Saturday, March 17, 2012

| නෙතු හැඩුවා ඔබට හොරා | යෞවන සමින්ද්‍ර රත්නායක |






ඩී.ජේ. ගෘප් හි බාල සොහොයුරන් දෙදෙනාගේ ආගමනයෙන් පසුව, මුල්ම සිදුවීම වූයේ අවිනාශ්ගේ ජංගම දුරකථනයට ලැබුණු නන්නාදුනනා ඇමතුමය.

"චෑම්ප්..?"

"ඔව්.."

"දැන් ඔයාට නින්ද යනවා ඇති නේද..?"


"ඔය කවුද කතා කරන්නේ..?"

"මම කවුද කියනෙක තමුන්ට ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්නයක් වෙන දේවල් හුගක් ඉස්සරහට තියෙයි.."

"මං හිතන්නෑ.."

"හිතන්නැති දේවල් වෙනවා.. මොකද අපි කියපු දෙයක් මෙච්චර කාලෙකට ඇහුවෙ නැත්තෙ තමුසෙ විතරයි.. ඒකෙ රිටර්න් එක, උණු උණුවෙම හරි පිලුනු වෙලා හරි එයි.. ඒක බලාපොරොත්තුවෙන් ඉන්නවා.."

"තමුසෙලාට මොනවද ඕන..?"

"අපිට ඕන දේ ගැන අපි කිව්වනේ..? ඒත් තමුසෙ ඒක ඇහුවෙ නෑ.." 

"තමුසෙ කියන්නෙ චැම්පියන් ෂිප් එක සම්බන්ධව නම් ඒක මං කාටවත් දෙන දෙයක් නෙමෙයි.. ඒක මගේ.."

"කප් එක තමුසෙගෙ වෙන්න පුළුවන්.. ඒත් මතක තියාගන්නවා තමුසෙගෙ ජීවිතේ තියෙන්නෙ අපේ අතේ කියලා.. හහ්.. හහ්.. හා..."

මහා නරුම හිනා හඩක් දුරකථනය පුරා ගලා හැලෙමින් තිබුණි. අවිනාශ්ගේ සිත පිරී තිබුණේ කියාගත නොහැකි තරමේ නොරිස්සුමකි. ඔහු ජංගම දුරකථනය මුළුමනින්ම විසන්ධි කර නිවසින් එළියට ආවේය. මින් ඉදිරියට කුමක් ඛළ යුතුදැයි ඔහුට නිනව්වක් තිබුණේ නැත. එහෙත් දේවල් සිද්ධවී ගෙන යන ආකාරය ඔහුට කොහෙත්ම දිරෙව්වේ නැත. සියල්ලන්ටම පෙර දිලීකාව  හමුවිය යුතුය. එහෙත් එය කෙසේ කළයුතුදැයි ඔහුගේ සිතට වැටහීමක් නොවුණි. තමාගේ සෑම ක්‍රියාවක් පිළිබදවම කවරෙකු හෝ ඇස ගසා සිටිනා බව පමණක් දැනිණි. සිතට නැගී තිබූ නොරිස්සුම තවත් වැඩිවූයේ මේ නොපෙනෙනා සතුරා තවමත් තමාගේ ඇස් ඉදිරියට නොආ නිසාය.

                                                *************************

"චියර්ස්..."

ස්කොට්ලන්ඩ් ග්‍රෑන්ට්ස් වර්ගයේ විස්කි බෝතලයෙන් හලා ගත් මධුවිත ඉහළට ඔසවා ගත් සැවොම ප්‍රීතියෙන් මෙන් එකිනෙකාගේ මුහුණ දෙස බැලූහ. ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන් කීප දෙනෙකුත්, මේ කතාවේ මීට පෙර කියැවී ඇති අලු පැහැති දෙදෙනෙකුත්, ෆොක්ස්හීල් තරගාවලියෙදී තෙවැනියාවූ විශිෂ්ඨ ගනයේ ස්කයි ජම්ප් කීපයක් කර, අවිනාශ්ට කරට කර තරගයක් දුන්නා වූ යතුරු පැදිකරුත් රවුම් මේසය වටා වාඩිවී සිටියාය. එතැන සිටි බොහෝ දෙනෙකු සිනාමුසු මුහුණින් යුක්තව සිටියත්, අලුපැහැති දෙනෙත තුළ වූයේ  බලවත් නොරිස්සුමකි. ඔහු සිටියේ කෝපයෙන් දැවෙමිනි. මෙතරම් රාජ්‍ය ආරක්ෂාව තිබියදීත්, මෙතරම් පිරිස් බලය තිබියදීත්, මෙතරම් ධනයක් තිබියදීත්, තම අභමාර්ථය ඉෂ්ඨ කර ගැනීමට නොහැකි වීම ඔහු අපේක්ෂා භංගත්වයට පත්ව සිටියේය. මේ වටමේස සාකච්ඡා, දිගු දුර මෙහෙයුම් පිළිබදව ඔහු කැමැත්තක් දැක්වූයේ නැත. අලු පැහැති දෙනෙතට අවශ්‍ය වූයේ කෙලින්ම තම සතුරා වෙතට ගොස් තම ශක්තිය මුදා හැරීමටය.

එහෙත් එයට මේ වටමේසයේ වාඩිවී සිටිනා, අමන මෝඩ හැත්ත ඉඩ දෙන්නේ නැත. අඩුම තරමේ තම ආශාවන්ට සරිලන පරිදි ෆොක්ස්හීල් තරගයටවත් සහාභාගි වන්නට ඉඩ දුන්නේ නැත. එයට සහභාී කරවූයේ විශේෂ බලකායේ සිටි අති දක්ෂතම යතුරුපැදි ධාවකයාය. එහෙත් ඔහුටත්, අවිනාශ් අසලකටවත් කිට්ටු කරන්නට හැකිවූයේ නැත.

"පුතා... ඇයි අපිත් එක්ක තරහින් වගේ..?"

"තරහා යන්නැද්ද අංකල්... දැන් දවස් කීයක්ද..? ඌ කප් එක උස්සලත් ඉවරයි.. අපි මෙහේ ඌට කෝල්ස් දිදී ගෑනු පාට් ඇක්ට් කරනවා. එක්කො මට රේස් එක පදින්න දෙන්න ඕන. මේ මනුස්සයව යවන්නෙ නැතුව.."

අලු පැහැති දෙනෙතේ, සිතෙහි වූ ආවේගය පුපුරා ගියේ තුන්වැනියා වූ යතුරුපැදි ධාවකයාගේ දෙසට ඇගිල්ලක් දිගුවෙමිනි. එහෙත් තමාට එල්ල වූ චෝදනාව, බාර ගැනීමට ධාවකයා කැමැත්තක් දැක්වූයේ නැත. සියල්ලටම පෙර ඔහුගේ අභිමානය මහා ඉහළින් නැගී සිටියේය.

"ඒ කතාව වැරදියි සර්... අන්තිම තත්පරේ වෙච්ච දේ හන්දයි මිනිහා බේරුණේ.. නැත්නම් කප් එක මගේ අතේ.."

"මොනවා උනත් මිනිහා දිනුවනේ හලෝ.. ඌ අපි හැමෝටම ලස්සනට කොකා පේන්නුවා.. එච්චරයි..."

අලු පැහැති දෙනෙත කතා කළේ අසීමාන්තික වූ කෝපයකිනි. සිත වෙව්ලවා දැමූ මේ කෝපය, ඔහුට පාලනය කර ගැනීට අසීරු සිමාවෙන් ඔබ්බට ගොස් තිබිණි.

"මේ වගේ දේවල් වලට කලබල වෙලා බෑ ශානක පුතා.. ඔයා ඒ දේ තේරුම් ගන්න බලන්න.."

"මොන තේරුම් මගුලක්ද අංකල්.. මොනවද මේ ගැනූ කරනවා වගේ ඇඹරි ඇඹරි දගලන්නේ.. ඌ අපේ කතාවට සෙට් උනේ නැත්නම්, ඌව ඉවරය්  කරලා දැම්මා නම් ඉවරනේ.. තව අත ගගා ඉන්නේ.."

"ශානක පුතා... ඔයාට තව ඉගෙන ගන්න හුගාක් දේ තියෙනවා.. කිසිම දෙයක් කලබල වෙලා හිතේ ආවේගයට කරන්න හොද නෑ.. එතකොට හැමදේම වරදිනවා.."

"මට ඔය වැදි බණ ඕන්නෑ අංකල්.. මට ඕන වැඩ විතරයි.. ෂිහ්.. අපරාදේ මං මේ හැමදේම ඔයාලට කිව්වෙ.. මං තනියෙම කරා නම් ඔක්කොම ගොඩ දාගන්න තිබුණා.."

ශානකගේ දැඩි කතාබහෙන් පසුව, පරිසරය පුරා පැතිර ගියේ ඉතා අදුරු නිහැඩියාවකි. ඒ නිහැඩියාව බිදී ගියේ වීදුරු වලට විස්කි වත් කරන  හඩත්, හිස් වීදුරුව නැවතත් රවුම් මේසය මත තබන හඩිනුත්ය. කෙසේ වුවත් ශානකගේ පාලනයක් නොමැති කතාවට එහි හුන් බොහෝ දෙනෙකු තම අප්‍රසාදය ප්‍රසිද්ධියේම පල කළහ.

"ශානක පුතා.. ඔයා මගේ බොස්ගෙ පුතා හින්දා මං ඔයාගෙ හිත රිදෙන්න දෙයක් කියන්නෙ නෑ.. ඒත් අපිට ඔහොම කතා කරන්න එපා.. මොකද අපෙත් හිත් රිදෙනවා.. ඒක කාටවත්ම හොද නෑ.. ඔයා හොදට මතක තියාගන්න.. ඔයා කරන වැඩ වලින් පටි ගැලවෙන්නෙ ඔයාගෙ තාත්තගෙ.. එයා කොයි තරම් ඉහල පුටුවකද ඉන්නෙ කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. අපි උනත් මේ තරම් ප්‍රවේසමෙන් ඔයාට උදව් කරන්නෙ ඒ හන්දා.. මොකද...?"

"මට ඕවා වැ......"

"ටිකක් ඉන්න පුතා... මමයි දැන් කතා කරන්නේ.."

ඉතා දැඩි හඩක්, ඉහළ නිලධාරියාගෙන් පිටවූ අතර, අලු පැහැති දෙනෙත විනාඩි කිහිපයකට නිහඩ කරන්නට ඒ හඩ සමත් විය.

"අවිනාශ්.. අපේ යෝජනාවට කැමති වූණේ නැති එක ඇත්ත.. ඒත් එහෙම කියලා අපිට එයාව මරලා දාන්න බෑ.. එයා ජනප්‍රිය චරිතයක්.. හැමෝම ඒ ගැන හොයන්න ගන්නවා.. අනික රේස් එකේ ලාස්ට් රවුන්ඩ් එකේ වීඩියෝ එක ඉතා හොදින් බැලුවොත්, මගේ රයිඩර් කරන්න හදපු දේ අහුවෙනවා.. එතකොට.. මොකද වෙන්නේ... ඔය  හැමදේම පුංචි කොනක් හරි අපේ මිනිස්ට්‍රි එක පැත්තට ගෑවුණොත්, කොහෙන් නතර වෙයිද කියලා කාටවත් කියන්න බෑ.. ඒක හින්දා කරන කියන හැමදේම ප්‍රවේසමෙන් කරන්න ඕන.. ඔයා මේකට සම්බන්ධයි කියලා ජර්නර්ලිස්ට්ල දැනගත්තු ගමන් ඇගිල්ල දික් වෙන්නෙ ඔයාගෙ තාත්තා දිහාවට.. ඔයා කැමති උනත් අපි ඒ දේට නම් කොහෙත්ම කැමති නෑ.. අනික, ඔයා කිව්වා වගේ අපිට නොකියා  හිටිය නම් හොදයි කියලා.. අපිටත් දැන් දැන් හිතෙනවා ඔයාට උදව් කරන්න නොගිහින් හිටියා නම් හොදයි කියලා.. මොකද ඔයා ඔය කරන කියන දේවල් වලින් අපේ හිත් හුගාක් රිදෙනවා..."

ඉතා ගාම්භිරව, බර හඩකින් ගලා ගිය එම කතාවෙන්, ශානකගෙ මුළු ආත්මයම දමනය කරන්නට හැකිවිය. තරුණයාගේ එඩිය හා ඔද තෙද මුලුමනි්නම බිදී ගිය සෙයක් දිස්විණි. නිකරුනේ කට මැත දොඩා මෙවැනි විශිෂ්ඨ ගනයේ නිර්භීත නිලධාරියෙකු අමනාප කර ගැනීමට ඔහු ඉක්මන් වූයේ නැත.  

"අංකල්.. කියන්නේ මට තවත් වෙලා බලන් ඉන්න කියලද..?"

ඉහල නිලධාරියාගේ මුවෙහි ඉතා තෘප්තිමත් මදහසක් ඇදී සැනෙකින් මැකී ගියේය. යකඩය දැන් තමාට අවශ්‍ය ප්‍රමාණයට රත්වී ඇති බැව් විශ්වාසය.

"ඔව්... ඔයාට තියෙන්නෙ කලබල නොකර බලන් ඉන්න.."

"එතකොට චෑම්ප්ට මොකද වෙන්නේ..? අපි ඌව අයින් කරන්නෙ නැද්ද..?"

"අයින් කරනවා කියන්නේ, මරනවා කියන එක නම් ඔයා හුගාක් පොට වරද්දගෙන පුතා.. මිනිහෙක් මරනවට වඩා වැඩිය, ඒ මිනිහට රිද්දන ක්‍රම මේ ලෝකෙ අනන්තවත් තියෙනවා.. හිතේ කේන්තියට ඌට දස වද දීලා මැරුවහම උගේ විදවීම එතනින් ඉවරයි.. පසුතැවීම තියෙන්නෙ අපිට.. ඒත් කොහොමද ඒ මිනිහා අවුරුදු ගානක් විදව විදවා ජීවිතේ අපෙන් ඉල්ලනවා නම්...? ඒ.. ඒ දේ බලන් ඉන්නකොට, ඔයාට වගේම අපිටත් ගල ගලා එන සන්තෝසෙ කොයි තරම්ද..?"

ශානක එයට වචනයකින් හෝ සම්මාදන් වූයේ නැත. ඔහුට අවශ්‍ය වූයේත් එයමය. ෆොක්ස් හීල් තරගයෙන් අවිනාශ් ඉවර කර නිතරගයෙන් ජයක් ලැබීමට පුල පුලා බලා සිටියේය.. අවිනාශ් සහභාගී වුවහොත් තමාට අයත් වන්නේ අන්ත පරාජයක් බැව් ශානක හොදින්ම දැන සිටියේය. කෙසේ වුවත් අවිනාශ්ට තර්ජනය කළ පසු, ඔහු තරගයට සහභාගී නොවි සිටිතැයි ශානක සිතා සිටියේය. ඒ ජෙරම් හා අවිනාශ් එකම මට්ටමට දමා සිතන්නට යාමේ වරදිනි. එහෙත් අවිනාශ් යනු, ජෙරම් වැනි බියගුල්ලෙකු නොවන බැව් ඔහු වටහා ගනිද්දී, වතරු මට්ටම නහයට ආසන්න තත්වයටම පැමිණ තිබිණි. කල යුතු වූ කිසිවක් තිබුණේද නැත.. සහභාගී වුවහොත් සිදුවන්නේ ඉතා ඉහළින්ම පරාජය වැළද ගැනීමටය. ආරක්ෂක බලකායේ විශිෂ්ඨ දක්ෂතා පෙන්වා ඇයි යතුරුපැදිකරු, විවෘත අංශයේ තරගයට යොමු කරන්නට සිදුවූයේ එබැවිණි. තමා ඉදිරියේ සිටිනා එම යතුරුපැදිකරු අවිනාශ් හා කරට කර සටනක් දෙමින් පෙන්වූ දක්ෂතා වලින් සියයට ගණනක්වත් පෙන්වීමට තමාට හැකියාවක් නොමැති බැව් අකමැත්තෙන් වුවද ඔහු පිළිගත්තේය.

කෙසේ නමුත් අවසානයෙදී ශානක තම සිතට දිව්රුම් දී ගත්තේ තම වටා සිටිනා ඉතා ඉහල ගනයේ හැකියාවන් ඇති පුද්ගලයින්ට තවත් අවස්ථාවක් දී බලන්නටය. ඉන් පසුවත් තමා සෑහීමකට පත්වන ආකාරයේ දෙයක් සිදු නොවන්නේ නම් තමාම මේ අනතුරුදායක ක්‍රිඩාවට නැඹුරු වන්නටය.

                                             ****************************

දිලීකා හමුවීමට නම්, කවරෙකුගේ හෝ සහායක් අවැසි බැව් දින දෙක තුනක් යද්දීම අවිනාශ්ට වැටහිණි. ඔහුගේ සිතට මුලින්ම ආවේ ජෙහාන්ය. එහෙත් ජෙහාන් වැනි කෙනෙකු කොතරම් විශ්වාසවන්ත වුවත්, කාර්යක්ෂමතාව අතින් ඒ තරම් ඉදිරියෙන් සිටියේ නැත. ඒ නිසාම වෙනත් විකල්පයක් ගැන සිතීමට ඔහුට සිදුවිය. අනෙක් කරුණ නම් ඩී.ජේ ගෘප්හි බාල සොයුරන් දෙදෙනා තම වටා එලන්නට තැන් කරනා දැලෙන්ද හීන් සීරුවේ ගැලවීමට අවශ්‍යව තිබූ නිසාය. ඒ දැලට හසුවී, ඩිල්ෂාන්ගේ ප්‍රියමනාප මුහුණ අදුරු කිරීමට අවිනාශ් තුල කිසිදු කැමැත්තක් තිබුණේ නැත. දිලීකාගේ පැත්තෙන් තමාට සහායක් හෝ යම් පමණක විශ්වාසයක් තැබිය හැක්කේ ඩිල්ෂාන් ගැන පමණක් ද බවද අවිනාශ් දැන සිටියේය. එහෙත් එහිදි කල් ඉකුත්වීමේ දිනය ගැන අවිනාශ්ට විශ්වාසයක් තිබුණේ නැත.

හතර අතටම කල්පනා කර අවිනාශ් නිවසින් පිටවූයේ සිත එක අරමුණකවත් තබාගෙන නොවේ..

"අ..වි..නාශ්.."

ළමා ක්‍රීඩා පිටිය පසු කරන්නට වූයේ නැත. ළගින්ම ඇසුණු කටහඩින් ඔහු තිගැස්සී ගියේය. මේ වේලාවේ සිත කිසිසේත්ම බලාපොරොත්තු නොවූ රුවක් ඔහු අසල විය.

"රොමේෂි.."

ඇයගේ මුහුණ සතුටින් බැබලෙමින් තිබිණි. අනපේක්ෂිත මේ හමුවීමෙන් ඇය වඩාත් සතුටට පත් වී සිටිනවා වැනිය.

"මං හිත හිතාමයි හිටියෙ අද කොහොම හරි ඔයාව දකින්න ලැබෙයි කියලා.. ඒක හරියටම හරි ගියා.. ඇත්තටම හරිම පුදුමයි.."

"මට නම් පුදුමයක් නැහැ..."

"ඇයි ඒ...?"

"ඔයා සමහරවිට වෙනද වගේම මාව ෆලෝ කරන්න ඇති.."

රොමේෂිගේ රූමත් මුහුණ මදක් ඇකිලී යනු අවිනාශ් දුටුවේය. තමා එල්ලකළ සියුම් පහර කම්මුල් පහරක් පරිද්දට ඇය බාරගත්තා වැනිය.

"ඔයා එහෙමද හිතන්නෙ අවිනාශ්...?"

"ඔයා කලින් දවසෙ කියපු දේවල් එක්ක එහෙමනේ හිතන්න වෙන්නේ"

"එහෙනම් ඔයාට හුගාක් වැරදිලා අවිනාශ්.. ඔයාගේ අකමැත්තෙන්, බලෙන් මට කීයටවත් ඔයාව ලංකර ගන්න උවමනාවක් නෑ. ඔයාගෙ කැමැත්තෙන්ම, ඔයා මට ලංවෙනවා නම් තමයි ලස්සන.. මං ඒ දවස උදාවෙනකල් ආසාවෙන් බලන් ඉන්නවා.."

"ඒ දවස කවදාවත් උදාවෙන්නෑ ෂිරෝමි.. මං ඔයාට එදත් කිව්වනේ, මට ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා.."

රොමේෂිගේ මුහුණේ ඇදී ගියේ බරපතල ආකාරයේ පෙනුමකි. එහෙත් ඇය එය වහා සගවා ගත්තාය. තම සිතැගි, අවැසි වේලාවට එළිදක්වන්නටත්, නොඑසේ නම් සගවා ගන්නටත්, උපරිම දක්ෂතාවයක් මේ කොලු භාගයේ කෙල්ල තුළ පැවතුණි. එහෙත් අවිනාශ් නම් එහි කිසිදු විශේෂත්වයක් දුටුවේ නැත. අවිනාශ් තුළ වූ එකම දුර්වලතාවය එයම විය. එනම් තමාට අවශ්‍ය පුද්ගලයන් ගැන අවධානය යොමු කිරීමත් අනෙක් පුද්ගලයන් ගැන නොතකා හැරීමත්ය. එසේ වූ විට, අනවශ්‍ය පුද්ගලයින් ගෙන් වන හානිය නොසිතන මොහොතක සිදුවීමට විශාල ඉඩකඩක් ඇති බැව් ඔහු පිළිගත්තේ නැත. අනෙක් දෙය නම් රොමේෂිගේ රූමත්කම නොසලකා හැරීමයි..

"හිත රිදෙන කතා අපි නවත්තමු අවිනාශ්...?"

"හිත රිදෙන කතා ඔයානේ පටන් ගත්තේ..?"

"හරි.. හරි.. සමාවෙන්න.. සමාවෙන්න.. ඉතිං කොහෙද මේ හදිසියේම දුවන්නේ..?"

"මං යාලුවෙක් හම්බවෙන්න යන ගමන්.."

"ගෑනු යාළුවෙක් නෙමේනේ.."

කට කොනට නගා ගත් අමුතුම ආකාරයේ සිනාවක් සමග ෂිරෝමි, අවිනාශ්ගේ මුහුණ මැදට එබුණාය. ඒ දෑසේ වූ සොදුරු බැල්මෙන් හා ඇයගේ සිරුරේ වූ සිත් බදනා ඉරියව්වෙන්, අවිනාශ් මොහොතකට කැළඹීමට පත්විය.

"රොමේෂි..? කොහෙද යන්නේ..?"

ඇය යන තැන තමාට වැදගත් නොවුවත්, ඇයගේ ප්‍රශ්නය මග හැරීමට අවිනාශ් සමත් වූවාය.

"යන්නෙ.. ඔයාව හම්බවෙන්න..."

"මාව...?"

"ඔව්.. ඔයාගෙ ගෙදරට.."

ඔයාට පිස්සුද හලෝ මෙලෝ සිහියක් නැතුව මගේ ගෙදර එන්න.. යැයි කීමට දිව අගට ආවත්, අවිනාශ් බලවත් ආයාසයකින් එම වචන පේලිය නවතා ගත්තේය. නොරිස්සුම් සහගත හැගීමක් සිත උණුසුම් කරමින් ගලාගෙන ගියද ඔහුට කළ හැකි කිසිවක් තිබුණේ නැත. රොම්ෂිගෙන් ලද උපකාරය, ඔහුගේ මුවට ඉබී යතුරුලා තිබිණි. අනෙක ඇය තමාට කළේද එසේ මෙසේ උපකාරයක් නොවන බැව් අවිනාශ් සක්සුදක් සේ දැන සිටියේය. බොහෝ විට ඇයට, තරගයේ පළවැනියා වන්නටද අවස්ථාවක් තිබූ බැව්, දිගින් දිගටම කල්පනා කරද්දී අවිනාශ්ට ප්‍රථම වතාවට සිතුණි, රතු පැහැති යතුරු පැදිකරුත් එකට ගැටුණා නම්, එසේ ගැටෙන්නට ඉඩදී ඇය ඇයගේ ගමන ගියා නම් රොමේෂි බොහෝ විට පළමු ස්ථානයේ වැජඹෙන්නට තිබිනි. එහෙත් ඇය, ඇයගේ ජයග්‍රහණයට වඩා සිතුවේ තමාගේ ජීවිතය ගැනය. තමාගේ ජහග්‍රහණය ගැනය. එනිසාම තමාට දුර දිග බලා කතා බහ කරන්නට සිදුවන බැව් අවිනාශ් දැන සිටියේය. නැතිනම් එය මහා ගුණමකුකමක් වනු නිසැකය.

"ගෙදර යන්න ඕනෙ නෑ නේ ෂිරෝමි.. මම මෙතන ඉන්නවනේ..."

තෙතමනයක් නොමැතිව නැගෙන්නට ගිය කටහඩ ඔහු ආයාසයෙන් පාලනය කරගත්තේය. රොමේෂි හිස ඔසවා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.

"එහෙනම් ඔයා මගෙත්එක්ක ලන්ච් එකක් ගන්න එනවද..?"

"කොහේටද..?"

"අපි කොහේ හරි නිදහස් තැනකට යමු.."

ඇය කීවේ බොහෝ සැහැල්ලුවෙනි. එහෙත් ඇය කියනා ආකාරයේ නිදහසක් අවිනාශ්ගේ සිතේ තිබුණේ නැත. දිලීකාගේ සුරතල් මුහුණ ඔහුට හතර අතින්ම මැවී පෙනෙන්නට විය.

"අද බෑ රොමේෂි.. මං මේ හදිසි ගමනක් යන ගමන්.."

"අද බැරි නම් කවදද..?"

"වෙන දවසක.."

අවිනාශ් කීවේ බලාපොරොත්තුවක් ඇතිව නොවේ. එහෙත් ඒ වෙනි දවස ඔහුගේ ජීවිතය මුළුමනින්ම කණපිට හරවන්නට උදාවන දවසක් බව මේ ජේත්තුකාරයා දැන සිටියේ නැත. ඇත්තෙන්ම දෛවය යනු පුදුමාකාර දෙයකි. දෙයක් සිදුවන්නට තිබේ නම්, එය කුමනාකාරයකින් හෝ සිදුවෙයි. සිදුවන දෙය හොදද නරකද කියා තීරණය කරන්නට හැකිවන්නේ එය සිදුවී අවසාන වූවාටත් පසුවය. එහෙත් එයටද සීමාවන් පවතින්නේ අප ඒ අවස්ථාවේ සිතින් කඩාගෙන වැටෙනා තත්වය අනුවය.

"වෙන දවසක කිව්වේ..?"

"වෙන දවසක කිව්වෙ වෙන දවසක.."

"ම්.. එහෙනම් ඒ දවසෙදි අපි අපේ ගෙදරදි ලන්ච් එක ගනිමු.. හොදේ.."

"බලමු..."

රොමේෂිගෙන් ගැලවීමක් නොමැති තැන අවිනාශ් කීවාය. එහෙත් ඒ පිළීතුරින් ඇය සෑහීමකට පත් වූයේ නැත. ඇය අවිනාශ්ගේ අතින් අල්ලාගෙන නැවතත් කතාව පටන් ගැන්මට උත්සාහ කළාය. අවිනාශ්ට ඒ වනවිට අවශ්‍යව තිබුණේ එතැනින් මග හැර යාමටය..

"බලමුකො කියලා බෑ.. ඔයා ෆික්ස් කරන්න ඕන.."

තුන්සිත පුරාම දිලීකා රගදෙද්දී තවත් යුවතියකට සිත යොමන්නේ කෙසේදැයි අවිනාශ් දැන සිටියේ නැත. ඔහු එම කලාව යාන්තමින් හෝ ප්‍රගුණ කර තිබුණා නම් මේ කතාව මෙයට වඩා අපූරු කතාන්දරයක් වීමට ඉඩ තිබිණි. එහෙත් සියල්ල වෙනස් වූයේ, අනාගතය තුළදී කාලකණ්ණිකමට ඉතිරිව තිබූ විනාඩි කිහිපයකිනි.

"ඔයා ඔය කියන දවසට මට වෙන වැඩක් තිබුණොත් එන්න වෙන්නෙ නෑ ෂිරෝමි.. ඒක  හින්දා ඔය පිස්සු වැඩේ අතාරින්න.."

"මොනවා.. මේක පිස්සු වැඩක්..? ඔයත්තෙක්කල න්ච් එකක් ගන්නෙක පිස්සු වැඩක්.. ඔයා එහෙමද හිතන්නෙ අවිනාශ්.."

ඇයගේ සිත බලවත් සේ පෑරි ගිය බැව් අවිනාශ් දුටුවේය. ඔහුගේ සිතට සියුම් අනුකම්පාවක් ගලා ආවේ ඔහුටත් හොර රහසේය. ඇය කෙලෙසක හැසිරුණත්, ඇය තමාට කළ ලෙංගතු උපකාරය අනුව, අඩුම ගණනේ ඇයගේ සිත නොරිදෙන ලෙසටවත් හැසිරිය යුතුය. ඇය හිතනා ආකාරයේ ආදරයක් තමාගේ සිතේ නොමැති බැව් සැබෑය. එහෙත් සෑම පිරිමියෙකුගේම සිතක් මෙන්ම අවිනාශ්ගේ සිතද ඇය කෙරෙහි යම් ලෙංකගුකමකින් යුක්ත වී යැයි පැවසීම බොරුවක් නොවේ.

"හරි.. ඔයා කැමති දවසක් කියන්න.. මං එන්නම්.."

අවිනාශ් තම ජීවිතයේ අතිශය වේදනාත්මක දිනය සදහා දෙවරක් නොසිතාම මංපෙත් විවර කළේයත රොමේෂීගේ දෙනෙත, කියාගත නොහැකි පැහැබර සතුටකින් පිරී තිබිණි. එහෙත් ඒ සතුට මතින්, තමා ජීවිතයටත් වැඩියෙන් ආදරය කළ ජේත්තුකාරයාගේ ඉරණම තීන්දු වෙන බවක් රොමේෂි කිසිසේත්ම දැන සිටියේ නැත. එසේ දැන සිටියා නම් ඇය මේ හමුවීම ගැන ලබන ආත්මයේවත් සිතන්නේ නැත. මන්ද යත් මේ සොදුරු හමුවීමෙන් රොමේෂී නම් වූ රුවැත්තියද මේ ආත්මයේ නම් ලැබූ දෙයක් නොමැති නිසාය.

                                                  **************************

රොමේෂිත්, අවිනාශුත්අතිශය තීරණාත්මක දිනයකට විවරනය ලබා ගනිද්දී, ළමා ක්‍රිඩාංගනයට මෙපිටින් ඔවුන් දෙස ද්වේෂයෙන් බලා සිටින අලු පැහැති දෙනෙතක්ද මේ නාටකයේ සිටියේය. ඒ ශානකය. ඔහු බලා සිටියේ අවස්ථාවක් උදාවනතුරුය. තම පියාගේ පහල නිලධාරින් කීවා සේ දෙයක් එක්වරම කර රිද්දනවාට වඩා සෙමින් සෙමින් රිද්දවීම වඩා ප්‍රතිඵල ගෙන දෙන්නක් බැව් ඔහු මේ වනවිට හොදින් දැනගෙන සිටියේය. එහෙත් ඔහුට කළ නොහැකි දෙය වූයේ අවිනාශ්ගේ මුහුණ දෙස මේ ලෙස බලා හිදීමෙන් සියල්ල ඉවසා දාරා සිටීමය.

මේ සියල්ලමට මුල ෆොක්ස් හීල් තරගාවලියය. එය නොපවැත්වූයේ නම් මේ කිසිදු අවුලක් වන්නේ නැත. විවෘත අංශයේ තරගය, තමා ජයගන්නා බවට, තම සොදුරු පෙම්වතිය ඉදිරියේ පාරම් බෑ ශානකට, එම තරගාවලියට සහභාගී විමටවත් ඉඩක් නොලැබිණි. ඒ අවිනාශ්ගේ ඉදිරිපත් වීම නිසාය. එසේම ආරක්ෂක අමාත්‍යංශයේ යතුරුපැදිකරු ඉදිරිපත් කරන්නට සිදුවූයේ අවිනාශ් සමග සටනට ප්‍රහාරාත්මක තරගකරුවෙකු අවැසි නිසාමය. බොහෝවිට තමා ඒ තරගයට සහභාගි වූයේ නම් තමාට අත්වන ස්ථානය පිළිබදව බොහෝ පසුතැවීලිවීමට තමාට සිදුවනු ඇත. අවිනාශ් පළමු වටයේදීම තමා පසුකර යනු ඇත. ඒ ගැන දිගින් දිගටම සිහිපත්වෙත්ම ශානකගේ අලු පැහැති දෙනෙත පිරී ගියේ අවිනාශ් කෙරෙහි වූ මහත් වෛරයකිනි.

ඒ සමගම තම ඇස් මායිමෙන් ඉවතට ඇදී යන අවිනාශ් ඔහු දුටුවේ අහම්බයෙනි. ඒ තරමට ඔහුගේ කල්පනාව දැඩි වී තිබිණි. කෙසේ වුවත් තමා අවිනාශ් පසුපස හඹා යා යුතුය. ඒ මොහොතේම රොමේෂි ඔහු සිටි දෙසට හැරුණාය. තමාගේ ඇස් මායිමේ සිටින සුරූපිණිය දුටු ශානක මදක් තිගැස්සුනි. තමා ඉදිරිපිට මේ ලබාදී ඇත්තේ ඉතා අනගි අවස්ථාවකි. අවිනාශ් සම්බන්ධයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇයව ඉත්තෙකු සේ යොදා ගැනීමට තමාට හැකිවනු ඇත. එම සිතුවිල්ල පවා ඔහුගේ සිතට එක් කළේ සුනම්‍ය වූ ප්‍රිතියකි. අත පුරා මුදල් මිටියක් දුන් පසු වෙනස් නොවන්නේ කවුද..? රත්තරං ආභරණ තුන හතරක් දුන් පසු වෙනස් නොවන්නේ මොන ගැහැණියද..? ගැහැණු සම්බන්ධයෙන් ඔහුගේ සිතේ වූයේ අඩුම අඩු ලංසුවකි. ඔහු සිතා සිටියේ ගැහැණුන් හැරෙන හැරෙන පැත්තට කතා කරන, කඩවසම් පුද්ගලයෙකුට ඕනෑ වෙලාවක නම්මාගත හැකි සත්ව කොට්ඨාසයක් බවය. එහෙත් එසේ සිතනා මෝඩයින්ගේ වටිනාකම, අර ලංසුවටත් වඩා පහල යන බැව් ශානක දැන සිටියේ නැත. ශානක සිතා සිටිනා ආකාරයේ නොවනා ගැහැනුන්ද බහුතරයක් සිටිනා බැව් ඔහු ඇදහූයේ නැත. දිලීකා මෙන්ම රොමේෂිත්, ඒ අතින් ඉතා ඉහල තත්වයක සිටියහ. ශානකට වැරදී තිබුණේ එතැනය. ඔහු සියලු ගැහැණුන් දමා තිබුනේ එකම ස්ථානයකටය.

                                                **************************

"වැඩේ හරි.. හතරදෙනාම එළියට ගියා..."

මෙතුවක් වේලා බලාපොරොත්තුවෙන් සිටි දුරකථන ඇමතුම අවිනාශ් වෙතට ලැබිණි.

"ජෙහාන්.. උඹට ෂුවර්ද..?"

"මොකක්ද..?"

"එයාලා ගියේ ළගට නෙමෙයි කියලා.."

"නෑ.. කොහේ හරි ටිකක් දුර ගමනක් වගෙයි දැක්කේ.. කරන දෙයක් ඉක්මනට.."

දින කිහිපයක සිටම, දිලීකාගේ නිවස පේන මානයේ ඇති නිවසක නතරව සිටි ජෙහාන්, අවිනාශ්ට ඔත්තු සැපයීම සිදු කළේය. ඒ අතුරු අන්තරාවක් නොමති නම් දිලීකා හමුවීමේ අරමුණ ඇතිවය. එහෙත් ගතවූ දින කිහිපයේම ඩී.ජේ. සොයුරන් සියලු දෙනාම නිවසින් පිටව ගිය අවස්ථාවක් උදාවූයේ නැත. ඒ නිසාම දිලීකාට නිවසින් එළියට ඒමටවත් අවිනාශ්ට ඇයව හමුවීමටවත් අවස්ථාවක් උදාවූයේ නැත.

"හරි.. තව ඩිංගකින් මං ඔතන.. ජෙහාන් උඹ දිගටම එලට් ඇලර්ට් එකේ ඉදපං.."

"පරිස්සමින් අවිනාශ්.. දිලීකාගේ අයියලා ලෝක අංඩපාලයෝ.. උං ළගකදි ඉදන් කෙල්ලව සෑහෙන්න සැක කරනවා.."

අවිනාශ් තවදුරටත් කතාව සදහා කාලය මිඩංගු කලේ නැත. ඔහු වහාම ක්‍රියාත්මක විය. මෙය ලෙහෙසියෙන් පහසුවෙන් ඉවත දැමිය හැකි අවස්ථාවක් නොවේ. දිලීකාගේ නිවසේ ප්‍රධාන ගේට්ටුවට සෑහේන තරමේ දුරකින්, අතුරු ගේට්ටුවක් ඇති බැව් කලින් පැමිණි එකම එක වතාවේදි අවිනාශ් දැක තිබිණි. නමුත් ඉදිරිපස ගේට්ටුව වසා ඇති ආකාරයට එයද වසා තිබිණි නම් යම් කිසි ගැටලුකාරී තත්වයක් ඇතිවනු නිසැකය.

එහෙත් වාසනාව අවිනාශ්ගේ පැත්තේ විය. සොයිබය දමා තිබුණද එය කුමන හේතුවකට හෝ එහි ඉබි යතුරු ලා තිබුණේ නැත. අවිනාශ් තවදුරටත් බලා සිටියේද නැත. අලංකාරය උද්‍යානයක සිරිගත් වත්ත මැදින් ඔහු වහ වහා නිවස වෙතට ලංවිණි. අවිනාශ්ගේ ඉලක්කය වූයේ දිලීකාගේ නිවස ආසන්නයේම තිබූ අදුරු පටු කොරිඩෝවය. සියලු දෙයම කළ යුත්තේ සීරුවට බැව් අවිනාශ් දැන සිටියේය. සුළු අත්වැරදීමකින්, නැවත කිසිම දෙයක් මුලින් තිබූ ආකාරයට ගැනීමට නොහැකි වනු ඇත. සෑම දෙයක්ම විනාශවී යාමට එකම එක තත්පරයක් හොදටම ප්‍රමාණවත්ය.

අදුරු කොරිඩෝව තුලදී අවිනාශ් නිරත්තරව පිටුපසට පමණක් අවධානය යොමු කළේ යම් කිසිවෙකු තමාගෙ පිටුපසින් පැමිණෙන බැව්, ඔහුගේ සිතට අනතුරු අගවා තිබීම නිසාය. කොරිඩෝවේ මැද හරිය වඩාත් අදුරු පැහැගෙන තිබිණි. අවිනාශ් පිටුපස බලා නැවතත් ඉදිරිය බලද්දි යම් කිසිවෙකු තදින්ම අවිනාශ්ගේ ඇගේ හැපී බිම ඇද වැටිණි. පෙනුමේ හැටියට වැටුනු පුද්ගලයා දිලීකාගේ යොහොයුරෙකු විය යුතුය. එහෙත් තමාට ජෙහාන් දැනුම් දුන්නේ ඔවුන් හතරදෙනාම නිවසින් පිටව ගිය බවය.

අවිනාශ් මොහොතකට තිගැස්සී බලා සිටියේය. මෙය නම් කිසිසේත්ම බලාපොරොත්තු වූ ආකාරයේ සිදුවීමක් නොවේ. දිලීකාට තමා නොදන්නා තවත් සොහොයුරෙකු සිටීද..? එහෙත්, අවිනාශ්ගේ සිතුවිලි සියල්ල උඩු යටිකුරු වී ගියේ බිම ඇද වැටුණු පුද්ගලයාගේ කතාබහත් සමගය..

"ලොකු අයියේ..."

අවිනාශ්ගේ සිතට දැනුණේ අදහාගත නොහැකි ආකාරයේ සතුටකි. තමා අසළ මේ බිම වැටී සිටින්නේ දිලීකා නොවේද..? කෙසේ වුවත් ඇය සිතන්නේ තමා ඩිල්ෂාන් බවය. එහෙත් තමා හැදිනගත් විට ඇයගේ සිතේ පැන නගින සතුට, තමාගේ සතුටද ඉක්මවා යන බැව් අවිනාශ් දැන සිටියේය. ඔහු කටහඩ මදක් ගොරොසුකර කතාව පටන් ගත්තේය.

"කොහෙද මේ යන්නේ..? හිතුවෙ නෑ නේද මට අහුවෙයි කියලා.. අර බයික්කාරයා හම්බවෙන්න නේද යන්නේ..?"

කටහඩ ගැඹුරු කළද, කතාවේ අවසාන භාගයෙදී අවිනාශ්ට සිනහ යන්නට ආවේය. දිලීකාද ක්ෂණයකින් නැගී සිටියාය. තමා ඇයව බය ගන්වන්නට සිතුවා මදිය.

"දෙ...දෙයියනේ... අවිනාශ්... මේ ඔයාද...?"

තම සුසුම් හඩ පවා හදුනන ඇයට, කටහඩ වෙනස්කර කතා කිරීමෙන් පලක් නොවන බැව්, ඔහු මුලින්ම දැන සිටියේය. එහෙත් උත්සාහ කිරීමම වැදගත්ය. එය වතුරේ යාම වෙනමම දෙයක්ය.

"කොහෙද රත්තරන් මේ හැංගි හැංගි දුවන්නේ..? ඔයා මාවත් හොදටම බය කෙරුවා.."

"මට නම් අදහන්නත් බෑ.. ඔයානේ පැටියො මාව බයකලේ.. මං මේ ඔයාව හම්බවෙන්න යන ගමන්.. අයියලා කවුරුත් ගෙදර නෑ.."

"ඒක දන්න හින්දා තමයි මං ආවෙ දිලී.."

"අනේ.. ඔයා ආපු එක කොයි තරම් හොදද..? එන්න.. පහුගිය දවස් ටිකේ මං පිස්සුවෙන් වගේ හිටියේ.. ඇත්තමයි මං හීනෙකින්වත් හිතුවෙ නෑ ඔයා මෙහෙම එයි කියලා.."

"කොහොම හරි මං ආවනේ දිලී..."

"එ...න්....න...."

සිහින් ස්වරයෙන් දිලීකා නැවතත් අවිනාශ්ට අඩ ගැසුවාය. තවත් ඉතිං සිත සිතා හිදින්නේ කුමකටද..? අතිශය සොදුරු වූ හැගීම් දස දහස් ගණනක් පිස පුරා රජයද්දී අවිනාශ් ඇය පසුපසින් පියමැන්නේය.

"ඔයා කොහොමද රත්තරනේ ආවේ..? කවුරුවත් ඔයාව දැක්කෙ නෑ නේද..?"

අවිනාශ්ගේ දෙකම්මුල් තම සුසිනිදු දෑතින් සිරකරගන්නා ගමන් දිලීකා ඇසුවාය.

"ඒ කියන්නෙ ගෙදර සර්වන්ට්ල ඉන්නවද..?"

"ඔව්.. හරිම පුදුමයි කවුරුවත් ඔයාව නොදැක්ක එක. මොකද අර ටැමිල් සර්වන්ට් නිතරම ඉන්නෙ වත්තේ.. ඒක නමේ ඔයා කොහොමද ආවේ...?"

"පල්ලෙහා තිබ්බ පුංචි ගේට්ටුවෙන්.."

"ආ...නේ..."

"ඇයි දිලී...?"

"අයියලා යනවා කියලා දැනගත්තාම, මමයි ඒක ගිහින් ඇරලා දාලා ආවේ.. මොකද එයාලා ගියාට පස්සෙ එතනින් පාරට පැනගන්න පුළුවන්නේ ඔයාව බලන්න එන්න.."

සාමාන්‍ය ජීවිතයේ තමාට වඩා ඇය කොතරම් ඉදිරියෙන් සිටින්නේද යන්න අවිනාශ්ට තවත් වතාවක් පසක් විය.

"අද නම් මම ඔයාට වැඩිය ඉස්සර උනා.."

අවිනාශ් කීවේ ඉතා සෙමෙන් වුවද යාන්තමට සිනාසෙමිනි. දිලීකාගේ වතෙහිද පැහැදිලි මදහසක් ඇතිවී නැතිවී ගියාය.

"එන්න.. අපිට අද ඕනවටත් වැඩිය වෙලාව තියෙනවා.."

අවිනාශ්ගේ අතකින් ඇදගෙන දිලීකා ඇයගේ කාමරයට ඇතුලු වූවාය. ඉතා පිළිවෙලකට සෑම දෙයක්ම තිබූ දිලීකාගේ කාමරය, දුටු මතින්ම අවිනාශ්ගේ සිත පැහැර ගත්තේය.

"ඉතිං කියන්නකෝ..."

"මට ඔයා නොදැක ඉන්න බෑ දිලී.."

අවිනාශ්ගේ කටහඩ මදක් වෙව්ලා ගියේය. සියලු දෑම සිතේ සිරකර තමා ගන්නවාට වඩා ඇය ඉදිරියේ නිදහස් කර හැරීම වඩා හොද බැව් ඔහු තේරුම් ගෙන තිබිණි. එක එල්ලයේම අවිනාශ් දෙස බලා සිටි දිලීකාගේ සොදුරු දෑසේ පිරීතිබුණේ ආදරයත්, අනුරාගයත්, හදිසියේ උදාවූ මේ අනග අවස්ථාව, උපරිම සතුටකින් ගතකිරීමේ අභිලාෂයත්ය.

"මටත් එහෙමයි.."

 දිලීකා කීවේ රහසින් කොදුරන්නාක් මෙනි..

"අපි දෙන්නා මේ ආදරේ ලගදි කොයි තරම් අසරණයිද දිලී.. බලන්න අපිට හම්බවෙන්න වෙලා තියෙන හැටි. ඒකටත් දවස් කීයක් බලන් ඉන්න ඕනෙද..? මගේ හිතට කිසිම නිදහසක් නෑ කෙල්ලෙ... "

"හිරකාරියක් වගේ ගෙවන මේ ජීවිතේ මට දැන් එපාම වෙලා අවිනාශ්.. ඉස්සර නම් මට මේ කිසි දෙයක් දැනුණේ නෑ. මේ ගෙදර ඇතුළට වෙලා මං හිටියෙ හුගාක් සන්තෝසෙන්.. ඒත් ඔයාව හම්බ උනාට පස්සේ, මේ ලෝකෙ කොයි තරම් ලස්සනද කියලා දැනගත්තට පස්සෙ, මට මගේ හැගීම් හංගන්න බෑ.. තවත් මෙහෙම හිටියොත් මට පිස්සු හැදෙයි.."

"අපි මේකට ඉක්මනට මොනවා හරි කරමු දිලී.."

"ඒ කිව්වේ...?"

"ඒක මං ඩිංගකින් කියන්නම්.. එන්නකො මගේ ළගට..."

"ඇයි...?"

දිලීකා ඇසුවේ අතිශය දගකාර හඩකිනි. මේ ගෙවී යන එක තත්පරයක්වත් අපතේ හැරීමට ඇති මහා ලෝබකමකින් ඇයගේ සිත වෙලා ගත්තේය.  

"ඇයි අහන්නේ.. ළගට එන්න කිව්වෙ ආදරේ කරන්න නේ..."

"අපි ඈතින් ඉදගෙන ආදරේ කරමු...?"

"ඈතින් ඉදගෙන..?"

"ඔව්.. මෙච්චර දවසක් කරා වගේ.."

"ම්.. එහෙනම් මම ගිහිල්ලා එන්නම්..."

"අ.. අනේ ඇයි ඒ...?"

"මං අපේ ගෙදර ගිහින් ඔයාට ආදරේ කරන්නම්.. ඔයා මෙහේ ඉදන් මට ආදරේ කරන්න.."

අවිනාශ් කාමරයේ දොර කරා ඉක්මන් ගමනින් ආවේ. ඇය කුමක් කියන්දේදැයි බලමිනි. දිලීකාගේ දෑස පිරී තිබුණේ සොදුරු දගකාරකමකිනි.

"හරිම හොරෙක් තමා.. ඔය ඉතිං යන්නද හදන්නේ..?"

"ඔව්.. ඈත ඉදන් ආදරේ කරන්න එපායෑ.."

"මෙච්චර ළගට ඇවිල්ලා...?"

"මොනව කරන්නද.. ළගටවත් එන්න දෙන්නැති කෙල්ලෙක් එක්ක ඉතිං ආදරේ කරන්න වෙන්නෙ එහෙමනේ.."

"දෙයියනේ.. මං එහෙම දෙයක් කිව්වද..?"

"නැත්තං..."

"අනේ... මං මොනවද කිව්වේ...?"

"කටේ දිවේ ගෑවෙන්නැතිව කිව්වේ ඈත ඉදන් ආදරේ කරමු කියලා.."

"දෙයියනේ.. විහිලුවක්වත් තේරෙන්නෙ නැද්ද..?"

"දෙයියොන්ට විහිලු තේරෙන්නෙ නෑ නේ.."

"අනේ ඔහොම බුම්මගෙන ඉන්න එපා.."

"පස්මහ බැලුම් බලල බලලා අමාරුවෙන් ආවමහ, ඒ ඇවිත එය වගේ දෙයක් කිව්වහම හිතට හරිම සනීපයි.. මං යනවා දිලී..."

අවිනාශ් කාමරයෙන් එළියට යන්න සැරසුණේය.. සිටි තැනින් වහා මෑත්වී දිලීකා, අවිනාශ් ළගට ආවාය. රූමත් මුහුණ මැදින් පායා තිබුණේ සාමාන්‍ය ප්‍රමාණයේ තරවටුවකි.

"කොහේ යන්නද හදන්නේ...?"

"කොහේ හරි දුර ඈතකට.."

"දුර ඈතකට..."

"ඔව්.. දුර ඈතකට.."

"ඇයි අවිනාශ්...?"

"ඈත ඉදන් ආදරේ කරන්න.."

පිපිරෙන්නට ආ සිනාව මැඩගත් දිලීකා තම දෑත අවිනාශ්ගේ ශරීරය වටා යවමින් ඔහුට තුරුලු වූවාය. මේ සොදුරු උනුසුම විද ගැනීමට, මේ තුන් සිතම නලවන මිහිර විදගැනීමට, දින කීයක් නම් බලා සිටියාද..? කී දාහක් නම් සැලසුම් පිළියෙල කලේද..? ඒ සියල්ලේම අග්‍ර ඵලයක් නොසිතූ මොහොත තමගේ දෝතට පැමිණ තිබේ.. දිලීකා සිතුවේ අපමණ සතුටකිනි..

"අපිට හැමදාම මෙහෙම හම්බවෙන්න තියෙනවා නම්..?"

"මටත් හැම වෙලාවෙම එහෙම හිතෙනවා දිලී.. සමහරවිට.."

"ඔව්.."

"ඉස්සරහට මීට වඩා හොද කාලයක් අපිට එයි.."

"මාත් එහෙම හිතනවා.. ඒත් ඒ හොද කාලෙ අද හෙටම එනවා නම් හොදයි නේද..? මට නම් දැන් මේක ඇතුලෙ හිරවෙලා ඉදලම එපා වෙලා. මොන දේ තිබ්බත් වැඩක් නෑනේ හිතේ සංතෝසෙ තිබබෙ නැත්තම්.."

"හිතේ සංතෝසෙ තියෙන්න ඕන තමයි.. ඒත් මං කැමතියි ඔයා මෙහෙම ඉන්නවට.."

"අ... අනේ.. ඇයි.. ඒ...?"

දිලීකාගේ වතෙහි අදුරු මදහසක් පාවී ගියාය. අවිනාශ් නොදැක ගෙවන මෙම ජීවිතය තමා කොතරම් අප්‍රිය කරනවා දැයි දැන සිටියේ ඇයම පමණි.

"එතකොට වෙන කොල්ලොන්ට ඔයාව පේන්නේ නෑ.. මගේ මැණික මට විතරයිනෙ පේන්නේ.."

"හරිම නරකයෙක් තමා..."

"ඒක නම් ඇත්තම තමයි.."

"මොකක්ද..?"

"හොදට ඉන්න කොල්ලෙක් උනත්, ඔයා ඉස්සරහා නරකයෙක් වෙනවා.."

"ආ.. ඒ කොහොමද..?"

"මෙන්න මෙහෙම..."

අවිනාශ් ඇයව කිටි කිටියේ වැළදගෙන සිප ගත්තේය. සැබවින්ම එය උණුසුම් මතකයට මංපෙත් විවර කරලූ අනුරාගී විනාඩි ගණනාවක් විය. කාලය එතනින් වහ වහා පලා ගියේ විදුලි දුම්රියක්ප රිද්දටය..

"ඉ..ති..න්..?"

විනාඩි ගනනක් සේ ගෙවී ගිය පැයකට ආසන්න කාලයකින් පසුව, අවිනාශ් කටහඩ අවදි කළේය. එසේ අවදි කරන්නටද ඔහු ඇයගෙන් දෙතොල් මුදාගත්තේ මහත් ලෝබකමකිනි..

"තව ටිකකින් අපිට ඈත්වෙලා යන්න සිද්ධවෙනවා කියලා දැනෙනකොට පපුවත්තෙක්ක රිදෙනවා.."

"කෝ බලන්න.."

අවිනාශ්, දිලීකාගේ උස් ළය මඩල වෙත තම දෑත දිගු කළේය..

"නරකයා.."

ඇය එසේ කියුවද අවිනාශ්ගේ දෑතගෙන තම පපුවට සිරකර ගත්තාය.

"අයියල කොහෙද ගියේ දිලී.."

"බිස්නස් වැඩ වගේකට කියලයි ගියේ..."

"ඔයාට ෂුවර්ද..?"

"එයාලා මට නම් කිව්වෙ නෑ.. වැඩකරන ගෑනු කෙනාට කියනවා මං අහගෙන.."

"ඒක නෙමේ දිලී.."

අවිනාශ්ගේ කටහඩේ බර ගතියක් විය. ඔහු ඔහු සැරසෙන්නේ වැදගත් යමක් කීමට බව දිලීකාට ඒ හොහොතේ වැටහී ගොස් තිබිණි.

"මං ඇවිත් ඩිල්ෂාන්ගෙන් අහන්නද...?"

"මොනවද..?"

"මට ඔයාව දෙනවද කියලා...?"

දිලීකාගේ සිතේ උතුරා ගිය සතුට ගැන කීමට ඇයට වචන තිබුණේ නැත. අවිනාශ් ගෙන් ඇය බලාපොරොත්තු වූ දේත් එයමය. ඔහු කෙතරම් ආරරණිය ලෙස තම සිතුවිලි හදුනාගෙන ඇතිදැයි ඇය සිතුවේ උණුසුම් වූ සිතුවිලි ගංගාවක් මැදිනි. සිතේ වූ සතුට පිට කර ගැනීමට මෙන් ඇය අවිනාශ්ගේ දෝතට පැන, ඔහුගේ මුහුණ ඉඹගෙන ඉඹගෙන ගියාය. අවිනාශ්ගේ සිතේ වූයේ මේ රුවැත්තිය හැකි තරම් ඉක්මනින් තමන්ගේ කර ගැනීමටය. එවිට රහසිගතව විදිනා මේ සොදුරු මිහිරියාව හිතේ හැටියට පූර්ණ වූ නිදහසකින් භුක්ති විදීමට හැකිවනු ඇත.

"ඔ.. ඔය ඇත්තමද අවිනාශ්..?"

"මං ඔයාට කවදාවත් බොරුවක් කියන්නෑ දිලී..."

"අනේ ඔයා කොයි තරම් හොද කෙනෙක්ද අවිනාශ්.. ඔයාව මගේ ළගින්  හැමදාම තියාගන්න පුලුවන් කියලා හිතෙනකොට.. මගේ හිතට දැනෙන සතුට ගැන කියන්න වචන නෑ.. මා..මාව මේ තරම් සතුටින් තියනවට ඔයාට ගොඩක් පින් අවිනාශ්.."

දිපීනා පැවසුවේ හද පත්ලෙන්මය. එහෙත් හද පත්ලෙන් කියූ, පැතූ සතුටටත් පිනටත් වැඩි ආයුෂ තිබුණේ නැත. වයිබ්‍රේට් පහසුකම සලසා තිබූ ජංගම දුරකථනය සිහින් හඩින් දගලනු අවිනාශ්ට ඇනුණි. සිහින් තැති ගැන්මකින් සිත සලිත වූවාද අවිනාශ් දුරකථනය දෙස බැලුවේය. තිරය මත තිබුනේ ජෙහාන්ගේ අංකයයි..

"කවුද අවිනාශ්..."

දිලීකාගේ දෑසේ බියමුසු හැගීමක් ඇදී යනු අවිනාශ්ට පෙනිණි.

"ජෙහාන්.."

"කරදරයක්ද..?"

"වෙන්න ඕන.. මං මිනිහව මග තියලයි ආවේ.."

අවිනාශ් ජංගම දුරකථනය සක්‍රීය කලේය..

"අවිනාශ්...?"

"ඔව්.. අවුලක්ද..?"

"පුළුවන් තරම් ඉක්මනට මාරු වෙයන්.. බාල එවුන් දෙන්නා අපිටට ආවා.."

ඒ සමගම අධික වාහනයක් වේගයකින් නිවස දෙසට එන  හඩ අවිනාශ්ට ඇසුනි..

"දෙ.. දෙයියනේ... ක.. කවුරුහරි ආවා නේද..?"

"ඔව්.. ජෙහාන් කිව්ව විදියට ඔයාලගෙ බාලම අයියලා දෙන්නා.."

"අනේ.. අපි දැන් මොකද කරන්නේ..?"

"ඔයා බය වෙන්න එපා දිලී.. හැමදේම මං බලාගන්නම්.."

දිලීකාගේ බිය නැති කිරීමට අවිනාශ් කීවද ඔහුගේ සිතේ වූයේද සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි චකිතයකි. එහෙත් සියල්ලටම පෙර දිලීකා සන්සුන් කළ යුතුය.

"ඒ... ඒ... උනාට.."

"ඇයි දිලී...?"

"මොකක් හරි සැකයක් නැත්නම් ඔයාලා ඔහොම එන්නෑ..."

"ඒ කිව්වේ..?"

"ප්‍රශ්නයක් නම් ලොකු අයියත් එන්න ඕන.. එයාව මග ඇරලා මේ දෙන්නා ඇවිත් තියෙනවා කියන්නෙ මොකක් හරි හොරයක් මෙතන තියෙනවා.."

"අපි බලමුකෝ දිලී.. මට මෙතනින් එළියට යන්න තැනක් කියන්න.. මං මේ වෙලාවේ ගෙදර ඇතුලෙ ඉන්න හොද නෑ.."

අවිනාශ් ඇයගේ මුහුණ දෙස බැලුවේය. එහෙත් දිලීකා සිටියේ කල්පනාවෙන් බර වූ දෑසකිනි. එහි ශංකාකූල බවක්ද යම් තරමකට විය.

"යන්න එපා..."

"ඒ කියන්නේ...?"

ඇයගෙන් පිටවූ වචන වලින් අවිනාශ් පුදුමයට පත්විය..

"මේ වෙලාවෙ යන්න එපා.. මං ඔයාව ඇතුලෙ කාමරේට දාන්නම්.. අයියලා මොනවද කියන්නෙ කියලා බලලා ඔයා එතනින් පිටවෙන්න... එයාලා මොනවට ආවද දන්නෙ නෑනේ.."

කළ යුතු වූ හොදම දෙය එය නොවුණත්, මේ වෙලාවේ වෙන කරන්නට දෙයක් අවිනාශ්ට නොවීය. දිලීකාද තව දුරටත් බියපත්වී බලා සිටියේ නැත. ඇය අවිනාශ්ව අතින් ඇදගෙන ගොස් කාර්යාල කාමරය තුළට දමා දොර වසා දැමුවේය. එසේ දමන්නට ප්‍රථම අවිනාශගේ නලල ඉඹ ඔහුගෙන් සමුගන්නට ඇය අමතක කළේද නැත..






                                     

1 comment: