Monday, March 12, 2012

| නෙතු හැඩුවා ඔබට හොරා | යෞවන සමින්ද්‍ර රත්නායක |



රාත්‍රිය උදාවී තිබුණි. බදුල්ල බලා ධාවනය වන අටයි දහයෙ තැපැල් දුම්රිය, කොටුව දුම්රිය පළින් පිටත්වූයේ මීට සුළු වෙලාවකට කලිනි. වැහි බීරුමින් දුම්රියෙන් පිටත පරිසරය ඝන අන්ධකාරයෙන් වැසී යද්දී, දුම්රිය මැදිරි පුරා අතුරු සිදුරු නැතිව මගීන් පිරී සිටියහ. ඇර දමා තිබූ කවුළු තුළින් මැදිරි තුලට ගලා ආවේ, තෙතබරිත සුළං රැලිය. මගීන්ගේ තොරතෝංචියක් නැති කතාබහෙන් ඒ සීත සුළං රැලි උණුසුම් කර දැමීය. එහෙත් කීප දෙනෙක් දැනටමත් නිදි කිරන්නට පටන් ගෙන ඇති බව නම් සැබෑය.



මැදිරි තුළ නිකරුනේ එහාට මෙහාට ඇවිදින මගීන් දෙස බලා සිටි 'සමින්ද' තම දෑස දුම්රියෙන් පිටත පරිසරයට යොමු කළේය. ඝණ අදුර නිසා ඔහුට කිසිවක් පැහැදිලිව පෙනුනේ නැත. පළමු පෙළ පංතියේ අසුනක වාඩිවී සිටි, සමින්දට කල්පනා කරන්නට තරම් දෙයක් තිබුණේද නැත. තරුණ ජීවිතය තුළ වූ විනෝදකාමී බවින් හා මෘදුකමින් ඔහුගේ දිගටි මුහුණ පිරී ගොස් තිබුණි. මිතුරු, මිතුරියන් රොත්තක් සමග සෑම අවුරුද්දකම පාහේ නුවරඑළිය යන ගමන ඔහු යොදාගෙන තිබුණේ අදටය. මන්දයත් අප්‍රේල් මස මැද හරිය යනු නුවරඑළියේ අසිරිමත් උත්සව සමය වන බැවිනි. ඇගේ හිරිගඩු පිපෙන සීතලේ ඇති පදම් විනෝද වීමට, අවුරුද්දටම එන එකම අවස්ථාව මග හැර ගැනීමට ඔහු කිසිසේත් කැමති වූයේ නැත.

 කවදා හෝ ජීවිතයේ පසු කාලයකදී සිහිපත් කර, සතුටුවන්නට නම් මේ වාගේ සොදුරු මතකයක් තිබිය යුතුමය. කල්පනා කිරීමට දෙයක් නොතිබුණද සමින්දගේ සිතට ආවේ ඔය වගේ දේවල්ය. මිතුරන් දැනටමත් ගී ගැයීම ආරම්භ කර ඇත, ළග අසුන්වල වූ මිතුරියන්, ඔවුනට සහයෝගය දෙමින් අත්වැල් අල්ලමින්, තාලයට අත්පොඩි ගසති. 

කවුළුවෙන් එළියට යොමු වී තිබූ සමින්දගේ දෑස, මෙවර කෙලින්ම එල්ල වූයේ ඔහුට ඉදිරි අසුනේ ජනේලය අද්දරම වාඩිවී සිටි තරුණයා දෙසටය. එම තරුණයාට මෙහායින් එම අසුනේ තවත් තරුණියන් දෙදෙනෙකු වාඩිවී සිටියහ. කොහේදි හෝ ඉතා හොදින් දැක පුරුදු මුහුණක් ලෙසින්, සමින්දගේ මතකය අවධි කරන්නට ඒ තරුණයාගේ මුහුණ සමත්වී තිබුණි. එහෙත් ඒ කොහේදිදැයි සිහියට නගාගන්නට ඔහුට හැකි වූයේ නැත. වරක් නොව දෙවරක් වුවද බැලීමට තරම් සිතෙන, එම මුහුණේ තිබූ ප්‍රියමනාප බව සමින්දගේ සිත තදින් ඇද බැද තබා ගත්තේය. ඔහුගේ බෙල්ලෙන් මදක් පහළට වන්නට දිගට වැවී තිබුණු කළු කොන්ඩයත්, ඝන ඇහිබැමත් හැඩකාර සිරුරත් සමින්දට සිහිපත් කලේ කඩවසම් හින්දි නලුවෙකි. 

එහෙත් එම තරුණයාගේ දෙනෙත්වල තිබූ උතුරා ගිය දුකක සළකුණක් හෝ එවැනි පසුතැවීමක් හෝ සිතාගත නොහැකි වූ මොකක්දෝ අපූරු හැගීමක් සමින්ද අහම්බෙන් මෙන් දුටුවේය.

"අඩෝ සමියා... මොකද පෙම් කැකුල මතක් වුණාද..?" 

හිටිහැටියේම ඇසුණු ෂෙනාල්ගෙ කටහඩින් සමින්දගේ අවධානය බිදී ගියේය. මිතුරු මිතුරියන් සියල්ලෝම සිනාමුසු මුහුණින් තමන් දෙස බලා සිටින බැව් ඔහු දුටුවේ එවිටය.

"මතක් වෙන්න පෙම් කැකුළක් ඉන්න එපාද බං. මෙන්න මෙහෙ වරෙන් සිංදුවක් කියන්න.."

තවත් සිත සිතා හිදින්නට වෙලාවක් නැත. සමින්ද වහා නැගිට  මිතුරු මිතුරියන් හා එක්විය. පැය භාගයක් පමණ ඔවුන් හා එක්වී ගී ගැයූ සමින්ද නිකමට මෙන් නැවතත් අර තරුණයා දෙස බැලුවේය. මුලින් පසුවූ ඉරියව්වේම පසුවූ එම තරුණයාගේ මුහුණ කලින් දුටුවාටත් වඩා දුක්බර වී ඇති බැව් ඔහුට පෙනිණ. ඒ කඩවසම් මුහුණ පුරා අපූරුවට පැතිරී තිබුණේ මහා ශෝකාන්තයකි. මුළු දුම්රිය මැදිරියේම සිටි සියලු දෙනාම පාහේ සමින්දලාගේ ගීයට තාල ඇල්ලුවද, අර තරුණයා පමණක් කවුලුවෙන් ඉවත බලා සිටියේය.

"චමූ... ඩිංගක් අර පැත්ත බලපං..."

තමා ඉදිරියේම වූ මිතුරියගේ උරහිසට අත තබන ගමන් සමින්ද පැවසුවේය. චමෝදි කියමින් හුන් ගීතය මග නවත්වා සමින්ද පෙන්වූ ඉම දෙස බැලුවාය. මෙතෙක් තම දෑසට හසු නොවූ සොදුරු රූපය දකිද්දී ඇගේ සිත මදක් තිගැස්සී ගියාය. තත්පර කිහිපයක් නිසොල්මනේ ඒ දෙස බලා සිටි චමෝදි නැවතත් සමින්දගේ මුහුණට එබුණාය. ඇයගේ මුළු මුහුනේම සැගවී තිබූ දැවැන්ත ප්‍රශ්නාර්ථයම සමින්ද ක්ෂනිකව වටහා ගත්තේය.  

"හැමෝම එන්ජෝයි කරනවා චමූ.. ඒත් අරයා විතරක් අවුලක වගේ.."

සමින්ද කියූ දේට චමෝදි එතරම් පැහැදීමක් නොදැක්වූවාය. ඇයට අවශ්‍ය වී තිබුණේ මිතුරු මිතුරියන් හා ළංවී මේ දැන් ලබන විනෝදය තව ඩිංගක් හෝ වැඩිකර ගැනීමටය. එහෙත් සමින්ද කියන්නේ වෙනස් දෙයක් ගැනය.

"මොනවා හරි ට්‍රබල් එකක් වෙන්න ඇති සමී.. අපිට ඕවා වැඩක් නෑ.. එන්න අපි ෂෙනාල්ගෙ සිංදුවට සප් එකක් දෙමු."

එසේ කියනා ගමන් චමෝදි, සමින්ද දෙසට ආදරණිය බැල්මක් හෙලුවාය. එහෙත් සමින්දිගේ දෙනෙත් මදක් හෝ අර තරුණයාගෙන් එපිටට නොගියේය. ඉදිරිපස කැරලි ගැසුණ දග කෙහෙ රොදවල් නළලට වැටී, අපූරු ප්‍රිය මනාප පෙනුමක්, ඒ තරුණයාගේ කඩවසම් මුහුණට එක්වී ඇති අයුරු චමෝදිද දුටුවාය. එහෙත් ඒ මොහොතකට පමණි. ඊගාවට දුටු දෙයින් චමෝදි තිගැස්සී ගියාය. එම තරුණයාගේ කම්මුලට වැටී දිලිසෙන කදුළු බිංදුවක් චමෝදි දුටුවේ අන්තිම තත්පරයේදීය. මන්දයත්, තමන්ට ආවේනික වූ ඉතා හුරුබුහුටි කඩිසරකමකින් ඔහු එම කදුළු බිංදුව තම දිගු ඇගිලි වලින් පිසදාගත් බැවිනි.

"ම... මයිගෝඩ්.. මිනිහා අඩනවා සමී..."

තවත් තත්පර ගණනාවක් එදෙසට නෙතු යොමා අහවර චමෝදි පැවසුවාය. සමින්දගේ මුහුණට නැගුණේ තේරුම් ගැනීමට අපහසු තරමේ සිහින් සිනාවකි.

"මං ඔයාට මුලින්ම කිව්වෙ ඒකනේ චමූ. කොහෙද ඉතිං ඔයා සිංදු කියන්න පටන් ගත්තනේ. මට පේන විදියට නම් මෑන් ඉන්නෙ ලොකුම අප්සට් එකකින්. මොකාක් හරි මහ විශාල දුකක් මිනිහගේ සිතේ හිරවෙලා තියෙන පාටයි. ඒත් ඉතිං මේ වගේ හැන්ඩියෙකුට..?"

සමින්ද එසේ කීවේ මන්දැයි චමෝදිට වහා වැටහිණි. තද නිල් පැහැයක් ගත් ක්‍රොකඩයිල් ටී ෂර්ට් එකකින් හා සුදු පැහැයට හුරු ඩෙනිම් ට්‍රවුසරයකින් සැරසී, නවීනතම ඩෙක්ෂූස් යුගලයක් පැළද සිටි ඒ තරුණයාගේ බාහිර අලංකාරයේ කිසිදු අඩුවක් චමෝදිද දුටුවේ නැත. ඔහුගේ කඩවසම් බව වැඩිකර පෙන්වීමට තිබූ සොදුරුම දෙය වූයේ බෙල්ලෙන් මදක් පහළට වෙන්න වවා තිබූ දිගු කොණ්ඩයයි. කෙසේ වුවත් මදක් වේලා යද්දී සමින්දගේ මිතුරන් හා චමෝදිගේ මිතුරියන් සියල්ලෝම අතරට අර අපූරු තරුණයාගේ කදුළු බිංදුවේ කතාන්දරය හොර රහසේම තටු සලා ඉගිලී ගොස් තිබුණි.

"මෑන්ගෙ ඇහේ රොඩ්ඩක්වත් ගියාද දන්නෑ.."

"සෑම දෙයක් දෙසම සැහැල්ලුවෙන් බැලීමට පුරුදුව සිටි භාතිය කීවේය. බලා සිටියදීම සමින්දගේ මුහුණ මැලවිණි." 

"ඔව් ඉතිං.. උඹට හිතෙන්නෙම ඔය වගේ අපත දේවල් තමා.. මොනාද බං ඩිංගක් නම්‍යශීලීව හිතපංකෝ.. නිතරම රොඩු ගැන කතා කරන්නෙ නැතුව. කොහෙද ඉතින් ජන්මෙ හදන්න අපිට බෑනේ.." 

හිතට නැගුණ කේන්තිය නිසාම සමින්ද කියාගෙන කියාගෙන ගියේය.. භාතියගේ මුහුණට සිහින් සිනාවක් නැගුණි.  

"කොල්ලෙක් ලේසියෙන් අඩන්නෙ නෑ නේ සමින්දයෝ. මූ හොද එකෙක් වගේ පේන හන්දා, සපෝට් එකක් ඕනෙද අහමු.."

සමින්ද වාඩිවී සිටි අසුනේ ඇන්ද උඩින් වාඩිවූ ෂෙනාල් පැවසීය.

"උඹලගෙ නම් මොලවල් මඤ්ඤං වෙලා. ඇත්තටම උඹලට පිස්සුද බං මේ කොහේවත් ඉන්න එකෙක්ගෙ කේන්දරේ බලන්න යන්නේ..?" 

"මේ.. උඹ ඩිංගක් ඔය ඝාංටාරෙ වහන් ඉන්නවද..? කොහෙද ඉතිං මොකක් හරි වැදගත් යමක් කරන්න හදනකොට, මූ අපතයා වගේ මැද්දට පනිනවනේ.."

එවර නම්, ෂෙනාල්ට භාතිය සමග ඇත්තටම තදවී තිබිණි. කණ්ඩායමේ සිටි අනිත් සියලු දෙනාම ඔවුන් දෙදෙනා දෙස බලා සිටියේ සිනාමුසු මුහුණිනි. භාතියගේ හැටි කොහොමත් ඔහොමය. ඕනෑම හොද හෝ නරක වැඩකට මුලින්ම කොක්කක් අදින්නේ ඔහුය.  

"සමින්දයා.. මචං මං මූට වැරැද්දක් කිව්වෙ නෑ.. මූ මේ අලියා වගේ නැට්ට පාගගෙන උඩ පැන්නට.. අනික උගෙන් මුකුත් අහන්න දෙයක් නෑනේ බං. ඌ යනවත් ඇත්තේ නුවරඑළි සීසන් එකට තමයි. ඌට සපෝට් එකක් නෙමේ. ඌ ඕන නම් අපිට සපෝට් එකක් දෙයි.. පේන්නෙ නැද්ද හයේ හතරෙ ඇගපත."

"මං කියන්නද වැඩේ.... අපි මෑන්ව සිංදුවක් කියන්න එක්කහු කරගමු.. මොකද කියන්නේ..? මිනිහගෙ සෑඩ් ලුක් එක ඔටෝම අයින් වෙලා යයි.."    

භාතියගේ කතාවට කිසිදු බුරුලක් නොදෙමින් සමින්ද අවසානයේදී පැවසීය. සමින්ද යනු කොහොමත් අන් අය කෙරෙහි අනුකම්පාව පෙරදැරි කරගෙන බලන පුද්ගලයෙකු බව චමෝදි දැන සිටියාය. ඒ අනුකම්පාව නිසාම ඔහු අනවශ්‍ය කරදර වලට භාජනය වූ අවස්තා කිහිපයක් ගැනද ඇය දැන සිටියාය. එහෙත් මොන දේ සිදුවූවත් ඔහු තම පුරුද්ද අතහැර දැමුවේ නැත.

"හරි.. හරි.. උඹලා ඕන මගුලක් කරගනියව්. මං උඹලට මුකුත් කියන්නෑ. මං තනියෙම හරි සිංදුවක් කියලා මගේ ආතල් එක ගන්නවා. උඹලා අනිත් ඈයො සනසව සනසව ඉදපල්ලකෝ.." 

මෙතුවක් වෙලා වාඩිවී සිටි අසුනින් නැගිට ගත් සමින්ද, තවමත් කවුළුවෙන් එපිට බලා සිටින තරුණයා වෙත පියමනිද්දී භාතිය කීවේය. භාතියගේ කතාව ගානකට නොගත් සමින්ද, අර තරුණයා වෙතට ළංවිණි. ඔහුට මෙහායින් අසුන්ගෙන හුන් තරුණියන් දෙදෙනාද වරින් වරේ, එකිනෙකාට හොරෙන් ඔහු දෙස බලන අයුරු දුටු සමින්දට ඉබේම සිනාවක් පහළ විය. තරුණයාට බොහෝ සේ ළංවූ පසු, නැවතත් තම මිතුරු කැල දෙස සමින්ද හැරී බැලුවේය. සංගීතය මදකට නවතා ඔවුහු සමින්ද දෙස බලා සිටියහ. දැන් කුමකින් කුමක් වේදෝ යන අපූරු හැගීම ඔවුන් සියලු දෙනාගේම සිත්වලට කා වැදී තිබුණි.

"යාලුවා.. අපිත්තෙක්ක සිංදුවක් කියමුද..?"

සිතා සිටියාටත් වඩා වැඩේ සෑහෙන්න අමාරු බැව් සමින්දට ඒ වන විටත් තේරුම් ගොස් තිබිණි. කවුළුවෙන් පිටතට යොමු වී තිබුණු දෑස, ඉතා සෙමින් ඉතාමත් සෙමින් පාවී ඇවිත් සමින්දගේ දෑසේ පැටලිණි. තත්පරයක්, දෙකක් ගතවෙද්දී ඒ මුහුණේ තිබූ දුක, පරාජය, පසුතැවීම වෙන වෙනමම හදුනා ගැනීමට සමින්දට පුළුවන් වූයේය. මේ තරම් පරාජිත මුහුණක් තමාගේ මුළු ජීවිත කාලය තුළදීම දැක නොමැති බැව් සමින්දට සිතුණේය. මේ තරම් කඩවසම් මුහුණකට සිතා ගැනීමටත් බැරි තරමේ පරාජිත බවක් පැමිණෙන්නට තරම් වූ හේතු කාරණා ගැන දැන ගැනීමේ කුතුහලයක්ද ඔහුගේ සිතේ කොනකින් පෙල ගැසී තිබුණේය.

"මගෙන් මොනවා හරි ඇහුවද..?"

මදක් ගොරෝසු වූ අපූරු කටහඩක් ඒ තරුණයා සතුවී තිබුණි. සිතේ පැහැදීමක් ඇති කරවූ නොහදුනනා පුද්ගලයෙකුව, ලං කරගන්නේ කෙසේදැයි දෙවරක් සිතන්නට තරම් දෙයක්, තමා ඉදිරියේ සිටිනා තරුණයාගේ දෙනෙත්වල සමින්ද දුටුවේය. ඒ අතරතුරේදී තම සගයින් තමා දෙසට එන බැව් සමින්දගේ ඇස් කොනකට හසුවිණි. කෙසේ වුවත් ඔහු ඇසූ ප්‍රශ්නයට හරි හමන් උත්තරයක් දී ගන්න බැරිව, සමින්ද ඇඹරුණේය. තරුණයාගේ කටහඩේ වුවද තිබුණේ අනෙක්ව ආශක්ත කරගැනීමේ අපූරු ගුප්තමය හැකියාවකි. 

"ඔ.. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක්ද..?"

මෙතුවක් වෙලා රැදී හුන් දැහැනින් මීදී තරුණයා ඇසුවේය.. ඔහු එසේ විමසුවේ මන්දැයි ඊළග මොහොතේ සමින්දට වහා වැටහිණි. ඒ තම මිතුරු කැලම තමා වට කරගෙන සිටින බැව් සමින්ද දුටු නිසාවෙනි. කෙසේ වෙතත් සමින්දගේ දැඩි නිහඩ බව නිසාම ඊළගට කතාව ඇරඹුවේ ෂෙනාල්ය.  

"උඹේ ඇටෙන්ෂන් එක කැඩුවට සොරි වෙන්න ඕන යාලුවා.. අපිව කරදරයක් කියලා හිතන්නෙපා. උඹට පේනවනේ.. අපි හැමෝම එන්ජෝයි කරනවා.. ඒත් උඹ ඇයි අපිට එකතු වෙන්නැත්තේ..? උඹ සිංදු වලට ආස නැද්ද..?"  

"ඔයාලා කතා කරපු එකට තෑන්ක්ස්.... ඇත්තටම මං වෙන ඇටෙන්ෂන් එකක හිටියත් ඔයාලගෙ සිංදු අහගෙනයි හිටියෙ. ඔයාලා ලස්සනට සිංදු කිව්වා.." 

මද සිනාවක් මුවේ ඇදී තිබුණද, ඒ ගොරෝසු කටහඩේ තිබූ දුක්බර බව සමින්ද, චමෝදි, ෂෙනාල් ඇතුළු සියල්ලන්ටම වැටහිණි. මේ තරම් සුන්දර සිනාවක් පුද දෙන ගමන්, අර තරම් දුක්බර කටහඩකට ජීවය දෙන්නේ කෙසේදැයි කාහටවත් සිතා ගැනීමට පුළුවන්කමක් තිබුණේ නැත.

"ඔයා ඉන්නෙ හිතේ අමාරුවකින් නම්, අපිත් එක්ක ඇවිල්ලා සිංදුවක් කිව්වොත් ඒක ඩිංගකට හරි ඇරිලා යයිනේ...." 

පිරිසේ වූ තරුණියන් අතරින් දිගම කොණ්ඩයට හිමිකම් කියූ නයෝමි  පැවසුවාය.. 

"හිතේ කරදර ඉවර කරන්න සිංදුව වලට බෑ යාලුවේ..! හරි.. ඔයාලට ඕනෙ සිංදුවක්නේ.. එහෙනම් මට හුරු පුරුදු පරණ සිංදුවක්ම මං කියන්නම්.."   

තනිවම එසේ කියාගත් ඔහු මදක් කල්පනා කරන්නට වූවේය. ඒ සුළු කාලය ද පිරිසට දැනුණේ කල්පයක් මෙනි. 

"මූ එක්දහස් අටසිය බර ගණන්වල එකක් කියයිද දන්නෑ මචං. අහගෙන ඉන්න අපිට පිස්සු හැදිලා මැරෙන්න.." 

පිරිසේ පිටුපසම වාගේ උන් භාතිය, ළගම උන් මිතුරාගේ කණට කර කීවේයෙ... භාතියට මුල සිටම මේ තරුණයා දිරව්වේ නැත. සිංදුවක් කියා ආතල් එකක් ගැනීමට තියෙන මේ අවස්ථාවේ තමාගේ මිතුරන් මේ කරන්නට යන දේ ගැන ඔහුගේ සිතේ තිබුණේ තරහකි. අනික ඔහු චමෝදි දෙස බලනා බල්මද භාතියට කොහෙත්ම දිරෙව්වේ නැත.

"තෝ නම් පිස්සු හැදිලා මැරුණත් කමක් නෑ.. එතකොට අපිට වදයක් නෑ.."

ළගම හුන් මිතුරා රහසින් මෙන් කියද්දී ඌව මෙතනම පරලෝ සැපත් කරවීමට තරම් භාතියට සිතුනේය. මුංට නම් ඇත්තටම පිස්සු.. මේ කොහේවත් ඉන්න හම්පඩයෙක්ව පොරක් කරන්න හදනවා.. උගේ කොන්ඩෙ දිග වුණා කියලා ඌ පොරක්ද..? භාතියට හිතුනේ එහෙමය. සිතේ කේන්ති පිරී තිබුණත් කරන්නට දෙයක් නැත. ගැන්සියේ කොල්ලො. කෙල්ලො සියල්ලෝම අර කොන්ඩෙ දිග එකාව වට කරගෙන ඇත. ඌ දැනටමත් පොර වී සිටියි. හිතට වැඩියක්ම අමාරු චමෝදි ද ඌට ලං වී සිටීමය..

"සිංදුවක් කියන්න කලින් අපි අදුන ගත්තොත් නරකද..?"

කල්පනා කරමින් සිටි තරුණයා, එක්වරම එය ඇසූ ආකාරය, පිරිසේ සිටි හුග දෙනෙකුට සිනාවක් පහළ කරන්නට සමත් විය. භාතිය නම් ඩිංගක්වත් සිනාවූයේ නැත. ඌ විහිලුවක් කරා වගේනේ මුං හිනාවෙන්නේ..? චමෝදි දෙස හොරහින් බලනා ගමන් භාතිය සිතුවේය. තරුණයාගේ මුහුණට දැන් එකතු වී ඇති දගකාර පෙනුම මැදින්, තමා කොහේදි හෝ දැක පුරුදු කලුවෙකුගේ රුවක් සමින්දගේ මතකයට නැංවූයේය. ඒත් ඒ නලුවාට වඩා වැඩි ආකර්ෂනයක් මොහු ළග තිබෙන බවට නම් ආයෙ විවාදයක් නැත. ඒ ගැන සමින්දි සිතුවේ සතුටිනි.

"ඒකත් ඇත්ත.. ස්ටේජ් එකක වුණත් සිංදුවක් කියන්න කලින් ඉන්ට්‍රොඩියුස් කරනවනේ නේද..? එහෙනම් ඉතිං අහගනිංකෝ.. මේ ඉන්නෙ සමින්ද.. මේකි චමෝදි.. අර ඉන්නෙ නයෝමි.. මං ෂෙනාල්.. මේ ඉන්නේ.."

තම පිරිසේ හුන් සියලු දෙනාගේම නම් කියා අහව ෂෙනාල් ඒ තරුණයා දෙස බැලුවේය..

"ඒ කියන්නෙ දැන් මගේ සිංදුව..? එහෙම නේද...?"

ආයෙත් අර අපූරු සිනාව ඔහුගේ දෙතොලතර දැවටුනි.. 

නෑ.. නෑ.. ඊට කලින් ඔයා කවුද කියලා අපිට කියන්න ඕනි.. ඊට පස්සෙ සිංදුව.. 

නයෝමි එසේ කිව් විට, තරුණයා එක එල්ලේම ඇය දෙස බැලුවේය. ඒ දෑස, තම දෑස හා යාවෙද්දී අගේ සිත ගැස්සුණි. මොකක්දෝ අපූරු හැගීම් ගොන්නක් තම සිත පතුලේ සිරවී යනු නයෝමිට ඒ සුන්දර මොහොතේ හැගී ගියාය.

"ම්.. නම නේද..? ම්.. මගෙ නම ඔයාලට ඕනද යාළුවනේ..? නම නැතුව අපි සිංදුව පටන් ගමුද..? මගේ නම කියන්න ගිහින් මං ඔයාලගෙ සංතෝසෙත් නැතිකරලා දානවා.."

ඔහුගේ ගොරෝසු හුරු බර කටහඩෙහි ඒ වෙලාවේ තිබුණේ අමුතුම ලගන්නා සුළු බවකි. නලලෙනුත් පහලට වැටී තිබුණු ඉදිරිපස කෙස් කැරලි, ඔහු දෙපැත්තට කළේ නලුවෙකුටත් වඩා ආකර්ෂණිය ලෙසට බැව් චමෝදි දුටුවාය. තම දෑසට ඒ සොදුරු දෑස හමුවූ තත්පර ගණන ඉතා අනුරාගී පැය ගණනක් ලෙසට ඇයට දැනුණාය.

"ඔයා අපේ සංතෝසෙ නැති කරනවා කියලා කවුද කියන්නේ..? අපි කවුරුත් එහෙම කියන්නෑ යාලුවා. ඔයා සමහර විට දන්නෙ නැතුව ඇති. අපේ මේ ජීවිත හුගාක් කෙටියි. අපි මෙහෙම සන්තෝසෙන් හිටියට, හෙට වෙනකොට අපි කාට හරි මේ හැම දෙයක්ම අතෑරලා යන්න වෙන්නත් පුළුවන්. ඒක කාටද කියන්න පුළුවන්.. ඒක හින්දා ජීවත්වෙන මේ පුංචි කාලදි පුළුවන් තරම් සන්තෝසෙන් අපි ඉන්න ඕන. මොකද කවද හරි අපිට අන්තිමට ඉතුරු වෙන්නෙ, ඒ සන්තෝසෙ ලස්සන මතකයක් විතරයි.."

අපූරු තරුණයාගේ උරහිසට තම අත තබනා ගමන් සමින්ද නැවතත් කටහඩ අවදි කළේය. පිරිසේ වූ එකෙකු හැරෙන්නට අන් සියලලෝම අර තරුණයා වටා රොක් වී සිටියේ කාන්දමට ඇදී යන යකඩ ගුලි ටිකක් පරිද්දිනි. ප්ලාස්ටික් ගුලියක් මෙන් පැතත්කට වී බලා සිටියේ භාතිය පමණි. ඇත්තටම ඔහුගේ සිත පිරී තිබුණේ, ඔහුටත් සිතා ගැනීමට අසීරු තරමේ කේන්තියකිනි. තම කණ්ඩායමේ මිතුරු මිතුරියන් මේ කොහේවත් යන කොණ්ඩයෙකුට වහ වැටී සිටින්නේ ඇයිදැයි ඔහුට විහිලුවකට වත් සිතා ගැනීමට හැකියාවක් තිබුණේ නැත. සිතට උහුලා ගැනීමට අසීරු අනෙක් කාරණාව නම් චමෝදිද උඩ පැන පැන ඌ හා දෙඩීමය. ඇයට ඔයතරම් ඩෙගා නටන්නට මෙතන දෙයක් සිදුවී නොමැත. තමා අහිංසක කමේ ප්‍රතිමූර්තියක් ලෙස හදුනාගෙන සිටී, චමෝදිගේ සැබෑ ප්‍රතිරූපය භාතියගේ දෑස් ඉදිරිපිටම පෙනෙන්නට ඇත. දැන් ඉතිං කරන්නට දෙයක් නැත. මුං සමග විනෝද චාරිකාව ආවා නම්, කුම්බලා මාලු කෑ ටොම් පූසා සේ විදවිය යුතුය. මේ සියල්ලන්ටම මුල අර ඇස් නටවා කතා කරන කොන්ඩය දිග ගස් ගෙම්බාය. මේ කෝච්චි පෙට්ටි සියල්ලම පෙරලී, ඌ ඒ හැම පෙට්ටියකටම යටවී යනවා නම් කොච්චර අපූරුද..? ඒ සිතුවිල්ලෙන් නම් භාතියෙගේ සිතට පුංචි සැනසීමක් දැනුනේය..

"සමින්ද කියන්න ඕන දේට කියන්න ඕන තරම් දේවල් මං ගාව තියෙනවා. ඒත් සමින්ද කියපු දේවල් වලට මං කැමතියි.. විශේෂයෙන්ම කවදම හරි අපිට අන්තිමට ඉතිරි වෙන්නෙ ඒ සංතෝසෙ ලස්සන මතකයක් විතරයි කියනෙක. ඒක මාත් අදහන දෙයක්. ජීවිතයේ අන්තිමට තට්ට තනියෙම ජීවිතේ අරගෙන යනකොට විදව විදවා හරි ජීවත්වෙන්න අපිට ඉතුරු වෙන්නෙ ඒ මතකය විතරයි.. ඒ මතකයේ සුවද විතරයි.."

ඔහු කියූ වදන් දිගේ කොයි තරම් දුරට තම සිතුවිලි ඉගිල යනවාදැයි කියා නයෝමට සිතාගැනීමටවත් නොහැකි වූවාය. හමුවූ මේ විනාඩි කිපය තුල මේ හැඩකාර තරුණයා, තමාගේ සිතට කර ඇත්තේ කුමක්දැයි ඇයම දැන නොගත්තාය. මුවින් කිසිවක් නොකීවද චමෝදි සිටියේද ඒ තත්වයේමය.

"යාලුවා... සමින්දයි ඔයයි දෙන්නම දුක හිතෙන දේවල් කිය කියා බදුලල්ටම යන්නද හදන්නේ..? ඔයා අපිට නම කිව්වෙත් නෑ.. සිංදුව කිව්වෙත් නෑ.. මුළු කෝච්චි පෙට්ටියම පාළු බංගලාවක් වගේ උනා.."

කෙරීගෙන යන කතාබහ භාතියට කොහෙත්ම දිරෙව්වේ නැ. මදක් පැතිරී ගිය නිහැඩියාව අතරින් ඔහු කියවාගෙන ගියේ එබැවිනි. කොණ්ඩයා, කිච කර දැමීමට මීටත් වඩා හොද අවස්ථාවක් එන්නේ නැත. සමහර විට මූට සිංදු කියන්නට කොහෙත්ම බැරුවා වෙන්නට පුළුවන. නමත් නොකියා, සිංදුවත් නොකියා මූ බණ දෙසන්නට හදන්නේ ඒ නිසා වන්නට ඇත. අපේ මෝඩ රැලටත්, මූට වඩා පොරක් නැතුවා සේය. කෙසේ හෝ කොන්ඩයාව සිංදුවක් කීමට කැමති කරවාගත යුතුය. එවිට සිංදුව කියන්නට බැරිවී චමෝදි ඉදිරියේ ඌ අම්බානක නෝන්ඩි වෙනු ඇත. ඒ ගැන සිතෙද්දී භාතියගේ සිත පස්වනක් ප්‍රීතියෙන් ඉපිලී ගියේය. තමාගෙන් පිටවූ වදන් ගැන භාතියට දැනුණේ ආඩම්බරයකි.

"ඇතත්ටම අපිට ඔයාගෙ නම කියන්න බැරිද අනේ.. අපි දැන් හොද යාලූවො නේ.."

අපූරු තරුණයා ඉදිරියේ චමෝදි බැගෑපත් වන විලාසය දුටු භාතියගේ පස්වනක් ප්‍රීතිය, පස්වනක් දුකක් බවට පත්විය. ආඩම්බරය, හැඩුම්බරක් බවට පත්විය..   

"හරි.. අපි හොද යාලුවො කියලා මාත් හිතනවා.. ඒකනේ තනියෙම ඉන්න මං ගාවට ඔයාලා  හැමෝම ඇවිල්ලා කතාබහ කරේ.. ඇතත්ටම ඔයාලා හුගක් හොදයි.." 

"මට පේන විදියට නම්, මූ නම් මේ කපේ නම කියන්නෑ.. මූ සිංදුව කියන්නෙත් නෑ.."

භාතිය ළගම උන් ෂෙනාල්ගේ කණට කොදුරා කීවේය..

"ඩිංගක් ඔය අමුනුස්ස කට වහන් ඉදපංකෝ.. මේ වගේ සිරා පොරක් එක්ක නිකං කතා කරත් සැපයි බං.. තොහෙද ඉතිං තොපේ මයිලක් මයිලක් ගානේ ඇගේ හැම තැනම ඉරසියාවනේ.."

ෂෙනාල්ගෙ කතාවට භාතියගෙ මුළු හිතම කේන්තියෙන් උණුවී ආවේය. එහෙත් කරන්නට දෙයක් නැත. පිඹගෙන යන කෝච්චියෙන් පැන ගෙදර යාමටද නොහැකි. කළ යුතු හොදම දෙය වන්නේ ලැබෙන හැම අවස්ථාවකදීම කොන්ඩයා කිච කර දැමීමය. එහෙත් ඒ සිතුල්ලෙහි භතිය නොදැන සිටි එක දෙයක් තිබුණි. එනම් ඒ අවස්ථාව කවදාවත් උදා නොවන බවය.

"නම කියන්න බැරි නම් අපේ අනිත් ඉල්ලීමවත් ඉෂ්ඨ කරනවද.?"

චමෝදිගෙන් ඒ වදන් පිටවූයේ පුදුමාකාර තරම් ලෙංගතු ලෙසටය. මේ තරුණයාට කතා කරන වචනයක් වචනයක් පාසා තමන්ගේ කටහඩට එකතුවන හැගීම්බර බව ඇයව පුදුමයට පත් කළාය.

"මං ඔයාලගෙ රික්වෙස්ට් දෙකම බාරගන්නවා. මගේ තම අවිනාශ්. නමේ හැටියට මං හැම දෙයක්ම විනාශ කරගෙන ඉන්න මිනිහෙක්. කවුරු ඇහුවා උනත් මං නම කියන්න අකමැතියි. මං මගේ නම ඔය කිව්වෙ අවුරුදු ගානකට පස්සේ. ඇත්තටම මං මගේ නම අමතක කරලයි තිබ්බෙ. ඒත් ඔයාලා වගේ හුගාක් හොද අය ඉස්සරහ තවත් නම හංගන් ඉන්න මට හිතුණෙ නෑ. එහෙනම් ඔන්න සිංදුව. "

හිදගෙන උන් අසුනේ මදක් හරි බරි ගැසුණි. ඔහු ගී ගැයිම ආරම්භ කළේය. ඉතා සිහින් ස්වරයකින් ඇරඹුනු ඒ ගීය, කා හටවත් සිතා ගැනීමට නොහැකි තරම් අපූරු ගීයක් බවට පත්විණි..

           ".... මන්දාරම් අදුර මැදින්...
             සිරිපොද වැහි වැටෙන වෙලේ...
             මා හා ඇවිදන් යන්නට...
             ඔබ සිටියා නම්... ඔබ සිටියා නම්..."

තරුණ පිරිසේ වූ සියල්ලන්ගෙම හා මැදිරියෙ උන් සැවොමගේම නෙතු යොමුවී තිබුණේ ඒ අපූරු තරුණයා වෙතටමය. විශේෂයෙන් මැදිරියේ උන් තරුණියන් කිහිප දෙනාගේ දෑස් එක තත්පරයකටවත් අවිනාශ් වෙතින් ඉවත්ව ගියේ නැත. පුදුමාකාර වූ අදුරු දුකක, හිත නවතාලන මතකයක් ඒ මුළු ගීතය පුරාවටම විසිරී ඇති බැව් සමින්දටද, චමෝදිටද, නයෝමිටද පසක් වූහ. වඩා අවුල්වී සිටියේ භාතියය. දැන් නම් මේ නටවන ඇස් ඇති දිග කොණ්ඩයා, නයෝමි මෙන්ම චමෝදිවද හාද කර ගනු ඇත. උං දෙන්නාද සිටින්නේ ඔහුට වශිවී ගිය ආකාරයෙනි. මූට මේ තරම් ලස්සන හැගීම්බර ගීත ගායනා කරන්නට පුළුවන් බවක් දන්නවා නම් කුමක් හෝ බයිලයක් ගසා සිංදුව නවතාලන්නට තිබිණි. එහෙත් සිදුවූයේ නොසිතූ දෙයක්මය. භාතියට වැඩියක්ම දුක ඒකය.

"ඇහුණද හැලපයෝ... අපේ අලුත් යාලුවගෙ වොයිස් එක.. උඹ හිතන්න ඇත්තෙ උඹගෙ වගේ මලකඩ කාපු ටකරන් බෙලෙක් සද්දයක් ඒවි කියලනේ. උඹ බලන් ඉන්න ඇත්තෙ ඌව නෝන්ඩි කරලා, කිච කරලා දාන්න වෙන්න ඇති. ආ හම්පඩයෝ.. මීට පස්සෙවත් මිනිස්සුන්ට ඉරිසියා නොකර ඉන්න පුරුදුවෙයන්. කොහෙද ඉතිං ජන්ම ගති අතාරින්න බෑනේ.."

ෂෙනාල්ගෙ කතාවට භාතියගෙ මුවට ආවෙ අමු තිත් කුණුහරුප වැලකි. එහෙත් තැනේ හැටියට හා අවස්තාවේ හැටියට ඔහු ඉතා අසීරුවෙන් එය ඉවසා දාරා ගත්තේය. මෙවැනි පාප මිත්‍රයින් පිරිසක් සමග මේ චාරිකාව පැමිණිම ගැන භාතිය හයවන වතාවටත් පසුතැවුණේය.    

ගීත ගැයීම අවසාන වෙද්දි අවිනාශ්ගෙ දෙනෙත් බොද වී ඇති බැව් චමෝදි පැහැදිලිවම දුටුවාය. ඒ බොද වුණු දෙනෙතට තමාටත් හොර රහසේම තම සිත ඇලුම් කරනා බැව් ඇය දැන සිටියාය. සමින්ද මුලින්ම මේ තරුණයා තමාට පෙන්වද්දී, ඒ තරම් තැකීමක් නොකළ අයුරු ඇයට සිහිවිණි. එහෙත් දැන් තත්වය එයට ඉදුරාම වෙනස් වී ඇත. මේ සොදුරු දෑසිත් නම දෑස ඉවත් කරගත නොහැක්කේ ඇයි..?

"වොන්ඩර්ෆුල් යාලුවා... වොන්ඩර්ෆුල්.. කියලා වැඩක් නෑ සිංදුව නම් එලම කිරි.. පට්ටයි.."

අවිනාශ්ගෙ පිටට තට්ටු කරන ගමන් ෂෙනාල් අවංකවම පැවසීය. කවුරු කවුරුත් තමන්ට දැනුණු, හැගුණු පරිද්දෙන් අවිනාශගේ ගීතය අගය කළහ. බඩේ බිජු තබාගෙන කතා කිරීමට සිදුවූයේ භාතියට පමණි. ඔහු මහත් අප්පිරියාවෙන් යුතුව සිනාවක් මුහුණට නගාගෙන, අවිනාශගේ පිටට තට්ටු කළේය. අවිනාශ් ඔහු දෙස බැලුවේ. 'උඹ නම් විෂ් නොකලත් කමක් නෑ' වැනි හැගීමකිනි. එය සහසුද්දෙන්ම තේරුණු භාතිය වහ වහා තම අත ඉවතට ඇද ගත්තේය. මේ කොන්ඩයාට ඇත්තේ අනුන්ගෙ සිත ඉක්මනින් කියවිය හැකි අපූරු සිතකි.

ගීතය ගයා අවසන් වූවත් තවමත් අලුත් මිතුරන් මා වටේම හිදිනා වග අවිනාශ්ට පෙනුණේය. තමා කෙරෙහි ඇති අනුන්ගේ සිත් ඇද බැද තබා ගන්නා ගතිය ගැන ඔහු හොදාකාරවම දැන සිටියේය. එබැවින් ඔවුන් තමාව අතැර නොයෑම ගැන ඔහු පුදුමයට පත්වූයේ නැක. එහෙත් සියල්ලෝම තමාව අගය කලත්, අර කොන්ඩය බොකුටු මහත තරුණයා පමණක් මුළුගැන්වී සිටි අයුරුද අවිනාශ්ගේ සිත හදුන ගත්තේය. සමහර විට ඔහු තමාට ඉරිසියා කරනවා වන්නට පුළුවන. ඔහු මෙතන සිටින තරුණිය තමාට ආශක්ත වීම ගැන ඔහු ඉරිසියාවෙන් පැලෙනවා විය හැක. එබැවින්, මින් ඉදිරියට ඒ කොන්ඩය බොකුටු මහත හාදයාව ගණන් නොගෙන සිටීඹට අවිනාශ් තීරණය කළේය. මිතුරන් ඔහුට ඇමතුවේ භාතිය යන නමින් බවද අවිනාශ්ට මතකය..

වෙන වෙලාවකදී නම් මේ අලුත් මිතුරන්ට එක් වී දුම්රිය ගමන අවසාන වනතුරුම ගී ගයමින් විනෝද වීමට තමාට වරම් ලැබිණි. එහෙත් අද..? අවිනාශ් ඒ ගැන සිතනා විට බියෙන් ඇලලී ගියේය. කියා කියන්නට බැරි තරම් මහා වේදනාවක් ඔහුගේ පපුව තුළින් පෙරි පෙරී උඩට ඇදුණේය. දෙවියනේ... කලින් සංතෝසයේ අතිමහත් ශුද්ධ බූවියක් වූ මේ සිත මතට සිතා ගැනීමටවත් නොහැකි තරමේ අසීමිත දුකක් තිළිණ කළ තම දෛවයට ඔහු නොනවත්වා සාප කළේය.

"අ... වි... නා... ෂ්..." 

මේ අපූරු තරුණයාගේ වතගොත අසා දැනගැනීඹට තම සිතේ ඇති කුහුල මුසු නොඉවසිල්ල තවදුරටත් යටපත් කරගත නොහැකි තරමට බලවත් වී ඇති බැව් සමින්ද වටහා ගත්තේය. ගීතය අවසාන වී කාලය ගෙවී යන විට සමින්ගේ කටහඩ අවදි වූයේ ඒ නිසාය.

මෙතුවක් වේලා තම දෛවයට සාප කරමින් හුන් අවිනාශගේ දෑස, කෙලින්ම සමින්දගේ දෑස මත රැන්දිණි. ඔහු සමින්ද දෙස බලා සිටිනා ලෙසට. කෙලින්ම තමා දෙසත් විනාඩි දහයක්වත් බලා සිටිනවා නම් කොයි කරම් අපූරුදැයි කියා නයෝමිට ඒ මොහොතේ සිතුණි. එහෙත් විනාඩි දහයක් නොව එක තත්පරයක් හෝ මා දිහා බලන්න යැයි ඔහුට කියන්නට කොතරම් වූ ශක්තියක් තමාට අවැසිදැයි හැගෙන විට ඇය වෙව්ලා ගියේය..

"උඹ වගේ එකෙක් මං කොහේදි හරි දැකලා තියෙනවා අවිනාශ්. ඒත් ඒ කොහෙදිද කියලා මට මතක නෑ. ඒක මගේ හිත තදින්ම වැළදගත්තු මතකයක්. ඒත මං උඹෙන් අහන්නේ එක දෙයයි.. ඒකට උත්තරයක් දෙන්න තරම් උඹ කරුණාවන්ත වෙයි කියලා මං හිතනවා. අර සිංදුව කියන්න කලින් 'නමේ හැටියට මං හැමදෙයක්ම විනාශ කරගෙන ඉන්න මිනිහෙක්' කියලා කිව්වෙ ඇයි..? උඹ හිතන තරම් උඹ කියන තරම් අඩුපාඩුවක් මට උඹේ නමේ නම් පේන්නෙ නෑ. අනික උඹ නලුවෙකුටත් වැඩිය හැන්ඩ්සම් කොල්ලෙක්නේ.."

සමින්දගේ පැනයට අවිනාශ්ගේ මුහුණින් මුලින් කිසිදු හැගීමක් පහළ වූයේ නැත. එහෙත් තත්පරයෙන් තත්පරය ගෙවී යනවිට අර මුලින් තිබූ ප්‍රිය මනාප බව, අවිනාශගේ මුහුණින් නැත්තටම නැති වී යන බැව්, ඔහු වටාවූ සියල්ලෝම දුටුහ. දැන් දැන් ඒ මුහුණේ ඇත්තේ දරුණු පරාජයක කටුක මතකයක් බැව්, අවිනාශ් වටාවූ පිරිසේ සියල්ලෝම හොදින්දැක බලා ගත්හ. එහෙත් විනාඩි ගණනාවක් යනතුරු අවිනාශ්ගේ මුවින් කිසිදු වචනයක් ගලා ආවේ නැත. දරා ගැනීමට අසීරුම වූ නිහැඩියාවක් මැදින් ඇසුනේ දුම්රිය රේල් පීලි මත ගමන් කරනා ශබ්දය පමණකි. 

"මොකක්ද බං.. බදුල්ලට යනකන් මූත් එක්ක පැලවෙන්නද උඹල හදන්නේ..? උඹලගෙ මොලේ හොද නැද්ද..? මේ කොහේවත් ඉන්න ගස් ගෙම්බෙක්ගෙ නැති කරගත්තු මගුලක් ගැන අහන්නේ..? ඇත්තටම සමින්දයට පිස්සුද..?"

තවදුරටත් ඉවසා සිටීමට නොහැකි තැන භාතිය, ෂෙනාල්ගේ සවනට ළංවී කුටු කුටු ගෑවේය. එහෙත් තමා බලාපොරොත්තු වූ තරම් ප්‍රතිචාරයක්, ෂෙනාල් ගෙන් නොලැබීමෙන් භාතියගේ කේන්තිය අසූ හාරදාහටත් එහා උසට නැංගේය. 

"චමෝදිටයි, නයෝමිටයි විලි ලැජ්ජාවක් කියලා දෙයක් නෑ.. දැක්කෙත් අදමයි.. කතාබහ කරෙත් අදමයි. වශියක් දීලා වගේ අර හෝහපුටුවා ගාවින් හෙල්ලෙන් නෑ.. මේකෙ තේරුම මොකක්ද බං.. උඹ දන්නවනේ මං චමෝදිට ට්‍රයි කියලා.. හොදට තියෙන මගේ පපුව පිහි පාරවල් හය හතක් අනිනවා වගේ වැඩක්නේ ඒකි මේ කරන්නේ..? කෝච්චියට නගිනකොට, ඉස්ටේෂමේ ඉන්නකොට ඒකි කී පාරක් නම් මං දිහා බැලුවද..? දැන් විහිලුවටවත් ඒකි මං දිහා බලන්නෙ නැත්තෙ අර හෝ හපුට්ටා හින්දා නේද..? ඇයි උඹට මේවා තේරුම් ගන්න බැරි..? මං හිතන් හිටියෙ උඹ මගේ යාලුවෙක් කියලා.."

අසූ හාරදාහටත් එහා උඩට ගිය කේන්තිය අවසන් වූයේ තමා පිළිබද මහා අනුකම්පාවකිනි. ඇත්තටම භාතියට දැනුණේ තමා පිලිබද වූ අපිරිමිත දුකකි.

"තොට පිස්සු හැදීගෙන එනවද.? මොනවද මේ උඹ කියවන්නේ.? චමෝදිත් එක්ක තියෙන මගුලක් උඹ ඒකිත් එක්ක බේරගනිං. මේ කොහේවත් ඉන්න අහිංසකයෙක්ව අල්ලගන්නෙ නැතුව. උඹ හිතන්නෙ චමෝදිත් එක්ක කතා කරන හැම කොල්ලම ඒකි එක්ක යාලුවෙන්න හදනවා කියලද..? නිකං මෝල් කතා නොකිය ඉදපං භාතිය.."

එවර නම් අසූ හාරදාහට තද වී තිබුණේ ෂෙනාල්ටය. දුම්රිය ගමන පටන් ගන්නා විටම ඇරඹුනේ භාතියගේ අදෝනාව දැන් දැන් ඔහුට මළ කරදරයක් වී හමාරය. මෙහි අවසානයක් තිබිය යුතුය.

"ඒ වුණාට ඒකි ඌත්තෙක්ක පැන පැන කතාවනේ ෂෙනාල්.. බදුල්ලට යනකොට ඒකි ඌත් එක්ක ලස්සනට සෙට් වෙලා තියෙයි. ගියා වගේම තට්ට තනියෙම තමයි මට එන්න වෙන්නේ.."

"ඒකි ඌ එක්ක පැන පැන කතාව නම් මං ඉස්සෙල්ලත් කිව්වා වගේ උඹ ඒකිත් එක්ක ඒක බේරගනිං. දැන්වත් දෙයියනේ කියලා උඹේ ඔය මළ අදෝනාව නවත්තගනිං.. අනුන්ට ඉරිසියා කරන එකත් නවත්තලා දාලා මට පාඩුවෙ ඉන්න දීපං.. නැත්නම් උඹේ ඔය තියෙන කැත ගතිය මං මේ හැම එකාටම කියනවා.. තේරුණාද..?"

දැන් නම් බදුලු ගමන අවමගුල් ගමනක් වෙන හැඩ භාතියට පෙනේ. කොහෙන්දෝ නරකාදියකින් කඩා පාත්වුණු මේ ගස් කුරුමිණියා තමාගේ සියළු පැතුම් විනාශ කර දමනා බව නම් සහතිකය. අනෙක් කරුණ නම් තමාගේ අදෝනාවක් හෝ චෝදනාවක් අසා සිටීමට හෝ සිටියේ ෂෙනාල් පමණි. දැන් ඌත් නැත. දෙයියනේ... මෙය පුදුමාකාර දුකක් නොවේද..?

ෂෙනාල් සහ භාතියගේ කතාබහ අවසන් වනතුරුම අවිනාශ් තම නිහැඩියාව බිද දමා තිබුණේ නැත. ඔහුගේ දිගු දෑස කොහෙන්දෝ ඈත අනන්තයක අතරමං වී තිබුණි.

"උඹ කියන්න අකමැති නම් අවුලක් නෑ.. ඒත් සමින්ද ඇහුවේ, අපි හැමෝම උඹෙන් අහන්න හිටපු දෙයක්. කොටින්ම උඹ ඉන්නෙ හිතාගන්නවත් බැරි තරමෙ ලොකු ට්‍රබල් එකක කියලා අපිට තේරුණා අවිනාශ්.."

ෂෙනාල් එසේ පැවසූ විට අවිනාශ් ඔහුගේ අත තද කර අල්ලා ගත්තේය. මෙතුවක් වේලා අවිනාශ් ආරෝපණය කරගෙන උන් නිහඩ බව බිද දැමීමට යන බවක් සියල්ලෝම තේරුම් ගත්හ. එහෙත් එයින් පසු මතුවන්නේ මොන විදියේ ගුප්ත බවක් දැයි තේරුම් ගැනීමට කිසිවෙකුටත් හැකියාවක් තිබුණේ නැත.

"උඹලා එහෙම හිතනවද යාලුවනේ.. උඹලා එහෙම හිතනවද..? දෙයියනේ.. මං ගැන අදටත් කවුරුහරි එහෙම හිතන එක කොයිතරම් සන්තෝසයක්ද..? මං හිතන් හිටියෙ මේ ලෝකෙ කිසිම කෙනෙක් මාව තේරුම් ගත්තෙ නෑ කියලා.. ඒත්.. ඒත්.. මගේ කතාව නම් හුගාක් දිගයි යාලුවා..."

අවිනාශ වචන හසුරුවන සිත් ගන්නා සුළු විලාසයට, තමා මෙන්ම තම මිතුරු මිතුරියන් සියල්ලන්ම වශී වී සිටින ආකාරයක් චමෝදි දුටුවාය. සමින්ද මොහුව, තමාට මුලින් පෙන්වද්දි මේ තරුණයාගේ ඇති අපූරු සිත් ගන්නා සුළු බව තමා නොදුටුවේ මන්දැයි චමෝදි පුදුමයට පත්වුනාය. අවිනාශ් සමග සමීප වීමට ලබා දුන් මේ ඉඩකඩ, මේ අවස්ථාවට චමෝදි මුලු හදවතින්ම රහසින් තුති පුද කලාය. 

"හුගක් දිග කතාවක් උනාට කමක් නෑ අවිනාශ්. අපිට එළිවෙනකල්ම වෙලා තියෙනවා. අනික අපිට කරන්න දේකත් නෑනේ. අනික හැමදාම අපි කෙරුවෙ සිංදු කිය කිය බජව් දම දම ගියපු එකනේ. ඔන්න අද ඇවිල්ලා තියෙනවා වෙනස්ම කතන්දරයක්." 

ෂෙනාල් එය පවසද්දී තව තවත් අවිනාශ් වෙතට ළංවූහ. ඒ, මේ කතාව අංශු මාත්‍රයකින් හෝ මග හැරෙතැයි සැකයෙනි.

"අපි බලමු අපේ යාලුවට උදව්වක් කරන්න අපිට පුලුවන් වේවිද කියලා. එහෙම උනොත් මේ බදුලු ට්‍රිප් එක, වෙන අවුරුදු වල ට්‍රිප් වලට වැඩිය සිරාම එකක් වේවි."

සමින්දගෙ කතාවට අවිනාශගෙ මුවේ මද සිනාවක් ඇදී මැකී නොපෙනී ගියේය. එහෙත් ඒ සිනාව කිසිවෙකුත් දුටුවේ නැත. තමාට උදව් කිරීමට කිසිවෙකුටත් බැරි බව ඔහු දැන සිටියේය.  

"දැන් ඉතිං බදුල්ලටම යනකල් මුගේ කතාව අහපල්ලකෝ.. අනේ දෙය්යනේ.... අපේ මේ මෝල් හැත්තට මුගෙන් තොර ලොවක් නැත්තෙ ඇයි..? මූව මේ තරම් පොරක් කරන්නෙ ඇයි..? මුං මෙච්චර මාව ආශ්‍රය කරනවා. මුං කවදාවත් මගේ කතාව අහලා තියෙනවද..? මගේ දුකක් ගැන අහලා තියෙනවද..? ෂිහ්.. මමත් මහ පුදුම ගොන් නාම්බෙක්.. මුං වගේ පාප මිත්‍රයො ටිකක් එක්ක මේ ගමන ආවනේ.. ෂුවර් එකටම මූ හිංදි ෆිල්ම් එකක සුරංගනා කතාවක් කියයි. මූ තමයි පොර.. කතාව වීරයා. අන්තිමට කෙල්ල බූට් එක තියනවා.. හෝ ගාලා ඇඩෙන කතාවක්.. අන්තිමට මගේ චමෝදි, ඌට සෙට් වෙලා.. මටයි අඩ අඩ ඉන්න වෙන්නේ... හයියෝ...  හයියෝ..." 

භාතිය සිරවී තිබුණේ ඔවැනි සිතුවිලි කන්දරාවකය. ඔහු නොකැමැත්තෙන් මෙන් අවිනාශ් දෙසට නෙත් හෙලුවේය. ඒ දිගු දෑස හදිසි හස්තයක් සේ තම නෙත් මතට පතිත වූ විට භාතිය වෙව්ලා ගියේය. ඒ දෙනෙත් වල කිසිදු ජීවි බවක් තිබුනේ නැත. 

සීත සුළං රැළි කපාගෙන දුම්රිය වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුණි. මැදිරියේ හුන් කිහිප දෙනෙක් දැනටමත් නිදි කිරන්නට පටන්ගෙ ඇති බැව් අවිනාශ් දුටුවේය. මුලු මහත් සොදුරු අතීතයම සිත්තමක් වී දෙනෙත් ඉදිරිපිට මැවෙද්දි ඔහු කතාව ඇරඹිය. 

"මං හිතන්නෑ යාලුවනේ.. මට උදව්වක් කරන්න ඔයාලාට පුළුවන් වේවි කියලා. මං එහෙම කියන්නෙ ඔයාලා ගැන අඩු තක්සේරුවකින් නම් නෙමෙයි.." 

අවිනාශ් කතාව අරඹද්දි, සමින්ද මැදට පැන්නේය. මෙහෙම ගියොත් අවිනාශ් කතාව කියන්නෙ නැත.

"උදව් කරන්න පුළුවන්ද බැරිද කියක එක අපි පස්සෙ බලමු අවිනාශ්. මේ වෙනකොට උඹ අපේ කුතුහලේ උපරිමේටම ඉහල දාලයි තියෙන්නේ. ඒක හින්දා දැන් අපිට ඕන උඹේ කතාව. අපි මේ හැමෝම කටවල් ඇරන් බලන් ඉන්නෙ ඒ කතාව අහන්නයි..."

'මූ අපිව දාලා තියෙන්නෙ අඩු තක්සේරුවට නෙමෙයි අව තක්සේරුවට. අපේ ගොබ්බ හැත්තට මේක නොතේරෙන එකනේ කරුමේ..' තමාට සුපුරුදු සිතුවිලි දාමයෙන් භාතිය සිතුවේය. චමෝදි මෙන්ම නයෝමිද සිතුවේ අවිනාශ්ගේ කතාවට ගැහැණියක් නම් කොහෙන් හෝ සම්බන්ධ වෙන්නට එපා කියාය. එසේ සම්බන්ධ වී ඇතිනම් මේ වනවිට ඒ ගැහැනිය හෝ තරුණිය ඔහුගෙන් සදහටම වෙන්වී ගොස් ඇත්නම් හොදයි කියාය. සමින්දට මෙන්ම ෂෙනාල්ට තිබුණේ අවංකම අවිනාශ්ට උදව් කිරීමේ අවශ්‍යතාවයයි.

"දැනට අවුරුදු එක හමාරකට කලින්, මං තරම් සන්තෝසෙන් ඉදපු කොල්ලෙක්, මේ ලංකාවෙ කොහේවත් නෑ කියලයි මං හිතන් හිටියේ. ඒත් අද වෙනකොට ඒ දේවල් කොයි තරම් දුරකට වෙනස් වෙලාද..? අවුරුදු එකහමාරක්.. මාස දහ අටක්.. සති හැත්තෑ අටක්.. දවස් පන්සිය හතලින් හතක්.. ඔයාලට හිතාගන්නවත් බෑ යාලුවනේ. කුරුල්ලෙක් වගේ නිදහසේ පියාඹලා ගියපු මම, ජීවිතේ ගැන කිසිම බරක් පතලක් නැතුව හිතාපු මම, හිතාගන්නවත් බැරි විදියට විනාශ වෙලා ගියා. දවස් පන්සිය හතලිස් හතක්.. මගේ ජීවිතේට කොයි තරම් අපල කාලයක්ද උදා කරලා දැම්මේ..? ඒ අවුරුදු එකහාමාරට මට හුගාක් වද වේදනා දුන්නා. මාව නොමරා මැරුවා. මගේ ජීවිතේ සදාකාලික අපායක් කලා.. දවස් පන්සිය හතලිස් හතකදි කොයි තරම් දේවල් මේ ලෝකෙ ඇතුළෙදි වෙන්න පුලුවන්ද..? ඒත්.. ඒත්.. ඒත් මං ඉදපු අන්ධකාර ලෝකෙට ඔයාලා ඉදපු සැබෑ ලෝකෙ ආරංචි ආවෙ නෑ. මං මේ හැබෑ ලෝකෙ දකින්නෙ දවස් පන්සිය හතලිස් අටකට පස්සේ.."

එසේ කියා අහවර අවිනාශ් මදක් සන්සුන් වන්නට පටන් ගත්තාය. ඉදා දැඩි වූ පරාජිත බවක් ඒ කඩවසම් මුහුන පුරා පැතිරී ගොස් තිබිණි. ජීවිතයේ කෙටි කලකදී ලැබූ අනන්ත වූ දුක් කන්දරාව දැවැන්ත සෙවනැලි ඒ සියල්ලන්ටම වඩා ඉස්මතු වී පෙනිණ.

අවිනාශගේ කතාවෙ තිබූ කුහල් ගතිය නිසාම, චමෝදිට තම සිතුවිලි සිර කර ගැනීමට නොහැකි වූවාය. එයින් සිදුවූයේ භාතියගේ කලකිරීම තවත් වැඩිවීම පමණි.

"ඔ... ඔයා කියන දේවල් මට තේරෙන්නෙ නෑ.. අවිනාශ්.. එ.. එතකොට ඔ.. ඔයා කොහෙද හිටියේ..? මුහුද මැද්දෙ ෂිප් එකකද..?"

"එහෙමත් නැත්නම් එක්ටැම් ගේකද..? ළග පාතක මෙලෝ මනුස්සයෙක් නැතුව, තට්ට තනියෙම මුහුද දිහා බලාගෙන, විනාශවෙලා යන ජීවිතයක්ද ඔයා ගෙව්වෙ අවිනාශ්.. මට නම් හිතෙන කොටත් ඇග හිරි වැටිලා යනවා දෙයියනේ.. ඔයා වගේ කෙනෙක් මේ දේවල් කොහොම දරාගන්න ඇතිද කියලා.." 

චමෝදිගෙන් පසුව පැනය නැගුනේ නයෝමිගෙනි. මේ කියවාගෙන යන දේව් අනුව අවිනාශ් කොහේ සිටින්න ඇද්ද..? සියල්ලන්ගේම සිත් තුළ සිරවී තිබූ එකම පැනය වූයේ එයය. එහෙත් සිතූ තරම් ඉක්මනට අවිනාශ්ගෙන් පිලිතුරක් ගලා ආවේ නැත. එහෙයින් යළිත් කටහඩ අවදි කරන්නට සමින්දට සිදුවිය..

"ඇතත්ටම ඔය කියන දවස් පන්සිය ගාන, උඹ කොහෙද හිටියෙ අවිනාශ්...?"

අවිනාශ් එක එල්ලේම දෑස සමින්ද දෙසට යොමු කලේය. එම දෑස් වල තිබූ තියුණු බව නිසාම සමින්දට සිදු වූයේ බිම බලා ගන්නටය. අනතුරුව අවිනාශ්ගේ මුවේ සිහින් සිනාවක් නැවතත් ඇතිවී නැතිවී ගියේය. පිරිසෙන් සමහරු ඒ සිනාවෙන් බිදුවක් හෝ දුටුවේ නැත. භාතිය නම් කොහෙත්ම දුටුවේ නැත. දුටුවද ඔහුට එයින් වැඩක් වූයේද නැත..

"ම... මං හිටියේ.. ජේලර් එකේ. කොටින්ම කිව්වොත් බන්ධනාගාරෙ..." 

මහ ගොරෝසු කටහඩින් අවිනාශ් එසේ කියද්දී චමෝදි මෙන්ම නයෝමිද තම ළයට දෑත් එකක්හු කර ගත්හ. අවිනාශ් වටාවූ සියලුම දෙනාගේ මුහුණුවල දැඩි විමතියක මං සලකුණු මවා පා තිබිණි. සමින්දට නම් එය කෙසේවත් විශ්වාස කල හැකි කතාවක් වූයේ නැත. භාතිය නම් සිටියේ තනිකරම මහා පත ගලක් ගිල්ලා සේය. ඔහුගේ හදවත පිටතට ඇසෙනා තරම් මහා සද්දයට ගැහෙමින් තිබිණි..

"දෙයියනේ... මූ මිනීමරලා හිරේට ගියපු එකෙක්ද කොහෙද..? අපොයි මූ මාවත් මරල දාවිද දන්නෙ නෑ.. මොකද ඌ දන්නවා මේ කෝච්චි පෙට්ටියෙන්ම මං විතරයි ඌට කැමති නැත්තෙ කියලා. අපොයි.. අපොයි.. එක මිනිහෙක් මරපු එකෙකුට තව ඕන තරම් මිනිස්සු මරන්න පුළුවන් කියලා, ඔය කොහේද පොතක තිබුනා.."

 භාතියගේ සිතුවිලි අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඈතට විහිදී ගොස් තිබිණි. එබැවින් ඔහු දැන් ජීවත් වූයේ ඔහුවත් නොදන්නා අමුතුම ලෝකයකය. සමහරවිට තවත් රෑ බෝ වූ විට සියලු දෙනා නිදියාගත්විට, මේ මිනීමරුවා තමාව මරා දමා චමෝදිව ද රැගෙන ළගම ඇති දුම්රිය නැවතුම්පලින් බැස යනු ඇත. ඒ නිසා කළ යුතු හොදම දෙය වන්නේ, නිදිමත අමාරුවෙන් හෝ දරාගෙන මේ මිනිමරුවාගේ කතාව අසමින් නොනිදා සිටීමය..

කෙසේ වුවත් අවිනාශ්ගේ මුවින් පිටවූ වදන් කිසිවෙකුටත් විශ්වාස කිරීමට හැකියාවක් තිබුණේ නැත. මෙවන් අපූරු තරුණයකුගේ මුවින් පිටවූ වදන් අදහා ගැනීමට හැකියාවක්, ඔහුව අගය කළ, ඔහුට ආශා කළ, කිසිවෙකුටත් තිබුනේ නැත. ඇත්තටම ඔවුන් සියලු දෙනාම ගල් ගැසී සිටියට..

"මං.. මං හිතන්නෑ මේ හැමදෙයක්ම ඔයාලා එක්ක කිව්වා කියලා මගේ හිත නිදහස් වේවි කියලා. එහෙම කියලා නිදහස් කරගන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඒත් මේක එහෙම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒක මගේ කතාව අහලා ඉවර උනාම ඔයාට තේරෙයි.."

අවිනාශ් කියවාගෙන යන දේවලට කිසිවෙකුත් හ්ම් කියා හෝ කිව්වේ නැත. ඔවුහු සාවධානව අසා සිටියහ.

"ඒත් අඩුම ගානේ මං මොන වගේ කොල්ලෙක්ද කියලවත් ඔයාලට තේරේවි.." 

ඉන් ඉක්බිතිව ගෙවී ගිය හෝරා කිහිපයක කාලයෙදී අවිනාශ් ඔහුගේ අතීතය, වර්ථමානය මුදා හැරියේය. එහෙත් එම මුදා හැරීම ගැන ඔහුගේ සිතේ පසුතැවිමක් තිබුනේ නැත. මක් නිසාද යත්, එයට වඩා තම ජීවත කාලය පුරාම, අවිනාශ් නම් දගකාරයාට පසුතැවිලි වන්නට කරුණු කාරණා ඕනෑ තරම් දෛවය විසින් උදාකර දි තිබූ බැවිණි.   

 

 

1 comment: