Wednesday, March 21, 2012

| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






එදින මුලු රෑ පුරාම මට හරිහැටි නින්දක් ලැබුණේ නැත. දිනූකා මිස්ගේ සදක් වැනි සුරූපී මුහුණ හැම පැත්තකින්ම එබෙමින් මගේ සිතට දහසකුත් එකක් කරදර ඇති කළේය.


"ඊයේ වෙච්ච දේවල් අමතක කරලා දාන්න කාංචන.. අද අලුත් දවසක් නේ.. ඩිංගක් හිනාවෙලා ඔෆිස් එකට යමු.."

වැඩට යන්නට ලෑස්ති වූ පසු පුබුදු මගේ පිටට හෙමින් සීරුවේ ගසමින් කීවේය. දිනූකා මිස් හොදටම පාරවා ඇති මේ සිත සමග, මා කට පුරා සිනාසෙන්නේ කෙසේද..? ආයතනයට ඇතුල් වූ පසු මුණගැහෙන පළමු කොරිඩොවේදීම පුබුදු මවෙතින් ඈත්විය. බතික් තිර රෙදි වල ගිණුම් වාර්ථා රැසක් යලි මුල සිටම පරික්ෂා කිරීමට සිදුවී ඇති බවක් ඔහු කීවේ ඊයේ සවස සිටමය. එසේ නම් ඔහුට අද දවස පුරාම වැඩ තිබෙනු ඇත. පූර්ණිමාව හමුවන්නට දිවා විවේකයේදී හෝ පුංචි ඉඩක් ලැබේවායි සිතමින් මම කාර්යාලීය කාමරය තුළට ඇතුලු වුණෙමි.

සමහ විට දිනූකා මිස් මේ වනවිට පැමිණ තිබෙන්නට පුලුවන. හෙමින් සීරුවේ තල්ලු කර දොරෙහි ඇතිවූ හිඩසින් මම එක්වරම දිනූකා මිස් හිදිනා තැන දෙස බැලුවෙමි. සුදු පැහැති යුරෝපීය ඇදුම් කට්ටලයකින් සැරසී ඇය මොකක්දෝ පොතක් කියවමින් සිටියාය. මගේ පපුවේ ගැස්ම  මටත් හොරාටම වැඩිවන්නට විය. ඇය මේතරම් උදයෙන් කුමකට පැමිණ සිටිනවාදැයි මට සිතාගන්නට බැරිය. සද්දයක් නොනැගෙන පරිද්දෙන් අඩිය තබමින් මම මගේ පුටුව වෙතට ගියෙමි. ගුඩ් මෝනිං කියන්නට ගොස් ඉල්ලා කන්නට බැරිය. මෙයට කලින් දවස් කිහිපයේදීම දිනූකා මිස්ට ගුඩ් මෝනිං කියා වින්ද කරදර හොදටම ඇතිය. ඇය මට ගුඩ් තියා නිකං මෝනිං එකක්වත් දුන්නේ නැත.

"විනාඩි හතක් පරක්කුයි. හරි නම් රතු ඉර ගහන්නයි වටින්නේ.."

මම උඩ විසිවී ගොස් බිම වැටුණෙමි. මෙය නම් ජාති ජාතිත් පතාගෙන එන මොකක් හෝ පවක කොටසක් විය යුතුය. නැතිනම් මෙසේ පසුපස පන්නාගෙන එන්නේ නැත.

"සොරි මිස්.."

අවංක හඩකින් මම කීවෙමි.

"ඒක හොද සොරිය. ඔෆිස් එක ඉස්සරහ කාමරෙයි ඉන්නේ. මේ හැතැම්ම තිහ හතළිහ ඈත ඉදලත් මිනිස්සු මේකෙ වැඩට වෙලාවට එනවා.  මොකද කියන්නේ.. දවස් බාගෙක පඩි කපන්නද...?"

කියා ගැනීමට අවැසි වූ කිසිවක් සතට නොආයෙන් මම අත්න අසරණව දිනූකා මිස් දිහා ලැබුවෙමි. ඉතා ක්‍රමාණුකූලව මසා තිබූ යූරෝපීය ඇදුම් කට්ටලයෙහි සුදු පැහැයටත් වඩා දිනූකා මිස්ගේ මුහුණෙහි පැහැය කැපී පෙනිණි. ඇත්තටම ඇය රාජ කුමාරිකාවන්ටත් වඩා අභිමානයෙන් යුතුව මා දෙස බලා සිටියාය. ඇගේ ඉතා තියුණු නෙත් පහරින් ගැලවී ගත නොහැකිව මම හනික බිම බලාගත්තෙමි. ඇය මේතරම් ඕනෑකමකින් මගේ දෙස බලන්නේ ඇයි..? 

"එ.. එහෙම ක... කරන්න එපා මිස්.. මම ආයෙ පරක්කු නොවී වැඩට එන්නම්.."

හිස උස්සා හෙමින් සීරුවේ දිනූකා මිස් දෙස බලනා ගමන් මම කීවෙමි. ඒ වන විටද ඇයගේ දෙනෙත් ඇලවී තිබුණේ මගේ මුහුණේමය. මේ අසරණ කාංචනගේ මුහුණත් සමග ඇයට ඇති ගණුදෙනුව කුමක්දැයි මට සිතාගන්නටවත් බැරිය. ඇය මා ගිල දමන්නට මෙන් මෙලෙස බලා සිටින්නේ ඇයි...?

"හ්ම්.. ඒක පැත්තකින් තියනවා.. මීට පස්සෙ උදේට මනුස්සයෙක් දැක්කාම මෝනිං කියන්න පුරුදු වෙනවා.."

මේ අවනඩු නම් කියන්න ඕනෑ දෙවියන්ටමය. එක්කෝ කතරගම දේවාලෙට ගොස් කතරගම දෙවියන් ඉදිරියේ බාරයක් විය යුතුය. එසේත් නැත්නම් කොටබෝවේ කතරගම කුඩා දේවාලයට ගොස් පොල්ගෙඩියක් බිම දමා පලි ගැසිය යුතුය. නැත්නම් මේ දුප්පත් කාංචනගේ සිතට නිවනක් ලැබෙන්නේ නැත. කියන්නට පුරුදු කරනවාට වඩා ඇය මෝනිං කියන්නට පුරුදු වෙනවා නම් මේ හැමදේටම වැඩියෙන් හොදය.

"මොකක්ද ඔය පාර්සලය..?"

පැයක පමණ නිහැඩියාවකින් පසුව දිනූකා මිස් වෙනස්ම වූ හඩකින් ඇසුවාය. ඇය ගෙන් බැනුම් අසන්නේ නැතිව පැයක් ඉන්නවා කියන්නේත් එක්තරා විදියක ජයග්‍රහණයකි.

"මගේ පොඩි බඩු වගයක් මිස්.."

පූර්ණිමාට ගත් උපන්දින තෑග්ග මමත් හරකා සේ මේසය උඩින් තැබුවෙමි. දිනූකා මිස්ටද ඕන්නැති දෙයක් නැත. ඇය තාමත් එබීගෙන සිටින්නේ ඒ පාර්සලය දෙසටය. ඇත්තම කාරණය කිව්වෝතින් ඇය මෙතන යකා නටන්නටද බැරි නැත. ඒ නිසා මුසාවාදයක් කියා ඇග බේරාගැනීම හැම අතින්ම ගුණදායකය. ඇය තවත් මොනවා හෝ ආසාවි යැයි මා බලා සිටියද, කාමරය තුළ කිසිවෙකුත් නැති ගානට දිනූකා මිස් පොතට මුහුණ ඔබාගෙන සිටියි. ඒ සුරූපී මුහුණේ ඇති දහසකුත් එකක් හැඩතල වරින් වර වෙනස් වන ආකාරය මම හොරැහින් බලා සිටියෙමි. සුදු දිගටි මුහුණේ එකදු කැලැලක්වත් නැගි ගානය. දිගට වැවී ඇත ඝන ඇහි බැම නිසා දෙඇසේ ඇත්තේ හිත වසග කරගන්නා තරම් සොදුරු කාන්තියකි. සිහින් ඉරක් මෙන් සෘජුව පිහිටා ඇති නාසයද, තද රතු පැහැති දෙතොලද ඇගේ මුහුණට එක්කර ඇත්තේ අමුතුම හැඩකාර බවකි. ඇයගේ හදවතත්, ඔය සොදුරු මුහුණ තරම් ලස්සනට තිබුණා නම් මට මෙතන කොතරම් නිදහසේ සේවය කරන්නට තිබුණාදැයි මම කල්පනා කළෙමි.

"මොකද කන්න වගේ බලාගෙන ඉන්නේ..? උදේට තාම කෑවෙ නැද්ද..?"

ඒ වචන මෝටාර් වෙඩිල්ලක් මෙනි. මට දැනුණේ පොළවට පලාගෙ යන තරමේ මහ විශාල ලැජ්ජාවකි. මම හනි හනිකට බිම බලාගත්තෙමි. වැඩේ කියන්නේ ඇයට මගේ දිහා බලා සිටින්නට පුලුවන. ඒ දිග ඇස්වලින් මගේ අසරණ ආත්මයටම එබී බලන්නට ඇයට පුලුවන. වැරදීමකින් හෝ මට ඇය දිහා බලන්නට බැරිය. මෙය නම් පුදුම අසාධාරණයකි. එතැනින් එහාට දිවා ආහාර විවේකය ලංවෙන තෙක්ම ඔලුවවත් නොඋස්සා මම වැඩෙහි යෙදුනෙමි.

මා ඔලුව උස්සා බැලුවේ දුරකථනය විනාඩියක්, දෙකක් පමණ එක දිගට වදින්න ගත් නිසාය. මගේ ඉමහත් පුදුමයට මෙන් දිනූකා මිස් කාමරය තුළ නොසිටියාය. මට නොපෙනී ඇයට කාමරයේ දොරින් පිටවීමට නොහැකි බව මම හොදින් දැන සිටියෙමි මන්ද යත් ඇය යනවා නම් යා යුත්තේ මගේ මේසය ඉදිරියෙන් පමණකි. වෙනත් පාරක් ද නැත. එසේ වෙද්දී ඇය මගේ ඇස් වසා මොන දීපංකරයක අතුරුදන් වුණාදැයි සිතාගන්නට බැරිම මම තක්කු මුක්කු වී ගියෙමි. ඒ අවුල් ගතියෙන්ම දිනූකා මිස්ගේ මේසය ළගට ගොස් රිදිවරය දකුණු අතට ගත්තෙමි.

"හෙලෝ..."

"කාංචන, උඹ ලන්ච් එකට එන්නැද්ද..? ෆෝන් එක උඹ ගත්තේ.. ඔතන දිනූකා මිස් නැති නිසාද..?"

එහා කොනින් ඇසුණේ පුබුදුගේ කටහඩයි. හිටපු ගමන් අතුරුදන් වීමට මොකක්දෝ බලයක් වැනි දෙයක් ඇති දිනූකා මිස් ගැන පුබුදුට කීවොත් ඔහු සිනාසෙනු ඇත. සමහරවිට දිනූකා මිස් මේ කාමරයේම කොහේ හෝ සිටිනු ඇත. ඒ නිසා කතා කරද්දී  වචන තෝරා බේරා කතා කරන්නට මම උත්සාහ ගත්තෙමි.

"මේ දැන් හිටියා.. කොහේට ගිහින්ද දන්නෑ.."

"එහෙනම් උඹට ඩිංගක් එළියට එන්න බැරිද..? පුංචි කේස් එකක් තියෙනවා කියන්න.."

පුබුදුට හා කියා මම රිසිවරය තැබුවෙමි. ඔහු කියනා පුංචි කේස් එක කුමක්දැයි කියා කල්පනා කරමින් මම වටපිට බැලුවෙමි. ඉවෙන් වගේ සිතට දැනෙන්නේ දිනූකා මිස් මේ අසලකම ඇති බවය. එහෙත් ඇය පෙනෙන්නට නැත. මේ කාමරයේම කොහේ හෝ තැනක හිද ඇය මගේ දෙස බලා හිදින බව දිව්රා කියන්නට මට පුළුවන. එහෙත් මා එසේ කියන්නේ කාටද..? පුබුදු උනත් මගේ මනස්ගාත කියා සිනාසෙනු ඇත.

"හරි වැඩේනේ කාංචන.. පූර්ණිමා අද ඇවිත් නෑනේ.."

කාමරයෙන් එළියට පැමිණි පළමු තත්පරයේදීම මවෙතට ආ පුබුදු කීවේය. මගේ පපුව හෝස් ගා පත්තූ විණි. උපන්දින තෑග්ග පූර්ණිමාට දී ඇයට අදවත් සුභ පතන්නට මා සිටියේ දැඩි නොඉවසිල්ලකිනි. ඒත් ඒ හැම දෙයක්ම දැන් සෝදා පාලුවී ගොස් ඇත.

"කෙල්ල ෂුවර් එකට අප්සට් ගහලා ඇති..."

"මේ ගමන්ම ලන්ච් එක ගනිමුද..? කන ගමන් අපිට කතා කරන්න පුළුවන් නේ.."

පුබුදුගේ අදහස වඩාත් හොදය. කාමරයෙන් එළියට යනවා කියා කියන්නට දිනූකා මිස් ළග පාතක නැත. ඒ හින්දා ඇය නොකියා ගියා කියා මගේ ඇගට කඩා පැන්නොත් කියන්නට කාරණා කිහිපයක් තිබෙන නිසා මගේ සිතට දැනුණේ ලොකු සැනසීමකි. කොරිඩෝවේ මද දුරක් ගොස් නැවතී පුබුදු මදෙස බලා හිදී. එහෙත් සිතට හදිසියේම දැනුණු කුහුලක් නිසා මම නැවත කාමරයේ දොර හැර කාමරයට ඇතුලුවිමි. දිනූකා මිස් ළගින් නිතර හමා එන පර්ෆියුම් සුවද දැඩිව මා හට දැනුණේද ඇයගේ ඡායාවක්වත් කාමරය තුළ තිබුණේ නැත. පර්ෆියුම් සුවද  මගේ සිතට කීවේ මීට තත්පරයකට දෙකකට කලින් ඇය කාමරයේ සිටි බවය. මෙය නම් සිතාගන්නට බැරි පුදුමාකාර දෙයකි. මම කාමරයේ හැම අස්සක් මුල්ලක් නෑරම හොදින් පරික්ෂා කළෙමි. එහෙත් මගේ සිතට සැක කරන්නට පුලුවන් තරමේ කිසිදු දෙයක් හමුවුණේ නැත. අඩුමගණනේ මා කාමරයෙන් පිටවූ පසු දිනූකාමිස් එකවරක් හෝ කාමරය තුළට ඇවිත් ඇති බව මගේ සිත හඩ නගා කියයි. එහෙත් කාමරයේ දොර ඉදිරියේ මා පුබුදුත් සමග කතාබහ කරමින් හිදිනාවිට අපිට නොපෙනී දිනූකා මිස්ට මොන ආකාරයකින් හෝ කාමරය තුළට යන්නට බැරිය. ඒත් සිදුවෙන්නට බැරි දේ දැන් දැන් සිදුවී තිබේ. මේ දැඩිව දැනෙන පර්ෆියුම් සුවද නොකියා කියන්නේ එයය.

"කාංචන මොකද කරන්නේ..?"

කාමරයෙන් එළියට ඇහුණු පුබුදුගේ කටහඩට මම තිගැස්සී ගියෙමි. මෙය නම් ඔලුව විකාර කරවන තරමේ මහා පටලැවිල්ලකි. දිනූකා මිස් හදන්නේ මා පිස්සෙකු කරන්නට යැයි දැන්ම කියන්නට කල් වැඩිය. එහෙත් මෙවැනි දෑ දිගින් දිගටම වීමෙන් වන්නේ මා පිස්සකු වන එකය. අවුල් වූ ඔලුවත් සමග මම හනික කාමරයෙන් එලියට ආවෙමි. පුබුදුගේ මුහුණේ රැදී තිබුණේ ප්‍රශ්නාර්ථයක් වුවත් මම ඒ ගැන වැඩිය සිතන්නට නොගියෙමි. දැන් කතා කරන්නට ඕනෑ පූර්ණිමා ගැනය. ඒ අහිංසක කෙල්ල සිටිනවා ඇත්තේ හොදටම සිත රිදී විය හැකිය.

"හවස ඕෆ් වෙලා පූර්ණිමා බලලා එමුද..?"

වට්බටු වෑංජනයේ තිබූ කරවල කෑල්ලක් බතුත් සමග අනාගන්නා ගමන් මම ඇසුවෙමි. පුබුදු කලේ මෙතුවක් වේලා නිශ්ශබ්දව කෑම කෑ එකය. ඒ අතින් බලන කල පුබුදු ළග ඇත්තේ ඉතා ඉහල මහත්මා ගතිගුණය. අනවශ්‍ය වේලාවට ඔහු කිසිම දෙයක් අසන්නේවත්, කතා කරන්නේවත් නැත. නියම වේලාව එනතුරු ඔහු ඉවසා සිටියි.

"අද නම් හොදයි කාංචන.. ඒත් මට හවස කරන්නම ඕන වැඩ ටිකක් තියෙනවා. මැණික්දිවෙල සර් අද උදේම මට බාරදුන්නා බතික් ඕඩරයක් කොහොමහරි ෆිනිෂ් කරලා දෙන්න කියලා. පුලුවන්කමක් තිබ්බොත් මං අනිවා එන්නම්.."

සිතට සැනසීමක් නැතිවෙනකොට කරදර එන්නේ එකපිට එකමය. පුබුදු නැතිව පූර්ණිමාගේ ගෙදර යන එකද සිතට මහ මොකක්දෝ වගේය.

"ටිකක් රෑ වුණාට කමක් නෑ පුබුදු. රෑවෙලා හරි අපි ගිහින් එමු. බර්ත්ඩේ එකට විෂ් කරන්න බැරිවුණ එකටයි, ගත්තු ප්‍රසන්ට් එක දීගන්න බැරිවුණ හන්දයි මගේ ඔලුවත්තෙක්ක අවුල් වෙලයි තියෙන්නේ.."

"ඇයි පූර්ණිමාව දකින්න නැති හන්දා හිතට දුකක් නැද්ද..?"

පුබුදු සිනාසෙමින් අසද්දී මටද සිනා නැගුණි. පූර්ණිමාව දකින්නට මගේ යටි සිතේද මොකක්දෝ ඇසාවක් ඇත. ඇය අද කාර්‍යාලයට පැමිණ නැති නිසා සිතේ අමුතුම පාළුවක් ඉදිවී ඇත. වෙනදාට නම් දිවා ආහාර විවේකයේදී ඇය මගේ ළගට පැමිණ වචනයක් දෙකක් හෝ කතා කර යයි. අපට කෙනෙකුගේ අගය දැනෙන්නේ, ඒ පුද්ගලයා අප ළග නැති විටදී බැව් මට දැන් හොදටම විශ්වාසය. හිස පසෙකට ඇල කරමින් ඇය හෙලනා ආදරණිය බැල්ම  ඕනෑම දරුණු සිතකට වුවත් කිසියම් හැගීමක් ඇතිකරන බැව් මට දිව්රා කිව හැකිය.

"හවස ඕෆ් වෙලා කාංචන රූම් එකට යන්න.. මම පුලුවන් තරම් ඉක්මනට එන්නම්.." 

කෑම කා ඉවර වූ පසු පුබුදු කීවේය. අද රෑ දොළහට හෝ ගොසින් පූර්ණිමා බැලිය යුතුය. ඇයගේ තෑග්ග දිය යුතුය. හිතට යම්කිසි සහනයක් හෝ දැනෙන්නේ එවිටය. සමහරවිට ඇය මා ගැන වැරදියට සිතාගෙන ඉන්නවා විය හැක. මගේ ආඩම්බරකම නිසා මා ඇයගේ ආරාධනාව පිළි නොගෙන ඉන්නට ඇතැයි ඇය සිතන්නට බැරි නැත. කළ යුතු හොදම දෙය වන්නේ පුලුවන් තරම් ඉක්මණින් ගොස් පූර්ණිමාව මුණගැසීමය.



No comments:

Post a Comment