Friday, March 23, 2012

| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






පුබුදු එනවිට බොහෝ රෑ වන්නට ඉඩ තිබෙන බැව් සවස දුරකථන ඇමතුමක් දී මට කීවේය. ඒ කතාබහේදී ද ඔහුගේ වචන වල වෙනදා තිබූ තරම් තද ලෙංගතුකමක් තිබුණේ නැත. මගේ සිතට ඉහිලුම්ම නොදෙන දෙය නම් සිතට වද දිදී දැනෙනා මේ කුමක්දෝ නොදන්නා වියෝගයයි. එය පුබුදු ගැන හා දිනූකා මිස් ගැන හා පූර්ණිමා ගැන වූවා කියා විශේෂත්වයක් නොමැත. මේ හැමෝම කෙරෙහි මට එය තදින් දැනේ. එහෙත් මට අහිමි වූ කිසිවක්ද නැත. එසේ නම් සිත මේ තරම් හඩා වැටෙන්නේ ඇයිදැයි කියා මම නොදන්නෙමි. සිත මේ තරම් පුපුරු ගසන වේදනාකාරී හැගීම කුමක්ද..?


උදේ සිටම, සිතට ඔහේ පාවෙන්නට පාවෙන්නට ඉඩ දී මම නිකරුනේ බලාගෙන සිටියෙමි. එහෙත් සවස් වනවිට මම තීරණයක් ගතිමි. තවත් දුරට මේ හැමදේම දිහා, හද්දා පිටිසර හිගන්නෙකු සේ බලා සිටීමෙන් ඵලක් නැත. එයින් මා හට අත්වස සෙතක් ද නැත. මා දැන්වත් ක්‍රියාත්මක විය යුතුව ඇත.

"ඔන්න ඔතන ඉස්සරහ ගෙදර..."

පූර්ණිමාගේ නිවස ආසන්න වෙද්දී මම ත්‍රීවිලරයේ රියදුරාට කීවෙමි. ඔහු මා දෙස බලා සිටියේ පුදුමයෙන් මෙනි. ඒ මක් නිසාදැයි මම තේරුම් ගත්තෙමි. ත්‍රීවිලයෙන් මම බැස්සා නොව පැන්නෙමි. පූර්ණිමා මුණ ගැහෙන්නට මට තිබූ උවමනාව ඒ තරම් දැවැන්ත එකක් විය. මගේ සිතේ තිබූ එකම බිය වූයේ ඇය නිවසේ නොසිටියොත් කුමක් කරන්නද යන ගැටලුවයි. එසේ වුවහොත් මම රෑ බෝවනතුරු හෝ මෙතන රැදී සිටිනෙමි.

ඉදිරිපස දොර සම්පූර්ණයෙන්ම වසා දමා තිබිණි. ගෙදර වටපිටාවේ වුවත් තිබුණේ මනුස්ස වාසයක ලකුණු නම් නොවේ. දවස් ගණනාවකින් කිසිවෙකුත් පදිංචිව සිටි බවක් නිවෙසින් දිස් වූයේ නැත. මම දොරට කීප වරක්ම තට්ටු කලෙමි. එහෙත් මා හට ලැබුණු පිළිතුරක් නම් නැත. සිතේ තිබූ පාළුව යළි යළිත් දෙගුණ තෙගුණ වී දැනෙද්දී සිත ඉදිරී වැටෙනා තරම් කාන්සියකින් මම උතුරා ගියෙමි. ආපසු හැරෙන්නට පය ඔසවනවාත් සමගම නිවස තුළින් සෙරෙප්පු දෙකක් අද්ද අද්දා එන හඩක් මට ඇසිණි. දෙවියනේ... එසේ නම් පූර්ණිමා ගෙදර සිටියි. මගේ සිතට දැනුණේ අසීමිත වූ සහනදායී බවකි. මම අඩියට දෙකට දොර වෙත ළංවිනි. ඇතුළතින් දොරේ බෝළ කැරකෙන  හඩත්, දොර අරින්නට ගතවන ප්‍රමාදයත් මගේ සිත නැවත නොඉවසිලිමත් කරන්නට විය. මා මේ ගමන මීට කලින් නාවේ ඇයි...?

"පූර්ණි..."

සියල්ලන්ටම කලින් මගේ මුව විවර විය. එහෙත් ඇරුණු දොරින් එළියට ආවේ පූර්ණීමා නොව, මා කිසි දින දැන නොමැති වයසක මනුස්ස පරානයකි.

"පූර්ණිමා ඉන්නවද...?"

"කවුද පූර්ණිමා කියන්නේ..?"

පොල් පරාල පයින් යනවා කියන්නේ මෙන්න මේවාටය. පූර්ණිමාගේ  ගේ ඇතුලේ ඉදන්, පූර්ණිමා කියන්නේ කවුදැයි කියා මේකා මගෙන් අසයි. මේ මනුස්සයාගේ වයස ගැන සිතා මම හිතට කේන්තිය නොගත්තෙමි.

"පූර්ණිමා කියලා කියන්නෙ මේ ගෙදර පදිංචි වෙලා හිටිය ගෑනු ළමයා. අවුරුදු ගානක්ම එයා මේ ගෙදරනේ හිටියේ.."

"ආ... හරි.. හරි.. මට නිච්චියක් නැතුව ගියා මහත්තයෝ.. මං ඒ දරුවගෙ නමක් ගමක් දන්නෙ නෑනේ.. ඒ දරුවගෙ තාත්තවනේ අදුනන්නේ.."

"දැන් කෝ ඒ ළමයා..?"

සිතේ වූ නොඉවසිල්ල දෙගුණ තෙගුණ වී එද්දී මම ගේ තුළට එබුණෙමි. එහෙත් පරණ පුස් ගදක් විනා මට දැනුණු කිසිවක් නැත.

"අපොයි මහත්තයෝ... ඒ ළමයා මෙහෙන් ගිහිල්ලා හුග දවසක් වෙනවනේ.."

"මෙහෙන් ගියා...?"

ජීවිතය ඉදිරියේ සිදුවනා දේ විටෙක අදහා ගැනීමට බැරි තරම් පුදුමාකාරය. වයසක මිනිසාගේ උත්තරයෙන් මට මා සිටින්නේ කොහිදැයි කියා සිතා ගන්නට පවා අමතක විය.

"ඔව්... කට්ටියම ගියා.. මගේ ලොකු පුතා මේ ගේ ගත්තා.. දැන් මෙහේ ඉන්නෙ මායි, මගේ ලොකු පුතයි විතරයි.."

"කට්ටියටම මෙහෙන් යන්න තරම් හේතුවක් තිබ්බෙ නෑ නේ අංකල්.. ඇයිද දන්නෑ ගියේ නේද..?"

"මමත් හරියට දන්නෑ මහත්තයෝ..."

"එයාලා කොහෙටද ගියේ..?"

සියලු බලාපොරොත්තු එකින් එක බිදී යද්දී මම අවසාන බලාපොරොත්තුවෙන් ලය පුරවාගෙන වයසක මිනිසා දෙසට එබුණෙමි. ඒ වියපත් දෑසේ තිබුණේ ශෝකයක්දැයි කීමට මා හට පුළුවන්කමක් තිබුණේ නැත. එහෙත් මගේ දෑසේ වූ ශෝකය ඔහු හදුනා ගත්තේය.

"ඒකත් මං කියන්න දන්නෑ මහත්තයෝ.. හැබැයි මං මේ ගෙදර යතුර බාරගනිද්දි ඔය මහත්තයා කියන ගෑණු දරුවා නම් හොදටම අඩ අඩයි හිටියේ. මං හිතුවෙ මේ ගෙවල් දොරවල් අතෑරලා යන්න බැරිකමට කියලා.."

"එහෙම නැත්නම්...?"

"දැන් මට තේරෙනවා ඒ අඩලා තියෙන්නෙ මහත්තයව දාලා යන්න බැරි කමට කියලා.."

ඔහු එසේ කීවේ ඇයිදැයි මා අසන්නට ගියේ නැත. එසේනම් පූර්ණිමා රැකියාවෙන් පමණක් නොව අවුරුදු ගණනාවක් දිවි ගෙවූ නිවසද සුපුරුදු පරිසරයෙන්ද සමුගත්තාය. ජීවිතයේ බොහෝ කලක් නිස්කලංකයේ ගත කළ මේ පුංචි නවාතැනින් පිටමං වී යන විට ඒ දිගු දෑස් වලින් හෝ ගගා කදුළු කඩා වැටෙන්නට ඇත. එහෙත් එය එසේ වූයේ ඇයි..? සිදුවන මේ කිසිවක් තේරුම් ගැනීමට බැරි දුප්පත් කාංචනට තිබෙනා ලොකුම ප්‍රශ්ණය එයයි.

පූර්ණිමා බැලීමට ගියාටත් වඩා ඔද්දල් වූ සිතින් මම ආපසු නවාතැනට පැමිණියෙමි. ඒ එන අතරමගදී අයියාට දුරකථන ඇමතුමක් දී මම බොහෝ වේලාවක් කතා කෙරුවෙමි. වැඩ අධිකකම නිසා ඔහු බැලීමට එන්නට හැකියාවක් නැතැයිද ඒ ගැන කහටක් හිතේ තියාගන්නට එපා යැයි මම අයියාගෙනි කීප වරක්ම අයැද සිටියෙමි. ඔහු සිනාසෙමින් මා හට කී එකම දෙය නම් වැඩ ටික  හරියට කරගෙන ඉන්න කියාය. එහෙත් දිනූකා මිස් නිසා වැඩ ටිකක් තියා එක වැඩක්වත් හරියාකාරව මට කරගත නොහැකි බැව් මා ඔහුට කියන්නට ගියේ නැත.

                                    *********************************

රාත්‍රී අටයි තිහ පමණ වන විට පුබුදු පැමිණියේය. දාඩිය නිසාම ඇගටම ඇලී ඇති කමීසය ගලවා ඔහු ඇදුම් රාක්කය දෙසට විසි කළේය. එහෙත් එම විසි කිරිලේලේ තිබූ අලස බව නිසාම කමීසය ඇදුම් රාක්කයට මෙහායින් බිමට වැටිණි.

"අද නම් එපා වුණා කාංචන.."

දවසේ විස්තරත් තවත් මොනවදෝ විස්තර වගයකුත් පුබුදු ඔහේ කියවගෙන යයි. එහෙත් ඒ කිසිවක් මගේ මනසේ නොරැදී මා සිටින්නේ අමුතු ලොවකය. ඒ ලෝකය තනිකරම පිරී ඇත්තේ, දුක, වේදනාව, සංතාපය මිශ්‍රවී සෑදුනු අමුතුම දෙයකිනි. සිහිනයකින් හෝ නොසිතූ පරිද්දට පූර්ණීමාගේ මේ සමුගැන්ම මගේ සිත කඩා බිද දමන්නක්ම විය.

"කාංචන..."

මා සිතුවේ මා සමග කතා නොකර හිද ඇය උත්සාහ ගන්නේ තමන්ගේ රැකියාව බේරා ගන්නට කියාය. එහෙත් දේවල් සිදුවී ඇති ආකාරයට එය ද එසේ සිදුවී නැත. හදිසියේම ඇය මේ සියල්ලම අතැර දමා නොදන්නා පළාතකට යන්නට ගියේ ඇයි..? මට දවසක් හෝ ආදරය කලා නම් පූර්ණිමාට යුතුකමක් වශයෙන් හෝ මට කියා යන්නට තිබිණි. ඇයව දමා නොයන සේ, මගේ දෑතම අල්ලාගෙන බැගෑපත් වූයේ ඇයයි... එහෙත් දැන් මා දමා ගොස් තිබෙන්නේද ඇයමයි..

"කාංචන... උඹ කොයි ලෝකෙකද ඉන්නේ...?"

පුබුදුගේ කටහඩ මට ඇසුණේ සිහිනයකින් මෙන්ය.. මම තිගැස්සී ඔහු දෙස හැරී බැලුවෙමි.. 

"උඹ මොනව  හරි කිව්වද..?"

"මොනවත් නම් කිව්වෙ නෑ.. ඒත් පස් පාරක් විතර උඹට කතා කරා.. ඒත් උඹ මේ ලෝකෙ නෙමේනේ හිටියේ.."

පුබුදුගේ මුවේ මද සිනාවක් ඇදී නොපෙනී ගීයේය. ඇග පිසදාගත්තද තවමත් ඔහුගේ ඇගේ තැනිත් තැන ඇති වතුර බිංදු මට පෙනෙයි.

"මගේ ඔලුව සේරම අවුල් වෙලා පුබුදු.."

"ඇයි දිනූකා මිස් ආයෙත් බකට් එකක් පෙරලුවද..?"

"ඒක නම් එහෙම තමයි.. අද මං මිස් එක්ක හොදටම රංඩු වුණා.. මිස් ආයෙත් ඔෆිස් එකට එන්නෑ කියලයි ගියේ.. වෙනද වගේ නම් මං කටවහගෙන හිටියෙ නෑ. එයා කියන කියන දේවල් වලට, මාත් දන්න දේවල් කිව්වා.."

දවසේ සිදුවූ දේවලා කියවාගෙන ගොස් මම පුබුදු දෙස බැලුවෙමි. කලින් ඇදී මැකී ගිය මද සිනාව ඒ මුහුණේ දැන් දිගටම තිබෙණු මම දුටිමි.

"පුබුදු මට හිනාවෙනවා.."

"නෑ කාංචන.. කලින් රස්සාවෙන් අස්වෙලා යන්න හැදුවෙ උඹයි.. ඒත් දැන් රණ්ඩුවෙලා අයින් වෙලා යන්න හදන්නෙ දිනූකා මිසුයි.. ඒකයි මට හිනා ගියේ.."

පුබුදු කියනා කතාවේද ඇත්තක් තිබේ.. කලින් මගේ පැත්තෙන් සිදුවූ දේවල් දැන් දිනූකා මිස්ගේ පැත්තෙන් සිදුවේ..

"ඒත් උඹේ මූණෙ හැටියට ප්‍රශ්නෙ ඕක විතරක්ම නෙමේ කියලා මට හිතෙනවා.. උඹ ඉන්නෙ හරියට හැමදේම නැතිවෙච්ච මිනිහෙක් ගානට කාංචන.. ප්‍රශ්නෙ මොකක්ද කියලා මට කියපං.. කරන්න පුළුවන් දෙයක් නම් බෙල්ල කඩාගෙන හරි මං කරනවා කියලා උඹ දන්නවනේ.."

"ම.. මං අද පූර්ණිමාලගෙ ගෙදර ගියා..."

"පූර්ණිමාලහ ගියා....?"

පුබුදුගේ ඇස් දෙක උඩ ගියේය. මා කියූ දේ ඔහුට ඒ තරමටම විශ්වාසයට ගන්නට බැරි විය.

"ඔව් පුබුදු.. මං පූර්ණීමාලහ ගියා..."

"ඉතිං පූර්ණිමා හිටියද..? එයා මොනවද කිව්වේ..? ඇ.. ඇයි රස්සාවෙන් අස්වෙලා ගියේ කියලා උඹ ඇහුවද..? මේ හැමදේටම දිනූකා මිස් සම්බන්ධයි කියලා කිව්වා නේද..? එයා.. එයා අපි එක්කත් තරහා වෙලාද..?"

කලබල වැඩි කමට පුබුදු මගෙන් ප්‍රශ්න පනහක් විතර එක දිගට ඇසුවේය. ඒවායින් කුමන එකකට පිළීතුරක් දිය යුතුදැයි මට සිතාගන්නට බැරි විය.

"පූර්ණි ගෙවල් අතෑරලා ගිහින් පුබුදු..."

"මොනවා....?"

මා කියූ දේ අදහාගෙන, නියම සිහිකල්පනාවට ඒමට පුබුදුට ටික වේලාවක් ගතවිය. පූර්ණිමා ගැන පුබුදු උවමනාවටත් වඩා ලතවෙන බව් තේරුම් ගන්නට මට වෙනත්, අටුවා ටිකා ටිප්පිණි අවශ්‍ය නොවිය.

"ඔව්.. දැන් දවස් ගානක් වෙනවලු.. එයා හිටපු ගෙදර දැන් ඉන්නෙත් වෙන කට්ටියක්.. කොහේ ගියාද කියලා දන්නෙත් නෑල්ලු.. අපි මොකද කරන්නෙ පුබුදු..?"

"කොහොම හරි පූර්ණීව හොයාගන්න ඕන.. අනේ පව් දෙයියනේ... හම්බකරන් කාපු රස්සාව දාලා ගියාට, මං කීයටවත් හිතුවෙ නෑ පූර්ණි ගෙවලුත් අතෑරලා යයි කියලා. මේ හැමදේකටම දිනූකා මිස් වගකියන්න ඕන.. එයා හින්දා තමයි පූර්ණිට මේ හැමදෙයක්ම දාලා යන්න උනේ.."

"මාත් හිතන්නෙ ඔය විදියටමයි.. මෙතන අපි නොදන්න මොකක් හරි ලොකු දෙයක් සිද්ධ වෙලා තියෙනවා.. පූර්ණිව හොයා ගත්තොත් අපිට වෙලා තියෙන හැමදෙයක්ම දැනගන්න පුළුවන් වෙයි. ඒත් එයා ඇයි අපිටත් නොකියා මෙහෙම ගියේ.. දිනූකා මිස් එයාට වැරදි කරාට අපි පූර්ණිමාට වැරදි කරේ නෑනේ.."

කල්පනා ලෝකයේ අනන්තයේ ගිලී සිටි පුබුදුට මා කී දේ නෑසුනාක් වැන්න.. ඔහු මේ තරම් කල්පනා කරන්නේ මොනවාද..? පූර්ණිමා ගැන ඔහු මේ තරම් ලතැවෙන්නේ ඇයි..?

"අපි පූර්ණිමාට වැරැදි කරේ නැති එක ඇත්ත.. ඒත් අපි එයා ගැන හෙව්වෙ නෑ.. ඒක වැරදි කරේ නැති එකටත් වඩා ලොකු වැරැද්දක්.."

පුබුදු කීවේ සම්පූර්ණ වැරැද්දම අපේ පිටට පටවා ගන්නා ආකාරයෙනි. එහෙත් පසුගිය දවස් ගෙවී ගිය ආකාරයත් දිනූකා මිස් වෙතින් මා හට තිබූ පීඩනයත්, වැඩ රාජකාරී බහුල කමත් අතර ගෙවී ගිය මගේ ජීවිතයට නම් කිසිදු විවේකයක් තිබුණේ නැත. ඒ ගැන ඉතා හොදින් දැන සිටියේ පුබුදුගේ මේ කතාව මගේ සිත සැබවින්නම රිදවන්නක් විය.

"පුබුදු කියන්නෙ මේ හැමදේටම වැරදිකාරයා මම කියලද..? පහුගිය දවස් වල සිද්ධ වුනේ මොනවද කියලා මම අයන්නෙ ඉදලා පුබුදුට කියලා තියෙනවනේ.. අනික පුබුදුට මතක නැද්ද පූර්ණිමා අපිව කොයි තරම් මග ඇරියද කියලා.. අපි වචනයක් කතා කරන්න එයාගෙ පස්සෙන් කී සැරයක් නම් ගියාද..? ඇ.. ඇයි පුබුදු ඔයත් ඔහොම කතා කරන්නේ..?"

මා ඇසූ දේට පුබුදු කිසිවක් කීවේ නැත. මගේ පිටට අත තබා බර කරමින් ඔහු නැගිට්ටේය. මෙසේ නිහඩවම හිදිනවාට වඩා ඔහු මොනවා හෝ කියනවා නම් හොදය. මේ නිහැඩියාව මගේ හිත මහා කාංසියකින් පුරවා දමයි. ඉතා හොද හයළුවන් වූ අප දෙදෙනා අතරට මේ ඇවිදින් ඇති මොකක්දෝ අහේතුක දෙය මගේ සිතත තත්පරයෙන් තත්පරය මිරිකා දමයි. හැම පැත්තකින්ම අසරණ වී ඇති මගේ සිත පුබුදුත් අසරණ කරන්නේ ඇයි..?

"පුබුදු කියන්නෙ පූර්ණිමාට උනා වගේ දෙයක් ඔයාටත් වේවි කියලද..? එහෙමත් නැත්නම් මොකක්  හරි ප්‍රශ්නෙකදි මං ඔයාව අතාරීවි කියලද..?"

මගේ දෑස දෙස තවත් වරක් එබී බලා පුබුදු කාමරයේ දොර දෙසට ඇවිදගෙන ගියේය. ඔහු මෙසේ හැසිරෙන්නේ ඇයි..? දිනූකා මිස් සේම ඔහුත් හදන්නේ මා පිස්සෙකු බවට පත් කරන්නද..? 

"ඔයාට පණටත් වැඩිය ආදරේ කරපු පූර්ණිමාව ඔයාට බේරගන්න බැරිවුණ එකේ.. මං ගැන කවර කතාද කාංචන..?" 

හදවත මැදට පිහිතල දෙක තුනක් බැස්සා සේ වේදනාවකින් මම කම්පා වී ගියෙමි. දෙවියනේ... මේ නම් කවර කතාවක්ද..? හැමෝම කතා කරන්නේ හැමදේකටම වැරදිකරු මා ලෙස සලකාගෙනය. මා ඔවුන් ගැන කොතරම් අව්‍යාජ හැගීමකින් ක්‍රියා කරනවාදැයි, කොතරම් ලෙංගතු ලෙස සිතනවාදැයි කියා කිසිවෙකුත් බිදක් හෝ නොසිතයි. මෙය සමහර විට මාගේ උප්පත්ති දෝෂයක් වන්නට ඇත. වෙන දෙයක් නම් වන්නට බැරිය..

                                             *****************************

මුළු රාත්‍රිය මුළුල්ලේම මා ගතකළේ නින්දත්, නොනින්දත් අතරේය. චිත්‍රපටියක එකකට එකක් පිටුපස එන රූප රාමු මෙන් ගෙවී ගිය දවස්වල සිදුවූ සිද්ධීන් එක පිට එක මගේ දෑස ඉදිරියේ මැවෙන්නට විය. එක් පසෙකින් දිනූකා මිස් කට පුරා සිනාසෙමින් බලා සිටි අතර, අනෙක් පසින් කදුළු වගුරවමින් මදෙස බලා සිටියේ පූර්ණිමාය. ඇය මේ වේලාවේ කොහේ සිටිනවා ඇත්ද..? සමහර විට මා මෙන්ම නිදි නොමැති රැය පහන් කරනවා විය හැකිය.. මේ අසරණ ජීවිතයේ විදවන්නට බොහෝ දේවල් තවත් ඉස්සරහට ඉතිරිව ඇති බවක් මට හැගී යයි. දෙවියනේ.. මේ සෑම දෙයකම අවසානය කොහිද..? මගේ සිතට කොතෙක් දුරට මේ සැමදේම ඉවසා හිදින්නට හැකිවේද..? මෙතුවක්ම මගේ ළගින් සිටි ආදරණිය මිතුරා වූ පුබුදුත් මගෙන් ඈත්වෙන්නට උත්සාහ දරයි.. ඔහු කතා කළ දේවලුත් අනුව, අඩා වැළපී හෝ ඔහුව නවත්තා ගැනීමට, ඔහුට දේවල් පහදා දීමට, මට දැන් හැකියාවක් නැත..



 

No comments:

Post a Comment