Saturday, March 31, 2012

| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි |






කාලෙකට පස්සෙ අපි දහදෙනාම සෙන්ට්‍රල් භූමියට සම්ප්‍රාප්ත උනා. ප්‍රින්සිපල් පණිවිඩ දෙක තුනක්ම එවලා තිබුණා කලා උළෙල මේ සතියෙ නිසා. කලා උළෙලට දවස් ගානක් ඉතරුවෙලා තියෙද්දිත් මේ දොලහ වසරෙ අපතයො ටික බුක්මාක් විකුණලා ඉවර කරලා නෑ. ප්‍රෙස් එකට ගිහින් ඒ වැඩ සේරම කරලා මුන්ගෙ අතටම බුක් මාක් ටික දීලත් දැන් මාසෙකට වැඩියි.


"මොකක්ද බං මේකෙ තේරුම..? අපි නැතුව මුන්ට මුකුත් කරගන්න බෑනේ.."

ඔෆිස් එකේ තිබුණ බුක් මාක් ටික දැකලා සාරංග කෑගැහුවා.

"ගනිං බං ඔය ටික. අද හොදන් හරි නරකින් හරි මේක විකුණමු."

මං සාරංගලා විහගලා එක්ක ඒ ටික අරන් ඔෆිස් එකෙන් එළියට ආවා.

"මචං උඹ එක්ස්පීරියන්ස් පොරනේ. තෙල බෙදන වැඩේ උඹ බාරගනින්. අපි ෆුල් සප් එක දෙන්නම්.."

අද තෙල නම් රත් කරලා හරි බෙදන්න ඕන. නැතුව මේකෙන් බාගයක්වත් විකුණගන්න බැරි වෙනවා. අපි මුලින්ම ගියේ දොළහ කොමර්ස් ක්ලාස් වලට. පන්තියෙ හැමෝටම බලෙන්  හරි එක ගානෙ විකුණලා අපි පරණ උන්ට ටික ටික දුන්නා විකුණලා ගේන්න කියලා. උන් වැඩි අවුලක් නැතුව වැඩේ බාරගත්තා.

ආර්ට් ක්ලාස් පැත්තෙ යන්න නම් කට්ටිය එක පයින් කැමති. අපි අන්තිමට ගියේ නෙත්මිලගෙ පංතියට. ඒ යද්දි ෂෝටගෙ නංගියි, දුෂානි හෙවත් බැරල් භාගෙයි අපේ රාණියි බර ටෝකක්.

"සෙන්ට්‍රල් භූමියේ මහා කාලා මංගල්‍ය වෙනුවෙන් අපි මේ සුකුමාල ලද බොළද රුවැත්තියන්ගෙන් නොමසුරු පරිත්‍යාගය බලාපොරොත්තු වෙන්නෙමු." 

කෙල්ලො තුන්දෙනා ඉස්සරහ තිබුණ පුටුවකුත් ඇදලා ඉදගන්න ගමන් මං කිව්වා.

"අපි බුක් මාක්ස් ගත්තනේ අයියේ.."

ඒක කිව්වෙ ෂෝටගෙ ගම්මිරිස් ඇටේ පවිත්‍රා. නෙත්මි කතා පෙට්ටිය වහගෙන  මගේ දිහා බලන් ඉන්නවා. ඒකි මං දිහා බලාගෙන පිළිකුල් භාවනාව කරනවද දන්නෑ.

"හේෂාන් අයියෙ මට ටිකක් දෙන්න. මං විකුණලා දෙන්නම්.."

දුෂානි මගෙන් බුක්මාක් පනහක් ඉල්ලගත්තා. මේ ඉටිරූපෙ වගේ ඉන්න නැහැදිච්ච කෙල්ල මාව තුට්ටුවකට මායිම් කලේ නෑ. මං ඒකිගෙ ඉස්සරහට සීයෙ බණ්ඩලයක් දාලා කතා නොකරම හැරිලා ආවා.

"උඹ ඕක බලෙන් දුන්නට කෙල්ල විකුණන්නෙ නෑ බං.."

විහක කින්ඩි හිනාවක් දාලා කියන්න මටත් හිතුනා ඒක එහෙම වෙයිද දන්නෑ කියලා. මං ගැන නෙමේ ඉස්කෝලෙ ගැන ආදරයක් තියෙනවා නම් කෙල්ල දහයක්වත් විකුණයි.

"බලපංකො හෙට වෙන දේ. ඕකි අර බස් වල බෙදන බෝධි පූජා පොත් වගේ හෙට උදේට ඔය මිටියම රිටන් කරයි."

"රයිට..! එහෙම වෙන්නෑ.. මොනවද ඔට්ටු..?"

"කෙල්ල ඕක විකුණුවොත් මං උන්ගෙ පන්තිය මැද්දෙ කවියක් කියනවා.."

මායි විහගයි බුක් මාක් විකුණන එක නතර කලේ චැලේන්ජ් එකකුත් දාලා.

මේ ටිකේ කලා උළෙල නිසා ඉස්කෝලෙ  හරියට වැඩක් කළෙත් නෑ. සමහර නටනවා, සිංදු කියනවා, සරසනවා, ඇදුම් ලෑස්ති කරනවා. වැඩ කෝටියයි. අපිත් විභාගෙ ටිකකට අමතක කරලා අපේ අන්තිම කලා උළෙල වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කලා.

හවස ගෙදර ගිහිල්ලත් මං කල්පනා කලේ විහග කිව්වා වගේ නෙත්මි බුක්මාක් ටික රිටන් කරයිද කියලා. එහෙම උනොත් චාටර් ගෝනියයි. මං නිකමට වගේ ෂෝටට කෝල් කලා නංගිගෙන් විස්තරයක් දැන ගන්න පුළුවන්ද බලන්න..

"උඹ බයවෙන්නෙපා බං. උඹ කියන්නත් කලින්ම මං නංගිගෙන් ඕක ගැන ඇහුවා.."

"ඉතිං නෙත්මි මොනවද කියලා තියෙන්නේ..?"

"ඒකි රත්නපුරේ මැණික් කාරයෙක්ගෙ දුවෙක් බං. කෙල්ල කිව්වලු ඕක විකුණගන්න පුළුවන් උනත්  නැතත් හෙට උඹට සල්ලි දෙනවා කියලා."

ඌ කියපු අන්තිම වචන ටික මගේ කණට මී පැණි වත්කලා වගේ. ඒ කියන්නෙ හෙට විහගට කවියක් කියන්නම වෙනවා. එළකිරි..! 

                                          ******************************

පහුවෙනිදා උදේ මං ඉස්කෝලෙ යද්දි අපේ පන්තියෙ කෙල්ලො ඔටෝ ග්‍රාෆ් දෙක තුනක් මාරු කර කර බලනවා. සචී එයාගෙ ඔටෝ එක මට දුන්නා යාළුවන්ට කියලා ලියලා දෙන්න කියලා. එක වසරෙ ඉදලා දහතුන වසර වෙනකල් එකට හිටපු අපි සෙට් එක මතක් වෙන්න ඔය පොත්වල කුරුටු ගාන්නම ඕනයැ. මේ කෙල්ලන්ට මොලේ අමාරුව.

"දැන් ඕක දුන්නෙ අපිට ලියන්න කියලනේ.. මෙන්න මෙහෙදියන් මං ලියාගන්නම්.."

විහගයා මටත් කලින්ම ඒක උදුරලා ගත්තා. ඌ පෑන අරන් ඒකෙ මොනවද ලියලා මගේ අතට දුන්නම මං මුළු පංතියටම ඇහෙන්න ඒක හයියෙන් කියෙව්වා.

"කවියක් කියන්නම් සචිනියො මරේ       මරු
කලිසං කාරයෝ ඔක්කොම ලෝක      හොරූ
නැෂනල් කාරයෝ සේරම පොතේ          ගුරූ
විහග වගේ හැන්ඩි බුවෙක් උඹට             මරු" 

මං ඒක කියවලා ඉවරවෙද්දි කොල්ලො ටික විහගට හූ කියලා කෑගැහුවා.

"අඩෝ උඹ කලිසං නැතුව අමුඩෙද අදින්නේ..?"           

"මේ විහග උඹට මේ කවියෙන් ෂේප් වෙන්න බෑ. අද උඹට තව කවියක් කියන්න වෙනවා.. යමං.."

මං ඌව ඇදගෙන ආර්ට් ක්ලාස් එක පැත්තට යද්දි අනිත් අයත් සෙට් උනා.

"බලපං උඹට තමයි කවි කියන්න වෙන්නෙ. කෙල්ල සල්ලි දෙන්නෙ නෑ.."

මේකා බිරුවට මං සැලෙන්නෙ නෑ. නෙත්මි සල්ලි දෙනවා කියලා මට ෂුවර්නේ. අපි පංතියට යද්දි නෙත්මිලා ප්‍රැක්ටිස් වලට මේන් හෝල් එකට ගිහින්. පවිත්‍රා නංගිත් අපි එකක්ම මේන් හෝල් එක පැත්තට යන ගමන් මට ඉගියක් දුන්නා වැඩේ හරි කියලා.

"ආ... අර ඉන්නෙ රාණි ස්ටේජ් එකේ. උඹ ගිහින් සල්ලි අහපංකෝ මුලින්ම.."

මාව ඉස්සරහට දාලා මගේ පස්සෙන්ම විහගත් නැග්ගා ස්ටේජ් එකට. අපිව දැක්කා විතරයි දුෂානියි නෙත්මියි උන් දේනනගෙ පර්ස් දෙකත් අරන් ඉස්සරහට ආවා.

"නංගි ඔයාලට බුක්මාක් කීයක් විතර විකුණගන්න පුළුවන් උනාද..?"

"අයියා මට දීපු ටිකේ සල්ලි මෙන්න.."

දුෂානි පන්සීයෙ කොලයක් මගේ අතට දෙද්දි විහගගෙ රබර් ඇහැ කැරකුණේ නෙත්මි වටේ.

"මෙන්න අයියෙ මට දීපු සීයෙ සල්ලි.."

විහගගෙ ඇස්ගෙඩි දෙක එළියට පනින්න ඔන්න මෙන්න තියෙද්දි නෙත්මි මගේ අතට කිරි කිරි මොණරෙක් පූජ කලා.

"මචං මේ.... උඹට පේනවා නේද..?"

මං දාහ උගේ මූණ ඉස්සරහට දෙපාරක් විතර එහෙට මෙහෙට ගෙනියද්දි කෙල්ලො දෙන්නා පුදුම වෙලා වගේ බැලුවා.

"එහෙනම් මල්ලි කියමු නේද..?"

ඌ මේන් හෝල් එක වටේම හොදට බැලුවෙ මෙනත කී දෙනෙක් විතර ඉන්නවද බලන්න. ඒ වෙද්දි එක එක පන්ති වල ළමයි පනහක් විතර තැන් තැන් වල ප්‍රැක්ටිස් කරනවා.

"මං ඔට්ටුව ඇල්ලුවෙ පන්තියෙ කියන්නම් කියලා.."

මුලද සද්දෙ දාපු මූ දැන් නම් ඇඹරෙනවා..

"මොකද මචං පුරුෂ ධෛර්‍යය අරන් එන්න අමතක උනාද..?"

සාරංග පල්ලෙහා ඉදලා කෑ ගහද්දි මූට තදවෙලා. 'මට උලත් එකයි පිලත් එකයි' කියලා මූ ස්ටේජ් එක මැද්දට ගිහින් හයියනේ සිංදුව කියන්න ගත්තා.

"පියාටත් හොරා මම ඔබ
සොයා එමි ළදේ...
නවාතැන මගේ ඔබෙ ඇද 
යටයි සොදුරියේ..."

"මචං උඹ පොරොන්දු උනේ සිංදු නෙමෙයි කවියක් කියන්න.. නව් ස්ටා......... ට්"

අපේ සද්දෙට සේරම ළමයි කර කර හිටපු වැඩ නවත්තලා මේ පැත්ත බලාගෙන. විහගත් සිංදුව නතර කරලා කවියකට බැස්සා.

"මා වැනි බිලින්........දා...
කොට කලිසමක් ඇන්දා...
ඒකෙ හිලක් හින්.......දා..."

"අඩෝ ඇති ඇති නවත්තපං..."

අපි එක සැරේටම කෑගැහුවෙ මුගේ බ්‍රෙක් නැති කටෙන් ඊගාවට පිටවෙන පදේ එච්චර හොද නැති නිසා. මූ කල්පනා කරලා ඒ කවියම ආපහු කිව්වා.

"මා වැනි බිලින්දා...
කොට කලිසමක් ඇන්දා...
ඒකෙ හිලක් හින්දා...
උඩින් තව කලිසමක් ඇන්දා..."  

මුළු හෝල් එකම එක සැරේට හූ කියලා කෑ ගහද්දි සංගීත සර් අපි ළගට ආවා.

"ළමයි ඔයාලා කලා උළෙල දවසට ඕකත් කියනවද..?"

සර්ගෙ පුදුම වෙච්ච මූණ දකිද්දි අපි කට්ටියට හිනාව නවත්තගන්න බැරි උනා.

"නෑ නෑ සර් ඒක පොඩි ඔට්ටුවක්.."

අපි හිමීට එතනින් නැගිටලා පන්තියට එද්දි විහග කලින් කියන්න දුන්නෙ නැති අන්තිම පදෙත් දාලා කවිය සම්පූර්ණ කලා.

                                                     *************************

කලා උළෙලට දවස් දෙකක් තියෙද්දි අපේ ප්‍රින්ස් නැටුම් මිස්ගෙ උදව්වට කියලා හංසිවත් ගෙන්නගෙන. අපි ටිකත්  හයියෙන් සද්දයක් දාපු ගමන් හංසිගෙ ඇස් දෙක මගේ ළග. මේ කෙල්ල වෙලාවකට අපේ අක්කට හපන්.

"මචං ප්‍රින්ස් කිව්වා ගොක් අතුයි, කෙහෙල් කොටයි ටික හොයන වැඩේ බාර ගන්න කියලා.. අපි යන්ද එළියට.."

"මරුනේ යමං.. යමං.."

මං අපේ පස්දෙනාවත් කැන්දගෙන ගේට් එකෙන් එළියට ආවා. ඉස්කෝලෙට ටිකක් එහායින් පාළු පාරක් තියෙනවා. ඒ පැත්තට ගියානම් කෙහෙල් කොට වැඩේ ගොඩ දාගන්න පුලුවන්.

"බලපංකො මේ වගේ ජනාකීර්ණ පැත්තක මෙහෙම පාළු පාරක් තියෙවා කියලා හිතන්නවත් බෑනේ.."

මං කිව්වෙ වටේ පිරිලා තිබුණ කැලෑව දිහා බලාගෙන.

"මේ පාර වැටෙන්නෙ කනත්තට බං. හවස හයෙන් පස්සෙ මෙහෙන් වැඩිය කට්ටිය යන්නෙ නැහැලු."

විහග ඌ දන්න ජනප්‍රවාදෙ කිව්වා විතරයි සාරංගයා බකස් ගාලා නෝන්ඩි  හිනාවක් දැම්මා.

"ඕවා මනස්ගාත බං.. මැරුණ එවුන්ට මොකටද බයවෙන්නේ..? උඹත් ගෑණු වගේ ඕවා විශ්වාස කරනවනේ.."

"හරි හරි උඹ ඉතිං පොරනේ.. මේ වගේ පාරක මහ රෑ තනියෙම යන්න කිව්වොත් උඹට පුළුන්ද..?"

සාරංගයි විහගයි යුද්ධ ප්‍රකාශ කරන්න හදන්නේ. එදා නාවල බස් ස්ටෑන්ඩ් එකේදි කාපු චාටරේ නිසා විහග කොහොමත් සාරංග එක්ක ඔරොප්පුයි. 

"මේ හරියෙන් කෙහෙල් කොට ටිකක් කපා ගමු බං.. කනත්තෙ තියෙන එවා කපන්න එපා කියන්න කවුරුවත් නෑනේ.."

අපි කැන්ටින් එකේ අන්කල්ගෙන් ඉල්ලන් ආපු මන්න දෙක අරගෙන කෙහෙල් කැන් තිබුණෙ නැති ගස් හතරක්ම කපාගත්තා.

"මේ ටික කැපුවා වගේ නෙමෙයි.. කරේ තියන්ද ගෙනියන්නේ..?"

කෙහෙල් කොට ටික පාරටඇදගෙන ඇවිත් අපි ටිකක් වෙලා බිම වාඩිඋනා.

"බලපංකො කනත්ත දැක්කා විතරයි බං මහලොකු චණ්ඩියගෙ කට වැහිලා."

"ඇයි උඹලා හිතුවෙ මම චීත්ත අදින ජාතියෙ එකෙක් කියලද..? මං බය නෑ ඩෝ.."

සාරංගයා තදයා වගේ විහග ළගට ළං උනා. මේ කතාවත් නතර වෙන්නෙ තවත් ජරමරයකින් කියලා මට නම් ෂුවර්..

"හරි.. රෑ දොළහට ඕනෙ නෑ.. අද රෑ අටට විතර උඹට මේ පාර දිගේ තනියෙම ඇවිදගෙන යන්න පුළුවන්ද..?"

ඔන්න විහගයා ලැජ්ජ නැතිව තවත් ඔට්ටුවක් දැම්මා අද කවි කියන්න ගිහින් චාටර් උනා මතක නෑ වගේ. විහගගෙ අදහසට සාරංග කැමති උනේ දෙපාරක් හිතන්නෙ නැතුව. වැඩේ නිකම්ම ක්ලෝස් උනොත් මෙලෝ රහක් නෑ. මට පොඩි අයිඩියා එකක් ආවා..

"අපේ මට නම් ඔය නයිට් රන් එකට එනන් බැරිවෙයි. අපේ තා්තතා මට වේලාසන එන්න කියලා කිව්වා."

මං කට්ටියට ඇහෙන්න දාර නයෙක් ඇරියෙ මුං සේරම බර බරේ දැම්මට මගේ හිතට නං පොඩි ජොලියක් නිසා.

"අන්න බං ට්‍රැක්ටරයක් එනවා. ඔය මසුන්නයට කියලා මේ ටික ඉස්කෝලෙය යවා ගන්න බලමු.."

ඒ මනුස්සයව දැක්ක විතරයි අපේ කතාව නතර වුනා. අපි ඒ අන්කල්ට පොඩි ෂේප් එකක් දාලා ඉස්කෝලෙට යන්න කැමති කරගත්තා.

"අන්කල් මේ හරියෙ ගොක් අතු කපාගන්න තැනක් නැද්ද..?"

කෙහෙල් කොට ටික පටවලා ඉවර වෙලා මං ඇහුවෙ අපේ ඊළග අදිරය ගැන.

"ගොක් අතු කොච්චර විතර ඕනද මහත්තයෝ.? මං හවසට ඉස්කෝලෙට ගෙනත් දෙන්නම්.."

අන්කල් අපිට වැඩේ ලේසි කරපු නිසා අපි කට්ටියත් ට්‍රැක්ටරේ පිටිපස්සට නැගගත්තා ඉස්කෝලෙට යන්න..

"මහත්තයලා ගොක් කොල හොයන්න කියලා හැන්දැ කොරේ මේ පැත්තට එනවා එහෙම නෙමෙයි.."

"ඒ මොකෝ අන්කල් ඒ..?"

"හවස මේ පාර මහ පාළුයි මහත්තයෝ.. වැඩිය සෙනග ගැවසෙන්නෙ නෑ නොවෑ.."

මං හොරෙන් සාරංග දිහා බලද්දි උගේ මූණ ටිකක් වෙනස් වෙලා වගේ.

"ඇයි අන්කල් කනත්තෙ හොල්මන් තියෙනවද..?"

ෂෝටා ටක්ගාලා ඇහුවෙ අපි හැමෝම දිහා බලලා..

"මිනිස්සුනං ඔය කියන්නේ.. හැබැයි මට නමං තාම මුලිච්චි වෙලා නෑ. කොයිකටත් මහත්තයලා නේන තරමට හොදා.."

අන්කල් අපිව ඉස්කෝලෙට දැම්මට පස්සෙ අපි අන්කල්ට රුපියල් දෙසීයකුත් දීලා ගොක් කොල වැඩෙත් බාර දුන්නා.

"අනේ රන්දු ඔයා කොහෙද ගියේ..? මං ඔයාව හැමතැනම හෙව්වා.."

සචී දුවගෙන ආවෙ මූණත් බෙරි කරගෙන. මොකක්ද දන්නෑ කේස් එක.. 

"ඇයි සචී..?"

ම්හ්.. මේකිගෙන් උත්තරයක් නෑ..

"අපි කෙහෙල් කොට කපන්න ගිහින් දැනුයි ආවේ.."

"අපිට හවස නැටුම් ප්‍රැක්ටිස් ඉන්න කිව්වා. හවස රිවිෂන් එකට යන්න බැරිවෙයි.. ඔයාලා යනවද..?"

"අපිටත් සිංදු වගයක් තියෙනවා ප්‍රැක්ටිස් වෙන්න.. හවස මේන් ගේට් එක පැත්ත සරසන්නත් කිව්වා. ඉතිං මොන ක්ලාස් ද.."

සචී හිනාවෙලා හැරිලා ගියා. ඒ යන අතරෙත් හොරෙන් වගේ හැරිලා අමුතුම බැල්මක් දැම්මේ. අනේ මන්දා මේ කෙල්ලො..

ඉස්කෝලෙ ඇරුනා විතරයි අපි ගෙදර ගියේ ඇදුම් මාරු කරලා ආයෙත් එන්න බලාගෙන. සාරංගයි දිනුකයි එක ළග නිසා උන් දෙන්නා ගියාට පස්සෙ විහගයි ෂෝටයි, නිරෝධයි තුන්දෙනාම මගෙත් එක්ක අපේ ගෙදර ආවා. අපි ඇදුම් මාරු කරලා කන ගමන් කතා කලේ රෑට තියෙන කනත්තෙ සීන් එක.

"දැන් උඹ මොකද රෑට එන්න බෑ කිව්වේ..?"

"ඒක කියන්න තමයි මං අරූට හොරෙන් උඹලට මෙහෙ එන්න කිව්වේ.."

තුන් දෙනාම මගේ ළගට ඔළු දික් කරගෙන කුමන්ත්‍රණයට සෙට් වෙලා.

"මෙන්න මෙහෙමයි වෙන්නේ. අපි හවස සරසලා ඉවර උනාම මං ෂෝටා එකක් ගෙදර යනවා කියලා එතනින් කැපෙනවා.."

"ම් මමත්..?"

ෂෝටා පුදුම වෙලා වගේ ඇහුවා.. 

"අහපංකො ඉස්සෙල්ලා කියන දේ.. අපි දෙන්නා එතනින් කැපිලා බඩු ටිකත් අරගෙන කතන්න ළගට යනවා. අටට විතර උඹලා තුන්දෙනා සාරංගව එහා පැත්තෙන් පාර පටන් ගන්න හරියෙන් බස්සලා මෙහා පැත්තෙ පාරෙ කනත්ත පේන දුරින් හිටපං.."

"දැන් එතකොට උඹ වේලාසන ගිහින් මොකද කරන්නේ..?"

විහග එකපාරටම ඇහුවා. ඌනේ මේ ඔට්ටුව දැම්මේ. ඉතිං පොර මාර උනන්දුයි වැඩේ ගැන.

"මං තමයි මහසෝනා. මං යකා වගේ ඇදලා එතන පාර අයිනෙම තියෙන කොස් ගහේ අත්තකට නැගලා සාරංග එතනින් යද්දිම උගේ ඇගට පනින්නම්..."

"එළිකිරි ඕයි.. උඹලටත් මාර අයිඩියා තමයි පහල වෙන්නේ.."

ඇවිත් විහග මාව බදාගත්තා.. 

"එතකොට උඹ මොකටද ෂෝටව එක්කං යන්නේ..? උඹ අනුන්ව බය කරන්න ගියාට තනියම යන්න උඹත් බයයි නේද..?"

"පිස්සුද මල්ලි.. මං මූව එක්කගෙන යන්නෙ වේශ නිරූපනය සදහා.."

පචයක් ගහලා මං යන්තම් ෂේප් උනා. දවල් අර අන්කල් කියපු කතා මතක් වෙද්දි බය හිතෙන්නැද්ද..?

"උඹට දාන්න වෙස් මූණක් වගේ මොකක් හරි තියෙනවද..? අපේ අයියා බිග් මැච් වලට දාපු මැක්සා බඩුවක් තියෙනවා අපේ ගෙදර.. මං ඒක අරන් එන්නම්.."

විහග ඉක්මනට කාලා රබර් ඔලු බක්කව අරන් එන්න කියලා බයික් එකේ ගෙදර ගියා. මං කළු දිග කලිසමකුයි කළු අත්දිග ටී ෂර්ට් එකකුයි කළු සපත්තු දෙකකුයි ලෑස්ති කරගත්තා.

"මචං කළු පාට සායක් වගේ එකක් තිබ්බා නම් මරු..."

නිරෝධ ඒක කියද්දි මට මතක් උනේ අපේ අම්මා කාටහරි දෙන්න කියලා ඇදුම් වගයක් අයින් කරපු එක. එතන නම් කළු දිග සායක් තිබුණා. අපි ඒක අරගෙන දණහිස් ගානට විතර වෙනකල් තීරු වෙන්න ඉරුවා. දැන් යකාගෙ කිට හරි.. විහග එනකල් අපි සෙට් එක පාරට ආවා.

අපි ඉස්කෝලෙට යද්දි අර අන්කල් ගොක් අතු ගෙනත් දාලා. හවස පහමාර විතර වෙනකල් සිංදු ප්‍රැක්ටිස් කරලා හවස අපි සරසන්න කියලා නතර උනා.

"මල්ලි මං අද ඔයාලගෙ ගෙදර යන්නෑ.. ඔයා රෑ වෙන්නෙ නැතුව එනවා නේද..?"

හංසි අක්කා යන්න කලින් මං ළගට ඇවිත් ඇහුවා..

"මං මේ වැඩ ඉවර වෙලා නවය විතර වෙද්දි ගෙදර යනවා.."

මං කිව්වෙ අපේ ෂෝ එකටත් වෙලාව වෙන් කරලයි. කොහොමටත් හංසි ගෙදර ගිහින් මං ඉස්කෝලෙ ඉන්නවා කිව්වාම අවුලක් නෑනේ. සචීලත් හංසි අක්කා යන වෙලාවෙම වගේ ගෙදර ගියා. සචී මේ ටිකේ ගොඩක් අමුතුයි කියලා මට කෙල්ලගෙ ඇස් දෙක දකින හැම වෙලාවෙම හිතෙනවා. කොහොම හරි හත විතර වෙනකල් වැඩ කලේ අපි ටිකයි සර්ලා දෙන්නෙකුයි දොළහ වසරෙ මල්ලිලා සෙට් එකකුයි විතරයි..

"මචං මං දැන් යන්න ඕන.. උඹලා අර වැඩේට යනවා නේද..?"

මං අපේ කට්ටියයි සාරංගයි සේරම ඉන්න තැන ඇහුවා. සාරංග විහගගෙ මූණ බැලුවෙ අද වැඩේ කරනවද කියලා දැනගන්න..

"ඔව් ඔව් මූ අද රෑට රෙකෝඩ් එක තියනවලු.."

සාරංගටත් කලින් විහග කිව්වා. ඔට්ටුවෙ හැටියට විහග පැරදුනොත් ඌ සාරංගට රුපියල් දාහක් දෙන්න ඕන. සාරංගත් හා කිව්වෙ ගාණ ටිකක් බර නිසා. ඒ වගේම තමයි විහගත් වැඩේ ඇරියෙ නෑ. ඌ අර යක් මූණත් ගෙනත් මට දුන්නා. සාරංගට හොරෙන් උන්ට බායි පාරක් දාලා මං ඇදුම් බෑග් එකත් අරන් ෂෝටා එක්ක පාරට ආවා. අපි දෙන්නා කනත්ත පාරට හැරෙද්දි ඒ හරියෙ හිටපු මිනිස්සු පුදුම වෙලා වගේ අපි දිහා බැලුවේ.

"මචං මේ හරියෙන් එහාට කට්ට කළුවරයි බං.. ලයිට් කණුවක්වත් නෑනේ.."

ෂෝටගෙ කටහඩත් ටිකක් විතර වෙව්ලනවා. ඌට නොපෙන්නුවට මගේ හිතටත් නිකං කුච් කුච් හෝතාහේ වගෙ.

"බය වෙන්නෙපා බොල අපි දෙන්නම යනවනේ.."

හතහමාර පහුවෙද්දි අප කනත්ත හරියට ගියා. පාර එක පැත්තක දිගටම කනත්ත. අනිත් පැත්ත නතිකරම කැලෑව වගේ. ගෙවල් එකක්වත් නෑ. මං ඇදගෙන හිටපු කිට් එක උඩින්ම අර කළු ටී ෂර්ට් එකයි කලිසමයි දා ගත්තා. සායත් ඇදලා අර බලි ඔලුවත් රිංග ගත්තම මගේ ඇස් දෙක විතරයි එළියට පෙනුනේ. ෂෝටයි මමයි දෙන්නම ටෝච් දෙකක් අරන් ආව නිසා වැඩිය අවුලක් නෑ.

"මට උඹ දිහා බලන්නත් බයයි බං.. දැන් නම් උඹ සිරාවටම යකෙක් වගේ.."

එහෙම කියලා මූ මට කොස් ගහට නගින්න සප් එක දුන්නා..

"මේ උඹ උඩ ඉදලා  හයියෙන් අල්ලන් ඉදපං.. බැරිවෙලාවත් මගෙ ඇගට නම් වැටෙන්න එපා.."

ෂෝටගෙ බය දැන් පිටාර ගලනවා. මට සේරටම වඩා මාර රස්නයක් දැනුනේ. ඇයි දෙයියනේ ඇදුම් තොගයක් ඇදලා සපත්තු දාලා, රබර් ඔළුවකුත් බස්ස ගත්තාම කොහොම ඉන්නද..?

"කෝ බං, අටටත් කිට්ටු ඇති.. මුං තාම නෑනේ.."

මං එහෙම කිව්වට මුගෙන් උත්තර නෑ. පොර ගහ යට නිදිද මන්දා..

"ෂෝටා උඹ ඉන්නවා නේද ඔතන..?"

"ඉන්නවා බං ඉන්නවා.. ඒත් මට උඩ බලන් ඉන්න නම් කියන්න එපා.."

මූ ගම්මිරිස් ඇටේ වගේ ගහ මුල ගුලිවෙලා. එතකොටම පාර උඩහ ඉදලා ත්‍රීවිල් එකක් ගිහින් කනත්ත ඉවර වෙන හරියෙ නතර කලා. ඒ ආවෙ විහගයි, නිරෝධයි, දිනුකයි වෙන්න ඕන. තව ටිකකින් උඩහ ඉදලා සාරංගයා පාර දිගේ එයි. උන්ව බස්සලා ත්‍රීවිල් කාරයා යන්න ගියා. දැන්නං පස් දෙනාම පේන හරියෙ ඉන්න නිසා වැඩි බයක් නෑ.

"මචං ඈත එකෙක් එනවා පේනවා.. ඒ සාරංග වෙන්න ඇති.."

මං ෂෝටට කියද්දි ඌ පේනනේ නැති වෙන්න ටක් ගාලා ගහට කවර් උනා. තව විනාඩි පහකින් විතර ඒ ආපු එකා අපි ඉන්න කිට්ටුවටම ආවා. ඌ හයියෙන් මොනවද කියව කියව ආවෙ. ළගට එද්දි ඒ සාරංගගෙ කටහඩ කියලා මං අදුන ගත්තා. ඌ හයියෙන් කියව කියව ආවෙ ඉතිපිසෝ ගාථාව. මහලොකු චන්ඩියා.. පොර කොස් ගහ පහු කරද්දිම මං එක පාරට මහ හයියෙන් හූවක් කියලා උගේ ඇගට පැන්නා.

"බුදු අම්මෝ.................."

සාරංග බිම.. කිසිම සද්දයක් නෑ.. අපේ කට්ටිය සේරම ටෝච් පත්තු කරගෙන එතනට දුවගෙන ආවා. ඒත් පැනපු පාරට මගේ කකුල මොකක්ද වෙලා. නැගිටින්න බෑ වගේ.. 

"ඒයි මූට සිහිය නැතිවෙලා බං... සාරංග.. සාරංග..."

විහග ටක් ගාලා වතුර බෝතලයක් උගේ මූණට හැලුවා. එතකොටම ට්‍රැක්ටරයක සද්දෙ ඇහිලා බලද්දි අර අන්කලුත් එතනට ඇවිත්.

"මෙහේට ළමයි කට්ටියක් ගියා තාම ආවෙ නෑ කියලා පාරෙ මිනිස්සු කියද්දි මට නිකමට හිතුනා මහත්තයලා වෙන්න ඇති කියලා. මොකද මේ අවේලාවේ.."

අන්කල් ආපු එක හොදයි.. නැත්නම් අපිට යන්න වෙන්නෙ පයින් තමයි. මං කකුල ගසලා නැගිටිද්දි අංකල් මාව දැක්කේ..

"කිරි අප්පොච්චියේ........ මහත්තයා මේං මං ගියා.."

අන්කල් අර මලකඩ හැලෙන ට්‍රැක්ටරේ විදගෙන ගියේ සුපර් ක්‍රෝස් තරගෙකට එළවනවා වගේ.

"යකෝ දැන්වත් ඔය මගුල ගලවපං.. අපරාදෙ අර මනුස්සයත් බයවෙලා ගියානේ.."

නිරෝධ මගෙ ඔළු බක්කා ඇදලා ගලවපුවාම සාරංග හොදට මගේ මූණ දිහා බැලුවා. හොදට බලපං කියන්න වගේ ෂෝටා මගේ මූණටම ටෝච් එක අල්ලුවා. මාව දැක්කම සාරංගට හිතුනෙ මොනවද කියලා දන්නෙ ඉතින් උඹ තමා. හැබැයි පොර තාම බයවෙලා වචනයක්වත් කතා කලේ නෑ. කට්ටිය සාරංගව අල්ලලා නැගිට්ටුවා.

"මාවත් නැගිට්ටපං බං.. මගේ කකුලට මොකක්ද වෙලා.."

අරුන් මාව නැගිට්ටුවට පස්සෙ මං මහසෝනා කිට ගලවලා දැම්මා.

"ඌයි බං... මගේ අතත් රිදෙනවා.."

මං කෙදරි ගාද්දි ෂෝටා මගේ වැළමිටට ටෝච් එක ඇල්ලුවා.. වැලමිට හීරිලා ලේ එනවා..

"ඒයි මේ බලපංකෝ බං.. වැඩිපුර ඩැමේජ් මහසෝනටනේ.."

මුන්ට නං හිනා.. මගේ කකුලත් උලුක් වෙලා. මං සාරංගගෙ කරට අත දාගත්තම මට දැනුනා උගේ ඇග පොඩ්ඩක් රස්නෙයි කියලා.

"ඒයි සාරංග උඹ බය උනාද...? උඹට හොදටම උණ නේ බං.."

මූත් ලාවට හිනාවෙලා මගේ අත අල්ලගත්තා. බයවෙච්ච පාරට ඌට වචනත් අමතක වෙලා. අපි මහපාරට ඇවිත් දෙපැත්තට බෙදිලා ත්‍රීවිල් වල ගියේ. සාරංගව ගෙදරට දාන්න දිනූක බාරගත්තා. විහගලා මාව අපේ ගෙදරටම බස්සලා ගියේ. මං නොන්ඩි ගහ ගහ ගෙට යද්දි අපේ අක්කයි හංසියි දෙන්නම බයවෙලා දුවන් ආවා.

"අම්මේ.. අම්මේ... මේහෙ එන්නකෝ.."

"මොකද හලෝ බෙරිහන් දෙන්නේ..? මට මුකුත් වෙලා නෑ.."

අක්කා බොරුවට බයවෙලා ගේ ඇතුළට ගියාමයි දැක්කේ. මගෙ වැලමිට විතරක් නෙමෙයි දණිස්සකුත් රතුවෙලා ඉදිමිලා ඇවිත්..

"මොකද මල්ලි උනේ..? ඔයා වැටුනද..?"

"ඔව්.. අර ගේට් එක ගාව වයර් එකක් අදින්න ගිහින් ඉනිමග පෙරලුනා.."

මං අම්මයි තාත්තයි දකින්න කලින් ටක් ගාලා බාත් රූම් එකට රිංග ගත්තා. අනිද්දා කලා උළෙලට ඉන්න වෙන්නෙ තනි කකුලෙන් තමා. අනුන්ව බය කරන්න ගියාට මේවා හොද පාඩම්. මං තුවාය ඇදගෙන කාමරේට එද්දි අක්කලා ඩබලම කාමරේ. වින්ටජිනෝ, කතුරු, පුළුන්, පාස්ටර්, බැන්ඩේජ්. බුදු අම්මෝ මුන් දෙන්නා මාව ඔපරේෂන් කරන්න වගේ හදන්නේ..

"හලෝ මේ.. මාව ඔපරේෂන් කරන්නද හදන්නේ..? මේ පොඩ්ඩක් හීරිලා විතරයි.."

"ඔය තුවාලෙට බෙහෙත් දාන්න  හංසි.. මං කකුල තවන්න උණු වතුර ටිකක් අරන් එන්නම්.."

අක්කා එළියට ගියා විතරයි හංසි කාමරේ ඉද්දිම මං තුවාය උඩින් සරම දාගත්තා. අම්මත් මට තේ එකක් ගෙනත් දීලා මගේ වටේ කැරකි කැරකි ඉදලා ගියා.. 

"මේ ඇදෙන් ඉදගන්න මල්ලි.."

හංසිත් ඇවිත් ඇදේ කොනක ඉදගෙන අර බඩු සේරම ළගට අරන් හිමීට තුවාලෙ සුද්ද කරලා බෙහෙත් දැම්මා. සැරෙන් සැරේ මූණ දිහා බලද්දියි මං දැක්කෙ එයාගෙ ඇස්වල කදුළු.

"හංසි අක්කෙ ඔයා අඩනවද..?"

"නෑ මල්ලි.. මං මොකටද අඩන්නේ.."

එහෙම කියලා එයා දිග හුස්මක් පිට කලා. අක්කා උණු වතුර එකකුත් අරන් එතනට ආපු නිසා අපේ කතාව එතනින් නතර උනා.

"බෙහෙත් දාලා ඉවර නම් මං කකුල තවන්නම්.."

"එපා නිශා.. දෙන්න මංම කරන්නම්.."

හංසි අක්කත් බලෙන්ම බාර ගත්තම අක්කා ගියා මට බත් එකක් බෙදාගෙන එන්න. මගේ මූණ දිහා බලලා එයා සරම දණහිස ළගමට නැව්වා. ඊට පස්සෙ කකුල තවන්න සර්වියට එක තිබ්බා විතරයි මට කෑගැහුනා ඉබේටම..

"සොරි මල්ලි ඔයාට රිදුනද..?"

"රිදුනෙ නෑ පිච්චුනා.."

එයා තවලා වින්ටජිනෝ ගාලා රත්වෙන්න අතගාද්දි මට මාර සනීපයක් දැනුනේ.

"මල්ලි මේක කොහොමද උනේ. .? ඔයා ඉනිමගකින් වැටිලා නෙමේ නේද..?"

මේකිට දිවැස් තියෙනවා.. හැබැයි ඉතිං අපි මොන කතාව පටන් ගත්තත් අක්කා උදැල්ලක් උස්සං මැද්දට පනිනවා. ඒ පාර තඩි බත් එකක් බෙදාගෙන එනවා. මේ දැන් තේ එක බීලා ඉවර උනා විතරයි.

"අපේ නර්ස් නෝනගෙ වැඩ ඉවරයි නේද..? එන්න මල්ලි මං ඔයාට බත් කවන්න.."

මට තිබුණෙ පුදුම සැපක්.. අක්කා බත් කවලා වතුර එකත් අතට දීලා ගියාම තාත්තා කාමරේ.. මට ඉක්මනට නිදාගන්න කියලා එයා ලයිට් ඕෆ් කරලම ගියා..

                                          ****************************

උදේ නැගිටිද්දි කකුල උලුක් වෙච්ච එක ටිකක් තිබුණට දණිස්ස නං හොද වෙලා. හංසිගෙ වෙදකමේ බලය තමයි ඉතිං..

"මල්ලි ඊයෙ රෑ ඔයා නිදාගත්තම අර සචිනි නංගි කෝල් කලා.."

"ඉතිං මොනාද කිව්වේ..?"

"ඔයාට කොහොමද බලන්නලු කතා කලේ.."

එහෙනම් අපේ කෙල්ලො ටිකටත් වැඩේ ලීක් වෙලා. අද ඉස්කෝලෙ ගිහින් බේරෙන්න බැරි වෙයි.

මගේ කකුල අප්සට් නිසා තාත්තා උදේ මාවයි හංසිවයි අපේ ඉස්කෝලෙට දාලා ගියේ. මං හංසි එක්ක හිමීට අපේ පංතියට යද්දි පංතියෙ දොරේ ලොකු කොලයක් අලවලා. අපි දෙන්නම ළං වෙලා ඒක කියෙව්වා.

අසව් අසව් බොල අලුත් කතාවක්
කනත්ත පාරේ සිද්ධ වුනේ.
වටේම පාළුයි හරිම කළුවරයි
කියන්නවත් බෑ බයයි අනේ.

ආර්ට් එකේ අර හැඩි දැඩි කොලුවා
ගියාලු දවසක් රෑ පානේ.
කනත්ත අයිනේ කොස් ගහ මුදුනෙන්
මහසෝනා බිම පැන්නලුනේ.

කොලුවා බයවෙලා හූ හඩ තියලා
යටි ගිරියෙන් කෑ ගැහුවාලූ.
සිහිනැති වීලා වතුර පොවාලා
යන්තම් පණ නල ගත්තාලූ.

ජරමර අස්සේ අඩු බඩු කැඩිලා
මහසෝනත් බිම වැටිලාලූ.
කෙදිරිය ඇහිලා ලංවී බැලුවම
මහසෝනව අදුනනවාලූ.

ඩබල නැගිටලා දූවිලි පිහලා
කරටත් අත දා ගත්තාලූ.
කොලුවට ෆිවර් යකා ඉන්ජර්ඩ්
කතාව උන් යට ගැහුවාලූ.

දැන් ඉතිං කාපංකො ටිං කිරි. ඔය තියෙන්නෙ තොරණෙ විස්තරේ අපූරුවට කවියන නගලා. මේකනම් විහගයගෙම වැඩක් වෙන්න ඕන. හංසි කවි ටික සේරම කියවලා මං දිහාට හැරුණා.

"ඊයෙ කාමරේ තිබුණ ඇදුම් බෑග් එක දැක්කම ඔය ඉන්ජර්ඩ් වෙච්ච යකා මොකාද කියලා හිතාගන්න පුළුවන්."

අන්තිමට මටත් උනෙ අර ඇටිකෙහෙල් කාපු උගුඩුවට වෙච්ච දේ. බඩුත් එක්ක හොරු අහුවෙලා ඉද්දි තව මොන කතාද..

"සොරි අක්කේ, ඕක අපි ඊයේ එකෙක්ව බය කරන්න ජොලියට කරපු වැඩක්.."

"ජොලියට කරා වගේ නෙමෙයි දැන් විදවන්න වෙලා තියෙන්නෙ මහසෝනටනේ.."

යකඩෝ..! ඒපාර ඒකිත් මට මහසෝනලු. හැබැයි ඉතිං වැඩය සද්ද දැම්මොත් නිව්ස් එක ගෙදරටත් යයි. ඒක හින්දා මං ගෙදර සීනි බෝතලේට බැහැලා අම්මට මාට්ටු වෙච්චි පොඩි එකා වගේ ටිකිරි හිනාවක් දාලා ෂේප් උනා. තාත්තා ගෙනත් ඇරලපු නිසා අද කලින් ආවට රවුමක් දානන් යන්න තරම් කකුල ෆිට් නෑ. ඒ නිසා හංසි ගියාට පස්සෙ මං පුටුවක් ඇදලා අරන් ඉදගත්තා.

"ආ..... මහසෝනා උඹ අද කලින් ආවද..?"

කොහෙද ඉදලා ආපු විහගයා පල් එක දාද්දි මට තද උනා..

"උඹට සපෝට් කරන්න තමා යකෝ මං මහසෝනා උනේ.. නැත්නම් උඹේ රුපියල් දාහකටත් තට්ටුයි.."

"හරි හරි මචං කූඩ් ඩවුන්..."

ඔන්න එතකොටම සචිනි එනවා කොරිඩෝ එක දිගේ පැයට හැටයි ගැලුමට හැත්තෑවයි වගේ වේගෙන්. ඒකි කෙලින්ම ආවෙ මගේ ළගට. පංතියෙ තව ළමයි තුන් හතර දෙනෙක් ඉද්දිම ඒකි මගෙ අතින් අල්ලගත්තා. ඊට පස්සෙ වැලමිට පැත්ත  හරවලා තුවාලෙ දිහා බැලුවා. ඒත් හංසි බෙහෙත් දාලා නිසා එයාට තුවාලෙ පේන්නෙ නෑ.

"මොකද උනේ කියලා මං අහන්නෙ නෑ රන්දු.. මට සේරම ආරන්චියි.."

"කවුද කිව්වේ..?"

"කවුරු හරි කිව්වනේ.. කතන්දරේ ඔය දොරෙත් ගහලා තියෙන්නේ.. අනික සාරංටත් උණ හැදිලලුනේ.."

මං විහගයා දිහා බැලුවා. ඌත් කසාය බීපු ගොලුවා වගේ..

"තාම රිදනෙවද..?"

සචී ආයෙත් ඇහුවා.. 

"තුවාලෙ නම් රිදෙන්නෑ වැඩිය.. ඒත් කකුල උලුක් වෙලා ඒක ටිකක් රිදනෙවා.."

"කකුල දෙන්න මං වින්ටෝජිනෝ ගාන්නම්.."

කොහොමත් නිවුන්නු අතගාපුවම ඉක්මනට හොදවෙනවා කියලා කතාවකුත් තියෙනවනේ. සචිනි අතගාද්දිම නිකම්ම හොදවෙයි. කෙල්ල බෑග් එක ඇරලා වින්ටජිනෝ ටියුබ් එක අතට ගත්තා.

"ඔයාගෙ බෑග් එකේ වින්ටජිනෝ තියෙනවද..?"

"ගෙදර අල්මාරියෙත් තියෙනවා.."

මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ විහග. සපත්තුව ගලවලා සචී කකුලට වින්ටජිනෝ ගාද්දි නිරෝධ පන්තියට ආවා. අපි දෙන්නව දැක්කා විතරයි මේකා අනිත් අතට වාෂ්ප උනා. හේතුව ඉතිං අපි කවුරුත් දන්නවනේ..

"හේෂාන් අයියේ, සචිනි අක්කට කුමුදු මිස් එන්න කිව්වා.."

පංතියට දුවගෙන ආපු පොඩි එකෙක් ඒක සචිනිට නොකියා මට කිව්වෙ ඇයිද දන්නෑ. ඒත් සචී වැඩේ ඉවර කරලම තමයි නැගිට්ටේ..

"රන්දු උඹට සචීගෙ වෙනසක් දැනෙන්නැද්ද..?"

කෙල්ල ගියා විතරයි විහග ඇහුවෙ ඒක හෙන සීරියස් මූඩ් එකකින්. මං හිතුවෙ සචීගෙ වෙනස දැනෙන්න ඇත්තෙ මට විතරයි කියලා.

"ඇයි උඹ එහෙම ඇහුවේ..?"

"නෑ ඉතිං අර කතාවක් තියෙනවනේ, ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියලා.."

"ඇයි ඒකි කහිනවා උඹට ඇහුනද..?"

"නෑ මට හිතෙන්නෙ කෙල්ලට තියෙන්නෙ අනිත් ලෙඩේ.."

ආදරේ විහිලුවක් කියලා හිතන විහගට එහෙම කෙනෙක්ගෙ ආදරයක් දැනුන එකත් පුදුමයක්. ඒත් සචීගෙ හිත මට තාම තේරෙන්නෙ නෑ.

"අපි ඕවා ගැන පස්සෙ කතා කරමු.. යං අද වැඩ ගොඩක් තියෙනවා.."

අපි මුලින් ගියේ ආර්ට් ක්ලාස් එක පැත්තට. යද්දි සාරංග ඉන්නවා කොරිඩෝ එක දිහා බලාගෙන.

"ගුඩ් මෝනිං මචං..."

"ආ... ගුඩ් මෝනිං.. ඊයෙ අවුලක් නැතුව නිදාගත්තද..?"

මූ මොකද මන්දා උදේ පාන්දර එහෙම ප්‍රශ්නයක් ඇහුවේ. මාව තුවාල වෙලා තියෙනවා දකිද්දි පොරට පොඩි ජොලියකුත් ඇති.

"උඹ තරහද බං.."

"පිස්සුද..? කවුද ඕවා ගණන් ගන්නේ.."  

ගණන් නොගත්තට තාම කොල්ලගෙ උණ බැහැලා නෑ. මේ වැඩෙන් අපි කට්ටියම මට්ටු උන නිසා කවුරුවත් ඒ ගැන වැඩිය කතා කලේ නෑ. අපි මේන් හෝල් එක පැත්තට යද්දි දැක්කා අපේ පංතියෙ දොරේ ගහලා තිබුණ කවියම නෝටිස් බෝඩ් එක ළගත් ගහලා තියෙනවා. සාරංග ඒ කොලේ ගලවලා අරන් ඉරලා දැම්මා.. 

අද නම් ඉස්කෝලෙ කානිවල් එකක් වගේ.. ළමයි පාට පාට ඇදුම් ඇදගෙන නටනවා. සිංදු කියනවා.. කවුරුවත් විහිලුවකටවත් පොතක් අතේ තියන් ඉන්නවා පේන්නෑ..

"හේෂාන්.. මොකද පුතා ඔය අතට වෙලා තියෙන්නේ..?"

මාව දැකපු ගමන් ප්‍රින්ස් පුදුම වෙලා වගේ ඇහුවා. ඉතිං ඊයෙ හවසත් මං හොදට හිටියනේ.. 

"ඊයෙ යද්දි වැටුනා සර්.."

"හෙට ඔයාට කරන්න ලොකු වැඩ කොටසක් තියෙනවනේ.."

"එච්චර අමාරුවක් නෑ සර්.. මට පුළුවන්.."

සර් පොඩි හිනාවක් දාලා රූම් එකට යද්දි අපි මේන් හෝල් එකට ගියා. සචිනියි, අචිනියි පණ දාගෙන හංසි එක්ක නටනවා. කුමුදු මිසුත් තව නංගිලා කට්ටියක් වට කරගෙන. අපි මුලින්ම කලේ ආර්ට් එකේ සර්ලා දෙන්නෙක් එක්ක හෙට තියෙන වැඩ සටහන් පෙළගස්වපු එක. කලා උළෙල පටන් ගන්න තිබුණෙ අපේ අචිනිගෙ සරස්වතී නැටුමකින්. සමස්ත ලංකා පළවෙනි තැනට තේරුණ නිසා තමයි ඒක අචිනිට දුන්නේ. ඒත් සැබෑ සරස්වතී දේවිය වෙන්න ඕන අපේ සචී.

අමාරුම වැඩේ උනේ මේන් හෝල් එකේ ලයිට් සිස්ටම් එක හදන එක. ඒකට වෙනම අයියලා කට්ටියක් ගෙනත් තිබුන නිසා අපිට තිබුණෙ සපෝට් එක දෙන්න විතරයි. දවල් වෙද්දි අපි දොළහ වසරෙ මල්ලිලා එක්ක එකතු වෙලා ගොක් කොළ තොරණ හදන්න පටන් ගත්තා. දෙපැත්තෙ ලොකු පුන්කලස් දෙක්ක හදලා වටේ පොල් මලා දාලා පහන් වැටවල් තියලා ඉවර වෙද්දි ඉස්කෝලෙ ඇරෙන වෙලාවත් පහුවෙලා. පොඩි පන්තිවල ළමයි ගියාට ඒ ලෙවල් ළමයි හැමෝම වගේ නතර වෙලා වැඩ.

"උඹලගෙ ලෙඩ සේරම වගේ හොදයි නේද..? ඒත් මගෙ ලෙඩේ උත්සන්න වෙලා.."

මමයි සාරංගයි දිහා බලාගෙන විහග ඇහුවෙ අපි  හිටු කියලා වැඩ කරන නිසා. මට නං කකුලෙ අමාරුවක් තිබුණද කියලවත් මතක නෑ.

"උඹට මොකක්ද තියෙන ලෙඩේ..?"

"වෙන මොකක්ද බං.. සාගතේ.."

වැඩේ ඉවර වෙලා අපි කට්ටියම සචීලයි, හංසි අක්කයි එක්ක කැන්ටිමට ගිහින් කෑවා. කොයි තරම් එකට ගැවසුනත් අද උදේ ඉදලා නිරෝධ මට මූණ දිලා කතා කලේ නෑ.

හවස කුමුදු මිස් බාරදුන්නේ මාර වැඩක්. ඒ තමයි සරස්වතී දේවියගෙ ආසනේ. ඒ කිව්වෙ ලොකු ඕලු මලක් හදන එක. ඒකෙ අචිනිට ඉදගන්නත් පුළුවන් වෙන්න ඕනෙනේ..

"දිනුක කොයි තරම් මල දිග, පළල වෙන්න ඕනෙද..?"

ෂෝටා ඇහුවෙ වෙනම තේරුමක් තියෙන ප්‍රශ්නයක්..

"මං කොහොමද දන්නේ, ඇයි මිස් කිව්වෙ නැද්ද..?"

මූ නම් කෝස්සෙන් තට්ටු දෙකක් දැම්මත් පත්තු වෙන්නැති ටියුබ් ලයිට් එකක්..

"මිස් කොහොමද බං අචීට ඉදගන්න යන ඉඩ ප්‍රමාණෙ දන්නේ..?"

ඔන්න එතකොටයි දිනුකට ප්‍රශ්නෙ වැටහුනේ..

"මුගේ ඔඩොක්කුවෙ සයිස් එකට හැදුවම ඇති.."

මේ පොඩි එවුනුත් ඉන්න තැන විහගයා ඔහේ කියලා දැම්මා. දොළහ වසරෙ කොල්ලෙක් ගිහින් වෙසක් කූඩු හදන්න පුරුදු කෙනෙක්ව එක්කං ආව නිසා මල පනින්නෙ නැතුවම මල හදාගන්න පුළුවන් උනා. තුනට විතර ගෙදර ගිය ප්‍රින්ස් ආපහු ටී ෂටර් එකකුත් දාගෙන ඇවිත් කරලියට බැස්සා.

ඉස්කෝලෙ සරසලා ඉවර වෙද්දි තනිකරම තිබුණෙ ගැමි පරිසරයක පෙනුමක්. ආරාධිත අමුත්තො පිළිගන්න තිබුණෙ රබන් ගහලා. ඒකට ගෙනාපු මහා පත රබාන උඩ නැගගෙන නංගිලා වගයක් හමට තලනවා.

වෙලාව නොබලා කළුවර වැටෙනකල් වැඩ කරාට අපි දන්නෙම නැතුව අටත් පහුවෙලා. ප්‍රින්ස් ළමයින්ට රෑට කන්න බනිස් බෑග් වගයක් එවලා තිබුණා. කැන්ටිමෙන් අපිට නොමිලේ තේ. අනිත් ළමයි පාට ඇදුම් ගෙනත් තිබුණට අපිනම් හිටියෙ උදේ ඇදන් ආපු යුනිෆෝම් පිටින්. රෑ වෙද්දි ළමයි ගොඩක් ගියාට පස්සේ කොල්ලො හයදෙනාම වැඩ.

"රන්දු මාර තිබහයි බං.. සෙට් වෙනවා නම් මාර බඩුවක් තියෙනවා.."

ඒ ඇවිත් කිව්වෙ ෂෝටා.. මූ නැටුම් තෙල් බෝතලයක්වත් ගෙනාවද මන්දා..

"උඹ මේ වැඩ අස්සෙ සෙට් වෙන්න හදනවද..?"

"නෑ බං අර ඇග්රිකචල් ගාර්ඩන් එකේ හොද තැඹිලි වල්ලක් තිබුණා. පුංචි දිලේ වතුර රස ඇති නේද..?"

ඊයෙ රෑ ගස් නගින්න ගිහින් වෙච්ච දේ මදිවට මූ තැඹිලි කඩන්නත් කතා කරනවා. ඉස්කෝලෙ කෘෂිකර්මය කරන ළමයි පැළ හිටවපු වත්ත ඉස්කෝලෙට අයිති උනාට ඒක තිබුණෙ ඉස්කෝලෙ තාප්පෙට එහා පැත්තෙ වෙනම වටකරලා. ඒ පැත්තට යන්න යකඩ ගේට්ටුවක් දාලා තිබ්බට නිතරම ඒක වහලා ඉබ්බා දාලා තිබුණෙ. යතුර තියෙන්නෙ කෘෂිකර්ම සර්  ගාව. ඒකෙ තැඹිලි ගස් දෙක තුනක් තිබුණට ඔය කියන තැඹිලි වල්ල මං නම් දැකලා නෑ.

"ඒ පැත්ත කට්ට කළුවර ඇති.."

"ඇයි මහසෝනට බයද..?"

ඒ ඇහුවෙ සාරංග.. ඌ ඊයෙ බය නෑ වගේ චන්ඩියා වෙන්න ගියාට පාර දිගේ ආවෙ බුදු ගුණ සිහි කර කර..

ඉතුරු වෙලා හිටිය ළමයි ටිකයි, සර්ලා මිස්ලා ටිකයි හැමෝම හිටියෙ මේන් හෝල් එක පැත්තෙ. ඔය වත්ත තිබුණෙ ඉස්කෝලෙ පිටිපස්සෙම නිසා වැඩේ කාටවත් අහුවෙන එකක් නෑ. අපි හයදෙනා හෙමීට කට්ටිය මග ඇරලා ඒ පැත්තට ගියා. ඒ පැත්ත කොයිතරම් කළුරව උනත් අපිට ඇස් වහගෙන හරි ඕන තැනට යන්න පුළුවන්. මේ ආදරණිය සෙන්ට්‍රල් භූමිය අපි අවුරුදු දහතුනක්ම හිටපු තැනනේ.

"මුකුත් පේන්නෑ බං.. ගේට්ටුවත් ලොක් වගේ.."

ෂෝටා හයියෙන් ගේට්ටුව හොලවලා බැලුවා. ඇරගන්න විදියක් නෑ. අපේ සෙට් එකේ කවුරුවත් මං තරම් උස නැති නිසා වෙනදට ඔය තාප්ප වලින් පනින වැඩ කරන්නෙ මං.. ඒත් අදනම් මට නගින්න කියලා කවුරුවත් කිව්වෙ නෑ.

"උඹල මට සපෝට් එක දියන්.. මං පනින්නම් එහා පැත්තට.."

ෂෝටා පෙරමුණ ගත්තා.

"එතකොට උඹ කොහොමද ආපහු මේ පැත්තට පණින්නේ උස නැතුව..?"

"එහා පැත්තෙ ලී බංකුවක් තියෙනවා මං දැකලා තියෙනවා. අවුලක් නෑ ඒකට නැගලා මට තාප්පෙට නගින්න පුලුවන්.."

මට මතක් උනේ එදා මූ මරදානෙ කඩේ ටොයිලට් එකෙන් පැනලා ආපු  හැටි. ගස් නැගලා ඇදුම ජරා උනොත් ගෙදර යන්න වෙන්නෑ කියලා මූ ඇදුම ගලවලා අන්ඩර්වෙයාර් එක පිටින් නැග්ගේ. එහා පැත්තට පැන්නුව ාවිතරයි මූ තත්පර දෙකෙන් තැඹිලි ගහේ.

"ඔන්න ඔය පැත්තට එවනවා.. අල්ලගනින්, එකා...යි.. දෙකා...යි" 

මූ තැඹිලි ගෙඩි එක එක දාද්දි අපි මෙහා පැත්තෙ ඉදලා ඇල්ලුවා. දැන්නම් කළුවරට ඇස් හුරුවෙලා. ෂෝටා පහා...යි කියලා එවපු තැඹිලි ගෙඩිය අල්ලන්න යද්දි මගේ පිටිපස්සෙන් ආපු කෙනෙක් ඒක ඇල්ලුවා. හැරිලා බලද්දි අපේ ප්‍රින්ස්.. මල කෙළියයි.. ෂෝටා ජංගිය පිටින් එහා පැත්තේ. ඌට දැනුම් දෙන්න විදියක් නෑ. සර් අපි කට්ටිය දිහා බලලා ෂ්.. කියලා කටට ඇගිල්ල තියලා පෙන්නුවා.. 

"හයා....යි"

අරූ අන්තිමට එවපු තැඹිලි ගෙඩිය අල්ලන්න අපි කවුරුවත් අත දික් කලේ නෑ. ඒකත් ඇල්ලුවෙ අපේ ප්‍රින්ස්.  සර්රුත් නිකං ජොන්ට් රෝස් රෝඩ්ස් වගේ මාර කැචර්.

"මචං හරි නේද..? ඔන්න මම බැස්සා.."

මූ බැහැලා මොකක්ද ඇදන් එන සද්දෙකුත් ආවා.. 

"බලපං බං. ප්‍රින්ස් එහෙම මේ පැත්තට එනවද කියලා.. මං පනින්න හදන්නේ.."

තවත් මොනවා බලන්නද ප්‍රින්ස් ඇවිත් ඉවරයි.. ඒක කටක් ඇරලා කියන්නෙ කොහොමද..? 

මොකද උඹලා කතා නැත්තේ..?

එහෙම කියලා ෂෝටා චූටි ජංගියත් ඇදගෙන තාප්පෙ උඩින් මතුවුනා. මූ තාප්පෙ උඩ ඉදගෙන බොඩි බිල්ඩර් කෙනෙක් වගේ අත් දෙකත් උසස්ගෙන වැඩ පෙන්නුවා. අපි කට්ටිය මීයට පිම්බා වගේ සද්ද නෑ. ෂෝටව දකිද්දි සර්ට බකස් ගාලා හිනා ගියා. මූ හිතන් ඉන්නෙ ආර්නෝල්ඩ් ස්වසනේගර් කියලා. බැහැයි සැබෑ ස්වරූපෙ නිකං නෙල්ලි කැලේ බුරියා වගෙ.

"කොහොමද කොල්ලගෙ බොඩිය..?"

මූ බිමට බහින්නෙ නැතුව කියවනවා.. 

"හොදයි.. හොදයි ලොරි බොඩියක් වගේ තියෙනවා.."

ප්‍රින්සිපල් සර් එහෙම කිව්වා විතරයි ෂෝටා ටිකක් අප්සට් ගියා.

"අඩෝ මහසෝනා බය කරන්න එපා බං.."

බොලේ මූ හිතන් ඉන්නේ කටහඩ වෙනස් කරලා කතා කලේ මං කියලා. හැබැයි මහසෝනා කිව්ව එකට සර්ට නම් යකා නගින්න ඇති..

"තමුසෙ බිමට බහිනවද නැද්ද..?"

"අම්මට සිරි. බහිනවා සර්.. බහිනවා.."

කටහඩ අදුරගත්ත ගමන් මූ බැස්සෙ හිටපු පැත්තටමයි. සර්ටත් හිනා..

"මෙච්චර දේවල් කරපු එකේ තමුසෙලා මේ දේ නොකෙරුවා නම් තමා පුදුමෙ වෙන්නේ. ඒත් අයිසෙ කියලා කැඩුවා නම් මීඨ වඩා හොද නැද්ද..?"

එහෙම කියලා සර් යන්න ගියේ බිම තිබුන ෂෝටගෙ ඇදුම් ටිකත් අරගෙන. හත්තිලව්වෙ දැන් කොහොමද අපේ පොඩි එකා ඔය ජංගිය පිටින් එළි බහින්නේ. සර් ගිහින් ටික වෙලාවකින් අපි ෂෝටට කතා කරලා මේ පැත්තට ගත්තා. ඒත් ඒ ඇදුම පිටින් ලයිට් තියෙන හරියට යන්නත් බෑ. අපි කළුවරේම මේන් ගේට් එක පැත්තට බාගයක් යද්දි කැන්ටිමේ වයසක අන්කල් අපි ඉන්න පැත්තට එනවා. ෂෝටා පටස් ගාලා කවර් උනා.

"ආ.... ඔය පුතාලට මේක ලොකු මහත්තයා දෙන්න කිව්වා.."

අන්කල් අරන් ආවෙ තැඹිලි කපන්න පිහියකුයි, ෂෝටගෙ ඇදුම් ටිකයි. අපේ ප්‍රින්සිපල් සර්රුත් වෙලාවකට අදහන්න වටින චරිතයක්.

"සර්ට පින් දෙන්න ඕන බං මේ කරපු කුසල කර්මෙට.."

ෂෝටා දඩි බිඩි ගාලා ඇදුම් ඇදගන්න ගමන් කිව්වා.

අපි තැඹිලිත් බීලා ආපහු ඉස්සරහ පැත්තට ආවා. දැන්නම් ඇගටත් අමාරුයි ගෙදර ගියොත් හොදයි වගේ.

"කොහෙද මල්ලි ගිහින් හිටියේ..? අර තාත්තා වෑන් එකත් අරන් ඇවිත් දැන් ගොඩක් වෙලා ඉදලා ඔයාව හොයනවා.."

හංසි අක්කා දෝස් මුරේ දාද්දි තාත්තාත් අපි ඉන්න පැත්තට ආවා..

"මං සර් එක්කත් කතා කලා පුතා.. ඔයාට අමාරු නිසා දැන් යන්න කිව්වා.."

සර් යන්න කිව්වෙ අපි වගේ වතු පාළුවො දැන් හිටියා ඇති කියලා හිතලා වෙන්නැති. අපේ පැත්තට යන නිසා විහගත් ඇවිත් මමයි හංසි අක්කයි එක්ක වෑන් එකට නැග්ගා. 



                                                      

No comments:

Post a Comment