Friday, February 24, 2012

| සමාවෙන්න රත්තරනේ | යෞවන සමින්ද්‍ර රත්නායක |



     අලුතින් ටී ෂර්ට් ටිකක් ගන්න ඕන කියලා මගේ හිතට හිතිල තිබුණෙ හුග දවසක ඉදලා. දෙයියාවත් ඇදගෙන ගියා නම් හොදයි තමයි. ඒත් වෙලාවකට ඌත් වාතයක් වෙනවනේ. කෙල්ලෙක් මාත් එක්ක කතා කලොත් ඒකි මාව බදින්නෙ කවදද...? නැත්නම් අපේ එන්ගේජ්මන්ට් එක කවදද..? නැත්නම් ඒ කෙල්ලගෙ බර්ත් ඩේ එක අත ලග නේද...? ඔය දේවල් අහලා මගේ මොලේ කාවි. ඒක හින්දා දෙයියා එක්කගෙන යන අදහස මං අත්ඇරලා දැම්මා.

ට්‍රේල් බයික් එක පැෂන් සෙන්ටර් එක ළග පාක් එකේ දාලා මං පඩිපෙල නගින්න ගත්තා. කම්මැලිකමටත් එක්ක පඩිපෙල නැග්ගට ලිෆ්ට් එකේ ගියා නම් හොදයි කියලා මට හිතුණා. ඒක හන්දම පඩිපෙළි හත අටක් නැගලා මං ආයෙත් බැස්සා. බැහැලා ඉවර වෙලා ලිෆ්ට් එක පල්ලෙහාට එනකන් මං බලන්  හිටියා. උඩට යන ලිෆ්ට් එක දිහා බලනකොට තමයි තුන්වෙනි තට්ටුවෙ ෂෝ රූම් එක ඉස්සරහා  මගේ ඇස් නතර වුණේ. දැකපු දේ මටම අදහගන්න බැරි වුණා. එදා ස්ටේෂන් එකේදි මගේ ඇගේ හැපිලා බිම වැටුණු ලස්සන කෙල්ල ෂෝ රූම් එක ඉස්සරහා ඉදගෙන මොනවද තෝරනවා. මගේ හිතට ආවෙ මහ විශාල සන්තෝසයක්. ඒ සන්තෝසෙත් එක්කම පපුව ගැහෙන වේගෙත් වැඩිවෙන්න ගත්තා. දැන් මම මොනවද කරන්න ඕන කියලා මගේ ඔලුවට ආවෙ නෑ. මොන දේ වුණත් අද නම් ඔයාව මිස් කරගන්නෑ බබා කියලා මං හිතාගත්තා.

අදටත් එක්ක මං එයාව දැකලා තිබ්බෙ දවස් තුනයි. මේ දවස් තුනට එයා මගේ හිත ඇතුළෙ මොන තරම් විපර්යාස කරාද..? මෙච්චර කාලෙකට කිසිම කෙල්ලෙක් කෙයාර් කරපු නැති මට වෙලා තියෙන දේ මටම හිතාගන්න බැරිවෙලයි තිබුණේ. ඒත් ඉතිං වෙලා තියෙන දේවල් ගැනයි, ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැනයි තව හිත හිතා හිටියොත් එයාව අදත් මිසින් තමයි. ඒක හින්දා ලිෆ්ට් එකේ යන අදහස අතෑරලා දාලා මම පඩිපෙළි දිගේ දුවගෙන ගියා. ඇට්ටි හැලෙන්න ගති දැනෙනකොට තමයි තේරුණේ දවස් දෙක තුනක් එක්සසයිස් නොකරපු පල විපාකෙ. විනාඩියට දෙකට මං තුන්වෙනි තට්ටුවට නැග ගත්තා. එයා ඉදපු ෂෝ රූම් එක ලගට මං ආවේ විදිල්ල වගේ. ඒත් ඒ තත්පරේට එයා අතුරුදහන් වෙලා තිබුණා.

හිතේ මහමෙරක් වගේ ගොඩ ගැහිලා තිබ්බ ලස්සන බලාපොරොත්තු එකින් එක කඩාගෙන වැටෙද්දි මං වටපිට බැලුවා  දෙයියනේ... එයා අදත් මිසින්ද...? ඒත් වටපිට බලද්දියි මං දැක්කෙ එයා ආයෙමත් ෂොප් එක ඇතුලට ගිහින් කියලා. ෂොප් එකට එළියෙන් තිබ්බ ග්ලාස් එකෙන් මං එයා දිහා හොදට බැලුවා. මොනවදෝ පුංචි පුංචි පබලු මාල වගයක් එයා තෝරනවා. ඒ දේවල් තෝරද්දි ඒ මූණ වෙනස් වෙන හැටි, ඇස් පුංචි වෙන  හැටි, ලතාවකට ඒ කොන්ඩෙ ගැස්සෙන හැටි මං බලන්  හිටියෙ ලොකු ආසාවකින්. එයා කරන හැමදේකම මොකක්දෝ ලොකු සුන්දරත්වයක් ගැබ් වෙලා තිබුනා. ඒ සුන්දරත්වය මුළු හිතෙන්ම විදගන්න ගමන් මං හිටියෙ ලොකු නොඉවසිල්ලකින්.

බඩු මූට්ටු ටික අරගෙන ඉවරවෙලා එයා ෂොප් එකෙන් එළියට බැස්සා. මගේ හිත ගැහෙන්න ගත්තෙ පරණ ටාටා බස්සෙකක ස්ටාර්ට් කරපු ඇන්ජිමක් දෙදරනවා වගේ. මූණ මැද්දෑවට ඇවිල්ලා තිබ්බ දාඩිය බිංදු ටික පිහදාගන්න ගමන් මං එයා පිටිපස්සෙන් හෙමිහිට ඇවිදගෙන ගියා. දැන් මෙහෙම ගිහින් ගිහින් මොනවද කරන්නේ..? පුළුවන් නම් මොනවා හරි කතා කරපං කියලා මගේ හිත කෑගැහුවා. ඒත් ඒකට ඕනෙ කරන ශක්තිය නම් මේ අනගි රඹුක්වැල්ල ගාව බිංදුවක්වත් තිබ්බෙ නෑ. ගුටි ක“ෑවත් කමක් නෑ. මං එයාට කතා කරනවා. හිතේ තිබ්බ අන්තිම ධෛර්යය බිංදුවත් නැතිවෙලා යද්දි මං හිතාගත්තා.

"මි... මිස්..."

එයාගෙ පස්සෙන් යන ගමන්ම මං කතා කරා. ඒත්මං කතා කරපු එක එයාට ඇහුණෙ නෑ. ඒක හින්දා මට එයාව පහුකරන් ගිහින් ඒ සුදු මූණ ඉස්සරහට එබෙන්න සිද්ධ වුණා.

"මි... මිස්ට... මා... මාව.. ම..." 

"හා... හායි සංජානි.. මේ කොහෙද බබා..?"

දෙයියනේ කියලා කතා කරන්න පටන් ගත්තා විතරයි. එයාගෙ යාලුවො කට්ටියක් අපි දෙන්නා මැද්දට කඩන් පාත්වුණා. අමුතු සතෙක් දිහා බලනවා වගේ මං දිහා බලලා ඉවරවෙලා එයා යාලුවොත්තෙක්ක හිනාවුණා. අපි ඉන්න තැනට ආපු කෙල්ලො ගැන්සියට මගේ වගක්වත් තිබුණෙ නෑ. උං ගිරව් වගේ කියවන්න ගත්තා. ඉස් ඉස්සෙල්ලාම මොන්ටිසෝරි පංතියට දාපු පුංචි එකෙක් වගේ මං නන්නත්තාර වුණා. මේ මොකද මේ වුණේ..? ටිකෙන් ටික මාව පහුකරන් යන එයාලා මං දිහා ඇහැපිය ගහන්නෙවත් නැතුව බලන් හිටියා. ආපහු එකම එක පාරක් හරි එයා හැරිලා මං දිහා බලයි කියලා මං බලාගෙන හිටියත් එයාලා මං දිහා බැලුවෙ නෑ. සංජානි... ඔයා මහ ආඩම්බරකාර කෙල්ලෙක්. ඔයා ඇයි මට ආඩම්බරකම් පෙන්නන්නෙ. තුන්වෙනි තට්ටුවෙ ඉදලා එයාලා පල්ලෙහා තට්ටුවෙන් මේන් රෝඩ් එක දිහාට යන හැටි මං බලන් හිටියෙ අතරමං වෙලා වගේ. එයාලා කට්ටියම පේන්නෙ නැති වෙන්න යන්න ගියාට පස්සෙ මං හෙමින් සැරේ පඩිපෙල බැහැලා ආවා. මගේ හිත ඇතුලෙ තිබ්බෙ පුදුම නොසන්සුන්කමක්. පාක් එකේ නවත්තපු බයික් එක ස්ටාර්ට් කරන් මං ඊගාවට කෙලින්ම ආවේ පොලීසියට..

"හලේ.... ෆ්‍රෙන්ඩ්..?"

මාව දැක්ක ගමන් භවන්ත පුටුවෙන් නැගිටලා මට අත දික් කලා. මං ෂේක් හෑන්ඩ් කරලා මිනිහා ඉස්සරහා පුටුවේ වාඩිවුණා.

"ඉතිං.. ඉතිං... කොහොමද ජීවිතේ..? උඹ ආපු එක නම් කියලවත් කරගන්න බැරි දෙයක් අනගි. මං මේ වැඩ වගයකට යටවෙලා  හිටියෙ. අද උදේ ඉදලම මී හරකා වගේ වැඩ..."

"මං හින්දා ඩිස්ටර්බ්ද භවන්ත..?"

"පිස්සු කතා කරන්න එපා ෆ්‍රෙන්ඩ්.. උඹ ආපු එක කොයි තරම් ලොකු දෙයක්ද..? මං මේ උඹට ෆෝන් කරන්නත් කියලා හිටියේ. ඒක නෙමේ.. ඒක නෙමේ අනගි.. උඹේ මූඩ් එක හොදටම අප්සට් ගිහින්. මොකක්ද කියපං ට්‍රබල් එක..?"

භවන්ත මගේ මූණ දිහා හොදට බලන ගමන් ඇහුවා. මේ හිතේ තියෙන දේවල් එළියට දැම්මොත් භවන්ත හිනාවේවිද මංදා. කිසිම කෙල්ලෙක් ගැන ඉන්ටරෙස්ට් නැතුව ඉදපු මට මේ පුංචි කෙල්ල මොනවද මේ කරේ..?

"මුකුත් නෑ භවන්ත.."

"නැතිවෙන්න බෑ අනගි.. අර වෙනදා තියෙන සිරා හිනාව අද 
උඹේ මූණෙ නෑ. ට්‍රබල් එක කියපං. මං පුළුවන් උදව්වක් කරන්නම්. අපි ඉතින් හොද යාළුවොනේ අනගි.."

මගේ අත ආයෙමත් මිරිකන ගමන් භවන්ත කිව්වා. හිතේ තියන මේ බර සැහැල්ලු කරගන්නත් එක්ක හැමදේම වමාරන්න මං හිතාගත්තා. එතකොට හරි හිත නිදහස් වේවිනේ..

"මෙ... මේ කෙල්ලෙක් ගැන භවන්ත.. ඒත් මේවා උඹට කිව්වොත් උඹ මට හිනාවේවි."

 භවන්තගෙ ඇස් ලොකු වුණා.

"මං උඹට හිනා වෙනවද..? මට පිස්සු නෑ අනගි. කෙල්ලෙක් ගැන නම් කොයි තරම් හොදද මයි කන්ග්‍රැජුලේෂන්ස්."

"විෂ් කරාට වැඩක් නෑ භවන්ත.. එයා අල්ලන්න හරි අමාරු ගර්ල් කෙනෙක්. මං දිහා නිකංවත් බලන්නෙ නෑ."

"මයිගෝඩ්.. ඔයාටත් ගණන් උස්සන ගර්ල්ස්ලා ඉන්නවද..? මං හිතුවෙ ඔයාට එෆෙයාර්ස් තුන හතරක්වත් ඇති කියලා.."

භවන්ත කිව්වෙ පුදුමවෙලා වගේ.

"නෑ භවන්ත.. මං ඒ පැත්තෙන් ඒ තරම් දක්ෂ නෑ. ඇත්තටම මං කෙල්ලො ගැන හිතුවෙ නෑ. තාම මට එෆෙයාර් එකක් ගැත්තෙ ඒකයි. කොල්ලොත් එක්ක පිස්සු නැටුව මිසක් මං ඒ පැත්ත ගැන උනන්දු වුණේ නෑ. ඒත්.. ඒත්.. මේ ලස්සන කෙල්ල දැක්ක දවසෙ ඉදලා මට මොකක්දේ වෙලා.. හිතටත් හරිම අප්සට්.. මට නින්ද යන්නෙත් නෑ 
භවන්තත.."

මං කියාගෙන ගියා.. ඔය ගැන කතා කරා නම් මට මාසයක් වුණත් නන්ස්ටොප් කතා කරන්න පුළුවන්. භවන්ත එකපාරටම ගොලු වුණ හින්දා මං ඒ දිහා බැලුවා. භවන්තගෙ මූණ ලොකු පුදුමයකින් වැහිලා තිබුණා. හරියට කියන දේ විශ්වාස කරන්න බැරුව වගේ මිනිහා මං දිහා බලාගෙන හිටියා. ඒ එක්කම තමයි පොලිස් කොස්තාපල් කෙනෙක් මායි භවන්තයි ඉන්න තැනට කඩන් පාත් වුණේ.

"ස.. සර්.. අර කිඩ්නැප් එකේ ඩීටේල්ස් වගයක් ඇවිත්.. අපිට අද ඒක ඉවරයක් කරගන්න පුළුවන්.."

කොස්තාපල් කියවගෙන යනවා. මං තවත් මෙතන ඉදලා තේරුමක් නෑ කියලා මට හිතුණා. ඒකෙන් වෙන්නෙ භවන්තටත් ඩිස්ටර්බ් වෙන එකයි..

"අනගි... ඇයි නැගිට්ටේ..?"

"අපි ෆ්‍රී වෙලාවක කතා කරමු භවන්ත. ඔයා අපේ ගෙදර එන්නකෝ. මේ ඩියුටි අස්සෙ ඔය ලව් ගැන නකා කරන්න ගියොත් ඒක වාතයක් වෙනවා.."

භවන්ත බලන් ඉන්දෙද්දිම මං පොලිස් ස්ටේෂන් එකෙන් එළියට බැස්සා. ඩියුටි කරන්නයි, ලව් කරන්නයි දෙකක් බෑනේ.. ඩියුටි නම් ඩියුටි.. ලව් නම් ලව්..

"බේබි මහත්තයෝ.."

කණ ගාවින්ම ඇහුණ දෙයියගෙ කටහඩින් මං උඩ ගියා..

"හත් දෙයියනේ... මං කී පාරක් නම් කතා කෙරුවද.. මොන ලෝකෙද බේබි මහත්තයෝ හිටියේ..?"

දෙයියා ඒ වගේ දෙයක් අහපු එක හරි. මං බයික් එකත් මිදුලෙ නවත්තලා ගේ ඇතුලටත් ඇවිත්. ඒත් මට ගානක් නෑ. මගේ හිතේ හැම තැනකම හිටියෙ අර ලස්සන ගර්ල්.

"ඈ.. බේබි මහත්තයෝ... මොකද මේ දතකට පූට්ටු වෙලා වගේ. මොකකට හරි බය වුණාද..?"

දෙයියා රටේ නැති ඒවා අහනවා. වෙලාවකට මූත් මහා වාත කේස් එකක්. එහෙම පිටින්ම කොහොල්ලෑ ගුලියක්. අතගාන්න ගාන්න ඇලෙනවා.

"පිස්සුද දෙයියා.... මගේ මුකුත් පූට්ටු වෙලා නෑ. මට ඔය කූල් ඩ්‍රින්ක් එකක් දෙන්න.."

කියන පරක්කුවෙන් දෙයියා මට ඇපල් ජූස් එකක් හදලා දුන්නා. දෙයියා මගේ වොයිස් දන්න හින්දා අවුලක් නෑ මං ජූස් එක බීලා ඉවර වෙනකන් දෙයියා ඉන්නෙ ඉවසගන්න බැරුව කියනෙක මට තේරුණා. මූ මොකද ඒ පාර ඇඹරෙන්න ගත්තේ.

"මුකුත් පූට්ටු වෙලා නැත්තන්ම් කෝ මහත්තයා ගේන්න ගියපු ඇදුම්..? මග දාලා ආවද..?"

දෙයියා එහෙම අහපුවාහමයි මට මතක් වුණේ මං ටවුමට ගියේ ඇයි කියනෙක.. ෂිහ්.. ඒ ගර්ල්ව දැක්හම මං මේ තරම් අවුල් වුණාද..? මට හිතාගන්නවත් බෑ.. 

"කාටද බේබි මහත්තයෝ ෂිහ් කියලා කිව්වේ...? ගත්තු ඇදුම් ටික තාම කඩේද..? නැත්නම් ගේන්න අමතක වුනාද..? මටනම් පේන්නෙ අද මොකක් හරි අටමගලක ගිහින් වගේ.."

"උඹ මේ කුණුහබ්බයක් කියනවා.. ඇදුමක් නෙමෙයි දෙයියා... මට අර ගර්ල්ව හම්බවුණා.."

"මොන ගර්ල්ද බේබි මහත්තයො...? නවෝදි මිස්ද..?"

මූට නම් හොදටම පිස්සු. නවෝදි කොහෙද මෙහේ.. ඒක් 
ඇත්තෙ ගෙදර නේ.. මූට නම් අර පරචිත්ත විඥානේ බිංදුවක්වත් නෑ. නැත්නම් ඔහොම වහුකුණු ප්‍රශ්න අහවියෑ..

"නවෝදි මිස් නෙමෙයි දෙයියා... අර කලින් දවසක රත්තරන් මග දාලා ගිය පින්වන්තිය.."

"හත්තිලව්වේ... ඉතිං... ඉතිං බේබි මහත්තයෝ කිව්වද, රඹුක්වැල්ල මන්ත්‍රීතුමාගෙ එකම පුතා මම කියලා.. මං හිතන්නෙ කෙල්ල උඩින්ම කැමති වෙන්න ඇති නේද..?"

"දෙයියා... උඹේ නම් කොහේ හරි ලූස් කනෙක්ෂන් එකක් තියෙනවා.. ආ.. මේ මග් එක පැත්තකින් තියපං.. උඹ කියන විදියට කියන්න ගියොත් සෙරෙප්පු පාරකුත් එක්ක තමයි මට එන්න වෙන්නේ.. ඔය තාන්න මාන්නවලට දැන් කාලෙ කෙල්ලො කැමති නෑ. ඒ කෙල්ල මට ලංවෙන එකක්වත් නෑ මං කවුද කියලා දැනගත්තොත්."

"එතකොට...?"

දෙයියගෙ මූණෙ තිබ්බෙ ලොකු අප්සට් එකක්.

"ඒක තමයි තියෙන ප්‍රශ්නෙ. කාලයක් යනකන් හරි මගේ තත්වෙ හංගන් ඉන්න වේවි. නැත්නම් වැඩේ අමාරුවෙයි දෙයියා. අතින්තෙක මං ඒ ගර්ල් එක්ක කතාව පටන් ගන්නෙ කොතනින්ද..? දැක්කත් කතා කරන්නෙ නැතුව තමයි ඉන්න වෙන්නේ.."

"එහෙනම් බේබි මහත්තයො අපි දෙන්නා ගිහිල්ලා ඒ ගෑණු දැරිවිව හම්බවෙමුද..? මං කියන්නම් බේබි මහත්තයා මගේ පුතා කියලා.. අපි දෙන්නා තාත්තා පුතා පාට් එකක් කරමු.."

දෙයියා කියන්නෙ අමුතුම කතන්දර. ඔව්වා කරන්න ගියොත් ඇදුම් නැතුව තමයි යන්න වෙන්නේ. ඒක මූට තේරෙන්නෙ නැති එකනේ වැඩේ.. තාත්තා පුතා පාට් ඇට් කරන්න ගිහින් තියෙන ලකුණුයි හම්බවෙන්න තියෙන ලකුණුයි දෙකම කපාගන්න වෙනවා.. 

"ඒ වැඩේ හොදයි නේද බේබි මහත්තයෝ. මං ඕන නම් ලොකු මහත්තයටත් කියන්නම්.."

"දෙයියා මේ.. උඹ ළගකදි මගෙන් ගුටි කෑවෙ නෑ නේද..? කට තිබ්බ පලියට මෝල් කතා කියන්න එපා බං. "

"ඇයි බේබි මහත්තයෝ.. මොකක්ද මං කියපු මෝල් කතාව..?"

දෙයියා මගෙන් ඇහුවේ පුදුමවෙලා වගේ.. අනේ ඇත්තට දවසක මූ හන්දා මං මොලේ මඤ්ඤං කරගෙන පිස්සෙක් වෙනවා. 

"ඇයි යකෝ.. බූරුවෝ.. හරකෝ.. කෙල්ලව බලන්න යනවා කියලා තාත්තට කියලා කොහොමද..? උඹේ මොලේ ඇණ ගැලවිලාද..? තාත්තා මට ප්‍රපෝසල් ගෙනාව කියලා උඹට අමතකද..? ආ දෙයියා ඩිංගක් හිමිහිට හිතපංකෝ. ඇයි බං තාම ඒ කෙල්ල මං ගැනවත් දන්නෙ නෑ. කෙල්ල මොන වගේද කියලවත් මං දන්නෙ නෑ.. ඉවසන එක මට කොයි තරම් අමාරු වුණත් මට ඉවසන්න වෙනවා.."

"හරි.. දැන් බේබි මහත්තයා මොනවද කරන්න හිතන් ඉන්නේ.. ඕන දේකට මං රෙඩී.."

"උඹ රෙඩී වුණාට මං රෙඩී නෑ දෙයියා. දැනට මේක මෙහෙම යන්න දෙමු.. තේරුණා නේ. ඒ අස්සෙ මං එයා ගැන හෙමීහිට හොයාලා බලන්නම්."

"මං කිව්ව දේට දෙයියගේ මූණෙ ලොකු හිනාවක් ඇදුනා. මූ මොකද හිනාවෙන්නේ. හැබැයි ඒ ගර්ල් ඉන්න තැන හොයා ගත්තත් මූට නම් කියන්න හොද නෑ. මූ මටත් කලින් ඒ ගර්ල්ව හම්බවෙලා, අපේ බේබි මහත්තයට කැමතිද කියලා අහවි. මූ ඒ ජාතියෙ බඩුවනේ."

                           ****************************

බෑන්ක් එකට දාන්න ඕන චෙක් වගයක් අරගෙන මං ටවුන් එකට ආවෙ එකට විතර. අව්වත් වැඩියි. ඒත් මං සන්ග්ලාස් දෙක ගලවලා අතට ගත්තා. මං සෙලාන් බෑන්ක් එකට හැරෙනකොටම මගේ ඇස් දැකපු දේ මටම අදහගන්න බැරිවුණා. මං හනිකට චෙක් ටික සාක්කුව දාගත්තා. මගේ ඉස්සරහටම ආවෙ වෙන කවුරුත් නෙමෙයි.. මගේ හිත හොරකම් කරපු පුංචි කෙල්ල. සජානි.. මේක නම් දොයියො මං දිහා බලලම දීපු දෙයක් කියනෙක මට තේරුණා. මම ටවුන් එන හැම දවසකම කතා කරගෙන වගේ එයත් ටවුන් ආවනේ. එයාගෙ අතේ තිබ්බ ලොකු පොත් මිටියක්. ෂුවර් එකටම මෙයා යන්නෙ කොහේ හරි කොම්පියුටර් ක්ලාස් එකකට වෙන්න ඇති. එදා ස්ටේෂන් එකේදි මගේ ඇගේ හැපිලා බිම වැටෙද්දි, වැටුන පොතුත් කම්පියුටර් පොත් වගයක් නේ.

කොහොම වුණත් ටවුන් එකේ තිබ්බ කොම්පියුටර් ක්ලාස් ටික චෙක් කරා නම් මේ සුදු කෙල්ල යන ක්ලාස් එක නියමෙටම හොයන්න තිබුණා. මෙයා පිටිපස්සෙන්ම ගියා නම් ඒ හැමදේටම වැඩිය ලේසියි කියනෙක මට තේරුණා. සංජානි ආවෙ නම් වන් වේ එක පැත්තෙ ඉදලා. ඒ පැත්තෙ තියෙන්නෙ ඔස්බෝන් කම්පියුටර් ක්ලාස් එක විතරයි. මම කම්පියුටර් ක්ලාස් ගැන කල්පනා කර කර ඉන්නකොට එයා මාව පහුකරගෙන ගිහින් තිබුණා. බැංකුවට කවදා යන්න බැරිද..? ඒ වගේද මේ සුරංගනාවි මිසින් වුණොත්. එයා ඇවිදන් ගියේ ස්ටෑන්ඩ් එකට. ඒ කියන්නෙ එයා මේ ක්ලාස් ඉවර වෙලා ගෙදර යන්නයි යන්නේ. ස්ටෑන්ඩ් එකට යන්න කලින් කොහොම හරි එයත්තෙක්ක කතා කරපං කියලා මගේ හිත මට කිව්වා.

"එක්ස්කියුස් මී.. මිස්... මාව අදුනගන්න පුළුවන්ද..?"

එයාගෙ ඉස්සරහින් මතුවෙලා මං එකපාරටම ඇහුවා. එයා නතර වුණේ මුල් ඇද්දා වගේ. ඒ මූණේ තිබ්බෙ ලොකු පුදුමයක්. මෙතනින් එහාට කතාව කොහොම ගිනයනවද කියලා මං දහ අතේ කල්පනා කරා. ඒත් මේ චාන්ස් එක අතෑරලා දාන්නත් බෑ. දෙයියනේ මේ වගේ වෙලාවක කරන්න ඕන දේවල් පොතකවත් ලියලා නෑ නේ..

"ඒ.. එදා අ..අර පැෂන් සෙන්ටර් එ.. එකේදි.. මා..මාව හම්බවුණේ.. ම.. මතක නැද්ද..? ඔ.. ඔයා මෙහේමද...?"

"ඇ... ඇයි මොකටද අහන්නේ..?"

කොච්චි මිරිස් කරල වගේ එයා ඇහුවා.. මගේ හිතේ තිබ්බ 
 ශක්තියත් ඩිංගෙන් ඩිංග දියවෙන්න ගත්තා. 

"න්.. නැහ් මං මේ ඔයාව මුලින්ම රේල්වේ ස්ටේෂන් එකේදි දැක්කා.. අ.. අර ඔයා මගේ ඇගේ හැපුණේ. මතකයි නේද..? ඊට පස්සේ පැෂන් සෙන්ටර් එකේදි.. ඊට පස්සෙ අද.."

කලිසම් සාක්කුවෙ තිබ්බ ලේන්සුව අරන් මං මූණ පිහද ගත්තා. දාඩිය හෝ ගාලා. එයාගෙ රෝස පාට මූණ තද රතු පාටට හැරෙනවා මං දැක්කා. කෙල්ලට තද වුණා වගේ. අඩේ.. කෙල්ල යකා වේවිද.? 

"ඔයා කව්ද...?"

එහෙම අහලා එයා තොල්පෙති දෙක තද කරගත්තා. දැන් මුණෙ තියෙන්නෙ අමුතු ගතියක්. බලන් ගියාම මෙයාගෙ මාරම මාර ෆීචස්නෙ තියෙන්නේ. 

"ආ... මමද..? මම අනගි.. අනගි රඹුක්වැල්ල.. මං මේ දවස්වල ඩිප්ලෝමා එකක් කරන්නයි ඉන්නේ.."

කටට ආපු දේ කියලා දැම්මා. නැත්තං ඉතින් සියලු ශිල්ප දැනගෙන ගෙදරට වෙලා පිංබතා වගේ ඉන්නවා කියලා කියන්නයැ. ඔන්න ඔය වෙලාවට තමයි මටත් නිකං හරි කොම්පියුටර් කරන්න හිතෙන්නේ. 

"ඒ.. එහෙනම් අනගි ඉස්සර වෙලා ඩිප්ලෝමා එක කරලා ඉන්න.."

තත්පරේට දෙකට ඒ ටික කියලා ඉවරවෙලා එයා ත්‍රීවිල් පාක් එක පැත්තට ගියා. උනේ මොකක්ද කියලා අදහගන්නත් බැරුව වගේ මං තක්කු මුක්කු වෙලා බලන් හිටියා. කමක් නෑ ඔයා අදට ඔහොම යන්නකෝ බබා. ඊලග දවසෙ මං එන්නෙ ඔයාගෙ කම්පියුටර් ක්ලාස් එක ගාවට..



2 comments:

  1. ela ela ඒ.. එහෙනම් අනගි ඉස්සර වෙලා ඩිප්ලෝමා එක කරලා ඉන්න.. meka thama niyama kaalla.
    adamayi man me paththe awe eka husmata okkoma kiyewwa. kohomath oyage poth (යෞවන සමින්ද්‍ර රත්නායක wenna athi neda liyanne) man kiyawanna kamathi.

    ReplyDelete
  2. ස්තුතියි සහෝ ප්‍රතිචාරයට..

    ReplyDelete