Wednesday, March 7, 2012

| සොදුරු නවෝදය | යෞවන සමින්ද්‍ර රත්නායක |




       
දවල්ට කෑවයින් නොකෑවයින් මං ගෙදරින් පැනගත්තා. ෆුට්බෝල් ප්‍රැක්ටිස් වලට යනකොට අරන් යන ට්‍රැවලින් බෑග් එක ඇතුලෙ මං ඉන්කිගෙ බෑග් එකත් ඔබාගෙනයි තිබුණෙ. ග්‍රවුන්ඩ් එකේ යකඉ වැටට මෙහායින් බලයා වාත වෙවී ඉන්නවා මං ඈතටම දැක්කා..

"මොකද චමිල්..?"

උගේ මූණ එච්චර හරි නෑ.. මං ටිකක් කිට්ටු කලා..

"පෙත්තාවඩු අද කලින්ම ප්‍රැක්ටිස් ඇවිත්.."

"ඉතිං...?"

"මට පේනනෙ නම් මොකක් හරි අවමගුලකට තමයි.."

"ඒ කිව්වේ..?"



"මට ඌව දිරවන්නෙම නෑ බෙකම්.. සෝමතිලක සර්ට කියලා අපි ඌව අයින් කරලා දැම්මා නම් ඉවරයි.. අපරාදෙ ඌ ඔය කන්නෙ, හොදට සෙල්ලම් කරන්න පුළුවන් එකෙක්ගෙ චාන් එක.."

"ඒක සෝමතිලක සර්ට බාර කරමු. දැන් වරෙන් ප්‍රැක්ටිස් කරන්න. ඒක් නෙමේ.. ඇම්ඩාහෙම ආවොත් සර්ච් එකේ ඉදපං.. ඕකා අද කොන්වන්ට් එකෙ ස්පෝට් බාරව ඉන්න මිස්ගෙ මොනව හරි උස්සයි.."   

"ඔව්.. ඒකටත් බැරි බඩ්ඩ. මෙලෝ විදියකට විශ්වාස කරන්න පුළුවන් එකෙක් නම් නෙමෙයි.."

ප්‍රැක්ටිස් පටන් අරන් ටික වෙලාවක් යද්දිම මට අමුත්තක් දැනුණා. ඒ තමයි බැකී ඉන්න ඕන පෙත්තාවඩු සෙන්ටර් එකෙ රනර් වෙනවා කියන එක. අනික කීප සැරයක්ම පෙත්තාවඩුගෙ උල් බූට්ස් අත්වැරදීමකින් වගේ මගේ කකුල් අතරෙ යාංතමට වැදුණා. ඒ දේ ඈතදිම දැකලා සෝමතිලක සර් කෑගැහුවා. පෙත්තාවඩු බෝලෙට ගහන්න කියලා. එතන ඉදලා ඌ බැකී විදියට හිටියා මිසක, කී ප්ලේයර්ස්ලා වෙන්න ආවෙ නෑ..

පැයක් විතර සෙල්ලම් කරලා තුන්මුනින් දාඩිය දාගෙන මං පිට්ටනියෙ කෙලවරේ දිගෑදුනා. ඉර අව්ව මද රස්නෙට මූණට වැදෙද්දි මං ඇස් දෙක පියා ගත්තා.

"බෙකම්.."

චමිල්ගෙ කටහඩ තණ ගාවින්ම ඇහෙද්දි මං ඇස් ඇරියා. ඒ එක්කම මං දැක්කෙ ඉන්කිව. 

"මහන්සියි නේද..?"

වෙනද විදියටම ඉන්කිගෙ ඇස් දිලිසෙන්න ගත්තා. එයා මගේ මූණයි, ඇගයි දිහා බලන් හිටියෙ වශී වෙලා වගේ. මම කෙරුවෙ දනි පනි ගාලා නැගිටගත්තු එක.

"ම්.. ටිකක් විතර.. අද රස්නෙ වැඩියි ඉන්කි.." 

"මං ගාව ඔරෙන්ජ් ජූස් එකක් තියෙනවා.. දෙන්නද..?"

"ලොකු දෙයක්.. ලොකු දෙයක්.. අපේ බෙකම් නම් ඔරේන්ජ් ජූස් බොන්නෑ.. ඒත් මං බොනවා.. ඒක හින්දා ඔයා මට අරන් එන්න.." 

කොහේදෝ ඉදලා ආපු කලවැද්දෙක් වගේ බලයා අපේ කතාව මැද්දට පැන්නා. මූටත් ඕන්නැති ඉදි ආප්පයක් නෑ.. බලන් ඉද්දිම ඉන්කිගෙ මූණ කලු උනා.. ඒකි ටිකක් විතර කලු හින්දා ඒ කලුවීමට නම් කියන්න වෙන්නෙ දැකුම්කලු කියලා.. 
  
"ඇත්තද නවෝද්..?"

"මුගේ බොරු ඉන්කි.. ඔයාට වැඩිනම් දෙන්න.. මායි, චමිලුයි බොන්නම්.."  

කියන පරක්කුවට කෙල්ල මට බීම බෝතලේ දික් කලා. උගුරු හතරක් පහක් බීලා, මං බෝතලේ චමිල්ට දුන්නා. ඉන්කිටත් ටිකක් ඉතිරි කරපං කියලා..
  
"සොරි නවෝද්..."
  
බලයා රස කර කර බීම එක ඇදලා අරින අතරෙ ඉන්කි ආයෙත් මාව කතාවට ඇදලා ගත්තා..

"ඇයි..?"

"ඊයෙ වෙච්ච දේට.. මං හින්දනේ මේ හැමදේම.."

"නෑ ඉන්කි.. ඒක එහෙම උන එකත් හොදයි.."

"ඒ උනාට අනිද්දා වෙනකොට ඔයා කොහොමද සමින්දි අක්කගෙ බෑග් එක හොයන්නේ..? අපරාදෙ ඔයාගෙ සල්ලි නාස්ති වෙනවා.." 

"බලමුකො ඉන්කි.. මොනවා වෙයිද කියලා.."

"සමින්දි අක්කා ඊයේ මට හොදටම බැන්නත් එක්ක.."

"ඇයි ඒ..?"

"ඔයාට බෑග් වැඩේ බාරදුන්නා කියලා.."

"ඉතිං ඔයා කරන්න තියෙන හොදම වැඩේනේ කරේ.. බෑග් එක නැතිවුණා නම් දන්න අදුනන හරි, නිකං දැකලා පුරුදු කාට හරිවත් කියන්න ඕනන නේද..? නිකං උඩ බලාගෙන හිටියට නැතිවුණ දේවල් හම්බවෙනවද..?"

"අනේ මංදා නවෝද්.. සමින්දි අක්කා ඔහොම හැසිරෙන කෙනෙක් නම් නෙවෙයි.. එයා හුගක් හොද කෙනෙක්. මටත් හරිම පුදුමයි.." 

"ඔයාලට එහෙම වෙන්න ඇති. ඒත් මට නම් එහෙම නෙමෙයි . එයා මාව අනන්තවත් දැකලා තියෙනවා මේ ග්‍රවුන්ඩ් එකේදි. අපි යාන්තමට වගේ ඕන නම් පාරක් දෙපාරක් හිනාවෙලත් ඇති. ඒත් එයා හැසිරෙන විදිය නම් අන්තිමයි ඉන්කි."

ඉන්කිගෙ මූණ අමනාප ගතියකින්ද කොහෙද ඇදවුණා. සමහරවිට තමන්ගෙ ඉස්කෝලෙ හෙඩ් ප්‍රිපෙට්ට ඔය වගේ කතා කරනෙක දිරවගන්න අමාරු උනාද දන්නෙත් නෑනේ..

"සොරි නවෝද්.."

ඉන්කි ඒ පාර මංතරේ වගේ සොරි කියන්න ගත්තා. ඈත් ඉදන් පෙත්තාවඩු අපි දිහා බලන් ඉන්නවා මං දැක්කා. උගේ බලන් ඉදිල්ල නම් ඒ තරම් හොද එකක් නෙමෙයි. උඩින් අමාරුවෙන් හිනාවෙලා හිටියට උගේ හිත ඇතුළෙ තුවාල පැසවනවා කියලා මං දැනන් හිටියා.

"ඔයාලා මීට කලින් හම්බවෙලා තියෙනවද..?"

"ඔයාලා කිව්වේ..?"

"ඔයයි, සමින්දි අක්කයි.."

"ඔව්.. මේ ග්‍රවුන්ඩ් එකේදි.. මං ඔයාට කලිනුත් කිව්වේ.."

"නෑ. නෑ. මං ඇහුවෙ ඔයාලා කතා කරලා තියෙනවද කියලා.." 

ඔය බලපල්ලකෝ ඉතිං.. ඉස්සෙල්ලා ඇහුවෙ ඕකද...? අනේ මංදා ඉන්කිගෙ ඔලුවත් කොහේ හරි වැදිලා තියෙනවා..

"නෑ.. අපි කතා කරලා නෑ.. ඔය බෙට් එකේ කතාව තමයි ප්‍රථම අවස්තාව.."

"ඒ උනාට අක්කි ඔයත්තෙක්ක තරහා ගිහින් වගේනේ හිටියේ. මට තිබ්බ ප්‍රශ්නෙ ඒකයි.."

"ගණන් ගන්න එපා.. අර කලින් හිටපු චන්ද කොමසාරිස්ට ආව වගේ මානසික ආතතියක් එන්න ඇති.. ඒක නෙමේ ඔයාට සන්තෝස හිතෙන දෙයක් කියන්නයි මං යන්නේ..?"

"ඒ මොකක්ද..?"
  
මං කතාව මාරු කලා.. සුපුරුදු විදියටම ඉන්කිගෙ ඇස් දෙක දිලිසුණා. මේකත් නිකං අර කුරුකුලසූරිය මහත්තයගෙ පහන් කූඩුව වගේ..

"ඔයාගෙ බෑග් එක හම්බවුණා.."

"ම්.... මගේ.. දෙයියනේ කොහේ තිබිලද..? ඇත්තමයි.. මං ඒකේ ආසාව අත් ඇරලයි තිබුනේ.." 

කෙල්ලට සන්තෝස වාවගන්න බැරිවුණා කියලා මට තේරුණා. මුළු මූණම සිරියාවන්ත හිනාවකින් උතුරලා ගිහින් තිබුණා. බලයට කියල මගේ ට්‍රැවලින් බෑග් එක ඇතුලෙන් ඉන්කිගෙ බෑග් එක ගෙන්නලා මං ඒක එයාගෙ අතටම දුන්නා.

"තෑන්ක්ස් නවෝද්.. තෑන්ක්ස්.. අනේ මංදා ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා.."

ඔව්වට මට ස්තුති කරලා වැඩක් නෑ බබා.. අපේ දොලහ ඒ එකේ ඉන්න ඇම්ඩට තමයි පිං දෙන්න ඕන. ඔය එක පිනකින් බාගයක් විතරයි. ලොකු පින හෙට අනිද්දා දිහාට එයි.. 

"ස්තුති විතරක් කරලා මදි නේද බෙකම්..?"
  
අර කෙල්ලගෙ බීම බෝතලේම ඇදලා ඇරලා තොල කට ලෙව කකා බලයා ආයෙත් කතාවට පැන්නා. ඉන්කිගෙ ඇස් දෙක උඩට යනවා මං බලාගෙන. බලයත් කුණුහරුපනේ කියන්නේ..

"ඇත්තද නවෝද්..?"
  
"අනේ මම නම් ඕවට අල්ලගන්න එපා.. මට නම් ස්තුතිය විතරක් ඇති.."  

"මං තව මොනවා හරි දුන්නොත්..?"

"මොනවා හරි කිව්වේ..?"

ඉන්කිගෙ ඇස් දෙක අමුතුවෙනවා මං දැක්කා. කෙල්ල අමුතුම පොටකට තමයි එනන්  හදන්නේ..

"ඔයා කැමති දෙයක්.."

"මං කැමති හැමදේම ඔයාට දෙන්න බෑ ඉන්කි.."

"මං දුන්නොත්..?"

මේකිත් අතාරින්නෙම නෑ. ඒතකොට බෙකම්ටද අතාරින්න වෙන්නේ..?

"එහෙම බෑ.."

"ඇයි නවෝද්..?"

"තවත් ටාගට් එකක් මට තියෙනවනේ.."

"ඒ කිව්වේ..?"

"සමින්දි අක්කගෙ බෑග් එක.."

"ආ.."

ඔන්න දැන් තමයි කෙල්ලට පියවි සිහිය ආවේ.. සමින්දිගෙ නම ඇහුණා විතරයි ඒකිගෙ ඇස්වල තිබ්බ දැගලිල්ල අඩුවුණා.

"බෑග් දෙකම හොයලා දුන්නාම හොදට සලකන්නම් කිව්වා මතකද..?"

"ඔ.... ව්...."

"ඒ සැලකීම ඔයාලා දෙන්නගෙන්ම තියෙන්න ඕන.. ඒකයි කතාව.." 

ඉන්කි ටිකක් වෙලා කල්පනා කර කර ඉදලා ආයෙමත් මං දිහා බැලුවා.. ඒ ඇස් ආයෙත් දිලිසෙන්න අරගෙන. කලු ඉංගිරියොන්ගෙ කදුළු පිරිලද මංදා..

"නවෝද්.."

"ම්.."

"කොහේ තිබිලද බෑග් එක හම්බවුණේ..?"

"ඔන්න... ඔන්න.. ඔයත් අර ගෑනු ළමයි ගානට වැටෙන්න යනවා.. කොහේ හරි තිබිලා හම්බවුණාම මොකෝ.. ඒක අපේ නැතිවෙච්චි බෑග් එක නම්.. දැන් ඉතින් ඕකෙ හතර කේන්දරේ හොයලා වැඩක් නෑ.. බෑග් එක ඇතුලෙ මොනවා හරි අඩුද බලන්න.."

"ඕන්නෑ. නවෝද්.. මේකෙ ඔක්කොම ටික ඇති.."

"මං කිව්වට බලන්න ඉන්කි.. එතකොට මගෙත් හිත සුද්දයි.."

ඒ තත්පරයටම බෑග් එකේ ෂිපර් එක ඇදලා ඉන්කි ඒක ඇතුළට එබුණා. තත්පරයක් ගියේ නෑ එයා බෑග් එක වහලා දැම්මා..

"ඔක්කොම තියෙනවා.. කිසිම දේක අඩුවක් නෑ.. කරපු උදව්වට ආයෙත් තෑන්ක්ස්.."

ඉන්කි යන්න ගියා.. යන්න ගියා කිව්වට බෑග් එකත් අතේ තියාගෙන ඒකි වෙඩිල්ල වගේ දුවලා ගියේ..

"ඔක්කොම තියෙනවා කියලා ඒක කිව්වට ඒකෙ එක දෙයක් අඩුයි.."

"ආපහු ප්‍රැක්ටිස් පටන්ගන්න කලින් බලයා මට ලංවෙලා කිව්වා. මොකක්ද බං මේකා එපාර කියන්නේ..?"

"අඩුයි..?"

"ඔව්.. ඒකිගෙ හිත තිබ්බෙ නෑ.. ඒක මෙතන දාලා ගිහින්.."

"නිකං ඉදපං චමිල්.. බයිලා නැතුව.."

"බෙකම්.. මං උඹට එකක් කියන්නම්.. මැක්සා.. මචං.. ඒකිගෙ හිතේ උඹ ගැන මොනවදෝ තියෙනවා.."

"තිබුණාවේ බං.. තිබුණාවෙ. හිතේ තියෙන දේ එළියට දැම්මෙ නෑ නේ.. ඒක නෙමෙයි සිරාම සිරා ලන්ච් එකක් තියෙනවා තව දවස් දෙකකින්.. අනිවාර්‍යයෙන්ම වරෙන් හරිද..?"

බලයගෙ මූණ ඉදන් පිම්බිලා ආවා..

"මොකක්ද බෙකම් උඹ කිව්වේ..? මට නිකං කෑමක් ගැන යාන්තමට ඇහුනා.. ඒකත් මැක්සා බෙකම්.. හොබෝම පින් අයිති වෙන වැඩක්.."

"ඔව්.. ඔව්.. කෑමක් ගැන තමයි.. ලනච් එක සමින්දිගෙන්.. දැනට කතාව එච්චරයි.. යමන් ප්‍රැක්ටිස් කරන්න.. හොදට මතක තියාගනින්.. මේ බෙකම් දෙන ගේම් ලොවෙත් නෑ.. චමිල්.."

මගේ පොර කතාවට මුකුත්ම කිව්වෙ නෑ.. යාංතමට වගේ  හිනාවෙලා ඌ බැකීට ප්ලේ කරන්න ගියා..

                            *************************************

පහුවෙනිදා මට ඉස්කෝලෙට අඩිය තියන්න හම්බවුණේ නෑ.. කොල්ලොන්ගෙ කාඩ් වරුසාවයි. මොකෙක්  හර ිවහුකුනෙක් මගේ නාට්‍ය හා රංග කලාව ගැබ්බර කරලා. පැතුම් ඒකට උප්පැන්නෙකුත් හදලා. මුළු මැත්ස් ක්ලාස්වල හැම කොල්ලෙක්ම කෙල්ලෙක්ම කතන්දරේ දැනගෙන. දැන් කට්ටියම බලන් ඉන්නෙ මගේ රගපෑම් බලන්න..

"එතකොට පැතුමා.. උඹේ අර මරණ දැන්වීම වගේ, අපේ බෙකම්ගෙ නාට්ටියෙ නම මොකක්ද..?"

පොත් ටික, ඩෙක්ස් එක උඩින් තියන්න හම්බවුණේ නෑ.. මාධවයගෙ අශෝභන කටහඩ ඇහුණා.. 


"නමද..? ටිකක් හිටපං මාධවයා.. ඒක මේ උන්ඩුක පුච්චෙ හරියෙ හිරවුණා."

"කොහේ හිරවුනත් කමක් නෑ කට හොදගෙන නම කියපං.."

"හෙළවිරුවා සහා දිල්රංගි.."

"කොච්චර දෙබස් තියෙනවද..?"

"කිසිදු දෙබසක් නෑ.. අපේ බෙකම්ට තියෙන්නෙ ඊතලේකුයි, දෙකේ දෙකේ පොල්ලකුයි අතේ තියාගෙන දිල්රංගිගෙ කැකෑරෙන ප්‍රේමය දිහා බලන් ඉන්න.."

"පැතුමා මට ප්‍රශ්නයක් තියෙනවා.."

"අහපන්.. ඕන දෙයක් අහපන්.. මා වැනි උගත් පඩිවරු ඉන්නෙ තොපි වගේ අද බාලයො දැනුවත් කරලා සමාජෙ යහපත් පුරවැසියො කරලා සංසාරෙන් එතෙර කරන්න.."

"සංසාරෙ ගැන මට ගැටලුවක් නෑ පැතුමා.. මට ගැටලුව තියෙන්නෙ අර හෙළවිරුවට ඊතලේකුයි, දෙකේ දෙකේ පොල්ලකුයි මොකටද කියලා.. සම්බාරු හොද්ද උඩට අයිස්ක්‍රීම් දැම්මා වගේ අර්ථයක්නේ බං ඒකෙන් එන්නේ.."

කොල්ලො ටික හිකි හිකි ගාගා හිනාවෙන්න ගත්තා. හොදම වැඩේ පැතුමට. ඕකා මාව බයිට් කරන්න ආවේ..

"ඊතලේ නම් දිල්රංගිගෙ හදවතට අනින්නේ.."

"එතකොට පොල්ල..?"

"දිල්රංගි තුරුල් වෙලා ඉන්නකොට පතබාන්න.."

"එතකොට අපේ මේ බෙකම්ද දිල්රංගිට අනින්නේ..?"

කොල්ලො ටික මාව හෙමින් සැරේ බයිට් එකට ගන්න හදන්නෙ කියලා මට තේරුණා. තවත් කට වහන් හිටියොත් බෙකම්ට බුදු සරණයි..

"මාධවයා.. උඹ වැඩිය නටන්න ආවොත් මං අර උඹලගෙ අයියගෙ මනාලියො බැලිල්ල මෙතන සභා සම්මත කරනවා හරිද..?"

මගේ කතාවෙන් මාධවයා මුලුමනින්ම සයිලන්ස් උනා.. ඒත් පංතියෙ කොල්ලො කෙල්ලො ටික සයිලන්ස් උනේ නෑ.. මාධවයගෙ අයියට වෙච්ච දේ දැනගන්න උං පුදුම දැනුම් පිපාසෙකින් හිටියෙ. අන්තිමට මාධවයගෙ අයියගෙ ආත්ම ගරුත්වෙ මිනීපෙට්ටියට ඇන දෙදකුත් ගහන්න මට දිස්ස වුණා..

"අනේ අපිට කියපං බෙකම්. අපි මේ පුල පුලා බලා සිටිනේනෙ උඹ කටහඩ අවදිකරන තුරුයි.."

"මාධවයගෙ අයියට මනාලියො හොයන්නේ, අපි පහේ ශිෂ්‍යත්වෙ කරන කාලේ ඉදලා, බලන්න හැටහුටාමාරක් ගියත් එකෙක්වත් මේ ගොත කරුමෙට කරගැහුවෙ නෑ.."  

"බෙකම්.. අපේ අයියා හිටියා නම් මෙතන උඹව අමුවෙන්ම කනවා.."

"අඩෝ මාධවයා.. අපේ බෙකම්ට කතා කරන්න දීපං.. ඌ දැන් නාට්‍යානුසාරයෙන් මේක දෙයි.. උඹලගෙ අයියව ගැබ්බර වෙන්න.."

"අන්තිමට කෙල්ලො බල බල කොහොම හරි කපුවෙක්ගෙ සපෝර්ට් එකෙන් එකක් ළංකර ගත්තා. හැබැයි වැඩේ කියන්නෙ, කෙල්ලගෙ පැත්තෙන් දෙනවා කියන දේවල් දෙන්නෑ දෙන්නෑ වගේ.. කයිය විතරයි.. පස්සෙ කපුවයි මුංගෙ අයියයි කතාවුණා ඉල්ලන්න ඕන දේවල් ටිකක් වැඩිපුර ඉල්ලන්න.."

"ඒ කියන්නෙ නවෝද්..?"

නිරෝමි මගේ ළගටම ආවා.. බලන් ගියාම කෙල්ලත් කතාව අහගෙන ඉදලා.. අද තමයි මාධවයගෙ අයියගෙ රෙද්දයි, හැට්ටෙයි, බැනියමයි තුන් පූට්ටුවම ගැලවෙන්නේ..

"මෙහෙමයි.. දෑවැද්දට ෆුට් සයිකල් එකක් ඕන, තව ඉල්ලන්න ඕන මෝටර් සයිකලයක්.. එතකොට සයිකලේ ගානට හම්බවෙනවා. මොටර්සයිකලයක් ඕන නම් ඉල්ලපං කාර් එකක්. එතකොට මෝටර්සයිකලේ හම්බවෙනවා තේරුණාද..?"

"එතකොට බෙකම් කාර් එකක් ඕනෙ නම්..?"

පැතුමා හෙන අහිංසක විදියට මැටි ප්‍රශ්නයක් ඇහුවා..

"කාර් එකක් ඕනෙ නම් උඹ හෙලිකොප්ටරයක් ඉල්ලපිය.."

හැම එකාම පැතුමට හිනාවෙන්න ගත්තා. ඌ මගේ දිහා බැලුවෙ සංසාරගත වෛරකින් වගේ..

"බෙකම් කතාව කියපං.."

"දැන් ඔන්න මුංගෙ අයියයි, අර කපුවයි කෙල්ලගෙ ගෙදර ගිහින්.. කොහොම හරි කාලා බීළා හෙම දැන් ඔන්න දෑවැදි කතාවටත් ආවා. කෙල්ලගෙ තාත්තා උගුර හෙම පාදලා අපේ තලපතා වගේ ගොරෝ සද්දෙට කතාව පටන් ගත්තා.. දැන් ඉතින් මේ පුතාට අපෙන් මොනවද ඕන කියලා.. කෙල්ලගෙ තාත්තා ඇහුවා.. ඒ ඇහුවෙ කෙල්ල දිහාත් බලන ගමන්. ඒකෙ තේරුම තමයි, මට කුමුත් ඕන නෑ.. ගෑනු ළමයා විතරක් ලැබුණා නම් ඇති කියලා කියන දේ.. මාධවයගෙ අයියා හෙන මැටි මෝලා උණාට, මෑන්ට මේක තේරුණා.."

කතාවෙ කුතුහලේ උපරිමේටම ගන්න මං ඩිංගක් විතරනි නිහඩ වුණා. ඒකට අපේ ඈයොන්ට මළ පැනලා..

"බෙකම් ජරා වැඩ කරන්න එපා.. මං මේ චූ බරත් තද කරගෙන ඉන්නෙ උඹේ කතාව අහන්න.."

"මුගේ කතාවත් හරියට ඉවරයි කිව්වට ඉවරම නෑ වගේ තමා."

"ඔය අතරෙ කපුවා පැත්තක ඉදන් කොදුරනවා... වැඩිපුර.. වැඩිපුර කියලා. ඒ කියන්නෙ වැඩිපුර ඉල්ලපං කියනෙක.. කෙල්ලගෙ තාත්තා ආයතේ තියනවා.. ඉල්ලන්න පුතා.. ඔයා කැමති දේ ඉල්ලන්න කියලා.. මං ඔයාට ඕන දෙයක් දෙනවා කියලා.. උඹලට කියන්න.. ලොවෙත් නෑ මචං.. මේකා කිව්වනේ මට මුකුත් නැතත් කමක් නෑ කියලා.."

"ඉතිං.. ඉතිං.. මැටි හරකෙක්ම තමා.."

"මගේ ලේ ධාතුව පුච්චන්නෙ නැතුව උඹ ඕක කියලා ඉවර කරනවද..?"

මාධවයට යන්තන් විතර මල පැනලා. ගානක් නෑ.. ඒකට අර්සස් අමාරුව හැදෙනකත් හොදයි..

"කෙල්ලගෙ තාත්තා ආයෙත් කියනවා.. නෑ.. නෑ.. පුතා ඉල්ලන්න.. ඉල්ලන්න... ලැජ්ජා වෙන්න එපා කියලා.. ඒ අතරෙ කපුවා කොදුරනවා වැඩිපුර වැඩිපුර කියලා.. මාධවයගෙ අයියට ඉල්ලන්න ඕන කෙල්ලව.. මේකා ඉතිං ඉල්ලපු දේ දන්නවද..? මට නැන්නදම්මා හම්බවුණා නම් හොදයි කියලා කිව්වලු.."

කෙල්ලො, කොල්ලො හූ තිය තිය හිනාවෙන්න ගත්තා. මාධවයා අත් දෙකෙන්ම මූණ වහගත්තා.. ඒ අතරෙ මහේල මගේ ළගට ආවා. උගේ මූණෙ කැටයම් ගොඩයි..

"නෙහාරා... අදත් නෑ.. කරදරයක්ද දන්නෑ.."

"ඒකනේ බං.. ලොකු ප්‍රශ්නයක් නෙමෙයි නම් ඒකි ඉස්කෝලෙ නෑවිත් ඉන්නෙ නෑ.."

"අපි ඒකිලගෙ ගෙදර ගිහිල්ලා බලමුද..?"

"අදද..?"

"නැත්නම් ඉතිං කරදර ඉවරවෙලා ඒකි ඉස්කෝලෙ ආවාම යන්නද..?" 

හප්පට ඩෙන.. මුගේ ගද කතාව බලපල්ලකො.. හරියට නිකං මං නෙහාරට මුකුත් කරලා වගේ.. 

"අද නම් කොහොමත් යන්න වෙන්නෑ මහේල.."

"ඇයි..?"

"උඹට අමතක උනාද..? අදනේ නාට්ටියෙ රිහසල් පටන් ගන්නේ..."

"ඇත්තමයි.. සිරාවටම.. ඒකත් බලන්න යන්න එපායැ නේද..? එහෙම නම් නෙහාරා බලන්න අනිද්දට යමු.." 

මහේලගෙ කතාවට මං මුකුත් කිව්වෙ නෑ.. දැන්ම ඔව්වට අදහස් ප්‍රකාශ කරන්න හොද නෑ. මොන මොන හෙයියම්මාරු ඉදිරි දිනවල වෙයිද කියලා, කාටද අප්පේ කියන්න පුළුවන්..

                             **********************************

සිරාම විදියට හෙළවිරුවගේ චරිතය රගපාන්න, ඉස්කෝලෙ ඇරුණ ගමන්ම මං මේන් හෝල් එකට ගියා. මෙන්න බොලේ නොසෑහෙන ජනකායක් ඒක ඇතුලෙ පිරිලා. මට පේන විදියට නම් ගුණසිංහ සර් මේ වැඩේ මුළු ඉස්කෝලෙටම කියලා වගේ.. හවස් වරුවෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් ඉන්න ඈයොයි, කැඩෙට් ටීම් එකේ ඈයොයි හැමෝම වගේ මේන් හොල් එක ගාව. තව ටිකකින් මැත්ස් ක්ලාස්වල අපතයොත් එයි. කවදාවත් නැති විදියට මගේ පපුව ගැහෙන්න ගත්තා..

"ආ.. නවෝද්.. ඔයාට එවපු කොළ ටික බලාගත්තා නේද..?"

මාව දැකපු ගමන් ගුණසිංහ සර් අතවනලම කතා කරා.. කොළ ටික තමා.. ඒවයෙ තියෙන දෙබස් මතක් වෙනකොට මට නම් හිනාත් යනවා.. නාට්ටිය වෙලාවෙදි මට මොන දෙබස කියවේවිද මංදා..

"කොළ ටික නම් බලාගත්තා සර්.. ඒත් මෙච්චර ළමයි පිරිලා මොකද..? අපි මේක හිමින් සීරුවෙ කරලා එළියට දැම්මා නම් හොදයි නේ.."

"එහෙම බෑ පුතා.. පටන් ගන්නකොටම හොද ගැම්මක් තියෙන්න ඕන.. කෝ.. ඔහොම්ම ඇතුලට එන්න.." 

මේ කෙහෙල්මල නම් මට කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නෙමෙයි.. හයියෝ.. ගුණසිංහ සර්රුත් මට මාර ලෙඩම තමා දාන්නේ.. ඩිංගක් හරි දෙබස් වැරදුනොත් කොල්ලො තාලෙට හූවක් දෙයි..

"බෙකම්.. උඹේ කෑල්ලෙන් තමා වැඩේ නැගලා යන්නේ.."

 කොහේද ඉදලා ආපු ඉමාන් මට කිව්වා. ඌනේ මේකේ ශබ්ද 
පරිපාලක.. මියුසික් ඩිරෙක්ටර්.. ඒකා ටාර්සන්ගෙ හූවවත් මේකට කම්බයින් කරලද දන්නෑ. කෝකටත් කියලා මං ආයෙත් ගුණසිංහ සර්ට ළංවුනා.. මෙතනින් ගැලවෙන්න ලැබුනොත් හොදයි..
             
"ඇයි නවෝද්..?"

 "මට දෙබස් ටිකක් අමතකයි..."

 ඩිංගක් එහායින් ඉන්න දිල්රංගි දිහා යාන්තමට බලන ගමන් මං කිව්වා.. කෙල්ල සපත්තු මේස් ගලවලා.. ඒ කකුල් වල තිබ්බෙ සුදු පාටයි, කහ පාටයි මිශ්‍ර වෙලා හැදිච්ච අමුතුම පාටක්. කෙල්ල එළගිතෙල් මොනවද මංදා.. ඔය තරම් සැප පාටට ඉන්නේ..

"දෙබස් අමතකයි..? ඔයා මොනවද මේ කියන්නේ..? කෝ එන්න.. මෙන්න මෙහෙමයි.. වැඩි දෙබසක් නෑ.. සුද්දෙක් විදියට ඇදගත්තු මංගල මෙතන ඉන්නවා.. ගම් නායකගෙ දුවට ඉන්නෙ දිල්රංගි.. එයා කරන්නෙ අඩා වැලපෙන එක.. ඔයාට තියෙන්නෙ නවෝද්. එම්බා ද්‍රොහිය.. තා දෙවියන් සිහිකරගනුව. කියලා සුද්දගෙ ඉනෙන් පිස්තෝලෙ ඇදලා අරගෙන කොකා ගස්සන්න.. ඔයා කොකා ගස්සනකොටම ඩිෂුම් සද්දෙ ඉමාන් මියුසික් වලින් දෙනවා.. තේරුණාද..? වැඩි වැඩක් නෑ.. නවෝද්.. එතනින් පස්සෙ ටික අපි ඊ්ගාවට හෙමීට ප්‍රැක්ටිස් කරනවා.. දැන් තේරුණාද..?"

මං ඔලුව වැනුවා.. මොන තේරුමක්ද..? ගුණසිංහ සර්ට ඕන සුද්දෙක් හරි, හෙල විරුවෙක් හරි ගහන්න කියලා ග්‍රවුන්ඩ් එක පැත්තට පණ එපා කියලා දිව්වා නම් අවුලක් නෑ.. ඔව් ඒක හොදයි.. හෙල විරුවට ඔය කාවහරි ගනියි.. ඒත් මගේ සිතුවිලි ක්‍රියාත්මක කරන්න ලැබුනෙ නෑ.. නාට්ටිය පටන් ගත්තා.. ඒ තාලෙට හෙළ විරුවගෙ ආයුධයක් විදියට පිහියක් විදියට හදපු ලී කෑල්ලක් ආට් ක්ලාස් එකේ එකෙක් මට ගෙනත් දුන්නා.. දැන් ඉතින් මොන දිවිල්ලක්ද..? කට්ට කාගෙන මේක කරනවා මිස..

නාට්ටියත් දැන් හෝ ගාලා යනවා.. ගුණසිංහ සර් පැත්තකින් ඉදගෙන උපදෙස් සෙනවා. මේන් හෝල් එකේ තුන්කාලක් විතර සෙනග පිරිලා ඉන්න කෙල්ලො කොල්ලො එක එක සද්ද දානවා. ගුණසිංහ සර් කිව්වේ ඒවා ප්‍රේක්ෂක ප්‍රතිචාර කියලා..

මට නම් දැන් දාඩියත් දාලා. මේ මල  හත්තිලව්වෙන් නම් ගැලවීමක් නෑ.. ටිකකින් සෝකයෙන් බර වෙච්චි මූණක් හදාගෙන දිලරංගි ස්ටේජ් එකට ආවා. එයා පිටිපස්සෙන්ම සුද්දට ඇට් කරන මංගල.. සුද්දා හදන්නෙ සිංහල කුල කුමරිය කැලේට ඇදගෙන යන්න..

"නවෝද්.. ඔයාගෙ කොටස තව ඩිංගකින්.."

ගුණසිංහ සර්ගෙ කටහඩ ලාවට වගේ ඇහෙද්දි, මං හෙමින් සීරුවෙ ස්ටේජ් එකට ආවා. මාව දැක්කා විතරයි කොල්ලොන්ගෙන් පුදුම ප්‍රතිචාරයක් ලැබුණා..

"අන්න බෙකම්.."

"කමෝන් හෙළ විරුවා.."

"සුද්දට ගහපං මචං ලොවෙත් නැතිවෙන්න.."

"බෙකම් සුපිරි විදියට දීපං හරිය.."

මහා හයියෙන් ලොවෙත් නැති කතාවක් කිව්වේ, ඇම්ඩා කියලා ඒ පැත්ත බලන්නෙ නැතුවම මං හිතාගත්තා. ඌත් මේක බලන්න ඇවිල්ලද හත්තිල්වවේ.. මේ යක්කු ඔක්කොම අද ගෙවල් වලට යන්නැතුව මොන කෙහෙල් ගෙඩියකට මේකෙ රිංගනවද මංදා..

"නවෝද් ඔයාගෙ ඇක්ට් එක.."

හොල්මන් වෙලා වගේ ස්ටේජ් එක උඩ හිටපු මට, දිල්රංගිගෙ කටහඩ හීනියට ඇහුණා. එයා හිටියෙ, සුද්දා විදියට ඇට් කරපු මංගලගෙ කකුල් දෙක ගාව බිම වැටිලා. තොල කට වේලිලා යද්දි, මං දෙබස් මතක් කරන්න ට්‍රයි කලා.. හෝල් එකේ පිරිලා ඉන්න කොල්ලොයි, දිල්රංගිගෙ ඇස් දෙකයි, මට කිසිම දෙයක් මතක් කලේ නෑ. ඒත් මං වීරයා වගේ සුද්දා ඉස්සරහට ආවා. උගුරෙ සෙම හිරවෙලා වගේ වචන එකක්වත් එන්නැතුව තියෙද්දි ඇම්ඩාගෙ විසිල් එක මට ඇහුණා. ගුණසිංහ සර්රුත් පටන් ගන්න නවෝද් කියලා යාන්තමට කියනවා ස්ටේජ් එක කොනෙන් මට ඇහුණා. කරන්න දෙයක් නෑ.. ඕන ඉලව්වක් මං පටන් ගන්නවා.. ඒත් ඇත්තටම මට දෙබස් මතක තිබුනෙ නෑ. සබකෝලයද ඔන්න ඔය වගේ මොකක් හරි අවමගුලක් හින්දා මට දෙබස් අමතක වෙලා. මං උගුර පාදන්න ගත්තා. ඒ සභාවෙන් හීනියට චියර් පාරක් එද්දි ඒ ක්ලැප් එක ටපන් ගත්තෙ ඇම්ඩා ගාවින් කියලා මට තේරුණා. හිතට ගට අරගෙන මං සුද්දට ළංවුණා. මංගලයා ඔරවගෙන වගේ මං දිහා බලන් ඉන්නවා. ස්ටේජ් එකේ බිම වැටිලා, අසරණ දෑසින් දිල්රංගි බලන් ඉන්නවා..

"හායි සුද්දා.. හව්.. ආ... යූ..."

මගේ කටට ඉස්සෙල්ලම ආවෙ ඒ වචන ටික. එකපාරටම මුළු හෝල් එකෙන්ම ලොකු හිනාවක් ආවා. මට තේරුණා කොහේ හරි වැරදුනා කියලා. මං දිල්රංගි දිහා බැලුවා. එයා බිම බලාගෙන හිනාවෙනවා. දැන් කරන්න දෙයක් නෑ. මං ආයෙත් පටං ගත්තා. කොල්ලන්ගෙ චියර් එක මැද්දෙ මං පැනපු ගමන් සුද්දගෙ පිස්තෝලෙ උදුරගත්තා. මංගලයා පැත්තකට තල්ලුවෙලා ගියා. ඒක පුංචි ඈයෝ සෙල්ලමට වතුර විදින ජාතියෙ තුවක්කුවක්. වතුර ටිකක් පුරව ගත්තා නම් ඇම්ඩට විදින්න තිබුණා.   

"කමෝන් බෙකම්.. කමෝන්.. දීපං සුද්දට නොකවුට් වෙන්න."

"ඊට පස්සෙ කෙල්ල ගනින්.. ලොවෙත් නෑ එතකොට.."

සභාවෙන් විවිධ ආරාධනා ගලා එනවා.. මං පිස්තෝලෙ සුද්දට ඒම් කලා.. මංගලයා බයෙන් වගේ මූණත් හදාගෙන පස්සෙන් පස්සට ගියා..   
"අඩෝ සුද්දා.. හෑන්ඩ්ස් අප්.."

දෙබස් මෙලෝ දෙයක් මට මතක නෑ.. මමම රචනා කරගත්තු දෙබස් මට ඔහේ ගලාගනෙ ආවා..

"අඩෝ සුද්දා.. කිව්වම අහලා හෑන්ඩ්ස් අප්.. බේබි හෑන්ඩ්ස් අප්.." 

මං ඉංශ්‍රීසි සිංදුව පටන් ගනින්දි කොල්ලො හූ කිය කියා හිනා වෙන්න ගත්තා.. සුද්දට හිටපු මංගලයටත් පැලෙන්න හිනා.. දිල්රංගි අත්දෙකෙන්ම මූණ වහගෙන හිනාවෙනවා.. මටත් හිනා ගියා..

"නවෝද්.. මොනවද මනුස්සයෝ ඔය කියවන්නේ..? මේක ප්‍රහසන නාට්ටියක් නෙමෙයි.. දෙබස් මතක නැද්ද.. එම්මා ජාති ද්‍රෝහිය.."

හිනා හඩ මැදේදෙ ගුණසිංහ සර්ගෙ කටහඩ සද්දෙට ගලාගනෙ ආවා.. මං ආයෙත් පිස්තෝලෙ මංගලට දිලා මුල ඉදලම පටන් ගත්තා. දැන් ඉතිං දෙන්නම්කෝ ඇග රිදෙන්න.. සබකෝලයත් ගියානේ..

කොල්ලන්ගෙ හිනා සද්දෙයි, කෑගැහිලියි අඩු වෙද්දි මං දෙබස් පටන් ගත්තා. දිල්රංගිට නම් තාමත් හිනාද කොහෙද..? ඒ ඇස්වලට කදුළුත් ඇවිල්ලා..

"එම්බා.. පරදේශක්කර සුද්දා තා දැන් දෙවියන් සිහිකර ගනුව.." 

මංගලගෙන් පිස්තෝලෙ උදුරගෙන මං ඌට වෙඩි තිබ්බා.. තුන්පාරක් විතර වෙඩි තිබ්බා. ඉමාන්ගෙ මියුසික් වලින් ඩිෂුම් සද්දෙ ප්ලේ කරලේ නෑ.. තවත් පාරක් කොකා ගස්සන ගමන් ඉමාන් දිහා බැලුවා.. එතන මොකක් හරි ප්‍රාමාද දෝශයක්.. තවත් බලන් හිටියොත් ආයෙත්කොල්ලො හිනාවෙන්න ගන්නවා.. මං ඉක්මන් උනා.. මගේ ඉනේ පටලවන් හිටපු ලී පිහිය අතට ගත්තා. දැන්  දෙන්නම් ජමනාරං වෙන්න..

"ඔයා බයවෙන්න එපා සීදේවි.. පිස්තෝලෙ පත්තු නොවුනට මං මේ පර සුද්දව එලොව යවන්නම්.."

දිල්රංගි දිහාට හරිලා, එහෙම කියාගෙන මං ආයෙත් මංගලයා දිහාට හැරිලා පිහියෙන් ඇනගෙන ඇනගෙන යනවා වගේ ඇක්ට් කලා. ගුණසිංහ සර් උනත් මේ වෙලාවෙ ස්ථානෝචිත අහවල් එකෙන් මං ක්‍රියා කරපු හැටි දැකලා සතුටු වෙයි. ඒත් කරුමෙ කියන්නෙ, මං සුද්දට පිහියෙන් අනින පාරක් ගානේ, ස්ටේජ් එකේ බෆල් වලින් ඩිෂුම් ඩිෂුම් සද්දෙ එන්න ගත්තා. ඉමාන්ට දැන් තමයි මියුසික් සෙට් වෙලා තියෙන්නේ. කොල්ලො ඒ පාර තමයි බඩවැල් එළියට එනකල්ම හිනාවෙන්න ගත්තේ.. ස්ටේජ් එකේ හිටපු අපි හැමෝටමත් හිනා. මං බැලුවෙ ගුණසිංහ සර්ට තදවෙලද කියලා.. මොන.. සර්ටත් හිනා..

නාට්ටියෙ පලවෙනි දවසෙ පලවෙනි රිහසල් එක ඔහොමයි ඉවර වුණේ. මං ගුණසිංහ සර්ට කියලා ආවේ, ජීවිතේට ආයේ ස්ටේජ් එකක් පැත්ත පළාතක එන්නෑ කියලා. ගුණසිංහ සර් මුකුත් කිව්වෙ නැති වුණත්, ආපහු එද්දි ඇම්ඩා නම් කිව්වේ, උගේ ජීවිතේට දැකපු සුපිරිම රංගනයථ මගේ හෙල විරු රංගනය කියලයි. ඌ ඒ වගේ පැලෙන්න හිනාවුණේ ඉදපුණාට පස්සෙ අදලු..

                                       *******************************

හවස ගෙදර එනකොට තාත්තා කලින්ම ඇවිල්ලා හිටියා. අද ෂෝර්ට් ලීව් එකක්වත් දාලා ඇවිල්ලද මංදා. හැබැයි මූ නම් ඒ තරම් හොද තත්වයෙ නෑ. අම්මගෙ මූණෙත් වැහි වලාකුලු දෙක තුනක්ම පායාලා තියෙනවා මං දැක්කා. මොකද අප්පේ මේ කවදාවත් නැතුව.. දෙන්නා මොකකට හරි රංඩුවක්වත් කරගත්තද..? ඒත් ඉතිං.. මගේ මතකයෙ හැටියට එහෙම දෙයක් අවුරුදු ගානකින් වෙලා නෑ. රංඩුවක් වෙනව නම් ඉතිං.. මාව බෙදාගන්න බැරුව තමයි..

"තාත්තා අද කලින්ම ආවද..?"

ආලින්දයට වෙලා මූණත් හතරැස් කරගෙන ඉදපු තාත්තාගෙන් මං මෙනසක් නැතුවම ඇහුවා..

"ඔව්.. මං කලින්ම ආවා.."

තාත්තා ඒක කියපු තාලෙ මට ඇල්ලුවෙ නෑ.. නිකං ගහගන්න වගේනේ හත්තිලව්වේ..

"අම්මේ.. කන්න මුකුත් නැද්දෝ..?"

පොත් ටික මේසේ උඩට අතාරින ගමන් මං කෑගැහුවා. ඒ සද්දෙට හරි, වෙන මොනව හරි දේකට හරි අම්මයි, තාත්තයි දෙන්නම මගේ කාමරේට එබුණා.. 

"පුතා... අපි ඔයා ගැන කොයි තරම් විශ්වාස කරනවද කියලා ඔයා දන්නවා නේද..?"

අගක් මුලක් නැතුව, ආරාධනයක්, ප්‍රවේශ පත්‍රයක් නැතුවම තාත්තා කතාව පටන් ගත්තා. මොන කෙහෙල් ගෙඩියක් වෙන්න එනවද..? බඩේ බඩගිනන තිබුණත් මං ටිකක් විතර සංසුන් උනා. තාත්තාගෙ කතාවට මං ඔලුව වැනුවා..

"අම්මටයි, මටයි කොයි දේටත් ඉන්නෙ ඔයා විතරයි.. අපේ  හැම බලාපොරොත්තුවක්ම ගොඩ නැගිල තියෙන්නෙ ඔයාව මුල් කරගෙන.."

"මං ඒක දන්නවා තාත්තා.."

"ඒක දන්නවා නම් ඇයි අපිට බොරු කරන්නේ..?"

"බොරු කරා..? මං මොකක්ද ඔයාලට කරපු බොරුව..?"

මොන හෙණ ගෙඩියක් පාත්වෙන්න හදනවද කියලා මට නම් තේරුනේ නෑ.. අපේ පංතියෙ මොකෙක් හරි වහුකුනෙක් ගින්නක්වත් දුන්නද මංදා.. මාව ගෙදරින් එළියට ඇදලා දාන තරමේ..

"හොදයි... ඔයා මට ඇත්තම කියන්න ඕන.. ඔයා අද කොහෙද ගියේ..?"

"මං ඉස්කෝලෙනේ ගියේ තාත්තේ.."

"ඉස්කෝලෙ ගියපු එක හරි.. හවස ඔයාට ෆුට්බෝල ප්‍රැක්ටිස් තිබිලා නෑ. ඔයා දවල් ගෙදරවත් එන්නෙ නැතුවයි, කොහේ හරි ගිහින් තියෙන්නේ.."  

වෙලා තියෙන දේ මට එක තත්පරේට ඔලුවට වැටුණා. තාත්තා ඔෆිස් ඇරිලා, ග්‍රවුන්ඩ් එක පැත්තෙන් එන්න ඇති.. අම්මයි, තාත්තයි දෙන්නම හිතන් ඉන්න ඇත්තෙ අද මට ෆුට්බෝල් ප්‍රැක්ටිස් කියලා.. මේකා ප්‍රැක්ටිස් යන්නෙත් නැතුව දාර සයිස් වලක් බැහැලා ඇති කියලා..

"කොහේවත් ගියේ නෑ.. මං ගියා නාට්ටියක රගපාන්න.." 

"නාට්ටියක්..?"

"ඔව්.. නැත්නම් ඉතිං ස්කූල් යුනිෆෝම් පිටින් කොහේ යන්නද..? මං නියමෙට රගපෑවා අම්මා.."

එතන ඉදල අද නාට්ටියෙ වෙච්ච දේවල් මං එක දිගට කියවගෙන ගියා. අම්මයි, තාත්තයි ඇස්වලින් කදුලු එනකම්ම මහා සද්දෙට හිනාවෙන්න ගත්තා. අර පිහියෙන් අනිද්දි, ඩිෂුම්, ඩිෂුම් සද්දෙ ආපු එක කියද්දි තාත්තා කවදාවත් නැති විදියට, අපි හිනාවෙනවා වගේ හූ තිය තියා හිනාවුණා..

කොහොම හරි දෙන්නා දෙමහල්ලො පැය භාගයක් විතර ඇතිවෙනකල් හිනාවෙද්දි, මට ඒ පැය භාගෙ කුසේ ගින්දරෙන් ඉවසගෙන ඉන්න බැරි උනා.. ඒකෙත් මටම තමා අලාභෙ..

                                 **********************************

වැහිබර කලුවකුත් එක්ක මහා ප්‍රයිඩ් රයිස් දන්සැල දවස උදාවුණා. ඉස්කෝලෙ ඇරුණ ගමන්ම මං ඇම්ඩා හම්බවෙන්න ගියා..

"බෙකම්.. යමුද එහෙනම්..?"

මාව දැක්කා විතරයි ඇම්ඩගෙ කට, කන්දෙක දිහාට ගියා. පොතේ හැටියට නම් මූ වේල් දෙකක්වක් කාලා නෑ..

"යන්න තමයි ආවේ.. මේ කරන උදව්වලට මට කළගුණ සලකපං" 

"කළගුණ සැලකීමටනේ බං.. බෑග් එක උස්සලා උඹට දුන්නේ."

"ඒ ඉතිං.. අත්වැරදීමකින්නේ.."

"අන්න.. අන්න.. උඹ ඔය හදන්නෙ මගේ වැඩේ කන්ඩෙම් කරන්න.. ඒවා කැතයි බෙකම්.. ඔය බෑග් එක ඇතුළෙ සමින්දිගෙ යට ඇදුමුත් තිබුණලු නේද..?"

හප්පට ඩෙන.. මේකා ඒ අවිධිමත් ආරංචිය දැනගත්තෙ කොහොමද දෙයියනේ.. පුදුමයි.. මෙච්චර දවසක් ඕක මුළු ඉස්කෝලෙ පුරා ප්‍රසිද්ද නොවිච්ච එක..   

"මං දන්නෑ නාලක.. මං ඒක ඇරලා බැලුවෙ නෑ.."

"හෙහ්... උඹ මටත් මොත්තෙ දාන්නයි යන්නේ.. උඹ නම් නිකං ඉදියි.. අර රෝස පාට සමින්දිව හිතේ මවාගෙන යට ඇදුම් ටිනත් තුරුලු කරන් නිදාගන්න ඇති.." 

"ෂිහ්.. කැත කතා කියන්න එපා බං.. උඹ හිතුවද මං මානසික අසහාන කාරයෙක් කියලා..?" 

"තව ඉස්සරහට එහෙම වෙයි.."

ඕන්න බලපංකෝ.. මුගේ ගද කතාවෙ හැටි.. මං සමින්දිගෙ ඇදුම් තුරුල් කරන් ඇතිලු.. ටිකින් පැතුමයි, බලයයි අපේ ළගට එද්දි මං වටපිට බැලුවා..

"කෝ මහේල....?"

"ඌ පොඩි ගමනක් ගියා.."

"මොකක්...?"

"ඔව්... පස්සෙ විස්තර කියන්නම් කිව්වේ.."

පැතුමගෙ කතාවට මට තදවුණා. මෙච්චර දවසක් ප්ලෑන් කරලා, වේල් දෙකක් විතර බඩගින්නෙ ඉදලා සිරාවටම කන්න සෙට්වෙන වෙලාවෙ මූ නෑ.. දෙයියන්ට ඇරෙන්න, කාටද අප්පා මේ අවනඩු කියන්නේ..? 


"ඌට මොකක්ද පැතුම් මේ හිටපු ගමන් හැදුන වසංගත රෝගෙ..? අනික ඌ මාව කිසිම විදියකින් දැනුවත් කෙරුවෙ නෑනේ.. ඉතිං බලපං ඌ යාලුවෙක්ද කියලා.."

"හරි බෙකම්.. උඹ කලබල වෙන්නෙපා.. ඌට බඩේ අමාරුවක් හරි වෙනත් පස්ස පැත්තෙ අමාරුවක් හරි ක්ෂනිකව හැදෙන්න ඇති.. අනික ඉතිං අපි වගේ යුග පුරුෂයො කීප දෙනෙක් ඉන්දෙද්දි, උගේ ප්‍රයිඩ් රයිස් පිගාන ගැන උඹ වදවෙන්නෙ ඇයි..?"

පැතුමගෙ කතාවෙත් ඇති වැරැද්දක් නෑ.. මේ වගේ අමරණිය අවස්ථාවක හිත සවුත්තු කරගන්න ඕනෙ නෑ.. අනික ඉතිං මේ බෙට් එකෙන් පරදින්නෙ එසේ මෙසේ කෙනෙක් නෙමේනේ අප්පා.. කොන්වන්ට් එකෙ හෙඩ් ප්‍රිපෙට්නේ.. කොහොමද හත්තිලව්වේ ඇගට දැනෙන ඇග කිලිපොලා යන ආස්වාදයි.. ඇග දනවා.. මස් කකියනවා..

"පැතුමා.. උඹේ බෙලෙක්ක සද්දෙ නවත්තපං.. මෙතන උඹට වැඩිය උගත් පුරවැසියො කිප දෙනෙක් ඉන්නවා.. අද බාලයා කිරි සප්පයා වගේ හිටපං.. මහ පඩියා වගේ වෙන්නැතුව.." 

 ඇම්ඩගෙ මැදිහත් වීමෙන්, පැතුමගෙ චොර චොරේ නැතිවෙලා ගියා. හැබැයි බලයගෙ මූණෙ නම් තිබ්බෙ ගැටලු සහගත පෙනුමක්.. ඌ මොවම හරි කල්පනා කරන හැඩයි..

"මොකෝ චමිල්...?"

"බෙකම්.. උඹ අපේ තාත්තා වගේ.. එක කුසේ උපන්න දහෝදරයා වගේ.. හොද එකා වගේ අපිව දැනුවත් කරපං මේ ප්‍රණිත ආහාර වේල ගැනීමේදි අපි හැසිරිය යුතු පිළිවෙල.."

බලයගෙ ප්‍රශ්නෙ නම් හොදයි.. ඒත් ඌ අර තාත්තල සහෝදරයො ගාව කියපු දේ මට තේරුණේ නෑ. කිව්වට ඌටත් ඒක තේරිලා නෑ කියලා ඒ මූණ බලපු ගමන් නම් මට තේරුණා..

"උඹ ඒක අහපු එක නම් හොදයි.. උඹල තුන්දෙනාම ග්‍රවුන්ඩ් එකේ කොට්ටම්බා ගහ ගාව ඉන්නෝනෙ.."

"ඉතිං බෙකම්.. එතන කෑම කන තැනක් නෙමේනේ.."

පැතුමා ආයෙත් මොන්ටිසෝරි ප්‍රශ්නයක් ඇහුවා.. 

"හිටපංකො වහුකුනෝ කියනකල්.. මගේ ට්‍රැවලින් බෑග් එකත් උඹලා ගාව තියාගන්නෝන.. තේරුණාද..? මං සමින්දිත් එක්ක කතා කරලා ඉවර වෙලා සිග්නල් එකක් දෙන්නම්.. එතකොට බෑග් එකත් අරන් උඹලා එන්නෝන.."

මං උන් තුන්දෙනාටම උපදෙස් දුන්නා. කරන වැඩේ හරියට කරන්නෝන.. නැත්නම් මුංගෙ තියෙන කෑදරකමට මොනවයින් මොනව වෙලා නතරවෙයිද මංදා.. අනික මං මේ ඇග කිලිපොලා යන ගමනට සහභාගි කරවගත්තේ, ඒ ඒ පන්තිවල ඉන්න නහර කාරයො තුන්දෙනා.. ඒ පන්තියෙන් ඇම්ඩා. බී පන්තියෙනන් බලයා. සී පන්තියෙන් පැතුමා. අන්තිමට උං තුන්දෙනාගෙම අප්පා මෙච්චි මම..

මේ පට්ට දවාලෙත් ග්‍රවුන්ඩ් එකේ අතරින් පතර ඉස්කෝලෙ ළමයි පිරිලා. අනේ ඇත්තට මේ තරම් අව්වට කරවෙන්න මුංගෙ හිතේ මොන ආසාවක් ඉපදිලාද මංදා..

අපේ ඉස්කෝලෙ අපතයො තුන්දෙනා කොට්ටම්බා ගහ ගාව නවත්තලා, මං පැවිලියන් එක පැත්තට ආවා. සමින්දි අක්කා අද ඒවිද කියන ප්‍රශ්නෙ මගෙහිතෙ හතර පස් සැරයක්ම කැරකුණා..

"නවෝද්.."

මට වැඩි දුරක් යන්න හම්බවුණේ නෑ. ඉන්කිගෙ කටහඩ පැවිලියන් එකේ වම් පැත්තෙන් ඇහුණා. මං පොත් මිටියත් වම් අතට අරගෙන පැවිලියන් එකට ඇතුළු වුණා. හප්පට සිරි.. මේ මොකද මේ..? පැවිලියන් එක ඇතුලෙ ඉන්කියි, සමින්දි අක්කයි, තව එයාලගෙ ඉස්කෝලෙ ගෑනු ළමයි දෙන්නෙකුයි. තත්පරයක් දෙකක් යනකල් මට මුකුත් හිතාගන්න බැරිවුණා. ඒත් එකපාරටම ඔලුවට මොකකින් හරි පතබෑවා වගේ, මෙයාලා එනපොට මට තේරුණා. කට්ටියම එහෙනම් ඇවිල්ලා තියෙන්නේ මගෙන් ලන්ච් එක ගන්න වගේ..

"ඔයාලා හිතුවටත් වැඩිය කලින් ඇවිල්ලනේ.. ඒත් මොකද මේ දෙන්නෙක්...?" 

මං කෙලින් කතා කෙරුවෙ සමින්දි අක්කට. එයා හිට තැනින් නැගිටලා මගේ ළගට ආවා. කොන්වන්ට් එකේ යුනිෆෝම් එකට එයාගේ මාර ලුක් එකක් තියෙන්නේ.. එතන හිටපු කෙල්ලො තුන්දෙනාට එයත්තෙක්ක හැරෙන්වත් බෑ. ඒ තරම් ගති..

"තවත් දෙන්නෙක් එක්කරගෙන එන්නෝනනේ.. එහෙමනේ එදා කතා වුණේ.."

"ඒ කිව්වේ..?"

මගේ ප්‍රශ්නෙට සමින්දි මට තවත් ලංවුණා. එයාගෙ ලස්සන ඇස් දෙක වගේම, කහපාට කම්මුල් මං හොදට දැක්කෙ ඒ වෙලාවෙ. තොල් දෙක ගැන නම් කතා කරලා වැඩක් නෑ.. රෝස පාටයි. නිකට ගාව යාන්තමට දෙකට බෙදිලා. පිස්සු හැදිලා.. නන්නත්තාර වෙලා බෙකම්, මරණාසන්න වෙනවා මෙහෙම ගියොත් නම්.. මං හිත ගල් කරගත්තා. නැත්නම් බෑ.. මේ ඉන්නෙ මගේ පරම සැතිරිය.

"බෙට් එක පාරාද කෙනො ඉන්කිටයි, තව යාලුවො තුන් දෙනෙකුටයි ලන්ච් අරන් දෙන්න ඕනනේ.." 

        "ඉතිං ඔයා පරාද හින්ද මං මගේ යාලුවො දෙන්නෙක් එක්කරගෙන ආවා. එයාලත් මං වගේම ජීවිතේට ඔයාලගෙ ස්කූල් එකේ අයගෙන් එකෙන් ලන්ච් එකක් අරගෙන නෑ" 

ඒකත් එහෙමද..? බලන්න අප්පා ගැනු ළමයි හිතල තියෙන දුර.. ඔයා ඔහොම නෙමෙයි, මුලු කොන්වන්ට් එකම අරන් ආවත මේ බෙකම් ලන්ච් එකක් දෙන්නෙ නෑ..

"දැන් අපි කොහේටද යන්නේ..?"

මං මුකුත් නොදන්න කිරි සප්පයා වගේ ඇහුවා. සමින්දිගෙ මූණට ආවෙ මහා අමුතු හිනාවක්. ඒකෙන් අර එච්චර වෙලා තිබ්බ සුන්දරත්වය ඈතටම ගහගෙන ගියා..

"ම්.. අපි යමු චයිනීස් ෆුඩ් සෙන්ටර් එකට..."

එහෙනම් ඒකයි කතන්දරේ.. චයිනීස් ෆුඩ් සෙන්ටර් එක කිව්වේ, හයිෆයි පොරවල් සාමාන්‍යයෙන් යන එන තැනක්.. මේ අපි වගේ සාමාන්‍ය ජනතාව යන එන තැනක් නෙමෙයි.. එතනින් වේලක් කෑවොත් තව වේල් දෙකක් විතර බඩගින්නෙ ඉන්න වෙනවා සල්ලි නැතුව. අන්න ඒ වගේ හෙණ ගහන තැනකට තමයි සමින්දි යන්න ලෑස්ති වෙලා තියෙන්නේ..

"කොහොමද යන්නේ..?"

"අපි ත්‍රීවිල් එකකින් යන්නම්.. ඔයත් එතෙන්ට එන්න.."

"හරි මම වෙන ත්‍රීවිල් එකක එන්නම්.."

මං ටිකක් දුකෙන් වගේ කිව්වා. අර කලින් පාරක පිපුණු මුරණ්ඩු හිනාව සමින්දි අක්කගෙ මූණෙ මැදට ආයෙත් ආවා. හරියට නිකං මාව කන්ඩෙම් කලා වගේ..

"මට ඔයා ගැන හරිම කණගාටුයි.."

අර ඩිබෙට් ටීම් එකේ ඉංශ්‍රිසියෙන් කතා කරන වාග් විලාශය පැහැදිලිව පෙන්නුම් කරලා සමින්දි කිව්වා. මගේ පපුව ඇතුළේ, බෘස්ලිගෙ ඉරි පාරවල් තුන හතරක්ම ඇදිලා ගියා..

"ඇයි..?"

"මේ බෙට් එකට ආවෙ ඔයා.. මම නෙමෙයි.. බලෙන් බෙට් එකට ඇවිල්ලා. හතර දෙනෙකුට කන්න අරන් දෙන එක ගැන ඕන කෙනෙකුට කණගාටු හිතෙනවා.."

සමින්දි අක්කා ඒ කියපු දේට නම් ඉන්කිගෙ මූණ සවුත්තු වුණා. මේ කෙරීගෙන යන කතාව කෙල්ලට දිරවන්නෙ නෑ කියලා මට තේරුණා. ඒත් මේ බෙකම්ට නම් දිරෙව්වා..

"මං බලෙන් ආවෙ නෑ.. ඉන්කි මගෙන් උදව්වකුයි ඉල්ලුවෙ.. ඒ උදව්වෙදි මෙහෙම කතාවක් ගෑවිලා තිබුණෙ නෑ.."

"ඒ කිව්වේ..?"

සමින්දිගෙ ඇස් දෙක හීණි වුණා. එයත් එක්ක ඇවිල්ලා හිටපු කෙල්ලො දෙන්නත් හැමදේම නළලෙ තියෙනව වගෙයි හැසිරුණේ. මම නම් දැක්කෙ නළලටත් උඩින් වගේ..

"ඒ කිව්වෙ බෙට් කතාව ආවෙ පස්සෙ නේ.."

"හරි.. හරි.. ඉස්සෙල්ලා හරි පස්සෙ හරි ආවනේ.. ඔයා බෙට් එකත් පරාද උනානේ.. මගේ බෑග් එක ගෙනාවෙත් නෑනේ.. දැන් මොකද කියන්නේ..? අපිට කෑම අරන් දෙන්න සල්ලි නැද්ද ආ..? බලන් ගියාම ඔයාගෙ සද්දෙ විතරනේ.."

සමින්දි හෝ ගාලා කියවගෙන යනවා. එයාගෙ ඒ හැම වචනයකම තිබ්බෙ ලොකු උපහාසයක්. එයාට ඕන වුණේ හැම වචනෙකින්ම මාව රිද්දන්න වගේ.. මං ඉන්කි දිහා ආයෙත් බැලුවා.. එයා හිටියෙ හොදටම අවුල් වෙලා..

"සමින්දි අක්කි.. අපි දැන් මේ කතාව නැවැත්තුවොත් හොදයි.. අපි නවෝද්ට මෙහෙම කතා කරන එක හැරි නෑ. මං එයාගෙන් උදව්වක් ඉල්ලුවේ.."

"ඔයා මොනවද ඉන්කි මේ කියවන්නේ.. ඔයත් එදා හිටියනේ නේද..? එයා කියපුවා ඔයාටත් හොදට ඇහෙන්න ඇතිනේ.. දැන් එයා හදන්නෙ ලැජ්ජාවක් නැති ගානට ලිස්සලා යන්න.."

"ඔයාට ලන්ච් එක අරන් දෙන්න බෑ කියලා මම කිව්වද..?"

 මං කෙලින්ම සමින්දිට ලංවුණා. තවත් මෙයාට දර්ශන දදා ඉන්න බෑ. එහෙම උනොත් බෙකම් පරාදයි. මං ඒක අහපු තාලෙට සමින්දි ගැස්සුනා. එයා මුකුත්ම කතා කලේ නෑ..

"මං ප්‍රශ්නය ඇහුවෙ ඔබතුමියගෙන්.. මං එහෙම කතාවක් කිව්වද..?"

"නැත්නම් ඇයි මේ තරම් වැලපෙන්නේ.. ඔයාල චයිනීස් එකට යන්න.. මං එන්නම් කියලා කිව්වනේ.."

සමින්දිට කට උත්තරත් නෑ මගේ කතාවට. ඉන්කිගෙ මූණටත් අපරාදෙ කියන්න බෑ මරු  හිනාවක් ආවා.. හරියට නිකං ඔය කෑවේ ඉල්ලගෙනම කියලා වගේ.. කොහොම හරි සමින්දි අක්කා මූණත් සවුත්තු කරගෙන ඉන්කියි, අනිත් යාලුවො දෙන්නයි එක්ක යන්න ගියා. මං හෙමින් සීරුවෙ පැතුම් ළගට ආවා..

"ඒකි සල්ලි හෙම ගෙනල්ලද..?"

"රත්තරං බඩුවක් ගලෝගෙන ඇවිල්ලද, උකස් තියන්න..?"

"ගිණි පොලීයට කාගෙන් හරි ගන්න ඇති.. පවු අප්පා මතක් වෙනකොට පපුවත් එක්ක දාලා යනවා.." 

ඇම්ඩයි, පැතුමයි, බලයයි රටේ නැති විකාර කියවනවා. ඒ එක්කම ආපු ත්‍රීවිල් එකට අපි හතර දෙනාම ගොඩවුණා. මෙතන ඉදලා චයිනීස් ෆුඩ් සෙන්ටර් එකට වැඩි දුරක් නෑ. මෙලහකට ඉන්කිලා එතනට ගිහිල්ලත් ඇති..

"බෙකම්..?"

"ම්.."

"කොන්වන්ට් එකේ හෙඩ් ප්‍රිපෙට් කෙල්ල හිතන් ඉන්නේ, උඹ බෑග් එක අරන් ඒවි කියලද..?"

"නෑ..."

"එහෙනම්..?"

ඇම්ඩගෙ ඇස් දෙක දිලිසුණා. මේකා මොකක් හරි ගුරුකාස් ගේමක්වත් දුන්නද..? මට පුංචි සැකයක් ආවා..

"ඒකි හිතන් ඉන්නෙ ඒකි තමයි පොර කියලා.. ලොවෙත් නෑ ඇම්ඩා.. ඒකි බලන්නෙ මගෙන් ෆයිඩ් රයිස් කරන්න.."

"මොකක්ද..?"

"ඔව් බං.. උං හැමෝම හිතන් ඉන්නෙ, මට බෑග් එක හොයාගන්න බැරිවුණා.. මං බෙට් එක පරාදයි කියලා.. මාත් ඉතිං ඒ විදියටම ඇට් කරා. උඹ දන්නවනේ පැතුමා. මං උපන් ගෙයි නලුවා කියලා.."

"අපෝයි මොකද අපි නොදන්නේ..?"

"උඹව අර නාට්ටියට ගත්තෙත් උඹ දක්ෂ හින්දනේ.."

"එහෙම නැතුව ගුණසිංහ සර් මූට කැමති හින්දා නෙමේනේ.."

"මට කැමති වෙන්න මං කෙල්ලෙක්ද බං.. පිස්සු කියවන්නැතුව ඔතනින් බැහැගනිල්ලා.."

චයිනීස් ෆුඩ් සෙන්ටර් එක ගාවින් අපි බැස්සා. ඒ බහිනකොටම මං, අපේ අපතයො තුන් දෙනාටම කිව්වෙ සමින්දිලට පේන්නැතිවෙන්න ඉන්න කියලා. ෆුඩ් සෙන්ටර් එක ඇතුළට මං යද්දි සමින්දිලා, ඉන්කිලා කොනේ ටේබල් එකකින් වාඩිවෙලත් ඉවරයි. කණගාටුවක ලක්ෂන පෙන්නුවෙ ඉන්කිගෙ මූණෙ විතරයි.. අනිත් තුන්දෙනාගෙම මූණු වල, අද නම් ලොකු දතක් ගැලවීමේ ප්‍රීතිය යස අපූරුවට සටහන් වෙලා තිබුණා.

"ඉතිං එහෙනම් බෙට් එක පරිද්දටම මං ආවා. දැන් මම ඕඩර් කරන්නද..? නැත්නම් ඔයාලා කැමති දේ ඕඩර් කරනවද..?"

ගෑනු ලමයි වාඩිවෙලා ඉදපු මේසෙට අත් දෙකම තියලා බර කරලා මං ඇහුවා...

"නෑ.. නෑ.. නෑ.. අපිට ඔයාගෙන් වැඩි යමක් ඕන්නෑ.. පොරොන්දු වෙච්ච ප්‍රයිඩ් රයිස් ප්ලේට්ස් ටික දුන්නා නම් හොදටම ඇති.. කාලා බීළා ඉක්මනට යන්නත් ඕන.." 

ආයෙත් සමින්දි අක්කගෙ පන්ඩිත කටහඩ ඇහුණා. ඇයි දෙයිහාමුදුරුවනේ... මේ කෙල්ලොන්ගෙ මූණුවලයි, ඇගපතෙයි තියෙන ලස්සන හදවතේ නැත්තේ..? ඇයි මේ දිගට හරහට පළලට කියවන්න අමුනුස්ස කටක් දීලා තියෙන්නේ, රෝස පාට තොල් පෙති මැදින්.. ෂිහ්.. මොන තරම් කැත මැවීමක්ද මහ බඹා උනත් මවලා තියෙන්නේ..?

"හොදයි එහෙනම් මං ඕඩර් කරන්නම්.. ඒත් ඊට කලින් දැනගන්න ඕන ඔයා ළග සල්ලි කීයක් තියෙනවද කියලා.." 

හිටපු හැටියෙ කඩාපාත්වුණ මගේ කතාවෙන් සමින්දි අක්කා උඩ බිම බැලුවා..

"ඇ... ඇයි මගේ ළග තියෙන සල්ලි ගැන අහන්නේ..? ඒවා මෙතනට වැදගත් වෙන්නෙ නෑනේ.."

"කවුද කියන්නේ..? ඔයාගෙ සල්ලි තමයි මෙතන වැදගත්ම දේ.. ඒවා නැතුව අපිට කන්න බෑ..." 

මගේ කතාවෙන් ඉන්කියි, අනිත් කෙල්ලො දෙන්නයි ඔක්කොම අන්දුන් කුන්දුන් වුණා. උං සිරාවටම බලනවා ඇති මොකක්ද කිරි අම්මෙ මේ වෙන්න යන්නෙ කියලා..

"ඇයි...?"

සමින්දිගෙ ලස්සන මූණෙ, ලස්සනට පිහිටලා තිබ්බ නිල් ඇස් දෙක හීනි වුණා. එයා මං දිහා බැලුවෙ, සංසාරගත තරහාකාරයෙක් දිහා බලනවා වගේ..

"අපි හැමෝම කන, බොන ඒවට ඔයානේ ගෙවන්න ඕන.. ඒකයි මම එහෙම ඇහුවේ.."

"මොනවා..! ඇයි මං ගෙවන්නේ..?"

"ගෙවන්නේ..? ඔයත් මාර කතානේ අහන්නේ..?"

"ඉන්කි..?"

සමින්දිගෙ මූණ ලා රතු පාටට හැරුණා. මගෙත් එක්ක කතාව නවත්තලා එයා හැරුණෙ ඉන්කි දිහාවට.

"ඇයි අක්කි..?"

"මෙයා මොනවද මේ කියවන්නේ..? ඔයයි, මෙයයි එකතුවෙලා අපි ඔක්කොටම ලැජ්ජා කරන්නද හදන්නේ..? අනික ඉස්කෝලෙ මගේ තනතුර මොකක්ද කියලා ඔයා හොදටම දන්නවනේ..? මට තවත් මෙතන සවුත්තු වෙන්න බෑ.. මැඩම් එහෙම දැක්කොත් මං ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි.. මගේ බැජ් එකත් ගලව ගනියි.." 

අප්පට සිරි ඒ කතාවෙ සැර බලපල්ලකෝ. මොනවද මෙයා මේ කියවන විකාර. මොලේ අසනීපයක්වත්ද.. මූණ කට නම් කලින් දැක්ක වගේම හොදයි.. ඒත් ඇතුළෙ සර්කිට් එකේ අප්සට් එකක් වගේ..

"ඉන්කි.. මෙයත් මොනවද මේ කියවන්නේ..? ඔයාලගෙ බැජ් එකයි, ටයි එකයි ඔක්කොම ගලවලා බෑග් ඇතුලෙනේ.. අනික හරි නම් මමයි බයවෙන්න ඕන.. අපේනේ ඉස්කෝලෙ බැජ් එක සාක්කුවට තියලා මහලා තියෙන්නේ.."

මාත් හැරෙන තැපෑලෙන්ම ඇදලා ඇරියා.. ඇයි හත්තිලව්වේ.. මෙයා හිතන්නෙ මෙයා ගැනම විතරයි..

"අනේ නවෝද්... හයියෙන් කතා කරන්න එපා.. කට්ටියක් බලනවා.. සමින්දි අක්කේ.. ඔයත් ටිකක් කූල් වෙන්නකෝ.. මෙතන ලොකු ප්‍රශ්නයක් නෑ නේ.."

"ප්‍රශ්නයක් නෑ ඉන්කි.. ඒත් මෙයා ලන්ච් අරන් දෙන්න ඕන එකට ඇයි මං පේ කරන්නේ..? මොනවද මේ විකාර කතා...?"

ආයෙත් සමින්දි බූරු ඇද වගේම කට ඇරියා. මටත් අම්මපා නිකං ඉන්න බෑ.. මාත් බූරු ඇද දිග ඇරියා..

"හතර බීරි කතාවක් නෑ.. මට පේන විදියට ඔයයි බීරි වෙලා ඉන්නේ.. ඒකනේ මං මෙච්චර වෙලා පැහැදිලිව දේවල් කියද්දිත් බීරි හටනක් වගේ රගන්න හදන්නේ..?"

බෙකම් කට ඇරියොත්, බෙකම්ට තද වුණොත් ආයෙ දෙකක් නෑ.. එතන සුනාමි තත්වයක් තමයි.. බලන් ඉද්දිම සමින්දිගෙ මූණ තද දම්පාටට හැරුණා. එයාට මල පැනලා තවත් මොනවා හරි උනා කියලා මට තේරුණා. ඉතිං මට මොකෝ හත්තිලව්වේ..

"මො.. මොකක්ද ඔයා කිව්වේ...?"

"කිව්වෙ කියලා අහන්නේ..?"

"දැන් මොකක්ද ඔයා කිව්වේ..?"

"මං කියපු දේ වැරදිද..? ඔයාට දැන් මම කියපු දේත් ඇහුනෙ නෑ කියන්නේ, ඔයා බීරි හටනක් කියලා කියපු එක හරියටම හරි කියන එක නේද..? ගෑණු ලමයි කට්ටිය මොකද මගේ කතාව ගැන කියන්නේ..?"

ඉන්කිගෙ කලබල වෙලා තිබ්බ මූණ මැදට පුංචි හිනාවක් ආවා.. සමින්දි අක්කගෙ වචන වලින්ම මං සමින්දි අක්කව පරාද කලා කියලා එයාට තේරුණා. ඒත් ඉන්කි හිනාව හංග ගත්තා. සමින්දිටත් කරගන්න දෙයක් නෑ.. එයා කොයි තරම් ඩිබෙට් වලදි කතා කරලා තිබුණත් මේ බෙකම්  එක්ක හැප්පෙන එක ලේසි නෑ කියලා දැන් දැනගන්න ඇති..

"ඉන්කි... මං මේක ලේසියෙන් අතාරින්නෑ.."

සමින්දි එක පාරටම නැගිටලා ඉන්කිට තර්ජනය කලා.. ඔන්න දෙයියනේ මේ ලෝකෙ ස්වභාවය.. පහත් තැනින්ලු ජලය ගලන්නේ.. මේකත් ඒ වගේම සංසිද්දීයක් තමයි.. ඉන්කිගෙ මූණෙ හිනාව නැවතිලා ගිහින් අඩන බබෙක්ගෙ මූණක් මතුවුණා. ඒකත් කෙල්ලට නරකම නෑ..

"ඔයා ඔය වචන ටික ඉන්කිට කියලා වැඩක් නෑ.."

"එහෙනම් ඒ ටික ඔයාට කිව්වයි කියලා හිතාගන්න.."

"වෙන අයට කියපුවා මං සාමාන්‍යයෙන් භාරගන්නෙ නෑ. ඔයා කැමති නම් මට කියන්න.. අනික ඔයා ඔය නැගිට්ටෙ යන්නද..?" 

"ඔව්.. තවත් මෙතන බොරු කාරයොත් එක්ක ඉදලා වැඩක් නෑ."

"ඒක තමයි මටත් කියන්න තියෙන්නේ.. මාත් මෙච්චර වෙලා බලන්  හිටියෙ ඔයා කෑම අරන් දෙයි කියලා.. මට තියෙන්නෙ ඔය වචන ටිකම ඔයාට කියලා මෙතනින් නැගිටලා යන එක.."

"ඇයි මං කෑම අරන් දෙන්නේ..?"

"මොනවා උනත් ඔයා දැන් තමයි හරි ප්‍රශ්නෙ ඇහුවේ.."

"ඒ කියන්නේ..?"

"ඔයා ඔට්ටුව පරාදයි සමින්දි.. ඔයා පරාදයි..."

ඉස්සෙල්ලම වතාවට මං එයාට නම කියලා කතා කරා.. ඒ ඇස් දෙක මහා පුදුමයකින් ලොකු වෙනවා මං දැක්කා..

"ම... මං... ප.. රා.. ද.. යි.."

"ඔව් සමින්දි... මං ඔයාගෙ බෑග් එක හොයාගත්තා.. ඔයා දැන් මොකද කියන්නේ...?" 

"කෝ බෑග් එක..?"

සමින්දිගෙ පුදුමයෙන් මහත් වෙච්ච මූණ කැටයම් ගොඩකින් පිරිලා ගියා. මොනවා කරන්නද බබා.. ඔයයි මේ තරම් ලොකු හැන්දකින් පැලෙන්න බෙදා ගත්තේ.. මං ක ඇතුළට මහපටගිල්ලයි, දබරැගිල්ලයි දාලා සද්දෙ අඩුවට විසිල් එකක් ගැහුවා විතරයි.. විසිල් එක ගහලා මට කට ඇතුලෙන් ඇගිලි දෙක එළියට ගන්න ලැබුනෙ නෑ.. මෙන්න සමින්දිගෙ බෑග් එක ඔලුව උඩ තියාගෙන ඇම්ඩා රෙටු කරගෙන, පැතුමයි, බලයයි චයිනීස් ෆුඩ් සෙන්ටර් එකට ඇතුල් වුණා. තමන්ගෙ බෑග් එක ඇම්ඩගෙ ඔලුව උඩ තියෙනවා දැක්කහම සමින්දිට කලන්තෙ හැදුනෙ නැති එක විතරයි..

"දෙ.. දෙයියනේ..."

එයාගෙ එක අතකින් ඒ ලස්සන රතු පාට තොල්පෙති වැහිලා ගියා.. බලන් ගිහයම  ඇම්ඩලා ඉදලා තියෙන්නෙ පුදුමාකාර නොයිවසිල්ලකින් වගේ.. උං තුන්දෙනා දැක්කම මගේ හිතේ තිබුණ ෆිට් එක තව වැඩි උනා.. දැන් ඉතිං දෙන්නම්කෝ පැණි බේරෙන්න..

"ඔයා දැන් මොකද කියන්නෙ සමින්දි.. නාලක ඔය බෑග් එක මෙයාට දීපං.."

"බෙකම්... මෙයා මට හිරිහැරයක් කරයිද..?"

ඇම්ඩා ඇදලා පැදලා කිව්ව එකට ඉන්කිත් එක්ක හිටපු අනිත් කෙල්ලො දෙන්නටත් හිනා ගියා..

"එයා කිසිම හිරිහැරයක් කරන්නෙ නෑ.. එයා දැන් අපිට කන්න අරන් දෙන්නයි හදන්නේ.. ඔන්න ඕක එයාගෙ අතට දීපං.. ම්.. සමින්දි.. ඕකෙ මුකුත් අඩුපාඩු තියෙනවද කියලා බලන්න.."

බෙකම් දැන් මේ ජවනිකාවෙ වීරයා වෙලා. ඒකෙ ආයෙ හොයලාබ ලන්න කිසිම දෙයක් නෑ. මූණ හොදටම හතරැස් කරගෙන සමින්දි බෑග් එක අතට ගත්තා. එයා ඒකේ ෂිපර් එක ඇරලා බලලා ආයෙත් වැහුවා. ඊට පස්සෙයි එයා මගේ මූණ දිහා බැලුවේ.. ඒක හරිම විවෘත බැල්මක්. ඒත් ඒ හිතේ කිසිම දෙයක් මට තේරුම් ගන්න බැරිවුණා. කෙල්ල මොකාටද එන්න හදන්නෙ..? එයාගෙ හිතේ ප්‍රශ්න තියෙන පාටයි..

"ඔයා ඕක ඇරලා බැලුවද..?"

"ඔව්..."

ඇත්ත කියන්න ආයෙ ඇඹරෙන්න ඕන නෑනේ.. මගේ කතාවට සමින්දිගෙ ඇස් දෙක ලොකු උනා.. එයාට නිකං ලැජ්ජා හිතුනා වගේ.. 

"මේක ඇතුලෙ තියෙන දේවලුත් දැක්කද..?"

"ඔව්.."

සමින්දි එයාගෙ යටිතොල හපාගත්තා.. මහා නෝක්කාඩු විදියට එයා ආයතේ මං දිහා බැලුවා.. ඔන්න ඔහොම බලන් ඉන්නවා නම් මොනවා කරන්න බැරිද බබා.. ජීවිතේම උනත් දෙන්නම්කෝ..

"ඔයා හරිම නරක ළමයෙක්..  කමක් නෑ මං පරාදයි.. ඔයා කිව්වා වගේම.. මෙන්න මෙතන රුපියල් තුන්දාහක් තියෙනවා.. ඔයාලා කන්න.. සල්ලි ඉතිරි උනොත් ඉන්කි අතේ මට එවන්න.. අපි යමු.."

සමින්දි එයාගෙ යාලුවො දෙන්නත් එක්ක නැගිට්ටා.. එයාලා තුන්දෙනා නැගිට්ටා විතරයි අපේ උන් ටික දඩ බඩ ගාලා ඒ පුටු තුනේ වාඩිවුණා. හරියට සංගීත පුටු තරගයක් වගේ.. කියලා වැඩක් නෑ.. මෙලෝ මනුස්සකමක් නෑ.. මගේ අතේ ගුලිවෙච්චි දාහෙ කොල තුන දිහා මං යාන්තමට බැලුවා..

"ඔයත් අපිත්තෙක්ක හිටියා නම් නේද හොද..?"

බෙකම් කියන්නෙ වනේ වන හතුරෙක් එක්ක උනත් එකට ලන්ච් එක ගන්න මැක්සා බඩුවක්.. ඒක සමින්දිටත් වලංගු උනේ ඒකයි..

"නෑ.. පරාද උන තැනක ඉදලා මට පුරුදු නෑ.. අපි යනවා.. හැබැයි..." 

යන්න ගිහිල්ලත් සමින්දි ආයෙත් ආපිටට ආවා.. ඒ වගේ ඇස් ඉස්සරහටම.. දැන් ඒ මූණෙ තියෙන්නෙ, සුපිරි පෙනුමක්.. ඒ කියන්නෙ බෙකම්ට චැලේන්ජ් එකක් කියලද..? 

"මං මේක ලේසියෙන් ආතාරින්නෙ නෑ.."

සමින්දිගෙන් ඒ වචන ටික පිටවුණේ හොබෝම හෙමීට. ඒත් මං වටේට හිටපු හැමෝටම ඒවා ඇහුණා කියනෙක මට ලොකු විෂ්වාසයක් තිබුණා..

"මාත් කිසිම දෙයක් අතාරින්නෙ නෑ කියලා ඔයාට මේ වැඩෙන්ම තේරෙනවනේ.. තව අවුරුදු ගානක් ගියත් ඒක එහෙමමයි.."

"බලමුද..?"

"මොනවා බලන්නද..? ඕන ඕන හැමදේම බෑග් එක ඇතුලෙ තියෙනවා මං දැක්කා.." 

සමින්දිගෙ තොල්පෙති දෙක එකට තදවුණා. එයාට කේන්ති ගියාද කියලත් මට හිතුණා. ඉතිං මට මොකෝ. කේන්ති යන්න බැරිනම් කේන්ති ආපුවාවේ..

"ඔ.. ඔය.. යනවද..?"

චයිනීස් ෆුඩ් සෙන්ටර් එකෙන් සමින්දියි, එයාගෙ හයි ෆයි යාලුවො දෙන්නයි පිටවෙලා යද්දිම පැතුමා කෑගැහුවා. ඒත් සමින්දි හැරිලවත් බැලුවෙ නෑ. එයා දිගටම යන්න ගියා.

"ඔයා ලොකු පිම්මක් පැන්නෙ නවෝද්..."

සමින්දි යන දිහා බලන් ඉදලා, ටේබල් එක දිහාට හැරෙද්දි ඉන්කි මට කිව්වා..

"ඇයි ඔයා එහෙම කියන්නේ...?"

"සමින්දි අක්කා කාටවත් පරදින ජාතියෙ ගෑනු ළමයෙක් නෙමෙයි. එයා මේකෙ වාඩුව කොයි වෙලාවක හරි ගනියි.."

"කාගෙන්ද...?"

"කාගෙන්ද කියලා ඇහුවේ.."

"ඔයාගෙන්ද මගෙන්ද කියලා..?"

"ඔයාගෙන් නවෝද්.."

එතන ඉදලා පුංචි නිහැඩියාවක් ගෙවිලා ගියා. ඒ අතරෙ මං තියෙන හොදම විදියට අපි හතර දෙනාට චිකන් ෆ්‍රයිඩ් රයිස් ඕඩර් කලා.. නැතුව බෑනේ අප්පා.. මේ තරම් කියවල මේ තරම් සුපිරි ගේමක් දීලා සාමාන්‍ය කෑම වේලක් කෑවහම නින්ද යයි කියලද කවුරුත් හිතන්නෙ..?

"බෙකම්..?"

 "ම්..."

අම්ඩගෙ කටේ බතුයි, චිකනුයි පිරිලා.. ඌ කතා කෙරුවෙත් අමාරුවෙන්..

"උඹට පිංසිද්ධ වෙනවා.."

"හා... හා... මගේ උක්කු අම්මා.. පරිස්සමට කාපං.. උඹේ දිව චිකන් කෑල්ලක් වගේ උඹට හැපෙයි.."

පැතුම් කිව්වෙ අමුතුම කතාවක්.. ඉන්කිටත් පුංචි හිනාවක් යනවා මං දැක්කා.. 

"බෙකම්..."

"කන්න දීපං නාලක මල අඩේ නැතුව.."

 මං කෑගැහුවා. ඇත්තනේ අප්පා.. එක විනාඩි පහක් නිශ්ශබ්දව මූට කෑම ටික කන්න බැරි හැටි. අනික කටෙන් එකයි කෑම. මූ කතා කරන්නෙ පස්ස පැත්තෙන්ද මංදා..

"ප්ලීස් බෙකම්.."

"හරි. කියපං. මං අහගෙන ඉන්නේ.. මොකෝ උඹට චූ බරද...?"

මං හෙමීට ඇහුවා.. නැතුව බෑනේ.. මෙතන ගෑනු පරාණෙකුත් ඉන්න එකේ ටිකක් හරි වැදගත් වෙන්න වෙනවා..

"හොද එකා වගේ මට අරක අරන් දීපං.."

"මොකක්ද..?"

"අර ෂෝකේස් එක උඩ ඉන්න කුකුලව.. මට ආසයි උගේ බඩ මාලු කන්න.."  

ඇම්ඩා පෙන්නුවේ, කබඩ් එක උඩ රෝස්ට් කරලා තිබ්බ තඩි කුකුලෙක්.. මූට පිස්සුද මංදා.. කුකුලා දාහ පනින්න ගානක් වෙන්න ඇති..

"පිස්සු නැතුව කාහං.. සමින්දි දීලා ගියේ රුපියල් තුන්දාහයි.. මතක නැද්ද උඹට.. එයා සැරෙන් සැරේට කිව්වා, ඉතිරි සල්ලි ඉන්කි අතේ එවන්න කියලත්.. යසට හිටියි අපි තුන්දෙනා විනාශ කලොත්.."

"දුන්නෙ කන්නනේ බෙකම්.. ඔන්න ඔහේ තව මොනා හරි කමු.."

ඒපාර බලයත් කතාවට දායක උනා.. මෙච්චර වෙලා ඌ හැසිරුණේ උපාසක බක බක වගේ.. සමහර විට ඉන්කි ඉදපු නිසා වෙනන් ඇති..

කොහොම හරි හිත පිරෙන්නයි, බඩ පැලෙන්නයි කාලා අපි හතරදෙනා එළියට බැස්සා. ඉන්කිත් වැඩිවෙලා අපිත් එක්ක හිටියෙ නෑ.. ඉස්කෝලෙ දීපු බාහිර වැඩ වගයක් තියෙනවා කියලා එයා ගියා..

"පැතුම්"

"හ්ග්.. ඇයි බං..?"

"උඹට නිකං ඉස්මුරුත්තාවට වගේ ඇවිත් නේද..?"

"හ්ම්.. ඇවිදගන්න අමාරුයි.."

"හුස්ම ගන්නත් අමාරුයි වගේ බං.."

"යකෝ එහෙනම් ඇගිලි දෙ උගුරට දාලා හෝටල් පාරක් දාපං.." 

ඇම්ඩා ඒක නම් කිව්වෙ නෝන්ඩි තාලෙට. පැතුමට පටස් ගාලා මල පැන්නා..

"උගුරට ඇගිදි දෙකක් දාන්න ඉඩ තියෙනවා නම් මං අර ඉතිරි කුරපු කුකුල් අන්ඩ නොකා ඉන්නවද..?"

"ෂෙහ්.. බලන්න අප්පා මුංගෙ ගද කතාවල හැටි.. කාට කියන්නද හත්තිලව්වේ මේ බඩජාරිකම්.."

"බෙකම්.."

 "ම්..."

"මොකද උඹ සද්දෙ වහලා.."

"උඹලා තුන්දෙනා හොදට කෑවා නේද..?"

"ඔව් බං.. ඒකේ අවුලක් නෑ.. අද සමින්දිට වෙච්ච වැඩේ ලොවෙත් නෑ.."   

"හොද වැඩේ ඒකිට නම් උනේ.."

"ඒ අතින් මේ ඉන්කි කෙල්ල මාර ඇඩ්වාන්ස් මචං.. මැක්සා ආ.."

"හේනම්.. බෙකම් ආයේ බෑග් එකක් උස්සපු දාකට හම්බවෙමු.. උඹට පිං අපිට කන්න අරන් දුන්නට..."  

"අපි ගියා...."

සෙන්ට්‍රල් එකේ ලොකුම අපතයො තුන්දෙනා තුන් පැත්තකට යද්දි මං විතරක්, මවුන්ටන් බයිසිකලේ එක්ක මග නතර වුණා..






No comments:

Post a Comment