Saturday, February 25, 2012

| සමාවෙන්න රත්තරනේ | යෞවන සමින්ද්‍ර රත්නායක |




     පහුහෙනිදා උදේම මම අරුන් ජුවෙලරි එකට ගියා. සංජානිට වොනවා හරි වටින දෙයක් ගන්න ඕනි කියලා සිතුවිල්ල ඇවිල්ලා තිබුනෙ හවස ඉදන්මයි..

"ආ... අනගි මහත්තයා... හුග කාලෙකින් මේ පැත්තෙ ආවේ.."

මාව දැක්ක හැටියෙ අරුන් ජුවෙලරි එකේ අයිතිකාර දෙමළ මනුස්සයා කට පුරාම හිනාවුණා.

"ඔව්... මට ඕනේ ලේටස්ම ලේඩීස් චේන් එකක්.. ගාන ප්‍රශ්නයක් නෑ.."

ඩිසයින් බර ගානක් මං ඉස්සරහා ඒ මනුස්සයා ගනෙත් දැම්මා. සංජානිට මැච් වෙනවා කියලා හිතුණ ලස්සන චේන් එකක් මං අන්තිමට තෝර ගත්තා. තිස් හයදාස් හත්සිය ගානක් ගෙවලා මං ඒ හුරු බුහුටි චේන් එක අතට ගත්තා. මගේ  හිතට දැනුණෙ ලොකු සතුටක්. ජුවෙලරි එකට ටිකක් එයාහින් තිබේබෙ කඩෙන් මල් බොකේ එකකුත් ගත්තහම ගන්න ඕන හැමදෙයක්ම ගත්තා කියන හැගීමක් මගේ  හිතට ආවා..

                                **********************************

එදා හවස් වරුව වෙනකන් මං බලන් හිටියෙ පුදුම තරම් නොවිඉවසිලිමත්කමකින්. මාව පේන්න බැරුව වගේ ඉදලා එක පාරටම මට ළංවෙන්න හද සංජානි ගැන මං දිගින් දිගටම හිතුවා. එයා මට බොරුවක් කරන්න හදනවද දන්නෙත් නෑ කියන සැකය මගේ හිතට ආවා. ඒත් සංජානිගෙ අහිංසක හිනාවෙන් ඒ සැකය මගේ හිතින් ඈත්වෙලා ගියා..

"ඈ.. බේබි මහත්තයෝ.. ජැන්ඩියට ඇද පැළදගෙන කොහෙද මේ යන්න හදන්නේ... අප්පේ.... මුළු කාමරයම සුවදයි.." 

දෙයියා ඇවිත් කාමරේට එබුණා. ඒ මූණෙ තිබ්බෙ අමුතු හිනාවක්. වෙලාවකට දෙයියත් මාර කැටයම් නේ දාන්නේ.

"වෙඩින් එකක්වත්ද බේබි මහත්තයා.." 

"මෙච්චර හවස් වෙලා මං වෙඩින් වලට යන්නෑ කියලා උඹ දන්නවනේ බං. අද භවන්තගෙ නංගිගෙ බර්ත්ඩේ එක මං ඒකට යනවා.."

දෙයියගෙ මූණට ආවෙ නොම්මර එකේ පැණි  හිනාවක්. හිනාව කට පුරෝලා එකයි. මූ මොකාටද එපාර එන්න හදන්නේ..?

"අදවත් ඔය හිතේ තියෙන දේවල් කියලා එන්න.. තවත් නම් පහු කරන්න එපා. බර්ත් ඩේ එක අස්සෙදි ඒ මිසීට මුකුත් කියන්න බෑනේ. වැඩේ හරියයි.. ඔන්න ආපහු එනකොට සුභ ආරංචියක් අරන් එන්න ඕනෙ හොදේ.."

දෙයියා කිව්ව දේවලුත් ඔලුවෙ තියාගෙන මං ගෙයින් පිටවුණා. ඒත් මගේ හිතේ තියෙන්නෙ මොනවද කියලා සංජානි දන්නවා. ඒවයෙ ආයෙත් අලුතින් කියන්න දෙයක් නෑ. තීරණය තියෙන්නෙ එයාගෙ අතේ. මේ ඉවසුව වගේ තවත්  ටිකක් ඉවසන්න වෙනවා කියලා මං හිතාගත්තා. ප්‍රසන්ට් එකයි, මල් බොකේ එකයි එක අතට අරගෙන මං භවන්තගෙ ගෙට ඇතුළු වුණා. භවන්ත කිව්වෙ පුංචි පාටියක් කියලා. ඒත් මං හිතුවට වැඩිය කට්ටිය ඇවිල්ලා තිබුණා. හරියට පුංචි මගුල් ගෙදරක් වගේ. ගේ ඇතුළ ලස්සනට සරසලා තිබුණා. සංජානිට විෂ් කරන්න ආපු අය තැන් තැන්වලට වෙලා රටේ නැති දේවල් කතා කරනවා. අලුතෙන් ගෙට ඇතුල්වෙන අය සංජානි ළගට ගිහින් විෂ් කරනවා. ලා නිල් පාට සල්වාර් එකක් ඇදලා ඉදපු සංජානිව, මක් දැක්කෙ හිම කුමරියක් වගේ..

සංජානි දිහා බලන් ඉන්න ඉන්න මට ලොකු ලෝභකමක් ඇති වුණා. තවත් බලන්න ඉන්න බෑ. මං එයා ළගට ළං වුණා. මාව දැක්ක ගමන් ඒ සුදු මූණෙ පිපුණෙ අහිංසක හිනාවක්. ජුවෙලරි බොක්ස් එක එයාගෙ අතට දීළා, මල් බොකේ එක ඒ රෝස පාට අත් දෙක උඩට දෙනකොටම, එයාගෙ අතින් බොකේ එක අතෑරුණා. සුදුපාට, රතුපාට රෝස මල් සංජානිගෙයි මගෙයි අතරින් බිමට වැටුනා. වැටිච්ච මල් ටික අහුලන්න ඕනෙ කියලා  හිතලා මං බිමට පහත් වුණා. ඒ තත්පරයෙම තමයි සංජානිත් බිමට පාත්වුණේ. ඒ මූණෙතිබ්බෙ හරි පිරිසිදු හිනාවක්. මං දිහා බලාගෙනම එයා රෝස මල් එකින් එක අහුලන්න ගත්තා.

"ඇයි.. මල් ටික අතෑරියේ..?"

හෙමින්සීරුවෙ මං ඇහුවා.. තාමත් අපි දෙන්නා බිම හිටියේ..

"අනේ අනගි.. මම හිතලා අතෑරියෙ නෑ.. ඔයාව දැක්කාම මට හුගාක් සතුටු හිතුනා.."

සංජානිගෙ වචන මගේ හිත ඇතුලෙ ගැඹුරුම තැනට ගිහින් නතර වුණා.

"මෙනි හැපි රිටන්ස් ඔෆ් ද ඩේ.. සංජානි..! ඔයා අද හුගාක් ලස්සනයි.."

මල් ටික ඔක්කොම අහුලගෙන අපි දෙන්නා නැගිටිද්දි මං කිව්වා. සංජානිගෙ ඇස් දෙක හීන් වෙලා, මොකක්දෝ ලොකු හැගීඹබර් බවක් ඒ මූණ මැදට ආවා. එයාව මගේ ළගට ළං කරගෙන තුරුළු කරගන්න තරම් මට හිතුනා.

"තෑන්ක්ස් අනගි... මේ හැමදේටම වඩා ඔයා අපු එක මට වටිනවා.. ම.. මම හීනෙකින්වත් හිතුවෙ නෑ මං ඔයාට කරපුවට ඔයා මගෙත්තෙක්ක කතා කරාවි කියලවත්. මට අදටත් හිතාගන්න බෑ ඇයි මං ඒ විදියට හැසිරුණේ කියලා.."

"මේ ලස්සන දවසෙ පහුවෙච්ච දේවල් මතක් කරන්න ඕනෙ නෑ බබා.. දැන් ඉතින් අපි දෙන්නා යාළුයිනේ.."

මං එහෙම කිව්වාම සංජානිගෙ ඇස් දෙක ලොකු දගකාරකමකින් පිරිලා ගියා..

"ඔ... ඔව්.. අපි දෙන්නා යාලුයි.. හුගක් යාලුයි.."

මටත්  හිනාවක් ආවා.. එයා ඒක කියපු තාලෙට.. කවදාවත් දැනුණෙ නැති තරම් ලොකු සතුටකින් මගේ හිත පිරිලා ගියා. සංජානි ළගට වෙලා මෙහෙම කතා කර කර ඉන්න මං කොයි තරම් පෙරුම් පිරුවද..? එයාව මගේම කරගන්න මං කොයි තරම් හීන දැක්කද..? ඒ හීන ඉටුවෙන්න වැඩි දවසක් යන එකක් නෑ කියලා මට හිතුනා..

"අනගි...."

භවන්තගෙ කටහඩට මං හැරුණා. ලොකු හිනාවකින් මූණ පුරවගෙන මිනිහා මාව බදාගත්තා. සංජානි ඒ දිහා බලන් හිටියෙ ලොකු උනන්දුවකින්..

"සද්ද නැතුවම ඇවිල්ලා නේද.. අන්න සජීවන්ල අරෙහෙ බියර් බෙනවා.."

භවන්ත මගේ කරට අතක් දාගෙන ඉස්සර වුණා. මම හැරිලා සංජානි දිහා බැලුවා. බොන්නෑ කියලා කියනවා වගේ සංජානි කට හැදුවා. මේ කෙල්ල ඒකත් අහන් ඉදලා. මාව දැක්ක ගමන් කොල්ලො ගැන්සිය වෙනදා වගේම චියර් පාරක් දුන්නා. සංජානි කිව්ව දේ මතක් වෙලා, මං කෝක් කෑන් එකක් අතට ගත්තා.

"අනගි ඉන්නෙ මොනව හරි ට්‍රබල් එහෙකද..?"

හිටපු ගමන් සජීවන් මගෙන් ඇහුවා.. ඒ මූණෙ මං දැක්කෙ ලොකු උනන්දුවක්..

"නෑ... ඇයි සජී එහෙම ඇහුවේ..?"

"වෙනදා වගේ ඔයා අපිත් එක්ක සෙට් වෙන්නෑ. ඒක අපේ 
හිතටත් හරි නෑ අනගි.. ඔයා අපිත්තෙක්ක ඉන්නකොට තමයි අපේ  හිතටත් ෆිට් වෙන්නේ.."

"මේ දවස්වල ටිකක් වැඩ වැඩියි සජී.. අපි ළගදිම සෙට් වෙමුකෝ.. වැලන්ටයින් ඩේ එකත් එනවනේ.."

මං එහෙම කියන ගමන් ආයෙත් අපිට ටිකක් ඈතින් ඉදපු සංජානි දිහා බැලුවා. මං දීපු මල් බොකේ එක තාමත් එයාගෙ අතේ. එයා ඒක ස්ටූල් එක උඩින්වත් තියලා නෑ. ඒ රෝස මල් බොකේ එක එයා ඉඹගන්න හැටි ඊළග තත්පරේ මං දැක්කා. මගේ හිතට දැනුණ සතුට, මේ කොල්ලො ගැන්සියත් එක්ක බෙදා ගන්න හිතුණත් මං හිත තද කරගත්තා. සංජානි හින්දා මං හුගක් වෙනස් වෙලා කියලත් මට ඒ වෙලාවෙ හිතුනා..

වෙනදා නම් ඔය වගේ වැදගත් දෙයක් උනහම මං ඉස්සෙල්ලම කිව්වෙ නවෝදිට. ඊළගට සජීවන්ට, ඒත් දැන් මට මොනවද මේ වෙලා තියෙන්නේ.? නවෝදිටත් ෆෝන් කරපු කාලයක් මතක නෑ. ඉස්සර සජීවන්ලගෙ ගැන්සියත් එක්ක එකතුවෙන්න මං මොන තරම් ආසද..? ඇත්තටම මේ හැමදේටම මුල සංජානි කියලා මං හුගක් වෙලා කල්පනා කලා. ඒත් උත්තරේට මට හම්බවුණේ සංජානිගෙ නම නෙමෙයි, භවන්තගෙ නම. භවන්ත මගේ හොදම යාළුවා වෙලා හිටියෙ නැත්නම් සංජානි ගැන හැමදෙයක්ම සජීවන්ලා, නිර්මාල්ලා එක්ක කියන්න තිබුණා. ඇත්තටම භවන්ත හින්දා තමයි නවෝදිත් එක්ක තිබුණු යාලුකමත් ඩිංගෙන් ඩිංග ඈත් වුණේ. ඒත් ඒ ගැන බිංදු මාත්‍රයක්වත් කණගාටුවක් මට දැනුණෙ නෑ.  මොකද භවන්ත කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොද යාලුවෙක් කියන එක මේ වෙනකොට මං දැනගෙන හිටියා. ඒත් මට හිතාගන්න බැරිවුණේ මාත්, සංජානිත් ගැන භවන්ත මොන විදියෙ තීරණයක් ගනීවිද කියලා. ඒ කොහොම වුණත් සංජානිත්තෙක්ක එෆෙයාර් එක පටන් ගත්ත ගමන්, භවන්තත් එක්ක ඒ ගැන කියනවා කියලා මං හිතුවා.

                                 **********************************

වැලන්ටයින් දවස උදාවුණේ හරිම හෙමීට. පෙබරවාරි 14 වෙනකන්ම මම සංජානිට ෆෝන් කරේ නෑ. එයාට තවත් ටිකක් මං ගැන හිතන්න දෙන්න ඕන කියලා මං හිතුවා. අඩුම ගානෙ මං භවන්ත හම්බවෙන්නවත් ගෙදරට ගියේ නෑ. ඇත්තටම මට ඕන වුණේ සංජානිව මගේ පස්සෙන් ගෙන්න ගන්නවතත්ද කියලා මට හිතුණෙ දෙපාරක් නම් නෙමෙයි..

"අනගි... මොකද බර කල්පනාවක..?"

මං ගැස්සිලා ගියා. ඇත්තටම මගේ ළගින් ඉදපු භවන්තවත් මට 
අමතක වෙලයි තිබුණෙ. මගේ කල්පනාව ඒ තරම් දුර ගිහින්. භවන්තගෙ මූණෙ තිබ්බෙ ප්‍රශ්න පත්තරයක්. සමහර විට මං සංජානිට දීපු ප්‍රසන්ට් එක ගැන අහන්නත් පුළුවන් කියලා හිතෙද්දි මගේ හිතට මොකක්දෝ වුණා. ඒත් භවන්ත ඇහුවෙ වෙන දෙයක්.

"ඔයාගෙ මූණෙ මොකක්දෝ අවුලක් තියෙනවා. එදා නංගිගෙ පාර්ටි එකේදිත් ඔයා එන්ජෝයි කලේ නෑ. මොකද අර ගර්ල් තාම හිතේ කැරකෙනවද..?"

"නෑ භවන්ත මුකුත් අවුලක් නෑ.. තියෙනවා නම් මං ඔයාට කියනවනේ.. අනිත්තෙක අර ගර්ල් ගැන කතාව අමතක කරමු.."

"ඔයා කියනවා නම් අපි ඒක අමතක කරලා දාමු. අද හවස පොඩි වැඩක් තියෙනවා.. මට අනගිගෙන් ඒකට ලොකු සපෝට් එකක් ඕනෙ.."

භවන්ත මගේ දිහා කෙලින් බැලුවා. අපි දෙන්නම හිටියෙ ඩෙවෝන් රෙස්ටුරන්ට් එක ඉස්සරහා. මොනව හරි බිබීම කතා කරා නම් හොදයි කියලා කියන්න යනකොටම තමයි, මගේ සෙල් ෆෝන් එ කෑගහන්න ගත්තේ. මේ අලුත්ම සිම් එකේ නම්බර් එක කාටවත්ම දුන්නෙ නෑනේ. දෙයියවත්ද දන්නෙ නෑ. ඒත් මගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ වැටිලා තිබ්බ නම්බර් එක මට පුරුදු එකක් නෙමෙයි..

"හෙලෝ..."

"අනගි.. මම සංජානි කතා කරන්නේ.."

සංජානිගෙ කටහඩ ඇහෙද්දි මං උඩගියා. මේ කෙල්ල කොහොමද මගේ නම්බර් එක හොයාගත්තේ. කෝකටත් කියලා මං භවන්තගෙන් ටිකක් ඈත් වුණා. භවන්ත මං දිහා බලලා ඩෙවෝන් එක ඇතුලට ගියා. 

"ඔයා කොහෙද ඉන්නේ...? පැත්තක අපේ අයියා ඉන්නවා නේද..?"

"නෑ.. මං තනියෙම ඉන්නේ.. භවන්ත ගියා මට සිගරැට් එකක් ගේන්න.."

"ඇත්තමයි.. මං ඔය ළගට හිටියා නම් අයියටයි, ඔයාටයි දෙන්නටම හොද ගුටි මුරයක් දෙනවා. සිගරැට් බීලා නම් අහුවෙන්න එපා." 

සංජානි කියන්නෙ පොඩි උන්ට කියනවා වගේ.. මට හිනාත් ගියා.. 

"ඔයා මට හිනාවෙනවා නේද..? ම්.. ඒක නෙමෙයි අනගි.. ඔයා දීපු ප්‍රසන්ට් එක හුගාක්ම ලස්සනයි.. ඒක හරිම ෂෝක්... ඇයි මං වෙනුවෙන් එච්චර වටින දෙයක් දුන්නේ..?"

"මට ඊටත් වැඩිය ඔයා වටින හින්දා.."

"ඔයා දන්නවද අද දවස කවද්ද කියාලා.."

ඒ ප්‍රශ්නෙ මගෙන් අහනකොට සංජානිගෙ කටහඩ මහ හුගක් හැගීම්බර වෙලා තිබුණා. කෙල්ල මොනවද කියන්න හදන්නේ..?

"පෙබරවාරි 14 වලන්ටයින් ඩේ.. ඇයි සංජානි..?"

මං ඇහුවෙ මුකුත් දන්නෑ වගේ..

"අනේ... මට ඔයාව හම්බවෙන්න ඕන බබා.. තවත් මේ දේවල් මට හිතේ තියන් ඉන්න බෑ.. ඔයා තනියෙම එන්න.."

හිතේ තියන් ඉන්න බැරි දේල් මොනවද කියලා මං දැනන් හිටපු හින්දා ඒ ගැන මං ඇහුවෙ නෑ..

"හරියට හතර වෙද්දි ඔයා බටර් ෆ්ලයි ගාර්ඩ්න් එක ළගට එන්න.. මං බලන් ඉන්නවා.."

පෙම්වතුන්ගෙ දිනය දවසෙදිම මටත් පෙම්වතෙක් වෙන්න පුළුවන් කියන දේ මට හොදටම තේරුම් ගියා. මගේ හිත පුරාම දිව්වෙ පුදුම සතුටක්. සංජානි හම්බවෙන්න යද්දි එයාට ගෙනියන ප්‍රසන්ට් එක මොකක්ද කියලා මං කල්පනා කලා. එහෙම ඉන්නකොට තමයි භවන්ත ඩෙවෝන් එකෙන් එළියට ආවේ.. මිනහගෙ මූණෙ හිනාව එකයි..

"කොහෙද භවන්ත ගියේ..?"
 
"කෝල් එකක් ගන්න.."

"ඇයි භවන්ත මගේ ෆෝන් එක තියෙනවනේ.."

"ඔයා කෝල් එකක හිටියෙ.. ඔන්න මගෙ වැඩේ හරි.. දැන් අපිට යන්නයි තියෙන්නේ.."

මගේ කරට අත දාන ගමන් භවන්න කිව්වා..

"කොහෙද..?"

"මං කිව්වෙ අද හවස පොඩි වැඩක් තියෙනවා කියලා. මං අද ඔයාව එක්කගෙන යනවා මගේ  හිත ගත්තු ඒ ගර්ල්ව ඉන්ට්‍රොඩියුස් කරන්න. අපේ ගෙදර අයටත් කලින් මට ඔන් එයාව ඔයාට මීට් කරවන්න."

"භවන්ත මට නිකංවත් කිව්වෙ නෑ.."

"මට ඕන පුදුම කරවන්න අනගි.. එකතොට තමයි ගති.."

දැන් භවන්තත් එක්ක මේ ගමන යන්න ගියොත් මං කොහොමද සංජානිව මීට් වෙන්නේ..? භවන්තට බෑ කියන්නත් බෑ.. මිනිහගෙ හිත ගත්තු ගර්ල්ව බලාගන්නත් මට ලොකු උවමනාවක් තිබුණා.

"හිතන්න දෙයක් නෑ අනගි.. නගින්න.."

භවන්ත ස්ටාර්ට් කරන් ආපු මගේ බයික් එකේ පිටිපස්සෙන් මං නැග්ගා. මගේ හිතේ තිබ්බෙ ලොකු දෙගිඩියාවක්. හිතේ තිබ්බ ෆීට් එකටද මන්දා භවන්ත බයික් එක ඇල කරලා ගත්තා පාර තව නූලෙන් අපේ ඉස්සරහට ආපු ත්‍රී වීල් එකක වදිනවා. ටිකක් දුර ගිහින් ත්‍රීවිල් එක නතර වුණා. වලියක් නම් වලි කියලා හිතාගෙන මං බයික් එකෙන් බැස්සා. ඒත් ත්‍රීවීල් එක එලවන් ආපු කෙනා දැක්කහම මං ඩිම් වුණා.

එතන හිටියෙ වෙන කවුරුත් නෙමෙයි.. මීට කලින් රීගල් ෆිල්ම් හෝල් එකෙයි, ඊට පස්සෙ ෆුඩ් කැබින් එකේදියි, ඊටත් පස්සෙ ඉරෝමිගෙයි, සජිවන්ගෙයි පාටිය දවසෙ චයිනීස් රෙස්ටූරන්ට් එකේදි අපිට හම්බවුණ පුද්ගලයා. මේ යකාව දැක්කහම තමයි, භවන්ත මගෙත් එක්කවත් කතා නොකර පැනලා දුවන්නේ. පැහැදිලි හේතුවක් නැති වුනත් මගේ හිතට කේන්තිය ගලන්න ගත්තා. අනගි රඹුක්වැල්ලට කේන්ති යන එක තරම් තවත් නරක දෙයක් කොහේවත් නෑ කියලා මූ දන්නෙ නෑ.

"ඇයි.. මොකද ප්‍රශ්නයක්ද..?"

ඒ මනුස්සයා මගේ මූණටම එබිලා ඇහුවා. රෝන් සයිඩ් 
එකෙන් වචනයක්  හරි කතා කලොත් දෙන එක නිල් වෙන්න දෙනවා කියලා මං හිතාගත්තා. කලු පුතාගෙ ගැන්සියටම ගහපු අනගිට මේ හාල් මැස්සා මොකෙක්ද..?

"න්... නෑ මහත්තයා ප්‍රශ්නයක් නෑ.."

"ප්‍රශ්නයක් නැත්නම් මොකටද හලෝ නැවැත්තුවේ..?"

"තව ඩිංගෙන් බයික් එක මගෙ ආටා එකේ වදිනවා.."

"වැදුනෙ නෑ නේ.. වැදුනා නම් ආටා එක නවත්තලා කතා 
කරනවා. දැන් ඉතින් යනවා යන්න.."

මම ආපහු හැරුණා. එතකොටයි දැක්කෙ මගේ පිටිපස්සෙන් ඉන්න භවන්ත. ඒ මූණ විශාල කේන්තියකින් උතුරලා තිබුනා. අර මනුස්සයත් ත්‍රීවිල් එකෙන් බැහැල අපි දෙන්නා ළගට ආවා.

"මං තමුසෙට කියලා තියෙනවා නේද මගේ ඇස් දෙකට පේන්න එන්න එපා කියලා.. ඇයි යකෝ තවත් මගේ ඉස්සරහට එන්නේ.. මෙතන ඉන්න ඉන්න මට උඹව මරන්න හිතෙනවා. මං හොද හිතින් කියන්නේ. මෙතනින් පලයං යන්න.."

භවන්ත අතක් උරුක් කරලා අර මනුස්සයා ඉස්සරහට ගියා. ඒත් ඒ මිනිහා පස්සට ගියේ නෑ. මහ නෝන්ඩි හිනාවක් ඒ රවුම් මූණ මැදට ආවා. 

"මට මෙතනින් යන්න කියන්න මේක තමුසෙගෙ ගෙදරද..? තමුසෙ පොලීසියෙ හිටියා කියලා, තමුසෙ එස්.අයි. වුනා කියලා මට පොලිස් පාට් දාන්න එන්න එපා. ඒවා දානවා කොන්ද පණ නැති වුන්ට. මට කොන්දක් තියෙනවා.. "

පොර සං සං ගාලා උත්තර දුන්නා.. මගෙත් එක්ක කතා කරපු වෙලාවෙ ඒ මූණෙ තිබ්බ අහිංසක කමේ කෑලිවත් දැන් තිබුණෙ නෑ..

"මොනවද යකෝ.. උඹ කිව්වේ..? කරන්න පුළුවන් අන්තිම බලු වැඩෙත් මට කරලා තව උඹ කටගහන්නත් එනවද..?"

භවන්ත පැනපු ගමන් ඒ මිනිහගෙ කොලර් එකෙන් අල්ලගත්තා. ඒ මිනිහත් අතෑරියෙ නෑ. ආපිටට භවන්තගෙ කොලර් එකෙන් අල්ලගත්තා. දැන් නම් තත්වෙ හරියන්නෙ නෑ. බලන් හිටියා හොදටම ඇති. මං පැනලා භවන්තව පැත්තකට ඇදලා දැම්මා. ඊගාවට අර මිනිහගෙ බෙල්ලෙන් අල්ලගෙන ගිහින් එතන තිබ්බ යකඩ වැටට හේත්තු කලා..

"උඹ කවුද මිනිහෝ..? සැරින් සැරේට ඇවිත් අපිට ඇයි කරදර කරන්නේ..? මොකක්ද භවන්තත් එක්ක තියෙන ගනුදෙනුව..? හ්ම්.. කියපං... මේ උඹට දෙන ලාස්ට් චාන්ස් එක..."

"ඒක මගෙන් අහලා උත්තරයක් ගන්න බෑ මහත්තයෝ.. ඔයත් ඔයාගෙ හොද යාලුවෙක්නේ. ඇයි ඒ ප්‍රශනෙම ඔයා එයාගෙන් අහන්නෙ නැත්තේ..? ඔයාට ඒ ගැන කියන්න තරම් ඔයා සුදුසු නැද්ද..?"

ඒ මිනිහා අහපු ප්‍රශ්න වලින් මගේ හිතෙ තිබ්බ ෆිට් එක තත්පරේට දෙකට නැතිවෙලා ගියා. මං ඒ මනුස්සයව අතෑරලා දැම්මා. ෂර්ට් එක හදාගෙන මං දිහායි, භවන්ත දිහායි හොදට බලලා මිනිහා යන්න ගියා. අපි වටේට ඉදපු සෙනග මං දැක්කෙ ඒ වෙලාවෙදි.. ඇත්තටම මගේ හිතට ආයෙම කේන්තිය එබෙන්න ගත්තා.

"අර යකා කියලා ගියපු එක ඔයාට ඇහුනනේ භවන්ත.. ඔයාගෙ ප්‍රශ්න කියන්න තරම් මං සුදුසු නැතුව ඇති. මගේ හිතින් ඒ යකාව අමත කරලා දාන්න හදනකොටම කොහෙන් හරි ඌ මතුවෙනවා. මේ විකාරෙ මොකක්ද භවන්ත..? ඔයා දන්නවනේ මට ඉවසන එක හුගාක් අමාරු දෙයක් කියලා.."

"අනගි... ප්ලීස්.. මගේ ඔලුව හදාගනන් පුළුවන් තැනකට මාව එක්කගෙන යන්න.."

භවන්තගෙ මූණෙ තිබ්බෙ ලොකු අසරණ කමක්.. හිතේ තිබ්බ කේන්තිය එහෙම්ම තියාගෙන මම බයික් එක ස්ටාර්ට් කලා. මුකුත් කියන්නෙම නැතුව භවන්ත පස්සෙන් නැග්ගා. වටවෙලා හිටපු මිනිස්සු අතරිං මං බයික් එක ඉස්සරහට ගත්තා. තත්පර දහයක් ඇතුලෙදි TZR බයික් එකේ ලොකුම ගියර් එකටත් දාලා මං හුස්මක් ගත්තා. ටිකකින් වැඩිය සෙනග නැති රතුවැල්ල බීච් එකට මං බයික් එක හැරෙව්වා. බයික් එකෙන් බැහැපු ගමන් භවන්ත ඉස්සරහට ගිහින් වැල්ලේ වාඩිවුණා. ඒත් මට භවන්ත ළගින් වාඩිවෙන්න හිතුනෙ නෑ. මං හිටියෙ බයික් එකට හේත්තු වෙලා. ඔලුව අත්දෙකෙන්ම මිරික ගන්න ගමන් භවන්ත ආපහු හරිලා මං දිහා බැලුවා. ඒ මූණෙ හැටි දැක්කම මට පුදුම හිතුණා. මහා ලොකු කලකිරීමක් ඒ මූණ පුරාම විහිදිලා ගිහින් තිබුණා.

"අ.... අනගි... ම... මගෙත් එක්ක තරහින්ද ඉන්නේ...?"

"ඔව්.. වෙච්ච දේවල් වලට කේන්ති යන්නැත්තෙ කාටද කියලා ඔයාම කියන්න..? මට එක දෙයයි දැනගන්න ඕන..? ඌ කවුද..? ඌට මොකක්ද ඔයත් එක්ක තියෙන ගනුදෙනුව..?"

"ඔය හැම ප්‍රශ්නෙකටම උත්තරේ අද මම දෙන්නම් අනගි. ඔයා ඇහුවා ඌ කවුද කියලා.. ඌ මට ද්‍රෝහිවෙච්ච එකෙක්. මගේ හිත කඩපු එකෙක්... ඌ මගේ හිත කුඩුපට්ටම් කරලා දැම්ම අනගි.."

අන්තිම හරියෙදි භවන්තගෙ කටහඩ බිදිලා ගියා. බයික් එක ගාවින් ඈත්වෙලා මං භවන්ත ළගට ගිහින්, පාත්වෙලා අතකින් අල්ලගත්තා. ඒ ඇස්වලට කදුළු උනලා තිබුණා. මට දැනුණෙ ලොකු අපහසුතාවයක්.

"ඇති භවන්ත ඇති.. වලලල දාපු අතීතයකින් ගොඩ ගන්නෙක කොයි තරම් අමාරුයිද කියලා මං දන්නවා. මං ආයෙ ඔය ගැන වචනයක් වත් අහන්නෙ නෑ.. මේක පොරොන්දුවක්.."

"නෑ.. නෑ.. නෑ.. දැන් අතීතය එළියට ඇවිල්ලා ඉවරයි. වෙච්ච හැමදෙයක්ම මං ඔයත් එක්ක කියනවා.."

භවන්තගෙ කටහඩේ ලොකු අධිෂ්ඨානයක් ගැබ්වෙලා තිබුනා..

"මං මේ කියන දේවල් වෙනකොට මං පොලීසියෙ නෙමෙයි හිටියේ. එතකොට දැන් වගේ නෙමෙයි.. මං හුගාක් යාලුවො අශ්‍රය කලා. මගේ හොදම යාලුවා වුණේ වික්‍රම්. ඔයා මගෙන් ඇහුවෙ ඌ කවුද කියලා.. අපි දැන් රණ්ඩු වුණේ, ඌ තමයි වික්‍රම්. දැන් ඔයා මගෙත් එක්ක බයික් එකේ යනවා වගේ ඉස්සර මං බයික් එක රයිඩ් කරද්දි පස්සෙන් වාඩිවෙලා ගියේ වික්‍රම්. මගේ යාලුවො.. මං, වික්‍රම් අපි  හැමෝම එක අම්මගෙ දරුවො වගේ ලොකු බැදීමකින් හිටියේ. මගේ ගෙදර වික්‍රම්ට, වික්‍රම්ගෙ ගෙදර තරමට හුරු වෙලයි තිබුනෙ. මගේ ලොකු නංගිගෙ වෙඩින් එකට උදව් කලේ වික්‍රම්."

හිත සැහැල්ලු කරගන්න වගේ භවන්ත ලොකු හුස්මක් ඉහලට ඇදලා අරන් පිට කරලා දැම්මා..

"ඔයාට තව නංගි කෙනෙක් හිටියද භවන්ත..?"

"ඔව්.. සංජානි වගේම ලස්සනයි.. ලොකු නංගි හිනාවෙනකොට අපේ මුළු ගේම සිරියාවෙන් පිරිලා යනවා. අපි කොයි තරම් සතුටින් හිටියද කියලා දන්නෙ උඩ ඉන්න දෙයියො තමයි. මං යාලුවො එක්ක ආවහම අපි හැමෝම එකතුවෙලා සෙල්ලම් කරනවා. අම්මයි, සංජානියි, ලොකු නංගියි අපිට එකතු වෙනවා. ඔය අතරෙ තමයි ලොකු නංගිගෙ වෙඩින් එක ආවේ. අපිට දුරින් නෑදෑවෙන බොයි කෙනෙක්ගෙන් ආපු යෝජනාවකට අපි හැමෝම කැමති වුණා. ඒ බොයිගෙ ෆොටෝ එක ලොකු නංගිට පෙන්න පෙන්න අපි හැමෝම එයාට විහිළු කලා. මේ තරම් ලස්සන හොද කොල්ලෙක් ආයෙ ඔයාට හම්බවෙන්නෙ නෑ.. ඉක්මනට අල්ලලා බැදගන්න කියලා වික්‍රම් ලොකු නංගිට කිව්වා. ලොකු නංගි හිනා වුනා. වෙඩින් එක දවස එනකොට අපි හැමෝම හුගක්  මහන්සි වෙලයි හිටියේ. වික්‍රම් තමයි හුගාක්ම මහන්සි වුනේ. මැරීගෙන වැඩ කලා. අනිත් කොල්ලොත් එහෙමයි.. ඒත් මගුල් දවසේ උදේ........"

භවන්ත කතාව ඩිංගකට නැවැත්තුවා. මං හිතන් හිටියත් වැඩිය මේක වෙනම පැත්තකට යනව වගේ කියලා මට තේරුණා. භවන්තගෙ ලොකු නංගි කෝ දැන්..? මේ කතාවෙ ප්‍රධාන බූමිකාව නිරූපනය කරන වික්‍රම්, භවන්තට මේ තරම් උදව් කරලත්, අන්තිමට කරපු ද්‍රෝහිකම මොකක්ද..? මගේ හිතට ආවෙ උත්තර නැති ප්‍රශ්න ගොඩක්. ඒත් මං කිසි දෙයක් අහන්නෙ නැතුව භවන්ත දිහා බලන් හිටියා. මොකද ඒ හැම දේකටම උත්තර දැන් හම්බවෙනවා කියලා මං දැනන් හිටියා.

"ඒත්... ඒත්.. මගුල් දවසෙ උදේ ලොකු නංගි ගෙදර හිටියෙ නෑ. ලියුමක් ලියලා තියලා ගෙදරින් යන්න ගිහින්. අපි මුකුත්ම දන්නෑ. අන්තිමට මනමාලයගෙ පැත්තෙන් ආපු අය අපිට හුගක් නිද්දා කරා අනගි. ගමේ මිනිස්සු ඉදරියෙ අපිට හුගාක් ලැජ්ජා වෙන්න වුණා. හෙණයක් පාත්වුණා වගේ මේ වුණ දේට අම්මගෙයි, මගෙයි පපුව පැලුනෙ නැති එක විතරයි. මනමාලි නැති මගුල් ගෙදර ඉන්නෙ මොන මනුස්සයද..? හැම මිනිහෙක්ම පිටවෙලා ගියා. කොල්ලෙක් වුණත් මං එදා අම්මවයි, සංජානිවයි බදාගෙන හොදටම ඇඩුවා.."

"වික්‍රම් තමයි මගේ ළගින් ඉදගෙන මාව කූල් කරේ. ඒ තත්පරේ ඉදලා අපි ලොකු නංගිව හොයන්න ගත්තා. මගේ යාලුවොයි, වික්‍රමුයි හැම තැනම ලොකු නංගිව හෙව්වා. දන්න කියන ගෙවල්වල බැලුවා. ඒත් ආරංචියක් නෑ. බලන් ඉදලා බැරිම තැන මායි, අම්මයි පොලීසියට ගියා. ඒ පොලීසියෙ ඉදපු ඕ.අයි.සී තමයි මං දැකපු සල්ලිකිම එකා. ඌ කරේ අපිට නින්දා කරපු එක. නැතුවුණ කෙනෙක්ව හොයලා වැඩක් නෑ කියලා ඌ කිව්වාත කෙල්ල කාත්තෙක්ක  හරි පැනලා යන්න ඇති කියලා කිව්වා. ඌ මහා බලු විදියට මගේ නංගි ගැන කතා කලේ. මගේ ලොකු නංගි එහෙම කරන්නෑ කියලා මං දැනන් හිටියා. අන්තිමට ඉවසලා බැරිම තැන මං ඌට ගහන්න පැන්නා. පස්සෙ අම්මා මාවත් ඇදගෙන පොලීසියෙන් එළියට ආවා.. "

"එළියෙ නා කපන වැස්ස.. ගොරව ගොරව වහිනවා. එදා තමයි මං හිතාගත්තෙ කවදා හරි පොලීසියට බැදෙනවා කියලා. මායි, අම්මයි මහ වැස්සෙම පාරට බැස්සා. අපිට යන්න වාහනයක්වත් තිබුණෙ නෑ. සංජානිත් තනියෙම ගෙදර. පාරේ ආපු වාහන හතර පහකටම අත ඉස්සුවත් එකක්වත් නතර කලේ නෑ. මායි, අම්මයි පයින්ම ගෙදර එන්න හදනකොටම ඈතින් එන ත්‍රීවිල් එකක් මං දැක්කා. මං ඒකටත් අත ඉස්සවා අනගි. අපේ වෙලාව හොදකමටද කොහේද ටිකක් ඉස්සරහ ගිහින් ඒක නැවැත්තුවා. මං අම්මගෙ අතකින් අල්ලගෙන ත්‍රීවිල් එක ළගට දුවගෙන ආවා. ඔයා දන්නවද අනගි ත්‍රීවිල් එකෙන් බැහැලා මං ළගට ආවේ කවුද කියලා..?"

භවන්ත මගේ මූණට එබුනා. හතරවටින්ම කලුවර වැටිලා තිබුණත් මටයි, භවන්තටයි ඒක ගානක් වුණේ නෑ. භවන්ත අහපු ප්‍රශ්නෙට උත්තරේ දන්නෑ කියලා කියන්න මං ඔලුව වැනුවා.

"මං ළගට තෙමීගෙන ආවෙ වික්‍රම්. මං කෑගහගෙන ඌ ළගට ගියේ ඌවත් ලොකු නංගි ගැන ආරංචියක් ගෙනාවද බලන්න..? මනාලයගෙ පැත්තෙන් වෙච්ච ලැජ්ජාවයි, ගමේ මිනිස්සු ඉස්සරහා වුණ නින්දාවයි, පොලීසියෙ වෙච්ච අසාධාරණයයි හින්දා මං මානසිකව සෑහෙන්න වැටිලයි තිබුණෙ. ඒත් මං ළගට ආපු මගේ හොද යාළුවා කිව්වෙ මොකක්ද දන්නවද..? මාත්තෙක්ක එක බත්තෙක කාපු වික්‍රම් කිව්වෙ මොකක්ද දන්නවද..? භවන්ත.. පුළුවන් නම් මට සමාව දීපන්.. මං උඹේ ලොකු නංගිව කසාද බැන්දා කියලා.. මගේ හිත ඒ වෙලාවෙම මැරුණා අනගි.. මං බිමට කඩාගෙන වැටුනා. එතකොට මං දැක්කා වික්‍රම් ආපු ත්‍රීවිල් එක එහා පැත්තෙන් ලොකු නංගි බිමට බහිනවා. එයා මනාලියක් විදියට සැරසිලා හිටියා. මගේ ජීවිතේ මට අදහාගන්න බැරිවුන දර්ශනේ තමයි ඒක. මායි, අම්මයි තරගෙට වගේ කෑගහලා විලාප තිය තියා ලොකු නංගිටයි, වික්‍රම්ටයි බැන්නා. අන්තිමට ලොකු නංගි අම්මට වදින්න ආවා. අම්මා ලොකු නංගිගෙ කම්මුල් දෙකටම අතුල් පාරවල් ගහලා කිව්වා, උඹ අද ඉදන් මට මැරිච්ච එකියක්. මගේ ඇසද්වලට පේන්නවත් එන්න එපා කියලා. උඹ අද ඉදන් මට මැරිලා කියලා.. "

"ඉතිං.. ඉතිං ඔයාම කියන්න අනගි.. වික්‍රම් දැක්කාම මට තරහා යන එක අසාධාරණද කියලා.. මං යාලුවෙක් විදියට ඌව කොයි තරම් විශ්වාස කලාද..? උං දෙන්නට ඒ එෆෙයාර් එක ගැන මට කියන්න තිබුනා. මායි, අම්මයි වික්‍රම්ව කොයිතරම් විශ්වාස කලාද..? අදටත් මගේ අම්මා යාලුවන්ව ගෙදරට එක්කන් එනවට බය ඒකයි. ඔයාට මතකද අනගි මං ඔයාව මුලින්ම ගෙදරට එක්කන් ගය දවස.. අම්මා හොදටම අවුල් වුනා. අවුරුදු ගාණකට පස්සෙ මං යාලුවෙක්ව ගෙදරට එක්කං ගියපු දවස තමයි ඒ.. මට ඔයාව විශ්වාසයි අනගි.. ඔයා හොද කෙනෙක්.. මට ඔයා ගැන බයක් නෑ.. ඒත් වික්‍රම් කියන්නෙ මිත්‍ර ද්‍රෝහියෙක්. ඌට මගෙන් කදාවත් සමාවක් නෑ. "

භවන්ත කතාව ඉවරකරනකොට මගේ හිත හිරිවැටිලයි තිබුණේ. 
දෙයියනේ සංජානි..?

මට කිසිම දෙයක්  හිතාගන්න බැරි වුණා. අනිත්තෙක මං කියටවත් මේ වගේ ස්ටෝරි එකක් භවන්තගෙන් අහන්න බලාපොරොත්තු වුණේ නෑ. දෙයියනේ... මායි, සංජානියි පැටලෙන්න යන්නෙ වික්‍රම්, භවන්තගෙ ලොකු නංගිත් එක්ක පැටලුනා වගේමනේ. මේ වෙනකොට සංජානි මං එකනක් බටර්ෆ්ලයි ගාඩ්න් එකට වෙලා බලන් ඉදලා ඉදලා යන්න ඇති. මං හිටියෙ සෙල් ෆෝන් එකත් ඕෆ් කරගෙන. ඊලටට භවන්තව පොලිස් ස්ටේෂන් එකට දාලා මං කෙලින්ම ආවෙ ගෙදර. මගේ ඔලුව යකාගෙ කම්මල වගේ.. මං ඇදන් හිටපු ඇදුමයි, ඩෙක්ස්ෂුස් එකයි පිටින්ම ඇදට වැටුනා. දැන් මේ තියෙන තත්වෙ උඩ මටයි, සංජානිටයි එෆෙයාර් එකක් පටන්ගන්න වෙන්නෑ. එහෙම හිතෙනකොට මගේ හිත හීතල වෙලා යනවා මට දැනුනා. මං සංජානිට ලංවුණේ, සංජානි මට ලංවුණේ මේ දේවල් මෙහෙම වෙනවා කියලා දැනගෙනද..? ඒ අහිංසක කෙල්ලට මං කොහොමද මේවා කියන්නේ..? සංජානි ගැන භවන්තට කියන්න ගියොත් මාවත් මිත්‍ර ද්‍රෝහියෙක් ගානට වැටෙනවා. භවන්ත හිතයි වික්‍රම්ගෙ කතාව කිව්වට පස්සෙ බයවෙලා මං, සංජානි ගැන කියනවා කියලා. කරන්න ඕන මොනවද කියලා කිසිම දෙයක් ඔලුවට ආවෙ නෑ..

"බේබි මහත්තයෝ.. ඈ හත්තිලව්වෙ මොකද මේ..? ලොකු මහත්තයත් එක්ක රංඩුවක්වත් ගියාද..?"

ඩෙක්ස්ෂුස් පිටින්ම මං ඇදේ ඉන්නවා දැකපු දෙයියගෙ ඇස් උඩ ගියා. ඌ බලනවා ඇති මට මොනවද වෙලා තියෙන්නෙ කියගා. ඒත් දෙයියා ගැන මගේ හිතට ආවේ කේන්තියක්. අවේලාවෙ මගේ කාමරේට කඩා වැදිච්ච එකට මට තද වුනා.

"මට කරදර නොකර පලයං දෙයියා.. මට නිදාගන්න ඕන.."

"තව පොඩ්ඩෙන් ආපු කාරනෙත් අමතක වෙනවා. බේබි මහතත්යට කෝල් එකක්.."

"කාගෙන්ද..?"

"දන්නෑ.. ගෑණු ළමයෙක්ගෙන්.. හරි ෂෝක් කටහඩ.."

"මං නෑ කියපං.."

ෂුවර් එකටම සංජානි වෙන්න ඇති. ඇයි දෙයියනේ මං කොහොමද සංජානිට මූණ දෙන්නේ..? 

"ඒ වුනාට බේබි මහත්තයා ඉන්නවනේ..?"

"මගේ ගෙදර මට ඉන්න බැරිද යකෝ... මගේ ඔලුව තවත් අවුල් නොකර මෙතින්න පලයං.."

මං ගිරිය යටින් කෑගැහුවා.. දෙයියා මං ගාවින් ඈත් වූනේ හොල්මනක් දැක්කා වගේ. දෙයියා ගියාට පස්සෙ මං ආයෙත් කොටේට මූණ ඔබාගත්තා. සංජානි ගැන හැම දෙයක්ම මීට කලින් භවන්තට නොකියපු එක ගැන මට දැන් හුගක් පසුතැවෙන්න වුණා. ඒත් දෙයියනේ කවුද හිතුවෙ මේ දේවල් මෙහෙම වෙයි කියලා. දැන් හැමදේම හදන්න බැරි විදියට සිද්ධ වෙලා ඉවරයි. භවන්ත ලොකු නංගි ගැන කියද්දි භවන්න කොයි තරම් හිත ඇතුලෙන් පිච්චි පිච්චිද හිටියෙ කියලා මට හොදටම තේරුණා. එහෙම තියෙද්දිත් මං කොහොමද සංජානි ගැන භවන්ත එක්ක කතා කරන්නේ..?

ගෙවිලා යන කාලය ගැන මගේ හිතට ඒ තරම් දැනුනෙ නෑ. මං එනකන් සංජානි මහා හුගක් වෙලා බලන් ඉන්න ඇති. බලන් ඉදලා ඉදලා බැරිම තැන වෙන්නැති ෆෝන් කලේ. සංජානි ගැන හිතනකොට මගේ හිතට ආවෙ ලොකු දුකක්. ඒත් ඒ ලොකු දුටක ඉස්සරහින් මහා බාධකයක් වගේ භවන්ත හිටගෙන හිටියා. ඒ කොහොම වුණත් ටික දවසක් යනකන් භවන්තලගෙ ගෙදර නොයන්න මං හිතාගත්තා. ජීවිතයේ ඉස් ඉස්සෙල්ලාම මගේ හිතට එබුන සංජානිව, භවන්ත හින්දම හිතින් ඈත් කරන්න මං හිගාත්තා. ඇත්තටම ඒ ආදරයට වැඩිම මිත්‍රත්වය මට හුගක් වටින හින්දා. කොටින්ම මිත්‍ර ද්‍රොහියෙක් වෙන්න මං අකමැති හින්දා..


No comments:

Post a Comment