Thursday, March 1, 2012

| සොදුරු නවෝදය | යෞවන සමින්ද්‍ර රත්නායක |





  
ඉස්කෝලෙට ඇතුල් වෙන්න තිබේබෙත් තව ඩිංග දුරයි. කොල්ලො සෙට් එකේ එකෙක්වත් පේනතෙක් මානෙකවත් නෑ. උදේපාන්දරම මුං ඔක්කොටම බඩේ අමාරුවක්වත් හැදිලද මංදා. හත්වලාමෙ එහෙනං මටත් ඩිංගිත්තක් හරි හැදෙන්න එපැයි. දවසකට උං කන ඒවයි ලූණු බිකක් හරි මටත් කැවෙනවනේ.

කොලෙජ් ලේන් එකේ, ඉස්කෝලෙ ළග තියෙන වංගුව ගාවින් මතුවෙනකොටම, කොට තාප්පෙ ගාව අපේ ඉස්කෝලෙ කොල්ලෙක් මූණ හතරැස් කරන් ඉන්නවා මං දැක්කා. වැඩිය දැකලා පුරුද්දක් නැතිවුණත්, සාක්කුවෙ ගහපු බැජ් එකෙනුයි ඌ අපේ ඉස්කෝලෙ කියලා අදුන ගත්තේ.


"මොකෝ මල්ලි...?"

කොල්ලගෙ මූණ පිරිලා තිබ්බ අප්සට ගතිය හන්දම මං ඇහුවා. මගේ මූණ දැකපු ගමන් ඌ කලබල වුණා.

"නවෝද් අයියේ.."

එහෙනම් මේකා මාව දන්නවා. හැබැයි ඉතිං ඒකෙ ඇති අලි පුදුමෙකුත් නෑ. මේ කොලෙජ් එකේ නවෝද්ගෙ නම විහිලුවට හරි අහපු නැති එකෙක් නෑ.

"ඇයි මල්ලි... අද ඉස්කෝලෙ වර්ජනේ කරලද..?"

"න්.... නැහ්.."

"එහෙනම්...?"

"මට... මට..."

"ඔව්..."

"ම.... මට..."

"තටමන්නැතුව කියපං බං මොකක්ද ප්‍රශ්නේ..?"

"ම... මට ගහන්න කට්ටියක් ලෑස්ති වෙලා ඉන්නවා.."

පොඩි එකා කිව්වෙ ඇඹරි ඇඹරි. පෙනුමෙ හැටියට නම් මූ මේ පාර ඕ ලෙවල් කරන බත් බරියෙක්. ඉතිං හත්වලාමේ, මොකෙක්  හරි ගහන්න ඉන්නවා නම් මූත් අත පය දිග ඇරලා දීලා ඇද්දා නම් ඉවරනේ.. සියලු සංස්කාර සර්මයෝ මල පෙරේතයි කියලා..

"ගහන්න..."

"ඕ.. ඔව් නවෝද් අයියේ.."

"කවුද ගහන්න ඉන්නේ..? අපේ ඉස්කෝලෙ කවුරු හරිද..? නැත්නම් පිට එවුන්ද..?"

"අපේ ඉස්කෝලේ.."

එහෙනම් මේක මංඩලේ කචල් එකක්. හැබැයි තවත් මූ එක්ක ද්විපාර්ශිකව සාකච්ඡා පවත්තන්න ගියොත්, උදේ එසෙම්බිලි එකටත් බඩුම තමා..

"ඉස්කෝලෙ එවුන් නම් ඔතන ඉදන් බම්බු ගහනවද..? ඉස්කෝලෙ ඇතුලට යන්නෙ නැතුව.."

"න... නවෝද් අයියේ..."

"ඇයි...?"

"අද ඉස්කෝලෙට ආවොත්, මට ගහන්නලු ඉන්නේ.."

පිස්සු හැදෙනවා.. කොහේ තියෙන නීතියක්ද යකෝ ඒක. හරි නම් ඉස්කෝලෙ යන්නැත්නම්නේ, අල්ලලා දෙන පාර සම්බුව දෙන්න ඕන.. දැන් අධ්‍යාපන අමාත්‍යාංශයෙ ප්‍රතිපත්තිත් වෙනස් වෙලාද මංදා. ඉස්කෝලෙ එනකොටත් ගහනවා..

වැදගත්ම ප්‍රශ්නෙ මං ඇහුවෙ අන්තිමට. ඒකත් අහලම යන්න එපැයි, ඩිංගක් පරක්කු උනත්. නැත්තං කිසි වගතුවක් නෑ..

මගේ පුරස්නෙන් කොල්ලගෙ මූණ ඇඹුල් වුණා. යකෝ.. මං ඇහුවෙ ලුණු දෙහි ප්‍රශ්නයනක්ද..? මේකා මේ තරම් තටමන්නේ..? 

"ඇයි මල්ලි.. කටේ පිට්ටුද..?"

කොල්ලා හිටපු ගමන් කඩේ වහපු හින්දා මං ඇහුවා. පිස්සු  නැත්නන් හොදයි.. මෙන්න හත්වලාමේ මුගේ ඇස්වල කදුළු. ඒක දැක්කහම මටත් මාර අප්සට්. ඇයි අප්පා.. කොල්ලෙක් අඩනවා කිව්වාම...

"එයාලා කියනවා ම.. මට නිලංකාව අතාරින්නලු.."

"දැන් කවුද ඔය නිලංකා...?"

"ම... මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්.."

පිස්සු කෝච්චියයි.. මේකා තාම ඕලෙවල්වත් ලියලා නෑ. කෙල්ලෙකුත් සෙට් කරගෙන. බලන් ගියහම මේකා මහා දරුණු ඝණයේ අපරාධකාරයෙක් නොවෑ..

"හරි දැන් කවුද මලයට ගහන්න ඉන්නේ...?"

"ඒ ලෙවල් ක්ලාස් වල, චතුර අයියා.."

කොල්ලා කිව්වෙ බොහෝම බය පක්ෂපාතීව. හරියට නිකං චතුරංග සේනාව අත ළග එනවා වගේ. කොහොමත් ඉතින් චතුරංගයා කියන්නෙ ඒ වගේ එකෙක් තමයි.. ඌ සෑහෙන්න හිතට අරන් ඉන්න එකෙක්. කොලෙජ් එකේ අන්ඩර් නයින්ටීන් බාස්කට් බෝල් කැප්ටන් වුණා කියලා. කොහොමටත් ඌ අඩි දෙක තුනක් උඩින් යන්නේ. මොනවා උනත් මේ නවෝද්ට නම් චතුරං ගියලා කියන්නේ, දිරවන්නෙම නැති ඩයල් එකක් තමා..

"චතුරංග..., මල්ලිගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට ට්‍රයිද..?"

කොල්ලගෙ ඇස් දෙක උඩ තිබ්බ කදුළු බිංදු දෙක, පල්ලෙහාට ගලාගෙන ආවා. බලන් ගියහම මේකා අහිංසක බක බක එකෙක් නේ..

"මේ පිස්සු නැතුව ඔය කදුලු පිදුළු පිහිදා ගන්නවා... නැත්නන් දකින එකෙක් හිතයි, තමුසෙයි මායි ලව් කරනවා කියලා.."

 මගේ කතාවට කොල්ලා සට පට ගාලා කදුළු පිහිදා ගත්තා.

"චතුරංග අයියා, මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙන් යාලුවෙන්න අහලා.."

"ඉතිං...?"

"නිලංකා කියලා මාත් එක්ක යාලුයි කියලා.. ඊයෙ දවල් චතුරංග අයියා ඇවිත් මට හොදටම බැනලා, එෆෙයාර් එක නවත්තන්න කිව්වා. එහෙම කරේ නැත්නම්, ඉස්කෝලෙ එන්න බැරිවෙන්න ගහනවා කිව්වා.."

හත්වලාමේ ඒක මාර කැලෑ නීතියක්නේ.. චතුරංගයද දන්නෑ ඒක හදලා තියෙන්නේ.. අනේ අපි නොදන්න චතුරංගයා..

"මල්ලි මේ...? මට දැන් පරක්කු වෙනවා.. බය නැතුව ඉස්කෝලෙට යන්න.."

"අ.. අනේ නවෝද් අයියේ.."

"ඇයි...?"

"චතුරංග අයියා මට ගහනවා කිව්වා.."

"හරි මනුස්සයෝ.. ඔයා කියනවා ලව් එක නැවැත්තුවා කියලා.. නිලංකාටත් කියනවා එහෙම කියන්න කියලා.."

"එතකොට..?"

මූට නම් අයන්නෙ ඉදලම කියලා දෙන්න වෙයි වගේ. මේකා මොන නැකතකින් ජාතියෙ පිනට පහල වුණ ශිෂ්‍යයෙක්ද මංදා...

"එතකොට චතුරංග, නිලංකාට ච්‍රටි කරයි.. ඒකිට කියනවා ගණන් උස්සලා ඉන්න කියලා.. ඒ අතරේ ලව් එක ෂේප් එකේ අරන් යන්න පුළුවන් නේ.."

"අ... අනේ අයියේ.. චතුරංග අයියා හැම තැනම කොල්ලො දාලා මේ ගැන හොයන්න.. අපි දෙන්නා බොරු කරනවා කියලා අහුවුණොත් අපි දෙන්නටම ගහයි.. ආයේ එයා කිව්වා අපි දෙන්නව ප්‍රින්සිපල් සර්ට අල්ලලා දෙනවා කියලා.."

අන්න.. අන්න ඒවා නම් කැත වැඩ මල්ලි. ඒවා නම් ඔරිජිනල් ජපන් පෙරේත වැඩ.. මොකද කියනවා නම් තව එකෙක් එක්ක යාලුවෙලා ඉන්න කෙල්ලෙක් හරි කමක් නෑ, ට්‍රයි කරලා ට්‍රයි කරලා මහන්සිවෙලා යාලු කරගන්නවා නම්. ඒවට කියන්නෙ උපන්ගෙයි ටැලන්ට් කියලා. එහෙන නැතුව, බකට් ඇදලා ඒ ආදරේ කාබාසිනියා කරලා, ආදරේ කරන අයට ලැජ්ජා කරලා කෙල්ලව යාලු කරගන්නවා කියන්නෙ අන්තිම කුප්ප, කුජීත, සක්කිලි වැඩක්..

"ඒවට බයවෙන්න එපා මල්ලි.. ඒ චතුරංගය දවල් කාලේ දකින හීන.. ඔයාට නිලංකාව විශ්වාසද..?"

"ඔව්.. අයියේ.."

 කොල්ලා එකසිය ගානට ෆෝම් වෙලා උත්තරේ දුන්නා..

"එහෙනම් ඉතින් චතුරංගට කරන්න පුළුවන් බිබික්කමක් නෑ. ඔයා පංතියට යන්න.. මොනවා හරි ප්‍රශ්නයක් ආවොතින් මාව හම්බවෙන්න.. ඉතිරි  හරිය මං බලාගන්නම්.. "

"තැන්ක් යූ නවෝද් අයියේ..."

කොල්ලා ඇස් දෙකේ කදුළු හංගගෙන හිනාවුනා.. මගේ හිතටත් පොඩියට සතුටක් ආවා..

"හැබැයි....?"

"ඇයි අයියේ..?"

"ආදරේ කරනවා වගේම, ඉස්කෝලෙ වැඩ ටිකත් හරියට කරලා, ඉස්සෙල්ලම ඕලෙවල් ගොඩ දාගන්න දෙන්නම, මේ කාලෙදි ආදරේ අංක එක දුන්නොත්, අධ්‍යාපනේ ඉස්කෝලෙ පිටිපස්සෙ තාප්පෙන් පැනලා යනවා.. මලයා ඒකත් මතක තියාගන්න.."

කොල්ලගෙ මූණෙ හිනාව ටිකෙන් ටික මැකිලා යද්දි මං කොලෙජ් ලේන් එකෙන් මහපාරට ආවා. කරන්න දෙයක් නෑ.. කියන්න තියෙන දේ පොල්ලෙන් ගැහුවා වගේ කියලා දැම්මා.. නැත්නං ආදරේටත් කලින් මූ විනාශ වෙනවා දැකලා අපිටයි තනි ඇහැට ඇඩෙන්නේ..

උස දැවැන්ත ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම ඉස්සරහට හම්බවෙන්නෙ බාස්කට් බෝල් කෝඩ් එක. ඒ කෝඩ් එකට දෙපැත්තෙන් ටිකක් ඈතට වෙන්න තට්ටු දෙකේ බිල්ඩින් දෙකක් තිබුණා. හුගාක් වෙලාවට හවස බාස්කට් බෝල් මැච් තියෙනකොට, අපි ඒවා බැලුවේ, ඔය කියපු බිල්ඩින් වල දෙවැනි තට්ටුවෙ ඉදලා. ඒ හැම එකක්ම පංති කාමර වලට වෙන් කරලා තිබ්බා. බාස්කට් බෝල් කෝඩ් එකට පිටිපස්සෙන් විහිදිලා ගියපු තැන්නේ, ඉතිරි පංති වලට කාමර වෙන් වෙච්චි ගොඩනැගිලි හතර පැත්තටම විහිදිලා තිබ්බා. දොළහා වසරේ අපේ ක්ලාස්එක තිබ්බෙ බාස්කට් බෝල් කෝඩ් එක පහු කරලා, පඩිපේලි තුන හතරක් හැබැගෙන ගියහම ඉස්සෙල්ලම හම්බවෙන තට්ටු දෙකේ බිල්ඩින් එකේ.. 

"ඇති යාං...තන්.."

"ඔය එන්නේ...?"

"දෑස රිදෙනවා... පාර බලා ඉදලා.."

"මොන අලගෙඩියක් කලාද බං මේචචර වෙලා..?"

මාව දැක්කා විතරයි අපේ පංතියෙ කොල්ලන්ගෙ කටවල් වැඩ කරන්න පටන් ගත්තා. අපේ මුළු පංතියම මාත් එක්ක සිරාවටම ෆිට් වුණත්, බුදු ෆිට් එකේ හිටියෙ හත් අට දෙනෙක් විතරයි..

"පොඩි කේස් එකක් බං.."

කියාගෙනම මං පොත් ටිකත් අරගෙන ක්ලාස් රූම් එක ඇතුළට ආවා. කොහොමත් අපේ ක්ලාස් රූම් එක ඇතුළවොහම, ගෙදර ආවා වගේ තමයි. ඇයි ඉතිං කරන කියන හැමදේටම ඉඩ තියෙන්නෙ එතනනේ..

"මොකක්ද බං..?"

මාධව මගේ ඉස්සරහට ආවා. උගේ මුළු මූණම ලොකු කුතුහලයකින් පිරිලා තිබ්බා..

"චතුරංග, දහය පංතියෙ බබෙකුට බැල්ම දාලා.."

"ඉතිං..?"

මාධවගෙ කුතුහලේ එහෙම් පිටින්ම නැතිවෙලා ගියා. කොල්ලන්ටත් ඒක විශේෂ ප්‍රකාශයක් වුණේ නෑ. ඔව්.. ඉතිනං ඒක ඇති ගත යුත්තක් නෑ නේන්නම්.. කොල්ලෙක් කෙල්ලෙකුට බැල්ම දානවා කියන්නේ, මේ.. මේ සිහි නැතිවෙන්න තරම් අතුරු ආන්තරාවක් නෙමෙයි නේ.. 

"ඉතිං හිචිං ගාන්න එපා යකෝ.. දෙයක් කියනකොට ඩිංගක් මනුස්සකමට අහං හිටපං.."

"ඔව්.. ඔව්.. මේ මනුස්සකමටයි අහන්නේ.. දැන් ඔය නංගි බබාට මොකද වෙලා තියෙන්නේ..? චතුරංගයා ඒකිට බාස්කට් බෝලයක් දීලද..?" 

"ඌ දීපු ඇට මගුලක් නෑ.. ඒ නංගි බබා, ඒ පංතියෙම මල්ලි බබෙක් එක්ක යාලුවෙලා ඉන්නේ.. චතුරංගයා ගාල කඩාගත්තු හරකා වගේ ඒක මැද්දට පැනලා තියෙන්නේ.."

මගේ කතාවට නව අර්ථකතන හම්බවුණේ ඒ ප්‍රකාශනෙන් පස්සෙ. වැඩේ නැගලම ගියා. කොයි තරම් ඇග කිළිපොලා යන වැඩ කෙරුවත් අපේ කොල්ලො සෙට් එක නම්, ඔය වගේ පජාත වැඩ කරන්නෙ නෑ..

"චතුරංගයගෙ කොහොමටත් උණ ඩිංගක් වැඩියි.."

"ඩිංගක් නෙමෙයි මහේලයා.. ඌට අලි උණ.."

"ඕකගෙ උණ, නිව්මෝනියාව දක්වා වැඩි කරමුද මචං.. ඊට පස්සෙ බැරියැ බයිපාස් එකක් කරන්න.. ඕකා එතකොට අසාධ්‍ය වෙලා මැරිලා යාවි.."

ඉදලා ඉදලා මහේලයා කිව්වෙත් හිතේ ෆිට් එක දෙගුණ තෙගුණ වෙන කතාවක්..

"වැඩිය ඕන්නෑ බං.. අපි ඕකට බාස්කට් බෝල් කෝඩ් එකේම දාගෙන නෙලමුද..? ඌ නිතරම කියනවා කියන්නෙ.. ඌ ඉපදුනෙත් බාස්කට් බෝල්වලට, ඌ මැරෙන්නෙත් බාස්කට් බෝල් වලට කියලා.."

"නිකං ඉදපං මාධවයා.. ඌ කොහේද බාස්කට් බෝල් වල ඉපදුනේ.. ඔය අන්ඩර් නයින්ටීන් කැප්ටන්කම ඌට හම්බවුණෙත් කණා චාන්ස් එකකට.. ඕක හරි නම් හම්බවෙන්න තිබ්බෙ උෂාන්ට.."

"හරි බං... අපිට ඒවා වැඩක් නෑ. චතුරංගයා වැඩිය උඩ පනිනවා නම් අපි ඌව හයි ජම්ප් එකට දාමු.."

මහේල ආයෙත් අමුතු කතාවක් කිව්වා. ඌ කොහොමටත් කියන්නෙ, ඔය වගේ මෙලෝ රහක් නැති, අංඩර දෙමළ කතා තමයි..

"ඇයි නවෝද් පරක්කු වුණේ..?" 

කොහේ ඉදලද මංදා නිරෝමි මගේ ළගට ආවා.. කොහෙද ඉතින් ආපු වෙලාවෙ ඉදලා මුංගෙ කච කචේට අහුවුණානේ.. වර්තමානයයි, අතීතයයි පේන්නැතිවෙන තරමට...

නිරෝමි කියලා කිව්වේ අපේ පංතියෙ නායිකාව.. ඕනම අසාධ්‍ය කටයුත්තකට දුවලා පැනලා, බොක්කෙන්ම ගේමට එන්ටර් වෙන කූල් කැරැක්ටර් එකක්. කෙල්ල මං ගැන ලාවට ලාවට වගේ ඩිංගක් ඉන්ටෙරස්ටින් කියලා මට දැනිච්ච වෙලාවක් තිබුණා. ඒත් මං ඒවා ගැ ඒතරම් හිතන්න ගියේ නෑ. අපේ පංතියෙ නිරෝමිට වැඩිය ලස්සන කෙල්ලො කිහිපදෙනෙක්ම හිටියා. ඒ අයගෙනුත් ඉස්සරහින්ම හිටියෙ නෙහාරා..

"කියන්නකෝ.. නවෝද්.."

"මොකක්ද..?"

"වෙනදට වැඩිය අද ඔයා හුගාක් පරක්කුයි.."

"ඉතිං..?"

"මං ඇහුවෙ ඇයි පරක්කු කියලා.."

නිරෝමි එහෙනම් මං එනකල් මග බලන් ඉදලා.. හැබැයි මං පංතියට එනකොට කෙල්ල පංතියෙ හිටියෙ නෑ..

"පරක්කු වුණේද..? හ්ම්... කෙමිස්ට්‍රි පොත අරන් වරෙන් ලියලා දෙන්න.."

නිරෝමිගෙ මූණ ඇද වුණා. ටිකක් තෙලඑලලු පාට උනත් ඒකිගෙ මූන වගේම ඇගත් හරි ගතියක් තිබ්බා.. හැමදේම ගානට.. අඩුත් නෑ.. වැඩිත් නෑ...

"ඔ... යා.. හරි නරකයි.. නවෝද්.."

"අ..නේ.. ඇයි වස්තුවේ ඔයා අපේ නවෝදයා නරකයි කියන්නේ..? ඌ ඔයාට මොනව හරි කළාද..? ඔයාට ශාරීරික පීඩාවක්, මානසික ආතතියක් මූ ඇති කළාද.. ආ..?"

කොල්ලො සෙට් එකේ ඉස්සරහින්ම ආපු පැතුම් ඇහුවා..පැතුමා කොහොමත් කෙල්ලෝන්ට ඇගේ තියෙන හැම අවයවේකින්ම ආදරේ කරන එකෙක්. කොටින්ම ඌට චීත්ත කෑල්ලක්වත් පේන්න බෑ. වැඩිය ඕන්නෑ වැලක වනලා තියෙන බ්ලවුස් එකක් දැක්කත් ඌට කවි සිතුවිලි පහල වෙලා ප්‍රේමයෙන් හදවත මුසපත් වෙනවා..

"මට ඔයත්තෙක්ක කතාවක් නෑ පැතුම්.. ඔයා පාඩුවෙ ඉන්න.."

නිරෝමි පැතුම්ට කඩන් පැන්නා, මේ පංතියට ආපු දා ඉදලා මුං දෙන්නා ගෑනියි මිනිහයි වගේ මරා ගන්නවා..

"පාඩුවේ ඉන්න තිබ්බා.. ඔයා මගේ හදවත කෑවේ නැත්තම්.."

 ඌ ඒක කියපු තාලෙට මට බකස් ගාලා හිනා ගියා..

"පැතුම්, ඔයා හිතන් ඉන්නෙ මං වනචරියක් කියලද..? ඔයාගෙ හදවත කන්න.."

"ඒත් කමක් නෑ... මගෙ දෙයියො.. ඔයා එහෙම නම් මාත් වනචාරියෙක් වෙනවා.."

"ඒයි.... ඒයි.... මුං දෙන්නා මීනීමස් කාගන්න යන්නේ.. දුවපල්ලා......"

සවුත්තුවටත් එක්ක මහේල කියද්දි මුළු පංතියම හිනාවනේන ගත්තා. ඒ එක්කම තමයි ඉස්කෝලේ ඝාන්ඨාරේ දැල්ලා අතින් වැදුනේ.. දැක්කා කියලා කිව්වේ පීරියඩ් එකෙන් පීරියඩ් එකට කාල පරාසෙ පෙන්නන බෙල් ගහන මනුස්සයා. හැබැයි නිකනං හරි කොල්ලෙක් මෑන්ට දැල්ලා කියලා කියනවා ඇහුනොත්, දැල්ලන්ගෙ අම්මගෙ තාත්තාගෙ ඉදලා ජාතකේ මතක් කරනවා..

                        *************************************

ඉස්කෝලෙ පීරියඩ් දෙක චේතනා මිස්ගෙ විශය තමයි ඇප්ලයිඩ් පියෝ.. කොටින්ම චේතනා මිස් තමයි අපේ දොළහා සී ක්ලාස් එක භාරව හිටියේ. එයත් හරිම කූල් කැරැක්ටර් එකක්. කොල්ලො කෙල්ලො කෑගැහුවට සත පහකටවත් ගනන් ගන්නෙ නෑ. එයා එයාගෙ වැඩේ අපූරුවට කරගෙන යනවා. තව හදන්න වැඩිපුර ගණනුත් දෙනවා. කොහොම හරි ලාවට වගේ උදේ පාන්රම නිදිමතක් වගේ එද්දි, ඉතා අමාරුවෙන් පීරියඩ් දෙකම ගෙවිලා ගියා..

චේතනා මිස් පංතතියෙන් එළියට යද්දිම වගේ අපේ පංතිය ඇතුළට ඔලුව දැම්මෙ දොළහා බී එකේ චමිල්.. ඌට කවුරුත් ඇතිතැන වගේම නැති තැනත් කිව්වේ බලයා කියලා.. ඕකගෙ මොකක් හරි සම්බන්ධයක් බල මාලුවට තියෙනවා. ඒකයි ඒ නම් ඌට වැටිලා තියෙන්නේ.. බලයා කෙලින්ම හැරුණෙ මා දිහාට..

"ඒයි.. බෙකම්... අන්න උඹට පිනා සර් එන්න කිව්වා.."

ඉස්කෝලෙ දොලහා වසරේ ඒ ලෙවල් මැත්ස් ක්ලාස් වලින් ෆුට් බෝල් ටීම් එකේ හිටියෙ මායි, චමලුයි විතරයි. අපේ මැත්ස් ක්ලාස්වල කොල්ලො හුග දෙනෙක් මට කතා කරේ බෙකම් කියලා අන්වර්ථ නාමයක් දාගෙන. කොහොමටත් මං බෙකම් ට පණ ඇරලා කැමතියි. ඕක උන් හැමෝම දැනන් හිටියා. කොටින් අපේ ගෙදර මටත් වැඩිය බිත්ති වල ගහලා තිබ්බෙ බෙකම්ගෙ පිංතූර...

"හීනෙන්ද.... ආ.....?"

ඈනුමක් අරින ගමන් මාධව ඇහුවා..

"නෑ යකෝ අමු පාන්දර.. අමු පාන්දර.."

"මොකටද චමිල්..?"

පුටුව පස්සට දාන ගමන් මං ඇහුවා..

"මංදා බං.. විනයයි, පිනයි තමා කතා කර කර හිටියේ.."

බලයා කියපු කතාවෙන් කොල්ලන්ගෙ ඇස් උඩ ගියා. පිනා කෙසේ වෙතත් විනයා ඉන්නවා නම් අවුලක් තමයි. පිනා කියලා කිව්වෙ ප්‍රින්සිපල්ට, විනයා කියලා කිව්වෙ මුලු ඉස්කෝලෙම විනය කටයුතු පිළිබද පශ්චාත් උපාධියක් හදාරලා ඉන්න ජයසූරිය සර්. මොන මලදානෙ හොරෙන් කරත්, මිනිහට කොහෙන් හරි පුංචි පොටක් අහුවෙනවාමයි. කොල්ලො අපි සෙට් එක හිතුවෙ විනයා ඉස්කෝලෙ යන කාලෙ සියලු නසරානි වැඩ වලින් අගතැන්පත් වෙන්න ඇති කියලා. ඒකනේ මෙලෝ අවමගුලක් හොරෙන් කරන්න බැරි..

"ලෙඩක් වගේ නවෝදයා..."

"මටත් පේන්නෙ ඒ වගේ තමයි.."

"තලපතාගෙ සීන් එකවත් ආරංචි වෙලාද..?"

පැතුම්ගෙ කතාවෙන් මගේ ඔලුවට ආවෙත් ඒකමයි. හැබැයි තලපතාගෙ සීන් එක නම් මාර ගති කතාවක්. මතක් වෙනකොටත් ඇගේ හැම තැනකින්ම හිනා යනවා..

"ෆිසික්ස් වලට ටවුන් එකේ තියෙන හැම ඉස්කෝලෙමස ඒ ලෙවල් කරන කොල්ලො කෙල්ලො ටියුෂන් ගියේ ප්‍රනාන්දු ස්ර් ළගට. ඒක අපිටත් පොදු වුණා. ප්‍රනාන්දු සර්ගෙ ඇග පත ගැන කිව්වොත් හයේ හතරෙ සද්දන්ත කුලේ පතරංග අග පතක්. ඒක නිසා මීට අවුරුදු ගානකට කලින් ඉදලම ප්‍රනාන්දු සර්ට කොල්ලො කිව්වෙ තලපතා කියලා."

හැබැයි ඉතිං ප්‍රනාන්දු සර් කියලා කියන්නෙ, මම ඉගැන්වීමට උපන්නෙමි කියලා කියන ජාතියෙ පොරක්. හැබැයි ඒවටම විතරයි අනිත් එව්වා මේ ලෝකෙ දෙයක් නෑ.. උගන්වනවා හොද හින්දා යනවා මිසක තලපතාගෙ ක්ලාස් එකේදි නම් මේ ලෝක ගතියක් නෑ. ඒක ඇතුලෙ තිබ්බෙ, ඉගෙන ගන්නම ඒවා විතරයි. පාඩමට බාධා කරන ඒවා, සු සද්ද බද්ද, ලව් කතන්දර, අරවා මේවා මිනිහට වහා කදුරු වගේ තිත්තයි. ඉස්කෝලෙ ඇතුලෙදි කොයි තරම් ගනන්කාරයෙක් උනත්. ප්‍රනාන්දු සර්ගෙ ටියුෂන් පංතිය ඇතුලෙදි මීක් නෑ.. 

මොනවා  හරි අවුලක් උනොත්, ආයෙ දෙකක් නෑ කතා කරලා ස්ටේජ් එක උඩටම නග්ගලා. කොල්ලො කෙල්ලො හාරසීයක් පන්සීයක් විතර ඉස්සරහා පට්ට ලැජ්ජා කරලා තමයි පංතියෙන් එළියට දාන්නේ..

වෙන ෆිසික්ස් පංති නහුතයක්ම තිබ්බත් අවුරුදු ගානක ඉදලා උගන්නලා, උගන්නලා හෙණ සිරා ප්‍රතිඵල අරන් දීපු හින්දා ඕනම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම එකෙන්ම අත්දුටුවයි, ප්‍රථ්‍යක්ෂයි කියලා නිර්දේෂ කරන්නේ තලපතාව.

ඉස්කෝලෙ කොල්ලො, තලපතාට කිව්වෙ මැස්සා කියලා. ඒකටත් හේතුවක් තියෙනවා. මිනිහට මැස්සෙකුට වගේම හතර වටේම පේනවා. ෆිසික්ස් ක්ලාස් එකෙ ඕන අහුමුල්ලක කෙරෙන ඕන තරාතිරමක කන් මංත්‍රණ මිනිහට අල්ල ගන්න පුළුවන්.. කොයිම දවසක හරි මිනිහගෙ පංතියෙ බැනුමක් අහන්නැතුව එළියට ආවොත් ඒකත් වීරකමක් කියලයි කොල්ලො කෙල්ලො හිතුවේ..

එදා සිකුරාදා දවසක්. මං යනකොටත් ටිකක් පරක්කු වෙලා..

"බෙකම්..."

පංතියට හැරෙන අතුරු පාරට පැන්නා විතරයි කවුදෝ කතා කරා. මං හැරුණා. ඒ අපේ ඉස්කෝලෙ දොළහ ඒ එකේ ඉන්න නාලක..

"ඇයි..?"

"උගුරක් අදිනවද..?"

මං ඇස් පුංචි කරලා ඌ දිහා බැලුවා. නාලකයගෙ අතේ සිගරැට් එකක්. ඌ‍ට ටිකක් එහායින් මහේලයි තව කොල්ලො කීඵ දෙනෙකුයි හිටියා.

"ඔය කැහි කූරු ඇදලා මං ෆුට්බෝල් ගහනකොට දුවන්නෙ කොහොමද බං..? උඹට ඇදපං.. මට එපා.."

"බැරි නම් අවුලක් නෑ.. මං ෆිට් එකට ඇහුවේ.."

"ෆිට් එක කෙසේ වෙතත්, හොදට කට හෝදගෙන හැක්ස් ටොෆියක් කාලා වරෙන්. දන්නවනේ තලපතාගෙ හැටි."

"ඌට මගේ වලිගෙවත් අල්ලන්න බෑ බං.. ඒක නෙමේ කවදද උඹලගෙ මැචස් පටන් ගන්නේ..?"

දුම් ගුලියක් ආකාසෙ උඩට පිඹලා යවන ගමන් නාලක මගේ මූණට එබුණා.

"තවම නෑ බං.. උඹ කොහොමත් යූ.සී ග්‍රවුන්ඩ් එනවනේ.."  

"ආයේ අහලා.. උඹට චියර් කරන්නැත්නම් අපි කාටද චියර් කරන්නේ බෙකම්..?"

නාලකයගෙ කතාවට හිතේ ෆිට් එක උතුරද්දි මහේල ඌවත් තල්ලු කරගෙන මගේ ලගට ආවා..

"යමං පංතියට.. තව ටිකකින් තලපතා එයි.."

ඒ ඒකම තමයි කාඩ් මාක් කරන දුෂ්මන්ත කොලුවා ආවේ. ඌ ටිකක් එක විදියක එකෙක්. ඒ කියන්නෙ පිරිම රූපයක් ඌට ලැබිලා තිබ්බට් උගේ කතාබහ, ගමන බිමන හැම ලට්ට පටේම ගෑනියෙක්ගෙ වගේ තමයි..

"ඇයි අනේ ඔයාලා ඔතෙන්ට වෙලා ඉන්නේ..? පංතියට යන්නැද්ද..? බලන්නකෝ ඔක්කොම කට්ටිය වාඩිවෙලා.."

"ඉතිං... උඹට තියෙන අමාරුව මොකක්ද..?"

 හිටපු තැනින් එළියට ආපු නාලක, උගේ මූණ දුෂ්මන්ත ළගට ළංකරා. මහා අප්පිරියාවකින් මූණ අකුලගෙන ඌ නහය වහගත්තා.

"හානේ.. ඔයාලා ඔක්කොම හරි  නරකයි.. හැමෝම එකතුවෙලා සිගරැට් බිව්වා නේද..? ඉන්නකෝ.. මං මේක නම් ප්‍රනාන්දු සර්ට කියනවාමයි.. ඔවාලා ඕවටද දෙයියනේ පංති එන්නේ..? ඔයාලා හැමෝම මං අස් කරනවා.."

මං නාලකගෙ මූණ දිහා බැලුවෙ කටවහගනින් කියන්න. දුෂ්මන්ත කියන්නෙ. එපා එකයි ඕන එකයි හැමදේම ප්‍රනාන්දු සර්ට කියන, එලෝ මෙලෝ දෙකටම නැති එකෙක් නේ.. ඌට පිරිමි කමක් ගෑවිලාවත් නෑ..

"හා.. අස්කරවලා බලපංකෝ.."

"ඉන්නකෝ... ඔයා මගේ චූටි හිත රිදෙව්ව එකටයි, ඔයා කරපු නරක වැඩේටයි මං ඔයාට ඩිංගක්වත් සමාව දෙන්නෑ.."

"හැබැයි දුෂ්මන්තයා.... උඹ ප්‍රනාන්දු සර්ට කේලම් කියලා තිබ්බොත් හෙම, සකුන්තලාටවත් උඹව හොයන්න වෙන්නෑ.. ඒක දැනගනින්..."

"හානේ.. කවුද අ..යි..යේ.. සකුන්තලා.. මේ ක්ලාස් එකට එන ළමයෙක්ද.?"

 හොදටම අප්සට් වෙලා ඌ ඇහුවා..

"ඒක ඉස්සර කාලෙ කතාවක්.. උඹට ඒ පංඩිත කම් වැඩ් නෑ. අපි කිව්ව විදියට කට වහගෙන ඉදපං.."

"ඔය බලන්නකෝ ඉතිං. ඔයා හරිම නරකයි.. මාව තව බය කරනවා... මං යනවා කාමරේට.."

 තාලෙට පස්ස පද්ද පද්දා දුෂ්මන්ත ගියා..

"ඕකා කියයිද බං..?"

මහේල හිතේ අමාරුවෙන් වගේ මගෙන් ඇහුවා. පේන විදියට මූත් ඩම් එකක් ඇදලද කොහෙද ඉන්නේ.. ටිකකින් ප්‍රනාන්දු සර් ස්ටේජ් එක උඩට ඇවිත්, මයික් එකට සූ ගාලා පිම්බා. මිනිහා ඒක ටෙස්ට් කනරවා වගේ. එකපාරටම මුළු ශාලාවම නිශ්ශබ්ද වුණා.

"හැමෝටම සුභ සැන්දෑවක්. අද පංතිය පටන් ගන්න කලින් විසදන්න ඕන දෙයක් තියෙනවා. මෙතෙන්ට ඇවිල්ලා ඉන්න මේ දුවා දරුවන්ගෙ, රත්තරං දෙමව්පියෝ ඔය අයව මෙතෙන්ට එව්වේ මං ගැන විශ්වාස කරලා. අවුරුදු ගානම් මං පන්ති කරපු අත්දැකීම් දිහා බලලා. මං දන්නවා.. මං දන්නවා ඔයාලා මට කැමති නෑ.. අම්මලා තාත්තලා මට කැමතියි.. ඒත් ඒ රත්තරං දෙමව්පියන්ගෙ බලකිරීමට හරි ඔය ළමයි මෙතන්ට එන එක ගැන සංතෝස වෙනවා.."

මහා ගරු ගාම්භීර විදියට ප්‍රනාන්දු සර්ගෙ කතාව ගලාගෙන ගියා. ඒත් මට නිකං ඒ කතාවෙ අවුලක් දැණුනා. පොර මෙච්චර බටර් ගාන්නෙ හොදකට නම් නෙමෙයි.. රත්තරං කියලම කී පාරක් කිව්වද..?

"එහෙම ඒ වැදගත් දෙමව්පියෝ ඔයාලා මෙනෙත්ට එව්වේ, උසස් පෙළ ඉහලින්ම මේ විෂයය සමත් වෙනවා දකින්න. ඒත් ඒ වැදගත් දෙමව්පියන්ගේ, නැහැදිච්ච එවුන් කීප දෙනෙකුත් මේ අතර පතරෙ ඉන්නවා."

"නවෝදයා.... තලපතාගෙ කතාව හැරෙන්නෙ නම් හොද පැත්තකට නෙමෙයි.. දුෂ්මන්තයා වැඩේ අල කරලා වගේ.."

"කට වහගනින්... අන්න තලපතා බලනවා.."

"මං දැන් කතා කරන්නෙ අන්න ඒ නැහැදිච්ච එවුන් කීප දෙනෙකුට. මේ පංතිය පටන් ගන්නකොටම දැනට මාසෙකට විතර කලින් මං කිව්වා වැරදි වැඩ කරලා අහුවෙන්න එපා කියලා. මගෙන් සමාවක් නෑ කියලා.. හ්ම්.. ඔය අන්තිම පේළි දෙකේ ඉන්න එවුන් ඔක්කොම ටික, ඔතන පඩිපෙල ගාවින් බැහැලා මේ පැත්තට ආවා නම්."  

තලපතාගෙ කටහඩේ ගාම්භීර කම මට ඩබල් වෙලා ඇහුණා. ඒත් මට නම් සත පහක බයක් දැනුනෙ නෑ. ඒත් නාලකයා නම් වෙව්ලනවා වගේ මං දැක්කා. ඒත් ඔශ්කා නම් උපන්ගෙයිම ඇම්ඩා. මැත්ස් ක්ලාස් වල කොල්ලො කියන්නෙ, අර භාතිය - සංතුෂ් සිංදුවක් හදලා තියෙන්නෙ මූව දැකලලු, මුගේ වැඩ කෑලි දැකලා පැහැදිලලු.. අර තියෙන්නෙ මම පිසා කුලුනත් ඇද කලා - ටජ් මහලේ වහලෙන් බැස ගියා කියලා. ඒක තමයි සිංදුව.

"හතර විලිලැජ්ජාවෙ පණ යනවා.. කෙල්ලො ඔක්කොම ඉස්සි ඉස්ස ඉලනවා.. ෂිහ්.. මීට පස්සෙ පැණි හලලත් ඉවරයි.."

වෙන ඉස්කෝලෙක එකෙක් කුණු කුණු ගානවා..

"මොකටද බං ඔය තලපතා කතා කරන්නේ..?"

පේළී දෙකේ හිටපු, වෙච්ච සංසිද්ධිය නොදන්නා ඈයෝ විළාප තියනවා. උගෙ සමාජීය දැනුම ගැන සෑහෙන්න අනුකම්පාවක් මට දැණුනා. මුං නේද හත්වලාමෙ රටට දැයට උගත් පුරවැසියෙ වෙන්න ඉන්නේ.. ළග ඉන්න එකා කැහි කූරක් ඇද්දා කියලා දැනගන්න මුංට නහයක් නැද්ද අම්මපා..

"ආ... බෙකම්..! මොකද බං තලපතා අපිට ස්ටේජ් එකට කතා කරන්නේ..?"

"නිව්ටන්ගෙ ගුරුත්වාකර්ෂනය කියලා දෙන්න.." 

මට ඌට වෙන කියන්න දෙයක් තිබ්බෙ නෑ..

"හා.. හා.. ඉක්මන් කරනවලා.. තමුසෙලාව පංතියෙන් එළියට ඇදලා දාලා, මට නිවී සැනසිල්ලෙ මේ පංතිය කරගෙන යන්න ඕන.. හැදිච්ච දෙමාපියන්ගෙ නැහැදිච්ච කාළකණ්නි. මං කවදාවත් මගේ පංතියෙ තියාගන්නෙ නෑ. මං තමුසෙලා ඔක්කොම එළවනවා.."

"නාලක.."

"ම්....."

"උඹ හැක්ස් ටොෆිය කෑවද..?"

"ඔව්... ඔව්.. ඒවා හරි..."

"උඹ බය නැතුව ඉදපං.. මං තලපතාට කතා කරන්නම්"

"බෙකම්.. උඹේ වචනෙත් ඇති මචං. උඹ තමයි අපේ බුදු ෆිට් එක. ඔන්න බලපං මං මේ පාර තලපතාට දෙන්නෙ අලුත් අවුරුදු තෑග්ගක්.  ඌට ජාති ජාතිත් මතක් කර කර විදවන්න.."

ප්‍රනාන්දු සර් අපි හැමෝවම එළියට ගත්තා. පංතියේ කෙල්ලො කොල්ලො ටික ඉවක් බවක් නැතුව ඉස්සි ඉස්සි බලනවා. සමහර අම්ම වැඩි ඈයා් බංකු උඩත් නැගීගෙන.. මයික් එකත් අතේ තියාගෙනම තලපතා අපේ ඉස්සරහට ආවා. දැන ්නම් ඉතිං අදහන හැම දෙයියකේම සිහිපත් කර ගත්තා නම් හොදයි කියලා එතන හිටපු හැම එකාටම හිතෙන්න ඇති.

"ම්... ඉස්සෙල්ලම එනවා.. අපේ ෆුට් බෝල් කාරයා.. නිතරම ග්‍රවුන්ඩ් එකේනේ ඉන්නේ.... බලමු..."

ඒ කතා කරේ මට කියලා මං දන්නවා. මෙතන වෙන එකෙක්වත් ෆුට්බෝල් ගහන්නෙ නෑ..

"ක්‍රීඩාවයි, අධ්‍යාපනයයි දෙකම කරන ගමන් තව නොහොබිනා වැඩත් කරනවා එහෙනම්.."

මට බයක් කියලා නාමයක් දැණුනෙ නෑ. ඒත් තලපතා රවාගෙන ඉන්න හැටි දැක්කාම, හිත ඩිංගක් හෙල්ලුන්නෑ කියලා කිව්වොත් ඒක පට්ට මුසාවාදයක්..

"කෝ අත් දෙක දෙනවා මෙහාට.."

තලපතා ඒ පාර මොකකද් කරන්න යන්නේ.. මට හිතාගන්න බැරි වුණා. හරි නම් කටනේ ඉඹලා බලන්න ඕන.. මං හෙන පහැපි මූඩ් එකේ හිටියේ, තලපතාගෙන් කිස් එකක් ගන්න. එහෙනම් මේ ස්ටෝරිය ලියලා තලපතාගෙන් කිස් එකක් කියලා සිරස්තලේකුත් දාලා කලා සංගමේට යවන්න තිබ්බා..

"ඇ..... ඇයි ස...සර්.."

"ඇයි සර්.... තමුසෙලා හිතන් ඉන්නෙ මං මොකෙක් කියලද..? මතක තියාගන්නවා මාත් ඔය වයස පහු කරලයි මෙතනට ආවේ.. මං නිච්චියටම කියන්නම් මෙතන ඉන්න හැම එකාම හැක්ස් ටොපියක් කාලා ඇති. ඒක හින්දා මං කටවල් ගැන උනන්දු වෙන්නෙ නෑ. මං ඉඹලා බලන්නෙ, තමුසෙලගෙ අත්.. හහ්.. හහ්.. හා... තමුසෙලට බෑ මාව තම්බන්න.."

විරයා වගේ ප්‍රනාන්දු සර් කියද්දි මට උඹේටම නාලක දිහා බැලුණා. ඌ හිටියෙ පේලියේ හතරවෙනියට. උගේ මූණ තිබ්බෙ මහා ඇම්ඩන් හිනාවක්. මේකා මොනවාකරන්න හිතාගෙන ඉන්නවද මංදා..

තලපතා ඉස්-ඉස්සෙල්ලාම නමෝ විත්තියෙන් මගේ අත් දෙක ඉඹලා බැලුවා. එකපාරටම ඒ රවුම් මහත මූණ මහා පුදුමයකින් වැහිලා ගියා. බලාපොරොත්තු කඩවුණු ඒ දාර සයිස් ඇස් දෙක දිහා මං බලන් හිටියෙ මාර ගතියකින්..

"වෙන්න බෑනේ.. මං දැක්කනේ තමුසෙලා අර අතුරු පාරේ කැහි කූරු අදිනවා.. හ්ම්.. කෝ ඊළග.."

ඊගාවට හිටපු කොල්ලො දෙන්නා මේ අලකලංචිය ගැන මෙලෝ සංසාරයක් දන්න එවුන් නෙමෙයි. උංට බයටම ගිනි පත්තුවෙලා තිබුණා. අනික උං දෙන්නගෙ කෙල්ලෝ දෙන්නත් හිටියේ මේ ක්ලාස් එකේමයි. ඉතිං පරිප්පුවක් කෑවොත් සදහටම ඔබ මගේ - නෑව මං හැමදාම වගේ කිය කියා ඉන්නයි වෙන්නේ.. කොහොම හරි දෙවනි පාරත්, තුන්වෙනි පාරත් අත් අල්ලලා ඉම්බත්, තලපතාගෙ පූජනීය අදහස ඉෂ්ඨ වුනේ නෑ. දැන් දැන් ඒ ගොරෝසු මූණෙ තිබ්බෙ ගිනියම් වෙච්ච කේන්තියක්. මොනවා උනත් ඊගාව පේලියේ හිටගෙන ඉදපු නාලක දැක්කාම ප්‍රනාන්දු සර්ගෙ මූණට සිරා හිනාවක් අවා. සර් ඉන්තේරුවෙන්ම දන්නවා මේ ඇම්ඩා නම් අනිවාර්‍යයෙන්ම බට් එක අදිනවා කියලා. ඒත ආයෙ හොදන්න දෙයක් නෑ කියලා.

"කෝ දික් කරනවා මෙහාට අත් දෙක.."

නාලක බයෙන් සැකෙන් වගේ තලපතා ළගට ගිහින් අත් දෙක දික් කරා. මිනිහා කිසිම අවුලක් නැතුව නාලකගෙ අත් දෙකම, නහය ඇතුලෙ ඔබාගත්තා. හැබැයි ඒ තත්පරේක විතරයි. වමනෙ පාරක් දානකොට සුලින්ම ඇහෙන ඇග කිලිපොලා යන ලස්සන ඕක සද්දෙ ඒකක් තලපතා පැත්තකට පැන්නා..

"උඹ මොනවද යකෝ බිව්වේ..? ................ දිය කරලා බිව්වද..?"

හෝ ගාලා හෝටල් පාර දාන ගමන් තලපතා රාස්සයෙක් වගේ කෑගැහුවා. ඒකියවුණු වචනත් එක්ක මුලු පංතියම මහා සද්දෙට හිනාවෙන්න ගත්තා. හැබැයි උනේ මොකක්ද කියලා කාටවත්ම හිතාගන්න බැරිවුණා. එතැනින් පස්සෙ තලපතා කාවවත් ඉඹින්න ගියේ නෑ. එදා පංතිය කලින්ම නැවැත්තුවා. පංතිය ඇරිලා තත්පර ගානයි ගියේ. ළමයි පනහක් හැටක් විතර ගෑනු පිරිමි භේදයක් නැතුවම ඇවිදින් නාලක වට කර ගත්තා. මාත් හිටියේ ඌ ළගමයි.

"ත... තලපතාට මොකද කරේ නාලක..?"

වෙන ඉස්කෝලෙක එකෙක් ඉස්සෙල්ලම ඇහුවා. එතන ඉදපු හැමෝගෙම හිත්වල තිබ්බ ප්‍රශ්නෙ ඒකම තමයි..

"මුකුත් කරේ නෑ බං.."
   
"නැතිවෙන්න බෑ... එහෙනම් ඒකා අර වමනෙත් දැම්මේ.."

"ඔව්.. ඔව්.. තලපතාට සිහිය නැතිවෙලා වගෙ හිටියෙත්.."

"ඊයෙ රෑ කාපු බිත්තරේකුත් ඌ වමනෙත් එක්ක දාලා තිබුණා."

එතන හිටපු පිරිමි ඉස්කෝලෙ එකෙක් අමතු කතාවක් කිව්වා.

"අනේ කියන්නකෝ නාලක, අගේ නොකර.. ඔයා මොකකද් ප්‍රනාන්දු සර්ට කරේ...?"

කොන්වන්ට් එකේ කෙල්ලෙක් ඉස්සරහට පැනලා අහද්දි ඔන්න නාලකයා අප් වුණා. උගේ කලු ඉංගිරියෝ දෙන්නත් කැත නැතුව ඉස්සරහට පැන්නා..

"ආ.. ඒක ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි.. තලපතා අත් ඉඹ ඉඹ එනකොට මං බිත්තියෙ ගාවම තිබුණු හූණු බෙට්ටක් අතේ ගාගෙන ඌට ඉඹින්න දුන්නා.."

"ඊය්යා..."

"ශික් විතරක්..."

"මහා.. ජරා ලමයෙක්..."

"කැතේ බෑ අනේ..."

"මැනර්ස් කියලා ජාතියක් දන්නෙම නැති ළමයෙක්.."

වටපිටාවෙන්, නානා ප්‍රකාර සද්ද ගෑනු ළමයින්ගෙන් ඇහුණා. සමහර ගෑනු ළමයි වමනෙ යන්න එනවා වගේ කටවල් වගෙන එතතින් මාරු වුණා. එත් එදා ඉදලා නාලකයා, ෆිසික්ස් ක්ලාස් එකේ අසහාය වීරයා උණා. ඌට වැඩිය පොරක් හොයාගන්න බැරි වුණා.

ඔනන් ඕකයි තලපතාගේ කතාව.. සමහර විට තලපතා පිනාව හම්බවෙලා, මේ ඉස්කෝලෙ ජනප්‍රියම ශිෂ්‍යයෙක් කැහිකූරු කතාවෙ මුලින්ම ඉන්නවා කියලා මාව පාවලා දුන්නද දන්නෑ. එදා නාලකයා කරපු වැඩෙන් තලපතාට නහුතෙටම තදවෙන්න ඇත්තේ පංතියෙ කොල්ලො කෙල්ලොන්ගෙ සිරික්කියට. ඉඹපු ගද නම් වමනෙ දාලා  හරි ඉවර වෙයි.. ඒත් හූ තිය තියා හිනාවෙච්ච සද්දෙ හැමදාම පපුව ඇතලෙ දෝංකාර දෙනවනේ..

"කවුරු කලත්, ඉස්සෙල්ලම එනවුස් කරන්නෙ, නවෝදයගෙ නමනේ බං.. මූ හතේ පංතියෙ ඉන්නකොටත් දහතුන වසරෙ එවුන්ට වැඩිය ෆේමස්.. මතක නැද්ද උඹලට..."

"ෂුවර් එකටම තලපතා හැරෙන තැපෑලෙන් ලියුම එවලා.."

"විනයක් ඔතෙන්ට ගෑවුණා කියන්නෙ අවමගුලක් තමයි.. ඔය අලුගුත්තේරු වාහේ නැති තැනක් නෑනේ බං.."

කොල්ලො විවිධ අදහස් දක්වනවා. ඒත් ඒවා එකෙක්වත් මට ෆිට් වුණේ නෑ. ප්‍රින්සිපල් සර් හම්බවෙන්න යන්න, ක්ලාස් එකේ දොරකඩට එනකොට චමිල් උංගෙ ක්ලාස් එකට රිංගාගෙන ඉවරයි. උංට දැන් පතියෙන්නෙ කමල් සර්ගෙ ෆිසික්ස් කියන්න මං දැනගෙන හිටියා. ආපහු හැරිලා පංතිය දිහා බලද්දි නිරෝමි මං දිහා බලාගෙන හිටියෙ බයවෙලා වගේ. මේ කෙල්ල මොනවට මං ගැන මේතරම් බය වෙනවද මංදා..  

"බෙකම්.. අපි එන්නද උඹත් එක්ක..?"

පැතුමයි, මහේලයි මගේ ළගට ආවා..

"ඕන්නෑ බං.. අවුල මොකක්ද කියලා මං බලලා එන්නම්.. ලොකු අප්සට් එකක් වෙන්න බෑ. වැඩිම උනොත් තලපතාගෙ සීන් එක තමයි.."

"එහෙනම් නාලකයටත් කතා කරන්න එපායෑ.."

"අනේ පැතුම්.. ඔයයි, මහේලයි, නවෝද් එක්ක යන්න.. මොකක්ද ප්‍රශ්නෙ කියලා දන්නෑ නේ.."

ඒ පාර නෙලුනිත් කතාවට සම්බන්ධ වෙලා...

"ඒයි.. මේ බලපල්ලකෝ.. බෙකම්ට තියෙන සැලකිලිවල තරම.. නෙලුනි මං කිව්වයි කියලා හිතාගන්න.. ඔයා ඔය කන්න හදන්නෙ මගේ කැවුත්ත.. ඔයාට කොහොමටවත් වැඩක් නෑ බෙකම් ගැන හිතන්න. මේ ඉස්කෝලෙ ඉන්න හැම කෙල්ලම ඌ ගැන හිතන්න ගියොත්, ඇයි යකෝ කොන්වන්ට් එකෙන්ද කෙල්ලෙක් හොයාගන්නේ..?"

පැතුමා, නෙලුනිට කඩාගෙන පැන්නා. කොල්ලො කෙල්ලෝ ආයෙත් හිනාවෙන්න ගත්තේ, නිරෝමිගෙයි, පැතුම්ගෙයි වනචාරී කතාව මතක් වෙනා වෙන්න ඇති..

"නෙලුනි... ඔයත් එකක් මතක තියාගන්න.. මං ඇගේ හැම අවයවේකින්ම ඔයාට ප්‍රේම කරන එකෙක්. අනික නවෝදයා ෆුට්බෝල් ගහන්නේ.. ඔයා උනන්දුවක් දක්වන්න ඕන ක්‍රිකට් ගහන ඈයෝ ගැන. මං මේ පාර ටීම් එකේ දෙවනි අතිරේක ක්‍රීඩකයා.." 

නෙලුනිගෙ මූණ රතු වුණා. ඒ ඇයි කියලා කියන්න අපි හැමෝම දැනන් හිටියා. මොකද නෙලුනිගෙ තාත්තා සරත් සර්.. ක්‍රිකට් මැච් වල අම්පයර් කෙනෙක් හින්දා.. ඒත් නෙලුනි නම් ක්‍රිකටර්ස්ලට බිංදුවක්වත් කැමති නෑ කියන්න මේ බෙකම් නම් හොදටම දැනන් හිටියා..

"ඇයි මං ක්‍රිකටර්ස්ලා ගැන උනන්දු වෙන්නේ..?"

"ඔයත් එක්ක යාලුවෙන, ඕන කොල්ලෙක් ඇගිල්ල විතරක් උස්සල අවුට් කරලා දාන්න සරත් සර්ට් පුළුවන් සීදේවි.. එතකොට අපි වගේ හැන්ඩියොන්ට ටීම් එකට එතෑකි.."

 නෙලුනිගෙ මූන මැලවිලා යද්දි මං පංතියෙන් පිටවුණා. පැතුමයි, මහේලයි මගේ පිටිපස්සෙන් බාස්කට් බෝල් කෝඩ් එක ළගට ආවා..

"උඹලා පංතියට පලයල්ලා....."

"බලයා, ලනුවක් දුන්නද දන්නෙත් නෑ.."

"නෑ මහේල.. ඌ මට බොරුවක් කියන්නෙ නෑ.. මං යනවා.."

කොරිඩෝ එක දිගේ හෙමින් සීරුවෙ ඇවිදගෙන ඇවිත් ප්‍රින්සිපල්ගෙ ඔෆිස් රූම් එක ළග මං නතරවුණා. ලස්සනට සුදු පාටට බැබලි බැබලි තියෙන මේ රූම් එකට කී පාරක් නම් නවෝද්ව ගෙනල්ලා තියෙනවද..? ඒ ඉතිං නරක දේවල් වලට වගේම හොද දේවල් වලටත් එක්කනේ..

"ආ.... එනන් නවෝද්..."

මාව දැක්කා විතරයි ප්‍රින්සිපල් සර් අත වනලම කතා කරා.. ඒ කටහඩේ අවුලත් ආවාධයක් පේන්න තිබුණේ නැති හින්දා මගේ පපුවට අලුත් හුස්මක් වැටුණා. ප්‍රින්සිපල් සර් එක් විනය භාර ජයසූරිය සර්රුත්, ක්‍රීඩා අංශ බාර සෝමතිලක සර්රුත් ලොකු කතාබහක  හිටියේ. මේක නම් පොතේ  හැටියට තලපතාගෙ කේස් එකක් වෙන්න බෑ. වෙන මොකක් හරි අටමගලයක් තමයි..

"නවෝද්... දන්නවද අපි එන්න කිව්වෙ ඇයි කියලා..?"

විනයා කටහඩ බර කරලා අහද්දි නම් මං ටිකක් සීතල වෙලා ගියා. ඉතා හොදට ආදරෙන් සෙනෙහසින් මත්වෙලා වගේ කතා කරලා, කණ පැලෙන්න බනින් එක විනයගෙ සංසාරගත පුරුද්දක්. ඒක කිසිදු අඩුපාඩුවක් නැතුවම ප්‍රින්සිපල් සර්රුත් පුරුදු පුහුණු වෙලා හිටියා. එතන තිබුණ එකම සැනසීම අපේ කොයි දේටත් දුකට සැපට ඉදපු සෝමතිලක සර් විතරමියි..

"දන්නෑ සර්..."

 මං බොහොම අහිංසක ලීලාවෙන් කිව්වා.. මං දන්නවා මේ හැගීම්බර් මූණට, බලන් ඉන්න එවුන්ගෙ මුළු හදවතම දියවෙලා වතුර වගේ වැක්කෙරෙනවා කියලා.. ඒත් ඒ ආකිමිඩියස් මූලධර්මෙ විනයටයි, පිනාටයි අදාලා වුණේ නෑ. ඒ වගේ ගල් කාෂ්ඨක හදවත් වලින්ලු මිසරයේ පිරමිඩ හදලා තියෙන්නේ..

"අපි මේ ගැන නවෝද්ට දැනුම් දෙන්න කලින්  හුගාක් සාකච්ඡා කලා. අපිට පැති කිහිපයකින් යම් යම් ප්‍රශ්න ආවා. මොකද මේ පාසලට බලපෑම් කරන්න පුළුවන්, ඕල්ඩ් බොයිස්ලා වගේම, වටපිටාවෙ පුද්ගලයෝ සෑහෙන ගානක් ඉන්නවා. එයාලා අපි කරන කියන හැම දේම දිහා හොද අවධානයකින් බලාගෙනයි ඉන්නේ.. ඒත් ඒ හැමදේටම වඩා අපිට වටින්නෙ ඉස්කෝලෙ අභිමානය, ගරුත්වය."  

විනයා නවත්තපු තැන ඉදන් කතාව පටන් ගත්තෙ ප්‍රින්සිපල් සර්. මොන අලකලංචියක් අදින්න හදනවද මංදා. ගරුත්වයයි, අභිමානයයි තියාගන්න ඕන දේවල් තමයි. ඒත් ඒවා විහිලුවකටවත් බඩගිනි වෙලාවකට කන්න නම් බෑ නේ. කොටින්ම මාළුපාන් ගෙඩියක් තරම්වත් වටින්නෙ නෑ. ඒත් ඉතිං පෙනුමට නම් හොදයි. මොන මාලුපාන් ගෙඩිය උනත් මේකට තලපතා ගෑවෙන්න එපා කියලා මං තු් සිතින්ම ප්‍රාර්ථනා කලා.  සමහර විට තලපතා, විනයට SMS එකක් යැව්වද දන්නෙ නෑ. ඒත් ඉතිං පීසා කුලුණත් ඇද කරපු, ටජ් මහලේ  වහලෙන් බැහැපු, අපේ ශ්‍රී ලංකා ඇම්ඩා, දොලහා වසර ඒ පංතියෙ ඉන්දෙද්දි මාව කැදවපු එකනේ අවුල..

"ම.. මට සර් කියන දේ තේරෙන්නෙ නෑ.."

"අපි තීරණය කලා.. ෆුට් බෝල් ටීම් එකේ නායකත්වය ඔයාට බාර දෙන්න.. ඔයා ඒකට ලෑස්තිද..?"

සෝමතිලක සර්ගෙ වචන වලින් මට දැනුනෙ මං අහසෙ පාවෙනවා වගේ හැගීමක්. මගේ දෙයියනේ.. කෝයි තරම් ලස්සන, කොයි තරම් සංතෝස ජනක ආරංචියක්ද මේ..? මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. මගේ ඇස්වලට කදුළුත් පිරීගෙන ආවා..

"ඔව්.. සර්... මං ඒක බාරගන්න ලෑස්තියි. මං මගේ උපරිමයෙන්ම මේ ඉස්කෝලේ දිනවන්න ට්‍රයි කරන්නම්.. සර්ලට හුගක්  ස්තුතියි"

"නවෝද්.. මේ ඉස්කෝලෙ ගැන එහෙම හිතන එකත් අපට ලොකු ආඩම්බරයක්. අපිට ඔයා ගැන හැමදාටම ආඩම්බරයක් වෙන්න ඉඩ තියෙන්න." 

තවත් මෙතන හිටියොත් පිනයි, විනයයි මොනවා කියයිද දන්නෑ. ඒක හින්දා මං ඔෆිස් එකෙන් එළියට ආවා. වැඩි විස්තර සෝමතිලක සර් හම්බවුණහම දැනගතහැකිනේ.

"බෙකම්... මොකෝ අවුල..?"

අපේ පංතියට ගොඩවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මුලින්ම මට පණවිඩේ දුන්නු බලයා පංතියෙන් එළියටම ඔලුව දාලා ඇහුවා. ඒ තරංගනී ටීචර් උංගෙ පංතියෙ ඉදිද්දිමයි. ටීචර්, චමිල්ට පැලෙන්න බනින ගමන් පාඩම පටන් ගත්තා. මං අපේ පංතියට ගොඩ වුණා..

"නවෝද්... මෝකද උනේ..?"

"අවුලක්ද මචං..?"
           
"අවුලක්නම් ඉක්මන්ට කියපං.. පවුලක් වෙන්න.."

"බලපල්ලා මුගේ මොනවා හරි අඩුයිද කියලා.."

"නෙලුනි ලංවෙලා බලන්න නවෝද්ගෙ හාට් එක තියෙනවද කියලා.."

"ඇයි..?"

"විනයට එහෙම එකක් නැති හින්දා. මුගේ එක අරගත්තද දන්නෑ නේ.."

මාධව කියද්දි හැමෝගෙම මූණු හිනාවනේ පිරුණා..

"බෙකම්...? සිරාවටම මොකෝ උණේ..?"

ආයෙත් අල්ලපු පංතියෙ චමල්ගෙ කටහඩ ඇහෙද්දි අපි හැමෝම ඒ පැත්තට හැරුණා. මෙන්න දෙයිහාමුදුරුවනේ මේකා අපේ පංතිය ඇතුළෙ.

"යකෝ... තරංගනී මිස් ඉන්නවා නේද පංතියේ..?"

"ඔව් බං.."

"ඉතිං.. තෝ අපේ පංතියට ආවේ..?"

"මට මුගේ සැපදුක් අහන්න හිතුනා බං.."

ඌත් මාර වෙලාවට තමයි මගේ සැප දුක් අහන්න ඇවිත් තියෙන්නේ.. උංගෙ පංතියෙ මිස් උගන්නන වෙලාවක..

"යකෝ.. පංතියට පල.. තරංගනී මිස් ආවොත් අපිටත් දෙහි කපයි.."            
මෙච්චර වෙලා කතා බහක් නැතුව ඉදපු කල්හාර කිව්වා. ඌ කොහොමත් අධ්‍යාපනේ ගැන උනන්දුවෙන් හිතන එකෙක්. බොහෝම භක්තියෙන් පාඩම් වැඩ කරන එකෙක්. ඒත් ඌ කවදාවත් පංතියෙ විසිවෙනියගෙන් උඩට නම් ආවෙ නෑ. හැමෝම ඌට නෝන්ඩිය දානකොට ඌ කියන්නේ, පංතියෙ මිස්ලා කැමති ඌව විසිවෙනියගෙන් පල්ලෙහා තියන්නලු.

"ඔව් අනේ.. ඔයා පංතියට යන්න.. දන්නවනේ තරංගනී මිස්ගෙ හැටි..."

"මාව පංතියෙන් එළියට දැම්මා කෙල්ලේ.."

ඌ ඒක කිව්වෙ, බොහෝම ප්‍රීතිමත් විදියට. එතැන ඉදලා ප්‍රිනිසිපල් කියපු දේවල් හැමෝටම කියද්දි කොල්ලො කෙල්ලා එක හුස්මට හුරේ පාරක් දැම්මා..

"එහෙනම්... අලුත්ම ෆුට්බෝල් කැප්ටන් ඉන්නෙ අපේ පංතියෙ ආ..."

මහේලට එච්චරයි කියන්න හම්බවුණේ..

"මො..ක..ද.. මේ.? මේක නාඩගම් මඩුවක්ද..?"

අපේ පංතියට මූණ දාපු තරංගනී මිස්ගෙ කේන්තිය පෙට්ටියෙන් එකයි. තත්පරේට දෙකට අපි හැමෝම සයිලන්ස් වුණා. එතකොට තමයි මිස්, බලයව දැක්කේ. මිස්ගෙ ඇස් බෝල් දෙක, කුරුම්බැට්ටි සයිස් එකට ලොකු වුණා.

"චමිල්.. ඔයා මොකද මේ පංතියේ..? මං ඔයාට කිව්වෙ එළියෙන් ඉන්න කියලා නේද..?"

"ඇත්තද මිස්..? මටනම් ඇහුනෙ අල්ලපු පංතියට වාහාම යන්න කිව්වා වගේ. අනේ මංදා මට මේ දවස්වල හෙණට අපලයි. අපෙ අම්මා මට බෝධි පූජාවකුත් තියනවා.."

චමල්ගෙ කතාවට පංතියෙ හැමෝටම හිනායන්න ආවත්. හැම එකාම හිනාව නවත්තගෙන හිටියෙ, තරංගනී මිස්ගෙ හැටි දන්න හින්දා. හොරු කඩාපු ලාච්චුවක් වගේ වෙච්ච මූණ පිටින්, තරංගනී මිස් ආපහු යද්දි කොල්ලො කෙල්ලො හික ිහිකි ගාන්න ගත්තා. බලයා මට ඇහැකුත් ගහා කොරිඩෝ එකට ගියා. ඌ පුලුවන් නම් අද දවසෙම ඔතන ඉදියි..

                          ************************************

ඉන්ටවල් එක වෙලාවෙදි පංතියෙ කොල්ලො, කෙල්ලො ටික ඔක්කොම මට විෂ් කලා.. ඒ වෙනකොට අනිත් පංති වලට නිව්ස් එක ගිහින් තිබුනා. මං හිතන්නෙ බලයා කොරිඩෝ එකේ ඉදගෙන හැම පංතියටම නිව්ස් එක යවලද කොහේද..?

"බෙකම්.."

ඉන්ටවල් ඉවරවෙන්න ඔන්න මෙන්න කියලා වගේ තියෙද්දි 12 වසර ඒ පංතියෙ ඇම්ඩා මගේ ළගට ආවා. උගේ මූණෙ හිනාව කට කපලා එකයි.

"වැඩේ ආරංචියි.. මැක්සා මචං.. මැක්සා ආ... මට බොක්කෙන්ම සංතෝසයි බං... උඹ ඇරෙන්න ඔතෙන්ට හරියන වෙන කිසිම එකෙක් නෑ බං. " 

"තැන්ක් යූ නාලක.."

"උඹ.. අපි හැමඑකාගෙම ෆිට් එකනේ බෙකම්.. උඹඨ අවුලක් වෙන්න අපි ඉඩ තියන්නෑ.."

ඇම්ඩගෙ කතාවෙ පුංචි කොස්සක් මට දැනුනා. මං උගේ මූණ දිහා බැලුවා. අර මුලින් තිබ්බ හිනාව වෙනුවට ලොකු කල්පනාකාරී බවක් ඒ මූණ මැදට ඇවිල්ලා තිබුණා.

"අවුලක්... මොකක්ද නාලක..?"

"පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා ආරංචියි.."

"ඒ කිව්වේ..?"

" මේ පාර අන්ඩර් නයින්ටීන් ටීම් කැප්ටන් එක පෙත්තාවඩුවට නොදී උඹට දීපු එක ගැන.."

"පෙත්තාවඩුවට හරියට සෙල්ලම් කරන්න බෑ නේ බං.. රාහුලෙත් එක්ක තිබ්බ මැච් එකේ ඌ අපිව විනාස කරලා දැම්මනේ බං.."

"ඒක තමයි, ඒත් පිනයි, විනයයි, සෝමතිලක සර්රුයි කරන්න ඕන හොදම වැඩේ කරලා තියෙනවා.. උඹට කැප්ටන් කම දීළා.."

පෙත්තාවඩු කියලා කියන්නේ. 13 වසරේ කොල්ලෙක්. උගේ මොකක්දෝ උප්පත්ති දෝසෙකට ඌ යන්නෙ පොලොවට අගල් ගනක් උඩින්. කිසිම විශ්වාසයක් තියන්න බැරි එකෙක් වගේම මේ ලෝක මනුස්සකමක් ගෑවිලාවත් නැති එකෙක්. මොන කරුමෙකට අපේ ෆුට්බෝල් ටීම් එකට සෙට් වුනාද මංදා. ඒ උනාට උගේ ඇගපත නම් දාර සයිස්..

"ඒ කියන්නෙ මගේ කැප්ටන් කමට ඌ බකට් එක අදින්නද හදන්නේ..?"

"මට හිතෙන විදියට නම් ඔව්. කෝකටත් අපි නිවාඩු පාඩු වෙලාවක සෝමතිලක සර්ව හම්බවෙමු. ඒක ඇගට වගේම හිතටත් ගුණයි. අන්න දැල්ලා බෙල් එකට පාතබන්නයි යන්නේ.. මං යනවා.."

 නාලක යන්න ගියා.. ඒ එක්කමයි මහේල ළගට ආවේ.

"ඇම්ඩන් මොකද කියන්නේ.?"

"පෙත්තාවඩු ගේම ඉල්ලනවා කියන්නේ..?"

"මොකක්...? "

"ඔව්... මාව කැප්ටන් කලාට.."

"යකෝ ඒක මාර කතාවක්නේ.. ඕකට විනාඩි දහයක් දුවන්න බෑ.. හති කූඩයයි.."

"අනික බෙකම්නෙ.. ඉස්කෝලෙ ඉන්න හොදම ප්ලේයර්. මූට නොදී පෙත්තාවඩු කියන්නෙ ඌට ඒක දෙන්න කියලද..?"

පැතුමත් පැත්තක ඉදලා කතාව අහගෙන වගේ..

"ඌ  හිතනවද දන්නෑ.. බොඩි බිල්ඩින් කරලා අත් දෙක විතරක් හදාගත්තට, ෆුට්බෝල් ගහන්න පුලුවන් කියලා.."

"ඔව්... නවෝදයා.. ඌ දුවන්නෙ බයිසිකල් හැඩල් එකක් උගුරෙ හිරවෙච්ච ගානට.. මස්ල්ස් පුම්බගෙන.. හරියට ෆුට්බෝල් ගහනනෙ අතින් වගේ.."

"ඒකද ඌ මස්ල්ස් පිම්බුවාහම, උරිස්සයි, වැලමිටයි අතරෙ දොඩම් ගෙඩි වගේ ගැට ගැට එන්නේ..?"

"පිස්සුද පැතුමා.. ඒ ඌට බඹරු ඇනලා.. තාම ඉදිමුම බැහැලා නෑ."

කොල්ලො යස කතා තමයි කියන්නේ. පෙත්තාවඩුගෙ ආත්මෙම මෙතන ඉවර කරයි වගේ. මොනවා උනත් පෙත්තාවඩුගෙ තාත්තා, අපි මිනිහට කිව්වෙ මහා පෙත්තාවඩු කියලා.. මහා පෙත්තාවඩුට හොද සල්ලි තිබුණා. ඒ සල්ලි වලින් කරන්න බැරි දෙයක් නෑ කියලයි උං හිතන් හිටියේ. ඒත් කැප්ටන් කම පෙත්තාවඩුවට හම්බ නොවී මට හම්බවෙලා කිව්වාම මහා පෙත්තාවඩුගෙ කලර්ස් එතනින්ම ඉවරයි.....











         

8 comments:

  1. ela ela patta kathawa ikmanata ithuru tikath one. me wage katha eka husmata kiyawanna puluwan...
    jaya wewa..
    and thanks for share with us....

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.. පටන්ගත්තොත් අනිවාර්යෙන්ම ඉවර කරනවා.. ඒකයි කට්ට කලා පිටු ගනන් ටයිප් කරන්නේ.. :) එක කතාවකට පස්සෙ තව කතාවක් පටන්ගන්නවා..

    ReplyDelete
  3. ela machan, digatam liyapan.
    Jayawewa.........!

    ReplyDelete
  4. නියමයි. සුබ පතුම්. ඉක්මනට ලියලා ඉවර කරන්න.......

    ReplyDelete
  5. Patta Machan. Niyamai. Uparimai.Thanks Machan Ube Mahansiyata.

    ReplyDelete
  6. @අන්තර්ජාලයෙන් මුදල්
    අනිවා මචෝ.. ස්තුතියි ප්‍රතිචාරයට..

    ReplyDelete
  7. @Anonymous 1 - ස්තුතියි මචෝ..

    @Anonymous 2 - ස්තුතියි මචෝ.. අනිවා ටයිප් කරනකොට තමා හොද ගනන්.. :D අත් දෙක නෑ වගේ

    ReplyDelete
  8. Man awe D3 mallige hithawathkamin...
    Thank you sooo much....

    ReplyDelete