Wednesday, March 14, 2012

| නෙතු හැඩුවා ඔබට හොරා | යෞවන සමින්ද්‍ර රත්නායක |






තවත් සීතල හිමිදිරියක් උදාවී තිබිණි. අවිනාශ් අවදි වූයේ සිය ජංගම දුරකථනය නාද වන හඩිණි. මහත් වූ කම්මැලිකමකින් එදෙසට දෙනෙත් යොමු කර ඔහු නැවතත් දෙනෙත පියා ගත්තේය. උදේ පාන්දරම කරදර කරන්නට දගලන, හසිදිකාරයා කවුරුන් විය හැකිදැයි සිතන්නට ඔහුට උවමනාවක් තිබුනේ නැත. කෙසේ වුවත් කන් කරච්චලයක් පරිද්දට දුරකථනය දිගින් දිගටම නාද වන්නට විය.


"හෙලෝ..."

නොරිස්සුම් සිතින් යුක්තව දුරකථනය ළගට ගත්තද, එයින් කිසිදු කටහඩක් ගලා ආවේ නැත. ඇමතුම විසන්ධි කර දැමීමට සිත ඉක්මන් වීමට ඔන්න මෙන්න කියා තිබියදී එහා පැත්තෙන් මදක් ගොරෝසු කටහඩක් ගලා එමින් තිබිණි.

"අපේ ගණුදෙනුවෙ අලුත්ම තත්වෙ කොහොමද..?"

කටහඩ දෙසවන් තුළට රිංගා එහි සැරිසරද්දී අවිනාශ් පිහාටු පිරවූ කොට්ටයක් ඇද විට්ටමට තබා එයට හේත්තු විය. මේ කටහඩ තමා කොහේදි හරි අසා ඇත.. 

"මොන ගණුදෙනුවක්ද..?"

"තමුසෙ මේ රේස් එක පදින්නෑ කියනෙක.."

අවිනාශ්ට සියල්ල පැහැදිලි විය. විවෘත යුතුරු පැදි අංශයේ දෙවැනි වටය මෙන්, තමා වෙතට එන දෙවන තර්ජනය, කිසිදු ගැටළුවකින් තොරව අවිනාශ් හදුනා ගත්තේය.

"නෑ... මං පදිනවා.."

"ඒකත් එහෙමද...?"

"ඇයි තමුසෙට අවිශ්වාසද..?"

"ඔව්.. මට විශ්වාස නෑ... තමුසෙ රේස් එක පදින්නවත් ඉතුරුවේවි කියලා.."  

"ඇයි තමුසෙ මට මොනවා කරන්නද..?"

"කරන දේ අද හෙටම පෙනෙයි.... ඒක හින්ද පණට ආසාවක් තියෙනවා නම් පැත්තකට වෙලා ඉන්නවා. තේරුණානේ..?" 

"ඔව්... හොදට තේරුණා..."

"ඒ කියන්නේ.... තමුසේ..."

"වැඩි කතා ඕන්නෑ.. අනිද්දට ෆොක්ස්හීල් වලට එනවා.. එතකොට බලාගතහැකි..."

"ඒකත් එහෙමද..?"

"උඹල වගේ කොන්ද පණ නැති හොරිකඩයොන්ගෙ කෝල් එහෙකට, මං මගේ ජීවිතේ වැඩියෙන්ම ආසා කරන දේ නවත්තයිද මිනිහෝ.. එහෙනම් ඒක විහිලුවක්.."  

"හොදයි... එහෙනම් මෙන්න මේ ටිකත් අහගනිං.. වැරදිලාවත් අනිද්දා රේස් එක උඹ පැද්දොත්, උඹේ මුළු ජීවිතේම විහිළුවක් වෙයි තේරුණාද..?"   

අවිනාශ්ගේ හිත ගිනියම් වෙද්දි ඇමතුම විසන්ධි විය. උදෑසන ආරම්භයේදීම තමාගේ සිත ඇවිස්සූ කාළකන්නියාට සාප කළ අවිනාශ්, ඇදේ අනෙක් පසට හැරුණේය.. 

                                            *****************************

ජෙහාන් බණ්ඩාරවෙල නගරයට එනවිට මදක් ප්‍රමාද වී තිබිණි. රථ වාහන අංගනයේ කැබ් රථය නවතා, ඔහු ඉහළ මාලයේ පිහිටි මැකී අවන්හල වෙත පිය නැගුවේය. මෙතන උඩු මහලට බණ්ඩාරවෙල නගරයේ වෙනස්ම පැතිකඩක් දිස්වේ. පහළින් පෙනෙන ගොඩනැගිලි සමූහය දෙසට නෙත් යොමා සිටිද්දීම ජෙහාන්ට අවිනාශ්ගේ කටහඩ ඇහුණි.

"මං දැක්කා උඹ උඩට නගිනවා..."

තද කහ පාටට හුරු බොඩි ෆිට් ටී ෂර්ට් එකකින් උඩුකය වැසී තිබූ අවිනාශ්ගේ රුව, ජෙහාන්ගේ මතකයට නැංවූයේ ජනප්‍රිය හිංදි නලුවෙකි. තද කලු පැහැති දිගු කොණ්ඩයත් නිතැතින්ම නැගෙන අපූරු මදහසක් නිසා, ඔහුට ගෙනාවේ අමුතුම ආකර්ෂනයකි. මේ තරම් නෙත් සිත් ඇද බැද තබා ගන්නා තරුණයෙකු වුවත් අවිනාශ්ට තවමත් පෙම්වතියක් නොමැති බැව් ජෙහාන් දැන සිටියේය..

අවිනාශ් උවමනාවක් වූයේ නම්, මේ බණ්ඩාරවෙල ප්‍රදේශය පුරා සිටින රුවැත්තියන් බර ගණනක් වුවත් සම්බන්ධතා ඇති කර ගැනීමට පුළුවන් බවත් ජෙහාන් තදින්ම විශ්වාස කළේය. එහෙත් ගැටලුවක් වූයේ, අවිනාශ්ගේ සිත තවමත් යුවතියක් කෙරේ ආශක්ත නොවීමය. එයට ආසන්නම හේතුව ලෙස ජෙහාන්ට පැහැදිලි කළ හැකි වූයේ මේ යතුරු පැදි තරග කෙරේ නැහෙනා නැහිල්ලයි. ඇත්ත වශයෙන්ම මේ තාක් කාලයක්ම අවිනාශ්ගේ පෙම්වතිය වූයේ, ඔහු පෙම් බැන්දේ ඔහුගේ අති නවීන යතුරු පැදියටය..

"මං ඒත් බැලුවා උඹ පරක්කු මොකද කියලා.."

විශාල භොජනාගාරය කෙලවරේම වූ මේසයකට පියවර මනිනා ගමන් ජෙහාන් කීවේය..

"කෝල් එකක් ආවා... ජෙහාන්..."

"කෝල් එකක්....?"

අවිනාශ්ගේ මුවේ ඇදී මැකි ගිය දඩබ්බර මදහස දුටු ජෙහාන්ගේ සිත මදක් පසු බෑවේය. පෙනෙනා හැටියට නම් තවත් කුමක් හෝ අනතුරක් විය හැකිය.

"ඔව්... ෆොක්ස් හීල් රේස් එක පැද්දොත් මගේ ජීවිතේම විහිලුවක් වෙයි කියලා කිව්වා.."

"විහිලුවක්....?"

ජෙහාන්ගෙ සිත පුරා පැතිර ගිය, තුනී බිය අවිනාශ් හෙමින් සීරුවේ දියකර හරින්නට පටන් ගත්තේය. ඇමතුම මගින් පැවසුව දේ, ඔහු වැඩි බරක් පතලක් නොදක්වාම ජෙහාන්ට කීවේය. තමා බියපත් වන නිසා, කොටින්ම අවිනාශ් ගැන කරදර වන නිසා, අවිනාශ් ගැටේ හංගා කඹේ ගැට ගසනා බවද ජෙහාන් දැන සිටියේය..

"අවිනාශ්....?"

"ම්..."

"උඹ ඩී.ජේ. ගෘප් එක හම්බවෙන්නැද්ද..?"

"අද හවස යනවා.."

"ඒක හොදයි... උං ළගින් ඉන්නෙක ගොඩක් හොදයි... එතකොට, ඔය කයිය ගහන මොකෙකුටවත් උඹට කිට්ටු කරන්න බෑ.."

"මාත් එහෙම හිතනවා.. ඒත් ජෙහාන්..?"

"ඇයි...?"

"මටත් දැන් දැන් හිතෙනවා.. ඩී.ජේ ගෘප් එකෙන් උදව් ගන්නෙක ඒ තරම් හොද දෙයක් නෙමෙයි කියලා.."

"ඇ... ඇයි ඒ...?"

"මං එතකොට උංට ණය කාරයෙක් වෙනවා.." 

"උඹ කියනදේ මට තේරෙන්නෙ නෑ.. උඹ ණයකාරයෙක් වෙන්නෙ කොහොමද..? අපි උංට සල්ලි දෙනවනේ.." 

"ඩී.ජේ. ගෘප් එක මගෙන් සල්ලි ගන්නෑ..."

"ඇ... ඇයි...?"

තම සගයාගේ වුමේ ඇදී ගිය සාඩම්බර මදහස නුදුටුවා සේ ජෙහාන් ඇසීය. අද දිනයේ තමාට ඇත්තේ ප්‍රශ්න ඇසීමට විතරක් වගේය.

"ඒකට හේතු හුගක් තියෙනවා..."

"හේතු...?"

මෙතුවක් කල් තමා නොදැන සිටි, අවිනාශ් සමග ඩී.ජේ. සොහොයුරන් අතර වූ සම්බන්ධය ඇතිවූ ආකාරය ගැන තොරතුරක් මේ කතාබහේදී එළියට එතැයි ජෙහාන්ගේ අපේක්ෂාව විය. 

"ඔව්.. ඒත් ඒ හේතු වලින් ඉස්සරහයින්ම ඉන්නේ දිලීකා.."

"දිලීකා.."

"ඔව්..."

"ඩි.ජේ ගෘප් එකේ එකම කෙල්ල..."

"ඔව්..."

දැන් නම් ජෙහාන්ට, කලින් අවබෝධ වූ දේවලුත් අපැහැදිලි වන්නට පටන් ගෙන ඇත. අවිනාශ්ගේ රේස් පැදිල්ලට දිලීකා සම්බන්ධ වන්නෙ කෙසේදැයි ඔහුට අඹ මල් රේනුවක තරම් දෙයක්වත් සිහියට ආවේ නැත. අනෙක අවිනාශ් යනු රුවැති ළදුන් පසුපස හඹා ඒම නම් අවිනාශ්ට අරුමයක්ද නොවේ. ඒවා බොහෝ විට සිදුවන දෑය. සැනෙකින් ජෙහාන්ගේ මුවේ ඉස්තරම්ම මදහාසයක් පිපී දිග හැරුණි.

"මොකද උඹ හිනාවෙන්නේ..?"

"ඒ කියන්නෙ දිලීකා උඹේ පස්සෙන් එනවා..."

ජෙහාන්ගේ හඩ මදක් වැඩිවන්නට ඇත. අවට මේස වල සිටි පුද්ගලයින්ද ඔවුන් දෙස හැරී බලන බැව් අවිනාශ් දුටුවේය..

"පිස්සු කියවන්නෙපා.. ඒ ළමයට එහෙම අමාරුවක් නෑ.."

"එහෙනම්....?"

මෙතුවක් කාලයකට ඩී.ජේ. ගෘප් එකටත්, තමාටත් සීමාවූ රහස අවිනාශ් හෙමින් සීරුවේ, ජෙහාන්ට මුදා හැරියේය. එක් සීතල දෙසැම්බරයක දියතලාව පයිනස් වනාන්තරයේදි තරුණයන් හතර දෙනෙකුගේ ග්‍රහණයෙන් දිලීකා බේරාගත් අන්දමත්, අනතුරුව ඇයව ඇයගේ සොහොයුරන්ට බාර දුන් අන්දමත් අවිනාශ් කියාගෙන යන්නට විය. ජෙහාන්ගේ මුව මදින් මද ඇරෙනු දුටු ඔහුට සිනා පහළ විය.   

"මයිගෝඩ්.. ඔච්චර හරියක් වෙලත්, ඇයි උඹ ඕක නිකංවත් මට කිව්වෙ නැත්තේ...?" 

"කියන්න තරම් විශේෂ දෙයක් එතන නෑ ජෙහාන්.. අනික දිලීකා කියන්නෙ කවුද කියලවත් ඒ වෙනකොට මං දැනන් හිටියෙ නෑ. ඩී.ජේ. ගෘප් එක එතකොටත් ඒ තරම් ප්‍රසිද්ධ එකක් නෙමෙයි.. එයාලා වැඩකාරයො උනාට, මිනිස්සු ඒ ගැන දැනගෙන හිටියෙ නෑ.."

"එතකොට අර කොල්ලො ටිකට මොකද උනේ...?"

අවිනාශ්ගේ යටිතොල මදක් ඇදවී යනු ජෙහාන් බලා සිටියේය. මුවින් පෙන්වූ හැඩත අනුව නම් ඒ තරුණයන්ගේ කල දසාව ඒ තරම් හොද එකක් වන්නට බැරිය..    

"උංට ඇඩ්‍රම් නෑ.."

"ඒ කිව්වේ...?"

"අදටත් උං ඉන්න තැනක් හොයාගන්න නෑ. හුගාක් වෙලාවට කොහේ හරි නන්නාදුනනා තැනක, උං කට්ටිය එක ළගින්ම භූමදානය වෙලා ඇති." 

අවටින් සිහින් සීතලක් දැනෙමින් තිබුණද, හද අභ්‍යන්තරයෙන් පැන නැගී ආ දැඩි සීතලකින් ජෙහාන්ගේ ගත වෙව්ලුවා දැමීය. තමන්ගේ ඇස් දෙක වන් එකම නැගණියට බලහත්කාරකම් කිරීමට තැත් කිරීමේ වරදට, ඔවුනට, තවදුරටත් ජීවත්වීමේ ඉඩ ප්‍රස්තාව ලබා දෙන්නේ ඇයිදැයි ඩී.ජේ. ගෘප් සොහොයුරන් සිතන්නට ඇත. තත්වය එසේ නම්, තම නැගණිය කිසිදු කරදරයකින් තොරව බේරාගත් අවිනාශ් කෙරෙහිද ඔවුන් කෙතරම් ලෙංගතු වන්නට ඇතිදැයි ජෙහාන්ගේ සිතට ඉතා අපූරුවට වැටහී තිබිණි.

"අවිනාශ්..."

"ම්.."

ඔරෙන්ජ් ජූස් වීදුරුවෙන් බාගයක් පමණ එක හුස්මට ඇද දැමූ අවිනාශ් තම මිතුරා දෙස බැලීය. සෑම විටම දක්නට ලැබෙන පරිද්දෙන් ජෙහාන්ගේ මුහුණේ වූයේ ගැටලු සහගත පෙනුමකි.

"මං අද අලුත් 'රයිඩර්' කෙනෙක්ව දැක්කා.."

"අලුත් රයිඩර් කෙනෙක්..?"

"ඔව්.. මිනිහා ප්‍රැක්ටිස් කරනවා, මං ටිකක් වෙලා බලන් හිටියා.. ගැම්ම නම් හොදයි.." 

"කොහේ කෙනෙක්ද...?"

"එච්චර ලොකු විස්තරයක් මං දන්නෑ. නිල් පාට සුසුකි බයික් එකක්. අරගෙනත් වැඩි දවසක් නෑ වගේ. කෙලින්ම රට ඉදලා ඉම්පෝට් කරපු එකක්.."
"මං දන්නැති කෙනෙක් ඔතන ඉන්න බෑ.. සමහර විට ජෙරම්ගෙ යාලුවෙක්ද දන්නෙ නෑ.."

"නෑ.. අවිනාශ්.. මේකා අලුත්ම එකෙක්.. එතන ප්‍රැක්ටිස් කරන අනිත් එවුන් නම් අපි දන්නවනේ.. මිනිහා අමුතුම ස්ටයිල් එකකට තමයි වීල් කරන්නෙත්. බලන් ඉන්නකොට ඇගත් එක්ක හිරි වැටෙනවා.." 

"කවුරු අලුතින් ආවත්, කොහොම වීල් කරත්, මේ අවිනාශ්ව පහු කරන්න මිනිහට සෑහෙන ෆයිට් එකක් දෙන්න වෙයි. ඒ දුන්නත්, ලාස්ට් රවුන්ඩ් එකේදි මං ඉස්සර වෙනවා. ඒකෙ ආයෙ කතා දෙකක් නෑ.." 

තමා ගැන උපන් ආත්මාභිමානයකින් යුක්තව, අවිනාශ් කියාගනෙ කියාගෙන ගියේය. ජෙහාන්ගේ සිතටද සියලු හැගීම් පරදා දැනුනේ දැඩි ආඩම්බරයකි. මේ වෙනතෙක්ම ෆොක්ස් හීල් ධාවන පතයේ, රිද්මයානුකූලව ඇග කිලිපොලා යන ආකාරයෙන් තරග වදින අංක එකේ ධාවකයා තම මිතුරා බැව් ජෙහාන් හොදින්ම දැන සිටියේය..

                                   *********************************

 අවිනාශ්ගෙන් වෙන්වී ජෙහාන් බිදුනු වැව බලා පිටත්විය. තව ව්‍යාපාර කටයුතු කිහිපයක් වෙනුවෙන්, සේවාදායකයින් කිහිප දෙනෙකු හමුවීමට ඔහු බලාපොරොත්තු වූයේය. එහෙත් ඔහුට වැඩිදුරක් යාමට හැකි වූයේ නැත. ව්‍යාපාර කටයුත්ත නියමිත කරගෙන තිබූ 'මලින්ද' උත්සව ශාලාවට සුළු දුරක් තිබියදී තමාගේ කාරය, මාර්ගයේ පසෙකට තල්ලු කරමින්, ඩබල් කැබ් රථයක් ඉදිරියෙන් නවතිනු ඔහු දුටුවේය. සිදුවන්නට යන්නේ කුමක්දැයි ජෙහාන්ට සිතා ගැනීමට පුළුවන්කමක් තිබුණේ නැත. තමාගේ දක්ෂකම නිසා නොවන්නට, ඩබල් කැඩ් රථය තම කාරයේ ගැටෙන බවට ජෙහාන්ට විශ්වාසය, මුළුමනින්ම අදුරු පැහැති වීදුරුවලින් පරිපූර්ණ වූ බඩල් කැබ් රියෙන් කිසිවෙකුත් එලියට බැස්සේ නැත. කැබ් රථයට තිබුණේ ද CC අංකයකි.

කුමක් කළ යුතුදැයි සිතා ගත නොහැකිව, ඉදිරිපස බලා සිටිනා විට ජෙහාන්ගේ දුරකථනය හැඩවෙන්නට විය. තිරය මත තිබුනේ ඔහුට හුරු පුරුදු අංකයක් නොවේ..

"මේ ජෙහාන් වෙන්න ඇති...."

"ඔව්... ක.. කවුද ඔය කතා කරන්නේ..?"

"මම කවුද කියලා තමුසෙට වැදගත් වෙන්නෑ.. ඒත් මං කියන්න යනදේ තමුසෙට වැදගත් වෙයි.." 

බරසාරයෙන් යුතුව ඇසුණු කටහඩ ජෙහාන්ගේ තොලකට මදක් වේලවන්නට සමත් විය..

"ඒකට කලින් මට කරුණාකරලා කියනවද කවුද මේ කතා කරන්නෙ කියලා.. මොකද මං මේ හදිසි මීට්න් එකකට යන ගමන්.."  

කැබ් රථයෙන් කිසිවෙකුත් නොබසින බව, කතා බහ කරගෙන යද්දිම ජෙහාන් නිරීක්ෂනය කළේය. තමාගේ අද දවස නම් ඒ තරම් යහපත් එකක් නොවන බවට මං සලකුණු දැනටමත් ලැබී ඇත. පැත්තකින් මේ දුරකථන ඇමතුමය. ඉදිරියෙන් වෙට්ටුවක් දමා මග හරස් කර ඇති කැබ් රථයය.

"මීට්න් එක මලින්දි එකේ තියෙනවා කියල මං දන්නවා.. ඒත් තමුසෙට එතෙන්ට යන්න පුළුවන් වෙන්නේ, මං තමුසෙව මෙතනින් යැව්වොත් විතරයි. තේරුණාද..? ඒක හන්ද වැඩිය උඩ පනින්නෙපා.. මොකද මං ඉන්නේ තමුසෙට අඩි තුන හතරක් ඉස්සරහ ඩබල් කැබ් එකේ. මං නිකමට හරි රිවස් කළොත්, තමුසෙ අඩි ගානක් පල්ලමේ ඉදියි.. තේරුණාද..?"

කොදු නාරටිය හරහා විදුලියක් ඇදී ගියාක් බදු ශිතලක් දැනෙද්දී ජෙහාන්ට සැමදේම පැහැදිලි වන්නට විය. එහෙනම් කැබ් එක හරස් කරලා නැවැත්තුවෙ මේකයි.. ඒත් මෙතන කුමක් හෝ වැරදීමක් සිදුවී ඇති බව නම් පැහැදිලිය. කෙසේ වුවත් මේ කතා කරන පුද්ගලයා තමා ගැන සියලුම දෙය දනියි.. සමහරවිට මෙය ව්‍යාපාරික ප්‍රශ්නයක් විය හැකිය. ඕව්.. සිතන්නට හැකි නිවැරදිම දෙය එය බැව් ජෙහාන්ට සිතිණි. එහෙත් ජෙහාන්ට මුල සිටම සෑම දෙයම වැරදී තිබිණි.

"උඹ අවිනාශ්ගෙ ළගම යාලුවා කියලා අපි දන්නවා.. දැන් ටිකකට කලින් උඹලා දෙන්නා මැකී එක ඇතුලෙ හිටියා..."

"උ.. උඹලට මොනවද ඕන...?"
සිතට කලින් දැනුණාට වඩා වැඩි නොසන්සුන්කමක් ජෙහාන් පීඩා වින්දේය. තමා ගැන ගැටලුවක් නම් කමක් නැත. වඩා බරපතල වන්නේ මෙයට අවිනාශ් ගෑවී හිදීමයි..

"අපිට ඕන එක දෙයයි.. රේස් එකෙන් අවිනාශ්ට අයින් වෙන්න කියපං.. එච්චරයි.. එහෙම උනේ නැත්නම් මේකෙ ප්‍රතිලාභෙ උඹටත් ගෙවන්න වෙයි.."

එම කටහඩේ තිබූ තර්ජනාත්මක බව ජෙහාන්ගේ සිත බියෙන් සලිත කර දැම්මේය. තමා දැන් කුමක් කළ යුතුද..? මේ ගැන අවිනාශ්ට කීවත් පලක් නොවනු ඇත. ඔහු මුරණ්ඩු සිනාවක් පාමින් මේ තර්ජනය සත පහකටවත් ගණන් නොගත යුතු එකක යැයි කියනු ඇත. මින් පෙර ඔහුට ලැබී තිබුණු මෙවැනි ඇමතුම් දෙකක් හෝ තැනක් ගැන ඔහු කතා බහ කළේ ඉතා සැහැල්ලුව පිටින්ම ඩී.ජේ. ගෘප් එකත් ඔහු ළංකර ගත්තයෙ. අවිනාශ්ගේ ඒ තීරණය කොතරම් බුද්ධිමත් එකක් දැයි ජෙහාන්ට හරි හැටි වැටහී ගියෙ දැන්ය.  

"ම... මං අවිනාශ්ට කියන්නම්.."

"කිව්වට මදි... මිනිහව රේස් එකෙන් අයින් කරනවා.. නැත්නම් තමුසෙට තමුසෙගෙ හොදම යාළුවා නැත්තටම නැතිවෙයි.. තේරුණාද..?"    

 එය නිකං පුහු තර්ජයක් නොවන බව ජෙහාන්ට වහා  වැටහිණි. සමහර විට මේ තරගයට සහභාගී වන යම් කිසිවෙකු ජයග්‍රහණය කරවීමට මේ කතා කරන පුද්ගලයාගේ අපේක්ෂාව විය හැකිය. එහෙත් අවිනාශ් නම් කියා සිටියේ මෙය බුකීකරුවන් හා පාතාල සාමාජිකයින් අතර ගණුදෙනුවක් බවය. තමා එයට මැදිවීම එක්තරා ආකාරයට විකාරයක් ලෙස අවිනාශ් දකියි. එහෙත් විකාරයක් මැද්දෙන් වුවත් ඔහුගේ ජීවිතය අවදානම් සහගත ඉසව්වකට පියඹා යන බැව් ඔහු නොසිතන්නේ ඇයි..? තවත් මේ ගැන සිතා කරදර කරගත යුතුව නැත. හැකි තරම් ඉක්මනින් නැවතත් අවිනාශ් හමුවිය යුතු යැයි ජෙහාන් සිතුවේය. ඔහු වහ වහා අවිනාශ්ගේ ජංගම දුරකථනයට ඇමතුම් කීපයක් ගත් නමුදු එය ක්‍රියා විරහිත කර දමා තිබුණි. කල යුත්තේ කුමක්දැයි දහස් වරේ කල්පනා කරමින්, බිදුනු වැව බලා රිය පැදවිය.

                                  *********************************

සුවිසාල ගේට්ටුව ළග සිට නිවසේ ආලින්දය තෙක්ම වවා තිබූ තණකොල බිස්සේ හෙමින් සීරුවේ ඇවිදිමින් දිලීකා සිටියේ කල්පනා ලොවක සැරිසරමින්ය. අද නිවෙසට විශේෂ අමුත්තෙකු පැමිණෙන බවත්, ඔහුට කිසිදු අඩුපාඩුවක් නොවන ආකාරයට සැලකිය යුතු බවත්, ලොකු අයියා කුස්සි ආම්මාට උදෑසනම උපදෙස් දෙනු දිලීකාට ඇසී තිබුණි.

සාමාන්‍යයෙන් මෙම නිවසේ දොර, දිලීකාට මතක ඇති කාලෙකින් කිසිදු පිරිමියෙකුට විවෘත වී තිබුණේ නැත. අයියාලා හතර දෙනාගේම මිතුරන්, ඔවුන්ව හමුවූයේ නිවසින් පිටතදීය. තම සොයුරන් ඒ සෑම දෙයක්ම සිදු කළේ තමාගේ ආරක්ෂාව උදෙසා බැව් දිලීකා දැන සිටියාය. දැනට මාස ගණනකට ඉහතදී තමාව පැහැරගෙන යාමෙන් පසු ඔවුන්ගේ ආරක්ෂා පියවරවල් ඉතා දැඩි ඒවා බවට පත්වූ බවද දිලීකා දැන සිටියාය. එහෙත් ඒ සෑම දෙයම යටපත් කරමින් මේ හදිසියේ පැමිණෙන අමුත්තා කවුද..? ඔහුගේ විශේෂිතකම මේ නිවසේ විවෘත වීමෙන්ම දිලීකාට පෙනෙයි. වෙන කිසිවෙකුටත් නොතිබූ උවමනාවකින් කැපවීමකින්, තම නිවස සූදානම් කරවීමේ අරුමය දිලීකාගේ  සිත නොසන්සුන් කරවීමට සමත් වූවාය.

අමුත්තාගේ නම නොකියා වුණිද, සොයුරන් සතර දෙනා ඔහු ගැන වන කතාබහේදී ඉතා ගෞරවයෙන්, ලැදිකමකින් කතාබහ කළ අයුරු ඇයට ඇසී තිබිණි. අමුත්තාගෙ නම දැන ගැනීමට ඇය කිහිප වතාවක්ම සොයුරන්ගේ කතාබහට හොරෙන්ම ඇහුම්කන් දුන්නත් එයින් කිසිදු ඵලක් නොවීය. සිතට හැබැහින්ම නොසන්සුන් කමක් එක්කල මේ අමුත්තා තවමත් නොපැමිණියේ මන්දැයි ඇයට දහ දොළොස් වතාවක්ම සිතී තිබිණි.

"පුංචි නෝනා... කවුරු හරි ඇවිල්ලා වගේ නේද...?"

වත්තෙ වැඩට සිටි දෙමළ සේවකයාගේ  හඩින් දිලීකාගේ සිතුවිලි දැහැන බිදිණි. තම සිත නොසන්සුන් කළ මොහොත, මෙවර නම් සැබෑවටම ඉදිරියට පැමිණ ඇත..

"මං ස්විච් එක දාන්නද පුංචි නෝනා...?"

දෙමළ සේවකයාගේ හඩින් නිවස තුළ සිටි සොයුරන් සිව්දෙනාද ඇය ළගට ආහ..

"ඉක්මනට ඇරපං.. ඒ මහත්තයව තත්පරයක්වත් ගේට්ටුව ළග පරක්කු කරන්න බෑ.." 

ඇසූ පැයට පිළිතුරු මෙන්ම විධානයද දුන්නේ ලොකු අයියාය. ඇසිල්ලකින් ස්වයංක්‍රීයව ගේට්ටුව ඉහළට එසවෙද්දී එතුළින් ගෙවත්තට පැමිණියේ අති නවීන යතුරු පැදියකි. මුළු මුහුණම ආවරණය වනසේ පැළද සිටි හෙල්මටය නිසා, පැමිණි අමුත්තාගේ මුහුණ ඒ වනවිටත් දිලීකාට දැක ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. කෙසේ වුවත් පැමිණි අමුත්තා ජේත්තුකාරයෙක් බැව් ඔහු පැළද සිටි ඇදුම් පැළදුම් වලින් මනාව පෙනිණී..

"අපේ පුංචි පැල්පතට බොහොම සාදරයෙන් පිළිගන්නවා.."

පොඩි අයියගේ වදන් පසෙකින් ඇසුනද දිලීකාගේ දෑස එල්ල වී තිබුණේ යතුරු පැදියෙන්, සුවිශේෂ වූ ආකාරයෙන් බැසි තරුණ අමුත්තා දෙසටය. ඔහු අනෙක් යතුරු පැදිකරුවන් මෙන්, තම දකුණු පාදය යතුරු පැදිය පිටුපසින් ගත්තේ නැත. ඒ වෙනුවට ඉතා සොදුරු ඉරියව්වකින් ඔහු තම දකුණු පාදය බිමට ගත්තේ යතුරු පැදියේ හැඩලය උඩිනි.

'මෙයා නම් බයික් එකත් එක්කම ඉපදිච්ච කෙනෙක් වගෙයි' දිලීකාට අවසානයටම සිතුණේ එසේය. අනතුරුව එළඹී තත්පරයේදි හිස් ආවරණය ඉවත් වූ විට, දුටු රුවින් දිලීකාගේ සොදුරු ආත්මයෙහි මල් දහසක් විකසිත විණි. මේ අවස්ථාව උදා වනතෙක් තමා කොතරම් කාලයක් බලා සිටියේද..? ජීවිතය, ජීවිත ආශාව අඩුම ලංසුවකට වැටී තිබුණු අවස්ථාවක, දේව දූතයෙක් මෙන් පැමිණි ඔහු තමා බේරා නොගත්තා නම්, අද තමාගේ ජීවිතය කොයි අතකට යාමට තිබුණේද..? එහෙත්.. එදායින් පසුව මේ ජේත්තුකාරයාගේ ප්‍රිය මනාප රූපය දිලීකාට දැක ගන්නට නොහැකිවූයේ සොයුරන්ගේ ආරක්ෂකට විධි ක්‍රමය තවත් සංකීර්ණ වූ හෙයිනි. ඒ ගැන ඇයගේ සිතේ පිරී තිබුනේ නොපෙනුන නොරිස්සුම් කමකිනි.

"ඔයා කිව්වෙ මේක පැල්පතක් කියලද..?"

සොයුරන් සමග අතට අතදී ආචාර කරනා ගමන් ඔහු ඇසුවේ පොඩි අයියාගෙනි..

"ඔයාගෙ ගෙදරත් එක්ක බලපුවාහම මේක ඒ වගේ තමයි.."

පොඩි අයියා ඒ කිව්වේ අවිනාශ්ගේ නිවස තමන්ගේ තෙමහල් නිවසටත් වඩා විශාල බවද..?

"ඉතිං... කොහොමද...?"

 අයියලාගෙන් පසුව ඒ තරු දෙනෙත තමා වෙතට යොමු වෙද්දි දිලීකාගේ වත රත් පැහැයට හැරුණි. තමාගෙන් කිසියම් වචනයක් බලාපොරොත්තුවෙන් ඔහු  සිටිනා බවක් ඇයට හැගුණු නිසා ඉතා සුන්දර වූ මදහසක් ඈ ඔවු වෙත පෑවේය.

"ආ... ඩිල්ෂාන්.. එදා වගේම අදත්, කෙල්ලගෙ කටේ පිට්ටු හිරවෙලා වගේනේ.. එදත් මෙහෙම තමයි..." 

 ඔහු තමාගේ නිවසට ආවේත් අදමය... එහෙත්... කිසිදු සබකෝලයකින් තොරව තමාගේ තැනක මෙන් හැසිරෙන අපූරුව. සොයුරන්ගේ මුහුණු සිනාවෙන් පිරීයද්දී ඇගේ වමත ගුලි වූයේ ඔහුට පහරක් ගසන්නටය. එය මුලින්ම දුටුවේ දිල්ෂාන්ය..

"අපිට දෙපාරක් තුන්පාරක් දවසට අනිනවා වගේ, අවිනාශ්ට තලන්න නම් දෙන්න බෑ පැටියෝ.. ඔන්න අවිනාශ්.. ඩිංගක් බේරිලා ඉන්න.. නැත්නම් කොයි වෙලාවෙ හරි, හෙමීට හරි පාරක් වදියි.."

"ඔයා නම් හරි නරකයි ලොකු අයියේ. එයා ආවෙත් අදමයි.. ඔයා මාව එයා ඉස්සරහා සවුත්තු කරනවා.."

"ඉතිං.... ප්‍රශ්නෙ මොකක්ද පැටියෝ.." 

චූටි අයියා ඇසූ ප්‍රශ්නයට දෙන්නට තරම් හොද පිළිතුරක් තමා සතුව නොමැති බව දිලීකාට හැගී ගියාය. ඇගේ වත තව තවත් රත් පැහැයට හැරුණි. පුංචි ළැදැරියක සේ තමාට තවමත් කරනා මේ සැලකීම දිලීකා ඉවසා සිටියෙ අපහාසුවෙනි. වෙනත් වේලාවක නම් කමක් නැත. පුරුදු පරිද්දටම මේ වෙලාවටම ඇයි...? තමාට අවශ්‍ය අවිනාශ් තමා යුවතියක බව පෙන්වීමටද..? ඒ කිසිදු පැනයකට ඇයගේ සිතට පිලිතුරු ගලා ආවේ නැත. ඉතා සැහැල්ලුවෙන් මෙන්ම ඉතා සුන්දර ඉරියව්වකින් සොයුරන් අතරේ රැදී සිටින අවිනාශ් දෙසට නැවතත් ඇගෙ දෙනෙත් යොමුවිය. එතුවක් වේලා ඇය දෙස බලා සිටි ඔහු වහා ඉවත බලා ගත්තේය.

"අපි ගේ ඇතුළට යමු නේද...?"

"නෑ ලොකූ... අපි මෙයාව ඔෆිස් රූම් එකට එක්කං යමු...."

"එතන කතා කරන දේවල් නංගිට ඇහෙනවා..."

"එහෙනම් වත්තෙ පල්ලෙහාට යමු.."

"එතන බෑ.. එතන ඕපන්.."

දිලීකා දෙස බලමින් සොයුරන් හතර දෙනා කුටු කුටු ගානු අවිනාශ් අසා සිටියේය..

"නංගි ඉස්සරහා කතා කරන එක ඔයාලට ප්‍රශ්නයක්ද..?"

තවදුරටත් ඉවසා සිටිය නොහැකි තැන අවිනාශ් ඇසුවේය. ඒ පැනයට ඩිල්ෂාන්ගේ මුවේ මද සිනාවක් ඇදිණි..

"නෑ.. එහෙම දෙයක් නෑ.. එන්න අපි ඔෆිස් රූම් එකට යමු..."

"නංගි පැටියෝ.. ඔයා කුස්සි අම්මට කියන්න අපිට බොන්න මොනවා හරි ගේන්න කියලා.." 

දිලීකා තවදුරටත් එතැනට අවශ්‍ය නොවන බව ඇයගේ සිත නොරිදාම, සොයුරන්ගේ බාලයා පවසනු ඇයුරු දැක අවිනාශ්ගේ මුවේ මද සිනහවක් ඇදිණි.

"ඉතිං.. ඔන්න දැන් හැමදේම විවෘතයි.. කිසිම බාධකයක් නෑ.."

ඔෆිස් කාමරයට සියලු දෙනාම ඇතුල් වූ පසු, දොරෙහි අගුල දැමූ තැන්වැනියා පැවසීය. දිලීකා දැකීමෙන් හදවත තුලින් මතුවූ සොදුරු රිද්මය, හෙමින් සීරුවේ පසෙකින් තබමින්, අවිනාශ් මේතාක් සිදුවී ඇති දෑ විස්තර කරන්නට විය. හුම් ශබ්දයක් හෝ නොනගානම, ඩී.ජේ. සොයුරන් අවිනාශ් වෙත තම අනුකම්පා විරහිත මුහුණු එල්ලය කරගෙන සිටියහ. මෙතුවක් වේවා ඉතා ලෙංගතුකමින් තමනට මද සිනා පෑ සොයුරන්ගේ මුහුණු, තමාගේ කතාන්දරයත් සමග මුළුමනින්ම වෙනස් වී ගිය හැටි අවිනාශ් බලා සිටියේ පුදුමයනි. ඔවුන් මේ වෙනස්වන තත්වයට මුහුණ දෙන අයුරු හරිම අපූරුය.

"හැමදේම පැහැදිලියි.. හොදට පැහැදිලියි.. දැන් ඔයා අපිට එකක් කියන්න ඕන.."

මෙතුවක් වේලා සරලව, සුමටව ගලා ගිය කතාබහ කෙමෙන් කෙමෙන් දැඩි ආක්‍රමණශීලී තත්වයට පත්ව ගොස් තිබිණි. ඩිල්ෂාන්ගේ තිබුණු බැල්ම, අවිනාශ්ගේ මුළු වත පුරාම විහිදී ගිය අතර, අවිනාශ් කිසිදු හැගීමක් තම මුහුණින් නොපෙන්වා සිටීමට තැත් කළේය.

"ඔයාගෙ ආරක්ෂාව ගැන අපිට බලාගන්න පුළුවන්. ඒක ඔයා කිව්වත් නැතත් අපි කරනවා. ඒත් මේ දේ මේ විදියටම කරන්න ඕන කියලා ඔයාට අදහසක් තියෙනවද..? එහෙම නම්, අපි කැමතියි ඔයා කියන විදියට ක්‍රියාත්මක වෙන්න.. එහෙමත් නැතිනම් පුරුදු විදයටම අපි අපේ ක්‍රමයට වැඩේ කරන්නද..?" 

කාමර තුළ තත්පරයක, දෙකක, තුනක කාලයක් නිහැඩියාව රජ කරමින් තිබිණි. ඒ අතරතුරේදී ඩී.ජේ. ගෘප් හී තුන්වෙනියා කතා කිරීමට උත්සාහ දැරූ අතර ඩිල්ෂාන්ගෙන් ඉගියකින්, ඔහු නැවතත් සිටි ඉරියව්වටම බරවිය. තමාට අද කතා කරන්නට නොලැබෙන පාටය. තුන්වෙනියා සිතුවේ එසේය..

"ඔයාලගෙ ක්‍රමයට වැඩේ කරන එක හොදයි..."

අවිනාශ්ගේ මුවින් පිටවූ  වදන් දැඩි ස්ථීරත්වයකින් යුක්ත විය. එය ඩී.ජේ. සොයුරන්ට තමා වෙනුවෙන්, ඕනෑම දෙයක් කිරීමට බලය  පැවරුවාක් මෙනි. එහි හොද නරක සියල්ලටම මුහුණ දීමේ දැඩි ආත්ම ශක්තිය අවිනාශ් සතු විය.

"තැන්ක් යූ... අපිත් කැමති ඒ විදියටම තමයි.."

"හැබැයි මෙහෙම දෙයක් තියෙනවා..."  

"ඒ මොකක්ද...?"

"රේස් එක ඉවර වෙනකන් උං කවුරු උනත් මට ඇටෑක් කරන එකක් නෑ"

ඩී.ජේ සොයුරන් වෙතින් විස්මය මුසු රාවයන් දෙක තුනක්ම පිටවිය.

"මොකද උංට, උංගෙ ගේම් එක ස්ටාර්ට් කරන්න වෙන්නෙ මං දිනුවහමනේ.."

"නෑ අවිනාශ්.. උංට ඊට වැඩිය ලේසියි ෆස්ට් රවුන්ඩ් එකෙන්ම ඔයාව අයින් කරන එක.. එතකොට එන්ඩ් එක වෙනකන් බලන් ඉන්න ඕනෙ නෑ නේ.."

"අනික ඔයා රේස් එකට සහභාගි වෙනවා කියන්නේ අනිවා වින් කරනවා කියන එකයි.. ඒක උං නොදැන ඉන්න විදියක් නෑ.."

"ඒක හරි ඩිල්ෂාන්.. ඒත් උං මට කිව්වෙ රේස් එක පදින් ගමන් පරදින්න කියලා. ඒ  හන්දා අන්තිම තත්පරේ වෙනකන් උංට දෙගිඩියාවෙන් ඉන්න වෙන්නේ.."

"ඒකත් එහෙමද..? කොහොම උනත් මේ තර්ජනයට අපි මුහුණ දෙනවා. ඒකෙ කිසිම ගැටලුවක් නෑ. ඒත් ඔයා මට කියන්න.. මේක ඔරිජිනල් ඈට් එකක් කියලා ඔයාට ෂුවර් නේද..?"

"ඒ කිව්වේ...?"

ඩී.ජේ සොයුරන්ගේ බාලයා නැවතත් ඔරිජිනල් කතාවක් ඇදගෙන, සභාවේ අවධානය දිනා ගත්තේය. තමා එයට ප්‍රශ්නයක් නැගුවද, ඇසූ පැනයේ වැදගත්කම ඔහුට තේරුණි. එහෙත්.. ප්‍රශ්නය ඇසූ පුද්ගලයාම එය පහදාදෙන තුරු ඔහු නොයිවසිල්ලෙන් බලා සිටියේය..

"නිකං..... විහිලුවක් වගේ දෙයක්... මෙතන තියෙන්න විදියක් නෑ නේද..?" 

"නෑ.. කොහෙත්ම නෑ.. මේ ඇත්තම ඇටෑක් එකක්.. කොහොමටත්, මේකෙ තේරුම මොකක්ද කියලත් මට අන්තිමට දැනගන්න පුලුවන් නම් මං හුගාක් කැමතියි..."    

"රේස් එක ඉවරවෙනකොට ඒ හැමදෙයක්ම එළියට එයි.."

"ඔයා ඒ ගැන හිතන්න එපා.. අපි ඒ හැමදෙයක්ම බලාගන්නම්.. ඔයා රේස් එක දිනන්නකෝ.."   

සියලු දෙයම පැහැදිලි එකගතාවයකට පත්වෙද්දී කතාබහේ අවසානය බෙහෙවින් හෘදයාංගම සුලු එකක් බවට පත්විය. ඕනෑම ජීවි අජීවි වස්තුවක් තමා වෙතට ආකර්ෂනය කර ගැනීමේ ඇති අපූර්ව හැකියාවෙන් අවිනාශ් ඒ වනවිටත් උපරිම ඵල නෙලාගෙන තිබිණි. ඩී.ජේ. යොසුරන් හතර දෙනාම සිටියේ අවිනාශ් පිළිබද සෑහනෙ තරමේ පැහැදීමකිනි.

"ලොකු අයියා...."

සියලු කතාබහ හමාර වී ගෙවී ගිය පළමු නිහැඩියාවේදීම වසා දමා තිබූ දොර ළගින් දිලීකාගේ කටහඩ ගලා ආවේය. ඩී.ජේ. සොයුරන්ගේ මුහුණු එකිනෙකා වෙත යොමු වෙද්දි අවිනාශ්ගේ අවධානය දොර දෙසට ඇදී ගියේය.

"ඔයාලා  හැමෝටම පුංචි සංග්‍රහයක් තියෙනවා..."

ඩිල්ෂාන් ඇතුළු සියල්ලෝම කාමරයෙන් එළියට එද්දී, අවිනාශ් ආවේ අන්තිමටය. ඔහුගේ රුව දකිනාතුරුම දිලීකාගේ දෙනෙත කාමරය දෙසට යොමු වී තිබුණි. අවසානයේ තම සිත කුමක්දෝ නොදන්නා සොදුරු හැගීමකින් පුරවා දැමූ ජේත්තුකාරයාව නෙත සිත පුරා හොද හැටි බලා ගැනිමෙන් පසුව දිලීකා තම ලය සැහැල්ලු කරගත්තාය.

තේ පැන් සංග්‍රහයේදී දිලීකාගේ සොයුරන් විවිධ දේ කතාබස් කළද අවිනාශ් සිටියේ නිහඩවය. කිසි කලෙක නොවූ විලසට ඔහුගේ සිත කැළඹි තිබිණි. එයට හේතු සොයන්නට ඔහු ඉක්මන් නොවිය. මන්ද ඒ සෑම හේතුවකටම වස්තු බීජය ඔහු ඉදිරියේ තිබූ බැවිණි.   

"අවිනාශ්.."

"ම්..."

සිත ළගම දග දැමූ දිලීකාගේ රුවැති මුහුණින් තම දෙනෙත ඉවතට ගත් අවිනාශ්, ඩී.ජේ ගෘප් හී වැඩිමලා වෙතට හැරිණි.

"නංගිට ටිකක් ඔයත්තෙක්ක කතා කරන්න ඕනෙලු.."

අවිනාශ් වහා හැරී දිලීකා දෙස බැලුවාය. අහිංසක ගැහැනු රුවක කෝමල රේඛා, ලැජ්ජාවෙන් මද රත් පැහැයට හැරෙනු ඔහුට පෙනිණි.

"ඒත් ඔයා කැමති නම් විතරයි..."

"මං අකමැති වෙන්නෙ ඇයි ඩිල්ෂාන්...?"

ඩී.ජේ. සොයුරන් නිවස තුළ සිටියදී අවිනාශ් දිලීකා සමග තෙමහල් නිවසේ ඉදිරිපසට පැමිණි අතර, මිදුලේ තණකොල කපමින් සිටි දෙමළ සේවකයා නිවස පිටුපසට ඇදුණේය..

"ඉතිං... ඔන්න දැන් ඕන දෙයක් කියන්න පුළුවන්..."

"ඇත්තටම මට කියන්න දෙයක් නෑ..."

"එහෙනම් අයියලාවත් අතන තියලා මාවත් ඇදගෙන මිදුලට ආවේ...?" 

"නිකං... ඔයත්තෙක්ක තනියෙම ඉන්න හිතුනා..."

"ම්.. ඒක නම් ඒ තරම් හොද දෙයක් නෙමෙයි..."

"ඇ... ඇයි...?"

තමා දෙසට යොමු වී ඇති මේ සොදුරු දෑස, මේ තරම් දිලිසෙන්නේ මන්දැයි අවිනාශ් කැළඹිල්ලට පත්ව සිටියේය. සෑම තරුණියකගේම ඇස් මේ වගේද..?

"ඒක නිකං... මේ.. මේ.. මේ....."

"මේ.. මේ.. මොකක්ද...?"

"කිව්වට කමක් නැද්ද..?"

"කමක් නෑ.. කියන්නකෝ.."

"ඒක ලෙඩක්ලු... හොද කරන්න බැරි..."

"නරකයා... ඉන්න මම හොද වැඩක් කරන්න..."

දිලීකාගේ මිට මෙලවූ අත, යාන්තමින් අවිනාශ්ගේ ඉණ පෙදෙස ස්පර්ශ කළේය. ඇගේ ඉරියව් වල තිබූ ජීවි බව, දගකාරකම, අවිනාශ්ගේ සිත මුළුමනින්ම පැහැර ගත්තේය..

"එහෙනම් ඩිල්ෂාන් කියපු දේ හරි..."

"මොනවද...?"

"කොයි වෙලාවක හරි අනියි.. පරිස්සම් වෙන්න කියලා."

දිලීකාගේ වතේ මද සිනාවක් රැදී තිබිණි. අවිනාශ් සමග ගෙවමින් පවතින් මේ ඩිංග කාලය තම සිතට කර ඇත්තේ කුමක්දැයි ඇය ඇත්තටම නොදැන සිටියාය. සිත කුමක්දෝ නුහුරු නුපුරුදු සොදුරු ඉසව්වකට පාව යමින් තිබෙනා වබ පමණක් ඇය දැන සිටියාය. තාමත්, අවිනාශුත් පමණක් ඉතිරිව තබා මුළු ලෝකයම ඈත්ව යනවා නම්..?

"ආ..නේ.. ඉතිං.. ඔයාට රිදුනෙ නෑ නේ.."

"ඒ කියන්නෙ ඔයා හිමීටද ගැහුවේ...?"

"ඔව්..."

"එහෙනම් කමක් නෑ.. ඒක නෙමේ.. කෝ අර පිට්ටු ටික..?"

"මොන පිට්ටුද...?"

"මං දන්නවා.. ඔයා අපි හැමෝටම හොරෙන් ඒක කාලා දැම්මා නේද...?" 

ඇස්වලින් මෙන්ව මුළු මුහුණින්ම සිනා නගන මේ ජේත්තුකාරයාගේ වදන් ඇයට අපැහැදිලි විය. ඔහු කියන්නේ කුමක්ද..? පිට්ටු කතාවක් මෙතෙන්ට හදිසියේම ඇදී ආවේ කෙසේද..? ඇයට කිසිවක් සිතා ගැනීමට හැකිවූයේ නැත..    

"ඔයා කිව්ව දේ මට තේරුන් නෑ.."

"බබෙක්ම තමයි..."

"ඇත්තටම මං ඔයාට හයියෙන්ම ගහනවා මේ පාර නම්.. මම බබෙක් නෙමෙයි.. ලොකු ළමයෙක්.." 

"හරි.. හරි.. ලොකු ළමයා.. කෝ දැන් පිට්ටු...?"

"ආයෙත් පිට්ටු කතාව..? අනේ මට තේරෙන්නෑ..."

"තේරෙන් නැත්නම් කමක් නෑ.. අපි ඒක අතෑරලා දාමු.."

"බෑ.. බෑ.. බෑ.. කියන්න.. මොනවටද එහෙම කිව්වෙ කියලා..?"

ළදැරියක සේ තමා අසල දගකරන මේ රුවැත්තිය දෙස අවිනාශ් බලාසිටියේ ආශාවෙනි. සොදුරු වතෙහි දිදුලන සෑම කෝමල රේඛාවක්ම ඔහුගේ දෙනෙතේ පටලැවී මුළු ආත්මයටම ආලවන්තකම් පාන්නට සැරසී ගත්තේය...

"කිව්වොත් මට මොනවද දෙන්නේ..?"

"ම්.. මම කල්පනා කරලා කියන්නම්.. ඊට කලින් කියන්න මේ පිට්ටු කතාව මොකක්ද කියලා.. තව ටිකකින් අයියලත් මෙතනට එයි.."

දිලීකාගේ කටහඩෙහි වූ නොඉවසිලිමත් බව අවිනාශ් වහා වටහා ගත්තේය. ඇගේ සොයුරන් ඉදිරියේ, තමාටත් ඇයටත් මේසේ දොඩමලු වන්නට බැරිවෙනු ඇත. ඇය නොකියා කියන්නෙ එයය..

"මං අද මෙහේ එනකොට..."

"ඔව්.. ඔයා එනකොට..."

"ඔය ලොකු ළමයගෙ කටේ පිට්ටු හිරවෙලා තිබුණා.."
    
"අනේ.........."

ඔවුන් දෙදෙනාටම සිනා පහළ වූයේ එකවරය.. ඒ සිනා හඩ මුළු වත්ත පුරාම නිදහසේ පැතිරිණි..

"කලින් කියාපුවා මතක තියාගෙන ඉදලා ආයෙ කියනවා නේද.?"

"හ්ම්...  හ්ම්..."

"ඔයා දැන්ම යන්නෑ නේද...?"

"ඇ.. ඇයි...?"

"මං අහපු දේට උත්තර දෙන්නකෝ.."

"ම්.. ඇත්තම කිව්වොත් මං දැන් යන්න ඕන.. මොකද තව කරගන්න මට වැඩ ගොඩාක් තියෙනවා.."  

"එහෙනම් කමක් නෑ.. හැමදේම පරිස්සමින් කරගන්න.."

 "එහෙනම් මං යන්නද...?"

"ඊට කලින් ඔයාට විෂ් කරන්න ඕන..."

"මොනවටද..?"

"රේස් එකේ චැම්පියන් වෙන්න කියලා..."

"කැන්ක් යූ වෙරි මච්.."

"ඔන්න මේ පාර ඔයා දිහා මමත් බලන් ඉන්නවා.. හොදට රයිඩ් කරන්න..."

දිලීකා මමත් යන්න මදක් බරකොට කී බැවි අවිනාශ්ට වැටහිණි. ඔහු සැනෙකින් ඇගේ මුහුණට දෑස් යොමු කළේ එහි අරමුණ තෝරා බේරා ගන්නටය..

"මමත් කියලා කිව්වේ...?"

"කලින් පාරවල්වල ඔයා දිහා බලන් ඉදපු ගෑනු ළමයි ගොඩට මාත් එකතුවෙනවා කියලයි කිව්වේ.. හැබැයි ඉතිං තව ටික දවසකින් එයාලට සොරි කියල තමයි කියන්න වෙන්නේ.."

"ඒ ඇයි...?"

"අපි ඒක එයාලටම කියලම ඒ ගැන කතා කරමුකෝ.. හොදේ.."

ඇය පැවසූ දේ සිතට කුතුහලයක් මුසු සතුටක් ළගා කළද අවිනාශ් ඒ පසුපස එලවන්නට තැත් නොකළේය. එයට වඩා මේ උදාවී ඇති අවස්ථාව කොතරම් අපූරුද..? මෙතැන ඉන්නට ඉඩ ලැබෙන අන්තිම තත්පරය දක්වාම හිද ඒ මිහිරියාව විදගත යුතුය..

"මොකද අවිනාශ් කෙල්ල කියන්නේ...?"

දිලීකා පැවසූ දේ වඩාත් නිවැරදි විය. ඩිල්ෂාන් ඔවුන් දෙසට එමින් සිටියි..

"ඔයාලා හරියට කරදර කරනවලු.."

"හප්පේ.. මෙයාව තියන්න වටින්නෑ.. තව.. තව...?"

"පණ යනකන් නීති දානවලු.. ගෙයින් එළියට බහින්න දෙන්නෑලු..." 

"ඔය ඩිංගට  ඔය ඔක්කොම කිව්වද...?"

අවිනාශ් සිනා මුසු මුහුණින් ඩිල්ෂාන්ට කියාගෙන යයි. ඔහුගේ කටට මේවා කොහෙන් එනවා ඇතිද..? අති විශාල වූ ප්‍රීතියක් පුරවා ගත් හදින් දිලීකා එදෙස බලා සිටියාය..

"කිව්වා නේන්නම්.. ඇග මහත් වෙනවට බය.. කන්න දෙන්නෙත් නෑලු.." 

"ඒක නම් පහ පචයක් අවිනාශ්.. අපේ කෑමත් එක්ක නංගි තමා කන්නේ.."

ඩිල්ෂාන් කීවේ හඩ නගා සිනාසෙමිනි..

"ලොකු අයියේ.. ඔන්න මං ඔයාට දෙනවා රිදෙන්න දෙකක්.. අවිනාශ් ඉස්සරහා පල් කරනවට.."  

"මෙන්න හරි වැඩක්.. ඉස්සෙල්ලා අවිනාශ් ආපු ගමන්ම පිට්ටු කතාවක් කිව්වා.. ඒකට මුකුත් සද්දයක් නෑ. මටනේ අප්පෙ මුකුත් කියන්න බැරි..." 

"මං ඒකට අවිනාශ්ට ගැහුවා..."

පුංචි ළදැරියක සේ ඇය කියද්දී අවිනාශ්ට හා ඩිල්ෂාන්ට සිනා පහළ විය.. 

"ඔයා රේස් එක බලන්න එනවනේ..?"

ඇයගේ පැමිණිම අනිවාර්යය බව කතාබහෙන් වැටහී තිබුණද ඩිල්ෂාන් ඉදිරියේම අවිනාශ් ඇගෙන් ඇසුවාය. එය සමහර විට ඇයට තරගය නරඹන්නට පැමිනිම පහසු කරවන්නාක් විය හැකිය. මුවින් උත්තරයක් නොලැබුණද දිදුළන රතු තොල් ඇදී ගිය දහකාර සිනාව අවිනාශ්ට සියලු දේ පැහැදිලි කරවිය. මෙම නිවසට පැමිණි මොහොතට වඩා මේ පිටව යන මොහොත අවිනාශ්ගේ සිතුවිලි සිර කරලන්නට සමත් වූ බව නම් සැබෑය. එයට එකම හේතුවත් වූයේ වෙන කිසිවෙකුත් නොව දිලීකාය..

                                         ******************************

ඩී.ජේ ගෘප් හින් පිටව අවිනාශ්ට වැඩි දුරක් යන්නට ලැබුණේ නැත. ඔහුට ජෙහාන්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි..

"උඹේ ෆෝන් එකට මොකද වෙලා තියෙන්නේ...?"

"ආ.. ඒක යස අගේට තියෙනවා..."

"තියෙනවා තමයි.. මෙච්චර වෙලා ඕක වැඩ කලේ නෑ යකෝ.."

"හරි.. හරි.. වැඩකරේ නෑ තමයි.. දැන් වැඩකරනවනේ.. මොකක්ද ප්‍රශ්නේ..?"

අවිනාශ් සිටින්නේ සතුටින් බැව්, ජෙහාන් පසක් කර ගත්තද, කිව යුතු සියල්ලම ඔහුට පැවසීමට ජෙහාන් සිතා ගත්තේය. තමා බියපත් වුවද තම මිතුරා මෙයට දැවන්ත පවුරක් සේ මුහුණ දෙනු ඇත. ඒ විශ්වාසය ජෙහාන්ට තිබිණි. එබැවින් ඔහු සියලු දෑම නොවලහා අවිනාශ්ට කියා දැම්මේය..

"එච්චරද...?

සියල්ල හ්ම් වත් නොකියා සාවධානව අසා සිටි අවිනාශ් ඇසීය. ජෙහාන් එයට පිළිතුරක් දුන්නෙ නැත. සත්‍ය වශයෙන්ම ඔහු සිටියේ අන්ද මන්දවය..

"උං සෑහෙන්න ඉහළ තරජනයක් කලේ.."

ජෙහාන්ගෙ කටහඩේ වූ බිය අවිනාශ් සැනෙකින් හදුනා ගත්තේය. එහෙත් අවිනාශ්ට මේ දක්වාම එවැනි බියක් දැනී තිබුණේ නැත. එසේ දැනෙන්නටද විදියක් නොමැත. මක් නිසාද යත් තමන්ගේ ආරක්ෂාවට දැවැන්ත පවුරක් සේ ඩී.ජේ සොයුරන් සිටිනා බැව් ඔහු දන්නා නිසාය..

"තර්ජනය ඉහල උනාට වැඩක් නෑ ජෙහාන්. මං සම්පූර්ණයෙන්ම ආරක්ෂා සහිතවයි ඉන්නේ.. උඹ ඒ ගැ බය වෙන්න එපා බිදක්වත්.."

"ඒ.. ඒ උනාට..."

"ඒ පාර මොකක්ද...?"

"උං ආයෙ මට කෝල් කලොත්...?"

"ප්‍රශ්නයක් නෑ.. මට හැමදේම කිව්වා කියන්න.. අවිනාශ් බයවෙච්ච පාර, රේස් එක පරදින්නෙත් නෑ කියලා කියන්න.." 

"උඹ දිනනවනේ..."

"ඔව්... ඒත් උං ඒක දැනගන්නෙ රේස් එක ස්ටාර්ට් එකේදි නේ.."

"මේක සුළුවෙන් හිතන්න එපා අවිනාශ්.. මොනවා උනත් උං අපිව ෆලෝව් කරනවා.."

"ගැටලුවක් නෑ.. උංට එපා වෙනකන් ෆලෝ කරපුවාවේ.."

අවිනාශ්ගේ කටහඩේ තිබුණේ දැඩි සවිමත් බවකි. ඒ සවිමත් බව නිසාම ජෙහාන්ගේ සිතේ ඉදිවී තිබූ බිය ද කෙමෙන් කෙමෙන් මැකී යන්නට විය. අවිනාශ් සිටිනා ලෙසට සිටීමට තමාට නොහැක්කේ ඇයි..? එහෙත් අර ගොරෝසු  හඩින් ආ තර්ජනය..? එය පැවසූ ලෙසටම ක්‍රියාත්මක වන්නේ නම්.. ඉන්පසු ඇතිවන බැරෑරුම් තත්වයට මුහුණ දීමට තමාට තනිව සිදුවන්නේය. බිය මැකී යමින් තිබියදී ජෙහාන්ගෙ සිතේ පැල පදියම් වූ ගැටලුව එයයි..

"ඒ කිව්වේ..?"

"උං අපේ පස්සෙ පන්නද්දී ඩී.ජේ ගෘප් එක උං පස්සෙ පන්නයි. එහෙමත් නැත්නම්, උඹට ඔය තර්ජනය කරපු මිනිස්සු හුගාක් දේ හොයාගත්තා වගේ මං ඩී.ජේ ගෘප් එකත් එක්ක සම්බන්ධයි කියලා දැනගත්තට පස්සෙ උං කිසි කැතක් නැතුව වැඩේ අතෑරලා දායි.."

"මට තේරෙන්නෙ නෑ අවිනාශ්.. ඒත් උඹ පරිස්සම් උනොත් හොදයි.."

"මං කොහොමත් පරිස්සම් සහිතවයි ඉන්නේ.. මට මුකුත් කරන්න උංට බෑ..."

"උඹ අද ප්‍රැක්ටිස් නැද්ද...?"

"තව ටිකක් හවස් වෙලා යනවා.. උඹ එනවනේ...?"

"අද හවස දාගත්තු වැඩ වගයකුත් තියෙනවා.. අපි හෙට උදේට හම්බවෙමු.."

එයට අවිනාශ් පිළිතුරක් දුන්නේ නැත. ඔහු ජංගම දුරකථනය විසන්ධි කර දැමුවේය. ගොලු වූ සෙල්ෆෝනය අතේ තබාගෙන ජෙහාන් වික්ෂිප්ත වී බලා සිටියේය. තමා කියූ දෙයින් අවිනාශ් අමනාප වූවා යැයි ද සිතන්නට බැරිය. එහෙත් දුරකථනය එකවර විසන්ධි වීම ජෙහාන්ට සිතට ඇල්ලුවේ නැත. දැන් තවත් ඇමතුම් ගෙන ඵලක් නැත. හෙට අවිනාශ් හමුවී ඒ ගැන කතා කරන්නට ජෙහාන් සිතාගත්තේය..
 

 

 

3 comments: