Sunday, March 18, 2012

| නෙතු හැඩුවා ඔබට හොරා | යෞවන සමින්ද්‍ර රත්නායක |






"පොඩි අයියේ.. ඉස්සෙල්ලම බලපං නංගි ගෙදර ඉන්නවද කියලා.."

කලු පැහැති ඩිෆෙන්ඩර් රථයෙන් බිමට පනිනා තම වැඩිමහලු සහෝදරයාට ඇසෙන්නට ඩී.ජේ ගෘප් හී හතරවැනියා කෑ ගැසීය.

"ඒක තමයි බං මම මේ බලන්න යන්නේ..?"


දත්මිටි කමින් පැවසූ තුන්වැනියා නිවස තුළට වහ වහා පියවර එසවිය. සොයුරන් හතර දෙනාම නිවසින් පිටව ගිය පසු, තම නැගණිය අනිවාර්‍යයෙන්ම නිවසින් එළියට යන බව ඔහු තුන් සිතින්ම අදහාගෙන සිටියේය. තමාට වරදින්නට විදියක් නැත. තමාගෙ සිතිවිලි නිවැරදිය. නැගණිය පෙනෙනතෙක් මානයක නැත.

"නංගි ගෙදර නැත්නම් ලොකු අයියට කෝල් එකක් දෙමු.."

"වැඩේට බහිමු.. මේ පාරත් අන්තිමට ඔයයි, මමයි වැරදි කාරයෝ වෙන්නේ.."

"එපා.. එපා.. එයාව මේකට ගාව ගත්තොත් වැඩේ අවුල් වෙනවා.. දැනටමත් අපේ පස්සෙන් පන්නනවද දන්නෙ නෑ.."

"ම්.. ඒකත් එහෙම නම්, අපි කෙලින්ම අවිනාශ්ලගෙ ගෙදර යමු.."

"අන්න හරි..."

ප්‍රීතියෙන් බැබලුන ඔවුන් දෙදෙනාගේ මුහුණු මලමිනියක් සේ සුදුමැලි වී ගියේ ඉදිරිපස දොකඩින් මතුවූ දිලීඛා දැකීමෙන්ය. තමන්ගේ උපාය සැලසුම් සියල්ලම එක පිට එක බිද වැටී යන අයුරු දැක, හතරවැනියා සිතෙහි උපන්නේ නොසංසිදෙන කෝපයකි.

"පොඩි අයියෙ.. හදිසියෙම..?"

"අපිට බඩු වගයක් ගෙනියන්න අමතක උනා.."

"මං ඒත් බැලුවා මොකද මේ හදිසියෙම ආවෙ කියලා.."

"ඔයා මේ කොහේවත් යන්නද..?"

තුන්වැනියාගේ ප්‍රශ්නයට දිලීකාට මද සිනාවක් නැගුණි. ඒ මුහුණේ ඇදී ගියේ සමච්චල් සහගත පෙනුමකි. එය මුහුණප ුරා දුන් අතුල් පහරක් පරිදිය.

"ඔව්.."

"කොහෙද යන්නේ..?"

"කොහෙට හරි යන්න ඕන.. ගෙදර ඇතුළටම වෙලා ඉදලා එපාවෙලා තියෙන්නේ.."

"ඒක හරි.. ඒක හරි.. මේ හොයලා බලන එක අපිටත් එපාවෙලා තියෙන්නේ.."

හතරවැනියා කටහඩ අවදි කළේ මන්දගාමී ස්වරයකිනි. දිලීකාට එය හරි හැටි ඇසුණේ නැත. ඇය දෙතොල් උල් කොට මොකක්ද..? කියා ඇසුවේ එබැවිනි. එහෙත්  හතරවැනියා එම ප්‍රශ්නය මග ඇරියේය.

"දැන් කාත් එක්කද යන්නේ..?"

"කවුරුවත් ඕන නෑ.."

"එහෙනම්...?"

"ඔයාලා දෙන්නා ඉන්නවනේ.."

"හපෝ දැන් නම් බෑ.. අපි දෙන්නම බිසී.. වරෙන් පොඩි අයියේ.."

"ඔයාලා ඉතිං මාව කොහේවත් එක්ක ගිහිල්ලා නෑනේ. ලොකු අයියා විතරයි මං කියන දේ කරන්නේ.."

දිලීකාගේ අදහස වූයේ සොයුරන් දෙදෙනා සමග නිවසින් මදක් ඈතට ගොස් එන්නය. එවිට අවිනාශ් කිසිදු අවහිරයකින් තොරව නිදහසේ පැනගන්නට පුළුවන. එහෙත් ඇයගේ අදහස් ව්‍යාවර්ත කරමින්, හතරවැනියා කලබලෙන් මෙන් ගෙතුළට වැදුණේය. දිලීඛාගේ වත සුදුමැලි වී යද්දී, තුන්වැනියා ද ඔහු පිටපසින් වැටූනේය..

"ඔයාලා මාව එක්කයන්නෙ නැද්ද..?"

ඉනට අත් දෙක තබා ගනිමින් දිලීකා කෑගැසුවාය. ගෙතුළට යමින් සිටි හතරවැනියාද, තුන්වැනියාද ඇයගේ හඩට එතනම නතර වූහ. සොයුරන් දෙදෙනා එකිනෙකාගේ මුහුණ දෙස බලා ගනිමින් යම් අදහසක් හුවමාරු කරගත්හ. එසේම ඔවුන් කතා කළේ පහත් හඩිනි.

"මටව ගේම උඹටත් සැකයි නේද පොඩි අයියේ..?"

"ඔව්.. මෙතන මොකක් හරි අවුලක් තියෙනවා.. නංගි උඹටයි මටයි කතා කරපු එකත් මට අල්ලන්නෙ නෑ.."

"උඹට හිතෙන්නැද්ද..?"

"මොනවද..?"

"අවිනාශ් ගේ ඇතුළෙ ඇති කියලා..?"

"හිතෙනවා.."

"හිතෙනවා නම් ගිහින් බලමු.."

"කොහෙද බලන්නේ..?"

"නංගිගෙ කාමරේ මිස වෙන කොහේද..?"

"අවිනාශ් හිටියොත්..?"

"හිටියොත් නේද..?"

හතරවැනියාගේ මුවින් පිටවූයේ අමුතුම අවක්ත රාවයකි. මොහොතකින් එය අමන ආකාරයේ සිනාවක් බවට පත්විය. දෑසින් මෙන්ම මුළු ඇගෙන්ම හිනාවෙන සොයුරා දෙස අනෙකා බැලුවේ අප්‍රසාදයෙනි.

"මොකද උඹ හිනාවෙන්නේ..?"

"හිනා යන ඒවනේ පොඩි අයියෙ උඹත් අහන්නේ.."

"ඇයි..?"

"හහ්... හහ්.. හා......"

නිවසේ උඩුමහල දෙස බලමින් හතරවැනියා නැවතත් සිනාසුණේය. නිරන්තරවම සිතට නැගෙනා අනේක විද සිතුවිලි වලින් ඔහුම අමන්දානන්දයට පත්වූවාක් වැනිය.

"උඹ අහන්නෙ ඇයි කියලද..?"

"ඔව්.. මං ඇහුවෙ අවිනාශ් හිටියොත් මොකද කරන්නෙ කියලා.. එතන හිනාවෙන්න දෙයක් නෑ.. එතන තියෙන්නෙ ප්‍රශ්නයක්.."

"හහ්.. හහ්.. හා... මොන ප්‍රශ්නයක්ද පොඩි අයියේ අපිට තියෙන්නේ.. අපේ පුංචි සමනලීට ඌව බන්දලා දෙන එකනේ.."

"ඈ...?"

"ඔව් පොඩි අයියේ.. උඹ කොහොමද කියලා නම් මං දන්නෙ නෑ.. ඒත් මං අවිනාශ්ට කැමතියි.. ඌ මාර හැන්ඩියා බං.. ඌ ළගින් ඉන්නකොටත් මාර ගතියක් තියෙනවා.." 

තම බාල සොයුරාගෙන් පිටවූ වදන් අදහාගත නොහැකිව තුන්වැනියා ත්‍රස්තව බලා සිටියේය.

"දැන් ඉතින් වරෙන් යන්න අපේ අනාගත මස්සිනා පොඩ්ඩ හම්බවෙන්න.."

"උඹට පිස්සුද පොඩි එකෝ.. ලොකු අයියයි, දෙවනි අයියයි උඹයි, මායි, පට්ට ගහයි.."

"ප්‍රශ්නයක් නෑ බං.. අපේ පැත්තට නංගිත් ඉන්නවනේ.."

"උඹ කොහොමද දන්නේ..?"

"ඇයි පොඩි අයියේ.. අපේ පුංචි සුරංගණාවිගේ මූණේ දියවෙලා තියෙන ආදරේ අදුනගන්න බැරි තරමට මං පොට්ටයෙක්ද..? කතාව නවත්තලා වරෙන් අපි දෙන්නම  මස්සිනා හොයමු.."

නිවස දෙස වරින් වර බලමින් තම සොයුරන් දෙදෙනා, නොනැවතී කතා කරනා කතාබහ දෙස දිලීකා බලා සිටියේ අප්‍රමාණ වූ කැලඹිමකිනි. ඔවුන් දෙදෙනා යතොත් කෙලින්ම යන්නේ තමාගේ කාමරයට බව ඇය දැන සිටියාය. එහි නම් කිසිදු ගැටලුවක් නැත. එහෙත් වැරදිලාවත් කාර්යාල කාමරය පරික්ෂා කර බැලුවොත්..? ඇයට කිසිවක් සිතාගත නොහැකි විය. අවිනාශ්ට එහි සැගවී සිටින්නට කිසිදු තැනක් නොමැත. මොන දේ සිදුවූවත් තම සොයුරන්ගේ දෑතට හසුනොවිය යුතුය.

"පොඩි අයියේ..?"

ප්‍රමාද වන තත්පරයක් පාසා අවිනාශ් අනතුරේ බැව් දිලීකා දැන සිටියාය. දෙවරක් නොසිතාම ඇය එක් සොයුරෙකු ඇමතුයේ එබැවිනි. එහෙත් දෙදෙනාම ඇයට ප්‍රතිචාරයක් නොදක්වාම ගෙහි තුළට ඇතුලු වූහ.

"නංගි බයවෙලා නේද..?"

දිලීකාගේ කාමරය වෙතට පිවිසෙනා ගමන් තුන්වෙනියා අනෙකාගෙන් ඇසුවේය.

"හ්ම්.. කෙල්ල හිතන් ඉන්නෙ අපි ලෙඩක් දාවි කියලා.. කමක් නෑ අපි ඒ විදියට ඇක්ට් කරමු.."

දිලීකාගේ කාමරය පුරාම පරික්ෂා කළද ඔවුනට, ඔවුන් බලාපොරොත්තු වූ දෙය හමුවුයේ නැත. තමන් සොයන ජේත්තුකාරයා කොහේ සැගවී ඇත්දැයි තමන්ගේම නිවසේදීම ඔවුන් විස්මයට පත්ව ගොස් තිබිණි. මෙතන කුමක් හෝ අවනඩුවක් තිබේ. දිලීකා සිටින්නේද බියපත්වය. එහෙත් අවිනාශ් පිළිබදව සලකුණක් හෝ නැත. ඒසේ නම් වරද ඇත්තේ කොහේදැයි සිතාගත නොහැකිව ඔවුන් දෙදෙනා අන්දමන්ද තත්වයට පත්ව තිබිණි.

"වැඩේ හරියන්නෑ බං.. මේ මනුස්සයා නෑ නේ.."

"ඒකනේ පොඩි අයියෙ මාත් කල්පනා කලේ.."

"අපිට අදත් වැරදුනාවත්ද පොඩි එකෝ..?"

"මගේ හිතේ කියන්නෙම වරදින්න විදියක් නෑ කියලා.."

"ඒත් අපි හොයපු කිසි තැනක මස්සිනා නෑ නේ බං.."

"හැබැයි උඹයි මායි එක තැනක බැලුවෙ නෑ නේ පොඩි අයියේ.."

"ඒ කොහෙද..?"

"ලොකු අයියගේ ඔෆිස් කාමරේ.."

"ඇත්ත නේන්නම්.."

කාර්යයාල කාමරය හැරීමට ඔන්න මෙන්න තිබියදී දිලීකා ඔවුන් වෙත ආවාය.

"ඇයි පොඩි අයියෙ කලබල වෙලා වගේ..?"

එසේ අසද්දීත් දිලීකාගේ සිත වෙව්ලමින් තිබිණි. කලබල වී ඇත්තේ, ඔවුන් නොව තමා බැව් දිලීකා දැන සිටියාය. තව මොහොතකින් සියල්ලම අතේ පත්තුවනු ඇත. අවිනාශ් නිවසින් පිටව යාමටතැත් කරද්දීත්, ඔහු නවතා ගැනීම පිලිබද දිලීකා සිටියේ මහත් දොම්නසිනි.

                                       *******************************

දිලීකා විසින් කාර්යයාල කාමරයට දැමූ, අවිනාශ් සිටියේ කල්පනාවක බරවූ දෑසිනි. එළියේ කිසිදු ශබ්දයක් නැත. මෙතැන් සිට කුමක් වේදැයි සිතාගත නොහැක. තමා හසුවී ඇත්තේ කිසිසේත්ම නොපැතූ ආකාරයේ අසීරු අවස්ථාවකටය. මේ කාර්යයාල කාමරයේ සැගවීමට කියා කිසිදු විශේෂිත තැනක් නොමැති බැව් වරක්, දෙවරක් වටපිට බලද්දීම අවිනාශ්ට වැටහී ගියේය. හදිසියේවත් කවරෙකු හෝ මේ කාමරයට කඩා වැදුනහොත් තමාට යන එනමං නොමැති වන බැව් ආයේ පහදන්නට දයෙක් නැත. හැකි ඉක්මනින් මෙම කාමරයෙන් පිටවිය යුතුය. ඔහුගේ සිත පුන පුනා කියු දේ එයය.

එහෙත් ඒ සමගම තම ජංගම දුරකථනය දගලනු අවිනාශ්ට දැනුණි. මේ වේලාවේ කවරෙකු විය හැකිද..? බොහෝ වේලාවට ජෙහාන් විය හැක. එසේත් නැතිනම් දිලීකා විය යුතුය. අවිනාශ් වහාම දුරකථනය දෑතට ගත්තේය. තිරය මත සටහන් වී තිබුණේ ඩිල්ෂාන්ගේ අංකයයි.

මේ වෙලාවේ ඩිල්ෂාන් තමාව අමතන්නේ ඇයි..? ඇමතුම සක්‍රීය නොකර සිටීමටද සිතා, අවිනාශ් පසුව එම අදහස අත්හැර ගත්තේය. පිටතට ඇසෙන නෑසෙන තරමේ පහත් හඩකින් අවිනාශ්, ඩිල්ෂාන්ව ඇමතුවේය. මෙය සමහරවිට තමා වෙතට වෙස් වලාගෙන පැමිණි ආශිර්වාදයක් වීමටත් පුළුවන..

"අවිනාශ් කොහෙද ඉන්නේ..?"

ගෙදර කියා කියන්නට සිතා අවිනාශ් එම අදහස වෙනස් කරගත්තේය. ඒ වෙනස් කිරීම කොතරම් සුවදායකදැයි අවිනාශ්ට වැටහුනේ ඩිල්ෂාන්ගේ ඊලග වදනිනි.

"මම පොඩි වැඩක ඉන්නේ..?"

"ම්... එහෙනම් මේක හරියන්නෑ.."

"ඇයි ඩිල්ෂාන්... මොකක්ද ප්‍රශ්නේ..?"

"මං ඔයාව හම්බවෙන්නයි ආවේ.."

"ඩිල්ෂාන් කොහෙද ඉන්නේ..?"

"ඔයාලගෙ ගෙදර ළග.. ඒත් ඔයා ගෙදර නෑ.."

"ම්... මං කියන්නද එහෙනම්..? ඔයා ඉන්න තැනක් කියන්න.. මං එතනට එන්නම්.."

"හරි මං දැන් කෙලින්ම අපේ ගෙදර යනවා.. ඔයා එතෙන්ට එන්න.."

ඇමතුම විසන්ධි වී ගියේ අවිනාශ්ගේ ඉහලට ඇදගත් හුස්ම පොද පහතටවත් දමා ගන්නට ඉඩක් නොතබාය. එසේ නම් තමා වහාම ක්‍රියාතම්ක විය යුතුය. කොටින්ම ඩිල්ෂාන් පැමිණිමට ප්‍රථම මෙම නිවසින් පිටවිය යුතුය. නැතහොත් මේ සියලු මිතුරු සමාගම්, සදහටම අහෝසි වී යා හැක. දිලීකාගේ සොයුරන් දෙදෙනා පැමිණියේ මන්දැයි සිතන්නට ඔහු කාලයක් වැය කළේ නැත. ඉතා සීරුවෙන් දොර විවෘත කරගත් අවිනාශ් කාර්යයාල කාමරය ළග තිබූ පැසේජය ඔස්සේ කඩිනම් ගමනකට අවතීර්ණ විය. මෙහිදී තමාට හමු වුවහොත් හමුවන්නේ නිවසේ වැඩට හිදිනා අයවලුන් මිස වෙන කිසිවෙකුත් නොවන බව ඔහු දැන සිටියේය. දිලීකාගේ සොදුරු මන්දහාසය දසතින් මැවී පෙනෙද්දී. අවිනාශ්ගේ සිතට මහත් වූ දිරියක් ගලා ආවේය.

පැසේජය ඔස්සේ අවසාන භාගයට ලංවෙද්දී, දිලීකාගේ කාමරය වෙතට කලබලයෙන් මෙන් පැමිණෙන් අඩි ශබ්ද කිහිපයක් අවිනාශ්ට ඇසුණි. මේ පැමිණෙන්නේ දිලීකාගේ සොයුරන් විය යුතුය. තමා කිසිසේත්ම නොපැතූ ආකාරයට, ඔවුන් හට තමා මුහුණට මුහුණ හමුවීයැයි. හදිසියේ කඩාපාත්වූ මේ අනපේක්ෂිත ව්‍යසනය ඉදිරියේ අවිනාශ් නොසන්සුන් වන්නට විය. මෙවැන්නක් ඔහු කිසිසේත්ම බලාපොරොත්තු වූයේ නැත. තවත් සිතන්නට තරම් කාලයක් ඉතිරිවද නැත. අවිනාශ්ගේ වම් පැත්තේ තිබුනේ තවත් කාමරයකි. දොර රෙද්දකින් ආවරණය වී තිබූ එය අගුලු ලා තිබිණි. අවිනාශ් වහ වහා දොර රෙද්දටත් දොරටත් අතර සිට ගනිද්දී, දිලීකාගේ සොයුරන් දෙදෙනා ඔහු පසුකර කලබලයෙන් ඉදිරියට ගියහ. තමා බේරුණේ අනූ නවයයි දශම නවයෙනුත් එහාට ගොස් බැව් සිතට දැනෙද්දී අවිනාශ්ගේ මුවගට සිහින් සිනාවක් ගලා ආවේය.

                                         *******************************

තවත් බලා සිටීමේ කිසිදු තේරුමක් නැති වේ. මේ වනවිට ශානක හොදින්ම වටහාගෙන සිටියේය. තම සිතේ අවිනාශ්ට එරෙහිව දැවෙනා වෛරය, කෙසේ හෝ පිට කර දැමිය යුතුමය. එහෙත් මේ සියලු දෑටම ඉවසීම හොද ගුනාංගයක් වුවද, තම පියා යටතේ සිටිනා නිලධාරීන් මෙන් සියුම් මට්ටමේ ඉවසීමක් තමාට නොමැති බවද ඔහු දැන සිටියේය. අවිනාශ්ව ජීවන රංග වේදිකාවේ තරවදුටත් රදවා තැබිය යුතු නැත. මෙය වහාම නිම කර දැමිය යුතුමය. තමා මෙපමණ තරජ්නය කර තිබියදීත් තම වචනය තඹයකට නොසැලකූ මේ අහංකාර ජේත්තුකාරයාට මතක සිටින පාඩමක් ඉගැන්විය යුතුය.

කළ යුතු හොදම දෙය කුමක්දැයි ඔහු මුල සිටම, අයන්නේ සිටම සිතන්නට පටග් ගත්තේය. දැඩි වෛරයකින් සිතිවිලි පිරි තිබූ නිසාම පැය ගණනාවක් ගියද ඔහුගේ සිතට හරියන ආකාරයේ විසදුමක් ගලා ආවේ නැත. එහෙත් සිතේ කේන්තිය මදක් පසෙක තබා නිරවුල්ව සිතන්නට යාමෙන් අවසානයෙදි ඔහුට සුදුසුම දෙය හමුවිය.

අවිනාශ්ට පහර දිය යුතුය. අතක් හෝ කකුලක් අනිවා කඩා දැමිය යුතුය. එසේත් නොමැති නම් ජේත්තුකාරයාගේ හැඩකාර මුහුණ ඇස්ඩ් පුහාරයකින් විනාශ කර දැමිය යුතුය. එහෙත් මේ සියල්ලටම තමාගේ මයිලක්වත් ගෑවී තිබිය යුතු නැත. ආරක්ෂක අමාත්‍යංයයේ නිලධාරීන්ගේ මටසිලිටු උපදෙස් ගැන ද ශානක වරක් දෙවරක් සිතා බැලුවේය. එසේ නම් මේ සියලු දෑම කිරීමට තවත් බළල් අතක අවශ්‍යතාවයක් ඇත.

එසේ නම් මා කළ යුත්තේ ඒ බළල් අත සොයා ගැනීමය. ශානකගේ වාසනාවට ඒ බළල් අතේ හිමිකාරිය සැනෙකින් ඔහුට සිහිපත්විය.

රොමේෂි..? ඉතා දරුණු ගනයේ මදහසක් අලු පැහැති දෙනෙත පුරා විදිහෙද්දී, ශානකගේ මුවින් ඒ දගකාරියගේ නම කිහිප විටක්ම කියැවිණි..

                                    ********************************

ඩිල්ෂාන්ගේ කාර්යයාල කාමරයේ දොරෙහි රවුම් හැඩලය මත අත තැබූ තැන්වැනියා දොර සෙමින් විවෘත කලේය. දිලිකා ඒ දෙස බලා සිටියේ හුස්ම ගැනීම පවා අමතක කර දමමිනි. දැන් ඉතින් කළ යුතු කිසිවක් නැත. සිදුවන ඕනෑම දෙයකට මුහුණ දීමේ අපේක්ෂාවෙන් ඇය ඉදිරියට ආවාය. මේ අනපේක්ෂීත අවස්ථාවේ අවිනාහ් තනිකළ යුතු නැත. සියලුම වැරදි තමා බාර ගන්නවා ඇත. කිසිවෙකුටත්, තම සොදුරු ආදරවන්තයාට ඇගිල්ලක් දිගු කිරීමට අංශු මාත්‍රයක හෝ ඉඩක් තැබිය යුතු නැත. කාමර තුළට එඹණු තුන්වැනියාගේ මුහුණ සුදුමැලි වන හතරවැනියා අහම්බෙන් මෙන් දිටීය.

"ඇයි පොඩි අයියේ..?"

"කවුරුවත් මේක ඇතුලෙ නෑ බං.."

බලාපොරොත්තු කඩවීමේ අනපේක්ෂිත වේදනාව තුන්වැනියා ගෙන් පිටවූ ඒ වචන ටිකේ හරි අපූරුවට දලුලා තිබිණි. හතරවැනියාගේ මුහුණද හතර අතටම තලා, හතරැස් කළ පරාට රොටියක් බදුවිය.

කවුරුවත් මේක ඇතුලෙ නෑ බං.. යන්න දිලීකාට ඇසුණේ යාන්තමිනි. එය ඇයව ඉමහත් විශ්මයකට පත් කළා සේම ඉමක් කොනක් නොපෙනෙන සතුටකටද මංපෙත් විවර කර දුනි. තත්වය එසේ නම් අවිනාශ් සියල්ලන්ටම කලර්ස් පෙන්නා මෙතනින් පළා ගොස් ඇත.

"මොකද මේ කට්ටියම කාමරේ ඉස්සරහා.."

අනපේක්ෂිතව පිටුපසින් ඇසුනු කටහඩින් තිදෙනාම තිගැස්සී ගියහ. පැමිණ සිටියේ ඩිල්ෂානුත්, දෙවනි අයියාත්ය.

"නිංක ලොකු අයියේ.."

"නිකං..? නංගිත් මෙතන.."

"අයියලා දෙන්නා මෙතන මොකද කරන්නෙ කියලා බලන්න මමත් ආවා.."

ඩිල්ෂාන්, දිලීකාගේ දෙනෙතේ දෙස විනිවිද යන අයුරින් එබී බැලුවේය. ඇය වහා බිම බලා ගත්තාය.

"හරි.. ඒ කතාව පස්සට දාමු.. මං මේ කියන්න යන දේ අපි හැමෝටම වැදගත්.."

තම වැඩිමහලු සොයුරා මදක් කැළඹි ඇති බැව් සියල්ලන්ටම වඩා දිලීකාට වැටහී ගොස් තිබිණි. ඕනැ තරාතිරමක ගැටලුවක් ඉදිරියේ නොසැලී සිටින තම ලොකු අයියා මෙසේ අවුල් සගහත වී ඇත්තේ ඇයිදැයි දිලීකා සිතුවේ නොසන්සුන් වූ සිතිණි.

"මං අවිනාශ්ට එන්න කිව්වා.."

අවිනාශ්ගේ නම ඇසුණු සැනින්, තම සිරුර වෙව්ලා යනු දිලීකාට දැනුණි. එසේ නම් ඩිල්ෂාන්ගේ කැලඹිටම හේතුව අවිනාශ්ද..?

"අවිනාශ්ට..?"

"ඇයි ඒ..?"

පුංචි අයියා සහ චූටි අයියා, ලොකු අයියා වෙතින් කෙලින්ම විමසනු දිලීකා දුටුවාය. ඇයටත් අවශ්‍ය වී තිබුණේ ඒ පැණයට පිළිතුරුය. මන්ද යත්, අවිනාශ් මේ කාර්යයාල කාමරයේ නැතුවාට, ඔහු මේ නිවස තුළම කොහේ හො තැනක සිටිතැයි ඇය විශ්වාස කළ බැවිනි. ඔහු කෙසේ හෝ මෙතැනට පැමිණේන්ද..?

"හේතුව මොකක්ද කියලා මං අවිනාශ් ආපුවාම කියන්නම්.. මෙච්චර දවසකට මං නොකියපු දේකුත් තියෙනවා.. ඒකත් එතකොටම කියන්නම්.."

"ලොකු අයියා.. මොනව ගැනද මේ කියන්නේ..?"

"ඉස්සෙල්ලා අපි  හැමෝම වාඩිවෙමු.. කෝ නංගි ඔයත් එන්න.."

ඩිල්ෂාන්ගේ වදනින් දිලීකා පුදුම වූවාය. වෙනදාට ඔහු විහිලුවටවත් ඔවුන්ගේ සාකච්ඡා වලදි තමාව හවුල් කර ගන්නේ නැත. එහෙත් අද නම් එයට වඩා හාත්පසින්ම වෙනස් තත්වයක් උද්ගතවී ඇති බැව් නම් පැහැදිලිය. ඩිල්ෂාන් හැරුණු කළ අනෙක් සොයුරන්ගේ මුහුණුවල රැදි ඇති කුතුහලය ඇය දුටුවාය.

"නංගිව ඇයි ලොකු අයියා...?"

බොහෝ දෑ සිතේ සිර කර තබා ගැනීම මළ වදයක් සේ සිතා සිටිනා හතරවැනියා විමසීය. ඩිල්ෂාන්ගේ මුවෙහි පිපුනේ අපූරුම ආකාරයේ මදහසකි. එහෙත් දිලීකා නම් එය දැක්කේ ශෝකමත් ලෙසටය.

"මේකයි.. මොනවා හරි ප්‍රශ්නයක් වෙලා අපිට අනතුරක් සිද්ධ වුනොත් අඩුගානෙ නංගි හරි මේකෙ හතර කොන දැනගෙන ඉන්න ඕන. එහෙම නැති උනොත් ඒක අපේ හතුරන්ට ලොකු වාසියක් වෙනවා. තේරුණාද..?"

කිසිවෙකුත් කිසිවක් පැවසුවේ නැත. තම තමන්ගේ සිතිවිලි අතරම සිරවී ඔවුහූ අතරමංව සිටියහ. ඩිල්ෂාන් හැරුණු කළ අනෙක් සියලු දෙනාම සිතුවේ අනතුරක් අතළග බවය. බොහෝ විට ලොකු අයියා කළේ අනතුරු ඇගවීමක් විය හැකිය. එහෙත් හතරවැනියා නිහඩතාවය බින්දේ වෙනස්ම ආකාරයේ කතාබහකිනි.

"කාටවත් අපිව හොල්ලන්න බෑ ලොකු අයියා.."

"හොල්ලන්න බෑ..?"

"ඔව්.. අපේ සමගිය තියෙන කල්.."

"ඒක මං පිළිගන්නවා චූටි මල්ලි.. ඒත් සමගිය තිබ්බට, කවුරු හරි අපි හතර දෙනාවම විනාස කරලා දැම්මොත් ඒ සමගියත් එක්කම ඉවරනේ.."

"ඇයි ලොකු අයියේ, මේ නෙගටිව්ම කතා කරන්නේ..?"

"එහෙම කතා නොකර බෑ පොඩි මල්ලි.. අපි දැන්වත් අපේ තත්වෙ තේරුම් ගන්න ඕන.."

"ඒ කියන්නේ..?"

"මං හැමදේම කියන්නම්.."

"කොයි වෙලාවෙද..?"

"අවිනාශ් ආවාම.."

"අවිනාශුත් මේකට සම්බන්ධයිද..?"

"ඔව්..."

දිලිකාගේ ගත මෙන්ම සිතත් සීතල වී ගියාය. සොයුරන්ගේ ක්‍රියා කලාපය ගැන ඇය ඒ තරම් තැකීමක් නොකළද අවිනාශ් මෙයට සම්බන්ධ යැයි දැනගත් වහාම නොසන්සුන් විය. එසේම, අවශ්‍යම අවස්තාවේදී අවිනාශ්ට මේ නිවසින් පිටව යාමට උදව් කිරීමට නොහැකි වීම ගැන ඇය සිටියේ බලවත් වූ දොම්නසකිනි.

"ඩිල්ෂාන් ඔව් කීමෙන් පසුව කිසිවෙකුත් කතාවක් බහක් කළේ නැත. සියල්ලන්ටම සිතන්න බොහෝ දේ තිබිණි."

"බයික් එකක සද්දයක් නේද..?"

තුන්වැනියාගේ කටහඩින් ආලින්දයේ, නිහඩ බව බිදී ගියේය. සැවොම හිස් ඔසවා, මිදුල දෙස බැලුවේ එක වරටමය. දිලීකාගේ සිතට සිතන්නට පවා කාලයක් තිබුණේ නැත. මේ පැමිණ සිටින්නේ අවිනාශ් වන්නට නම් බැරිය. ඔහුට මේ තරම් ඉක්මනින් මෙතැනින් පිටවී, නැවතත් යතුරු පැදියද රැගෙන මේ නිවසට මෙතරම් ඉක්මනින් පැමිණිමට හැකි යැයි ඇය කිසිවිටක නොසිතුවාය.

"ඔන්න මං ආවා.."

සොයුරන් සතර දෙනාම සිටියදී දිලීකා වෙතට සුන්දර මදහසක් පුද දෙමින් අවිනාශ් කීවේය. ඒ සිනාව තමන්ට නොවන බවත්, එය තම නැගණියට බවත් සොයුරන් මනා සේ තේරුම් ගත්හ.

"ඉතිං අවිනාශ්..."

"ඔයාගෙ මැසේජ් එක හම්බවුණ ගමන්ම ආවේ...?"

නැවතත් දිලීකා දෙස හොරැහින් බලනා ගමන් අවිනාශ් කීවේය. රත් පැහැ ගැන්වුණු කොපුල තල සගවා ගැනීමට මෙන් දිලීකා බිම බලා ගත්තේය.


"මගේ වචනෙට ගරු කලාට හුගාක් ස්තුතියි..."

"ගෙදර හැමෝම එකතුවෙලා ඉන්නේ.. මොකක් හරි සුභ කටයුත්තක්ද..?"

අවිනාශ් ඇසූ දෙයට ඩිල්ෂාන් එකවරම පිළිතුරක් ලබා දුන්නෙ නැත. මෙය කෙසේ ආරම්භ කළ යුතුදැයි ඔහු මොහොතකට නිහඩවම කල්පනා කළේය. තවදුරටත් මේ සියල්ල සගවා තැබීමෙන් පලක් වන්නේ නැත. ඒ සගවා තැබීමෙන් බොහෝ දෙනෙකුට අනතුරක් සිදුවෙන්නට පුලුවන..

"සුභ කටයුත්තක් නෙමේ.. ප්‍රශ්නයක්..?"

"ප්‍රශ්නයක්..?"

"ඔව් අවිනාශ්.. මේක ටිකක් බරපතල ප්‍රශ්නයක්.."

"එහෙනම් ඉතින් අපි හැමෝම එකතුවෙලා මුහුණ දෙමු.. ඔයාලගෙ ඕනම දේකට මමත් ඔයාලා එක්ක ඉන්නවා.."

අවිනාශ් කීවේ නැවතත් දිලීකා දෙස බලමිනි. ඒ ආදරය පිරුණු දෑසේ කැල්මන් දරා ගත නොහැකිව මෙවර බිම බලාගත්තේ අවිනාශ්ය. වෙනදාට දිලීකා නොමැතිව සාකච්ඡා කරන සොයුරන් අද ඇයත් කැදවාගෙන ඇත්තේ, තමාත් ඇයත් අතර ඇති සම්බන්ධය ගැන ඉව වැටීවත්දැයි අවිනාශ් මොහොතකට සිතුවේය. දිලීකාටද සිතී තිබුණේ එයමය. තත්වය එසේ නම් මේ සොදුරු සම්බන්ධතාවයේ සත්‍යය, සොයුරන්ටද පහදා දීමට දිලීකා මෙන්ම අවිනාශුත් වෙන වෙනම සිගා ගත්හ.

"ඔයා එහෙම හිතන එක ගැන අපිට හුගක් සන්තෝසයි අවිනාශ්. දැන් මම කෙටියෙන් කතාවට බහින්නම්. ෆොක්ස් හීල් රේස් එකේදි අපි හතරදෙනාම ගාඩ් එකේ ඉදිද්දිත්, කවුරු නමුත් අවිනාශ්ට ඇටෑක් කලා. අවිනාශ් බේරුණේ අනූ නවයෙන්. ඒක ඇත්තටම පුදුම බේරීමක්. රේස් එකේ විඩියෝ එක ආයෙත් බලද්දි ඒක හොදටම පේනවා. බැහැයි, අවිනාශ් බේරුණේ සෙකන්ඩ් ප්ලේස් එක ගත්තු රොමේෂි හින්දා. ඒ කෙල්ල අවිනාශ්ට සිරාම ගාඩ් එකක් දුන්නා."

දිලීකා මදක් අන්දමන්දව ගියාය. ඇය මෙවැනි දෙයක් ගැන, මොහොතකටවත් සිතා තිබුණේ නැත. ඒ රොමේෂි සම්බන්ධවය. එහෙත් තා මුල සිටම සිතා අනෙක් දෙය ඉතා නිවැරදි බැව් ඇය දැන සිටියාය. තහ හදේ උපන් කුළුදුල් ආදරය මුළුමනින්ම දිනාගත් මේ සොදුරු ජේත්තුකාරයාට කොතැනකින් හෝ අනතුරක් එල්ල වන බැව් ඇගේ සිතට දැනුනි. සිතට දැනුණු ඉව ඔස්සේ ඇය සැක කළේ තම සොයුරන්වය.  බොහෝ වේලාවට ඒ සෑම දෙයක්ම දැන් දිග හැරෙනු ඇතැයි ඇයගේ සිත මුණු මුණු ගෑවාය.

"කොහොම වුණත්, රොමේෂි එතෙන්ට ආපු එක අහම්බයක් නෙමෙයි.. ඒත් ඒකෙන් අවිනාශ්ට ඇටෑක් කරපු එවුන්ගේ වැඩේ ගැස්සුනා කියනෙක අපි හැමෝම දන්නවා.."

"ඔය විස්තර දැනටමත් අපි දන්නවා ලොකු අයියේ..."

තුන්වැනියා මැද්දට පනිද්දී, ඩිලෂාන් ඔහු දෙස රවා බැලීය. එහෙත් කතා කළේ දෙවැනියාය.

"ඩිංගක් කට වහන් ඉදපන් පොඩි එකෝ.. කතාව තව ඉවර නෑ.. මේක අල ගිය, මුල ගිය, වැල ගිය තැන් සෑහෙන්න තියෙනවා.."

"මේ කතන්දරේ වැදගත් වෙන්නේ මං මේ කියන්න යන හේතුව හින්දා. අවිනාශ්ට ඇටෑක් කලේ ආරක්ෂක අමාත්‍යංශයේ කවුරු හරි තදයෙක්. ඒත් ඒ පුද්ගලයා කවුද කියලා හොයාගන්නබ ැරි තරමේ බැරියර් එකක් උන් දාලයි තියෙන්නේ.."

"දැන් ප්‍රශ්නෙ මොකක්ද ලොකු අයියේ...?"

"ප්‍රශ්නෙද..? ඒක ප්‍රශ්නයක් නෙමෙයි.. ප්‍රශ්න ප්‍රශ්න පත්තරයක්ම තියෙනවා."

"ඒ කිව්වේ...?"

"ඇටෑක් කරපු එකා කවුරු උනත් ඌ තාම වැඩේ අතෑරලා නෑ.."

"ඒ කියන්නේ...?"

සිත මදක් චංචල වුවද, අවිනාශ් කෙලින්ම ඩිල්ෂාන් දෙස බැලුවේය. දිලීකාට නම් මේ ඇසෙන කතා සියල්ලම හීනයක් බදු විය. මේ සෑම දෙයම තම ආදරණිය පෙම්වතාට එරෙහි වී තිබීම ඇයට අදහා ගන්නට බැරි විය.

"තව ඉස්සරහටත් ඇටෑක් එකක් අනිවා එයි..."

"ඉස්සරහට...?"

"ඔව්.. අනිත් දේ තමයි.. ඔයාට විතරක් නෙමෙයි, උං දැන් ඈටෑක් කරන්න හදන්නේ.. අපි හැමෝටමත් එක්කයි.."

ඩිල්ෂාන්ගේ කතාවෙන් පුසුව මෙතෙක් වේලා අතරින් පතර ඇසුණු මුණු මුණුවද නැසී ගියේය. දිලීකා සිටියේ කිසිවක්ම කතාබහ කිරීමට නොහැකි තත්වයේය.

"මංත්‍රීතුමා මේ ගැන දන්නැද්ද..?"

මෙතුවක් වේලා නිහඩව සිටි හතරවැනියා, තම නිහඩ බව බිදගත්තේය.

"මිනිහට මේ වෙලාවේ කරන්න පුලුවන් රෙද්දක් නෑ.. කොටින්ම ආරක්ෂක අමාත්‍යංශය ගෑවිලා තියෙන හින්දා මිනිහා ඒ පැත්ත බලාගෙන නිදාගන්නෙවත් නෑ. තේරුණාද පොඩ්ඩෝ.. මේ වැඩේ ගොඩ දාගන්න වෙලා තියෙන්නෙ අපිටමයි.."

"තත්වය හුගක් බරපතලද ලොකු අයියේ..?"

"ඔව්... නැත්නම් මං නංගිවත් අඩගහගෙන මෙතන මෙහෙම කතා කරන්නෙ නෑ"

"අපි දැන් මොකද කරන්නෙ ලොකු අයියේ..?"

"කිසිම දෙයක් කරන්න විදියක් නෑ.. අපිට වෙලා තියෙන්නෙ බලන් ඉන්න.."

"බලන් ඉන්නෙක අපිට හුරු පුරුදු නෑනේ ලොකු අයියේ.."

"කරන්න දෙයක් නෑ.."

"අපට බැරිද මේකෙ ලීඩර්ව අදුනගන්න.."

"මං කලිනුත් කිව්වෙ චූටි මල්ලි.. උං ඒ හැම හිලක්ම වහලයි තියෙන්නේ.."

"මට තියෙන ප්‍රශ්නෙ ඩිල්ෂාන්.. ඇයි ආරක්ෂක අමාත්‍යංශයට මගේ මෙඩ්ල් එක ඕන උනේ..?"

"මටත් ඒක හිතාගන්න බෑ.."

"එතකොට මට ඇටෑක් කරපු එකා.. ඌද මිනිහා..?"

"නෑ.. ඒකා අතකොලුවක් විතරයි.. මං රේසින් ලිස්ට් එකෙ රයිඩර්ස්ලගෙ නම් ටික බැලුවා.. මෑන්ගෙ අංකෙ විතරයි.. නමක් නෑ.."

"එතකොට අපිට තියෙන්නෙ අකමැත්තෙන් හරි බලාගෙන ඉන්න.."

"ඔව්.. මං ඉස්සෙල්ලත් කිව්වේ ඒකමයි.. ඒ වගේම මේ හැමදේම අතරෙ කියන්න ඕන දෙයක් තියෙනවා. මේ කතා කරපු හැම දේකටම වඩා වැදගත්.."

ඩිල්ෂාන් උගුර පෑදුවේය. අවිශාන් ඇස් උස්සා වටපිට බලද්දී සෑම කෙනෙක්ම ඩිල්ෂාන් දෙස බලා සිටිනා අයුරු දුටුවේය. එහෙත් දිලීකාගේ දෙවනි අයියා, මේ නඩයේ වඩාත්ම උපේක්ෂා සහතග පුද්ගලයා වශයෙන් තමා සැලකූ පුද්ගලයා, තමා දෙස වඩාත් විපරමින් බලා සිටින අයුරු අවිනාශ්ගේ සිතට ගෙනාවේ නොසන්සුන් හැගීමකි. 

"මේ දේ මට කිව්වෙ අවිනාශ්.. මං අද ඔයාලා හැමෝම ඉස්සරහා ඒක අවිනාශ්ගෙන් අහනවා.."

ඩිල්ෂාන් එන්නට හදන්නේ මොන සන්නියට දැයි අවිනාශ්ට සිතාගන්නට බැරිවිය. එය කුමක් වුවත්, සබවාදී දෙයක් නොවන බව නම් කතාව ඇරඹුමේදීම අවිනාශ්ට වැටහී ගියේය. දිලීකාගේ දෑසද අවිනාශ් වෙතටත් වැඩිමහලු සොයුරා දෙසටත් අනෙක් සොයුරන් දෙසටත් යොමුවිය.

"මොකක්ද ඩිල්ෂාන්...?"

"ඔයා කිව්වා.. මාවත්, දිලීකාවත් අමතක කරනවා කියලා. ඒ වගේම මගේ නංගිට කරපු උදව්වත් අමතක කරලා දානවා කිව්වා. ඒ වගේ දෙයක් උනේ නෑ වගේ.."

දැන් නම් හැරවුම් ලක්ෂය පැහැදිලිය. ඩිල්ෂාන් තුරුම්පු ආසියාම ඇද අවසානය. තමට වන්නේ කාඩ් අත බිම තබන්නටද..? එසේ නැත්නම් ආසියාට සුලු කොලයක් බිල්ලට දී ඉතිරි කොළ ටික බලා කියා ගැනීමද..? අවිනාශ් සිත ශක්තිමත් කර ගත්තේය.

"දැන් මොකක්ද ප්‍රශ්නෙ ඩිල්ෂාන්..?"

"ඔයා ඔය කිව්ව හැමදේම අඩු ලංසුවට තිබ්බෙ එකම එක දෙයක් හන්දා.. ඒ ඔයාට ඇටෑක් කරපු කාළකන්නියා එක්ක මගේ මල්ලිලා සම්බන්ධයි කියලා විශ්වාස කරපු හින්දා..";

අවිනාශුත්, ඩිල්ෂානුත් හැරුනු කල අනෙක් සියලු දෙනාගේම මුව වල් විස්මයෙන් විවර වුණි. මෙය කුමණාකාරයේ කතාවක්ද..? අවිනාශ් එසේ සිතුවේ කෙසේ..? ඩී.ජේ ගෘප් හී තුන්වැනියා සිතුවේ සංකාවෙනි..

"ඔව්... මං එහෙම හිතුවා..."

අවිනාශ් සියල්ලන්ගේම මුහුණ දෙස මාරුවෙන් මාරුවට බලමින් දැඩි විශ්වාසයකින් යුතුව කිව දැම්මේය. ඩිල්ෂාන් හා දිලීකා හැරුණු කල ඉතිරි සොයුරන් තිදෙනාම අදහාගත නොහැකි දෙයක් දුටුවා සේ ගල් වී බලා සිටියහ.

"අ... අපි ඔයාට විරුද්ධව වැඩ කරා කියලා.. ඔ.. ඔයා හිතුවා...?"

ඩී.ජේ ගෘප් හී බාලයා, ඉදිරියට විත් අවිනාශ්ගේ දෑතින් අල්ලා ගත්තේය. ඔහුගේ කටහඩ බිදී ගිය ආකාරයක් දිස්විණි.

"ලොකු අයියා කියපු දේ හරි කියලත් ඔයා කියනවා.."

තුන් වැනියාද ඉදිරියට ආවේය. මෙතනින් එහාට කුමකින් කුමක් සිදුවේද කියා සිතා ගැනීමට ඩිල්ෂාන්ට පවා හැකියාවක් තිබුනේ නැත. තම සොයුරන් සේම අවිනාශ්ද එක වචනයේ මිනිසෙකු බව, දැන් ඇස් පනාපිටම ඔප්පු වී හමාරය, අවිනාශ් කී දේ ඔහු කෙලින්ම පිළිගත්  හැටි අපූරුය. ඔහු කිසිවිටක එයින් මිදෙන්නට උත්සාහ කළේ නැත.

"අ... අපි ඔයාට විරුද්ධව මොනවද කරේ...?"

"ඇයි ඔයා අපිට එහෙම කතා කරන්නේ...?"

"අපේ නංගිව බේරගත්තු දවසෙ ඉදලා අපි  හිතුවේ, ඔයාගෙ පණත් හරි අපේ පණත් හරි කියලා.."

"එහෙම හිතපු අපි ගැන ඔයා ඔහොමද හිතන්නේ..?"

හතර අතින්ම දැවැන්ත ප්‍රශ්න ගංගාවක්, අවිනාශ් වෙතට ඇද හැලුණි. ඩී.ජේ ගෘප් හි සියල්ලෝම අවිනාශ් තමන් ගැන සිතනා සැටියෙන්, මහත්වූ කලබලයකට නොසන්සුන්කමකට පත්ව සිටියාය.

"මට එහෙම හිතන්න හේතු තිබුණා.."

"හේතු...?"

දෙවෙනියා, තුන්වැනියා හා හතරවැනියා ඇසුවේ එකම හඩිනි. අවිනාශ් මදක් නිහඩව සිටියේය..

"අපේ ලොකු අයියා දැන් ටිකකට කලින් කිව්වා, ඔයාට මතකද, ඔයාට ඇටෑක් කරපු අයගෙන්, අපිටත් ඇටෑක් එකක් තියෙනවා කියලා.. අපි කවුරු මොනවා කිව්වත්, අපේ ලොකු අයියා බොරු කියන්නෑ.. එයා තමයි අපේ තාත්තටයි, අම්මටයි දෙන්නටම ඉන්නෙ අවිනාශ්.. ඉතිං එයා එහෙම කියද්දි, ඔයා කොහොමද කියන්නෙ අපි උං එක්ක එකතුයි කියලා.. උං හදන්නෙ අපිවත් නැති කරලා දාන්න.."

"පොඩි එකෝ.. ඩිංගක් සද්දෙ වහලා ඉදපං.. එයාට කතා කරන්න දීපං. එයා කිව්වනේ හේතු තියෙනවා කියලා.. අපි දැනගන්න ඕනනේ මොනවද ඒ හේතු කියලා.."

දෙවැනියාගේ හඩින් හතරවැනියා නිශ්ශබ්ද විය. දැන් වාරය එළඹි ඇත්තේ තමාට බැව් අවිනාශ් වටහා ගත්තේය. අනං මනං නොකියා කෙළින්ම කාරණයට බැසිය යුතු යැයි අවිනාශ් සිතුවේය.

"මට ආපු තර්ජන ගැන මං ඩිල්ෂාන්ට කිව්වාම ඔයාලා හැමෝම මාව විශ්වාස කලා. ඒත් මට ට්‍රැක් එකේස් උං ඇටෑක් කරා.."

"ඒක අහම්බයක් අවිනාශ්..."

"ඔව්.. ඒත්.. උං ඒක කළේ හොදට ප්ලෑන් කරලා..."

"ඒ උනාට ඔයාට මතකද ඔයාම කිව්වා, උං ඔයාට ඇටෑක් කරන්නේ, රේස් එක ඉවර උනාම කියලා.. මොකද දිනුම පැරදුම බලලා ගේම් එක ඉවර කරයි කියලා ඔයා හිතාගෙන හිටියා.. හුගාක් වෙලාවට අපිත් හිතාගෙන හිටියෙ එහෙමයි. ඒත් උං කැත විදියට රේස් එකේදි ඔයාට ඇටෑක් කරා..."

"එතකොට ඔය හේතු විදියට ඉදිරිපත් කරන්නේ.. ඔය වෙච්ච ඇටෑක් එකට අපි සම්බන්ධයි කියලද...?"

හතරවැනියා නැවතත් මැද්දට පැන්නේය.. 

"නෑ.. එතන නෙමේ ප්‍රශ්නේ..?"

"එහෙනම්...?"

"ඔයාලා දෙන්නා හැම නිතරම මාව ෆලෝ කරපු එක.."

ඩී.ජේ ගෘප් හි තුන්වැනියා හා හතරවැනියා දෙසට ඇගිල්ල දිගු කරමින් අවිනාශ් කීවේය. ඩිල්ෂාන්ගේ මුවින් අවක්ත රාවයක් පිටවිණි. දෙවණියා තීක්ෂන බැල්මක් හෙලුවේ දිලීකා දෙසටය. ඇය වහා බිම බලා ගත්තාය. තුන්වැනියාත්, හතර වැනියාත් එකිනෙකා දෙස බලා ඉගි කරගත් අතර, එම ඉගිවල සැබෑ අර්ථය කිසිවෙකුත් දැන සිටියේ නැත.

"අපි ඔයාව ෆලෝ කරා..?"

ඩී.ජේ ගෘප් හි තුන්වැනියා ඇසුවේ කිසිදු දෙයක් නොදන්නා අයුරිනි. දිලීකා එක එල්ලයේම බලා සිටියේ ඔවුන් දෙදෙනා දෙසය.

"ඔව්.. ඔයාලා දෙන්නා ඒක පිළිගන් නැද්ද...?"

අවිනාශ් ඇසුවේ අභියෝගාත්මක හඩිනි.

"පිළිගන්න විදියක් නෑ.."

"ඇයි නැත්තේ..? මං යන යන තැන ඔයාලා මගේ පස්සෙන් ආවා. මගේ ගැන බැලුවා.. එක දවසක් මගේ ගෙදරටත් ඇවිත්.. ගෙදර ඉන්නෙ කවුද කියලත් බලන්න හැදුවා.."

එවර නම් ඩිල්ෂාන්ගේ දෑසේ මතුවූයේ තරවටු පෙනුමකි. අවිනාශ් කියන දෙය ඇත්ත නම් මේ කාණයේ තමා නොදැකි පැත්තක්ද තිබිය හැක.

"ඇත්තද චූටි මල්ලි, අවිනාශ් කියන්නේ..? මගේ කීමට පිටින් ඔයාලා දෙන්නා ඔය කියන විදියෙ දේවල් කරාද..?"

"ඔව් ලොකු අයියේ.."

තුන්වෙනියාත්, හතරවැනියාත් එකාවන්ව උත්තර දුන්හ. එවන නම් ඩිල්ෂාන්ගේ ඇහි බැමි පවා ඉහල ගියේය. ඒ තම බාලයන් උත්තර දුන් එඩිතර විලාසය අනුවය.. 

"ඇයි ඒ...?"

ඩිල්ෂාන්ගේ තියුණු කටහඩ මුලු නිවස පුරාම පැතිර ගියේය. එම හඩෙහි තිබුනේ පහසුවෙන් ඉවත දැමීමට නොහැකි තරමේ දැඩි බවකි. දිලීඛා බියපත් දෑසින් පිරිමින් පස්දෙනා දෙසම බැලුවද, කිසිවෙකුත් ඇයගේ හැගීම් හදුනා ගත්තේ නැත. අඩුම තරමේ අවිනාශ් පවා ඇය දෙස බැලුවේ නැත. ඔහු බලා සිටියේ ඩිල්ෂාන්ගේ පැනයට ඔහුගේ සොයුරන් ලබාදෙන පිළිතුරු දෙසය.

"අපි හිතුවෙ ඇත්තටම.."

"ඔව්.. මොකක්ද හිතුවේ..?"

"නංගියි, මෙයයි යාලු ඇති කියලා.."

"මොකක්...?"

"ඔව් ලොකු අයියේ.. අපි මෙයාගෙ පස්සෙන් විතරක් නෙමෙයි.. නංගිගෙ පස්සෙනුත් ෆලෝ කරා.."

"ෂිට්.. මොනවද පොඩි එකෝ උඹලා මේ කරලා තියෙන්නේ..? උඹට මගෙන් කනේ පාරක් කන්න ඕන වෙලාද..? මගේ සහෝදරකම් ඇති වෙලාද..?"

"නෑ ලොකු අයියේ.. වැරැද්දක් උනා නම් හැමෝම ඉස්සරහ අපි මෙයාගෙන් සමාව ඉල්ලන්නම්.."

ඩී.ජේ ගෘප් හි හතරවැනියා, බිදුණු හඩින් එසේ කියද්දී, අවිනාශ්ගේ සිතට මහා මොකක්දෝ විය. අරමුණ කුමක් වුවත් ඔවුන් හඹා විත් ඇත්තේ නිවැරදි දෙය පිටුපසම නොවේද..?

"සමාව ඉල්ලන එක ඩිංගක් තියලා මට කියනවද අවිනාශ්ගෙ පස්සෙන් ගිහින් මොනවද හොයාගත්තෙ කියලා.. මොනවම හරි දෙයක් හම්බවෙන්න ඇතිනේ.. මට දැනගන්න ඕන වැරදි පාරක ගිහින්, හරි උත්තරයක් හම්බවුණාද කියලා.."

ඩිල්ෂාන් එසේ කීවේ අවිනාශ් දෙසත් දිලීකා දෙසත් වරින් වරේ බලමිනි.

"නෑ ලොකු අයියේ.. එයාලා අතරෙ එහෙම දෙයක් නෑ.."

තුන්වැනියා කීවේ බලාපොරොත්තු සුන්ව බිදුනු හඩිනි. තමා කැමති දෙයක් තමා වෙතින් ඈතට යාමේ විප්‍රෙයා්ගය එහි ගැඹුරින් තැන්පත් වී තිබිණි.

"හැමදේම එච්චරද..?"

"ඔව්.. ලොකු අයියේ.. වෙන කිසිම දෙයක් නෑ.. ඔයා කියපු දේවල් අපි අකුරටම පිළිපැදලා තියෙනවා.. මෙතන අපි කරන්න ගියේ අපේ ඉවට දැනිච්ච දෙයක් ඇත්තද කියලා බලන්න උත්සාහ කරපු එක. එහෙම නැතුව, අවිනාශ්ට ඇටෑක් කරන්න තරම් පහත් දෙයක් අපි හීනෙකින්වත් හිතුවෙ නෑ. මේ මූණ දිහා බලාගෙන අපිට එහෙම කරන්නත් බෑ.."

"එහෙනම්.. හැමදේම එච්චරයි.. ඔයිට වඩා කියන්න දෙයක් අපි කාටවත්ම නෑ.. දැන් අපිට ඕන ඔයා මොනවද කියන්නෙ කියලා බලන්න.. ඔයාට ඕන නම් මේ හැමදේම පිළිගන්න පුළුවන්.. නැත්නම් එදා කිව්ව විදියටම ඒ මතයෙම ඉන්න පුළුවන්.. අපි ඔයාට ඇටෑක් කරන්න උදව් දුන්නා කියලා ඔයා හිතනව නම් ඒක ඔයාගෙ කැමැත්ත. ඔයාගෙ පිටිපස්සෙන් ඇවිත් අපි නිර්දෝෂයි කියලා, කිය කියා එන්න තරම් ඩී.ජේ ගෘප් එක බංකොලොත් වෙලා නෑ. ඔයාට වගේම අපිටත් අභිමානයක් තියෙනවා.. හැබැයි ඔය හැමදේම අතරින්, තවත් කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි අපි හැමෝම ඔයාට කැමතියි කියන දේ.."

"මටත් දෙයක් කියන්න තියෙනවා.."

අවිනාශ්ගේ කටහඩේ වූයේ නොසැලෙන සැහැල්ලු බවකි. ඩිල්ෂාන්ගේ සිතටද යම්කිසි සහනයක් දැනෙන්නට පටන්ගෙන තිබිණි. මෙය නම් කුමක් හෝ සුභ කතාවක ආරම්භයකි.

"ඒ මොකක්ද...?"

"ඔයාලා දෙන්නා..."

එසේ කියා අවිනාශ් ඩී.ජේ ගෘප්හි තුන්වැනියා සහ හතරවැනියා දෙසට ඇගිල්ල දිගු කළේය.

"මාව ෆලෝ කරලා ඉවරවෙලා අන්තිමට කියාපු දේ වැරදියි.."

"ඒ කිව්වේ...?"

එවර ප්‍රශ්නය ඇසුවේ මෙතෙක්ව නිහඩව සිටි දෙවැනියාය. ඔහුට මෙහි අගක් මුලක් පැහැදිලි වූයේ නැත. මේ කියන දේවල්ද හරස් පද ප්‍රෙහේලිකා වැනිය.

"ඒ කිව්වෙ, මං ඔයාලව සැක කරන තරමටම, ඔයාලා මගේ පස්සෙන් ඇවිල්ලත්, ඔයාලට ලැබුණු දේ ගැනයි.."

"අපිට මුකුත් ලැබුණෙ නෑ නේ.."

"ඒක හරි.. ඔයාලා හිතන විදිය.. ඔයාලට මුකුත් ලැබුණෙ නෑ කියන එක.."

"අවිනාශ් කියන දේ අපිට තේරෙන්නෑ.. එයා කියන දේ උඹටවත් තේරෙනවද ලොකු අයියේ.."

තුන්වැනියා කතාව පටන්ගත්තේ ඔලුව කසමින්ය.. 

"ඔව්.."

"මොකක්ද එයා කියන්නේ..?"

"ඊට කලින් උඹයි, පොඩි එකයි මොනවද කිව්වෙ කියලා මතකද..?"

"ඔව්... අපි කිව්වේ, නංගියි, අවිනාශුයි අතර අපි හිතපු විදියෙ දෙයක් නෑ කියලා.."

"ඒක තමයි.. උඹලා එහෙම කියද්දී, අවිනාශ් කියනව උඹල හිතන විදිය වැරදියි කියලා.."

"හප්පට සිරි.. ඒ කියන්නේ..? ඒ කියන්නේ..?"

"ඔව්.. මමයි දිලීකයි අතරෙ එෆෙයාර් එකක් තියෙනවා...."

අවිනාශ්, දිලීකා දෙසට තම දෑත දිගු කළේය. සොයුරන් සතර දෙනාම සිටියද ඇය එතැනින් නැගිට අවිනාශ් වෙතට නොපැකිලිව ආවාය. තමන්ගේ සම්බන්ධය සියල්ලන්ම ඉදිරියේ අවිනාශ් පැවසූ එඩිතර විලාසයට ඇය සිටියේ වශීකෘතවය. ඔහු කොතරම් ධෛර්ය සම්පන්නද..?

"අපි දෙන්නා හිතනවා.. ඔයාලා හතරදෙනාගේම අශිර්වාදය අපිට හම්බවෙයි කියලා.. කොහොමටත් මුල ඉදලා ඔයාලා මට කැමැත්තෙන් හිටියේ.. ඔයාලගෙ විරුද්ධත්වයක් තියෙනවා නම් ඒකත් මට කියන්න.. ඒත්.. මට මගේ වස්තුව අමතක කරන්න කියන්නෙපා..."

සොයුරන් සතර දෙනාගේම හදවත් මහත් ආනන්දජනක තත්වයට පත්ව තිබිණි. අවිනාශ්ව, වස්සිනා කර ගැනීමට තමන් සියලු දෙනාම එකාවන්ව කැමති බැව් ඔවුන්, ඔවුන් අතරම හෙලනා බැලුම් වලින් තේරුම් ගත්හ. මෙය නම් කවරාකාරයේ සංතෝසයක්ද..? අනෙක තම එකම සොයුරිය නිවැරදිම දෙය තෝරා ගන ඇති සැටි..

"අමතක කරන්න කියලා කිව්වොත්..?"

ඩිල්ෂාන්, දිලීකාත් අවිනාශුත් වෙතට එන ගමන් ඇසුවේය. ඔහුගේ මුහුණේද මද සිනාවක් ගැබ්වී තිබිණි.. 

"කිව්වොත් නේද..?"

"ඔව්.."

"අපි මෙච්චර දවසක් හම්බවුණා වගේම හොරෙන්ම හම්බවෙනවා. අපි කීයටවත් මේක නවත්තන්නෙ නෑ.."

"ඔන්න බලපං පොඩි එකෝ.. ඒ චැලේන්ජ් එක උඹට.."

"ආයෙ මොන චැලේන්ජ්ද ලොකු අයියා. මේ දෙන්නා යාලුයි කියලා, මේ කටින් කියපු එකම මැදැයි.. ඉතිං එමු.. එමු මස්සිනා.. අපි මේ සංතෝසෙ සමරන්න ඕන.."

ඩී.ජේ ගෘප් හි සොයුරන් සතර දෙනා එකවරම අවිනාශ් ඉදිරියට ආවේ ඔහුට සිතා ගැනීමටවත් සිතුවිල්ලක් ඉතිරි කර නොතබාය. අනතුරුව දිලීකාගේ කෑගැසීමද නොතකා ඔවුන් අවිනාශ්ව හිප් හිප් හුරේ කියා හතර පැත්තෙන්ම අල්ලා ඉගා වේගයෙන් උඩ දැමූහ. හිස් අහසට නිදහසේ විසිවී ගිය අවිනාශ් හතර ගාතයෙන්ම නැවතත් ඇද වැටුනේ ඩී.ජේ ගෘප් සොයුරන්ගේ දෑත් මතටය. අනතුරුව එක එකා තදින් වැළදගෙන, ඔවුන්ගේ සතුට උපරිම වශයෙන් අවිනාශ්ට දැක්වූහ.. 

"මං හිතුවා මට ඩිංගක්වත් ඉතුරු වෙන එකක් නෑ කියලා.."

සොයුරන් මදක් එහෙට මෙහෙට වෙනතුරු බලා සිටි දිලීකා අවිනාශ්ට ලංවූවාය.

"මොනවද..?"

"මොනවද තමයි.. ඔයාව..."

ඇය එය කියූ සුරතල් ආකාරයට අවිනාශ්ගේ මුවට නිතැතින්ම සිනාවක් ගලා ආවේය.

"ඔ.. ඔයා මටද හිනාවෙන්නේ..?"

"ඇයි දිලී.. අද හිනාවෙන්න හොද දවසක් නෙමෙයිද..? ඔයාගෙ අයියලා මට කැමති වෙච්ච එක කොයිතරම් දෙයක්ද..? දැන් ඔයාටයි, මටයි හැංගි හැංගි හම්බවෙන්න ඕන්නෑනේ.."

"මටත් අද හරිම සතුටුයි අවිනාශ්.. ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම පිරිමියෙකුට කියලා හදවත තුලින්ම ආදරයක් ඇති උනේ ඔයාට.. ඉතිං ඒ ආදරේ සදාකාලිකයි කියල දැනුණාම, මටත් ඒ සතුට ගැන කියන්න වචන නෑ.. ඒත් මං හිතුවෙ නෑ මේ වෙලාවෙ අයියලත් එක්ක ඔයා ඕක අහයි කියලා.."

"මේ වෙලාව තමයි දිලී හොදම වෙලාව.. ආයෙ මේ වගේ වෙලාවක් එන්නෑ.."

"මගේ අයියලා නිතරම බැලුවෙ මගේ සතුට.. අවිනාශ් අපරාදේ මං එයාලව සැක කරා.. මං හිතුවෙ එයාලා හදන්නෙ අපිට අනතුරක් කරන්න කියලා.."

"දැන් ඉතින් ඔක්කොම හරි නේද..? ඔයාටයි මටයි හැමදාම සතුටින් ඉන්න පුළුවන්නේ.. ඒත්.. ඒත්.."

"ඇයි දිලී..."

"ඔයාලා හැමෝම ඉන්නෙ ලොකු අනතුරක කියලා ලොකු අයියා කිව්වා.. මට... බ.. බයයි..."

දිලීකාගේ සිතේ සතුට කෙමෙන් කෙමෙන් වියැකෙන්නට විය. ඇය අවිනාශ්ගේ අත තද කර අල්ලා ගත්තාය. 

"බයවෙන්නෙපා දිලී ඕන අනතුරක් ආපුදෙන්.. දැන් අපි  පස්දෙනෙක්ම ඉන්නවනේ.."

ඒ වදන් වලින් නම් දිලීකාගේ සිතට යාන්තමට සැහැල්ලුවක් එක්විය. දුක්බර සිතිවිලි ඉවත දමා මේ සතුට සැමරිය හැකි මගක් අවිනාශ් මා කතාබහ කරගත යුතු යැයි ඈ අනතුරුව සිතුවාය..

                                              ***************************

"යකෝ.. ඒකත් එහෙනම් ජයසිරි මංගලම්..."

ඩිල්ෂාන්ගේ නිවස තුලදී සිදුවූ සියල්ලම අකුරක් නෑර අසා සිටි ජෙහාන් අවසානයේදි කෑගැසීය.

"ඔව්.. ජෙහාන්.. ඒක නම් මංගලම් තමා.. තව වැඩි දවසක් මං මෙහෙම ඉන්නෙ නෑ.."

අවිනාශ්ගේ මුහුණේ මතුවූයේ බැරෑරුම් සහගත පෙනුමකි. එය දුටු ජෙහාන් මදක් කැළඹුනේය..

"උඹ කියපු දේ මට තේරුණේ නෑ මචං.."

"මං කිව්වේ, වැඩි දවසක් යන්න කලින් දිලී මගේ ළගට ගන්නවා කියලා.."

"ඒක මිසක්.. මාත් බය උනා, උඹ මේ මොනවද කියන්නෙ කියලා.. මගේ සුභපැතුම් මචෝ.."

ජෙහාන් තම දයාබර මිතුරාව තදින් වැළද ගත්තේය. අවිනාශ්ට ඔහුගේ සිතැගි පරිද්දටම සොදුරු යුවතියක් යුවතියක් ලැබීම ජෙහාන්ගේ අමන්දානන්දයට හේතුවක් විය. ජෙහාන් එසේ අමන්දානන්දයට පත්වෙද්දී ඔහුටත් අවිනාශ්ටත් එහයින් ශානකගේ අලු පැහැති දෙනෙත වෛරයෙන් දැවෙමින් ඔවුන් දෙසට එල්ල වී තිබිණි. ගෙවී ගිය දින ගණන පුරා, එක තත්පරයක්වත් ශානක අපතේ හැරියේ නැත. ඔහු සිටියේ අවිනාශ් පිටුපසමය. ෆොක්ස් හීල් තරගයේදි යෝධ කුසලානය දෑතින්ම ඔසවද්දී අවිනාශ්ගේ මුවේ නැගුණු ආඩම්බර මද සිනාව, තවමත් තමාට සමච්චල් කරනවා යැයි ශානක සිතුවේ ද්වේශයෙනි.

"උඹේ ඔය හිනාව මං සදහටම නැති කරලා දාන්නම්කෝ.."

පියාගේ ඉහළ තනතුර නිසාම තමා සිතූ දෙයම කර පස්ස බලනා හිතුවක්කාර පුතුගේ ගණයට ශානක ඉතා සතුටින් ඇතුල් වී සිටියේය.

"ජෙහාන්.."

"ම්.."

"උඹ අදුනනවද මෑන්ව.."

"කවුද..?"

"කලු සන්ග්ලාස් දෙක දාලා ඉන්නේ.."

ජෙහාන් හැරී බැලුවේ සීරුවෙනි. එහෙත් ඒ වනවිටත් අවිනාශ් පෙන්වූ පුද්ගලයා එතන සිටියේ නැත.

"කෝ කවුරුත් නෑනේ.."

"ඌ තත්පරේට වාෂ්ප උනා එහෙනම්..?"

"කවුද අවිනාශ් ඒ..?"

"දැන් දවස් ගානක ඉදලා කවුරු හරි මගේ පස්සෙන් ෆලෝ කරනවා කියනෙක මට දැනිලා තිබුනා. ඔය මං පෙන්නුව මෑන් තමයි හුගක් වෙලාවට හිටියේ.."

"ෂිහ්... මට මිනිහව බලාගන්න බැරි උනානේ.."

"ඒක තමයි.. මිනිහගෙ තියෙන ටැලන්ට් එක.. මිනිහව ඩිංගක්වත් නෝට් වෙන්න ඉඩ තියන්නෙ නෑ.. අනික මිනිහව මතක තියාගන්න කියලා විශේෂ හැඩහුරුකමක් වත් නෑ.."

"කෝකටත් උඹ පරිස්සම් වෙයන්.. කියන්න බෑනේ.. මොන හෙණ ගෙඩියක් පාත් කරන්න හදනවද කියලා.."

ජෙහාන්ගේ කටහඩේ වූයේ බියමුසු හැගීමකි. එහෙත් අවිනාශ් එයට ප්‍රතිචාර දැක්වූයේ සිනහවකිනි.

"හෙණ ගෙඩිය මොකක්ද කියලා නම් මං දන්නවා.."

"මොකක්ද..?"

"ආරක්ෂක අමාත්‍යංශයෙන් ආපු එකක්.."

"න්... නෑහ්.."

එතැන් සිට අවිනාශ් දැන් උද්ගත වී ඇති වර්ථමාන තත්වය පිළිබදව ජෙහාන්ට පහදා දුන්නේය. ජෙහාන් එය අසා සිටියේ අන්දමන්දව ගිය ස්වරූපයනි.

"අවිනාශ්.."

"ම්.."

"මේක අහලා හිනාවෙන්න එපා.. උඹ ටිකක් මේ පළාත අතෑරලා ගියොත් නරකද..?"                                                                     

"අතෑරලා ගිහින්..?"

"නෑ.. මං කිව්වෙ මේ ප්‍රශ්නෙ නිමෙනකල්.."

"මේක ඉවරවෙන එකක් නෙමෙයි.. මට තර්ජනය කරපු එකා කවුරු උනත්, ඌ මේක ලේසියෙන් අතාරින එකෙක් නෙමෙයි.. අනික මට දිලීකා දාලා කොහේවත් යන්න බෑ.. මං යන්නෙත් නෑ ජෙහාන්.."

"ඒ උනාට උං මොනවා කරන්න හිතන් ඉන්නවද දන්නෙ නෑනේ.. මේක ලේසි දෙයක් නෙමෙයි කොල්ලෝ.."

"ඒක මං දන්නවා.. හැබැයි එහෙම කියලා මට කොහෙත්ම පැනලා යන්න බෑ.."

"උඹට මං කියන දේ තේරෙන්නෙ නෑ.."

"නෑ ජෙහාන් මට තේරෙනවා.. උඹ කියන්නෙ උං ෆේස් ටූ ෆේස් එන්නැති හින්දා වැඩේ භයානකයි කියලනේ..?"

"ඔව්.. උං කොයි වෙලාවෙ ඇටෑක් කරයිද කියලා කවුද දන්නේ..?"

"වෙලාව දන්නැති උනාට, උං ඇටෑක් කරයි කියන විශ්වාසෙ මට තියෙනවා.. මං කොහොමටත් ඒකට මූණ දෙන්න ඕන.."

"මට තේරෙන්නෑ මචෝ.. උඹට වගේ සිහි බුද්ධියකින් මේ ප්‍රශ්නෙ දිහා බලන්න මං දන්නෑ. ප්‍රශ්නෙ වෙන්නෙ උඹට උනත්, මමත් අවුල් වෙලයි ඉන්නේ.. ඒත් මට හිතාගන්න බැරි, ඇයි උං තාමත් උඹේ පස්සෙන් එළවන්නෙ කියලා.. රේස් එක ඉවර වෙලත් දැන් කොච්චර කල්ද..?"

"රේස් එක ඉවර උනාට හිතක පැසවන වෛරයට දින නියමයක් නෑ නේ බං.. ඒක සදාකාලිකයි.."

ජෙහාන්, අවිනාශ්ගේ අතින් අල්ලා ගත්තේය. ඔහුගේ මුහුණේ මෙතෙක් වේලා පැවති බිය පහවී යම් හැගීම්බර බවක් එක් වී තිබිණි.

"උඹ පරිස්සම් වෙනව වගේම, දිලීකවත් පරිස්සම් කරගනිං.. සමහර විට උඹට රිද්දන්න උං වෙන වෙන අතුරු මාර්ග හොයාගනියි.."

ජෙහාන් පැවසූ දේ පිළිබදව, අවිනාශ් මෙතෙක් සිතා සිටියේ නැත. ඔහු සිතුවේ තමාත්, ඩී.ජේ සොයුරන්ටත් මේ නොදන්නා සතුරා පහර දෙයි කියාය. එහෙත් එතැනින් තවත් බොහෝ දේ ඇති වග මේ නොපෙනෙන සතුරා කල්පනා කර තිබෙන්නට පුළුවන. මේ ගැන ඩිල්ෂාන් සමග කතාබහ කළ යුතු යැයි අවිනාශ් සිතා ගත්තේය. ඇයට අඹ මල් රේණුවක තරමේවත් හානියක් වීමට ඉඩ නොදිය යුතුය..



No comments:

Post a Comment