Monday, February 27, 2012

| සමාවෙන්න රත්තරනේ | යෞවන සමින්ද්‍ර රත්නායක |



දා මුළු රෑ පුරාම මට නින්ද ගියේ නෑ. හැම දෙයක්ම හිතාගන්නවත් බැරි තරමට සිද්ධවෙන විදියට, තව ඉස්සරහට මොනවා වෙයිද කියලා මට හිතාගන්න බැරි වුණා. ඉන්දියාවට යන්න ගත්තු මේ තීරණේ හරි එකක්ද කියලා මං තව පාරක් කල්පනා කලා. තව සති එකහාමාරකින් විතර තාත්තා ලංකාවට එනවා. එතකොට මමත් තාත්තා එක්ක ආපහු එනවද..? ඒ ප්‍රශ්නෙට මගේ හිත ඇතුළෙන්ම ආපු උත්තරේ නෑ කියන එකයි. කොහොමටත් මේ වෙලාවෙදි මං මේ පළාතෙන්ම අයින්වෙලා ඉන්න එක හොදයි කියලා මට හිතුණා.

ඒත් සංජානි ගැන මතක්වෙද්දි මගේ හිත ඩිංගෙන් ඩිංග කඩාවැටෙන්න ගත්තා. අන්තිමට මාව හම්බවෙලා යද්දි එයා කොයි තරම් දුකකින් ද ගියේ..? කදුළු වලින් නෑවිලා ගියපු ඒ අහිංසක මූණ මත්ක් වෙද්දි මගේ පපුව හෝස් ගාලා දාලා ගියා. මං ආයෙ කවදම හරි දවසක ලංකාවට එන දවසට ඔයා ඔයාගෙ ජීවිතේ කාටහරි බාරදීළා තියේවි. ජීවිතේ ඉස්සෙල්ලම පාරට මගේ හිත ඇදලා ගත්තු පුංචි කෙල්ලගෙ සතුට දිහා බලලා මට ඈත ඉදන් හරි සන්තෝස වෙන්න පුළුවන් වේවි. ඒත් මට නැතිවෙලා ගියපු මගේ ජීවිතෙත් එක්ක, මං තනිවෙන එක නම් වලක්වන්න කාවටත් බැරිවේවි කියලා මට හිතුණා..

"මොනවද බේබි මහත්තයෝ කල්පනා කරන්නේ..?"



 හයර් එකට අරන් ආපු වාහනේ, පෑලියගොඩින් මීගමු පාරට දාද්දි දෙයියා මගෙන් ඇහුවා. දෙයියයි, මායි හිටියෙ පස්සෙ සීට් එකේ. තව පැයකින් විතර අපි එයාර් පෝට් එකේ. භවන්ත අද අපේ ගෙදර එයිද දන්නෙ නෑ. මගේ හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒකයි..


"කල්පනා කරන්න හුගක් දේවල් තියෙනවා දෙයියා.. වැඩියෙන්ම උඹට ගහපු කම්මුල් පාර ගැන.."


මං කිව්ව දේට දෙයියගෙ මූණ හිනාවකින් පිරිලා ගියා. හුග දවසකට පස්සෙ දෙයියා හිනාවුණේ. මං හිතුවෙ මූට හිනාවෙන්න අමතක වෙලා කියාලා..


"බේබි මහත්තයා මාත් එක්ක තරහා නෑ නේද..?"


"මොනවටද..?"


 දෙයියා එන්න හදන්නෙ මොකටද කියලා මට හිතාගන්න බැරිව මං ඇහුවා.


"මං දැන් අහන්න යන දේට.."

 

 බලන් ගියාම මූ මහ මෝල් මීටරයක් නේ..

"ඉස්සෙල්ලා අහලා ඉදපංකෝ.."


"ඊයේ ලොකු මහත්තයත් එක්ක කතා කරනකොට බේබි මහත්තයගෙ ඇස්වල කදුළු පිරුණා. ඒ ඇයි කියලා විතරක් කියනවද..?"


"මට සංජානිව මතක් වුණා.."


"නෑ... නෑ... සංජානි බේබි හිංදා මහත්තයා අඩන්නෑ... හිතෙන් පිච්චි පිච්චි දුක් විදිනවා විතරයි.. අඩනවා නම් ඒත් කමක් නෑ.. ඒත් ඔය විදවන විදවිල්ල නම් මට බලන් ඉන්න බෑ.."


දෙයියාට නම් මොනම දෙයක් කියලවත් බේරිල්ලක් නෑ..


"අම්මා ආපහු මැරි කරා දෙයියා..."


 මං කිව්වෙ එච්චරයි.. එයාර්පෝට් එකට එනන්ම දෙයියා වචනයක්වත් එතනින් එහාට ඇහුවෙ නෑ.. මගේ හිත මේ වෙනකොට තියෙන්නෙ කොහොමද කියලා දෙයියා හිගාතන්න ඇති කියලා මට හිතුනා. ඇත්තටම මගේ ලොකෙ රැදිලා ඉදපු හුග දෙනෙකුට නොකියාම යන මේ ගමන ගැන මටම දැනිලා තිබුණෙ මහා සංකාවක් වගේ හැගීමක්. නවෝදි, භවන්ත, සංජානි, සජීවන්, නිර්මාල්.. මේ පස්දෙනාගෙන් එක්කෙනෙකුටවත් බායි කියන්නෙ නැතුව නේද මේ රටින් පිටවෙන්න හදන්නෙ කියලා මට හිතුණා. ඒත් මට කරන්න දෙයක් තිබුණෙ නෑ. මේ වෙලාවෙ කරන්න තියෙන හොදම දේ මේකයි කියලා මමම හිතාගත්තා.


"අඩුගානෙ අපි භවන්ත මහත්තයට කෝල් එකක්වත් දෙමු බේබි මහත්තයෝ.. පොඩි වැඩ වගයකට ඉන්දියාවට යනවා කියලා.. ඔය දෙන්නා හුගක් ලගින් ආශ්‍රය කලානේ.."


එයාර්පෝට් එක ඇතුලෙදි දෙයියා මට ඒ ටික කිව්වේ හුගාක් හිමීට. භවන්තට කතා කරා නම් හොද තමයි. ඒත් භවන්ගෙ කටහඩ ඇහෙද්දි මාව අප්සට් යන්න පුළුවන්. මොනවා කියවේවිද දන්නෙ නෑ..


"උඹ කියන දේ හරි දෙයියා... ඒත්... ඒත් මං කොහොමද භවන්තට ෆෝන් කරන්නේ..? මෙහෙන් යනවා කියලා දැන ගත්තොත් ජීප් එකත් අරගෙන කඩාගෙන බිදගෙන මෙතෙන්ට එයි.. අපි මැඩ්රාස් වලට ගිහිල්ලා කෝල් එකක් දෙමු.."


ඒ වෙනකොට හිතේ දුක අතරින්ම මං හිත හුගක් සන්සුන් කරගෙනයි තිබුණෙ. දෙයියා තවදුරටත් ඒ ගැනම කතා කරද්දි වුණත් මට කේන්ති ආවෙ නැත්තෙ ඒකයි..


"නෑ බේබි මහත්තයෝ.. මේ වැඩේ හරියන්නෙ නෑ.. අපි එකපාරක් සංජානි බේබිටත් කෝල් කරමු. සංජානි බේබි, මහත්තයට කොයිතරම් ආදරෙයිද කියලා මං කියන්න ඕනෙ නෑ නේ.."


"මේ දෙයියා.... උඹ හදන්නෙ මාව මරන්නද..? උඹ කැමතිද මං මැරෙනවා දකින්න. තවත් විදවන්න මට බෑ දෙයියා.. ආයෙ ඔය ගැන කතා කරන්නවත් එපා. මං මේ සෑහෙන අමාරුවෙන් හිත හදාගෙන යන්නේ.. ඒක අවුල් කරන්න එපා.."


"එහෙනම් බේබි මහත්තයෝ මං ඩිංගක් අර පැත්තට ගිහින් එන්නද..?"


අපි ඇතුළු වුණ පැත්ත දිහා බලලා දෙයියා ඇහුවා.. මූ මොනවද කරන්න හදන්නේ..?


"මං උඹට එකපාරකුත් කිව්වා. උඹ හදන්නෙ භවන්තට කෝල් කරන්න නේද..? ෆ්ලයිට් එකට නගිනකන්වත් මට වද නොදී ඉදපං..."


"හරි බේබි මහත්තයෝ.. මං ඔය ගැන වචනයක්වත් කතා කරන්නෙ නෑ. තව ටිකකින් අපි එනවා කියලා ලොකු මහත්තයට ෆෝන් කරලා කියන්න එහෙනම්.."


 තව ඩිංගෙන් ඒකත් අමතක වෙනවා. දෙයියගේ මේ දෙඩවිල්ල හින්දා. සාක්කුවෙ තිබ්බ හෑන්ඩ් ෆෝන් එක අරන් මං තාත්තාගෙ ෆෝන් නම්බර් එක හොයන්න හැදුවා විතරයි. මගේ ෆෝන් එක රින්ග් වුනා. දෙයියා මගේ මූණ දිහා බලද්දි, මං බැලුවෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා. වැටිලා තිබ්බ නම්බර් එක මට කොහොමවත් හුරු පුරුදු නම්බර් එකක් නම් මෙනෙමයි.. කවුද මේ..?


"හලෝ...?"


"අනගි... මං මේ භවන්ත කතා කරන්නේ.."


 එහා පැත්තෙන් භවන්තගෙ කටහඩ ඇහෙද්දි මම ගැස්සිලා ගියා. මේ වෙලාවෙම භවන්ත කතා කරපු එකනේ ප්‍රශ්නෙ. ඒත් භවන්තගෙ කටහඩේ ලොකු කැළඹීමක් මට දැනුනා..


"ම... මං ආසිරි හොස්පිටල් එකේ ඉන්නේ.. ම... මට හිතාගන්න බෑ.. සංජානි වස බීලා.."


"ස... සංජානි..?"


භවන්තගෙ වචන ඇහෙද්දි මගේ මුලු ලෝකෙම දෙදරලා යනවා මගේ මට දැණුනා. දෙයියනේ... මොනවද මේ වෙලා තියෙන්නේ..? ඇයි මේ පුංචි කෙල්ල වස බිව්වේ..? මං හෑන්ඩ් ෆෝන් එක තවත් තද කරලා අල්ලගත්තා..


"ඔ... ඔව් දෙයියනේ.. ඔව්.. හේතුව මොකක්ද කියලා දන්නෑ අනගි.. ඩොක්ටර්ස්ලා කියනවා හුගාක් සීරියස් ලූ.. බේරගන්න අමාරුයි ලු. අයි.සී.යූ එකේලු. ම.. මට තේරෙන්නෙ නෑ... මං මොනවද කරන්න ඕන කියලා.. ම... මට මගේ නංගි නැතවෙයි කියලා බයයි අනගි..."

 

"ම... මයි ගෝඩ්..."

මගේ අතින් ෆෝන් එක බිම අතෑරුනා. වෙලා තියෙන්නෙ මොකක්ද කියලා මටත් හිතාගන්න බැරුව ඩිංගක් වෙලා ඔහේ බලන් හිටියා. බිම වැටුන ෆෝන් එක අහුලන ගමන් දෙයියා මං දිහා බැලුවෙ පුදුම වෙලා වගේ..


"ඇයි... ඇයි බේබි මහත්තයෝ..?"


"ස... සංජානි.. ව... වස බීලා.."


බලන් ඉන්දිම දෙයියගෙ මූණ කලුපාට වෙලා ගියා. කෙලින් හිටගන්න පණක් නැතුව මං දෙයියගෙ උරහිස් කෙට අත්දෙක තියාගත්තා.


"දැන් සන්තෝසද...? ආ බේබි මහත්තයෝ..? දැන් ඔයාට සන්තෝසද..? සංජානි බේබි, මහත්තයට නැහීගෙන ආදරේ කලා. මේ කොහේවත් යන වික්‍රම් කෙනෙක් හින්දා මහත්තයා ඒ ආදරේ පැත්තකට දැම්මා. දැන් තවත් බලන්න දෙයක් නෑ. ලොකු මහත්තයට කෝල් කරලා කියන්න අපි එනවා කියලා.."


දෙයියා මහා සද්දෙට කියවන් ගියා. බලන් ගියාම උගේ කේන්තිය සාදාරණයි නේ. එතකොට වැරදිකාරයා වෙන්නෙ මමද..?


"එහෙම නෙමෙයි... තාත්තට ෆෝන් කරලා කියපං අපි එන්නෑ කියලා.. ලංකාවට ආවාම හම්බවෙමු කියලා.."


ෆෝන් එක දෙයියා අතට දීළා මං කිව්වා. ඊළග තත්පරේ මායි, දෙයියයි හයරින් කාර් එකක් අරන් එයාපෝට් එකෙන් පිටත්වුණා. ඒ වෙනකොට මගේ හිතේ තිබ්බෙ එක දෙයයි. ඒ සංජානිට මුකුත් කරදරයක් වෙන්න එපා කියනෙක..


කාර් එකේ ස්පීඩ් එක එකසිය විස්සට එහා පැනලා තිබ්බා. හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනට පහුවෙලා යන වටපිටාව අස්සෙන් මගේ හිතටත් තටු ඇවිල්ලා තිබුණා. කාර් එකේ ස්පීඩ් එකටත් වැඩිය වේගෙන් මගේ හිත දුවන්න ගත්තා. ඉස් ඉස්සෙල්ලාම ස්ටේෂන් එකේදි මායි, සංජානියි එකට එක හැප්පුන හැටි.. සංජානිගෙ ටසල් එක මට හම්බවුණ හැටි.. බයික් එකේ යතුර අමතක වෙලා ආවාම, මගේ අතට යතුර ගෙනල්ලා දුන්න හැටි.. සංජානිගෙ උපන්දිනේ දවසෙදි මල් බොකේ එක බිමට වැටුන හැටි.. ඔය වගේ දාහක් දවෙල් මගේ හිතේ පෙළ ගැහෙන්න ගත්තා. ඒ හැම සිදුවිමකින්ම මට ලංවුණ ඒ සුදු කෙල්ල වසබීලා කියන එක මට අදහා ගන්න බැරි වෙලා තිබුණා..


"බේබි මහත්තයා.. බහිමු..."


හයරින් කාර් එක ආසිරි හොස්පිටල් එකටත් ඇවිල්ලා තිබුණා. කාර් එකෙන් බැහැලා මං කෙලින්ම දුවලා ගියේ රිසෙප්ෂනිස්ට් ගාවට. සංජානිගෙ නම දීලා එයා ඉන්න තැන මං හොයාගත්තා. මටත් කලින් දෙයියා ඉස්සරවෙලා යන්නයි හැදුවෙ. මං එකපාරටම දෙයියගෙ අතින් අල්ලගත්තා..


"දෙයියා.... මාවයි, සංජානිවයි අතර වෙච්ච කිසිම දයෙක් මෙතන කියවන්න බෑ.. තේරුණානේ.. එහෙම වුණොත් මට භවන්තගෙ මූණ බලන්න බැරි වෙනවා. මේ මං කියන ඒවා අහගනිං.. ආය මං නරක මිනිහා කියන්න එපා.."


මං කිව්ව දේට දෙයියා මුකුත් කිව්වෙ නෑ. දෙයියගෙ මූණ තවත් අදුරු පාටට හැරුණා. අපි ඉස්සරහම තිබුණෙ එකටයට අල්ලපු කාමර දෙකක්. ඒ එක කාමරයක භවන්තයි, ආන්ටියි ඉන්නවා මං දැක්කා. දෙයියව එළියනේ තියලා දොර ඇරගෙන මං ඇතුල් වුණා. මාව දැක්ක ගමන් භවන්ත දුවගෙන ඇවිත් මාව බදාගත්තා.. භවන්තගෙ ඇස්වලින් කදුලු කඩාගෙන වැටෙන හැටි දැක්කාම මගේ ඇස්වලින්තු කදුලු හැලෙන්න ගත්තා..


"ම.. මට තවත් මේ දිහා බලන් ඉන්න බෑ අනගි.. උදේ ඉදන් මගෙත්තෙක්ක හොදට කතා කර කර හිටපු කෙල්ල මේ කරන් තියෙන දේ මට හිතාගන්නවත් බෑ දෙයියනේ.."


මගේ උරහිසට අත්දෙක තියලා, මූණට එබීගෙන භවන්ත කියවන් ගියා. ඒ මූණෙ තියෙන අසරණකම මට හොදට තේරෙද්දි, පෙනෙද්දි මං බිම බලාගත්තා. භවන්තගෙ අම්මත් බිත්තිය අල්ලගෙන අඩන හැටි දකිද්දි මට දැනුණෙ පුදුම දුකක්... දෙයියනේ.. කෝ එතකොට සංජානි..?


"දැං.. කෝ සංජානි භවන්ත....?"


ඒ ටික අහන්න මම කොයිතරම් ට්‍රයි කරාද කියලා දැනන් හිටියෙ මම විතරයි..


"අයි.සී.යූ එකෙන් අර කාමරේට ට්‍රාන්සර් කලා අනගි.. තාම සිහිය නෑ.. මට බයයි අනගි.. මට බයයි.. මගේ පුංචි කෙල්ලව ඕන.. හ්.. හ්..."


භවන්ත ආයෙත් අඩන්න ගත්තා. ඔයා මේ තරම් ඉක්මන් වුණේ ඇයි සංජානි..? ඔයාලෙ ලෝකෙට මාව මේ තරම්ම වටිනවද..? ඔයාගෙ ඔය රත්තරන් ජීවිතේ නැතිකරගන්න තරම්ම..? හිතාගන්නවත් බැරුව, කතා කරගන්නවත් බැරුව අපි තුන්දෙනා මූණෙන් මූණ බලාගෙන හුගක් වෙලා ඉද්දි තමයි, සංජානිගෙ රූම් එකේ ඉදලා ඩොක්ටර් එළියට ආවේ. කවදාවත් නැති විදියට මගේ පපුව ගැහෙන්න ගත්තා. අනේ දෙවියනේ... මගේ පුංචි කෙල්ලට මුකුත් කරදරයක් නම් වෙන්න එපා.. මං හිතින් හිතාගත්තා..


"පේෂන්ට් ට සිහිය ආවා.. දැන් බයවෙන්න දෙයක් නෑ.. තරුණ ළමයි ගැන ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕන.."


භවන්තයි, ආන්ටියි සංජානිගෙ කාමරේට තරගෙට වගේ යද්දි, ඩොක්ටර් කියනවා මට ඇහුණා. මේ වෙලාවේ ඉදලා ඉස්සරහට මොනවා වේවිද කියන ප්‍රශ්ණෙ තමයි මගේ හිතට ඊගාවට ආවේ.. ඒ මොනවා වුණත් සංජානිගෙ ජීවිතේට ප්‍රශ්නයක් නෑ කියලා මගෙ හිතට තේරුණාම තමයි යාන්තම් වගේ පපුවට හුස්ම වැටෙන්න ගත්තේ.. කාමරේ දොරකඩට ඇවිල්ලා මං හෙමින් සීරුවෙ සංජානි දිහා බැලුවා, එයාගෙ ඇස් ලොකු බලාපොරොත්තුවකින් වෙව්ලුම් කන හැටි මම දැක්කා. මාව දැක්කා විතරයි ඒ මූණ මහා සතුටකින් පිරිලා ගියා. ඒ අතරෙ තමයි ආන්ටි ගිහින් සංජානිගෙ අතකින් අල්ලගත්තේ.
              
"අ... අනේ රත්තරං.. ඔයා මොනවද මේ කරගත්තේ..? ඔයාට තියෙන ප්‍රශනෙ මොකක්ද දරුවෝ..? අනේ දෙවියනේ.. ඔයා මේ මගුලට කැමති නෑ කියලා මට කිව්වා නම් ඉවරනේ රත්තරනේ.. මං ඔයාව බලෙන් කාටවත් දෙන්නේ නෑ..."

ආන්ටි අඩ අඩාම කියනවා.. සංජානිගෙ ඇසුත් කදුළු වලින් උතුරලා යනවා මං දැක්කා. රෝස පාට මූණ මැලවිලා ගිහින් සංජානිගෙ මූණත් එක්ක වෙනස් වෙලා. ඒත් එයා මුකුත්ම කිව්වෙ නෑ. එයාගෙ ඇස් වැඩිපුරම රැදිලා තිබුණෙ මගේ මූණෙ.

"කතා කරන්න රත්තරන්.. අනේ ඔයාට අමාරුද වස්තුව..?"

භවන්තගෙ මුලු මූණම කලුපාට වෙලා ගිහින් තිබුණා. භවන්ත අහපු දේට නෑ කියලා කියන්න වගේ සංජානි ඔලුව දෙපැත්තට වැනුවා. සංජානිගෙන් අහන්න තරම් දේවල් සෑහෙන්න තියෙද්දි මෙහෙම පැත්තකට වෙලා බලන් ඉන්න එක කරන්නම බැරි දෙයක් කියලා මට දැනුනා. ඒත් භවන්තත්. ආන්ටිත් ඉන්න හන්දා මට තවත් ඉවසන්න හිතුනා.

"අඩන්න එපා රත්තරන්... ඔයා අඩනවා මායි අම්මයි බලන් ඉන්නෙ කොහොමද..? ඔයා එකපාරටම ඔය වගේ තීරණයක් ගත්තෙ, මායි අම්මයි ඔයාට මංගල්ලයක් කතා කරපු හන්දද..? ආ.. කියන්න බබා.. ඔයා නැති වුණා නම් හෙට අපි දෙන්නට වෙන්නෙ මොනවද කියලා ඔයා හිතුවද..? එහෙනම් අපි දෙන්නම මැරෙයි.."

සංජානිගෙ අත් දෙකම අල්ලගෙන භවන්තත් අඩන්න ගත්තා. මං පුදුම තරම් හිතේ අමාරුවකින් ඒ දිහා බලන් හිටියේ.. මේ තරම් සංවේදි කතාබහක් මට හුගකාලෙකින් ඇහිලා තිබුණෙ නෑ. ඒත් භවන්ත අහපු කිසිම දේකට සංජානි උත්තර දුන්නෙ නෑ.. එයා බලන් හිටියෙ මං දිහා. ඒ කියන්නෙ ඔයා වස බිව්ව මං හින්දා... ඒත් ඒ ප්‍රශ්නෙ මං කොහොමද සංජානිගෙන් අහන්නේ..?

"මං ඔයාට වැරැද්දක් කෙරුවද රත්තරං.. මං ඔයා ගාව යාලුවෙක් වගේ නේද හිටියේ..? ඔයාගෙ හිතේ තියෙන ප්‍රශ්නයක් මට කියන්න තරම් ශක්තියක් ඔයාට තිබ්බෙ නැද්ද..? ඔයා මේ මංගල්ලෙට කැමති නැද්ද..? ඔයා කාටහරි කැමතිද..? ඔයාගෙ හිතේ තියෙන ආදරේ ඉෂ්ඨ කරගන්න බැරි වුණාද.? කමක් නෑ මට කියන්න... ඔයා මේ දේ කරගත්තේ ආදරේ හින්දා නේද..? මට කියන්න බබා.. මට කියන්න.. කවුද ඔයාගේ ආදරේට වග කියන්න ඕන කියලා..?"

භවන්ත, සංජානිගෙන් මහා ප්‍රශ්න ගොඩක් අහගෙන අහගෙන ගියා. මගේ පපුව ගැහෙන වේගේ තවත් වැඩි වුණා. සංජානි මගේ මූණෙන් ඇස් අහකට අරන් පියාගත්තා. ඒ එක්කමයි අහසින් කඩන් පාත්වුණා වගේ දෙයියා අපේ කාමරේට කඩන් පාත් වුණේ.. දෙයියනේ.. මූ මොනවා හරි කියාවිද..?

 දෙයියගෙ මූණ දිහා මං බැලුවත්.. දෙයියා බලන් හිටියෙ භවන්තගෙ මූණ දිහා.. මොනවදෝ කියන්න දෙයියා කට හදද්දි මං ඌ ළගට යන්න හැදුවත්, ඊට කලින් දෙයියා භවන්ත ළගට ලංවුණා..

"මේවට වගකියන්න ඕන කවුද කියලා සර් ඇහුවනේ.. සංජානි බේබිට ආදරේ කරන්නෙ කවුද කියලා මං කියන්නම්.."

දෙයියා කියවන් ගියා... මූ.. මූ.. බලන් ඉද්දිම මගේ පොරොන්දුව කැඩුවා. කලින් අපි ඉදපු කාමරේට එන්න කලින් මං මූව පොරොන්දු කර ගත්තනේ. මමයි, සංජානියි ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ කියලා. දෙයියා නම කියන්න කලින් මං ඌ ළගට ළං වුණා. මගේ මූණෙ තිබුන පෙනුම දැකලද කොහෙද දෙයියට වචන හිරවුණා. දෙයියා බිම බලාගත්තා. සංජානිත් බයවෙලා වගේ මං දිහා බැලුවා. ආන්ටිගෙ මූණ දිහා ටික වෙලාවක් බලන් ඉදපු භවන්ත, දෙයියා ළගට ආවා. වචනයක්වත් කතා කරගන්න බැරිව මං ගොලුවුණා.

"කියපං දෙයියා කියපං.... මගේ නංගි ළග මේ තරම් කල් ඉදලත් මට දැනගන්න බැරිවුණ දේ උඹ දැනගෙන.. ඒ කවුද කියලා මට කියපං.."

 භවන්ත අත් දෙකෙන්ම දෙයියව අල්ලගෙන මහ හයියෙන් හොලවලා ඇහුවා..

"වෙන කවුරුත් නෙමේ.. අපේ බේබි මහත්තයා.."

 ගල් බෝරයක් ගහනවටත් වැඩිය සද්දෙට දෙයියගෙ කටහඩින් එහෙම කියැවුණා. ජීවිතේට හිතාගන්නවත් බැරි දෙයක් ඇස් ඉස්සරහා වුණා වගේ භවන්තගෙ මූණ විරූපී වෙලා ගියා. ආන්ටිගෙ මූණ සුදුමැලි වෙලා ගියේ මං බලන් ඉද්දිමයි. මං දෙයියා ඉස්සරහට පැන්නා..

"ම... මං උඹට කිව්වා දෙයියා... මං උඹට කිව්වා... උඹ මේ ඕන නැති දෙයක් කරේ.. මං උඹට කවදාවත් සමාව දෙන්නෙ නෑ.."

දෙයියව පැත්තකට තල්ලු කරලා දාන ගමන් කිව්වා..

"බේබි මහත්තයා මාව මරලා දැම්මත් මට කමක් නෑ.. පැත්තකට වෙලා ඉදගෙන බේබි මහත්තයා විදවනවා මට තවත් බලන් ඉන්න බෑ.. මේ හැමදේම අද කියලා ඉවරයක් කරලා දාන්න ඕන.."

දෙයියගෙ කටහඩට මොකක්දෝ ලොකු ශක්තියක් එකතුවෙලා තිබුණා. පුංචි කාලෙ ඉදලම දෙයියා ළගින් මං ඉදලා තියෙන හින්දා දැන් දෙයියව නවත්තන්න දෙයියන්ටවත් බෑ කියලා මට තේරුණා. භවන්ත කන්න වගේ මගේ මූණ දිහා බලන් ඉද්දි, මං සංජානි දිහා බැලුවා. ඒ සුදු මූණෙ තිබ්බෙ මහා අසරණ පෙනුමක්. ජීවිතේ හැම දෙයක්ම අහිමිවෙලා ගියපු කෙනෙක්ගෙ ඇස්වල තියෙන කදුළු පොදියක අඩුවක් නැතුවම සංජානිගෙ ඇස්වල තිබ්බා. ඊට පස්සෙ ගෙවිලා ගියපු විනාඩි ගානෙදි දෙයියා හැමදෙයක්ම ගිරවා වගේ කියවලා දැම්මා. භවන්තයි, ආන්ටියි හිටියෙ කිසිම දෙයක් අදහා ගන්න බැරුව වගේ...

"අන්තිමට යාලුවට ද්‍රෝහි වෙන්න බැරි හින්දම බේබි මහත්තයා මේ රටෙනුත් යන්න ගියේ. අපි එයාර් පෝට් එකට වෙලා ඉන්නකොට තමයි සංජානි බේබි වසබීළා කියලා භවන්ත සර් කිව්වේ.. ඔයා, අපේ බේබි මහත්තයගෙ ඔය තරම් හොද යාලුවෙක් වෙලත්, බේබි මහත්තයගෙ හිතේ ඉදපු ගෑණු දරුවව කවුද කියලා දැනගත්තෙ නෑ නේ.."
 

දෙයියා ඒ ටික කියවලා ඉවරවෙනකොටම භවන්ත මගේ ළගට ආවා. ඒ මූණෙ තියෙන්නෙ මොන වගේ හැගීම් ද කියලා මට හිතාගන්න බැරි වුණා. ආන්ටිගෙයි, සංජානිගෙයි මූණු වලට අලුතින් එක්කහු වෙච්ච බයක් වගේ හැගීමක සටහන් ඇදිලා තිබුණා. භවන්ත මගේ ළගට ඇවිල්ලා, ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලගත්තා. ඒ දේ වළක්වන්න වගේ දෙයියා අපේ ළගට පැන්නත්, භවන්ත දෙයියව පැත්තකට තල්ලු කරලා දැම්මා..

"මෙච්චර දුක හිතෙන දේවල් හිත ඇතුලෙ තියාගෙන.. උඹ මාත් එක්ක හිනාවෙවි හිටියා නේද..? ආ..?"

භවන්ත අහපු දේට මං මුකුත්ම කියන්නෙ නැතුව, භවන්තගෙ අත ගසලා දැම්මා. ඊට පස්සෙ ෂර්ට් එක හරියට හදාගෙන මං භවන්ත දිහා කෙලින් බැලුවා. වෙන්න යන්නෙ මොනවද කියලා හිතාගන්න බැරුව ආන්ටියි, සංජානියි ගල් ගැහිලා වගේ බලන් හිටියා..

"වික්‍රම්ගෙයි, මගෙයි ෆ්‍රෙන්ඩ් ෂිප් එකට ඔයාගෙයි, මගෙයි ෆ්‍රෙන්ඩ් ෂීප් එක සමාන කෙරුවෙ ඇයි අනගි..? ඌ වෙනයි, ඔයා වෙනයි.. ඌ ගැන හිතුවා වගේ ඔයා ගැනත් මං හිතයි කියලා ඔයා කොහොමද හිතුවේ..? ඔයා කවුද...? ඔයා කවුද..?"
 

 මගේ පපුවට දකුණු අත තියලා භවන්ත මගෙන් ඇහුවා.. ඒත් මං මුකුත් කියන්න ගියේ නෑ..

"ඔයා කවුද...? ඔයා මගේ අනගි... මගේ මේ කැඩිලා කුඩු පට්ටම් වෙලා තියෙන හිතේ ඉන්න එකම යාලුවා ඔයා.. එකම යාලුවා.. මාවත් දාලා ඔයා කොහේ යන්නද හැදුවේ..? මේ ලෝකෙ තියෙන ලස්සනම හිත තියෙන්නෙ ඔයාට.. ඔයා වගේ රත්තරං යාලුවෙක් මං ආයෙ කොහෙන්ද හොයන්නේ..?"

 මං හීනෙකින්වත් හිතපු නැති විදියට භවන්ත කතා කරන්න ගත්තා. පපුව ඇතුළට දැනෙන මොකක්දෝ අමුතු සහනයකින් මගේ හිත උතුරන්න පටන් ගත්තා.

"ඔයාගෙ මූණ බලාගෙන මං කොහොමද ඒ වගේ දෙයක් කියන්නෙ භවන්ත..? ඒකයි මම මේ හැමදේම දාලා යන්න ගියේ.. "

"මටත් කියන්නෙ නැතුව ඔයා යන්න ගියා.. ඔයාට දෙන්න බැරි දෙයක් මගේ ළග නෑ.. මගෙන් සංජීවනී ඕන කියලා ඉල්ලුවා නම් මං ඔයාට දෙන්නෙ නැද්ද අනගි..? මගේ නංගිට මනමාලයෝ ඕන න.. ඔයා තමයි මගේ නංගිට ඕන.. ඔයා තමයි අපේ පවුලට ඕන.."

එහෙම කියලා භවන්ත මාව බදාගත්තා. ඇස් දෙකෙන්ම කදුළු පුරවගෙන අගේ ළගට ආපු ආන්ටි මගේ කම්මුලත් ඉම්බා. මගේ ඇස්වලට කදුළු උනාගෙන එද්දි ඒ කදුළු අතරං මං සංජානි දිහා බැලුවා. ඒ සුදු මූණ රෝස මලක් වගේ ලස්සන හිනාවකින් පිරිලා ගිහින් තිබුණා. හෙමින් සීරුවෙ භවන්තගෙන් ඈත්වෙලා මං සංජානි ළට ගිහින් ඒ මූණට පාත් වුණා..

"ම..... මට සමාව දෙනවා නේද රත්තරං...?"

"ඔ... ඔව් රත්තරනේ ඔව්...."

මගේ ඔලුව වටේට අත් දෙකම දාලා, එයාගෙ මූණ මගේ මූණට තද කරගන්න ගමන් සංජානි කිව්වා. මේ තරම් කාලයක් හීනෙන් විතරක් විදගත්තු ඒ ලොව්තුරු පහසට ආසාවෙන් මං තවත් සංජානිට ළංවුණා..



15 comments:

  1. ඉවරයිනේ කතාව... කොහොම උනත් නියමෙටම ලියලා තියෙනවා. තව කතාවක් ලියමු එහෙනම්.

    ReplyDelete
  2. ela elatama mama kamathi widiyatama liyala thiyenawa... methanin liyana eka nawathwana ekak na kiyala hithanawwa thawa kathaawak ikmanata one.. jaya wewa..

    ReplyDelete
  3. හොද අවසානයක්

    ReplyDelete
  4. පට්ට කතාව එක හුස්මට කියෙව්වා

    ReplyDelete
  5. Thanks for sharing this creation with us.........

    ReplyDelete
  6. lassana wasilissaApril 9, 2012 at 12:15 AM

    ela machan... hindi film ekak wage... ela

    ReplyDelete
  7. macho supiri kathawa...digatama liyapan...!

    ReplyDelete
  8. ela kathaawa,, digatama liyanna..

    ReplyDelete
  9. niyama kathawa thawa katha daanna please

    ReplyDelete
  10. Aiyea kathaw niyametama niyamai mewagea lassana end ekak thiyenakatha daanna plea

    ReplyDelete
  11. ලස්සන කතාවක්. කතාවේ ගලායාම වගේම අවසානයත් සිත් ගත්තා. තව ලියන්න.

    ReplyDelete
  12. ela ela niyama story eka... thwa thawa liyanna puluwan wewa!!!! (Suneth Priyankara)

    ReplyDelete
  13. ELA eLA aDAI kIYAUWE

    ReplyDelete