Monday, March 5, 2012

| සොදුරු නවෝදය | යෞවන සමින්ද්‍ර රත්නායක |




                
තලපතා ක්ලාස් නැවැත්තුවයින් පස්සෙ මගේ ඇස් හෙව්වෙ ඉන්කිව.. ඒත් එයා පේන මානෙකවත් හිටියෙ නෑ. මොනවා නැතත් ක්ලාස් එකේ අදුනන වගේම, අදුනන්නෙත් නැති කෙල්ලො කොල්ලො හුග දෙනෙක් මගේ ළගට ඇවිත් මට ස්තුති කරා. ඒ කිසිම බියක් සැකක් නැතුව තලපතාට ෆේස් කරලා පංතිය බේරගත්තට..

මගේ  හිතත් නිංක අමුතු ගැම්මකින් පිරිලා තිබුණෙ. ඒ වෙලාවෙ ආපු ශක්තිය නම් කොහෙන් ආවද මන්දා..

"බෙකම්.."

"ම්..."

"පිස්සු හැදෙනවා බං.."

"ඇයි..?"

"ජීවිතේට කෙල්ලෙක් කරන වැඩක්ද බං අරකි කලේ.. මගේ නම් මුළු ඇගම පණ නැතිවෙලයි තිබුණෙ. උඹ මෙහේ නැගිටගෙන කතාව.. ඒ අස්සෙ අරකි නැගිටලා ක්ලැප් කරනවා. මං හිතන්නෙ තලපතාට පිස්සු හැදෙන්න ඇති.."

"මොනවා උනත් ඒකි කරේ අදහන්න වටින දෙයක් මහේල.. නිකං කෙල්ලෙක් නම් කීයටවත් ඔය වගේ දෙයක් කරන්නෑ.."
  
"ඒකනේ බං.. ළමයි හාරසීයක් විතර මැද්දෙයි, තලපතා කන්න වගේ බලන් ඉද්දියි මේකි නැගිට්ට එකම මැදැයි.. මට නම් හිතාගන්නවත් අමාරුයි.."

බස් ස්ටෑන්ඩ් එකට එනකල්ම මහේලයි මායි කතා වෙවී ආවෙ ඒ ගැන.. බලන් ගියාම ඉන්කිගෙ කට වගේම තමයි වැඩත්..

"අර බලපං.."

"හැයි ගාන්නෙ නැතුව වම් පැත්ත බලපං.."

"නෙහාරා නේද..?"

"හ්ම්..."

බස් ස්ටෑන්ඩ් එකට එහා පැත්තෙ තියෙන අතුරු පාරේ නෙහොරා තවත් කවුදෝ කොල්ලෙක් එක්ක බර කතාවක්.. අතපය විසි කර කර. උං දෙන්නා මොනවා හරි බෙදා ගන්න බැරිව වගේ රණ්ඩු කරනවා වගේ..

"අපි එතෙන්ට යමුද බෙකම්.."

"මොකටද..?"
  
"මොකටද අහන්නෙ..? ඕකි පංතියෙ ඉන්නෙ නම් දෙකට ගනින්න බෑ වගේ.. කොයි වෙලාවෙත් උඹ දිහා බලාගත්තු ගමන්.. දැන් බලපංකෝ වර්ණ විපර්යාසෙ. ඇදන් ඉන්නෙත්, ඩිංගක් නැමුණොත් මුළු ප්‍රෙද්ශයම පේන සාය කොටයක්.."

මහේල කිව්වෙ සහතික ඇත්ත.. නෙහාරා ඇදන් හිටියෙ හුගාක් කොට සායක්.. මගේ හිතටත් නිකං කහටක් වගේ හැගීමක් ආවා. මොනව උණත් අපේ පංතියෙ, අපේ ඉස්කෝලෙ හිත හොද කෙල්ලෙක් නේ..

"මහේලයා.. උංගෙ ප්‍රේමකතා උං විකුණගත්තාවෙ.. අපිට ඒවා වැඩක් නෑ.. අපි යං.."
  
"යන්න විදයක් නෑ බෙකම්.. එතක අවමගුලක් වෙන්න යන පාටයි.."

"වරෙන්.."

තලපතාගෙ ක්ලාස් එකේ පොත් දෙක රෝල් කරලා ඩෙනිමෙ පිටිපස්සෙ සාක්කුවට ඔබා ගන්න ගමන් මං, නෙහාරයි, අර කොල්ලයි ඉන්න පැත්තට ආවා. මහේල කිව්ව දේ හරි.. නෙහාරයි, අර කොල්ලයි අතරෙ හෙණ කතන්දරයක්. උං දෙන්නටම වටපිටාව ගැන මෙලෝ සංසාරෙක අවබෝධයක් නෑ වගේ.. එකසිය ගානට කියව ගන්නවා..

"ඒ කියන්නෙ තමුසෙට එන්න බෑ..?"

නෙහාරා ගාව හිටපු කොල්ලා, ඇගිල්ලයි, පපුවයි, මූණයි ඔක්කොම නෙහාරා දිහාට උරුක් කරලා ඇහුවා. කෙල්ලගෙ තොල්පෙත් තද වෙනවා මං දැක්කා. ඒ තදවෙනවා කියන්නෙ, කෙල්ලට මළපැනලා කියන එක නේද..? මේ බූරු වහන්සේට ඒ ධර්මතාවෙ නොතේරෙන්නෙ ඇයි..?

"මං බෑ කියලා කිව්වනේ.."

"ඔව්.. උඹට වෙන එවුන් එක්ක නම් රවුම් ගහතැහැකි.."

"හ්ග්.. දෙයියනේ.. සහාගහන කතා කියන්න එපා. මං කාත් එක්කද රවුම් ගැහුවේ..?"

"ඒවා ඉතිං තමන් දන්නවා ඇතිනේ.."

"කට තිබ්බට කැත කතා කියන්න එපා.. මොකක්ද කමල් මේකේ තේරුම..?"

"තේරුම මොකක්ද කියලා තමයි මාත් අහන්නේ.."

වැඩේ නැගලා යනවා. උං දෙන්නා මේ ලෝකෙ සිහියක් නෑ වගේ එකට එක කියාගන්නවා. අඩු ගානේ මේ පිංකැටේ වගේ ඉන්න බෙකම්වත් පේනනෙ නෑ. මකර තොරණ වගේ ඉන්න මහේලයවත් පේන්නෙ නෑ.

"ඔයා කියන්නෙ, ඔයා කතා තරන තැන් තැන් වලට මං එන්න ඕන කියලද..?"    

"ඔව්... ආදරේ කියන්නෙ ඒක තමයි.."

"මගේ අකමැත්තෙන් යන ගමනක තියෙන්නෙ මොන ආදරයක්ද දෙයියනේ.. ඇත්තමයි.. මං කැමති නෑ.. ගෙදරින් දැනගත්තොත් මාව මරයි.."
  
"ඔව්.. ඉතිං.. උඹට කොහොමත් මට වැඩිය ගෙදර ඈයො ලොකුයිනේ.."

මේ නරකාදි පණුවා නම්, නෙහාරාට කීයටවත් ගැළපෙන්නෙ නෑ කියලා මං ඒකමතිකව තීරණේ කලා. මෙහෙම ආදරේ කරනවට වැඩිය හොදයි, බෙල්ලෙ ගලක් බැදගෙන වස කුප්පියක් අතේ තියාගෙන බත් පිගානක් ගිලලා දාන එක..

"ඔව්.. මට ලොකුයි තමයි.."

"නෙහාරා මේ..? උඹ වැඩිය නටන්න ආවොත් මං උඹට යහතින් ඉන්න දෙන්නෑ.. තේරුණාද..?"

"දෙයියනේ... අමල්... මේකද ඔයාගෙ ආදරේ... මොනම දෙයක්වත් කතා කරලා බේරගන්න බැරි ඔයා වගේ කෙනෙකුට ආදරේ කරන එකත් පවක්.."

"මොනවද බැල්ලියෙ උඹ කිව්වේ..?"

තව තත්පර ගානකින් කොල්ලා නෙහාරට අත උස්සනවා කියලා මට තේරුණා. මේක මැද්දට පනිනවද නැද්ද කියලා මං තත්පර ගානක් කල්පනා කලා..
  
"ඉස්සෙල්ලා කතා කරන්න ඉගෙනගන්න අමල්.. මේක මහපාර.."

"මට කොතන උනත් කමක් නෑ.. උඹ මාව පිස්සෙක් කරලා ඉවරයි... මෙහෙ වරෙං.."

කොල්ලා, නෙහාරාගෙ අතින් අදිනකොටම මං උං දෙන්නා ගාවට ගියා. මාව දැක්කා විතරයි නෙහාරා සම්පූර්ණයෙන්ම අවුල් වෙලා ගියා. කොල්ලා මං දිහා බැලුවෙ පූර්ණ කාලීන වෛරක්කාරයෙක් දිහා බලනවා වගේ..

"නෙහාරා.. ඔයාට ප්‍රශ්නයක්ද..?"

මං නෙහාරාගෙන් ඇහුවත්.. මගේ ඇස් තිබ්බෙ කොල්ලගෙ මූණෙ.. මහේලත් මාගෙත් එක්කම වගේ ඇවිත් කොල්ලා ගාවින් හිට ගත්තා. ඔන්න එතකොට තමයි ඌ පියවි සිහියට ආවෙ..

"නෙහාරගෙ ප්‍රශ්න ගැන අහන්න... තමුසෙ කවුද..?"
  
කොල්ලා ඒක මගෙන් ඇහුවෙ සෑහෙන්න හිතට අරගෙන.. මට හිතුණෙම උගේ මූණ මැදටම දෙකක් අනින්න.. ඒත් නෙහාරා හින්දා ඉවසන්න වෙනවා..

"මං නෙහාරගෙ යාළුවෙක්. මෙතන අවුලක් වගේ හින්දයි ආවෙ. මිනිස්සු සෑහෙන්න බල බලා යනවා.. ප්‍රශ්නයක්නම් පැත්තකට ගිහිල්ලා කතාකරගත්තා නම් හොදයි.. මොකද මේ කෙල්ල හෙටත් පාරෙ බැහැලා යන්න ඕන.."

"ඒක මං බලාගන්නම්.. උඹ අනුන්ගෙ ටිංකිරි ගාගන්නෙ නැතුව මෙතනින් මාරු වෙයන්.."

මූ කතා කරන්න දන්නෙම නෑ.. හිතේ කේන්තිය ඩිංගෙන් ඩිංග වැඩිවෙද්දි මං නෙහාරා දිහා බැලුවා. ඒ ලස්සන මූණ මහා වේදනාවකින් වැහිලා ගිහිල්ලා.. එයාට මෙතන කරන්න දෙයක් නෑ කියලා මං දැනගෙන හිටියා. තවත් ටිකක් ඉවසලා බලන්න මං හිතාගත්තා..

"ඊට වැඩිය හොද නැද්ද, ශරීර සෞඛ්‍යයත් හොද අතට තියාගෙන උඹ මෙතනින් මාරු උනොත්..?"

 වැඩේ අල වෙනවා කියලා මට තේරුණේ මහේල කතාවට බහිද්දි. තව තත්පර ගානකින් කොල්ලා ගුටි කනවා කියලා මට තේරුණා.

"උඹ කවුද ඩෝ එහෙම කියන්න..?"

එතනින් එහාට ඌට වචනයක්වත් කියන්න හම්බවුණේ නෑ.. මහේල පැනපු ගමන් කම්මුල් පාරක් ඌට කණ පුරෝලම දුන්නා. ආයෙ දෙකක් නෑ. කොල්ලගෙ සායම ගියා ආත්මෙත් සුද්ධ කරගෙන. ඌ ඒ වගේ ප්‍රතිචාරයක් හීනෙකින්වත් බලාපොරොත්තු උනේ නෑ කියලා, එළියට පනින් වගේ ලොකු වෙලා තියෙන උගේ ඇස් බෝල දෙකෙන් මට නිට්ටාවටම කියන්න පුළුවන්. කම්මුල අල්ලගෙන ඌ දත්මිටි කද්දි මං ඉස්සරහට පැනලා උගේ ෂර්ට් එකේ, කොලර් කෙන් ඇදලා ගත්තා.
  
"ලව් කරාට කමක් නෑ.. ඒත් තමන්ගෙ කෙල්ලගෙ ආත්ම ගරුත්වෙ බේරගෙන.. තේරුණාද..? කෝකටත් උඹ ආයෙ බහ තෝරන කාලෙට පලයං. හරියට කතාබහ කරන හැටි ඉගෙන ගන්න.. කැත සතා.."

පාරක් අනින්න, මගේ වම් අත ඉස්සෙද්දි, නෙහාරා මගේ අතේ එල්ලුණා. ඒ ඇස්වල කදුළු පුරෝලා එකයි.

"අ... අනේ නවෝද්.. ඔයාලා යන්න.. ඔයාලා යන්න.. මං.. මං මේක බේරගන්නම්.."
  
කොල්ලට ගහන්න ගියපු අත පහලට වැටෙද්දි මං ඌව පැත්තකට තල්ලු කරලා දැම්මා.. ඒ වේගෙට ඌ වැටෙන්න ගියත්, ඇග අමාරුවෙන් බැලන්ස් කරගෙන ඒකා කෙලින් හිටගත්තා.

"මගෙත් එක්ක උඹ මොනවා බේරගන්නද බැල්ලි..? උඹ මුං එක්කම නිදි වැදපං.."

 ආයෙ කතාවක් නෑ.. ඌ නියම සංස්කෘත ටිකක් ඇදලා ඇරියා.. බලන් ගයහම මේකා සතෙකුටත් අන්තයිනේ.. ජීවිතේට අහපු නැති ඒවා ඌ කියන්නේ.. නෙහාරා අත් දෙකෙන්ම මූණ වහගෙන අඩද්දි, කොල්ලා වීරයා වගේ බස්ටෑන්ඩ් එක පැත්තට ගියා.. ඌ නම් ආයෙ මේ සම්ම කපේ එන පාටක් නෑ.. ඌ ලව් එකත් මෙතනම භූමදානය කරා වගේ.. මටයි මහේලටයි තමයි හත් දවසෙ දානෙ දෙන්න වෙන්නේ..  
  
"නෙහාරා...."
   
"අනේ... නවෝද්..."

කෙල්ල මගේ අතේ එල්ලිලා අඩනවා, මහේල මට ඩිංගක් එහායින් හිටගෙන බස් ස්ටෑන්ඩ් එක පැත්ත බලන් ඉන්නවා. සමහර විට නෙහාරාගෙ අසහාය ප්‍රේමවන්තයා, මටයි, මහේලටයි නෙලන්න කොල්ලො එකතු කරන්න ගියා වෙන්නත් පුළුවන්..

"අඩන්නැතුව ඉන්න නෙහාරා.. මේක ටවුන් එක.. මිනිස්සුත් බලනවා.."

"අ... අනේ.. මං මොනවද කරන්නෙ නවෝද්..? අනේ.. හ්ග්.. මං මොනවද කරන්නේ..?"

වෙනදට පංතියෙ ඉදන් මං දිහා හොරෙන් බලලා හීනි හිනාවක් තොල් අතරෙ තියාගෙන බිම බලාගත්තු නෙහාරා මගෙන් අහනවා, මොනවද කරන්නෙ කියලා.. මගේ දිහා ඒ විදියට බැලුවෙ මේ අපතයා එක්ක, ආදරේ කරන ගමන්මනේ ඉතිං.. අනේ මංදා මේ කෙල්ලො කියන ජාතිය නම්, ආත්ම ගානක් ඉපදි ඉපදි මැරුණත් තේරුම් ගන්න බෑ..

"මට තේරෙන විදියට මේ ආදරේ නම් ඔයාට හරි යන්නෙ නෑ.. දැක්කනේ ඔයාට කතා කරපු විදිය.."

"අ.. නේ.. එහෙම කියන්න එපා නවෝද්... ම..මං කොහොමද අමල්ව අමතක කරන්නේ..?"

"අපි ඔය ගැන පස්සෙ කතා කරමු.. දැන් ඔයා ගෙදර යන්න.. රෑ වෙන්නත් එනවනේ...."

"අ... අනේ නවෝද්.. අමල් ආයෙ එන එකක් නෑ.. හ්ග්... හ්ග්..."

නෙහාරා ඒ පාර මගේ අත් දෙකෙන්ම අල්ලගෙන අඩන්න ගත්තා.. දැන් මොකද කරන්නේ.. මේ අඩන බබා එක්ක හිටියොත් මටත් අඩන්න වෙනවා..

"හෙට ඉස්කෝලෙදි අපි ඔය ගැන කතා කරමු.. හොද ළමයා ඔයා දැන් ගෙදර යන්න.."

"ඔව් නෙහාරා.. අමල් ආයෙත් ආවොත් ලොකු ප්‍රශ්නයක් වෙයි.. තරහා වැඩිකමට මගෙත් අත ඉස්සුනා.. ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ට ඔයා ඉස්සරහදිම ගහන්න උණාට ඔයා මට සමාව දෙනවා නේද..? ඒ වෙලාව මට ඒක නොකර ඉන්න බැරි වුණා.."   

හප්පට සිරි.. මෙන්න පැත්තක ඉදපු මහේලයා තනිකරම ආරාධිත රංගනයකට දායක උනා.. උගේ ඇස් දෙක දිලිසෙනවා.. නෙහාරාගෙ කදුළු පිරිලා හින්දා දිලිසෙනවා.. දිලිසෙන සියල්ල රත්තරං නොවේ කියලා මං හිතාගත්තා..

"අ... අමල්ට ඒ දේ උනේ.. එයා හරියකට කතා කරන්න දන්නැති හින්දා.. එතන ඔයාගෙ වැරැද්දක් නෑ මහේල.. හිතපු නැති වෙලාවක, උදව් ඕන වෙලාවක දෙවියෙක් වගේ ආපු ඔයාට පින් නවෝද්.. මේක මට උරුම දේ.. මට මේකෙන් ගැලවීමක් නෑ.."
          
නෙහාරාගෙ ඇස්වලට ආයෙත් කදුළු පිරුණා. එයා කියපු කතාවෙ හුගක් තේරුම් හිතේ මැවෙද්දි නෙහාරා අපි ගාවින් ඈත්වෙලා ගියා..

"පව් නේද බෙකම්..?"

"පව් නම් තමා.. ඒත් උඹ මොකද සීරියස් වෙලා..? මොකද නෙහාරා පිළිබදව සිතක් පහළ වුණාද..?"

"අනේ මංදා බං.. මං කීයටවත් හිතුවෙ නෑ ඒකිට කොල්ලෙක් ඇති කියලා.. ඒකි හෙණ සැහැල්ලුවෙන් නේ බං අපිත් එක්ක හිටියේ."

"ඕවා ඔහොම තමයි මහේල.. උඹලා අහලා නැද්ද ආදරය ගෑවුණාද.. එතන කදුළු ගංගාවකි කියලා.."
  
පංඩිත කතාවකුත් කියාගෙන මං මහේලත් එක්ක ආපිට හැරුණා. මෙච්චර වෙලා අපි බලන් හිටියෙ නෙහාරා යන දිහානේ..

"හත්තිලව්වයි.."

ඒ හැරෙද්දි ඇස් ඉස්සරහා තිබ්බ දර්ශනේ දැකලා මට කියවුණා. ඉන්කියි.. එයාගෙ ඉස්කෝලෙ හෙඩ් ප්‍රිපෙට් වෙච්චි සමින්දි අක්කයි, මගෙයි මහේලගෙයි අතේ දුරින්ම හිටගෙන හිටියා..

"දුකයි නේද...?"

කට කොනකට සිරියාවන්ත හිනාවෙන් ඩිංගක් අමුණගෙන ඉන්කි මගේ ළගට ආවා. එයත්තෙක්ක සමින්දි අක්කත් මට ලංවෙද්දි මහේල ඩිංගක් ඈත් වුණා. උගේ මූණෙ තිබ්බෙ තේරුම් ගන්න බැරි හිනාවක්...

"මොනාටද ඉන්කි..?"

"ගෑනු ළමයා අඩ අඩ යනකොට..?"

සමින්දි අක්කා, ඒ වෙනකොටත් හිටියෙ බස් ස්ටෑන්ඩ් එක පැත්ත බලාගෙන. ඉන්කිගෙ ඇස් තිබ්බෙ මගේ මූණෙමයි. වෙනදා වගේම ඒ ඇස් දිලිසුනා..

"මගේ ගෑනු ළමයා උනොත් තමා මට දුක.."

"ආ... ඒකත් එහෙමද..?"

"නැත්තං..."

"තමන්ගෙම උනොත් විතරද දුක නවෝද්..?"

 මේක නම් කටක් නෙමේ.. ලව්ඩ්ස්පීකරයක්.. ඇයි හත්තිලව්වේ.. කියන කියන එකට මොනවා හරි කියනවා. ඒත් මුකුත්ම කියන්න කලින් සමින්දි අක්කගෙ කටහඩ ඇහුණා..

"ඉන්කි..."

"ඇයි අක්කේ..?"

"අපි යන්නැද්ද..?"

මගේ දිහා ඩිංගක්වත් බලන්නෙ නැතුව සමින්දි අක්කා ඉන්කිගෙන් ඇහුවා. එයා මාර ගණන් පිට තමයි ඉන්න හදන්නේ.. අඩු ගානේ එක බිංදුවක්වත් හිනා වුණේ නෑ. ඉදපංකෝ.... මට කලර්ස් පෙන්නන්නයි ඔය හදන්නේ..
  
"ක්ලාස් එකේදි මට දීපු හෙල්ප් එකට තෑන්ක්ස්.."

තලපතා ඉස්සරහදි ඉන්කි ක්ලැප් එක පටන් ගත්තු එක හිතේ තියාගෙන මම කිව්වා

"ඒවා එහෙම තමයි.. මම කිව්වනේ ඉස්සරහට තව තව ඒවා තියෙයි.."

කෙල්ලගෙ ඇස් දෙක නටන්න ගත්තා. මේකි මොනවා හිතේ තියාගෙන කියනවද මංදා. ඒත් සමින්දි අක්කගෙ මූණෙ තිබ්බෙ නම් මහාම මහ නොපහන් ගතියක්.. එයා මෙතන රැදිලා හිටියෙත් අකමැත්තෙන් කියලා මට තේරුණා..

"ඔයාට තෑන්ක්ස් කරන්න.. මම ක්ලාස් එකෙන් පස්සෙත් ඔයාව හෙව්වා.."

"ආ.. මං සමින්දි අක්කගෙ වැඩකට ටවුන් එකට දුවගෙන ආවා.. එයාට ඕන වෙලා.............."

"ඔයාට පිස්සුද ඉන්කි...? මොනවද ඔය කියවන්නේ..?"
                    
මෙච්චර වෙලා එහෙන් මෙහෙන් තිබ්බ නොරිස්සුම සමින්දි අක්කා ළගින් පුපුරලා ගියා. ඉන්කිත් ගැස්සුණා. මම උනත් ඩිංගක් විතර අවුල් වුණා. මෙයාට මොක්කද අප්පේ මේ හැදිලා තියෙන වලිප්පුව. මේ කෙල්ල වගේ ඕපන් හාට් එකක් සමින්දිට නෑ වගේ..

"සොරි අක්කි..."

ඉන්කිගෙ කතාව බාල උනා.. ඇස් නැටවෙන එකත් නැවතුනා. එයා ඔලුව උස්සලා මං දිහා බැලුවෙ හරිම අමුතු විදියට. සමින්දි අක්කා හින්දා එයත් අවුල් වෙලා..

"කවුද ඉන්කි මේ..? ඔයාගෙ යාලුවෙක්ද..?"

තවත් බතල හිටවලා වැඩක් නෑ.. තැම්බෙනකන් කොහොමටවත් ඉන්න බෑනේ.. සමින්දි අක්කගෙ පුස්පාට්වලට දෙන්න ඕන පරිප්පුව මං හිතාගත්තා. මං අහපු දේට ඉන්කි කලබල වුණා. ඒ හා සමානව ප්‍රතිචාරයක් සමින්දි අක්කගෙනුත් ලැබුණා. ඒ දිග ඇස් දෙක බලන් ඉද්දිම ලොකු උනා..

"ස්..... හූ..... නවෝද්.. මේ අපේ සමින්දි අක්කනේ... අපේ ඉස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙට්.."

"ආ... ඇත්තද..? ඒ මෙයාද..? ඇත්තමයි ඉන්කි මං හිතුවෙ ඔයාලගෙ හෙඩ් ප්‍රිෆෙට් වෙන කෙනෙක් කියලා.."

සමින්දිගෙ මූණ තත්පරෙන් තතපරේ වෙනස් වෙද්දි මං කතාව ඇදගෙන ගියා.. ඔහොම යංකෝ.. ඔයා ගනන් නං මමත් උපරිමේටම ගණන්, සමින්දි අක්කේ.... මේ බෙකම්ගෙ හැටි ඔයා දන්නෑ. ග්‍රවුන්ඩ් එකේ සෙන්ටර් එකේ තියලා, මං ඔයාට කික් එකක් දෙනවා එහා පැත්තෙ ගෝල් එක ඇතුලට යන්න..

"වෙන කෙනෙක්..?"

"ඔව්.. අර සුදු ලස්සන ගර්ල්.. ගිය පාර අන්ඩර් නයින්ටීන්, චෑම්ප් වුණේ බැඩ්මින්ටන් වලින්.. මේ පාර ජාතික සංචිතේටත් තේරිලා තියෙන්නේ.."

"ආනේ... නවෝද්.. ඔයා ඔය කියන්නෙ අපේ චතුපමා අක්කි ගැන.. එයත් අපේ සමින්දි අක්කා වගේ තමයි.. හැබැයි ඊට වඩා, සමින්දි අක්කට ටැලන්ට්ස් තියෙනවා.."
  
මගේ කතාවෙන් රිදෙන්නෙ කාටද කියලා දැනීමක් නැති අහිංසකී, ඔහේ කියවනවා.. සමින්දි අක්කගෙ මූණ දැන් නම් තියෙන්නෙ, හොදටම නරක් වෙච්ච ඇපල් ගෙඩියක ගති ලක්ෂන, මොනා කරන්නද බබා.. ඔයානේ මේ හැන්දෙන් බෙදා ගත්තෙ, කලර්ස් දාන්න ගිහින්. මාත් ඉතිං නහුතෙට බෙදනවා..

"මම නම් දැකපු ටැලන්ට්ස් එකක් නැහැ.. ඒත් චතුපමාගෙ ටැලන්ට්ස් නම් මුළු දිස්ත්‍රික්කෙම දැක්කා.. අන්න එහෙමයි ගර්ස්ලා ඉන්න ඕන.."
             
මගේ කතාවෙ එන්නේ, අඩංගු වෙන්නෙ මොන කෘමි නාශකේද කියලා, ඔන්න දැන් ඩිංගක් ඉන්කිටත් තේරුණා. එයා පුදුම වෙලා වගේ මං දිහා බැලුවෙ ඒකයි..

"ඉන්කි... ඔයා යන්නැද්ද.. මං යනවා.."

එකපාරටම ගස්සලා, පද්දලා දාලා සමින්දි අක්කි හැරුනා. ඔය තියෙන්නේ. ඉවසනවා කියලා තවත් කොහොම ඉවසන්නද නේද සුදූ.. ඔයාට රිදුනා කියලා හිතෙනකොටත් මාර ගතියක් හිතට එනවා..

"අනේ සමින්දි අක්කි.. චුට්ටක් ඉන්න.. ඔයා දන්නෑනේ මේ කවුද කියලා.." 

ඉන්කි දුවගෙන ගිහින්, සමින්දි අක්කගෙ අතේ එල්ලුණා. ඒ එල්ලෙම සමින්දි ආපහු හැරිලා මං දිහා ඇස් දෙක පුංචි කරලා බැලුවා.

"කවුරු උනත් මට වැඩක් නෑ ඉන්කි.."

"එහෙම කියන්න එපා අක්කි.. එයාට තමයි මං ඔයාගෙ බෑග් එක හොයලා දෙන්න කියලා කිව්වේ..."

"එයා..? එයා කොහොමද මගේ බෑග් එක හොයාලා දෙන්නේ..? ඒක මෙලහකට බෑග් හදපු රටටම ගිහිල්ලා ඇති.."

සමින්දි අක්කා ඒ කතාවෙන් කිව්ව දේ අතරෙ කාරනා දෙකක් මට දැණුනා. එකක්, මට ඒ වැඩේ කරන්න බෑ කියනෙක.. අනික බෑග් එක ඉම්පෝටඩ් කියන එක.. මේ බෙකම්ට ඕවා හොදට තේරෙනවා..

"නෑ අක්කි... නවෝද් හරිම හොදයි.. එයා කොහොම හරි ඒක හොයලා දෙයි.."

"දවසක් දෙකක් කතා බහ කරාට මිනිස්සු විශ්වාස කරන්නෙපා කියලා මං ඔයාට නිතරම කියනවා ඉන්කි.. ඔයා නම් කවදාවත් හැදෙන ළමයෙක් නම් නෙමෙයි.."

සමින්දිගෙ වචන ඊතල පාරවල් වගේ මගේ පපුව ඇතුළටම රිංග ගත්තා. මං කියපුවට රිටර්න් එක තමයි, මේ එයා ගෙන් හම්බවෙන්නේ. බලමු සමින්දි අක්කේ.. රිටර්න් එකක් හම්බවුණොත් මේ බෙකම් ඒක බාරගෙන කවදාවත් ඉන්නෙ නෑ.. ඒකට ඩබල් රිටන් එකක් නොදී..

"මොනවද ඉන්කි.. එයා කියන්නේ..?"

මං සමින්දියි, ඉන්කියි දිහාට අඩි දෙක තුනක් තියලා ඇහුවා. මෙච්චර වෙලා මෙලෝ හැගීමක්  දැනීමක් නැතුව, පිදුරුතලාගල කන්ද වගේ හිටෝපු තැනම තාමත් ඉන්න මහේල දිහා මං බැලුවා. ඒ මගේ කටහඩේ තිබ්බ ගේම ඉල්ලීමේ ගති ලක්ෂනේ හින්දා වෙන්න ඇති. උගේ ඇස් මට කිව්වේ, ඉවසපං කියලා ඒත් මේ බෙකම්ට ඉවසනවා කියන්නේ මොන තරම් අවමංගල කතාවක්ද කියලා නොදන්න එකෙක් නෑ..

"මු.... මුකුත් නෑ නවෝද්... මු... මුකුත් නෑ.. අපි යන්නම්.."

ඉන්කිට තේරුනා වැඩේ අල වෙන්න යන විත්තිය. ඒකයි එයා කතන්දරේට ෆුල්ස්ටොප් එක තියන්න හැදුවේ.. ඒත් සමින්දි නම් ෆුල්ස්ටොප් එක තියන්න ලෑස්ති වුණේ නෑ.. ගේම නම් ගේම වගේ එයා මං දිහා බැලුවා..

"මුකුත් නැත්තෙ නෑනේ ඉන්කි.. මෙයාට පුලුවන්ද මගේ බෑග් එක හොයන්න.. අනික ඒක නැතිවෙලත් කොච්චර දවසක් වෙනවද..? ඔයා අනවශ්‍ය දෙයක්නේ කරලා තියෙන්නේ.."

තවත් නම් කට පියන් ඉන්න බෑ.. මට එහෙම හිතුණෙ ඉන්කි අසරණ වෙලා වගේ, මං දිහායි, සමින්දි අක්කි දිහායි මාරුවෙන් මාරුවට බලනකොට.

"ඔයා කියන්නෙ, මට ඔයාගෙ බෑග් එක හොයලා දෙන්න බෑ කියලද..?"   

මං කෙලින්ම සමින්දිගෙන් ඇහුවා. සුදුපාට රවුම් මූණ, දිග ඇස් දෙකත් එක්ක මගේ දිහාට හැරුණා. ඒ තමයි කෙලින්ම මං දිහා, හොදට බලපු පළවෙනි වතාව. මහ පුදුම තරම් ආඩම්බරකමක් මං ඒ මූණෙ දැක්කා. ඒ ආඩම්බරකම මගේ හිතට සෑහෙන තරම් ලොකුවට වැදුනා. හරියට මගේ අභිමානයට පහරක් එල්ල වුණා වගේ..
  
"ඔව් ඔයාට ඒ දේ කරන්න බෑ. ඒ වගේම.. ඒ වගේම මං ඒ බෑග් එක ගැන ආසාව අත් ඇරලයි තියෙන්නේ.. ඒක මට ආයෙ කවදාවත් හම්බවෙන්නෙ නෑ. ඒක ට හොදටම සුවර්.."

 කිසිම හැගීමක් නැතුව වගේ සමින්දි කියවගෙන ගියා. මගේ හිතට ආපු නොරිස්සුම පිටට එන්න නොදී මං හුගාක් අමාරුවෙන් තද කරන් හිටියේ..

"මං ඒ දේ කරොත්..?"

"ඒ දේ කිව්වේ..?"

"අපි මෙතන ආංඩු පෙරළන්න කතා කරේ නෑනේ.. අපි කතා කරේ ඔයාගෙ බෑග් එක ගැන.."

සමින්දි අක්කා, කොන්වන්ට් එකේ, ඩිබෙට් ටීම් එකේ කැප්ටන් උනා කියලා මං සෙකන්ඩ් වෙන්න ඕනෙ නෑනේ. ඩිබෙට් ටීම් එකේ නැතිවුණාට මේ බෙකම්ට ඕන ස්ටේජ් එකක කතා කරන්න පුළුවන්.
  
"ඔව් ඉතිං..?"

"මං කිව්වේ, ඔයාගෙ බෑග් එක මං හොයලා දුන්නොත් මොකද වෙන්නේ කියලා.."

"මුකුත් වෙන්නෑ.." 

"ඇයි...?"

"ඔයාට ඒක හොයන්න බෑනේ.. ඉතිං එතනින් එහාට කතාවක් නෑ.."

"මොනවද ඔට්ටු..?"

"ඔට්ටු කිව්වේ..?"

"ඔට්ටු කියන්නෙ නම් බෙට් වලට. ඔයා කියනවා මට ඒක හොයලා දෙන්න බෑ කියලා. මං කියනවා හොයන්න පුළුවන් කියලා. ඉතිං එතකොට එතන නිකම්ම බෙට් එකක් උපදිනවනේ. මං බෑග් එක හොයලා ගෙනත් දුන්නොත් ඔයා පරාදයි. මට බෑග් එක හොයන්න බැරි උනොත් ඔයා දිනුම්. මොකද කියන්නේ..?"

දිග ඇස් දෙකට එබීගෙනම මං ඇහුවා. සමින්දි අක්කත් පරාජබ බාරගන්න, අකමැත්තෙන් වගේ මං දිහාම බලන් හිටියා. ළගින් හිටපු ඉන්කියි, මහේලයි නිකම්ම ප්‍රේක්ෂකයෝ වෙලා. ඇත්තටම ඉතිං උං දෙන්නට කරන්න දෙයක් නෑ. ඔහේ බලන් ඉන්නයි තියෙන්නේ..

"මං දිනුම්...."

අර ආඩම්බරකාර කමින් සමින්දි උත්තර දුන්නා.

"ඒ කොහොමද..?"

"ඔයාට ඒ දේ කරන්න බැරි හන්දා.."

මට නම් දැන් මේකිගෙ කට කන්න හිතයි. මේ තරම් වීරයා වගේ පුළුවන් කියලා කියද්දිත්, මේකිගෙ කටේ තියෙන්නෙම බැරි බැරියාවනේ. ඉදපංකෝ..... ඕකට හරියන නියම ටොනික් බෝතලයක් දෙන්න..

"වැඩි කතා ඕන්නෑ.. ඉන්කි.. මහේල.. ඔයාලා දෙන්නත් ඉන්නවනේ.. මං දිනුවොත් මෙයාලගෙ ගානෙ මටයි මගේ යාලුවො තුන්දෙනෙකුටයි ඉන්කිටයි ලන්ච් එකක් ඕනේ.."

"ලන්ච් එකක්...?"

සමින්දිගෙ මූණෙ තිබ්බ රස්නෙ යාන්තම් නිවුනා වගේ මට තේරුණා. මං මේ තරම් ෆිට් එකේ චැලේන්ජ් කරන හන්ද, කෙල්ල ඉන්නෙ ටිකක් අවුල් වෙලා කියලා මගේ ඔලුවට වැටුනා..

"ඔව්... ලොකු චිකන් කෑලිත් එක්ක, ප්‍රයිඩ් රයිස් ලන්ච් එකක්.. මං පරාද උනොත්.. ඔයාටයි ඔයාගෙ යාලුවො තුන්දෙනාටයි ඉන්කිටයි, මං ඒ දේ අරන් දෙනවා. මොකද කියන්නේ..?"

මං ගානට තැනට වැඩේ ඇදගෙන ආවා.. දැන් බලමුකෝ මෙයාගෙ තොරණෙ විස්තරේ කොහොමද කියලා.

"කියන්න දෙයක් නෑ.. මං ලෑස්තියි.. ආ.. තව දෙයක් තියෙනවා..."
  
සමින්දිගෙ ඇස් තිබ්බෙ මගේ මූණෙමයි.. ඒවා කොයි වෙලාවෙවත් එහෙට මෙහෙට ගියේ නෑ. ඒත් ඒ බැල්මෙ කිසිම තෙතමනයක්, ආරාධනාවක් එහෙමත් නැත්නම් පුංචි ලෙන්ගතුකමක් ඒ මුකුත්ම තිබ්බෙ නෑ. නිකම්ම නිකං අර්ථ ශූන්‍ය වෙච්ච බැල්මක්..

"මේ.. ඔට්ටුවෙ වලංගු කාලය කොහොමද..?"

හප්පට සිරි... මේක නිකං රාජකීය තත්වයටම යන්න හදනව වගේ.. ඒ තරම් ඇඩ්වාන්ස්..

"ආ.. ඒ ගැන හිතන්න දෙයක් ඇත්තෙම නෑ.. අපි දවස් තුනක් දාගමු.. ඒ හොදටම ඇති.."

සමින්දි අක්කගෙ මූණෙ තිබ්බෙ ඒ තරම් සිරියාවන්ත පෙනුමක් නෙමෙයි. එයා ඉන්කිගෙ අතිනුත් ඇදගෙන බස් ස්ටෑන්ඩ් එක පැත්තට ගියා. සමින්දි අක්කට හොරෙන්, ඉන්කි ආපස්සට හැරිලා, ඔලුව විතරක් හොල්ලලා යනවා කියන සංඥාව දුන්නා. ටිකක් ඈතට ගිහිල්ලත් ඉන්කි පස්ස හැරි හැරී බලන හැටි මං දැක්කා.

"ඒකිගෙ මහ පට්ට ගනන්නෙ තියෙන්නේ..?"

සමින්දිලා ටිකක් ඈතට යනකන් බලන් ඉදපු මහේල කිව්වා. ඌට විතරක් නෙමේ.. සමින්දි ආපු කලර්ස් මටත් දිරෙව්වෙ නෑ..

"ඔය ග්‍රවුන්ඩ් එකේදි මාව අනන්තවත් දැකලා ඇති. ඒත් බලපං මහේලයා. ඒකි හැසිරුණේ මාව අද දැකපු තාලෙට නේ.."
  
"ගණන් ගන්න එපා බෙකම්.. මට පේන විදියට නම් ඒකි උඹට කැමතියි.."
   
"ම... මට..? නිකං පිස්සු නොකිය හිටු.. උඹ දැක්කනේ ඒකි මෙතන රගපාපු හැටි.."

"එහෙම තමයි බං කෙල්ලො.. තමන්ට ගණන් පෙන්නන්න ඕන එකාට, නියම තැනදි ඒ ගාන දාගන්නවා. ලොවෙත් නෑ මචං.. ඔහොම දේවල්.."
  
            ලොවේ නැත්නම් හදේද බං තියෙන්නෙ කියලා අහන්න හදලත් නිකං හිටියා.. දැන් කොල්ලන්ගෙ කටේ තියෙන්නෙ ඕන කෙහෙල් ගෙඩියකට ලොවෙත් නෑ කියන වචන දෙක..
  
"මොනවා උනත් මහේලයා.. මම නම් සමින්දි ගැන  හිතන් හිටියේ, මූණ කට සීදේවි වගේම ඒකිගෙ හිතත් සීදේවි ඇති කියලා.."
                  
"කෙල්ලො තේරුම් ගන්න එක ටිකක් අමාරු වැඩක් බෙකම්.. ඉතිං උඹ දැන් උන්ට ලන්ච් එකක් අරං දෙනවද..?"
  
"පිස්සුද බං.."
  
"උඹ එහෙනම් බෙට් කරේ..?"
   
 "මං බෙට් එක දිනන හන්දනේ.."

"ඈ... ඒ කොහොමද..?"

මට එතකොටයි මතක් උනේ, මහේල මේ මහා බෑග් නිදාන කතාවට ආධුනිකයි කියලා.. ඇත්තටම ඌ ඒ ගැන වැඩි යමක් දැනගෙන හිටියෙ නෑ. ඒකත් හොදයි.. මට එතකොට ඌ ඉස්සරහත් වීරයා වෙන්න පුළුවන්.


"මං කොහොම හරි සමින්දිගෙ බෑග් එක හොයලා දෙනවා.. කතාව එච්චරයි.."


"ඔව් ඉතිං.. උඹට හොයාගන්න පුළුවන් උනොත් හොදයි.. නැත්නම් ඉතිං දාහකට දෙදාහකට කෙල වෙන එක අහන්න දෙයක් නෑ.."
  
"ඇයි...?"
   
"හැයි කියලා අහන්නේ..? මූණ සුදු පාටට රූප සුන්දරියො වගේ හිටියට, ඕකුන් සාගතකාරයෝ, අපි කනවා වගේ දෙගුණයක් කනවා. අනික ඕකුන් ස්පෝර්ට් කරන හද්නා කකුල් වලත් බඩවැල් තියෙනවා.."  

 මහේල අමුතු කතාවක් කිව්වා. මං ඒක ඒ තරම් ගණන් ගත්තෙ නෑ. මොකද කියනව නම්, සමින්දි අක්කා ප්‍රයිඩ් රයිස් අරන් දෙන්නෙ මටනේ. මේකා සමින්දි අක්කට ඔහොම කිව්වට අපේ ඈයොන්ගෙත් නියපොත්තෙ ඉදලම බඩවැල් තමා. වේල් දෙකක් විතර නොකාපු දවසක දානපතියෙක්ව හම්බ වුණොත් ඉතිං සොරිම තමා..


                          *************************************


පහුවෙනිදා උදේ පාන්දරම මෙන්න ඇම්ඩා අපේ ගේ ඉස්සරහා.  උගේ  මූණෙ හිනාව පුරෝල එකයි..


"මොකක්ද යකෝ.. අර කරපු කුණුහරුප වැඩේ...?"


ඌව දැකපු ගමන්ම මං ඇහුවා. නැත්නම් බෑ.. මූට කතා කරන්න දුන්නොත් මූ මුදුනා වෙනවා. මට කතා කරන්න වෙන්නෙම නෑ..


"මොන වැඩේද බෙකම්..?"


මේ තුන් ලෝකෙ ඉන්න අහිංසකම, පිරිසිදුම සත්වයා වගේ ඌ මගෙන් අහනවා. අම්මපා මට මුගේ කෑල්ලක් කතෑහැකි ඉතිං..


"ඉන්කිගෙ බෑග් එක උස්සලා මගේ ට්‍රැවලින් බෑග් එකේ එබුවේ..?"

"මං උඹට එදා කිව්වනේ... ඒකිගෙ බෑග් එක උස්සනවා කියලා.."

"කිව්වා තමයි.. ඒත් උඹ මගේ ඇගේ ඒක ගැහුවෙ ඇයි කියලයි මං ඇහුවේ. අර එකක් ඔබලා තාම ඒක ඇදේ දිග ඇරගන්න බැරුව ඉන්නවා.. උඹ මේ තවත් එකක් කරලා.."

"ප්‍රශ්නයක් නෑ බෙකම්.. අපිට වගේ නෙමේනේ.. උඹට දෙකක් නෙමේ හතරක් තිබ්බත් වැඩියක් නෑ.. අනික ඉතින් උස්සපු බෑග් දෙකෙත් ඇති වැරැද්දකුත් නෑ නේ බං.."

බලන්න අප්පා මුගේ කඩප්පුලි කතාව.. තවත් ඉතිං ඔය ගැන කතා කරලා වැඩක් නෑ.. මූ නම් කිසිම දාක හැදෙන එකෙක් නම් නෙමෙයි. ඌ එක්ක ඉන්න ඉදිල්ලෙන් අපි  හැදෙන්නෙත් නෑ..

"උඹ මේ කෙහෙල්මලක් කියනවා.. උඹ දන්නවද ඊයෙ තලපතාගෙ ක්ලාස් එකේ වෙච්ච දේ..?"

කොලේජ් ලේන් එකට ළංවෙද්දිම මං මවුන්ටන් බයිසිකලේ ඇම්ඩට දුන්නා. ඌ බයිසිකලේ එතන තිබ්බ තාප්පෙට හේත්තු කරලා මගේ අතකින් අල්ල ගත්තා. ඌ මූලික ලක්ෂන දාලා මේ හැසිරෙන විදියෙන් මේකා මේ කරන්න යන්නෙ හැගීම්බර කතාවක් කියලා මට බය නැතුව කියතැහැකි.

"හැමදේම මට ආරන්චියි බෙකම්.. දුෂ්මන්තයා මාව පාවලා දුන්නා කියලා මං දැනන් හිටියා. ඒකයි මං ක්ලාස් ආවෙ නැත්තේ.. ඒත්.. ඒත්.."

ඇම්ඩා මගේ ළගටම ඇවිත් අනිත් අතිනුත් අල්ල ගත්තා. උගේ ඇස් දිලිසෙනවා වගේ. ලාවට වගේ කදුළු බිංදුවක් දෙකක් ඒ ඇස් අතරෙ හැංගිලා තියෙනවා මං දැක්කා. මේක නම් අම්මපල්ලා අදහාගන්න පුළුවන් තත්වයක් නෙමෙයි..

"කිසිම පණ ඇති සත්වයෙක් මං වෙනුවෙන් කතා කරන්න තියා, ඒ ගැන හිතන්නවත් බයවෙච්චි වෙලාවක උඹ සද්දන්තයා වගේ නැගිටලා කියපු දේවල් හුගාක් වටිනවා බෙකම්.. මං උඹව අදහන්නෙත් ඒකමයි.."

 "අතෑරලා දාපං බං.... රෙද්ද.."

"ඒවා එහෙම ලේසියෙන් අතාරින්න බෑ බං.. මං මොන කුණුහරුප වැඩේ කරත්, ඒ වගේ කැරට් විසි හතරෙ වැඩ, මගේ පපුව ඇතුලෙ කෙටුවා වගේ තියෙනවා.."

"ඔක්කොමත් හරි.. ඔය බෑග් ඉස්සිල්ල දැන්වත් නවත්තපං.. වැරදිලාවත් කවුරු හරි දැකලා තිබුණ නම් පටි හතම රෝල් නෙ බං.."

"අරකිගෙ නම් වැරදිලා හරි ඉස්සුව එක ගැන මං සන්තෝස වෙනවා.. ඒකිගෙ උණ වැඩියි.."

"කාගෙද..?"

"සමින්දිගෙ බං.. ඒකිගෙ මහ පුස්පාට් තියෙන්නේ.. ඒ අතින් බලපුවාම ඉන්කිගෙ ඒ තරම් අවුලක් නෑ.."

මෙන්න එපාර මූ සාමයේ දූතයා වෙලා, මොකක්ද දන්නෑ හිටපු ගමන් හැදිච්ච වෙස් පෙරළිය.. මට නම් දිරෙව්වෙම නෑ. මූ සන්සුන් වෙනවා කියන්නෙ එතන අවමගුලක් තමයි. එහෙම නැත්නම් කාගෙ හරි දානයක් තමයි..

"පහුගිය දවස්වල උඹ ඉන්කිට වැලේ වැල් නැතිවෙන්න බැණ බැණ නේද හිටියේ..?"

"ඒක නම් ඇත්ත බෙකම්. අපේ ගෙදරට අර කැහි කූරු කතාව කිව්වා උනත්, ඊයෙ තලපතාගෙ ක්ලාස් එකේදි උඹේ පැත්තට කතා කෙරුවෙ ඒකි විතරයි.. පිරිමි හාල් පාරුවො දෙසීයක් විතර ඉන්න තැනක, මුලින්ම ක්ලැප් එක පටන් ගත්තෙ ඒකි විතරයි... මං ඒක පාර්ශ්විකව ඒකිත් එක්ක තිබ්බ වලියෙන් ඉවත් වෙනවා බෙකම්.. ඒකිට මොන වගේ ගඩග් තියෙන්න ඕනද..? හැමෝම ඉස්සරහා උඹට ක්ලැප් කරන්න.. අනික.. මහසෝනා පාට් එක ඇට් කරන්න ඔන්න මෙන්න කියලා හිටපු තලපතා ඉස්සරහා.."

මොනවා නැතත් ඇම්ඩගෙ තියෙන හොද දේ තමයි කියන කෙහෙල් ගෙඩියක් කෙලින්ම කියලා දාන එක.. උගේ කතාවෙන්ම මං දැනගත්තා ඉන්කි එක්ක පටන් ගන්න ගියපු වලිය ඌම නවත්තලා දැම්මා කියලා.

"උඹට කියන්න තවත් දෙයක් තියෙනවා නාලක.."

 "ඒ මොකක්ද..?"

ඉස්කෝලෙට ඔන්න මෙන්න තියලා තියෙද්දි මං නාලකගෙ මූණට එබුනා. උගේ මූණෙ සුපුරුදු පරිදිම අර කුණු හිනාව හතර අතටම විහිදිලා තිබුණා.

"ඊයේ බස් ස්ටෑන් එක ළගදි මායි සමින්දියි බෙට් එකක් දැම්මා.."

"බෙට් එකක්..? අර අහංකාර ස්ත්‍රී රත්නෙත් එක්ක.. කමක් නෑ ඕකිගෙ පැත්තක්ම පතුරු ගහමු.."

"ඉස්සෙල්ලා අහගනිංකො කතන්දරේ.."

එතන ඉදලා මං බොහොම ඉක්මනට, ඉතා කෙටියෙන් බෙට් එකේ විස්තරේ කිව්වා ඇම්ඩා එක්ක..

"නියමයි බෙකම්... නියමයි.. මේ අවස්ථාවේ මට දැනෙන ප්‍රීතිය කියලා නිම කරන්න බෑ.. ඉතිං.. ඉතිං.. ඒ ප්‍රීතිය වැඩි වෙන්න මට කියපං.. කවුද දැන් ඔය සමින්දි දෙන ප්‍රයිඩ් රයිස් දන්සැලට උඹ එක්කන් යන්නේ..?"

ඇම්ඩගෙ ඇස් දෙක දිලිසුනා. ඒ කියන්නෙ මුගෙත් යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා, මගෙත් එක්ක ප්‍රයිඩ් රයිස් කන්න..

"ඉස්සෙල්ලම යන්නෙ, මායි ඉන්කියි. ඊගාවට පැතුමයි, මහේලයයි, බලයයි, උඹයි.. තේරුණාද..?"

"ම්... මාව..? තෑන්ක්ස් බෙකම්.. රොම්බ තෑන්ක්ස්.. පිස්සු හැදෙනවා.. මං අද ඉදලා වේල් දෙකයි කන්නෙ.. බලපං.. ඔය කොන්වන්ට් එකේ අහංකාරිට වෙන දේ.. ලොවෙත් නෑ.. ඒත් ඉතිං මට තියෙන දුක තව දවස් දෙකක් බලන් ඉන්න වෙන එකයි.."

ඇම්ඩා දැන් ඉදන් කෑමට රෙඩි වෙලා. ඒකත් හොදයි.. මේකා එක්ක ගියොත් මං සහසුද්දෙන්ම දන්නවා, සමින්දිගෙ පර්ස් එක සුනාමියට අහුවුණා වගේ වෙනවා.. ඔව්.. ඔව්.. එයාට රිද්දන්න පුළුවන් හොදම වැඩේ එහෙම තමයි. තව ඉතිං මහේලයා කෙසේ වෙතත් බලයයි, පැතුමයිත් ඉන්නවනේ.. උං දෙන්නත් ඇම්ඩගෙ අග සව් වගේනේ.. සමින්දි අක්කේ.... ඔයාට සොරිම තමා.. මුං ටික ඔයාගෙ ඇගෙනුත් කෑල්ලක් කපලා දායි..

ඇම්ඩා පංතිය දිහාට යද්දි මං අපේ පංතියට ආවා. පැතුමා සුපුරුදු පරිදි කෙල්ලො ටික වට කරගෙන බර කතාවක්. මං වටපිට බැලුවත් නෙහාරා පේන්න හිටියෙ නෑ. ඊයෙ කතන්දරෙන් පස්සෙ කෙල්ල ඉස්කෝලෙ නෑවිත් ඉන්නද දන්නෑ හදන්නේ..

"ඔයාට කියන්න නෙලුනි.. ඌත් එක්ක මං මාර කේන්තියෙන් ඉන්නේ.. ඇත්ත වශයෙන්ම මට ඌව පේන්න බෑ.. ඕකා කතා කරන් මට තරහා එනවා.."

පැතුම් මේ කවුරු ගැනද කියන්නේ..? මං ටිකක් ඕනෑකමින් ඇහුම්කන් දුන්නා.. නිරෝම් තොල් වලින් විතරක් මට ගුඩ් මෝනිං කියද්දි, මං ටිකක් හයියෙන් කිව්වා. ඔන්න එතකොටයි පැතුම් මාව දැක්කේ..

"ආ... බෙකම්... උඹ ආවද..? මං මේ අපේ ගෑනු සංහතියට කිය කිය හිටියේ, මායි, දොළහ ඒ එකේ ඇම්ඩයි අතරෙ තියෙන තරහා ගැන.."

"එහෙම එකක් තියෙනවද..?"

"ඔව් හත්තිලව්වේ.. ඔව්.. උඹ දන්නෑ කිව්වහමත් පුදුමයි.. ඔයාට කියන්න නිරෝමි.. ඉස්සර මායි ඇම්ඩයි, එක හොස්ටල් එකේ හිටියේ. අපි නෑවෙ, කෑවේ, බිව්වෙ, ඉස්කෝලෙ ඇවෙ එකට.."

"ඉතිං..?"

"ඉතිං හුචිං ගාන්නෙපා නෙලුනි.. සාවධානව මේ අමරණිය  පෙම් කතාව අහගෙන ඉන්න.."

"හරි... හරි... ඉක්මනට කියන්න පැතුම් අපිට වැඩ තියෙනවා.."

"ඉතිං.. මොන වැඩේ එකට කරත් මායි, ඇම්ඩයි තරහයි.. මට ඌව පේන්න බෑ.. ඌට මාව පේන්න බෑ. ඉතිං ඇම්ඩා එක්ක ලොකු කේන්තියක් මට ආපුමෙන් මං කරන්නේ, හොස්ටල් එකේ තියෙන ටොයිලට් දෙක සුද්ධ කරන එක.."

"ඈ...?"

"ඔයාට පිස්සුද පැතුම්.. එයත් එක්ක තරහා උනා කියලා ටොයිලට් සුද්ධ කරලා හරියනවද..?"

"නැත්තං ආයෙ දෙකක් නෑ.. මං පැය බාගෙකට වැඩිය ටොයිලට් සුද්ධ කරනවා.."

"මට නම් තේරෙන්නෑ.. ඔයාගෙ තරහයි, ටොයිලට් සුද්ධ කරන එකයි අතර තියෙන සම්බන්ධෙ.."

අන්තිමට නිරෝමි පැතුම්ගෙන් ඇහුවා. මටත් උගේ කතාවෙ අගක් මුලක් හොයාගන්න බැරුවයි හිටියේ.. නිරෝමි අහපු ප්‍රශ්නෙම මගේ හිතෙත් තිබුණා.

"ලොකු සම්බන්ධයක් නෑ නිරෝමි.. මං ටොයිලට් එක සුද්ධ කරන්නෙ ඇම්ඩා දත් මදින බ්‍රශ් එකෙන්නේ.."

"ඊය්යා...."

"ෂිහ්... විතරක්..."

"හරිම කැත ළමයෙක් පැතුම් ඔයා.."

"ඔව්.. ඇම්ඩා ඒ බ්‍රෂ් එකෙන්ම උදේට දත් මදිනකොට මගේ කේන්තිය නිමිලා ගිහින් මාර සාමකාමී බවක් දැනෙනවා. මං ඉතිං ඌත් එක්ක තියෙන කේන්තිය පාලනය කරන්නෙ ඔහොමයි. ඔයාලා උනත් අන්න ඒ වගේ කෘෂි කර්මික ජීවන රටාවකට පුරුදු වෙන්න.. මොකද ඇම්ඩා වගේ අහිතකර බැක්ටිරියා වර්ගයක් එක්ක ජීවත්වෙන්න හුගක් අමාරු හින්දා.."

"බොරු කියන්න එපා පැතුම්.. ඔය කියන තරම් නාලක නරක නෑ.." 

 හප්පට සිරි... මෙන්න ඒ පාර නෙලුනි, පැතුම්ගෙන් ගේම ඉල්ලනවා.. මේකිටත් කට පියන් ඉන්න බෑනේ.. පැතුම්ගෙ ඇස් දෙක රුපියල් අටේ මැලේසියන් රඹුටන් මද දෙක්ක වගේ ලොකු උනා..

"නෙලුනි... මේ.. ඔයා එක පාරක් මගේ හදවත කෑවා..තව පාරක් කිසිම කමකට නැතුව පිත්තාශය කාලා වතුර බිව්වා. දැන් මේ ඇම්ඩව හොදයි කියන්නෙ කොහොමද..? ඕවා ඇහෙනකොට අපෙත් මළ බද්ධය  වැඩි වෙනවා.."

"අනේ නිකං ඉන්න පැතුම්.. නාලකත් එක්ක ඔහොම කේන්ති එනවා නම්, අපේ නවෝද් කොහොමද එයාව ආශ්‍රය කරන්නමෙං දැක්කා අද උදෙත් නවෝද් ආවේ, නාලකත් එක්ක.."

පැතුම්ට කට උත්තර නැතිවුණා. ඌ කටත් උල්කරන් මං දිහාට හැරුණා..

"බෙකම්ද..? මේකා අපේ මුළු ඉස්කෝලෙම එවුන් එක්ක යාලුයිනේ.. මූට ඉතිං ප්‍රශ්නයක් නෑ.. අනිත්තෙක මේ ඉස්කෝලෙ තියෙන යාලුකම් වැඩිවෙලානේ, බෙකම් කොන්වන්ට් එකත් එක්කත් මිත්‍රශීලී ගණුදෙනුවලට යන්නේ..?"

"පැතුමා.. මෙතන පච හැලුවොත්, මං උඹේ කන හලනවා දැනගනිං...."

"ඔන්න බලන්න නිරෝමි.. මාධ්‍ය සදාචාරයක හැටි.. ඔව්වට තමයි මිනිස්සු කියන්නෙ පුවත්වාරණය කියලා.."

 පැතුම් තවත් මොනවදෝ පිස්සු කියවද්දි තමයි ආට් ක්ලාස් එකේ ඉමාන් අපේ පංතියට ආවේ. ඌව දැකපු ගමන් කල්හාර කෑගහන්න ගත්තා..

"ආ... සංගීතේ.. උඹ මොකද මේ පැත්තේ.. අපේ සියුමැලි කුල කාන්තාවක් වත් බලල යන්න ආවද..?"

පංතියෙ කෙල්ලො, කොල්ලො හැමෝම ඉමාන් දිහාට හැරුණු හන්දා හිටියෙ ටිකක් අවුල්වෙලා.. ඒත් උගේ ඇස් බෝල දෙක අපේ පංතිය පුරාම එහෙට මෙහෙට දිව්වා..

"බෙකම්..."

අන්තිමට උගේ ඇස් නතර උනේ මං ගාව.. ඒ හතරැස් මූණෙ ලාවට හිනාවක් මතු වුණා..

"උඹ මාවද හොයන්නේ...?"

මං පුටුවෙන් නැගිටලා ඉමාන් ගාවට ගියා..

"ඔව්... ගුණසිංහ සර් උඹට එන්න කිව්වා.."

"ගුණසිංහ සර්..."

මට එකපාරටම එහෙම කියැවුණා. ඒකටත් හේතු නොසෑහෙන්න තිබ්බා. මේ ඉස්කෝලෙන්ම මං වැඩියක්ම ආදරේ කරපු ගුරුවරයා උනේ ගුණසිංහ සර්.. එයා තමයි හය වසරෙ ඉදලම මාව, ක්‍රීඩා තරග වලටයි, සාහිත්‍යටයි, රංග කලාවටයි, හැම ලට්ට ලොට්ටෙටම තල්ලු කෙරුවෙ.. සෝමතිලක සර් මට හම්බවුණේ පස්සෙ කාලකෙ. ඒත් මගේ ජීවිතයෙ අක්මුල් විහිදලා තිබ්බෙ ගුණසිංහ සර් එක්ක. කොටින්ම මාව පංතියෙ තියාගන්නැතුව, බාහිර ක්‍රියාකාරකම් හුගකට මාව යොමු කෙරෙව්වෙ ගුණසිංහ සර්. ඒ දවස් වල හයේ හතේ අටේ පන්තිවලින් මොකාක් හරි දායකත්වයක් ඕන උනා නම් ගුණසිංහ සර්ට ඉස්සෙල්ලම මතකෙට එන්නෙ මගේ නම. අදට උනත් ඒකෙ වෙනසක් නෑ කියලා ඉමාන් ආවහම මට තේරුණා.

"ඇයිද දන්නෑ නේද බං..?"

"මං හිතන්නෙ නාට්ටියක කතන්දරේකට.."

"නාට්ටියක්..?"

මං උඩගිහින් බිම වැටුනා.. ඒ පාර ගුණසිංහ සර් මොනවද කරන්න හදන්නේ..? 

"ඔව්..! බෙකම්ට රගපාන්න කැරැක්ටර් එකක් දෙන්න වගේ හදන්නේ.."

"ම... මට..?"

"ඔව්.. මංනේ ඒකෙ මියුසික්, සවුන්ඩ්ස් ඔක්කොම කරන්නේ.."

"ඉතිං උඹ උපන්දා ඉදලා ඒවනේ කරන්නේ.. යකෝ මට රගපාන්න තේරෙන්නෙ නෑ.."

"බොරු නොකියා ඉදපං.. පල්ලෙහා පංතිවලදි උඹ යස අපූරුවට රගපෑවේ.. මොකෝ අපි මැරිලා ඉපදුණාද..?"

"ඒ.. ඒ දවස්වල ඉමාන්.. දැන් නම් කීයටවත් බෑ.. කොල්ලො කෙල්ලො හූ කියයි.."

"මං දන්නෑ.. උඹ ඒක ගුණසිංහ සර්ට කියපං.."

"ඇයි හත්තිලව්වෙ.. උඹලගෙ ආර්ට් ක්ලාස් වල රගපාන්න උන් නැද්ද..? මාවම කන්න හදන්නේ..?"

"මංදා බං.. සර්ට ඉතිං උඹව, කොයි කොනකට හරි ගාව ගන්න ඕනෙනේ.. ඉස්කෝලෙ ඇතුළෙදි උඹඨ තියෙන ජනප්‍රියකම හින්දම නාට්ටියටත් උඹව පුංචි කෑල්ලකට හරි දාන්න ඕන කියලා, අපේ ආට් ක්ලාස් එකේ කොල්ලො සෙට් එක තමයි ගුණසිංහ සර්ට මතක් කරෙත්.."

හයියෝ.. මේ අසරණ බෙකම් දැන් මොනවයින් මොනවා කරන්නද..? ඉමාන් ගියා විතරයි, පැතුමයි මහේලයි, කල්හාරයි කඩේ විවෘත කරා..

"එහෙනම් ඒකත් හරි.."

"මොකක්ද පැතුමා..?"

"අපේ බෙකම්ට ආර්ට් ක්ලාස් එකේ දිල්රංගිත් එක්ක ප්‍රේම ජවනිකා වේදිකාව මත රගදක්වතැහැකි.."

දිල්රංගි කියලා කිව්වෙ, අපේ ඉස්කෝලෙ ටිකක් ජනප්‍රිය චරිතයක්. සාහිත්‍යයයි, නාට්‍ය කලාවයි, සංගීතයයි ඔය තුනෙන් මොකාක් හරි දෙයක් තිබ්බොත් එනත දිල්රංගිගෙ රෝල් එක වරදින්නෑ. එයා ඒ හැමදේටම අති දක්ෂ කෙල්ලෙක්.. ඒ වගේමයි හැඩත්..

"කතා හදන්නැතුව ඉදපං පැතුම්.. මම තාම ගියෙත් නෑ.."

"උඹ නොගියට හිත ගිහින්නේ තියෙන්නේ.. කොහොමද බෙකම්, දිල්රංගිගෙ ඇගපත.. ඕන අතකට නමන්න පුළුවන් හත්තිලව්වේ.. සුදු මූණ සිය පාරක් විතර හොදලා වතුර බොතෑකි.. හයියෝ.. ඇයි අප්පා ගුණසිංහ සර්ට මාව අමතක වුණේ.."

පැතුමා විලාප තියද්දි මං වටපිට බැලුවා. නිරෝමිගෙ මූණෙ වැහි වලාකුළු දෙක තුනක්ම පාවුණා. මේ ගෑනු දරුවා මොනවට මූණ එල්ලගෙන ඉන්නවද මංදා.. අනික ඉතිං පැතුම්ගෙ වාචාලකම මට වහන්න පුළුවන්කමක් නෑ..

මිසිස් ඇක්චුවලි මෙලෝ සංසාර දෙයක් නොතේරෙන ඉංශ්‍රීසි පාඩම කරලා ගියාට පස්සෙ නිරෝමි මගේ ළගට ආවා. ඇයි කියලා අහන්න වගේ මං ඔලුව උස්සා එයා දිහා බැලුවා..

"ඔය අනං මනං නවත්තලා පාඩම් වැඩ වලට උනන්දු වෙන්න නවෝද්.. ඔහොම ගියොත් ඔයා එග්සෑම්වත් හරියට කරනෙකක් නෑ.."

නිරෝමි එන්න හදන්නෙ මොකාටද කියලා මට හිතාගන්න බැරිවුණා.

"අනං මනං කිව්වේ..?"

"ඔය බාහිරව කරනවැඩ.. බලන්න පීරියඩ් අටෙන් ඔයා පංතියෙ ඉන්නෙ පීරියඩ් කීයද.? සමහර වෙලාවට ඒවට හිටියත් බාගයයි ඉන්නේ.. මොකක් හරි වැඩකට එළියට දුවනවා.."

"ඉතිං...?"

මගේ හිතට පුංචි නොරිස්සුමක් වගේ හැගීමක් ආවා. මොන මල ඉලව්වක්ද මේ..? මෙයා කියන්න හදන්නේ..?

"අධ්‍යාපනේ ගැන උනන්දු වෙන්න නවෝද්.. අපිට කවදා හරි ඉතුරු වෙන්නෙ එච්චරයි.. නට නට හිටියට ලැබෙන දෙයක් නෑ.."

"නිරෝමි මේ.. මං කැමති නෑ කිසිම කෙනෙක් මගේ ජීවිතේට ඇගිලි ගහනවට.. මං වැරදියට දෙයක් කරන්නෑ කියලා මගේ හිත දන්නවා.. බාහිර දේවල් නවත්තන්න කියලා ඔයා මට කියන්නෙ ෆුට්බෝල් නවත්තන්න කියලද..? ආ.. එහෙනම් ඔයා මට එදා විශ් කරේ.. හිත ඇතුලෙ මේ කැතකම තියාගෙනද..?"

නිරෝමිගෙ ඇස්වලට කදුළු උනාගෙන ආවා. මගේ කතාව ටිකක් සැර වැඩි උනා කියලත් මට තේරුණා. ඒත් දැන් කරන්න දෙයක් නෑ.. කියවෙන්න ඒන හරි නැති ඒවා දැන් පිටවෙලා ඉවරයි..

"මං.. මං එහෙම නෙමෙයි කිව්වෙ නවෝද්.."

"අන්ඩර් නයින්ටීන් කම අපේ පංතියට හම්බවුණාම, මං හිතුවෙ ඉස්කෝලෙ හැමෝටම වැඩිය අපේ පංතියෙ කෙල්ලො කොල්ලො ටික සන්තෝස වෙයි කියලා.. මං දැන් දන්නවා මං ෆුට්බෝල් ගහනවට අකමැති අයත් ඉන්නවා කියලා.."

"මොකද බං මේ..?"

මහේල ඇවිත් මගේ අතින් ඇද්දා..

"අන්න අරකි හෝ ගාලා අඩනවා.."

"මංඩලේ කචල් එකක් බං.. ඕවට අත දාන්න එපා.."

"බත් හැලිය, කැද හැලිය වෙනකන් විතරයි ඔව්වා. මෙන්න මෙහේ අපේ වැඩක් බලාගමු.."

අන්තිමට පැතුම් අප්‍රබංශ කතාවක් කිව්වා. ඒ එක්කම හේමන්ත සර් පංතියට ආපු හින්දා  දිගින් දිගටම ඇදිලා ගියපු කතාව සම්පූර්ණයෙන්ම නතර වුණා..

                                     ********************************

ගුණසිංහ සර් මං හම්බවෙන්න ගියේ, ඉස්කෝලෙ අරින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි.. තඩි යකට බටෙත් අරගෙන අද දවසෙ අවසාන පහරදීම කරන්න දැල්ලා ලක ලෑස්ති වෙනවා මං දැක්කා..

"නවෝද්..."

මාව දැකපු ගමන් ගුණසිංහ සර්ගෙ මූණෙ ලොකු හිනාවක් පිපුණා. දවසම උගන්නලා උගන්නලා වෙහෙස මහන්සිවෙලා හිටියත් ඒ හිනාවෙ තිබ්බ සරල සුන්දර අව්‍යාජකමක්..

"සර්.. මොකක්ද මේ පාර මට කරන්න යන්නේ.?"

අර තිබ්බ හිනාව තවත් ඩිංගක් වැඩිවුණා.. අත් දෙක එකට අතුල්ලලා, දකුණූ අතින් මගේ පිටට පාරක් ගහලා ගුණසිංහ සර් උගුර පෑදුවා..

"ඉමාන් විස්තරේ කිව්වෙ නැද්ද..?"

"එහෙන් මෙහෙන් කිව්වා සර්.."

"හා.. කොහොම හරි කිව්වනේ.. මේකයි නවෝද්.. වැඩ සටහන.. අපේ ඉස්කෝලෙ ඇතුලෙන් නාට්‍යක් කරන්න මගේ ලොකු අදහසක් තියෙනවා.. මේ තාම මූලික අවස්ථාව විතරයි.. පස්සෙ මේක වැඩි දියුණ කරගෙන මං ඉස්කෝලෙන් එළියට ගෙනියන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.. "

"වැඩේ පටන්ගන්නකොටම බෑහ් ගන්න එපා නවෝද්.. මේකෙ ඔයාට ලොකු රෝල් එකක් නෑ.. බොහොම සීමිත වචන ප්‍රමාණයක් විතරයි ප්‍රකාශ කරන්න තියෙන්නේ.. ඇත්තටම කියනවා නම්, ඉස්කෝලෙ ඇතුලෙ ඔයාට තියෙන ආකර්ෂනෙත් එක්ක තමයි මං මේ පුංචි ට්‍රික් එක දාන්නේ.. මොකද ඔයාගෙ දක්ෂාතාවය තියෙන්නෙ මොනවටද, නැත්තෙ මොනවටද කියලා මං තරම් දන්න කෙනෙක් මේ ඉස්කෝලෙ හත්පත්තුවක නැතුව ඇති.. එහෙම නේද.?"

"ඔව් සර්..."

"ඒක හින්දා ඔයාට දෙන්න ඕන මොන වගේ කැරැක්ටර් එකක් ද කියලා මං දන්නවා. නිකං ලොකුරෝල් එකක් දුන්නොත් ඔයා හරියට කරන්නෑ.. නමුත් ඔයා මගේ නාට්ටියෙ නිකං හරි හිටගෙන ඉන්න ඕන.. චරිතයක් නැත්නම්.. ඒක මගේ හිතට ලොකු හයියක්.."

හුටා.. ඒ පාර බෙකම්ට ගුණසිංහ සර්ගෙ නාට්ටියෙ නිකං හිටගෙන ද ඉන්න වෙන්නේ.. විලි ලැජ්ජාවෙ පණ යනවා.. පංතියෙ කොල්ලො කෙල්ලො හිතන්නෙ මං දිල්රංගිත් එක්ක මේන් රෝල් එක ඇට් කරන්න යනවා කියලා..

"දැන් මම මොකක්ද කරන්න ඕනෙ සර්..?"

"අපි හෙට ඉදලා වැඩේ පටන් ගන්නවා.. හවස් වරුවෙ.. ඔයා ෆූට්බෝල් ප්‍රැක්ටිස් මග ඇරගන්නැතුව එන්න ඕන.. වැඩි දවසක් අපි රිහසල් කරන්නෙත් නෑ.. මේක හදිසි වැඩක්.."

"හරි සර්.. ඔය ඔක්කොම හරි.. මං මේ නාට්ටියෙ මොකාද..?"

"ඔයාට තියෙන්නෙ නවෝද් සිංහල හෙළ විරුවෙක්ගෙ චරිතයක්.. මේක මේ එක්දාස් අටසිය පහලවේ කැරැල්ලත් එක්ක ලියැවෙච්ච නාට්ටියක්.. හැමදේම හොද සූදානමට තියෙනවා.. නලු නිලියොත් තෝරන් ඉවරයි.. නවෝද්ගෙ පැමිණිම අනිවාර්යයයි.. ඔයා රගපානවා නම් ඉස්කෝලෙ ගෑණු ළමයි ටික හරි නාට්ටිය බලන්න ඒවිනේ..."

ගුණසිංහ සර් හිනාවෙවී අමතු කතාවක් කිව්වා.. ඒකෙ නම් තේරුම් ගොඩයි.. ඒත් ඒ කිසි දයෙක් නොතේරිච්ච ගානට මං ස්ටාෆ් රූම් එකෙන් එළියට ආවා..



         
         

2 comments:

  1. නියමයි. දිගටම ලියපන්.

    ReplyDelete