Saturday, March 3, 2012

| සොදුරු නවෝදය | යෞවන සමින්ද්‍ර රත්නායක |






               "මේ මොකාද බං පට්ට දවාලෙ හන්ඩ්‍රඩ් මීටර්ස් කරන්නේ..."

ඉස්කෝලෙ ඇරිලා ඒ තරම් වෙලාවක් ගිහින් තිබුණෙ නෑ. පැතුමගෙයි මගෙයි පොත් මිටි දෙක මගේ අතේ. ඌ ගාව මගේ මවුන්ටන් බයිසිකලේ. පැතුම්ගෙ කතාව හින්දම මං හැරිලා බැලුවා. ඉස්කෝලෙ කොල්ලෙක් පණ එපා කියලා දුවගෙන එනවා..

"අ.... අනේ... නවෝද් අයියේ... හ්.. ග්.. හ්ග්.."

 හොදට දැකලා පුරුදු මූණක් වගේ මතකයෙ තිබ්බ හින්දා, මං ඕනෑකමින් කොල්ලා දිහා බැලුවා. මේ අර දහය වසරෙ ප්‍රේමවන්තයානේ.

"මොකද මල්ලි..?"

"හ්ග්.. හ්ග්.. මට ගහන්න එනවා.."

"ගහන්න එනවා.. කවුද මල්ලි තමුසෙ වගේ ඇටකිච්චෙකුට ගහන්න එන්නේ.. ඌට ලැජ්ජා නැද්ද..?"

"කෑ නොගහා හිටපං පැතුම්, මං අර කලින් දවසක උඹලට කතන්දරයක් කිව්වා මතකද..? චතුරංගයා.. දහය වසරෙ නංගි බබෙකුට බැල්ම දාලා කියලා.. අන්න ඒ දානමය පුන්‍යකර්මයේ කොටසක් තමයි මේ.."

"ඒකත් එහෙමද..? කලින් කියන්න එපෑය කොල්ලො.."

පැතුම්, පොඩි එකාගෙ අතින් අල්ලා ගත්තා. ඒ එක්කම තමයි චතුරංගයි, තවත් දහතුනෙ අලි ඔලුවො දෙන්නෙකුයි කොලෙජ් එකේ කොනෙන් මතුවුණේ.

"මං එෆයාර් එක නැවැත්තුවෙ නෑ කියලා, චතුරංග අයියා දැනගෙන..."

"කොහොමද දැනගෙන තියෙන්නේ..?"

"මං දන්නෑ නවෝද් අයියේ.."

"කෙල්ල කිව්වද දන්නෙ නෑ.." 

"නිලංකා එහෙම කියන්නෑ අයියේ.."

පිස්සු හැදෙනවා.. බලහල්ලකො මුගේ තියෙන විශ්වාසයෙ තරම.. මූ උත්තම පුරුෂයෙන් ප්‍රේම කලාට ඒකි ප්‍රේම කරන්නෙ වෙන මොකකින් හරිද දන්නෙ නෑ..

"මිලාන්... මෙහෙ වරෙන්.."

ගස් ගොනා වගේ දිගට දිගට අඩි තිය තියා ඇවිත්, චතුරංග අපිට ටිකක් එහායින් නතර වුණා. ඒ නතර වෙලයි ඔය ඇහුණු උදාන වාක්‍යය ප්‍රකාශ කලේ.

"උඹ යන්නෑ කොල්ලා..."

 මං ලාවට කිව්වා. කොල්ලා ඒ ෆිට් එකට මට ඩිංගක් කවර් වුණා. පැතුම්, මවුන්ටන් බයික් එකේ ස්ටෑන්ඩ් එක ගහලා මගේ ළගට ආවා..

"උඹට මං කිව්ව දේ ඇහුණද..?"

චතුරංගය අඩි හැප්පුවා. කොල්ලා බයෙන් වගේ මට තවත් කිට්ටු වුණා. මං ඒකව ගාඩ් කරන ගමන්ම ඉස්සරහට අඩියක් තිබ්බා. චතුරංගගෙ ඇස් දෙක කේන්තියෙන් විරූප වෙලා තිබ්බා. මස් පිරුණු කම්මුල් දෙක හෙමින් සීරුවෙ නටන හැටිත් මං යාංතමට දැක්කා.

"ඕකව මං ළගට එවපං.."

චතුරංග මගේ දිහාට ඇගිල්ල දික් කලා. ඔන්න.. ඔන්න ඉල්ලගෙන කන්නයි  හදන්නෙ මේකා. හිත ඇතුලෙන් සන්සුන් වෙන්න උත්සාහ ගන්න ගමන් මං ඌ දිහා බැලුවා. උඹ හදන්නෙ මගේ කේන්තිය ඩිංගක් අවුස්සන්න නම් ඒ දේ උඹට කවදාවත් කරන්න බෑ.. මං මගේ හිතට කියාගත්තා..

"උඹ කාටද කිව්වේ..?"

සහෝදර ප්‍රේමයක් නෑනේ.. මං කෙලින්ම ඇහුවා.. චතුරංගගෙ ඇස් දෙක ජම්බෝල සයිස් උනා. ඌ මගෙන් ඒ වගේ ප්‍රකාශයක් බලාපොරොත්තු උනේ නෑ කියලා මට තේරුණා..

"කිව්වෙ උඹට.."

"එහෙනම් ඒක කෙරෙන්නෑ කියලා හිතාගනිං.."

"ඇයි...?"

"මාත් අහන්නෙ ඇයි කියලා තමා.."

"මං ඇහුවෙ, ඔය කොල්ලව මං ළගට එවන්නැත්තෙ ඇයි කියලා..?"

"ඌ මගේ ළග ඉන්න හින්දා.."

"ඒකත් එහෙමද..? ඒයි.. අන්න අර ගස් ගෙම්බව ඇදලා ගනිල්ලා.."

චතුරංග එක්ක ආපු කොල්ලො දෙන්නට ඌ කෑගැහුවා. එහෙනම් ඉතිං හැමදේම පැත්තකින් තියලා ගේමට බහින්න වෙනවා. තවදුරටත් සාමයක් නෑ. ඒත් මං ඉස්සර වෙන්න කලින් මේ කතාව මැද්දට පැතුම් පැන්නා.  

"අන්න.. අන්න.. තමුසෙලා කැත වැඩේකටයි අත දාන්න යන්නේ.. අපේ බෙකම් ළග තියෙන ඕනම දේක අයිතිය තියෙන්නෙ බෙකම්ට.. සතියක් දෙකක් ඉස්පිරිතාලෙ ලගින්න කැමති නම් අපි හැප්පිලා බලමු.. ආයෙ මේ අවධාරණයෙන් කියන්නේ, අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න දෙන එක දෙනවා.. තේරුණානේ..?"

පැතුමා කතාව සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කරා. කොටින්ම උගේ කතාවට අරුන් තුන්දෙනා බයවුණා..

"හොදයි... අපි බලාගමු.. අඩෝ මිලාන්.. උඹ තනියෙම අහුවෙන්න එපා.. හරිද ඩෝ..?"

"ඔය තරම් කියවන්න එපා බං.. අපිටත් ලැජ්ජයි ඔය කියවිල්ලෙ තරමට වැඩ නැති එක ගැන. උඹ දන්නවද චතුරංගගෙ අලුත්ම නිව්ස් එක.."

පැතුම් චතුරංගයට තවත් ළංවුණා. වළිය පැත්තකට දාලා වගේ චතුරංගයත්, ඌට ළංවුණා. මුං දෙන්නා කිස් කරන්නද යන්නේ..? 

"මොකක්ද..?"

"ස්කූල් එකේ අන්ඩර් නයින්ටීන් ෆුට්බෝල් ලීඩර් අපේ බෙකම්.. මොකද ඇග කිලිපොලා යනවද..? ඉරිසියාවෙ පැලෙන්න එනවා වගේ නේද..? උඹ බාස්කට් බෝල් ලීඩර්.. බෙකම් ෆුට්බෝල් ලීඩර්.."

"ඒකත් එහෙමද..?"

චතුරංගගෙ මූණ කළුවෙලා ගියා. මං හිතුවෙ මෙලහකටත් ඌට ආරංචි වෙලා ඇති කියලා. කොහෙද බලන් ගිහම උගේ මාධ්‍ය ඒකකය මෙලෝ වැඩකට ඇති එකෙක් නෙමෙයි වගේ. මුළු ඉස්කෝලෙන් තුන් කාලක් විතර දන්න දෙයක් මේ හැලපයා දන්නෙ නෑ කිව්වම..

"මිලාන්... පරිස්සම් වෙයන්... උඹ අදට බේරුණා.."

චතුරංග ආයෙත් ඇගිල්ල දික් කලා. ඒකට නම් මට මල පැන්නා. මොන බත්කූරෙක්ද මේ..? 

"චතුරංග.. ඔය ඇගිල්ල නමාගනින්.. උඹ දහතුනේ උනාට මේ ඉස්කෝලෙ රන් කරන්නෙ අපේ ඉයර් එකේ ඈයෝ.. උඹ ඔය දාන ෂෝ වලට මං කැමති නෑ.. උඹ කැමති නම් ඕවා ගිහින් කණිෂ්ඨෙ පැත්තෙ දාපං.. ඒ පුංචි එවුන් නම් ඕවට කැමති වෙයි.."

"නවෝද්.. මේ..?"

හුග කාලෙකට පස්සෙ චතුරංග මට නම කියලම කතා කරා. ඇති මූට ඒකටවත් ෆිට් එක තිබ්බා.

"උඹට මගේ නම මතකයි.."

"මොකෝ අමතක.. මෙතන මට උඹත්තෙක්ක ප්‍රශ්නයක් නෑ.. මං උඹත්තෙක්ක වලියක් දාගන්නවත් ආවෙ නෑ.. මං ආවෙ මිලාන්ව හම්බවෙන්න.. මට ඌව ඕන.. ඒකව මට දීපං.."

"ඌ මගේ එකෙක්.. ඌට අත තියන්න උඹට බෑ.."

"ඌ කොහොමද උඹේ එකෙක් වෙන්නේ..?"

"නිලංකා මගේ නංගි කෙනෙක් වෙන හින්දා.."

බලන් ඉද්දිම චතුරංගයගෙ කට ඇරුණා. ටිකක් වෙලා යනකන් ඌට කට වහගන්නත් අමතක උනා. ආයෙ ඌ ජීවිතේටවත් මං ඉස්සරහා මිලාන් ගැනවත්, නිලංකා ගැනවත් කතා කරන එකක් නෑ..

                              ***********************************

 හවස් වරුවෙ මං කෑවයින් නොකෑවයින් ගෙදරින් පැන ගත්තා. සුපුරුදු පරිදි ට්‍රැවලින් බෑග් එක පිට මැදට අරගෙන ලොකු කුෂන් පටිය, පපුව හරහට දාගත්තා. ප්‍රැක්ටිස් කරා හෝ නැතුවා මේ යන ගමන නම් හිතට සනීපයි. කොහොමටත් ප්‍රැක්ටිස් නැතිවුණත් දවසකට එකපාරක් හරි ග්‍රවුන්ඩ් එක බලලා යන එක මට පුරුද්දක් වෙලා තිබ්බා..

 "බෙකම්.. මොකද අද කලින්ම..?"

පැවිලියන් එකේ පඩිපෙල බහින්න හම්බ වුණේ නෑ.. බලයා මං ඉස්සරහට ආවා..

"කලින්මත් නෙමේ චමිල්.. වෙලාව දෙකහාමාරයි.."

"ඒක නෙමෙයි කතාව.."

බලයා මට ඇහැක් වැහුවා. උගේ මූණෙ තිබ්බෙ පැණි පෙරෙන හිනාවක්. මේකා මොකාටද එන්න හදන්නේ..

"එහෙනම්..?"

"උඹ කලින් ආවෙ ඇයිද කියලා කියන්න මං දන්නවා.."

"හා කියපං බලන්න.. හැබැයි අවමගුල එව්වා කියන්න ආවොත් දෙන එක දෙනවා කනේ බෝල කීං කීං ගාන්න.."

"උඹ ආවෙ සමින්දි අක්කව බලන්න නේ.."

 කාට බොරු කරත් මූටයි ඇම්ඩටයි බොරු කරන්න බෑ.. මුංට ඔක්කොම මළදානවල් තේරෙනවා..

"පිස්සු නැතුව ඉදපං චමිල්.."

"අන්න.. අන්න.. බෙකම්.. එව්වා කැත වැඩ.. මං හරි නම් හරි කියලා මාව නිදහස් කරපං.."

"නෑ චමිල්.. සමින්දි අක්කගෙ බෑග් එක එයාට දෙන්න ඕන.. නැත්තං හරි නෑ.. කෙල්ලගෙ ෆෝන් එකත් මේකේ.."

"උඹට හරි දුකයි වගේ.."

"නැත්නම්.. කාගෙ උනත් සීදේවි ගෑණු ළමයෙක් නේ"

"ඔය බෑග් තඩිය දෙන එක ටිකක් පහු කලා නම් නරකද..?"

"ඇයි චමිල්..?"

"සමහර විට ඉල්ලන් කන්නත් පුළුවන්.. වැඩේ කරදරයි.."

හවස් වෙනකල්ම ප්‍රැක්ටිස් කරත්, මගේ ඇස් දෙක තිබ්බෙ පිට්ටනියෙ ඈත කෙලවරේමයි. කීප සැරයක්ම මගේ අවධානෙ බිදලා සමින්දිලා වෙනදට ප්‍රැක්ටිස් කරන පැත්ත බැලුවා. ඒත්.. එයාගෙ හුළගක්වත් නෑ.. ඒ කියන්නෙ එයා අද එන්නෙ නැතුවද..? එතකොට මං කොහොමද මේ බෑග් එක සමින්දිට දෙන්නේ..?

"බෙකම්.."

"ම්.."

"පෙත්තාවඩු අදත් නෑ.."

"මට කරන්න දෙයක් නෑ චමිල්.. ඌ දිගටම ප්‍රැක්ටිස් නාවොත් සෝමතිලක සර්ට කියලා පොඩි කෙල්ලෙක්ව ටීම් එකට ගන්නවා.."

"ඒවට තව කල් තියෙනවා.. අපි කලබල නොවී ඉමු.."

හයයි කාල වෙද්දි පිට්ටනිය පුරා පැතිරිලා ගියේ මහා පාලුවක්. අද වැඩිදෙනෙක් ප්‍රැක්ටිස් කරන්නවත් ඇවිල්ලා නෑ. පිට්ටනිය පුරා වෙනද නැති පාලුවක් දැනෙන්නෙ, කොල්ලො කෙල්ලො නැති හින්ද වෙන්නැති කියලා මට හිතුනා.

චමිල් ස්ටෑන්ඩ් එක පැත්තට යද්දි මං මවුන්ටන් එක තල්ලු කරගෙනම ඊට ප්‍රතිවිරුද්ධ දිසාවට හැරුණා. මගේ හිතට මහා මොකක්දෝ වෙලා. මෙහෙම හැගීමක් මට කවදාවත් දැනිලා තිබුණෙ නෑ. හිත කොයි තරම් නෑ නෑ කිව්වත් මගේ ඇස් අද හවස්වරුව පුරාම සමින්දි අක්කව හෙව්වා කියනෙක මං දැනන් හිටියා. එයාට අද මොකද වුණේ.. මට හිතාගන්නම අමාරු වුණේ ඒකයි. අනික එයාගෙ බෑග් එක මගේ ට්‍රැවලින් බෑග් එකට දාගෙන මේ මග බලන් ඉන්නෙකත් ඩේන්ජරස් වැඩක්..

                            ************************************

දවස් දෙකක් නිදහසේ ගෙවිලා ගියා. ඒත් මගේ හිත බලාපොරොත්තුවෙන් හිටපු සමින්දි අක්කගෙ රූපෙ මං දැක්කෙ නෑ. අඩුගානෙ, ඇම්ඩා කියපු ඉන්කිවත් මං දැක්කෙ නෑ. මෙයාලට මොනවා උනාද දෙයියනේ.. මං කෙරුවෙ ප්‍රැක්ටිස් කරන්න එනකොට බෑග් එක අරගෙන ඇවිත් හවස යනකොට අරන් යන එක..

"බෙකම්..?"

"ම්..."

කල්පනා සාගරයෙ අතරමං වෙලා ඉදපු මාව හැබෑ ලෝකෙට අරගෙන ආවෙ නාලක. උගෙ ඇස් දෙක දිලිසෙනවා තවත් මොකක් හරි කුණුහරුප වැඩක් කරලද මංදා..

"උඹේ බෑග් කතාවෙ වර්ථමාන තත්වය කොහොමද..?"

"පිස්සු කියවන්නැතුව ඉදපං.. ඒකෙ කතා කරන්න දෙයක් නෑ.."

"ඒ කියන්නෙ උඹ තාම බෑග් එක දුන්නෑ.."

"ඔව්..."

"ඕක මගේ ගාව තිබුනා නම් මෙලහකටත් මං දීලා. අපිට මොකටද අනුන්ගෙ කිල්ලෝට කියලා."

"දෙන්න හම්බවෙන්න එපෑය.. එදයින් පස්සෙ එක දවසක්වත් ඒක් ග්‍රවුන්ඩ් ආවෙත් නෑ.."

"එහෙනම් අපි කොන්වන්ට් එක පැත්තෙ යමුද..?"

උගේ අදහසත් නරකම නෑ.. ඒත් ඒක කොහොමද කරන්නේ..? අපි මේ සද්භාවයෙන් කරන්න යන දේ, වටපිටේ බලන් ඉන්න ඈයො කොහොම පිළිගනියිද කියන ප්‍රශ්නෙ මගේ හිත උඩම තිබුණා. අනික ඇම්ඩා වගේ එකෙක් එක්ක ඔය වගේ තැනකට යනවා කියන්නෙ සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක්..

"දැන් කොන්වන්ට් ගිහිල්ලා වැඩක් නෑ බං.. බිල්ඩින් ටික බලලා එතැහැකි.."

"හෙට තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එක.. උඹ එනවද..?"

"ප්‍රැක්ටිසුත් තියෙනවා නාලක.."

"ක්ලාස් ඇරිලා ඇවිත් ප්‍රැක්ටිස් කරපං බං.. අනික මට අර ගෑනිගෙ, අඩන මූණ තව පාරක් බලන්න ඕන.."

 "මොන ගෑණිගෙද..?"

"දුෂ්මන්ත ගෑණිගෙ.."

"ඌට වද දුන්නා ඇති නාලක.."

"මොන ඇතියක්ද බෙකම්.. මං තාම මේ පටන් ගත්තා විතරයි.. බලන් ඉදපංකෝ ඉස්සරහට වෙන දේ.."

නාලක කියන්නෙ අමුතුම චරිතයක්.. ඒ අමුතුකම හින්දා තමයි ඌ මුළු ඉස්කෝලෙ පුරාම ප්‍රසිද්ධත්. අපේ ඉස්කෝලෙ විතරක් නෙමෙයි ඌ වෙනින් ඉස්කෝල වලත් ජනප්‍රියයි.. ඒකට වැඩි හරියක්ම බලපෑවෙ තලපතාගෙ කැහිකූරු සිද්දීය. 

තවත් දවසක් ලාන්තරස් විදියට ගෙවුනා. මෙලෝ වගතුවක් නෑ. සමින්දි අක්කගෙ බෑග් එක දැන් තිබ්බටත් වැඩිය බරවෙලා මගේ හිතට. ඒත් ඒ බර වාෂ්ප වෙලා වගේ ගියේ අහම්බෙන් වෙච්ච සිද්ධියක් හින්දා.

"නවෝද..?"

ග්‍රඩුන්ඩ් එකේ කෙලවරේ තියෙන දාර සයිස් කොට්ටම්බා ගහ යටට වෙලා මං බිම දිගාවෙලයි හිටියෙ. සෝමතිලක සර්ගෙ කටහඩ ඇහුණ ගමන් මං දනිපනි ගාලා නැගිට්ටා..

"සර්..."

"හුග දවසකට පස්සෙ පෙත්තාවඩු ප්‍රැක්ටිස් ඇවිත් තියෙනවා. රංඩුවලට යන්නෙ නැතුව සාධාරණව සෙල්ලම් කරන්න බන්න. ඔයා මිනිහට කතා කරොත් හොදයි..."

මං කොට්ටම්බා ගහ ගාවින් නැගිට්ටා. පිට්ටනියෙ ඈත මෑත බැලුවහම අලුත්ම ෆුට්බෝල් ෂුස් දෙකක් දාගෙන බෝලෙ පස්සෙ දුවන පෙත්තාවඩුවා මං දැක්කා. මීට් එකේ ලීඩර් විදියට මං මොන තරගකාරයා එක්ක උනත් කතා කරනවා. මොකද මොන දෙයින් හරි අන්තිමට දිනන් ඕන අපේ ඉස්කෝලෙ නිසා..

"පෙත්තා.."

සියලු වාද බේද අමතක කරලා වගේ මං කතා කරා. ඌ මං දිහා බැලුවෙ අදහන්නත් බැරිව වගේ.

"බෙකම්.."

"උඹ ආපු එක ගැන සංතෝසයි. පහුවුන දවස්වල ආවෙ නැත්තෙ ඇයි..?"

"මං අසනීපෙන් හිටියේ.. හිතේ ආසාවට ආවා මිසක ඇගේ ෆිට් එකට ආපු ගමනක් නෙමෙයි අද වුණත්.."

පෙත්තාවඩු කිව්වෙ ඇත්තක්ද, බොරුවක්ද කියනෙක මට වැදගත් වුණේ නෑ. ටීම් එකේ ලීඩර් විදියට හැම ක්‍රීඩකයෙක්ම එකට එක්කහු කරගෙන ඉස්සරහට යාමේ වගකීම මං ඉස්සරහ තිබ්බා. පෙත්තාවඩු ආවෙ නැති දවස්වල ඌව ටීම් එකෙන් අයින් කරනවා කිව්වත් ඌ ආවහම මගේ හිතට සහනයක් වගේ හැගීමක් ආවා.

"එහෙනම් ටිකක් රෙස්ට් එකේ සෙල්ලම් කරපං.. වැඩිය මහන්සි වෙන්න ඕන්නෑ.."

මගේ කතාවට පෙත්තා මුකුත් කිව්වෙ නෑ. ඌ බිම බලාගෙන බෑකී විදයට ප්ලේ කරන්ගියා..

"බෙකම්..."

එතනින් එහාට මගේ අවදානය යොමුවෙලා තිබ්බෙ හොද ටීම් එක්ක් හදාගෙන අනිත් ඉස්කෝල වලට හොද තරගයක් දෙන එක ගැන. ඒ අතරෙ තමයි බලයා ඇවිත් දාඩියෙන් නෑවිලා තිබ්බ මගේ ටී ෂර්ට් එකෙන් ඇද්දේ.

"යකෝ... උඹ බෑකී නේද ඉන්න ඕන.. මෙතන මොන බම්බුවක්ද කරන්නේ..?"

"අරකි උඹට කතා කරනවා.."

"මොකීද..?"

"ඉන්කි.."

"කවුද..?"

"ඉන්කි බං.. අර කොන්වන්ට් එකේ හන්ඩ්‍රඩ්, ටූ හන්ඩ්‍රඩ් කරන කලු කෙල්ල.."

"ඇයි...?"

"දන්නෑ බෙකම්.. උඹට ඩිංගක් කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා.."

ඩිංගක් නෙමෙයි.. හොදටම කතා කරන්න පුළුවන්. මං ග්‍රවුන්ඩ් එකේ කෝනර් එකට ආවා. අපේ කොල්ලො අවුට් බෝල්වලට කෝනර් කික් කලේ එතන ඉදන්..

දහඩියෙන් නෑවිලා ඉදපු ඉන්කිව මං ඈතටම දැක්කා. හරියට ජව සම්පන්න කලු වෙළඹක් වගේ. මුළු ඇගම ජවයෙන් පිරිලා ගිහින් තිබුනා. කෙල්ල කලු උනාට ඒකිට තිබ්බෙ කතා කරන ඇස් දෙකක්. මං ළංවෙද්දිම ඒකිගෙ තොල් උඩට ලස්සන හිනාවක් ආවා..

"ඔයා නවෝද් නේද..?"

"ඔව්.. ඔයා මට කතා කෙරුවා කියලා නවෝද් කිව්වා.."

"මං ගැන වරදවා  හිතන්න එපා.. මං ඔයාට කතා කෙරුවෙ, පුංචි උදව්වක් බලාපොරොත්තුවෙන්.."

කෙල්ල හෝ ගාලා කියවන් යනවා.. මොකක්ද දන්නෑ මේ පුංචි උදව්ව.. ඇගෙන් කෑල්ලක් යන එකක්ද දන්නෑ..

"කියන්න.. පුළුවන් දෙයක් නම් කරන්නම්.."

මං ඉන්කි දිහා බලන් කිව්වා. කවුරු කිව්වා උනත්, කලු උනාට දොදොල් රසයි කියන කතාවෙ ඇත්තක් තියෙනවා කියලා මට හිතුනෙ එයාගෙ එහෙට මෙහෙට නැලවෙන ඇස් දැක්කාම.

"ඔයා අපේ සමින්දි අක්කිව දන්නවා නේද..?"

 කෙල්ල එන්න හදන්නෙ මොකටද කියලා මට ඉවෙන් වගේ තේරුනා. මේක බෑග් කතන්දරේම තමයි.. මගේ ගාව තියෙනවා කියලා මේකිට ඉව වැටිලවත්ද.? ඒත් ඉතිං මෙයා ඇවිත් ඉන්නෙ උදව්වක් බලාපොරොත්තුවෙන් නේ..

"නෑ..."

වහින්නෙවත්, හෙණගහන්නෙවත් නැති හින්දා මං අමූලික පචයක් කිව්වා.

"අනේ.. අනේ... ඔයා අපේ සමින්දි අක්කව දන්නෑ..? එයා අපේ හෙඩ් ප්‍රිපෙට්.. හුගාක් වෙලාවට මේ ග්‍රවුන්ඩ් එකට එනවා.. අර කොන්ඩෙ දිග, සුදු, මහත ගර්ල්.."

"මට එච්චර ගානක් නෑ.. සොරි.."

"අයියෝ.. අපි හිතන් හිටියෙ එයා හරිම ෆේමස් කියලා. අපේ ඉස්කෝලෙ වගේම අනිත් ඒවයිත්.."

"මෙයා අද නම් උදව් ගැන කියන පාටක් නෑ. කටත් කතුර වගේ. එහේටයි මෙහේටයි ලතාවකට පද්දනවා.."

"දැන් ඉතිං මං දන්නවනේ.. මොනවද ඔයාට වෙන්න ඕනෙ කියලා කියන්නකෝ.."

අර දිලිසෙන ඇස් කරකවලා ඉන්කි මං දිහා කෙලින්ම බැලුවා. ඔහොම බලන්නෙපා බං.. මාව හීතල වෙනවා.

"අපේ සමින්දි අක්කිගෙ බෑග් එක නැතිවෙලා.."

ඔය ආවෙ තැනට.. මෙච්චර වෙලා රෙදි අපුල්ල අපුල්ල ඉදලා.. දැන් වනන්න තමයි තියෙන්නෙ වැලක් හොයලා..

"ඉතිං..?"

"ඉතිං කියන්නෙ නවෝද්... ඔයාට පුළුවන්ද ඒක හොයන්න උදව් කරන්න.?"

"උදව් කරන්න නම් පුළුවන්.. ඒත් මං කොහොමද කොන්වන්ට් එකට එන්නේ..?"

"ඇයි ඔයා කොන්වන්ට් එකට එන්නේ..?"

"බෑග් එක නැතිවුණේ කොන්වන්ට් එකේදි නේ.."

"අයියෝ නෑ... මේ ග්‍රවුන්ඩ් එකේදියි නැතිවෙලා තියෙන්නේ.. සමහර විට කවුරු හරි වැරදීමකින් අරන් ගියාද දන්නෙ නෑ. සමින්ද් අක්කිගෙ වටිනා දේවලුත් එකේ තිබිලා තියෙනවා..."

වටිනවා කියලා කිව්වෙ අර යට ඇදුම් දෙකද දන්නෙ නෑ.. පිස්සුනේ මේකිත් කියවන්නේ.. ඔය කියන තරම් වටින දෙයක් ඒකෙ තිබ්බෙ නෑ. පුංචි පුංචි දේවල් කිහිපයක් ඇරෙන්න.. හනේ ඉතිං, අපි නොදන්න මොණරතැන්න..

"මොන වගේ වටින දේවල්ද..?"

"මාත් දන්නෑ නවෝද්.. සමින්දි අක්කි තමයි කිව්වේ.. ඒකයි මං ඒවම ඔයත්තෙක්ක කිව්වේ.."

මොනවා උනත් ඉන්කි අවංකයි කියලා මට හිතුණා. කෙල්ල ඇත්ත කතා කරනවා..

"මං හොයලා බලන්නම්. ඒත් හොයලා දෙන්නම් කියලා පොරොන්දු වෙන්න බෑ.."

"අනේ.. එහෙම කියන්න එපා.. ඔයාට පුළුවන් වේවි.."

"එයා සිහි කල්පනාව තියෙන කෙනෙක්ද..?"

මං කට ඇද කරලා අහද්දි ඉන්කිට හිනාවක් ගියා. මොනව උනත් මේකිගෙ හිනාව නම් සිරියාවන්තයි.

"ඔව් දෙයියනේ.. ඔව්.. නැත්නම් අපේ ඉස්කෝලෙ හෙඩ් ප්‍රිපෙක්ට් කම එයාට දෙයිද.."

"මං එහෙම ඇහුවෙ සමහර විට ඔය කියන බෑග් එක ගෙදර තියාගෙන මෙහාට වෙලා පණ දාගෙන හොයනවද දන්නෙත් නෑනේ.."

"නෑ... නෑ.. නවෝද්.. මේක ග්‍රවුන්ඩ් එකේදිමයි නැතිවෙලා තියෙන්නේ.. ඔයා තරහා නැතුව චුට්ටක් හොයලා බලනවද..? අපි මේක අමතක කරන්නෑ.."

ඉනික් කිව්වෙ, මූණට ආයෙමත් අර අමුතු හිනාව අරගෙන.. මේකි මට මොනවා කරන්නද යන්නේ..

"අපි කිව්වේ...?"

"මමයි, සමින්දි අක්කයි.."

"හරි.. මං එහෙනම් වැඩේ බාරගත්තා කියලා හිතන්නකෝ.. හොද පැත්තට බලාපොරොත්තුව තියාගන්න. මොකද මේ නවෝද් තාම කිසි දේකින් ෆේල් වෙලා නෑ.."

මං ටිකක් පංඩිත කතන්දරයක් කිව්වා. නැතුව බෑ. මේ වගේ අවස්ථාවල තමයි මාර්කටින් පිළිබද පශ්චාත් උපාධිය ඕන වෙන්නේ..

"තැන්ක්යූ නවෝද්... එහෙනම් මං යන්නද..?"

"ගියාට කමක් නෑ.. නම කියලා යන්න.. නැත්නම් මට කියන්න වෙන්නෙ එයා මෙයා කියලා.."

"හා..නේ.. සොරි මට අමතක වුනා.. ඔයා කියනෙක හරි නේන්නම්.. මං කාවඨා.. ඒත් හුගක් අය මට කතා කරන්නෙ ඉන්කි කියලා.."

ජවාධික නාඹර වෙළඹක් වගේ ක්‍රීඩාශීලිකමින් උතුරලා ගියපු ඉන්කිගෙ රූපෙ ඈත්වෙලා යද්දි මං හැරුණා. මගේ ඇස් ඉස්සරහට මිහියෙ බලයා.

"මොකෝ කියන්නේ..?"

"සමින්දිගෙ බෑග් එක හොයලා දෙන්නලු.."

"උඹ ඉතිං කියන්න එපැයි නැතිවූ අය සොයා දෙන දෙපාර්තමේන්තුවට යන්න කියලා. උඹ අස්සෙ ලබු බහින්නෙ නැතුව.."

"මං දන්නෑ බං.. ඒකි ඇහුවා පුළුවන්ද කියලා.. මං කිව්වා හා කියලා.."

"ඔව් ඉතිං.. උඹට තියෙන්නෙ ඇම්ඩාගෙන් බෑග් එක අරන් ඒකිට දෙන එකනේ.. ඇම්ඩන් උඹට එසේ මෙසේ උදව්වක් නෙමෙයි කරලා තියෙන්නේ... අර සුදු කෙල්ල ළගට ගිහින් මෙන්න වස්තුවෙ ඔයාගෙ දායාදෙ කියලා, දෙනකොට කොහොම ලස්සන හිනාවක් ඒ පිංවන්ත මූණෙ මැවෙයිද..?"

"උඹ රෙද්දක් කියනවා.. ඇම්ඩා ඒ බෑග් එක ඔබලා තිබ්බෙ මගේ ට්‍රැවලින් බෑග් එකේ.."

"ඈ... ඒ කොහොමද..?"

බලයගෙ කලු ඉංගිරියො දෙන්නා එළියට පනින්න වගේ ආවා. වෙලා තියෙන දේ ඌඨ අදහාගන්නත් බෑ වගේ. මං එතන ඉදන් වඩා සාධාරණව කල්පනාකාරීව වෙච්ච සියලු දේ බලයත්තෙක්ක කිව්වා..

"බෙකම්..."

"ඒකිගෙ යට ඇදුම් ඇදපු ඒවද..?"

 ඒ පාර මේකා මොකාටද එන්න හදන්නේ..?

"පිස්සුද බං... ඒවා අලුත් ඒවා වගයක්.."

"කෝකටත් උඹ ඒවයෙ සයිස් එක බලාගනින්.."

"අර මක්කටෙයි..?"

"නෑ.. මට හිතෙනවා.. අනාගතේදි උඹට ඒවා ඕනවෙයි කියලා.. සයිස් එක දන්න හින්දා ගිෆ්ට් එකක් දෙන්නත් පුළුවන් නේ.."

මූට නම් සහලෝලා පිස්සු තමා. තාම වචනයක්වත් කතා කරලා නෑ. මූ කියනවා ගිෆ්ට් එකක් විදියටම යට ඇදුම් දෙන්නලු. ඒකි අනිවාර්‍යයෙන්ම මගේ කනේ බෝල රත්වෙන්න ගහයි...

"පිස්සු කියන්නැතුව ඉදපං.. ඒකිට යට ඇදුම් අරන් දෙන්න මට පිස්සුවක් නෑ.. අනික ඒකිගෙ ඒ ඇදුම් ඔක්කොම ඉම්පෝටඩ් ඒවද කොහෙද.. ලංකාවෙ නමකවත් නෑ.. බර ගානක් වෙන්න ඇති.."

"දැන් උඹ මොකද කරන්න හදන්නේ..?"

"මොනවා උනත් මගේ වෙලාව හොදයි.. බෑග් එක දෙන්නෙ කොහොමද කියලා හිත හිතා ඉන්නකොට තමයි ඉන්කි ඇවිත් මේ කොන්තරාත් එක බාර දුන්නේ. දැන් ඉතිං ස්තුති ප්‍රසංසායි වීරයගෙ රෝල් එකයි දෙකම ලැබෙන්නෙ මට..."

"මොනවා උනත් පරිස්සමින්..."

"ඇයි....?"

"උඹේ ඉස්සරහදි වගේම, උඹේ නම කියද්දිත් ඉන්කිගෙ ඇස් දෙක දිලිසෙනවා වැඩියි..."

"ඒකි කලුයි චමිල්.."

"කලු...? කලු මොනවද බං.. තලඑළලුයි කියපං.. ඕකි ඔය ග්‍රවුන්ඩ් එකේ අව්වට කරවෙන හින්දා කලු වෙලා තියෙන්නේ.. අනි බලපංකෝ ෆිගර් එක.. සුදු කෙල්ලො පරාදයිනේ බං.. මටනම් අම්මපා දැක්කම ලෝභ හිතෙනවා.." 

ඔන්න.. ඔන්න.. බලයත් යම්කිසි පොටකට ඇවිල්ලා වගෙයි.. ඌ ඉන්කි ගැන කියවනවත් වැඩියි..

"නවෝද් පුතා..."

"අන්න උඹේ ක්‍රීඩා භාර අප්පොච්චි කතා කරනවා දුවපං..."

සෝමතිලක සර්ගෙ කටහඩ ඇහෙද්දිම බලයා හිනාවුණා. ඌ කියනදේත් ඇත්ත තමයි. සෝමතිලක සර් මගේ ෆුට්බෝල් පැත්තට දාලා තාත්තා කෙනෙක් වගේ උදව් කලා..

"දැන් ඉවර කරමු නේද..? බෝල හතරයි, නෙට් දෙකයි.. ඉස්කෝලෙ සිකියුරිටිට බාර දෙන්න.. ස්පෝර්ට් රූම් එකෙන් තියන්න කියලා.."

"හරි සර්... එහෙනම් මං යනවා.."

"ආ.. නවෝද්.."

"ඇයි සර්..?"

"අන්න අර පිස්සා ඇවිත් බලන් ඉදලා ගියා.."

"කවුද සර්..?"

"අර මෙලෝ දෙයක් කරන්නැති හාදයා.. අර දොළහා ඒ එකේ ඉන්නේ.."

"නාලක..."

"අන්න හරි... මිනිහා හිටියෙ ලොකු හදිස්සියකින්.. ඒක පිටින්ම මිනිහා ගියා.. මාත් එහෙනම් යනවා පුතා.. හෙට ඉස්කෝලෙදි හම්බවෙමු.."

සෝමතිලක සර් යද්දි, මං ෂුස් දෙක ලේස් වලින් දිගට ගැටගහලා බෙල්ල වටේ දාගත්තා. ඇම්ඩා මේ හදිස්සියෙ ආවෙ ඇයි..? මගේ හිතේ තිබ්බ පලවෙනි ප්‍රශ්නෙ ඒකයි. ඒ ඇවිල්ලත් ඌ මාව හම්බනොවී ගියේ ඇයි..? මෙතන මොකක් හරි ලොකු අවුලක් තියෙනවා.. පීෂා කුළුන ඇද කරලා, ටජ්මහලෙ වහලෙන් බැහැපු මේකා ග්‍රවුන්ඩ් ආවෙ නම් හොදකට නෙමෙයි. මං දිගට හරහට හිතන්න ග්තතා. මූ නිකං හරි ගෑවුණොත් එතන කහට පැල්ලමක්.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.. කෙහොම උනත් ටිකක් අවධානෙන් ඉන්න මං හිතාගත්තා..

                               **********************************

ට්‍රැවලින් බෑග් එක ඇද උඩට විසිකරලා දාලා මං වොෂ් එකක් දාගත්තා. ගිනියම් වෙච්චි ඇගට සීතල වතුර බිංදු වැක්කෙරෙනකොට දැනෙන සනීපෙ කියලා නිම කරන්න බෑ.. ඒ සනීපෙ අතරින් මට මැවුනෙ ඉන්කෙගෙ ඇස් දෙක.. ආයෙ කතා දෙකක් නෑ. ඒ ඇස් නම් කතන්දරයක්ම තමයි. මෙනවා උනත්, අපේ ඉස්කෝලෙ කෙල්ලන්ට වැඩිය, කොන්වන්ට් එකේ කෙල්ලන්ගෙ මොකක්දෝ අමුතු ගතියක් තියෙනවා. ඒ ගතිය මොකකද් කියලයි මං කල්පනා කලේ..?

හෙට තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එක.. දුන්නු හෝම් වර්ක් වගයක් ඇති. යන නොඑන එක ගැන හෙටම හිතනවා. කෝකටත් තලපතාගෙ හෝම්වර්ක් කරලා හිටය නම් අවුලක් නෑ.  මං සැදැහැ සිතින් ෆිසික්ස් පොත අතට ගනිද්දි, මගේ ට්‍රැවලින් බෑග් එකේ ෂිපර් එකට මොකක්දෝ ලේස් එකක් අහුවෙලා තියෙනවා අහම්බෙන් දැක්කා. මේ මොකක්ද බොල මේ..? මං ෆුට්බෝල් ෂු දෙකත් බෙල්ලෙ එල්ලගෙන නේ ආවේ..

හිතපු නැති විදියට පපුව ඩක ඩක ගාද්දි මං බෑග් එකේ ෂිපර් එක ඇද්දා. දෙයි හාමුදුරුවන්ට කියන්න..  මගේ ට්‍රැවලින් බෑග් එක ඇතුලෙ තියෙන දේ දැක්කහම මාව ගල් ගැහුණා. ඒ ලේඩීස් බෑග් එකක්. යකෝ මේ බෑග් එක මේ තරම්ම ගැබ්බර වෙලාද..? කලින් දවසෙ එකෙක් ප්‍රසූත කලා.. දැන් අද තවත් එකෙක්. කෝකටත් කියලා මං ඒ ලේඩීස් බෑග් එක හෙමින් සීරුවෙ අතට ගත්තා. කොහොමද අප්පා මේක මගේ බෑග් එක ඇතුළට ආවේ..? ලේඩීස් බෑග් එක ඇතුලෙ නම් ඒ තරම් දෙයක් තිබුණෙ නෑ. කොටින්ම සමින්දි අක්කගෙ වගේ බරපතල දේවල් කොහෙත්ම තිබුණෙ නෑ. ටවල් එකක්, ෆවුන්ඩේෂන් ඔෆ් ඉංග්ලිෂ් කියලා පොතක්, බ්‍රෂ් එකක්, හෙයාර් ජෙල් එකක්, රුපියල් හාරසීයයක විතර මාරු ස්ලලි. ඔය වගේ අනං මනං ටිකක් තිබුණා. මගේ හිතේ ප්‍රශ්න කෝටියයි. කගෙද අප්පා මේක.. කවුරු හරි වැරදීමකින් මගේ ට්‍රැවලින් බෑග් එකට දැම්මද දන්නෙ නෑ..

මොන පැත්තට හිතුවත් මගේ  හිතට උත්තරයක් නම් ආවෙ නෑ. මේ වෙච්ච හත්තිල්වව්  ගැන කියන්න එකෙකුත් මට හිටියෙ නෑ. කිව්වා උනත් කවුරු විශ්වාස කරයිද අප්පා. අදුනන්නෙ නැති එවුන්ගෙ බෑග්වල, තමන්ගෙ බෑග් එක ඔබලා යන්නෙ කවුද දෙයියනේ.. කවුරු හරි මොලේ හොද නැති එකෙක් වෙන්න ඕන.. මේ වගේ වැඩක් කරන්නෙ... අන්තිමට එහෙම හිතලා මං හිත හදාගත්තා..

                                  **********************************

"අපේ ඉස්කෝලෙ කෙල්ලො කලුද නවෝද්..?"

බාස්කට් බෝල් කෝඩ් එකෙන් පැනලා පංතියට ගොඩ වෙන්න හම්බවුනේ නෑ.. නෙලුනි මගේ ඉස්සරහට ආවා. එයත් එක්කම හිටියෙ නිරෝමි. මොකක්ද බං ඒ කඩප්පුලි කතාව.. මං මගෙන්ම අහගත්තා..

"නෑ... සුදු අයත් ඉන්නවා ඔයා වගේ.."

ඒ එක්කම තමයි නෙහාරාත් තාලෙට පැද්දි පැද්දි මගේ ඉස්සරහට ආවෙ. මුං තුන්දෙනා තෙපර බාන්නෙ නම්හොදකට නෙමෙයි. ඝන වනන්තරේ තියෙන අවමගුලක සිරි මගේ හිතේ මැවෙන්න ගත්තා..

"ඇයි නෙලුනි විතරද සුදු..? මායි, නිරෝමියි සුදු නැද්ද නවෝද්..?"

මේ බලපල්ලකෝ.. මේක බියුටි කන්ටෙස්ට් එකක් උනානේ.. මටද මුන් තුන්දෙනා ජජ් කරන්න තියෙන්නේ..? ඔව්.. ඔව්.. ඒකත් නරක නෑ.. එකෙකුට එකෙක් පරදා වෙන්නැති සුන්දරියො තුන්දෙනෙක්නේ අප්පා.. දැක්කත් බඩයි හිතයි දෙකම පිරෙනවා..

"ඔයාලා තුන්දෙනාම සුදුයි.. දැන් ප්‍රශ්නෙ මොකක්ද කියන්නකෝ.. අරෙහෙන් මෙහෙන් වාත ප්‍රශ්න අහන්නෙ නැතුව.."

"අපිට ඔයා ගැන ආරංචියක් ආවා.."

ඉස්සෙල්ලම කට ඇරියෙ නෙලුණි, ඒකිට කට පියන්න ඉන්න බෑ කියලා මං අත්දැකීමෙන් දන්නවා..

"මොකක්ද..?"

"ඔයා කොන්වන්ට් එකේ කෙල්ලෙක් එක්ක යාලුයි කියලා..?" 

හපොයි.. ඔය ඇනිල තියෙන්නෙ පිදුරුතලාගල කන්දෙ එහාපැත්තෙන් මතුවෙන්න.. මුංට කොහොමද අප්පා මේ තරම් ඉක්මනට වැඩේ ලීක් උනේ.. මොකාද මේක මෙහේ විකාශනේ කරපු අපතයා.. කවුරු හරි හොද ගින්නක් දීලා තියෙනවා.. නැත්නම් මෙහෙම සහලෝලා දුම් දාන්නෙ නෑ..

"මම....?"

"නැතුව අපිද..?"

"බොරුවක්නේ නෙහාරා...."

මගේ කතාවට කෙල්ලො තුන්දෙනා මූණින් මූණ බලාගත්තා. ලැබිච්ච ආරංචිය විශ්වාස කරනවද එහෙම නැත්නම් මගේ වචනෙ විශ්වාස කරනවද කියලා හිතාගන්න බැරි දෙගිඩියාවක උං උන්නේ..  

"ඔ.. ඔය ඇත්තමද නවෝද්..?"

මෙච්චර වෙලා විහිලුවෙන් ඇදිලා ගියපු කතන්දරේ නිරෝමිගෙ ඒ ප්‍රශ්නෙ අහපු ගමන් සීරියස් වුණා. අනික ඒක ඒකි ඇහුවෙත් මහා ඕනෑකමකින්.. ඒක අපි හැමෝටම තේරුණා..

"බොරු කියලා තෑගි ගන්නද නිරෝමි..?"

"උඹලා ඔය කරන්නෙ සහගහන අපරාධයක්.."

අපි හතර දෙනා පැත්තට විසිවෙලා ගියේ පැතුම්ගෙ අමුනුස්ස කටහඩින්. මූට ඇත්තටම ඩිංගක් හෙමීට කතා කරන්න බැරිද දෙයියනේ..? හරියට අතේ දුරින් ඉදපු අලියෙක් කුංචනාද කරා වගේ..

"මොකක්ද..?"

"ඔයාලා එකතුවෙලා මගේ පිත්තාශය කාලා වතුර බිව්වා නෙලුණි.. බලන්න දැන් මං ප්‍රේම කරන්නෙ කොහෙන්ද කියලා.. කරුණාකරලා මගේ අවමගුල ලෑස්ති කරන්න.. මට මේ ජීළුිතේ එපා.. ඔයාලා තුන්දෙනාම එකතුවෙලා නවෝද්ට ලංවෙලා.. මාව විනාශ කලා.. අයියෝ............"

"බොරුවට කෑනොගහා ඉන්න පැතුම්.."

"කෑගහන්නෙ නැතුව ඉන්නෙ කොහොමද නෙලුනි සත්තලං.. ඔයා ඇයි මට පිටුපෑවේ.. ඇත්තමයි මං මැරෙනවා.. ඔව්.. ඒ සෝක ජනක සිද්ධියේ කමින් කෑලි මට මැවෙනවා.. ඔයාල අහන් ඉන්න කැමති නම් මං කියන්නම්.. ඉහ්.. ඉහ්.."

පැතුමා හොටු හූරගන්න ගත්තා.. ඇම්ඩව හම්බවෙන්න ඒ පංතියට යන්න ඕනෙකම තිබ්බත්, මට මෙතනින් ගැලවීමක් තිබ්බෙ නෑ. පැතුමා මොන විදියෙ අංචිය අදීද කියලා කවුද දන්නේ..?

"හ්ග්... ඉබ්.. තනිවයි උපන්නේ... තනිවයි මැරෙන්නේ.. එහෙම දැනගෙනත් මං.. උඹට පෙම් කලානේ... හයියෝ... බුහ්... බූ..."

පැතුමට අද මොන යකෙක් වැහිලද මංදා.. මගේ හොද වෙලාවටද කොහෙද මහේලයි, කල්හාරයි අපි ළගට ආවා..

"මොකක්ද බං.. මූ මරණයක් ගැන කියන්නේ..? කවුද මැරුණේ..?"

"හ්හ... කවුද මැරුණෙ කියලා අහන්න එපා.. මැරෙන්නෙ මම.. අඩෝ කල්හාරයා.. උඹ හාෆ්ෂිට් බන්ඩලයක් අරගෙන මගේ මරණ දැන්වීම ලියාගනින්.. පස්සෙ ඒක යවපං ලංකාදීප පත්තරේට.."

"පැතුමා.. උඹ තාම මලේ නෑනේ බං.." 

"ඒකට කමක් නෑ.. මං ජීවත් උනත් මැරුණා වගේ තමයි.. මගේ මරණින් මේ කෙල්ලො තුන්දෙනාට සෙතක් වෙනවා නම් ඒකයි මගෙත් සතුට.. ඒ නිසා.. කොහොමටත් මගෙ මරණෙ ලෑස්ති කරලම මං මැරෙන්නම්කෝ.. එතකොට තොපි සැනසියව්.."

"හාෆ්ෂ්ට් නම් නෑ.. එක්සයිස් පොතක් නම් තියෙනවා.."

කල්හාර වැඩේ ගානට නග්ගලා ගන්නවා. නදිනියි, නෙලුනියි, පැතුමා දිහා බලන් හිටියේ ඌ ඊගාවට මොනාවා කියයිද කියලා බලන්න වගේ...  

"යකෝ මරණ දැන්වීම ලියන්නෙ එක්සයිස් පොතේද..? හා.. කමක් නෑ.. එහෙනම් ලියාගනින්.. ඔන්න මුලින්ම.. එංගලන්තයේ පදිංචිව සිටි, අතිශය කඩවසම්, බොලිවුඩ් සුපිරි නලුවෙකුට සමාන රූපයක් හිමිව තිබූ අතිශය සත් ගුනවත්, පැතුම් මහතා කලුරිය කළේය.. දහ අට වැනි වියේ පසුවූ ඒ දගකාර මහතා ඉතා බුද්ධිමතෙකි.. අවසන් කටයුතු පවුලේ සුසාන භුමියේදි සිදුකෙරේ.."

"උඹ බැදලා නෑනේ පැතුමා.."

"ඉතිං...?"

"ඉතිං කොහෙන්ද පවුලේ සුසාන භුමි..?"

"අඩෝ මාධවයා.. මරණ මංචකයෙ ඉන්න මාව අලුගෝසුවෙක් කරන්නෙපා.. කියන දේ ලියාගනින්.."

"හා කියපං.."

"සුසාන භුමියේදි සිදු කෙරේ ලිව්වනේ.. හා.. ඉතිං ආයෙ ලියපං.. මෙයට ශෝකයට පත් ඉතාලියෙ පොඩි අයියා, ඕස්ට්‍රේලියාවේ දෙවනි අයියා, ප්‍රංශයේ පොඩි අක්කා කියලා.."

 පැතුමට නම් අද පිස්සුව තද වෙලා.. මොනව උනත් වැඩේ නම් නැගලම යනවා. මෙච්චර වෙලා අවුල් වෙලා තිබ්බ කෙල්ලන්ගෙ මූණු ටික නම් ඔන්න ටිකක් එළිය වෙලා.. මේකා කියන ඒවට හිනායන්නැත්තෙ කාටද අප්පා..?

"හා.. පැතුම්.. වෙන මොනවද වෙන්න ඕනා..? දැන් වැඩේ ඉවරද..?"

"ඉවර කොහේද..? තෝව ඉවරයක් කරන්න කලින් ලියාපිය අවමංගල සභාවෙ කතාව.."

"ඒක කාටද පැතුමා දෙන්නේ..?"

"අපි ඒක බෙකම්ට දෙමු.. පිළිවෙලකට, කලාවකට කතාවක්වත් කරන්න වෙන එකෙක් නෑ නේ බං.."

"කියපං.."

"කනගාටුදායක අවමංගල සභාවෙන් අවසරයි.. වරහන් ඇතුලෙ ලියපිය බෙකම්ගෙ ඇස්වල කදුළු, නහයෙ හොටු බ්රූස් ගාලා උඩට අදින සද්දෙ දාලා. අහෝ දෙවියනි.. මේ අවාසනාවන්ත රණයට හේතු කාරණාව මා යැයි කෙසේ නම් මේ ශොකාකූල සභාවට පවසා සිටින්නද..? ලියපං.. සභාවෙ ඈයෝ හෝ ගාලා අඩනවා.. ලේන්සුවලින් කදුළු පිහිදානවා.. නදිනියි, නිරෝමියි මගේ මිනිය බදාගෙන අඩනවා.. මේ වැදගත් මහත්තයා මැරිලත් එම්බාම් කරනවට කැමති වුණේ නෑ. ඒ ඇයිද කියල කාටවත් කියන්න බෑ.. ඒත් මේ ශොකාකූල කතාව කියන මම දන්නවා ඒකට හේතුව. පැතුම් මහත්තයා කැමති වුණේ නෑ මැරිලා වුණත් කවුරු හරි ඔහුව අතපත ගානවට.. ඔහු එහෙමයි ඔහුගේ පතිවෘර්තාවෙ රැකගත්තේ.. දැන් ලියපං.. බෙකම් මහ හඩින් වැළපේ.. කල වැරදිවලට වරහන් ඇතුළේ, සමාජයෙන් සමාව ඉල්ලයි.. හා ලියපන්.."

පැතුම් තවත් කියවනවා.. ඒකා අද ඔය මරණ දැන්වීම් ඉවර කරන පාටක් නෑ.. මං හෙමින් සීරුවෙ පංතියෙ දොරකඩින් පිටවුණා. පැතුමට ඒත් ගානක් නෑ. ඌ සහලෝලා කියවනවා.. මං කෙලින්ම ආවෙ දොළහා ඒ පංතියට..

"නාලක කෝ බං..?"

ඇම්ඩන් පේන්න හිටපු නැති හින්දා දොලහා ඒ මොනිටර් කාරයගෙන් මං ඇහුවා.. ඌ වැඩිය හිනාවක් එහෙම විහිලුවකටවත් එළියට දාන එකෙක් නෙමෙයි..

"අද ආවෙ නෑ..."

උගේ උත්තරෙත් එක්ක මං ආපහු හැරුණා. තවත් ටිකක් මෙතන හිටියොත් අපේ පංතියෙත් මට තවත් කාඩ් එකක් ෂුවර් තමයි. මොනවා උණත් නාලකයා අද ආපු නැති එක නම් ප්‍රශ්නයක් තමයි. සමහර විට තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එකට ඔය මනුස්සයා එන්න පුළුවන්. එතකොටවත් හිතේ තියෙන ප්‍රශ්න කන්දරාවම ගොඩ දාගන්න පුළුවන් වේවිනේ.. මං අන්තිමට හිතාගත්තා..

                               ***********************************

අන්තිම පීරියඩ් දෙකට මට පංතියෙ ඉන්න ලැබුණෙ නෑ. මොකද කියලා කියනවා නම් හදිසි මීට්න් එකකට සෝමතිලක සර් සියලු පාපන්දු ක්‍රීඩකයින්ව කැදවලා තිබුණා. ඒ මීට්න් එක ඉවර වුණේ ඉස්කෝලෙ අන්තිම බෙල් එක ගහද්දිම වගේ. ලබන මාසෙ තියෙන මැචස් තුන හතර ගගැනයි සෝමතිලක සර් වැඩියක්ම කතා කලේ.. විනයා හරි, පිනා හරි ඒවි කියලා හිතුවත් සෝමතිලක සර්ගෙ කතාවෙන්ම මීට්න් එක ඉවර උනා..

"හේමන්ත සර්ගෙ පීරියඩ් එකේ උඹ කොහෙද ගියේ..?"

තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එක ඉස්සරහදිම මහේල ඇහුවා. අඩුගානෙ මට මූටවත් කියලා යන්න බැරිවුණා.

"මීට්න් එකක් තිබුණා මහේල.."

"හරි බං.. මොක තිබුනත් අපි පොඩ්ඩක් දැනුවත් කරලා පලයං... නැත්නම් එක එකී අහන ඒවට දෙන්න තරම් හොද උත්තර අපි ගාව නෑ.."

"දැන් මොන එකීද මං ගැන උඹෙන් ඇහුවේ..?"

"නෙලුනියි, නිරෝමියි.."

මේක නම් හරියන වැඩක් නෙමෙයි කියලා මට හිතුනා. ඇයි යකෝ.. අම්මා තාත්තවත් මං ගැන ඔයතරම් හොයන්නෙ නෑනේ..

"උංට මක්කටෙයි බං.. මං යන එන තැන්..?"

"මටත් තියෙන ප්‍රශ්නෙ ඒකයි.. ළගකදි ඉදලා අපේ පංතියෙ කෙල්ලො කීප දෙනෙක් වෙනස්.."

"වෙනස් කිව්වේ..?"

"වෙනස් කියන්නෙ වෙනස් හින්දා බං.. මට හිතෙන විදියට නම් මොකාක් හරි අවමගුලක් අග ළග.."

මහේල කියපු දේට මං මුකුත් කිව්වෙ නෑ. මං බලන් හිටියෙ තලපතාගෙ අලුත් ටික්කා දිහා..

"දුෂ්මන්තයා අදත් නෑ නේද..?"

"හ්ම්.. තාම ඌ පත්තු බදිනවා ඇති.."

"මොනවා උනත් ඇම්ඩා දෙන එක නම් දීළා තියෙනවා.. ආයෙ කේලම් කියන්නෙ නැති වෙන්න.."

 ඒක නම් ඇත්ත කියලා මට හිතුණා. ඒත් ඉතිං කොයි තරම් ගුටි කෑවත් දුෂ්මන්තයා කට වහන් ඉදීවි කියලා හිතන්න අමාරුයි..

ඇම්ඩා ගැන කතාබහ ඇදිලා ආපු නිසාම ඌ කොහේද කියලා බලන්න මං වටපිට බැලුවා. ඒත් ඌ පේනන් හිටියෙ නෑ.. සමහරවිට කොහේ හරි මුල්ලකට වෙලා කැහිකූරු අදිනවද දන්නෙත් නෑ..

"න... වෝ... ද්.."

පුරුදු කටහඩක් ඇහෙද්දි මං හැරිලා බැලුවා.. මෙන්න ඉන්කියි, තවත් කෙල්ලෙකුයි මං ගාව..

"චුට්ටක් මෙහෙට එනවද..?"

ඉන්කි මට ඔලුවෙන් කතා කලා. ඒකි තාමත් ස්කූල් යුනිෆෝම් පිටින් ඉන්නේ. ගෙදර යන්න වෙලාවක්තියෙන්න නැතුව ඇති. මං මහේල දිහා බැලුවා. ඌ කට කොනට හිනාවක මතු කරන් අනිත් පැත්ත බලාගත්තා.. ඉන්කිත් මේ ක්ලාස් එකට එනවා කියලා මට හරියටම නෝට් උනේ අදයි..

"හරි වැඩේනේ නවෝද්.."

ඉන්කි මගේ ළගට ලං වෙලා රහසින් වගේ කිව්වා. මේ වගේ ජනාකීර්ණ තැනක කොන්වන්ට් එකේ, කෙල්ලෙක් එක්ක ලංවෙලා හිටියා කියන එක ආයෙ ඉතිං හොදන්න දෙයක් නෑ. පත්තරේ දැම්මා වගේ තමයි.. යන එන හැම එකාම අමුතු සත්තු දෙන්නෙක් දිහා බලනවා වගේ අපි දෙන්නා දිහා බලන්නේ..

"ඇයි...?"

"මගේ බෑග් එකත් නැතිවෙලානේ නවෝද්.."

ඉන්කිගෙ කටින් ඒක පිටවුණා විතරයි මාව සීතල වෙලා ගියා. පපුව හැගෙන සද්දෙ එළියට ඇහෙන තරමට වැඩිවුණා. මොන මගුලක්ද මේ..? 

"ඔ... ඔයාගෙ බෑග් එකත් නැතිවෙලා..?"

මට මතක් වුණේ ඊයේ මගේ බෑග් එකේ තිබිච්ච ලේඩීස් ට්‍රැවලින් බෑග් එක. හත්තිලව්වේ ඒක එහෙනම් ඉන්කිගෙ වෙන්න ඕනේ.. ඒත් ඉතිං ඒ මල ඉලව්ව කොහොමද මගේ එක ඇතුළට ආවේ.. මොකෝ ඇවිදගෙන ආවෙ කියලා කියන්නද..? 

"ඔව්නේ නවෝද්.. මට නම් හිතාගන්නවත් බෑ.. මොකද වුණේ කියලා.. මං ඔයත්තෙක්ක කතා කරලා ආපහු යනකොට බෑග් එක නෑ.."

"මේක මාර විහිලුවක්නේ.. ෂහ්.. වටින දේවල් මොනවා හරි තිබුණද..?"

"එහෙමටම නෑ නවෝද්.. ඒත් මං ඒ බෑග් එකට කැමතියි.."

"දැන් මට ඒ බෑග් එකත් හොයන්න වෙනවද..?"

ඉන්කිගෙ මූණෙ හිනාවක් මතුවෙලා ආවා. හිනාවෙනකොට වල ගැහෙන කම්මුල් වල සොදුරු කෝමල රේකා දෙක තුනක් මං දැක්කා..

 "එහෙම පුළුවන් නම් ලොකු දෙයක්.."

"ඔහොම ගිහින් කොන්වන්ට් එකේ හැමෝගෙම බෑග් හොයලා දෙන්න වේවිද දන්නෙ නෑ.."

අර මුලින් තිබ්බ හිනාව, තව ඩිංගක් වැඩිවෙලා කම්මුල් වල මැවුන තවත් ටිකක් ලොකු වුණා..

"හැමෝගෙම ඕන්නෑ නවෝද්.. මගෙයි, සමින්දි අක්කගෙයි විතරයි.."

ඉන්කි ඒ ටික රහසින් වගෙයි කිව්වේ.. අඩු ගානේ එයා ළග හිටපු ගර්ල්ටවත් ඒ වචන ටික ඇහුණද කියලා මට සැකයි..

"බැග් එක හොයන්න තියා ඔයාලගෙ සමින්දි අක්කව ඇහැටවත් දැක්කෙ නෑ නේ.."

හිතේ කොනක තිබ්බ දෙයක් මං අමාරුවෙන් පිටකරගත්තා. ඉන්කි මං දිහා අමුතු විදියට බැලුවා. ඒ නටන ඇස් දෙක, මගේ මූණෙ හැම ඉරියව්වක්ම පරික්ෂා කරනවා කියලා මට තේරුණා.

"සමින්දි අක්කට මේ දවස්වල ඩිබෙට් ටීම් එකේ තරග තියෙනවා.. එයානේ කැප්ටන් ඉන්නේ.. ඊයෙ තිබ්බ ඩිබෙට් එකකින් එයා විසාකා එකේ ගර්ල්ස්ලව පරද්දලා තිබුණා."

"එතකොට එයා ආයෙ ග්‍රවුන්ඩ් එන්නැද්ද..?"

"මැච්ර්ස් ටික ඉවර උනාම එයි.. එහෙනම් මගේ වැඩේ කරනවා නේද..?"

"මොකක්ද..?"

"ඔය ඩිංගට අමතකද..? බෑග් එක හොයන එක.."

"හරි හරි මතකයි... දැන් ඉතින් එකට දෙකක් හොයන්න එපායෑ.."

"දෙකම හොයලා දෙන්න.. හොදට සලකන්නම්.."

ඉන්කි එහෙම කියනකොට, එයාගෙ මූණෙ හැම ඉරියව්වක්ම අමුතු උනා. කෙල්ල මොනවා හිතේ තියාගෙන කියනවද මංදා.. මගේ හිතටත් මහා මොකක්දෝ උණා. හොදට සලකන්නම් කියලා ඒ කටින් පිට උනාම.. කොහොම සලකන්න  හිතන් ඉන්නවද දන්නෑ..

"බෙකම්...?"

ඉන්කියි අනිත් කෙල්ලයි ක්ලාස් එකට යද්දි මහේල මගේ  ළගට ආවා..

"මොකක්ද බං ඒ ඇවටියෙල් එක..? ඒකි කොන්වන්ට් එකේ හන්ඩ්‍රඩ් මීටර්ස් කරන කෙල්ල නේද..?"

"ඔව්.."

"උඹට මොකක්ද ඒකිත් එක්ක තියෙන සම්බන්ධෙ..?"

"මගේ ඇති සම්බන්ධයක් නෑ බං.."

"ආ... හරි... හරි.."

"මොකක්ද හරිය..?"

"උඹ මට කොලේ වහන්නයි හදන්නේ.. නිරෝමිල උඹට වදේ ගැහුවෙ එහෙනම් මේ කතනදරේ හින්දා. දැන්නේ මට තේරෙන්නේ.."

"උඹලා හිතන විදියෙ දෙයක් එතන නෑ.."

"බෙකම් මේ..? අපිට නිකන් මොත්තෙ දාන්න එපා බං.. ඒකි එහෙනම් මට ආදරේටත උඹත් එක්ක කතා කලේ..?"

මූට නම් දෙයක් දැහැමින්, සෙමින් කියලා වැඩක් නෑ.. කණ පුරෝලා දෙපැත්තට දෙක්ක ලීතා තමයි කියන්න ඕන.. ඒත් මූට පැහැදිලි මදි වෙයි..

"අන්න තලපතා එනවා.. යමං..."

"තලපතා ආවට කමක් නෑ.. ඔය දුවන කෙල්ල එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද..?"

මහේල අහන ඒවට උත්තර නොදීම මං ක්ලාස් එකට ආවා. මං ඈතදිම දැක්කා තලපතාගෙ මූණෙ අවමගුල් පෙරහරක් තියෙන විත්තිය. කොටින්ම ලෙඩා මලත් බඩ සුද්දයි වගේ ළමයි වාඩිවෙන්නත් කලින්ම තලපතා මයික් එක අතට ගත්තා.

"හැමෝටම සුභ සන්ධ්‍යාවක් කියලා ප්‍රර්ථනා කරන්න මට විදියක් නෑ. නමුත් කියන්න තියෙන දේ ඉස්සෙල්ලම කියන එක කොහොමත් හොදයි. මං මේ බොහෝම වේදනාවෙන් කතා කරන්නේ.. මම ඔබ ළමයිව යහමගට ගන්න හුගාක් වෑයම් කලා.. ඒත් වෙන අවුරුදුවල වගේම මේ පංතියෙත් නොසන්ඩාලයො කීප දෙනෙක් ඉන්නවා.. අන්න උංටයි මං මේ අමතන්නේ.."

තලපතාගෙ කටහඩ මුලින් වේදනාවෙන් පිරිලා තිබුණත් ටිකක් වෙලා යද්දි ඒක සුපුරුදු විදියට කර්කශ වෙලා ආවා. මිනිහට හරියන්නෙත් එහෙම තමයි.. 

"පහුගිය දවසක මේ පංතියෙ අප්‍රසන්න සිද්ධියක් වුණා. ඒ ගැන කතා කරන්න මං කැමති නෑ. වමනෙ ගිහින් වැඩිවෙලා මට වෛද්‍ය ප්‍රතිකාරත් ගන්න උනා.."

තලපතාගෙ කතාවට පංතියෙ ඇතුලෙන්ම ළමයින්ගෙ ලාවට ස්හූ.. කියලා සද්දයක් ආවා. ඒ සද්දෙත් එක්ක තලපතාගෙ කටහඩ තවත් උත්තේජනය උණා. මේ මනුස්සයා දැක්කම අපිටයි වමනෙ යන්නේ..

"ඒ සිද්ධිය හින්දම, මං එහෙම තමයි සැක කරන්නේ.. මගේ කාඩ් මා ක් කරන අහිංසක දුෂ්මන්තට පාතාලෙ මැරයො දාලා ගස්සවලා තිබ්බා. පහුවෙච්ච දවසක.. ඒ අසරණයා තාමත් ලෙඩ ඇදේ.."

හප්පොච්චියේ මේක නිකං මහා ටෙලිනාට්ටියක් වගේනේ.. ජපන් නින්ජලා කට්ටියක් දැන් ශ්‍රී ලංකාවේ මැරයො වෙලා. මං බලන් හිටියෙ කතාවෙ කොයි කොනකට මාවත් පූට්ටු වෙයිද කියලා. කියන්න බෑනේ. කරුමෙ ආවහම කන බත් ඇටෙත් ගල් වෙනවනේ. තාමත් ලෙඩ ඇදේ කියලා තලපතා කියද්දි පංතියෙ කොල්ලන්ගෙ අත් එක සැරේට කම්මුලේ ලියාපදිංචි වෙලා. මට නැගිටලා කියන්නත් හිතුණා. ඌ ආතල් එකේ කොර ගගහා ටිකට් කපන් ගියා කියලත්..

"මට හිතෙන විදියට මේ සම්පූර්ණ සිද්ධියට වගකියන්න ඕන එක පුද්ගලයෙක් හෝ කීප දෙනෙක් හයක් හතරක් නොතේරෙන මේ දුවා දරුවො අතරෙ ඉන්නවා. මං බොහොම වගකීමෙන් ඉල්ලා සිටිනවා ඒ එක පුද්ගලයාට හරි කණ්ඩායමට හරි මගේ ක්ලාස් එකෙන් ඉවන්වෙන්න කියලා.."

තලපතාගෙ කටහඩ ශාලාව පුරා දෝංකාර දෙද්දි, ඒක ඇතුලෙ හිටපු හාරසීයක් විතර හුදී ජනතාව එක එකාගෙ මූණු දිහා බලන්න ගත්තා. වැඩේ එහෙනම් නැගලම යනවා වගේ. තලපතා හදන්නෙ පාතාලෙ මැරයො ටික පංතියෙන් එළියට දාන්න. මට නම් ඉර හදටත් වැඩිය ෂුවර්. මේකෙ කොනකට ඇම්ඩා කොහෙන් හරි ගෑවිලා ඇති කියලා..

"කෝ... මං මේ කතා කරන්නෙ මගේ අහිංසක දුෂ්මන්තට ගහපු නරුමයින්ට.. උංට තව එක මොහොතක්වත් මගේ පංතිය ඇතුළෙ ඉඩක් නෑ.."

කිසිම හා හෝවක් නෑ.. ළමයි හාරසිය ගාන මික් නෑ.. තලපතා දැන් වේදිකාව උඩ ඉදගෙන කුංචනාද දෙනවා..

"මං කිව්ව දේ සිද්ද වුණේ නැත්නම්, අද දවසෙ ක්ලාස් එකත් මං මෙතනින් ඉවර කරනවා. තේරුණාද..? හැමෝටම වෙන කොහේ හරි ෆිසික්ස් ක්ලාස් එකක් හොයන්න වේවි.."

ඔන්න ඒ පාර නම් පංතිය ඇතුලෙ කසු කුසු සද්දෙ ඩිංගෙන් ඩිංග වැඩිවෙලා උපරිම තලේට නැග්ගා. මේ යන විදියට නම් මොකකින් මොකක් වෙලා නතරවෙයිද මංදා. ඇම්ඩා අද ක්ලාස් ආවෙ නැත්තෙ මේ සහගහන අපරාදෙ නැග හැදිනගෙනද කොහෙද..? බලන් ගියාම ඌට පරචිත්ත ව්ඥ්නානෙ හොදටම තියෙනවනේ..

"කෝ.. කෝ.. මං මේ අන්තිම හොදින් කියන්නේ...? මොකද අහිංසකයෙකුට තඩිබාපු මැරයො ටික මෙතන නැද්ද..? ආ.. හොදයි.. මං මේ කණ්ඩායමේ නායකයගෙ නම කියන්නම්කෝ.. එතකොටවත් ඔය හැංගිලා ඉන්න මී ගුලෙන් එළියට එන්න වෙනවනේ..  හ්ම්.. මාව යකා කරන්නෙ නැතුව නැගිටිනවා.. නාලක විජේකෝන්.."

ඔය පත්තුවුණේ හතර වරිගයම.. තලපතා මොනවා නැතත් හරියටම ගෙස් කරලා තියෙනව. ඒත් ඉතිං.. නාලකයගෙ හුළගක් වත් මෙතන නෑ... හදවතට දැනෙන දුක ඒකයි..

"කෝ... කෝ.... කෝ....."

කොල්ලො කෙල්ලො මෙලෝ සිහියක් පතක් නැතුව එක එකාගෙ එක එකීගෙ මූණු දිහා බලනවා. තවත් බලන් ඉදලා බෑ.. මං තීරණයක් අරගෙන හෙමින් සීරුවෙ නැගිට්ටා. මුළු පංතියම මීයට පිම්බා වගේ එත තත්පරේට නිශ්ශබ්ද වුණා. හැමෝටම හිතාගන්න බැරි වෙන්නැති බෙකම් මොකටද නැගිට්ටෙ කියලා.. සමහර කෙල්ලොන්ගෙ ඇස්වල කලු ඉංගිරියාව එළියට පනින්න ඔන්න මෙන්න අවදානම් අවස්ථාවෙ තිබුණේ.

"ඇයි ඔයා නැගිට්ටේ..? මං නම් කියෙව්වෙ ඔයාගෙ නෙමෙයිනේ.."

තලපතා ආයෙත් කුංචනාද කලා.. මේකා මේ කෑගහන තාලෙට මේකගෙ ගලනාලෙ කොයි මොහොතක හරි පුපුරනවා. මට තමයි අහුලගෙන බැදලා කන්න වෙන්නේ.. ගම්මිරිස් ටිකක් ඉහගෙන.. නැත්නම් කුණු රහයි..

"මං දන්නවා සර්.. ඒත්.. මට කියන්න දෙයක් තියෙනවා.."

"උ.. උඹට පිස්සුද බෙකම්.. තලපතා උඹව කාවි.."

මහේල හීනෙන් වගේ මුමුණනවා. කොටින්ම මුලු පංතියම තුෂ්නිම්බූත වෙලා.. ඇත්තම කියනවා නම් තලපතාට කේන්ති ගිහිල්ලා ඉන්න වෙලාවට හොදට සිහිකල්පනාව තියෙන එකෙක්, ඒ මූණ ඉස්සරහට ඇවිත් ෆේස්ටු ෆේස් කතා කරන්නෙ නෑ..

"හා.. තමුන්ට මොනවද බලමු කියන්න තියෙන්නේ.."

තලපතා  ස්ටේජ් එකේ ඉදලා බිමට ආවා. මට දැන් පේනවා එක පිළිවෙලකට කලාවකට තියෙන බංකු පේලි දිගේ තලපතා පියඹන හැටි..

"මොකක්ද යකෝ මේ කරේ..? මීට වැඩිය හොද නැද්ද අර දුවන කෝච්චියකට ඉස්සරහින් ඇවිත් කිස් එකක් දුන්නා නම්.. හයියෝ...."

 මහේලගෙ මුණු මුණුව තාම අඩුවක් නෑ..

"හ්ම්.. මොනවද කියන්නේ..?"

තලපතා මගේ ඉස්සරහින් ඇවිත් හිටගත්තා. ඔන්න දැන් තමයි උඵන්දා සිට එකතු කරපු පුරුෂ ධෛර්යයේ පවර් එක පෙන්නන්න තියෙන්නේ.. 

"සර්ට දුෂ්මන්තටත් මොක් හරි සිත් රිදීමක් සිද්ධ වුණා නම්, මේ පංතියෙ හැමෝම වෙනුවෙන් මං ගණගාටුව ප්‍රකාශ කරනවා. දුෂ්මන්තටත් ඉතිමනින් නිරෝගී සුවය ලැබෙන්න කියලත් මං ප්‍රාර්ථනා කරනවා.."

තලපතාගෙ මූණෙ රතු පාට හෙවනැලි එකින් එක දියවෙන්න ග්තතා. පංතියෙ හැමෝම වගේ මං දිහා බලන් හිටියෙ මුලු ඉන්දියාවම එක් සේසත් කරපු අශෝක අදිරාජයා දිහා බලන් ඉන්නවා වගේ. මොකද කියනවා නම් ඊලග තත්පරයේ මොකකින් මොකක් වේවිද කියලා කාටවත් හිතාගන්න බැරුවයි තිබුණේ. තලපතා උණත් මගෙන් ඔය වගේ සර්ව සාධාරණ උත්තරයක් බලාපොරොත්තු නොවෙන්න ඇති..

"ඒත්.. ප්‍රනාන්දු සර් හිතන විදියෙ දෙයක් මෙතන සිද්ධවෙලා නෑ. මොකද කියනවා නම් කාලක විජේකෝන් කියන අපිත් එක්ක එකට ඉගෙන ගන්න ශිෂ්‍යායාත් මේ වෙලාවෙ ඉන්නෙ රෝහලක ඇදක් උඩ.."

හප්පොච්චියේ ඒ ටික මගේ කටට කොහෙන් ආවද මංදා.. තලපතාගෙ කලු ඉංගිරියො දෙන්නා බලන් ඉද්දිම එළියට පනින්න ලෑස්ති වුණා. පංතිය ඇතුළෙ මුණු මුණු සද්දෙත් ටිනේ ටික වැඩිවෙන්න ගත්තා..

"මොකක්ද නාලකට වෙලා තියෙන්නේ..?"

තලපතා ඩිංගක් කූල් එකේ ඇහුවා..

"නාලකට ඩෙංගු හැදිලා දැන් දවස් ගානක් වෙනවා. ඔය වගේ වැඩක් කරන්න තියා, එයාට නැගිට ගන්නවත් පණක් නෑ. අනික එයා, අපේ මේ කාඩ් මාක් කරන අහිංසක දුෂ්මන්තට ගහනව වගේ නින්දා සහගත වැඩ කරන්නෙ නෑ කියලා මං හිතනවා. දුෂ්මන්තට පහර දෙන්න ඇත්තේ, වෙනින් කවුරුහරි වෙන්න ඇති සර්.. මේ දේට මේ පංතියෙ ඉන්න කවුරුවත් සම්බන්ධ නෑ කියලා මට ලොකු විෂ්වාසයක් තියෙනවා.. අපි කවුරුත් ඒ වගේ පහත් වැඩ කරන්නෙ නෑ.."

මගේ කතාව ඉවරවෙලා තත්පරයක් දෙකක් ගෙවුණා. ඒ එක්කම තමයි පංතියෙ මැද හරියෙන් වගේ අත්පුඩි සද්දයක හඩක් ඇහුණෙ. ඒ සද්දෙත් එක්කම ඒ ගහපු කෙනා නැගිට්ටා. හත්වලාමෙ මේ ඉන්කි නේද.? මෙයා මොකක්ද මේ කරන්න හදන්නේ..? ඒ දේට එච්චර වෙලා බලන් ඉන්න ඕන උනේ නෑ. ඉන්කිගෙ අත්පුඩි පාර, ටිකෙන් ටික මුළු පංතියටම බෝ වුණා. හැමෝම නැගිටලා මං වෙනුවෙන් ක්ලැප් කරන්න ගත්තා. ඒක විනාඩි ගානක් යනකන් එක දිගටම තිබුණා. ටිකකින් තලපතාගෙ මූණෙ කර්කශ පාට නැතිවෙලා ගිහින් සුපුරුදු මුඩු තත්වයට ආවා..

"හොදයි මම මේ ළමයගෙ කතාව විශ්වාස කරන්නම්. ඒ වගේම.. ඒ වගේම මේ පංතියෙ සමගිය ගැනත් මට හොද හැගීමක් තියෙනවා.. හ්ම්.. හැමදේම ඉවරයි.. අපි පාඩම පටන්ගමු.. ගිය සතියෙ නැවැත්තුවෙ කොතනින්ද ළමයා..?"

හප්පේ.. අතක් පයක් නොකැඩි ඔයින් ගියා මැදැයි. මෙලෝ සංසාර දෙයක් උනේ නෑ වගේ තලපතා පාඩම කරන්න පටන්ගත්තා. ඒ මගේ පපුව ගැහෙන වේගේ දෙගුණ තෙගුණ වෙලා තිබුණා. ඉන්කි ඒ වගේ දෙයක් කෙරුවෙ ඇයි..? මට ඒ ගැන කොහෙත්ම හිතාගන්න බැරිවෙලයි තිබුණේ.



 



No comments:

Post a Comment