Thursday, March 22, 2012

| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






තවත් දවසක්, දෙකක් පමණ නිස්කාංසුවේ ගෙවී ගියේය. කාර්‍යයාලය තුළදී, මමත් පූර්ණිමාත් දෙඇසින් පමණක් කතාබහ කළෙමු. කවුරුවත් පේන්න නොසිටි වෙලාවන්හීදී අපි කටපුරා සිනාවිමු. ඒ දවස් දෙක තුළ දිනූකා මිස් මා හා වචනයකුදු කතා බහ කළේ නැත. ඇය කළේ ලොකු කුෂන් පුටුවකට වී ඔහේ බලාගත් අත බලා සිටීමය.


ඩිංගක් හෝ ළගින් ඇසුරු කර තිබුණා නම්, ඔහොම ඉන්නේ ඇයි දැයි කියාවත් මට අසන්නට තිබිණි. එහෙත් ඇයත් මාත් අතර එවැනි දෙයක් නැත. සමහරවිට ඇය මට බැණ වැදී පන්නා ගන්නටද පුලුවන. එසේ හෝ බැණ වදිනවා නම් හොද යැයි මට විටෙක සිතෙයි. මක් නිසාද යත් ඇයගේ මේ නිහඩ බව මට දරාගත නොහැකි නිසාය. අඩුම තරමේ ඇය මගෙන් උදේට කෑවද කියා හෝ අහන්නේ නැත්තේ ඇයි..? පූර්ණිමාගේ ගෙදර ගිය දිනට පසු දින සවස මම තෑගි බෝගත් රැගෙන නිවසට ගොස් අයියාව හමුවී ආවෙමි. රැකියා ස්ථානය ගැන බොහෝ දේ කියන්නට තිබුණත් මා ඔහුට කීවේ අතරින් පතර තෝරාගත් දේවල් කිහිපයක් පමණි. අනතුරුව මම ජයවර්ධන අංකල්  හමුවීමට ගියෙමි. මේ අනර්ඝ රැකියාව මට හොයා දුන්නේ ඔහුය. ඒවාට ගුරු පඩුරු දිය යුතුය. රුපියල් නමසිය ගණනක් වටිනා එමරල්ඩ් කමීෂයක් ඔහුගේ අතේ තබද්දී ඒ විඩාබර දෙනෙතට කදුලු උනා ආවේය.

"මිස්ටර් මැණික්දිවෙල කිව්වා කාංචන හුගක් හොදට වැඩ කරන් යනවා කියලා. මිනිහගෙ හිතට ඔයාව හුගක්ම අල්ලලා තියෙන පාටයි. හැමදාටම ඔහොම කරගෙන යන්න පුතා. ඒක ඔයාගෙ අනාගතේට හුගක් ඵල ප්‍රයෝජනවත් වෙයි.."

පියෙකු සේ අවවාද දෙමින් ජයවර්ධන අංකල් කීවේය. අම්මාත්, තාත්තාත් මියගිය පසු අයියාටත්, මටත් සිටි එකම හිතවතා වූයේ ඔහුය. දැනුත් තේරුම් ඇති අවධියේ පටන් ඔහු ගේ සිත රිදවන දෙයක් කිරීමට අයියාත්, මමත් බිය විණි. 

"මෙතන මිනිස්සු වැඩ කරනවද, කල්පනා කරනවද කියලා මට තේරෙන්නෙ නෑ.. කල්පනා කරනවටත් පඩි ගෙවන්න වෙලා.."

මම උඩ විසිවී ගොස් බිම වැටුණෙමි. දවස් දෙක තුනක් පත්තු නොවී තිබූ වෙඩි මුරය ඉබේම වාගේ පත්තු වී ඇත. මම එක එල්ලයේම දිනූකා මිස් දෙස බැලුවෙමි. ලා රත් පැහැති ලිප්ස්ටික් උලා ඇති දෙතොල එකා කොනටත්, මෙහා කොනටත් ඇද කරමින් ඇය වෙනතක් බලා සිටියි. ඒ රත් දෙතොලේ ලිප්ස්ටික් ඉලිය යුතු නැත. ඒවා කොහොමත් රත් පැහැතිය.

"මි.. මිස් මට මොනවා හරි කිව්වද..?"

කියූ දේ ඇසුනා වුණත් මම හෙමින් සීරුවේ ඇයගෙන් ඇසුවෙමි. කතා නොකර දවස් ගාණක් සිටියාට මදි පාඩුවට හෝ අද කතා කළ යුතුය. සමහරවිට පලු පැලෙන්නට මට බැණ වදින්නට පුලුවන. ඒත් කමක් නැත. නිහැඩියාව හැරුණු කල වෙන ඕනෑම දෙයකට මගේ හිත කැමතිය. එකම එක කාමරයක් තුළට වී හිදින්නට ගල්බිල්ලන් සේ වචනයක්වත් කතා නොකර හිදීමෙන් මට මාවම එපා වනු ඇත. දිනූකා මිස්ට, මිස්ව එපාවනු ඇත.

"ඒ පාර කනේ ගොන්නු රිංගලද කොහේද.. ඇත්තටම මොන ලෝකෙද ඉන්නේ..?"

ඒ ප්‍රශ්නෙට උත්තරයක් නැත. අඩුම ගණනේ කාංචන කියන්නට බැරි නම් ඇත්තට තමුන් මොන ලෝකෙද ඉන්නෙ කියා අසන්නට ඇයට බැරිද..?

"මිස් මගෙන් මොනව හරි ඇහුවද..?"

කිසිවක් නොදන්නා කිරි සප්පයකු සේ මම ඇයගෙන් ඇසුවෙමි. මා හිතූ පරිද්දටම ඇයගේ මුහුණ ඇදවී ගියාය. යටිතොල හෙමින් සීරුවේ සපාගනිමින් ඇය කෙලින්ම මගේ මූණ දෙස බැලුවාය.

"තාත්තා මගෙත් එක්ක වැඩ කරන්න දාලා තියෙන්නෙ බීරෙක්ද කොහෙද.. ඉන්නවකො.. මං හොද වැඩක් කරන්නම්.."

ඇයගේ කතාවට මට බකස් ගා හිනාවක් යන්නට ආවද මම බොහොම අමාරුවෙන් සිනාව මැඩගත්තෙමි. ඒ සුරූපී මුහුණේ දැන් පිරි ඇත්තේ දැඩි අමනාප ගතියකි. ඇත්තටම ඇය මුහුණ එල්ලාගෙන සිටි විටත් ලස්සනය. එහෙත් ඇය කියූ හොද වැඩේ මොකක් වන්නට පුලුවන්දැයි මම කල්පනා කෙරුවෙමි. කෙසේ නමුත් පැයක්, දෙකක් ඉවත්ව ගියද ඇය කරනවායි කියූ හොද වැඩය නම් කරේ නැත. ඒ සම්බන්ධව වචනයක් හෝ මා හා කතා කරේ නැත. ඇය ඇයගේ පාඩුවේ මොකක්දෝ වැඩක යෙදී සිටියාය.

"මීට පස්සෙ මට නොකියා කොහේ හරි ගිහින් තිබුණොත් ඉන්ටර්ඩික් කරලා දානවා.. තේරුණාද..?"

කලින් වාරයේ මෙන්ම දිනූකා මිස් මෙවරද මා බලාපොරොත්තු නොවූ වේලාවක හිටි හැටියේම කීවාය. මම එවරද උඩ විසිවී ගොස් බිම වැටිණි. මා යන හැම ගමනක් බිමනක්ම ඇයට කියන්නට වුනොත් නම් මල විකාරයක් වනු ඇත. මොන අදහසක් හිතේ තියාගෙන ඇය එවැන්නක් කිව්වාදැයි කියන්නට බැරිය.  සමහරවිට ඕකේ යටි අදහස් බර ගානක් තිබෙන්නට පුලුවන. ඇය මාව ඇත්තටම ඉන්ටර්ඩික් කරන්නට යනවා වෙන්න පුලුවන.

"මිස්ට කියන්න ඕනෙ ඔෆිස් එක ඇතුලෙ යන ඒවා විතරක් නේද..?"

ඇය කී දේ වඩාත් හොදින් තේරුම් ගැනීමට මම ඉතා යටහත්ව ඇසුවෙමි. සමහර වෙලාවට ඔවැනි ප්‍රශ්න වලටත් ඇයට ඇට්ටි හැලෙන්නට මල පනියි.

"නැත්තං... තමුන් හිතුවද ඔෆිස් වෙලාවෙන් පස්සෙත් තමුන් යන තැන් හොයන්න මට කැක්කුමක් තියෙනවා කියලා..? තමුන් හිතාගෙන ඉන්නෙ මං තමුන්ගෙ ගර්ල් ෆෙන්ඩ් කියලද..?"

ගහෙන් ගෙඩි එන්නා සේ ඇය මගේ මූණටම ඇසුවාය. මට කට උත්තරද නැතිවිය.

අනික ඇය දැන් මට කතා කරන්නේ අමුතු වචනයක් අල්ලාගෙනය. අර නඩුකාරයින් කතා කරන්නාක් මෙන් තමුන් කියා මට අමතයි. ඇයට විහිලුවකටවත් මගේ නම කියන්නට බැරිද..? ඇය සිටින්නේ මගේ නම බෙහෙතකටවත් නොදන්නා තාලෙටය.

"මං අහපු දේ තමුන්ට ඇහුණද..? මට ඒකට දැන් උත්තරයක් ඕන.. ඔව්.. මේ දැන්ම.."

අත්දෙකම මේසය උඩට වැරෙන් තද කර ගනිමින් දිනූකා මිස් කෑගැසුවාය. දැන් නම් ඇයට ඇට්ටි හැලෙන්නට මල පැන ඇති බැව් කියන්නට කිසිවෙකුත් අවැසි නැත.

"මං.. මං එහෙම හිතුවෙ නෑ මිස්.. මිස් වගේ ලොකු කෙනෙක් ගැන එහෙම හිතන්න මං කවුද..? මං දුප්පත් කොල්ලෙක් නේ මිස්.. මං මගේ තරම දැනගෙන ඉන්න ඕන.. එහෙම එකේ මං ගැන ඔය විදියට වැරදියට හිතන්න එපා මිස්.. මං මිස් යටතෙ වැඩ කරන්නේ, මිස් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න බලාපොරොත්තුවෙන්. මගේ බොස් විදියට මට මිස් ගැන තියෙන්නෙ ලොකු ගෞරවයක්. එහෙම තියෙද්දි ඔය මිස් කිව්ව වගේ දෙයක් ගැන මං හීනෙකින්වත් හිතන්නෙ නෑ.."

මම කියාගෙන කියාගෙන ගියෙමි. මදින් මද වෙනස් වන සුදු මුහුණේ සියලු  හැඩතල හැම එකක්ම මගේ දෑසින් මග හැරුණේ නැත. ඝණ ඇහිබැමින් ආවරණය වුණු සොදුරු දෑස නැවතත් කෙලින්ම මදෙසට එල්ලවී තිබිණි. ඒ දෑසේ මොකක්දෝ ආගන්තුක ආරාධනාවක් තිබෙන බව දිව්රා කියන්නට මට හැකිය. එහෙත් මා එසේ කියන්නේ කාටද..? 

"මං අද හවස් වරුවෙ එන්නෑ.. මෙතෙන්ට මට කෝල්ස් ආවොත් මගේ හෑන්ඩ් ෆොන් එකට ගන්න කියන්න.. තේරුණාද..?"

සුමුදු දකුණතින් නළල පැත්තක් තදින් මිරිකා ගන්නා ගමන් දිනූකා මිස් කීවාය. මීට ඩිංග වේලාවකට කලින් කරගෙන ගිය කතාව අතරමග නවතා වෙනත් දෙයක් ගැන කතා කරන්නට ඇයට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. මා සිතුවේ මා කී දේවල් අල්ලාගෙන දිනූකා මිස් ඒ කතාව දිගින් දිගටම යාවි කියාය. සමහරවිට  ගර්ල් ෆෙන්ඩ් කතාවෙන් ඇයට අවාසි සහගත තත්වයක් ඇතිවන නිසා ඇය කතාවේ පීල්ල මාරු කරන්නට ඇත.

"මිස්ගෙ ඔලුව රිදෙනවද..?"

නළල් තලාවේ වම් පැත්තද ඇය අනිත් අතින් තදින් මිරිකා ගනිද්දී මම ඇසුවෙමි. සැණෙකින් සොදුරු දෑස නැවතත් මවෙතට යොමුවිණි.

"ඔව්.. තමුන් එක්ක කතා කරලා මගේ ඔලුව රිදෙනවා.."

එසේ කියමින් දිනූකා මිස් පුටුවෙන් නැගිට්ටාය. මාත් සමග කතා කිරීමෙන් ඔලුව රිදෙනවා නම් ඇයට තිබෙන්නේ මා සමග කතා නොකර හිදීම නොවේද.. එසේ නොකර සැරින් සැරේ මට කෙනෙහිලිකම් කරද්දී හරිනම් රිදෙන්නට ඕනෑ ඔලුව නෙමේය. කිසිදු තෙතමනයක් නැති ඇයගේ හදවතය.

"ම.. මං මිස්ට වැරැද්දක් කෙරුවෙ නෑ.."

මම හෙමින් සීරුවේ කීවෙමි. එහෙත් මා කී දේ නෑසුණාක් මෙන් ඇය බිම බලාගෙනම කාමරෙන් පිටවී ගියාය. ඇත්තටම දිනූකා මිස්ගේ හිත ක්‍රියා කරන්නේ කෙසේදැයි දැන ගැනීමට පුලුවන් නම් මේ දුප්පත් කාංචනට කරන්නට හැකි ඉහළම දේ පවා කරන්නට සූදානම්ය. එය එතරම් පරස්පර විරෝධි අදහස් ක්‍රියාත්මක කරන හිතකි. ඊළග තත්පරයේදී දිනූකා මිස් කරන්නට යන දේ සමහරවිට ඇයවත් නොදන්නවා විය හැකිය. කෙසේ වුවද ඇය කාමරයෙන් පිටවී ගියාට පසු මට දැනුණේ මොකක්දෝ නුහුරුම පාලුවකි. ඇය ගැල්වූ විලවුන් සුවද කාමරය පුරා විසිරී තිබිණි.

"අද මොකෝ තත්වේ..?"

දිවා ආහාරය ගැනීමට යාමේදි කොරිඩෝව මැදදී හමුවූ පුබුදු මගෙන් ඇසුවේය. ඔය අසන්නේ දිනූකා මින් ගැනය. කැන්ටිම ඇතුලට යනතුරුම සිදුවූ දෑ මම පුබුදුත් සමග කීවෙමි.

"මොනව වෙන්න එනවද කියලා මට හිතාගන්න බෑ. මොනව වුණත් උඹ කතා කරපු විදිය හොදයි. පුලුවන් නම් ඔයිට වඩා ඩිංගක් සැරෙන් කතා කරලා බලපං.. සමහරවිට වෙනස් දෙයක් වෙන්නත් පුලුවන්."

"ඒ කිව්වේ..?"

"උඹ ඔලුව පාත් කරන් ඉන්න ඉන්න දිනූකා මිස් උඹේ ඇගට ගොඩවෙනවා වැඩියි. ඒකයි.. මොනව වුණත් අර ගර්ල්ෆෙන්ඩ් කතාව නම් මට ඇල්ලුවෙ නෑ. ඒකෙන් පේන්නේ මිස් හදන්නෙ උඹව ටෙස්ට් කරගන්න කියලා.."

"ටෙස්ට් බැරිනම් වන්ඩේ වෙච්චාවි පුබුදු. මමත් දැන් ටික ටික මිස්ගෙ බැනුම් වලටයි, ඒවට ආපිටට දෙන උත්තර වලටයි පුරුදු වෙලා. ඒක නෙමේ.. මොකද අද පූර්ණි පේන්න නැත්තේ..?"

දිනූකා මිස් ගැන කතා කරන්න යෑමේදී පූර්ණිමා ගැන කතාබහ කිරීම අඩපණ වෙයි. දිනූකා මිස් හවස් වරුවේ නොඑන නිසා අද නම් මට නිදහසේ පූර්ණිමාත් සමග කතාබහ කිරීමට පුලුවන් වනු ඇත. සියල කටුද දෑ මැඩගෙන මගේ සිතට සියුම් සතුටක් හෙමින් සීරුවේ ගලා ආවේය.

"ඒකත් එක කේස් එකක් කාංචන.. මට තේරෙන විදියට නම් පූර්ණිමා ඉන්නෙ සෑහෙන අප්සට් එකකින්. කොටින්ම අද උදේ මං කතා කරලත් කතා කෙරුවෙ නෑ. අහක බලන් හිටියා. කම්පියුටර් සෙක්ෂන් එකේ කොල්ලො ඉස්සරහ, මට මාර නෝන්ඩිය.."

"පුබුදුගේ කතාව මට අලුත් ආරංචියකි. මෙතුවක් දවස් හොදට සිටි පූර්ණිමාට හදිසියේ වූයේ කුමක්ද..?"

"ගෙදර ප්‍රශ්නයක් ද දන්නෑ නේද පුබුදු..?"

පූර්ණිමාගේ පැත්තට ඩිංගක් හෝ කතා කළ යුතු නිසා මම ඇසුවෙමි. එහෙත් පුබුදුගේ මුහුණේ තිබුණේ නොපහන්කාරී බැල්මකි. ඔහුගේ සිත රිදී තිබෙන බැව් එයින් නිසැකවම වටහා ගත හැක.

"ගෙදර නෙමේ, ලෝක ප්‍රශ්නයක් වුණත් අපි පලි නෑ නේ කාංචන.. එයාගෙ ඕනම ප්‍රශ්නෙකට අපි ඉන්නවා කියලා එදා ප්‍රොමිස් කරල තියෙද්දිත් එයා ඒ හැසිරුණ විදිය නම් ඒතරම් හොද නෑ. මොනව වුණත් අපි හොද යාලුවො වගේ හිටියනේ.."

"සමහර විට එයාට ඇහුණේ නැද්ද දන්නෑ.."

"පූර්ණිමා බීරියෙක් නෙමේනේ කාංචන.. මං කතා කරපු එක එයාට ඇහුණා. ඒක මට හොදටම විශ්වාසයි.."

අනතුරුව දිවා ආහාරය ගෙන අවසන් වනතුරුම මමත්, පුබුදුත් ඒ ගැන වචනයක්වත් කතා නොකළෙමු.

"ආයෙ ඔෆිස් එකට යන්න කලින් මම පූර්ණිමාව හම්බවෙන්නම්.."

කවුන්ටරයට පුබුදු මුදල් ගෙවද්දී මම කීවෙමි. එහෙත් එයට ඔහු කිසිවක් කීවේ නැත. අර මුලින් තිබූ නොපහන්කාරී හැගීම ඒ වනවිටද ඔහුගේ මුලු මුහුණ පුරාම රැදී තිබිණි. සමහරවිට පූර්ණිමා මා සමග ද කතා නොකර සිටින්නට පුලුවන. එසේ වුවහොත් නම් සිදුවන්නේ වස ලැජ්ජාවකි. ඉදිරියට හමුවූ පළමු කොරිඩෝවෙන්ම පුබුදු හරී යද්දී මම කම්පියුටර් සෙක්ෂන් එක පැත්තට ඇවිදන් ආවෙමි. බොහෝ දෙනෙකු දිවා ආහාරය ගැනීමට ගොසි සිටි බැවින් අංශය පුරාම පැතිරී තිබුණේ පාලුවකි. මුදල් පරිපාලනය කෙරෙන පැත්තේ තිබූ දිග මේසයක අයිනක ඔලුව තබාගෙන දෑස පියා සිටින පූර්ණිමාව මම ඈතටම දැක්කෙමි. දවල්ට කන්නෙවත් යන්නැතුව මේ කෙල්ල කරගන්නට යන්නේ මොනවාද..? මම හෙමින් සීරුවේ ඇයට ළංවී ඇය ඉදිරියේ වූ පුටුවෙන් වාඩිවුණෙමි. සැනෙකින් පූර්ණිමා හිස උස්සා මදෙස බැලුවාය. ඇඩීමෙන්දෝ රතු වී තිබූ දිගු දෑසේ පිරී තිබුණේ පුදුමයකි.

"ඇයි අපිට මෙහෙම කරන්නේ..?"

ඇය කතා කරන්නට කලියෙන් මම කතාව පටන් ගත්තෙමි. කුමක් හෝ දෙයක් සිදුවී ඇති බව නම් පැහැදිලිය. මේ රතුවී ඇති අසරණ දෙනෙත එය පැහැදිලි කරන සාක්ෂියකි.

"ම.. මං මොනවද ඔයාලට කරේ..?"

හුරතල් කටහඩ ගොරෝසු වී තිබිණි. හිටි ගමන් ඇයට මේ සිදුවී ඇත්තේ කුමක්ද..? පෙරේදාත් අපි තිදෙනා එකට එක්ව කතාබහ කලා නොවේද..? 

"ඔයා අද ලන්ච් එකට ආවෙ නෑ. පුබුදු උදේ ඔයාට කතා කරලත් ඔයා කතා කරලා නෑ. බලන්න, හැමෝම ඉස්සරහ ඒ වගේ දෙයක් කලාම පුබුදුට කොයි තරම් ලැජ්ජාවක්ද කියලා. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න.. මං පුලුවන් දෙයක් කරන්න බලන්නම්. එහෙම නැතුව අපිත් එක්ක කතා කරන්නැතුව. කන්නෙ නැතුව ඉදල වැඩක් නෑනේ.. ආ.."

දිගු හුස්මක් පපුව ඇතුළෙන්ම ගෙන පූර්ණි මාවත් පා කරගෙන යන තරමේ වේගයකින් එළියට පිට කලාය. තියෙන ප්‍රශ්නයේ තරම මම එයින්ම මැන ගත්තෙමි. එහෙත් ඇය සිටියේ කිසිම දෙයක් නොකියන්න අදිටන් කරගෙන වාගේය. 

"ප්ලීස් කාංචන.. මට කරදර කරන්නෙපා.. මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න. මට කිසි ප්‍රශ්නයක් නෑ. අද ලන්ච් වලට ආවෙ නැත්තෙ මට බඩගිනි නැති හින්දා. අනිත්තෙක දිනූකා මිස් ආවොත් ඔයාට ප්‍රශ්නයක් වෙයි කාංචන.."

මා ඇයගේ ළගින් එලවා දැමීමට ඇය සතු ප්‍රබලම අවිය පූර්ණිමා භාවිතා කළාය.

"මිස් ආවට කමක් නෑ.. හිටපු ගමන් ඔයාට මේ වෙලා කියෙන්නෙ මොකක්ද කියලවත් මට කියන්න.."

"ම.. මට මුකුත් වෙලා නෑ කාංචන.. ම.. මං හොදින් ඉන්නවා.. ඔයා පුබුදුට කියන්න මගෙත්තෙක්ක තරහා වෙන්න එපා කියලා. මං ඔයාලට වැරැද්දක් කලේ නෑ.."

"ඒ කියන්නෙ අපි ඔයාට වැරැද්දක් කලාද..?"

පූර්ණිමාගේ කතාවෙන් තේරුණේ එවැනි දෙයක් නිසා මම ඇයගෙන් කෙලින්ම ඇසුවෙමි.

"එහෙම දෙයක් නෑ කාංචන.. අපි ඔය ගැන පස්සෙ කතා කරමු.. දැන් ඔයා යන්න.. නැත්නම් මට ප්‍රශ්න වැඩිවේවි.."

"ඔයාට දිනූකා මිස් මොනව හරි කිව්වද..?"

කුමක් හෝ දෙයක් සිදුවී ඇති බැව් පැහැදිලි වුවද එය කුමක් අරඹයාදැයි මම නොදැන සිටියෙමි. වෙන්නට පුළුවන් එකම ප්‍රහාරය ගැන මම පූර්ණිමාගෙන් ඇසුවේ එබැවිනි.

"ප්ලීස්... කාංචන...."

පූර්ණිමා නැවතත් මේසය මත හිස තබා ගත්තාය. තවත් දුරට මෙතැන හිදීමෙන් තේරුමක් නොවන බැව් සිතට දැනෙද්දී මම පුටුවෙන් නැගිට්ටෙමි.

"ඔයාගෙ හිතේ තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා මං දන්නෙ නෑ. ඕත් මං හැමදෙයක්ම කලේ ඔයා වෙනුවෙන් කාංචන කියලා කියපු ඔයාගෙ මේ වෙනස් වීම නම් මගේ හිතට හුගක් දුකයි.. කමක් නෑ.. කොයි වෙලාවක හරි මගෙන් උදව්වක් ඕන කියලා හිතුනොත් මගේ ළගට එන්න දෙපාරක් හිතන්න එපා. මොකද ඔයා මගේ හිතේ ඉන්නවා."

හනික මම කොම්පියුටර් අංශයෙන් පිට වී ආවෙමි. තවත් මා රැදී සිටියා නම් මොනවා කියාවිදැයි මම දන්නේ නැත. පුබුදුත් සමග මම පූර්ණිමාගේ නිවසට ගොස් හෝ ඇයගේ ප්‍රශ්නය කුමක්දැයි සොයා ගත යුතු බැව් මම හිතාගත්තෙමි. කාර්‍යාලීය කාමරයේ දොර විවර කරද්දීම කාමරය තුලින් දැඩිව හමා ආවේ දිනූකා මිස්ගේ පර්ෆියුම් සුවදය.

මම කාමරය පුරාම දෑස යැව්වෙමි. දිනූකා මිස් ළගින් දැනෙන පර්ෆියුම් සුවද වඩා තදින් දැන් මට දැනේ. අඩුම තරමේ මා කාමරය තුළට පැමිණෙන්නට තත්පරයකට දෙකට කලින් හෝ දිනූකා මිස් මේ කාමරය තුළ සිටී බවක් මගේ සිත කියයි. එහෙත් ඇය කාමරයෙන් පිටව ගියේ මා දිවා ආහාරය ගැනීමට යාමට පෙර නෙවේද..? මෙතන නම් මොකක් හෝ අමුතු ආකාරයේ දෙයක් තිබෙන බැව් මගේ සිතට දැනෙයි. එහෙත් සිතට නොතේරෙන්නේ ඒ කුමක්දැයි කියාය. සිතට හදිසියේ ආ සැකයක් නිසා මම පහත් වී කාමරයේ සෑම තැනක්ම පරික්ෂා කෙරුවෙමි. එහෙත් සිතට ගැළපෙන තාලේ උත්තරයක් මට ලැබුණේ නැත. හිත කියන්නේම දිනූකා මිස් කොහේ හෝ සිට මගේ දෙස බලා සිටින බවය. ඇත්තටම එය කොහේ සිට වෙන්න පුලුවන්ද..? සමහර විට මෙය මගේ සිතේ උපන් මනස්ගාතයක් වන්නට ඇත. පුබුදුට මෙය කීවොතින් ඔහු නිසැකවම සිනාවෙනු ඇත.



 
                                    

No comments:

Post a Comment