Sunday, March 11, 2012

| මුතු වැල | සමසෙට් මෝම් |


මා ළගින්ම පුටුවේ ඔයාට වාඩිවෙන්න ලැබුණු එක ගැන මට හරිම සන්තෝසයි. ලෝරා පැවසුවේ අප රාත්‍රී භොජනයට අසුන්ගන්නා අතරේදීය.

"මටත් සන්තෝසයි" මම ආචාරශිලීව පිළිතුරු දුනිමි.

"බලමු ඔයාටත් ඒක සන්තෝෂදායක වේවිද කියලා" 

ඇය කීවාය 

"ඔයාව හමුවෙන්න මට විශේෂ උවමනාවක් තිබුණා. ඒ මොකද දන්නවද ? මා ළග තියෙනවා ඔයාට කියන්න අපූරු කතාවක්."


මගේ සිතේ මද නොසන්සුන් බවක් ඇතිවිය.

"හොදයි එහෙම නම් ඉක්මනට ඒ කතාව කියලා ඉවර කරන්න.." 

මම කීවෙමි.  

"ඊට පස්සෙ ඔයාගෙ අළුත් තොරතුරු කියන්නකෝ. එහෙමත් නැත්නම් මේ මං ගැනවත්......"

"නෑ නෑ, මේ කතාව නම් ඔයාට කියන්න ඕන එකක්" 

ලෝරා කීවේ අවධාරණාත්මක හඩකිනි.  

"මට හිතෙනවා කතාවක් ලියන්න ඔයාට ඒක ප්‍රයෝජනවත් වේවි කියලා." 

"ලෝරාට  හිතන්නෙ එහෙම නම්, ඒක ඉස්සර වෙලා කියල ඉන්න" 

මම කීවෙමි.  

"ඒ වුණත් අපි මුලින් බලමු අද කෑම වට්ටෝරුව මොකක්ද කියලා."

"ඇයි මං ඒ වගේ කතාවක් කියනවට ඔයා කැමති නැද්ද..?" 

මෙවර ඇය ඇසුවේ කණගාටුවට පත් හඩෙනි. 

"මං හිතුවා මේ වගේ කතාවක් අහන්න ඔයා කැමති වේවි කියලා."

"මං හරිම කැමතියි ලෝරා. බාගවෙලාවට ඔය කතාව යොදල මට නාට්‍යයක් ලියන්න බැරිවෙන එකකුත් නෑ."

"මේක සිදුවුණේ මගේ යහළුවන් කීපදෙනෙකුට, ඒක සම්පූර්ණයෙන්ම සත්‍ය සිදුවීමක්" 

"ඒක සහතිකයක් නෙමෙයි" 

මම කීවෙමි.  

"ඇත්ත කතාව වුණත්, සමහරවිට ඇත්ත නොතිබෙන්න පුළුවනි, ගොතපු කතාවක තරම්"

"මොකක්..? ඔයා කිව් දේ මට තේරුණේ නෑ. කොහොම වුණත්, ඒක සිදුවෙනකොට මං එතැන හිටියා."

"හරි. මං කියුවෙ ඒ තරම් වැදගත් දෙයක් නෙවෙයි. අපි බලමු ලෝරා අද කෑම වට්ටොරුව දිහා. මුලින්ම අපට පිළිගන්වන සුප් එක නම් මං බොන්නෙ නෑ. ඒ මොකද ඕවා බිව්වාම මහත් වෙනවා."

මා එය කීවේ උපහාසාත්මකව නොවූවත්, එය ඇයට වැදෙන්නට ඇත. ලෝරා මා වෙත යොමුකළේ එවැනි බැල්මකි. අනතුරුව කෑම වට්ටෝරුව දෙස බැලූ ඇය සුසුමක් හෙළුවාය. 

"ඔයා බොන්නෙ නැත්නම් මමත් සුප් එක බොන්නෙ නෑ." 

ඇය කීවාය.  

"දෙවියො තමයි දන්නෙ! දකින දකින දේවල් කෑමට ගැනීම මගේ රූපෙට කොහොමටවත් හොද නෑ.." 

"ඉතින් ඔයාගෙ කතාව කියන්නකෝ.."

"මං ඇත්තටම එහේ හිටියා" 

ඇය කීවාය.  

"මං ලිවීංස්ටන්ලගෙ ගෙදර බෝජන සංග්‍රහයට ගියා. ඔයා අදුනනවා නේද ලිංවිස්ටන්ල?"

"නෑ ඔයා කියන අය මට එච්චර මතක නෑ."

"හරි කමක් නෑ" 

ඇය කීවේ පුටුව මදක් ඉදිරියට ගනිමිනි.  

"ඔයාට ඕන නම් එයාලගෙන් වුණත් අහල බලන්න පුළුවනි. මං ඔයාට කියන කතාවෙ වචනයක් නෑර ඇත්ත කියලා. එයාලා සහතික කරාවි. කොහොම හරි ලිංවිස්ටන්ල, එයාලගෙ ගෙදර රාත්‍රිභොජන සංග්‍රහයකට එන්න කියලා, යාළුමිත්‍රයන් පිරිසකට ආරාධනා කලා. ඒ වෙලාවෙ ඇරයුම කවුරුත් පිළිගෙන තිබුණලු. ඒත් අන්තිම මොහොතෙ එක ගෑනු කෙනෙක් එන්න බෑ කිව්වලු - ඔයා දන්නවනේ සමහර අයගෙ හැටි. අනුන් ගැන කිසි සැලකීමක් නෑ. ඔයින් මෙයින් මේසෙට වාඩිවෙන්න සිදුවෙන ගණන දහතුන්දෙනෙකු වුණා. මේ අසුභ ගණන - 13 දෙනෙකු මේසෙට වාඩි කරගෙන භොජන සංග්‍රහය පවත්වන්න, ලිංවිස්ටන් මහත්මිය කොහොමටවත් කැමති වුණේ නෑ. ඉතින් ගණන 14ක් වෙන්න, ඇය මේසෙට කැදවලා හිටියා තරුණ කාන්තාවක්. ඒ ඔවුන්ගෙ රොබින්සන් මෙනවිය. ඒ තරුණ ගෑනුළමයගෙ වයස මං හිතන්නෙ 20ක් නැත්නම් 21ක් ඇති. හොද ලස්සන කෙල්ල. ඒ වගේ ලස්සත තරුණ කෙනෙක්, මම නං කොහොමටවත් ගුරුවරියක් හැටියට, ගෙදර නවත්වාගන්නෙ නෑ. මොනවා වේවිද කියලා කවුද දන්නේ..?"

"ඒ වුණත් කවුරුත් හිතන්නෙ, තමන් හිතන පතන අයුරින්ම දේවල් ඉටුවේවි කියලනේ." 

මම කීවෙමි.

මා කියූ දේට කන් යොමු නොකළ ඇය නැවත කතාව ඇරඹුවාය.

"ඔය වගේ තරුණ ගුරුවරියක් වැඩට බදවාගත්තම තිබෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා දන්නවද..? තමන්ගෙන් ඉටුවිය යුතු රාජකාරි මොනවද කියලා ඇය කල්පනා කරන්නෙ නෑ. දකින දකින ඉලන්දාරි ගැන හිත හිත ඉන්නවා. ඔන්න කොහොම හරි ඒ ගෑනිව ගෙදර වැඩට පුරුදු පුහුණු කරලා ගත්තා කියමු. එතකොට ඒකිට ඕනවෙනවා කසාද බදින්න. ඒ වුණාට රොබින්සන් මෙනවිය නම් එහෙම කෙනෙක් නෙමෙයි. ඇය ගැන හොද සහතික ලැබිලා තිබුණලු. මං හිතන්නෙ ඇය දේවගැතිතුමෙකුගෙ දුවක්. හරිම හොද කෙල්ල. මං ඒ ටිකත් කිව යුතුයි නේ.

ඉතිං......... මේසෙ කෑම අඩුව පිරවුණා. ඔය අතරෙ කෑමට ඇවිත් හිටියා කෙනෙක්. මං දන්නෙ නෑ ඔයා, ඒ මිනිහා ගැන අහලා තියෙනවද කියලා. එයා තමයි බෝලේසි සාමිවරයා. මැණික් පිළිබද ඉහළම පෙළේ විශේෂඥ්යෙක්. එයාගෙ ක්ෂේත්‍රෙය් බොහෝම සුප්‍රසිද්ධ කෙනෙක්ලු. වටිනා මුතු මැණික්, දියමන්ති ගැන, මේ ලෝකෙ කිසිකෙනෙක් දන්නෙ නැහැලු එයා තරම්. එයා වාඩිවෙලා හිටියෙ කවුරු ළගද දන්නවද..? මේරි ලින්ගේට් ළග. ඒ ගෑනිට තියෙනවනේ මුතුමාල පළදින පිස්සුවක්.. කතාබහේදි මේරි, බෝසෙලී සාමිවරයාගෙන් ඇහුවා, තමන් පැළද හිටි මාලය ගැන.

"මේ මාළයේ මුතු ඇට ගැන මොනවද ඔයා හිතන්නේ..?"

"ඔය මාලෙ හරිම ලස්සනයි" 

බෝසේලි කිව්වා.  

"මේ ඔක්කොම හොද මුතු."

ඔහු එහෙම කිව්වාම මේරිට හරිම සංතෝසයි.

"මට මේකට පවුම් අටදාහක් වියදම් වුණා."

ඇය කිව්වා.

"ඔව්. ඒ ගණනට හොදටම වටිනවා" 

සාමිවරයා එකගවුණා. රොබින්සන් මෙනවිය වාඩිවෙලා හිටියෙ, බෝසෙලී කෙළින්ම ඉස්සරහ පුටුවෙ. එදා රෑ පුරා ඇය ඉතාම ලස්සනට හැද පැළදගෙන හිටියා. ඇය හැදලා හිටි ගවුම නම් සොෆිගෙ -  ඒ කියන්නෙ ලිවිංස්ටන් මහත්මියගෙ. ඒක ටිකක් පරණ ඒත් වටිනා ගවුමක්. මම නම් ඒක ඉක්මනටම අදුනගත්තා. කොහොම හරි මේ තරුණිය කවුද කියලා ඔබ කලින් දැන හිටියෙ නැත්නම්; ඒක නම් අනුමාන කරන්නවත් බෑ; එදා කෑම මේසෙදි ඇගෙ පෙනුමෙන් නම්, ඒක කොහොමටවත් කියන්න බෑ. මේ දුප්පත් පවුලක ගුරුවරියක් කියලා.

මං දුටුවා බොසේලි සාමිවරයා රොබින්සන් මෙනවිය දිහා බැලූ හැටි. මොහොතකින් ඔහු මෙහෙම කිව්වා. 

"අර තරුණ නෝනා පැළදගෙන ඉන්නෙ, ඉතාම ලක්ෂන වටිනා මාලයක්."

"හැබෑට..?" 

මේරි ලින්ගේට් ඇසුවා.  

"ඒ වාණාට, ඒ, සොෆී ලිවිංස්ටන්ගෙ ළමයින්ට උගන්වන, ගෙදර නවත්වාගෙන ඉන්න ගුරුවරිය.." 

මේරි ඒ ටික කිව්වෙ කටහඩ තරමක් අඩු කමින්.

"ඒක වෙන්න පුළුවනි.." 

ඔහු කිව්වා.  

"ඇය පැළදගෙන ඉන්න මාලයේ තිබෙන්නේ, ඉතාම විශිෂ්ට ගනයේ මුතු, ඒ වර්ගයේ, එම ප්‍රමාණයේ මුතු ඇට, මං ජීවිතේට දැකලා නෑ. ඔය මාලය වටිනවා අඩුම තරමේ පවුම් පනස්දහසක්!"

"මොන පිස්සු කතාවක්ද ඒ..?" 

මේරි කිව්වා..

"ඒ ගැන මට සහතික වෙන්න පුළුවනි.." 

සාමිවරයා කිව්වා.  

"මුතු වල අනර්ඝය ගැන මට කිසිම සැකයක් නැහැ.." 

මේරි ලින්ගේට් පුටුවෙ ටිකක් ඉස්සරහට වුණා. ඇයට කොහොමත් තියෙන්නෙ තියුණු කටහඩක්. ඇය අර තුරුණියව ඇමතුවේ කටේ ශබ්දය තවත් වැරඩිකරමින්.

"රොබින්සන් මෙනවවිය.." 

මේරි කිව්වා  

"ඔබට ඇහුණද මේ බෝසෙලී සාමි කිව්ව දේ..? ඔහු කියනවා ඔබ ඔය බෙල්ලෙ දමාගෙන ඉන්න මාලෙ, පවුම් පනස්දහසක් වටිනවලු.."

ඔය මොහොත කාගෙත් කතාබහ අඩුවෙලා, කෑම මේසෙ නිශ්ශබ්දතාවයක් තිබුණ වෙලාවක්. මේරි ලීන්ගේට් කියූ දේ මේසෙට වාඩිවෙලා හිටි හැමදෙනාටම ඇහුණා. අපි කාගේත් නෙත් යුමු වුණේ රොබින්සන් මෙනවිය දෙසට. ඇගේ මුහුණ ලැජ්ජාවෙන් රතුවුණා. ඇය තරමක අපහසුවෙන් සිනාසුනා.

"එහෙම නම් මට හරිම වාසියක් තමයි වෙලා තියෙන්නේ.." 

ඇය කිව්වා..  

"ඒ මොකද මට මේ මාලෙට එක පවුමක් වත් වියදම් වුණේ නෑ. මං මේක මිලට ගත්තෙ සිලිං පහළොවකට.."

"හැබෑ නේන්නම්. මොන තරම් වාසියක්ද..?" 

කවුදෝ කිව්වා. කෑඹ මේසෙ හිටිය අපි හැමදෙනාටම හිනා. 

"මේක කොහොමටවත් වෙන්න බැරි දෙයක්. අපි දන්නවා සමහර වෙලාවලට, නෝනලා බොහොම මිල අධික මුතුමැණික් ආභරණ අරගන්නවා, මහත්තයට නොකියා. පස්සෙ මහත්තයට කියන්නෙ මේක ඉමිටේෂන් බඩුවක්. සුළු ගාණයි වියදම් වුණේ කියලා. ඒක ඉතින් බොහොම පරණ කතාවක් නෙ

ලෝරා කිව්වා.

"ඒක හරි..." 

මා කියුවේ මා ලියා තිබූ එවැනි කතාවක් ගැන සිහිකරමිනි.

"නමුත් මෙතන තත්වය ඒකෙ අනික් පැත්ත.." 

ලෝරා පැවසුවාය.  

"මාසෙ අන්තිමට සුළු පඩියක් ගන්නා, ගුරුවරියකගේ කරේ, පවුම් පනස්දාහක් වටිනා මාලයක්..? බෝසෙලී සාමිවරයාට වෙලා තියෙන්නෙ ලොකු වැරදීමක්ද..? එහෙම වියයුතුයි කියලා අපි කාටත් හිතුනා. එතකොටම......." 

"ඔව්......?"

"මහ පුදුම දෙයක් වුණා..." 

ඇය කිවාය. 

 "කවුරුවත් නොහිතන විදියෙ අහඹු සිදුවීමක්.."  

එවිටම ඇගේ කතාවට බාධාකරමින් මාළු සංග්‍රහය ඇරඹණ. මගේ පිගාන වෙත, මගේ වම්පසින් ළංවූයේ, බටර් යොදා උදුනේ පිසගත් සමන් මාළු දීසියක් රැගත් සේවිකාවකි.

"අපට සංග්‍රහකරන්නේ ඉහළම පෙලේ භොජන වලින් වගෙයි..."

"සැමන් වලට ඇග මහත් වෙනවද..?" 

ලෝරා ඇසුවාය.. 

"අපොයි ඔව්.." මම කිව්වෙ ලොකු සැමන් කුට්ටියක් මගේ පිගානට බෙදා ගනිමිනි.

"යන්න අනේ බොරු නොකියා.." 

ඇය කිව්වේ තරහා මුහුණක් පෙන්වමිනි..   

"ඉතින් කතාව කියන්නකෝ..." 

මම ඉල්ලා සිටියෙමි.  

"අර පුදුමාකාර අහඹු සිදුවීම ගැන ඔයා කිය කිය හිටියේ.. ඉතින්..? ඊළගට මොකද වුණේ..?"

"ඔව්.. ඒ මොහොතෙම වගේ ලිවිංස්ටන්ලගෙ ප්‍රධාන ගෘහසේවකයා මේලෙ ළගට ආවා. ඔහු රොබින්සන් මෙනවියගෙ කනට ළංවෙලා, කෙදිරිලි හඩින් මොනවදෝ කිව්වා. මට පෙනුණා එක්වරම ඇය ටික්ක සුදුමැලි වුණු බව. මෙහෙම උත්සවයකට එනකොට රෝසපාට ආලේප ටිකක්. මුහුණේ තවරාගෙන එන්න ඕන. එහෙම නොකිරීම ලොකු මෝඩකමක්. ඒ මොකද, අපට මොන වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වේවිද දන්නෙ නැහැනේ.. මං පැහැදිලිවම දුටුවා ඇගේ තිගැස්මක්. ඇය ටිකක් ඉස්සරහට නැමිලා ලිංවිස්ටන් මහත්මිය ඇමතුවා.

"ලිවිංස්ටන් නෝනා. ඩෝසන් කියනවා කිවුද මිනිස්සු දෙන්නෙක් ඇවිත් ඉන්නවලු. ඒ දෙන්නට උවමනාලු වහාම මාව හමුවෙන්න"

"හොදයි එහෙනම් ඔයා යන්න.." 

සොෆි ලිංවිස්ටන් ඊට අවසර දුන්නා.. 

රොබින්සන් මෙනවිය සමාව අයදිමින් අසුනෙන් නැගිටලා, කෑම කාමරයෙන් පිටවී ගියා. අපි හැමකෙනෙකුගේම හිත්වලට නැගුණේ එකම කරුණක්. ඒත් ඒක බය නැතුව මුලින්ම කිව්වෙ මම..

"සොෆී. මං විශ්වාස කරනවා, ඔවුන් ඇවිත් තියෙන්නේ, ඇය සිරභාරයට ගන්න නෙමෙයි කියලා, එහෙම වුණොත් ඒක ඔයාගෙ හිතට දරාගන්න බැරි කම්පාවක් වේවි."

"බොසේලී" 

සොෆී සාමිවරයාට කතාකළා. 

"ඔයාට හොදටම විශ්වාසද, ඒක ඒ තරම් වටිනා මුතු මාළයක් කියලා..?"

"ඔව්.. මට හොදටම විශ්වාසයි..." 

ඔහු කිව්වා.

"එහෙම හොරකම් කළ එකක් නම්" 

මං කිව්වා  

"අද වගේ දවසක රෑ කෑමට, ඇය ඒක පැළදගෙන ඒවි කියලා හිතන්න අමාරුයි.."

සොෆී ලිවිංස්ටන් එක් වරම සුදුමැලි වුණේ, හරියට අවතාරයක් දුටුවා වගේ. මොන තරම් පියකරු හා ආලේප මුහුණේ තවරලා තිබුණත්, සොෆිගේ මුහුණ සුදුමැලිවුණු හැටි නම් පැහැදිලිව පෙනුණා. මට හිතුණෙ ඇයට ලොකු බයක් හිතෙන්න ඇති. ගෙදර හංගලා තියෙන ඇගේ ආභරණ පෙට්ටියට, මෙලහකටත් මොන ඉරණමක් අත්වෙලාද දන්නෙ නෑ කියලා. ඇයට බයහිතෙන්න ඇති. මං ඒ වෙලාවෙ කරේ දාගෙන හිටියෙ පුංචි දියමන්ති මාළයක් විතරයි. ඒ වුණත් මට නොදැනිම මගේ අත ගියේ මගේ කරට. මාලෙ අතගාලා බැලුවා. ඒක එහෙමම තිබුණා.

"පිස්සු කතා කරන්න එපා ලෝරා" 

ලිවිංස්ටන් මහත්මයා කිව්වා.  

"ඔය තරම් වටිනා මුතු මාලයක් හොරකම් කරන්න ? රොබින්සන් මෙනවිය වගේ ලාබාල කෙල්ලෙක්,  ඔය තරම් වටින මාලයක් මොන ලෝකෙන් හොරකම් කරන්නද..?"

"කවුද දන්නේ..?" 

මං කිව්වා "

"කවුරු  හරි හොරහක් කළ එකක් ඇය බාරගත්තා වෙන්න පුළුවන්.."

"අනේ මංදා.. කොහොම හිතන්නද..?" 

සොෆි කිව්වෙ කණගාටුවෙන්.. 

"මෙහේ රස්සාවකට එද්දි අපි ඇගේ සහතික පරික්ෂා කළා. ඇයව වර්ණනා කළ, ඇයව රෙකමදාරු කළ සහතික ගණනාවක්ම තිබුණා." 

"ඔහොම අය ළග තියෙන්නෙ ඒ වගේ සහතික තමයි.." 

ඒ කීවෙත් මම..

මේ කෙල්ලට විරුද්ධව කතාකරන්න, මං කලින් කිසිම දෙයක් දැන නොහිටි බව ඇත්තයි. ඒ වුණත් නිකං හිතන්නකෝ. කවුද දන්නේ.? සමහර විට ඇයිි, ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන හොරකල්ලියක සාමාජිකාවක් වෙන්න බැරි නෑ. ඇය ලෝක හෙරක් නෙමෙයි කියලා කහොම කියන්නද..?" ලෝරා මගෙන් විමසුවාය..

"ඒක හරියට චිත්‍රපටියක චරිතයක් වගේ" 

මා කීවේ පිගානෙ අන්තිම සැමන් කැබැල්ලත් කටට දමාගනිමිනි.  

"මං හිතන් හිටියෙ මේ වගේ දේවල් වෙන්නෙ චිත්‍රපටි වල විතරයි කියලා." 

"ඒකනේ..." 

ලෝරා කුඩා සැමන් කැබැල්ලක් ගෑරුප්පුවට අමුණමින් කීවාය. "රොබින්සන් මෙනවිය ආපහු එනතුරු, අපි බලාගනෙ හිටියෙ පුදුමාකාර නොයිවසිල්ලකින්; ඒක හරියට හුස්මක් ගන්න බැරි විදියෙ කුතුහලයක්. ඒ වුණත් ඇය ගිය පැත්තෙන්, කිසිම ශබ්දයක් ආවෙ නෑ. මං හිතාගෙන හිටියෙ විසිත්ත කාමරය පැත්තෙන්, මොකක් හරි කලබලයක ශබ්දයක් ඇහේවි කියලයි. එක්කො පිරිමින් උස්හඩින් කරන කතාබහක්? ඇය යටිගිරියෙන් කෑගහන හඩක් ? කඩාගෙන බිදගෙන පැන දුවන ශබ්දයක් ? මං එහෙම බලාපොරොත්තු වුණාට, කිසිම ශබ්දයක් අහන්න ලැබුණෙ නෑ. මට හිතුණේ ඒකත් හරිම අසුභ ලකුණක් කියලයි.

ඔන්න එතකොටම කෑමකාමරයේ දොර ඇරුණා. රොබින්සන් මෙනවිය කෑම මේසය වෙත ආවා. මෙතෙක් වෙලා අපි කතා කළ ඒ මාලේ, ඇගේ කරේ තිබුණේ නෑ! ඒ බව මුලින්ම දුටුවෙ මම. මට පෙනුණා ඇය ලොකු කැලඹිමකට පත්වෙලා හිටි වග. කිසිම දෙයක් කතා කරගන්න, ඇයට පුළුවන්කමක් තිබුණෙ නෑ. ඇය ඇවිත් මේසෙට වාඩිවුණා. ඔන්න එතකොටම ඇගේ මුහුණෙ පුංචි සිනාවක් නැගුණා. ඇය ඒක මේසය උඩට විසි කලා.........! 

"මේසද උඩට විසි කලා...? මොකක්ද..?"

මා ඇසුවේ මවිතයට පත්වය..

"මෝඩයා! ඇය මේසෙ උඩට විසි කලේ මුතුමාලය.."

"මෙන්න මේක තමයි මගේ මාලෙ.." ඇය කීවාය..

බෝසෙලී සාමිවරයා ඉදිරියට නැමිලා ඒ මාලේ දිහා බැල්මක් හෙළුවා. ඔහු කිව්වා  

"මේ මාලෙ වෙනයි. ඔබ කලින් පැළද සිටි මාලෙ වෙනයි.." බෝසෙලී 

එහෙම කිව්වෙ ලොකු විශ්වාසෙකින්..

ඇය සිනාසෙමින් හිස සෙලෙව්වා. ඒකෙන් අපට කිසිම දෙයක් තේරුම් ගන්න හැකියාවක් තිබුණෙ නෑ. ඒ මුහුණෙ තිබුණේ අභිරහසක ලක්ෂන. තමන්ගේ සේවිකාව,  එදා භොජන සංග්‍රහයේ ප්‍රධානම මාතෘකාව බවට පත්වුන එක ගැන නම්, සොෆි හිටියෙ හරිම සන්තෝසෙකින්. ඒ බව ඇගේ මුහුණෙන් පෙනුනා.

"රොබින්සන් මෙනවිය.." 

සොෆී කිව්වා..  

"අපි කිසිකෙනෙකුට මේකෙ අගක් මුලක් තේරෙන්නෙ නෑ. මේ අභිරහස මොකක්ද කියලා දැන්වත් අපිට තේරුම් කරලා දුන්නොත් නරකද..?"

"ඔව් මං ඒක ඔබට කියන්නම්.." 

රොබින්සන් මෙනවිය කිව්වා.  

"දැන් විසිත්ත කාමරයට ගියාම මට දකින්න ලැබුණේ, මං කවදාවත් දැක නොතිබුණු, නාදුනන මිනිස්සු දෙදෙනෙක්. එයාලා කිව්වා, ඔවුන් ආවෙ ජැරට් සාප්පුවෙන් කියලා. මගේ මුතුමාලේ දින කිහිපයකට කලින්, සිලිං පහළොවකට මං මිලට ගත්තේ ඒ සාප්පුවෙන් බව ඇත්තයි. නමුත් මාලෙ ගාංචුව බුරුල්. ඒ නිසා කරේ දමාගත්තට පස්සෙ මාලෙ පහසුවෙන්ම ගැළවුනා. ඉතින් ඒ ගාංචුව තදකරලා දෙන්න කියලා, මං මාලෙ ආපහු එයාලටම ගෙනිහිං දීලා ආවා. ඒ දවස් දෙකකට කලින්. අද ගියාම ඒ කටයුත්ත ඔවුන් නිමකලා තිබුණා. ඉතින් අද හවස තමයි මං මාලෙ ආපහු අරගෙන ආවේ. දැන් ඇවිත් හිටිය මිනිස්සු මෙහෙම කිව්වා. මං අද එහෙට ගිය වෙලාවෙ මං අතට දීළා තියෙන්නෙ වැරදි මාලයක්ලු. කවුද ඔවුනට දීලා ගිහින් තියෙනවා, තමන්ගෙ ඇත්ත මුතු තියෙන මාලයක්, අලුත්වැඩියාව සදහා. එතැන සේවකයෙක් ඒක බාරගත්තලු. ඔවුන් අතින් මොකක් හරි පටළැවීමක් වෙලා. මා අතට දීලා තියෙන්නෙ අර වටිනා මාලේ. මේක ඔවුනට දැනගන්න ලැබිලා තියෙන්නේ, මේ රෑ දැන් ටිකකට කලින්. ඒකයි ඔවුන් මගේ ඉමිටේෂන් මාලෙ අරගෙන මහාව දුවගෙන ආවේ. වටිනා මාලේ ඉල්ලාගෙන යන්න.."

"ඉතින් ඔබ පවුම් පනස්දාහෙ මාලෙ ආපහු දුන්නද..?" 

මං ඇහුවා.  

"ඔව්.." 

රොබින්සන් මෙනවිය කිව්වා.  

"මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. බෑ කිව්වොත් ඒක වංචාවක් වෙනවනේ.. ඔවුන් අතින් සිදුවණ වරදට, ඔවුන් කණගාටුවෙන බව මට කිව්වා. ඊට අමතරව එයාලගෙ සන්තෝසෙන් මට තෑග්ගකුත් දුන්නා. මේ බලන්න..!"   

ඇය තෑග්ග අපට පෙන්නුවා. ඒ පවුම් 300ක චෙක් පතක්. ඒ තරම් විශාල තෑග්ගක් ලැබීම ගැන, ඇය හිටියෙ දරාගන්න බැරි සතුටකින්.

"පුදුම වාසනාවක්. එහෙම නේද..?" 

මම ලෝරාගෙන් ඇසිමි.

"ඔයා නම් එහෙම කියාවි.." 

ලෝරා කීවාය.  

"ඒත් එකෙන් අන්තිමට ඇය විනාස වුණා.."

"විනාස වුණා ? දෙවියනේ ! කොහොමද එහෙම දෙයක් වුණේ..?"

"ඒ ටිකත් මං කියන්නම්.. රොබින්සන් මෙනවිය ලිවිංස්ටන්ල ළගට ඇවිත් ඒ වෙනකොට, අවුරුද්දක් සම්පූර්ණ වෙලාලු. ඇගේ වාර්ෂික නිවාඩුව ලබාගන්න කාලයත් ඇවිත්. ඇය සොෆී ලිවිංස්ටන්ට කිව්වලු, අර පවුම් 300ම වියදම් කරලා තමන්, ප්‍රංශයේ ඩෝවිල් වල නිවාඩුව ගතකරන්න බලාපොරොත්තු වන බව. මහ පිස්සු අදහසක් නේ.. ලෝකයේ ඉන්න ඉහලම කෝටි ප්‍රකෝටිපතියෝ නිවාඩු ගතකරන්න, සනීපගන්න යන තැනට මෙයා යන්න..? මේ ගෑනි ඒ වගේ පළාතක් තෝරගන්නෙ අහවල් දේකටද..? සොෆි කිව්වලු, පවුම් 300 නාස්ති කරන්නෙ නැතුව, ඉතිරිකිරීමේ ගිනුමක තැන්පත් කරන්න කියලා. මෝඩ කෙල්ල ඒකට කන්දෙන්නවත් කැමති වෙලා නෑ. සොෆි ඊලගට උත්සාහ කරලා තියෙනවා, අඩු මුදලකින් නිවාඩුවක් ගතකරන්න පුළුවන් තැනකට, රොබින්සන් මෙනවිය යවන්න. ඒක හරිගිහිනුත් නෑ. ඒ කෙල්ල කව්වලු, එයා ඩෝවිල් යන්න තීරණය අරගෙන ඉවරයි කියලා. ඇයට මුළු ජීවිතේටම මේ වගේ අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. ඒ හින්දා මාසයක කාලයක් සිටුවරියක් වගේ, ඩෝවිල් වල ජීවත්වුණත් ඇතියි කිව්වලු..

ඉතින් මුලද අයිතිකාරයා එහෙම කිව්වාම සොෆි මොනවා කියන්නද..? ඇය රොබින්සන් මෙනවියගෙ කැමැත්තට ඉඩදීලා තියෙනවා. ඉතින් ඒ වගේ පළාතකට ගිහිං අදින්න හොද ඇදුම් පැළදුම් එහෙමත් ඕන නේ. සොෆි කිව්වා, ඇය ටික කාලයක් ඇදලා අයින් කරපු, ඒත් වටිනා ඇදුම් වගයක් රොබින්සන් මෙනවියට දුන්නා කියලා. මං නං හිතන්නෙ නෑ සොෆි ඒවා නිකං දුන්නා කියලා. ඒව කීයකට හරි විකුණන්න ඇති. කොහොම හරි රොබින්සන් මෙනවිය ඩෝවිල් වල නිවාඩුව ගතකරන්න පිටවෙලා ගියා. ඇය ගියේ තනියෙම....... වෙන කිසිකෙනෙක් නෑ ඇගේ තනියට. එහෙදි මොකක්ද සිදුවුණේ..? ඒක ඔයාට හිතාගන්න පුළුවන්ද..?"

"මට හිතාගන්න අමාරුයි.." 

මම කීවෙමි..  

"කොහොම හරි ඇයට ජීවිත කාලයකට ලැබෙන එකම අවස්ථාව, ඇය විනෝදයෙන් ගතකරන්න ඇති........."

"හොදයි... මං ඒ හරියත් කියන්නම්... ඔන්න අහගන්න.." 

ලෝරා කිව්වා..  

"ඇයගේ නිවාඩුව ඉවරකරලා ගෙදර එන්න නියමිත දිනයට සතියකට කලින්, රොබින්සන් මෙනවියගෙන්, සොෆිට ලියුමක් ආවා. තරුණිය කියලා තිබුණේ, තමන් මෙතෙක් කල් කළ රැකියාව වෙනස් කරන්න, තමන් තීරණයකට පැමිණි බව. ඇය තීරණය කළාලු, අලුත් වෙනස් විදියෙ රැකියාවක් තෝරගන්න. ඒ නිසා ලිවිංස්ටන් නිවසේ ගුරුවරිය සෙ තමන් යළිත් රැකියාවට නොඑන බවත්. ඒ ගැන තමන් සමාව අයදින බවත්. මේ ලියුම දුටුවාම සොෆී කෝපාවිෂ්ඨ වුණා.

නමුත් ඇත්තටම සිදුවෙලා තිබුණෙ මොකක්ද..? ඩෝවිල්වල නිවාඩුවක් ගතකරන්න ඇවිත් ඉදලා තියෙනවා. ආජන්ටිනා ජාතික කෝටිපතියෙක්. ඔහුට රොබින්සන් මෙනවිය මුණගැහිලා තියෙනවා. ඇය හොද හැඩකාරයිනේ. ඔහුට ඇය ගැන හිත වැටිලා. ඔහු සමග පැරීසියට ඇය එහිදී විවාහ වෙලා..

ඇය තවමත් පදිංචි පැරීසියේ. එක දවසක් පැරීසියෙ ෆ්ලොරන්ස් වෙළදසලේදි මට ඇයව දකින්න ලැබුණා. ඔයා දන්නවද..? ඇගේ දෑත්වල වැළමිටි දෙකට යනකන් රත්තරං වළලු. බෙල්ලෙ මුතු මාල පොටවල් ගණනාවක්. ඒ වුණත් මං ඇය එක්ක කතා කරන්න ගියේ නෑ. මග ඇරලා යන්න ගියා. මිනිස්සු කියනවා ඇයට බොවා ඩිබූලොං වල තියෙනවලු, මාලිගාවක් වගේ ගෙයක්. ඇගේ රෝල්ස් රොයිස් කාර් එක නම්, මගේ ඇස්දෙකෙන්ම දැක්කා. ඊළගට මොකක්ද වුණේ කියලා දන්නවද..? මාස කිහිපයකට පස්සෙ ඇය ආජන්ටිනා කාරයගෙන් දික්කසාද වුණා. ඊටපස්සෙ ඇය විවාහවුණා, නව් සමාගමක් අයිතිකාර කෝටිපති ග්‍රීක් ජාතිකයෙක් එක්ක.."
        
"දෙයියෝ සාක්කි...! ඔයා මට කිව්වෙ ඇය විනාසවුණා කියලා..?" 

මම ලෝරාගෙන් ඇසුවෙමි.  

"නමුත් ඇයට වාසනාව උදාවෙල බවයි මට නම් පෙනෙන්නේ.."

"කොහොම වුණත් ඔයාට හිතෙන්නෙ නැද්ද මේකෙන් හොද කතාවක් ලියන්න පුළුවන් කියලා...? ලෝරා ඇසුවාය.."

"අවාසනාවකට වගේ" 

මම කීවෙමි..  

"මම දැනටමත් මුතුමාලයක් ගැන කතාවක් ලියලා අවසන්. ඒක මගේ පාඨකයින් කියවලත් අවසන්. ලේඛකයෙකුට හැමදාම මුතුමාල ගැන කතාම ලිය ලිය ඉන්න බෑනේ.."

"මගේ හිතේ අදහසක් තියෙනවා. ඕකෙන් කතාවක් මම ම ලියන්න.." 

ලෝරා කීවාය..  

"හැබැයි මං ලියුවොත් ඕකෙ අවසානය වෙනස් කරනවා.."

"මං ඒක කරන්නෙ මෙහෙමයිත ඇයට මුණගැහෙන්නේ දුප්පත් ලිපිකරුවෙක්. ඇය ඒ ලිපිකරුවා එක්ක විවාහ ගිවිසගන්නවා." 

ලෝරා කිව්වෙ මහත් උනන්දුවෙනි. 

 "එයා යුද්ධෙට බැදිලා ඉදපු කෙනෙක්. ඒ නිසා කකුලක් අහිමිවුණු ආබාධිත කෙනෙක්. නැත්නම් අපි කියමු, බෝම්බයක් නිසා මුහුණෙ පැත්තක් විරූපි වුණු කෙනෙක් කියලා. අතට සල්ලි නැති නිසා මෙයාලට, අවුරුදු ගණනක් යනතුරු කසාද බදින්න විදියක් නෑ. කොහොම හරි ඔහු මාස ගණනක් තිස්සෙ අමාරුවෙන් ඉතිරිකරනවා. අන්තිමට ගෙයක් මිලට ගන්න බලනකොට, ඒ ඉතිරිකළ මුදල මදි. ඔහු පුදුමයට පත්කරමින් ඇය දෙනවා අර පවුම්

තුන්සීය.. ඒ දෙන්නට හරිම සතුටුයි. ඔහු සතුටෙන් හඩා වැටෙනවා. පස්සෙ එයාලා ගෙයක් මිලටගෙන කසාද බැදලා සතුටින් ජීවත් වෙනවා. ඔහුගෙ මව -  ඒක කියන්නෙ ඇගේ නැන්දම්මා එනවා ඒ ගෙදර පදිංචියට. යුද්ධයෙන් සිදුවුණු තුවාල නිසා ලිපිකරුවා නිතරම වගේ ඉන්නෙ අසනීපෙන්. නමුත් තරුණිය සැමියාට සාත්තු සප්පායම් කරමින් ඔහුව ආදරෙන් රැකබලාගන්නවා. ඒක හරි දුක හිතෙන, ලස්සන ආදරකතාවක්. එහෙම නේද..?"

"මටනම් හිතෙන්නෙ ඒක කියවන්න කම්මැලි හිතෙන කතාවක් වේවි.." 

මම කීවෙමි..

"ඒ වුණාට කෙනෙකුට ආදර්ශයට ගන්න පුළුවන් යහපත් කතාවක් වෙන්නෙ එතකොටයි.." 

ලෝරා කීවාය..














No comments:

Post a Comment