Thursday, February 23, 2012

| සමාවෙන්න රත්තරනේ | යෞවන සමින්ද්‍ර රත්නායක |



    දවසක් දෙකක් කරදරයක් නැතිව ගෙවිලා ගියා. ටවුම මැද්දෙ මිනිස්සු බර ගානක් ඉස්සරහා කලු පුතාගෙ ගැන්සියට ගහලා එස්.අයි. ව බේරගත්තු එක ඒ වෙනකනුත් අපේ ගෙදරට නෝන්ඩි වෙලා තිබුනෙ නෑ. එහෙම වුණා නම් සෑහෙන බර බරයක් අහගන්න වෙන එක නම් බුදු ෂුවර්. වැඩේ කියෙන්නේ අන්තර් ජාතික රහස් පොලීසියෙ වැඩ කරනවා කියලා හිතාගෙන ඉන්න දෙයියටවත් වැඩේ ආරංචි වුණේ නෑ.

"මිස්ටර් අනගි ඉන්නවද..?"


සාලෙ පැත්තෙන් ඇහුණෙ මට ඒ තරම් පුරුදු කටහඩක් නම් නෙමෙයි. මොකාද යකෝ.. මේ මිස්ටර් කෑලි දාලා කතා කරන වැදගත් මනුස්සයා..

"ආ... ඔ.. ඔව්.. ඔව් සර්.. එන්න ඇතුළට.. බේබි මහත්තයා ඉන්නවා."

දෙයියගෙ කටහඩ ඊටපස්සෙ මට  ඇහුණා. ආවෙ කවුද කියලා බලන්න මාත් කාමරෙන් එළියට ආවා. මගේ ඇස් ඉස්සරහා හිටියෙ වෙන කවුරුත් නෙමෙයි. අලුත් එස්.අයි. පොර. මං ඒ මූණ දිහා හොදට බැලුවා. දවස් දෙකක් ගිහිල්ලත් ගුටි කාපු පාරවල් තාම මූණෙ. මං එදා වෙලාවට ආවෙ නැත්තං මෙයා මසල වඩේ නැත්තං උලුදු වඩේ වෙලා තියෙයි. මිනිහත් මං දිහා කන්න වගේ බලන් හිටියා..

"එ... එන්න ඇතුලට"

ආවෙ මොකටද කියලා දන්නෙ නැති වුණත් මං කතා කරා. හතුරෙකුට උනත් ගෙදරට ආවාම සලකන්න කියලා තියෙනවනේ. ඒත් ඉතිං මම නම් හතුරට වුණත් ගෙදරට ඇවිත් කලර්ස් දාන්න ආවොත් ගහනවා.   

"වාඩිවෙන්න..."

සාලෙ තියෙන ලොකු කුෂන් සැටිය පෙන්නලා මං කිව්වා. මුළු 
සාලෙ පුරාම එක තත්පරේට දෙකට ඇස් යවන ගමන් මිනිහා සැටියෙ වාඩි වුණා..

"මොනවද බොන්නේ...? තේ ද...? කෝපි ද...? කිරි ද...? කෝක් ද...?"

මං ආයෙත් ඇහුවා. ඒ මූණ මැද්දට අර වෙනදා එන පුංචි පැණි හිනාවම ආවා. මිනිහට ඒ හිනාව හෙන ගති.

"ඔයා කැමති දෙයක් ගේන්න.."

මිනිහා උත්තරේ දුන්නා. මං ෆ්‍රිජ් එක ඇරලා කෝක් කෑන් දෙකක් අතට ගත්තා. දෙයියගෙ ඇස් දෙක ලොකු වෙලා. දෙයියත් බලනවා ඇති මේ යකා ආවෙ මොකටද කියලා. මටත් හිතාගන්න බැරි ඒකනේ. මං කෝක් කෑන් දෙකත් අරගෙන සාලෙට එනකොට එස්.අයි. පොර බිත්ති කබඩ් එක ඇතුලෙ දාලා තියෙන මගේ කරාටේ සෙටිෆිකේට් එක දිහා බලන් ඉන්නවා මං දැක්කා. කෝක් කෑන් එක මිනිහගෙ අතට දීලා මං ඒ මූණ දිහා ආයෙත් පාරක් හොදට බැලුවා.

"අවුරුදු දෙකක් කරාටේ චෑම්ප් වෙලා තියෙනවනේ. ඒත් මං කීයටවත් හිතුවෙ නෑ ඔයා බ්ලැක් බෙල්ට් කෙනෙක් කියලා..."

මිහිනා කියවගෙන යනවා. මට තිබුනෙ පාඩුවෙ අහගෙන  ඉන්න විතරයි. අවුරුදු දෙකක් පිට පිට ඕල් අයිලන්ඩ් කරාටේ චැම්පියන් වුණා කියලා බෝඩ් ලෑල්ලක කියලා පිටේ ගහගෙන ඉන්න මට බෑනේ. ඒත් මිනිහ කියපු දේට මං මුකුත් කියන්න ගියේ නෑ. මොකටද නිකං මිනිහගෙ ඇගේ ලේ කෝප කරවන්නේ.
              
"මගෙත් එක්ක ඔයා තරහයි කියලා මම දන්නවා. ඒත් ඒ තරහා පැත්තකට දාලා මාව බේරගත්තට හුගක් ස්තුතියි. මොකද අපේ පොලීසියෙ කෙනෙක්වත් ඒ වගේ අවස්ථාවක මාව බේරගන්න මැද්දට 
පනින එකක් නෑ."     

මට පිටට අත තියන ගමන් මිනිහා කිව්වා. අතේ තිබ්බ කෝක් කෑන් එක කඩලා ටිකක් බීලා මිනිහා ආයෙත් කතාව පටන් ගත්තා.

"අර යකා පිහිය උස්සන් අනින්න හදනකොට කවදාවත් නැති විදියට මට මරණ බය කියන දේ දැනුණා. කැරකිලා ඇවිත් ඔයා උගේ බෙල්ලට ගහනකන් වුණත්. වුණේ මොකක්ද කියලා මං දන්නෙ නෑ."

"ඔව්.. මාත් ගෙදර නිකන් ඉන්න කම්මැලිකමට තමයි ටවුන් එකට ගියේ. එතකොටයි ඔය සීන් එක දැක්කෙ. එතන ගුටිකන කෙනා ඔයා කියලා මං කීයටවත් හිතුවෙ නෑ. දහයක් පහලොවක් ඇවිල්ලා එක මිනිහෙක්ට ගහන එක අසාධාරණයි නේ.. මං ඒකයි මැද්දට පැන්නේ.."

"කොහොම වුණත් තෑන්ක්ස් මිස්ටර් අනගි.."

"මිස්ටර් කෑල්ල එපා එස්.අයි. මට අනගි කියන්න"

"මටත් එස්.අයි කෑල්ල නැතිව භවන්ත කියන්න. ඒ හොදටම ඇති."

ඊට පස්සෙ භවන්ත එක හුස්මට කෝක් එක බීලා ඉවරවෙලා හිස් ටින් එක ස්ටූල් එක උඩින් තිබ්බා.

"එහෙනම්.."

එහෙම කියලා භවන්ත මගේ දිහාට දකුණු අත දික් කලා. මේ මොකද මේ..? ආයෙත් හෑන්ඩ් ෆයිට් එකකටද..? 

"එදා බැරිවුණ හෑන්ඩ් ෆයිට් එක අද තියන්නද හදන්නේ..?"
 
ඕක ආයෙ හිතේ තියාගෙන ඉන්නෙ මොකටද... මං ඇහුවා..

"නෑ අනගි... මං අත දික් කලේ වෙන දේකට.. ඔයා හුගක් හොද කොල්ලෙක් කියලා, හැම දේකින්ම මට සාක්ෂි හම්බ වුණා. අන්න ඒ හොද කොල්ලට මං මේ අත දික්කලේ. බොක්කෙන්ම... නිකන් නෙවේ ෆ්‍රෙන්ඩ් ෂිප් එකට.."

දෙපාරක් හිතන්න ඕන කරන දේවල් ඒ වචන ඇතුලෙ තිබුණා. ලේසියෙන් යාලුවෙක් ලං කරගන්නෙ නැති මගේ හිත ඇත්තටම භවන්තට කැමති වුණේ ඇයිද කියලා මටම හිතාගන්න බැරි වුණා. හිනාවකින් වැහිලා යන්න හදන ඒ මූණ දිහා බලාගෙන මමත් අත දික් කලා..

"ෆ්‍රෙන්ඩ්..."

"ඉයර්ස්.. අනගි.. වි ආ ෆ්‍රෙන්ඩ්ස්..." 

භවන්ත මගේ කරවටේට අත් දෙක දාලා මාව වැළද ගත්තා. නවෝදිටයි, සජීවන්ටයි පස්සෙ හොද යාළුවෙක් හම්බවුණා කියන සතුට මගේ හිතට දැනුණා. ඒක හරිම තද හැගීමක්.

"හත්තිලව්වේ... ඈ බේබි මහත්තයෝ.. මොකක්ද දැන් මෙතන සිද්ද වුණේ.. මට නම් හීනයක් දැක්කා වගේ.."

භවන්න ගෙයින් එළියට බැහැලා ගියාට පස්සෙ දෙයියා නන්නත්තාර වෙලා මගෙන් ඇහුවා. මල යකෙක් දැකලා වගේ දෙයියගෙ දතකට පූට්ටු වෙලා. වැඩේ කියන්නෙ මූ හොදටම බය වෙලා.

"වෙන්න තියෙන දේවල් ඔක්කොම වුණා දෙයියා..."

"හැබෑට..? කියලවත් කරගන්න බැරි වැඩක් නේ වෙලා 
තියෙන්නේ. එස්.අයි මහත්තයා, බේබි මහත්තයගෙ යාලුවෙක් වෙච්චි එක කොයි තරම් හොදයිද..? දෙන්නා නිකන් නයයි පොළගයි වගේනේ හිටියේ..."

දෙයියා කියපු කතාවේ ලොකු ඇත්තක් තිබුණා. හැමදේම 
වෙන්න ඇත්තෙ හොදට තමයි. නැත්නම් භවන්තවත් මංවත් ගේම අතාරින්න කැමති අය නෙමේනේ. කොහොම වුණත් අපි දැන් යාලුවො. ඒත් ඉතිං ඉස්සරහ කාලෙ ගැන කියන්න පුළුවන් කාටද..? භවන්ත මට පෙරලුවෙත් පොලිස් පොතක්ද දන්නෙ නෑ. එහෙම වුණොත් නම් සොරිම තමයි. කලු පුතාලා ගැහුවා වගේ නෙමෙයි මං ගහන්න ගියොත්. කොහොම වුණත් ලැබිච්ච ෆ්‍රෙන්ඩ් ෂික් එක තියාගෙන කෝකටත් 
පරිස්සමින් ජීවත් වෙන්න මං හිතාගත්තා.

                                 *****************************

පළාත් සභා මැතිවරණේ අත ළගටම ඇවිල්ලා තිබුණා. ගෙදර එහෙම පිටින්ම අනිත් පැත්ත හරවලා වගේ. ජීවිතේට දැකලා නැති විවිධාකාර මිනිස්සුයි, හැමදාම දැකලා එපාවුණ මිනිස්සුයි ගේ ඇතුලෙ පිරිලා. එකම කාල ගෝට්ටියයි. තාත්තියි, දෙයියයි බරටම වැඩ.. එයාලා දෙන්නට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීළා දෙයියා එපා කියද්දිත් මම ගෙදරින් පැනගත්තා. ඒ වෙන මොනවත් හින්දා නෙමේ. ගෙදර තිබ්බ කලබලකාරී පරිසරයත් එක්ක මට ජීවත් වෙන්න අමාරුයි කියලා මට දැනුන නිසා. මං කෙලින්ම ගියේ සජීවන්ව හොයාගෙන..

"අනගි.... මුකුත් අවුලක්ද බං..?"

මාව දැක්ක හැටියෙම සජීවන් කලබල වුණා. නිතරම එහෙට මෙහෙට දුවන උගේ රවුම් ඇස් දෙක හැරිලා තිබ්බෙ මගේ මූණ මැදට.

"මොන අවුල්ද බං.. තිබ්බ අවුල් ටික ඉවනේ.."

මං එහෙම කිව්වෙ හිනාවෙවී. ඇත්තටම ඉතිං අවුල තිබ්බෙ 
 සජීවන්ටනේ. ඌ හින්දා මමනේ ඒකට පැන්නේ. අපි දෙන්නා කතා කර කර ඉන්න තැනට ටිකකින් සජීවන්ගෙ ගැන්සියෙ කොල්ලො ටික ආවා.

"අනගි අයියා............. සිරා නිවුස් එකක් ආවා.. ඒත් ඉතින් වැඩේ ඇත්තද කියලා අදහගන්න බැරි එකයි අප්සෙට් එක."

ඉරි ඉරි ෂර්ට් එක ඇදන්  හිටපු සජීවන්ගෙ යාලුවෙක් අපේ කතාව මැද්දට පැන්නා..

"කියමුකො බලන්න නිව්ස් එක මොකක්ද කියලා..."

"එදා අපේ තැනට ඇවිල්ලා කලර්ස් දැම්ම අලුත් එස්.අයි. ව කලු පුතාලා මරන්න හදද්දි, අනගි අයියා පැනලා බේරගෙන තියෙනවා.. වැඩේ ඇත්තද...?"

ඌ කිව්ව දෙයින් සජීවනුයි, සජීවන්ගෙ කොල්ලො සෙට් එකයි හොල්මං වෙලා ගියා.

"වැඩේ ඇත්ත මල්ලි.. එතන ගියේ මහා කැත ගේමක්. මං මැද්දට පැන්නා.. ගේම ඉවරයි.."

මං කිව්වෙ එච්චරයි. ඒත් කොල්ලො සෙට් එකට ඒ විස්තර මදි වගේ. උන් වෙච්ච හැමදෙයක්ම අර කලින් කතාව පටන් ගත්ත යාලුවගෙන් අහන්න ගත්තා. ඌත් නිකන් හින්දි ෆිල්ම් එකක ඩිරෙක්ටර් කෙනෙක් වගේ අතිනුත් දම දමා කතාව පටන් ගත්තා.

"උඹ නම් අදහන්න වටිනවා බං.."

කතාව අහලා ඉවරවෙලා සජීවන් මගේ පිටට තට්ටුවක් දැම්මා. ඒ තට්ටුවත්තෙක්කම වගේ තමයි පොලිස් ජිප් එකක් අපි ඉන්න පැත්තට ආවේ. අපි හැමෝගෙම ඇස් ඒ පැත්තට හැරුණා. ජීප් එකේ ආවෙ වෙන කවුරුත් නෙමෙයි. මගේ අලුත්ම යාලුවා භවන්ත. මිනිහා ජීප් එකෙන් බැහැලා කෙලින්ම මගේ ළගට ආවා.

"අනගි.. කොහොමද ෆ්‍රෙන්ඩ් ජීවිතේ...?"

භවන්ත එයාගේ දකුණු අත මගේ දිහාට දික් කරන ගමන් ඇහුවා. වටේ හිටපු කොල්ලො ටික ෆුල්ම අප්සෙට් වෙලා. ඇයි ඉතින් ඕන එකෙක් අවුල් වෙන්නෙ නැද්ද. මීට කලින් මායි, භවන්තයි හිටියෙ දැක්ක දැක්ක තැන මරාගනන් වගේනේ. කොහොම වුණත් මං භවන්තගෙ අතින් අල්ලගත්තා.

"ජීවිතේ නම් හොදයි.... ඒත් මොකද මේ..? අද ඩියුටි ගියේ නැද්ද..?"

මං අහපු දේට උත්තර දෙන්නෙ නැතුව භවන්ත කිව්වෙ වෙන කතාවක්. ඒත් මට නෙමේ. අර කොල්ලො සෙට් එකට. උං ඔක්කොම තම්බපු බිත්තර උගුරෙ හිරවෙලා වගේ ගල් ගිලලා හිටියෙ. ඇත්තටම මේ වෙන දේවල් උංට අදහාගන්න බැරිවෙලා කියලා මට තේරුණා.

"අනගිගෙ හිනාව හුගක් ලස්සනයි කියලා අපි දන්නවා බොස්.. අනගි කියන්නෙ රත්තරං පපුවක් තියෙන කොල්ලෙක්. ලේසියෙන් යාලුවෙක් ලංකරගන්නෙ නැති අපේ අනගි අයියා, බොස් වගේ මනුස්සයෙකුට කොහොම ලං වුනාද කියලා අපි දන්නෙ නෑ. ඒත් එක දෙයක් තියෙනවා බොස්.. ඒ, ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදියට ඇවිල්ලා අනගිට මොකක් හරි කරදරයක් කරොත්, අපේ ජීවිත ගැන බලන්නෙ නැතුව අපි ගේමට බහිනවා..."

මෙච්චර වෙලා සද්ද නැතුව ඉදපු සජීවන් උත්තර දුන්නා. භවන්තගෙ මූණ බලන් ඉද්දිම රතු වුණා. මිනිහා ජීවිතේටවත් ඒ වගේ උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව ඇති.

"ඔයාලා කියන විදියට වුණොත් ඒ තීරනේ ඔයාලා ගන්න.. එතෙන්දි මගේ තරාතිරම වැදගත් වෙන්නෙ නෑ. ඒත් මට කියන්න කණගාටුයි.... ඔයාලට ඒ හේතුව හින්දා කවදාවත් ගේමට බහින්න වෙන්නෙ නෑ කියලා මගේ හිත හොදටම දන්නවා.."

භවන්ත එහෙම කියලා මගේ මූණ දිහා බැලුවා. ඒ මූණ මැද්දෙ සැක කරන්න තරම් දෙයක් තිබුණෙ නෑ. හොද යාලුවෙක්ගෙ අංග සම්පූර්ණ ගති ලක්ෂන එකින් එක දැක්කා මිසක අහක දාන්න තරම් දේවල් ඒ මූණෙ තිබ්බෙ නෑ. සජීවන් ඊගාව තත්පරේ භවන්තගෙ අතට අත දුන්නා. සජීවන්ගෙ කොල්ලො සෙට් එකේ තිබ්බෙ තනිකරම හිනා කටවල් ගොඩක්..

"අනගි.... යමුද අපි ගෙවල් පැත්තෙ ටිකක් ගිහින් එන්න...?"

භවන්තගෙ ආරාධනේ ගැන දෙපාරක් මං හිතුවෙ නෑ. මගේ බයික් එකයි, යතුරයි සජීවන්ගෙ අතට දීලා මං භවන්තගෙ ජීප් එකට නැග්ගා. සිංදුවකුත් විසිල් කරන ගමන් භවන්ත ජීප් එක පාරට ගත්තා. මේ යකා නම් පොලීසියට හරියන පොරක් නෙමෙයි. මෙයා පොලීසියට මැච් වෙනවා නම් මාත් ඔය මොකක් හරි ස්පෙෂල් පෝස්ට් එකකට මැව් වෙන්න ඕන..

"මොකෝ අනගි.. මං දිහා අමුතු විදියට බැලුවේ...?"

 භවන්ත ඒක අහපු තාලෙට මට හිනාවක් ගියා..

"ඒ භවන්තට හිතෙන හැටි.. ඒත් මං තාමත් හිතන්නෙ, පොර කුකුල්ලු වගේ දැක්ක තැන කොටාගන්න ගිය අපි දෙන්නා දැන් එකට වාඩිවෙලා යන්නෙ කොහොමද කියලා.."

"පොර කුකුල්ලු වගේ කොටාගත්ත හින්දනේ මට ඔයා ගැන දැනගන්න හම්බවුණේ. ඇත්තමයි මට හොදටම හිතට වැදුනෙ, මාව මරන්න යද්දි ඔයා එතෙන්ට පැනලා බේරගත්තු එකයි. ඒ වෙලාවෙ තිබ්බ තත්වෙ හැටියට ඔයා ඇරෙන්න වෙන කාටවත් මාව බේරගන්න බෑ.."

"දැන් අපි යාලුවො කියලා කිව්වනේ භවන්ත.. ප්ලීස්.. ඔය කතාව නවත්තලා දාමුකෝ.. ආයේ ආයේ ඕක කියනකොට මගේ හිතත් අවුල් වෙනවා.."

මං මගේ හිතේ තිබ්බ දේ ඇත්තටම කිව්වා. අනිත්තෙක තමයි වැඩිය මුරුංගා අත්තෙ තියන එක මට කොහොමත් දිරවන්නෙ නෑ. කතාවෙන් කතාවෙන් අපි දෙන්නා ටවුන් එක පාස් කරලා ටිකක් දුරට වෙන්න ජීප් එක අරන් ආවා. මගේ ඇස් වලට වැඩිය නෝට් වුණේ නැති ලස්සන ගෙදරක් ඉස්සරහා භවන්ත ජීප් එක නැවැත්තුවා. අලුත් තාලෙට හදලා තිබ්බා. ඒ ගෙදර තිබ්බෙ මාර ගතියක්.

"අනගි.. කොහොමද අපේ ගෙදර..?"

අත් දෙක දෙපැත්තට දාලා මං දිහා හැරිලා භවන්ත අහද්දි මං ආයෙත් ඒ ගේ දිහා බැලුවා. කලින් දැක්කටත් වැඩිය ලස්සනට ආයෙත් මට ඒ ගේ පෙනුණා.

"හොදයි හොදයි මැක්සා ගේ... මටත් මේහේ නවතින්න ආසයි.. හි.."

කියන්න ගියපු කතාව නැවතුනේ උස මහත ලස්සන ගෑණු කෙනෙක් ගේ ඇතුලෙ ඉදලා එක පාරටම එළියට ආපු හින්දා. ඒ ගෑනු කෙනාට තිබ්බෙ ටිකක් ආඩම්බරෙන් පිරිච්ච මූණක්.

"ආ... අම්මේ.. මේ තමයි අනගි.. හරිම හොද යාළුවෙක්.. අනගි මේ තමයි අපේ අම්මා..."

ඒ ආපු ගෑනු කෙනා කවුද කියලා භවන්ත මට අදුන්නලා දුන්නා. ඒත් ඒ මූණෙ මට පෙනුණ හැටියට නම් පහන් හැගීමක් තිබ්බෙ නෑ. ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම එයා මාව දැකපු දවස අද වුණත් එයා මං දිහා බැලුවෙ තරහා කාරයෙක් දිහා බලනවා වගේ. මොකක්ද මෙතන මේ වෙන්න යන්නේ..? 

"භවන්ත... ඔයා විතරක් ටිකක් ගේ ඇතුලට එන්න.."

භවන්තගෙ අම්මා එහෙම කිව්වාම මං ගැස්සිලා ගියා. කකුල් දෙකේ ඉදලා ආපු මොකක්දෝ ගින්දරක් මගේ ඔලුවෙන් පිටවුනා. ඔයා විතරක් කියන අකුරු හය මගේ හිත මැද්දෙම රැදුණා. ඒකයි මං භවන්ත දිහා කෙලින්ම බැලුවේ. භවන්ත අප්සට් වෙලා..

"අනගි... මට වන් මිනිට් දෙන්න"

මට එහෙම කියලා භවන්ත අම්මත් එක්ක ගේ ඇතුලට ගියා. ගෙදර ඉස්සරහා දොර බාගෙට ඇරලයි තිබුනේ. ඒක හින්දම එයාලා දෙන්න අතරෙ උණ කතාබහ මට හොදට ඇහුණා. මගේ හිතට ආවේ ලොකු පසුතැවිල්ලක්..

"භවන්ත... මම ඔයාට කී දවසක් කියලා තියෙනවද යාලුවන්ව මෙහේට එක්කන් එන්න එපා කියලා.. ඔයා ඇයි මං කියන දේ තේරුම් ගන්නෙ නොගන්නේ..? ඇයි මං කියන දේ අහන්නෙ නැත්තේ..?"

"ප්ලීස් අම්මා... හෙමින් කතා කරන්න.. එයාට ඇහුනොත් හොද නෑ. මං ගැන නරක විදියට හිතයි.."

"එයාට කොහොම ඇහුනත් මට කමක් නෑ.. මට තරහා මෙච්චර දවසක් ගිහිල්ලා හරි ඔයා මගේ පොරොන්දුව කඩපු එක ගැනයි.. ඇයි ඔයා මං ගැන හිතන්නෙ නැත්තේ..?"

තවත් මේ ගෙදර එළියට වෙලා අපතයෙක් වගේ ඉන්න එකේ තේරුමක් නෑ කියලා මට හිතුනා. ඒත් මේ වගේ ලැජ්ජාවක්..? මේ වගේ පහත් විදියට මට කවුරුවත් සලකලා තිබුනෙ නෑ.. ඒ ගැන මගේ හිතේ තිබුනෙ ලොකු කේන්තියක්. ඒත් භවන්තගෙ අම්මා මොනවා කිව්වත්, මං ආවේ භවන්ත මට ඉන්වයිට් කරපු හින්දා. ඒකේ ගෞරවේ තියන්න, භවන්ත ආපහු එළියට එනකන් මං හිටියා..

"මං ඔයාගැන හැමදාම හිතුවා අම්මා. හොද යාලුවෙක් නැතුව පහුවෙච්ච කාලේ මම ගෙව්වෙ කොහොමද කියලා අම්මා දන්නවා.. දැන් මේ ඇවිල්ලා ඉන්න අනගි වගේ යාලුවෙක් මිනිහෙක්ට ජීවිතේට හම්බවෙන්නෙ නෑ. එයා අම්මා හිතනවටත් වැඩිය හුගක් හොද කෙනෙක්...."
  
"ඒ ඔයා හිතන විදියනේ... ඒත් මට එහෙම හිතන්න බෑ. ඒකට හේතු මොනවද කියලා ඔයා දන්නවා.. එතනින් එහාට මං මුකුත් ඔයාට කියන්නෙ නෑ...."

"අම්මා.. ප්ලීස්..........."

භවන්ත, අම්මා ඉස්සරහා වදවෙන හැටි මට ඇහුණා. භවන්තගෙ යාලුවන්ට මේ ගෙදර දොර වැහිලා තියෙන්නෙ ඇයිද කියනෙක තමයි මගේ හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ.. නැත්නම් ඒක මට විතරක් පොදු වෙච්ච දෙයක්වත්ද කියලත් මට හිතුණා. මොකද මගේ මූණ දැක්ක ගමන් භවන්තගෙ අම්මගෙ මූණ අවුල් වුනා නේ.

"හොදයි... මේක ෆස්ට් ඇන්ඩ් ලාස්ට් එක.. එතනින් එහාට නෝ එක්ස්කියුස්..."

භවන්තගෙ අම්මා අන්තිමට එහෙම කියනවා මට ඇහුනා. ටිකකින් මූණට හිනාවක් අරගෙන ලොකු උත්සාහයක් අරන් භවන්ත මං ඉස්සරහට ආවා. ඒත් වෙනදා එන අර සිරා හිනාව ඒ මූණට ගන්න බැරි වෙලා තිබුනා..

"අනගි... එන්න ගේ ඇතුළට.. මෙච්චර වෙලා හරි ඔයාව එළියෙන් තිබ්බ එකට සොරි ෆ්‍රෙන්ඩ්..."

මගේ උරහිසට අත් දෙකම තියලා භවන්ත කිව්වා.

"ඒකට මොනවා වෙනවද භවන්ත.. ඔයා දැන් ගේ ඇතුලට යන්න.. මං වෙන දවසක එන්නම්.."

ඒ කිව්ව දේට භවන්තගෙ මූණ අමුතු වුණා..

"අ.... අනගි එකපාරටම මොකද මේ..?"

"මුකුත් නෑ භවන්ත.. කරන්න ඕන වැදගත් වැඩක් ගැන මට 
එකපාරම මතක් වුණා. තාත්ති හවස එන්න කලින් මම ඒක ඉවරයක් කරන්න ඕන.. තරහා වෙන්න එපා ෆ්‍රෙන්ඩ් අපි පස්සෙ දවසක හම්බවෙමු."

එහෙම කියලා හැරුණා. ඒ ආපහු එන්න. ඒත් භවන්ත මගේ අතින් අල්ලාගත්තා.
              
"අ.. අනගි ප්ලීස්.. ඔයා අද ෆස්ට් ටයිම් මගේ දෙරට ආවේ.. අපි කූල් එකක්වත් බීලා යමු.."
                   
 "නෑ භවන්ත.. ඒ ගැන මුකුත් හිතන්න එපා.. මං දැන් ඔයාගෙ ගෙදර තියෙන තැන දන්නවනේ. අනිවාර්‍යෙයන්ම මං පස්සෙ දවසක එන්නම්. මගේ හිත ගත්තු යාළුවෙකුට මං බොරු කියන්නෙ නෑ. ඒක ඔයාටත් පොදුයි.. අපි වෙන දවසක අනිවා හම්බවෙමුකෝ.."

මම ගේට්ටුවෙන් එළියට ආවා.. නිකමට වගේ ආපහු හැරිලා බලද්දි භවන්ත මට අත වනනවා මං දැක්කා. මමත් අත වනලා හිත සැහැල්ලු කරගන්න හැදුවත් ඒක සිද්ධවුණේ නෑ. භවන්තගෙ අම්මා කතා කරපු හැම වචනයක්ම මගේ හිතේ හැම පැත්තකින්ම ඇහෙන්න ගත්තා. මට ඇහෙනවා කියලා දැන දැනත් භවන්තගෙ අම්මා එහෙම කතා කෙරුවෙ ඇයිද කියනෙක මගේ හිතේ තිබ්බෙ ලොකු කුතුහලයක්.. 


 

No comments:

Post a Comment