන්මය. එනිසාම කුමක් හෝ අති භයානක දෙයක් තව සුළු මොහොතකින් සිදුවෙතැයි ඔහු අනුමාන කළේය. ඔහු අනුමාන කළ දෙය, ඔහුගේ ඉරණම තීරණය කරවන්නක් බව ඔහු දැන සිටියා නම් අනුමාන කිරීමේ සිතිවිල්ලවත් ඔහුගේ ලයෙහි උපදින්නේ නැත. ඒ වෙනුවට ඔහු මෙතනින් පැන දුවනවා නිසැකය.

"කිසි ප්‍රශ්නයක් නෑ.. කතා කරන්න.."

එවර අවිනාශ්ගේ හඩෙහි වූයේ නියෝගයකි. එහෙත් පොලිස් නිලධාරියා කතා කළේ නැත. ඔහු සීරු මාරුවට ඉතා පිළිවෙලින් නිවසේ කාමරය පරික්ෂා කිරීමට පටන්ගත්තේය. ඔවුන් කුමක් හෝ සොයනවා වැනිය. එහෙත් අවිනාශ්ගේ ඉමහත් පුදුමයට හේතු වූයේ රොමේෂි පෙනෙන්නට නොසිටීමය. මෙය සමහර විටෙක ඇයගේ උගුලක් වීමටද ඉඩ තිබේ. එසේ සිතනා විට නම් අවිනාශ්ට දැනුණේ මද චකිතයකි. මත්ද්‍රව්‍ය හෝ වෙනත් තහනම් ද්‍රව්‍යයක් නිවසේ තමා තමාත් සමග රිමාන්ඩ් කරන්නට ඇය සැලසුම් ඇන්දාද කියා කියන්නට බැරිය. එහෙත් ඒ සියලු දෑම බිදී බිම ඇද වැටුණේ පොලිස් නිලධාරියා ඇතුලු කාමරයක සිට කල කෑගැසීමක් නිසාය. අවිනාශුත්, ඔහු වටා සිටි අනෙක් නිලධාරිනුත් කෑගැසීම ඇසුණු කාමරය තුළට ඉක්මනින් දිව ගියහ.

කාමරය දොරින් ඇතුල් වනවිටම දුටු දර්ශනයෙන් අවිනාශ් සුදුමැලි වී ගියේය. ඇද මත දෑත් දෙපා හතර අතටම විහිදා ඇදෙහි දිගාවී සිටියේ රොමේෂිය. කාමරය මුළුමනින්ම අවුල් ජාලාවක් විය.

"මයිගෝඩ්.. රොමේෂි.. මේ මොකද..?"

ඇය දුටු වහාම අවිනාශ්ට කෑගැසුණි. මන්ද යත් රොමේෂි සිටියේ ඉතා අස්වාභාවික අයුරිනි. ඇයට කුමක් හෝ කරදරයක් සිදුවී ඇති හැඩය.

"මිස්ටර්..."

රොමේෂි ළගට යාමට හැදූ අවිනාශ්ව පොලිස් නිලධාරියා විසින් වලක්වන ලදී..

"මොකද ඉන්ස්පෙක්ටර් රොමේෂිට වෙලා තියෙන්නේ..?"

"මොකද වෙලා තියෙන්නේ...? ඒක තමුන් මගෙන්ද අහන්නේ..?"

"ඇ... ඇයි.. ඉන්ස්පෙක්ටර්...?"

"නිකං බබා වෙන්නැතුව ඉන්නවා මිනිහෝ.. පී.සී.. දානවා මේ මිනිහට මාංචු.."

අවිනාශ් වෙව්ලා ගියේය. මේ සිදුවන්නට යන්නේ කුමක්ද..? පොලිස් නිලධාරීන් තමා අතට මාංචු දමන්නේ ඇයි..? 

"ඉන්ස්පැක්ටර්ට පිස්සු..? මට මොකටද මාංචු දාන්නේ..? මං මොනවා කරාටද..?"

"මොනවා කරාටද..? මොනවා කරාටද.. මං හිතන් හිටියේ තමුසෙ දක්ෂ ක්‍රීඩකයෙක් කියලා.. දැන් බලපුවාම තමුසෙ මාර නලුවෙක් නේ.."

"මොන නලුවෙක්ද..? මොකද මෙතන වෙලා තියෙන්නේ..?"

"වෙලා තියෙන්නෙද..? මේ ගෑනි මරලා දාලා ඕයි..?"

අවිනාශ් නැවතත් වෙව්ලා ගියේය. රොමේෂි මරලා.. රොමේෂි මරලා.. ඔහුට සිය දෙසවන් අදහාගත නොහැකි විය. දෙවියනේ.. කවුද රොමේෂිව මැරුවේ..? 

"ම.. මරලා දාලා..?"

"ඔව් ඕයි.. ඔව්.. මරලා දාලා විතරක් නෙමෙයි.. මේ කෙල්ලත් දූෂනය කරලා.."

"ඇ...!"

අවිනාශ්ට උන්හිටි තැන් අමතක වීය. තමා කළ යුත්තේ කුමක්දැයි අපහැදිලි විය. කොටින්ම පියවි සිහිය ඔහු වෙතින් පලා යන්නට පටන්ගෙන තිබිණි.

"කවුද..? කවුද ඉන්ස්පෙක්ටර් මේවා කරලා තියෙන්නේ..?"

සිතේ වූ අවසාන ශක්තියද එකතු කර අවිනාශ් ඇසුවේය.. 

"කවුරුවත් නෙමේ උඹ.......?"

"මම..?"

මුළු ලෝකයම මීදුමින් වැසී යද්දී අවිනාශ් අවසාන වචනයද මිමිණුවේය. තවදුරටත් කතා කිරීමට තමාට ශක්තියක් නොමැති බව ඔහුට දැනුණේය.

"ඔව්.. අපි ආවේ උඹව අත් අඩංගුවට ගන්න.. හ්ම්.. දැන් ඉතිං වැඩි කරදර නොකර අර එළියෙ තියෙන ජීප් එකට ගැනපං.."

"මේ.. මේක වැරදීමක්.. ම.. මං මේක කරේ නෑ.."

අවිනාශ් බිදුන් හඩින් කෑගැසුවේය..

"ඒවා උසාවියෙදි බලාගමු.."

එතැනින් එහාට අවිනාශ්ගේ ලෝකය ඝන අන්ධකාරයකින් වැසී ගියේය. අතුරු සිදුරු නොමැතිව පිරී තිබූ සතුටේ තරු එළි සැනෙකින් මැකී ගියේය. ජීවිතය පුරවා තිබූ සැනසුම් සහගත සොදුරු බලාපොරොත්තු එකින් එක උඩු සුළගේ ගසා යන්නට විය. ඉතිං මෙයට කවරෙකු හෝ දෛවය කියා කියනවා නම් එහි ඇති වරද කුමක්දැයි කිසිවෙකුටත් ඇසීමට නොහැකිවනු ඇත.




     

No comments:

Post a Comment